Friday, October 13, 2017

538. From The Big Bad Wolf To Lone Wolf………….


ශිශිර සෘතුවෙහි පතිත හිම මත පසුවන වෘකයින්
තිදෙනෙක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
(Google Images)

මේ දවස්වල The big bad wolf නොහොත් දැවැන්ත නපුරු වෘකයා ලංකාවට ඇවිල්ල පැලපදියම් වෙලා ඉන්නව. ඒ සතා ආපහු යනවයි කියන්නෙ මේ පාළොස් වෙනිදද කොහෙද. 

දුහුණන් දැනුම් උදෙසා පවසන වගනම්.....බිග් බෑඩ් වුල්ෆ් නමින් හැඳින්වෙන්නෙ අන්තර්ජාතිකව සුප්‍රසිද්ධ පොත් ප්‍රදර්ශනයක් සහ සල්පිළක්. අවුරුදු අටකට ඉස්සෙල්ල මැලේසියාවෙ පටන් ගත්තු මේ පොත් සල්පිළ දැනට තායිලන්තය සහ ඉන්දුනීසියාවෙ වාර්ෂිකව වගෙ පැවැත්වෙනව. ලංකාවට වෘකයා සම්ප්‍රාප්ත වුනේ මේ පළමු වරට.

මැලේසියාවෙ එහෙම ඔය පොත් සල්පිලේ පොත් විකුණන්නෙ මෙහෙමලු. එක එක ප්‍රමාණ හතර පහකින් කාඩ්බෝඩ් පෙට්ටි තියනවලු. ප්‍රමාණය විසාල වෙන්ට විසාල වෙන්ට එව්වයෙ මිල වැඩියි. පොත් ගන්ට එන අයට තියෙන්නෙ තමන් ගන්න හිතාගෙන ඉන්න පොත් ප්‍රමාණය අනුව ගැලපෙනවයි කියල හිතන පෙට්ටියක් අරගෙන ගිහිල්ල ඒකට පොත් දාගන්න එක. පෙට්ටිය පිරුනම පියන් වැහුව. පිටවෙන දොරටුවට පෙට්ටියට සල්ලි ගෙවපු බිල පෙන්නුව. එළියට ආව. 

ලංකාවෙ හැබැයි ඒ ක්‍රමේ තිබ්බෙ නෑ. එහෙම තිබ්බනම් තියෙයි රුපියල් පන්දාහෙ පෙට්ටි, අටදාහෙ පෙට්ටි, දහදාහෙ පෙට්ටි එහෙම. සිරි ලාංකිකයින්ගෙ හැටි සොබාව දන්න හින්ද මම හිතන්නෙ සංවිදායකයො පෙට්ටි මෙතඩ් එක මෙහෙට හරියන්නෙ නැතය කියල තීරණය කරන්ට ඇති.

අර පොත් පෙට්ටි කතන්දරේට ඌණ පූරණයක් එකතු කරන්ට උවමනයි. ඔය පොත් පෙට්ටි කතාව මට මතක විදිහට ඉස්සෙල්ලම මම කියෙව්වෙ අපේ පැතුමගෙ බ්ලොග් එකේ. දන්නවනෙ අර පැතුමා නේ? පැතුමයි කියන්නෙ අපේ දැනට නොකඩවා ලියන ජේෂ්ඨම වියුණු රචකයා....පැතුමට "ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයා" කියල ගෞරව නාමයකුත් දුන්න අපේ අභාවප්‍රාප්ත චිචාරක තුමා......

හරි පොත් පෙට්ටි කතාවෙ ඌණ පූරණය මෙහෙමයි. පැතුම කියනව එහෙම පොත් පෙට්ටි සිනාරියෝ එකක් මැලේසියාවෙ තිබ්බෙ අවුරුදු දෙකකට සැරයක්ලු. ඒ අතර එන ඕල්ටර්නේටිව් අවුරුද්දෙ සල්පිල පැවැත්වෙන්නෙ මෙහෙ තිබ්බ සාමාන්‍ය නෝමල් ක්‍රමේටමලු. 

ඒ කියන්නෙ සම් ටයිම්ස් ලබන අවුරුද්දෙ පොත් පෙට්ටි මෙතඩ් එක සිරි ලංකාවටත් එන්න පුලුවන්. ඒ හින්ද පුස්තකකාමී (ඉංග්‍රීසියෙං නම් Bibliophiles) උදවිය දැං ඉඳලම දඩාර් සයිස් දැවැන්ත පෙට්ටි සූදානම් කරගත්තොත් කෝකටත් හොඳයි. ඔය සීතකරණ, වොෂිං මැෂින් වගෙ එව්ව ගෙනාපු පෙට්ටි තියනවනම් එළ ද බ්‍රා...

ඉතිං ඒ බිග් බෑඩ් වුල්ෆ් කතන්දරේ මෙතෙකින් අවසානයි. දැන් දෙවෙනි කතාව. මගෙ ජීවිතේ ඔය අහඹු සම්පාත සිදුවීම ඒ කියන්නෙ ඉංග්‍රීසියෙන් අපි ඔය Coincidence කියන්නෙ. අන්න එව්ව බොහොම බහුලයි. එහෙම දෙයක් මේ පාරත් වුනා. 

ඒ කියන්නෙ ඔය බිග් බෑඩ් වුල්ෆ් තුමා ලංකාවට සැපත් වෙද්දි මම කියව කියව හිටියෙ ජෝඩි පිකෝ කියන අමරිකානු ලේඛිකාවගෙ ලෝන් වුල්ෆ් නම් නවකථාව. ජෝඩි පිකෝ කියන්නෙ එකිනෙකට හාත්පසින්ම වෙනස් විවිධ මානයන් ඔස්සේ කථා ගෙතීමට සමත් බොහොම දක්ෂ ලේඛිකාවක්.

ජෝඩි පිකෝගේ ලෝන් වුල්ෆ් නවකථාව
ඉහත ඡායාරූපයෙහි දැක්වේ
(Google Images)

කතාව ගෙතෙනුයේ ලූක් වොරන් නම් සත්වෝද්‍යාන භාරකරුවෙක් වටා. කුඩාකල සිටම සතුන්ට දැඩි ආදරය දක්වන ලූක්ගෙ විශේෂ අවධානයට ලක් වෙන්නෙ වෘකයින්. වෘකයින් දුරින් සිට නීරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ සැබෑ ගතිගුණ හඳුනාගැන්මට නොහැකියයි දැඩිලෙස විශ්වාස කරන ලූක් වරක් කැනඩාවෙ මහ වනයක වෘක රැළක් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ගත කරනවා. 

මේ ලෝන් වුල්ෆ් පොතෙන් එක් පරිච්ඡේදයක්......

වෘකයින් රැළක ක්‍රියාකාරිත්වය බොහෝ විට මාෆියා සංවිධානයේ ක්‍රියාකාරිත්වයට සමානය. මාෆියා සංවිධානයේ පරිදිම වෘක රැළකද සියළු සාමාජිකයින් හට යම් නියමිත කාර්ය භාරයක් ඇත. එළෙසම ඒ සියළු සාමාජිකයෝ තමනට නියමිත කාර්යය නොපිරිහෙලා ඉටු කල යුතුය. අනෙකුත් සාමාජිකයෝ ද එලෙස ඔවුන් තමන්ට නියමිත කාර්යය ඉටු කරනු ඇති බවට අපේක්ෂා කොට සිටින්නෝය.

රැළෙහි නායක පදවිය උසුලන ප්‍රධානියා නොහොත් ඇල්ෆා වෘකයා පිළිබඳව අප සැම අසා ඇත. ඇල්ෆා වෘකයා යනු රැළෙහි උත්තරීතර පාලකයාය. රැළෙහි සාමාජිකයින් වන්නාවූ අනෙකුත් වෘකයින්ගේ ආරක්ෂාව ඔහු හෝ ඇයගේ වගකීම වේ. ඔවුන් සංචරණය කල යුත්තේ කුමන ප්‍රදේශයන්හිද ආහාර පිණිස ඔවුන් දඩයම් කල යුත්තේ කුමන සතුන්ද එමෙන්ම දඩයම් කල යුත්තේ සතුන් කී දෙනෙක්ද යන්න පිළිබඳව අවසාන තීරණය ගනු ලබන්නේ ඇල්ෆා වෘකයා/වෘක ධේනුව විසිනි.

වෘක රැළෙහි අනාගත අභිවෘද්ධිය උදෙසා සියළුම තීරණ ගනු ලබන්නේ ඇල්ෆා වෘකයා/වෘක ධේනුව විසිනි. එබැවින්ම රැළෙහි විනය මනාලෙස පවත්වා ගැනීමේ රාජකාරියෙන් ඔහු සපුරාම නිදහස් වේ. රැළෙහි විනය පවත්වාගැනීම භාරවූවකුට නිතර විනය විරෝධීව හැසිරෙන රැළෙහි අනෙකුත් සාමාජිකයින් හට දඬුවම් කිරීමට සිදුවීම වැළැක්විය නොහැක. 

මෙසේ දඬුවම් කීරිමේදී ප්‍රචණ්ඩ සටන් පවා සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සුළු කොට තැකිය නොහැක. මෙම ප්‍රචණ්ඩ සටන් වලදී පූර්ණ අකර්මණ්‍යතාවයට හෝ අවසාන වශයෙන් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමද සුළුකොට තැකිය නොහැක. එබැවින් රැළෙහි විනය පවත්වා ගැනීමේ කාර්යය භාරවන්නේ වෙනත් වෘකයෙකුට හෝ වෘක ධේනුවකටය.

එම වගකීම පැවරෙනුයේ රැළෙහි ධූරාවලිය (Hierarchy) අනුව දෙවන ස්ථානයෙහි වගකීම දරන්නාටය. නැතහොත් බේටා වෘකයාටය. ඔහුගේ කාර්ය භාරයඅඩුවැඩි වශයෙන් බලාත්මක කරවන්නකුගේ (Enforcer) කාර්ය භාරයට සමානය. බොහෝ විට හොඳින් වැඩුණු ශක්තිමත් පිරිමි සතකු වන බේටා වෘකයා වියයුතු පරිදිම ඉතා රෞද්‍ර ගතිපැවතුම් වලින් යුක්ත වූවෙකි. 

රැළෙහි අනුත්තර නායකයාට ඔබ අනවශ්‍ය පරිදි කිට්ටුවුවහොත් ඔහු ඔබ වෙතට එක්පැහැර කඩා වැද ඔබගේ උගුරු දණ්ඩ ඔහුගේ ශක්තිමත් හනු යුවල භාවිතා කොට කඩා දැමීමට එක් මොහොතක් හෝ නොපැකිළෙනු ඇත. ඔහු එවන් අවස්ථාවකදී අභාග්‍යසම්පන්න පරිදි මියගියද රැළෙහි කිසිවකුට ඒ බරපතල ප්‍රශ්ණයක් නොවනු ඇත. ඔහුගේ තැන ගැනීමට නොපැකිල ඉදිරිපත්වන එමන්ම කාය ශක්තියෙන් අනූන සහ සුදුසු පරිදි රෞද්‍ර වෘකයින් බොහෝ දෙනෙකු රැළෙහි සිටින්නාහ.

වෘක රැළෙහි ධූරාවලියෙහි තෙවැන්නා වනාහී පරීක්ෂකයාය (Tester). ඔහු ස්වභාවයෙන්ම කිසිවකු කෙරෙහි විශ්වාසය නොතබන අතර නිතොර සියල්ල සහ සියල්ලන් සැක කරන්නෙකි. වෘක රැළ අභ්‍යන්තරයෙහි හෝ ඊට පරිබාහිරව කිසියම් නුපුරුදු එනම් මින් පෙර නොවූ වීරූ යමක් සිදුවන්නේ යයි ඔහුට/ඇයට හැඟී ගියහොත් ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් ඔහු /ඇය ඒ අසළම ගැවසෙනු ඇත. කුමන හෝ අවදානමක් පිළිබඳව දැනුනු වහාම ඒ පිළිබඳව නායකයා දැනුවත් කීරිම ඔහුගේ වගකීමකි.

පරීක්ෂකයාගේ සංවිභාගශීලීභාවය (Investigative tendencies) රැළෙහි සුරක්ෂිතතාව උදෙසා බොහෝ වැදගත් වනු ඇත. එළෙසම රැළෙහි තත්ව පාලක (Quality control) කාර්යයද ඉටු කරනුයේ ඔහු හෝ ඇය විසිනි. 

රැළෙහි යම් සාමාජිකයකු තමනට නියමිත කාර්ය භාරය ප්‍රශස්ත ලෙස ඉටු නොකරන්නේනම් ඔහුට හෝ ඇයට තම ප්‍රකෘති හැකියාව (Mettle) ඔප්පු කිරීමට අනිවාර්යයෙන් සිදුවන අවස්ථාවක් නිර්මාණය කිරීමට ආරක්ෂකයා නොපැකිලේ. බොහෝවිට සැකයට භාජනය වන සාමාජිකයාහට රැළෙහි බලාත්මක කරවන්නා නොහොත් බේටා වෘකයා සමඟ සටනකට එළඹීමට සිදුවනු ඇත. මෙවන් සටනකදී එම සාමාන්‍ය සාමාජිකයා එක පැහැර පොළොව මත හෙලා පරාජය කිරීමට බලාත්මක කරවන්නා අසමත් වුවහොත් ඔහු තව දුරටත් තම තනතුර දැරීමට කිසිදු අයුරකින් සුදුස්සකු නොවේ.

Diffuser නොහොත විසරකයා හට රැළෙහි නියමිත කාර්ය භාරය ඔහුගේ ඇයගේ නමින්ම ගම්‍යවන පරිදි විසිරවීමයි. ඔමේගා ලෙසද බොහෝවිට හැඳිවෙන විසිරකයා රැළෙහි ධුරාවලියෙහි පහත්ම ස්ථානය දරන්නාලෙස බොහෝ කලක් සැලකුනු නමුදු ඔහු/ඇය කාර්ය රැළෙහි අභිවෘද්ධිය උදෙසා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව මනා සේ පැහැදිලිය. 

මාෆියා සංවිධානයක ශරීරයෙන් කුඩා සහ ඝන කාචවලින් හෙබි උපැස් පැළඳි නීතිඥයා ඉටු කරන කාර්ය භාරය එනම් සංවිධාන ධුරාවලියෙහි ඉහළ ස්ථානයන්හි සිටින්නන් අතර බොහෝවිට ඇතිවන මත ගැටුම් සහ කලහකාරී අවස්ථාවන් සමනය කිරීමේ කාර්ය භාරය වෘක රැළෙහි ඉටු කරනුයේ විසිරකයා විසිනි.

උදාහරණයක් ලෙස වෘකයින් දෙදෙනෙකු පොර වැටෙද්දී විසිරකයා ඔවුන් මධ්‍යයට පනිමින් එහා මෙහා දුවමින් විසුළු සහගත රංගනයක් යෙදේ. කෝපයෙන් ගිණියම්ව සටනෙහි යෙදීමට සූදානම්ව එකිනෙකා වෙත දත් විළිස්සා සිටිනා පසමිතුරන්ගේ කෝපාග්නිය නිවීයාමට බොහෝවිට විසිරකයාගේ මේ උසුළු විසුළු හේතුවනු ඇත. අනතුරුව සටන් කාමීහු සටන අත්හැර සාමකාමීව විසිර යන්නාහ.

සත්‍ය වශයෙන්ම විසිරකයා වනාහී රැළෙහි සාම දූතයාය. විසිරකයකු නොමැතිව වෘක රැලකට පැවතිය නොහැක. ස්වභාවයෙන්ම රෞද්‍ර ගතිගුණ ඇති වෘකයෝ එවන් අවස්ථාවක නිරතුරුව එකිනෙකා කා කොටා ගැනීමෙන් කල් ගත කරනු ඇති බව නිසැකය.

මාෆියා සංවිධානයක ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔබට බොහෝ ගැටළු තිබිය හැක. බොහෝවිට ඔබ ඔවුන් දැඩිලෙස පිළිකුල් කරනවාද විය හැක. 

එහෙත් ඔබ එකහෙලා පිළිගතයුතු සත්‍යයක් ඇත. එනම් මාෆියා සංවිධානයක කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට ඔවුන්ගේ මනා සංවිධාන ව්‍යුහය, සෑම සාමාජිකයෙක්ම ධුරාවලියෙහි තමනට හිමි ස්ථානය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම මෙන්ම සෑම සාමාජිකයෙක්ම තමන්ට පැවරුණු කාර්ය භාරය තම ශක්ති මට්ටමේ පරිදි නොපිරිහෙලා ඉටු කිරීමද හේතුවේ. 

මාෆියා සංවිධානයක සාමාජිකයෝ තම සංවිධානයේ අභිවෘද්ධිය උදෙසා සහ එමෙන්ම තම සහෝදර සමාජිකයින් උදෙසා ජීවිතය පරිත්‍යාග කීරිමට හෝ මොහොතකුදු නොපැකිලෙන්නෝය.

වෘකයින් රැළක් මාෆියා සංවිධානයක් හා සමවීමට තවත් හේතුවක් ඇත. 

එනම් ඔවුන් දෙපාර්ශ්වයටම තම සංවිධානය හෝ රැළ ලොවෙහි අන් සියල්ලටම වඩා වැදගත් මෙන්ම උතුම් ද වන්නේය.

52 comments:

  1. බිග් බෑඩ් වුල්ෆ් හම්බවෙන්න දෙපාරක් ගියා. හිතුවට වඩා වියදම් කරපු නිසා ආයිත් නොයා ඉන්න තදින් හිතා ඉන්නව. ඒත් රෑ 2 ට විතර යන්න ආසයි
    ගත්ත පොත් වලින් රවි උන්නාන්සෙ ඉන්ටරෙස්ටඩ්වෙන 3ක් :
    https://www.amazon.com/History-Slavery-Illustrated-Monstrous-Evil/dp/1555217680
    https://www.amazon.com/Rome-Sword-Warriors-Weapons-History/dp/0500251827
    https://books.google.lk/books/about/The_Amazons.html?id=fOU5jgEACAAJ&redir_esc=y

    මං ආසම දේ පිරෙන්න ගොඩ ගහල තිබුන තිබුන කොමික් බුක් ග්‍රැෆික් නවල් කලෙක්ශන් එක !

    ReplyDelete
    Replies
    1. So you are reading about Amazon Warrior women...What next Travel to Amazon

      Delete
    2. Pra,

      හෙහ්..නියම පොත් තුනක්නෙ..

      මම ඔතනින් කැමතිම ඇමසන්ස්ල ගැන ලියවුනු පොතට.ඒකෙ කියන්නෙ ඇමසන්ල කියන්නෙ තනිකරම මිථ්‍යාවක් නෙවෙයි කියල නේද?

      ට්‍රෝජන් සටන ගැන මම කියවපු පොතක තිබ්බ ට්‍රෝජන්වරුන්ගෙ පක්ෂය ගෙන සටන් කරපු ඇමසන් සේනාංකයක් හිටියයි කියල. දුනු දිය ඇදීම පහසු වෙන්ට ඔවුන්ගෙ එක් පියයුරක් පොඩිකාලෙම ඉවත් කරනවලු.

      Delete
    3. Ajith,

      Amazon warriors were a ferocious female fighters mainly from Greek mythology. All their great heroes like Hercules,Perseus and Achilles fought with amazon warriors.

      Amazon the great south american river is named after them as a mark of honor to some tribal female warriors who lived there and defeated the Spanish invaders in initial fighting.

      Delete
    4. Ajith,

      I thought you are assuming that Amazon warriors were from Amazon river region. Sorry if I misunderstood.

      For a long time I thought that they were from Amazon region...:)

      Delete
    5. Achilles was accused of necrophilia because he is supposed to have fallen in love with the Amazon queen after killing her in combat. Hercules too had an encounter. Diana the Wonderwoman of DC comics and the new movie is an Amazon.
      Historically I think there were some evidence of a femal warrior tribe/s in East Europe or near East. Breast removal is a myth perpetuated by a sculptor or a drawing I think. Anyway, I haven't read this book yet.

      But, if you are interested you should read Steven Pressfield's novel about them. I read it sometime back. A good thought provoking book with literary value. Wait.. I will search and give reference.

      Delete
    6. Last of the Amazons by Steven Pressfield.

      Delete
    7. රවිය , රවී දැන් තේරුණා. ඉතින් බන් අර ඉලියඩ් එක කියවල තියෙන ඕන එකෙක් දන්නවනේ ඇමසොන්කි ලා ගැන. ඒකෙ නේද අර ජේසන් ගොයියටද කොහෙද හම්බ වෙන්නේ. කට්ටියම හෙන සොමියක් ගන්නේ .
      මෙතන මම මේ ප්‍රා ගොයියට සියුම් ගරිල්ලා ප්‍රහාරයක් කලේ. කෝ උඹ කඩාන පැන්න නොව. ප්‍රා ගොයියා හිතන් ඉන්නේ එය අඩි 8 -9 ක් විතර උස දීඝ ජන්තුවෙක් කියලනේ. ඔය මම ලංකාවට ආපු වෙලාවට - කෝ ඔයාට මේ පාරෙන් පනින කොට කොන්ක්‍රීට් එක උඩින් පනින්න බැහැ නේද?කඩේකට ගියොත් ආ මේ රාක්කෙ උඩ තියන ෂර්ට් එක ගන්න බැහැ නේද කියල වද වෙනා. (කෝචොක් කරනවා කියන වචනේ වඩා හරි.) ඉතින් මේ තැනැත්තා රෑට හීනෙනුත් ඇමසොන්කි ලාව තමා දකින්නේ. ඉතින් මම මේ කිව්වේ ඔය amazon පැත්තට වත් ගිහිල්ල උඩහ ඇරගෙන ඉන්න කොට ඇමසන් ට්‍රයිබල් නැඟී කෙනෙක් හොයා ගන්න කියල. හැබැයි ඒ එක්කම උන්ගේ මිනිස්සු ගෙන් බේරෙන්නත් වෙනවා.

      Delete
    8. Whatever Ajith's height is, he sure got a looong memory!

      Delete
    9. Pra,

      I think Ajith is one of that special kind of guys... :)

      you have to measure them two times to get the real height. once their vertical height when standing and again the vertical height when lying down flat on their back..Heh..heh...

      සිංහලෙන් අර කියන්නෙ "ඕකගෙ බං උස දෙපොලේ" කියල..අන්න ඒ ජාතිය...:)

      Delete
    10. ha ha pra, Ines always says she can deal with all that other things throwing at her except the photographic memory. But I can't remember that shop name. When we crossed in front of it there were concrete slabs and you tried to jump over when there was an easy route around. he he

      Delete
    11. Which height is that second one Ravi? Is that how you measure?? :) ha ha

      Delete
  2. මාත් ගියා ඔය මහා නරක වෘකයා බලන්න සිත්තරාත් එක්ක. සිත්තරා හෝල් එක වටේම වට තුන හතරක් ඇවිදලා එනකල් මං දෙවෙනි මේසෙද, තුන්වෙනි මේසෙද ළඟ. පොඩ්ඩන්ට තියෙන පොත් දැකලා මටත් ආයෙ පොඩි කාලෙට යන්න හිතුණා. පැංචාට ගත්තා පොත් ගොඩක්. පැය හතරකට විතර පස්සෙ කවුන්ටරේ ළඟට කිට්ටු වෙද්දි මට හිතුණෙ මං මට ගන්න හිතාගෙන හිටපු පොත් තිබ්බ හරිය මග ඇරිලා කියලා. ආයෙ යන්නත් කම්මැලි හිතුණා, ඉතිං ඔහෙ තෝරගත්තු එව්වා විතරක් අරං ආවා. පස්සෙ තමයි ආරංචි වුණේ ඒ දවස වෙද්දි fiction පොත් ගොඩාරියක් ඉවර වෙලා කියලා.

    වෘකයෝ ගැන ලියවිච්ච මං කියවලා තියෙන ලස්සනම කතාව R. D. Lawrenceගේ Cry Wild. Silverfeet කියන වෘක පැටියාගේ දෘෂ්ඨි කෝණයෙන් ලියවෙච්ච කතාවක්.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      අඩේ ගැන මම දන්නෙම නෑනෙ R.D.Lawrence පිළිබඳව...අපූරු පොත් තොගයක්ම ලියල තියනවනෙ මනුස්සය. වහාම හොයාගෙන කියවන්ට ඕන....ස්තූතියි දැනුම්වත් කිරීමට.....:)

      Delete
  3. http://biththiya.blogspot.com/2014/03/big-bad-wolf.html
    http://biththiya.blogspot.com/2014/12/blog-post.html
    මේ තියෙන්නෙ ඔය කියන බිත්ති පැතුම පෙට්ටිය ඇතුවයි, නැතුවයි පොත් ගන්න වෘකයගෙ කට ඇතුලට ගිය සීන්කෝන් එක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ස්තූතියි මල්ලි..අහෝ උඹ නැති දවසක මේ සිහල වියුණු ලොවට කුමක් සිදුවේදැයි මට කම්පනා විය...

      පැතුමගෙ ඒ පෝස්ට් දෙකම කියෙව්ව.ඌ මගේ පෝස්ට් එකක් ගැනත් එකක කියල තියනව කමෙන්ට් එහෙක...:)

      Delete
  4. ඔය පෙට්ටි තියරිය ලංකාවට ආවොත් මමනං යන්නෙ ප්‍රයිවෙට් බස් කොන්දෙක් අරගෙන. මිනිහ මුළු ප්‍රදර්ශනේම තියෙන පොත් ටික පන්දාහෙ පෙට්ටියක අඩුක් කරල දෙයි සෙනිකව. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..හෙහ්...විශ්මිත අයිඩියා....

      බස් කොන්දොස්තරල ගැන කියනකොට අපූරු කතාවක් මතක් වුනා..මම අර කාලයක් මහ වන මැද සේවය කරන කාලෙ නිවාඩුවට ගෙදර ගිහිල්ල ඔන්න ආපහු වැඩට එනව.

      ඒ කාලෙ කෑම්ප් එකට යන්ට තිබ්බෙ ප්‍රයිවට් වෑන් දෙකක් ද කොහෙද විතරයි. එව්වත් ලෝ රූෆ් නිසාන් කැරවන් ලඩි. අපේ කෑම්ප් එක පහුකරල කිලෝ මීටර් තුනක් වගෙ ගියාම තිබ්බ පරණ මුස්ලිම් ගමක්. ඔය ගමේ මුදලාලිල දෙන්නෙක් තමයි බස් දැම්මෙ. ඔය දෙකේම කොන්දොස්තර්ල හිටියෙ අවුරුදු 13/14 වගෙ පොඩි කොල්ලො. මම හිතන්නෙ ලො රූෆ් හින්ද ඒ වයසෙ එකෙක්ට ඇරෙන්න වෙන එකෙකුට ඒ රස්සාව කරන්න බෑ.

      ඉතිං එදා මම එනකොට තිබ්බ වෑන් එක ලෝඩ් වෙලා. මොකද කරන්නෙ කියල මාත් නැඟල අයිනක් අල්ලගෙන ඔලුව පාත් කරගත්ත. මම ගාවම සීට් එකේ හිටිය අපේ ඔෆිස් එකේම සැළසුම් ශිල්පිණියක්.එයා මට එහාට වෙලා ඉඩ දෙන්න හැදුවට හරි ගියේ නෑ..

      "කමක් නෑ..මම මෙහෙම ඉන්නං" මම කිව්ව.

      කොන්දොස්තර කොලුව ඔන්න මිනිස්සු ලෝඩ් කරනව. පොඩි එකානෙ. මිනිස්සුන්ගෙ කකුල් අස්සෙං හිටං ගිහිල්ල ඉඩක් තියන හැම තැනටම කවුරු හරි ඔබනව. අපේ සැලසුම් නෝන ගාවටත් ඇවිල්ල දෙමලෙන් මොනවද කිව්ව ඒ ලඟ හිටගෙන උන්නු පොඩි කොලුවෙක් පෙන්නල.

      මට දෙමල යන්තමට තේරුනාට මූ කියපු වේගෙට මොකවත් තේරුනේ නෑ.අර නෝන මගෙන් ඇහුව "මොකක්ද මල්ලි මූ මේ කියන්නෙ?" කියල.

      මමත් ඔලුව ද්පැත්තට වනල කිව්ව මම දන්නෙ නෑ කියල. මෙන්න හිටපු ගමං කොන්දොස්තර කොලුව අර නෝනගෙ උකුලෙ තිබ්බ ට්‍රැවලිං බෑග් එක අරගෙන ඊට එහා හිටපු මනුස්සයගෙ උකුලට දාල අර පොඩි එකා අරගෙන නෝනගෙ උකුලෙ තිබ්බ.

      අපේ සැළසුම් නෝන අඤ්ඤකොරොස් ද තුස්නිම්බූතයිස්ඩ් වුනා. හැබැයි ඒ එක්කම පියවි සිහිය එලඹවාගෙන අර පොඩි එකා බිමට දාල හෑන්ඩ් බෑග් එක අරගෙන දුන්න කොන්දොස්තර කොල්ලගෙ පිට මැදට හොඳ පාරක්.

      පස්සෙ වෑන් එකේ ඩ්‍රයිවර් ඇවිල්ල තමයි මේ මහා අර්බුදකාරී තත්වය සමනය කලේ. ඩ්‍රයිවර් මැදි වයසෙ හොඳට සිංහල පුලුවන් මනුස්සයෙක්. වෙලා තියෙන්නෙ මේකයි. අර කොන්දොස්තර කොලුව දෙමලෙන් කියල තියෙන්නෙ අපේ සැලසුම් නෝනට අර ළමය ඔඩොක්කුවට ගන්ට කියල. කොල්ල හිතල තියෙන්නෙ ඒ බිම හිටපු පොඩි එකා සැළසුම් නෝනගෙ කියල. නෝන එහෙම නොකලම ඌට මල පැන්න..

      එදා රෑ පොඩි ආතල් එකක් ගන්න ගමං ඔය සීන් එක කියල හිනාවෙලා අපේ එකෙක්ගෙ අරක්කු ඉස්පොල්ලෙත් ගියා..:)

      Delete
    2. හෙක්... ඔහේ වාඩි වෙලා ඉදිද්දි කොන්ද කොල්ල ඇවිල්ල සැලසුං නෝනව ඔහෙගෙ උකුලෙ හිටෙව්වනං එපාම කියයි නෙහ්.

      Delete
    3. ප්‍රසන්න,

      පිස්සිය බං? ඒ නෝන හොඳ උස මහත අටේ දහයෙ ඉස්ත්‍රී රත්නයක්...හොඳට හිටියි මයෙ උකුලෙ වාඩි කෙරෙව්වනම් එහෙම...

      උඹ පිණි බලනවය? අන්න ඒ පිණි එකේ මානෙල් අක්ක වගෙ ආය නෑ දෙකට මැදිං කපාපු අනිප්පලුව....:)

      Delete
  5. ඔය වෘකයා ඉන්නවනේ.... මගෙත් හොඳ ගානකට තට්ටු කළා.. ආදෙන්කෝ ආයේ ඌ! හුහ්

    ලියමන නම් මසුරන් රවියා.. නියමයි

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      වෘකයො එහෙම තමයි බං...

      වෘකයගෙන් ගත්තු පොත් කියෝල ඒ ගැන මොක මොකවත් ලියහං අර කඩදාසි කොලේ...:)

      Thanks Madam...:)

      Delete
  6. බිග් බෑඩ් වුල්ෆ් බලන්න අද යනවා. පොඩි උන්ට පොත් ගන්න තමා වැඩියක්ම. වෘක රැලේ වැඩනම් අපූරුයි. මේකත් බලන්න...

    ReplyDelete
    Replies
    1. උදය,

      බොහොම ස්තූතියි...අපූරු ඡායාරූපයක්...:)

      Delete
  7. වෘක රැ ල ගැන කතාව මාරු. පොත රැගෙන කියවන්න හිතෙන පරිදි ලියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අන්න එහෙම පොත අරං කියවන්න හිතුනනම් මගේ උත්සාහය සාර්ථකයි..මට ඕන කලෙත් එච්චරයි...:)

      Delete
  8. ඔය වෘක රැලේ ඈයො උන්ට කියන නම් දන්නවද බං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      සමහරවිට දන්නවත් ඇති බං හෙහ්..හෙහ්

      Delete
  9. යන්න තමා හිතන් ඉන්නෙ.බ්ලොග් එකක් කියවන්න වෙලාව නැති අපට එව්වායෙ යන්න වෙලාව තියෙයිද කියන එක තමා පුරස්නේ..

    ReplyDelete
    Replies
    1. වර්ෂා, වර්ෂා, වර්ෂා.....

      හප්පච්චියේ ඉතිං ඉතිං? ඔබ දැකුමින් අප පින් කල බැව් හැඟුනි...:)

      කොහොමද වාස දේස? දැන් ජේස්ට උත්තමාවියක් නේ? කැළණිය පැත්තම හොල්ලගෙන ඉන්නවයි ඔබතුමී?

      Delete
  10. මේ දවස්වල හිත රිදිලා ඉන්නේ සෑහෙන්න බුක් ෆෙයා එකට අතේ තියෙන සේරම දීල ඔය ලොකු නරියා බලන්න යන්න අතේ දොයිතුවක් නැති උනානේ.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      සෙක් ඩිංගිත්තක් කලිං කිව්වනං පොලී රහිත නයක් සැට් කොරල දෙන්න තිබ්බ නෙව....:(

      Delete
  11. ආං ලොක්කො අර සොසියා තුංවේල කවල ඇතිකොරන්නෙත් මේ වගේ වුරිකයෙක්.

    ඔය වුරිකයො පොත් විකුන්නට බලල්ලු එහෙම නෑ. විසේසෙම්ම අපේ ටිකිරිට පත්තර පේන්න බෑ. ඒකි‍ පත්තරයක් දුටු ගමං ඉස්සරා අඬු දෙකෙම්ම හූරලා ඒක රැහැල් කරනව.

    පහුගිය දවස්සල අපේ අය ඔය පොත් ප්‍රදර්සනේ බලන්න ගිහිං වියදං කරල තියෙන ගනං බැලුවහම මටත් ඇල්ලතුර ඉස්පොල්ලෙ ගියා.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      සොසීගෙ වුර්කයගෙ නම සැඩා ද බැඩා ද මොකද්ද නේද?

      ඕකා ඔය ඔහොම හිටියට හොඳ පැටිකිරියක් තියෙන සතෙක්.. හාර ලක්සෙ මංකොල්ලෙ එහෙම අහල තියද? ඒ හාර ලක්සෙ මංකොල්ලෙ හොරු ටික ඇල්ලුවයි කියන්නෙ ඔය සැඩාගෙ කිරිකිත්තගෙත් කිරිකිත්ත. එතකොට මේ ළඟදි අර සෙලාන් බැංකු මංකොල්ලෙ හොරු ඇල්ලුවයි කියන්නෙ ඕකගෙ ලොකු අප්පච්චි..

      Delete
    2. හෙනං සමහර විටෙක ඔයි සොසියෑ වුරිකයා බැදුංකර හොරු ටික අල්ලයි.

      Delete
    3. සුරංග.

      මේ දවස්වල ඌට එව්වගෙ වැඩ වලට වෙලා නෑ. සොඳුරු සිත ආරක්සා කරන එක තමයි උගේ රාජකාරිය ...

      Delete
  12. .
    නෝර්වේ වල තියනවා සමර් එකේ ඉස්කෝලවල ඒ ඉස්කෝලේ ලමයින්ගේ ගෙවල් වල තියන පාවිච්චි කල හැකි ඉවත් කරන බඩු විකුණලා ඒ සල්ලි ඉස්කෝලෙට දෙන වැඩ පිලිවෙලක්.
    ඒකෙදි කඩවල බඩු දාන්න දෙන ප්ලාස්ටික් බෑග් එකක් ක්‍රෝන 50,100ට වගේ නියමිත ගානකට ගන්න පුලුවන්.ඊට පස්සේ බෑග් එක පිරෙන්න පොත් දාගන්න පුලුවන්.
    මගේ ලඟ ඉතාමත් හොඳ තත්වේ ඉංග්‍රීසි පොත් ගොඩක් තියනවා එහෙම ගත්ත.

    ReplyDelete
    Replies
    1. Nimanthi,

      කාලෙකට පස්සෙ...........

      වෙල්කම් නිමන්ති...:)

      Delete
  13. මේකට නම් වැඩිය ආස හිතුණෙ නෑ.
    සත්තු ගැන වැඩි කැමැත්තක් නෑ කොහොමත්. :)

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      හෙහ්...සත්තුන්ට කැමති නැති උනාට කමක් නෑ... කියවහං... තේරුණේ?

      Delete
    2. සත්තු ගැන කියවන්න තමයි කැමති නෑ කිවුවේ. :)

      Delete
    3. මානවිකා,

      ඒක තමයි මාත් කියන්නෙ...එහෙම ඔහෙට ඕන විදිහට මෙතන වැඩ කරන්ට බෑ තෙරුණෙයි? මෙතන වැඩ කෙරෙන්ට ඕන මට ඕන විදිහට...මම කිව්වොත් සත්තු ගැන කියවන්ට කියල ඔහේ කියවන්ටම ඕන...

      දැක්කනේද මගේ ප්‍රොෆයිල් එක? කොහොමද ගරු ගාම්බීර කම?.... ඒ හින්ද සෙල්ලං කරන්ට ලෑස්තිවෙන්ට එපා මා එක්ක හොඳේ?

      Delete
  14. මමත් ඕකට දෙපාරක්ම ගියා. ගිහින් සිද්ද වෙච්ච දේ වෙනම ලියන්නම්කෝ..

    පෙට්ටි සීන් එක ලංකාවේ කරන්න අමාරුයි කියල වෘකය කියල තිබුන මම දැක්ක. මොකද එයාලට මැලේසියාවේ ඉඳල මෙහෙට පොත් ගෙන්න යන වියදම නිසා. හැබැයි ලංකාවේ මාකට් එක නැගල ගියොත් ඉස්සරහට පෙට්ටි සීන් එක තියෙයි..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ප්‍රසන්නය උඹ කලින් වෘකය ගැන ලියපු පෝස්ට් දෙකේම ලින්ක්ස් දීල තිබ්බ. ආයම කියෙව්ව...:)

      Delete
  15. මේව කියවද්දි පොත් අරං කියවන්න ආස හිතෙනව. ඒත් කඩ්ඩ ටිකක් දුර කියවනං යද්දි මට කඩුවකින් ඇනගංට හිතෙනව 😂😂

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      එහෙම අධෛර්යය වෙන්ට එපා බොලේ...දිගටම කියවපං..එහෙම නැතුව වෙන කෙටි පාරවල් නෑ...:)

      Delete
  16. big bad wolf බලන්න යන්න උනේ නෑ අත මිට හරි හිඟයි මේ දවස් වල ඉතිං කණගාටුවෙන් කණගාටුවෙන් වුනත් ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්නවා

    දවසක ඔය පොත amazon හරි ගෙන්න ගමු නෙහ්

    ReplyDelete
    Replies
    1. මහේෂ්..

      ඒ කියන්නෙ උඹත් බුක් ෆෙයාර් එකට ගිහිල්ල තඹ සතේට යනකල් හින්ද ගත්තය? හපොයි!!!...:(

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...