Wednesday, July 27, 2016

429. සිව්වසරකට පසු - 1 - නොහොත් Here We Go Around The Mulberry Bush……


Here we go around the mulberry bush......

අවුරුදු හතරකට පස්සෙ ඔන්න ලංකාවට ආපි. සාමාන්‍යයෙන් අවුරුද්දක් මැද පෙරදිග වැඩ කලහම මාසයක් පඩි සහිත නිවාඩු දෙනව. ඒත් මගෙ පාරුවේ පුවක් කියන්නෙ මම වැඩ කරපු සමාගම් දෙකකින්ම මට අයින් වෙන්ට සිද්ද වුනේ අවුරුද්දක් වැඩකරල වාර්ෂික නිවාඩු යන්ට ඔන්න මෙන්න කියල තියෙද්දි.ඉතිං මක්කා කොරන්නෙයි ගෙදර යැවිල්ල පැත්තක තියල පත්තරවලයි, නෙට් එකෙයි මගෙ විස්තර දැම්ම. සිටුවේෂන් වෝන්ටඩ් කියල. 

ඉනික්බිති ඉන්ටර්වීව් වලට කතා කලාම ටයි පොල්ලකුත් බෙල්ලෙ ගැටගහගෙන සැටිපිකට් ගොන්නත් රෝල් කරල කිහිල්ලෙ ගහගෙන ඉන්ටර්වීව් වලට යන්ට ගත්ත. බොරතෙල් මිල අවපතනය හින්ද මේ දවස්වල මෙහෙ ඉදිකිරීම් ක්ෂේත්‍රය ටිකක් විතර අර්බුද සහිතයි. ඒ හින්ද රස්සාවක් හොයාගන්ට ටිකක් කල්ගියා. රස්සාවක් හම්බ වුනාමත් හා පුරා කියල අලුත් බොස් ගාවට ගිහිල්ල කියන්ට පුලුවනැයි "මම අවුරුද්දකින් ගෙදර ගියේ නෑ මාසෙකට ගෙදර යන්ට ඕමනයි" කියල. හෙහ්..පයිං ගහල එළවල දාවි එතනිං. 

හරි හරි ඒ රස්සා නැතිවිල්ල සහ අලුතෙං රස්සා හෙවිල්ලත් මාරම අත්දැකීමක්. ඒ ගැන සවිස්තරව පස්සෙ ලියන්නංකො. 

ඉතිං ඔය ආකාරයට කොහොමිං කොහොමිං හරි මට අවුරුදු හතරක් ගෙදර එන්ට ලැබුණෙ නැහැය කියමුකො. හැබැයි ඒ අතර දෙපාරක් අපේ භාර්යා තොමෝ එහාට ආව. ඇවිල්ල මාසයක් වගෙ ඉඳල ආපහු ආව. 

ඉතිං සුමාන දෙහෙකට ඉස්සර වෙලා මම ගෙදර ආව ඔන්න. 

පාස්පෝට් එකක් නිකුත් කරන්නෙ අවුරුදු දහයකටනෙ. මගෙ පාස්පෝට් එක මේ ඔක්තෝබර් 16 වෙනිද අවලංගු වෙනව.ඉතිං ආපහු වැඩට යන්ට කලින් පාස්පෝට් එක අලුත් කරගන්න එක අනිවාර්යයෙන් කලයුතු දෙයක්. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ ශාඛා කාර්යාලයක් නුවරත් විවෘත කලා දැන් අවුරුදු පහ හයකට ඉස්සර. වැව රවුමෙ මහාමායා බාලිකාව ලඟම. පහුගිය සුමානෙ දවසක මම ඔතෙන්ට ගියා මගෙ වැඩේ කරගන්ට. 

ඊට කලිං ඉමිග්‍රේෂන් ඩිපාට්මන්ට් එකේ වෙබ් සයිට් එකට ගියා විස්තර බලාගන්ට. ඒකෙන් ගමන් බලපත්‍ර අලුත් වැඩියා කිරීමේ අයදුම් පත්‍රයකුත් බාගත කොටගෙන පියා එයද නිසි පරිදි පුරවාලාපියා තමයි මම ඔය ආගමන සහ විගමන කාර්යාලයට ගියේ. පාන්දර අට වෙනකොට එතනට ගියත් ඒ වෙනකොටත් එතන පෝලිම විස්සක් විතර. 

පෝලිම කිව්වම මට මතක් වෙන්නෙ පෝලින් ඩි කෲස්, ලංකාවෙ සුප්‍රසිද්ධ ඝාතන නඩුවක විත්තිකාරිය. කුඩා දරුවකු ඝාතනය පිළිබඳව ඇයට මරණ දඬුවම නියම වුනත් එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඇගේ දඬුවම ලිහිල් කරනවා. 1980 වගෙ ඇය බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.ඒ නඩු තීන්දුව වැදගත් නඩු තීන්දුවක්. කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ පාපෝච්ඡාරණයක් හෝ අපරාධය සිදුකිරීමට පැහැදිලි හේතුවක් හෝ නොමැතිව වුවද සම්පූර්ණයෙන්ම පරිවේෂණීය සාක්ෂි මත පිහිටා මරණ දඬුවම නියම කිරීමක් ඉන් පෙර ලංකා අධිකරණ ඉතිහාසයේ සිදුවී නොමැති බවයි සඳහන් වෙන්නේ. 

ඔය වගෙ ලංකා අධිකරණ ඉතිහාසයේ වැදගත් නඩු විභාග කීපයක්ම තියෙනවා.ආටිගල මිනීමැරුම, සතාසිවම් මිනීමැරුම, කලත්තෑවේ සොයිසා නඩුව, ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව..ඒවා මම දන්න කාලයට ඉහත සිද්ද වෙච්ච එව්ව. මම දන්න කාලෙ විභාග වෙච්චි සුප්‍රසිද්ධ නඩුත් කීපයක් තියනව. කතරගම මනම්පේරි ඝාතනය, ඊලඟට තිස්මඩ මිනීමැරුම, මැතිව් පීරිස් නඩුව, චන්ද්‍රසේකර ඩයස් ඝාතන නඩුව. 

ආටිගල ඝාතන නඩුව සුවිශේෂී එකක් වෙන්නේ එයින් මරණ දඬුවම් ලද චූදිතයා සර් ජෝන් කොතලාවල මහතාගේ පියා වීම නිසයි. මගෙ පරණ ලාච්චුවක් අවුස්සද්දි මට ඒ නඩුව ගැන අපූරු විස්තරයක් හමුවුනා. ඒ ගැන සවිස්තරව ලිවීම පසුවට කල් තබන්නෙමි. 

ඕනනම් ඔය කියාපු නඩු විභාග ගැන ගොමු තැලුවැහැකි තව මාස හයක් විතර...හෙහ්,හෙහ්, හරි හරි කලබොල වෙන්ට කාරි නෑ. ඒ නිකමට කිව්වෙ. එහෙම ගොමු තලන්ට මගෙ කිසිම අදහසක් නෑ. 

රයිට් එව්ව ඕන නෑ. ඉතිං මම ඔන්න පෝලිමේ ඉස්සරහටම ගියාය කියමුකො. 

ඉටිකිරිස් ලේඬීස් කෙනෙක් හිටිය ආය නෑ හරියටම අර කවුද ටෙලි නාට්‍ය නිළියක් ඉන්නෙ අන්න ඒ වගේමයි. බෙල්ලෙ එල්ලල තිබ්බ නේම් ටැග් එක. වැඩේ කියන්නෙ ඒකෙ අකුරු බොහොම කුඩයි. ඉස්සරහට නැමෙන්ට ඕන නම කියවගන්ට. නම කියෝගන්ට මම ඉස්සරහට නැමුනහම ඒ ඉටිකිරිස්ලතා බයවෙච්චි පාර ඇස් දෙකත් ලොකු කරගෙන පස්සට විසිවුනා. මම බොහෝම අහිංසක විදිහට හිනාවුනා. "වින්ධ්‍යානි - කලමණාකරණ සහකාර" එහෙමයි නේම් ටැග් එකේ ගහල තිබ්බෙ. 

"මිස් මගෙ පාස්පෝට් එක අලුත් කරගන්න ඕන" ඇප්ලිකේෂන් එකයි පරණ පාස්පෝට් එකයි දික්කරමින් මම කිව්ව. 

"දැන් පාස්පෝට් අලුත් කරන්නෙ නෑ" වින්ධ්‍යානි මිසී බොහොම ගාම්බීර හඬකින් මට දැනුම් දුන්නා. 

"ඒ කිව්වෙ?" 

"ඒ කිව්වෙ පරණ පාස්පෝට් එක කල් ඉකුත්වෙලානම් අලුතෙන්ම පාස්පෝට් එකක් ගන්ට ඕන." 

"හැබැයි ඉතිං ඔහේලගෙ වෙබ් අඩවියේ නම් පාස්පෝට් එක අලුත් කරන්ට පුරවන්ට ඕන අයදුම්පත පවා තාමත් තියනව. ඔය විස්තරේ ඒකෙත් යාවත්කාලීන කලානම් හෙණ ගහනවද?" මම එහෙම කිව්වෙ නෑ කට ඇතුලෙං සුටු පුටු ගෑව විතරයි. 

"හරි...හරි….දැං මොන මොනවද ඒකට අවශ්‍ය කරන ලියකියවිලි?"

"උප්පැන්න සහතිකෙයි. ඒකෙ ෆොටෝ කොපි එකකුයි, ජාතික හැඳුනුම් පතයි, ඒකෙ ෆොටෝ කොපි එකකුයි,පරණ පාස් පෝට් එකයි, ඒකෙ ෆොටෝ කොපි එකකුයි, ලඟදි ගත්තු ෆොටෝ එකකුයි" 

වින්ධ්‍යානි සුරතේ දබරැඟිල්ල ආධාරයෙන් වමතේ ඇඟිලි එකිනෙක පිළිවෙලින් නවමින් උත්තර දෙනව දැකල මට සැණෙකින් මතක් වුනේ ඔය රූපවාහිනියෙ, ස්වර්ණවාහිනියෙ එතනින් ගියාම සිරසෙ, දෙරණෙ එහෙම රතුඉර, වාදපිටිය එතනින් ගියාම සටන, සංග්‍රාමයට එහෙම ඇවිල්ල අනුර කුමාර දිසානායක උන්නැහැ ඔය විදිහටම ඇඟිලි නමමින් කතා කරන විදිහ. 

"හරි පැහැදිලියි මෙතන වෙන්නෙ මොකක්ද කියල, ඉස්සෙල්ලම ඇමතිතුමා ටෙන්ඩර් එකට අනුමැතිය ගන්නව" (එහෙම කියල අනුර කුමාර වමතෙ සුළඟිල්ල නවනව දකුණු අතේ දබරැඟිල්ලෙන්) "ඊට පස්සෙ ටෙන්ඩර් එක කැඳවනව" (දැන් වමතෙ වෙදඟිල්ල නමනව) "ඇමතිතුමාගෙ සහෝදරයත් ටෙන්ඩර් එකක් ඉදිරිපත් කරනව" (එහෙම කියල නමන්නෙ වමතෙ මැදඟිල්ල) "ඒ ටෙන්ඩර් සමාලෝචනය කරන මණ්ඩලෙත් ඇමතිතුමා ඉන්නව" (වමතෙ දබරැඟිල්ල) "අන්තිමට සමාලෝචනයෙන් අංක එකට තේරෙන්නෙ ඇමතිතුමාගෙ සහෝදරයගෙ ටෙන්ඩර් එක" (දැන් නමන්නෙ වමතෙ මහපට ඇඟිල්ල) 

කොහොම උනත් ජේ.වී.පී. එක මරාගෙ වගේම යහ පාලන ආණ්ඩුවෙත් දූෂණ සහ වංචාවන්ට විරුද්ධව ගෙනියන සටනට නම් මම බොහොම කැමතියි. 

වින්ධ්‍යානිත් ජේ.වී.පී.ද මන්ද. "මේ මම දෙයක් අහන්ටද තරහ වෙන්නෙ නැත්තං? ඔයා ජේ.වී.පී.ද?" මට එහෙම අහන්ට කටටම ඇවිල්ලත් ආය මොකටද කියල හිතල ඒ වචන ගිලගත්ත. 

"මිස් ඇප්ලිකේෂන් එක දීල කොච්චර කල් යනවද අලුත් පාස් පෝට් එක අතට හම්බවෙන්ට?" 

"සති තුනක් ඇතුලත තැපෑලෙන් හම්බවෙයි" වින්ධ්‍යානි ඒ වෙලාවෙ නම් ඇඟිලි නැව්වෙ නෑ. 

ඉතිං මොකක් කරන්නද? මම පාස්පෝට් ඔෆිස් එකෙන් එළියට බැහැල ආව එන්ට. 

දවස් තිහයි මගෙ නිවාඩුව තියෙන්නෙත්. දැනටම ඒකෙන් දවස් හයක් ගිහිල්ල. අලුත් පාස් පෝට් එක එන්ට සති තුනක් යනව කියන්නෙ අද ඇප්ලිකේෂන් එක බාරදුන්නත් මම ආපහු යන්ට දවස් තුනකට කලින් තමයි පාස් පෝට් එක හම්බ වෙන්නෙ. ඒකත් තැපෑලෙන් එන හින්ද එතන මොකක් හරි හුටප්පරයක් වෙලා පාස්පෝට් එක නියම වෙලාවට හම්බ වුනේ නැත්තං එහෙම බබිත් සුං බබීගෙ අම්මත් සුං තමයි.මට නියමිත දිනේට ආපහු යන්ටත් බැරිවෙනව. 

රුපියල් දහදාහක් ගෙව්වම එක දවසිං පාස්පෝට් එක ගන්ටත් පුලුවං. ඒත් වන් ඩේ ඉන්ටර්නැෂනල් වැඩේ තියෙන්නෙ කොළඹ පමණයි. නුවර ඒ සෙල්ලම් නැත. ඒ හින්ද කොහොමත් වැඩේ කරගන්ට වෙන්නෙ කොළඹින්ම තමයි. 

කෝකටත් ෆොටෝ එකකුත් ගන්ට එපාය. එහෙම හිතල මම නුවර ටවුම මැදම තියෙන ස්ටුඩියෝ එකකට ගොඩවුනා. එතනත් රිසෙප්ෂන් එකේ හිටියෙ ගෑණු ළමයෙක්. 

"මිස් මට පාස්පෝට් ෆොටෝ එකක් ගන්ට ඕන. හෙට වගෙ ගන්ට පුලුවන් වෙයි නේද?" 

"සර් මෙහෙමයි. දැන් පාස්පෝට් ෆොටෝස් අතට දෙන්නෙ නෑ" 

"ඈ?.... එතකොට?" 

"එව්ව අපි කෙලිම්ම ඔන් ලයින් අප්ලෝඩ් කරනව ඉමිග්‍රේෂන් ඩිපාට්මන්ට් එකේ වෙබ් සයිට් එකට. ඒ කරල සර්ගෙ අතට නොටිෆිකේෂන් එකක් දෙනව අප්ලෝඩ් කලාය කියල. පාස්පෝට් ඇප්ලිකේෂන් එකත් එක්ක ඒක අමුණල දෙන්ට ඕන" 

මළ කෙලියයි, අර වින්ධ්‍යානි ළමය මට මේ ගැන කිසිම විස්තරයක් කිව්වෙ නෑනෙ. නෑ..නෑ..ඒ ලමයට අමතක වෙන්ට ඇති.ඔව්..එහෙම තමයි වෙන්ට ඇත්තෙ. සුවල්ප වැඩ රාජකාරි තියෙන ළමයෙක්ද හැබෑටම..මම වින්ධ්‍යානි සියලු වරදින් නිදොස් කොට නිදහස් කළෙමි. 

"හරි කීයද ගාණ පාස්පෝට් ෆොටෝ එකකට?" 

"රුපියල් හාරසීයයි" 

මම ගෙව්ව හාරසීය. 

"හරි සර් මේ චිට් එකත් අරගෙන උඩට යන්ට. අපෙ ස්ටුඩියෝ එක උඩ තට්ටුවෙ තියෙන්නෙ" 

රිසෙප්ෂන් කවුන්ටර් එක අයිනෙම්ම තිබ්බ යන්තං අඩියක් වගෙ පළල ලී පඩි පෙළක්. එක පඩියක උස ඇති අඩියක් විතර. මගෙ වම් දණහිසේ හිටපු ගමං දරුණු කැක්කුමක් එනව විශේෂයෙන් එක දිගට පඩි විස්සක් වගෙ නඟිද්දි. 

මම එහෙදි දොස්තර කෙනෙකුට ඔය විස්තරේ කිව්වම ඒ මනුස්සය මගෙ වයස අහල කියපි " ආ.. ඒක එච්චර ගණං ගන්න එපා ඔය වයසට ඔහොම වෙනව" කියල. ඒ ගමන මම ඇහුව "ඉතිං ඩොක්ටර් මගෙ දකුණු දණහිසටත් ඒ වයසමනෙ. ඇයි ඒකෙ ඒ වගේ කැක්කුමක් එන්නෙ නැත්තෙ?" කියල.දොස්තරත් අපරාදෙ කියන්ට බෑ ජොලි බුවා. පොර කියපි "ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට. එහෙමනම් ෂුවර් එකටම ඔයාගෙ දකුණු දණහිස වම් දණහිසට වැඩිය බාල ඇති කියල" 

ඉතිං කොහොම හරි වම් දණහිසට අතකුත් තියාගෙන මම අර පටු පඩිපෙළ නැඟල උඩ තට්ටුවට ගියා.ට්‍රයිපොඩ් එකක් උඩ අටවපු කැමරාවකුයි අර ෆොටෝ ගන්නකොට ඉහලන සුදු කුඩ හතර පහකුයි නම් තියනව. "සුදුකුඩ ඉහලන මල් වරුසාවේ......." ඒ සිංදුවත් මුමුණමින් මම පොඩි සෝදිසි පාරක් දැම්ම. ම්ම්ම්ම්හු... මෙලෝ යකෙක් නෑ පේන්ටවත්. 

"කවුද ගෙදර? හලෝ..කවුද ගෙදර?" මම ඒ එක්කම තිබ්බ ෆෝමිකා මේසෙකට දෙතුන් පාරක් ගහල කෑගැහුව. ම්හ්ම් කවුරුවත්ම නෑ. ෆෝමිකා මෙසේ උඩ තිබ්බ ඩෙස්ක් ටොප් එකක්. ඒ සී එකකුත් නම් තියනව. ඒත් වැඩ කරන බවක් නම් පේන්ට නෑ. 

හතර වටෙන්ම සීල් වෙලා හින්ද විනාඩියක් යන්ට වුනේ නෑ ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ට ගත්ත. මට කොහොමත් දාඩිය දානව ටිකක් වැඩියි.යන්තං අඩි දෙසීයක් පයිං ගියාද කුඹුරු අක්කරයක් කෙටුව වගෙ දාඩිය දාන්නෙ. 

ටිකක් හෝදිසි කරල බලද්දි මම දැක්ක සීලිමේ ෆෑන් එකක් එල්ලල තියනව. එතනම තිබ්බ ස්විච් එක දැම්මම මෙන්න ඇස් වහක් කටවහක් නෑ ෆෑන් එකනං බබා වගේ වැඩ කරන්ට ගත්ත. ඒත් ඒකත් අර රොටේටිං නොහොත් වටේට කරකැවෙන වර්ගයෙ එකක්. එක තැන හිටගෙන උන්නම ෆෑන් එක වටේට ගිහිල්ල ආපහු එනකල් ඉන්ට වෙනව හුළං පොදක් වද්ද ගන්ට. ඕක කොරන්ට ඇහැක? මගෙ මේ ඉහිං කණිං දාඩිය. ඒ පාර මම කලේ ෆෑන් එක කරකැවෙන කොට ඒ එක්කම රවුමෙ යන්ට පටං ගත්ත. ඒ පාරනං ඔන්න ටිකක් දාඩිය එහෙම නිවිල එක විදිහක් වුනා කියමුකො. 

ඔන්න මට ඉතිං වැඩේ නැඟල ගියා. මොන්ටිසෝරි යන කාලෙ මොන්ටිසෝරි මිස් උගන්නපු පොයම් එකකිං කොටසකුත් කිය කිය මම වටේ යනව. 

Here we go round the mulberry bush, 
The mulberry bush, 
The mulberry bush. 
Here we go round the mulberry bush 
So early in the morning. 

This is the way we brush our teeth, 
Brush our teeth, 
Brush our teeth. 
This is the way we brush our teeth 
So early in the morning. 

මේ ඒ පොයම් එකේ සිංහල වර්ෂන් එක… 

අපි මෙහෙමයි දත් මදින්නෙ, 
අපි මෙහෙමයි දත් මදින්නෙ, 
අපි මෙහෙමයි දත් මදින්නෙ පුංචි බුරුසුවෙං, 

"ඔහොම නෙවෙයි දරුවනේ..ඔය පොයම් එකේ තාලෙට ඇඟත් නැටවෙන්න ඕන" 

අපි ඇච්චො බැච්චො අත් අල්ලගෙන වටේට යනකොට අපේ මොන්ටිසෝරි මිස් එහෙම කියල තාලෙට යන විදිහ කියල දෙනව මට තාම මතකයි. අපි සුට්ටං කොල්ලො කෙල්ලො මිස් පස්සෙං ඒ විදිහට නට නටා යනව. 

ඇත්තම කිව්වොත් සද්දයක් ඇහුනෙමත් නෑ. ඒත් මා දිහා කවුද බලා ඉන්නව කියල ඉවෙං වගෙ තේරිල මම හැරිල බැලුව. පඩි පෙලෙං ගොඩ වෙන තැන ඉන්නව හිටගෙන කෙට්ටු කොල්ලෙක්. වයස විසිපහක් වගෙ ඇති. ඊට පිටිපස්සෙ හිටගෙන ඉන්නව අර පල්ලෙහා තට්ටුවෙ රිසෙප්ෂන් එකේ හිටපු කෙල්ල. දෙන්නම ඇස් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව. 

"අ..පි..මෙ..හෙ..ම..යි..ද..ත්..ම..දි..න්..නෙ..පුං..චි..බු..රු..සු..වෙං.." මීට අර්ධ ශත වර්ෂයකට වගෙ ඉස්සර මොන්ටිසෝරි මිස් කියා දුන්නු විදිහට පොයම් එක ඉවර කරල මම නැවතිල අර කොල්ලයි කෙල්ලයි දිහා ඔලුව උස්සල බැලුව. 

"මාර රස්නයක්නෙ මේකෙ උඩ තට්ටුවෙ තියෙන්නෙ. මොන විදිහට වත් ඉන්ටම බෑනෙ" මම එහෙම කියල ෂර්ට් එක ඈත් කරල පපුවට හුලං ටිකක් පිඹ ගත්ත....... 

113 comments:

  1. ඔය ආණ්ඩුවේ වෙබ් අඩවි ගැන කතා කරලා වැඩක් නෑ ... ඒවත් ආණ්ඩුවේ කන්තෝරු වගේම තමයි. ලෝඩ් වෙන්න පැයක් යනවා.... තියෙන තොරතුරුත් හරි පරණයි.
    සීතල මහනුවර එච්චර රස්නෙයි ?
    ඔය දණහිස් අමාරුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න අයට හැදෙන එකද්ද කොහෙද... අපේ මහප්පටත් තියේ.... ඉතින් ගොඩනැගිලි වල ස්වල්ප දුරක් දවසකට ඇවිදිනවා කියලද ?

    ReplyDelete
    Replies
    1. ඉසුරු,

      / සීතල මහනුවර එච්චර රස්නෙයි ? /

      දැන් ඒ සීතල නුවර කතා නෑ මල්ලි, දවස් තුනක් වැස්සෙ නැහ්නං මාර රස්නෙයි. හැබැයි ඉතිං මට ටිකක් රස්නෙ වැඩියෙං දැනෙන සීන්ස් එකකුත් නං තියනව තමයි.

      /ඔය දණහිස් අමාරුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න අයට හැදෙන එකද්ද කොහෙද…/

      ඇත්තත් තමයි කතාව. මගෙ තියෙන්නෙ දණහිසේ කැක්කුම විතරයිනෙ. ඉතිං එච්චරම කේස් එකක් නෑ. අමාරුව එනකොට විනාඩි හතර පහක් රෙස්ට් කලානම් හරි.

      එහෙම නෙවෙයි මගෙ යාලුවෙකුට ආව ලෙඩක් දණිහ එක පාරට නැමෙනව පඩි නඟිද්දි. ඒ වෙලාවට මොකක් හරි අල්ලගෙන හිටියෙ නැත්තං බඩුම තමයි. කෙලිම්ම හොම්බ බිම ඇනෙන්නෙ. අනික ඔය වැඩබිම් වල හදල තියෙන පඩි පේලිත් යන්තමට ගහන එව්වනෙ. ඉතිං මිනිහ කරන්නෙ අත්වැටක් වගෙ හොඳට අල්ලගෙන යන්ට මොකක් හරි නැත්තං එහෙම පඩිපෙලවල් වල නැඟීම එකහෙලා ප්‍රතික්ෂේප කරන එක.

      Delete
    2. ඒක නම් ඇත්ත... ඉස්සර මම යනවා කම්මැලි කමක් හිතුනම නුවර ගිහිල්ල මාලිගාව වැදලා වැව රවුමේ ඉදල හවස කෝච්චියෙන් එනවා.ලගදි ගියේ අවුරුදු ගණනාවකින්, කොළබ රස්නේ හොදයි කියල හිතුන.... අවුරුදු 10 කට ඉස්සෙල්ලා තිබිච්ච සෞම්‍ය ගතිය නෑ....
      දණහිස් අමාරුවට බණ්ඩක්කා හොදයි කියල කියනවා .... මට කෙනෙක් කිවුව කතාවක් .....

      Delete
    3. දනිස්සෙ අමාරුවට ජොකා මාරු කලාවගේ කියන කතාව අහලා නැද්ද බං. එක කකුලක ඉලාස්ටික් ගියාම ඕක වෙන්න පුලුවන්ලු කියලා ඇල්බට් අයින්ස්ටයිනුත් කියලා තියෙනවා.

      Delete
    4. Isuru,

      / දණහිස් අමාරුවට බණ්ඩක්කා හොදයි කියල කියනවා /

      යර්ස්, මාත් අහල තියනව. බණ්ඩක්ක කරලක් පෑගිල ලිස්සල ගිහිල්ල දණිහ බිම ඇනුනම දණිස් අමාරුව නිට්ටාවටම හොඳවෙනවයි කියල...

      Delete
    5. අසූවේ දශකයේ දී පේරාදෙනිය පැත්තේ රෑට නිදාගන්න සරම් ඇඳලා, බෙඩ් ෂීට් එකක් පොරවා ගන්න ඕනෑ. නැති නම් සීතලයි. දැන් නම් ෂෝටක් ගහලා, ෆැන් එකක් දා ගන්න ඕනෑ ඇති!

      Delete
    6. පේරාදෙනිය පැත්තේ විතරක් නොවේ කොළඹ සැතපුම් පහළොවක් විතර ආසන්නයේ "පරකන්දෙණිය"කියන ගමෙත් ලොකු කුඩා හැමෝම නිදාගත්තේ රෙදි පෙරෝගෙන බව "රසික සුරියආරච්චි"නම් ලේඛකයෙකු විසින් රචිත "සිව් වසරක් මරදානේ" කෘතියේත් සඳහන් වෙනවා....:)

      Delete
  2. හැබෑටම මේ රවියට කිසිම ලැජ්ජාවක් නැති හැටි. අර රිසෙප්ෂන් ගෑනු ලමය බලාගෙනම ඉඳිද්දි ෂර්ට් එක ගලවලනෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ මනුස්සය සොල්‍දරේ උඩ පිස්සු නට‍නකොට අරුං දෙන්නට උංගෙ ආතල් එක ගන්න බැරිවෙන්න ඇති.

      Delete
    3. කසුන්,

      කවුද බොල ෂර්ට් එක ගැලෙව්වෙ? ...:)

      Delete
    4. Prasanna,

      /This comment has been removed by the author./

      හෙහ්, උඹ ඇත්තටම බය වෙලාද කොහෙද මාව දැකල ...කොහොමද මගෙ පෙනුම? ෆුල් ඇන්ඩ් ටෝටලි ගාම්බීරයිස්ඩ් මොඩල් නේ?

      දැං තේරුණා නේද මෙච්චර කල් උඹල කෝචොක් දැම්මෙ මොන තරම් මහා පුරුෂයෙකුටද කියල. මම ඉතිං අර ඇබ්සොලියුට්ලි නිහතමානයිස්ඩ් හින්ද එව්ව ගණං ගත්තෙ නෑ.

      කොහොම හරි කමක් නෑ. මල්ලි මට සන්තෝසයි. පහුවෙලා හරි උඹ තීරණය කරල තියනව පිදියයුත්තන්ට පිදීමට සහ නිසි ගෞරවය දෙන්ට. ඒකට උඹට මගේ බහුශ්‍රෑත ආචාරය!!!

      Delete
    5. Prasanna,

      / මේ මනුස්සය සොල්‍දරේ උඩ පිස්සු නට‍නකොට අරුං දෙන්නට උංගෙ ආතල් එක ගන්න බැරිවෙන්න ඇති. /

      පල්ලෙහා තට්ටුවෙ මේ දෙනෝදාහක් ගැවසෙන තැන මොන ආතල්ද බං? ඒ වුනාට ඇත්තටම පල්ලෙහාට සද්දෙ නම් ඇහිල. ඇවිල්ල හිටපු කස්ටමර්ල දෙතුන් දෙනෙක් එලියට දුවල සොල්දරේ කඩාවැටෙන්ට එනවයි කියල හිතල. ඒ පාර තමයි උං දෙන්න උඩට ආවෙ හොදිවිසි කරල බලන්ට...:)

      Delete
    6. ඇබ්සොලූට් ගහපුවාම නිහතමානී වෙන කෙනෙක් ගැන ඇහුවමයි. අර එදා ඉන්දික දුන්න වැට් 69 එහෙම ගැහුවම මොනයිස්ඩ් ද වෙන්නෙ දන්නෑ.

      Delete
    7. Prasanna,

      එදා හිටියනං වැල්ලෙ පෙරලිල සෑන්ඩයිස්ඩ් වෙන්ඩයි සිද්ද වෙන්නෙ....:)

      Delete
  3. අපරාදෙ, ඔය වෙලාවේ අපේ සිත්තර පැංචාත් එතන ඉන්ඩ තිබ්බේ. එහෙනං රවි අංකල් සීයා එක්ක එයාගෙ වර්ශන් එකත් කියන්ඩ තිබ්බා.

    හියවිගොලවුන්ද මල් බෙලි බුහ්
    මල් බෙලි බුහ් මල් බෙලි බුහ්
    හියවිගොලවුන්ද මල් බෙලි බුහ්
    අන්නමෙන්නයෝනිං :D

    ඒක කියලා දෙන්නත් එක්ක 'කිලි කිලි බෝලේ ලැලි ලැලි මාලේ'ත් කියන්නත් තිබ්බා. :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      මොන අංකල්ල සීයලද බං?...ඒ මගෙ චුට්ටි මල්ලි....කිලි කිලි බෝලෙත් කියන්ට තිබ්බ තමයි, මේ ලමෙයා කොයිංදෝ..තෝත කැලෙන් ඇහින්දෝ...දඩිං බිඩිං ඩෝං!!!

      මං බාලේ ඇතිකල තලගොයි පැටියා....කවිය මල්ලි දන්නෙ නැද්ද?

      මල් බෙලි බුහ් හෙහ්..හෙහ්.....:)

      Delete
  4. මුලින්ම කියන්නෝන First to say, අර මාතලංගෙ බ්ලොග් එකේ ඔහේගෙ ෆොටෝ කෑල්ල දැක්කට පස්සෙ මම මේ බ්ලොග් එකේ දාන කමෙන්ට්වල සංවරයක් ඇතිකරගන්න තීරණය කළා හිටං. (ඒ කිවුවට ඉතිං.....)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බං අන්න එහෙම වරෙං Come that way....:)

      Delete
    2. ඒකෙ තට්ටෙ විතරනෙ බං පේන්නෙ. මූණකටට අර අජිතගෙ මූණ ආදේශ කරලා තමයි මම මුගෙ මූණ ඕගනයිස් කරගත්තෙ. මමනම් එහෙම සංවරයක් ඇතිකරගන්න ට්‍රයි කරන්නෙ නෑ. මොකද නෙලුං අජිතගෙ මූණට මැච්වෙන ගාම්බීර පෙනුමක් මටත් තියෙන හංදා.

      ඒක නෙවෙයි මල්ලි. මොකද උඹ මගෙ කමෙන්ට් එක ලඟට ආවම කමෙන්ට් රිප්ලයි කරන එක නවත්තන්නෙ? ඒම මටත් වඩා මට පස්සෙ කමෙන්ට් දාන එවුන් මාත් එක්ක තරහ වෙන්න බලපානවා.

      Delete
    3. හෙන්රි,

      /ඒක නෙවෙයි මල්ලි. මොකද උඹ මගෙ කමෙන්ට් එක ලඟට ආවම කමෙන්ට් රිප්ලයි කරන එක නවත්තන්නෙ?/

      අඩේ එහෙම එකක් තියද? චේතනාන්විතව කල දෙයක් නොවේ මා පිය සබඳ....දීස් ඩේස් යූ නෝ, වැකේෂන් නෝ, වෙරි බිසී නෝ, බිටර් හාෆ් ඕල්වේස් ඔන් ද වෝ පාත් නෝ,

      "තිස්සෙම ඕකට එබීගෙන කොට කොට හිටියම ඔක්කොම හරියයිද මනුස්සයෝ?"

      සෝ එක්ස්ට්‍රීම්ලි රිග්‍රෙට් එනි ඉන්කන්වීනියන්ස් කෝස්ඩ් මයි ඩියර්ස් නෝ,

      Delete
  5. දැං රවී අයියට තේරෙනව නේද අවුරුදු හතරට ලංකාව තාක්ෂණික අතින් කොච්චර ඉදිරියට ගිහිල්ලද කියල. දැං ඔය ෆොටෝ එක වෙබ් එකට අප්ලෝඩ් කළාම ඒක කොළමට යන්නම අවුරුද්දක් විතර යනව. ඒ අතරං අපේ සර්වර්ස් දියුණුයි. අර ඇප්ලිකේෂන් එකත් අයින් කරල තියෙන්නෙ. ඒකත් තාම ඉවත් වෙමින් පවතිනව. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මයෙ පෝටොස් එක උඩුගත කරන්ඩ ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව ඊලඟට කියන්නංකො....:)

      Delete
  6. දැං අර රෙස්ටොරන්ට් එක විවෘත කරන්නෙ ආපහු ගියාට පස්සෙ ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකත් බාගෙට ලියලයි තියෙන්නෙ....බලමු මොකවත් කරන්ට....:)

      Delete
  7. ඉතිං පොටෝ එක කෙලියැයි? හරි හරි පොටෝ එක කෙලලා ඊළඟ ටික දාමු.

    ReplyDelete
    Replies
    1. විචා,

      පොටෝ ගහල පාස්පෝට් අරගෙන ඔක්කොම ඉවරයි...:)

      Delete
  8. වැඩියෙන්ම උත්ප්‍රාසය ඇතිවෙන්නෙ පාස්පෝට් එකක් අවුරුදු දහයකින් පස්සෙ අවලංගුයි කියල තමුන්නාන්සෙ නොදන්න එකටයි. කලින් පාස්පෝට් එක දුන්නෙ පහකට ඊට පස්සෙ අවශ්‍යතාව අනුව තව පහක් හෝ ඊට අඩු කාලයක් අලුත් කරගන්ට පුළුවනි.කොහොම උනත් උපරිමය දහයයි. ඉස්සර අවුරුදු පහට දුන්න පාස්පෝට් ඉඳහිට තාම අලුත් කරගන්න ලැබෙන නිසා අලුත් කිරීමේ ආකෘති පත්‍රයත් සයිට් එකේ තාම තියෙනවා. දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු කිව්වට මම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. Helapa,

      / ඉස්සර අවුරුදු පහට දුන්න පාස්පෝට් ඉඳහිට තාම අලුත් කරගන්න ලැබෙන නිසා අලුත් කිරීමේ ආකෘති පත්‍රයත් සයිට් එකේ තාම තියෙනවා. /

      නෑ බං මට දැනගන්ට හම්බවුන විදිහට දැං අවුරුදු පහේ පාස්පෝට් වුනත් අලුතෙන් ගන්ට ඕනලු. මොකද දැන් අලුත් පාස්පෝට් එක බයෝමෙට්‍රික්ද මොන මඟුලක්ද කරලනෙ. ඒකට අත්දෙකෙයි කකුල් දෙකෙයි මාපට ඇඟිලි සලකුණු දෙන්ට ඕන. ඊට අමතරව උඩු තල්ලෙං හූරල පටක් ටිකකුත් ගන්නව. ඒ ඩී.එන්.ඒ වලට.....ඒකත් මරු සෙල්ලම....හරි ඒ විස්තර දෙවනුව..මම කියන්නෙ ඔය මොන මඟුල හරි බං පැහැදිලිව වෙබ් සයිට් එකේ දැම්මනම් ඉවරයිනෙ කියල.

      Delete
    2. කොහොමද DNA වලට වෙන තැනක් හීරුවා නම්?

      Delete
    3. මටත් මේක කියවද්දිම පුදුම හිතුනෙ හැලප කියන කාරණාවට. අනෙක ඔය අපේ වෙබ් සයිට් යාවත්කාලීන වෙනවා කියලා හිතන් ඉන්නවනං ඒකත් විහිළුවක්.

      අවුරුදු හතරකට අමතක වෙලා තියෙන තරං.

      Delete
    4. විචා,

      වෙන කොහේ හූරනවටද විචෝ ඔහේ කැමති?

      Delete
    5. සඳ වියමන්,

      යාවත්කාලීන වීම පිළිබඳව නම් මැඩම් ආය කියලම වැඩක් නෑ. වෙබ් එකට ගිය හැටියෙ නමෝ විත්තියෙන්ම හොයල බලන්ට ඕන අවසාන වරට යාවත්කාලීන වෙලා තියෙන්නෙ කවදද කියල.

      Delete
  9. //පුං..චි..බු..රු..සු..වෙං.."
    යාන්තන් ඇති බෝ ඒ සින්දුව හරි ඉවර කලා.නේද ප්‍රසන්න
    මේ රයියෝ අර චන්ද්‍රසේකර ඩයස් කේස් සුට්ටක් කියනවද
    ඕක ගැන ඇහුවමයි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මේ අයියට ඔය සින්දුවම ඇති නැත්තං මාස හතාටක් ඇදගෙන යන්න. බාගද මනුස්සය ලංකාවෙ ඉන්න හන්ද සෙල්ෆ් ඩිෆෙන්ස් තියරීස් අනුගමනය කරනව ඇති. හැක්..

      Delete
    2. Siribiris,

      /මේ රයියෝ අර චන්ද්‍රසේකර ඩයස් කේස් සුට්ටක් කියනවද /

      මට මතක විදිහට ඒ කේස් එක මෙහෙමයි. චන්ද්‍රසේකර ඩයස් කියන්නෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මොකක් හරි ඉහල තනතුරක් දරපු විශේෂඥයෙක්. එයා රියටර් වෙලා ලංකාවට ඇවිල්ල වැඩිකලක් ඉන්ට ලැබුනෙ නෑ. මැරුන. පානදුරේ දිබ්බැද්දෙ විශාල මන්දිරයක චන්ද්‍රසේකර ඩයස්, ඔහුගේ බිරිඳ රෝහිණී ඩයස් සහ ඔවුන්ගේ රියදුරා නිමල් ෆොන්සේකා ජීවත්වුනේ. මේ මරණයට සැකපිට බිරිඳ සහ රියදුරා අත් අඩංගුවට අරන් නඩු පැවරුවා. ඇසින් දුටු කිසිම සාක්ෂියක් තිබුනේ නෑ.ඒත් ප්‍රබල පරිවේෂණීය සාක්ෂි රැසක් තිබිලත් නඩු විභාගය අවසානයෙ ජූරිය විසින් චූදිතයින් දෙදෙනාම නිදහස් කරනු ලබුවා.

      තව විස්තර හොයාගත්තොත් ආයම ඒ ගැන ලියන්නං

      Delete
  10. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පාස්පෝර්ට් ෆොටෝ ගන්න හැටි, ෆොටෝ ගන්න කෙනෙක් නැති වුනාම මොන්ටිසෝරි කවි කියන හැටි, ෆෑන් දාගෙන නටන හැටි, නැමිලා නෝනලාගේ නම් කියවන හැටි.

    ඉතින් ෂර්ට් එකේ බොත්තම් ගලවලා ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. මෙඩූසා,

      වෙල්කම් ටු නිදහස් සිතුවිලි...:)

      ගොඩක් දේවල් ඉගෙන ගත්තනං බොහොම සතුටුයි...

      හරි ඊලඟ විස්තරේ හැකි විගස....

      Delete
  11. ඉඳපල්ල, හිටපු මහ රජ්ජුරුවංගෙ යෝද පාගමන එනවලු ලඟ ලඟම. දුවල ගිහිල්ල ඒක බලල එඤ්ඤං අනික් කමෙන්ට් වලට උත්තර දෙන්ට.

    එතුමගෙ බුරුසු රාජයාත් එක්ක කොස් ගෙඩියක් වගෙ මූණු පොඩ්ඩ දැකබලා ගන්න එකත් සුටුපටු වාසනාවක්ද හැබෑටම?

    ආ...ඊයෙ ආරංචියක් ආව අර ඩේසි ආච්චිත් පෙලපාලිය ඉස්සරහිම්ම එනවලු රෝද පුටුවක මැණික් මල්ලත් ඔක්කෙ තියාගෙන. යෝ කුමරාලු රෝද පුටුව තල්ලු කරං එන්නෙ.

    යෝද පා ගමන බලල ඇහිල්ල වැඩි විස්තර කියඤ්ඤා..හොන්ජේ ළමායි?

    ReplyDelete
    Replies
    1. ඔහේට මල්ලෙන් මැණිකක් එහෙම හම්බෙයි එහෙනං අර කතාව ලියුවට.

      Delete
    2. අප්පේ ළමයි...ගිහිල්ල බලල ආවනෙ යෝද පා ගමන, මගේ ඇස් දෙකෙං පල ප්‍රයෝජනයක් ගත්තෙ උපන්නට පස්සෙ ඕං අද තමයි.

      එතුමාගෙ මූණ කට දැක්කම බඩ පිරෙනව. නීලකාස හොරු, මිනී මරුවෝ, ඉස්ත්‍රී දූසකයෝ, අල්ලස් කාක්කෝ සහ මහජන මුදල් වංචාකරන්නෝ යන පංච මහා බලවේගයම එතුමා වටා එක් රොක් වෙලා ජයගෝසා නගන අන්දම දැක්කම සකල සරීර ඉන්ද්‍රියන්ම සලිත වෙනව. දේසාබිමානයෙන් හීගඩු පිපෙනව මුලු සරීරෙ පුරහම.

      නාට්ටිය ජවනිකා වගයක් තිබ්බ මාරයි. පෙලපාලියෙ ඉස්සෙල්ලම ගිය ප්‍රදර්සන රතය නම කරල තිබ්බෙ " හෙල්පිං හම්බන්තොට ''. කියල. ඊට පස්සෙ ආවෙ "කොටින්ට අල්ලස්" ඊලඟට "මිහින් ලංකා ජෝගිය." ඊට පස්සෙ "ලෝකෙ ලොකුම වතුර වල" ඊට පස්සෙ "මොනරු නටන ගුවං තොටුපල"....ඊටත් පස්සෙ....හරි හරි පෝස්ට් එකක්ම ලියන්ට වෙයි වගේ...හෙහ්,හෙහ්,

      Delete
  12. හැම එකෙන්ම ජරාවක් එන විදියට තමයි සිස්ටොන් හදලා තියෙන්නේ...

    මට ඇල්ලුවේ අර අනුර කුමාරයගේ අතේ ඇඟිලි පහේ කතාව... උන්ට හැම මලදානෙටම පහක් තියෙනවා... පටන් ගන්නේ පන්ති පහෙන්... අම්මට සිරි ලංකාවේ අර්බුදවලට හේතු පහක් තියෙනවා.. සයිටම් එකටත් හේතු පහයි.. අරකටත් පහයි මේකටත් පහයි... හැබයි අතේ ඇඟිලි ගාන ඊට වඩා අඩු උනා නම් හෝ වැඩි උනා නම් හේතු ගානත් අඩු වැඩි වෙන්න පුළුවන්... තව ඌගේ ආස කෑල්ලක් තමයි.. :බොරු හොඳේ...." කෑල්ල...

    ඩේසී ආච්චි මතක් කොලා කියහන් රවියෝ...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / මට ඇල්ලුවේ අර අනුර කුමාරයගේ අතේ ඇඟිලි පහේ කතාව... /

      මට සුට්ටක් මිස්ටේකබල්. අනුර ගොයිය පටන්ගන්නෙ සුළඟිල්ලෙන් නෙවෙයි මහපට ඇඟිල්ලෙන්…..:)

      මේ වීඩියෝ ක්ලිප් එකේ 6.50 ඉඳල ඉස්සරහට බලපං

      Delete
  13. "සුදුකුඩ ඉහලන මල් වරුසාවේ......."

    කොහෙද එහෙම තියෙන්නේ ? අලුතෙන්ම කියපු එකක් ද ?

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      අඩේ වැරදුනා නේද? "මුතු බෙලි ඉගිලෙන මල් වරුසාවේ" නේද හරි සිංදුව?....:)

      Delete
  14. අර කෙට්ටු කොල්ලගෙ චරිතෙට බැහැලා මවාගෙන බලනකොට තමා කතාවෙ ආතල් එක...

    ReplyDelete
    Replies
    1. ආර්යන්,

      ඒ කෙට්ටු කොල්ලා තනිකර පිස්සු ලෝකයක්...:)

      Delete
  15. අර 30 වෙනි තට්ටුවට වෙලා සිගරට් දුං ආග්‍රහණය කරපු වෙලාවේ පුංචි බොරැල්ලට ගියා නම් මක් වෙනවැයි ඇත්තටම...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි,

      පහුවදා පාන්දරම ගියානෙ පුංචි බොරැල්ලට.....8.05 වෙනකොට මම එතන.

      එතන ජාතික ගීය එහෙම කියල කට්ටිය වැඩ පටන්ගන්නෙ 8.30 ට. ඒ වෙලාවෙ මම මාලු බනිසක් කනව කැන්ටිමේ. මාලු බනිසෙන් බාගයක් අතේතියාගෙන එහෙමම හිටගෙන සීරුවෙන් ඉන්ට වුනා ජාතික ගීය ගායනා කරල අහවරයක් වෙනකල්.

      Delete
    2. පිස්සු පීකුදු..ඕක මරාගේ කාලේ චීන්නුන්ගෙන් පුරුදු වෙච්ච දෙයක්....අනේ හුකේ ජාත්‍යාලේ කිව්වලු...!

      Delete
  16. ලංකාව හරිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ වෙනස් වෙලා නේද රවී මාමේ..??

    අනේ මන්දා.. ඔයා සමහර දේවල්වලින් අපේ තාත්තට හරි සමානයි.ඔයා මල්බෙරි බුෂ් එක වටේ කැරකුණා වගේ අන්දමන්ද කල්පනා එයාටත් හරියට පහළ වෙනවා.දවසක් ඩිපාට්මන්ට් එකේ එයාම කැඳවපු වැදගත් රැස්වීමක් වෙලාවක හූ කිය කියා නටන්න හිතුණලු..

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      ලස්සන කතාවක් තියනව මට මතක විදිහට ලුවිස් කැරල් ගැන. අහල තියනව නේද?.... "Alice in wonderland" ලිව්වෙ.

      ලුවිස් කැරල් එක එක විෂයයන් ගැන දේශනා තිය තිය රට වටේ යනවලු. එක පාරක් දේශනයක් තියන්ට ගියාම මුල ඉඳලම හතර පස් දෙනෙක් මිනිහට කචල් දානවලු. අන්තිමට දේශනය මැදදි එක කචල් කාරයෙක් නැඟිටල කිව්වලු " ඔහෙගෙ දේශනේ අපිට ඕන නෑ. ඔහේ ඊලඟට කියන්න යන්නෙ මොකක්ද කරන්න යන්නෙ මොකක්ද ඒ ඔක්කොම අපි දන්නව" කියල.

      ලුවිස් කැරොල් ඒ මිනිස්සු දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල හයියෙං හූ තුනක් කිව්වලු. ඊට පස්සෙ අත් දෙකෙන් හිටගෙන ස්ටේජ් එකේ දෙතුන් පාරක් එහාට මෙහාට ගියාලු. අන්තිමට කොන්ඩෑරුමක් ගහල ස්ටේජ් එකෙන් බිමට පැනල අර මනුස්සය ගාවට ගිහිල්ල ඇහුවලු." මම මෙහෙම කරයි කියල ඔහේ හිතුවද නැද්ද?" කියල..... හෙහ්,හෙහ්,

      Delete
  17. රවී අයියා අර උඩ කියුව වගේ දවසක්, දෙකක් පෑව්වම මේක නුවර ද කියලත් සැකයි....

    කොහොමද ලංකාවේ තාක්ෂණික දියුනුව.... සංතෝසයි නේද.... කොළඹ ගියා ද.... එහෙ සතුටුදායක තාක්ෂණික දියුණුවක් ඇති....

    ෆෑන් එකත් එක වටේ ගිය එකනම් හරි සෝයි...
    එතන හිටපු ප්‍රෙක්ෂකයෙක් වෙන්න බැරි උනානේ:D

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      හෙහ්, ඔහෙත් නුවරෙයි?

      Delete
    2. /ඔහෙත් නුවරෙයි?
      කියල අහන්නේ මාතර අයනේ.....

      Delete
    3. ඔව් ඔව් රවී අයියේ...

      Delete
    4. ඉසුරු,

      ඉතිං අපි මාතර තමයි බොල...:)

      Delete
  18. ඔයjon කොතලාවල ge තාත්තා කියන්නෙ neyinage සූදුවෙ jon ගොයියා නේද .

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අන්න හරි, අර ජැක්සන් ගොයියයි අනුලා බුලත්සිංහලයි කියන්නෙ රබානකුත් ගගහ නෙයිනගෙ සූදුවෙ...

      පැන්න කලට චණ්ඩි ජෝං පිහියක් අරගෙන අනින්ට
      දුන්න මැතිද පයින් එකක් බිව් රං කිරි කටින් එන්ට
      ඉන්න හිටින්ටත් බැරිවුණි මළ මුත්තර පිටවු කලට
      ඔන්න එවිට ආව එළුවා පැනගෙන මැතිඳුට අනින්ට

      කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට    
      වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
      උඹ ද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට
      දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

      ඉතිං අම්මෙ ඉදල මොටද කියල නෙයින පැන විජහට
      අතිං පයිං නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
      ගනිං මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
      මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

      Delete
    2. නෙයිනගෙ සූදුව නෙවෙයි බොලවු, දයානන්ද ගුණවර්ධනගෙ මධුර ජවනිකා නාට්‍යය..

      Delete
    3. ඕක හැමෝම පටලෝ ගන්නවා.. මම හිතන්නේ වැරැද්ද කරේ ජාතික රූපවාහිනියෙන්..

      Delete
    4. බූරා,

      ස්තූතියි නිවැරදි කිරීමට...:)

      Delete
  19. රවි නම් පුදුම වාසනාවන්තයෙක්, අවුරුදු හතරකට පස්සේ ලංකාවට ඇවිත් තියෙන්නේ මහරජගේ කොස් මූන බලන්න හොඳ චාන්ස් එකක් තියන වෙලේ. කොහොමද මූන දැක්කද?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      හප්පේ දැක්ක දැක්ක.... ඔහොම මෙහෙම දැක්ක. මා එක්ක බොහොම සිරියාවට හිනැහුනත් එක්ක....:)

      Delete
  20. පාස්පෝට් කන්තෝරු පොජ්ජට ගියාම තමා බඩ පපුව හීතල වෙන්නෙ මේ පුංචි රටේ මෙච්චර මිනිස්සු තොගයක් සට යනවද කියලා..
    පොටෝ ඇල්ලීමේ විත්තරේ බලමු හනිකට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. GS,

      / පාස්පෝට් කන්තෝරු පොජ්ජට ගියාම තමා බඩ පපුව හීතල වෙන්නෙ මේ පුංචි රටේ මෙච්චර මිනිස්සු තොගයක් සට යනවද කියලා../

      දෙයියම්ප බොට කියන්ට මලේ..මටත් ඔහොම්මම හිතුන...:)

      මම ඔය වන්ඩේ සර්විස් එකෙන්නෙ පාස්පෝට් ගත්තෙ.මම උදෙම්ම ගිය හින්ද අංකෙ 6. ලියකියවිලි බාරදීල ආපහු එනකොට වෙලාව 9.45 යි. ඒ වෙනකොට එක්දින සේවයෙ නිකුත් කරන්නෙ අංක දෙසිය ගණං. ඒ නෝමල් සර්විස් අයට අමතරව...:)

      Delete
    2. ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නම් රට යන්න හදනවයි.... හැබැයි සුද්දෝ එනවා ලංකාවේ හිගා කන්න....

      Delete
    3. මටත් ඕකට යනගානෙ හිතෙන්නෙ යකෝ ලංකාවෙ ඉතුරුවෙන්නෙ කවුද දැං කියන එක

      Delete
    4. රට යන්නමත් නෙමේ ඔය නිකම් ඉන්නවාට අරන් ඉන්න අයත් ඉන්නවා.මම දන්නා කිහිප දෙනෙක්ම ඉන්නවා පාස්පෝට් හදලා අවුරුදු හතර,පහ වෙනවා තාමත් කොළඹින් පිට ගිහින් නැහැ.

      Delete
    5. අවුලක් නෑ මනෝජ් කොහොමත් උතුරු නැගෙනහිරට යන්න ලඟදිම පාස්පෝර්ට් ඕනෙ වෙන්න පුලුවන්.

      Delete
    6. ඉසුරු,

      / ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නම් රට යන්න හදනවයි../

      ඇත්ත තමයි සත්තකමයි!...:)

      Delete
    7. Manoj,

      /රට යන්නමත් නෙමේ ඔය නිකම් ඉන්නවාට අරන් ඉන්න අයත් ඉන්නවා./

      දැන්නම් එහෙම බැරිසීන් එකක් මට ආරංචි වුනා. ඒ කියන්නෙ අලුතෙන්ම පාස්පෝට් ගන්නකොට රට යන හේතුවට ලිඛිත සාක්ෂි අයදුම්පත එක්ක අමුණන්ට ඕනලු.

      Delete
  21. ලංකාවේ ඇතුලේ සති තුනක් නම්, ඇමෙරිකාවට එන්න සති කීයක් යාවිද අප්පේ...මටත් ඕක අලුත් කරන්න වෙලා තියෙන්නේ දැන්...රවීගේ පෝස්ට් එක කියෙව්වම, අලුත් පාස්පෝට් එක ලැබෙන්න මාස තුනක් වත් ඉන්න වෙයි කියල හිතුන...

    ReplyDelete
    Replies
    1. පොකුරු,

      පරණ පාස්පෝට් එක අවලංගු වෙන්ට ඉස්සර ලංකාවට එන්ට අදහසක් එහෙම නැත්නම් නෝනා වහාම ඒ ගැන දැන්ම කටයුතු කරන්ට පටං ගත්තොත් හොඳයි කියලයි මගෙ උපදේසය....:)

      Delete
    2. ඒක අවලංගු වෙලා ඉවරයි රවී...වැඩ අස්සේ පාස්පෝට් එක අමතකම වෙලා ගියා...දෙවියන්ට පඬුරක් ගැට ගහල, හෙට අනිද්දම පාස්පෝට් එක බාර දෙනවා :D

      Delete
  22. අප්පට සිරි ලංකාවෙදිත් පාස්පෝට් එකක් ගන්න ඔට තරම් අමාරුද?
    අන්තිම අවුරුදු විස්සක් විසි පහක් තිස්සෙ පාස් පෝට් හදාගන්න නොගිය එක මොන තරම් හොඳයිද කියලා හිතුනා ඒක ඇහුවම.
    ;)

    ReplyDelete
    Replies
    1. නිවාඩුව යහතින් ගත කරලා එන්න ලැබේවා. බොලා ඔය අනන්මනම් රාජ උපහාස සිද්දවීම් වලට නොයා පාඩුවේ ඉඳලා එන්නයි තියෙන්නේ. කාට කියන්නද අපිට ඉතිරි කතා ටික ලියව ගන්නෙ බොලාට මොනවා හරි උනොත්...

      Delete
    2. >>විස්සක් විසි පහක් තිස්සෙ පාස් පෝට් හදාගන්න නොගිය එක මොන තරම් හොඳයිද කියලා හිතුනා ඒක ඇහුවම.<<

      What does this mean Buru H?

      Delete
    3. having friends and family who offer to do that for me. i just submit the application. ;) it will be not proper way but i dont like to waste my time there. since i have proper sandy beaches to make my self enjoying. ;)

      Delete
    4. Buru H.,

      / නිවාඩුව යහතින් ගත කරලා එන්න ලැබේවා./

      Thank you ...:)

      Delete
  23. රවි අයිෙය උදාහරණ ටිකනං පංකාදුයි

    ReplyDelete
    Replies
    1. වැවා,

      ස්තූතියි...:)

      Delete
  24. :) :) :) නියම නිවාඩුව, මම මූණ දීල නැ ලංකාවේ මේ වගේ රස්තියාදුවීම් වැඩිය හැමතැනකම වගේ අම්මයි, තාත්තයි අඳුරන අය ඉන්න නිසා.. ඒත් අපේ සමාජ ආශ්‍රය ගොඩක් අඩු නිසා අනාගතයේ මූණ දෙන්න වෙවි ලංකාවට ආවාම..

    ReplyDelete
    Replies
    1. වැලි ඩ්‍රීමර්,

      හෙහ්...එතකොට අම්මගෙ තාත්තගෙ පිහිටෙං මේ වෙනකල් එළවේසමේම වැඩ කටයුතු ටික කරගෙන නේද?....:)

      Delete
  25. නුවර තමයි දැන් ජිවත් වෙන්න අමාරුම පැත්ත.. වායු දුශනේ උපරිම, ට්‍රැෆික්, රස්නේ, බඩු මිල, ඉස්කෝල වලට තරඟය, ඉඩම් මිල හැම එකක්ම වැඩියි.. ඉස්සර වටිනාකම් එකතු කරපු ලස්සන පරිසරයත්, හිත හොඳ (ආඩම්බර උනත්) මිනිස්සුත් දැන් නෑ.. දළදා මලිගේත් දැන් නුවරට ආඩම්බරයකට වැඩිය කරදරයක් (නුවර කවුරුවත් හැබැයි තාම ඔය ටික ප්‍රසිද්ධියේ කියන්නේ නෑ...

    හිහ්.. ඉතුරු කොටහත් ඉක්කනට දාමු. මගේ පාස් පෝට් එකත් එක්ස්පයර් වෙලා.. රට යන්නේ නැති නිසා ඔන්නොහෙ ඉන්නවා.. දහදාහක් දෙනවට වැඩිය හොඳයි තැපෑලේ එන්න හිමින් දාල තියනෙක මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඔය මොනදේ තිබ්බත් "රවීයියා" වගේ පොරක් නුවර ඉන්න එකම මදිද එහේ පදිංචියට යන්න හිටං.

      Delete
    2. මං හිතන්නේ මහනුවර ප්‍රදේශයේ සමහරු පොඩි කාලේ ඉඳලාම බ්‍රේන් වොෂ් වෙලා තියෙනවා අර වඩුග රජා ගේ වැඩවසම් කාලේ ගැත්තාට බය බෝයි ගති පැවතුම්වලට.

      මං හිතන්නේ ඔය temple of the tooth එක දැන් අගනුවර වෙන කෝට්ටේ පැත්තට රී-ලෝකේට් කළ යුතුයි.

      Delete
    3. කළ්‍යාණ,

      / දළදා මලිගේත් දැන් නුවරට ආඩම්බරයකට වැඩිය කරදරයක් (නුවර කවුරුවත් හැබැයි තාම ඔය ටික ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.../

      සම්පූර්ණ ඇත්ත. කරදරයක් තමයි.අර ගණින්නාන්සෙල රොත්ත පාර අරින්ට දෙන්නෙ නෑ දළඳාවෙ ආරක්ෂාවට තර්ජනයක්ය කියල. වඳුරු කුණුහරපනෙ මෙව්වා.

      "මගේ රටට දළඳා හිමි සරණයි" කියලනෙ කියන්නෙ. දැන් අපට වෙලා තියෙන්නෙ දළඳාව අපිව ආරක්ෂා කරනව වෙනුවට පාරවල් වහගෙන තෙල්, කාලය ඔක්කොම අනිවාර්තෙ වැය කරගෙන වට වංගියක් ගිහිල්ල දළඳාව ආරක්ෂා කරන්ට.

      අනික බං තමංට වන්දනාමාන කරන්ට හදවත පිරී ඉතිරී යන භක්තියකින් ආපු බැතිමතුන්ගෙ ජීවිත ආරක්ෂා කරල දෙන්ට බැරිවෙච්චි දළඳාවක් ගැන තව කවර කතාද?

      Delete
    4. මනෝජ්,

      අන්න ඒකනෙ බං කියන්නෙ....:)

      Delete
    5. Rasika,

      /මං හිතන්නේ ඔය temple of the tooth එක දැන් අගනුවර වෙන කෝට්ටේ පැත්තට රී-ලෝකේට් කළ යුතුයි./

      එකඟයි. දැන් අගනුවර කෝට්ටෙ නම් දළඳාව තියෙන්ට ඕනත් කෝට්ටෙම තමයි...:)

      Delete
  26. මැරෙන්න කලින් අපේ ලොක්කගේ මුණ බලාගන්න ලැබිච්ච වාසනාවම මදෑ...

    ReplyDelete
  27. උඹ අවුරුදු හතරකින් ලංකාවට ආවා කිව්වම මං ගෙදර ගියාවගෙ සතු‍ටුයි මචං. මම එන කාලෙම උඹත් ආවානම් මචෝ මම අනිවාර්යයෙන්ම එනවා උඹව බලන්න බලහත්කාරෙන් හරි. මට උඹත් එක්ක කනප්පුවක් දෙපැත්තෙ වාඩි වෙලා ඩ්‍රින්ක් එකක් දාන්න පුදුම දොළදුකක් තියෙන්නෙ. ඒ නැතත් උඹ මගෙ නෑනවනෙ බැඳලා තියෙන්නෙත්.

    මචෝ පාස්පෝර්ට් වැඩේ කල්පනාවෙන් කරහං ඒ මොකද කිව්වොත් ඔතන sugarcaneeatersලට හොඳටම පිස්සු. මගෙ කොල්ලගෙ පාස්පෝර්ට් එක අලුත් කලා දැනට අවුරුදු කීපෙකට කලින් one day service දාලා. මුලු දවසම රස්තියාදු වෙලා අපි එන්න කිව්ව වෙලාවට යනකොට ඔෆීස් එකේ එකම එකයි ඉන්නෙ කෑම එකක් කකා. පස්සෙ පොර ඉඳුල් අතින්ම පාස්පෝර්ට් එක දීල ඔක්කොම හරි කිව්වා.

    ඒ පාස්පෝර්ට් එකෙන් යන ගානෙ ලංකාවෙ එයාපෝර්ට් එකේ ආගමන විගමන එකෙන්ක් කියනවා මේ පාස්පෝර්ට් එක ප්‍රෝසෙස් කරල නෑලු හරියට. ඉතින් නිළධාරිය පාස්පෝර්ට් එකත් අරන් නැගිටල ගිහින් කාවහරි හම්බවෙලා ඇවිල්ල තමයි ස්ටෑම්ප් එක ගහන්නෙ.

    ඉතින් මම කියනව ඔය පාස්පෝර්ට් එක දුන්නෙ ඔයාලගෙම දෙපාර්තමේන්තුවෙන් තමයි. එතකොට උත්තර දෙකක් හම්බවෙනවා නිලධාරිය අනුව.

    1. ඔව් මේක ඔයාලගෙ වැ‍රැද්දක් නෙවෙයි. එතන ඉන්න කවුරුහරි කරපු පිස්සුවක්

    2. ඔයා මේ පාස්පෝර්ට් එක ගත්තෙ එලියෙ ඉන්න කෙනෙකුට ජරාවක් දීලද?

    ඉතිං බං කියන්න වචන නෑ. ඒ උත්තර දෙකෙන්ම වෙන්නේ එයාලත් අනියම් ආකාරයෙන් පිළිගන්නවා එයාලගෙ දෙපාර්තමේන්‍ටුවෙ වැඩ වෙන ආකාරය. අන්තිමේදි, ඊලඟ ලංකාවට ආපුවාම ගිහිල්ල මේක හදාගන්න කියලා අවවාද කරලා සීල් එක ගහනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ හෙන්රි
      මම අලුත් වචනයක් ඉගෙන ගත්තා ඔය සීනිඋක්ගස්කන්නාට ඉංගිරිසියෙන් කියන එකත් දැම්මා නම්.
      මොකද්ද මේ රවියගේ නෝනට තියන නෑකම?

      Delete
    2. ඇයි බං ඒක suagarcaneeaters නෙවෙයිද? තව එකක් තියෙනවද?

      කොහොමත් අපේ කමෙන්ට් වලට අපිටම පුලුවන් හැටියට ඔය ප්‍රසන්නයාවත් සහබාගි කරගෙන අපිටම තමයි උත්තර දීගන්න වෙන්නෙ මචං. මේ sugarcaneeater මගේ කමෙන්ට් එක ගාවට ඇවිත් නවතිනවා. :D

      Delete
    3. Rsviya nawathinne mage comment eka gaawin maye hithe...

      Delete
    4. sugarcaneeater = සීනි වේවැල් කන්නා!

      (ʘ‿ʘ)

      Delete
    5. හෙන්රි සහ ලොක්කා,

      මොන මඟුලක් කියනවද මන්ද මේ බොලා දෙන්නා..එහෙම නවතින කෙහෙල්මලක් නෑ බං...මේ දවස්වල වෙලාව තියෙන තියෙන විදිහට තමයි කමෙන්ට් වලට පිළිතුරු.අර මංගල දැන්වීම් වල අගට දානව වගේ "සැමට පිළිතුරු"

      Delete
  28. පෝලීන් ඩි කෲස් කල මිනීමැරුමේ ලමයගෙ නම ගෝඨාබය කිරඹකන්ද නේද?

    නෙලුම් අජිත්තුමාටත් ෆෝටෝ එකක් යවන්න

    Name Tags-
    කීල්ස් සුපර් මාර්කට් එකක ඉන්නවා සෑන්ඩ් අමාලි සහ ෂයි අමාලි
    (Sand amali & Shy amali )

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔබ හරි...රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද ඒ දරුවාගේ සම්පූර්ණ නමයි.

      නෙලුමාට අටම් ෆොටෝ එකක් යැව්ව මම හිතන්නෙ.

      Delete
  29. කාලෙකින් ලංකාවට ආපු වෙලාවෙ අතිජාත මිත්තරයව හැබැහින් දැකගන්ඩ ලැබුණු එකම මදෑ..:)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      කවුද බං ඒ?

      Delete
  30. බුදු අම්මේ අවුරුදු හතරක් !! පිස්සු කොරවෙලා බම්ප් වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      මොකද මලේ කොරන්නෙ ඉතිං?

      Delete
  31. පෝස්ට් එකට වඩා දිගයි නේ කොමෙන්ට් ජෝගිය..... නුවරත් ඉතින් දවල්ට රත් වෙලා හවහට කූල් වෙනවනේ......
    පා ගමන නම් කත්.........තා....... කරන්න එපා. තරහා.... එනවා.
    කෝක උනත් ඔහේගේ පාස්පෝට් එක හරි‍‍යෙයි අයියේ දැන්????

    ReplyDelete
    Replies
    1. හා,

      හරි බං පාස්පෝට් එක නම් හදාගත්ත...:)

      Delete
  32. අර එක කකුලක් වයස කතාව ක්ලැසික් ජොක් එක! ඕක හැත්තෑව දශකයේ ශ්‍රී සඟරාවක කියෙව්වා මතකයි.

    "අහන්න ආසයි, අපටත් කියන්න"?

    ReplyDelete
    Replies
    1. රසික,

      ඔව්..ඕක මම දැක්කෙ නවයුගයකද කොහෙද.....:)

      Delete
  33. රවි දවසෙන් පාස්පෝට් එක ගන්න කොළඹ යනවානම් මෙන්න උපදෙසක්.

    ඒ බිල්ඩිමේ ම බේස්මන්ට් එකේ තියෙනවා සන්නස්ගල ගේ පොත් සාප්පුව. මීටර් සියක් මරදාන පාරේ යනකොට තියෙනවා විජේසූරිය කඩේ. තවත් එහාට ගියාම නම් ඉතිං ගොඩගේ, සුරස, දයාවංශ ජයකොඩි. පොත් කාවෙකුට කියාපු පැත්ත.

    ලොකු බෑග් එකක් අරං "යන්ට"!

    ReplyDelete
    Replies
    1. රසික,

      දැන් නම් ආය ඒ පැත්තෙ යැවෙන එකක් නෑ.

      අපරාදෙ..සන්නස්ගලගෙ පොත් සාප්පුවක් බේස්මන්ට් එකේ තියනව කියල මම දැනගෙන හිටියෙ නෑ.

      විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පුංචි බොරැල්ලෙ තියනව කියල මම දන්නව. ඒත් ඒක එතන දැන් නැද්ද කොහෙද? මම ඔතන බහිද්දි පොඩ්ඩක් විතර සෝදිසි කලා ඒත් දැක්කෙ නම් නෑ.

      Delete
  34. මහත්තයෝ ඔහේ සෝෂල් මීඩියා කියලා එකක් පාවිච්චි කරනවා නේහ්?
    මේ බ්ලොග් අවකාශේ බොහෝම සුන්දර මිනිස්සු අටෝරාසියක් ඉන්න්නවා ඔය එක එක ඔෆීසි වල රාජකාරී කරන.
    ඒ අය අපිව පුද්ගලිකව අඳුනනවා නම් අපි හොරයක් බොරුවක් නැති රියල් මනුස්පයෝ කියලා තේරෙනවානම් උදව්වක් ඉල්ලුවොත් මල්ලී / නන්ගී මගේ පූස් පාර්ට් එක ඉක්මනට හදලා දෙන්න කියලා - අපි ගැන තියෙන විස්වාසේ උඩ දන්නා අඳුනන අය ලව්වා අපේ වඩේ ඉක්මනින් කරලා දෙනවා. පූස්පාර්ට් ගන්න පෝලිමේ එන අනිත් මනුස්පයෝත් මනුස්පයෝ තමා ඒත් නොදන්න අයට උදව් කරලා රස්සාව අනතුරේ දාගන්න බෑනේ ඒ උදවියට.
    ඒ නිසා අනිත් දවසේ පොඩ්ඩක් කිඩ්නිය ත් පාවිච්චි කරන්ට කිව්වා ඕන :P

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...