Tuesday, May 29, 2018

585. The Story Of My Marriage - 70 - Nothing Personal Bala But This Is A Question About My Entire Future…

"බාලා මම අර අනිල්කාරයගෙන් ඔයාව බේරගත්ත වෙලාවෙ ඔයා මට පොරොන්දු වුනා මම කියන ඕන දෙයක් කරනවයි කියල…..Krish...I will do anything you ask me any time... that were your exact words"

මම බාලගෙ ඇස් දෙක දිහා බලාගෙන එහෙම කිව්වෙ දත්මිටි කාගෙන. බාලා එහෙම දෙයක් කිව්වද කියල මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ. ඒත් එහෙම කිව්වම පොඩි ගැම්මක් එනවනෙ. ඒකයි මම එහෙම කිව්වෙ. අනික බාල මොකෝ නෑ කියන්නය? මම එකහෙලාම කියා හිටිනවනෙ නෑ කිව්වමයි කියල…

"අනිල්කාරය?" බාලා ඇස් උඩ තියාගෙන මා දිහා බැලුවෙ.

"ඔව්..ඔව්...අර ආවෙ ලොක්කෙක්....අපේ අර ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ක්ලයන්ට්ස්ලගෙ සල්ලි නැති උනාට පස්සෙ මොකද උනේ කියල හොයල බලන්ට....අන්න මිනිහ ගැනයි මම මේ කියන්නෙ"

"හරි හරි ක්‍රිෂ්...මට මතකයි...මට මතකයි..ඒත් ටිකක් සද්දෙ අඩුකරල කතා කරනවද කරුණා කරල. ඔහොම කතාකරනව කාටවත් ඇහුනොත් මටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..."

මම හිටියෙ බාලගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ ඉඳගෙන ඉස්සරහට නැමිල මේසෙ උඩ අත් දෙක තියාගෙන. බාලා හිටියෙ මේසෙට වැලමිට ගහගෙන ඇඟිලි දහයම කෙස් අතරෙන් යවල ඔලුව මිරිකගෙන. බාලගෙ කාමරේ දොර වහල අගුලු දාල තිබ්බෙ.

එදා මගේ බෙල්ල දීල අනිල්ගෙන් බාලව බේරගත්තට පස්සෙන්දා ඉඳල මම බාල එක්ක තනියම ඉන්නකොට බාලට සැලකුවෙ මගෙ ඇවැස්ස මස්සිනා කියල හිතාගෙන. බාල ඒකට වැඩි කැමැත්තක් නැතිබව මට මිනිහගෙ ඉරියව් වලින් තේරුනාට ඉතිං මට පාන්ද කියල මම ගණං ගත්තෙ නෑ. බල්ලොත් එක්ක බුදිය ගත්තනං.....කියල ඔය කියමනකුත් තියෙන්නෙ සුද්දංගෙ. 

කොහොම හරි සමහරවිට මේ වෙනකොට බාලට හිතිල ඇති එදා මගේ උදව් අරගන්නෙ නැතුව අනිල්කාරය දෙන දඬුවමක් බාරගත්තනං මීට වඩා දාහෙන් සම්පතයි කියල...හෙහ්..හෙහ්...But It's too late for that Mr. Balakrishnan much..much..much too late....now you have to do exactly as I say...Period....

"හරි හරි දැං මට කියන්න ඔයා මට මොකද්ද කරන්න කියන්නෙ කියල පැහැදිලිව...."

"මම ඔයාට උදව්වක්නෙ මේ කරන්න යන්නෙ බාලා..ඒක තේරෙන්නෙ නැද්ද?"

"උදව්වක්?"

"ඔව්..උදව්වක් තමයි....බාලමනෙ කිව්වෙ අර පහුගිය රැස්වීමෙදි ගායකයො ගෙන්නන්න ඇස්තමේන්තු කරපු ගාණ වැඩිය...එච්චර වියදම් කරන එක අනුමත කරන්ට කොහොමවත්ම බැරිය..අරකද මේකද කියල...හරි එහෙම කිව්වෙ නැද්ද?"

"කිව්ව කිව්ව මම දැන් නෑ කිව්වෙ නෑනෙ. ඉතිං මොකක්ද ඔයා මට කරන්න යන උදව්ව?"

"හරි මේකයි...මම ගායිකාවක් එක්කරගෙන එන්නම් නොමිලේ.."

"නොමිලේ?"

"ඔව් නොමිලේ...බාලට එක රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ..සම්පූර්ණයෙන්ම නොමිලේ…"

"හරි කවුද ඔය කියන ගායිකාව? කියමු බලන්ට මමත් අහල තියනවද කියල බලන්ටත් එක්ක…"

"ඈ වනාහී නැඟී එන අතිදක්ෂ ගායිකා... රා..ධා.....ඔව්....රා..ධා...ස්..වා..මි..නා...ද...න්...ටර ටරාං ටර ටරාං…" මම ඇදල පැදල කිව්ව.

"කවුරු? රාධා ස්වාමිනාදන්?...මම ජීවිතේටම අහල නෑනෙ එහෙම නමක්…"

"හරි හරි...දැනට අහල නැති වෙන්න ඇති. ඒත් මට ෂුවර් අපේ කොන්සට් එකෙන් පස්සෙ රාධා ස්වාමිනාදන් කියන නම තමිල්නාඩු සංගීත ක්ෂේත්‍රයෙ දනන් තුඩ තුඩ රැව් දෙන නමක් වෙනව...Yes, I am dead sure about that....." 

මම එහෙම කියල කාරණාව තවත් තදින් බාලට ඒත්තු ගන්නවන්ටත් එක්ක මිට මොලවල මේසෙට පාරක් ගැහැව්ව. දඩාං.......බාලා බයවෙච්චි පාර පුටුවෙනුත් නැගිට්ටුන.

"ක්‍රිෂ් මේ මේක සෙල්ලමක් නෙවෙයි. අපිට අපේ නම කැතකරගන්න බෑ පිස්සු නටල..Our corporate reputation is at stake here man, please understand...හරි මට කියන්න කවුද ඔය කියන රාධා ස්වාමිනාදන්?"

"මෙහෙමයි…" මම බාල දිහාට නැවිල සීරියස්ව කතා කරන්න ගත්ත. "මේ මම කියන ගායිකාව තවම ප්‍රසිද්ධ වේදිකාවෙ ගායනා කරල නම් නැහැ. ඒත් කර්ණාටක සංගීතය හොඳටම හදාරල සහතික හිටං ගත්තු කෙනෙක්…"

අනන්‍යාගෙ අම්ම සහතික අරගෙන තියනවද නැද්ද කියල මම දන්න එකක් නෑ. ඒත් මේ වෙලාවෙ මට ඕන උනේ කොයිමක් කරල හරි බාලගෙ හිත නමා ගන්ට. එච්චරයි

"කර්ණාටක සංගීතය?" බාලා බෙරිහන් දුන්න…"තමුසෙට පිස්සුද අයිසෙ?"

ඔය බාල ඇවිල්ල හොඳ ආචාරසීලී මනුස්සය. මම මීට කලින් අහල නෑ මනුස්සය කිසිම කෙනෙකුට අඩුම ගානෙ සුලු සේවකයෙකුටවත් තමුසෙ කියල කතා කරනව. ඒකෙන් තේරෙන්නෙ මිනිහ කොච්චර හැඟීම්බර වෙලාද කියන එක. මම හිතන්නෙ කොන්සර්ට් එකට අලුත් ගායිකාවක් මම එක්කරගෙන එන එක බාලට උහුලන්ට බැරිතරම් සන්තෝසයක් වෙන්න ඕන.

"මේක පොප් කොන්සර්ට් එකක්...ස්ටේජ් එකේ ඩාන්සිනුත් තියනව... ඒකට කර්ණාටක සංගීතය කොහොමවත්ම ගැලපෙන්නෙ නෑනෙ මනුස්සයො…"

"බාලා..බාලා..බාලා...හරියට කර්ණාටක සංගීතය නියම ශාස්ත්‍රානුකූලව ඉගෙන ගත්තු කෙනෙකුට පොප් කොන්සර්ට් එකක සිංදු කියනව කියන්නෙ නිකං කොටින්ම කජු කනව වගෙ වැඩක්නෙ. ඔයත් ඉතිං කර්ණාටක සංගීතය ගැන හොඳට දන්නවනෙ. ඔයාට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කර්ණාටක සංගීතය ගැන"

මම ඒ පොඩි මොත්තයක් දැම්මෙ. බාල දන්න ඉටිගෙඩියක් නෑ කර්ණාටක සංගීතය ගැන. මම හිතන්නෙ මම තරම්වත් දන්නෙ නෑ. හැබැයි මම මේ වෙලාවෙ බාලව මුරුංග අත්තට නග්ගපු විදිහට මිනිහට මට විරුද්ධ වෙන්න විදිහක් නෑ කොහොමවත්ම. මම මිනිහ කරමුලටම අහුවෙන විදිහටයි ගැටේ ගැහුවෙ. එව්වට තමයි ක්‍රම සහ විධි කියල කියන්නෙ.

මම හිතුව වගේම බාලක්‍රිෂ්ණන් මහත්තය බලා ඉද්දි කාම්ඩ් ඩවුන් ඇන්ඩ් කූල්ඩ් ඩවුන් වුනා.

"හරි හරි..දැං ඔය කියන ගායිකාව ...කවුද මේ... කවුද මේ... "

"රාධා…."

"අන්න හරි රාධා...ක්‍රිෂ් ඔය රාධා සිංදු කියනව අහල තියනවද?"

අනන්‍යාලගෙ ගෙදරට ගිය පළවෙනිම දවසෙ ගේ ඇතුලෙන් ඇහුණු වස නපුරු ඇල්සේෂන් දඩෝරියෙකුගෙ හකු පාඩා වලට බෙල්ල අහුවෙච්චි බළල් තඩියෙක්ගෙ විලාපය වගෙ සද්දෙ මතක් වෙලා මගෙ මුලු සරුවාංගෙම රෝම කූප සිරස්ව නැඟී හිටිය.

"අහලමත් තියනවමත් කියල කියන්ටමත් නම් බෑ....."

"මොකක්ද මනුස්සයො ඒ කිව්ව විකාර කතාව? මට කෙලින්ම කියනව... අහල තියනවද නැද්ද? එක වචනෙන් උත්තර දෙනව පිස්සු කියවන්නෙ නැතුව.."

"හ්ම්ම්ම්..අහල තියනව...මට සහතික කරල කිව්වැහැකි බාලා වැඩේ අප්සෙට් වෙන එකක් නෑ...අනික මොනව උනත් අර කවුද මට නම් මතකනම් නෑ...අනික් ප්‍රසිද්ද දෙන්නත් ඉන්නවනෙ.."

"හරිහරනුයි එස්.පි.යි දෙන්න…" බාල කිව්ව..

"අන්න හරි ඒ දෙන්න වැඩේ ගොඩ දායිනෙ අවුලක් උනොත්..අනික අපි ඒ දෙන්නට හොඳට ගෙවනවනෙ. එයාලගෙ රාජකාරිය අවුලක් උනොත් ගොඩ දාන එක. අපි ඕනනම් එයාලත් එක්ක ගහන ඇග්‍රීමන්ට් එකටත් එහෙම වගන්තියක් ඇතුල් කරමු"

"මොන වගන්තියක්ද? බැරිවෙලාවත් මොනව හරි අවුලක් එහෙම උනොත් ගොඩ දාන එක ඒ අයගෙ වගකීම කියල?" බාලා ඇස් උඩ තියාගෙන ඇහුව.. 

ඔන්න කිව්ව කතාවක්...

"නෑ..නෑ..එහෙමම නෙවෙයි...අපි ඒ අදහස එන විදිහට මොකක් හරි වචන ටිකක් ගැට ගහල වගන්තියක් හදමු. බැංකුවක වැඩ කරන අපිටත් බැරිනම් එහෙම දෙයක් කරන්ට වෙන කාටද පුලුවන්..නැද්ද බාලා?…" මම කිව්වා.

මේ නැඟීඑන නවක ගායිකාවගෙ ආතල් එකට බාලගෙ ඒ හැටි කැමැත්තක් තිබුනු පාටක් නම් පේන්ට තිබ්බෙ නෑ. ඒත් මිනිහ අන්තිමට කරන්ට දෙයක් නැති කමටම ඔලු ගෙඩිය ඉහල පහල වනල එකඟ වුනා

"අඩු ගනනෙ මේ රාධාගෙ රූප සෝබාවවත් කොහොමද? ඉටි කිරිස් කෙල්ලෙක්ද? නිකං කවුරු වගේද කියලවත් කියනවකො ..දීපිකා? ප්‍රියංකා?"

බාලා පුටුවෙන් නැඟිටල කාමරේ පිටිපස්සෙ බිත්තියෙ අපේ බැංකු ගොඩනැඟිල්ල එක්කම දිවෙන අතුරු පාරට විවෘත වෙන ජනේලෙ දිහාට යන ගමන් ඇහුව. මට හිතන්නෙ මිනිහට දාපු දාඩියෙ තරමට ඒ.සී. එක මදි වෙලා වෙන්න ඕන. ජනේලෙත් අරින්නද කොහෙද හදන්නෙ. අද උදේම පොඩි වැස්සක් වැටුන හින්ද අවට පරිසරයෙ තිබ්බෙ හොඳ සිසිල් ගතියක්.ඒ හින්ද ජනේලෙ ඇරියොත් හොඳ හීතල හුළං පාරක් කාමරේට හමාගෙන එයි කියල මටත් හිතුන.

"රාධානම් කවුරු වගේද මන්ද...ඒත් එයාගෙ දුවනම් ආය කියල වැඩක් නෑ...දිව්‍යාංගනාවක් වාගෙ ඔන්න කොටින්ම…"

ජනෙලේ අරින්ට අත දික්කරපු බාලා එහෙම්මම ආපහු හැරුන…"මොකක් කිව්ව? දුව? දුවගෙන් වැඩක් තියනවද මනුස්සයො? ස්ටේජ් එකේ සිංදු කියන්නෙ අම්මනෙ. අනික තමුං කොහොමද දුවව දන්නෙ?"

"දුව තමයි මගෙ පෙම්වතිය..She is actually my girl friend" මම ඔලුව පාත්කරගෙන කිව්ව. 

"Whaaat?....." බාලා ආයම බෙරිහන් දුන්න.."තමුසෙ මේ මෙච්චර වෙලා කිව්වෙ තමුසෙගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අම්ම ගැනද?"

"ඔව් බාලා..මම ලොකු අමාරුවක වැටිල ඉන්නෙ..Please help me as I helped you when you were in a difficult situation …"

බාල ජනේලෙ අරින්නෙ නැතුවම ආපහු ඇවිල්ල ඉඳගත්ත. "හරි කියනව මට ඔක්කොම විස්තරේ…"

"මගෙ ගෑණු ළමයගෙ අම්ම මට කැමති නෑ. එයා ඇමරිකාවෙ සිස්කෝ කම්පනි එකේ වැඩකරන එයාල අඳුරන කෙනෙකුට මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව බන්දල දෙන්නයි හදන්නෙ. තාත්තව මම කොහොමහරි ටිකක් ෂේප් කරගත්ත. ඒත් මේ අම්ම එක්ක අමාරුයි. හරිම මුරණ්ඩුයි. ඉතිං මොනව හරි සුවිශේෂී දෙයක් කරල අම්මගෙ හිත නම්ම ගන්ට බැරිඋනොත් මට වෙන්නෙ ගෑණු ළමය ගැන තියන බලාපොරොත්තු අත් ඇර ගන්ට. එහෙම උනොත් මට දිවිනහගන්නව ඇරෙන්න වෙන දෙයක් ඉතුරුවෙන්නෙ නෑ"

මගේ ඇස් වලට කඳුළු ආවෙ ඉබේම. කොහොමත් ඔය හැඟීමබර කතාවක් කියවද්දි ඒ වගෙ චිත්‍රපටයක් බලද්දි උනත් මගෙ ඇස් දෙකට ඉක්මනටම කඳුලු එනව. ඒ හින්ද මේ වෙලාවෙ ඇස් වලට කඳුලු ගන්න එක ඒ හැටි අමාරු දෙයක් උනේ නෑ. බාලා බයවෙලා වගෙ මගෙ දිහා බලා හිටිය.

"ඒ කියන්නෙ ඒ කියන්නෙ ක්‍රිෂ්ගෙ ගෑණු ළමය දෙමළද?"

"ඔව්..දෙමළ සහ බ්‍රාහ්මණ වංශික…"

"අයියංගර්?"

"ඔව්..එහෙම තමයි කිව්වෙ…"

(සටහන - අයියංගර් යනු විශේෂයෙන් තමිල්නාඩුවේ සහ සුළු වශයෙන් කර්නාටක ප්‍රාන්තයේ වෙසෙන දමිල බ්‍රාහ්මණ වංශිකයින්ගෙන්ද උසස් යැයි සැලකෙන රාමනුජන් නම් සෘෂිවරයා දෙසූ ධර්මය අනුගමනය කරන්නන් පිරිසකි. ඔවුහු ඔවුන්ටම ආවේණික සුවිශේෂී විවාහ චාරිත්‍ර ද අනුගමනය කරන්නෝය.)


අයියංගර් ගෝත්‍රයේ විවාහ චාරිත්‍ර අනුව සරණ
බන්ධනයට ඇතුලත්වූ මනාල යුවලක්...

"හ්ම්ම් මට දැන් හිතා ගත්තෑකි ක්‍රිෂ් දිල්ලියෙ ඉඳල මොකද චෙන්නයි ආවෙ කියල.." බාලා එහෙම කියල හිනාවුනා.

"ඔව්...ඒකත් එක හේතුවක් තමයි..ඒත් ඊටත් වැඩිය මට ඕන වුනේ තමුං වගෙ රටේ සුපතල මූල්‍ය ආයෝජන කටයුතු පිළිබඳ මහා විශේෂඥයෙක්ගෙ දෙපාමුල ඉඳගෙන සාස්තරේ ඉගෙන ගන්ට.." මම කටකොනකිං හිනාවෙන ගමන් තොල මැතුරුව.

"මොකක්ද කිව්වෙ?" බාලා නළල රැළිකරගෙන ඇහුව.

"මොකවත් නෑ.....මේ බාලා මට කෙලින්ම කියන්න. ඔයා මේ වැඩේ කරනවද නැද්ද?"

"මොකක්ද වැඩේ?"

"ගායක ගායිකාවො තුන්දෙනා තීරණය කරනකොට හරිහරන් සහ එස්.පී. ට අමතරව නැගීඑන නවක ගායිකා රාධා ස්වාමිනාදනුත් ඒ තුන්දෙනාට ඇතුලත් කරන වැඩේ."

"මම කොහොමද ක්‍රිෂ් එහෙම කරන්නෙ? අපේ කමිටුවක් ඉන්නවනෙ ගායක ගායිකාවො කවුද කියල තීරණය කරන්න. එතකොට මම කොහොමද...."

මම අත උස්සල බාලගෙ කතාවට බාධා කලා. "කමිටුවක් තියනව තමයි. ඒත් ඒ කමිටුවෙ ඉන්නෙ ඔක්කොමල බාලා යටතෙ වැඩ කරන අය. ඔයා කිව්වොත් මේ අය තමයි අපි තෝරගන්නෙ කියල ඒ කිසිම කෙනෙක් කටක් හොල්ලන එකක් නෑ. මම දන්නවනෙ ඔය කමිටුවල වැඩ කෙරෙන විදිහ...හෙහ්..හෙහ්...අපි නොදන්න කමිටු..."

"එහෙම උනත් ක්‍රිෂ් මම කොහොමද එක පාරට……."

මම දිග හුස්මක් පාතට හෙලල නැඟිට්ට.

"හරි අවුලක් නෑ. බාලා නිවාඩු පාඩුව කල්පනා කරතීරණයක් ගන්න. මට හදිසි වැඩ වාගයක් තියනව...මගේ ඊ මේල් ඉන් බොක්ස් එකේ පරණ මේල් තියනව හත් අටසීයක් ඩිලීට් කරල දාන්න. ආ... බාලා මට ඒ දවස්වල එව්වෙ ඊ මේල් උදේ හවස අර ඉන්ටර්නෙට් ස්ටොක්ස් කොහොමහරි ක්ලයන්ට්ලගෙ ඇඟේ ගහන්න කියල. අන්න එව්වත් තිහ හතළිහක්ම තියනව මම ඩිලීට් නොකර. හෙට වගෙ වෙනකොට මට ඕනනම් ඒ ඔක්කොම ඩිලීට් කරල දාන්නත් පුලුවනි. මොකද කියන්නෙ? තීරණය ඔබ සතුයි."

බාලා මා දිහා බලා හිටියෙ හරිම අසරණ විලාසයකින්. මට දුකක් වගෙත් හිතුන. ඒත් සොරි ලොක්කා. මට වෙන කරන්න දෙයක් නෑ. ෂා ජහාන් අදිරාජයා මිනිස්සු හත් අට දාහක් මරවල වැඩ අරගෙන අවුරුදු විස්සක්ද විසිපහක්ද තිස්සෙ කෝටි ගානක් වියදම් කරල ටජ්මහලක් හැදෙව්වෙ මොකක් හින්දද? ආදරේ හින්ද. ඉතිං මම මේ වගෙ දෙයක් කලාම මක් වෙනවද? මොකෝ ඔය ගොල්ල කියන්නෙ? 

දොර බාගෙට ඇරල මම එතන නැවතිල ආපහු හැරුන. බාල තාමත් ඒ විදිහටම බලා ඉන්නව.

"මට ඇත්තටම කණගාටුයි බාලා. I am so sorry..this is nothing personal.....ඒත් මේ මගේ ඉදිරි අනාගතය සම්බන්ධ තීරණාත්මක මංසන්ධියක්…This is about my entire future Bala... so please help me…"

මම එහෙම කියල කාමරෙන් එළියට ඇවිල්ල හෙමිහිට දොරවැහුව.

35 comments:

  1. ගන්න ගන්න හැම තීරණ වෙන්නෙ ඇයිද බාධා
    මෙන්න ක්‍රිශුත් නව අදහස ගත්තලු දැන් පාදා
    දුන්න අදහසින් බාලා කරයිද තව බාධා
    මෙන්න නවක ගායිකාව පිළිගන්නකො රාධා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා,

      බොහෝමත්ම ස්තූතියි කොල්ලෝ! :)

      Delete
  2. හැක්... හැක්.. ඔහේ හදන්නෙ සිටි බැංකුයෙ පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියෙන ආත්ම ගරුත්වෙත් නැතිකරල දාන්නද?

    -Praසන්ன-

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      බැංකුවේ ආත්ම ගරුත්වයක් කොහෙත්ම මට අදාල නැතිය. උගුලෙන් බැරිනම් හබකින් හෝ මගේ වැඩේ කෙරුනානම් මට ඇතිය....:) :)

      Delete
  3. බාලා මං උඹ ගැනම හිතාලා
    මේල් ඉන්-බොක්ස් පුරවලා තියාලා
    රාධා ගන්නෙම නෑ කීවොත් තග පෙන්නලා
    යවන්නෙමි අනිලයා සොයාලා 😊


    ReplyDelete
  4. එම්බා කොල, ජම්බුද්වීපයේ කාන්තාවන්ගේ මධුර මනොහර කටහඬ ගල ග්‍රහණයෙන් ගත් බිලාලයෙකුගෙන් නික්මෙන විලාපයකට සමාන කොට ලූ තොප නම් මහා මුග්ධයෙකැ. තෙපි කිසි කලෙකත් ජම්බුද්වීපයේ කතුන්ගේ සොඳක් නම් නොකියත්. බලව, දිනපතා තෙලදසුනේ වැජඹෙනා මෙ නම් ප්‍රේමයැයි තෙලනලුවේ අධිපතිත්වය හොබවන ‘ඉෂි මෑණියන්‘ නම් කතගේ සුකොමලතාව. ඈගේ මධුර හඬ සවන් වැකෙන කළ හෙළ දිවැ තෙළදසුන් ඉදිරියේ අන්න පාන ගන්නාවුන්ගේ දිවැ අග ඇති බත් පිඬුද ඉබේ ගිලෙන්නාහ. එහිමැ සිටින නැගී එන රූ සපුවෙන් හෙබි රූහී නම් කුමරියෝ මනා පියයුරින්ද, පුළුලුකුලින්ද, වටකුරු පුක පෙදෙසින්ද යුතුව දිදුලන අයුරු. එබැවින් මින් ඉදිරියට ජම්බුද්වීපයේ කතුන්ගේ නුගුණ නොකියව. ගුණමැ කියව නො එසේනම් තොපගේ ගොනු ද පෙරදා ලක්දිව රජවැ සිට ඉසිඹු ලද මිහිඳු පශ්චාත්භාග නිරිඳු සතු බව නොකිවමනාය.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මරු ඕයි..පිස්සු හැදිල හොඳවෙලා ආයම හැදෙනව.....

      මේකට මෙහෙම උත්තරයක් ලියල බෑ..නිවාඩුව ලියන්න ඕන....

      ආයෙමත් ස්තූතියි හොඳද?..:)

      Delete
  5. ඔහෙගෙ ඉ තැපැල් ඇතුල් පෙට්ටියෙන් බාලා මහත්තයව කලු තැපැල් කරන්නද හදන්නෙ.

    අර උඩ එකත් මමම තමයි දැම්මෙ. මගේ එක මැසිමකින් ගූගල් ලොග් වෙන එකට ගේම අදිනව.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /ඔහෙගෙ ඉ තැපැල් ඇතුල් පෙට්ටියෙන් බාලා මහත්තයව කලු තැපැල් කරන්නද හදන්නෙ./

      ඕන තැපෑලක් මගේ වැඩේ කෙරෙන්නයි මට ඕන...හෙහ්,හෙහ්,

      /අර උඩ එකත් මමම තමයි දැම්මෙ. මගේ එක මැසිමකින් ගූගල් ලොග් වෙන එකට ගේම අදිනව./

      අම්මට වූඩු උඹ මැසින් කීයකින් ලොග් වෙනවද?

      Delete
  6. ම්ම අද මේක කියෙව්වෙ උදේ තේක බිබී...

    අනන්‍යාලගෙ ගෙදරට ගිය පළවෙනිම දවසෙ ගේ ඇතුලෙන් ඇහුණු වස නපුරු ඇල්සේෂන් දඩෝරියෙකුගෙ හකු පාඩා වලට බෙල්ල අහුවෙච්චි බළල් තඩියෙක්ගෙ විලාපය වගෙ සද්දෙ මතක් වෙලා මගෙ මුලු සරුවාංගෙම රෝම කූප සිරස්ව නැඟී හිටිය.

    මේ ටික කියවද්දි මට බකස් ගාල හිනා ගිහින් තේක නහයෙන් කටින් දැම්මා..සත්තලන් පිටට තට්ටු දාලා දාල යාන්තන් නොමැරී බේරුනා...පස්සෙ ඉතින් උදේ පාන්දර කැකිරි පැලුවේ මොකෝ අහද්දි මේ බ්ලොග් එකක් කියවලා කිව්වම. අම්මපා තොපි සේරටම අන්දකයිප්පු කිව්ව ( තොපි සේරම යනු මේ මා ඇතුලු බ්ලොග් ලියන්නන් බව කරුනාවෙන් නොසලකා හරින්න )

    මම තාමත් අන්දකයිප්පු කියන එකේ තේරුම හොයමින්

    ReplyDelete
    Replies
    1. /අම්මපා තොපි සේරටම අන්දකයිප්පු කිව්ව /

      සොඳුරු, හෙහ්..මරු කතාව ඒක....

      /මම තාමත් අන්දකයිප්පු කියන එකේ තේරුම හොයමින්../

      අන්දකයිප්පු කියන්නෙ මම අහල තියන විදිහට රා මදිනකොට මල කපල තියන බේත්වලට ගන්න ඖෂධයක්ලු.

      ඔය සුද්දගෙ කාලෙ මූදුබඩ රා මැදිල්ල තනිකරම කරල තියෙන්නෙ දකුණු ඉන්දියාවෙ කේරළෙනාපු රා මදින්නො. උං එක්ස්පර්ට්ල ඔය වැඩේට.මදුරාසියෙ (දැන් චෙන්නයි) වල ඉඳල ඒ කාලෙ කොළඹ කොටුවටම ටිකට් අරගෙන කෝච්චියෙ එන්න පුලුවන්. ඉන්දියාවෙ ධනුෂ්කොඩි ඉඳල තලේ මන්නාරමට එන්නෙ බෝට්ටුවෙන්.

      ඉතිං ඒ රාමදින්නො ගාව තිබ්බ බේතක් තමයි ඔය අන්ද කයිප්පු. එව්ව බැරිවෙලාවත් කැවුනොත් නිකං පිස්සු වගෙ හැදෙනවලු.පොල් කිරි පුලුවන් තරම් පොවන එකලු ප්‍රතිකාරය.

      නිකං පිස්සුවෙන් බගෙ ආතබූත නැතුව වැඩ කරනකොට "මොකද බොල අන්දකයිප්පු කාල වගෙ.." කියල කියන කතාව හැදිල තියෙන්නෙ ඔහොමලු.. යටත් පිරිසෙයින් මවිසින් අසා ඇත්තේ එළෙසිනි...:)

      Delete
    2. // තොපි සේරටම අන්දකයිප්පු //

      මා ද ඇතුළු බ්ලොග් ලියන්නන් කියවන්නන් ගැන (විසේසෙන් අන්දර මල්දමේ මාගේ සහුර්දයින් ගැන) සිත්තරාගේ අදහසද මීට නොදෙවෙනි බව සතුටින් දන්වා සිටිමි. :D :D :D

      Delete
    3. අන්ද කයිප්පු කාල , රා සුට්ටක් බොන්න ඕනෙ , එතකොට තමයි නියම ෂැප ..

      Delete
    4. හප්පා... අන්න ඒවටයි එහෙනම් අන්දකයිප්පු කියන්නේ.... දැන් බැරියෑ මට සත්තලන්ටත් උගන්නන්න අන්දකයිප්පු ගැන...ඒක කියල දුන්නෙත් බ්ලොග් ලියන උන්දෑ කෙනෙක් කියල දැන ගත්තම .... හි හි හී.... එයාට සිදෙයි

      Delete
    5. සිත්තමී,

      /මා ද ඇතුළු බ්ලොග් ලියන්නන් කියවන්නන් ගැන (විසේසෙන් අන්දර මල්දමේ මාගේ සහුර්දයින් ගැන) සිත්තරාගේ අදහසද මීට නොදෙවෙනි බව සතුටින් දන්වා සිටිමි. :D :D :D /

      ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! අප්‍රමාණ ප්‍රීතියි...

      ගරු කටයුතු සිත්තරා මහතා විසින් ප්‍රදානය කරන්නට යෙදුනු "නිරන්තර අන්දකයිප්පු භක්ෂක" යන ගෞරව නාමය/විරුදාවලිය මල්දමෙහි සාමාජිකයින් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස මවිසින් ඉතාමත් කෘතඥ පූර්වකව භාරගන්නා බව ඔබගේ ප්‍රිය සැමි එතුමාට දැනුම් දෙන්නේ නම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

      මම බොලාගෙ ගෙදර ආපු දවසක මෙහෙම වෙයිද මන්දා...

      සිත්තමී - "පුතා මෙහෙ එන්නකො මේ සෝක් අංකල් කෙනෙක් ඇවිල්ල ඉන්නව ඇවිල්ල ටිකක් කතා කරන්නකො..අංකල් ද සීයද මන්ද හරි හරි කවුරු හරි..."

      සුට්ටි පුතා - "ආ..ඔය අංකල් අපේ අම්මිගෙ යාලුවෙක්ද?"

      අංකල්/සීයා නොහොත් මම - "එහෙනං එහෙනං...මේ මොනව අහනවද?"

      සුට්ටි පුතා - "ඒ කියන්නෙ අම්මිගෙ නිකං යාලුවෙක්ද?..නැත්තං අර බොලොග්ද මොනවද එව්ව ලියන යාලුවෙක්ද?"

      මම - "ම්ම්..ඔව්නෙ මම අම්මිගෙ බ්ලොග් ලියන යාලුවෙක් තමයි..ඉතිං කොහොමද ඔයාට?"

      සුට්ටි පුතා - "මම හොඳින් ඉන්නවා..ඒක නෙවෙයි මම මේ අංකල්ගෙන් අහන්නමයි හිටියෙ .. "

      මම - "මොකක්ද අප්පේ ඒ?"

      සුට්ටි පුතා - "අංකල් අද එද්දිත් අන්දං කයිප්පුං කාලද ආවෙ?"

      මම - "මොකක්? අංදං කයිප්පුං? ඒ මොනවද? අන්ද කයිප්පු කියල ජාතියක්නම් මම දන්නව..ඒත් ඔහොම එකක්නම් අහල නෑ.. "

      සුට්ටි පුතා - "ආ..අන්න හරි එව්ව තමයි..අදත් එව්ව කාලද ඔයා ආවෙ?"

      මම - "නෑ අනේ මම එව්ව කන්නෙ නෑ..ඇයි ඔයා එහෙම අහ්න්නෙ?"

      සුට්ටි පුතා - "එහෙනම් තාත්ති කොයි වෙලෙත් ඔය කියන්නෙ අම්මිගෙ අර බොලොග්ද මොනවද ලියන යාලුවො ඔක්කොම ඔය අන්දං කයිප්පුං කාලයි ඉන්නෙ කියල... ඒකයි මම එහෙම ඇහුවෙ..."

      හ්ම්ම්ම්..කාල වරෙංකො...ඊට් ඇන්ඩ් කම්...

      Delete
    6. කම්මල,

      /අන්ද කයිප්පු කාල , රා සුට්ටක් බොන්න ඕනෙ , එතකොට තමයි නියම ෂැප ../

      උඹ ඒ දවස්වල අර කමෙන්ට් දෙක දෙක දැම්මෙ එහෙම කරල වෙන්නැති..නේ?

      Delete
    7. සොඳුරු,

      /ඒක කියල දුන්නෙත් බ්ලොග් ලියන උන්දෑ කෙනෙක් කියල දැන ගත්තම .... හි හි හී.... එයාට සිදෙයි/

      අන්න ඒකනෙ කියාපං මෙහෙම...."ඔහේ ඔය අන්දකයිප්පු අන්දකයිප්පු කියල කොයිවෙලෙත් කිව්වට අන්දකයිප්පු කියන්නෙ මොනවද කියල දන්නවද? දන්නවද? නෑ..නේ...ඔන්න අහගන්නකො එහෙනං..."

      Delete
    8. ඔය අංකල් සීයාට ඔය තරමිං උත්තර දීලා එයැයිගෙන් බේරෙන්න හම්බවුණොත් ඇති. :D :D :D

      Delete
  7. //ඒත් කර්ණාටක සංගීතය හොඳටම හදාරල සහතික හිටං ගත්තු කෙනෙක්…//

    ඉන්දියාවේත් හිටං ප්‍රසිද්ධයි නේ බලන් ගියාම? හැබැයි ඕක ඔරිජිනල් පොතේ තිබුණෙ මෙහෙම.

    But Karnataka music best learn certificate stand up bought person.

    අර උඩින් ඇනෝ කියපු මේ ආදරයයි එකේ ඉෂි අම්මත් දකුණු ඉන්දීය අයියර් පවුලක කෙනෙක්. අයියංගර් කියන්නෙයි, අයියර් කියන්නෙයි එකමද කියල නම් ඉතින් ගෝඩ් (ක්)නෝස්.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      ඔරිජිනල් පොතේ එතකොට එහෙමයි තිබ්බෙ නේ?...:)

      යස් අයියංගර් අයියර් දෙකම එකයි...

      Delete
  8. This is funnier than the book. Thank you Ravi

    ReplyDelete
    Replies
    1. Ian,

      Thanks so much Amigo mio...:)

      Delete
    2. උඹ මොකද මේ ඉයන්ට මීය මීය කියන්නේ ඈ

      Delete
  9. හම්මමෝ ඒ................ක

    ReplyDelete
    Replies
    1. මද්දා,

      හොඳයි නේද?....:)

      Delete
  10. // මම එහෙම කියල කාරණාව තවත් තදින් බාලට ඒත්තු ගන්නවන්ටත් එක්ක මිට මොලවල මේසෙට පාරක් ගැහැව්ව. //

    එක පාරක් ගහලා හරි යන්නෙ නෑ. ඔය බාලා මහත්තයා වගේම මේසේ උඩ තියෙන ඒවා මේසේ අයිනට යනකල්ම තුන් පාරක්ම ගහන්නයි තිබ්බේ. :D

    මේ ක්‍රිසා මහ බ්ලැක්මේල්කාරයෙක් වෙලානේ.

    ReplyDelete
    Replies
    1. Siththami,

      "Everything is fair in Love, War and Facebook...."

      Delete

  11. “Surely,' I said, 'you don't think that you are going to die because you dreamed you saw your old father; if one dies because one dreams of one's father, what happens to a man who dreams of his mother-in-law?”
    ― H. Rider Haggard

    ReplyDelete
    Replies
    1. Pra,

      “Mistrust all men, and slay him whom thou mistrustest overmuch; and as for women, flee from them, for they are evil, and in the end will destroy thee.”
      ― H. Rider Haggard, She

      Delete
  12. ලංකාවෙත් දකුණු ඉන්දීය බ්‍රාහ්මණ ,අයියර් වාසගම තියන පවුල් ස්වල්පයක් ඉන්නව. කිසිම මස් මාලුවක් කන්නෙ නෑ වෙජිටේරියන් , අපේ නෑදෑයො පවුලක් ඉන්නව . ඒ ගෙදර ආච්චි තමයි මට දෙමාපියන් හා සමානව හෝ ඊට වැඩිය ආදරය කරපු වැඩිහිටිය.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      සුද්දගෙ කාලෙ ලංකාවට ආපු අය වෙන්නැති මම හිතන්නෙ..එක්කො ආණ්ඩුවෙ රස්සාවලට නැත්නම් ව්‍යාපාර කටයුතු වලට....

      Delete
  13. ඈ බං මේ ක්‍රිෂ් ලනක්වේ දේශපාලනඥයන් ගෙන් වත් උපදෙස් අරගෙනද වැඩේට බැස්සේ , තනිකර ඒ විධිහට වැඩේ දෙන්නේ. "මං ළඟ ෆයිල් තියනව එලියට දාන්නද අත උස්සනවද " කේස් එක වගේමනේ

    ReplyDelete
  14. Thank you Ravi.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...