Saturday, October 21, 2017

540. The Story Of My Marriage - 47 - Taking the blame is the name of the game…..


70 සහ 80 දශකයන්හි ලොව පුරා ප්‍රසිද්ධවූ ABBA සංගීත
කණ්ඩායමේ ඉතා ජනප්‍රිය ගීයක් වූයේ
"The name of the game" නම් ගීතයයි.
ඇබා සංගීත කණ්ඩායම ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
(Google images)

"හහ්හා...මගේ අතිජාත මිත්‍රයා....අද වැඩේට සූදානම් නේද? මොකවත් අවුලක් එහෙම නෑනෙ....."

පසුදින උදෑසන කාර්යාලයට ගොස් මගේ අසුනේ හිඳගෙන නිවිහැනේ හුස්මක් කටක් ගැනීමටත් ප්‍රථම මහ හඬින් එසේ පවසමින් මගේ කුටියට ඇතුළු වූයේ බාලක්‍රිෂ්ණන් මහතාණන්ය. ඔහුගේ මුවගෙහි වූයේ දහසක් හිරු එක්වර පෙරඹ'ර නැඟුනාක් බඳුවූ සිනහවෙක් වූ අතර සුරතෙහි වූයේ දුම් දමන කෝපි කෝප්පයකි. 

එහි වූයේ කෝපි බව මා දැනගත්තේ කෙසේදැයි ඔබ සිතෙහි යම් කුකුසක් ගැටළුවක් පැනනැඟීනම් මා දයාබර පාඨකය මෙන්න ඊට පිළිතුර. එහි ඇත්තේ කෝපිම මිස අන් කිසිවක් නොවන බව මා තිරකොට දැනගත්තේ බාලක්‍රිෂ්ණන් මහතා කුටියට ඇතුළුවීමත් හා සමඟම කුටිය පුරා විසිරී පැතිරී ගිය කෝපි සුවඳිනි.

එකම අඩුපාඩුව වූයේ ඔහු කෝපි කෝප්පය බන්දේසියක තබා රැගෙන නො ඒම පමණකි.

"කමක් නෑ පළවෙනි පාරනෙ.ඊලඟ පාර කියන්න ඕන බන්දේසියක තියල ගේන්න කියල…" මම එසේ තොළ මතුරමින් සිත සනහා ගතිමි.

"කුණු බැණුං අහගෙන මෝඩයෙක් වගෙ කරබාගෙන ඉන්න ආය අහවල් සූදානමක්ද? මට අද කරන්න තියෙන්නෙ එච්චරනෙ…." සිතේ වූ කේන්තිය මඳක් හෝ සමනය කරගනු වස් මම එසේ පවසමින් බාලාගේ අතින් කෝපි කෝප්පය ගතිමි.

කෝපි කෝප්පයෙහි කට වටා කෝපි වැගුරුණු තැන් පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මම එදෙස බලා සිටිනු දුටු බාලා වහා දිවගොස් බිත්තිය අසල මේසය මතවූ ටිෂූ කරදාසි පෙට්ටියෙන් ටිෂූ කිහිපයක් රැගෙන විත් මට දුන්නේය. 

"හ්ම්ම් ඒකත් නරකම නෑ. මගේ බොසා මට කෝපි හදල ගෙනත් දෙනව. කෝප්පෙ වටේ හැලිච්ච කෝපි පිහදාන්ට ටිෂූත් ගෙනල්ල දෙනව...හෙහ්...හෙහ්.." මම එසේ සිතමින් කෝපි තොලගාන්නට වීමි. "හ්ම්ම් කෝපි එකත්නම් නරකම නෑ.."

අප කාර්යාලයෙහි පසෙක වූ සම්මන්ත්‍රණ ශාලාවෙහි ඊට දෙහෝරාවකට පසු ඒ ඉතා වැදගත් රැස්වීම ඇරැඹිණි. පසෙක බිත්තියෙහි එල්ලා තිබූ දර්ශන තිරයෙහි බාලා මවිසින් සකස් කරන ලද පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම (Power point presentation) ඇරඹීය. මවිසින් අපේක්ෂා කල පරිදිම එහි ප්‍රථම චිත්‍රකාචයේ (First slide) වූ මගේ නම ඉවත් කොට තිබිණි.

ඉන්දීය උප මහාද්වීපයෙහි ඕනෑම බැංකුවක, ඕනෑම අංශයක, ඕනෑම හේතුවක් නිමිති කරගෙන පැවැත්වෙන්නාවූ ඕනෑම සම්මන්ත්‍රණයක කෙරෙන්නාවූ ඕනෑම ඉදිරිපත් කිරීමක් ඇරඹෙන්නාසේම බාලාගේ ඉදිරිපත්කිරීම ඇරඹුනේද 1991 වසරේ ඉන්දීය ආර්ථිකය ලිහිල් කරණයෙන් රටේ දියුණුවට සැළසෙන මගඟු අවස්ථා සහ ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නා අයුරු පිළිබඳව දීර්ඝ විස්තරයකිනි.

(සටහන - එවකට ඉන්දීය අග්‍රාමත්‍ය වරයාවූ පී.වී. නරසිම්හ රාවෝ මහතාගේ සහ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් 1991 වර්ෂයේදී ඉන්දීය ආර්ථිකය ඉන් පෙර පැවති ශුභසාධන වාදී රාජ්‍ය මූලික ප්‍රතිපත්තියෙන් ඉවත්ව වඩාත් ලිහිල්කරණයවූ පෞද්ගලික අංශයට වැඩි බරක් තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියකට මාරුවිය. මීට පෙර 1967 සහ 1985 යන වර්ෂවලදීද මෙසේ ආර්ථිකය ලිහිල්කරණයට උත්සාහ දැරුණද ඒ අසාර්ථක විය.)

"මම හිතන්නෙ මේ අනුව ඔබ සැමට ඉතාම පැහැදිලිව පේනව ඇති තොරතුරු තාක්ෂණය කියන්නෙ අපේ ඉදිරිගමනේ ඉතාම වැදගත් අංගයක්…"

බාලා පැවසූයේ දර්ශන තිරය මත වූ ප්‍රස්ථාරයකට අපගේ අවධානය යොමු කරවමිනි. එහෙත් එම ප්‍රස්ථාරයෙහි රේඛාව දිගින් දිගටම පහළට යොමුව ගමන් කිරීම පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමට ඔහු වගබලා ගත්තේය.

මෙම සාකච්ඡාවට සහභාගීවීම උදෙසා සිටි බැංකුවේ පාරිභෝගික සේවා අංශයේ ප්‍රධාන කළමණාකාර අනිල් මථූර් මහතා මුම්බායිහි සිට චෙන්නයි දක්වා ගමන් ගන්නා දවසේ පළමු ගුවන් යානයෙන් පැමිණ සිටියේය. සාකච්ඡා මේසයෙහි ප්‍රධානත්වය උසුලමින් සිටි ඔහුගේ මුහුණෙහි කිසිදු සතුටක සේයාවක් හෝ දක්නට නොවීය. සිටි බැංකුව මුහුණදී ඇති අභාග්‍යමත් තත්වය මත ඔහුගේ මුහුණ කිසිසේත්ම සතුටුදායක විය නොහැකි බවට සැකයක් නොමැති නමුදු මථුර් මහතාගේ නොසතුටට හේතුවූයේ සාකල්‍යයෙන්ම වෙනත් කරුණකි.

අවසාන මොහොතේ ඉතා හදිසියෙන් ගුවන් යානයේ අසුනක් වෙන් කොට ගැනීමට සිදුවූ බැවින් ඔහුට තම සුපුරුදු ව්‍යාපාරික පංතියෙහි (Business class) අසුනක් වෙනුවට ලැබී තිබුනේ සාමාන්‍ය පංතියේ (Economy class) අසුනකි. එහිදී එදිනෙදා තම යම් යම් කටයුතු උදෙසා මුම්බායි සහ චෙන්නයි අතර පියාසර කරනා සාමාන්‍ය මිනිසුන් හා උරෙනුර ගැටී ගමන් කිරීමට සිදුවීම පිළිබඳව ඔහු පසුවූයේ තදබල සිත් වේදනාවකිනි.

ඔහුගේ මුහුණෙහි වූ නොපහන් කෝපාවිෂ්ඨ පෙනුම බාලාගේ ඉදිරිපත් කිරීම නොනැවත ඉදිරියට ගලා යද්දි ක්‍රමයෙන් තීව්‍ර වන්නට වූයේය.

සතළිස් වියට ආසන්න අනිල් මථූර් සිටි බැංකුවෙහි ධූරාවලියෙහි (Hierarchy) සීඝ්‍රයෙන් ඉහළ නැඟීමේ විභවයක් ඇත්තෙකු ලෙස සැළකිණි. බැංකුව මඟින් පවත්වන වැඩමුළු සහ සම්මන්ත්‍රණයන්හිදී ඔහු හඳුන්වා දෙනු ලැබූයේ "මේ තමයි අනිල්,බොහොම දක්ෂයෙක්. කවදක හරි සිටි බැංකුවෙ ඉහළම තනතුරට පත්වෙන බව සහතිකයි" වැනි ප්‍රශංසාත්මක වදන් භාවිතයෙනි. අනෙකුත් කණිෂ්ඨ නිලධාරීන් අභිප්‍රේරණය (Motivating) කොට ඔවුන්ගෙන් වහළුන්ගෙන් මෙන් වැඩගැනීම උදෙසා සිටි බැංකුවේ ඉහළ කළමණාකාරිත්වය මෙවන් උපක්‍රම අනුගමනය කළෝය.

අනිල් සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වන විට එහි රැස්ව සිටි චෙන්නයි ශාඛාවේ කණිෂ්ඨ නිලධාරීන්ගේ ඇස් මහත්ව දිළිසුණු අන්දම එම උපක්‍රමය ඉතාම සාර්ථක බව මොනවට ගෙන හැර පෑය. ඔවුන්ගේ දිළිසෙනා දෑස් මා චෙන්නයි ගුවන් තොටුපොළේ සිට නිවහන වෙත රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරාගේ දෑස් රජ්නි කාන්ත්ගේ රුව රැගත් යෝධ ප්‍රචාරක පුවරුව දුටු වහා දිළිසුණු අන්දම මට සිහිගැන්වූයේ නිතැනිණි.

"ඉතින් මහත්වරුනි ඉතා කෙටියෙන් කියනවනම් ඔන්න ඔය විදිහටයි අපමේ අද අපට මුහුණ දීමට සිදුවෙලා තියන දුර්භාග්‍යමත් තත්වයට පත්වුනේ…"

පුරා හෝරාවකට මඳක් අධික කාලයක් තිස්සේ ඇදී ගිය ඔහුගේ කරුණු දැක්වීම බාලා අවසන් කලේ එළෙසිනි. මෙතරම් ඉක්මණින් ඔහු තම කථාව අවසන් කරනු ඇතැයි මම කිසිසේත්ම අපේක්ෂා නොකළෙමි.

අනිල් නිහඬවම තම දෙනෙත් පළමු පෙළෙහි අසුන්ගෙන හුන් සීයල්ලන්ගේම මුහුණු දෙස අනුපිළිවෙලින් යොමු කොට ගෙන ගියේ කිසිවකුගේ මුහුණෙහි වරදකාරී හැඟීමක් වැන්නක් පිළිබිඹු වනවාදැයි සැක හැර දැනගන්නා අටියෙන් මෙනි. ඔවුහු සියල්ලෝම වහා තම දෙනෙත් පහතට හරවා ගත්තා විනා කිසිවකු ඔහුට මුහුණ දුන්නේ නැත. දමිළයෝ කිසිවකුගේ දෙනෙත් දෙස එක එල්ලේ නොබලන්නෝය. තමනට වඩා ඉහළ නිළයක් හෝ තත්ත්වයක් දරන්නකු කෙරෙහි නම් ඒ භය හෝ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම තවත් සුවිශේෂීය.

අවසන ඔහුගේ නෙත් නතර වූයේ බාලාවෙතය. බාලා යම්තමට හිස හරවා මදෙස බැලීය. මම සෙමෙන් හිස සොළවා මගේ එකඟතාවය පළකළෙමි. "ඔව්..ඔව්....ඔව්.....මනුස්සයෝ....මම ලෑස්තියි දංගෙඩියට බෙල්ල තියන්ට…මම ලෑස්තියි" මම එසේ තොල් මැතිරීමි.

අනිල්ගේ ජංගම දුරකථනය නාදවිය. ඔහු එය තම කළිසම් සාක්කුවෙන් පිටතට ගත්තේය. ඇමතුම මුම්බායි සිට ඔහුගේ ලේකම්වරියගෙනි. 

"මොකක්ද කිව්වෙ? ආපහු මුම්බායි යන්ට බිස්නස් ක්ලාස් ටිකට් එකක් අදම ගන්ට බෑ කිව්ව? මොකක්ද ඒ කතාවෙ තේරුම? මේ..මේ..මේක හොඳට අහගන්නව. මට නම් කොහොමටත් බෑ උදේ ආව වගෙ මේ මැඩ්රාස් යක්කුත් එක්ක එකට පොදි ගැහිල එන්ට..මම කොහොමවත් ඒකනම් කරන්නෙ නෑ…"

අනිල් සහ මම හැරුනු විට සම්මන්ත්‍රණ ශාලාවෙහි රැස්ව සිටි අන් සියල්ලෝම අනිල් පරිභව මුඛයෙන් කථා කල මැඩ්රාසීහුය. ඔවුන් බොහෝ දෙනෙකුගේ තොල් සැපෙනු සහ මුහුණු විරූපවනු මම දුටුවෙමි. එහෙත් අනිල් වනාහී ඔවුන්ගේ ප්‍රධානියාය. එබැවින් අනිල් ඉතා හාස්‍යජනක විහිළුවක් කල අයුරු ඔවුහු සියල්ලෝම දෙතොල් වැරයෙන් මෑත්කොට මද සිනහ පළකලෝය.

මිනිත්තු දෙකක පමණ කාලයක් තම ජංගම දුරකථනයට සවන් දුන් අනිල් එක්වරම හුනස්නෙන් නැඟී සිටියේ ය.

"මොකක්? මට එයාපෝට් එකට එවන්නෙ හොන්ඩා සිටි එකක්ය කිව්ව? මේ..ට්‍රාන්ස්පෝට් එකට කියනව මට මර්සිඩීස් එකක්..මර්සීඩීස් එකක් නැත්නම් බී.එම්.ඩබ්ලිව්. එකක් එවන්නෙයි කියල...මගේ තනතුරේ හැටියට මට ඒ වගෙ වාහනයක් ලැබෙන්න ඕන...මොකක්ද? ඔව්..ඔව්...මම දැන් එක පාරක් කිව්වනෙ..ට්‍රාන්ස්පෝට් එකට කියනව මම එහෙම කිව්වයි කියල..."

ජංගම දුරකථනය ක්‍රියා විරහිත කල අනිල් යලි අසුන්ගෙන දිගු සුසුමක් හෙලා අනතුරුව දෑතින්ම තම මුහුණ පිරිමදින්නට වූයේය.

මසිතේ ඔහු කෙරෙහි මහත් අනුකම්පාවක් ජනිත වන්නට වූයේය. තම මූලික අවශ්‍යතාවයක් සපුරා ගැනීම උදෙසා දිනපතා සටන් කරන්නට වීම යනු මහත්ම අභාග්‍යයකි. 

"හරි ඒක ඉවරයි..දැන් අපිට විසඳන්ට තියෙන ප්‍රශ්ණෙ ගැන බලමු…" අනිල් සෙමෙන් තමන්ටම කියා ගත්තේය. ඒ ඇසූ රැස්ව සිටි සියල්ලෝ තම තමන්ගේ අසුන් මත සෘජුවූවෝ දෑත් උකුල් මත තබා ගත්වනම ස්වකීය නාසිකාවන්ට කෙළින් ඉදිරිපස දෙස නෙත් යොමුකොටගත්තෝය.

"සර්..මම මේ කිය කිය හිටියේ….."

බාලා යළි තම ඒක පත්‍ර භාෂණය (Monologue) යළි ආරම්භ කිරීමට තැත් කරමින් පැවසීය. අනිල් ආපසු මුම්බායි බලා යෑමට නියමිත ගුවන් යානය තවත් පැය හතරකින් චෙන්නයි ගුවන් තොටුපොළින් පිටත්වනු ඇත. බොහෝවිට බාලා සිතන්නට ඇත්තේ කුමන හෝ වල්පල් රැසක් කියවමින් කාලය කා දැමුවහොත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්ණ ඇසීමට අනිල්ට ප්‍රමාණවත් කාලයක් නොමැතිවනු බව විය හැක. 

"ඇති බාලා..ඔයා දැන් ගොඩක් දේවල් කිව්වනෙ ඔය ඇති හොඳටම…." අනිල් පැවසූයේ තම සුරත ඔසවා බාලා ට බාධා කරමිනි. "මට දැනගන්ට ඕන සරලවම මෙච්චරයි. එක මාසෙකදි අපේ හොඳම ගනුදෙනුකාරයො හත් දෙනෙක් අපිට නැතිවුනා. මට දැනගන්ට ඕන එහෙම වුනේ කොහොමද කියල එච්චරයි…"

අපි සියල්ලෝම පොළවෙහි අතුරා ඇති බුමුතුරුණෙහි ඇඳි මහඟු රටාව අධ්‍යයනය කරන්නට වුනෙමු. 

"කෝටි දෙකක්.... " අනිල් එක්වරම මහ හඬින් කෑගැසීය. 

අපි සියල්ලෝම ගැස්සී හිස් එසවීමු. එතෙකුදු අනිල්ගේ මුහුණ දෙස එක එල්ලේ නොබැලීමටද ප්‍රවේශම් වීමු. 

"කොහොමද අපි ගැන විශ්වාසය තියපු ගණුදෙනු කාරයන්ගෙ සල්ලි කෝටි දෙකක් එක පාරට නැති වෙන්නෙ? ඒ ගණුදෙනු කාරයො සිටි බැංකුවට ආවෙ තමන්ගෙ සල්ලි නැතිකරගන්ට නෙවෙයිනෙ. ඒ ගොල්ල ආවෙ සිටි බැංකුව ගැන විස්වාසය තියල. තමන්ගෙ සල්ලි ආරක්ෂාවෙයි කියල හිතල එහෙම නේද?"

අනිල් එසේ පැවසූයේ තමන් වෙන කිසිවකුට සිහිනෙන්වත් සිතාගත නොහැකි අන්දමේ මහා සොයාගැනීමක් කල පරිද්දෙනි.

"හරි ඒක පැත්තක තියමුකො. දැං වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. දැං මට කියන්න කවුද මේ අපේ ගණුදෙනු කාරයින්ට ඉන්ටනෙට් කොටස් විකුණමුය කියල යෝජනා කලේ? කවුද මේ අදහස ඉස්සෙල්ලාම ඉදිරිපත් කලේ? කොටින්ම මට දැනගන්ට ඕන කවුද මේකට වැරදිකාරයා? කවුද මේ විකාර වැඩේ මහමොළකාරයා?"

"සර් …."

බාලා එසේ පවසා හිස හරවා මදෙස බැලීය. රැස්ව සිටි අන් සියල්ලෝම ඒ සැනින් කලින් කතා කොට එකඟතාවයකට පැමිණියාක් මෙන් තම හිස් හරවා මදෙස බැලුවෝය. මගේ මුහුණ උණුසුම් වනු මට දැනෙන්නට විය. මම වහා බිම බලා ගතිමි. 

"හ්ම්ම්ම්.....මොකක්ද තමාගෙ නම?" අනිල් මදෙසට තම සුරත දිගුකොට විමසීය.

"මගෙ නම ක්‍රිෂ්... සර්…." මම සිහින් හඬින් පැවසීමි.


********************************

ඔබ "ABBA" ලෝලියෙකු නම් ඔවුන් ගයන "The name of the game" ගීතය ඔබට පහත වීඩියෝවෙන් ශ්‍රවණය කල හැක.



45 comments:

  1. පාඨක ජනතාවට ජයවේවා

    ReplyDelete
  2. ඔහෙට තියෙන්නෙ අනිල් කාරයට රෙන්න බර හැදෙන ටෝකක් දෙන්නනෙ. කෙතාහොමත් දැං ට්‍රාන්ස්පෝට් ප්‍රශ්නෙ හින්ද මිනිහ ඉන්නෙ වෙන ලෝකෙක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙමත් පුලුවන් තමයි නේද?...Let's see..:)

      Delete
  3. කෝ බම් අද මුකුත් ලියල නැහැනේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඇයි බං මේ ලියල තියනව මදිය බොට?...:)

      Delete
  4. හපොයි ක්‍රිෂ් ! මොනව වුනත් මෙහෙම පරිප්පු කනවට ක්‍රිෂ්ට මොන මොනව හරි ප්‍රතිලාභත් හම්බෙනව ඇති. නැතුව කිසි කෙනෙක් නිකන් පරිප්පු කන්නෑනෙ. හැම දේටම වගේ ක්‍රිෂ්ගේ ආත්ම ගෞරවයටත් මිලක් ඇති. ඒ මිල ගෙවනකල් ක්‍රිෂ් තමාගේ ආත්ම ගෞරවය කැප කරයි.(ඇබෑ සින්දුවේ සම්බන්ධයක් ඇති කතාවට. ඒත් සින්දුව නම් බැලුවෙ නැහැ)

    ReplyDelete
    Replies
    1. ජේමිස් බණ්ඩා,

      අවුරුදු දහයෙ එකොළහෙ විතර කාලෙ මගෙ කාමරේ දොර මුල්ලෙ හැංගිල කියෙව්වෙ ජේමිස් බණ්ඩා ගැන. හරියටම කිව්වොත් ජේමිස් බණ්ඩා නෙවෙයි ජේම්ස් බණ්ඩා....ජේම්ස් බණ්ඩා 019 ...ඩීමන් ආනන්ද James Bond සුප්‍රසිද්ධ චරිතය ඇසුරින් මවපු චරිතයක්.

      ඒකෙත් ජේම්ස් බණ්ඩා තමන්ට අඳුන්වල දෙන්නෙ මෙහෙමයි අර ජේම්ස් බොන්ඩ් I am Bond..James Bond...කියල තමන්ව හඳුන්වල දෙනව වගේමයි.... මම බණ්ඩා..ජේම්ස් බණ්ඩා...

      /හපොයි ක්‍රිෂ් ! මොනව වුනත් මෙහෙම පරිප්පු කනවට ක්‍රිෂ්ට මොන මොනව හරි ප්‍රතිලාභත් හම්බෙනව ඇති. /

      මේ කතාව මට හිතෙන විදිහට භගට් ලියන්නෙ මාකටිං පැත්ත ගැන උපරිමව හිතල. ඒකයි මනුස්සය පුලුවන් තරම් හැමෝටම පහර ගහන්නෙ.

      පන්ජාබීන්, දමිළයන්, බැංකු නිලධාරීන්, පොලිස් නිලධාරීන් එතකොට ත්‍රි රෝද රථ රියදුරන් ඒ ඔක්කෝම භගට් ගෙ උපහාසයට ලක්වෙනව තමන් පවා (තමන් කියල මම අදහස් කලේ ක්‍රිෂ්..ඇත්තටම කිව්වොත් ක්‍රිෂ්ගෙ චරිතය ඔහු ගොඩනඟල තියෙන්නෙ තමන්ගෙ චරිතය ආශ්‍රයෙන්.. ඒ හින්ද එහෙම කිව්වට අවුලක් නෑ)

      ඔහුගේ කර්කශ උපහාසයට ලක් නොවෙන්නෙ අනන්‍යා විතරයි. අනන්‍යාගෙ චරිතය ගොඩ නඟල තියෙන්නෙ ඔහුගේ බිරිඳගෙ චරිතය ආශ්‍රයෙන් හින්ද අපිට ඒ ගැන ඒ හැටි පුදුම වෙන්ට දේකුත් නෑ එක අතකට...හෙහ්.,හෙහ්...

      Delete
    2. /(ඇබෑ සින්දුවේ සම්බන්ධයක් ඇති කතාවට. ඒත් සින්දුව නම් බැලුවෙ නැහැ)/

      සිංදුවෙ එහෙම කෙලින්ම සම්බන්ධයක් නම් නෑ ජේමිස්. අද කොටසෙ මාතෘකාව යොදද්දි මට මතක් වුනා ඇබාලගෙ මේ ගීතය. කතාවට සුදුසු වෙන ෆොටෝ එකක් හිතාගන්නත් බැරිවුන හින්ද ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල ඇබාලගෙ ෆොටෝ එකකුයි මේ ගීතයෙ වීඩියෝ ක්ලිප් එකකුයි අද පෝස්ට් එකට ඇමිණුව...ඔන්න ඔහොමයි උනා කියන්නෙ...

      Delete
  5. ආපි බාල ක්‍රිශ් දෙසටම ළංවීලා
    කෝපි හින්ද සැනසිල්ලක් ඇතිවීලා
    දාපි අනිල් ක්‍රිශ් වෙත බැල්මක් රවලා
    නාපි දහඩියෙන් ක්‍රිශ් හොදහැටි තෙමිලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      කවි කමෙන්ට්ස් කොහොම වෙතත් උඹ ආපහු ආපු එකත් ලොකු දෙයක් මල්ලි...Welcome back...:)

      Delete
  6. හපොයි. මේක හරිම නරක විදියට නතර කරල තියෙන්නෙ. ඔව්. කිසි දෙයක් හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක් මානවික්ස්,

      කිසි දෙයක් හිතන්න මහන්සි වෙන්න ඕන නෑ..දවස් දෙක තුනක් ඉවසහංකො..ඊලඟ කොටස දාන්නම්...:)

      Delete
  7. කෝ? 'The story of my marriage' ගෑවිලාවත් නැත්තේ මොකද?

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      මට හරියටම තේරුණේ නම් නෑ ඔබ කියන්නෙ මොකක්ද කියල..ඔබ අදහස් කරන්නෙ අද අනන්‍යා ගැන මොකවත් ලියවිලා නෑ නේද කියල නම් ලබන කොටසෙ වගෙ එතුමිය ගැන ලියවෙයි..:)

      Delete
  8. මුල පින්තූරයේ සිටින සතර දෙනාගෙන් එක් අයෙක් එහි සිටින කාන්තාවගේ එක් තට්ටමකට අත තබාගෙන සිටීම තරයේ හෙලා දකිමි/මු.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ,

      ඒ දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නෙ බං... ඉතිං මොකෝ තට්ටමට අත තියාගෙන හිටියට?......:)

      Delete
    2. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් උනාම ඉන්න ඕන, මෙන්න මේ ප්‍රොෆයිල් පික්චර් එකේ රවී තුමයි, සඳා නෝනයි ඉන්න විදියට.
      "ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්, මං ගාවින්ම උණුහුම නොදී"

      Delete
    3. So you’re giving space in your marriage eh? Well it must be really difficult for you to be all alone in that desert. I know the feeling mate :|

      Delete
  9. ක්‍රිෂ් මේ දවස්වල හිටියනං.. "ප්‍රවුඩ් ටු බී අ පංජාබියං " කියලා ලියපු ලස්සන කැටයං දාපු රේන්දයක් බුකියෙ පොටෝ එකේ යටිං අල්ලලා , බාලක්‍රිෂ්ණගේ රෙදි ගලවයි ලොවෙත් නැතිවෙන්ඩ.
    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      හෙහ්,හෙහ්, ප්‍රවුඩ් ටු බී අ කෙටේරියන් කියල අර වැදි නායකය කෙටේරියක් උරෙස්ස උඩ තියාගෙන ඉන්න ෆොටෝ එකක් උඹ දැක්කද?

      ඒ ඉමේජ් එක දාන්ට බැලුව මෙතන හරියන්නෙ නෑ...

      Delete
  10. අදනම් හරිම බෝරින්...බලමු ඊළඟ කෑල්ල වඩා රසවත්ද කියලා

    ReplyDelete
    Replies
    1. සොසඳ,

      හරි හරි බං ඉවසල ඉඳිංකො සුට්ටක්...:)

      Delete
  11. ABBA ගේ මම බලන්නේ එකම එක ව්ඩියෝවයි
    ඒ තමයි Robin of the sherwood තීම් එක

    ReplyDelete
  12. ඒක ABBa ලගේ මියුසික් නේද ???

    ReplyDelete
    Replies
    1. ලෙවියාතන්,

      නෑ රොබින් ඔෆ් ෂර්වුඩ් සීරීස් එකේ මියුසික් වලට ඇබාලගෙ සම්බන්ධයක් නෑ. ඒකෙ Music කලේ Clannad කියල අයිරිෂ් බෑන්ඩ් එකක්.

      මේ Clannad ගෲප් එක Robin of Sherwood තීම් මියුසික් එක ප්ලේ කරනව....

      මෙතන තියනව සම්පූර්ණ සවුන්ඩ් ට්‍රැක් එක...

      Delete
    2. දෙයියනේ!!! Thank you very very much අයියෙ මේ links දෙකට.

      Delete
  13. අන්න අහරෙ සිරිපාදෙ යන අතරමග කුණු කන්දක් යකඩ කඩාගෙන පතබෑවිලා. මෙයා මේ ඉන්දියාවෙ මල් කතාවක් ලියනව. ඒ මදිවට මෙහෙ මාරාන්තික විදිහට ඉස්කෝල ගැන ආඩම්බර වෙන්න කට්ටිය ප්‍රොපයිල් පින්තූර හද හදා දානව. මෙයා තාම අනන්‍යගෙ ඇඹලයා ගැන ලියනව. ක්‍රිකට් වෙනුවට ඒ කණ්ඩායම යොදෝලා බෝලෙ වලට දාන සෙල්ලම කරවන්න යනව. හැබෑටම මුන්නැහැට මෙව්ව පේන්නැති හැටි.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      කුණු කඳු කේස් එකක් දැක්කෙ නෑනෙ බං කොහෙවක්කත්....

      ක්‍රිකට් ගැන නම් කතා කරල වැඩක් නෑ..බං අනික ඔව්වට අහ් අඳෝමයි කියල වැඩක් නෑ...ඔව්ව ඉතිං ඔහොම තමයි..අට ලෝ දහමනෙ.. ලාබෝ අලාබෝ අයසෝ යසෝච නින්දා පසංසා සුකං දුක්කං.....:)

      දැල්වෙන අතරේ සදහම් ගීතේ..
      මන්ද ගිලෙන්නේ අඳුරේ පාපේ...
      සියල්ල ලෝකේ වැනසී යයි....
      සියල්ල ලෝකේ වැනසී යයි....
      දිරා ජරාවට යයි...
      දිරා ජරාවට යයි...

      ලස්සන සැමදේ මොහොතක සුවදේ..
      එහි කෙළවර දුකදේ....
      එහි කෙළවර දුකදේ....

      Delete
  14. WJ blog එකේ Link එකක් දෙන්න..අද කතාව කොටයි

    ReplyDelete
    Replies
    1. wjwijerathna කියල ගුරුවරියකගෙ කතා ලියල තිබුනෙ

      Delete
    2. කැලේ පිපුණු මල්.. වත්සලා විජේරත්න ගේ බ්ලොෆ් එක..

      Delete
    3. ස්තූතියි මිත්‍රයා
      http://wkwijeratna.blogspot.com/

      Delete
  15. හබ්බේ ක්‍රිෂ්ට තරු විසි වෙන්න අහගන්නවෙයිද මන්දා... කමක්නෑ ඉතින් ඊට පස්සේ බාලගෙ සැලකිලි ගන්න බැරියැ...

    ReplyDelete
  16. //ඔබ "ABBA" ලෝලියෙකු නම්// මොනාද අයියා මේ අහන්නේ... ඉංගිරිසි සින්දු අහන ABBA අහන්නේ නැති කෙනෙක් ඉන්නවාද හිටං. මගේ නම් ප්‍රියතම Dancing Queen.

    ක්‍රිෂාට මොකද උනේ හැබෑට?

    ReplyDelete
  17. මම හිතුවෙ මට බ්ලොග් මිස් වෙච්ච කාලෙට අනන්‍යට බබෙකුත් හම්බවෙලා ඇති කියල.
    දෙවියන් වහන්සේට ස්තුති වේවා !!!

    ReplyDelete
  18. ABBA ඇල්බම් කවර් එකේ පොඩි වැ‍රැද්දක් තියෙනවා. ABBAගෙ නමේ තුන්වෙනි අකුරයි ෆ්ලිප් කරලා තියෙන්නෙ. නමුත් ෆ්ලිප් කරන්නෙ, නැතිනම් අනිත් පැත්තට ලියන්නෙ දෙවෙනි අකුර.
    උඹට කියන්න මචං hardcore diehard ABBA fan කෙනෙක් හැටියට මම "ඇයි මේ B අකුර අනිත් පැත්තට ලියලා තියෙන්නෙ" කියන ප්‍රශ්ණෙට මම කී පාරක් මූණ දීල ඇද්ද? මම පස්සෙ එහෙම දිගින් දිගටම අහන උන්ව මග ඇරියා. මචං, ABBAට වත් තියෙන්න නැතිව ඇති එහෙම කරදරයක්

    ReplyDelete
  19. පටං ගන්නකොටම ඉවර උනා.. ලංකාවේ ක්‍රිකට් ගැහිල්ල වගේ අද කෑල්ල නං..

    ReplyDelete
  20. ක්රිස ට කෙළ වෙයිද

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...