Friday, March 15, 2019

629. රබරෝසි මල් පලස........1

මහනුවර නගරාසන්නයේ ගැටඹේ ප්‍රදේශයේ
රබරෝසි මල් පිපී ඇති අයුරු -
ඡායාරූපය - මුහුණු පොතෙන්....

මහ පාන්දර තුනට අරලගංවිලෙන් පිටත්වෙන කළුනදී මුදලාලිගෙ අසෝක් ලේලන්ඩ් එක ආය නෑ පාරෙ යනව නෙවෙයි විදිනව. අපේ ගේ ඉඳිකඩේ ගාව ඉඳල බඹ දෙසීයක් වගෙ එපිටිං තියෙන රත්මල්තැන්න හන්දියට ඒ බස් එක එනකොට තුනයි විස්සට වගෙ වෙනව.

දෙකහමාරට එලාම් එක තියල ඇහැරිල කට්ට හීතලේම ගේ පිටිපස්සෙං ගලන ඩී හතර ඇලේ ඩ්‍රොප් එක ගාවට ගිහිල්ල මූණ කට හෝදල හිමිදිරි පාන්දර හීතලේම නාගත්ත. මගෙ නාන්ඩ අඳින නිල් ඉරි වැටිච්චි සෝට් බෑය දැන් ලූණු සිවියක් තරමටම සිනිඳු වෙලා ගිහිල්ල. වෙලාවක හරියට මැන්නොත් එහෙම ඒකෙ වා කවුළුවල වර්ග පලේ මම හිතන්නෙ කලිසමේ ඉතිරි හරියෙ වර්ග පලේට වඩා වැඩියි.

"මහත්තෙයගෙ මේ ප්‍රියතම  කොට කලිසම මහ රෑක මිසක්කා දවල් ඇහැ කණ පේන වෙලාවක නං අඳින්ට බෑ හිහ් හිහ්.."

මේ පෙරෙයිදද කොහෙදත් හවස් කරේ  පිළිකන්නෙ සේරු ගහේ ඉඳල එතන එහා පැත්තෙ තිබ්බ යකිනාරං ගහට බැඳල තිබ්බ නයිලෝං ලනු දෙපටෙ වනල තිබ්බ මගෙ ඔය සෝට් එක අතට අරගෙන ඇස් මානෙං උඩට අල්ලල හරව හරව බලන අතරෙ  වසන්ති කියාපි කට කොණකිං හිනාවෙවී.

"මේ ...හලෝ...නිකම් කෝචොක් දදා ඉන්න වෙලාවෙ  බොට නරකයි ඉදිකට්ටකුයි නූල් පොටකුයි අරගෙන නිකං ඉන්න වෙලාවක ඔය ඉරිච්චි තැං මහල දැම්මම?" 

මම රවාගෙන කිව්ව. ඒ යෝදි දන්නව ඔය මගෙ බොරු පාට් කෑලි කියල

"මහන්ට පුලුවං කමක් තියෙනවනං මම නොමහ ඉන්නවද මහත්තය? මේක මහන්ට බෑ. ඉදි කට්ටක් ගැහුවයි කියන්නෙ ආයමත් එතනිනුත් ඉරෙනව. …"

වසන්ති මට එදා ඉඳලම කියන්නෙ මහත්තය කියල..දැං අවුරුදුම මයෙ හිතේ තිස් දෙකක් වගෙ වෙනව..සෑහෙන කාලයක්..ඔව්..ජීවිත කාලෙකින් බාගයක් විතර…

කදුරුවෙල මහ ඉස්පිරිතාලෙ ඉස්සරහ ඒ දවස්වල තිබ්බ පී.එච්. ඉන් එක කියල බියර් අරක්කු එහෙම තියන රෙස්ටුරන්ට් එකක්. ඕකෙ උඩ තට්ටුවෙ බිලියඩ් මේසෙකුත් තිබ්බ. බිලියඩ් ගහන්ට සාමාජික ගාස්තුවක් හැටියට ඔය පොඩි ගාණක් අය කලාට පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ යාවජීව සාමාජිකයින්ට විසේස වරප්‍රසාදයක් හැටියට බෝල මේසෙ නොමිලේම සෙල්ලං කරන්ට අවස්තාව දීල තිබ්බ.

මම එතකොට වැඩ කලේ නව නගරෙ තිබ්බ කච්චේරියෙ. කච්චේරිය කිව්වෙ පොළොන්නරුව මහ දිසාපති කාර්යාලය. ප්‍රේමදාස මහත්තය ජනාධිපති වෙලා දිසාපතිල ඔක්කොමල දිස්ත්‍රික් ලේකම්ල කරපු කාලෙ උදාවුනේ  තව අවුරුදු පහක් හයක් වගෙ අනාගතේදි... 

මගෙ තනතුර ර.ලි.සේ දෙවන පෙළ "ආ" ඛණ්ඩය රජයේ ලිපිකරු. එහෙමත් නැත්නම් ඔය ඉඩම් බලපත්‍රයක් ගන්ට නැත්නම් ඇල්.ඩී.ඕ. බලපත්තරේ වැඩුමල් කොලුවගෙ නමට හරෝල දෙන්ට කියල හිතාගෙන උදේ ඉඳං කච්චේරියෙ රස්තියාදු වෙන අහිංසක මිනිස්සු කියන විදිහට කලාක් මහත්තයෙක්.

ඒ කාලෙ සතියකට දෙතුන් සැරයක් මම ලැම්බට් අයියයි පියතුංගයි එක්ක පී.එච්. ඉන් එකට ගිහිල්ල බොනව. ලැම්බට් අයිය හක්මණට එහා වලස්ගල. එතකොටත් මයෙ හිතේ අවුරුදු හතළිස් පහක් වගෙ ඇති. ජීවිතෙං අවුරුදු විස්සක් විසිපහක් විතරම ලංකාව පුරහම තියන කච්චේරි දහයක දොළහක විතර වැඩ කරලම මනුස්සය අන්තිමටම හෙම්බත් වෙලයි හිටියෙ. දරු මල්ලො බලන්ට යන්නෙ මාස දෙහෙකට සැරයක්. පඩිය අරගෙන විස්ස විසිදෙක වගෙ ගෙදර ගිහාම ආයෙ එන්නෙ ඊලඟ මාසෙ තුන හතරවත් පහුවෙලා.

"මල්ලිලා කිව්වට විස්වාස කරන එකක් නෑ...මම ගෙදර ගිහාම මගෙ ළමයින්ට නිකං මහ අමුතු දෙයක් වගෙ. කොටින්ම මගෙ බාල කෙල්ල...දැං ඒකිගෙ වයස යන්තමට හතරක්ද පහක්ද කොහෙද... මුල්ම සතියක් හමාරක් විතර මාදිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලනව වගෙ. ඒකිට මාව පුරුදු වෙන්ටයි මට ඒකිව පුරුදු වෙන්ටයි ඔන්න කොහොමත් අඩුම තරමෙ දවස් එක දහයක් දොළහක් විතරවත් යනව...."

ලැම්බට් අයිය අපි එක්ක ඔහොම කිව්වෙ වරක් දෙවරක් නෙවෙයි. ඒත් එහෙම කිව්වෙ දුකකින් කණගාටුවකින් එහෙමනම් නෙවෙයි...හිනාවෙවී..මනුස්සයගෙ හැටි එහෙම තමයි...

"ඒත් වැඩේ කියන්නෙ කෙල්ලට අයියව පුරුදු වෙනකොට අයියට ආයම මෙහෙ එන්ට කාලෙ හරි"

පියතුංගය එහෙම කියල හක හක ගාල හිනාවෙනව. පී.එච්. ඉන් එකේ කෙලවරේම මේසේ ඉඳගෙන තට්ට තනියමම ගල් බාගයක් ගහන කාකි ෂෝටක් ඇඳපු ලංසි පෙනුමක් තියන වයසක අංකල් එක විඩේම ඔලුව උස්සල බලල ආයෙම රවුම් මේසේ උඩ තිබ්බ බාගෙට හිස් වෙච්චි වීදුරුව දිහාට ඔලුව පාත් කර ගත්ත.

සති අන්තෙ සිකුරාද ඔය මධු සාදයෙන් පස්සෙ පියසේනයයි ලැම්බට් අයියයි අනිවාර්යයෙන් යන ගමනක් තියනව. පළුගස්දමන ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහායින් තියෙන තැනකට තමයි ඔය දෙන්න යන්නෙ. ආය ආපහු අපෙ නවාතැනට ඔවුං දෙන්න එන්නෙ සෙනසුරාද දහය එකොළහ වගෙ වෙනකොට…

"ඒයි ජයේ උඹත් යමං බං...ඕක මේ ඔය හැටි සීරියස් හිතන්න ඕන දෙයක් නෙවෙයි බං...ජීවිතේට එහෙම ආතල් එකකුත් තියෙන්න ඕන.."

ලැම්බට් අයිය අනන්ත මා එක්ක එහෙම කියල ඇතිි. ඒත් මට කොහොමවත් එහෙම ගමනක් යන්ට හිත හදාගන්ට බැහැ. සුබා පිළිබඳව සොඳුරු  මතකය කාලාන්තරයක් ගත වෙලත් තවමත්  වරකපිටිය රජමහ විහාරෙ  වස් පිංකම් දා රෑ දොරගමු කන්ද ඒකාලෝක කරගෙන  පිපිරිලා යන මල් වෙඩිල්ලක් වාගෙ දවසකට හත් අට සැරයක් වත් මගේ පපුව පුරා පිපිරිලා සුවඳ හමන එකේ මම කොහොමද එහෙම දේකට හිත හදා ගන්නෙ?

ඒත් ඕනම දෙයක් වෙනස් වන සුළු අවස්ථාවක් අවසානයේදි එළඹෙනවයි කියල කියනවනෙ. එහෙමද ඒත් නැත්නම් ඒ අදාල දිනයෙදි මගේ මධුවිත ගැනීම පමණ ඉක්මවා ගියද කියල මට තව වෙනකලුත් හරියටම කියන්ට අමාරුයි. බොහෝ විට මේ කාරණා දෙකම සම සමව හෝ අඩු වැඩි වශයෙන් බලපාන්ටත් ඇති. කොහොම හරි අන්තිමේ දි සිද්ද වුනේ මම පහුවදා උදේ ඇහැරිනකොට හිටියෙ  නුහුරු නුපුරුදු සයනයක  වැතිරිලා. 

මම එහෙමමම විපිළිසර වෙලා වටපිට බලනකොට නිල්පාට මල් වැටුනු ගවුමක් ඇඳ ගත්තු තරුණියක් හිනාවීගන කාමරේට ආව. 

"ආ මහත්තය නැඟිට්ටද? මම මේ කහට එකක් හදන්ට වතුර ලිපේ තියන්ට ගියා…."

එදා ඉඳල ඒ කියන්නෙ මේ වෙනකොට අවුරුදු තිස් දෙකක් වෙනව. තවමත් වසන්ති මට කතා කරන්නෙ මහත්තය කියල..ඊට පස්සෙ මගෙ ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වුනාද? 

සිරිලාල් කොඩිකාර මහත්තය ලියපු  ස්වයං ලිඛිත චරිතාපදානය එතුමා නම් කලේ "දියවැලක් ඔස්සේ ..." කියල. ඒ පොතේ ප්‍රස්තාවනාවෙ ඒ මහත්තය ලියල තිබ්බ දිය වැලකට අහු උනහම අපිට ඊට විරුද්ධව පීනන්ට බැහැ. ඔහෙ කොයිම වෙලාවක හරි දියවැලේ බලය සහ ශක්තිය හීන වෙලා යනකල් කොහොමින් කොහොමින් හරි ජීවිතේ ආරක්සා කරගෙන දිය වැලත් එක්කම ගහගෙන යන්ට ඉඩ දීල උපේක්ෂා සහගතව බලා ඉන්න එකයි කරන්න තියෙන්නෙ කියල. 

මමත් කවදක හරි මගේ ජීවිත කතාව ලියනවනම් සුදුසුම නම තමයි ඒක. "දිය වැලක් ඔස්සේ..." මොකද මගෙ ජීවිතෙත් එදා ඉඳලම සිද්ධ වුනේ දියවැල්වලට අහුවෙලා මම නොහිතූ පැති වලට ගහගෙන යන එක. මම කලේ එහෙම ගහගෙන යන්ට ඉඩ දීල නිසොල්මන්ව සන්සුන්ව උපෙක්ෂා සහගතව ඒ දිහා බලා ඉඳපු එක..

"ජයසේන මහත්තයට දිසාපතිතුමා එන්න කිව්ව …"

අපේ පියන් නොහොත් කාර්යාල කාර්ය සහායක තැන්පත් තේනබදු අයියා මගේ මේසෙ ළඟට ඇවිල්ල පහත්වෙලා රහසින් වගෙ කිව්ව. 

"හ්ම්ම්ම්ම්.....හරි තේනබදු අයිය.....මම ගිහිල්ල බලන්නම්කො.."

මම එහෙම කියල මම කර කර හිටපු ඉඩම් සංවර්ධන බලපත්‍ර නාම ලේඛණය හැදීමේ වැඩේ නතර කරල  අදාල  ලිපි ගොනුව එහෙම්මම වහල දාල අසුනින් නැඟිට්ට.

"මොකක්ද මහත්තය කේස් එක?"

තේනබදු අයිය ආයෙමත් මගෙ කණට ලංවෙලා ඇහුව. හීං මත්පැන් සුවඳක් හමාගෙන ආව. ඔය වැඩේ ඔෆිස් එකේ කාටවත්ම රහසක් නෙවෙයි. හවස දෙක පහුවෙන කොටම තේනබදු අයිය හැල්මෙ දුවන්නෙ කුසුමක්කගෙ හොර පොට් එකට. ඊට පස්සෙ තුනට ආයම යනව. හතරට වැඩ ඉවර වෙලා යන ගමං ආයමත් කුසුමක්කගෙ සැපදුක් බලල තමයි මනුස්සය ගෙදර යන්නෙ. ගෙදර තිබ්බෙ ඔන්න ඔය උණගලා වෙහෙර දිහාවෙ. දඹුල්ල පාරෙ තියෙන ජයන්තිපුර හන්දියෙන් හැරිල යන්න ඕන තවත් හැතැක්ම හත අටක් විතර.

"මම කොහොමද බං ඒක දන්නෙ?"

මම හිනාවෙලා එහෙම කිව්වට ජී.ඒ. මහත්තය කතා කරන කාරණේ මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය. අපේ ඔෆිස් එකේ ඔය ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් නොහොත් පෞද්ගලිකයි රහසිගතයි වැඩ නෑනෙ. විශේෂයෙන්ම ලැම්බට් අයියගෙ තිබ්බ ඉතාම ප්‍රබල රහස් ඔත්තු ජාලයක් නොහොත් ස්පයි නෙට්වර්ක් එකක්. ඒ රහස් ඔත්තු ජාලය හරහා ලැම්බට් අයියට ඔෆිස් එකේ වෙන දේවල් වගේම ඉස්සරහට වෙන්න යන දේවල් ගැනත් ඉතාව නිරවද්‍ය තොරතුරු අසුරු සැණෙන් ලැබෙනව.

"ජයේ මල්ලි උඹට විරුද්ධව පෙත්සමක් ඇවිල්ල තියනව ජී.ඒ.ට.."

දවස් දෙක තුනකට ඉස්සෙල්ල රෑට කාල මිදුලෙ සේරු ගහ යට පිටපළුවකින් හදපු බංකුවෙ ඉඳගෙන තෝපාවැව දිහායින් හමාගෙන එන හීතල හුළඟින් කමිස රහිත උඩුකය කිළි පොලද්දී ගෝල්ඩ් ලීෆ් එකක් අදින ගමන් ලැම්බට් අයිය මා එක්ක එහෙම කිව්ව....ඒ පෙත්සමේ තියෙන්නෙ මොනවද කියලත්  අකුරක් නෑර ඒ එක්කම මා එක්කල කිව්ව.

ජී.ඒ. මහත්තයගෙ කාර්යාල කාමරේ තිබ්බෙ මම වැඩ කරපු ඉඩම් අංශය තිබුනු තනි තට්ටුවෙ ගොඩනැඟිල්ලෙ නෙවෙයි. යාර තිහක් හතළිහක් වගෙ දුරින් තට්ටු තුනට අලුතින් හදපු ආයත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක තුන්වන තට්ටුවෙ. තුන්වෙනි තට්ටුවට යන්ට සෝපානයක් තිබුනත් මම කවදාවත් ඒ සෝපානය පාවිච්චි කලේ නෑ. තට්ටු තුන හෙමිහිට නැඟල දිසාපති තුමාගෙ ගාම්බීර කාමරේ ඉස්සරහ මම නැවතුනා.  

සුනිල් ගුණසේකර...දිසාපති පොළොන්නරුව... ශ්‍රී ල.ප.සේ.

"ආ..ඉලන්දාරිය..එනව එනව.."

කාමරේ ඇතුලෙන් ජි.ඒ. මහත්තයගෙ ගැඹුරු කටහඬ ඇහුන. මම හිතන්නෙ වවුල් දොර නොහොත් සැලූන් දොර පලු දෙක අස්සෙන් මාව දකින්න ඇති. මම හෙමීට වවුල් දොර පළු දෙක තල්ලු කරගෙන ඇතුලට ගියා.

දිසාපතිතුමා පුටුවෙ හරි බරි ගැහිල ඉඳගෙන බිලියඩ් මේසයක් විතර විසාල මේසෙ ඉස්සරහ තිබ්බ පුටු දිහාට අතක් දික් කරල මට ඉඳගන්ට කියල සංඥා කලා. 

"ස්තූතියි සර්.." මම එහෙම කියල ඉඳගත්ත.

"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."

වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......

පසු සටහන - 

ජීවිතේ අමතක කරන්ට කියල හිතාගෙන හිතේ මුල්ලක සවිකරල තියන පරණ අනවශ්‍ය මතක සේප්පුවෙ දොරගුළු දාල වහල දාපු පැරණි සොඳුරු මතක සටහන් එක සැණෙකින් සේප්පුවෙ අගුළුත් කඩාගෙන දොරත්  බිඳගෙන එළියට ඇවිල්ල අපි ඉස්සරහ සමච්චලේට හිනා වෙවී එහාට මෙහාට සක්මන් කරන්ට පටන් ගන්නව. එහෙම වෙන්ට මහ ලොකු භූමිකම්පාවක් යමහල් විදාරණයක් වගෙ බරපතල සිද්ධියක් වෙන්ටම ඕන නෑ. මේ බොහොම සුළු දෙකයි පණහෙ කේස් එකක් සීන් එකක් හොඳටම ඇති . කොටින්ම වැඩිත් එක්ක.

ආතර් සී. ක්ලාක් මහත්තයගෙ මම කියවපු පළවෙනි පොත "Deep Range"... සිංහල පරිවර්තනය "ගැඹුරු මුහුද" පරිවර්තනය කලේ සිරිල් සී. පෙරේරා මහත්තය.

ඒ කතාවෙ ප්‍රධාන චරිතයෙ නම ප්‍රෑන්ක්ලින්. ප්‍රෑන්ක්ලින් අභ්‍යාවකාශ ගාමියෙක්. සෙනසුරු ග්‍රහයා වෙත ගිය අභ්‍යාවකාශ ගමනකදි යානයෙ අළුත්වැඩියාවකට යානයෙන් පිටතට එන ප්‍රෑන්ක්ලින් යම් අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන අභ්‍යාවකාශයෙ අතරමං වෙනව. 

එහෙම අතරමංවෙලා ඔහුට ඉන්න වෙනව පැය දොළහක වගෙ කාලයක්. ඊට පස්සෙයි ඔහුව බේරාගනු  ලබන්නෙ. මේ සිද්ධිය ඔහුගේ මානසික තත්වයට ඉතාම දැඩිව බලපානව. තමන්ව කවදා බේරාගනීවිද එහෙම නැත්නම් ඔක්සිජන් සැපයුම ඉවරයක් වෙනකල් අනන්ත තරු පිරි අභ්‍යාවකාශෙ පාවෙවී කොච්චරකල් නම් ගෙවන්ට සිද්ද වෙයිද කියල හිතෙනකොට මනුස්සයෙක්ගෙ ඔලුව නරක් උනේ නැත්නම් තමයි පුදුමෙ. 

ප්‍රෑන්ක්ලින්ව බේරගත්තට පස්සෙ ඔහු මේ මානසික අවපාතනයට ඉතාමත්ම දැඩි ආයාසයකින් මුහුණ දීල හිතපාලනය කරගෙන රෝගී තත්වයෙන් මිදෙනව.  පස්සෙ ඔහු අභ්‍යාවකාශගාමී ජීවිතයෙන් සමු අරගෙන කසාදයක් එහෙමත් කරගෙන අවුලක් නැතුව ජීවත් වෙනව. ප්‍රෑන්ක්ලින් කරන්නෙ ඒ අමිහිරි මතකය තමන්ගෙ හිතේ කොනක යතුරු දාල වහල තියල එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ කියල දැඩිවම හිතාගෙන ජීවත්වෙන එක....

ඒත් එක දවසක ඒත් එක දවසක තම පෙම්වතිය එක්ක මුහුදු වෙරළක සිටියදී ඇය වතුර උණු කිරීම පිණිස දල්වන උදුනක ඉන්ධන සුවඳින් ඔහු නැවත වාරයක්  ඒ අමිහිරි අතීතය වෙත බලෙන්ම කැඳවාගෙන යනු ලබනව. එයින් ඔහුගේ මානසික තත්වය යලි අවුල් වෙනව. ඔහු ඒ තත්වයට මුහුණදෙන ආකාරය තමයි පොතේ කථා තේමාව. තමන්ගේම අමිහිරි අතීතය සමඟ යම් එකඟතාවයකට, සමාදානයකට  එළඹීම.... Coping with your own unpleasant past....

ප්‍රෑන්ක්ලින්ට සිද්ධ වුන දේම මටත් සිද්ධ වුනා මේ පහුගිය දවස් හතර පහකට ඉස්සෙල්ල. ඒකට හේතු පාදක වුනේ හැබැයි තීන්ත සුවඳක් එහෙම නෙවෙයි. මුහුණු පොතේ පළවූ ඡායාරූප කීපයක්. මේ දවස්වල මහනුවර නගරය වගේම ඒ තදාසන්න ප්‍රදේශවලත් රබරෝසියා මල් පිපිල. ඔය රබරෝසියා මල් හැම අවුරුද්දෙම පිපෙන්නෙත් නෑ. සමහරවිට අවුරුදු හත අටකට සැරයක් වෙන්න පුලුවන්. එහෙම නුවර නගරය පුරා රබරෝසියා මල් පිපිලා තිබුනු එක්තරා දුර අතීතයේ දවසක  මතක සැමරුම් ගැන තමයි මම මේ ලියන්න ගත්තෙ....

43 comments:

  1. Long lapse but with a totally different story. Hope that all good.

    ReplyDelete
    Replies
    1. සංජීව,

      නෑ..නෑ..කිසිම අවුලක් ප්‍රශ්ණයක් නෑ..ලියන්ට කම්මැලියි මේ දවස්වල මල්ලි...:)

      අනික මෙහෙ මේ දවස්වල සීත කාලෙ..හවස වැඩ ඇරිල ගෙදර ආහම ආයම කම්පියුටරේ ඉස්සරහ ඉඳගන්නව කියන්නෙ මරන්නා වාගෙ..දිනපතා බලන ටෙලි චිත්‍රපට හතර පහ බලන්නෙත් ඇඳට වෙලා පොරවගෙන ටෙලිෆෝන් එකෙන්. ඒකයි හේතුව...වෙන කිසිම දෙයක් නෙවෙයි.

      Thanks Brother for your concern...:)

      Delete
  2. බාග තුන්කාලේ කතා ගණනාවක් තියෙද්දී තවත් එකක් පටන් අරන්. හොඳ කතාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      අඩේ බං මේකත් එහෙම බාගෙට නවත්තපු කතාවක්ම තමයි..අලුත්ම එකක් නෙවෙයි...ජයේගේ සහ සුබාගේ කතාව...:)

      Delete
    2. කුමාර,

      අහ්..ස්තූති කරන්ට අමතක වුනා.

      ගැඹුරු මුහුද කතාවෙ මට වැරදුනු තැනක් පෙන්වා දීම ගැන ස්තූතියි.

      ඔව්..ඔබ හරි..ප්‍රෑන්ක්ලින්ගෙ මතක ආයම අතීතයට ඇදී යන්නෙ ගරාජ් එකේ තීන්ත සුවඳක් නිසා නෙවෙයි ඔහුගේ පෙම්වතිය (ඒ වෙනකොට පෙම්වතියද කියල නම් මට මතක නැහැ) ඉන්ද්‍රා මුහුදු වෙරළකදී ලිපක් දැල්වීමට ගන්නා ඉන්ධන සුවඳක් ආඝ්‍රාණය වීමෙන්. මම ඒ ටික ආයම නිවැරදි ලෙස ලිව්ව.

      ආයමත් ස්තූතියි කුමාර..:)

      Delete
    3. අනන්‍යා ගැනත් හිතන්න මහත්මයා

      Delete
    4. නිමේෂ්,

      ලියන්න ඕන බං ලියන්න ඕන...පමාව ගැන සමාව අයදිමි!

      Delete
  3. මගෙ හතරවරිගෙ කවුරුවත් නුවරට සම්බන්ධයක් නැතිවුණාට මං නුවරට හරි ආදරෙයි. ලංකාවෙ යන්න ආසම තැන මොකද්ද කියලා මගෙන් කවුරුහරි ඇහැව්වොත් නොවැරදීම මගෙ උත්තරේ වෙන්නෙ නුවර. මේ ළඟදිත් ගියා. මේ මල් දැක්කා. ෆොටෝ විතරක් අරං ආපහු ආවා. :(

    අලුත් කතන්දරයක්. ආයෙමත් ජයේයි සුබායි. කමක් නෑ, අපි කියවනවා. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      /මගෙ හතරවරිගෙ කවුරුවත් නුවරට සම්බන්ධයක් නැතිවුණාට මං නුවරට හරි ආදරෙයි. /

      අන්න අර වරුසා ළමයත් එහෙමයි කියල දවසක් මම දැක්ක FB එකේ පෝස්ට් එකක් දාල තියනව. නුවරට පුදුම කැමැත්තක්ලු තියෙන්නෙ...හෙහ්..හෙහ්..

      /අලුත් කතන්දරයක්. ආයෙමත් ජයේයි සුබායි. කමක් නෑ, අපි කියවනවා. :)/

      ජයේගෙයි සුබාගෙයි කතාව අලුත් එකක් වෙන්නෙ කොහොමද අනේ? ඒක මම හා හා පුරා කියල ලියපු කතාවනෙ..මේ ලියන්නෙ ඒකෙම තවත් එක් කොටසක්...:)

      Delete
    2. අපෝ ඔය කන්ද උඩරට පළාත් වලට මගේ නම් ඒ හැටි මනාපයක් නැහැ.ඔය කඳු අස්සේ කැරකෙන කොට මගේ ඔලුවත් කැරකෙනවා වගේ

      Delete
    3. මනෝජ්,

      අර අහවල් දේකටද බං කඳු අස්සෙ කැරකෙන්නෙ? දැං හැම හද්දික්කරාවෙම අධිවේගී මාර්ග හදල තියෙන්නෙ..

      Delete
  4. එතකොට දැං ඔහේ කියන්නෙ අර බාගෙට ඉවර කරල දාල තියෙන කතා ටික අපේ හිතේ මුල්ලක සවිකරල තියන පරණ අනවශ්‍ය මතක සේප්පුවෙ දාල දොරගුළු දාල වහල දාන්න කියලද?

    ReplyDelete
    Replies
    1. Prasanna,


      /එතකොට දැං ඔහේ කියන්නෙ අර බාගෙට ඉවර කරල දාල තියෙන කතා ටික ../

      ආය මඟුලක් කියවනව...බොල වලවෙට්ටුවො මේ ලියන්නෙත් ඒ බාගෙට ඉවරකරල තියන කතාවක්ම තමයි....:)

      Delete
  5. පලමුවෙනි එපිසෝඩ් එකෙන්ම පාඨකයන් කථාවට බැඳගන්න තිබෙන හැකියාව නියමයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      බොහොම ස්තූතියි ඉයන්...:)

      Delete
  6. මේකේ මුල් කොටසක් තියනවද රවී තුමා? මම කියවල නැතුවැති එහෙනම්. ලින්ක් එකක් හම්බුනොත් දාන්නකෝ ඊළඟ පාර.

    කියවන්න ආස හිතෙන අහිංසක කතාවක් වගේ. බලමුකෝ ඉතුරු ටික කොහොම වෙයිද කියල. :)

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      මේක බං මම ලියපු මුල්ම ආදර කතාවෙම තවත් එක කොටසක්... ...හෙහ්..හෙහ්..ජයසේන සන චුට්ටි මැණිකේ නොහොත් සුබාගෙ කතන්දරේ..

      ඒ ගැන මම මීට කලින් ලියපු එව්වයෙ ලින්ක් ඔන්න එහෙනම් පල්ලෙහායින් දැම්ම..ඔබගේ පහසුව උදෙසා නොහොත් For your convenience…

      කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ....... 1

      කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ....... 2

      කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ....... 3

      නූපුර නිහඬවිය…. The Silent Anklet.

      නුඹ කොයිතරම් සුවඳද මගෙ හිත ගාව....

      Delete
    2. අන්න මොලේ ඇති වැඩක් කරල. මේ ලින්ක් නැතුව කොහොමද මේ හුදී ජනයා මේ කතා වල අගමුල ගැටගහගන්නේ?

      Delete
    3. බොහොම ස්තුතියි. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔබතුමා නොලිය හිටියොත් එහෙම, රොබරෝසි මල් ටිකක් ෆේස්බුක් එකේ පේන්න ෂෙයා කරන එක තමයි. lol

      කොහොමත් මම ගෙදර වැඩ කරලා (මේ ටික කියවල) එනකොට, ඔබතුමාට ඉතුරු ටික ලියන්න කල් ඇති වේවි. හෙමින් කියවන්නම් කෝ.

      Delete
  7. අනිත් කෑල්ල ලබන අවුරුද්දෙ මල් පිපෙන කාලෙට තමා ඉතින්.....

    ReplyDelete
    Replies
    1. කසුන්,

      අම්මප උඹත් නර්මාලාප දන්නෙම නෑ නේද?

      Delete
  8. හම්බෝ නුවර නෙහ් ? (ඉයාව්)

    ReplyDelete
    Replies
    1. ලිබිතා,

      ඔහ්..නුවර තමයිහ්...

      Delete
  9. ඔය රබරෝසියා මල්ගස් නුවර පළාතේ විතරක් නෙමේ මේ පහතරට පැත්තෙත් හරියට තියෙනවා මම දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඔව් ගම්පහ කළුතර පැත්තෙත බහුලව තියනව. මල් පිපුනම තමයි හරියටම දැනගන්න පුලුවන් මෙන්න බොලේ මේකත් රබරෝසි ගහක් නෙවද කියල...:)

      Delete
  10. ගැඹුරු මුහුද පොතේ මට මතක giant squid හොයන්න ගිය සබ්මැරීන් එක නැතිවීම විතරයි

    ReplyDelete
    Replies
    1. That was in "Deep Range", right? I'm not sure now

      Delete
    2. Giant squid අල්ලගෙන ආවා. ගැඹුරු මුහුදේ හිටපු මුහුදු සර්පයා හොයාගන්න ගියාම මුහුදු පතුලේ ඇති වුන භූමි කම්පාවක් නිසා බර්ලිගේ සබ්මැරීනය නැතිවුණා.

      Delete
    3. ප්‍රා සහ කුමාර,

      ස්තූතියි ගැඹුරු මුහුද පිළිබඳ මතකය අවදි කලාට..

      අර මහානායක හාමුදුරු කෙනෙක් ඉන්නෙ ගැඹුරු මුහුදෙ නෙවෙයි නේද? මට මතක විදිහට "Fountains Of Paradise" පොතේ වෙන්න ඕන..

      2001 පරිවර්තනයක් මරු. ඒක කලේ එස්.එම්.බන්දුසීල..."Moon Watcher" කියල ක්ලාක් නම් කල ආදි මානවයව ඒකෙ නම් කරල තිබ්බෙ "හඳයා" කියල...

      එස්.එම්. බන්දුසීලම තමයි ඩෙස්මන්ඩ් මොරිස්ගෙ "The Naked Ape" සහ "The Human Zoo" පරිවර්තනය කලෙත්. "නිරුවත් වානරයා" සහ "මනුසත් උයන"

      Delete
  11. මේකෙ අර උද්භිත විද්‍යාත්මක නාමය Tabebuia rosea, තව Roble de Sabana කියල කොස්ටා රිකා වල කියනවලු... සිංහල රොබරෝසියා හැදෙන්න ඇත්තේ ඔය දෙකෙන්ම වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඔව්...මල්ලි ලංකාවට ආවේණික ශාකයක් නොවෙන නිසා එහෙම නම් කරන්න ඇති...

      Delete
  12. දිග හුස්මක් අරන් කියවන්න ගත්ත.. තව පොඩ්ඩෙන් හුස්ම පහලට දාන්න අමතක වෙලා මල ගෙයයි මෙතන. ඉතුරු ටික එනකම් මග බලාගෙන..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හරි බං අද දාන්නම් ඊළඟ කොටස....:)

      Delete
  13. ඔය කච්චේරි කතාව, බාර්එකේ සැඳෑව එහෙම කියවද්දි කලින් ආත්මයකදෝ මන්දා මාර හුරු පුරුදුකමක් දැනුණා

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මේ ආත්මෙ උඹට එහෙම අත්දැකීමක් නැත්නම් අනිවා පහුගිය ආත්මෙ වෙන්න ඇති...:)

      Delete
  14. අර රොබෙරෝසියා ද? ගම්පහ ජයකොඩි වළව්වෙත් තියෙනව ගහක්

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඔව් බං ගම්පහ තියනව ඔය ගස්...

      Delete
  15. Meka bageta liyapu kathawakda? Ane manda, mathakath naha

    ReplyDelete
    Replies
    1. ගීතිකා,

      ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ලිව්වෙ..අන්න මම උඩහ මානවික්ස්ගෙ කමෙන්ට් එකට පිලිතුරු විදිහට කලින් ලියාපු එව්වයෙ ලින්ක්ස් දැම්ම...

      Delete
  16. ආ රවී අය්යා, මතකද දන්නෑ අපිව.. මොකද සෑහෙන කාලෙකින්නෙ...
    ආවගමන් බලන්න හිතුනේ මේක. අපි බැලුවත් නැතත් අය්යා පරන විදිහට පින්තූරෙ ගැන කියලා තියනවා දකිනකොට හරි සතුටුයි...

    ‍රොබරොිසියා පිපුණු දර්ශනයක් කියන්නේ මමත් ආදරය කරන, අතීතයට යන දෙයක්... මං දැකපු දේවලින් හරිම ලස්සන, තාමත් මතක‍ෙයේ නො මැකුණු සිතුවමක්....
    නුවරට මේ තරම් කස්ටිය ආසා වෙනකොට නුවරම අයට කොච්චර සතුටුද:D

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      මොකද බං ආය එහෙමත් අමතක වෙනවද?

      /නුවරට මේ තරම් කස්ටිය ආසා වෙනකොට නුවරම අයට කොච්චර සතුටුද:D/

      මොනවද ලතා මේ කතා...හෙහ්...හෙහ්...

      Delete
  17. ඉතුරු කොටහ කවදාටද ....

    ReplyDelete
  18. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිපෙන රොබරෝසියා මල් ගැන කියවෙන නවකතාවක් පිළිබඳ විස්තරයක් මෙන්න.

    https://www.facebook.com/photo.php?fbid=10157259657468793

    !

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...