"හරි මිස්ටර් බාලක්‍රිෂ්නන් අපි බලමු මොකද කරන්න පුළුවන් කියල.." මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.
"ඒ කියන්නෙ ක්‍රිෂ් මගේ යෝජනාවට කැමතියි කියන එකද?" බාලා ද වහා හුනස්නෙන් නැඟී සිටිමින් විමසූයේ අපේක්ෂා සහගත ස්වරයකිනි.
"සුබ රාත්‍රියක් මහත්මයා…" මම වදනින් වදන බරකොට පවසමින් ඔහුගේ කුටියේ දොරටුවෙන් පිටවූයෙමි.
*************************************
මපියාණෝ කිසිදිනක දුරකථනයෙන් මා නොඅමතන්නාහ. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු මා ඇමතුවේ කුමක් හෙයින්ද යන්න තවමත් මට විසඳාගත නොහෙන ගැටළුවකි.
බාලා හා සමඟ නැටූ ජෝගියෙන් පසු මානසිකව මෙන්ම ශාරීරිකවද හෙම්බත්වී සිටි මට උදක්ම අවශ්‍ය වූයේ අන් කිසිවක් නොව හෙට උදෑසන අනන්‍යාගේ බාල සොයුරාට ඉගැන්වීමේ නීරස කාර්යයෙහි නිරතවීමට සහ ඉනික්බිති කාර්යාලයට ගොස් වියගසෙහි බඳිනු ලබන්නට ප්‍රථම අවම වශයෙන් සුවපහසු නින්දක් හෝ ලබා ගන්නටය.
එහෙත් මගේ අපේක්ෂා කඩ කරමින් රාත්‍රී එකොළහට පමණ රාමනුජන් මගේ කුටියේ දොරට තඩි බාන්නට විය. "ක්‍රිෂ්..ඕයි...මේ නැඟිටිනවා..නැඟිටිනවා…"
"මොකද මනුස්සයෝ?" මම සයනයේ සිටම හඬ ගෑවෙමි.
අනන්‍යා මෙහි පැමිණි දින සිට මම මගේ නවාතැන් සගයින් සමඟ ආශ්‍රය උදෑසන මුහුණට මුහුණ හමුවුවහොත් සුබ උදෑසනක් යයි පැවසීමට පමණක් සීමාකළෙමි.
"තමුන්ට ටෙලිෆෝන් කෝල් එකක්………." රාමනුජන් දොරට තඩි බෑම නවතා හඬ ගෑවේය.
"කාගෙන්ද?..." මම සයනයෙන් නැඟිටිමින් ඇසූයෙමි. නවාතැනෙහි දුරකථනයට මට බොහෝවිට කතා කරන්නේ අනන්‍යාය. එහෙත් ඇය කිසිදිනෙක මෙතරම් රෑබෝවී කතා නොකරන්නීය.
"තමුන්ගෙ තාත්තා කතා කරන්නෙ....මේ ක්‍රිෂ්..කතා කරගන්ට තියෙන දෙයක් කතා කරගෙන තාත්තට කියනවද දෙයියන්ගෙ නාමේට ආයෙමත් එහෙම මේ යක්කු ගස්යන වෙලාවෙ කතා කරන්ට එපාය කියල……." රාමනුජන් තවත් මොනවාදෝ දෙඩවූ නමුදු ඈනුමක් හේතු කොටගෙන මට ඔහු ඉන්පසු පැවසූ වදන් ඇසුණේ කඩින් කඩය.
"තාත්තා?........" දොර විවර කිරීමට අගුල හරින්නට දික්කල මගේ සුරත එතැනම පාෂාණිභූත විය. මගේ සිරුර පුරා ධාවනය වන රුධිරය හදිසියේ දැඩි ශීතලෙන් මිදුණුසේ දැනෙන්නට වූයෙන් මුළු සිරුරම කිළිපොළා ගියේය. "තාත්තා මොකද මේ කවදාවත් නැතුව? දෙයියනේ අම්මට කරදරයක්ද දන්නෙ නෑ…"
මම දුරකථනය තබා ඇති සාළයේ ටීපෝව වෙතට ගියේ වැරෙන් ගැහෙන හදවතින් යුක්තවය.
"හෙලෝ?" මම රිසීවරය ඔසවා කණට තබා ගනිමින් කෙඳිරීමි.
"ආ..මේ කතා කරන්නෙ මගේ පුතාද?..." තාත්තා මට පුතා යයි ඇමතීම මට මහත් අමුත්තක් විය. පසුගිය වසර තුනකට අධික කාලයක් තුල අප දෙදෙන අතර පියකු සහ පුතකු අතර සාමාන්‍යයෙන් ඇතිවන මාදිලියේ කිසිදු සුහද සාකච්ඡාවක් සිදු නොවීය.
"මම ක්‍රිෂ් …."
"ඒ කියන්නෙ ඔය මගේ පුතානෙ...එහෙම නේද?"
"හොඳයි අපි එහෙම කියමුකො දැනට …."
දැඩි නිශ්ශබ්දතාවය රජකල ස්වල්ප වේලාවක් ගෙවී ගියේය.
"මම අහගෙන ඉන්නෙ…" මපියා පැවසීය.
"මොනවටද? …"
"මගේ එකම පුතාට එයාගෙ තාත්තට කියන්ට තියන ඕනම දේකට ඇහුම්කන් දෙන්ට මේ තාත්තා ලෑස්ති පිට ඉන්නෙ …"
"මට කියන්ට කිසිම දෙයක් නෑ. නිකං විකාර කියවන්ට එපා. මොකද මේ මහරෑ මට කතාකලේ කියනවද කරුණා කරල?" මම විමසූයේ සිතට නැඟුනු කෝපය පාලනය කර ගැන්මට තැත් කරමිනි.
"තමුං පළවෙනි පඩිය ගත්තහම අම්මට චෙක් එකක් යැව්ව නේද?"
"ඔව්……………" මඳක් නිහඬව පසුවීමෙන් අනතුරුව මම පැවසූයෙමි.
"මගේ සුබපැතුම්!..." ඔහු පැවසූයේ සෝපාහාසය මුසු ස්වරයකිනි.
එක් වරම මසිත මහත් බියකින් පිරුණි. "මේ..කරුණාකරල මට මේක කියනවද? අම්මා සනීපෙන් නේද? තමුන් එයාට මොකවත්…"
"අම්ම බොහොම හොඳ සනීපෙන් ඉන්නව. ඒ වගේම අම්ම තමුන් ගැන බොහොම ආඩම්බර වෙනව. …"
"හරි එහෙනං එච්චරයි...තව මොකවත් කියන්ට එහෙම තියනවද?"
"කොහොමද ඔහෙ ජීවිතේ?"
"මම ජීවිතේ ගෙවන විදිහ තමුන්ට කිසිම විදිහකින් අදාල වෙන්නෙ නෑ. ඒ හින්ද ඒ ගැන හොයල බලන්ට කරදර වෙන්ට එපා…"
"මේ තමන්ගෙම තාත්තට කතා කරන විදිහද මනුස්සයො?" මපියා කෝපාවිෂ්ඨව කෑගැසීය.
"ඔය විදිහට හරි, වෙන විදිහකට හරි, කොයිම විදිහකට හරි තමුන් එක්ක කතා කරන්ට මට කිසිම ඕනකමක් නෑ. ඒ ටික මෙතෙක් තේරුනේ එහෙම නැත්නම් කරුණාකරල දැන්වත් තේරුම් ගන්න. ඒක අපි දෙන්නගෙම මනා ශරීර සෞඛ්‍යයට ප්‍රබල හේතුවක් වෙයි නොවැරදීම"
"අපි අතරෙ සන්නිවේදන ප්‍රශ්ණයක් තියනව තමයි. ඒත් මනුස්සයො මම මේ හදන්නෙ ඒ ප්‍රශ්ණෙට උත්තරයක් හොයන්න..තේරෙන්නම නැද්ද ඒක?" ඔහු යලිත් කෑගැසීය.
මම රිසීවරය කණෙන් මඳක් ඈතට කොට අල්ලා ගතිමි. රිසීවරය දුරකථනය මත තබා ඇමතුම විසන්ධි කිරීම ඉතා පහසු කටයුත්තක් වුවද මම එසේ නොකළෙමි. මම එසේ කළහොත් අනිවාර්යයෙන්ම මපියාණන්ගේ කෝපය එල්ල වන්නේ මගේ මෑණියන් කෙරෙහිය. මා කුඩා අවදියේ පටන්ම ඔහු මා කෙරෙහි තැබූ මහත් අපේක්ෂාවන් මවිසින් සාහසික ලෙස සිඳ බිඳ දැමූ අන්දම පිළිබඳ මපියාණන්ගේ සුපුරුදු ඒකපාත්‍ර භාෂණය (Monologue) ඒ වනවිට ඇරඹී තිබිණි.
පසුගිය විසි වසර මුලුල්ලේ ඔහු පවසන මේ අඳෝනාවෙහි අදද කිසිදු වෙනසක් නැත. එළෙසම මේ අඳෝනාව ඇරඹුනු පසු එය ගලා යන්නේ දෙගොඩ තලායන මහත්වූ ගංගාවක් පරිද්දෙනි.
මම සෙමෙන් රිසීවරය ටීපෝව මත තබා ඒ අසළම වූ ශීතකරණය විවෘත කළෙමි. එතුල ඇපල් ගෙඩි කිහිපයක් දැමූ වීදුරු බඳුනක් සහ පානීය ජලය බෝතල හත අටක් විය. ඇපල් ගෙඩියක් පිටතට ගත් මම මුළුතැන්ගෙට ගොස් ප්ලාස්ටික් පිඟානක් සහ කුඩා පිහියක් රැගෙන පැමිණ ටීපෝව අසලට පුටුවක් ඇද එහි අසුන් ගතිමි.
ටීපෝව මතවූ රිසීවරයෙන් තවමත් මපියාණන් මට බැණ වදින හඬ නික්මෙයි. ඇපල් ගෙඩියේ අඩක් කුඩා කැබලි වලට කපා පිඟානට දැමූ මම ඉන් එක බැගින් ගෙන සෙමෙන් විකමින් අනුභව කළෙමි.
යලි රිසීවරය අතට ගත් මම එය සෙමෙන් දකුණු කණවෙත කිට්ටු කළෙමි. "තමුං ගැන ඇත්තටම මට ලැජ්ජයි. තමුංගෙ ඔය කෙහෙම්මල් උපාදි..කවුද අයිසෙ ඔව්ව ගණං ගන්නෙ? අනික තමුං සමහරවිට හිතාගෙන ඉන්නව ඇති මාස් පතා අම්මට සල්ලි යවන හින්ද තමුං මහ ලොකු මිනිහෙක් කියල. ඉන්නවකො මම තමුංට හොඳ පාඩමක්........."
යලිත් රිසීවරය ටීපෝව මත තැබූ මම ඇපල් ගෙඩියේ ඉතිරි අඩ ගෙන පෙර පරිදිම කුඩා කැබලි වලට කපන්නට පටන් ගතිමි.
එම ඇපල් කැබලිද එකින් එක ගෙන අනුභව කොට අනතුරුව සිසිල් වතුර බෝතලයක්ද පානය කල පසු මම යලි රිසීවරය ඔසවා කණට ළං කලෙමි. "මේ තමුං මම කියන දේ අහගෙනද ඉන්නෙ?......." මපියාණන්ගේ හඬෙහි වූයේ වෙව්ලනසුළු ස්වභාවයකි.
"අපොයි ඔව්...මම එක වචනයක් නෑර අහගෙන තමයි හිටියෙ...මේ ..දැන් හොඳටම රෑ වෙලා...අනික තමුන්ගෙ ටෙලිෆෝන් බිලත් නැඟල ඇති නහුතෙට...මට හෙට වැඩට යන්ටත් තියනව. ඒ හින්ද මොකද කියන්නෙ? මම නිදාගන්ට යන්ටද?"
"තමුං ගාව වැඩිහිටි ගෞරවය කියන එක ගෑවිලාවත් නෑ වගේ මට පේන්නෙ"
"ඔය කතාව මීට කලින් සිය පාරකට වඩා කියල තියෙන එකක්නෙ. අලුතෙන් මොකවත් කියන්ට නැත්නම් මම ගිහිල්ල නිදිය ගන්ටද? එහෙනං සුබ රාත්‍රියක් …"
"සුබ රාත්‍රියක්…" එලෙස පවසා මපියාණෝ දුරකථන ඇමතුම ක්‍රියා විරහිත කළෝහ.
කොපමණ කෝපාවිෂ්ඨ වුවද යුද හමුදා නිලධාරීහු ආචාරශීලිත්වය ඉතා අගයති. ඉන්දියා පකිස්තාන යුද සමයෙහි දෙපසෙහි නිලධාරීහුද යුද පෙරමුණෙහි වෙඩි තබාගැනීම ඇරඹීමට ප්‍රථම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගන්නට ඇති බව මට සහතිකය.
ලාහෝරය අසල පිහිටි වගාහි ඉන්දු-පකිස්ථාන් දේශසීමාවේ දිනපතා සවස් කාලයෙහි හිරු බැසයාමත් සමඟම පැවැත්වෙන මෙම දේශසීමාව වැසීමේ උත්සවය (Waga Border Closing ceremony) නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ සෙයින් පැමිණෙති. වසර 1959 සිට පැවත එන මෙම සංදර්ශනය ඉන්දු- පකිස්තාන දේශ සීමා ආරක්ෂක බල සේනාවන්හි ශක්තිය,ආක්‍රමණශීලිත්වය සහ නිර්භීතකම ප්‍රදර්ශනය කරන්නක් ලෙස සැලකේ.
මම ආපසු පැමිණ සයනයෙහි දිගාවීමි. මගේ පියාණන් යලිත් මගේ ජීවිතයට ඇතුළුවනවාට මගේ කිසිදු කැමැත්තක් නොවීය. ඔහු වන් පියකු මගේ ජීවිතයට ඇතුළුකොට ගැනීමට වඩා මට පියකු නොමැතිලෙස ජීවිතය ගත කිරීම පහසුවකි. ඊට අමතරව මට වර්තමානයෙහි තවත් පියකු සමඟ කටයුතු කිරීමට සිදුවී ඇත. ඒ වනාහී තම දියණියගේ ජීවිතයෙන් කරුණාකර ඉවත්ව යන ලෙස දෑත් එක්කොට වඳිමින් මගෙන් ඉල්ලා සිටි ආදරණීය පියෙකි. එලෙසම ඒ දියණියගෙන් ඈත්වීම මට කෙසේවත් කල නොහැකි උගහට කාර්යයකි. ඒ සියළු ගැටළු වලට අමතරව මට බාලා, මගේ කමකට නැති නවාතැන් සගයින් සහ නුහුගුණාපිත නිවෙස් හිමියකු සමඟද ගණුදෙනු කිරීමට සිදුවී ඇත.
ඔවුන් සියල්ලන්ගෙන් මිදී කාර්යාලයෙන් හෝ නවාතැනින් වීදි බට සැණෙකින් දසතින් හමා එන නාසය හකුළුවන සාම්බාර් කටුක ගන්ධය විඳ ගන්නටද මට සිදුවනු ඇත. මේ සියළු සිත කළඹවන සුළු භයංකර සිතුවිලි සන්ධ්‍යා යාමයක අහස පුරා තටු සලනා බියකරු වවුලන් රැසක් සේ මගේ හිස තුල පියා සලන්නට වූයෙන් මම මහත්සේ විපිළිසර වූයෙමි. "ළමයි... දැන් ඇති කරුණාකරල මට ටිකක් නිවීහැනේ නිදාගන්ට දීල යනවද තරහ නැතුව?" මම එසේ ආයාචනා කලද ඔවුහු ඒ මගේ බැගෑපත් ඉල්ලීම පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නොවූවෝය.
බාලාට අදාලවූ සිතුවිල්ල මා ඉදිරියේ මහත් බියකරු දසුනක් මවාලීය. මවිසින් තියුණු ආයුධයකින් ළය ප්‍රදේශයට අනිනා ලදුව බිම වැතිර මියගොස් සිටින බාලාගේ දේහය සහ පොලීසියේ අත් අඩංගුවට පත් මම එම දසුන විය.
අනන්‍යාගේ පියාට අදාල සිතුවිල්ලෙන් පෙන්නුම් කලේ දෑත් එක් කොට වැඳ අනන්‍යාගේ පියා විසින් මවෙතින් කල ඉල්ලීමට එනම් ඔහුගේ දියණිය වෙතින් ඈත්වන ලෙස කල ඉල්ලීමට මවිසින් ඒ මොහොතේදී ලබාදියයුතුව තිබූ පිළිතුරු රාශියකි.
"ඒ වුනාට මම අනන්‍යාට ආදරෙයි අංකල්..." නැතහොත් "මම අවංකයි අංකල්, එක පාරටම මාව ප්‍රතික්ෂේප කරන්නෙ නැතුව මට අවස්ථාවක් දීල බලන්න.." එසේත් නැතහොත් "අනන්‍යා කියන්නෙ බාල වයස්කාරියක් නෙවෙයිනෙ. තමුං දැනගන්නව හොඳයි අපි දෙන්නට ඕනෙනම් තනි කැමැත්තට කසාද බඳින්ට පුලුවන්. තමුංගෙ කැමැත්තක් ඕනම නෑ. තමුං දන්නෙ උදේ ඉඳං රෑ වෙනකල් හින්දු පත්තරේ කියවන්ට විතරයි හුහ්..."
සමහර පුද්ගලයෝ ඉතා වාසනාවන්තයෝය. ඔවුහු සයනයෙහි දිගාවී කොට්ටයට හිස තබන ඇසිල්ලේ නිදි දෙව්දුව ඔවුන් වැළඳ ගන්නීය. මම කිසිසේත්ම එවන් වාසනාවන්තයෙක් නොවන්නෙමි. නින්දට යාමට පෙර මගේ හිස තුල රඟන අවම වශයෙන් පණහක් පමණවූ සිතුවිලි දහරාවන් මවිසින් එකින් එක ක්‍රියාවිරහිත කල යුතුය.
හෝරාවකට ආසන්න කාලයකට පසු මම අවසාන සිතුවිලි දහරාව ඊට අදාල ස්විචය ඔබා ක්‍රියා විරතිත කළෙමි. ඒ වනාහී කොටස් වෙළඳ පොළ පිළිබඳව කිසිවක් නොදන්නා චෙන්නයි කාන්තාවන් කිහිප දෙනෙකු කොටස් වෙළඳ පොළේ ඉතාම අස්ථිර කොටස් මිළදී ගන්නාලෙස මවිසින් පෙළඹවීමේ අවිචාරශීලී ක්‍රියාව පිළිබඳ සිතුවිලි දහරාවයි.
අදනම් ඔන්න හිතේ හැටියට ලියල, හිතේ හැටියට කියවන්නය කියල. සෙන්ටිමෙන්ටල් ගතියක් තියෙනවා වගේ.
ReplyDeleteලිඛිතා,
Deleteයන්තං ඇති මේ මහගෙගෙං හොඳක් ඇහුව. මට නේද ආය හරියට අර නොබෙල් ත්‍යාගය හම්බවුනා වගෙ තමයි...:)
මොනව උනත් කෝල් එකෙන් පස්සෙ බාල එතන හිටියනං ඔහේ මිනිහට පිහියෙන් අනිනව අනිවාර්යයි.
ReplyDeleteකෝ මනුස්සයො අර දාල තියෙන රූපෙ. කාටද ඒක පේන්නෙ.
ප්‍රසන්න,
Deleteකියන්ටත් බෑ සම්ටයිම්ස් දමල අනින්ටත් බැරි නෑ තමයි
රූපයක් නෙමෙයිනෙ බොල වීඩියෝ එකක්නෙ. දැං ඒක පේනව හිටං.
ReplyDeletePrasanna,
Deleteඅන්න ඒකනෙ කියන්නෙ..කෑගහන්ට ඉස්සර ටිකක් හොදිවිසි කරල බලාංකො
ක්‍රිෂ්ගේ පියා ගැන ඇතිවෙන්නේ දුකක්. මම දන්නා තවත් මෙවැනි තාත්තා කෙනෙක් ඉන්නවා. මගේ අසල්වැසියෙක්. ලංකාවේ සිටිනා අංක එකේ වරලත් සිවිල් ඉංජිනීරුවෙක්. දරුවන්ට ඉතා ආදරෙයි. ඒත් දැඩි නීති රීති සහ දරුවන්ට තමන්ගේ ඇති ආදරය පෙන්වීමේ දුර්වලතා නිසා දරුවන්ගෙන් කොන් වෙලා සිටින්නේ. මේක ඇත්තටම සමාජ ප්‍රශ්නයක් නේද?
ReplyDeleteදැන් නම් කතාව ගානට හරි phase එකට යනවා. ජයවේවා !
උදය,
Delete/දරුවන්ට තමන්ගේ ඇති ආදරය පෙන්වීමේ දුර්වලතා නිසා දරුවන්ගෙන් කොන් වෙලා සිටින්නේ./
එහෙම අය ඉන්නව උදය..අනෙකාට දැනෙන පරිදි හැඟීමක් හෝ යම් ඇඟවුමක් ප්‍රකාශ කීරිමේ නොහැකියාව තියන අය..එතකොට ඉතිං දෙපාර්ශ්වයම අසීරු තත්වයකට වැටෙනව...
"මුනිවත හොඳයි දෙපසින් දුක වැඩි හින්දා...." මන්දා නාලනී එහෙම කිව්වෙ නම් මේ වගේ සීන් එකක් ගැන හිතල නෙවෙයි ...හෙහ්...හෙහ්...
/දැන් නම් කතාව ගානට හරි phase එකට යනවා. ජයවේවා !/
බොහොම ස්තූතියි උදය..මේ කතාව ගැන සෑහෙන කාලෙක ඉඳල ඔබ බොහොම උනන්දුවෙන් අදහස් පලකලා මට මතකයි..:)
රසවින්දෙමි
ReplyDeleteThanks Rasta...:)
Deleteක්‍රිෂ්ට තේරෙයි තාත්තගෙ වටිනාකම, අන්තිම කොටස් හරියෙදි. ඒ කියන්නෙ තව අවුරුදු 10 කින් විතර. රස වින්ඳා. ස්තූතියි රවී
ReplyDeleteඉයන්,
Deleteඔබ හරි ඉයන්,..ජීවිතේ පරිණත වෙනකොට තමයි ඔය හුඟක් දේවල් හරියටම වැටහෙන්නෙ....
When your life advances in duration, when the time you had spent on earth lengthens you would be able to see everything in a different perspective.Most of the time the impact would be the same but you learn to cope with it much more efficiently, much more serenely and much more wisely...
You are welcome my dear ...:)
++++++++
ReplyDeleteThanks Thadiya...:)
Deleteමෙතැන මපියානෝ ගැන තියෙන විස්තරේ බැලුවහම සමහරුන්ට හිතෙන්න පුළුවං මෙහෙව් පිය-පුතු ආරෝවල් මෙදියත තියෙන්ට බෑ කියල. ඒ වුනාට මපියානෝත් මාත් අතර කතාබහත් මේ වගේ තමයි. අන්තිමටම හොඳිං ඉන්න කාලෙ කතාබහ මේ විදිහම තමා. 2009 ජනවාරි දෙවෙන්දා විතර රෑට බත් කන ගමං අපි දෙන්නෑ දෙබස මෙහෙමයි.
ReplyDeleteමං: අන්න වයිඩ්ඩෑමන් ටිකක් ඇති බොනවනං.
මපියානෝ: කොහෙංදැ?
මං: කොහෙංවත් නෙමේ මං ගෙනාපුව වගෙයක්.
මපියානෝ: එතෝට උඹට.
මං: මම්බිව්ව.
මපියානෝ: කෝ දියං එහෙනං.
(මං තනි අතිං බත් පිඟාන අල්ලගෙන කාමරේට ගිහිං රෙදි පෙට්ටියෙ අඩියෙං කොටයක් ගෙනැත් දෙයි.)
මං: ආ..
මපියානෝ (බාගෙට කා අහවර බත් මැටිකෝප්පෙ මේසෙ මත තබමින්): මේක බලාගනිං නැත්තං අර ගඩුකොටියා පැල්ල කයි.
මං: හා... ඔයෙ තීච්චෑ...
සුරංග,
Deleteමම හිතුවෙ උඹෙ මපියාණෝ උඹට පස් පඩංගුවෙ බණින්ට ඇති කියල...
"පෙනේද මේකා වාගෙ දුර්ජනයෙක්..මූ බීල බීල බීගන්ට බැරිඋනහම අප්පට කොටේ දෙනව..එහෙමද හැදිච්චි පුත්තු?...හෙමීට කණ ගාවට කරල කියන්ට එපාද තාත්තෙ අන්න කාමරේ අල්මාරිය පිටිපස්සෙ එකක් තියනව. බයිට් පැකට් තුන හතරකුයි සියෙට් පැකට්ටෙකයි සෝඩ බෝතලෙයි ඇඳ එහා පැත්තෙ.මේං අසෝක වීදුරුව. හෙමීට යන්ට ඒ පැත්තෙ කියල..."
හැබැයි ඉතිං තාත්තට බයිට් සිගරට් සෝඩ නම් ඕන නැතුව ඇති...:)
උන්දැට අන්තිමට තාත්තෙ කිව්වෙ මං සිස්සත්වෙ පාස් වෙන්නත් කලින්ද කොහෙද?
Deleteදැන් මචං කියලාද ලියනගේ කියලාද කථාව?
Deleteඋදාර,
Deleteදැං ඌ කතා කරන්නෙ මපියාණෝ කියලලු....:)
Thanks Pra....:)
ReplyDeleteආ... ඔය තියෙන්නෙ ... ඔහොම යන් .. ඔහොම යන්
ReplyDeleteසොඳුරු,
Deleteකිව්වම මොකද උඹ හින්දමයි මම මේ කතන්දරේ එක දිගටම මේ ලියන්නෙ..
උඹ අර ගිහිල්ල ලිකිතයි කියන පරිබ්‍රාජිකාව එක්කල මට ඒක මේක කියල තිබ්බ එකෙං මයෙ සියුමැලි චිත්ත සන්තානය තැලී පොඩිවී ගියා. ඈස් ඇන් එග්සාම්පල් ලයික් ඉදිල පරු වෙච්චි ආනමාලු ගෙඩියක් දෑත බදල පොලේ ගැහුවහෙ..
ඒ පාර මම හිතාගත්ත අර සිදුහත් තාපසය ඇසතු ගහ මුල බුදු වෙන්ට ඉඳ ගනිද්දි අදිස්ටාන කලා කියන්නෙ "මාගේ සම් මස් ඇට නහර වියළේවා! එසේ වුවද බුද්ධත්වය ලැබ මිස මෙතැනින් නොනැඟිටින්නෙමි!" කියල ....අන්න ඒ වගෙ මාත් අදිස්ටාන කලා "මින් මනත කවදා හෝ අනන්‍යාගේ කථාව අවසාන කොට මිස එෂැණ පුවක්, ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ විමලේගේ වාංපතුල් කතා සියල්ලම නොලියන්නෙමි! සිද්දි රස්තු!! මානිවත්ත අබික්කම!!!" කියල...අන්න එහෙමයි අපි....
පලි - මට වෙලා තියෙන්නෙ ඕකනෙ...මානවිකාවක් බබලතෙක් ඔය මොකක් හරි යන්තමට වගපල කිව්වද මට හරියට හිත රිදෙනව..අයි හර්ට් සෝ මච්..යූ සී?
හැබෑටම? හුහ්.. අර මිරිස්ගල කොහෙද දන්නේ නැහැ මගේ කට අතුල්ලගන්න!!! හෙහ් හෙහ් හෙහ් හෙහ්
Deleteඑහෙනම් අපේ වැඩේ ටිකාරියක් සාර්ථකයි. ඒ උනාට මේ මනුස්සය විස්වාස කොරන්ට එහෙම එපා හරිද. අර කිරිකැට් ගැහිල්ල ගැන එහෙම ලියන්ට ඉඩ තියෙනවා මැච් එහෙම දිනාගෙන එන හින්ද. කොහෙද ඉතින් අපේ රටෙත් ඉසේ කෙස් ගානට නිවුස් වගේ ඕපාදුප ඕසේට.
රවියෝ.. ඉලන්ගපාර නම් ඔන්න පිටු දහයක්වත් දාන්ට හරිද?
හා හා හා ඒ කියන්නේ රවී තුමාට සෑහෙන්න හර්ට් වෙලා ... (ඔය කිව්වට අනේ මන්දා ඉතින් )කෝම හරි කමක් නෑ කතාව එක දිගට නැතත් පෝස්ට් එකක් ඇර පෝස්ට් එකක්වත් කියවන්න ඉඩසලසා දෙනවනම් ගුණ වයන්න බැරියැ හා නැද්ද ලිඛී...?
Delete