පහුගිය දවස්වල ගෙදර පොඩි පේන්ටිං වැඩක් කලා. කොරෝනා පලවෙනි රැල්ලටත් එහෙම ඉස්සරවෙලා.. හරියටම කිව්වොත් පහුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසෙ විතර..
ගෙදරක පදිංචි වෙලා කාලයක් ඉඳල පේන්ටිං කරනව කියන්නෙ තනිකරම වහක්. බඩු එහාට මෙහාට අදින්ට, බිත්ති කපනකොට එන දූවිලි වැටෙන්නෙ නැතිවෙන්ට පරණ බෙඩ් ෂීට් එතකොට පොලිතීන් ගෙනල්ල වහල දාන එක..ඔන්න ඔය වගෙ රාජකාරි මහ හුඟයි...
හරි ඒ ගැන වෙනම දවසක කියන්නං..ඉතිං ඔය පේන්ටිං වැඩේ ඉවර වෙලා අපි දෙන්න එකතු වෙලා ගෙදර ඔය තියන පරණ පෙට්ටි, ලාච්චු එහෙම අස්පස් කරන්ට පටං ගත්ත. තවම ඒ වැඩේ ඉවරයක් නෑ...
ඉතිං ඔහොම අස්පස් කරද්දි හම්බ වුනා මගෙ පළවෙනි ඔර්ලෝසුව. ඒ කිව්වෙ Wrist watch එක නොහොත් අතේ බඳින ඔරලෝසුව. Citizen Automatic Day & Date ... සෙල්ලං නෑ ඒකට දැං වෙනව වයස අඩුම ගානෙ අවුරුදු 39ක් විතර.... ඕක අපෙ අම්ම මට අරන් දුන්නෙ 1982 අවුරුද්දෙ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් වගෙ කාලෙදි.
දෙපාරක් ඒ ලෙවල් කරල වැඩේ සවුත්තු උනහම මම අනුරාධපුර ටෙක්නිකල් එකේ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාවට අයදුම් කලා. ඒකට තේරිලා ලියුම් ආහම අම්මයි මායි නුවර ඇවිල්ල ත්රිකුණාමල වීදියෙ ෆැන්සි හවුස් සාප්පුවෙං තමයි අම්ම මට ඔය ඔරලෝසුව අරන් දුන්නෙ.
ඒ දවස්වල අපෙ පුංචි මාම ඒකිව්වෙ අම්මගෙ බාලම මලය වැඩකලේ කොත්මලේ ප්රොජෙක්ට් එකේ. ස්කන්ස්කා සමාගමේ. මාමට ස්කන්ස්කා එකෙන් ගෙයක් අරන් දීල තිබ්බ ගම්පළ කහටපිටියෙ. අන්න එහෙ ඇවිල්ල දවසක් ඉඳල ආපහු අනුරාධපුරේ යන ගමන් තමයි අම්ම මට ඔය ඔර්ලෝසුව අරන් දුන්නෙ.
අම්ම ඒ කාලෙ ඉඳම්ම බඩු ගන්න කඩ දෙක තුනක් තිබ්බ නුවර. ෆැන්සි හවුස්, සමරසිංහ ඇස් කන්නාඩි සාප්පුව, නාගලිංගම්ස් රත්තරන් බඩු කඩේ සහ පලය කාට්ස් රෙදි කඩේ...
ඉතිං මේ මගෙ සිටිසන් මිත්රය මා එක්ක ටෙක් එකේ ඩ්රාෆ්ට්ස්මන් කෝස් එක කලා. ඊට පස්සෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ ට්රේනිං ගියා. ඊට පස්සෙ සංස්කෘතික ත්රිකෝණයෙ පරණ පංචායතන සංඝාවාසවල එතනින් ගියාම වැසිකිළි සහ කැසිකිළිවල සැළසුම් ඇන්ද. ඊට පස්සෙ මහවැළියෙ වැලිකන්දෙ සහ බකමූණෙ ඇළවල් හැදුව..වැව් හැදුව..පාරවල් හැදුව..මගෙ විවාහය වෙලාවෙත් මා එක්කම හිටිය.කුකුළේ ගඟ ප්රොජෙක්ට් එකේ උමං හෑරුව. ඊටත් පස්සෙ සරසි කන්ස්ට්රක්ෂන්ස් කම්පනි එක නුවර ත්රිත්ව විද්යාලයෙ තට්ටු පහක ගොඩ නැඟිල්ලක් හදද්දි ඒකෙත් මා එක්ක වැඩ කලා.
දවසක් ඒ බිල්ඩිං එක හදද්දි උඩ තට්ටුවක ස්ලැබ් එකට කම්බි බැඳල හරිද කියල බලන්ට නඟිද්දි මෙතුමා මගෙ අතිං ගැලවිල තට්ටු දෙකක් හෝ තුනක් පාතට වැටුන. ඒත් වීදුරුව හීරුණා ඇරෙන්ට වෙන මොකවත්ම වෙලා තිබුනෙ නෑ. එහෙම වැටෙන්ට හේතුව බෙල්ට් එකේ ඇණයක් ගැලවිල.
මම කලේ ඒ වෙලාවෙම නුවර ටවුමට ගිහිල්ල දිනපාල එකට ඔර්ලෝසුව හදන්ට දුන්න. වැඩේට දවසක් දෙකක් යයි කිව්වම එතනිම්ම කැසියෝ අත් ඔර්ලෝසුවක් ගත්ත. දවස් දෙකකින් මට පරණ ඔර්ලෝසුව හම්බවුනාට එතනිං පස්සෙ මම වැඩිපුරම පාවිච්චි කලේ අලුතින් ගත්තු ඔර්ලෝසුව. ඒකට හේතුව මේ පරණ ඔටෝමැටික් ඔර්ලෝසු සෑහෙන්න බරයි. එක පාරක් මට මතකයි මම ඔය කොහෙදිද ඉලෙක්ට්රොනික් තරාදියක මේක කිරුව ග්රෑම් අසූපහක්ද කොහෙද තිබ්බ.
ඉතිං ඔන්න ඔහොම එදයිං පස්සෙ මේ ඔර්ලෝසුව මම පාවිච්චි කලේ ඉඳහිට වගෙ...ඒත් මම හිතාගෙන ඉන්නෙ මේ කොරෝනා කේස් එහෙම එකලාසයක් උනහම නුවර දිනපාල එකට මේක අරගෙන ගිහිල්ල ෆුල් රෙපයාර් එකක් දීල හදල ගන්ට.ටිකක් බරනම් වැඩියි තමයි . ඒත් එහෙම කියල පරණ මිත්රයො අතෑරල දානට පුලුවනිය? නැද්ද හොඳයි?
ආ..මේ..මේ යන්ට එපල්ල..පොඩ්ඩක් හෝව් පලියකුත් තියෙනව...
පලි - විජේ දන්නව නේද? නෑ..නෑ..අර කුවේණිට කොක්ක ගහල ඒ අහිංසක අම්මණ්ඩිගෙං ගන්ට පුලුවං උදව් ඔක්කොම අරගෙන අන්තිමට රටත් ලියවගෙන ඊට පස්සෙ පස්චාත් බාගයට පයිං ගහල එලවල දාපු නරුමය ගැන නෙවෙයි මම මේ කියන්නෙ...CBK ගෙ හස්බන්ඩ්...
අන්න ඒ විජේ පාවිච්චි කලෙත් මේ ජාතියෙම ඔර්ලෝසුවක්..මම ඒ කාලෙ කයිය ගහනව "අඩෝ බලපං මේ ජාතියෙම ඔරලෝසුවක් තමයි විජේ දාන්නෙත්..." කියල..ඒ සීන් එක මම දැනගත්තෙ ඒ කාලෙ තිබ්බ සරසි කියල සිනමා පත්තරයක් ඕකෙ එක පාරක් මුල පිටුවෙ විජේගෙ ෆොටෝ එකක් දාල තිබ්බ අතේ බැඳල තිබ්බෙ ඔය මගෙ ජාතියෙම ඔරලෝසුවක්..
ආ..තව එකක්... 1982 අවුරුද්දෙ ඔය ඔරලෝසුව රුපියල් 800/= ක් වුනා. ඒ කාලෙ හැටියට ලොකු ගාණක්. 1984 අවුරුද්දෙ මහවැලියෙ මගෙ ඉස්සොරෝම වැටුප රු. 940/=
1982 සැප්තැම්බර් 19 වෙනිදා ද දන්නෙත් නැහැ ඒක අරං දීලා තියෙන්නේ.
ReplyDeleteඔය ඔරලෝසුව මාත් දැකලා තියෙනවා මයේ හිතේ.
අපේ තාත්තා කැමති ම සීකෝ 5 ඩේ අන්ඩ් ඩේට් ඔටෝමැටික්. මතකනේ මං වරක් වාසනාට රටින් ම එකක් ගෙන්නා ගත්තා. ස්ක්‍රැච් පෲෆ්, අර පෲෆ්, මේ පෲෆ් කියලා තිබුණාට මොකද අනේ ඔය වගේම කම්බි ගොඩක ගිහින් වද්දගෙන වීදුරුව කැඩුණා. ඒක ගෙන්නා ගත්තාට පස්සේ මටත් ඒකේ ම ලේඩිස් වර්ෂන් එකක් විමලධර්මෙන් ගත්තා. දවසක් ඕක දාගෙන මං එනකොට මෙයා ආවා වොල්ටි බයික් එකක මාව මගින් ගන්න. ඒකක ගිහින් ම නැහැ මං කලින්. මං වාඩි වෙලා, බෑග් ටික අපි දෙන්නා මැදින් තියාගෙන, හරි යං කිව්වා. මෙයා හරවලා ගත්තා, මං මූනින්තලා බිම. සීට් එක රවුම්නේ. රූටලා ගිහින් වැටිලා. ඔරලෝසුව පොඩ්ඩක් හීරිලා, බෙල්ට් එක කැඩුණා. වෙලාව නතර වුණා. හදලා ගෙනාවා ගත්ත තැනිම් ම. දැන් කොච්චර හොඳට දුවනවා ද කිව්වොත් පැයට විනාඩි 80ක් විතර දාලා දෙන්න පුලුවන්. :(
සමරසිංහ සාප්පුවක් කොටුවෙත් තියෙනවා. ඒකෙන් තමයි අපි මුලින් ම කණ්නාඩි හැදුවේ ඉස්කෝලේ යන කාලේ.
Randil,
Deleteඒකෙ බිල බැලුවනම් ගත්ත දිනේ හොයාගන්න තිබ්බ....ඔය පරණ ලියකියවිලි ඔක්කොම අම්ම පරිස්සම් කරල තියාගන්නව..මහගෙදර පරණ ලාච්චුවක කොහෙ හරි ඇති ආය දෙකක් නෑ...:)
සමරසිංහ කොළඹ බ්‍රාන්ච් එකකුත් තියනව. ඒත් නුවර තමයි ඒගොල්ලගෙ මූලාරම්භය..
මම ඉස්සෙල්ලම කණ්නාඩි ගත්තෙ ඇල්බට් එදිරිසිංහ එකෙන්..ආනන්දෙට පොඩ්ඩක් එහා මරදාන පැත්තට වෙන්න තිබ්බෙ සාප්පුව...
සන්තෝසයි කතාවත් කියවන්න ලැබුණට.. වෙන මුකුත් කියන්නේ නෑ
ReplyDeleteකුෂ්,
Deleteඔබටත් ස්තූතියි බොහොමත්ම... :)
දැන් අත් ඔර්ලෝසු මාල, කරාබු, බ්‍රේස්ලට් වගේ ෆැශන් ආභරණයක් විතරයි. එලියට යන හැමදාම දාන්නෙත් නෑ. වෙලාව බැලෙන්නෙ ෆෝන් එකෙන්.
ReplyDeleteරන්ටැඹේ කලෙත් ස්කන්ස්කා එකෙන්ද?
එතකොට වික්ටෝරියානම් වෙනස්නෙ. දිගන ගෙවල් බ්‍රිටිශ් ද?
ප්‍රා,
Deleteමටනම් ඔරලෝසුවයි, බෙල්ට් එකයි පර්ස් එකයි ලේන්සුවයි නැත්තං නිකං ඒ ගමන නොගියා වගේ..:)
රන්ටැඹේ සහ රන්දෙණිගල දෙකම හැදුවෙ ජර්මන් සමාගම් දෙකක්..මට නම් මතක නෑ දැන්..හැබැයි නිල වශයෙන් මේන් කන්ට්‍රැක්ටර් විදිහට හිටියෙ ඒ ගොල්ල ලංකාවෙ ලියාපදිංචි කරපු සමාගම් දෙකක්..R.C.C. ( Randenigala Civil Contractors ) සහ J.V.R. ( Joint Venture Rantambe )
ආධාර දුන්නු රටේ සමාගම් තමයි වැඩේ කලෙත්..
කොත්මලේ - ස්වීඩන් - ස්කන්ස්කා
වික්ටෝරියා - බ්‍රිතාන්‍යය - බී.බී.එන්..
රන්ටැඹේ සහ රන්දෙණිගල - ජර්මනිය - ජර්මන් සමාගම් දෙකක්
මාදුරුඔය - කැනඩා - FAFJ
දිගන ගෙවල් කියන්නෙ දිගන විලේජ් එකේ ගෙවල්ද? එව්ව නම් වික්ටෝරියා ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු සුද්දන්ට නවතින්න හදපු ගෙවල්..වැඩේ ඉවර උනාට පස්සෙ එව්ව විකුණුව..සමහර එව්ව එක එක ලොක්කො අයිති කරගත්ත..
කොත්මලේ සහ කුකුළේගඟ නම් ස්කන්ස්කා ස්ටාෆ් එක හිටපු ගෙවල් පස්සෙ හෝටල් සංස්ථාවට පවරගෙන Resort විදිහට කරගෙන ගියා..Kotmale Resort & Kukuleganga Resort...වර්තමාන තත්වය නම් නොදනිමි..
සීකෝ එකක් ඇත දැනටත් මේසෙ මත
ReplyDeleteඒකෙත් බරක් ඇත, පෙළුවා මගේ අත
නොදා ඉන්නකොට සුව වුණු නිසා අත
බර නැති එකකි දැන් සරසන්නේ වමත
Nimal,
Deleteමගෙ යාලුවෙක් හිටිය ඇවිදිනකොට එහෙම වම් පැත්ත පොඩ්ඩක් පාත්වෙලා කියල හොඳට පේනව.."යකෝ මොකද බං ඔය? උඹේ දුනු බැහැලද?" අපි එහෙම අහල හිනා වෙනව..
කොහොමහරි දොස්තරලටත් හොයා ගන්න බැරි උනා ලෙඩේ..අන්තිමට මිනිහගෙ මැණික් කටුවෙ තුවාලයක් වෙලා ඔරලෝසුව දාන්න බැරුව හිටිය සති දෙකක් විතර..මෙන්න බොලේ අර පාත් වෙච්චි වම් පැත්ත ගානට බැලන්ස් වුනා..
ඊට පස්සෙ මිනිහ ඔර්ලෝසු දැම්මෙම නෑ..දුනු බැහැපු ලෙඩේ එතනිං ඉවරයි..මිනිහ කලිං දැම්මෙ තාත්තගෙං උරුම වෙච්චි දඩ මොන්ඩියා එකක්.. :)
ලස්සන මතකයක්.
ReplyDeleteඔය රවි කියලා තියෙනවා වගේ අම්මලා පුරුදු වෙලා තියෙන සාප්පු වලට ගියාම ඒගොල්ලන්ට මාර සැලකිලි නේද. ඔයවගේ පාරිභෝගික-වෙළඳ සම්භන්ධතාවයේ extreme case එකක් මෙහෙ බැංකුවක (හෝ මූල්‍ය ආයතනයක) අවුරුදු කීපෙකට කලින් වුනු මුදල් වංචාවක් ගැන කරපු ටීවී වැඩසටහනක කතා කලා. එක් කාන්තාවක් තමන්ගෙ official credit card එක shopping සදහා පාවිච්චි කරනවා. ඇය යන්නෙම Witchery, Paspaley වගේ luxury stores වලට. ඇයට ඒ බඩු පාවිච්චි කරන්න කිසිම ඕනෙ කමක් නැහැ, ඒවා පෙට්ටිවල දාපු දාපු ගමන් ඇගේ කාර්යාල කාමරයේ ගොඩ ගහලා. ඇය කියනවා ඒ වගේ shops වලට ගියාම ඇයට ලැබෙන විශේෂ සැලකිල්ලට ඇය ඇබ්බැහි වුනා කියලා. ඇයගෙ රුචි අරුචිකම් වලට සවන් දෙමින් කෙනෙක් ඇයට බඩු තෝරන්න උදව් කරන එක, හිතෙන හිතෙන දේවල් මිලදී ගන්න ඇයට සල්ලි තියෙනවා කියලා ඔවුන් හිතන නිසා ඇයට ලැබෙන අභිමානය නැතිවම බැරි තත්වෙට ගිහිල්ලා ඔෆිස් එකෙන් ඉන්වෙස්ටිගේට් කරලා පොලිසියෙන් කේස් එක අල්ලනකන්ම ඇය ස්වයං මෝහනයක තමයි ඉඳලා තියෙන්නෙ.
ඒක මුදල් වංචාවක් ම නෙමෙයි නේ ද? අක්‍රමික ලෙස ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතයක් නේ ද?
Deleteරන්දිල්: it's a misappropriation of funds. මම පරිවර්තනය කලේ මුදල් වංචාවක් කියලා- දල වශයෙන්. ඔයා කියන එක හරි.
DeleteLotus,
Delete/ඔය රවි කියලා තියෙනවා වගේ අම්මලා පුරුදු වෙලා තියෙන සාප්පු වලට ගියාම ඒගොල්ලන්ට මාර සැලකිලි නේද./
හප්පා කියල වැඩක් නෑ..ඔය ෆැන්සි හවුස් එතකොට නාගලිංගම්ස් එකට එහෙම ගියාම අම්මට ඇවිල්ල කතා කරන්නෙ කෙලින්ම එව්වයෙ අයිතිකාරයා...නාගලිංගම් කාරය අම්මට කියන්නෙ "මයි ගුඩ් ලේඩි" කියල..හෙහ්..හෙහ්..
ගෝලයෙක් යවල ෂෝට් ඊට්ස් මොනව හරි එතකොට හොඳ ටී එකක් එහෙමත් ගෙන්නල දෙනව අනිවාර්යයෙන්ම..අම්ම නුවර එන්.ටී.එස්. එකේ ඉන්න කාලෙ ඉඳලම ඒ කියන්නෙ 56 විතර ඉඳල..එතනින්ම තමයි බඩු හදවල තියෙන්නෙ... :)
Lotus,
Deleteඔෆීෂියල් ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ විශේෂයෙන්ම රාජකාරි ගමනකදි දරන්ට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් කරන්ට..ම්ම්ම්..එහෙම බලනකොට රජයේ මුදල් තම පෞද්ගලික මිළදී ගැනීම් වලට යෙදෙව්ව කියන්නෙ මූල්‍ය වංචාවක් කියලත් කිව්වැහැකි කියලයි මට හිතෙන්නෙ..:)
මගුල් මේසෙන් කුකුළ පන්නනකොටත් ඕක ඔහේගෙ අතේ තිබුණද?
ReplyDeleteආං ඒක තමයි අහන්ඩම ඕනෙ ප්‍රශ්නෙ
DeletePrasanna & Drackey,
Deleteආය මොනවද? තිබ්බ..තිබ්බ...අනිවාර්යයෙන් තිබ්බ...:)
මගෙත් තියෙනව සිටිසන් ඔටෝමැටික් එකක්. යාලුවෙක් දුන්නෙ. තාම වැඩ. ඔව්ව හදවද්දි විශ්වාසය ඉතාම වැදගත් විමලර්ම එකෙත් ඉන්නව පල් හොරෙක්. දවසක් මගෙ සීකෝ 5 එක හදන්න අරං ගියාම ඌ කම්පැනියට දාන්නැතුව ඌම හදල දෙන්නං කියල කඩල දුන්න.
ReplyDeleteඔය ඔටෝමැටික් මෙටල් බෙල්ට් ඔරලෝසුව ගෙදර ඇවිත් ගලවද්දි, දෙපැත්තෙ, පටිය හයි වෙන බාර් දෙක හොඳට ලේන්සුවකිං පිහදාන්ඩ ඕනෙ දාඩිය යන්ඩ. අනික් ටික ස්ටේන්ලස් ස්ටීල් වුනාට ඔය කියපු බාර් දෙක පොඩ්ඩක් දිරුවහම තමයි ගැළවිල බිමට වැටෙන්නෙ. බාර් එක රුපියල් දහයයි. ඔරලෝසුව 15,000/- ක් විතර වටිනව.
Drackey,
Delete/අනික් ටික ස්ටේන්ලස් ස්ටීල් වුනාට ඔය කියපු බාර් දෙක පොඩ්ඩක් දිරුවහම තමයි ගැළවිල බිමට වැටෙන්නෙ./
හරියටම හරි..මගෙත් ඔර්ලෝසුව ගැලවිල වැටුනෙ අන්න ඒ බාර් එක කැඩිල තමයි...
බාර් එක කැඩුනෙත් බාර් එක ළඟදි වෙන්නැ මයෙ හිතේ.
Deleteඅපේ ගෙදර තියෙනවා කැමරා පරිස්සමට තියන ඩ්‍රයි බොක්ස් එකක්. ඒක ගනිද්දි ඒ මනුස්සයා කිව්වා මේ වගේ ඔරලෝසු ඒකේ දාලා තියන්න කියලා. එදා ඉඳන් මං ඔරලෝසු ඒකේ දාලා තියෙන්නේ. කැමරා නම් ඔය කොහේ හරි තියා ගන්න බැරියෑ
Deleteමටත් තියනව ඔරලෝසු කතාවක්. වහාම ලියන්න ඕනේ
ReplyDeleteAjitha Kesakambala,
Deleteඅන්න හරි වහාම ලියන්න..වහාම..වහාම...ඉස ගිණිගත්තකු එගිනි නිවනසේ...ඔය ගැම්මටම ලිව්වෙ නැත්තං ඕක කවදාවත් ලියවෙන්නෙ නෑ...පළමෝත අත්දැකීම්..පළමෝත අත්දැකීම්...
Firsthand experiences කියන එකට සිංහලෙන් පළමෝත අත්දැකීම් කියන වචනෙ හැදුවෙ ටැබූ සබ්ජෙක්ට්ස්..ටැබූ මතකයි නේද?
Aurudu gaanakin liyumak kiyeuwaa.... Parana baduth Raththaran lu... yaaluwo wagema...
ReplyDeleteඅපූරුයිනෙ
ReplyDelete