Tuesday, January 24, 2017

475. සුවර්නා මලවිආරච්චි...........

මහනුවරට නොදුරු බතික් නිෂ්පාදනාගාරයක
බතික් කර්මාන්තයෙහි යෙදෙන ළඳුන්....

සුවර්නා මලවිආරච්චි කියන නම දෙමුහුං. දෙමුහුං කියන්නෙ ඉංගිරිසියෙන් හයිබ්‍රිඩ්. මේ දවස්වල දෙමුහුං අධිකරණ ගැන රටපුරා මහ විසාල හාහෝවකුත් යනව නෙව. 

සුවර්නා මලවිආරච්චි කියන නමේ සුවර්නා කෑල්ලෙ නිර්මාතෘ අපේ අත්තම්මා. 

අපි අනුරාදපුරේ ඉන්දැද්දි අත්තම්ම ජයසිරිමා හාමුදුරුවං ගාව පල්ලෙහා වැලි මලුවෙ හැම පාලොස්වකටම සිල් ගත්ත. සිල් ගත්තට අත්තම්ම රැකපු සීලයක් නෑ. ඔය සිල් ගැනිල්ල උන්දැ කලේ වෙන මොහොකටවත් නෙවෙයි ගෙදරටම කොටුවෙලා ඉඳල ඇතිවෙලා මාසෙකට පාරක් තමන්ගෙ සම වයසෙ මිතුරියො හම්බවෙල පොඩි ආතල් එකක් ගන්ට. හෙහ්,හෙහ්, 

ඔය සිල් ගැනිල්ල ගැන උන්දැ කොච්චර උනන්දුද කියනවනං එක පාරක් සිල් අරගෙන ඇවිල්ල සතියක් ගතවෙන්ට කලින් ඔන්න පටන් ගන්නව මගෙ පස්සෙං එන්ට.

"මේ සුට්ටි පුතේ අර ලිතේ බලන්ටකො ඊලඟ පෝය කවදද කියල.."

උන්දැට මලපොතේ අකුරක් බෑ. මට ඉතිං වෙලාවකට තරහක් වගෙත් යනව මුන්දැගෙ මේ කරදරේට…

"මේ අත්තම්මට මොනව වෙලාද මන්ද...මේ එක පාරක් සිල් අරගෙන ඇවිල්ල ඔන්නං දවස් පහක් නැත්තං හයක් යන්ට ඇති. ආයම ලෑස්ති සිල් ගන්ට යන්ට.." ඔහොම කට ඇතුලෙං කියව කියව මම ගිහිල්ල ලිත බලනව.

"අත්තම්මෙ ……..ආය සිල් තියෙන්නෙ ලබන මාසෙ විසි දෙවෙනිදට.."

"ඒ කියන්නෙ අද මොනදාද?"

"අද ඇවිල්ල තිහනෙ. තව දවස් විසි තුනක් තියනව."

"සුට්ටි පුතා ඔන්න මට මතක් කරන්ට ඕන හොඳද?"

"හරි හරි මම මතක කරන්නංකො…. තව කල් තියෙන්නෙ ඔය ඕන හැටි" මම හෙමීට එතනිං ලිස්සල යනගමං උරහිස උඩිං ආපහු බලල කියනව.

සිල් කණ්ඩායමේ අවසේස සාමාජිකාවෝ අතරින් අපෙ අත්තම්මගෙ හොඳම යාලුව වුනේ සිල් මාතාවක්. ඇය කහ සිවුරක් ඇන්දට උපසම්පදාවෙලා නැහැ. ඒ කියන්නෙ භික්ෂුණියක් නෙවෙයි. දැනට ලංකාවෙ තියෙන තත්වය අනුව හික්ෂුණියක් ආයම කවදාවත් ඇතිවෙන්න බැහැ. උපසම්පදා ශික්ෂා පද අනුව එහෙමලු. පුරුස පක්සෙ උපසම්පදා නොවිච්ච අයට කියන්නෙ සාමනේර. ඉස්ත්‍රී පක්සෙ එහෙම අයට කියන්නෙ සිල් මාතාව. අත්තම්මගෙ හිතවත් සිල් මාතාවගෙ නම ස්වර්ණා. අත්තම්ම ඇයට ඇමතුවෙ සුවර්නා මෑණියො කියල.

හිටපු ගමං සුවර්නා මෑණියො අපෙ ගෙදරත් එනව. අත්තම්ම එක්ක වරුවක් විතර ධර්ම සාකච්ඡා එහෙම පවත්වල දවල් දානෙ එහෙමත් වළඳල හවස්කරේ අව්ව බැස්සම ආපහු වැඩම කරනව. ඔන්න ඔය කොකා පිළිමෙ පැත්තෙ ආරාමයක වැඩ හිටියෙ. 

අනුරාධපුරේ හිරගෙදරට යන පාර අයිනෙ තිබ්බ දැවැන්ත හිටි පිළිමයක්. ඒකෙ මුද්‍රාව "කොක්ඛ ප්‍රදර්ශන මුද්‍රාව". ඒ කියන්නෙ බුදු හාමුදුරුවො දකුණු අත නවල පාරෙ යන එන සැදැහැතියන්ට කොකා පෙන්නනව වාගේ බැලූ බැල්මට පේන්නෙ. ඒක හින්ද හැමෝම ඒකට කිව්වෙ කොකා පිළිමෙ කියල.

ප්‍රේමදාස මහත්තය මැරිච්ච තැන පස්සෙ හදපු ප්‍රේමදාස පිළිමෙත් ඔය වගෙ සීන් එකක් තිබ්බ. දකුණු අතේ මැදගිල්ල උඩට උස්සල අනික් ඇඟිලි හතර නවාගෙන හිටියෙ. ඉංග්‍රීසියෙං ඒ මුද්‍රාවට කියන්නෙ "Up yours mudra" කියල. සිංහලෙන් නම් අපිට කිව්වැහැකි "පශ්චාත්භාග අභ්‍යන්තර මුද්‍රාව" කියල.

හරි වැඩි විස්තර ඒ ඇති. ඒ මම පැහැදිලි කලේ සුවර්නා මලවිආරච්චි කියන නමේ සුවර්නා කියන කොටස ආපු විදිහ නොහොත් නිදාන කතාව නොහොත් ට්‍රෙෂර් ස්ටෝරි.

දැන් ඔන්න මලවිආරච්චි කොටස ආපු අන්දම. මම   වයස හතරෙ  ඉඳල වයස දොළහ වගෙ වෙනකල් හිටියෙ කෑගල්ලෙ. අපි හිටියෙ කච්චේරියෙ නිලනිවාසවල. අපෙ ගෙදර තිබ්බෙ ටිකක් විතර බෑවුමක. 

ඊට උඩහිං තිබ්බ ගෙදර පදිංචි වෙලා හිටියෙ ඒත් අප්පච්චි එක්ක කච්චේරියෙ එකට වැඩකරපු සහෝදර නිලධාරියෙක්. මිස්ටර් සිල්වා නොහොත් සිල්වා අන්කල්. සිල්ව අංකල්ට තිබ්බ කළුපාට ස්කෝඩා කාර් එකක්. 4 ශ්‍රී එකක්. නොම්මරේ මට මතක විදිහට 474 හෝ 4174. ස්කෝඩා කියන්නෙ චෙකොස්ලෝවෙකියාවෙ නිෂ්පාදිත මෝටර් රථයක්. ඒ කාලෙ ලංකාවට රුසියන් වාහනත් ගෙන්නුව. ලාඩා එහෙම ගෙන්නපු රුසියන් කාර් ජාතියක්.

සිල්ව අන්කල්ගෙ පුතාල එක්ක තමයි මම ක්‍රිකට් එහෙම ගැහුවෙ. මිසිස් සිල්වා නොහොත් සිල්වා මහත්මිය බොහොම සාර්ථක බතික් ව්‍යාපාරයක් කලා. ඒ කාලෙ බතික් සරං, කමිස, දොරරෙදි එහෙම සුලභ නැහැ. ඒ නිසා සිල්වා මහත්මියගෙ ව්‍යාපාරයට හොඳ ඉල්ලුමක් තිබ්බා. ඇය මට මතක විදිහට කෑගල්ලෙ නගර සභාව ඉස්සරහ තිබ්බ ලක්සලට එහෙමත් බතික් ඇඟලුම් සැපයුවා.

සිල්වා ආන්ටිගෙ බතික් ව්‍යාපාරයෙ තව ගැහැණු ළමයි හතර පස් දෙනෙක් සේවය කලා. අපි මිදුලෙ ක්‍රිකට් ගහද්දි එතනම එහා කොස් ගහ යට මහ විසාල ඇලුමිනියම් කල්දේරම් දෙකක වතුර පැහෙනව. ඒ වතුරට රස්නෙ පිටම සායම් දාල බතික් කල යුතු රෙදි දානව. එහෙම මට මතක විදිහට එක එක පාටට වෙන වෙනම රෙද්ද දාන්ට ඕන. 

ටයි ඇන්ඩ් ඩයි කියන්නෙ ඒ එක බතික් කරන ක්‍රමයක්. තව ක්‍රමයක් රෙද්දෙ කොපිං පැන්සලේකින් මෝස්තරේ අඳිනව. ඊට පස්සෙ ඩයි නොවිය යුතු හරිය ඉටි රත් කරල වහල දානව. ඊට පස්සෙ ඩයි කරනව. අන්තිමට ඉටි අයින් කරල ආයෙම අවශ්‍ය පාටින් ඩයි කරනව.

කෑගල්ලෙ ඒ කාලෙ තිබ්බ සුප්‍රසිද්ධ බතික් ව්‍යාපාරය තමයි පර්ල් බතික්. ටවුන් එක පහු කරල නුවර පැත්තට යනකොට මීපිටි පල්ලමේ තිබ්බෙ. අපේ විචා නම් දැනගන්ට ඕන අනිවාර්යයෙන්ම. අනේ මනුස්සය මේ දවස්වල ගිලන්ව වැඩ වාසය කරනව කියල තමයි ආරංචිය. මේ එක්කම එහෙනං අපි අපේ විචා තුමාට ඉක්මන් සුවය පතමු!

විචා ඉන්නවයි කියන්නෙ ආමි හොස්පිට්ල් එකේ. එතන යකා නටනවයි කියලත් ඔන්න ඔය කවුද ලියල තිබ්බ. බට් අයි තින්ක් දැට්ස් සිම්ප්ලි මඩ් ස්ලිංගිං...මඩ වෙන්න ඕන..විචා එහෙමත් පිස්සු කෙලියිද මං අහන්නෙ... හෙහ්,හෙහ්, 

කෝකටත් මම මේ ටිකේ පත්තර එහම උනන්දුවෙන් බලනව. ටී.වී. ප්‍රවෘත්තිත් බලනව. හැබැයි තාම දැක්කෙ නම් නැහැ "යුද හමුදා රෝහලේ දැඩි අර්බුදයක්...සියළුම දොස්තරවරු වැඩ වර්ජනය කරති" වගෙ ප්‍රවෘත්තියක්. එහෙම නැත්තං "යුද හමුදා රෝහල තාවකාලිකව වසා දැමෙයි" එහෙමත් නැත්තං "යුද හමුදා රෝහල හදිසි නීතිය යටතට" එහෙම ප්‍රවෘත්තියක් නෑ කියන්නෙ තාම නම් අවුලක් නෑ කියන එක. "නෝ නිව්ස් ඊස් ගුඩ් නිව්ස්" කියලත් කියමනක් තියනවනෙ.

හරි මම අර කලින් කිව්ව සිල්ව ආන්ටි කතෝලික. කොහෙ හරි ප්‍රසිද්ධ කොන්වන්ට් එකක ඉංග්ලිෂ් වලින් අධ්‍යාපනය ලබපු හින්ද වෙන්න ඕන මම හිතන්නෙ සිංහල නම් එහෙම අමුතු විදිහට උච්චාරණය කලේ. රෙක්ස් කොඩිප්පිලිට කිව්වෙ රෙක්ස් කොඩිපිල්ලෙ කියල. එතකොට මල්ලවාරච්චි කියන නම එයා කිව්වෙ මලවිආරච්චි කියල.

"මිල්ටන් මලවිආරච්චිගේ සෝංග්ස් වලට මම බොහොම කැමතියි රවී.." අන්න එහෙමයි සිල්වා ආන්ටි කිව්වෙ . 

ඒ දවස්වල මිල්ටන්ගෙ අර "ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ ...කොටියෙකි මා මේ සීතල වතුරේ" සිංදුව එහෙම බොහොම ජනප්‍රිය වෙලයි තිබ්බෙ. මම ඒ කාලෙ ඔය සිංදුව කිව්වෙ එහෙමයි. අපේ නෑදෑ සනුහරේ කට්ටිය එකතු උනහම අනිවාර්යයෙන් මට කියල ඔය සිංදුවෙ මුල් පද කීපය ගායනා කරවනවාමයි. ඒත් කට්ටියම ඒ එක්කම මහ හයියෙං හිනාවෙන්නෙ මොකද කියල මට ඒ සුට්ටි එකා කාලෙ තේරුමක් තිබ්බෙම නෑ.

හරි දැන් පැහැදිලියි නේද මාතෘකාව හැදුනු විදිහ. එහෙනම් දැන් අපි යමු මුඛ්‍ය තේමාවට. ඒ තමයි ස්වර්ණා මල්ලවාරච්චි.... මෙතෙක් මේ ලියපු ඔක්කොම ඇවිල්ල පසුබිම හැදීම නොහොත් බෑක්ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන්....ඔහෙලට ඕනනම් පඳුරු තැලීම කියල ගෞරවාන්විතව හඳුන්වන්නත් පුලුවන්. ඒත් මම ඇවිල්ල ඔය ගරු නම්බු සත පහකට ගණං ගන්න මනුස්සයෙක් නෙවෙයි. ඒ හින්ද අපි පසුබිම සකස්කිරීම කියලම කියමු. ඒ ඇති හොඳටම. "ප්‍රිපෙයාරින් ද බෑක් ග්‍රවුන්ඩ් මෙටිකියුලස්ලි ඊස් අ ජොබ් හාෆ් ඩන්" කියල අර කවුදෝ කියලත් තියනවනෙ. මට මතක විදිහට ඇල්ෆ්‍රඩ් හිච්කොක් හෝ ස්ටැන්ලි කුබ්රික් වෙන්න ඕන.

එහෙනම් ස්වර්ණා නම් ගැහැණිය සහ රංගන ශිල්පිණිය ගැන අපි ඊලඟට කතා කරමු.

26 comments:

  1. //"ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ ...කොටියෙකි මා මේ සීතල වතුරේ"//
    කොටි රෑ ගණ අඳුරේ සීතල වතුරේ බැහැල ඇවිත් කලපු තරණය කරල හිමීට ඔළු කපාගෙන ගිය කාලයට කලින් අනාගතය දැකල කියපු සින්දුවක් වගේ.

    //ඊට පස්සෙ ඩයි නොවිය යුතු හරිය ඉටි රත් කරල වහල දානව. ඊට පස්සෙ ඩයි කරනව. අන්තිමට ඉටි අයින් කරල ආයෙම අවශ්‍ය පාටින් ඩයි කරනව.//
    මුලින් තද පාටක් දාල පස්සේ ලා පාටක් දාන එක වෙන්න ඇති කරනවා ඇත්තේ, නේද? නැත්නම් දෙවෙනි පාර මුළු රෙද්දම පාට වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඉකෝන්,

      පාට හතරක් දානවය කියමුකො. කහ, රතු, කළු සහ සුදු...ඉස්සෙල්ලම ගන්නෙ ලා පාට. කහ බාත් එකේ දානව ඉතිරි හරිය ඔක්කොම ඉටිවලින් වහල,

      ඊට පස්සෙ රතු වෙන්න ඕන හරිය ඇරෙන්න ඉතිරි ඔක්කොම ඉටි වලින් වහල රතු බාත් එකේ දානව.

      ඊලඟට කළු එකටත් එහෙමයි.

      මෙතන තියනව මාතලේ බාබා බතික් කර්මාන්ත ශාලාවෙ බතික් නිර්මාණය කරන විදිහ.

      Delete
  2. //"ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ ...කොටියෙකි මා මේ සීතල වතුරේ"//

    මුහුදු කොටි ගැන මිල්ටන් අනාවැකියක් කියල තියෙන්නෙ

    ReplyDelete
  3. Thawama kathawata awe nahane!Kathawa ahanna noiwasillen innawa.Ikmanata danawako oka.

    ReplyDelete
  4. අපූ....... මදැයි ඉතිං ස්වර්ණා මල්ලවාරච්චි ගැන ලියපු එකක් කියවන්ඩ ආවා..... ඉඳහන්ංකො ඉතින් තව සතියක්.....

    යකෝ, ඔය කියපු "බෑක්ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන්" වලට ඔච්චරම ලියන්ඩ ඕනෙද ?

    විචා මහතාට ඉක්මනින් සුවය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. //යකෝ, ඔය කියපු "බෑක්ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන්" වලට ඔච්චරම ලියන්ඩ ඕනෙද ?// අනික්ව එකක් බලනකොට මේක තව හොඳයි.

      Delete
  5. ස්කෝඩා කාර් ගැන සොයනකොට මෙන්න මේක දැක්කා.

    http://skodacanada.ca/index.html
    ස්තුතිය් රවී. :)

    විචාරක මහතාට ඉක්මන් සුවය පතනෙමි!

    ReplyDelete
  6. අලවි කෙරුමට තිබෙන ලස්සන බතික් ඇඳුමට ප්‍රිය වෙමී
    ගැලවි එන්නට රෝහලෙන් යළි විචාරක හට සෙත් දෙමී
    නැලවි අත්තම්මාට සිල් දින මතක් කළ හැටි සිතුවෙමී
    මලවි ආරච්චිගේ ලිපියද ලියන තුරු මග බලනෙමී......

    රවී...හැඳින්වීමේ ලිපිය මෙහෙමනම් අනික් ලිපිය තවත් රසට ඇති කියලා හිතනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  7. දෙබිඩි = Conjoined
    දෙමුහුන් = Hybrid

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බොහොමත්ම ස්තූතියි, ව.ක්‍රි.ප. වරද නිවරද කලෙමි .......:)

      (ව.ක්‍රි.ප. = වහාම ක්‍රියාත්මක වන පරිදි)

      Delete
  8. මදැයි තැලිල්ලේ තරම සුවර්නා මලවිආරච්චිගේ ගැන කියවන්න දැන් ඊගාව ලිපිය වෙනකම් බලාන ඉන්න එපැයි.

    "සුවර්නා මලවිආරච්චිත්",සුන්දර හිනාවකින් හැමතිස්සෙම ඉන්න "අමරසිරි කලංසුරිය"ත් සිංහල සිනමාවේ මා කැමතිම චරිත දෙකක්.

    ReplyDelete
  9. පොඩි කාලෙ මටත් ඇහුනේම තොටියෙකි කියන එකට කොටියෙකි කියල තමයි...

    දඩස් ගාලා මේක නතර කරලනේ....
    විචාරකතුමාට ඉක්මන් සුව පතනවා...

    ReplyDelete
  10. ඔය සිල්ගන්න යන උපාසකම්මල වැඩි හරියක් යන්නෙ චේන්ජ් එකක් ගන්න තමයි.

    ස්වර්ණ ආන්ටි වලකජ්ජ ගහන්න ඉස්සර මේ කතාව ඉවර කරනව නේද?

    ReplyDelete
  11. විචා ආමි හොස්සපිටල් එකේ ඔක්කොම නිවස්ස අඩස්සියෙ තියාගනලු ඉන්නෙ. ඒකයි කිසිම නිවුස් එකක් පිටට නොඑන්නෙ. ඒත් ඇතුලෙ තත්තෙ අති භයංකාරයි කියල තමයි බැලුං ගල ආරංචි මාර්ග පවසන්නෙ.

    ReplyDelete
  12. :) ස්වර්ණා මල්ලවආරච්චි ගැන ලියනකම් ඉන්න උනත් කමක් නැ වගේ මේ ලිපියත් නියමයි

    ReplyDelete
  13. මම මේ අහන්නමයි හිටියේ ඔය මිල්ටන් මල්ලවආරච්චි කියන සිංදු වල පද රචනයත් එයාම ද? නැත්නම් එකම කතන්දරේ එක එක විදියට විවිධ අයට කියල ලියවගෙන ද..

    මම මේ ලඟදි ඇගේ ඇස අග බලද්දී තමයි ස්වර්ණා මල්ලවආරච්චිව දැක්කේ හෙන කාලෙකට පස්සේ.. සංසාරේ කියල හිතුනා.

    හැබෑට ඒ මනුස්සය පරලොව යන්න කලින් මේක ලියල ඉවර කරපන් රවී අංකල් හරි ද

    ReplyDelete
    Replies
    1. විචා මාමටත් ඉක්මන් සුව පතමු!

      Delete
  14. ස්වර්ණා ගැන ලියන්න බොහෝ දේ ඇති. ස්ටාර්ට් එක මෙහෙම නම් අනිත් ටික කොහොම තියේද...ස්වර්ණා කිව්වා, එයා ගැන නැතුව රවීගේ ආච්චි ගැන ලියලා තියෙන්නේ ඇයි කියලා.

    ReplyDelete
  15. කෝ බොල අද සිංදුව?
    - කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
  16. යකෝ මෙච්චර වෙලා අහලා තියෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් මියුසික් නේ..

    පොඩි නිවැරදි කිරීමක් කරන්නත් තියෙනවා.ලංකාවේ භික්ෂුණී උපසම්පදාව තියෙනවා සහ මේ වන විට ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවා.

    ReplyDelete
  17. රවියාණන් ගේ පානීය බ්‍රෑණ්ඩුව කුමක්ද? ඉන් බිඳු කීපයක් යම්පැලයකට වත් කලොත් ඒ පැලය පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මහා වෘක්ශයක් වන බව නියතයි..
    ජයවේවා..!!

    ReplyDelete
  18. ඔහේලා ක්‍රිකට් ගහනකොට කල්දෙරම් දෙහෙක වතුර රත් කෙරුවේ බොලාට තේ හදන්න කියලයි මම හිතුවේ... චැහ්...

    සුවර්ණා මලවිආරච්චි මම හිතන්නෙ ලංකාවේ ඉන්න දස්සම නිලිය...

    ReplyDelete
  19. ස්වර්ණා මල්ලවාරච්චි ගැන ලියපු එකක් කියල හිතං කියවන්ඩ ආවා මදැයි...වෙන සුවර්ණෙක්..

    ReplyDelete
  20. හරියට හරි නොකී කතා . මුට විරුද්ධව ධෝෂභියෝගයක් ගෙන්න ඕනනේ මේ කරපු පජාත වැඩේට. කියවන්න ආවේ වෙන කෙනෙක් හ=ගැන. මු ලියල්ල තියෙන්න තව කෙනක් ගැන.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...