Thursday, June 26, 2014

266. විමලෙගෙ වාංපතුල් කතා 13…...කට කන්ට තැනීම සහ ගස්වල උස මැනීම.


Google images
එක පාරක් ඔය විමලෙගෙ වාංපතුල් කතාවක් කියද්දි පිළිස්සු කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය කියල කතාවක් තියනව ඒත් අද වෙලාව නෑ ඒක පස්සෙදි කියන්නම්ය කියල මම කිව්ව. පස්සෙ දවසක හැලප කමෙන්ට් එකකින් අහලත් තිබ්බ කෝ අර කුකුළගෙ කතාව කියන්නෙ නැද්ද? කියල. අපි ඇවිල්ල පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගෙ තමයි.හරිද?...අද ඔන්න ඒ පොරොන්දුව ඉස්ට කරන්නයි ලෑස්තිය....හෙහ්,හෙහ්, 

මේ කේස් එක සිද්ද උනේ ඇත්තම කියනවනං විමලෙ අයිය එක්ක ගත කරපු කාලෙට පස්සෙ කාලෙක.ඒත් කමක් නෑ, එකම ආයතනයෙ, එකම කාලෙ, අනික මගෙ ජීවිතෙත් එකම යුගයක සිද්ද වෙච්ච දේවල් නිසා විමලෙගෙ වාංපතුල් කතා යටතටම දාන්නංකො...කාරියක් නෑනෙ? නේද?...හරි අවුලක් නෑ!!!

අර මහ කැළේ මැද්දෑවෙ ඉඳල මාව මාරුකලා පාරට ටිකක් කිට්ටු වැඩබිමකට. එහෙදි ඉතිං ආයම අර කලින් වගේම යාලුවො බුරුත්තක්ම සැට් උනා. ඕකෙ වැඩේ මේකනෙ. කුණු එකතුවෙන්නෙ කුණු ගොඩටෙයි කියනවනෙ. ඉතිං ඒ වගේ තමයි එක ජාතියෙ කට්ටිය එකට එකතු වෙනව කියලත් කියනවනෙ. Birds of a feather flock together...ඒකෙං කියවෙන්නෙ ඕනම කුරුල්ලෙක්ගෙ තටු ගැලෙව්වම ඔක්කොමල එකයි කියන එක...

ඔය උපහැරනෙ කිව්වය කිව්වයි කියන්නෙ සේක්ස්පියර් ගොයිය..දන්නවනෙ නේද අර එංගලලන්තෙ අර අනාදිමත් කාලෙක හිටපු නාඩගං කාරය. මිනිහ ඔය මාතර අහ පොරක්ය..හිච්චි එකා කාලෙම නැවක හොරෙං වහං වෙලා එංගලන්තෙට පැන්නයි කියලත් කියනව. දෙවුන්දර අහල පහල තාම ඉන්නව කියනව මිනිහගෙ නෑදෑ පරපුර..සීක්කුපේරු කියල එයාලගෙ වාසගම.

ඔය සෙට් එකේ මගෙ එක යාලුවෙක් අජිත්. ගෙවල් හඟුරන්කෙත ටවුමට චුට්ටක් විතර මෙහා. හරිම හිත හොඳ එකා. ඇත්තටම බලනකොට ඒ කාලෙ අපෙ ඔය යාලුවන්ගෙන් සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම හිත හොඳ එවුන් තමයි. අතීසාර මිත්තරයො කියන්නෙ ..අන්න ඒ කැටගරි එකේ එවුං....

ඒ කාලෙ ඔය එන්ටර්ටේන්මන්ට් විදිහට අපිට තිබ්බෙ එක්කො පොතක් පතක් කියවන එක නැත්තන් ටී.වී. බලන එක විතරයි. මහ කැලේ මැද්දෑවෙ ආය වෙන අහවල් දෙයක්ද? චිත්තරපටියක් බලන්ටත් කදූරුවෙල ටවුමටම එන්ටම ඕන. ඒකත් කිලෝ මීටර්ම තියනව දාසයක් විතර වගෙ. අනික ඔච්චර දුරක් ගිහිල්ල පැය දෙකහමාරක් ගත කරන්ට තරම වටින චිත්තරපටි එහෙ තිබ්බ හෝල් එකට ආවෙම නෑ. ඔන්න ඔය රට හැමතැනම පට්ට ගහපු එව්ව අන්තිමට එහාට එනව. හරියකට පේන්නෙත් නෑ. තිරේ පුරා පැල්ලං ...හෙහ්,හෙහ්, ඒ ආවෙත් ඔය ඇගේ වෛරය, අර සයනය , මේ සයනය, අර යහන මේ යහන ඔන්න ඔය වගෙ මෙලොව යකෙකුට බලාගෙන ඉන්ට බැරි දහ ජරාව.

හැබැයි ඔව්ව බලන්ට සෙනඟ කියන්නෙ ආය නෑ බල්ලගෙ **** කෝඳුරුවො වගෙ තමයි. අපෙ එකෙක් ඔය ගමේ කෙල්ලෙක් එක්කල පොඩි අයිටම් එකක් පටං අරගෙන තිබ්බ. කෙල්ල හොඳ හැඩ වැඩයි.ඒ වගේම තමයි කට. අපෙ යාලුව කොහොම හරි වදෙං පොරෙං කෙල්ල කැමතිකරගත්ත කියමුකො ටවුමට ගිහිල්ල පිච්චර් එකක් බලන්ට...හෙහ්,හෙහ්, පිච්චර් තමයි. ඌට හිතෙන්ට ඇති පිච්චර් බැලුවට වඩා හොඳයි ග්‍රැමොක්සෝන් කුප්පියක් කටේ හලාගෙන පරාක්කරමේට පැන්නනං කියල. පහුවදා කෙල්ල ගම හැම තැනම මෙහෙමයි කියල තියෙන්නෙ.

" අනෙ අප්පේ..ඒ මහත්තය පිච්චර් මඩුවෙ එලිය නිවාපු වෙලේ ඉඳලම මෙලෝ සිහියක් පතක් නැතුව මයෙ කට කන්ට තැනුව මිසක දිව ගිලෙන තිබාසෙට පැන්ට උගුරක්වත් අරං දුන්න එකක්ය…"

හෙන්රියත් මේ ලඟදි කොහෙ හරි මේ කතාව කියල තිබ්බ.හෙන්රි ගොයියත් ඔය මං කියන දවස්වල ඊට ටිකක් එහා ළමයිංට කුල්ලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකද්ද කියල කියා දිදී ඉඳල තියනව. ඒ නිසා ඕකට ආරංචි උනෙත් ඔය මම කියන සිද්දියම වෙන්ට ඕන.

ඔය අර කෙල්ලගෙ කට කන්ට තනපු එකාගෙ නම කිරිබණ්ඩ.නැචුරලි අපි කිව්වෙ කේබී කියල. කේබිය ටිකක් පඬිය. නොදන්න දෙයක් කාගෙංවත් අහන්නෙ එහෙම නෑ. දන්නව වගෙ ඉඳල අන්තිමට හත්පලේ ගාගන්නව.

අපි වැඩ කරපු හරියෙ ඔන්න මහ කැළේ සුද්ද කරන්ට ගත්ත කුඹුරු කට්ටි කඩල මිනිස්සුන්ට බෙදල දෙන්ට. පේනතෙක් මානෙ මයෙ හිතේ හෙක්ටෙයාර් ඔක්කොම දාස් ගාණක් කැළේ සුද්ද කරල මීටර් පණහෙං පණහට වගෙ දිගට ගොඩවල් ගහල සති දෙකක් විතර ගිණිගහන අව්වෙ කරකුට්ටං උනාම ගින්දර තියනව. එහෙම ගිණි තියන දවසට අපිත් යනව කට්ටියම බලන්ට. හරිම අපූරු දර්ශනයක් ඒක. ඒත් ළඟට කිට්ටු වෙන්ට බෑ රස්නෙ.

ඔය කැළේ එළිකරන වැඩේ කොන්ත්‍රාත් අරගෙන තිබ්බෙ චීන කොම්පැණියක්. මයෙ හිතේ ලංකාවෙ ඉස්සොරෝම චීන කොම්පැණියකට කියල ආවෙ ඒ ගොල්ල. පස්සෙ පාරවල් වගයක් එහෙමත් අරගෙන කොන්ත්‍රාත් කලා.

ඉතිං චීන්නු කැළේ එළිකරල ගිණි තියල වැඩේ ඉවරකලයි කියමු. දැං මෙවුන්ට ගෙවන්ට එපාය කොන්ත්‍රාත් ගිවිසුම අනුව.

ඒ ගිවිසුමේ එක කොන්දේසියක් තමයි කැළේ සුද්ද කරනකොට එක හෙක්ටෙයාර් එහෙකට වටප්‍රමාණය මීටර්...ම්ම්..අපි කියමු මීටර් 1.5 ටවඩා වැඩි ගස් යම් සංඛ්‍යාවක් ඉතුරු කරන්න ඕනය කියන එක. අපි හිතමුකො ගස් දහයක්ය කියල.

ඔහොම ඉතුරු කරන්නෙ පරිසරය ආරක්ෂා කරගැනීමක් හැටියට. ඊට අමතරව හෙවණටත් හොඳයිනෙ. දවල්ට ගහ යට ඉඳගෙන බත කන්ට එහෙමත් පුලුවන් ගොවි මහත්වරුන්ට. ගහ උඩ අතුපැලක් උනත් අටව ගන්ට පුලුවන් නෙව රෑ පානෙ කුඹුරු රකිද්දි.

ඉතිං ඔහොම ගිවිසුමේ කොන්දේසි තිබ්බට ගෙවීම් කරද්දි කවුරුවත් ඔය ගස් වල වට ප්‍රමාණයවත් හෙක්ටෙයාර් එහෙකට නියමිත ගස් ගාන තියනවද කියලවත් ගණං කරන්ට යන්නෙ නෑ. ටිකක් ඔහෙ ඇවිදල බලල ගහක් දෙකක් මැනල ඊට පස්සෙ ගෙවීම අනුමත කරනව. ඔය මම කියන කාලෙ අලුතින් පත්වීම අරගෙන ඇවිල්ල හිටිය අපෙ බොසා නූලට රාජකාරිය කරන කෙනෙක්. ඉස්සොරෝම රස්සාවට ගියාම එහෙමනෙ. ඔන්න අර චීන්නු එක ගිවිසුමකට අදාල කොටස සුද්ද කරල ක්ලේම් එකක් දැම්ම. ඒ කිව්වෙ ගෙවීම නිදහස් කරන්න කියල ඉල්ලුව. කොටිම්ම අපි වැඩේ කරල ඉවරයි බොල. කෝ සල්ලි ගෙවාපිය කියල කිව්ව...හෙහ්,හෙහ්,

අර අලුතින් ආපු බොසා කලේ කතා කලා අපෙ කේබියට.

" කිරිබණ්ඩා...හෙට උදේ පොඩි වැඩක් කරන්න ඕන. දහ අටේ ඩී ඇලේ ඉඳල විසි තුනේ ඩී ඇල ගාවට යනකල් අර චීන කොම්පැණිය කැලේ සුද්ද කලේ ..අන්න ඒ කෑල්ලේ තියෙන ගස් ගාණයි ඒ ගස්වල ගර්ත් එකයි මැනගෙන එන්ට ඕන..තේරුණාද? අර චෙක් රෝලෙං ගෝලයො දෙන්නෙකුත් අරගෙන යන්ට. "

කේබියත් පහුවදා උදේම අලුත් ෆීල්ඩ් බුක් එකකුයි ටේප් එකකුයි අරගෙන ගෝලයො දෙන්නෙකුත් අඬගහගෙන... ඕකගෙ තියෙනව පියාඹන පීරිසියක් විතර ඇති පංකොළ තොප්පියක්. ඕකත් දාගෙන පිටත් උනා. හවස ආපහු අපෙ ක්වාටස් එකට ආවෙ පාං කියාගන්ට බැරි සයිස් එකෙං..

" හරි අමාරුයි බං හොඳ පණගියා. " කේබී තේ එක බොන ගමං එහෙම කිව්ව.

" ඔව්නෙ... මේ දවස්වල පැලෙන්ට පායනවනෙ…" මම එහෙම කියල හිනාඋනා.

" වැඩේ ඉවරද මචං? " ආයෙම මම ඇහුව…

" පිස්සුද තව කොහෙද? උඹ හිතන්නෙ ඒක සෙල්ලං කෙලියක්ය කියලද? " 

කේබියා තේ කෝප්පෙත් අරගෙන නැඟිටින ගමං එහෙම කිව්වෙ අමනාපෙං වගේය කියලත් මට නිකමට වගෙ හිතුන.

" වැඩේ ඉවරද කිරිබණ්ඩ? " පහුවදා ඔෆිස් එක ඉස්සරදි බොස් ඇහුවෙ අපි උදේ පොත අත්සන් කරන්ට යද්දි.

අපේ රාජකාරි නිල වෙලාව උනේ උදේ 600 ඉඳල හවස 1830 වෙනකල්. ඒ නිසා ක්ෂේත්‍ර රාජකාරි කරපු කවුරුත් තරාතිරමක් නැතුව උදේ හයට ඔෆිස් එකට ගිහිල්ල පොත අත්සන් කලා.

" නෑ බොස් අද දවසත් යයි වගේ.."

" ආ..එහෙමද? …." බොසා පුදුමෙං වගෙ කේබිය දිහා එක පාරක් බලල මොනවද කියන්ට වගෙත් ගිහිල්ල ආයෙම " හරි හරි වැඩේ ඉවර කරන්ටකො " කියල යන්ට ගියා.

බොසා යන දිහාවෙ රවාගෙන හිටපු කේබිය ආපහු මගේ පැත්තට හැරුන.

" හුහ්, දැක්කද බොසාගෙ කතාව? පොර හිතාගෙන ඉන්නෙ මම අර පළු ගහක් යට පත්තරයක් එලාගෙන දවසම බුදියගත්තයි කියලද දන්නෙ නෑ...බාරදීපු වැඩේ අමාරුව එයාට තේරෙන එකක්ය. "

" ඒත් මචං මම මේ උඹෙං අහන්ටමයි හිටියෙ...." මම ඉතුරු හරිය ගිල ගත්ත කේබිය මා දිහාවෙ රවපු රැවිල්ලට…

" මොකක්ද උඹ අහන්න හිටියෙ? "

" ආ..නෑ..නෑ මොකවත් නෑ...." මම එතනිං එහාට වචනයක් කතා කලේ නෑ..

ඇත්තටම මට අහන්න ඕන උනේ මේ ගස් දෙතුන් සීයක වටප්‍රමාණය මනින්ට දවසකිනුත් බැරි උනේ මොකද කියලයි. ඒත් කේබිය ඕක නුහුරට හිතල මට අම්ම මෝ නැතුව බණින්ටත් බැරි නෑ..එහූ දසය. මේ උදේ පාන්දර නිරපරාදෙ කණ පුරවල අහගන්නෙ මොන කෙහෙල් මලකටද කියල හිතල මම නිකා හිටිය.

එදා හවසත් කේබිය ආවෙ හුඹහෙං ඇදල ගත්තු නයා වගෙ. මම මොකවත්ම ඇහුවෙ නෑ...වැඩේ මොකද? ඉවරද? කින්ද මන්ද? කියල..

" හෙට දවසත් යයි වගෙ බං...හරිම අමාරුයි..සැමී ඔය කේතලේට වතුර එකක් පුරවල ලිපේ තියාපං බං..උණු වතුර ටිකකිං ඇඟපත හෝද ගත්තොත් මේ අමාරුව ටිකක් යයි. වණේ දාල කොටල වගෙ බං.."

එහෙම කියල කේබිය නොන්ඩි ගගහ කාමරේට ගියා. විමලෙයි මායි මූණෙං මූණ බලාගත්ත.

" යකෝ මේක මාර කෙලියක්නෙ. මේ පොඩි වැඩේට මේ යකා දැං දවස් දෙකක් ගත්ත. ඒත් ඉවරයක් නෑ තාම. මේ විමලෙ ..මෙතන මොකක් හරි තියනව කේස් එකක්. මුගෙං ඔව්ව අහන්ට බෑ දන්නවනෙ එක ජාතියක මනුස්සයනෙ. මූලවාතෙ තද උනොත් මෙතන ආය ඉඳල ඉවරයි. ඕක එක්ක ගියේ අර පේමසිරියයි නවරත්නයි නේද මනින්ට. ඉඳහං මම ගිහිල්ල අහගෙන එන්ට මොකක්ද මේ සීන් එක කියල "

පේමසිරියයි, නවායි අපෙ චෙක් රෝලෙ ගෝලයො. ටෝච් එකක් අරගෙන මම ගියා මයිනර් ස්ටාෆ් ඩෝමිටරි එක නොහොත් සුළු සේවක නේවාසිකාගාරය පැත්තෙ.

" පේමසිරිය ඉන්නවද බං? "

මිදුලෙ හිටිය ඇල්බට්ගෙන් අහගෙනම මම ගෙට ගොඩ උනා. ඇල්බ අපේ ට්‍රැක්ටර් රියදුරු.

" ඉන්නව මහත්තය... අන්න අතපය බරු ගහගෙන ඇවිල්ල සිද්දාර්තෙ ගාගන්නව කාමරේ…"

" ඈ..අතපය බරුගහගෙන ? "

එහෙම අහගෙනම මම ගියා පේමෙගෙ කාමරේට.

" ආ මහත්තය එන්ට එන්ට.." පේමසිරිය නැඟිටින්ට හැදුව.

" මොකද බං උඹට උනේ? මේ අතපය ඔක්කොම බරු ගැහිල නේද? යකෝ අලියෙක් වත් පැන්නුවද උඹල තුංදෙනා පාරෙ.." එහෙම අහල මම පේමෙගෙ ඇඳ කෙලවරේ ඉඳගත්ත.

" ඔහෙ පන්නපු අලියෙක් නෑ මහත්තය "

" එහෙනං? "

" අම්මාපල්ල මහත්තය කිව්වට විස්වාස කරන්ට. අපෙ බාප්ප ගස් නැඟල අතු පාහින එක තමයි රස්සාවට කරන්නෙ. උන්දැට දැං පණහත් පැනල.."

" ඉතිං? ඉතිං? "

මමත් හරිබරි ගැහිල ඇස් දෙක මදිවට කටත් බාගෙට ඇරගත්ත. ඔය පේමසිරිය ඉළ ඇදෙන කතා කියන්නෙ. අනික් එවුං ඕකට කියන්නෙ කටා කියල..

" ඉතිං බං? මොකක්ද උඹලගෙ අතු පාහින බාප්පොච්චිගෙ සම්බන්දෙ මෙතනට? "

" ඉන්නකො මහත්තය ඒක තමයි මම මේ කියන්න යන්නෙ.අපෙ පනහත් පැනපු බාප්ප නැඟපු ගස් ගානට වැඩිය ගස්වලට මම නැග්ග මහත්තය මේ ඊයෙයි අදයි. එකක් හරි වැඩි මිසක අඩුනං නෑ. මට ෂුවර් ඒක."

" හෙහ්, හෙහ්, ඒ මොකද බං? හා හරි හරි මම දන්නව...කේබී මහත්තය පළු කන්ට දෙයිය. උඹව නග්ගවන්ට ඇති පළු ගස් වලට.."

මෙතන වෙලා තියෙන්නෙ මොකද්ද කියල මට සහසුද්දෙම්ම තේරුණා. ඒත් මම අරම කිව්වෙ පේමය කුල්මත් කරල ගන්ට.ආය මොනවද? ඌ හනුමගෙ වලිගෙට ගිණි තිබ්බ වගෙ ෆෝම් උනා.

" මහත්තය මේ කෙහෙම්මලක් කතා කරනව. "

පේමය කිව්වෙ මගෙ මූණ දිහාට දකුණු අත දික් කරල. තව පොඩ්ඩෙං මගෙ ඇහැත් පොට්ට කරනව මේකා...මම කෝකටත් ටිකක් ඇඳේම එහාට උනා…

" එහෙනං බං? "

" අර රාජපක්ස බොස් කිව්වලුනෙ ඩෝසර් කරල ඉතුරු කරපු ගස්වල උස මැනගෙන එන්ට කියල.ඉතිං ඊයෙයි අදයි දවස් දෙකේම කේබී මහත්තයයි නවයයි මායි කලේ ඔය රාජකාරිය. ලේසි නෑ මහත්තය මේ දාරානිපාත හුළඟෙ ඔය දඩ ගස් වල මුදුං දල්ලටම නඟින එක. මයෙ ඇඟේ ලේ වතුර වෙලයි ඔන්න තිබ්බෙ මුලු දවසෙම. "

පේමය ඇසුයි කටයි නටව නටව කියාගෙන යනව. ඌ කතා කරනව බලා ඉන්ට ආසයි.

" මම ඉතිං ගහේ දල්ලටම නැඟල ටේප්පෙකේ බිංදුව අල්ලනව ගහේ මුදුනට. ගහමුල ඉඳල නවය ටේප් එකේ අනික් කොණ බිමට අල්ලනව. කේබී මහත්තය ඇවිත් දනගහගෙන නැමිල බලල එතන තියන ගාණ ලියාගන්නව අර නෝට් පොතේ. ඩී විසිතුන ඇල අසල පළු ගස උස අඩි තිස් දෙකායි අඟල් අටායි. ඔහොම හෙමිහිට තොල මතුරල කියල ඒ ගණං හිලව් පොතේ ලියාගන්නව. "

" නෑ???....." මම හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙං " බොරු කියන්ට එපා බං "

මුං තුංදෙනා මේ කරල තියෙන විකාරෙ මතක් වෙනකොටත් මට ඉවසන්ට බෑ හිනාව. ඒත් හිනාවෙලත් බෑ. මොනව උනත් කේබිය නෝන්ඩි කරන්ටත් බෑනෙ.

" ඉතිං පේමෙ ඊට පස්සෙ? " මම තොල විකාන ඇහුව.

" ඊට පස්සෙ මම බිමට බහිනව. ඉතිං තුන්දෙනා එක්කම යනව ඊලඟ ගහ ගාවට. ආයම මම නඟිනව ගහේ මුදුනට. ආයම කේබී මහත්තය දනගහගෙන ටේප් එක බලල කියනව ... පලු ගහ ලඟම හුඹහ අසල වීර ගහ. උස අඩි විසිහතයි අඟල් 3 යි. කියල ඒ ගාණ පොතේ ලියාගන්නව. "

" නෑ???........."

" ඔන්න ඔහොම තමයි මහත්තය ඊයෙයි අදයි දවස් දෙකම ගත උනේ. මගෙ ඇඟ නිකං වණේ දාල කෙටුව වගෙ කොටින්ම. හෙටත් යන්ට ඕනය කිව්වෙ. අනේ මහත්තය මාව රස්සාවෙං දොට්ට දැම්මත් මම නෙවෙයි හෙටනං ඔය මඟුලට යන්නෙ. "

පේමෙ අල්ලට ගත්තු තෙල් ටික දකුණු දණිස්ස හරියෙ ගාගන්න ගමං කිව්ව.

" හැබැයි මහත්තය එකක් තියනව අපරාදෙ කියන්ට බෑ. මට අමාරුයි කියල තේරුණාම කේබී මහත්තය සපත්තු මේස් ගලෝල ගහ මුල තියනව. ඊලඟට කලිසමේ කකුල් දෙක නවා ගන්නව දණිස් හරියට. ආය මොනවද? මේං නඟිනව ගිණි කසය වගෙ ගහට. ඇත්තටම මොනවටද මහත්තය ඔය ගස් වල උස මනින්නෙ? "

" ඉතිං උඹ ඕක කේබී මහත්තයගෙන්ම අහන්ට එපාය... "

" ඇහුව ඇහුව "

" ඉතිං මොකද කිව්වෙ? "

" කවුරු දන්නවද බං ? සමහරවිට රාජපක්ස මහත්තයගෙ අම්ම නග්ගවන්ට වෙන්ට ඇති..මේ පේමෙ ඔය විකාර ඇහිල්ල පැත්තක තියල වරෙං විජහට මේ කෙහෙම්මල අදවත් ඉවරයක් කරල දාන්ට නැත්තං තව සුමානයක් විතර ගස් බඩගාන්ට තමයි වෙන්නෙ උඹටයි මටයි. ඔන්න ඔහොමයි කේබී මහත්තය කිව්වෙ...ඇත්තටම මොකටද මහත්තය ඔය ගස් වල උස මනින්නෙ? "

" ඔය ගස් වල රුක් දෙයියො ඉන්නවද කියල බලන්ටනෙ බං " මම කටට ආපු එක කිව්ව.

" ඈ ..ඒ කොහොමද ඒක දැනගන්නෙ? "

" පේමෙ….ඔය රුක් දෙයියො ඉන්නවයි කියන්නෙ අඩි විසිහයයි අඟල් තුනට වැඩි ගස් වල."

" නෑ? ………...මම එහෙම එකක් ඔය ඇහුවමයි.."

" ඒකනෙ කියන්නෙ බොරු නෙවෙයි බං ඇත්තම ඇත්ත. හෙට මනින්ට ගිහාම උඹ කේබී මහත්තයට කියාපංකො මහත්තය නොකිව්වට මම දන්නව ඇයි මේ ගස් මනින්නෙ කියල, රුක් දෙවියො ඉන්නවද කියල බලන්ට නේද? ඔහොම කියාපං හැබැයි කොල්ලො එකක් මං කිව්වය කියල එහෙම කියන්ට එපා..හොඳද? "

මම තොල් හපාගෙනම නැඟිටල පේමෙගෙ කාමරෙං එලියට ආව.හඳත් පායල ටෝච් එක ගෙනාවට කිසි වැඩක් උනේ නෑ.

91 comments:

  1. කෝ දැං පිළිස්සූ කුකුළා?? :D

    ReplyDelete
    Replies
    1. බළල් හාමිනේ,

      කුකුළ එනව බං මඟ. මේ ඇවිල්ල කසකාරයො. පොඩි කාලෙ පෙරහැරේ මම කැමතිම කස කාරයන්ට. අපෙ ගෙවල් ගාව පෙරහරේ නම් කස කාරයො ටික ගියට පස්සෙ මම ගෙදර ඇවිල්ල නිදිය ගන්නව...:)

      " චට පට චට පට ඩොං ඩෝං,චට පට චට පට ඩොං ඩෝං " තුන වසරෙද කොහෙද අපෙ සිංහල පොතේ පෙරහැරක් ගැන තිබ්බ පාඩම පටන් ගන්නෙ එහෙම. අම්ම පාඩං කරන්න කිව්වම මම කරන්නෙ සිංහල පොත දිග ඇරල ඔය ටික මහ හයියෙං කියන එක. කස සෙල්ලමට මම ඒ කාලෙ එච්චර කැමතියි.

      Delete
    2. මම නම් කැමති ගිනිබෝල වලට.කළුවර කපාගෙන එළි කැරකෙන හැටි බලන්න ආසයි.

      Delete
    3. මනෝජ්,

      ගිණි බෝල වලට ආස උනෙ ටිකක් විතර ලොකු උනහම,

      " ගිණි බෝල බෝල කැරකේය අන්න අර ආන්න පෙරහර එනවා "

      පොඩි කාලෙ පෙරහර ගැන අපිට කියල දුන්නු සින්දුවක එක පදයක්.

      Delete
    4. උඹ නම් රවී පොරක් තමයි. අර උඩ කැටී ළමයා අහපු ප්‍රශ්ණෙට උත්තර නොදී මෙතන ගිනිබෝල කරකවන්න පටන් ගත්තේ.. දැන් ඉතින් කාවඩිත් නටලම වැඩේ ඉවර කරපන්.

      Delete
    5. අරූ,

      / අර උඩ කැටී ළමයා අහපු ප්‍රශ්ණෙට උත්තර නොදී මෙතන ගිනිබෝල කරකවන්න පටන් ගත්තේ /

      මොකද බං නැත්තෙ? බ.හා. අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්න නෙව. කුකුළ මඟ එනව කියල කිව්වෙ..ඒක තමයි උත්තරේ...:)

      Delete
  2. ඉස්සර අපි එක්කත් වැඩ කරා ඔය උඹ කියන පැත්තේ පොරක්. ඌ ඒ පැත්තේ ෆිල්ම් හෝල් ගැනයි ලව් කේස් ගැනයි කියන කතා අහගෙන ඉන්න කොට බෝතල් හිස් වෙනවා නිකන්ම. මම ආස උනේ ඌගේ වචන් සෙට් එකට. සමහර ඒවා නොතේරුනත්. මුළු කතාවම කියන නිසා ඒ වචනේ තෙරුම පස්සෙ නිකන්ම තේරෙනවා. ඕකා මල් මාමා. නැවතිලා උන්නේ, බේස්ලයින් රෝඩ් එකේ රේල්වේ කුවාටර්ස් වලින් එකක. ඔය ගෙවල් වල මරු මරු සීන් වෙච්ච ඒවා අනන්තයි අප්පරමානයි. මූ බෝඩ් වෙලා උන්න ගෙදර, අම්මටයි දුවටයි දෙන්නටම ලව් කලා.. මූ ගෑණු දැලේ දාගන්නේ කතාවෙන්. නෝනා එක්ක ගෙදරදි ලව් කරනවා. කෙල්ල එක්ක එලියේ. කෙල්ල දැනගෙන උන්නට. අම්මා දැනගෙන උන්නේ නෑ මයේ හිතේ. ඕකා මහන්සියෙන් හොඳට ඉගෙන ගත්තා.. අද කටාර් වල හොඳ ව්‍යාපාරිකයෙක්. ඌත් උඹේ බොග බලනවා.. ඒකයි මම මේ කොමෙන්ට් එක මෙතන ලිව්වේ..

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      අප්පට සිරි ගජ, නැන්දට කජු මද!!! :)

      Delete
  3. අරම ගස් නැගිල්ලල් :))

    ReplyDelete
    Replies
    1. සහෝදර,

      හෙහ්,හෙහ්, ඒකනෙ කියන්නෙ...:)

      Delete
  4. ඇ රවියෝ උන් හතරදෙනාගෙම අම්මල නග්ගවන්ට එපැය ගහට

    ReplyDelete
    Replies
    1. අටම්,

      උංගෙ අම්මල ගහට නග්ගවල ගහ කපල දාන්ටයි තිබ්බෙ. අර ජෝජ් වොසින්ටන් කලා වගෙ...හෙහ්.හෙහ්,

      Delete
    2. ඒ මොකක්ද ඒ සීන් එක

      Delete
    3. අටමා,

      ඒ කතාව මෙහෙමයි බං..ඕකට තියනව අතීත කතාවක් සහ වර්තමාන කතාවක්..වර්තමාන කතාව කිව්වට ඒක වෙලා තියෙන්නෙත් අවුරුදු සීයකට හමාරකට එහා පැත්තෙ. අතීත කතාව ජෝර්ජ් වොෂිංටන් ගැන. වොෂිය ඇවිල්ල ඇමරිකාවෙ පළවෙනි ජනාධිපති.ඔය උදේ මූණ හෝදනකොට දිව මදිනව නේද? ඕකට හදල තියනව වෙනම ගැජට් එකක්. ඒක නිෂ්පාදනය කලා කියන්නෙ ජෝර්ජ් වොෂින්ටන්ගෙ මුත්ත.

      හරි එමු කතාවට...ජෝර්ජිය පොඩි එකා කාලෙ ( අපි කියමු අවුරුදු අටක් දහයක් කියල.) ගෙදර වත්තෙ තිබ්බලු බොහොම පරණ පාරම්පරික ඇපල් ගහක්.ගෙඩි එහෙම බොහොම රසයි. මහ ජෝර්ජිය ඔය ගහට පණ වගෙ ආදරෙයිලු. දවසක් පොඩි ජෝජිය ඉන්න ගමං පොරවක් අරගෙන අර ගහ කපල දැම්මලු.හවස මහ ජෝර්ජ් ගෙදර ආපු ගමං යක්සාවේස උනාලු. " කවුද යකෝ මේ ඇපල් ගහ කැපුවෙ? " කියල බෙරිහං දුන්නලු. පොඩි එකා බයේ ගැහි ගැහි උනත් ඉදිරිපත් වෙලා ඇත්තම කිව්වලු " තාත්තෙ මමයි කැපුවෙ " කියල. මහ ජෝර්ජ් මේ කතාවට බොහොම සන්තෝස උනාලු. බය නැතුව ඇත්ත කිව්වයි කියල පොඩි එකාට බොහොම ප්‍රසංසා කලාලු. ඔන්න මල්ලි අතීත කතාව මෙතෙකින් නිමියේය. හරිද?

      වත්මන් කතාව...ඇමරිකාවෙ එක ඉස්කෝලෙක ගුරුතුමා ඔය ජෝර්ජ් වොෂින්ටන්ගෙ කතාව ළමයින්ට කියල දීල කිව්වලු හැම වෙලේම ඇත්ත කීමේ වැදගත් කම. පහුවදා ඔන්න එක පොඩි එකෙක් ඉස්කෝලෙ ආවලු කම්මුල් දෙකම නිල් වෙලා. තොලත් පැලිල. ගුරුතුමා ඇහුව " මොකද මේ? " කියල. ඒ පාර කොල්ල කිව්ව " සර් මෙහෙමයි , අපේ තාත්ත බොහොම ආස කරන ඇපල් ගහක් තියනව . මම ඊයෙ සර්ගෙ කතාව අහල ගෙදර ගිහිල්ල ඒ ඇපල් ගහ කැපුවයි, ඒ පාර තාත්ත මාව අල්ලගෙන හොඳටම තඩි බෑවය" කියල. ගුරුතුමාට ඔන්න මාර කෙන්තියි." ඔය ලමය අර මම කියල දුන්නු විදිහට ජෝර්ජ් වොෂිංටන්ගෙ කතාව තාත්තට කිව්වද? "කියල ඇහුව කොල්ලගෙන්, " අනේ ඔව් සර් තාත්ත ඒත් ඒ කිසි දෙයක් අහන්නෙ නැතුව මට තඩි බෑව. "කොල්ල එහෙම කිව්ව ඇඬුම් මූණෙං. ගුරුතුමාට හෙණ අප්සෙට්. " පුදුම තාත්තෙක්නෙ මේ මනුස්සය. ආ ඉන්නකො මම හවස එන්නම් තාත්ත හම්බ වෙන්න. "

      එහෙම කියල ගුරුතුමා ඔන්න හවස කොල්ලගෙ ගෙදර හොයාගෙන. යනකොට ඔන්න තාත්ත ඉන්නව පුටුවක හාන්සිවෙලා ඉස්තෝප්පුවෙ.. තාත්ත දැක්ක ගමං ගුරුතුමා බනින්ට ගත්ත. " මොනවද මේ තමා කරල තියෙන්නෙ? තමන්ගෙ පුතාට මම ඊයෙ ජෝර්ජ් වොෂින්ටන්ගෙ කතාව කියල දුන්න. ඒ ළමය ගෙදර ඇවිල්ල ඇපල් ගහක් කැපුවය කියල ඔහේ ඒ ළමයට හොඳටම තඩි බාල. ඒ ළමය තමන්ය ගහ කැපුවෙ කියල කියද්දිත් එහෙම කරපු එක බොහොම වැරදියි. දන්නවනෙ ජෝර්ජ් වොෂින්ටන් එහෙම කලාම එයාගෙ තාත්ත ගැහුවෙ බැන්නෙ නෑ. ඇත්ත කිව්වට ප්‍රසංසා කලා. සික් බොහොම නරකයි ඔහේගෙ කල්ක්‍රියාව. බොහොම නරකයි, බොහොම නරකයි.."ඒ පාර තාත්ත ගුරුතුමා දිහාවෙ ටිකක් වෙලා බලා ඉඳල කිව්වලු. " සර් මම ජෝර්ජ් වොෂින්ටන්ගෙ කතාවත් දන්නව. එයාට තාත්ත සමාව දුන්නයි කියලත් දන්නව. ඒත් මම හිතන්නෙ ජෝර්ජ් වොෂිංටන් ගහ කැපුවෙ එයාගෙ තාත්ත ගහ උඩ ඉන්දැද්දි නෙවෙයි නේද මේ අපේ පෝරිසාදය වගෙ? "එහෙම කියල මනුස්සය බොහොම අමාරුවෙන් නැඟිට්ටලු. එතකොටයි සර් දැක්කෙ එයාගෙ වම් අත ප්ලාස්ටර් එකක් දාල බෙල්ලෙ එල්ලල තියනව.

      Delete
    4. හේහ් හේ ඌනං අම්මගෙම පුතෙක්

      Delete
    5. මරු කතාව මේක...

      Delete
    6. අඩේ අප්පා පට්ට කතාවනේ බං එක රවීයියේ...:)

      Delete
    7. පිස්සු බාබත් වෙන කතානේ බන් උඹ ලියන්නේ..හොඳ වෙලාවට අටමා කතාව අහගත්තේ.

      Delete
    8. වත්මන් කතාව 2...
      ඇමරිකාවෙ එක ඉස්කෝලෙක ගුරුතුමා ඔය ජෝර්ජ් වොෂින්ටන්ගෙ කතාව ළමයින්ට කියල දීල කිව්වලු හැම වෙලේම ඇත්ත කීමේ වැදගත් කම. ගුරුතුමා තමන්ගේ පාඩම කියවලා ළමයින්ට කිව්වලු ප්‍රශ්නයක් තියේ නම් අහන්න කියලා.
      එක ළමයෙක් දුන්න විද්ද වගේ ඉක්මනට නැගිටලා මෙහෙම ඇහුවලු.
      “ටීච කොහොමද හරියටම කියන්නේ ජෝජ් වොෂිංටන්ගේ තාත්තා එයාට ප්‍රශංසා කලේ ඇත්ත කිව්ව නිසාමද කියලා. “
      “ඇයි පුතේ එහෙම හිතන්නේ?“
      ‘‘නෑ. ඒ වෙලාවේ ගහ කැපුවා නම් පොඩි ජෝජ් අතේ නෙව පොරව තියෙන්න ඇත්තේ.. අච්චර ඇපල් ගහකුත් කපලා පොරව තියාන ඉන්න පොඩි කොල්ලෙකුට මොන තාත්තද හොඳ නරක කියන්න යන්නේ.“


      පලි: දිව මදින ගැජට් එක? හපොයි...
      +++++++++++++++++++++++++++++++++

      Delete
    9. පැතුම්, මනෝජ් සහ අරූ,

      මචංලා ඔය කතාව තිබ්බෙ Punch කියන මැගසින් එකේ. කාලයක් බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ එංගලන්තෙ පලවෙච්චි Humour & Satire සඟරාවක්. නුවර අලි මුඩුක්කුවෙ ( අලි මුඩුක්කුව ගැන වෙනම ලියන්නම් ) පාර අයිනෙ පොඩිවට පරණ පොත් සහ සඟරා විකුණන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා අබ්බාස් කියල මහත්මයෙක්. මම මහත්මය කියන්නෙ ඒ මනුස්සය හඳුන්වන්න වෙන වචනයක් නැතිනිසා. සිරා පොර. ට්‍රිනිටි ඉගෙන ගෙන තියෙන්නෙ, ගාමිණී දිසානායකගෙ ක්ලාස් මේට්...මගෙ අතිජාත මිත්‍රය. පන්ච් මැගසින් එක ගැන මට කිව්වෙ මිනිහ. අබ්බාස් ගාව තිබිල පරන පන්ච් මැගසින් තොගයක් මම අරගෙන ගියා. අබ්බාස් ගැන වෙනම පෝස්ට් එකක්ම ලියන්න ඕන.

      Delete
    10. මේ මැගසින් එක දැන් මෙහේ නැහැ බන්. Private Eyeවගේ ඒවා නම් තියෙනවා.

      We want Abbas...We want Abbas!!

      Delete
    11. අරූ,

      ඔව් බං, පන්ච් මැගසින් එක අන්තිමට පළකරල තියෙන්නෙ 2002 දි. අබ්බාස් මට වඩා මම හිතන්නෙ අවුරුදු විස්සක්වත් වැඩිමල්.ඒත් මට කතා කලේ බොස් කියල. නියම මහත්මයෙක්.ඔය ට්‍රිනිටි සහ ගාමිණී ක්ලාස් මේට් කතා මිනිහ මට කිව්වෙ නෑ. මම වෙන විදිහකින් දැන ගත්තෙ. පස්සෙ මම ඇහුවම මිනිහ පිළිගත්ත.

      ඉංග්‍රීසි විතරක් නෙවෙයි ලෝක සාහිත්‍යය ගැනත් පුදුම දැනුමක් තිබ්බෙ. මම මිනිහගෙන් ඉගෙන් ගත්ත ගොඩක් දේවල්. සාහිත්‍යය වගේම ජීවිතය ගැනත්.

      Delete
    12. රූ,

      / ‘‘නෑ. ඒ වෙලාවේ ගහ කැපුවා නම් පොඩි ජෝජ් අතේ නෙව පොරව තියෙන්න ඇත්තේ.. අච්චර ඇපල් ගහකුත් කපලා පොරව තියාන ඉන්න පොඩි කොල්ලෙකුට මොන තාත්තද හොඳ නරක කියන්න යන්නේ.“ /

      ඒකනෙ බොලේ...හෙහ්,හෙහ්,

      " ඔව්, මම තමයි ගහ කැපුවෙ..ඉතිං මොකද කියන්නෙ? Yeah, I did cut the tree, so what ? do you have any problem with that ?"

      පොරවකුත් අතේ තියාගෙන මරුමුස් පොඩි එකෙක් එහෙම ඇහුවම කොයි තාත්තටද බං හීං දාඩිය නොදාන්නෙ?.... කතාව ඇත්ත, කතාව ඇත්ත...

      Delete
  5. කොහෙන් කොහෙන් හරි වටේ තැලුව මිස කතාවනෑ නේ...
    හිහි..
    මොනා වුණත් පට්ට කතාව....

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ගමනාන්තය ගැන ඔය හැටි හිතන්ට එපා බං...ගමන ගැන හිතපං..අනික ගමනාන්තය කියන එක කවුරුවත් අරං යන්නෙ නෑනෙ. ඒක තියනව එතන. කවදා කොහොම හරි එතෙන්ට ගියානං ඉවරනෙ....හා නැද්ද?

      Thanks Mahesh :)

      Delete
  6. //සමහරවිට රාජපක්ස මහත්තයගෙ අම්ම නග්ගවන්ට වෙන්ට ඇති..//

    ඔන්න අපේ බුද්දි අන්ස හොයාගත්තු ජාතික ආරක්ශාව පිලිබන්ද රහස් එලි කරන්නයි යන්නෙ....

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      නස්රුදීන්ගෙ මේ කතාව අහල ඇතිනෙ නේද?

      " රජ්ජුරුවො මහ මෝඩයෙක් ...."මාළිගාව ඉස්සරහට ඇවිල්ල එක මිනිහෙක් කෑගැව්ව. රාජ පුරුසයො මිනිහව අල්ලල එක්කං ගියා නස්රුදීන් ඉස්සරහට. නස්රුදීන් තමයි ඒ රටේ නඩුකාරය.

      " අවුරුදු හයක් හිරේට!!! "නස්රුදීන් තීන්දුව දුන්න. " අවුරුද්දක් රජ්ජුරුවන්ට අපහාස කලාට. අවුරුදු පහක් රාජ්‍ය රහසක් හෙළි කලාට!!! "

      Delete
    2. අද නම් කතා වැලයි++++++

      Delete
    3. Aru,

      " පොඩි දුවගේ සිනා වැලයි
      පොඩි පුතුගේ කතා පෙලයි
      ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
      මගේ නිවන මගේ පැල්පතයි "

      Delete
    4. වෙන මොනවාද බං ඕන. සෝමතිලක ජයමහ ගැයූ මේ ගීය කොච්චර නම් සෙනෙහෙවන්ත ගීයක්ද?

      ////ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
      මගේ නිවන මගේ පැල්පතයි "//////

      Delete
    5. අරූ,

      මගෙත් ආසම සිංදුවක්...ක්වාටස් ඉන්දැද්දි මම ඕක නිතරම කියනව..විශේෂයෙන් කලුවර වැටීගෙන එන වෙලාවට..ගුරුතුමී ඉස්සර ඉස්සර නම් මම ඕක කියනව බොහොම ආසාවෙන් අහගෙන ඉන්නව. පස්සෙ උන්දැට වැඩේ රීගල් උනා…

      " හ්ම්ම්ම්...ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි ...ඒක නම් ප්‍රශ්නයක් නෑ..ඒත් ඔව්ව කිය කිය ඉඳල අදත් බොන්ට එහෙම යන්ට සූදානං වෙනව නෙවෙයි ඔන්න..මම නොකිව්වයි කියන්ට එහෙම එපා…"

      Delete
    6. රවී...කියලා වැඩක් නැහැ මේ ගෑණු ගැන.. මම ඉස්සර' 'ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නැහැ'' කිය කිය ඉන්නවා. වයිෆ් අහනවා ...මොකද...අද රෑට එලියට ගිහින් බොන්නද හදන්නේ,,,නැත්නම් ගෙනල්ලා බොන්නද කියලා...

      Delete
  7. අපේ එකෙක් ඔහොම් training ඉන්න කාලේ පාරෙ තිබ්බ kerbs ගනං කොරා.

    ReplyDelete
    Replies
    1. ඇළේ,

      මොකක්ද ඌට පැවරිච්ච වැඩේ?

      Delete
  8. මරු ගස් නැගිල්ල.................... ඒ වගේ ම මරු ගස් මැනිල්ල....

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී......,

      මොනවද මේ කතා?...හෙහ්,හෙහ්,

      Delete
  9. ගස් නැගලම උන්ගේ දෙයියෝ පල් වෙලා තියෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. නලින්,

      ගස් නැග්ගම එහෙම වෙනවය? ...

      Delete
  10. //ඒකෙං කියවෙන්නෙ ඕනම කුරුල්ලෙක්ගෙ තටු ගැලෙව්වම ඔක්කොමල එකයි කියන එක... //?
    Every cat is grey in the dark?

    ReplyDelete
    Replies
    1. Pra,

      Two of my very favourite quotes about dogs & cats …:)

      Outside of a dog, a book is a man's best friend. Inside of a dog it's too dark to read. - Groucho Marx

      Women and cats will do as they please, and men and dogs should relax and get used to the idea. -  Robert A. Heinlein

      Delete
    2. “I am fond of pigs. Dogs look up to us. Cats look down on us. Pigs treat us as equals.”
      ― Winston Churchill

      Delete
    3. Money can buy you a fine dog, but only love can make him wag his tail.
      කිව්වේ කවුද දන්නේ නැහැ. කතාව ඇත්ත.

      Delete
    4. Aru,

      / Money can buy you a fine dog, but only love can make him wag his tail. කිව්වේ කවුද දන්නේ නැහැ. කතාව ඇත්ත./

      Kinky Friedmen

      This is about dogs too. :)

      Watching a baby being born is a little like watching a wet St. Bernard coming in through the cat door. - Jeff Foxworthy

      Delete
    5. ෂා...එක මරු!!
      St. Bernardලා ශෝක් බල්ලෝ බන්. අපි ඉස්සර හිටිය ගෙදරට එහා පැත්තේ ගෙදර හිටියා එකෙක්.

      Delete
  11. //මයෙ හිතේ ලංකාවෙ ඉස්සොරෝම චීන කොම්පැණියකට කියල ආවෙ ඒ ගොල්ල.// එහෙනං රවීල තමයි ලංකාව චීනෙට විකිණිමේ පූරවගාමියො. :D

    //විමලෙයි මායි මූණෙං මූණ බලාගත්ත.// විමලෙද අජිත් ද?

    කොහොම හරි බැදපු කුකුළ ගේනකොට බෝතල් දෙකක් විතර හිස් වෙලා තියෙයි මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      අජිත් නෙවෙයි බං විමලෙ තමයි, මම මේ පසුබිම් විස්තරේනෙ තාම, අජිත් තමයි පිළිස්සූ කුකුළට සම්බන්ධ, අජිත් ගැන කියන්ට ගිහිල්ල තමයි ඔය එන්ටර්ටේන්මන්ට් සීන් එක ඇදිල ආවෙ. එතකොට තමයි අර හෝල් එකේ කට කන කතන්දරේ ආවෙ.එතන ප්‍රධාන භූමිකාව කේබීගෙනෙ. මේ කියන්නෙ කේබීගෙ තව කතාවක්. මෙව්ව උනේ කලින් ..මම විමලෙ එහෙම එක්ක ඉන්දැද්දි. ඒ නිසා ඔතන ඉන්නෙ විමලෙ... අජිත් නෙවෙයි...:)

      Delete
    2. කුකුළා තවම හම ගහනවා බං.. බයිට් එක එන්ට තව ටිකක් වෙලා යයි.. ඒක තමා රවියා ඔය යාන්ස් පාරක් දාගෙන කල් මරන්නෙ.. දැනට කඩල ඇටයක් හපන ගමන් ලාවට වගේ නවාගනිල්ලා..

      Delete
    3. බූරා,

      නෑ බං කුකුලා රෙඩි...ඔන් ද වේ..ඔන් ද වේ...:)

      Delete
  12. ඕං මං ‍නොකිවයි කියන්ඩ එපා මේක කියවන එව්වොන්ට.. මේ තලන තැලිල්ලෙ හැටි‍ය‍ට රවී අයිය තලල තලල තලල තලල අන්තිමට විමලෙයගෙ වාංපතුල් කතාව ලිව්වාම අපිට කියවන්ඩ වෙන්නෙ මැරිල අපායෙ ඉඳං තමා....
    ඈ බොලෙ රවී අයියෙ, මං මේ ‍මේක කියවන ගමං කල්පනා කළේ උඹ ලියන එව්වට දාන මාතෘකාවෙ කියල තියෙන දේ තමා ඒ ලියන එකේ නැත්තෙම.. :-D
    ඒකෙත් හැටි හැබෑට??

    ReplyDelete
    Replies
    1. Janu,

      / අපිට කියවන්ඩ වෙන්නෙ මැරිල අපායෙ ඉඳං තමා.... /

      අන්න ඒක හොඳයි...උඹ දැනටම දන්නව වල කජ්ජ ගහපු දවසක උඹට යන්න වෙන්නෙ කොහාටද කියල...තමන් ගැන තමන්ම එහෙම තක්සේරුවක ඉන්න එක බොහොම අගය කල යුතු ගුණාංගයක්.

      Delete
  13. යකෝ අන්දරේ තන මැන්නා හොඳයිනේ

    කොට දිග මහත රවුමට උල් වෙච්චි තන
    ගැට වට අලුත් හා කල් ගිය පරණ තන
    මට මැන ගන්න මහා රජුගෙන් ලැබුණි අණ
    පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන

    ReplyDelete
    Replies
    1. නිශාන්ත,

      ඇන්ඩෲගෙ කවිය මරු...

      කුමාරතුංග මුනිදාස මහත්මයත් ඔය වගෙ කවියක් කියල තියනව. එක පාරක් රැස්වීමදි මහත දෙහෙත කාන්තාවක් හිටියලු තිසරු එහෙම එලියට පනින්න ඔන්න මෙන්න තරමට හැට්ටයක් ඇඳගෙන. මේ නෝනා මුනිදාස මහත්තයට අභියෝගයක් කලාලු පුලුවන් නම් ලඝු අකුරු වලින් විතරක් හිටිවන කවියක් කියන්නෙයි කියල. ( ඒ වගෙයි මට මතක..සම්ටයිම්ස් අයි මේ බී මිස්ටේකන් ) එතුමා ගත් කටට්ම කිව්වලු " අනේ පණේ තනේ පෙනේ"කියල ...

      Delete
  14. අනේ මන්දා බං අපිට ආරංචි වුනේ ඔය ඩයලොග් එකේ 'පැන්ටා උගුර' වෙනුවට 'පැන්ටා කුප්පියක්වත් ඇන්න දුන්නේ නෑනේ' කියලා.

    මේක මේ නෙවාඩා වගේ පැත්තක තියෙන පට්ට පාලු කාන්තාර පාරක් හරි?
    ඔය උඹලෑ පොර වගේම පොරක් ගිහින් පාරේ සුදු ඉර අඳින ටැම්පරියක් කරන්න. අර දැන් වගේ මැෂීන් එකෙන් ඉර ගහන කාලේ හෙම නෙවෙයි මේ හරිද? ඉතින් පොරට දීලා තීන්ත බාල්දියයි බුරුසුවයි අවශ්‍ය අඩුම කුඩුමයි. පොර හවස ඇවිත් වාර්තාකරලා සල්ලිත් අරං ගිහිල්ලා. දෙවෙනි දවසෙත් ඇවිත් උදෙන්ම බාල්දියයි බුරුසුවයි අරන් ගිහිල්ලා හවස ඇවිත් ඇඳපු දුර කියලා සල්ලි අරං යනවලු. සුපර්වයිසර් කාරයට තේරුණාලු මොකක්දෝ අවුලක්. ඒ මොකද මූ පළවෙනි දවසේ ඇන්ද ඉරි ප්‍රමාණයෙන් බාගයකටවත් සල්ලි අරන් නෑලු දෙවෙනි දවසේ තුන් වෙනි හතර වෙනි දවස් වෙනකොට ඉරි ඇන්දා කියන දුර හෙන අඩුයිලු. පස්සේ හොයලා බැලින්නම් පොර ඉර අඳින්නේ තීන්ත බාල්දිය මුලින්ම තිබ්බ තැන තියාගෙනලු. බුරුසුවට තීන්ත ටිකක් පොඟවාගෙන ඉර අඳින තැනට ගිහින් තීන්ත ඉවරවෙනකොට ආයෙම බාල්දිය තියන තැනට ඇවිදගෙන එනවලු පොර බාල්දියේ ඔබාගෙන යන්න.. වැඩිපුර වෙලාව ගිහින් තියෙන්නේ මේ ගමනටමයි.

    ඇත්තටම ඔය ලොජික් එකට වැඩ කරන උන් අනන්ත හම්බවෙනවා බං ජීවිතේදි.

    අර ගමේ පොර චේන්සෝ එකෙන් දර කපපු කතාව මම වතාවක් කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹ කිව්වෙ නෑ

      Delete
    2. එහෙමද හැලපේ? එහෙනම් මේන්න. ගත්තේ මෙතනින්:
      අමෙරිකාවෙ ග්‍රාමීය පලාතක ජීවත් වුන එක බුවෙක් දර කොට කපලා අට්ටි ගහන එක කලේ. මේක ඉතින් පණ යන වැඩක් කියලා කියන්න ඕනෙ නෑනෙ. හවස බාර් එකට ගිහිල්ල බොන අතරෙදි හම්බවෙච්ච යාලුවෙකුට මේකා මේ දුක කිව්වා.

      ” බලපං මචං, උදේ ඉඳල නැහිලත් දර අට්ටි දෙකයිනෙ කපලා ඉවර කරන්න පුලුවන් දවසකට.

      “උඹ මොකෙන්ද කපන්නෙ?” යාලුවා ඇහුවා.

      “කියතෙංනෙ බං, වෙන මොකෙන්ද?”

      “කියතෙං ඔයිට වැඩිය කරන්නෙ කොහොමද? ඉතින් ගනිංකො චේන් සෝ එකක්. පට් පට් ගාලා දෙන්න පුලුවන්නෙ වැඩේ බබා වගෙ”

      අපේ බුවා ඉතින් හාඩ්වෙයා එකට ගිහින් ගත්ත චේන් සෝ එකක් සල්ලි සල්ලි කියලා බලන්නැතුව.

      අරන් ගිහින් සතියකට පස්සෙ බුවා ආවා හාඩ්වෙයා එකට ආපහු චේන් සෝ එකත් අරගෙන, මල පැනලා.

      “මොකක්ද ඕයි මේ බම්බුව. මට මේක රිටර්න් කරන්න ඕනෙ.”

      “දැන් මොකක්ද සර් මේකෙ අවුල?” කඩේ එකා ඇහුවා.

      “මම මේ මගුල නැතුව නිකං කියතෙං කපන කොටත් දවසකට දර අට්ටි දෙකක් කපනවා”

      “අහා?”

      “මේ චේන් සෝ මගුල ගෙනිහිං ඕං පලවෙනි දවසෙ නම් අමාරුවෙන් අට්ටි දෙකක් ගොඩ දාගත්තා”

      “ඉතින් සර්”

      “දෙවෙනි දවසෙ මට උණ වගෙ. යාන්තම් අට්ටි එකහමාරක් කපාගත්තා.”

      “පුදුමයිනෙ සර්”

      “ඒක තමයි ඕයි. දවසෙන් දවස එන්න එන්න අමාරුයි. ඊයෙ කැපුවෙ දර අට්ටි කාලයි. මගේ මුළු ඇඟම ඇදුම් කනවා ඕයි”

      “මම ඇහුවමයි මෙහෙම කතාවක්. ඕක පොඩ්ඩක් දෙන්න බලන්න සර්”

      අපේ බුවා තිබ්බා චේන් සෝ එක කවුන්ටර් එක උඩින්. කඩේ බුවා චේන් සෝ එකේ කෝඩ් එක ඇදලා එංජිම ස්ටාට් කරා. එංජිමත් ‘බ්බ්බ්බෲම් බෘම් බෘම් බෘම්’ ගාලා බබා වගේ ස්ටාට් වුනා.

      අපේ පොර බයවෙලා පස්සට පැනලා,

      “අම්මට හුඩු!! මොකක්ද ඒ සද්දෙ?” කියලා අහපි.



      Delete
    3. හෙහ් හෙහ් අද කතා ලෝකයයි... :)

      Delete
    4. පිස්සු හැදෙනවා ඩූඩ්. අද කතා අහලා පට්ට ආතල්. රවියා මොනවා ලිව්වාද කියලත් මතක නැහැ.

      Delete
    5. හෙන්රි,

      මටත් ඔය වගෙ දේවල් අනන්ත වෙලා තියනව බං....හෙහ්,හෙහ්, මේ ළඟදිම උනේ ෂැම්පු බෝතලේක සීන් එකක්..ඉඳපං ඒක මෙහෙම කිව්වම ගතියක් නෑ...සම්පූර්ණ විස්තරේම ලියන්නංකො...

      Delete
  15. තව ටිකක් කැලේ ඇතුළට යද්දී කුකුළා හම්බ වෙයි නොවැ,ඒ නිසාවෙන් කළබල වෙන්න හෙම කාරියක් නෑ ගමන් අල්ලලා නේ තියෙන්නෙ.අඬලද්දී ආවත් බලාගන්න පුළුවනි.නැද්ද රවී

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඒකනෙ බං මේ අද හැදෙන ගැටව්, ගැටිස්සියන්ට නෑනෙව ඉවසීම කියන එක ගෑවිලාවත්. " ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් ඇති තැනටමයි බත් " ..ඔව්ව අහලවත් නැතුව ඇති මුං...හෙහ්,හෙහ්,

      70-77 කාලෙ අපි වගෙ පෝලිංවල තැපල පලපුරුදු උදවිය නෙවෙයි නෙව. ඔක්කොම ඕන ඉන්ස්ටන්ට්...ඉන්ස්ටන්ට්...:)

      Delete
  16. ඇ බන් අයියෙ උබටම මොකො මෙව හකින්න ලැබෙන්නෙ.
    දැන් කුකුල පුලුස්සල ඉවරද

    ReplyDelete
    Replies
    1. Damith,

      / ඇ බන් අයියෙ උබටම මොකො මෙව හකින්න ලැබෙන්නෙ /

      ඒ බං ...උඹ අකුරු වරද්දල මොකක්ද මේ අහල තියෙන්නෙ? එහෙම එකක් කරන්න මට ලැබුනය කියල කොහෙද බොල මම කියල තියෙන්නෙ මෙතන? :)

      Delete
    2. හපොයි බොලාගෙ කැත හිත.ඔතෙන්ට 'හ' යන්න වෙනුවට 'ද' යන්න දා ගත්තනම් හරි.

      Delete
  17. මදැයි බොගේ වචන විශ්වාස කරලා ආවා වාන් පතුල් කියවන්න. අර ජනුවා කියනවා වගේ අපිට විමලේගේ වාන් පතුල් කියවන්න වෙන්නේ එහා ලෝකෙන් තමයි.
    මම කියන්නම් අපි කලෙක්සන් එකක් දාලා බොට කීයක් හරි එකතු කරලා දෙන්නම් සුමානයක් නිවාඩු දාලා ඔය වාන් පතුල ඉවර කරන්න බැරියැ රවියට.

    ReplyDelete
    Replies
    1. රංගි,

      / අර ජනුවා කියනවා වගේ අපිට විමලේගේ වාන් පතුල් කියවන්න වෙන්නේ එහා ලෝකෙන් තමයි. /

      උඹට ඔච්චර ලහිනං ජනුවගෙම්ම අහගං...:) ඒකි දන්නව වාංපතුල් සීන් එක...

      නෑ බං බලාපං ..අර එළුවගෙ මොකද්ද එක වැටෙනකල් පස්සෙං ගිය නරිය වගෙ මෙහෙම වාංපතුල් පස්සෙං යන එකත් මොනතරං ආතල්ද? හා..මම කිව්වට පොඩ්ඩක් හිතල බලහං...නෑ මම මේ නිකමට වගෙ කියන්නෙ...

      Delete
  18. මම මේ නොදන්නා කමට අහන්නේ මොකක් ද ඔය වාංපතුල් කතා කියන්නේ..? කොයි විදයට හරවල බැලුවත් තේරුම් ගන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔය වාංපතුල් සීන් එක මෙහෙමයි. ඔය විමලය ඇවිල්ල මොකෑලන්තෙ..මොකෑලන්තෙ එවුං ඕන එකකට මොකෑ????? ...නැත්තං මොකෑ බොල???? කියල තමයි කියන්නෙ. විමලයගෙ මරු වචන සෙට් එකක් තිබ්බ. ඕකා සෙරෙප්පු වලට කියන්නෙ වාංපතුල් කියල.

      වාං පතුල් කියන්නෙ මුව හෝ ගෝණ හං පදං කරල පටි දෙකකින් ගැට ගහන්ට හදාගත්තු සපත්තු වලට. මොකෑලන්ඩර්ස් යූස් දෙම් වෙන් ගොයිං හන්ටිං ඕ වෙන් ගොයිං ටු දෙයාර් චේනාස්..අන්ඩර්ස්කර්ට් පැතුම්? රයිට් ඕකේ යූ අන්ඩස්කර්ටඩ්.

      විමලෙගෙ ඔය වාංපතුල් කතාව නිසා එක පාරක් මට හරි ඇබැද්දියක් උනා. අවුරුදු දෙහෙකට වගෙ ඉස්සෙල්ල මේ කතා මාලාව පටන් ගත්තෙ විමලෙගෙ ඔය වාංපතුල් කතාව කියන්ට කියල හිතාගෙන තමයි.ඒත් රටේ නැති බහුබූත කතා ලියන්ට ගිහිල්ල තාම ඒ වාංපතුල් කතාව ලියන්ට බැරිඋනා. අන්න ඒකයි මල්ලි මහා වාංපතුල් අර්බුදය!!!.

      Delete
    2. ඒ කියන්නේ අපි පස්සේ රසිකයෝ වුනාට අවුලක් වෙලා නෑ.. හෙහ් හෙහ් හොඳ ටික තාම මඟ වගේ.. :)

      Delete
  19. තව එකක් කියන්න අමතක උනා,හස්වල උස තිතට නූලටම මනිනවා වගේම කතාවට නූලටම ගැලපෙන පින්තුරයක් රවී හොයාගෙන තියෙනවා.අනේ අම්මපල්ල මේ කතාවටම ඇන්දා හේ ටක්කෙටම ගැලපෙනවනේ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      Google Images වල Measuring height of a tree කියල සර්ච් කලාම පටගාල ඕක ආව බං....හෙහ්,හෙහ්,

      Delete
  20. ගර්ත් එක කියන්නෙ මොකද්ද කියල මිනිහ දන්නෙ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. ඉසුරු,

      ඒකනෙ වෙලා තියෙන්නෙ....:)

      Delete
  21. මේ රවීයියාගේ කතා සෙට් එකේ මම ආසම කැටගරිය තමයි මේ "වාන්පතුල් සීරිස්"එක.
    ඉතිං ඔයින් පස්සෙන්දාත් තුන්දෙනාම ගියැයිද ගස් වල උස මනින්නට..?

    ReplyDelete
    Replies
    1. මටත් අහන්න ඕනවුනේ ඕකම තමයි බන්.

      Delete
    2. මනෝජ් සහ අරූ,

      මම ඉතිං ඇවිල්ල විමලෙය එක්ක විස්තරේ කිව්ව. වැඩේ කේබියට ඕක කෙලිම්ම කියන්ටත් බෑ. මූලවාත කාරයනෙ. අපි දෙන්න කලේ ඕක කාමරේ ඉන්දැද්දි ඕකට ඇහෙන්ට සාලෙ ඉඳගෙන හයියෙං කතා කර කර හිටිය.

      " මචං වීරෙ මොකෝ බං ඔය කැලේ සුද්ද කරනකොට ගර්ත් එක අහවල් ගාණට වැඩි ගස් අච්චරක් ඉතුරුකරන්ට ඕනය මෙච්චරක් ඉතුරු කරන්ට ඕනය කියල කොන්දේසියක් දාල තියෙන්නෙ? "

      " ඒ විමලෙ අයියෙ මෙහෙමයි, වට ප්‍රමාණය එක ගාණකට වැඩි ගස් ප්‍රමාණයක් ඉතුරු කරන්න කියන්නෙ පරිසරය ආරක්ෂා කර ගැනීමක් විදිහට. අනික හිතපං දැං වට ප්‍රමාණය අඩි දෙකක් වෙන ගහක් ආයෙම හැදෙන්ට කොච්චර නම් කල් යයිද? අන්න ඒකයි ඔය ගර්ත් එක අච්චරයි මෙච්චරයි කියල කොන්දේසියක් දාල තියෙන්නෙ. "

      අපි ඔහොම කතා කර කර ඉන්දැද්දි කේබිය මීය වගෙ ඇවිල්ල අපි ඉස්සරහ ඉඳගෙන කතාවට හොඳට ඇහුං කං දෙනව ඔන්න. අපි ඌ දැක්කෙ නෑ වගෙ අපේ කතාව කරගෙන ගියා. පහුවදා දෙක වෙනකොට කේබිය ගර්ත් මැනල ඉවර කලා.

      පහුවදා මට පේමසිරිය හම්බ උනා…

      " මොකෝ පේමසිරි උඹල ඊයෙම වැඩේ ඉවර කලා නේද? දැං ඉතිං ගස් නඟින්ට පුරුදු හින්ද වැඩේ ඉක්මනට කෙරෙන්ට ඇති.."

      " මොන පිස්සුද මහත්තය. ඊයෙ අපි මැන්නෙ ගස්වල වට විතරයි උස මැන්නෙ නෑ.."

      " ඈ? ඒ මොකෝ බං හිටපු ගමං?....උඹ ඇහුවෙ නැද්ද කේබී මහත්තයගෙං මොකෝ මේ කියල"

      " මොකෝ නැතුව . ඇහුව ඇහුව "

      " ඉතිං මොකෝ කිව්වෙ..?"

      " අනේ බං රාජපක්ස ලොක්කට බම්බු ගහගන්ටෙයි කියාපං..මෙහෙම ගස් උඩ නැඟල දල්ලෙ ගිහිල්ල උස මනින්ට මොකෝ අපි ආය වඳුරොය..ඔන්න ඔහෙ වට විතරක් මැනගෙන යමු ඒ ඇති.."

      " එතකොට මහත්තය ප්‍රශ්නයක් වෙයිද? මම ආයම ඇහුව.."

      " හුහ්..උඹ බය නැතුව ඉඳහංකො ප්‍රශ්ණ ආවොත් මම එව්ව බලාගන්නං..උඹ මම කියන විදිහට කරපං..ඔන්න ඔහොමයි කේබී මහත්තය කිව්වෙ.."

      Delete
    3. කේබී මහත්තය ගහේ පොරක්නේ අරූයියේ බලාන ගියාම එහෙනම්...:D

      Delete
    4. 'කේබියා ගස් මැන්නා වගේ' කියලා උපමාවක් හදාගත්ත හැකිනේ බන්.

      Delete
    5. අරූ,

      " කේබිය ගර්ත් එක මැන්න එකේ අනික් එක තමයි ඒක "…. එහෙම අපි කිව්ව එදයිං පස්සෙ…:)

      Delete
  22. මට මැවිලා පේනවා බන් ප්‍රේමසිරියාව. කේබියාව මරන්න හිතෙන්නැති. අර හැලපේ කියනවා වගේ..කතාවටම හරියන ෆොටෝ එක. මට ඒකේ ගහ මුල ඉන්න එකාව දැක්කාම කේබියා මතක්වෙලා හුස්ම හිරවෙනවා හිනාවෙලා.

    මමත් ඔය පැත්තේ කැළෑවක හිටියා බන් ටික කාලයක්. කොයි හරියෙද කියන්න හරියටම මතක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      / මමත් ඔය පැත්තේ කැළෑවක හිටියා බන් ටික කාලයක්. කොයි හරියෙද කියන්න හරියටම මතක් වෙන්නේ නැහැ. /

      උඹ දවසක් කිව්ව මට මතකයි මාළිහාවත්ත ලීමෝලෙ කොන්ත්‍රාත් එකක වැඩ වගේකට ගියාය කියල. මචං උඹල ඉන්න ඇත්තෙ මනම්පිටියෙන් මහියංගන පාර දෙපැත්තෙ තිබ්බ සයිට් එහෙක. මම හිටියෙ තව මඩකලපුව පැත්තට වෙන්න. ඒ හරියෙ නම් මාළිගාවත්ත ලී මෝල් කාරයො කන්ට්‍රෑක්ට් කලේ නෑ මට මතක විදිහට.

      Delete
  23. කතාවටම ගැලපෙන චිත්තරයක් හොයාගත්ත එකයි වැඩේ..!!
    කොහොම වුනත් ඔය විදිහට ගියානං චීන කොම්පැනියට සල්ලි ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි.

    ReplyDelete
    Replies
    1. රූ,

      / කොහොම වුනත් ඔය විදිහට ගියානං චීන කොම්පැනියට සල්ලි ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි. /

      එහෙනං එහෙනං තව දවසක් පහු උනානං එහෙම ලොක්ක අනිවා අහනව

      " කිරිබණ්ඩ... මොකෝ මනුස්සයො තාම ඔය පොඩි වැඩේ ඉවරයක් කරන්ට බැරි උනාද?" කියල..

      එහෙම ඇහුවනං එකත් එකටම කේබියට මල පනිනව..

      " මේ බොස්...බොස් නං කියයි...බොස් හිතන්නෙ ගර්ත් එක මනින එක සෙල්ලං කෙලියක් කියලද? මේ දඩ හුළඟෙ ගහේ දල්ලට නඟින්ට ඕන. එතන ඉඳල අතු අස්සෙං ටේප් එක ලම්බකව පාතට දාල හරියට සිරස්ව අල්ලල උස මැනගන්ට ඕන. බොස් නං කියයි ලේසි වැඩ කියල. වැඩේ කරන්ට ගිය මිනිහනෙ ඒකෙ රඟේ දන්නෙ..."....හෙහ්, හෙහ්, හතර විළි ලැජ්ජාවයි එහෙම උනානං...

      Delete
  24. ලොක්කා තේරෙන බාසාවකින් කියන්න එපාය. ගර්ත් එකද අරකද මේකද කියන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඒකනෙ බං කියන්නෙ..මම හිතන්නෙ ලොක්ක දන්නෙ නෑ ගර්ත් එකට සිංහලෙං කියන්නෙ විෂ්කම්භය කියල...ඒකයි වෙන්න ඇත්තෙ...:)

      Delete
    2. විශ්කම්භයද, වට ප්‍රමාණයද..!?

      යකඩෝ බැරි වෙලාවත් ලොක්කා ගස් වල 'විශ්කම්භය' මනින්ට කියලා කිවුවනං එහෙම කේබී ගස් ටික කපලා තමා විශ්කම්භය මනින්නෙ..

      Delete
    3. පරිධිය තමා ගණං වලදි භාවිතා වෙන්නේ... පරිධිය මනින්න කිව්වා නම් මොනවා මනීද දන්නෙ නෑ :)

      Delete
    4. හික් හික්...ඔන්න අපේ රවී අයියගේ වැඩ...
      වැරදිලාවත් ඔය වැඩේ කේ බී ට නැතුව රවී අයියට බාර දුන්නනම් අර බුරතිනෝ කියපු එක තමා වෙන්නේ...:ඩී. එක්කෝ ගහ මැදින් හිලක් විදීවි

      Delete
  25. Niyama Kathawa..............Hodata Rasa winda

    ReplyDelete
  26. Mama godak blogs kiyawanawa . Eth comment karala nam na..eth mekatanam comment nokarama ba...harima lassanai ayye..katha okkoma kiyewwa ..masekata wada giya..aparade adin passe ithin aluth ekak danakal bala inna wenawa..mama kiyawapu lassanama blog eka. Ayyage katha nam niyamai..

    ReplyDelete
  27. අනේ බන් ඔය ගර්ත් මගුලක් නිසා හැමදාම කොන්ත්‍රාත් කාරයෝ අපිත් එක්ක ඇර ගන්න එනවා . ලංකාවේදීත් එහෙමයි ගස් නැති රටක් වෙච්ච මෙහෙත් එහෙමයි.
    කතා පෙළ හා පරිකතා ඇතුළත් කොමෙන්ටු පෙළ අති රහයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...