Saturday, June 10, 2017

511. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 37 - Champions Trophy, Face Book, An ongoing Crisis & A Requiem For A Doomed King….


මේ සටහන මම පටන් ගන්ට හිටියෙ මෙහෙම නෙවෙයි. ඒත් පෙරෙයිද අර අපේ පකිරින්තුවො ටික නටපු නාඩගම හින්ද ඒ ගැන මොකවත් නොකියම බෑ. එහෙම උනොත් අර නානසාරගෙ බොඩු බල ශේනාවෙ කස්ටිය කියනව වගෙ මමත් දේස ද්‍රෝහියෙක් වෙනව. "ඔබත් දේස ද්‍රෝහියෙක් නම් සෙයාර් කොරන්න"...හෙහ්..හෙහ්..අන්න එහෙමයි කස්ටිය දාන්නෙ පෙහෙස් බුක්කෙකේ...

දැං අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි සියලු දහ මහ දෝසම පේස් භුක් එකේ දාන එක. ඔන්න කොහෙදි හරි වාහනේ හැප්පුනයි කියමු. පොලීසියට ඉන්ෂුවරන්ස් එකටදැනුං දෙන්නෙ දෙවනුව. ඉස්සෙල්ලම කරන්නෙ ඇස්සිඩං එකේ පෝටොස් අරගෙන පේස් භුක් දාන එක.

ඒ එක්කම ඇස්සිඩං එක ගැන පරීස්සන කරන්ට ආපු පොලිස් නිලදාරියගෙ කරට අත දාගෙන ගන්නව සෙල්පියක්. ඒ කරල දානව පේස් භුක් එකේ, "ෆීලිං ඇක්සිඩන්ටල් විත් සාජන් නල්ලතම්බි @ කොට්ටුකච්චිය හයිවේ….."


එහෙමත් නැත්තං දැං ඔන්න ඇස්සිඩන් එකෙන් පෙට්‍රල් ටැංකිය හිල් වෙලා පෙට්‍රල් දෝරෙ ගලනව. ගිණි ගැනීමේ අවදානමකුත් තියෙනව. ඒ අවදානං ඔක්කොම නොසලකා අර පෙට්‍රල් ගලන එක උඩම ඉඳගෙන ගන්නව සෙල්පියක්. සෙල්පියට ඇස්සිඩන් එක බලන්ට ආපු මනුස්සයෙකුත් අඬගහ ගන්නව. අපි හිතමු මිනිහගෙ නම සෙල්ලංසේන කියල. ඔන්න දානව පෙහෙස් බුක් එකේ "ෆීලිං ඉන්ෆ්ලැමබල් විත් සෙල්ලංසේන ඇට් තුම්මුල්ල ජන්කන්" 



හරි...හරි...ඔය පේස් භුක් නාඩගං ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නංකො....හෙහ්...හෙහ්...


රයිට් දැං පකිරින්තුවො සහ නාඩගම ගැන. පකිරින්තුවො කියල කිව්වෙ අපේ කිරිකැට් ටීම් එකට. නාඩගම කියල කිව්වෙ පෙරෙයිද උං අර කෝලි සහ දෝනි ඇතුලු ඉන්දියානුවන්ට රිඹ යන්ට නෙලුව එකට...හෙහ්...හෙහ්…



ආන්න..කොල්ලො මැච්....බොලා අපි ආතල වෙච්චි කාලෙක මුණුබුරන්ට විස්තර කරල දෙන්ට වටින මැච් තමයි එව්ව.



දැං මේ දවස්වල හිතත් එක්ක අකම්පාල වෙලා ඉන්න එකේ හිතට තංතෝසයක් අරං ආවට එතකොට සෙලිබ්‍රේෂන් ඔකේෂන් එකක් හදල දුන්නට ඇන්ජලෝ, කුසල් x 2, ධනුෂ්ක, සහ අසේල ඔබට පිං...

හරි මැච් එක ගැන ඒ ඇති. අනික මේ සවුඳ පක්කොන්ට තලාගන්ටම වෙනව සෙමි ෆයිනල් යන්ට නම්. ඉස්සරහට තියන මැචස් දෙකම දැං නිකම්ම ක්වාටර් ෆයිනල්ස් වෙලා.ඒ දෙකෙන් දිනන ටීම් දෙක තමයි සෙමි යන්නෙ. එක්කො පක්කො හෝ අපි දෙගොල්ලන්ගෙන් එක ටීම් එකක්. අනික ඉන්දියානුවන් හෝ දකුණු අප්‍රිකානුවන්. ඒ දෙගොල්ලගෙනුත් එක ටීම් එකක්.

එක අතකට පකිස්තානෙට පැරදිල ගෙදර ආවත් මොකෝ?  මැච් තුනම පරදියි කියල නෝ හෝප්ස් හිටපු එකේ මෙහෙමවත් වෙච්චි එක කොච්චර එකක්ද?


ඔය උඩහිං තියෙන්නෙ දැනට ගෲප් බී එකේ
පොයින්ට්ස් ටේබල් එක.

Ok Guys, Angelo & the team… Thanks so much for bringing on a rare smile to our faces and making life somewhat easier....No problem...what ever happens on Monday you made us proud to be Sri Lankans day before yesterday..that's all that matters.

රයිට් ඒ ඇවිල්ල හිට පෙරෙයිද මැච් එකෙන් පස්සෙ ඇඩිෂනලි ලියපු හරිය...මෙතන ඉඳල තියෙන්නෙ මම ලියපු ඔරිජිනල් පෝස්ට් එක....

මේ පහුගිය සවුඳ ඉඳල මෙහෙ (මෙහෙ කිව්වෙ මේ කටාර් රාජ්‍යයෙ) ඇතිවෙලා තියන අර්බුදය ගැන කවුරු කවුරුත් දන්නව ඇතිනෙ නේද? සවුඳ උදේ වැඩට යනකොටත් මම ඔය කේස් එක ගැන අබමල් රේණුවක තරං දෙයක් දන්නෙ නෑ ඔන්න කොටිම්ම කිව්වොත්.


මේ දවස්වල ....මේ දවස්වල කිව්වෙ දැං මාසෙක තරම ඉඳල මම යෙදිල ඉන්නෙ හදිසි සහ බාරදූර කාර්යයක....ඒ කියන්නෙ රාජකාරිය සම්බන්දව හොඳද? හෙහ්..හෙහ්...බාරදූර කිව්වම මට මතක් වෙන්නෙ මම බොහොම ආස කරන පරණ නාඩගං ගීතයක්. නාඩගම ඇවිල්ල ශ්‍රී වික්‍රම..ගීතය ඇවිල්ල මෙහෙමයි..



"රකී බුද්ද දම්ම සීල පූර්වේ රජුන් ලෙසේ ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ ඒතුමා ඒතුමා ඒතුමා වෙතේ දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාරදූරයේ.... බාරදූර... බාරදූර.... බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ....." හිච්චි එකා කාලෙ මම ඔය සිංදුව කිව්වෙ ඔන්න ඔහොම...

ඔතන කන්නසාමි කියල කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ ගිහි කාලෙ නම...ආහ්..සමාවෙන්න ඕමනයි..ගිහිකාලෙ නෙවෙයි රජවෙන්ට ඉස්සර කාලෙ. ඒ කාලෙ ඔය කන්නසාමි කුමාරය හිටියයි කියන්නෙ පේරාදෙණිය කිට්ටුව මහ වැලි ගඟ අයිනෙ තම්පළා කොටුවක් වවාගෙන. ඒ මනුස්සයගෙ කන්ද උඩරට රජවෙන්ට කිසියම්ම ආසාවක්වත් බලාපොරොත්තුවක් වත් තිබිල නෑ. තනියම තම්පළා කොටුවෙ පොඩි ගේකුත් හදාගෙන විවේක වෙලාවට බටනලාවකුත් වාදනය කරමින් කන්නසාමි පූර්ණ තෘප්තිමත් ජීවිතයක් ගතකරල තියනව.

කන්නසාමි කුමාරය කියන්නෙ ඒ කාලෙ හිටපු රජ්ජුරුවන්ගෙ ඒ කිව්වෙ රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙ රිදී දෝලියකගෙ (එදවස රජකුගේ මෞලි මංගල්‍යයකදී රජු හා සමඟම අභිෂේක කරනු ලබන අග මෙහෙසිය නොවන වෙනත් අවශේෂ මෙහෙසියන් හඳුන්වන ලද්දේ රිදී  දෝලි යන ව්‍යාවහාරයෙනි. එලෙසම අවශේෂ අන්තඃපුර කතුන් හඳුන්වන ලද්දේ යකඩ දෝලි යන නමිනි.) සහෝදරියකගෙ පුතා. ඒ කියන්නෙ රජ්ජුරුවො නෑකමට වෙන්නෙ බාප්පා.



ඒ කාලෙ පැවතිච්ච සම්ප්‍රදාය විදිහට රජ්ජුරුවන්ට පුතෙක් නැත්නම් රජකම උරුම වෙන්නෙ අග මෙහෙසියගෙ සහෝදරයට. හැබැයි එකක් කියන්ට ඕන. ඔය Rule of Succession එක අපේ රටේ එතෙක් තිබ්බ සම්ප්‍රදාය නෙවෙයි. අපේ තිබ්බෙ රජකම ඊලඟට උරුම වෙන්නෙ වැඩිමහල් පුතාට. එතකොට පුතෙක් ඇත්තෙම නැත්නම් ඊලඟට ඉන්න සහෝදරයට.



ඔය මෙහෙසියගෙ සහෝදරයට කිරුළ උරුම වෙන සම්ප්‍රදාය ඇවිල්ල තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන්. කන්ද උඩරට රජවරු සූර්ය වංශික උභය කුළ පාරිශුද්ධ කුමාරිකාවන් ඒ කාලෙ ගෙන්නගෙන තියෙන්නෙ දකුණු ඉන්දියාවෙ තන්ජෝර් පළාතෙන්. ඒ කුමරියන් එක්ක එයාලගෙ නෑදෑ පරපුරම ඇවිල්ල මෙහෙ පැල පදියං වෙන එක සිරිතක් විදිහට කෙරුනලු. ඒ හින්ද ඒ කාලෙ උඩරට රාජධානියෙ රාජ සභාවෙ එහෙම වැඩිපුර භාවිතා වුනාය කියන්නෙ දෙමළ භාෂාව. කොටින්ම 1815 අවුරුද්දෙ මාර්තු දෙවෙනිදා බ්‍රිතන්‍යයන් එක්ක අත්සන් කරපු උඩරට ගිවිසුමට අත්සන් කරපු උඩරට ප්‍රධාන නිළමේ වරුන්ගෙන් සිංහලෙන් අත්සන් කරල තියෙන්නෙ කැප්පෙටිපොළ නිළමෙ විතරයිලු.



ඉතිං ඔය රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියටත් (ආ...අවශේෂ මෙහෙසියන් රිදී දෝලි කියල හැඳින්වෙද්දි අග මෙහෙසිය හැඳින්වුනෙ රන්දෝලිය කියල. අදත් ඔය දළඳා පෙරහැරේ රන්දෝලි පෙරහැර කියල කියන්නෙ ඇත්තටම ඒ කාලෙ ඔය පෙරහැරේ ගෙනිච්චයි කියන්නෙ අග බිසවගෙ රන් ආභරණ කියලයි කියන්නෙ) සහෝදරයෙක් ඉඳල තියනව මුත්තුසාමි කියල. ඉතිං සම්ප්‍රදාය අනුව රජකම උරුම වෙන්ට ඕන ඒ මුත්තුසාමිට වුනාට මහ අදිකාරම් (ඒ කාලෙ රටේ අගමැතිට කිව්වෙ මහ අදිකාරම් කියල) පදවිය දරපු පිළිමතලව්වේ මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි රජකරවන්ට රහසේ කටයුතු කලා. 



මිනිහට ඇත්තටම ඕන කලේ තමන්ගෙ රූකඩයක් වගෙ රජෙක් සිංහාසනේ ඉන්දවල පස්සෙ හෙමීට තමන්ටම රටේ රජකම ගන්ට කියලයි කියවෙන්නෙ. පිළිමතලව්වෙගෙ කේන්දරේ ඉතා බලගතු රාජයෝගයක් තිබ්බයි කියල කියනව. එහෙම තමංගෙ කේන්දරේ රාජ යෝග තියෙනවයි කියල හිතාගෙන ඉන්න කට්ටිය කරන්නෙ මොන දහං ගැටේ ගහල හරි මොන පාවාදීම කරල හරි ඒ අනාවැකිය ඇත්ත කරවන්ට දතකන එක.


පිළිමතලව්වේ තමන්ගෙ පළවෙනි බලාපොරොත්තුව ඉස්ට කරගත්ත. ඒ කිව්වෙ කොහොමින් කොහොමින් හරි මුත්තුසාමි කපල දාල කන්නසාමි රජ කෙරෙව්ව. ඒත් උන්දැගෙ දෙවෙනි බලාපොරොත්තුව ඉස්ට සිද්ද කරගන්ට බැරුව ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ (මේ වෙනකොට කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙලා) රජකමින් පහකරල තමන් රජවෙන්ට කරපු කුමන්ත්‍රණ කීපයක්ම එලිවෙලා රජ්ජුරුවො කීපවරක්ම සමාව දුන්නත් අන්තිමට බැරිම තැන රජ්ජුරුවො පිළිමතලව්වේ මරා දාන්ට අණකලා.

හරි අපි ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන අහල තියෙන්නෙ අන්තිම දරුණු දුෂ්ඨ, ක්‍රෑර රජෙක් විදිහටනෙ. අර ඇහැළේපොළ කුමාරිහාමිව සහ දරු තිදෙනා මරණයට පත්කපු විදිහ ගැන එහෙම මයිල් කෙලින් වෙන කතන්දරනෙ අපි අහල තියෙන්නෙ. නේ?..."අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි"  ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්ම සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමිකලා. අන්න එහෙමනෙ නේ? ඒත් ඒ කාලෙ ඉඳලම මගේ හිතේ සුට්ටං කුකුසක් තිබ්බ මේ කියන විදිහටමද වැඩේ වුනේ කියල.

කුමාරිහාමිගෙ දරුවො තුන්දෙනා ගෙල සිඳ මරණයට පත් කලා. එතකොට ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්ලල මරල දැම්ම. අපි පුංචි කාලෙ ඔය ඇහැළේපොළ කුමාරිහාමිගෙ ආත්මය බෝගම්බර වැව වටේ පාරෙ හඳ තියෙන රෑට සැරිසරනව කියල අපිට කිව්ව. එහෙම කිව්වෙ අපෙ පොඩි අම්මගෙ දුවල. ඒ ගොල්ල ඒ කාලෙ හිටියෙ බෝගම්බර බන්ධනාගාර නිල නිවාස වල. බෝගම්බර වැවත් එක්කම තියෙන රජපිහිල්ල මාවතට ඉහලින් ඒ නිල නිවාස තිබ්බෙ. මිදුලට බැහැල යාර විස්සක් තිහක් පාර දිගේ පල්ලෙහාට ආවම හඳපානෙ බෝගම්බර වැවේ වතුර දිළිසෙනව පේනව රිදී කඳක් වාගෙ.

අපි ඒ කාලෙ හිටියෙ කෑගල්ලෙ. ඉතිං ඉස්කෝල නිවාඩු කාලෙට එයාල අපේ ගෙදර ඇවිල්ල සතියක් දෙකක් වගෙ ඉන්නව. ඊට පස්සෙ ඒ ගොල්ල ආපහු නුවර යද්දි බොහෝවිට මම එයාල එක්ක ඇවිල්ල සතියක් විතර පොඩි අම්මලත් එක්ක ඉඳල ඉස්කෝලෙ පටන් ගන්ට ඉස්සර ආපහු යනව. වේල්ස් චිත්‍රපට ශාලාව තිබ්බෙ ඔය මම කියන ක්වාටසුත් එක්කම පල්ලෙහා. ඩී. එස්. සේනානායක පුස්තකාලෙත් එක්කම. දැන්නම් ඒ ෆිල්ම් හෝල් එක කඩල දාල. ඒ පොඩි අම්මලගෙ ගෙදර ආපු එක නිවාඩු කාලෙක "වනරාජා නොහොත් සිංහල ටාසන්" ෆිල්ම් එක බලන්ට ගියා මට මේ අද ඊයෙ වාගෙ මතකයි.



ෆිල්ම් එක බලන්ට ගියේ පොඩි අම්මගෙ වැඩුමල් දුවයි මායි. පොඩි අප්පච්චි ටිකට් අරන්දීල අපිව හෝල් එක ඇතුලට දාල ආපහු ගියා ෆිල්ම් එක ඉවරවෙන්ට කිට්ටුව එක්ක යන්ට එන්නම්ය කියල. 



"අප්පච්චි නාව උනත් අපිට යන්ට පුලුවනි. අපේ ගෙවල් මේ ලඟනෙ" සුදු අක්ක මහදැනමුත්තියක් වගෙ කිව්ව මගෙ කණට කට ලං කරල. මම ඔලුව හෙල්ලුව. ඒ වෙනකොට මයෙ වයස ඔන්නම් දහයක්  වගෙ වෙන්ටැ. සුදු අක්ක මට වඩා අවුරුද්දක් වැඩුමල්.



වනරාජා ෆිල්ම් එකේ එකේ රඟපෑවෙ බැසිල් ද සේරම් සහ තලතා ගුණසේකර. බැසිල් ද සේරම් ඒ කාලෙ ප්‍රසිද්ධ වුනේ සිංහල සිනමාවේ උසම නළුවා කියල. වනරාජා ෆිල්ම් එකේ ප්‍රචාරක පත්‍රිකා වල තිබ්බෙත් සිංහල සිනමාවේ උසම නළුවා රඟපාන කියල. තලතා ගුණසේකර කියන්නෙ නදීකා ගුණසේකරගෙ අම්මා.



සුදු අක්කල ඔය ෆිල්ම් එක කලින් බලල තියනව. මං හින්දමයි ඔය ආයම බලමු කියල ආවෙ. ඉතිං වැඩේ කියන්නෙ ෆිල්ම් එක පටංගත්තු වෙලාවෙ ඉඳල මේ අම්මණ්ඩි මම ඉන්න සීට් එකට නැමිල ඊලඟට තියන සීන් එකේ විස්තරේ කියනව. මුලින්ම වැඩේ පටන් ගත්තෙ මම බයවෙයි කියල එහෙම බයවෙන සුළු සීන් ගැන වෝනිං එකකිං.


"රවි මල්ලි ඔන්න බයවෙන්න එහෙම එපා. ඊලඟට ඔය දොර අරිනකොටම කාමරේ මැදම තඩි නයෙක් ඉන්නව පෙණෙත් පුප්පගෙන. ඒත් ඌ අහිංසකයි දස්ට කරන්නෙ එහෙම නෑ.....හොඳේ?"

මමත් ඉතිං "හා මං බයවෙන්නෙ නෑ" කියල ඔලුව වනනව. ඒත් කෝකටත් ඇසුත් වහගන්නව...හෙහ්,හෙහ්, එහෙම අති බයංකාර සීන්ස් ගැන වෝනිං එකක් විදිහට පටං ගත්තු සුදු අක්කගෙ රනිං කම්න්ට්‍රි එක නොහොත් විස්තර ප්‍රචාරය ඊට පස්සෙ සම්පූර්ණ කතාවම කලින් කියන මට්ටමට දියුණු වුනා. 



"ඔතන මල්ලි ඔය ඉන්නෙ රැජිණ..නම මායා...ඊලඟට සේවිකාවෝ දෙන්නෙක් ඇවිත් රැජිනිව එක්කං ගිහිල්ල කිරි දියරෙං නාවනව.."



"මොනවා? ඇත්තම කිරි වලිං?" මගෙ කටත් එක්ක ඇරුන. ඒ ඔය සිරිමා මැතිණිගෙ ආණ්ඩුව කාලෙනෙ. බඩු බාන්ඩ එහෙම බොහොම හිඟයි. අන්න ඒකයි තනිකර කිරෙං රැජිනිව නාවනව කිව්වම මට පුදුම හිතුනෙ.



"නෑ..නෑ...මම හිතන්නෙ බොරුවට වතුරට පාටක් දාල වෙන්ට ඇති"

"එහෙම කිරි වතුරෙන් නාල ඊට පස්සෙ?" 

"ඊට පස්සෙ ලස්සන සළුවක් දෙනව ඇඳගන්ට"



"ඒක ඇඳගෙන? …"



මගේ ඒ ප්‍රශ්නෙට සුදු අක්කට උත්තර දෙන්ට ලැබුනෙ නෑ. පිටි පස්ස පේලියෙ ඉඳල බුරුසු රැවුල්ධාරී තඩි මූණක් අපි දෙන්න අතරට පාත් වුනා. 



"මේ ඔය ළමයි මේ ෆිල්ම් එක කලින් බැලුවනම් කටවල් වහගෙන ඉන්නවද? අපිටත් නිදහසේ මේක බලන්ට ඕන.."


"නෑ මම කලින් බලල නෑ මේ අක්ක තමයි කලින් බැලුවෙ.." මම සුදු අක්කව පෙන්නල බුරුසුවාට කිව්ව



"අක්ක හරි මල්ලි හරි කවුරුවුනත් කමක් නෑ...කෝ? ඔයාලගෙ නැද්ද කවුරුවත් වැඩි හිටියෙක් ඇවිල්ල?"



"නෑ අපි දෙන්න විතරයි..." මම හෙමිහිට කිව්ව.. 



"අන්න ඒකනෙ කියන්නෙ. පොඩි ළමයි තනියම ෆිල්ම් බලන්ට එවනව..මෙව්ව මේ ලමයින්ගෙ නෙවෙයි වැඩිහිටියන්ගෙ වැරදි..."



හැබැයි ඊට පස්සෙනම් සුදු අක්ක මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුව. 


ඉතිං මම අර කියපු විදිහට අපි සමහර දවස්වලට රෑට කාල ක්වාටර්ස් එකේ මිදුලෙ සෙල්ලං කරනව. හැංගිමුත්තං හෝ බට්ට පනින එක තමයි වැඩියෙන්ම කරන්නෙ. ඔන්න හිටපු ගමං සුදු අක්ක "ඔන්න ඇහැළේපොල කුමාරිහාමිගෙ අවතාරෙ එනෝ..." කියල කෑගහගෙන ගෙට දුවනව. අපි පොඩි එවුනුත් ගිරිය යටිං කෑගහගෙන ඒ පස්සෙ දුවනව. එක දවසක් එහෙම දුවද්දි එළිපත්තෙ පය පැකිලිම වැටිල මගෙ දනිස්ස තුවාල වුනා. එදානං පොඩි අම්ම සුදු අක්කගෙ පස්සට දුන්න වේවැලෙන් දෙකක්...හෙහ්,හෙහ්,

හරි ආයම කන්නසාමිගැන කතාවට ආවොත්.....මගේ හිතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගැන ඇඳිල තියෙන කතාව ඔය අපි අහල තියෙන කතාවට වඩා බොහෝම වෙනස් ... කොහෙත්ම ඔය ඉතිහාස පොතේ තියන එක නම් නෙවෙයි..අපේ අතීතය ගැන මගෙ හිතේ එහෙම කතන්දර මහ ගොඩක් ඇඳිල තියනව. එව්ව බොහොම වෙලාවට අපි ඔය අහල තියන එව්වට වඩා වෙනස්. එහෙම කතන්දර දෙකක් මම මීට කලින් ලිව්ව. විජය රජ්ජුරුවන්ගෙ කතාව සහ අනුලා බිසවගෙ කතාව.

හරි ඒ මගේ කතාවට ඉස්සෙල්ල ඇහුංකං දෙන්නකො ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ට. ඔහු වනාහී මේ ලඟදි මියගිය චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන්ගෙ වැඩිමහළු සොහොයුරා. ආචාර්ය ගණනාත් කියන්නෙ ලංකාවෙ කවුරුත් වැඩිපුර නොදන්නව උනාට ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක්. ඔහු මේ ලඟදි ප්‍රකාශයට පත් කලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කල අධ්‍යයනයක්. පොතේ නම "The Doomed King - A Requiem For Śri Vikrama Rajasinha"

ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ
"The Doomed King" ග්‍රන්ථය ඉහත
ඡායාරූපයෙන් දැක්වේ.

පෝස්ට් එක නම් ටිකක් දිගවෙයි. කමක් නෑ අද සෙනසුරාද ඔය හැමෝටම වගෙ නිවාඩුනෙ..ඒ හින්ද කියවල බලන්න...හෙහ්,හෙහ්,

මේ මුලින්ම සිළුමිණේ පළවූ ලිපියක්....

ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.



ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය(Dutthagamini and the Buddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.



විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

ආචාර්ය ගණනාත් ඔබේසේකර


"ද ඩූම්ඩ් කිං ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?"


"දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හෝටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා. මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි"

"ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ."

"ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව"

"මේ කරුණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා."


"ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?"

"මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බේබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජ්ජුරුවන්ගෙ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගනිද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ."

"රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා."

"මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි. ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි."



"ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද?"



"1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා."



"මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම. ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා."



"මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?"

"පේරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි."

"ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buuddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා."

"ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා. නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන."

"මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?"



"අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්."



73 comments:

  1. අප්පට සිරි..... එකද මන්දා .....

    කියවලා ඇවිල්ලම මොනා හරි කියන්නං ....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      ..හරි හරි හරි...:)

      Delete
  2. //බුරුසු රැවුල්ධාරී තඩි මූණක්//

    හැලපයියා වගේ එකෙක්ද ?

    ReplyDelete
    Replies
    1. Sutikka,

      ඔය පලහැයියා මට හම්බ වෙලා නෑනෙ. ඒ නිසා නෝ කමෙන්ට්...:)

      Delete
  3. ආචාර්ය ගණනාත් ගැන මීට කලින් ඔයටික කියෙව්වා.....

    //ආන්න..කොල්ලො මැච්....බොලා අපි ආතල වෙච්චි කාලෙක මුණුබුරන්ට විස්තර කරල දෙන්ට වටින මැච් තමයි එව්ව.//

    තව කල් යන්ද ඕනේ නෑ ..... දැම්මම අහුවෙන පොඩිඋන්ට කියලා දියං අයියේ..... දැනටම උඹ ආතාගේ වයසේ තමා....

    ReplyDelete
    Replies
    1. Sutikka,

      /තව කල් යන්ද ඕනේ නෑ ..... දැම්මම අහුවෙන පොඩිඋන්ට කියලා දියං අයියේ..... දැනටම උඹ ආතාගේ වයසේ තමා..../

      අර මුවන් පැළැස්සෙ කෝරළේ මහත්තය කියන්නව වගෙ ..ඒකත් හරි තමයි....:)

      Delete
  4. කියවල ඉවර වෙලා ආපහු උඩට ගිහින් බැලුව මාතෘකාව මොකක්ද කියල.

    කමක් නෑ ඉතින්, උණ පුරුකේ දැම්මත්..., එක්කො ඕන නෑ. :)

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන ලියපු කොටසට ස්තුතියි රවී තුමා.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      /කියවල ඉවර වෙලා ආපහු උඩට ගිහින් බැලුව මාතෘකාව මොකක්ද කියල./

      මේ මේ උඹට වචනයක් කියන්ට දෙයක් නෑ තේරුණෙයි? බොහොම ලස්සනට ලියාපු කරුණු ඔක්කෝම ආවරණය විදිහයටයි මාතෘකාව දාල තියෙන්නෙ..ආය නෝ හෙල්ලුං පොල් මැල්ලුං...:)

      හුහ්..ආව මෙතන....

      Delete
  5. රජතුමා සිරකාරයෙක් විදිහට හිටියත් ඉංග‍්‍රිසින් ඔහුට රජ කෙනෙකුට තරම් හොදින් සැලකිලි කරලා තියේනවා. එත් කනගාටුවට කරුන නම් අපේ සිංහලයා රජාව පාවලා දීලා දේපල රන්බඩුු පැහැරගෙන අවමන් කරපු එකයි. සිංහලෙන් පොතේ පරිවර්ථනයක් එන දවසත් අපිට කියන්න. අනිවා අරගන්නවා

    ReplyDelete
    Replies
    1. අසංග,

      /සිංහලෙන් පොතේ පරිවර්ථනයක් එන දවසත් අපිට කියන්න. අනිවා අරගන්නවා/

      අනිවාර්යයෙන් මම දැනගත්ත ගමං කියන්නංකො...:)

      Delete
  6. හපොයි එහෙං ගිහින් මෙහෙත් ඇවිත් අරෙහෙ හිටං ලියල.දෙපාරක් කියෙව්ව ටක්කෙටම අදහස ගන්න

    ReplyDelete
    Replies
    1. වෂ්ෂලා,

      /දෙපාරක් කියෙව්ව ටක්කෙටම අදහස ගන්න/

      අන්න ඒකනෙ කියන්නෙ..වැදගත් සාර බර්ග ලියවිල්ලක් කොහොමත් යටත් පිරිසෙයිං දෙපාරක්වත් කියවන්ට ඕමනයි...

      පලි - ෂුද්ද දෙකක් නවාගත්තු දවෂට උඹට කතා කොරන්නෙ "අඩේ කෝ මේ මයෙ වෂ්ෂලා?" කියල නේ?...:)

      Delete
  7. පකිරින්තුවො .... කියන්නේ කාටද

    ReplyDelete
    Replies
    1. අටමා,

      පකිරින්තුවො කියන්නෙ ආදරේට කියන වචනයක්...හෙහ්,හෙහ්...

      Delete
  8. යකඩ දෝලිය කියන්නේ .... අන්තප්පුරයට ඇතුලත්වන වෙන බිසෝවරියන්ට නෙමෙයි නේද .....යකඩ දෝලිය කියන්නේ ... මහේෂිකාව හෝ ... රජුට අයිති අන්තප්පුරයට අයත්නොවන ..අනියම් භාර්යාවන්ට නේද

    ReplyDelete
    Replies
    1. මමත් දන්නා විදියට අගබිසව = රන්දෝළිය, සෙසු අන්ත:පුර බිසවුන් = රිදීදෝළින් සහ අනෙකුත් අනියම් බිරියන් = යකඩ දෝළින්

      Delete
    2. යකඩ දෝලාවෙන් ගිය අය වෙන්නැති, පිත්තල/ ලී ඒවායේ ගිය අයත් ඉන්නැති.

      Delete
    3. අටම් ඇන්ඩ් බූරා,

      තෑන්ක්ස් මයි ෆ්‍රෙන්ඩ්ස්. මමත් හිතනව ඔබ දෙදෙන නිවැරදියි කියල. එබැවින් අදාල තැන්වල අවශ්‍ය වෙනස්කම් කලෙමි. ස්තූතියි ආයෙමත්..:)

      Delete
    4. නට්,

      උඹල වගෙ එවුනුත් ඉන්ට ඇති ඒ කාලෙ එව්වයෙ ඇණ මුරිච්චි තද කරන්ට....ඇණ මුරිච්චි තද කරන අප්පුහාමිලාගේ කියල මම දන්න මනුස්සයෙකුගෙ වාසගමක් තිබ්බ...:)

      Delete
  9. තිස්ස අබේසේකර ගේ In My Kingdom of the Sun & the Holy Peak පොතේ රසවත් කතාවක් තියෙනවා මේ ගැන.

    ReplyDelete
    Replies
    1. රසික,

      තිස්සගෙ ඒ පොත කියවල නෑ. Roots, reminiscences & reflections නම් කියෙව්ව...:)

      Delete
  10. //අපි ආතල වෙච්චි කාලෙක// බොලා හිතාගෙන ඉන්නෙ තාම දහඅටේ කොල්ල කියලද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි හරි බං අන්ඩස්ටුඩ්..අන්ඩස්ටුඩ්...:)

      Delete
  11. මේ යන විදියට ගියොත්නං රාජසිංහ රජ්ජුරුවො ගුරුවරියත් වැවේ ගිල්ලෝල තමයි මේක ඉවර වෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..හෙහ්...මරු කමෙන්ට් එක ඒක...

      ගුරුවරී විතරක් නෙවෙයි බොල අත්තම්මත්...:)

      Delete
  12. එනිවේ, අර අන්තිම විස්තරේනං වටින එකක්.

    ReplyDelete
  13. දැං මේ පෝස්ට් එක තියෙන මොනිටරෙත් එක්ක සැල්පියක් ගහල පේස් පුක් එකේ දාන්න ඕන 'පීලිං මඤ්ඤං ඇට් ගුරුවරියක් සමග උගේ ජීවිතය විත් රවී වීරසිංහ' කියල කැප්ෂන් එක දාල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකත් මරු..මෙහෙම දැම්මොත් වඩාත්ම හොඳ නැද්ද?

      ෆීලිං ටෝටලි මඤ්ඤමයිස්ඩ් විත් රවී වීරසිංහ, කිං ශ්‍රී වික්‍රම රාජසිංහ, ඩොක්ටර් ගණනාත් ඔබේසේකර, ජෝන් ඩොයිලි, කුසල් මෙන්ඩිස්,ධනුෂ්ක ගුණතිලක ඇන්ඩ් මහාධිකාරම් පිළිමතලව්වේ..

      Delete
  14. අර ongoing crisis එක ගැන මොකුත් ලියාලා නැහැ නෙවැ.. මම හිතුවෙ උඹේ පළමෝත (© ටැබූ/ රවී) අත්දැකීමුත් එක්ක රසබර හරබර විද්වත් කතිකාවතක් කරගෙන යයි කියලා, අර ඒ කාලෙ එඩ්වින් ආරියදාස මහත්තයා TV එකේ කරන විදේශ දේශපාලන විග්‍රහ වගේ..

    මැච් එක නං සුපිරි නේ.. මම මේ දවස්සොල ලංකාවෙ ක්‍රිකට් අතෑරලා දාලා එපාම වෙලයි ඉන්නෙ.. ෆලෝ කලේ කවුන්ටි මැචස් විතරයි.. සංගා බුදු ෆෝර්ම් එකේ හතර වටේට නෙලනවා නෙවැ.. ඒ වුනත් මේ දිනුම ගැන නං කියන්ට වදන් නෑ, එච්චරට සුපිරියි.. they never failed to surprise us!

    උඹ ඊයෙ මැච් එක බැලුවා ද? බංගලියො කිවියන්ට දුන්නා ඇට්ටි හැලෙන්ට. ඒ අස්සෙ අන්න ඇෆ්ඝානියො වෙස්ට් ඉන්ඩීස්ලාට කෙලලා.. මේ දවස්සොල සිරාම මැචස් ටිකක් යනවා..

    ReplyDelete
    Replies
    1. Bura,

      /අර ongoing crisis එක ගැන මොකුත් ලියාලා නැහැ නෙවැ../

      මල්ලි ඒ ගැන වැඩි විස්තරයක් ලියන්ට බැරි හේතුවක් තියනව. මෙහෙ ඒ සම්බන්ධව වාරණයක් වගෙ එකක් ක්‍රියාත්මක වෙනව කියල ආරංචියක් තියනව. ඒ නිසා මොකටද නිකං...නැද්ද? කියන්ට බෑනෙ..මේ දවස්වල මගෙ වෙලාවත් හොඳ නෑ...හෙහ්,හෙහ්,

      /අර ඒ කාලෙ එඩ්වින් ආරියදාස මහත්තයා TV එකේ කරන විදේශ දේශපාලන විග්‍රහ වගේ../

      ඇඩ්ඩිං ලොක්කත් මරු ඊට පස්සෙ ආවෙ මොහාන් සරමනායක...:)

      මේ 2014 දෙසැම්බර් මාසෙ අන්තිමේ මම සරමනායක ගැන ලියපු සටහනක්...

      මෝහාන්ධකාරගේ කථාව

      ටන්න ටනා ටන ටන ටන්න ටනා ටන ටන ටන්න ටනන ටන්න ටනන ටන්න ටනා… 

      " ආයුබෝවන්...අදත් අප ඔබ සමඟ ..හීතල උඳුවප් මහේ මේ ජඩාධිපතිවරණ උණුසුමේ අදත් ඔබට හටන ඉදිරිපත් කරමින් මම සඳුන් ඉරුගල්බණ්ඩාර....අද අපි මුලින්ම වේදිකාවට කැඳවන්නේ හන්තර්ජාතික කටයුතු පිළිබඳ ජඩාධිපති උපදේශක මෝහාන්ධකාර සරමනායක මහතා..." 

      " ආයුබෝවන්..මෝහාන්ධකාර මහත්මයා." 

      " ආයුබෝවන්.සඳුන්...." 

      " පළමුවෙන්ම මම ඔබගෙන් අගන්ට කැමතියි මේ වර්තමාන ජඩාධිපති තුමාට බොහොම බරපතල චෝදනා තියනව..රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලය..එතුමා ඒ ගැන කිසිවක් කරන්නෙ නෑය කියල. මොකක්ද ඔබට ඒ ගැන කියන්ට තියෙන්නෙ? " 

      " සඳුන් නීතියේ ආධිපත්‍යය බිඳවැටිලය කියන මාතෘකාව ගැන කතාකලොත් අපිට ඒ ගැන මෙහෙම කියන්ට පුලුවන්. බටහිර රටවල් අපේ රට අස්ථාවර කරන්ට දත කට මැදගෙන පිටපොට ගහගෙන ඉන්නෙ මෙතුමා බලයට පත්වුනු දවසෙ ඉඳලමයි." 

      " මම ඇහුවෙ මෝහාන්ධකාර මහත්මයා ඒක නෙවෙයි...." 

      " හරි හරි මම එතනට එනවා..සඳුන් පහලොස්වන ශතවර්ෂයෙ මෙක්සිකෝවේ තිබුනු ඉතාම දියුණු ඉන්කා ශිෂ්ඨාචාරය වසරක් ඇතුළත.... "

      " මහත්මයා..මම ඇහුවෙ.. "

      " හරි හරි සඳුන් මම එතනට එනව..මම එතනට එනව...ඒ ඉතාම දියුණු ඉන්කා ශිෂ්ඨාචාරය වසරක් ඇතුළත විනාශවෙලා ගියා...ඇයි එහෙම උනේ?....එහෙම උනේ ස්පාඤ්ඤ ආක්‍රමනිකයින් ඔවුන් සමූල ඝාතනය කල නිසයි. "

      " හරි ඒක එහෙමයි කියමුකො...හරි මෝහාන්ධකාර මහත්මයා කරුණාකරල මගේ ප්‍රශ්නෙට.... "

      " හරි සඳුන් මම එතනට තමයි එන්නෙ. ලෝක ඉතිහාසය පුරාම අමරිකන් අධිරාජ්‍යවාදය තිබුණ සඳුන්....1972 අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවෙ අගමැතිවරයා වශයෙන් පත්වුනා විට්ලම් කියල මහත්මයෙක්..ඔහු ඕස්ට්‍රේලියාවෙ අමරිකන් බලපෑම් ගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන්න. ඔහුව තනතුරෙන් පහ කලා. "

      " හරි..හරි ..ඒකෙ ප්‍රශ්නයක් නෑ..ඒත් මම ඇහුවෙ…"

      " අමරිකාව ඉරාකයට පහරදීල මිනිස්සු දහස්ගණනක් මියගියා. ඊට පස්සෙ ඒ දවස්වල හිටපු අමරිකන් රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඕල්බ්‍රයිට්ගෙන්...." 

      " හරි මම කියන්නම් ඉතුරු හරිය..........වාර්තාකාරයෙක් ඇහුව ඔබ මේක සාධාරණීකරණය කරන්නෙ කොහොමද කියල? මැඩලින් ඕල්බ්‍රයිට් කිව්ව..ඉට් වෝස් අ හාඩ් ඩිසිෂන්........" 

      " අහ්..සඳුන් ඔබත් දන්නව එතකොට ඒ කතාව." 

      " ඔව් මෝහාන්ධකාර මහත්මය ඔය කතාව ඔය විදිහටම කියනව මම මීට කලින් හත් අට පාරක්ම අහල තියනව..මට දැන් කට පාඩම් මැඩලින්ගෙ කතාව.. "

      " ඉතින් සඳුන් මම මේ කියාගෙන ආවෙ.. "

      " හරි මෝහාන්ධකාර මහත්මයා අපි මොහොතකට පිළිගනිමු එහෙම බටහිර බලපෑමක් තියනවය කියල අපේ රට අස්ථාවර කරන්ට..ඒ ඇයි ? " 

      " ඉතාම පැහැදිලියිනෙ සඳුන්..බටහිර ජාතීන් කැමති නෑ..උඩු රැවුලක් තියෙන ප්‍රතාපවත් නායකයින්ට..."

      Delete
    2. Bura,

      /සංගා බුදු ෆෝර්ම් එකේ හතර වටේට නෙලනවා නෙවැ.. /

      අප්පටසිරි කියල වැඩක් නෑ නැද්ද? මේ ඊයෙ පෙරේද ට්වින් සෙන්චරීසුත් ගැහුව නේ? සංගා මේ අවුරුද්ද අන්තිමේ ක්‍රිකට් වලින් ටෝටලි අයිං වෙනවලු. අනිවා ඔන්න බලපං සිරිසේන ලොක්ක දුවගෙන ඇවිල්ල සංගට සුපිරිං කෝට් එකේ ජජ්මන්ට් පදවියක් ඔෆර් කරන්නෙ නැද්ද කියල? සංග එල්.එල්.බී ත් කරාද කොහෙදනෙ...ඇයි මතකනෙ ලංකා ටීම් එකෙන් අයින් වෙලා කලිසම ගලවන්ටත් ඉස්සර එංගලන්තෙ හයි කමිෂනර් පෝස්ට් එක දෙන්ට දැඟලුවෙ...හෙහ්,හෙහ්,


      /ඒ වුනත් මේ දිනුම ගැන නං කියන්ට වදන් නෑ, එච්චරට සුපිරියි.. they never failed to surprise us!/

      That's Sri Lankan team for you dear...They shamelessly loss matches when we least expect and they also handsomely win matches when we never expect them to do so...:)

      Delete
    3. මේ අවුරුද්දෙ අන්තිමේ අයින්වෙන්නෙ first class ක්‍රිකට් වලින් විතරයි බං, සංගා ගහලා තියෙන ඇග්‍රිමන්ට්ස් අනුව 2018 තියෙන T20 ටූනමන්ට්ස් කීපෙක සෙල්ලම් කරන්ට ඕන. ඊට පස්සෙ තමා සම්පූර්ණයෙන්ම අයින් වෙන්නෙ.

      Delete
  15. කෝ බං මේකෙ ගුරුවරියක් ඉන්නෙ කොහෙද? ගනනාථ සමග මගේ ජීවිතය කියල දාපං.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙ කාලේ රවිය හිටියෙ නෑනෙ.ඒ ක නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ සමඟ ගංගනාත් ගේ ජීවිතය කියලා දාන්න වෙයි

      Delete
    2. // ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙ කාලේ රවිය හිටියෙ නෑනෙ //

      මොකද නැත්තෙ? රවියා ඉපදිලා තියෙන්නෙ මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ..

      Delete
    3. හැලප,

      යකෝ ඒකත් මරු කමෙන්ට් එක...ඒත් බොල ගණනාත සමඟ මගේ ජීවිතය කියල නම දාන්ට මොකෝ උඹ හිතුවය මම බෝයිකොට් කෙනෙක්ය කියල.

      Delete
    4. ඉයන් සහ බූරා,

      කිං පරා නෙවෙයි බොල මම නියැන්ඩර්තාල් මානවයගෙ කාලෙ ඉඳල හිටිය...:)

      Delete
    5. // කිං පරා නෙවෙයි බොල මම නියැන්ඩර්තාල් මානවයගෙ කාලෙ ඉඳල හිටිය //

      හැබෑට! අර පත්තරේ වැටුනු උඹේ ෆොටෝ එකේ පොඩි නියැන්ඩර්තාල් පෙනුමක් තිබුනා තමා. මං ඒත් කල්පනා කලා මක්කැයි ඒ කියාලා. අද නෙවැ දැනගත්තෙ හේතුව. :-P

      උඹ බලලා තියේයැ සිත්තරපටියක් The Man from Earth කියලා? මේකෙ ප්‍රධාන චරිතය ක්‍රෝ මැග්නන් කෙනෙක්. මොකක් හරි හේතුවක් නිසා බුවා වයසට යන්නෙ නෑ. ඒ කියන්නෙ මැරෙන්නෙ නෑ. ඉතින් පොර අවුරුදු දාස් ගානක් තිස්සෙ එකේක නම්වලින් එකේක ශිෂ්ටාචාරවල ජීවත්වෙනවා. අවුරුදු කීපයක් එක තැනක ඉඳලා අනිත් මිනිස්සු බුවා ගැන සැකකරන්ට පට්ටාං ගන්නකොට වෙන ඈත පළාතකට ගිහින් අලුත් නමකින් අලුත් ජීවිතයක් පට්ටාං ගන්නවා.

      Delete
    6. //DudeJune 10, 2017 at 10:43 PM
      Ans Look who's talking!// හෙහ් හෙහ්.. ඒත් කාලෙකින් හැලප පඳුරක් තලන්න බැරි උනා.. :/ හැලප අයිය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට යට වෙලා ඉන්නේ හොඳටම.. අම්මප.. කසුන්ගේ වෙඩිම වෙලේ බිලා අඬන ගමන් අපිත් එක්ක කියුවේ.. හැක්.

      Delete
    7. Bura,

      /හැබෑට! අර පත්තරේ වැටුනු උඹේ ෆොටෝ එකේ පොඩි නියැන්ඩර්තාල් පෙනුමක් තිබුනා තමා/

      මඟුලක් කතා කරනව...ලබ්බෙ නියැන්ඩර්තාල් පෙනුමක් නෙවෙයි බං ඒ පෙනුමට කියන්නෙ "Designer stubble look" කියල ..හෙහ්,හෙහ්, ඔය බෲස් විලීස්, එතකොට ජේසන් ස්ටේතම් එහෙම දැකල තියනවනෙ නේ?

      Delete
    8. Kalyana,

      /හැලප අයිය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට යට වෙලා ඉන්නේ හොඳටම./

      අපොයි පව්..කොහොමට හිටි බුවෙක්ද? so sad and tragical no?

      අපේ පොලිසිවල දැන් අලුතෙන් පිහිටුවල තියනව ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සහ ළමා ආරක්ෂණ ඒකකය කියල එකක්. ඔව්වට දාන්නෙ කාන්තා පොලිස් නිලධාරිනියො.

      මම මේ පහුගිය දවසක ගියා ඕකට පැමිණිල්ලක් දාන්ට. බාරගන්ට බෑ කිව්වනෙ. නොවඳිනා වැඳුම් වැඳල කිව්ව අඬල දොඩල කිව්ව. කෝ බෑම කිව්වනෙ. එයාලට බාරගන්ට බලය තියෙන්නෙ කාන්තාවන්ට එරෙහිව කෙරෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පැමිණිලි විතරලු.

      මම ඒ පාර ඇහුව.."ඈ මිසී..එතකොට මට අපේ උන්දැ කරන අඩං තේට්ටං වලට සහනයක් පතා මම යන්ට ඕන කොහාටද?" කියල. එයාල මූණිං මූණ බලාගත්ත. කට උත්තර නෑ...:

      Delete
  16. හිතවත් රවී,

    කෝ අදත් නැනේ බිරින්දෑ ගැන?
    ඒ උනත් ගණනාථ ඔබෙසේකරයන්ගේ කෘති ගැන විස්තරය හරි වටිනවා. අවසාන සිංහල රජකාලේ ඉතිහාසය වෙනස් කර ලිවීමට කවුරුවත් උනන්දු නොවෙන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      /කෝ අදත් නැනේ බිරින්දෑ ගැන? /

      ඉවසන්න ඉවසන්න ගුරුවරී මේ ලඟම එනවා.. ලඟම එනවා..:)

      /අවසාන සිංහල රජකාලේ ඉතිහාසය වෙනස් කර ලිවීමට කවුරුවත් උනන්දු නොවෙන්නේ මොකද?/

      එහෙම දෙයක් නොකලට අද ඉන්න විදවත්තුන්ට සුවල්ප රාජකාරිද තියෙන්නෙ?...හෙහ්,හෙහ්...

      ඉන්ටකො මම වත් ලියන්ට ඒ ගැන...:)

      Delete
  17. කටාර් අර්බුදයක් ගැන කීවට මං හිතුවෙ නෑ ඒක එච්චරටම අස්ෆට් කේස් එකක් කියල මේ ගුරුවරියක් සමග සලාදෙන් ඒක කොච්චර දරුණුද කියල තේරුම්ගත්තා :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      අර්බුදය නැඟල යනවා....හෙහ්,හෙහ්,

      Delete
  18. දැං ඔය රජ්ජුරුවන්ට ආවර්තිතා වගුවෙ ඉන්න සේරම ලෝහ වලින් බිසවු හිටියද? ඒ කියන්නෙ රන් රිදී යකඩ වලට අමතරව පිත්තල දෝලිය, වානේ දෝලිය, තඹ දෝලිය, ඇලමේනියං දෝලිය, ඊයං දෝලිය, තුත්තනාගම් දෝලිය, චිනච්චට්ටි දෝලිය, ටිං දෝලිය, මළ නොබැඳෙන වානේ දෝලිය, වගේ අය? ආං ඒක පොඩ්ඩක් හොයල බලල ඉන්ට. අනික අතන මෙතන ලියා තියෙන ලිපියක් ගෙනැත් අමුණලා තියලා ඒකට උඩිං මොකක් හරි කලවං මාතෘකාවක් ඇලෙව්වට හරියන්නෑ මහප්මයා. අනික දැං රන්දිල් නෝනටත් මේවායෙ කුස්තුර පුරවන්ට එන්න වියරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ ආවර්තිතා වගුවේ නැති මිශ්‍ර ලෝහ බිසෝවරුත් ලියලනෙ.

      Delete
    2. සුරංග,

      උඹත් ඔය විකාර කියවන එක පැත්තක තියල යකඩ දෝළියක්වත් හොයාගන්ට බලපං කොල්ලො...හෙහ්,හෙහ්,

      Delete
  19. ඉතිහාසයේ මමත් පට්ට අවධානය දක්වපු තැනක් ගැන රවී අයියේ උඹ කතා කලේ...
    මගෙත් අදහස මේ සිද්ධි දාමය ගැන මේ විදිහටමයි තිබුනේ...

    ///ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ.///

    ඩොයිලි කියන වහන්තරාවා ඒ හාමුදුරුවෝ ගාවට යන්නේ සිංහල භාෂාව, සිංහල ගති පුරුදු එහෙම හුරු කරගන්නත් එක්ක...
    ඒ එක්කම දෙන්න එකාසු වෙලා ඒ සම්බන්ධව එකඟතාවයකටත් එනවා...
    කවදාහරි උන් රට අල්ලපු දවසකට ශ්‍රීපාදස්ථානයේ හිමිකම පහතරටට දිය යුතු බවට...
    අන්න හේමයි අපේ උන්දලා රට රැක්කේ...
    ඔය මම අහල තිබ්බ එව්වයෙන් කොටහක්...

    ReplyDelete
    Replies
    1. Lokka,

      /ඉතිහාසයේ මමත් පට්ට අවධානය දක්වපු තැනක් ගැන රවී අයියේ උඹ කතා කලේ...
      මගෙත් අදහස මේ සිද්ධි දාමය ගැන මේ විදිහටමයි තිබුනේ.../

      ඔබ හා එකඟයි. ඉතිහාසයෙ මොනව තිබ්බත් බං අපි ඔලුව පාවිච්චි කරල කල්පනා කරල බලන්ට ඕන මෙහෙමමද මෙව්ව උනේ? ඇයි මෙහෙම වෙන්ට බැරිද? කියල...:)

      /ඩොයිලි කියන වහන්තරාවා ../

      අපූරු වචනයක්..මගෙ සද්ද කෝසයට එකතු කරගන්ටෝන..:)

      Delete
  20. මේ ආචාරියා (ගනනාත් ) උතුර දකුණ පටලවගත්තෙක්. ලංකාවෙ රජවරු කුමාරිකාවන් ගෙනාවෙ මදුරා පුරයෙන්. වර්තමාන මදුරාපුරය තියෙන්නෙ තමිල්නාඩුවෙ. අනික ශ්‍රී වික්‍රමට තියෙන්නෙ තෙලිඟු සම්බන්ධයක්. තෙලිඟු කියන්නෙත් දකුණු ඉන්දියාව තමයි, ඊනියා උතුරු ඉන්දියාවක් ගෑවිලාවත් නෑ. කොටින්ම ද්‍රවිඩ කියල කියන්නෙ ඩ්‍රාවිඩන්ස් කියන එකෙන් බිඳී ආවක්. ඒ කියන්නෙ ඩ්‍රාවිඩන්ස් කියන්නෙ දකුණු ඉන්දියාවට. දකුණු ඉන්දියාවට අයත් වෙන්නෙ තමිල්නාඩුව (දෙමළ ), කේරල (මලයාලම් ), ආන්ද්‍රා ප්‍රදේශ් (තෙලිඟු ) සහ කර්ණාටක (කන්නඩ ). වර්තමානයේ ආන්ද්‍රා ප්‍රදේශ් දෙකඩකර තෙලන්ගනා යන නව ප්‍රාන්තය සාදා ඇත. වර්තමානයේ දෙමලුන් හැඳින්වීමට ද්‍රවිඩ යන නම යොදා ගත්තත් එය නිවැරදි නැත. ශ්‍රී වික්‍රම නොහොත් කන්නසාමි යනු රජකමට කිසිදු හිමිකමක් නැති, රාජාධිරාජසිංහ රජුගේ යකඩ දෝලියකගේ සහෝදරයෙකි. රජවරුන්ට යකඩ දෝලි සිය ගණනක් සිටි අතර, අග මෙහෙසිය පත් කරන්නේ ඔය කියන උභය කුල පාරිශුද්ධ ගැලපෙන කුමාරියකි. ඊට හේතුව ඊළඟ රජ වීමට නෛතික තත්වය ඇති කිරීමටය. රජවරු උපතින්ම සල්ලාලයන්ය, ඇහැට කණට පෙනෙන ඕනෙම යුවතියක්, අල්ලා තම අන්ත:පුරයට යවා ඇයගෙන් සතුටු වෙති. එකල උඩරට සිංහල යුවතියන් සම දුඹුරු පැහැ නිසා, රන්වන් සමක් ඇති මදුරාපුර යුවතියන්ට රජවරු වසඟවී ඇත. වර්තමානයේද තමිල්නාඩුව කිව් පමණින් අපට මැවෙන්නේ කලු කැත මිනිස්සුවන අතර උතුරු ඉන්දියාව කිව් පමණින් සුදු හෝ රන්වන් පැහැ මිනිසුන් චිත්ත රූප මැවේ. එය නිවැරදි නැත. තමිල්නාඩුවේද සමහර පැතිවල කාන්තාවන්, රන්වන් සමක් ඇති උතුරු ඉන්දියානු පෙනුම හෝ ඊටත් වඩා රූමත් කාන්තාවන් ඇත. අනික ශ්‍රී වික්‍රම යනු සල්ලාල බේබදු මෝඩ රජෙකි. ඔහුට සමාජ රෝග වැළඳී තිබූබවට සාක්ෂි ඇත. ඇහැලේපොල කුමාරිහාමි මරවන්නේ උඩරට නීතිය අනුව වුවද, එයත් ඉන්දියාවෙන් පැමිණි නීතියකි. අනෙක ඇහැලේපොල කුමාරිහාමිගේ අත දරුවා මරවන්නේ වංගෙඩියක ලා කොටාලාය. දඬුවමින් බේරීමටද ක්‍රමයක් තිබී ඇත. එනම් ඇහැලේපොල කුමාරිහාමි ගහලයෙක් සම දීග යෑමය. එවිට මුළු පරම්පරාවම හින්නයන්වී කුල දූෂණයක්වේ. නමුත් එකල අඩු කුලයට වඩා මරණය තෝරා ගන්න තරම් වැඩවසම් ක්‍රමය බලවත්ව තිබී ඇත. කොටින්ම අප අදද විශ්වාස කරන්නේ විජය රජු උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්යයෙක් බවනෙ. ඇත්ත නම් ඔහු පැමිණියේ නැගෙනහිර ඉන්දියාවෙන්. වර්තමාන නැගෙනහිර ඉන්දියාව කියන්න බටහිර බෙන්ගාලය හා ඔරිස්සාව. අපි නෑකම් කියන්නෙ මේ ප්‍රාන්තවල මිනිසුන්ට. ඔබ කටාරයේ ඉන්න නිසා ඔබව බංගලියෙක් ලෙස එහෙ මිනිස්සු හඳුනා ගත්තොත් පුදුම නොවන්න. ඒ අපේ ළඟම ඥාතීන්. ඒත් අපි ආස මධුරි ඩික්සිත්ලට නෑකම් කියන්න, ඇත්ත ඒක නෙවෙයි.
    සුජීව කොකාවෙල

    ReplyDelete
    Replies
    1. @Sujeewa, nice to see u in blogs after long time.. :-)

      Delete
    2. සුජීව,

      කාලෙකට පස්සෙ ඔබේ කමෙන්ට් එකක් දකින්නට ලැබීම සතුටක්. ඒත් එහි අන්තර්ගතය ගැන නම් මගේ සතුටක් නෑ.

      ලොව පිළිගත් විද්වතෙකුට තම විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුට ආචාරියා කියා අපහාසාත්මකව බැණ වැදීමක් සහ ඔබේ හිතළු පරම සත්‍යය ලෙස ප්‍රකාශ කිරීමක්ද හැර එහි වෙනයම් වැදගත්කමක් මම නොදුටුවෙමි. පොඩි කුමාරිහාමිගෙ වියුණුවෙහි සහ නෙළුම්විලෙහි නොයෙක් විට හරබර සංවාද වල (විශේෂයෙන්ම බූරා සමඟ) ඒ සුජීවමද මේ කියාද වරෙක සැකයක්ද උපන්බවද කිවයුතුමය.

      ඔබ ඔය පුන පුනා පවසන ශ්‍රී වික්‍රම රාජසිංහ රහුට විරුද්ධව ඇති චෝදනා වසර දෙසියයක් තිස්සේ අපට උගන්වා ඇත. ආචාර්ය ගණනාත්ගේ තර්කය වනුයේ ඒ සියල්ල කෙසේ වෙතත් බහුතරයක් රට වැසියන් අතර රජු අප්‍රසාදයට පත්කිරීම උදෙසා ඉංග්‍රීසීන් විසින් චේතනාන්විතව කල ප්‍රචාරයන් බවය.

      ඒ සඳහා ඔහු නිල වාර්තා බැහැරකොට ස්වාධීන බ්‍රිතාන්‍ය ජාතිකයින් කිහිප දෙනෙකුගේ වාර්තා උපුටා දක්වයි.ඔහු වැඩිදුරටත් තර්ක කරනුයේ එවන් පුද්ගලයින්ගේ වාර්තාවල සත්‍යය ගැබ්වීමට වඩාත් ඉඩකඩක් ඇති බවය. එම තර්කයෙහි සාධාරණත්වයක් මමද දකිමි. අතීතයේ සිදුවූ සිද්ධීන් අපට නිර්ණය කොටගත හැක්කේ එදවස ජීවත්වූවන්ගේ වර්තා සහ ලියවිලි පදනම් කොටගෙනය. ඒව අතර සත්‍යය මෙන්ම ලියන්නවුන්ගේ හිතළු ද බොහෝසේ තිබිය හැක.තර්කානුකූලව සිදුවී ඇත්තේ කුමක්ද යන්න ප්‍රවේශමෙන් සොයා බැලිය යුතුය.

      ඔහු ගැන මම කියවා ඇති පරිදි මේ ආචාරියා ඉතා නිහතමානී අන්‍ය මතයන්ට ගරු කරන පුද්ගලයෙකි. එබැවින් ඔහුට ආචාරියා යනුවෙන් බැණ අඬගෑම පසෙක තබා ඔබගේ ඉතිහාස විවරණය පිළිබඳව අදාල මූලශ්‍ර සහිතව ඔහු දැනුවත් කිරීමට කටයුතු කරන්න.

      සමහරවිට ආචාරියා ඔබගේ මතය පිළිගෙන සංශෝධිත තවත් පොතක් පවා ලිවීමට බැරිකමක් නැත.

      Delete
  21. ආව මුත් කියවන්න සතුටින් නුඹේ මතකයෙ සටහනක්
    මේව බැලුවම මාව කැරකී වැටුණෙ දකිමින් තරු ගොඩක්
    කීව කියලා දැනගනුව අද රවියනී ගෙන ටිකදිනක්
    ඕව නොව නවතාපු ලිපිටික ලිව්වොතින්නම් වෙයි හොඳක්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නොදන්න කාරනා රැසක් ඇති ලිපියක් බවත් කියන්න ඕනෙමයි.

      ජයවේවා!!!

      Delete
    2. Dumee,

      Thanks so much dear...:)

      Delete
  22. මේ ඊයෙ පෙරේදා සුනේත්‍රා නෝනාගෙ කවිකඳුර කියවලා මං තාමත් ඉන්නෙ නුවර රාජධානියෙ. මේ ඩොයිලියා ගැනනම් තව විස්තර හොයාගන්න ඕනෙ.

    කටාර්වල මේ දවස්වල මොකද්දෝ අර්බුධයක් තියෙන බව එහෙන් මෙහෙන් දැක්කට හරි විස්තරයක් දැනං හිටියෙ නෑ. අයියා ඒ ගැන කියන්න පටංගෙන තියෙනවා දැක්කම ඔන්න් විස්තරේ දැනගන්න පුළුවං කියලා හිතුණා. ඔය විස්තර කොරලා තිබුණේ! මේ, ඊළඟ පෝස්ට් එකෙන්වත් ඒ ගැන කියනවා හොඳයි! මතකනේ, වරහන් වහන්ඩෝනේ.

    ක්‍රිකට් මැච් ගැනනං මගෙ ඒ හැටි උනන්දුවක් නෑ ඉතිං. මෙතෙක් කාලෙකට ආසාවෙන් බලාපු එකම මැච් එක 96 අපේ ටීම් එක ලෝකෙ දිනාපු මැක් එක තමා. ඒකට මොකද ඔය අයියා කියලා තියන මේ ඊයෙ පෙරේදා තිබ්බ මැච් එක අපෙ සිත්තරානං උඩ පැන පැන හූ තිය තිය හුරේ දම දම බැලුවේ. :D

    ReplyDelete
  23. කොහෙන්ද බං පටන් ගත්තේ කොහෙන්ද ඉවර කළේ . ගුරුවරියකගේ කතාව වෙන දවසක ලියයි නේ නේද ?
    ලංකා ඉන්දියා මැච් එක නම් සුපිරි. කලකදී බලපු හොඳම මැච් එකක්. ඇත්තටම ලංකාවේ කොල්ලෝ ටික විශිෂ්ඨ විධිහට ක්‍රීඩා කලා.
    ඔය ඩොයිලි ලියපුව ඔක්කොම වැරදියි කියල ඇනෝ කෙනෙක් කොහෙද ලියල තිබ්බ. පොත අරගෙන කිවල තමා අදහසක් දෙන්න වෙන්නේ.
    අනික මම කියවල් තියන් විධිහට සිංහල රදළයෝ ජරාවට සැලකුවත් ඉංග්‍රීසි කාරයෝ ඔය රජතුමාට වෙනම පිං පඩියක් දීලා , බිසෝ වරුන් දෙන්නට වෙනම ගෙවල් දීල ගාඩ් එකක් දීල සැලකුව කියල කියන්නේ. රජගෙන් පැවතෙන් පරම්පරාවටත් ඒ පදියම් දීල තියනවා. වෙල්ලෝර පත්ටෙහ් ඒ අය ටහ්වම ඉන්නවලු. ලංකාවේ ආණ්ඩුවෙන් පස්සේ ඒ දීමනාව දීල නවත්වල තියනවා ලංකාව 72 රිපබ්ලික් එකක් වුනාට පස්සේ මම හිතන්නේ. .

    ReplyDelete
  24. සවුදිය කටාර් වලට් දාපු වලිය ගැන දිග ලිපියක් මම ලියන්න හිතන් ඉන්නව. පසුබිම් තමා එංගලන්තේ යන වලිය. ලේබර් පක්ෂෙන් කියනවා සවුදි වලට විකුණන ආයුද නවත්වන් ඕනේ කියල. නමුත් තෙරේස ළඟදිත් ගිහින් අත්සන් කරලා ආව . නමුත් ප්‍රශ්නේ සවුදිය තමා සල්ලි දීල ෆන්ඩ් කරේ ගඩාෆි එළවන් එක හෙම. සිරියාවේ අසද් ට ගේම දෙන්නෙත් යේමනෙට බෝම්බ දන්නෙත් උන්. නමුත් ප්‍රශ්නේ එක නෙමේ. සුද්දගේ MI5 හොයාගෙන තියනවා සවුදිය මෙහෙ ඉස්ලාමික් ටෙරාලටයි පල්ලි වලටයි සල්ලි දෙනවා කියල. ඒකට මෙහෙ දරුණු විරෝධයක් එනවා. ඒක වලක්වන් දාපු බොරු රඟපෑම තමා ඔය. හැබැයි කටාර් කාරයෝ සල්ලි දෙනවා ඇති සිරියාවේ ටෙරා ලට. ඒක වෙනම දෙයක්. අල්ජසීරා හෙම සවුදිය විවේචනය කරන එකටත් උන් කැමති නැහැ. සව්දුසියේ වහබිස්ම් පැතිරවීම අන්තවාදය එක්ක ලඟින් යනවා. ලනක්ව වුනත් පරිස්සම් වුනොත් හොඳයි. හැබැයි මුස්ලිම් මිනිසුන්ගේ ගෙවල් කඩලා වගේ ඒ මිනිසුන්ට ගහලා වගේ ගොන් වැඩ කරල නෙමෙයි. සුක්ෂමව සවුදියට තියෙන dependency එක නැති කරලා දාල.

    ReplyDelete
  25. Fb එකේ කෙනෙක් සෙල්ෆියක් දාලා තිබ්බා ගංවතුරත් එක්ක ෆීලිං දනිස්ස ගාවට කියලා ලියලා... රාජසිංහ ගැන උඩ කොටහෙ ලියලා තියෙනකොටම මට මතක් උනේ ගනනාත් ඔබේසේකරගේ පොත... තව කියවගෙන යද්දි ඒ පොත ගැනත් සදහනක් කරලා තිබ්බා... හොද සටහනක්...

    ReplyDelete
  26. හුඟක් දේ දැනගත්ත සටහනක්...
    ස්තූතියි රවි තුමා බෙදා හදා ගත්තට

    ReplyDelete
  27. අතිශය කාර්යබහුල වෙලා ඉඳලා ඔන්න ආව කාලෙකට පස්සෙ මේ පැත්තේ...

    මාත් පොඩ්ඩක් ඉතිහාසය ගැන එහෙම කියවන්න ගත්තා මෑතකදි. නරේද්‍රසිංහ රජතුමා ගැන එහෙම, අර දස්කොන් කතාවෙන් පොඩි කික් එකක් ඇවිත්. මාත් පිළිගන්නවා වැඩිය මූලාශ්‍ර නැති කාලෙක, එක පොතකින්, ලිපියකින් මුළු ඉතිහාසයක් ගැනම වැරදි චිත්‍රයක් මවන්න පුළුවන්. දැන් අපේ උණත් සිංහල සාහිහ්‍ය, ආගම පිළිබඳ දැනුම පදනම් වෙන්නේ අපි ඉස්කොලෙ යන කාලේ භාවිතා කරපු පොත් අනුවනේ.

    ඒ එක්කම ඉතිහාස පොත් ලියන උගත්තු ගැනත් මගේ විවේචනයක් තියනවා. දැන් මේ පොත උණත් ලියවෙන්නේ සැබෑ ඉතිහාසය හැදෑරීමට වඩා තමන් තුල ඇති පූර්ව මතයක් නිවැරදියි කියලා ඔප්පු කිරීමක් විදිහටනේ. මම අහලා තියන විදිහට ඒකත් පිළිගත් ක්‍රමවේදයක් තමයි. ඒත් ඉතින් මූලාශ්‍ර වැඩිය නැති, තියන ඒවත් පක්ෂග්‍රාහීව ලියවුණයි කියලා හිතන්න පුළුවන් කාලයක, යම් දෙයකට පක්ෂව හෝ විපක්ෂව මතයක් තහවුරු කරගැනීම කෙනෙකුට වැඩි අපහසුවකින් තොරව කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  28. [බෝගම්බර වැවත් එක්කම තියෙන රජපිහිල්ල මාවතට ඉහලින් ඒ නිල නිවාස තිබ්බෙ. මිදුලට බැහැල යාර විස්සක් තිහක් පාර දිගේ පල්ලෙහාට ආවම හඳපානෙ බෝගම්බර වැවේ වතුර දිළිසෙනව පේනව රිදී කඳක් වාගෙ.]
    මොකක්?

    ඈ බොල ඊයෝ බෝගම්බර කොහෙද වැවක්? පිට්ටනියක් මිසක්?????? හත්වලාමේ කොයි කාලේද වැව පිට්ටනියක් කලේ.. හම්මේ.. තමුන්නාන්සේ මමියක්ද?

    ReplyDelete
  29. The post is toooo long, yet it has the same good old taste. Thanks Ravi. Hope you’re doing ok under the ongoing crisis. Be safe mate!

    ReplyDelete
  30. ගුරුවරී කෝ අනේ???
    ඒත් රාජසිංහ රජතුමා ගැන ගොඩක් දේ දැනගත්තා. ස්තූතියි රවි මහත්තයෝ.

    ReplyDelete
  31. ඔය කියපු ක්වාටර් එකක් නේද අර අඹ යහළුවෝ ඒකෙ පෙන්නන්නෙත්.. සුදු අප්පොලා ගමේ ඉඳන් නුවර ඇවිත් පදිංචි වෙන්නේ.. :)

    මේක ඉතිහාසය ගැන හොඳ හැදෑරීමක්.. ඒත් ඇත්තම නෙවෙයි කියලයි මට හිතෙන්නේ.. ජෝන් ඩොයිලි ගේ භූමිකාව නම් සම්පුර්ණ ඇත්ත.. සුදු හැමට අපි එදත් රැවටෙනවා අදත් රැවටෙනවා.. අන්නේකයි දුක!

    ReplyDelete
  32. වාං පතුල් කතාව මුල ඉදන් අමාරුවෙන් හොය හොයා කි⁣යවල ඉවර කලා. නරකද පටුනක් වගේ එකක් හැදුවොත්

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අර ප්‍රවර්ග කියල පැත්තකිං තියෙන්නෙ එකක්.

      මේ මනුස්සයගෙ කතා වලට පටුනක් හැදුවොත් ඒ පටුනෙ තියෙන ඒව හොයාගන්න තව පටුනක් හදන්න වෙනව. හැක්..

      Delete
    2. ඒකෙ මුල ඉදං අගට නෙමෙයින

      Eg:-

      විමලෙගෙ වාං........
      1-
      2-
      .
      .

      Delete
  33. https://books.google.lk/books/about/Betwixt_Isles.html?id=DVpuAAAAMAAJ&redir_esc=y

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...