Saturday, April 23, 2016

408.දතට කිරුළ නොහොත් Crown For My Tooth.


මම ඔය දත් පිරෙව්වෙ ක්‍රවුන් දැම්මෙ එහෙම මෙන්න මෙතන

අද ලියන්ට යන්නෙ තනිකරම දත් ගැන.එහෙම ලියන්ට උත්තේජනයක් නොහොත් ගැම්මක් ආවෙ මේ පහුගිය සතියෙ මට දත් දොස්තර ගාවට යන්ට සිද්ද වුන හින්ද. මයෙ දත් වහල්ලෙ අප්සෙට් තැන් තුනක් තියනව. එකක් උඩු ඇන්දෙ දකුණු පැත්තෙ පිටිපස්සෙ ඉඳල ම්ම්ම්ම්..ඉන්ටලාකො පොඩ්ඩක් බලන්ට කට වඩබා මුකේ වගේ ඇරගෙන දකුණු දබරැඟිල්ල කටේ ගහගෙන උඩු ඇන්දෙ පිටිපස්සෙ ඉඳල දත් ගනං කරගෙන එන්ට එපාය පණුවො කාපු දත කීවෙනි එකද කියල බලන්ට. ඔය අස්සෙ අර මේ ගෙදර ඉන්න පොඩි වසවර්තිය ආවොත් මේකෙ වසල හමාරයි. ගමටම ඇහෙන්ට කෑගහයි මෙන්නෝ රවි අංකල් කට ඇරගෙන කටේ ඇඟිල්ලකුත් ගහගෙන මොනවද කරනවෝ කියල

හරි අදාල දත ඇවිල්ල හක්කෙ පිටිපස්සෙ ඉඳල ගණං කරගෙන එනකොට හතරවෙනි එක. රයිට් ඔය දත පණුවො කාල පුරවගන්ට උනේ මම අර කැළේ මැද රස්සාවට ගිය අලුතම වගෙ. ගිහිල්ල ඕනනම් මාස හත අටක් යන්ට ඇති වැඩිම.එහෙ රස්සාවට ගිය අලුතම මට නොසෑහෙන්ට ඔය එක එක අසනීප හැදුන.එහෙම තමයි ඉතිං. හා පුරා කියල ඒ වගෙ දුෂ්කරපළාතක වැඩට ගියහම ඔය වගෙ නොයෙක් ලෙඩ දුක් අතුරු ආන්තරා වලට මූණ දෙන්ට වෙනව. එහෙම මූණ කට දීල තමයි අපේ සරීරෙ ඔය කෝකටත් ඔරොත්තු දෙන්ට හැඩ ගැහෙන්නෙ. එහෙම නැත්තං පත්තියං වෙන්නෙ.

වැඩට ගිහිල්ල මාසයක් යන්ට කලිං මට හැදුන ලැට් ඩෝස්.අප්පටසිරි ආය ඕනම නෑ.මගෙ අන්තිම එපාම කරපු හතුරට උනත් මම ප්‍රාර්තනා කරන්නෙ නම් නෑ ලැට් ඩෝස් හැදෙන්ඩයි කියල.ලැට් ඩෝස් එකෙත් තියනව කැටගරීස් තුනක්. මට හැදුනෙ උපරිම දරුණු එක.හරි ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නං. නැත්තං අද මේ කියන්ට ආපු කතාව කියන්ට බැරි වෙනව. 

හරි ඊළඟට මට හැදුන ඇපෙන්ඩිසයිටිස්. ඒ පාර වහාම ජීප් එකක් කතා කරගෙන ආව මහ රෑම ගෙදර. මොකද ඒ දවස්වල ඇපෙන්ඩිසයිටිස් ඔපරේෂන් කලාම දැන් වගෙ පහුවදාම ටිකට් කපන්නෙ නෑ, දවස් තුනක් ඇඳේම ඉන්න ඕන.ඉතිං ඔය දවස් තුනට කවුරුහරි ලඟ ඉන්ටත් එපාය. එහෙ කවුද ඔව්ව කොරන්ට ඉන්නෙ? ඒ හින්ද රෑම ගෙදර ඇවිල්ල පහුවෙනිද පාන්දරම නුවර ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා එදාම හවස ඔපරේෂන් කලා. ඒකත් අපූරු කතාවක්..ආයම දවසක කියන්නංකො

ඊලඟට ඔන්න දතක අමාරුවක් ආපි. අප්පේ මොන විදිහටවත් ඉන්ට නම් බෑ. ඒ පාර ඔය කුරුඳු තෙල් අනම්මනම් ගොඩ වෙදකම් කරල රෑ ජාමෙ ගෙවාගෙන පහුවදා පාන්දරම ඒත් ආව නුවර. ඇවිල්ල නුවර ඔර්ලෝසු කණුව ලඟ ඒ කාලෙ තිබ්බ ඩෙන්ටල් සර්ජරි එකක්. දැං ඔය ෆැෂන් බග් එකද මොකක්ද ඇඳුම් කඩයක් තියෙන්නෙ. අන්න එතන උඩ තට්ටුවෙ. පල්ලෙහා තට්ටුවෙ ඒ කාලෙ තිබ්බෙ බ්‍රිටිෂ් කවුන්සිල් එක. බ්‍රිටිෂ් කවුන්සිල් එක පැත්තකින් උඩට යන්ට තිබ්බ පඩි පෙළක්. ඒකෙ නැඟල යන්ට ඕන ඩෙන්ටල් එකට. ඩොක්ටර්ගෙ නම වීරකෝන්. මම ඉතිං ඔතනට ගිහිල්ල අර අප්සට් දත සුද්ද කරල පුරව ගත්ත.


දැං ඉතිං ඔය දත පිරවිල්ල අවුරුදු තිහක් තිස්සෙම නිරුපද්‍රිතව තිබ්බ නිකං බබා වගෙ.ඔය කාලය ඇතුලත ඒ දතෙං හපල මොන මොන දේවල් නම් වළඳන්ට ඇද්ද?එහෙම බොහොම දීර්ඝ කාලයක් නිහඬව සේවය කරපු ඒ දතේ අර පුරවපු එකෙං කෑල්ලක් මේ සති දෙහෙකට වගෙ ඉස්සර කැඩිල පලච්චි.සිකුරාද දවාලක පොඩි එකක් ගන්න ගමං මස් කෑල්ලක් හපද්දි ඥරස් කියල අර දතේ පිරවිල්ලෙං කෑල්ලක් කැඩිල මස් කෑල්ලත් එක්කම ගලනාලය සහ ස්වරාලය හරහා පිත්තාසෙ දක්වාම පල්ලම් බැස්ස.

ඉතිං මොකද කරන්නෙ? ආය ඉතිං මක්ක කියල කොරන්නෙයි? තව ටිකක් ගහල කාල නිදාගත්ත. දත පුරවපු එකෙං බාගයයි කැඩුනෙ. ඒ හින්ද ඒ හැටි අවුලක් එහෙම නම් නෑ. ඒත් ඉතිං කනකොට එහෙම සෑහෙන අපහසුවක් වගෙ දැනෙනව. ඒ හින්ද මම හිතාගත්ත මේ මාසෙ පඩි හම්බ වුන ගමන් ගිහිල්ල ඕක පුරව ගන්නවයි කියල. මෙහෙ ඔය වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අස්ප ගණං. ආණ්ඩුවෙයි මහා පරිමාණ කොම්පැණි වලයි වැඩ කරන උදවියට නොමිලේ එව්වයිං දෙනව මෙඩිකල් ඉන්ෂුවරන්ස්. එහෙම තියනවනම් ඉතිං කල්ල මරේ තමයි.ආය මොනවද යම්තමට දවස් දෙකක් එක දිගට ඇහිබැමේ මස් නැටුවද පහුවදාම ගියා දොස්තර කෙනෙක් ගාවට.

ඔය වගෙ මෙඩිකල් ඉන්ෂුවරන්ස් තියෙන මගෙ යාලුවෙක් ඔය කාගෙද ලණුවක් කාල ගිහිල්ල දොස්තර ගාවට. මිනිහට තියෙන ප්‍රශ්නෙ අර අරව තියෙන්නෙ...අරව කිව්වෙ අරව ...අර දෙකක් තියෙන්නෙ..අන්න හරි එව්ව තමයි.... එව්ව තමයි ඔය දන්නෙ...එව්වයිං එකක් අනිකට වැඩිය පාතලු.ඇත්තටම කියනවනම් ස්වාභාවිකවම එහෙමයිලු පිහිටල තියෙන්නෙ. ඔන්නම් තමන්ටම සෙල්ෆ් ඩයග්නෝසිස් එකක් කරලත් තහවුරු කර ගත්තෑකි. හරි හරි දැම්ම ඕන නෑ..ඒක පස්සෙ කරගන්ටලා. දැන් මේ මගෙ කතාව කියවල ඉන්ට. තව විනාඩි දහයක් පළහක් ගියයි කියල එව්වයෙ මොකවත් වෙනසක් වෙන එකක් නෑ. පාත්වෙලා තියෙන එව්ව එහෙමම පාත්වෙලා තියේවි.ඉස්සිලා තියෙන එව්වත් ඒ විදිහටම ඉස්සිලා තියේවි.

හරි ඉතිං මගෙ අර ඉන්ෂුවරන්ස් තියෙන යාලුවා ගියා දොස්තර ලඟට. දොස්තර දන්න විදිහට කිව්ව බය වෙන්ට දෙයක් නෑ. ඔය ඔව්ව කුට්ටම තියන විදිහම තමයි කියල. මොන? මූ කියන එක අහන්නෙම නෑ. එතන පැල් බැඳගෙන කනිපින්දම් කියනව. ඒක ලෙඩක්ලු. ටෙස්ට් හත අටක් කරන්ඩලු. ඉන්ජෙක්ෂන් ගහන්ටලු එක වැඩයි. බැරිම තැන ඩොකාට යකු නැඟල මූට බැණල එලවගෙන.හෙහ්

ඔය සීන් කෝන් එක ආරංචි වෙලා උගෙ යාලුවො ඔක්කොම යන්ට පටංගති දොස්තර ලඟට. ඒ ඔක්කෝටම තිබ්බ අසනීපෙ අර ලෙවල් මට්ටම් දෙකේ ප්‍රශ්නෙ. බැරිම තැන දොස්තර ගැහුව නෝටිස් එකක් දොරේ.

For The Information Of All Sri Lankans - 

Those two are naturally NOT ON THE SAME LEVEL. As such please refrain from bothering me or my staff complaining about level differences. In fact you should consult me if they are on the same level. 

ඉතිං ඒ මට්ටම් දෙකේ ප්‍රශ්නය පිළිබඳ අතුරු කතාවෙන් ඉක්බිති ආපසු පෙරළා එමු මගෙ දතේ කතාවට.

ඉතිං ඔය ෆිලිං එක බාගෙට ගැලවිලා ඕක මහ හිරිහැරයක් උනාය කියල මම කිව්වනෙ. ඒ හින්ද මම හිතුව ෆිලිං එක ආයම දාගන්ට. ඒ එක්කම මීට අවුරුද්දකට වගෙ ඉස්සර මගෙ යටි ඇන්දෙ දතකුත් නරක් වෙලා පුරව ගත්ත. ඒ පිරවුම මාස තුනක් වගෙ යන්ට කලිංම ගැලවිලාම ගියා. ඩෙන්ටල් සර්ජන් මට කිව්වෙ එතන දතේ ෆිලිං එක තියන විදිහට කොහොමත් ගොඩක් කල් ඔරොත්තු දෙන්නෙ නැතය, ඒ හින්ද බොහොම ඉක්මණකට ක්‍රවුන් එකක් දාගන්ට වෙයිය කියල.

ක්‍රවුන් එකක් දාන්නෙ මෙහෙම.

ක්‍රවුන් දැමිල්ලෙ නම් අවුලක් නෑ. ඒත් මම අර කලිං කිව්වනෙ මෙහෙ මෙඩිකල් කෙයා චාජස් අස්ප ගණං කියල. ගණං හිලව් අහල බැලූ කොට දතට කිරුළ දාන්ට යනව හැට දාහක් වගෙ. ඒ කාලෙ මට පඩිත් නැතුව බොහොම අසීරු ජීවිතයක් ගත කලේ. ඒ හින්ද ෆිලිං එක විතරක් කරගෙන දතට කිරුළ පළන්දන එක ටිකක් කල් දැම්ම. කොහොම කොහොම හරි ඊට පස්සෙ මූල්‍ය තත්වය යහපත් වුනත් කිරුළු වැඩේ දවසින් දවස කල් ගියා. ඔය හින්ද මම කල්පනා කලා ආය මොකටද තවත් කල් දාන්නෙ මේ පාර උඩු ඇන්දෙ දතේ රී-ෆිලිං එක කරගන්න කොටම අර යටිඇන්දෙ ෆිල් කරල තියෙන දතට කිරුළු පැළඳීමත් කරගන්නවය කියල.

ඉතිං ඔන්න මේ පහුගිය බදාදා නෙවෙයි ඊට කලිං බදාදා හවස මම කෝල් එකක් දීල එපොයින්ට්මන්ට් එකක් අරගෙන ගියා දත් දොස්තර හම්බවෙන්ට.මිනිහා ඇවිල්ල කේරලයිට් කෙනෙක්. ඒ කිව්වෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙ වැසියෙක්. මිනිහ ඉස්සෙල්ලම මගෙ නමයි මොබයිල් නම්බර් එකයි අහල කම්පීයුටරේ ඩේටා බේස් එකේ මගෙ විස්තර චෙක් කලා. අයිඩෙන්ටිටි කාඩ් එකේ නම්බර් එක ගාවට මෙහෙ අනන්‍යතාවය තහවුරු කර ගන්ට බොහොම වැදගත් වෙන්නෙ මොබයිල් නම්බර් එක.

"Mr. Ravi …It seems I have filled one of your teeth ..mmmm..let's see…. about 8 months ago…yes, August last year"

"Yes, Doctor…and I have another filling to do ..actually it’s a re-filling……."

ඉතිං ඔහොම විස්තර කතාකරල ඩොකා මට කිව්ව අපි චෙක් කරල බලමු කියල. මම ගිහිල්ල අර ඩෙන්ටිස්ට් චෙයාර් එකේ ඉඳගත්ත. ඇසිස්ටන්ට් විදිහට හිටපු ෆිලිපීන් කෙල්ල මගෙ බෙල්ල වගේ නිල්පාට බිබ් එකක් ගැටගැහුවා. ඩොක්ටර් මගෙ කට ඇරවල පරීක්ෂා කලා. ඉනික්බිති මගෙ ෆිලිං එක ගැලවුනු දතට දෙතුන් පාරක් මොකක්ද අඬුවක් වගෙ එකකිං තට්ටු කරල බලල නළල රැලි කරගත්ත. 

ඉම්පස්සෙ පොඩි මැග්නිෆයිං ග්ලාස් එකකුත් දාල තව කිට්ටුවෙලා බැලුව. පොරගෙ ඇහි බැම උඩ ගියා.

"Mr. Ravi... Sir…I can't believe it Sir.." මෙන්න ඩොකා තටම තටම කියන්ට ගත්ත. අප්පටසිරි මගෙ අර කලින් කියාපු එකම මට්ටමේ නැති අවයව දෙකේ ඉඳල පටං ගත්ත හීතලක් බඩ පපුවත් පහුකරගෙන උඩහට ආව..

"බොබ්.ගොල්බ්....බහ්...බොබ්... " මම යන්තමට එහෙම කිව්ව. ඒ මොකක්ද ඒ බාසාව කියල ඇහුව? ඇයි බොලව් අර යස්ස ඩොකා උගෙ අත්දෙකෙම්ම මගෙ කට අප්පල්ලෙ වගෙ දෙපැත්තට ඇදල අල්ලගෙන ඒ මදිවට පොඩි අඬු මිටියක් වගෙ එකකකුයි මග්නිෆයිං ග්ලාස් එකකුත් කට ඇතුලට දාගෙන ඉද්දි ඔයිට වඩා පැහැදිලිව කතා කරන්නෙ කොහොමද? ඔහොම බොබ්..ගොල්බ් බහ්..බොබ්..කියල ඇහුනට මට කියන්ට ඕන කලේ මෙහෙමයි. " ඇයි ඩොක්ට? මොකක් හරි අවුලක්ද?"

"ආහ්..අයෑම් සොරි සර්…" එහෙම කියල ඩොකා අර මගෙ කටට දාල තිබ්බ අඬුබඬු එළියට අරගෙන කට දෙපැත්තට ඇදල අල්ලගෙන හිටිය එකත් අතෑරියා.

ඔන්න ඒ පාර ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් එහෙම අරගෙන මම ඇහුව ඩොකාගෙන්..."ඩොක්ටර් මොකද ප්‍රශ්ණෙ? ඇයි අර එක පාරටම බය වුනා වගෙ උනේ?"

"මිස්ටර් රවී මම මෙහෙම එකක් මීට කලින් දැකලම නෑ. මේ ඇත්තමයි..මම මේ ගැන අහල තිබ්බට මේ දැක්කමයි" මේ යකා විකාර කියවනව මිසක මොකක්ද වෙලා තියෙන්නෙ කියල කියන්නෙම නෑනෙ. මම ඔලුව හරවල  අර ඇසිස්ටන්ට් ෆිලිපීන් කෙල්ලගෙ මූන දිහා බැලුව ඒ මනුස්සයටවත් මේ යකා මේ කියන මලදානෙ තේරෙනවද කියල බලන්ට. මොන? ඒ කෙල්ලත් තුස්නිම්බූත වෙලා බලා ඉන්නව කටත් බාගෙට ඇරගෙන.

"ඩොක්ටර් මේ කරුණාකරල කියනවද මොකද වෙලා තියෙන්නෙ කියල?" මම බොහොම කොන්ට්‍රෝල් එකේ ඇහුව. "නැත්තං මම අඹරවන එක අඹරවනව අර උඹේ එක මට්ටමට නැති අවයව දෙක..දෙයියම්පල්ල..ගෝඩ් ප්‍රොමිස්"' මම එහෙම සුටු පුටුගාල කට ඇතුලෙං කිව්ව.

"මේ ෆිලිං එක සර් කොයිකාලෙද කරගත්තෙ?" ඩොකා බොහොම ගෞරව සම්ප්‍රයුක්ත බැල්මක් මා දෙසට හෙලා එහෙම ඔන්න අහනව.

"ම්ම්ම්..අවුරුදු තිහක් නැත්නම් තිස් එකකට වගෙ ඉස්සර.."

"ඒකනෙ" The doc said and high fived his assistant, the Filipina girl, who although being completely bewildered went through the motions.

"ඒ කාලෙ ඔය ෆිලිං කරපු ක්‍රමේ දැං බොහොම වෙනස් වෙලා. කොටින්ම අපි ඉගෙන ගන්න කොට ඔය සර්ගෙ දත පුරවලා තියන ක්‍රමේ ගැන ඉගෙන ගත්ත දන්ත වෛද්‍ය ශාස්ත්‍රයෙ ඉතිහාසය යටතෙ. ඒත් කිසිම දවසක මම ඒ ක්‍රමයට පුරවපු දතක් දැකල තිබුනෙ නෑ. මම මේ එහෙම එකක් දැක්කමයි..මේ ඇත්තමයි..." ඩොකා ආයෙම දිවුරන්ට පටං ගත්ත.

"හරි හරි ඩොක්ට දැං ඉතිං මොකද ඩොක්ට කියන්නෙ?" 

"මම සර් ගැන ලියන්නං අපේ කේරල මෙඩිකල් ජර්නල් එකට. මට සර් එක්ක ෆොටෝ එකකුත් ගන්ට ඕන. ඒ එක්කම සර්ගෙ දතේ හොඳ පැහැදිලි ෆොටෝ දෙකක් විතරත් ගන්ට ඕන."

"හරි හරි ඒකට මක් වෙනවද? ෆොටෝ ගන්ටකො." ඔන්න මම අර දන්ත ශල්‍යාගාර පුටුවෙ දිග ඇදිල නිල්පාට බිබ් එකකුත් පැළඳගෙන ඉඳිද්දිම ඩොකා මගෙ පිටිපස්සෙං හිටගත්ත. අර ෆිලිපීන් ඇසිස්ටන්ට් කෙල්ල අපි දෙන්නගෙ ෆොටෝස් දෙකතුනක්ම ගත්ත.

"දැං සර් දතේ ෆොටෝස් දෙක තුනක්?" ඩොකා බැගෑපත් ඉල්ලීමක් කලා. 

ආය දතේ ෆොටෝ එකක් ගත්තට ගෙවෙනවය? ඔන්න ඔහෙ ඕන එකක් කරගත්තාවෙ..මම එහෙම හිතල ඔලුව වනල අනුමැතිය දුන්න. ඒකත් හරි කියමුකො. ඔන්න මම දැං බලා ඉන්නව ඩොකා ෆිලිං එක කරනකල්..ම්හු..මූ වැඩේ පටං ගන්න පාටක් පේන්ට නෑ. එහාට මෙහාට කරකැවි කැවි ඉන්නව. 

බැරිම තැන මම ඩොකාට කතා කලා. "ඩොක්ටර් දැං මොකක්ද ප්‍රශ්ණෙ? මගෙ ෆොටෝසුත් ගත්ත. මගෙ දතේ ෆොටෝසුත් ගත්ත. ඉතිං ඇත්තටම මොකක්ද දැං ඔහෙට තියන ප්‍රශ්ණෙ? "

"නෑ සර් මම මේ බැලුවෙ...ඇත්තම කිව්වොත් සර්ගෙ ඔය දත දන්ත වෛද්‍ය ඉතිහාසෙ සිහිවටනයක්. ඇත්තටම කිව්වොත් පුරාවස්තුවක් වගෙ එකක්. ඔය ෆිලිං එක උඩිං ආයම අලුතින් ෆිල් කරනව කියන්නෙ පුරාවස්තු විනාශයක් කොටින්ම. ඒ හින්ද බැරිද ඕක පුරවන්නෙ නැතුව ඉන්න?"

මට උතුර දකුණ මාරුවුනා ඔන්න ඒ කතාව අහල.

" පිස්සුද ඩොක්ට? මම මේ හරිම අපහසුවෙන් ඉන්නෙ මේ ෆිලිං එකේ කෑල්ලක් කැඩිල හින්ද. ඒකයි මම මේ ඒක පුරවගන්න මෙතෙන්ට ආවෙ. ඩොක්ටර් ඒක අස්සෙ මේ සිහිවටනයි පුරාවිද්‍යාවකුයි ගැන කියවනව. ඔය කෙහෙල්මල් පුරාවිද්‍යාවෙන් මට ඇති වැඩක් නෑ. කරුණාකරල මගෙ දත පුරවනවද?"

මම එහෙම කිව්වෙ අර ඩේන්ටිස්ට් චෙයාර් එකෙන් නැඟිටල බිබ් එකත් ගලවල දාල. 

"හරි හරි සර් කලබල වෙන්ට එපා.සර්ට ඕනම නං අපි ඔය දත පුරවල දාමු. ඒකෙ අවුලක් නෑ." ඩොකා බොහොම කලබලෙන් වගෙ කිව්ව. 

"ඔව්. මට මේ දත පුරවගන්ට ඕනමයි. ඒ හින්ද කරුණාකරල ඒ වැඩේ කරන්ට" මම දඩස් ගාල අර ඩෙන්ටිස්ට් චෙයාර් එකේ ඉඳගෙන කටත් අප්පල්ලෙ වගෙ ඇරල මගෙ පුරවන්ට ඕන දතට ඇඟිල්ලක් දික්කරගෙන කිව්ව. 

"හරි හරි සර් කලබල වෙන්ට එපා..අපි දත පුරවමු." ඩොක්ටර් අවශ්‍ය අඩුම කුඩුම සහ ආම්පන්න අරගෙන වැඩේට ලෑස්තිවුනා.

ඉතිං දතට කිරුළ කතාව ඔච්චරයි. එදා ඩොකා ඒ දත පිරෙව්ව. පස්සෙ ඊළඟ සුමානෙ ගිහිල්ල මම අර කලින් පුරවගත්ත දතට කිරුළකුත් පැළඳ ගත්තා.

අපූරු පොතක් කියවල තියනවද ඔය කට්ටිය "Grass For My Feet" කියල? රචකයා ජේ. විජයතුංග මහත්මයා.. අන්න ඒ වගෙ කවදකහරි මේ කතාව මම පොතක් විදිහට පලකරනවනම් මම දාන නම තමයි "Crown For My Tooth"

122 comments:

  1. "ෂාර්ර.. අයි කාං....ට බි ලී...ව ඉට්ට ෂා..ර්.."
    කියලත් මලබාරි ඩොකා ඓතිහාසික දත පිරෙව්වා කියල හොඳටම විශ්වාසද? ඩොකා මලබාරියෙක් නම් බෙහෙත් නොගෙන ඉන්න තරමට ඇඟට සනීපයි :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඒ වුනාට බං මූ හෙණ ජෙනුවින් පොර.මට ඉන්ෂුවරන්ස් නෑ කිව්වම ඌ කිව්ව " It is ok sir, Putting a crown not essential. If you can manage with just a filling no problem at all " කියල. එහෙම කිව්වෙ ඔය කිරුළු පැළඳවීම හොඳ ගාණක් කෙලවෙන කේස් එකක් හින්ද. ඒත් මම ඒ වැඩේ කරගත්ත. මොකද එහෙම නොකලනම් ඔතන ඒ දතයි ඊට එහා දතයි අතර පොඩි ගැප් එකක් හිටිනව. ඕක අස්සට අනම් මනම් ගියාම මළ වාතෙ. එලඹ සිටි සිහියෙන් යුතුව ආහාර බුදිනවනම් අවුලක් නෑ. ඒත් අපි වගෙ 60% විතර අවසිහියෙන් ආහාර බුදින්නන් කීය ගියත් කිරුළු පළඳවාගන්න එක කෝකටත් කියල ඇඟට ගුණයි.

      පලි - මූ අන්තිම හොඳ එකා කියන්නෙ බං මාව දැක්කම උගෙ සීය මතක වෙනව කියල මට 10% ඩිස්කවුන්ට් එකකුත් දුන්න. "Discount in the name of my grand father" එහෙමයි ඌ කිව්වෙ. ෂිහ්, එළම බුවෙක්...කියලා වැඩක් නෑ...:)

      Delete
    2. රවී හරි මිනිහ ජෙනුයින් පොරක්. නැත්තම් මොන පිස්සද කියන්නෙ රවීව දැක්කම සීයල මතක් වෙන එක ඇත්ත වුණත් ඒක මූණටම කියන්නේ. ඕක ගෑනියෙකුට කිව්වනම් එදාම හරි පහුවෙනිද හරි දිවි නහගන්නව.

      Delete
    3. ඉඳල හිටල එහෙම උනුත් ඉන්නව තමයි :)
      මෙදා පාර මාව වැටුනෙ staff එකෙන් 95% විතර කේරළයෝ ඉන්න සයිට් එකකට කන් දෙකට හරී සනීපයි :)

      Delete
    4. /පලි - මූ අන්තිම හොඳ එකා කියන්නෙ බං මාව දැක්කම උගෙ සීය මතක වෙනව කියල මට 10% ඩිස්කවුන්ට් එකකුත් දුන්න. "Discount in the name of my grand father" එහෙමයි ඌ කිව්වෙ. ෂිහ්, එළම බුවෙක්...කියලා වැඩක් නෑ...:)/

      ඕං මං දිව්ව. මගෙ කට හොඳ නෑ එච්චර...

      Delete
    5. // මූ අන්තිම හොඳ එකා කියන්නෙ බං මාව දැක්කම උගෙ සීය මතක වෙනව කියල මට 10% ඩිස්කවුන්ට් එකකුත් දුන්න.//

      මෙච්චර වටිනා කොටසක් පොස්ට් එකට ඇතුලත් නොකෙරුවේ මන්ද ...:D

      Delete
    6. Manoj,

      ලියං යනකොට කෑලි අමතක වෙනව බං...ඔය ඩිස්කවුන්ට් සීන් එක වගේම අර ඤාණ දත් මතුවෙන්නෙ නැතුව ඇතුලෙ තියන සීන් එකත් මට මතක් වුනේ පස්සෙ. අර නෙලුම් මහගෙගෙ කමෙන්ට් එක දැක්කට පස්සෙ...:)

      Delete
  2. කෝ ඉතින් ඒ දතේ ෆොටෝ අපිට බලන්න.. රවී අයියට කියන්න.. මගේ දතක් මිට අවුරුදු 16 කට විතර ඉස්සර පිරෙව්වා.. ඔය කියන සාස්තරෙන්ද මන්ද අදටත් අනිත් හැම දටම වැඩිය ඒ දත ශක්තිමත් විතරක් නෙවෙයි සුමටයි. එදා ඉඳන් තවත් දත් දෙකක් පුරවන්න උන.. අයියෝ කියලා වැඩක් නෑ.. මොනවා හරි අවුලක් එක්කෝ පුරවපු වෙලේ ඉඳල කෑල්ලක් දිවේ පැටලෙනවා නැත්නම් කට වහන්න කලින් දත් දෙක එකට වදිනවා ඔය වගේ.. එයින් එකක් දැන් භාගෙට කැඩිලා ගිහින් පුවන්නෙම නැතුව ඉන්නවා.. අනිත් දත කොරන්නම දෙයක් නැතුව ගලෝලා දැම්ම දැන් අවුරුදු දෙහෙකට විතර කලින්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / කෝ ඉතින් ඒ දතේ ෆොටෝ අපිට බලන්න.. /

      ඉඳහං ඩොකාගෙන් ඉල්ලගෙන දතේ ෆොටෝ දාන්නම්.

      / කොරන්නම දෙයක් නැතුව ගලෝලා දැම්ම දැන් අවුරුදු දෙහෙකට විතර කලින්.. /

      මල්ලි ඔතන මම හිතන්නෙ දත පුරවන දොස්තරගෙ අත්ගුණේ හරි මොකක්ද එකත් බලපානව.මං හිතන්නෙ ඒකයි කේස් එක.... සමහර ඩොකාල පුරවපු දත් අවුරුදු ගාණක් කිසි ගින්නක් නැතුව තියෙන්නත් සමහර ෆිලිං මාස දෙකෙං ගැලවෙන්නත් වෙන ඉතිං මොකක්ද හේතුව?. ෆිලිං එක කොහොමද කරල තියෙන්නෙ කියන සාධකය මතත් ඔය කල් පැවැත්ම රඳා පවතිනව. ඒක මම පිළිගන්නව. එහෙම උනත් ඔය අත්ගුණේ කියන එකත් පොඩ්ඩක් හරි බලපානව මම හිතන්නෙ.

      Delete
    2. වාහනේකට පේන්ට් ගහන්න ගියාම ටිංකරිං කරන්න ගියාම උන් අහන කතාවක් තියෙනවා.

      මේක තියාගන්නද නැතිනං විකුණන්නද?

      දතේ කේස් එකත් ඒකමයි. මිශ්‍රණේ එක එක ක්වොලිටි තියෙනවා. ඔය කමියට දත එකට වදින සීන් එක නම් "BITE" එක බලද්දි වෙච්ච අවුලක්.

      Delete
  3. උඹට කියන්ට දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල මටත් ඩෙන්ටිස්ට් ලඟට යන්න උනානෙ බං මගෙ නං දත් බැලුව ඩොක්ට මලබාරි කෙල්ලක්.ප්‍රතිකාර කරල එහෙම මට නම්බර් එකත් දුන්නා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      කෝල් එකක් දීපං බං කෝල් එකක් දීපං..අඩු ගාණෙ කිසි අවුලක් නැත්තං එහෙම කියන්ට හරි කෝල් කරපං

      " Doctor This is Helapa, I consulted you about four or five days back "

      " Yes, Mr. Hepala, Is there any problem?"

      " No no doctor, I just wanted to know if it's OK to bite sausages using that filled teeth? "

      "Yes, it would be quite Ok Mr. Helapa... provided you are being a little careful.""

      "OK thanks Doctor."

      ඊලඟ දවසෙ කතා කරල අහපං හුළංකීරිය අල හැපුවට කමක් නැද්ද කියල. තුන්වෙනි දවසෙ අහපං මොලගතන්නි සුප් බීවට කමක් නැද්ද? කියල.ඊලඟ දවසෙ අහපං මොකවත් විශේෂ දෙයක් කන්නෙ නෑ. පානුයි පරිප්පුයි විතරයි. ඒකට එයාගෙ විරුද්ධත්වයක් තියෙනවද කියල…:)

      Delete
    2. මේ රවි අයිය , අපේ හැලපෙව නරක්කරන්නෙ නැතිව ඉන්නවද ?

      Delete
    3. ඔහෝම කෝල් කර කර ඩොක්ටගෙන් අහන්න ගියොත් ඊගාව වතාවේ හැලපයියාගේ දත් ගලවන්නේ ඩොක්ට නෙමේ හැලප අක්කා තමයි හිටං..:D

      Delete
    4. මනෝ......මට මැවිලා පේනවා හැලපි අඬුවකුයි, මිටියකුයි අරන් හැලපයා ගාව. හැලපේ එක අතකින් රිසීවර් එක උස්සගෙන කටත් ඇරගෙන.

      Delete
    5. "ඩොක්ටර්ට මතකද දන්නේ නෑ මම මීට අවුරුදු දෙකකට කලින් ආවා හෙම්බිරිස්සා උණකට බේත් ගන්න මෙතනට."

      "මට නම් මතක නෑ. දැන් මොකක්ද ප්‍රශ්ණේ?"

      "නෑ. ප්‍රශ්ණයක් නෑ. මම ආවේ දැන් නෑවට කමක් නැද්ද කියලා අහන්න."

      Delete
  4. කිරුළු දෙකක් පළඳලා මම හෙන කට්ටක් කනවා...
    ඒ දත් අස්සේ කෑම හිර වෙනවා, අහක් කරන්න වෙන්නේ තුනී තහඩුවකින්. හරියටම ගැලපෙන්නේ බියර් ටින් එකේ තහඩු...

    මම රට ඉන්න කාලේ දෙයියනේ කියල මෙඩිකල් ඉන්සුරන්ස් තිබ්බා...
    දත් වලට කරන්න තියෙන හැම මගුලක්ම කලා, හැබැයි කල් පැවැත්ම අඩුයි...
    එහෙදි ස්නායු පිරවුම් කරපු දත් දෙකකට තමයි ආපහු ලංකාවේදී කිරුළු පැළඳුවේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      / කිරුළු දෙකක් පළඳලා මම හෙන කට්ටක් කනවා...ඒ දත් අස්සේ කෑම හිර වෙනවා, /

      අඩේ බං එහෙමද? ක්‍රවුන් එක දාලත් කෑලි හිරවෙනවද? මෙහෙ ඩොකා කිව්වෙ ක්‍රවුන් එක දැම්මනම් ආය කිසිම ඒ විදිහෙ අවුලක් හිටින්නෙ නෑ කියල. ඒ වගේම හරි. මගෙ නම් එළකිරි වගෙ තියනව බඩු.

      / අහක් කරන්න වෙන්නේ තුනී තහඩුවකින්. හරියටම ගැලපෙන්නේ බියර් ටින් එකේ තහඩු…/

      මල මඟුලයි අඩේ ඔය අනම්මනම් තහඩු කෑලි දාන්ට එපා. ඔය වැඩේට තියනව ඩෙන්ටල් ෆ්ලොස්. නූලක් වගෙ එකක්. ඒකෙං ඔය දත් අතර සුද්ද කරන වැඩේ මල් හතට කලෑකි. මටත් සතියකට සැරයක් වත් ඩෙන්ටල් ෆ්ලොස් එකකින් දත් සුද්ද කරන්ට කියල කිව්ව. කොහොමත් ඔය ක්‍රවුන් දැම්මම එහෙම කරන එක කෝකටත් හොඳයිලු. මම නම් තාම ඒ ෆ්ලොස් වැඩේ පටන් ගත්තෙ නෑ.

      Delete
    2. බියර් ටින් තහඩු නෙමෙයි Dental floss පාවිච්චි කරලා ගැප් එක ක්ලීන් කරන්න කියලා දොස්තර කිව්වෙ නැද්ද?බොරුනම් සා ර ස තුමා ගෙන් අහල බලන්න.

      Delete
    3. Yes. Use dental floss. As I can remember 50 m is around LKR 50/ 5$ and can be used for about 3-4 months. Available in any pharmacy.

      Delete
    4. මගේ හක්කේ තියෙන දත් දෙකට ඒක හරියන්නේ නැහැ...
      තොප්පිය දාද්දි වරදක් වෙලා කියලයි මට හිතෙන්නේ, ආපහු පෙන්නන්න යන්න ඕනේ...

      Delete
    5. ලොකු පුතේ ..උඹේ දත් තියෙන්නේ කටේද නැත්නම් වෙන කොහේ හරිද? යකෝ ඔය එක එක කෑලි කට අස්සේ ගහන්න එපා.

      Delete
    6. අරූ සහ ලොක්කා,

      යස් යස් ඔය අනම් මනම් කටේ ගහන එක වගේම ගිලින එකත් කේස්…

      එක පාරක් දොස්තර කෙනෙකුට කෝල් එකක් ආවලු " අනේ ඩොක්ට, විජහට එනවද? මගෙ වයිෆ් නිදාගන්නෙ කට ඇරගෙන . මේ..එයාගෙ කට ඇතුලෙන් බඩට මීයෙක් දුවලනෙ. "

      " ආ..එහෙමද? මම එන්නම් ඉක්මනට ..එතකල් වයිෆ්ගෙ කට හොඳට ඇරවල බැදපු කරවල කෑල්ලක් කට ගාවට අල්ලගෙන ඉන්න " දොස්තර එහෙම කිව්වලු.

      ඔන්න දොස්තර දනිපනිගාල යනකොට ගෑණු මනුස්සය ඇඳේ දිගාවෙලා කටත් ඇරගෙන ඉන්නවලු. හබී වයිෆ්ගෙ කට ගාවට කිරි පීරිසියක් අල්ලගෙන ඉන්නවලු.

      " ඔය මොකක්ද ඔය? මම කිව්වෙ කරවල කෑල්ලක් අල්ලගෙන ඉන්ට කියලනෙ. මීයො කිරිවලට එච්චර කැමති නෑ." ඩොකා කිව්වලු.

      " ඒත්..ඒත් ඩොක්ට..මේ...මේ මීයට කලින් බළලව එලියට ගන්ට එපාය." හබී බිම බලාගෙන කිව්වලු.

      *******************************

      මේ ඒ කාලෙ නවයුගයෙ ගිය කාටූන් එකක්. පොරක් ඉන්නව උඩ බලාගෙන කටත් ඇරගෙන ඇසුත් උඩ තියාගෙන. කඩුවකුත් බාගෙට ගිලල ඉන්නෙ. කඩුවෙ මිට විතරක් එලියට පේන්ට තියනව. එතනම මේසෙ උඩ තියන රේඩියෝ එකෙන් මෙහෙම කියනව " කඩු ගිලීමේ පුහුණු පාඩම් මාලාව අදට මෙතෙකින් නිමයි. ගිලපු කඩුව ආපසු ගැනීමේ පාඩම ලබන සතියේ මේ වේලාවට බලාපොරොත්තු වන්න... ඔබට සුවදායක සති අන්තයක් "

      Delete
    7. මේකෙ කමෙන්ට් වලට පින්තූර දාන්න පුලුවන්ද බං? බැරිනං හදහංකො එහෙම. මං පාවිච්චි කරන ෆ්ලොස් එකක් තියෙනවා ඒක නම් සුපිරි නිර්මානයක්. ෆෝටෝ එක දාන්න බැලුවේ.

      Delete
  5. අනේ ඇත්තට මෙහෙමත් බොරු. මන් අන්තිමට වෙනකම් හිතුව මේක හීනයක් කියල.ඔය දොස්තරය අලි බොරු කාරයෙක්.මොකද රවී බොරු කියන්නේ නැති නිසා මට සහ සුද්දෙන්ම කිව්වැකි දොස්තර බොරු කිව්වා කියල. ඔන්න ඔය බටහිර දියුණු රටක දොස්තරෙක් ඕක කිව්වා නම් විශ්වාස කළහැකි.අපි නොදන්නවය.ඔය ඉන්දියාවේ පාර අයිනේ ඉන්නේ දත් දොස්තරලා ගස් යට.මේ අසු ගණන්වල කරපු දත් පිරවිල්ල දැකල නැහැ.එක අතකට ඒ කාලේ උන්දලාගේ පළාතේ දත් පුරවන්නේ නැතුව ඇති.
    මගෙත් ඉතින් පුරවලා නැත්තේ කෘන්තකයි රදනකයි විතරයි. හක්කේ දත් නම් දෙතුන් පාර පුරවලා තියෙන්නේ.
    අනික අර ඥාන දත් හතර ආවේ නැහැනේ. විසිඅටයි තියෙන්නේ. මෙන්න මේ ලඟදි එක ඥාන දතක් ඇවිල්ල බාගෙට කැඩිලා.ඕක ගලවල දාන්න ලංකාවට යනකම් ඉන්නේ.මෙහෙ දත් ගලවන්න ගිහින් බිල දැක්කම හාට් අටැක් හැදෙයි

    ReplyDelete
    Replies
    1. Bindi,

      / අනික අර ඥාන දත් හතර ආවේ නැහැනේ. විසිඅටයි තියෙන්නේ. /

      අඩේ ඔන්න ඒක කියන්ට බැරි වුනානෙ. ඩොකා මට කිව්ව මගෙ ඥාණ දත් දෙකයි ඇවිල්ල තියෙන්නෙ කියල. උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි දෙකක් තවම විදුරුමස යටලු තියෙන්නෙ. හැබැයි දත් අදිනකොට මටත් ඔතන වෙනසක් තේරුණා.පස්සෙ මම ඇහුව ඒකට මොකද කරන්නෙ කියල.. පස්සෙ ඩොක් කිව්ව ඇතුලෙන් සමහරවිට පැසවනවලු. එහෙම උනොත් විදුරුමස කපල දත මතුකරන්ට වෙනව කිව්ව. එහෙම අවුලක් නැත්තං ඔහොම තිබ්බාවෙ කිව්ව. කොහොමත් ඒ දත්වලින් දැං වැඩක් නැතිලු. ඒකලු එව්ව බොහෝ විට මතුවෙන්නෙ නැත්තෙ.

      Delete
    2. ඔව් ඉතින් දැන් ඥාන දත් ඇවිත් මොකටද. පෙරහැර ගිහින් කොට

      Delete
    3. රවී....ලොම්බා වෙච්ච කාලෙට ඩෙන්ටා හම්බවෙලා කියපන් අර දත් දෙක දැන් මතුකරලා දෙන්න කියලා. උඹට ඒකට නම් වැඩි කාලයක් යන එකක් නැහැ.

      Delete
    4. මානවයාගේ පරිණාමය කියන එක සිද්ධ වෙන්නෙ ඔය විදියට වෙන්න ඇති නේද? වැඩක් නැති කෑලි කාලයත් එක්ක නැති වෙනවා. උණ්ඩුකපුච්චේටත් ඔය වැඩේම වේවි නේද අනාගතේදි ?

      Delete
  6. කේරල ජර්නල් එකේ රවී අයියගෙයි, ඩොකාගෙයි අර කෙල්ලගෙයි, දත් දෙකෙයි පින්තූර පලවෙලා තියනවා දකින් නැතුව මේ කතාව පිළිගන්න බෑ...කෝ කෝ ගමු බලන්න ලින්ක් මෙහාට....

    අපි නොදන්න කේරලයෝ... ඕකුන් දත් පුරවන්නේ අම්බුජා සිමෙන්ති දාලා.. ඔය පොර වෙන්න කියුවට....

    ඉන්සුවරන්ස් නෑ කිව්වම හරි පුදුමයිනේ... යූඒඊ වලනම් ඉන්සුවරන්ස් අනිවාර්යයි...ඒක නැතුව කිසිම කෙනෙක්ව සේවයේ යොදවන්න බෑ.. මම හිතන්නේ හවුස් මේඩ්ලට හිටන් තිබුනා....

    ReplyDelete
    Replies
    1. Senna,

      / කේරල ජර්නල් එකේ රවී අයියගෙයි, ඩොකාගෙයි අර කෙල්ලගෙයි, දත් දෙකෙයි පින්තූර පලවෙලා තියනවා දකින් නැතුව මේ කතාව පිළිගන්න බෑ...කෝ කෝ ගමු බලන්න ලින්ක් මෙහාට..../

      හරි බං ඉඳහං...ඩොකා මට ලින්ක් එක එවන්නම්ය කිව්ව. එවපු ගමං දාන්නං බොලාට බලාගන්ට

      / ඉන්සුවරන්ස් නෑ කිව්වම හරි පුදුමයිනේ... යූඒඊ වලනම් ඉන්සුවරන්ස් අනිවාර්යයි...ඒක නැතුව කිසිම කෙනෙක්ව සේවයේ යොදවන්න බෑ.. මම හිතන්නේ හවුස් මේඩ්ලට හිටන් තිබුනා..../

      නෑ..නෑ..බං අනිවාර්යයෙන් සේවා ගිවිසුමක් අත්සන් කරනකොට ඒකෙ කොන්දේසියක් සේව්යා සේවකයාට වෛද්‍ය රක්ෂණ ආවරණයක් ලබාදෙන්ට ඕනය කියන එක. ඒත් ඒක අනිවාර්යයෙන් පෞද්ගලික සමාගමකින් දෙන සමූහ රක්ෂණයක් වෙන්නම ඕන නෑ. ආණ්ඩුවෙන් දෙන රක්ෂණ කාඩ් එක තිබුනත් ඇති. ඒකට යන්නෙ එක සේවකයෙකුට රියාල් 50 ක්ද කොහෙද... ඒත් වැඩේ බං ඒකෙං බෙහෙත් ගන්ට ගියාම දවසම ඉවරයි. අනික ඔය ඩෙන්ටල් වගෙ ඒව කෙරෙන්නෙ සතියකට එක දවසක්ද කොහෙද..ඉතිං බහුතරයක් ඒ ආන්ඩුවෙ කාඩ් එක තියන අය කරන්නෙ අතින් වියදම් කරගෙන ප්‍රයිවට් කරගන්න එක.

      Delete
    2. හුඟක් ඉන්සුවරන්ස් වල දත් ආවරණය නොවේ

      Delete
    3. හ්ම්. දත් මම හිතන්නේ රක්ශණේ නොකරන්නේම ප්‍රපෝස්ලි. මටත් මේ ළඟ කාලෙක ඔය අත්දැකීම විඳින්න වුනා.
      මේ නිවාඩුවකට ලංකාවට හරි ඉන්දියාවට හරි යන්න බලන් ඉන්නේ නිවාඩුවයි දතුයි ඔක්කොම කරලත් මෙහෙන් වියදම් වෙන එකෙන් බාගයක්වත් වියදම් වෙන්නේ නෑ.

      Delete
  7. හරි වැඩේනෙ, මගෙත් අර අරව දෙකෙන් එකක පාතයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඉතිං බං එහෙම පාත්වෙලා තමයි තියෙන්න ඕන...එක මට්ටමේ නම් තමයි අවුල. එහෙම නම් එකක ගඩොල් බාගයක් එල්ලගෙන ඉඳහං වරුවක් විතර ටිකක් පාත් වෙනකල්.

      Delete
  8. ඒ කියන්නේ රවී අයියට තියෙන්නේ ඓතිහාසික කටක්.. ඔය දත ගලවලා දිලා එන්න තිබ්බේ බලබල ඉන්න...

    සීය මතක් උනා කියුවහම තද උනේ නැද්ද?

    මමත් මේ ලඟදි දත් බලන්න ගියා.. ඔය වගේ එක එක දේ කළා. අන්තිමට දත දිරලද බලන්න මොකක්ද එකකින් ඇන්නා.. මගෙන් ඒකට එක ශොට් එකයි ඒක රූම් එකෙන් එලියේ.. මං බිමට පැන්නා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      / සීය මතක් උනා කියුවහම තද උනේ නැද්ද? /

      අර අහවල් දේකටද තද වෙන්නෙ 10% ඩිස්කවුන්ට් එකකුත් දුන්නම. 50% ක් වගෙ ඩිස්කවුන්ට් එකක් දෙනවයි කිව්වනම් එහෙම සීය නෙවෙයි කිරිකිත්ත මතක් වෙනම කිව්වත් මම ගණං ගන්නෙ නෑ

      / මමත් මේ ලඟදි දත් බලන්න ගියා.. ඔය වගේ එක එක දේ කළා. අන්තිමට දත දිරලද බලන්න මොකක්ද එකකින් ඇන්නා.. මගෙන් ඒකට එක ශොට් එකයි ඒක රූම් එකෙන් එලියේ.. මං බිමට පැන්නා... /

      නැහ්? දත් දොස්තරට ගැහුවා එලියට විසි වෙන්ට?...හෙහ්,හෙහ්,

      Delete
    2. ආ ඒකයි සීය මතක් උනා කියුවට අවුලක් වෙලා නැත්තේ...

      දත් දොස්තරට නෙවෙයි.. දත බැලුව එකට..

      හික් හික් හික් . ඔයා එහෙම හිතපු එකටත් සතුටුයි..
      මොනව උනත් මේ කතාව කිවලා මං සෑහෙනට හිනා උනා.. අර කට ඇරවල තියනකොට කතා කරපු එක නම් මරු....

      Delete
  9. හරි හරි ඉඳහං ලංකාවට ආව ගමං කෙලින්ම FCID එකේ තමයි නවතින්න වෙන්න‍ අයියට පොදු දේපල වලට හානි කිරීමේ පනත යටතේ. ඇපත් නෑ.

    කේරලය රවී අයියගෙ දත විකුණගෙන කන්න සෙට් වෙන ලයින් එකක් තමයි පේන්න තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මගෙ දත කොහොමද බොල පොදු දේපලක් වුනේ?

      Delete
    2. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතිදේ පොදු දේපල බවට පත්විය යුතුම යැ..

      Delete
  10. රවි ඔය කියන්නේ ඉස්සර කාලේ දාපු ඇමල්ගම් ‍ෆිලින් ගැන නේද? කලු පාට ‍ෆිලින් එක.ඕකෙ රසදිය තියන නිසා තරමක ප්‍රශ්න තියනවා.මගෙත් එකක් තවම තියනවා මහරගම තිබුන ඩෙන්ටල් නර්ස්ලා පුහුනු කරන විදුහලෙන් දාපු එකක්.අවුරුදු වලින් නම් 35 කට වැඩියි.ලඟදී මම යන දත් දොස්තර නෝනට ඒක අයින් කරලා අලුත් එකක් දාමු කිව්වහම ඔය රසදිය කතාව කියලා ඒක ගලවන කොට එයාවත් රසදිය වලට එක්ස්පෝස් වෙනවා කිව්වා.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      අඩේ ඇත්තම නේන්නං , මගෙ තියෙන්නෙත් ඒ කළුපාට ෆිලිං එක තමයි. දැං බලනකොට ඒකෙ 50% ක් රසදියලු නේද? ඉතිරි හරිය රිදී, ටින් සහ තඹ. දොස්තර නෝනා කියල තියෙන කතාව ඇත්ත. ඇමල්ගම් ෆිලිං අයින් කරද්දි දොස්තරයි ලෙඩයි දෙන්නම රසදිය වලට එක්ස්පෝස්වෙනවලු. ඒ හින්ද එහෙම කරනව නම් ආරක්ෂිත තත්ව යටතෙයි කරනව කියල තියෙන්නෙ.

      Delete
    2. මගේ නැන්දා (අම්මගෙ මල්ලිගෙ බිරින්දෑ) තමයි මාව ඔය මහරගම දත් හෙදි ඇබෑසි විදුහලට (බෝඩ් එකේ තිබුනෙ එහෙම අද වගේ මතකයි) යන ලෙඩේට මාට්‍ටු කෙරුවෙ මොකද උන්දැත් එතන පුහුනු වුන කෙනෙක්. සැහෙන කාලයක් ඔය මාතලන්ලා එහෙම ගිය රජ්ජුරුවන්ගෙ ඉස්කෝලේ දත් හෙදිකම කලා 70-80 ගනන්වල. හැබැයි ඒ ඩෙන්ටල් නර්ස්ලගෙන් සෑහෙන සේවයක් කෙරුනා ඉස්කෝලෙ ලමයින්ට.පස්සේ කාලෙ දත් දොස්තරලා ඔය ඉස්කෝලෙට ලෙඩක් ඇද්දා ඊට පස්සෙ මොනව වුනාද කියල දන්නේ නෑ.

      Delete
    3. Kumara,

      / හැබැයි ඒ ඩෙන්ටල් නර්ස්ලගෙන් සෑහෙන සේවයක් කෙරුනා ඉස්කෝලෙ ලමයින්ට.

      ඔය පාසල් දත් හෙදියන්ගෙන් මිල කල නොහැකි සේවයක් වුනා ඒ කාලෙ. අපි කෑගල්ලෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දන්ත ඒකකයක් තිබුනෙ නෑ.කෑගල්ල නගරයටම තිබ්බෙ කෑගලු විද්‍යාලෙ තිබ්බ එක. අපිත් මාස හයකට වගෙ සැරයක් සති අන්තෙක එතනට යනව.

      / පස්සේ කාලෙ දත් දොස්තරලා ඔය ඉස්කෝලෙට ලෙඩක් ඇද්දා ඊට පස්සෙ මොනව වුනාද කියල දන්නේ නෑ./

      ඔය දොස්තරල ඔක්කොම එකයි බං, සරුවාංගයොත් එකයි, දත් උගුල්ලන එවුනුත් එකයි. ඊරිසියාව කියන එක ඇඟ පුරා. ඩැන්ටල් කස්ටිය ඔය පාසල් දත් හෙදි සේවයට කචල් එකක් ඇද්ද මට මතක විදිහට ඒ කොහොමද අපි මෙහෙ උපාධි අරං ඉන්දැද්දි නිකම් අවුරුදු දෙකක පුහුණුවකින් පස්සෙ දත් හෙදියො කොහොමද ප්‍රතිකාර තීරණය කරන්නෙ කියල.ඉතිං ආය මොනවද? ලංකාවෙ ඉතිං අනිවාර්යයෙන් වෙන විදිහට අර තරම් වැදගත් සේවයක් කරපු පාසල් චිකිත්සාගාර ඔක්කොම වහල දැම්ම. මහරගම අභ්‍යාස විද්‍යාලෙත් ඉතිං වැහිල ගියා.

      Delete
    4. / හැබැයි ඒ ඩෙන්ටල් නර්ස්ලගෙන් සෑහෙන සේවයක් කෙරුනා ඉස්කෝලෙ ලමයින්ට.
      ///

      සේවය නං අනේ මන්ද.. ඉස්සර අපිවත් ඔය මඟුලට එක්කං ගියා අවුරදු 10 වෙනකම්ම.. අන්තිමට කසාදත් බැන්දට පස්සෙ තමයි දන්නෙ කිරි දතක් හැලෙන්නෙ නැතුව තිබිල කියල... ඒක කැඩිල ගියාට පස්සෙ දැං දත් අන්දෙ ඉස්සරහම හෙන හිඩැසක් තියෙනව.. ඕක ඒ කාලෙම ඔය උන්දැල ගලෝල දැම්මනං අර ඇතුලෙ හරහට ගිහින් තියෙන දත එළියට ඇවිල්ලනෙ... දැං ඔපරේෂන් කරන්න වෙනවලු... මට බෑ... මං දත් දොස්තරලට බයයි...

      Delete
  11. ඇයි යකෝ ඔය දත ගලවලා ඔය රටේ වෛද්‍ය විද්‍යා කෞතුකාගාරයකට විකුනලා, ඉඩමකුයි කාරෙකකුයි ගත්තනම් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. විචා,

      හෙහ්..එහෙමත් පුලුවන් වෙයිද කියල හොයල බලන්ට ඕන...:)

      Delete
  12. මේ තියෙන්නෙ අප්පා එළම කිරි පෝස්ට් එකක්! රවී තුමාට කියන්න මේ මාත් කරන්නෙ ඔය දත් ගලෝන එක තමයි.. :D

    හැබැයි ඔය රටවලට ඇමල්ගම් කියන්නෙ යල් පැනපු ක්‍රමයක් උණාට මෙහෙ නම් තාමත් ඒ ක්‍රමේ පාවිච්චි වෙනවා. ශක්තිය වැඩි නිසා වගේම ගාණ සාපේක්ෂව අඩු නිසයි ඕක තාමත් මෙහේ පාවිච්චි වෙන්නෙ. රසදිය අඩංගු වෙන නිසයි ඕක දැන් යල් පැනපු ක්‍රමයක් වෙලා තියෙන්නෙ. හැබැයි පරණ අය නම් අනිත් materials වලට වඩා ඕකට කැමතියි.. ඒකෙ වාසි වගේකුත් තියෙනවා ඉතින්..

    අර කිරුළු පළන්දපු දත ළඟ හිඅවෙන කෑම අයින් කරන්න Super Floss කියන එක ගන්න පුළුවන් නම් හොඳයි.. ඒක normal floss එකට වඩා හොඳයි..

    කිරුළ චිරාත් කාලයක් තිබේවා කියල ප්‍රාර්ථනා කරනවා! :D

    ReplyDelete
    Replies
    1. සිතූගෙ 'කඩේ ' තියෙන්නේ කොලඹද?

      Delete
    2. සිතූ,

      / රවී තුමාට කියන්න මේ මාත් කරන්නෙ ඔය දත් ගලෝන එක තමයි.. :D /

      අයිනෝ..අයිනෝ…

      දත් වෙද සුමිතුරු,
      ගලවයි දත් නිරතුරු,

      දත් ගලෝනව කියල අපි නම් කියන්නෙ වෙන දේකට...හෙහ්,හෙහ්,

      / කිරුළ චිරාත් කාලයක් තිබේවා කියල ප්‍රාර්ථනා කරනවා! :D /

      එහෙම ප්‍රාථනා කරල කොහොමද?..කිරුල මුතු ලිහී සර සර හඬින් වැගිරේවා කියල නෙවද ප්‍රාර්තනා කරන්ට ඕන?

      Delete
    3. ඉයන්..

      මටම කියා කඩයක් නැත. බොසාගේ කඩයේ වැඩ කරමි. එය නම් තියෙන්නේ බොරැල්ලේය..

      රවී..

      නෑ අප්පා.. ඔය කිරුළ ගැළවුණොත් ආපහු දාන එක හැම ඩෙන්ටිස්ට් කෙනෙක්ගෙම Nightmare එකක්! :P

      Delete
    4. Super Floss එක මමත් ට්‍රයි කරලා බලන්න ඕනේ...

      Delete
    5. දත් පුරවන එකනම් මම දන්නේ නැහැ, දතක් හෝ දෙකක් ගලවගන්න ඕන නම් ....... සරසයා ගාවට ගිහිල්ලා මහින්ද ලොක්කට බැනලා කට ඇරගෙන හිටපන්. නොමිලේ දත් සෙට් එකම ගලවගන්න පුලුවන්.

      Delete
  13. ලැට් ඩෝස් ගැනත් මතක් කරල ලියහං

    ReplyDelete
    Replies
    1. අටම්,

      ආපෝ...මතක් කරන්ට එපා..තවම මගෙ ඉකිළි හරිය කබර හම වගෙ...:)

      විහිලුවට බං… ලියන්නං ලියන්නං...:)

      Delete
    2. අටමට මොකෝ ලැට් ඩෝස් මතක් උනේ... මහරදි බොටත් ලැට් ඩෝස් හැදුනද..ඇයි කිචවු කාල නැද්ද..?

      Delete
    3. මොකක්ද මේ ලෙඩේ? මම ගූගල් කලත් හමු උනේ නෑ

      Delete
    4. Actually, what the hell is lat-dose? A STD or skin condition transmitted thru the use of public toilets or something like that?

      Delete
    5. මචං ඩූඩ්.....ලැට් ඩෝස් කියන්නේ හරිම කියුට් කැසිල්ලක් එක්ක එන ආදරනීය වින්දනයක් බං....බොරු නම් රවියගෙන් අහපන්.

      Delete
  14. දත් පුරවන්ඩ ,ගලවන්ඩ මම මාර බයයි. දැනුත් දතක කැක්කුමක් තිබිල බුලත් කොලේකට මතුරල කාල තමයි හොදකරන් ඉන්නෙ.
    අර ..අරවයින් දෙක උඩ පාත එක නෙමේ පොඩි කාලෙ මට තිබ්බ ප්‍රශ්නෙ , මොකටද ඔය දෙක කියල බාප්පගෙන් ඉස්සර හැමදාම බේත් ඉල්ලනව ඕව හැලෙන්ඩ . මෝර ගුලියි, විටමින් C බරට කාල ඇති ඕක හලාගන්ඩ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / පොඩි කාලෙ මට තිබ්බ ප්‍රශ්නෙ , මොකටද ඔය දෙක කියල  /

      හෙහ්, මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ. අම්මගෙන් ඇහුවම කීවෙ එව්වයෙ තමයි චූ ඉස්ටොක් වෙලා තියෙන්නෙ කියල...හෙහ්,හෙහ්,

      Delete
    2. ඇයි අර මොහාන් රාජ් මඩවලගේ "මාගම් සෝලිය" පොතේ තියෙන්නේ පොඩි උන් සෙල්ලම් කරනකොට "බිංදු"කියලා තව පොඩි එකෙක් දකිනවා ගැණු ළමයින්ට මෙහෙම එල්ලෙන දෙකක් නැහැ කියලා හිටං.ඒ ගමන මුත් කම්මල අයියා,රවීයියා වගේ හිතලා ගලක් අරන් මේ එල්ලෙන දෙක තලනවා.පස්සේ ඔය තලා ගන්ත දෙකට බෙහෙත් බැඳලා ඒ බෙහෙත් නිසා කොල්ලගේ අහවල් එක ලොකු වෙනවා.මෙන්න එයින් පස්සේ රට වටේම මිනිස්සු එනවා ඒ බෙහෙත ඉල්ලන්.

      Delete
  15. මම හිතන්නේ මේ කාලෙ වයසක උන්දැලගෙ දත් වලට අපල ග්‍රහ තත්ත්වයක් තියෙනව වගේ. ඒක නිසාද කොහෙද මටත් වුණා ගිය සෙනසුරාදයි, සඳුදයි, බදාදයි දත් දොස්තරතුමිය ගාවට යන්න. රූට් කැනල් ෆිලිං එකකට. හේතුව ඊට සුමානයකට කලින් දතක් කැඩීම. උඩ හක්කේ දකුණම තමයි. මුල් දවසෙ ඇනස්තටයිස් කරල කලාට ඊලඟ දවස් දෙකේ කලේ එහෙම නැතුව. කොහොමද නර්ව් එකට වදිනකොට තියෙන සනීපෙ. කඳුලු පැන්නෙ නැති එක විතරයි. ඉස්පිරිතාලෙට මගේ සම්බන්ධයක් තියෙන නිසා නර්ස් පැටව් ඉස්සරහ පටි රෝල් කරගන්න බැරි නිසාම ඉවසුව. ආයිනම් දත් ඔක්කොම හැළුනත් යන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      කාඩ් එක බේරගන්ටත් එපාය. කාගෙන ඉන්ට වෙනව එහෙම උනහම...:)

      Delete
  16. රවී ඔය ක්‍රවුන් ඔහේ දාන්න යන්නෙ නැතුව ඒ සල්ලි වලින් ටිකට් එකක් අරන් ලංකාවට ආවනම් දාල දෙන්නම් ඔව ටික උඹට වියදමක් නැතුව.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      දැන් ඉතින් මට වියදම් වෙලා ඉවරනෙ. ඒක රිකවර් කරගන්ට මෙහෙම කරමු. මගෙ යාලුවො දෙන්නෙකුටත් ඔය ක්‍රවුන් දාගන්ට ඕන වෙලා තියනව. අනික හොඳ වෙලාව කියන්නෙ උං දෙන්න මැයි මුල ලංකාවට එනව. මම ඉයන්ට උං දෙන්නව කන්ටෑක්ට් කරවල දෙන්නං. උංගෙ වැඩේ කරවල දෙන්න. මෙහෙ කරගත්ත නම් උංට යන වියදම මම ඉල්ල ගන්නම්. එතකොට මට ගිය ගාණ ආපහු ඇවිල්ල පොඩි ප්‍රොෆිට් එකකුත් එක්කම...:)

      Delete
    2. පල පල යන්න. මම මේ බැලුවේ මේකව ලංකාවට ගෙන්නගෙන අඩියක් ගහන විදිහක්.

      Delete
  17. මේ ලියන එව්වයේ හැටියට ඇන්දේ පිටිපස්සේ දත් නෙවෙයි, ඉස්සරහ දත් ටික නම් අලුතෙම්ම දාල ගොඩක් කල් නොවෙද ?

    මමත් දත් සෙල්ලම් වලට බයයි. පුරවලා නැහැ තාම කවදාවත්. එකම එක පාරක් ජොලියට වගේ නුවර ඩෙන්ටල් එකෙන් දත් සුද්ද කරන්න ගියා යාලුවෙක් එක්ක. අප්පා වෙච්ච සන්තැසිය !

    දත් ටික මුන් සුද්ද කලේ පාරේ කටු ඉදලෙන් අතුගානවා වගේ. මම ඉතින් දන්නවනේ ලේ දැක්කොත් 'ටින් ටොන්' ගාන එකී වෙච්චිකොට, වැඩේ ඉවර වෙලා කටහෝදනකොට වතුර ටික ලේ පාටයි... අහන්නත් දෙයක්ද.. දැම්ම එතැනම මගේ ජබර කලන්තේ ඇඩ් එක! මගේ යාලුවා නෙවේ ඊට පස්සේ මගෙත් එක්ක ඒ වගේ යන්න ආවේ.. හෙහ් හෙහ්.. කොහොමද නම්බුව!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      දත් ජොස්තරට ඊට පස්සෙ වෙන්ට ඇත්තෙ ඊලඟට ඉන්න එවුංගෙ දත් සුද්ද කිරිල්ල පැත්තක තියල උඹට කෘත්‍රිම ස්වසනය දෙන්ට...හෙහ්,හෙහ්,

      කොහොම හරි අර බේසං, භාජන, දත් කටු ඔක්කොමත් සල සලාං ගාල පෙරලගෙන උඹ අර කුලප්පු වෙච්චි ඇතින්නට බෙහෙත් විද්දම ඇදගෙන වැටෙනව වගෙ වැටෙනව දැකල දත් ගලවන්ට ආපු අට දෙනෙක් පසු නොබලා පලා ගියාලු. උඹ ඒ වෙලාවෙ කලන්තෙ දාල හින්ද උංගෙං කැපෙන්ට තිබ්බ ගානත් දොස්තර කිව්වලු උඹෙ යාලුවට ගෙවන්ටෙයි කියල.ඉතිං ආයම එයිද ඒකි උඹ එක්ක දත් බලවන්ට මේ සංසාරෙ තියනකල්?

      Delete
    2. සහසුද්දෙන්ම කියනවා නම්.... ඩින්ගිත්තක් ඉතර ඒ සිද්ධියේ සහ මේ ප්‍රකාශයේ සමානකමුත් නැත්තේම නැහැ. සිහිය එන්නෙම නැතුව හිටියනම් කියල හිතුන සිහිය එනකොට ආපු ප්‍රතිචාර ඇහෙනකොට. වැඩිපුරම හිටියේ ඉගෙනගන්න වෛද්‍ය සිසුන්. උන්ගේ සිග්නල් කටවල් මතක් වෙනකොට 'මේ දෑස මක්කටද' කියල හිතුන
      මුකුත් උනේ නැහැ වගේ ගෙදර ඇවිත්, බයින්ඩගම් එක්ක පාන් කාපු එකී වගේ ගෙදරට වෙලා හිටිය

      Delete
  18. හෙහ්. රවි අයිය දත් ගලෝගෙන වගේ.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ගලව ගත්තම නෙවෙයි බං පුරව ගත්ත සහ කිරුළු පළඳවගත්ත....:)

      Delete
  19. හුහ්.. අපිත් හොඳ දත් දොස්තරල තමයි ඉස්කෝලෙ යන කාලෙ. ගලවන්න ගියහම ගැලෙව්වෙ හක්කෙ ඉඳන්..... හිකිස්....

    මලබාරියො ගාව පට්ට ගඳයි අෆ්ෆා.. දොස්තරය තියා මොකා උනත් මෙහෙ උන් එහෙමයි. ගෑනුං ඊට හපං... උං ඔලුවෙ මොනාද මන්ද චාටර් සබං එකක් උලනව මං හිතන්නෙ. මෙහෙ කේරල උන් උඹල කොහේද කියල ඇහුවම කියන්නෙ from UK කියල. උන් ඉන්දියාවෙ කියල කියන්න කැමතිනෑ. හෙන ඔලුවෙං ඉන්නෙ. බෙට්ටෙ තියෙන ඩිර්හාම් එකත් දිවෙං ගන්න සයිස් පට්ට ලෝබයො වගේම හෙන ආත්තමාත්ත කාමියො... බෙලි කැපිලි යටිං ගේම ඇදිලි.. වගේ තව එකී නොකී සෑහෙන්න ක්‍රීඩා දන්න හොඳ ක්‍රීඩා සීලියො..

    ReplyDelete
    Replies
    1. X-porter,

      / මෙහෙ කේරල උන් උඹල කොහේද කියල ඇහුවම කියන්නෙ from UK කියල.  /

      ඒ ජෝක් එකක් නේද ? එතන UK කියන්නෙ United Kerala….:)

      Delete
  20. atha pasu una ewa kyawana gaman mekath iwara kala. niyamai

    ReplyDelete
  21. මොකක්ද මේකට කියන්නෙ ? (සිනා)
    කමෙන්ටුවක් දාන්නත් ඕන ( සිනා)
    කාලෙකට පස්සෙනෙ ආවෙ ( සිනා)
    හිනාව නවත්ත ගන්න බැහැනෙ අයියෝ
    (සිනා සිනා සිනා )

    King of the blogs, crown is yours !

    ReplyDelete
  22. දතේ කතාව අගෙයි..දත් කැක්කුමක දිග පළල දන්නේ ඒක හැදුන කෙනාම විතරයි..අනිත් එක දියුණු රටවල් වල මිනිස්සුන්ට වඩා දත් ගණන්...දත් කැක්කුම හැදීගෙන එනකොට රක්ෂණ ආවරණයක් තිබුනත් දෙවියෝ සිහි වෙනවා යන වියදම දන්නා නිසා..ඔයාගේ ඓතිහාසික දත පුරවල තියෙන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ...නැත්නම් සමහර වෙලාවට දත පුරවලා මාස ගණනක් ගත වෙද්දී නැවතත් වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න වෙන වෙලාවල් තියනවා...

    ReplyDelete
    Replies
    1. පොකුරු,

      මම හිතන්නෙ හරියට වැඩේ කලොත් චිරාත් කාලයක් පවතිනව...:)

      Delete
  23. හයියෝ දත්... බෑ අප්ප මේ වැඩේ.... ( මතක් වෙනකොට රිදෙන්න පටං ගන්නෙ..) දැං ඉතිං හෙට වත් පළයන්කො දත් දොස්තරයා ගාවට.... ( හෙට... බෑ නේ... හෙටත් බෑ... ලබන සතියෙ වත් බලමු...) හි හි

    ReplyDelete
    Replies
    1. හිරු,

      බල බල ඉන්න එපා...:)

      Delete
  24. ගිය බදාදා මගේ උඩු තල්ලේ වමේ සිට 4 වෙනි දත තියාගෙන ඉඳලා බැරිම තැන දත් දොස්තරට දීලා ආවා. ඊ ගාවට ලබන සතිය දිහාවේ දකුණේ සිට 3 වෙනි දත දෙන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව වමේ සිට 3 වෙනි දතත් දෙන්න වෙයිද මන්දා. අනේ මන්දා තව ටික දොහකින් දත් නැතුව බත් කන්න වෙයිදත් මන්දා. :(

    ReplyDelete
    Replies
    1. ලමයා
      හොඳට දවසට දෙපාරක් මැදලා දත් ටික පරිස්සම් කරගන්න.ගැලෙව්වහම වෙන්නේ ඉතුරු දත් ඈත් වෙලා ගැප් ගැදෙනවා.

      Delete
    2. මතකය අතීතයට ඇදිලා යනවා. ඇ බං මිස්ටර් රවී, මේ අපි දන්න යුවරජතුමාවත්ද? :D

      Delete
    3. රන්දිල්,

      නෑ මම හිතන්නෙ...ඒ ඇවිල්ල ඒ කුමාරත් මේ කුමාරත් හැර ඉන්න වෙනත් කුමාර කෙනෙක්....;)

      Delete
  25. අප්පා ඔය දන්ත ස්නායු කියන්නේ කෙල වුනාම ශරීරයේ වැඩිම වේදනාවක් දැනෙන ස්ථාන වලින් එකක් කියල අහලා තියෙනවා. දෙයියනේ කියලා ඔය ඉඳ හිටලා කරන සුද්ද කිරිල්ලක් ඇරෙන්න දත් ටිකනම් තවම හොඳට තියෙනවා.

    සා රස තුමා තාම මේ පෝස්ට් එක දැකලා නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. උදය,

      දත් සෙට් එක අවුලක් නැතුව තියෙන එක ලොකු වාසනාවක්...:)

      Delete
  26. අපරාදෙ බං! ඔය දත තියාගත්ත නං හොඳ ගානක් හොයාගන්න තිබුනනෙ..... නෑ නෑ ගලවල නෙවේ, දත පෙන්නන්න ඩොකාලට, ටිකට් එකක‍ට!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      මුඛය ආදායම් මාර්ගයක් කරගන්න එක හරි නෑ වගේ කියල හිතුන බං...:)

      Delete
  27. හි..හි.. ඔච්චර වටින කියන දතේ ෆොටෝ එකක් අපිටත් බලන්න දැම්ම නම් තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. තුශානි,

      හරි හරි ලැබුන හමන් දාන්නංකො...:)

      Delete
  28. මගෙත් තිබ්බ දත් තිස් ‍පහක්ම. ගළවලා ගළවලා, පුරවන් නැතුව ඉඳලා කැඩිල ගිහිං... දැං ඉතුරු විසි හයයි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      අර කිව්වත් වාගෙ උඹ මොකෙක්ද බං?

      Delete
  29. Dentists' oath - I swear to pull the tooth, the whole tooth and nothing but the tooth.

    ReplyDelete
  30. වීයියා ඉස්සර ඔය සල්ලිකාරයෝ රත්තරන් දත් දාපු සීන් එහෙම තියෙනවා නේද ?දැන් නම් එහෙම දානඋන් නැතුව ඇති.

    අර දෙකෙන් දකුණට වඩා වම තමයි පොඩ්ඩක් පහතින් තියෙන්නේ.අර ලෙවල් මට්ටම් බලන්න ගිය ලංකාවේ මනුස්සයා ඩොක්ට කියන දේ අහන්නේ නැති නිසා ඩොකාට තිබ්බේ "උඹේ විතරක් නෙමේ බං මේ මගෙත් එහමෙයි"කියලා පෙන්වන්න.:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      තාමත් ඕන නම් එහෙම දැම්මැහැකි. රත්තරන් දත් දානව කියන්නෙ ක්‍රවුන් එක ගෝල්ඩ් ඇලෝයි වලින් හදන එක.

      Delete
  31. අර ඇට දොස්තරගෙ නෝටිස් එකනම් පට්ට ආතල්.

    මගේ දතක් තියෙනවා වටෙන්ම තුන් කාලක් විතර කැඩිලා..ඒත් බෙල්ල ගියත් කඳ ෆයිට් වගේ ෆිලිං එක තාම කෙලින්.

    ඇයි බං ලෝකේ ගොඩක් රටවල දතාලා ඔච්චර සල්ලි අය කරන්නේ. උන් චාජ් කරන්නේ උන්ට හරියට දත් නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඔය ඩෙන්ටල් වැඩ වලට අඔහොම අස්ප ගණං ගන්න හින්දමද කොහෙද මං හිතන්නෙ අර දත් ගලවන කතාව ඇවිත් තියෙන්නෙ...:)

      අඩේ උඹේ අර දතේ එතකොට වටේම කැඩිල ගිහිල්ල මැද ෆිලිං එක විතරක් ඉතුරු වෙලා? එහෙමද? ...:)

      Delete
    2. පොඩි දත් කෑල්ලක් යාන්තම් තියෙනවා වටේට. ඒකත් අපේ ජීවිත වගේ. හිත ෆිට්, ගත දිරනවා.:D

      Delete
  32. මටත් තියෙනවා බං ඔහොම කිරුළු පැලැන්දීමක් ගෙදර ගියාම කරන්න. පාලොස් දාහක් යනවලු. දහතුනකට කරන්නම් කිව්වා රූට් කනෑල් ‍ෆිලිං එකත් පොරගෙන්ම කරගත්ත නිසා. ඒක කරලත් මම බේත් වලට ඇලර්ජික් වෙලා ඉදිමෙන්නත් ගත්තනෙ බං.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඒ ගාණට ලාබයි මම හිතන්නෙ දැං ගණං හිලව් වල හැටියට...:)

      Delete
  33. මගේ ඉස්සරහ දත මාව අඳුනගන්න සංකේතයක් වගේ...
    කොටසක් කැඩිලා උඩින් නලදතක් ඇවිල්ලා
    කාලයක් මං බයේ හිටිය මේ දතේ අවුල නිසා කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැතිවෙයිද කියල

    ReplyDelete
    Replies
    1. උඩුවා,

      එහෙම උනහමත් කෙල්ලො කැමතියි...:)

      Delete
  34. අද නම් ලස්සනට කතාව ඉවර කරලා, වටේ යන්නේ නැතිව. හිහ්...
    අතුරු කතා ටික ඉක්මනින් කියවන්න බලාපොරොත්තු වෙමි. 😊😊😊

    ReplyDelete
    Replies
    1. හේමමාලි,

      අන්න ඒකනෙ බං හැමදා නියං එකදා වැහි වලාවේ...:)

      Delete
  35. මරු කතාව ඩෝ. කියවලා මාර සතුටක්, දුකක් සහ කේන්තියක් ඇතිවුනා.

    සතුටට හේතුව දේශපාලනෙ මගුලක් නැති නියම එළකිරි පෝස්ට් එකක් කියවලා ලේ පිරිසිදු කරගන්න ලැබීම.

    දුකට හේතුව මේ කතාව අපිත් එක්ක ඉන්න එකම මලබාරියෙක් එක්කවත් ෂෙයා කරගන්න බැරි වීම. උන්ට මේකෙ ජෝක් එක තේරුම් කරන්න ගියාම මට ඇඬෙනවා බං. ඒත් උන්ට තේරෙන්නේ නෑ.

    කේන්තියට හේතුව මලබාරියෝ පහළවක් දාසයක් ඉඳලත් මේ කේරල මෙඩිකල් ජර්නල් කතාවවත් කියලා මේක සීරියස් නොගෙන මේකෙ හාස්‍යය දකින එකම බලබාරියක්වෙත් නැති නිසා මේක තනියෙම කාගෙන ඉඳීමට සිදුවීම.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ්....සතුට දුක සහ කේන්තිය....:)

      Delete
  36. රවියා ඔය දතේ ෆොටෝ එක බ්ලොගේ එකේ දාන දිනය හරියටම කියා කේලර දොස්තරවරියක් ලවා කුට්ටම බැලන්ස් කරවා ගැනීමේ වටිනා අවස්තාවක් දිනා ගන්න... !!

    ReplyDelete
  37. මට පේන්න බැරිම දත තමා ඥාන දත. ඒක ආවට වඩා හොඳයි නාවානම්.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      මොකෝ බොලේ ඒ? ඥාණෙ ආවයි කියන්නෙ මල වදයක්ද?...:)

      Delete
  38. මම හිතං හිටියේ සඳා අක්කාට දැනටමත් ඔය දත් ටික බඩට යන්න වැඩ සිද්ද කරලා ඇතිය කියලා..
    සාරි ටික තෙමිල්ලේ සිට තවත් එකී මෙකී රාසියක් සිද්දි නිසා ඔහොම කිරුළු පළදින්ට හරි දත් ටික තියන එක ගැන සංතෝසයි...

    ReplyDelete
    Replies
    1. රූ,

      පිස්සුද අනේ...සඳා කියන්නෙ බොහොම අහිංසක ලලනාවියක්...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...