Wednesday, August 17, 2016

433. හද බැඳි ගී සොළොස - 1 - මින්දද හී සර සිට ආදර නිල් දෑස තෙක්…..

ඉයන් අපූරු සටහනක් ලියල තිබ්බ ඔහු කැමති ගීත දහසයක් පිළිබඳව. ඒ එක්කම ඔහු අභියෝගයකුත් කරල තිබ්බ තමන් ප්‍රියකරන ගීත 16 ගැන ඒ වගෙ සටහනක් ලියන්නෙයි කියල. කළ්‍යාණ මිත්‍ර සහ හංසි ඒ අභියෝගය භාරගෙන දැනටම ලියල පබ්ලිෂ් කරලත් අහවරයි. ආ නිර්මාණිත් තමන්ගෙ සිත්ගත් ගී දහසය ගැන ලියල තිබ්බ. 

රයිට් දැන් මගේ වාරය... මෙතන අමාරුම වැඩේ ඉතිං ජීවිත කාලයක් අහල තියෙන ගීත හාර පන්සීයක් අතුරින් 16ක් තෝරන එක. ඒත් එහෙම දෙයක් කරන්න පුලුවන් වෙන්නත් එපාය. නැද්ද හොඳයි? 

මේ ඊයෙ පෙරේද සිත්තමීගෙ පෝස්ට් එකක මම දැක්ක නවකථාවක් ලියන්නෙ කොහොමද කියල උපදෙස්. ඒ ඇත්තම කියනවනම් සිත්තමී ලියපු උපදෙස් මාලාවක් එහෙම නෙවෙයි. තවත් රචකයෙක් ලියපු ලිපියකින් උපුටාගත්තු සටහනක්. ඒකෙ කියන්නෙ නවකතාවක් රචනා කිරීමේ පලමු පියවර වෙන්න ඕන තමන් ලියන්නට බලාපොරොත්තුවන කතාව වචන 15 වගෙ වෙන තනි වාක්‍යයකින් ලියන එක කියල.

ඒ කියන්නෙ පිටු හාර පන්සීයක නවකතාවක් වුනත් වචන පහළවක වාක්‍යයකට ගොනුකරල, සංක්ෂිප්ත කරල සාරාංශගත කරන්න පුලුවන් වෙන්න ඕන සහ එහෙම කරන්න පුලුවන් කියන එක.

හරි අර කාලෙකට ඉස්සර දුලීකා මාරපන අර මොනවද රෙදි හෝදන කුඩු ජාතියක ඇඩ් එහෙක කිව්ව වගෙ දැන් කතා ඇති වැඩට බහිමු.

දැන් මේ ඉතාම අසීරු කර්තව්‍යය මෙහෙම කරනවය කියල මම හිතාගත්ත. ඒ කිව්වෙ එක ගායකයෙකු හෝ ගායිකාවකගෙ එක ගීතයක් විතරයි තෝරගන්නෙ. මොකද එහෙම නැත්තං අමරදේව මාස්ටර්, වික්ටර්, සනත් ගාවින්ම ගීත දාසය ඉවරවෙයි. 

ඒ වගේම මේ සටහන මම ලියන්නෙ කාලානුක්‍රමණික පිළිවෙලට. නැත්නම් Chronological Order එකට. සාමාන්‍යයෙන් මෙහෙම තේරීමක් කරනකොට අග ඉඳල ඉහලට එන එකයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඒ කිව්වෙ අංක 16 ට තෝරපු ගීතය ඉස්සෙල්ලාම ඊලඟට අංක 15 අන්න ඒ විදිහට. ඒත් මෙතන එහෙම කරන්න අමාරුයි. ඒ කිව්වෙ මගෙ කැමැත්තේ ප්‍රමුඛත්වයක් නෑ කියන එක නෙවෙයි. ඒත් ඊට ලේසියි අර කිව්ව විදිහට කාලානුක්‍රමණික පිළිවෙලට ගීත පෙළගස්වන එක.

හරි එහෙනම් පටන් ගමු අංක එකෙන්......

සිංදුවක් කියන්නෙ මොනවගේ දෙයක්ද කියල යම්තමට අවබෝධයක් ලැබෙන වයසට එනකොට ඒ කියන්නෙ වයස අවුරුදු එකොළහක් දොළහක් වගෙ වෙනකොට සිංදුවක් අහන්ට අපිට තිබ්බ එකම ක්‍රමය ලක්ෂපාන බැටරි කෑලි හයක් දාපු ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක විතරයි. මම මේ කියන්නෙ අපි කෑගල්ලෙ ජීවත් වුනු කාලෙ ගැන. දවල් දවසෙ මම කොයිම වෙලාවකවත් ගෙදර නෑ. එක්කො අහල පහල ගෙදරක යාලුවො එක්ක ක්‍රිකට් ගහන්ට ගිහිල්ල නැත්නම් අපෙ ගෙදර පල්ලෙහ තිබ්බ ලඳු කැලෑවෙ ඔය මොනවහරි සෙල්ලමක් කරනව. ඒ හින්ද සිංදුවක් කණට ඇහෙන්නෙ හවස හයෙං පස්සෙ වගෙ තමයි.

හවස හයට ප්‍රවෘත්ති අහන්ට ක්‍රියාත්මක කරන රේඩියෝ එක ඊට පස්සෙ රෑ එකොළහට "සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං" කියල නිදාගන්ට යනකනුත් සමාන්‍යයෙන් එක දිගටම කතා කලා. සිංදු කිව්ව. කතන්දර කිව්ව.

ඔය සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැනත් පොඩි අතුරු කතාවක් තියනව. ඒ ඕක කියන්නෙ කවුද කියල අපි යාලුවො අතර ලොකු විවාදයක් තිබ්බ. මට හිතුනෙම අමරදේව මාස්ටර් කියල. ඒත් මගෙ යාලුවො බහුතරයක් කිව්වෙ සබ්බ පාපස්ස ගාතාව කියන්නෙ ගුවන් විදුලි සංස්ථාවෙ ප්‍රවෘත්ති එහෙම කිව්ව සිරිල් රාජපක්ෂ කියල. "ටං ටංට ටං ටංට ටං ටංට ටානා, බඩ පැත්ත සුදුවෙන්ට කිරිමැට්ට ගෑවා....මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. මෙන්න මධ්‍යාහ්න ප්‍රවෘත්ති..ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්...."

ඉතිං මට කියන්ට ඕන කලේ ඔය කාලෙ අපිට සිංදු ඇහුනෙ ඔය රෑ රේඩියෝ එක දාල තිබ්බ කාල වකවානුවෙ විතරයි. එව්වයිනුත් හිතේ ඇඳුනෙ සිංදු බොහොම ස්වල්පයයි. අමරදේව මාස්ටර්ගෙ සන්නාලියනේ, වික්ටර්ගෙ පොඩි කුමාරිහාමියේ, ටී.එම්ගෙ රත්තරන් නෙත් දෙකින් සහ ජීවිතේ අමධාරා. ඔන්න ඔය වගෙ එව්ව. 

ඒ කාලෙත් තාලෙකට සිංදුවක් කියන්ට පුලුවන් එකාට හොඳ පිළිගැනීමක් තිබ්බ එක පලෝලෙ කොල්ලො කෙල්ලො අතර. ඒත් වැඩේ තිබ්බෙ ඔය සිංදුවල වචන හරියටම දැනගන්න එක. යූ ටියුබ්, අයි ටියුබ්, රෙඩ් ටියුබ් තියා කැසට් එකක්වත් නොතිබිච්චි අපිට සිංදුවක වචන ලියාගන්ට තිබ්බ එකම ක්‍රමේ ඇවිල්ල රේඩියෝ එකේ සිංදුව ප්‍රචාරය වෙන වෙලාවට දනිපනිගාල කඩදාසියකුයි පැන්සලකුයි අරගෙන ලියාගන්න එක. ඒත් ඒක කොහොමටවත්ම ප්‍රායෝගිකව කරන්ට පුලුවන් වැඩක් නෙවෙයිනෙ.

කොහොමහරි ඔය කාලෙ මගෙ ප්‍රියතම ගීතයක් වෙලා තිබුනෙ අමරදේව මාස්ටර්ගෙ මින්දද හී සර වැදී සැලෙන හද....ඒකෙ "මින්දද හීසර වැදී සැලෙන හද, නංවන දුක්ගී ඔබට ඇසෙනවද?" කියන මුල් පද විතරයි මම කොලේක ලියාගෙන පාඩම් කරගෙන තිබුනෙ.ඉතිං කොයි වෙලෙත් ඕක කිය කිය මම එහෙ මෙහෙ ගියා. දවසක් අප්පච්චි ඇහුව "කොයි වෙලෙත් ඕක කිව්වට දන්නවද මින්දද කියන්නෙ කවුද කියල?" මම ඉතිං දන්නෙ නැතය කියල කිව්ව. 

ඒ පාර අප්පච්චි මට මින්දද කියන්නෙ කවුද? මින්දදට එහෙම කියන්නෙ ඇයි? එතකොට අපේ සාහිත්‍යයෙ මින්දදගෙ කාර්ය භාරය ග්‍රීක සාහිත්‍යයෙ කරන්නෙ ඊරෝස්ය, රෝම කාලෙ වෙනකොට ඒ වැඩේ බාරගත්තෙ කියුපිඩ්ය යනාදී වශයෙන් සියලු විස්තර කියල දුන්න.

කුමාර කරුණාරත්න ලියපු තුන් ඈඳුතු ආදර කතාවක් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනා. ඇතුගල්පුර පසුබිම් කොටගෙන ලියැවුනු පාසල් ප්‍රේමයක් තේමා කරගත් "සිතට සිතක්" "අතුරු මිතුරු" සහ "ඔබයි මමයි" ඒ පොත් තුන.

එයින් එක පොතක තියනව පාසලේ වාරාවසාන ප්‍රසංගයේදි කථා නායකයා "මින්දද හී සර" ගීතය ගායනා කරන අවස්ථාවක්. ඒ ගීතය සම්පූර්ණයෙන්ම ඒ පොතේ පළකරලත් තිබ්බ. ඉතිං මගේ ප්‍රියතම ගීතය සම්පූර්ණයෙන්ම වචනත් සහිතව පලකරල තියනව දැක්කම මට පුදුම සන්තෝසයක්. වහාම සම්පූර්ණ ගීතයම පිටපත් කරගෙන මම ඔය නිකං ඉන්න වෙලාවට කියන්ට ගත්ත. ඉතිං කොහොම හරි මට ඔය ගීතය බොහොම ඉක්මනට කටපාඩම් වුනා. මම කලින් ලියපු මගෙ අතීත මතක සටහන්වල කීප තැනකත් මම මේ ගීතය ගැන කියල ඇති.අදටත් මගෙ ප්‍රියතම ගීතයක් මින්දද හීසර....

මින්දද හීසර වැදී සැළෙන හද 
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද 
චන්දන මල් අතුරා ඇති යහනට 
කන්ද කපා පායන් රන් පුන් සඳ 

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු 
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ 
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම 
සතුටු සිනා කැන් හද පුරවා 

මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි 
අන්ධකාර සළු පටින් මුදා 
නෙත් මිණි පහනින් පහන් කරනු මැන 
අනාගතේ මං පෙත පාදා 

ගී පද - මඩවල එස්. රත්නායක
ගායනය - ඩබ්.ඩී. අමරදේව



හරි කාලානුක්‍රමණික පිළිවෙලට අංක දෙක....අවුරුද්ද මට මතක විදිහට 1974 නැත්නම් 75 වෙන්න ඕන. වික්ටර්ගෙ "ස" ප්‍රසංගය පටන්ගෙන අවුරුද්දක් වගෙ ගතවෙලා තිබ්බෙ. ලංකාවෙ පළමු ඒක පුද්ගල ප්‍රසංගය හැටියට වික්ටර්ගෙ "ස" මහත්සේ ජනප්‍රිය වුනේ හේතු කීපයක්ම හින්ද. එකක් ගීත හඳුන්වාදීමේ නිවේදන කටයුතු කල බණ්ඩාර කේ. විජේතුංගගේ අපූර්ව ආකර්ෂණීය ගැඹුරු හඬ, අනික වේදිකාවේ පසෙක රැඳවූ සුදු පැහැ තිරයක් මත වික්ටර් ගයන ගීතවලට අදාල රූපරාමු දිස්වීම. එයින් මට අද මතකයේ ඇත්තෙ වික්ටර් කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න ගීතය ගයන විට තිරයේ දිස්වූ කුරුල්ලන් සමූහයක් ඉගිලී යන දර්ශනය පමණයි.

අහ්..ඊට කලින් කියල ඉන්ට එපාය මට "ස" ප්‍රසංගය නරඹන්නට අවස්තාව ලැබුනු හැටි ගැන.කෑගල්ලෙ අපේ ගෙදර නැවතිලා කාර්මික විද්‍යාලයෙ ගිණුම් සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා අපේ ලොකු අම්මගෙ වැඩිමල්ම පුතා. ඒ අයිය ගැන මම මීට කලින් ලියල තියනව. ඒ අයිය තමයි මාව එක්ක ගියේ "ස" බලන්ට. ප්‍රසංගය පැවැත්වුනේ කෑගල්ල නගර ශාලාවෙ. හරි ඉතිං ඕනම කරන එක ගැන මම කිව්වෙ නෑනෙ. වික්ටර්ගෙ ගීතවලින් මම කැමතිම ගීතය ආදරයේ උල්පතවූ අම්මා.....

අසීමිත මව්ගුණ ගැන කියවෙන අපූර්වතම ගීයක්. මේ පහුගිය මාසෙ මම ලංකාවට ගියේ වසර හතරකට පස්සෙ. නොයෙක් නොවැළැක්විය හැකි හේතු හින්ද ඒ ගමන කල්ගියා. මම ඒ ගැන කලින් දවසක විස්තර කිව්ව. කටුනායකින් ගොඩ බැහැල ගෙදර යන ගමන්ම මම අම්ම බලන්ට ගියා අපේ මහගෙදර. අම්ම මාව වැළඳගෙන ඇඬුව. ඒ වෙලාවෙ මගෙත් ඇස් තෙත් උනේ ඉබේටම. මව් සෙනෙහස එහෙමයි. අපි කොච්චර වයස්ගත වුනත් අම්මලට අපි තවම පොඩි එවුන්. 

ආදරයේ උල්පතවූ අම්මා
මා ඔබගේ පුතුවූ…
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී…..

සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිවමතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරිදී පණදී
මා දැඩි කළ අම්මා…….

තුරුළට ගෙන අත්පා හැඩගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා……

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - වික්ටර් රත්නායක



ඊ ළඟට අංක තුන. විජය ධර්ම ශ්‍රීගෙ දුහුළු මලක් චිත්‍රපටය තිරගත වුනේ 1976 අවුරුද්දෙ. එතකොට අම්මල කට්ටිය අනුරාධපුරේට ගිහිල්ල. මම කෑගල්ලෙ. ඉස්කෝලෙ ගියෙ මගෙ හොඳම යාලුවගෙ ගෙදර නැවතිලා. 

දුහුළු මලක් තිරගතවුනේ කෑගල්ලෙ ඡායා චිත්‍රපට ශාලාවෙ. මගේ මිත්‍රයගෙ පවුලෙ කට්ටියත් එක්ක දුහුළු මලක් බලන්ට ඔවුන්ගේ වෝක්ස්වාගන් බීට්ල් රථයෙ ගිය හැටි මට තාම මතකයි. දුහුළු මලක් අපිට බොහොමත්ම නැවුම් අත්දැකීමක් වුනා. දුහුළු මලක් වඩාත්ම අපේ හිත් ඇදගත්තෙ එහි වූ මන බන්ධනීය ගීත නිසයි. ඒ අතරිනුත් නන්දා මාලිනීගෙ මේ ගීතය අදටත් මගේ ප්‍රියතම ගීයක්.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි..

කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ...

කණාටු සුළඟේ
දුහුළු මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින 
සමුගන්නේ...

ගී පද - අජන්තා රණසිංහ
ගායනය - නන්දා මාලිනී



ඊලඟට අනුපිළිවෙලට එන්නෙ අංක 4 - කෑගල්ලට සමුදීල මම කොළඹ ආවනෙ. ඒ වෙනකොට ඉතිං ඔය යොවුන් ප්‍රේමණීය හැඟීම් එහෙමත් චිත්ත සන්තානයේ අහුමුළු තුල එහෙං මෙහෙං අවදිවෙන්ට පටන්ගන්න කාලෙ.

මේ ඊයෙ පෙරේදා රුවන් නොහොත් ට්‍රාන්සිල්වේනියා ලියල තිබ්බ සටහනක් උපනන්ද සේනාරත්න නම් ගුරුතුමා ගැන. ඔහු අපි උසස්පෙල ඉගෙන ගන්න කාලෙ කොළඹ සුප්‍රසිද්ධ භෞතික විද්‍යා ටියුෂන් ගුරුවරයෙක්. තිඹිරිගස්යායෙ අශෝකාරාමයෙ පැවැත්වුනු ඔහුගේ භෞතික විද්‍යා පංතියට මම ගියා. එහෙදි ඒ පංතියටම ආපු යුවතියක් එක්ක පොඩි සම්බන්ධකමක් වගෙ එකක් ඇතිවුනා. මාස තුන හතරක් පැවති ඒ ඇසුර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්බන්ධයක්ය කියල කියන්නත් බෑ. කොහොම හරි පොඩි මෙව්ව එකක් කියල කියමුකො.

ඉතිං මට කියන්න ඕන කලේ ඈ කලා කටයුතු වලට බොහොමත්ම උනන්දුයි. ඒ කාලෙත් කවි නිසඳැස් එහෙම ලිව්ව. එයාලගෙ විද්‍යාලයෙන් පලකල සඟරාව සංස්කරණය කලෙත් ඇය. ඒ දවස්වල ඔය වයසෙ යුවතියන් අතර යම් නැඹුරුවක් (A trend) තිබ්බ සටහන් පොත්වල අන්තිම පිටුවෙ තමන්ගෙ සිත්ගත් ගීතයක් ලියන්ට. එක දවසක් අපි කතා කරමින් ඉන්න අතරෙ මම නිකමට ඇගේ සටහන් පොතක් පෙරලුවා. ඒ පොතේ අන්තිම පිටුවෙ ලියල තිබ්බෙ "සඳකඩ පහනක කැටයම් ඔපලා" ගීතය. එය ඇගේ ප්‍රියතම ගීතය බව ඇය මා සමඟ පැවසුවේ අපූරුවට සිනහසෙමින්. 

මාතර ආච්චි චිත්‍රපටය සහ සඳකඩ පහනක ගීතය ගැන මම බොහෝ විස්තර දැනගෙන හිටියට ඒ ගීතයෙ සම්පූර්ණ පද මාලාව මම ඒ වෙනකල් දැනගෙන හිටියෙ නැහැ. ඒ වචන වල අර්ථය පිළිබඳව අපි දෙන්න එදා කතාකලා. මමත් ඉතිං හතර අතට අඹරවල දුන්නා ආය නෑ වොලී නනායක්කාර හීනෙන්වත් නොහිතපු දේවල් හිට. (වොලී නානායක්කාර කියන්නෙ ඒ ගීතයේ රචකයා )

මගේ ඉල්ලීම පරිදි ඇය සඳකඩ පහනක ගීතය පිටපත් කරල ඊට පස්සෙ පංති ආපු දවසෙ මට ගෙනත් දුන්න. ඒ සොඳුරු මතක සැමරුමත් එක්ක මට ඒ ගීතය සුවිශේෂී එකක් වුනා. ඇත්තටම ඊට කලින් උනත් මගෙ ඒ ගීතයට බොහොම කැමැත්තක් තිබ්බා. 

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක 
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
සියුමැලි කැකුළක් මැළවෙද්දී.....

දහසක්පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගවුවක් ඉහලක ගොනු කොට රඳවා 
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා 
ඒ හා මුහු වුන වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක 
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ....

සඳකඩ පහනක කැටයම් ඔපලා......

හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද 
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
පොපියන හදවත සිටී බලා...

පද රචනය - වොලී නානායක්කාර
ගායනය - සුනිල් එදිරිසිංහ



ඊළඟට අංක 5 - කොළඹින් සමුගෙන මම ආව අනුරාධපුරේට. ඊට පස්සෙ අනුරාධපුර කාර්මික විද්‍යාලයෙ සැලසුම් ශිල්පී පාඨමාලාවට ඇතුලත් වුනා. ඒ 1982/83 වර්ෂයේ. රජරට සේවයේ සජීවී වැඩසටහන් කීපයක් නැරඹීමට මට සහ මගේ යාලුවන්ට අවස්ථාව ලැබුනා අපේ පංතියෙ සගයෙකුගෙ පියා රජරට සේවයෙ නිවේදකයෙක් වශයෙන් කටයුතු කරපු නිසා. ඒ ආගිය ගමන් වලදි ගුණදාස කපුගේ හා කතාබහ කරන්නත් අවස්තාවක් උදාවුනා. ඔහුගේ භාර්යාව මගේ බාල සහෝදරියන්ගේ නැටුම් ගුරුවරිය අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයෙ.

ටෙක් එකේ අපේ පන්තිය තිබ්බෙ දිග කොරිඩෝවක කෙළවර. ඒ හින්ද සද්ද බද්ද කලාට එතරම් අනික් පංති වලට බාධාවක් වෙන්නෙ නෑ. ඒ නිසා ගුරුවරයකු නොපැමිණෙන කාල පරිච්ඡේදවල අපි කලේ ඩෙස්ක් වලට හෙමිහිට තට්ටු කරමින් සිංදු කියන එක. කපුගේ එක්ක කතාබහ කරන්ට අවස්ථාවක් ලැබුනනම් එදා ඉඳල සතියක් විතර යනකල් එක දිගටම කිව්වෙ කපුගේගෙ සිංදු. මේ කපුගේගෙ ගීතවලින් මම කැමතිම ගීයක්. සුභ ප්‍රාර්ථනා කියමන්.....

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා 

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ 
පෝරුව දෙදරයි

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා 

මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා 
ඇයි මට කීවේ

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා 

ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල



අංක හය - ඔය කාලෙ වෙනකොට රජරටින් බිහිවුනා ඉතාම දක්ෂ ගායකයෙක්. ගුණදාස කපුගේගෙ මගපෙන්වීම හින්ද ඔහු ඉතාම සුලු කාලයකින් දිවයිනේ ජනප්‍රියම ගායකයෙක් වුනා. අපි ටෙක් ගිය මුල් කාලෙ තමයි ඔහුගේ පළමු කැසට් පටය නිකුත් වුනේ. කැසට් පටයේ නම "ඇසට අසුවන මායිමේ" ගායකයා මේ දිවුල්ගනේ කියල එක්කෙනෙක්.

ඇසට අසුවන මායිමේ 
බඹර සැණකෙළි මල් විලේ 
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත 
ඔබ මගෙන් වෙන් වූ දිනේ 

සියපතක් මත විසුල පිණි කැට 
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට 

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත 
මත් කලා මතකයි මගේ සිත

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ



දැන් අංක හත - ටෙක්නිකල් යන කාලෙ අපි කට්ටිය හැම පෝයටම වගෙ රුවන්වැලි සෑය, ජයශ්‍රී මහා බෝධිය, එතකොට අභයගිරිය, ජේතවනාරාමෙ පැත්තෙ මහ රෑ වෙනකල් කරක්ගහනව බයිසිකල් වල. බොරු කියන්නෙ මොකටද බුද්ධාලම්බන ප්‍රීතියකින් ඔද වැඩිල සර්දාවෙන් නිවී සැනහුනු  සිතින් ගිය ගමන් නම් නෙවෙයි ඉතිං. හෙහ්,හෙහ්, 

ඒත් ඒ ගිය හැම දවසකම වගෙ මගෙ හිතට අප්‍රමාණ දුකක් එකතුකල දර්ශනයක් තමයි ථූපාරාම පන්සලේ වැඩ වාසය කරපු සුට්ටි හාමුදුරු නමක්. වයස මගෙ හිතේ වැඩිම උනොත් අවුරුදු හතක් වගෙ වෙන්ට ඇති. 

බොහොම සාන්ත දාන්තව දෙවියතක් ඉදිරිය බලාගෙන සලපතල මළුවෙ හැමතැනම ඇවිදල පොල්තෙල් ඉවරවෙලා හෝ සුලඟට නිවීගිය පහන් යලි දල්වන මේ කුඩා හාමුදුරුවන් දෙස තෙත්වූ නෙතින් යුතුව මම බලාහිටියෙ වරක් දෙවරක් එහෙම නෙවෙයි. යාලුවොත් එක්ක බයිසිකල්වල නැඟල බුද්ධගයා මාවත දිගේ හඳපානෙ ආපහු එනකොට මට මේ ගීතය මිමිණුනේ මමත් නොදැනුවත්වම. මේ සනත් නන්දසිරි.

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම 
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද 
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු 
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

බෝ මළුවේ මල්....

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්... සසරින්... එතෙර වෙලා....

ගායනය : සනන් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සනත් නන්දසිරි



අංක අට ඇවිල්ලා නාරද දිසාසේකරගෙ ආදර නිල් දෑසේ. ඒ ගීතය මට විශේෂ වෙන්නෙ ඇයි කියල මම බොහොම දීර්ඝ විස්තර සහිතව ලියල තියෙන නිසා ආයෙම මෙතන ලියන්න යන්නේ නැත.

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...
ආදර මල පිපී වැනේ 
ඇගෙ පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි 
ඒ රන් මල පිපුණේ...
ආදර නිල් දෑසේ...
ආදර නිල් දෑසේ....

විමානයේ කදුළු දොරින් 
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි 
කාටද අත වනලා...
ආදර නිල් දෑසේ...
ආදර නිල් දෑසේ....

සිනහ දෙතොල් යහනාවේ 
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි 
මා එහි සිර කරලා...

ආදර නිල් දෑසේ...
ආදර නිල් දෑසේ....

ගායනය : නාරද දිසාසේකර 
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස



ගීත අටක් ඉවරයි..සටහනත් බොහොම දීර්ඝ වුනා නේද? ඒ හින්ද අපි මෙහෙම කරමු. ඉතුරු අට ගැන හෙට ලියන්නම්. කමක් නෑනෙ නේද?

පසුව එකතු කළෙමි,


මමත් පොඩි තරඟයක් පවත්වන්ට කියල හිතුව. මගේ ප්‍රියතම ඉතිරි ගීත 8 ගැන ඔයාල මොකද හිතන්නෙ? කැමතිනම් අභියෝගය භාරගෙන ඒ ගීත 8 නම් කරන්න. ආසන්නම නිවැරදි පිළිතුරට රු. 10,000 /= ක මුදලක් හිමිවෙනවා.

52 comments:

  1. Awesome songs with heartfelt notes.

    සින්දු අටක් වෙන කම් දාපු එක කොච්චර හොඳද. මම හිතුව අර මුලදී sidetrack වුනු විදිහට 50 shades of grey වලින් තමයි අද නවතින්නේ කියල.

    Well done and thank you Ravi.

    ReplyDelete
  2. මේ සින්දු අටම කැමති සින්දු අටක් රවී. ඔන්න මගේ දහසය විසි පහ කරල දැම්ම.

    ReplyDelete
    Replies
    1. මේ අටත් එකතු කරහම 33. දැන් එකොන්ට කියල සමීකරණයක් හොයාගන්න ඕනේ හොඳම ඒවා තෝරන්න. මේ අටෙන් එකක් වත් හලන්න බැහැ මට.

      Delete
  3. මෙන්න සිංදු. රවියියා කියන සිංදු ඇහුව නිසා අහන සිංදු ගැන හිතාගන්න පුළුවන්, දිවුලගේ සින්දුවට හැර අනික් ඔක්කොටම මනාපයි ඔන්න

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      අඩේ දිවුලගෙ සින්දුවත් මරු සින්දුවක්නෙ...:)

      Delete
  4. පරම්පරා ගානක් ගියත් ඔය සිංදු වලට තියෙන කැමැත්ත බිංදුවක් වත් වෙනස් නොවෙන හැටි හරි පුදුමයි නේද..? ආදර නිල් දෑසෙ මගේ ප්‍රියතම සිංදුවක් නොවුනත් මම හෙන ආසයි.. ඉතිරි ටික නම් ඉතින් ප්‍රියතම ගොඩේ හැමදාම තියෙනවා..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අන්න ඒකනෙ බං...:)

      Delete
  5. මමත් පොඩි තරඟයක් පවත්වන්ට කියල හිතුව. මගේ ප්‍රියතම ඉතිරි ගීත 8 ගැන ඔයාල මොකද හිතන්නෙ? කැමතිනම් අභියෝගය භාරගෙන ඒ ගීත 8 නම් කරන්න. ආසන්නම නිවැරදි පිළිතුරට රු. 10,000 /= ක මුදලක් හිමිවෙනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකය අවසානයි ...කැටපොලක් වෙමින් පවතී ..හෙක් ...හෙක්

      Delete
    2. අටම්,

      එහෙම එකක් මම හීනෙකින්වත් හිතුවෙ නම් නෑ. පෝස්ට් එක ලියල පබ්ලිෂ් කලාටත් පස්සෙ මෙහෙම දෙයක් ගැන හිතුනෙ.අනික බ්ලොග් ලෝකෙ අනික් හැමදෙයක්ම තියන එකේ කැටපොලකුත් තිබුනම මක් වෙනවැයි? :)

      Delete
    3. විහිලුවට කියුවේ

      Delete
  6. සදකඩ පහනක සිංදුවට තමයි මෙතනින් ගොඩක්ම කැමතී...

    ඉයන්ගෙ පෝස්ටුවේ රවී අයියා කියල තිබුනානෙ මෙහෙම එකක් ලියන්න ඕනේ කියලා... මං හිතන්නේ මා ඇතුලු කිහිපදෙනෙක් රවී අයියට ඒ වෙලාවේ පතපු සුභ පැතිල්ල දැකල නෑ වගේ:D....

    බලනකොට ඒකත් එක්තරා අබියෝගයක් වගේ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      ස්තූතියි...:)

      Delete
    2. කොච්චර සිංදු නිර්මාණය උනත් ස්ටා තරගවලටත් තාම කියන්නේ මේවානේ... ඒකෙන්ම පේනවා ඒ ගීත කොච්චර ඉහළින් තියනවාද කියලා නේද රවී අයියේ....

      Delete
    3. නිර්මාණි,

      ඉස්ටාර් තරඟ වලටනම් මේ වගෙ පරණ ගීතම කියන්න ප්‍රධානම හේතුව කියල මම හිතන්නෙ විනිශ්චය මණ්ඩලෙන් වැඩි ළකුණු හම්බ වෙන්නෙ මේ වගෙ ගීත කිව්වමයි කියල තරඟ කාරයො හිතනව වෙන්න ඕන.

      ඇත්තටම අලුත් ගායක ගායිකාවන්ගෙ හරිම අපූරු ගීත තියනව. ඒත් අහන්ට වෙලාවක් නැති හින්ද ඒව බොහෝ විට මඟ ඇරෙනව....:(

      Delete
  7. Nice songs Ravi..මේ අභියෝග ඉවර උනාට පස්සේ ඔක්කොමලා තෝරපු සිංදු එක ලිස්ට් එකක් හදන්නෙ කවුද...

    ReplyDelete
  8. ඔය සුපියල් දහදාහ සෝල් කොල්ල සෝල් කොල්ල, ඉන්පස්සෙ දෙපැත්තට පොඩි තට්ටුවක් දාල ආයෙමත් සෝල් කොල්ල තව ටිකක් සොල් කොල්ල ඔයාගේ පුකේ ගහ ගන්න.
    - මීට වැදගත් ඇනෝ

    ReplyDelete
    Replies
    1. Imported Ano,

      Thanks for the advice, will do exactly as you say...:)

      Delete
  9. මේ මාතෘකාව කියවනකල්ම මං හිතුවෙ සින්දු දෙකක් විතර දාල මේ 16 පෝස්ට් 8ක් වෙයි කියලමයි. බැලින්නම් පෝස්ට් දෙකකට බැහැලනෙ.

    කොහොම උනත් මේ සෙට් එකත් එල නෙ. අලුත් පරන කියල නෑ. හොඳ ගීතයක්නම් ඕන කෙනෙක් කැමති වෙනව. මේ තියෙන්නෙ හොඳ උදාහරන.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      මල්ලි හරි මල්ලි, සිංදු කියන එව්ව අලුත් පරණ කියල නෑ සදාතනිකයි...:)

      Delete
  10. මේකනම් හරිම සුන්දර, ගීතමය බ්ලොග් සමයක්. රවීගේ සින්දු සැට් එකත් හවසට අහන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. තිලක්,

      පූර්ණ ගෞරවය සහ හෘදයාංගම ස්තූතිය හිමිවෙන්න ඕන ගරු කටයුතු ඉයන් ලිංතොට මහතාණන්ට.

      Delete
  11. පොස්ට් 32 ක් වත් වෙයි කියල හිතපු සීරීස් එක! රවී තුමා අපි හිතන තරම් නරක නැහැ නේ.

    රවී තුමා ගීත 16 ගැන ලියනවා කියල කොහෙහරි කොමෙන්ටුවක දැක්ක ගමන්ම මට හිතුන "නිල් නුවන් පෙඟෙන අඳුර ගලා" ගීතය ඇති කියල. අදත් ඒක හොය හොයා කියෙව්වට ඒක තිබුනෙ නැහැ. ඒ ගීතයට මම ගොඩක් ආසයි.

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      යස් ඔබ හරි නෝනා මහත්මයා, "නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී" ගීතය ඊලඟ ගීත අටට තියෙනව. මම කිව්වනෙ ගීත අනුපිළිවෙල එන්නෙ කාලානුක්‍රමනිකවයි කියල. ඒ කියන්නෙ ඒ අදාල ගීතය මගේ ජීවිතේට සම්බන්ධවෙන කාල වකවානුව අනුව තමයි ගීත අනුපිලිවෙල හැදෙන්නෙ.

      "නිල් නුවන් පෙඟෙන අඳුර ගලා" ගීතය මගෙ ජීවිතයට සමබ්න්ධ වෙන්නෙ මේ ගීත අටට පස්සෙ. අන්න ඒ හේතුව කරන කොටගෙනයි මේ ගීත අටට ඒක ඇතුලත් නොවුනෙ. ඔව්..බොහොම සන්තෝෂයි නෝනා, බොහොමත්ම සන්තෝෂයි, ඔබ ඉදිරි ගීත අටේ එන එක ගීතයක් දැනට පුරෝකථනය කොට තිබෙනවා..:)

      Delete
    2. නිල් නුවන් පෙඟෙන ගීය මගෙත් ප්‍රියතම ගීයක්...මගේ ගීත දහසයේත් එය ඇතුලත්...

      Delete
  12. මමත් හිතුවේ ඔන්න පොස්ට් 32ක් වෙයි කියලලු. ඒත් මේ සින්දු 8ක්ම ඒක පොස්ට් එකකින් තියෙන්නේ නේද?

    "සඳකඩපහණක" මගේ ලිස්ට් එකෙක්ත් තියෙනවලු. අනිත් සින්දු ටිකටත් ගොඩක් කැමතියි.. ඉතුරු සින්දු 8ත් එනකම් බලන් ඉමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ...:)

      Delete
  13. ඊලඟ අට නේ :)
    1 මුව මුක්තා ලතා
    2 බිසරු ලියන් මැද
    3 සිත මනමාලකම් කරයි
    4 සුලං කුරුල්ලෝ
    5 පිදුරු සෙවි කල
    6 හැමදාමත් යාලුවේ
    7 රුවන් තාරකා නුවන් පායලා
    8 ඉකිගසා හඬන අතීතයක.
    ගීත නැතත් මෙතනින් ගායකයෙක් හරි තෝරගන්න වෙනවමයි :D

    ReplyDelete
    Replies
    1. කුමරියක පා සළඹ සැලුනා- අමරදේව
      මගේ ලමැද සුව යහනක්- ප්‍රියා සුරියසේන

      ඔන්න තව දෙකක්.

      Delete
    2. නිර්නාම,

      ගායකයො නම් හතර දෙනෙක්ම ඉන්නවා. එක ගීතයකුත් හරියටම හරි...:)

      Delete
    3. ඇනෝ,

      අමරදේව මාස්ටර්ගෙම ගීත තියනව දහයකට වැඩිය තෝරනවනම්.....

      1. පිපුණු කුසුම පරවූවා බමර කිකිණි ගොළු වුනා,
      2. ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්,
      3. මා මළ පසු සොහොන් කොතේ,
      4. ආරාධනා,
      5. කඳුලු කතාවේ නිමක් දුටුවදා,
      6. මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා,
      7. ආදර හැඟුම්,
      8. කරදර පොදි බැඳ,
      9. බමරෙකු ආවයි නිරිත දිගේයා,
      10. පෙරදිනයක මා පෙම්කල යුවතිය....

      ප්‍රියාගෙත් එහෙමයි

      1. ගෙල වට බැන්දාවු මුතු පොටේ
      2. ඈත රන්විමන් තුලින්
      3. රටකින් එහා ඉගිලී

      Delete
  14. අත්දැකීම් එක්ක බැඳුනු ගීත ආයෙ මතක්වෙනකොට ආයෙ ඒ කාලෙට යන්න පුළුවන් එක තම තියන ලොකුම වටිනාකම.සමහරු සිංදු රීමේක් කරනවාට අකමැතිත් ඒකනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      සහතිකම සහතික ඇත්ත මලේ...:)

      Delete
  15. අමරදේවගේ වැලිතල අතරේ සහ සිනිඳු සුදු මුදු තලාවේ මගේ ප්‍රියතම සිංදු දෙකක්.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      මගෙත්...

      වැලිතල අතරේ හෙමිහිට බසිනා
      නේරංජන නදියේ - ගයා හිස
      වැඩ සිට බුදුවුණදා...
      තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
      සමාධී... භාවනා

      සිනිදු සුදු මුතු තලාවේ ගීතය සත් සමුදුර චිත්‍රපටයෙ....ඔය ගීතයට ගතවෙනව මගෙ හිතේ මිනිත්තු අටක් නමයක් වගෙ. සත් සමුදුර මම ඉස්සෙල්ලම බැලුවෙ කොළඹ රීගල් එකේ සරසවි චිත්‍රපට උළෙලකදි...

      Delete
  16. මං කට්ටියගෙම කැමති සිංදු අතරෙ මං කැමති එකක් හෝ තියෙයිද බල බලා ඉන්නකොට රවී " මින්දද හී සර" දැම්මනෙ. මං හිතුවෙ පෝස්ට් එකේම ඕකෙ කතාව විතරයි ඇත්තෙ කියලා.

    කොහොමහරි රවීගෙ ලිස්ට් එක අටක් වුණත් ඒකෙ මං කැමතිම සිංදු 6 ක් ම තිබ්බා. 5 & 8 හැර ඉතිරි ටික

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      අඩේ හයක්ම තියනවද? අර අපේ හිටපු ජනාධිපති විජේතුංග මහත්තය කියනව වගෙ " බොහොම සන්තෝසයි බොහොම සන්තෝසයි." ..:)

      Delete
  17. මේ අටම මම ගොඩක් කැමති සිංදු. සමහර විට අපි සිංහල සිංදු වැඩිපුර අහපු කාල ආසන්නව සමාන නිසා වෙන්න ඇති. මෙය අජිත්ගේ ලිස්ට් එකටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      Yes, සමකාලීනයො හින්ද වෙන්නැති එකත් එකටම. Contemporaries…:)

      Delete
  18. අම්මෝ දිග. හොඳයි හොඳයි බොහොම හොඳයි.

    ReplyDelete
  19. සින්දු 8 මා මමත් කැමති සින්දු ඔබ රුපවාහිනී යන සිහිනයකි රෑ බලනවද

    ReplyDelete
  20. Hi Ravi

    Thank you for your list .Since early august I am in uk and was missing Srilanka terribly. S I am writing this I am listening to your list of songs .

    Thusitha

    ReplyDelete
  21. හප්පේ ඇති යංතං. මේ මනුස්සය එක සිංදුවකට එක ගානෙ (කිවුවට එක සිංදුවකට පෝස්ට් හතර පහක්වත් ලියවෙයි) ලියන්නෙ නැතුව මෙහෙම ගොඩ දාගත්ත එකම මදැයි.

    3, 4, 7 මගෙත් ජනප්‍රියම සින්දු.

    ReplyDelete
  22. ඔහෙගෙ දහ දාහ....... නෑ එක්කො ඕන නෑ. හැක්..

    ReplyDelete
  23. මමත් මේ 8 ටම එක වගේම කැමති.

    ReplyDelete
  24. මින්දද හීසර, සුබ ප්‍රර්ථනා සහ ආදර නිල් දෑසේ, මේ අතරින් මා වඩාත්ම කැමති ගී...අනිත් ගීතත් බොහොම රස විඳි ගීත...

    ReplyDelete
  25. මම ලියුව වගේම තමයි.. මම කැමතිම සිංදු නොවුනත් මම වැඩියෙන්ම විඳපු සිංදු තමයි ලිස්ට් කරලා තියෙන්නේ ඒ කතාවත් එක්ක.. ආ.. අභියෝගේ නේද? මම හිතාගෙන ආවේ වෙන එකෙක්වත් සිංදු අට තෝරලා නැත්නම් ඔන්නොහේ තරගෙට ඉදිරිපත් වෙනවා කියල.. දැන් බැලුවම එකෙක් දෙන්නෙක් ලිස්ට් දාල නිසා දිනන්න තියෙන සම්භාවිතාව අඩුයි.. ඒත් අවුලක් නෑ.. බලමු මෙහෙම ට්‍රයි කරලා.. (හින්ට්- එක ගායකයාගේ එක සින්දුවයි කියුව.. එඩ්වඩ් ගේ නිල නුවන් පෙගෙන තියෙනවා කියුව.. කලින් ලිස්ට් එකේ ගායකයෝ 4ක් සහ සින්දුවක් හරියටම හරිය කියුව..)
    එඩ්වඩ් ගේ නිල නුවන් පෙනෙන
    සමන් ජිනදාස ගේ තුමුල නමුණුකුල ගිරි හිස
    අමරසිරි පිරිස් ගේ ඉකිගසා හඬන
    බණ්ඩාර ආතාවුද ගේ ආශාවේ මල් වටෙන් එබී
    කසුන් කල්හාර/ ඉන්ද්‍රචාප ලියනගේගේ- ආදර මල්වල පාට කියන්නද..
    ආත්මා ලියනගේ ගේ කඳු පාමුල සිට
    දීපිකා ප්‍රියදර්ශනී ගේ කවිය ඔබ
    ක්‍රිෂාන්ත එරන්දක ගේ පංච කල්‍යාණියේ
    (ඇත්තටම මේ ලියුවේ රවී අයියා කැමති වෙනවට මම කැමති ගීත.. :)

    ReplyDelete
  26. ලස්සනයි, මමත් ආසම සින්දු ටිකක්.. අනේ මන්දා මෙහෙම තෝරනවා කියන එකත් හරිම අමාරු වැඩක් තමයි. ආස සින්දු මහ ගොඩක් තියෙනවනේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...