Thursday, October 17, 2013

224. කවිකාරියකගේ ප්‍රේමය…..12


Image - Flickr.com


" හරි සරත් දැං කියාපං උඹ කියන්ට ආව හරි වැඩේ මොකද්ද කියල? " 


" අයියෙ විජිත......" 

" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? " 

" විජිත බොන්ට පටන් ගෙන.... "

" නෑහ්හ්හ්හ්!!! ..." 


අපි දෙතුං දෙනාටම එහෙම කියවුනෙ එක පාරටම...මල කෙලියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි කිව්වලු… 

" මොකෝ බං ඒ හිටපු ගමම්ම? මට මේ කතාව විස්වාස කරන්ටත් තරම අමාරුයි. " 

" අර ටීචර්ගෙ වැඩේ කෙල වෙලා ගිහිල්ල... විජිත පිස්ස වගේ දැං....දවල්ටත් බොනවලු. ලොක්ක වෝනිං ලෙටර් එකකුත් ගහල " 


ඒ දවස්වල අපේ තිබ්බ චක්‍රලේඛයක්...මත්පැන් පානය කිරීමේ කාල වේලාවන් සහ ඒ නියමිත ප්‍රමිතීන් සඳහන් කරල. ඒකෙ විදිහට උදේ අටේ ඉඳල දහය වෙනකල් බොන්ට පුලුවන් Upto 6% Alcohol by volume විතරයි. ඒ කිව්වෙ ඔය ස්ටවුට් බියර් වගෙ එව්ව. දහයෙ ඉඳල දොලහ වෙනකල් Below 30% Alcohol by volume මධ්‍යාහ්න දොලහට පස්සෙ නෝ ලිමිට්...ඔය නීතිරීති කඩකෙරුවොත් කිරිමෙල් කේස් එකක් තමයි. 

අනික් කාරණේ ඔය ජීවිතේට බීල නැතුව බූට් පාරක් කාල එහෙම බොන්ට පටන් ගන්නව නේද? ආය නෑ ඉවරෙටම ඉවරයි..එල්ලම් මුඩිංජි...සුගතං මතකයි නේ?...අර බීරි පෙණහැල්ලෙ...ඒක තමයි මම ඔය නිතරම කියන්නෙ ජීවිතේ කොරන්ට තියන එව්ව ඔක්කොම නියමිත කාලෙට කෙරුවම කිසි අවුලක් නෑ. විප්‍රයෝගය විඳින එකත් එහෙමයි. ඒ පන්නරය ලැබුනට පස්සෙ ආයෙ නෝ හෙල්ලුං පොල් මැල්ලුං...හරි එව්වයිං වැඩක් නෑ..කතාවට එමු ආපහු. 

" මේ අහිංසකය නැතිවෙන්ටයි යන්නෙ.." විමලෙගෙ ඇස් දෙකේ තිබ්බෙ ලොකු දුකක්. 

" ඉතිං මොකද අර කෙල්ල මූට කණුව තියල තියෙන්නෙ? " ජයේ ඇහුව.. 

" දන්නෙ නෑ අයියෙ..ඇහුවට විජිත කියන්නෙ නැතිලු. ඔය කෙල්ල තරහ උනයි කියලත් කට්ටිය දැනගෙන තියෙන්නෙ දවසක් රෑ බිල අඬ අඬ ඔය විස්තරේ කියාපු නිසාලු. ධර්මෙ එක්ක කියල තියෙන්නෙ. " 

ධර්මෙ කියන්නෙ විජිතගෙ කුටි සගයා. 

" ම්ම්..එතකොට මොකක්ද දන්නෙ නෑ නේද හේතුව? " 

ජයේ මගෙ මූණ දිහාවෙ බැලුව..උගෙ බැල්මෙන්ම කිව්වැකි මොකක්ද හේතුව කියල ටක්කෙටම ඌ දන්නවයි කියල. ඒ එක්කම ඒ හේතුව මම දන්නවයි කියලත් ඌ දන්නව.මම උගෙ මූන දිහා ටිකක් වෙලා බලාන ඉඳල දිග හුස්මක් පාතට හෙලල අහක බලා ගත්ත. 

අපේ පාඨමාලාව මාස තුනක්...කොහොමින් කොහොමින් හරි ඔන්න මාස තුනකුත් ඉවර වෙන්ට ආව.නිශාන්තිට " එහෙනං ළමයා.අපි ගිහිල්ල එන්නම් " කියල මම කිව්ව. 

ආය අවුරුද්දකිං ආපහු එන්ට ඕන මේ පාඨමාලාවෙම දෙවන පියවර නොහොත් ෆේස් ටූ කරන්ට. ඒ එනකොට ඉතිං නිශාන්ති ඉඳියිද දන්නෙත් නෑ. " මම ලියුම් එවන්නං " නිශාන්ති මට කිව. " හා...එවන්නකො " මම කිව්ව. 

ලියුම් නං ඔහෙ එකක්ද දෙකක්ද එවල තිබ්බ. මම උත්තරත් යැව්ව. ඒත් එතනිං එහාට ඒ සම්බන්ධය දියාරු වෙලා ගිහිල්ල ස්වාභාවික සහ තර්කානුකූල අවසානයකට පැමිණියා. හරි ඒ අනාගත කතා පස්සෙ කියමු. 

ඉතිං අපි ආපහු ඇවිල්ල සේවයට වාර්තා කලා. එදා හවස අපෙ අනික් එවුං සංවිදානය කලා අපට පිළිගැනීමේ සාදයක්. කෝස් එකේ විස්තර කියල ඉවරයක් නෑ උංට.කොහොමිං කොහොමිං හරි විජිතය නෑ හිටියෙ පේන්ට. මම හිතුවෙ අපි ආවය කිව්වම මනුස්සය දුවගෙන ඒවිය කියල සුජා එක්ක සම්බන්දෙට උනේ මොකක්ද කියල මා එක්කලා කියන්ට. 

ධර්මසේන මතකද? විජිතගෙ රූම් මේට්...මිනිහ බොන්නෙ නෑ. ඒත් අපි අපහු ආපු ආරංචියට හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට මිනිහ පාටියට ඇවිල්ල හිටිය. අන්තිමට ඔන්න කොහොම හරි මම ධර්මය ගාවට කිට්ටු උනා. 

" ධර්මෙ…" 

" ආ ..වීරෙ ඉතිං ?.." 

" කෝ බං විජිතය?..." 


" ඒකනෙ මචං බලාපංකො මේ මනුස්සය කෙලින පිස්සු....දැං සති දෙකක් විතර ඌ ආගිය අතක් නෑ.." 

" මොකක්? ආගිය අතක් නෑ?...මේ මුංගෙ සද්දෙ අස්සෙ මෙලොව දෙයක් ඇහෙන්නෙ නෑනෙ..වරෙං ධර්මෙ අපි මගෙ කාමරේට යමු...." 


වීදුරුවට තව එකක් දාගෙනම මම ධර්මය එක්ක මගෙ කාමරේට ගියා.කාමරේ දොර වහල මම ඇඳේ ඉඳගත්ත. 

" ධර්මෙ ඉඳගනිං …" 

මම මගෙ ලියන මේසෙ පුටුව පෙන්නුවා. 

" ඉතිං මට කියාපංකො විස්තරේ මුල ඉඳලම.." 

" මමත් හරියකට දන්නෙ නෑ මචං..උඹ දන්නවනෙ විජිතය එච්චරම ඕපන් පොරක් නෙවෙයිනෙ.මගෙ රූමා උනාට ඌ මටවත් හරියට විස්තරයක් කියන්නෙ නෑ. ඔය සුජාතා එක්ක සම්බන්දෙ උනත් මම දන්නෙ අනික් හැමෝම දන්න ටික තමයි. ඒත් මේ පහුගිය මාස දෙහෙක විතර ඉඳල මිනිහ හරියට වෙනස් උනා. ජීවිතේම එපා වෙලා වගෙ උන්නෙ.මම ඇහුවට කිසි දෙයක් කිව්වෙ නෑ." 

වචනයක්වත් කතා නොකර මම ධර්මයගෙ කට දිහාවෙ බලං හිටිය. 

" අන්තිමට දැං මාසයකට වගෙ උඩ ඉඳල බොන්ටත් පටං ගත්ත. කාමරේ බෝතලයක් තියාගෙන හොරාට බොනව. ඒ කරල රෑට කන්නෙත් නැතුව බුදිය ගන්නව.එහෙම කරල ටික දවසකිං දවල්ටත් බොන්ට පටන් ගත්ත. පස් සෙ දවසක් බීල ඔෆිස් එකේදි ලොක්කට අතටම අහුවෙල වෝනිං ලෙටර් එකකුත් ගැහුව...මොන? වෝනිං ලෙටර් ගැහුවට ඌට වගේ වගක් නෑ..අලකොලේට වතුර දාන්න වගෙ.....ඌ දිගටම බිව්ව. " 

හප්පච්චියේ...මේසෙ උඩ තිබ්බ අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවල තිබ්බ ෂොට් එක මම එක උගුරට ගසල ඇරිය. ඇයි දෙයියෝ සාක්කි..මෙව්ව ඇහෙන කොට නොබී කොහොමද? 

විජිතය මතකනෙ ඉස්සොරෝම අර කෙල්ලට යවන්ට ඌට කවි ලියල දෙන්ටෙයි කියල හා එහෙනං බෝතලයක් අරං වරෙංය කියල අපි කිව්වම ඇඹරි ඇඹරි ඕකා කිව්ව දේ... 

" නෑ අයියෙ මම අරක්කු ගත්තයි කියල ලොක්කට ආරංචි උනොත් කියලයි මම මේ....." 

ක්ලබ් එකෙං අරක්කු ගත්තය කියල ලොක්කට ආරංචි වෙනවට බයේ එහෙ මෙහෙ ඇඹරිච්චි එකා...බීල ඔෆිස් යන්ටත් පටං අරං...ඇඳේ එහෙමම ඉඳගෙන ඔලුවෙ අත් දෙකත් ගහගෙන මම එහෙම්මම කල්පනා කරන්ට ගත්ත. 

යකෝ මේ අගේට හිටිය කොලුවට මෙහෙම වෙච්චි එකට මමත් සුට්ටක් හරි වග කියන්ට ඕනද? ඒ කොහොමද? උඹ බලෙං ඌට කවි ලියල දුන්නෙ නෑනෙ. විජිතයමයි කැමැත්තෙං උඹට කියල කවි ලියව ගත්තෙ.මගෙ හිතම දෙපැත්තකට බෙදිල තර්ක කරන්ට ගත්ත. අනික උඹ කිව්වනෙ විජිතයට මේ වැඩේ හරි නැත. ඒ ගෑණු ළමයට පුළුවන් ඉක්මනින් මේ ගැන ඇත්ත කියන්ටෙයි කියල. ඌ එහෙම නොකරට උඹ මොනව කරන්ටද? 

පොඩි කාලෙ ...ඇත්තම කියනවනං පොඩි කාලෙ විතරක්ම නෙවෙයි මේ අදටත් මගෙ ප්‍රියතම චිත්‍ර කථා පොත් පෙලක් ටිං ටිං ගේ කථා. ටිං ටිං ගෙ බල්ලගෙ නම ස්නෝවි.දවසක් මට මතක විදිහට Land of Black Gold කතාවෙ වෙන්න ඕන. මොකක් හරි හදිසි පණිවිඩයක් ටිං ටිං ට අරං යද්දි ස්නෝවිට හම්බ වෙනව මස් කට්ටක්. පණිවිඩේ අරං යන එක පැත්තක දාල මස් කට්ට කනවද නැත්තං බාර වෙච්චි රාජකාරිය කරනවද කියල ස්නෝවිට හරිම දෙගිඩියාවක්. ස්නෝවිගෙ හිතේ ඉන්න යක්සයයි දේව දූතයයි දෙපැත්තට බෙදිල තර්ක කරනව. ඒත් අන්තිමට දේව දූතයගෙ බහට නැමිල ස්නෝවි මස් කට්ට පැත්තක දාල අර පණිවිඩේ අරගෙන යනව. අන්න ඒ වගෙයි මගෙ හිතත් දෙපැත්තට බෙදිල ඒ වෙලාවෙ තර්ක කලේ. 




කොහොම හරි අන්තිමට මගෙ වරදක් නෑය කියල මම හිත හදාගත්ත. 

පහුවදා ඔෆිස් එකට ගිහාම මට ලියුං දෙකක්ම තිබ්බ. ඒ වෙනකොට මට ලියුං එව්වෙ බොහෝවිට අම්ම විතරමයි. හාව හඳ දකින්න වගෙ වසන්තයගෙන් ලියුමක් තිබ්බ ඉඳහිටලා.චුට්ටිගෙ කේස් එක නිසා ( ආදර නිල් දෑසේ ......අන්න ඒ කතාව ) අපි අතර ආශ්‍රයට කිසිම බාධාවක් නොවුනට ඌ කොහොමත් කලිං ඉඳලම එහෙම තමයි.ලියුමක් ලියන්නෙ නෑ මැරූ කොට හෙහ්...හෙහ්, 

මේ ලියුං දෙකේම ඇඩ්‍රස් එක ටයිප් කරලයි තිබුණෙ.කවුද යකෝ රාජකාරි ලියුමක් ඇරුනම ඇඩ්‍රස් එක ටයිප් කරල එවන්නෙ? ඔහොම හිත හිත මම ලොක්ක හම්බවෙලා අපේ පාඨමාලාවෙ විස්තරත් එයයි එක්ක කතා කරල පැයක් හමාරක් ඔෆිස් එකේ ඔහෙ එහෙ මෙහෙ වෙවී ඉඳල දහයට වගෙ ක්වාටර්ස් එකට ආව. අනික් එවුන් ඔක්කොම වැඩට ගිහිල්ල. සැමිය ගිනි කාගෙන කුස්සියෙ උයනව. 

" මොනවද බං දවල්ට? " එහෙම අහගෙන මම කුස්සිය පැත්තෙ පස්ස දොරෙම්ම ගෙට ඇතුල් උනා. 

" අද නං මහත්තයගෙ වෙලාව. ලූලෙක් හම්බ උනා…." සැමිය දන්නව ලූලා වනාහී මගෙ ප්‍රියතම බෝජනයක් කියල.. 

ඒ අහල පහල ජලාස වලින් අල්ලන වැව් මාලු පුෂ් බයිසිකලේ පෙට්ටියක් බැඳගෙන ගම්වල මිනිස්සු අපේ කෑම්ප් එකට අරගෙන එනව. බොහෝවිට තිලාපියො.තිලාපිය බැදල ගත්තම අප්පට සිරි බත මරන්ට පුලුවනි.ඒ වගේම තමයි වැව් මාළු කරවල..අන්න කෑම. මේ චිකන්, බිකන් මොන කෙහෙල්මලක්ද? කියල හිතෙන්නෙ එව්වයෙ රහ මතක් වෙනකොට. ඒත් ඔය ඔක්කොටම හපනි ලූලා. අනික සැමී හදනව ලූලා ටිකක් විතර පහේ අත වැඩියෙං දාල හිඳෙන්ටම ඇරල යාන්තමට ඉසම තියෙනව නෑ වගෙ ගානට... අනෙ අම්මාපල්ල කියල වැඩක් නෑ කාලම බලන්ට ඕන... 

" අහ්..නියමයි අද දවල්ට එහෙනං කෑමට පෙර සුට්ටං එකක් නවාගන්ටත් ඇහැකි. ඊයෙ බඩු ඉතුරුයි මම හිතන්නෙ. අනික මට හවස වැඩකුත් නෑ.." 

මම ලිපේ ලූල් මාලුවට එබිල බැලුව.. 

" කොල්ලො හොඳ එකා වගෙ මට කහට එකක් හදාගෙන වරෙං…" 

" මහත්තෙය..උදේ මුං කිරිබත් හදාපුව ඉතුරු වෙලා තියනව..බෙදල ගේන්ටද පිඟානකට? " 

" එපා කොල්ලො..දැං ඕන නෑ..කහට එකක් හදහං ඒ ඇති." 


ඒ එක්කම ඉහළගෙදර ගොඩ උනා කුස්සියට. ඉහළගෙදර කිව්වෙ අල්ලපු චමරියෙ ගෝලය.අපේ ගෝලය ( දුහුණන් දැනුම් උදෙසා...ගෝලයා = ඉවුම් පිහුම් කටයුතුහි යෙදෙන සේවකයා, චමරිය = නිල නිවාසය ) සැමියගෙ අතීසාර මිත්තරය.

" ආ මහත්තය ඊයෙලු ආවෙ නේද? " 

" ඔව් බං පෙරෙයිදනෙ කොළඹ අර අපි ගියපු පුහුණුව ඉවර උනේ.." 


ඔය ඉහළගෙදර මයෙ ගජ යාලුව. දවසක් ඕකට මරු වැඩක් උනා මං හින්ද... ඔය අපෙ කෑම්ප් එකේ එවුං ඉන්නව නේද? කාලෙං කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩූ කියල අර නිහාල් නෙල්සන් කියන්නවගෙ මොනව හරි කාලෙං කාලෙට අල්ල ගන්නව. එක කාලයක් ඔන්න යෝග වියායාම ඇඟට හොඳයි කියල ඔක්කෝමල පටං ගත්ත ඒක.. 

ආය කාලයක් ඔය කොරියාවෙද කොහෙද ක්‍රමයක්ය කියල උදේම නැඟිට්ට ගමනෙ හිස්බඩට වතුර වීදුරු හයක් බොන එක හොඳාය කියල එහෙම පටං ගත්ත. බඩ පුරා වතුර බීල එවුං අර හැල ගෙම්බො වගෙ ඇස් ගෙඩි දෙකත් උඩ තියාන ඉන්න විදිහ බලල විමලෙට ජයේට මට එහෙම මැරෙන්ට හිනා!!! 

අය ඒ දවස්වල තිබ්බ දැං අර මල් පිටුව කියල එකක් සුවර්න වාහිනියෙ කොරන බන්දුල පත්ම කුමාරගෙ මල් පත්තර, කුමරි, යුවති, පතිනි, සකුණි, රැජිනි යකිනි, රාස්සි, බැරැස්සි, ඔය නොයෙක් එව්ව..අපේ කොල්ලො ඔව්ව ඔක්කොම අරං එනව ගෙදර ගිහිල්ල එනකොට..අපිත් ඉතිං කම්මැලි කමට ඔව්ව මාරු කරගෙන කියෝනව. 

ඔය පත්තරේක එක පාරක් තිබ්බ ඔන්න ඉන්දියාවෙ ඉහල වංසක්කාර කොල්ලෙක් පේම වියෝවක් හින්ද සසර කල කිරිල ලංකාවෙ ඔය කොහෙද ආරන්‍යකට එනව බාවනා කරන්ට.ඒ ආරන්‍යය කිට්ටුව තියනව වලව්වක්. ඔය වලව්වෙ පොඩි දෝණි ඇමරිකාවෙද කොහෙද ඉගෙන ගන්නෙ.නිවාඩුවකට ගෙදර ඇවිල්ල ඉන්න අතරෙ යනව අර ආරණ්‍යයට.එතනදි අර කොලුව හම්බවෙනව.. 

හරි එතනිං එහාට කතාව හිතාගත්තැකිනෙ නේද? මම කියන්ට ඕන නෑනෙ..හරි මගෙ කතාවට අදාල වෙන්නෙ මෙන්න මේ ටික..ඒ ඉන්දියානු තරුණයාගෙ හම එහෙම රංවං පාටයිලු.මනුස්සය උදේට මොකවත්ම කන්නෙ නැහැල්ලු. මිනිහගෙ ඉන්නව ආවතේව කාරයෙක් ඉන්දියාවෙම්ම ගෙනල්ල. ඒ මනුස්සය උදේම කොහොඹ කොළ කොටල ඉස්ම අරගෙන වතුර දාල මේ බ්‍රාහ්මණ වංසික තරුණයට බොන්ට දෙනව. ඒක තමයි මේ රන්වන් පාට චවි කල්යානයෙ රහස කියලයි ඒ කතාවෙ තිබ්බෙ. මාත් කියෙව්ව ඒ දවස්වල ඔය කතාව. 

ඕක මදැයි අපෙ පිස්සු හුටංලට. එවුං පටං ගත්ත ගෝලයො යවල අහල පහල ගම මුලුක්කාදියෙ තියෙන ඔක්කොම කොහොඹ ගස් හූරවන්ට. ඒ කරල පාන්දරම වංගෙඩියෙ දාල කොටවල හිස්බඩම බොන්ට පටංගත්තෙ නැතෑ. 

අපේ චමරියෙත් ඉන්නවනෙ ඔය ටිකක් එක විදිහක එවුං ..උනුත් ගෙනාව ඔය අයිඩියා එක දවසක් නිකං මේ මුට්ටිය දාල වගෙ බැලුව..විමලෙයි මමයි එක හෙලාම විරුද්ද උනා.. 

" අනේ මේ අපේ මේ හමේ තියන රංවං හරි ලා කළු හරි තද කළු හරි ඒ පාට අපිට හොඳටම ඇති. මෙහෙ ඔය උදේ පාන්දර කොහොඹ කෙටිලි හරියන්නෙ නෑ. උඹලට ඕනම නං ඔය කොටන තැනකට ගිහිල්ල බීල වරෙල්ල. " 

එතනිං අපේ චමරියෙ නං ඔය ඡවි කල්‍යාණාත්මක කොහොඹ යුෂ පිළියෙල කිරීම ඇණ හිටිය. 

එක දවසක් ඔන්න මට උදේ වරුවෙ හරි හමං වැඩක් තිබ්බෙ නෑ..අටට විතර ඇහැරල එනකොට අපෙ සැමියයි ඉහළගෙදරයයි බර කයියක් කුස්සියෙ. 

" මොකද බං උඹලගෙ මේ කයිය? " 

එහෙම අහගෙන මම දත් බුරුසුවත් අතිං අරගෙන කුස්සියට ගියා..සැමියට මාව දැක්ක ගමං හිනා.. 

" මහත්තය දන්නවද වැඩක්...දැං අපේ ඉහලෙත් උදේට මොකවත්ම කන්නෙ නැතිලු.අර කොහොඹ කොල ඉස්ම විතරලු බොන්නෙ. " 

" නෑහ්හ්???? ඇත්තද බං මේ සැමිය කියන්නෙ? " 


මම දත් බෙහෙත් ටිකක් දාගත්ත බුරුසුවට.. 

" ඔව් මහත්තය …" 

ඉහළය ඇඹරුනා එහාට මෙහාට..ඕකා හරිම ලජ්ජකාරය.වයස තිස් පහක් වගෙ උනාට ඒ වෙනකොටත් කසාදයක බැඳල කරල කාරිය එහෙම නෑ. 

" ඉතිං ඉහළෙ?..කියාපංකො බලන්ට උඹේ හම දැං පාට වැටිල එහෙම ඇවිල්ලද තියෙන්නෙ?..." 

කටේ දත් බෙහෙත් කෙළ ටික හැලෙන හින්ද කට උඩට හරෝගෙන මම ඇහුව.. 

" ඔව් මහත්තය ටිකක් පාට වැටිල වගෙ නම් තියනව තමයි." ඉහළය ආයෙම ඇඹරුන.. 

" මේ කොල්ලො..නියම විදිහට හම පාට වැටෙන්ට නම් ඔය කොහොඹ කොළ ඉසම බීල විතරක් හරියන්නෙ නෑ.." මම ආයෙම කට උඩට හරවගෙන කිව්ව.. 

" එහෙනං මහත්තය? " ඉහළෙය ඇහුව නළලත් රැළි කරගෙන.. 

" යකෝ..ඔය කොටල ඉතුරුවෙන කොහොඹ කොළ තියනව නේද?.... එව්ව ටිකත් කාහං... ආන්න එතකොටයි නියම විදිහට හම රත්තරං පාට වෙන්නෙ.." මම නැමිල කාණුවට කෙළ ගැහුව. 

පහුවදා දවල් මම කන්ට එනකොට ටිකක් පරක්කුයි. අපේ අනික් එවුං කාල එහෙම සාලෙ ඉඳගෙන කතා බහක යෙදිල උන්නෙ.. 

" හරිම මහන්සියි " මම සේට් එක ගලවන ගමං කිව්ව, 

" ආආ....අන්න මහන්සි නෙවෙයි..උඹට පොලිසි යන්ට වෙයි අර යකා මළොත් එහෙම.." 

" ඈ?? මොන යකාද? අනික යක්කු මලාට මම මොකටද පොලිසි යන්නෙ? " 


" අර ඉහළෙය ..ඌ අද උදේ කොහොඹ කොල කොටාපුව වංගෙඩියෙං බාගයක්ම කාල. බඩ දැවිල්ලයි, රිදෙන්ටයි අල්ලල අන්න එකොළහට විතර ඉස්පිරිතාලෙ එක්ක ගියා.." 

" නෑහ්???....." 


" නෑ..නෙවෙයි ඔව් ලොක්ක ඇහුවම මොකටද බං ඔය හැටි කොහොඹ කොළ කැටියක් කෑවෙ? උඹට පිස්සුද? කියල ඌ කියල වීරසිංහ මහත්තය තමයි මට කන්ට කිව්වෙ කියල. " 

රතනත්තරේ පිහිටාරස්සාවෙං ඉහළෙයට ඒ හැටි අමාරුවක් එහෙම උනේ නෑ. ඉස්පිරිතාලෙං බෙහෙත් දීල දෙක තුන වෙනකොට මිනිහ ආපහු ආව කෑම්ප් එකට.. 

" අඩේ මම උඹට වංගෙඩි බාගෙක කොහොඹ කොළ කන්ට කිව්වද? මම කිව්වෙ මේ අල්ලක් විතර කන්ටය කියලනෙ. " ඉහළෙයගෙ ලෙඩ බලන්ට ගිහිල්ල මම ඌට කිව්ව 

" ඒකනෙ මහත්තය..මටයි වැරදුනෙ.." ඉහළෙය ආයෙම ඇඹරුනා. 

ඒත් මගෙ කොහොඹ කොල ප්‍රතිකාර විධි ක්‍රමයෙන් ඌට නරකක් එහෙම උනේ නෑ. ඒ ඉස්පිරිතාලෙ වැඩ කරපු ඒ කිට්ටුව ගමක කෙල්ලෙක් මිනිහට සැට් වුනා ඒ බෙහෙත් ගන්ට ගිය ගමනෙං. පස්සෙ ඒ කෙල්ලව බැඳල මනුස්සය එහෙම බින්න බැස්ස. 

ඉහළෙය දැක්කම මට ඔය විස්තරෙත් මතක් උනා. හිනා වෙවීම මම කාමරේට ගිහිල්ල ඇඳේ ඉඳ ගත්ත. ඩේට් ස්ටෑම්ප් එක බලල කලින් ආපු ලියුම ඉස්සෙල්ල කැඩුව. දිනේ හැටියට සති තුනකට විතර කලිං ආපු එකක්. නාඳුනන අත් අකුරු. කාගෙන්ද? බලමු..වීරසිංහ මහතා වෙත...ම්ම්..කවුද මේ?...බලමු ලියපු මනුස්සයෙක්ගෙ නමක් ගමක් ඇතිනෙ අන්තිමට..මම ලියුමෙ අන්තිම හරියට දෑස් යොමු කලා..අප්පට සිරි ගජ...මේ සුජාතා... 

" මහත්තය..තේඑක .." සැමිය කාමරේ දොර ලඟ.. 

" මේසෙ උඩිං තියල ඔය දොරත් වහගෙන පලයං බං හොඳ එකා වගෙ." 

සු..ජා..තා..ඒ අකුරු තුන දිහාවෙ ඇහිපිය නොහෙලා බලාගෙන මම හෙමිහිට කිව්වා. 

මතු සම්බන්ධයි...... 

Friday, October 11, 2013

223. කවිකාරියකගේ ප්‍රේමය…..11


විජිත එහෙම්මම කුස්සියෙ පඩිය උඩ ඉඳගත්ත දෑතිම්ම ඔලුව බදාගෙන. මාත් ඒ ලඟිම්ම ඉඳගෙන උගෙ උරහිසට අතක් තිබ්බ. 

" ඈ මලේ... මොකද අපි දැං කරන්නෙ? " 

" අනේ මට තේරෙන්නෙ නෑ අයියෙ.." විජිත ඔලුව බදාගෙනම කෙඳිරි ගෑව. 


එහෙම පිලේ පඩියෙ ඉඳගෙන එළිවෙනකල් කල්පනා කලත් විජිතටත් මටත් ඒ ගැන කරන්ටෙයි කියල අබමල් රේණුවක දෙයක් තිබ්බෙ නෑ. කරුණු කාරණා සිද්ද උනේ අපි දෙන්නගෙම පාලනයෙන් තොරව.වෙන්ට තියන දෙයක් ඔන්න ඔහෙ වෙන්නෙ නැතුවය කියල බලා ඉන්ටයි අපිට වෙලා තිබ්බෙ. 

මොකෝ කවි කොන්ත්‍රාත්තුව නිසා මම අර ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එක අතඇරල නිකා ඉන්ටය? අනික කවදා හෝ මේ වැඩේ මෙහෙම සිද්ද වෙන්ට තිබ්බ දෙයක් නෙව. අද නැති උනත් හෙට හෝ අනිද්ද සුජාතා මේ සීන් එක දැනගන්නව. ඒ නිසා විජිතට තියෙන්නෙ මොනව හරි කරල වැඩේ ගොඩ දාගන්න එක. පහුවදා උදේ කොළඹ යනකනුත් මම හිතමින් ගියෙ ඔන්න ඔහොම. 

ඇත්ත දැනගත්තම අර කෙල්ල මොනවගේ තීරණයක් ගනීද? 

විකල්ප දෙකයි සුජාතට තියෙන්නෙ....එක්කො අනේ මේ මනුස්සය වංචාවක් කලා තමයි..ඒත් ඒක ඒ හැටි බරපතල සීරියස් කේස් එකක් නෙවෙයි නෙව, ඒ නිසා ඔන්න ඕක අමතක කරල දාමුය කියල හිතල වැඩේ අල්ලල දාන එක.අනික එහෙම ඒ පැත්තට, ඒ කිව්වෙ විජිතගෙ පැත්තට තරාදිය බර වෙන්ට තවත් කාරණාවක් තියනව. ඒ තමයි මේ යස්සය මේ ඔක්කොම කලේ ආදරේ නිසාය කියන කාරණාව. 

ආදරේ වෙනුවෙන් ඔහොම පොඩි වංචාවක් කලාට කමක් නැතය කියල හිතන්ට පුළුවන්නම් කිසිම අවුලක් නෑ. ඒත් මෙතන වැදගත් වෙන්නෙ මම හිතන එකවත් විජිත හිතන එකවත් එහෙමත් නැත්තං ඔහෙල හිතන එකවත් නෙවෙයි අර කෙල්ල හිතන විදිහ...මොන හේතුවක් හින්ද කලත් ඒක වංචාවක් රැවටිල්ලක් නේද කියල සුජා හිතුවොත් ඉතිං වැඩේ කලාස්. ( කලාස් කියන්නෙ ඇරබික් වලින් එල්ලාම් මුඩිංජි කියන එක. එල්ලාම් මුඩිංජි කියන්නෙ දෙමලෙන් කලාස් කියන එක ) 

මම සුජාතා එක්ක කතාබහ කරපු කාල සීමාව ඕනනම් වැඩිම උනොත් පැය එකහමාරකට දෙකකට වැඩිය නෑ.ඒත් ඒ පොඩි කාලෙදි මට එයා ගැන ඇතිවෙච්ච හැඟීම අනුව නම් මම හිතන්නෙ නෑ සුජාතා විජිතට සමාවක් දෙන ජාතියෙ කෙනෙක්ය කියල. 

සාමාන්‍යයෙන් මහිලා පක්ෂය ගැන මගෙ තක්සේරු වරදින්නෙ නෑ, කිව්වම මොකද?.... ඒත් මිනිස් සිත ගැන කාටද කියන්ට පුලුවන් නේද?...හිත කියන එක අරමයි මෙහෙමයි කියල ඉරි ගහල රූල් ගහල කොටු කරල කෝවක දාල අච්චුවක දාල කිරන්ට මනින්ට පුළුවන් එකක්ය... නේද? ඒ කොහොම උනත් සුජාතා ගැන මගෙ තක්සේරුව සාකල්‍යයෙන්ම අසත්‍ය වේවා කියල තමයි මම නිතරම ප්‍රාර්ථනා කලේ... 

" මොකද බං උඹ කනවද බාවනා කරනවද? " ඒ විමලෙ...

පැත්තක් අඩි හතරක් වගෙ වෙච්ච හරි හතරැස් ෆෝමිකා මේසෙ වටේ අපි හතර දෙනයි, කුමාරයි ජයේයි අනික් දෙන්න.බෙලෙක් කඩේ හන්දියෙන් ගොඩ පැත්තට තියෙන පාරෙ යාර විස්සක් විසිපහක් යනකොට වම් පැත්තෙ තිබ්බ මේ බත් කඩෙන් තමයි අපි හැමදාම වගෙ දවල්ට කෑවෙ.රත්මලාන ටෙක් එක තියෙන්නෙ බෙලෙක් කඩේ හන්දියෙ මොරටුව දිහාට යද්දි දකුණු පැත්තෙ. 

මම හිනාවෙල වටපිට බලල ඉස්සො හතර පස් දෙනෙක් පිඟානට බෙදා ගත්ත. අනික් අය කාලත් ඉවරයි. 

" ඒයි හදිස්සියක් නෑ.උඹ හෙමීට කාපං..මල්ලි යෝගට් තුනක් ගේන්න…" විමලෙ පස්ස හැරිල වේටර් කොලුවට කෑගැහුව. 

කාල ඉවරවෙලා එහෙම කැෂියර් එක ගාවට ආව. 

" ඒයි විමලෙ උඹ ගෙවපං අද..උඹේ ටර්න් එක… "


විමලෙ බිල ගෙවල ගෝල්ඩ් ලීෆ් තුනකුත් ගත්ත. කුමාරය දුම්පානයෙන් සපුරා තොරයි.කඩේ ඉස්සරහ ඇවිලෙන ලණ්ණෙං අපි සිගරට් පත්තු කරගත්ත.

( සැයු - මේ සිගරට් සීන් එක මම මුලින්ම ලියලත් ආය ඩිලීට් කරල දැම්ම. මොකටද ආයෙ දුම්පානය ප්‍රවර්ධනය කරනවය කියල කතාවක් අහගන්නෙ කියල. මෙන්න ඒ එක්කම බැලින්නං හෙන්රීස් තුමා තනිකර සියලු දුෂ්චරිත ගැන ලියල පෝස්ට් එකක් දාල. ඉම්පාර මම කල්පනා කලා ඌට හොඳ නං මට මොකද හොඳ නැත්තෙ ? ඉඳපිය මාත් ලියනවයි කියල..ඒ පාර තමයි මේ ආයෙම ලිව්වෙ...තව ඉතිං එක දුෂ්චරිතයක් ගැන විතරයි ලියන්ට තියෙන්නෙ ...හෙහ්, හෙහ්,...ඉන්ටලාකො ඉවසල..ආයෙම ඒ ගැනත් ලියඤ්ඤංකො වෙලාවක..ආය මොටෝ අඩුවක්..හෙහ්, හෙහ්, ඒ දුෂ්චරිතෙ ගැන තමයි අපූරුම අත්දැකීම් තියෙන්නෙ. ) 

ෂියේට් ගහල ඉවර වෙලා පෙපර් මින්ට් කූරකුත් අරගෙන අපි ගාළු පාර පැන්න. ඉස්සෙල්ල කොළඹ පැත්ත බැලුව..ඊට පස්සෙ ගාල්ල පැත්ත බැලුව ආයම කොළඹ පැත්ත බැලුව. ඉක්මන් ගමනින් පාර මාරු උනා. අපිට තුනේ පංතියෙදි ලියනාරච්චි මැඩම් මහ පාරට එක්කගෙන ගිහිල්ලම පාර මාරුවෙන්ට ඉගැන්නුවෙ ආන්න එහෙමයි. " පලමුව දකුණු පස බලන්න. ඉන්පසු වම් පස බලන්න. නැවත දකුනු පස බලන්න. වාහනයක් නොපැමිණෙන්නේ නම් ඉක්මන් ගමනින් පාර හරහා මාරු වන්න. " 

පෙපර්මින්ට් ගත්තෙ මේ දවස්වල පොඩි උකුළු මුකුළුවක ( ඉංගිරිසියෙං Flirtation කියන්නෙ..අන්න ඒක ) යෙදෙමින් මම උන්නෙ ..අන්න ඒ නිසා..දුම්පානයෙන් පසු පොඩි කාලෙ නම් පේර කොළ. පස්සෙ පෙපර්මින්ට්. 

කාල ඉවරවෙලා අපි ආපහු ටෙක් එකට ගියත් දවල් ලන්ච් අවර් එක පැය එකහමාරක් නිසා තව පැයකට කිට්ටු කාලයක් තිබ්බ. සිසු විවේකාගාරෙ පැත්තෙ ගියේ ඔහෙ ඉඳගෙන කයියක් වත් ගහමුය කියල හිතාගෙන. 

" ඒයි අන්න…" 

කුමාර මගෙ ඇළපතට ඇන්න.නිශාන්ති ළමය ඉන්නව පත්තරයක් බල බල......ඔෆිස් එකේ කෙල්ලො හිටිය හතර දෙනෙක්ම.අපි කවුද කරන රස්සාවල් මොනවද කියල එවුන් දන්න නිසාම වෙන්ට ඇති මට හිතෙන්නෙ අපෙ කට්ටියට ඒ කෙල්ලියංගෙ තිබ්බ පොඩි ගෝ එකක්. අපිත් ඉතිං ඔය නිකං ඉන්න වෙලාවෙනෙ කියල ලාවට උං එක්ක ටෝක් එක දාගෙන ඉන්නව. 

නිශාන්ති ඔෆිස් එකේ රෙජිස්ට්‍රේෂන් ක්ලාක්. ලියාපදිංචි කිරීමේ ලිපිකාරිනිය.කෙට්ටුයි, උසයි..තලේලුයි.දන්නවද ඔය හමේ පාටට තල එළළු කියල කියන්නෙ ඇයිද කියල? ආ..ඊට කලින් කියන්ටලාකො එහෙම වචනයක් අහල තියනවද කියල..හරි අහල නැත්තං දැං අහගන්ට. එහෙම වචනයක් තියනව. ඒකෙ තේරුම තමයි තල ඇටවල පොත්ත අයිං කලාම කළුත් නොවෙන සුදුත් නොවෙන ඒ දෙක අතර වගෙ පාටක් එනව. අන්න ඒ පාට ඉස්තිරියාවංට තමයි කියන්නෙ තල එළළු කියල. 

ඉස්සෙල්ලම දවසෙ මමයි කුමාරයි උදෙම්ම ආව කෝස් එකට රෙජිස්ටර් වෙන්ට. වොචර් හට් එකෙන් කිව්ව ඇතුලෙ මිස් කෙනෙක් ඇති ඔෆිස් එකට ඇතුල් වෙන තැනම වම් පැත්තෙ, එයාව හම්බ වෙන්ට කියල, ...ඒ මිස් තමයි නිශාන්ති. 

" ඔයාල මොකද? " 

නිශාන්ති යන්තමට හිනා වෙලා ඇහුව. මට පස්සෙ දවසක කිව්ව එයා හිතුවෙ ළමයෙක් ටෙක් එකට දාගන්ට ආපු තාත්තල දෙන්නෙක් කියලලු. අපිට ඒ දවස්වල බොහොම ලාබාල කොළු ගැටව් උනාට අර පට්ට දඩං අව්වෙ දූවිලි වකාරෙ වැඩ කරල කාපිරිවගෙ කළු වෙලයි හිටියෙ. ඒ මදිවට මම මූන පුරා රැවුල් බූසෙකුත් වවාන . කුමාරය නම් ආය දවස් පතා රැවුල කපනව. 

" අපි මේ අර ඉක්ටෑඩ් එකේ කෝස් එකට.... "

" ආ...පොඩ්ඩක් ඉන්නවද මම මේ හදිස්සි වැඩක්..මේක ඉවරවෙලා මම කතා කරන්නං… "


" හරි අපි ඔයාව පේන තැනකිං ඉන්නංකො..." මම උරේ තිබ්බ බෑග් එක අනික් උරේට මාරු කරන ගමන් කිව්ව.දිග ඇරගෙන හිටපු ෆයිල් එකට නැමිල හිටිය ඔලුව එක පාරට ඉස්සුණා. 

" ඒ මොකටද? " ලියාපදිංචි කිරීමේ ලිපිකාරිනිය වචන වලින් දමල ගැහුව. 

" වෙන මොකටවත් නෙවෙයි අනේ, එතකොට ඔයාගෙ වැඩේ ඉවර උනාම අපි දන්නවනෙ..." මම මේසෙට අත්දෙක තියල බරවෙලා කිව්ව.. 

" හා..හා..එහෙනං ඕන එකක් ඕන තැනක ඉන්නකො..." 

ආයෙම ඔලුව ෆයිල් එකට පාත් උනා. ඒත් යටි තොල හපාගෙන..ඒ වගේම කම්මුලේ සුළි දෙකකුත් යන්තමට වගෙ මම දැක්කද කොහෙද...

නිශාන්ති ඉස්සරහම පුටු දෙහෙක අපි ඉඳගත්ත.ෆයිල් එකටම ඔලුව පාත්කරගෙන ඈ මොනවද ලියන දිහාවෙ මම බලාගෙන හිටිය. ටිකකින් ඔලුව උස්සනකොටම මම අහක බලාගත්ත. ආයෙම කටාක්ෂ නිරීක්ෂණයෙන් බලනකොට ඔලුව ආයෙමත් පාතට හරවගෙන.ඒත් යටි තොල තවම හැපිල. 

අන්න ඒ නිශාන්ති තමයි පත්තරයක් බල බල හිටියෙ. 

" ආ, ළමයා මොනවද පත්තරේ තියෙන්නෙ?..." මම ඒ ලඟම තිබ්බ අනික් පත්තරේ පෙරලන අතරෙ ඇහුව. 

" හරියට මනුස්ස ආස්සරයක් නැති කැලෑ වල දීර්ග කලයක් රස්සාවල් කරන අයගෙ මනස වර්දනය බාල වෙනවයි කියල නම් තියනව… "

" ආ, ඒකත් එහෙමද? හරි එහෙමනම් මනස වර්දනය නොවිච්චි අය කරන දේවල් වලට තරහ ගන්ටත් ඔට්ටු නෑ හොඳද? " මම එහෙම කියල එයා දිහාට කිට්ටු උනා.. 

" ආ..මේ එව්ව ඔට්ටු නෑ හොඳද? " නිශාන්ති අහකට පැන්න. 

" ආ." මම ඇඟිලි මිටිකරගත් අත්ල එයාට දික්කලා. " ඕනද? "

" මොකෝ ...ගොළු හදවත කියල හිතුවද? " යන්තං හැරිල බලල ඈ ආපහු පත්තරේ බලන්ට ගත්ත. 

" නෑ...ගොළු හදවත නං නෙවෙයි..මේක ඇවිල්ල බීරි පෙණහැල්ල." හිකිස් ... ඈට හිනාවක් පැන්න. 

The cutest kind of flirting, in my opinion, is the flirting that isn't too noticeable. Its not straight forward and sometimes you can't tell whether its flirting or not. Its cheesy. Its cute. When you are indecisive it adds I suppose a certain kind of romance undoubtedly. 

කුමාරයි මමයි නැවතුනෙ බොරලැස්ගමුවෙ කුමාරලගෙ නැන්දාවකගෙ ගෙදර. ඔය නැන්දාවක කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ වචනයක්. බොරලැස්ගමුවෙ දේවාල පාරෙ...බෙල්ලන්විල පන්සල පේනතෙක් මානෙ.ඒ ගමේ කොල්ලො සෙට් එක අපි දෙන්න එක්ක හොඳටම ෆිට් උනා.බොරලැස්ගමුවෙ ඉඳල දෙහිවල පැත්තට එනකොට බෙල්ලන්විල පන්සලට ඉස්සෙල්ල තියනව පාරෙ දකුණු පැත්තෙ ලොකු වතුර බට පේළියක්.හවසට ඔය බට පේලිය උඩ ඉඳගෙන සිගරට් එකක් ගහන එක මගෙ සිරිතක් වෙලයි තිබ්බ. ඒ කරල බෙල්ලන්විල පන්සල පැත්තෙ රවුමක් ගහල ඔය හොඳ තැනක් බලල ඉඳගෙන බාවනාවක් කාරිය කරල...හෙහ්, හෙහ්, දන්නෙ නැද්ද ඉතිං? 

විජය ඝාතනය සිද්ද උනේ ඔය අතරෙ...කලින් මම සටහනක් ලිව්ව ඒ ගැන " ඝාතනයක් සමඟ අතීතයට " කියල. පිච්චර් බැලිලි, පොත් ප්‍රදර්ශන, එතකොට සතියකට දෙපාරක් විතර දෙහිවල හන්දිය කිට්ටුව තියෙන පර්ල් ඉන් එකේ සෙට් වෙන එව්ව. මොරටුවෙ අපෙ යාලුවෙක් හිටිය..සොයිසාපුර ෆ්ලැට්ස් වල. උගෙ දිහා ගිහිල්ල මූදෙ නාන්ට යනව බෝතල් තුන හතරකුත් අරගෙන බයිට් එකට බීෆ් කොත්තු දෙක තුනකුත් දාගෙන. අන්තිම වෙනකොට බයිට් එක කොත්තුවලට වැඩිය ඉතිං මූදු වැලි තමයි.. 

ඔය ආතල් අස්සෙ නිශාන්ති එක්ක ආතල් එකත් ලාවට වගෙ නැඟලම යනවා. 

ඔය අස්සෙ කවි ලියවිලි ගැන ඒ හැටි මතකයක් තිබ්බෙ නම් නෑ ආය බොරු කියන්නෙ මොකටද? එහෙත් අළුයට සැඟවුනු ගිණි පුපුරක් හදිසියේ හමා ආ සුලඟක් කරණ කොට ගෙන පණ ගසා ඇවිලෙන්නාක් මෙන්, සුලඟ නිසාම අකීකරු වූ ගෙල දක්වා දිගු කෙස් කළඹ ආම්බාං කොටගැනීමට උත්සාහ දරන අතර " අයිය මට කවි එවනව නේද? "   යනුවෙන් කෙලිලොල් ස්වරයකින් විමසන සිනාසෙන දෑසක හිමිකාරිය වූ එක්තරා යුවතියක පිලිබඳ සොඳුරු මතකයන් විටින් විට මහද කොණිති නොගැසුවේම නොවන බව මෙහිලා සටහන් කර තැබීමට මට අවසර!!! 

මාස දෙකකට විතර පස්සෙ..සරත් ගියා අපෙ වැටුප් අරං එන්න..මතකනෙ අර බෝතල් තුනක් අරගෙන දීල ඕකා වැටුප් ගෙන ඒමේ වැඩේ තනිකරම උගෙ සම්බුද්දියටම ලියාගත්තනෙ. 

" හරි වැඩේනෙ අයියෙ වෙලා තියෙන්නෙ. " 

සල්ලිත් අරගෙන ඊලඟ සඳුදා පංතියට ආපු සරත් එහෙම කිව්වෙ දහයට තේ බොන්ට ලැබෙන විවේකයෙදි. 

" මේ... ඒ හරි වැඩ වැරදි වැඩ ගැන පස්සෙ කතා කරමු..හොඳද? ඉස්සෙල්ලම දෙයියනේ කියල අපෙ සල්ලි දීල ඉඳිං " විමලය කිව්ව 

මගෙ සල්ලි මම ගණං කලා…" මොනවද බං සරතය විස්වාස නෑ වාගෙනෙ උඹ සල්ලි ගණං කරල බලන්නෙ? " ජයේ නං කෙලින්ම උගෙ සල්ලි සාක්කුවට දාගත්ත. 

" නෑ බං ඌ අවිස්වාසෙකට නෙවෙයි. මම මාවම විස්වාස නෑ.හෙට මම කියන්න බැරිනෑ මල්ලි ඊයෙ මෙහෙ පඩි සල්ලිවලිං රුපියල් පන්සීයක් අඩුයි කියල. අන්න ඒ නිසයි මම සරත ඉස්සරහම ගැන්නෙ. " 

" අම්මප ඒකත් ඇත්ත ….ඉඳහං එහෙනං මාත් ගනින්ට ඕන " ජයේ සල්ලි ආයම අතට ගත්ත. 

" හරි සරත් දැං කියාපං උඹ කියන්ට ආව හරි වැඩේ මොකද්ද කියල? " 

" අයියෙ ....විජිත......" 

" ඔව් විජිත…. ඌට මොකද දැං වෙලා තියෙන්නෙ? " 


මතු සම්බන්ධයි...... 

Monday, October 7, 2013

222. කවිකාරියකගේ ප්‍රේමය…..10




කවිකාරියකගේ ප්‍රේමය…..1 


" මේ මට කවි එවන්න හොඳද? " 

හුළඟත් එක්ක පොර බදන අකීකරු කෙහෙරල දමනය කරගන්ට දෑතින්ම උත්සාහ කරන අතරෙ ඈ මට කිව්ව. 

ඒ දෙන්න ඉඳගෙන හිටපු සීට් එක පහුකරල ඉස්සරහට ගිහිල්ල මම එක පාරට ආපහු හැරිල අතේ තිබ්බ පොත ඇගේ උකුල උඩට දැම්ම. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එහෙම කියල මම බස් එකෙං බැස්ස. 

ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම අපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් ගහෙං ගෙඩි එන්නැහෙ ඩොග් ගාල සිද්ද වෙන එක ජීවිතේ හැටියක්ය කියල මට කියල දෙන්ටදෝ කියල මට තාමත් හිතාගන්ට අමාරුයි....:( 

ජිවිතේ සුපුරුදු විදිහට ඔහේ ගලාගෙන ගියා. සුජාතා විජිතට කවි ලිව්ව...මම සුජාතට ලිව්ව කවි සුජාතා කියෙව්වෙ විජිත ලිව්වයි කියල හිතාගෙන. ඔය හවසක කවුරුවත්ම නැතුව හුදකලා වෙච්චි දවසක තනියම පොඩිවට දෙකක් නවාගත්තු වෙලාවක මම මේ වැඩේ ගැන බොහොම දුර දිගට හිතුව. 

ජීවිතේ කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එක පොඩි කාලෙ ඉඳලම මගෙ හැටි. මගෙ මේ ගතිය මට බොහොම වෙලාවට හරියට ප්‍රයෝජනවත් වෙලා තියනව. ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල කියනවනෙ. කිසිම දෙයක් ගණං ගන්නෙ නැති එකත් වෙලාවකට ඕනවට වැඩිද කියලත් මට විඩෙං විඩේ හිතෙනව. 

ඒත් ඒ සීමාව මායිම් ඉර තීරණය කරන්නෙ කොහොමද? ඒ නිසා ඔහෙ ඕන කෙහෙල්මලක්...අපෙ අර ලොකු මාම කියන්නැහෙ වෙන්ට තියන දෙයක් වෙන්නෙ නැතුවයැ...ඔන්න ඔහොම හිතල මමත් උපේක්ෂාවෙන් ජීවිතේ දිහා ඔහේ බලාන ඉන්නව. සුජාතා ගැන උනත් එහෙමයි...ඔහෙ ඕන කෙහෙල් මලක්..කියල මම විජිතයට දිහටම කවි ලියල දුන්න. 

ඔහොම මයෙ හිතේ ගෙවිල ගියා එක මාස හතර පහක් තරම.ඊට පස්සෙ මට අර කෙල්ල හම්බ උනේ නෑ..විජිතය කොහොම හරි ඊට පස්සෙ ඒ ගැන මා එක්කල වචනයක් වත් කතාකලෙත් නෑ කොටිම්ම කිව්වම...හෙහ්, හෙහ් 

හරි... මාස හතරකට, පහකට, හයකට, හතකට විතර පස්සෙ ඔන්න අපි තුං හතර දෙනෙකුට ආපි කොළඹ අපෙ වෘත්තිය සම්බන්ධ වැඩිදුර පුහුණු පාඨමාලාවකට තෝරගත්තයි කියල චක්‍ර ලේඛයක්. 

දැන් මෙතන කරන්ට වෙනව පොඩි පූර්වාපර සන්ධි ගැලපීමක්... 

" එකල්හි ඒ මද්‍රි දේවිය වූකලී මෙකල්හි යසෝදරාවයි.  ජූජක බමුණු තෙම දේවදත්ත තෙරණුවෝය.  වෙස්සන්තර රජ  නම් ලොව්තුරා සම්‍යක් සම්බුද්ධ වූ මම්ම වේදැයි පවසා පූර්වාපර සන්ධි ගලපා වදාළ සේක!!! " 

අන්න එහෙමයි පොත්වල තියෙන්නෙ..තේන්නාද? තේරුණාද කියන වචනෙ තේන්....නාද කියල ඇදල පැදල කියනව මොකක් හරි ෆිල්ම් එකකහෝ ටෙලි ෆිල්ම් එකක.මට මතකයක් නෑ හරියට :( 

" මේක මේ සතවර්ස වලින් කිව්වොත් කාලකට එහා පැත්තෙ වෙච්චි දෙයක්...මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙන් ඔන්න එක පාරටම ගහෙං ගෙඩි එන්නැහෙ කියාපි බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ ඒ නිසාවෙන් ලෑස්ති වෙයල්ල ලබන සුමානෙ තුම්මාසෙක පුහුණුවකට යන්ට කියල.සේකියුලර් එක ආහම ඔන්න අපි දනිපනි ගාල ගිහිල්ල බැලුව නෝටිස් බෝට් එකේ. අපි හතර දෙනෙක් අපේ වැඩපලෙං තේරිලා...මයෙ නම තියනව මුලිම්ම..." යනුවෙන් ඇරඹි එදවස මවිසින් විරචිත " ඝාතනයක් ඔස්සේ අතීතයට...මොරමළු, වැඩවර්ජන සහ වෙනත් වැල් වටාරං……" නම් වූ මතක සැමරුමෙහි සඳහන් වන්නේද ප්‍රස්තුත පාඨමාලාවම වේදැයි එතුමෝ පූර්වාපර සන්ධි ගලපමින් වදාළ සේක.!!! 

කෝස් රාජයාට තේරිච්ච අපි කට්ටියට ආය නෑ ඉහේ මල් පිපුනැහෙ. අනික් එවුං පැලෙනව ඊරිසියාවෙ.කොළඹ බලා පිටත් වෙන්ට කලිං දවසෙ රෑ ඔන්න අපෙ තිබ්බ මහා පරිමාණ මදු සාදයක්...හෙහ්...බොන්ට හේතු හොය හොය ඉන්න අපිට ඕක මදැයි හත් දවසක් සැණකෙළි කෙලින්ට... 

දුම්පානයට බොහොම තදිං ඇබ්බැහි වෙලා උන්නු හාදයෙක් ගියාලු ඔන්න මනෝ වයිද්දි කෙනෙක් ගාවට..මේ පුරුද්ද නැතිකරගන්නෙ කොහොමද කියල උපදෙස් ගන්ට… 

" ඔය වගෙ දේකට ඇබ්බැහි උනාම ඒකෙං මිදෙන්ට නම් මුලින්ම ඒ ක්‍රියාවට හේතු සාධක හරියටම ඇනලයිස් කොරන්ට ඕන. ඒ කරල ඒ හේතුව ඉවත් කලාම ඔටෝ පුරුද්දත් නැතිවෙනව.." සයිකො ඇනලිස්ට් දුන්න ටෝක් එක. 

" හරි දැන් කියන්ට බලන්ට ඔහෙට සිගරට් එකක් බොන්ට හිතෙන්නෙ කොයි වෙලාවටද? නැත්තං මොන වගෙ හැඟීමක් ආහමද? " 

" ම්ම්ම්...සිගරට් එකක් බොන්ට හිතෙන්නෙ නේද?..දැං මෙහෙමනෙ දොස්තර මහත්තයො...ඔය හීතලට වගෙ බොනව. බඩගිනි උනාමත් බොනව. තව දවල්ට කාල එකක් බොනව. රෑට කාලත් බොනව. තව..දුකක් වගෙ හිතුනම...එතනිං ගිහාම තංතෝසයක් ආහම...ටොයිලට් එකට ගිහාම...වයිෆ් එක්ක ඇරගත්තම එකක් බොනව. ළමයිංගෙ කරදරේ ඉවසන්ට බැරිඋනාම එකක් බොනව. "

" ම්ම්...ඇති..ඇති...තව නැද්ද මොකවත් හේතු එහෙම? " දොස්තර මහත්තය අත උස්සල මිනිහගෙ කතාව නතර කරවල ඇහුව. 

" ම්ම්ම්..තව නේද? ආ..තව හේතුවක් නැතුව නිකනුත් බොනව…" 

මදු සාදය නැඟල ගියා.... 

" අපි තන්තෝසෙන් ඉන්නේ...දුක සෝකය නෑ දන්නෙ අයියා මල්ලී වාගේ..අයියා මල්ලී.....එක හැලියේ බත් කන්නේ..එක බුජමේ රා බොන්නේ....අයියා මල්ලී වාගේ අයියා මල්ලී.... 

ගීත රාවය පාවෙලා ගියා මිදුලෙ ජෑම් ගහට ඇවිල්ල හිටපු වවුලොත් බය කරගෙන.මම විමලෙගෙ කරේ එල්ලිල..විමලය මගෙ කරේ එල්ලිල...නටනව ආය නෑ...වළං හදන්ට පදම ගන්ට ආතු ලීය අල්ලගෙන කිරිමැට්ට පාගන්නැහෙ. 

මම ඉස්කෝලෙදි සෞන්දර්යය විසේට නැටුං කලේ...ඒ හින්ද මැණ්ඩියට ඉඳල හත් අඩිය පාගන්ට එහෙම පුලුවං මට යස අපූරුවට..ඇස්සහක් කටවහක් නෑ ඔන්න...හෙහ්, හෙහ්.....ඉස්කෝලෙ නැටුං කරපු කතාව මම කලින් කිව්ව නේද? ආ..නෑ නෙව ඒ කතාව කිව්වෙ අරූස්ගෙ ජීවිත කතාවට ටීකාවක් විදිහට. 

" මහත්තය දැං ඇති නේද? උදේ කොළඹ යන්ටත් තියේ නේද? " සැමී මයෙ ළඟට ඇවිත් හෙමීට ඇහුව. 

අම්මප..ඒකත් ඇත්ත තමයි..මහා කෝස් රාජයා පටංගන්නෙ නං අනිද්ද..ඒත් බස් වල යද්දි යන්ට එපාය එක විදිහකට. මහයියාවෙ රා කඩේ ඉස්සරහිං යනව වගෙ සුගන්ධයක් හමන කොට කෙල්ලෙක් වත් ආය ළඟිං ඉඳගනියියැ?...කියන්ට බෑ නෙව...නළලෙ කෙටූ මානවිකාවි හෙට කොළඹ බස් එකේදි හම්බවෙයිද නොවෙයිද කීයල කාටද හරියටම සහසුද්දෙං කියන්ට ඇහැකි?..හා..එහෙම නෙවෙයිද? 

" සැමී...එහෙනං කොල්ලො ඔය තියන එකක් ඇරහං මේසෙට…" 

කිරිමැටි පාගල දෙකංසෙං දාඩිය ගලනව ....සේට් එක ගලෝල වැලට දාල මම ගේ පිටිපස්සෙ වතුර ටැංකිය ගාවට ගියා මූණ කට ඩිංගක් හෝද ගන්ටවත් කියල. හප්පා වතුර ඩිංගක් මූණට වැටෙනකොට තියන සනීපෙ...ආය අහවල් දේකටද මූණ විතරක්? ඇඳං උන්නු සෝට් බෑය පිටිම්ම වතුර පනිට්ටු දෙකක් නවාගත්ත කරේ... 

ලක්ස් කෑල්ලකුත් අරගෙන ඉලුව යහමිං..ඒ කාලෙ ලක්ස් කොලේ හිටිය ලක්ස් ලලනාවං තමයි...ටීනා මුනීම්,පාවීන් බාබි, ශ්‍රී දේවි සහ සීනට් අමාන්....ලංකාවෙං..ස්වර්ණා, අනෝජා සහ සබීතා,  ....මාලනිත් හිටියද කොහෙද? 

" අයියෙ? " කණ ගාවම හීන්වට ඇහුනම මම ගැස්සිල ගියා එක පාරටම. 

" මේ විජිත නේද? මොකෝ මලේ?....අද උඹ දැක්කෙ නෑ දවසටවත්…" 

" මම කාමරේ හිටියෙ අයියෙ..අයිය හෙට යනව නේද?..." 

" ඔව් බං අර ඉන් සර්විස් ට්‍රේනිං එකක් ඇවිල්ලනෙ...රත්මලානෙ…" 

" මාස තුනක් …..නේද? " 

" ඔව් මාස තුනක්……...ඔන්න ඔය වැලේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් තුවාය දාපං කොල්ලො මෙහාට…" 

ඒ කාලෙ තිබ්බ ප්‍රෙන්ඩ්ෂිප් කියල ගහපු මහ විසාල බාත් ටවල්ස් ජාතියක්..තනිකර බූල් විමානෙ...හෙහ්, හෙහ් 

" අයිය දැං කොළඹ ගිහාම එන්නෙ මාසෙකට සැරයක් නේද?..." 

" ඔව් බං පඩි ගන්ට එන්ට එපාය...ඒත් එහෙම එවෙන්නෙත් නැතිවෙයි..අර සරතා විතරක් එයි..ඌ අරං යයි අපේ පඩිත් එක්ක. ලොක්ක කිව්වෙ ඔක්කොමල එන්ට එපාය..එකෙක් ඇවිල්ල ඔක්කොගෙම පඩි අරං යන්ටය කියල. " 

ඊට මාස දෙහෙකට විතර ඉස්සර සරතා පේමයෙං බැඳුන. අපේ ඔෆිස් එකේම ටයිප් රයිටර් ගෑණු ළමෙක් එක්ක. ඒ නිසා ඕකා දත මැදගෙන හිටියෙ මාසෙකට සැරයක්වත් ඇවිල්ල පේම සාගරේ දියබුං ගහල යන්ට. හුහ්..එව්ව කොහෙද අපිත් එක්ක… 

එදා දවල් ඔන්න මරු සීන් එක...දවල්ට බත් එහෙම සප්පායං වෙලා හිට අපි සාලෙ ඉඳගෙන සාකච්චාව කෝස් රාජයා ගැන. 

" මේ අපි මාරුවෙං මාරුවට එමු පඩි අරං යන්ට..එකෙක් ආහම ඇතිනෙ.නැත්තං නඩේම ආවොත් ලොක්කට මල පනියි. බොහොම පැහැදිලිව කිව්වනෙ එක්කෙනෙක් විතරක් එන්ටය කියල..මේ මාසෙ මම එන්නං..ලබන මාසෙ විමලෙ උඹ වරෙං..ඊළඟ මාසෙ ජයේ…" 

විමලෙත් කියාපු මිනිහ ඔව්වට… 

" ආ..ඒක හොඳයි..එහෙම කරමු...එතකොට මාස තුනත් ඉවරයිනෙ…" සරතගෙ මූණ දෙක උනෙ බලං ඉන්දැද්දි.. 

" මොකෝ සරත්...එහෙම හොඳයි නේද?..." විමලය මගෙ දිහා බලල ඇහැකුත් ගැහැව්ව. 

" අනේ අයියෙ මම එන්නං පඩි අරං යන්ට……" 

" එහෙම කොහොමද? සීනියෝරිටි එකේ පිළිවෙලට ඒ වරප්‍රසාදය ලැබෙන්නෙ..උඹ මෙතන බාලම එකා..නැද්ද මචෝ?...." විමලෙ මගෙ දිහා බැලුව.. 

" එහෙනං... එහෙනං... මොනව කියනවද? මොනව කියනවද? " මම ඒ කතාව අනුමත කලා ඔලුව බොහොම වේගෙං ඉහළට පහළට හොල්ලල... 

" අයියල මොකටද එන්නෙ? මම ගෙනත් දෙන්නං පඩිය අතටම."සරත ආයම කෙඳිරි ගානව. 

" එන්නෙ මොකටද කියන්නෙ?...යකෝ මාසෙකට සැරයක් යාලුවො හම්බ වෙලා පොඩි ආතල් එකක් ගන්ට ..වෙන අහවල් දේකටද? " 

විමලෙ කෑගැහැව්වම සරත බය උනාද කොහෙද..මට පව් කියල හිතුන.. 

" හරි..හරි මල්ලි උඹට එන්ටම ඕන නං වරෙං..මාස තුනේම හරි වරෙංකො..ඒකෙ අවුලක් නෑ.." සරතගෙ මූන යන්තං ඔන්න එලිය වැටුන.. 

" ඒත් නිකම්ම බෑ හරිද?..මාසෙට බෝතලේ ගානෙ අද රෑ උඹෙ ගානෙ බෝතල් තුනයි ...මොකෝ කියන්නෙ? " ඌ අහවල් එකක් කියන්ටද? ඉබ්බ දියට දාන්ටද ඇහුවම දැන් නෑවෙ කිව්වලු 

සරතගෙ ඒ බෝතල් තුනෙං පටංගත්තු පාටිය තමයි මේ තාම නැඟල යන්නෙ. 

ඇඟ පත පිහගෙන මම තුවාය ඉණ වටේ පටලෝගෙන සෝට් බෑය ගලෝල වැලට දැම්ම. 

" මල්ලි අපි කන්නයි තනන්නෙ.....උදෙම්ම කොළඹ යන්ට පිටත් වෙන්ටත් එපාය..වරෙං..තාම උඹ කාල නැත්තං බත් කටක් කමු…"ගෙට යන ගමං මම කිව්ව. 

" අයියෙ…..".ආයම විජිතය කෙඳිරි ගෑව.. 

" මොකෝ බං? කියාපංකො කියන්ට තියන දෙයක්……"මම ආපහු හැරිල මිනිහ ගාවට ගියා. 

" සුජාට කවි ලියන්නෙ කොහොමද අයිය ගිහාම? " 

අප්පටසිරි..මට එහෙම එකක් හාංකවිසියක්වත් මතක් වෙච්චි නැති හැටියක් අම්මාපල්ල....මාස තුනක් කොළඹ ආතල් එකේ ඉන්න එක ගැන සිහිය මිසක්ක මේ කවි කොන්ත්‍රාත්තුව ගැන මට වගේ වගක් නැති වෙච්චි හැටි..ඒත් ඉතිං එහෙම මතක් උනාය කියල අහවල් දෙයක්ය කියල කරන්ටද? 

මම මේ කියන කාලෙ මොබයිල් ෆෝන්ස් කියන එව්ව යන්තමට එක දෙක එන්ට පටං ගත්තු යුගේ. කොම්පියුටරුත් එහෙම තමයි, තිබ්බ දෙක තුනෙනුත් වැඩක් ගන්නවට වඩා කලේ එව්වට හඳුංකූරු පත්තුකරන එක. ලැප් ටොප් කියන එව්ව අහලවත් නෑ ඔන්න. අපි දන්න ලැප් ටොප් ඉතිං සජීවී ලැප්ටොප් තමයි. වෙරළක , මල් වත්තක, ගං ඉවුරක එහෙම .....හෙහ්, හෙහ්, දන්නවනෙ නේද? හරි ඔක්කොමල දන්නව.... 

පණිවිඩ හුවමාරුව ඉතිං තනිරූල් ඇස්සයිස් පොතකිං ඉරාගත්තු කොලේක කියන්ට තියන දේ කාබන් පෑනකිං ලියල ඇඹිලොප් එහෙකට දාල බත් ඇට හත අටක් පොඩි කරල අලෝල ධර්මිෂ්ඨ සමාජයක් මුද්දරේ දිව දික්කරල කෙල ගාල අලෝල රතු පාට පෙට්ටියට දාපුවහම ඔන්න දවස්  තුන හතරක් ඇතුලත යනව ඕන තැනට " යන්න සොයා මෙන්න මෙයා. " සෙනෙහෙකොල දාපු ඇඹිලොප් වල ඇඩ්ඩස් එකට උඩිං ඔහොමත් ලියනව.. 

සුජා එක්ක විජිතයගෙ කවි ගණුදෙනුව උනෙත් ඔය ලංකාණ්ඩුවේ තැපෑල මාර්ගයෙන්ම තමයි. ඉතිං කවි හුවමාරුවට කණකොකා අඬන්ඩයි යන්නෙ. වැඩේ ඇණ හිටිනව බඩු ෂුවර්. මොකද සුජාගෙ කවි ලියුම ආපුහම ඒක මට කොළඹට එවල ආයම මම උත්තරයක් ලියල විජිතයට එවල විජිත සුජාට යවනකොට කොහොමත් සති දෙකක් වගෙ යනව...ඒකෙ ආයෙ දෙකක් නෑ..ඒත් වැඩේ එතකොට බබා හම්බවෙලා. සුජාතට වැඩේ නෝන්ඩි වෙනව අසුරු සැණින්...මොකදෑ බොලේ ඉතිං මේකට දැං අපි කරන්නෙ?... 

විජිත එහෙම්මම කුස්සියෙ පඩිය උඩ ඉඳගත්ත දෑතිම්ම ඔලුව බදාගෙන. මාත් ඒ ලඟිම්ම ඉඳගෙන උගෙ උරහිසට අතක් තිබ්බ. 

" ඈ මලේ... මොකද අපි දැං කරන්නෙ? " 

" අනේ මට තේරෙන්නෙ නෑ අයියෙ.." විජිත ඔලුව බදාගෙනම කෙඳිරි ගෑව. 

මතු සම්බන්ධයි...... 

Wednesday, October 2, 2013

221. කවිකාරියකගේ ප්‍රේමය…..9


කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..2 

කවිකාරියකගේ ප්‍රේමය…..3 

කවිකාරියකගේ ප්‍රේමය…..4 

කවිකාරියකගේ ප්‍රේමය…..5 

කවිකාරියකගේ ප්‍රේමය…..6 

කවිකාරියකගේ ප්‍රේමය…..7 

කවිකාරියකගේ ප්‍රේමය…..8 



" මේ ඒයි... රෙදි ටික මිදුලට දාමු නේද? " 

ප්‍රියම්බිකා තොමෝ ඔය මොකක් හරි රූප ලාවන්‍ය කටයුත්තක නිරත වෙන ගමං කියනව.එක්කො නියපොතුවල මොකක් හරි රාජකාරියක්. නැත්තං කැරට්, අලිගැටපේර, කාමරංගා සහ ලංසි පැපොල් ඔන්න ඔය ජාති 1:1: 2: 3 අනුපාතයට මිස්‍ර කරල මූණ කටේ උලාගෙන ඉඳියි.එහෙමත් නැත්තං රාබු පෙති දෙකක් ඇස් බෝල උඩ තියාන පුටුවක දිගාවෙලා ඉඳියි වරුවකට එහා පැත්තෙ.. ඔන්න ඔය වගෙ මොකක් හරි විසිවිත්තරයක්. 

" අයෙමත් වහී වගෙ නේද? " 

මම කියවමින් ඉන්න පොතෙං හරි පත්තරෙං හරි ඔලුව උස්සල ආකහෙ දිහාවෙ බලනව. 

" නෑ ඔය අපූරුවට අව්ව වැටුනෙ…" 

" හ්ම්ම්ම්……" 

මම නැඟිටල ආයෙම අර රෙදි වනාපු අටල්ල මිදුලෙං තියනව. 

ආයෙම පුටුවෙ වාඩිවෙලා පොත අතට අරගෙන අරුන්දැ දිහා බලනව. මේ ඉන්නෙ අර මොකවද පෙති දෙහෙකුත් ඇස් උඩ තියාන… ඇස් වහගෙන… ඒ මදිවට අර පෙති දෙහෙකුත් ඒ උඩ තියාන ඉන්දැද්දි මිදුලෙ අව්ව පෑව්වය කියල මෙවුන්දැ දන්න එක නෙව පුදුමෙ...

ආ....තව එකක්... ඔය පායනව කියන කතාව ගැන...වැස්ස පායල ඒ එක්කම අව්වත් පායපු නිසයි මම රෙදි ආපහු මිදුලෙං තිබ්බෙ..එහෙම නේද? එතකොට වැස්ස පායනව කියන්නෙ වැස්ස නැතිවෙනවට..අව්ව පායනව කියන්නෙ අව්ව ඇතිවෙනවට...කොහොමද ඒකෙත් වැඩේ හැටි... 

ආ..ඔය පෙති ඇවිල්ල රාබු නෙවෙයිය එව්ව පිපිඤ්ඤය කියල කිව්වෙ අපෙ නෙලුං විලේ නෝන මහත්තැං..මටත් එක විදිහකට කට තියාගෙන ඉන්ට බෑ නෙව..සිකුරාද ඔන්න හවස...ස්කයිප් එකෙං..මෙහෙමයි දෙබස… 

" මේ...ඒයි... මම මේ අහන්ටමයි හිටියෙ." 

" මොකද්ද? ඔයා ඉතිං මොනවහරි අහන්ටමනෙ ඉන්නෙ..හිහ්... " 


" නෑ..නෑ..අර ඒ දවස්වල මතකද ? ඔයා රූප ලාවන්‍යය වර්දනේ කරපු දවස්වල…" 

( මම ඔය එයයිගෙ බියුටි කචල් නාඩගං වලට කිව්වෙ රූප ලාවන්‍යය වර්ධනය කොට ගැනීමේ ව්‍යාපෘතිය කියලයි ) 

" ඉතිං?..." 

" ඒ දවස්වල ඔයා අර ඇස් උඩ තියාගෙන හිටියෙ ..ඒ මොනවද ඒ? රාබු නේද?..." 

" හිහ්..මේ මොකෝ හිටපු ගමං ඒක මතක් උනේ?.." 


" නෑ මම අර බ්ලොග් එකේ ඒක ගැන ලිව්ව.." 

" දෙයියෝ සාක්කි..මේ මනුස්සය නං මාව නැතිකරලයි පස්ස බලන්නෙ..මොනවද ඉතිං ඔය මා ගැන ඕකෙ ලිව්වෙ?.." 


" ආය ලිව්වය කිව්වට එහෙමට දෙයක් නෑ අප්පා..ඔයයි ඔහොම රාබු පෙති දෙකක් ඇස් උඩ තියාගෙන හිටියයි කියලයි ලිව්වෙ.." 

" ආ..ඒක මිසක්...එතකොට ඉතිං මොකෝ මේ ඒක හගිස්සවන්ට හිතුවෙ.?...." 


" නෑ අර නෙලුං නෝන කියල ඉන්නව..මහිලාවක්..එයයි කියනව එහෙම ඇස්සුඩ තියාගෙන ඉන්නෙ රාබු නෙවෙයිය..ඒ පිපිඤ්ඤය කියල...හෙහ්, හෙහ්.." 

" හුහ්, එයයි මායි දන්න පිපිඤ්ඤයි රාබුයි...එයාට කියන්ට මම ඇවිල්ල බූටි කචල් ඩිප්ලෝමා එකකුත් කරලයි ඉන්නෙ කියල…" 


ඔන්න හැබෑටම මට එතකොටනෙ මතක් උනේ..මුන්දැ ඔය රූප ලාවන්නිය පාටමාලාවක් කොලානෙව තුම්මස් අර්ද කාලීන සන්දියා...ඕක කොරල සහතිකෙත් අරගෙන ආව ගෙදර...සහතිකේ රාමු කොරල එල්ලුව සාලෙ බුද්දරූපෙ එක්කම පැත්තකිං..පාටමාලාවෙං දුන්න අඩුම කුඩුම වෙනම තැම්පත් කලා ඒ කිට්ටුවම රාක්කෙක. 

ඔවුන්දැ ඔය කෝස් එක කොරන කාලෙ මාව තමයි ගත්තෙ රට හාවට....කලාස් එකේ කියලදෙන එව්ව අත්හදා බලන්ට..ඇයි ඉතිං ඔය කියන කියන මංගල්ල වලට ඥැං පැං නොකිය කැමතිවෙන්නෙ මම විතරයි නෙව..හෙහ්..හෙහ්..ඒ විස්තරේ ඔන්න ගුරුවරියක් සමඟ මගේ ජීවිතේ ලියනකොට...හොඳද?.. 

පස්සෙ කෝස් එක කොරලත් සතියකට දෙතුං පාරක් මගෙ මූණෙත් උලන්ට ගත්ත ඔය පේසල්ද මොනවද අර කිරීං වගෙ ජාතිය..ඕනෑ මංගල්ලයක්ය කියල මාත් හිටිය සද්ද නැතුව..එපාය කිව්වනං මූණ දෙලේ වාගෙ කොරගන්නව නෙව... 

අම්මප කිව්වත් වාගෙ ඒ වැඩෙං මයෙ මූණ කට ආවනෙව පාට වැටිල..ඒත් වැඩි කාලයක් ඒ පොයියංගම තිබ්බෙ නෑ. දවසක් ඔන්න අපි දෙන්න යනව නුවර ටවුමෙ...හෙහ්, හෙහ්..ඒ කතාවක් කියන්නං එහෙනං අර ගුරුවරී එක්ක මයෙ ජීවිතේ කතාවෙදි... 

රෙදි අටල්ල මිදුලෙං තියල හරි බරි ගැහිල ඉඳගත්තට පොතේ පිටු දෙකක්කත් කියවන්ට උනාය..ඕන්න හතර වටිං කළුකොරගෙන වැහැගෙන ආපි. 

" ආං වහිනව නේද?...." 

රාබු පෙති දෙකට පල්ලෙහායිං ඒ නියෝගය නිකුත් උනේ.. 

" වහිනව නේන්නං …." 

දත්මිටිත් කාගෙනම එහෙම කියාගෙන මිදුලට බැහැල ආපහු අටල්ල අරං ආව ගේ ඇතුලට. 

හෝස් ගාල වැහැගෙන ආවට ඒ වැස්සත් ගහගෙන ගියා හුළඟට.ආයම අව්වකුත් වැටිච්චි.. 

" මේ...ආයම රෙදි ටික මිදුලට දානවද? " 

" අනේ මට නං බෑ..මිදුලට දාන්ටයි..ඒ එක්කම ආපහු ගන්ටයි මොන වදයද්ද? ඔන්න ඔහෙ වේලිච්චාවෙ ගේ ඇතුලෙ…" මට තරහෙ බෑ.. 

" ආ..එහෙම කියල කොහොමද? ගේ ඇතුලෙ වේලුනහම ඇඳුං පුස් ගඳයි.හෙට අපේ ඉස්කෝලෙ සුබ සාදකේ රැස්වීම. ඔය හෝදල තියෙන ලා කොල පාට හැට්ටෙ අඳින්ට ඕන අර ගිය සුමානෙ ගත්තු කොලයි කහයි ඔසරිය එක්ක. " 

" ඉතිං ඕකම අඳින්ට ඕනය හෙට?.වෙන මොකක් හරි එකක් අඳින්ට බැරිද? " 


" ඔයා පිස්සු කතාකරනවද?....අනික් තියෙන එව්ව ඔක්කොම මම කලින් ඇඳපුව..එව්ව හරියන්නෙ නෑ.." 

රාබු පෙති දෙක දබරැඟිලි වලින් හෙමීට තද කරන ගමන් එයා කියනව..ඉතිං කාටද මෙව්ව කියන්නෙ? 

" හ්ම්ම් ඒකත් එහෙමද? " 

පපුව හිස් වෙලාම යන්ට දිග හුස්මක් පහලට දාල මම නැඟිටල රෙදි අටල්ලත් උස්සගෙන ආපහු මිදුලට බැස්ස. 

" මේ දන්නවද ඔය වහිනව... පායනව... ආය වහිනව..ඔය දුවන වැස්සට කියන්නෙ මොකද්ද කියල?.." 

ආයෙම පොත අතට අරගෙන මම ඇහුව. 

" ඔයානෙ ඔය විස්තර දන්නෙ..මමයැ? හ්ම්ම්ම්ම්…….කියන්ටකො බලන්ට…" 

වැඩිය හයියෙං කතා කරන්නෙත් එහෙම නෑ. රූප ලාවන්නිය සීන් එකට බාදාවක් වෙන්ටැ මයෙ හිතේ.. 

" ඔය ඒ දවස්වල වී තම්බල වේලනවනෙ. පැදුරුවල වී වනල අව්වට දැම්මම ඔන්න වැහැගෙන එනව..ඉතිං බබලත්තු දනිපනි ගෑවිල්ලෙ වී පැදුරු ගෙට ගන්නව. ආයම පායනව.... ඔන්න එතකොට ආපහු අව්වෙ වනනව. ආය වහිනව. ඔන්න ඔය නිසා ඔය වගෙ දෙකට දෙවාරමේ වහින වැස්සට කියන්නෙ ගෑණු නටෝන වැස්ස කියල...හෙහ්, හෙහ්, " 

" ආ..වී වේලනව කිව්වම මතක් උනේ..මට මේ වැඩේ හින්ද මෙතනිං නැඟිටින්ට වෙන්නෙ නෑ තව පැයකට හමාරකට..දැං දොළහටත් කිට්ටුයි නේද?...ඔහොම්මම ගිහිල්ල හාල් ටිකක් තියන්ටකො ලිපේ...ඒ කරල පරිප්පු හුණ්ඩුවක් විතර අරගෙන ගරන්ටකො ඒ එක්කම…" 

අනේ අම්මප...මටත් කට තියාගෙන ඉන්ට බැරි හැටියක්... 

" ඒයි මේ...ඔන්න ආයම වැහැගෙන එනව.." 

මම හාල් මනින අස්සෙ ඔන්න එවුන්දැ ආයෙම බෙරිහං දුන්න. 

හරි ඒ ගෑණු නටෝන වැස්සෙ විස්තරේ එච්චරයි..දැං අර කියන්ට ආපු කතාවට... 

උදේම නැඟිටල ඔන්න දෙන්න එක්කම එකතුවෙල බත් මාලු උයාගෙන පාස්සලයක් බැඳගෙන …...මයෙ තියනව බොහොම හුරු බුහුටි හං මල්ලක්.. 

ඒ කාලෙ ඉඳලම මගෙ ගාව ලෙදර් ට්‍රැවලිං බෑග් එකකුයියි ඩෙනිමකුයි වරදින්නෙම නෑ.ඔය දෙක මගෙ ට්‍රේඩ් මාර්ක් එක වගෙ වෙලා තිබ්බෙ.මගෙ හම් මල්ල ඒ කාලෙ ඉඳලම බොහොම ජනප්‍රියයි. 

බොහොම වෙලාවට මට ගෙදර යන්ට උවමනා උනාම කෑම්ප් එක මුලුක්කාදියෙ ඇවිදින්ට ඕන ඕක හොය හොය.එහෙම ගියත් වැඩක් නෑ සමහර වෙලාවට … 

" අනේ මචෝ..මම අනිද්ද ගෝලය බලන්ට යන්ට කියලයි හිතං ඉන්නෙ..මේ තරහ නැතුව උඹ ලබන සුමානෙ පලයං ගෙදර..හෙට යන්ටම ඕන නං මේ මගෙ බෑග් එක අරං පලයං.." 

ඇඳ අස්සෙ අත පත ගාල ඒකා මට අරං දෙනව උගෙ බෑග් එක. 

මේ පරණ හම්පඩ ලදරමක්!!! 

" නෑ..මචං කමක් නෑ..මම උඹ ආවට පස්සෙ යන්නං " 

මම එහෙම කියල ආපහු හැරිල එනව..ආ..මම කලිනුත් පාරක් කිව්ව..ඒත් නොදන්න අයටයි මේ..ගෝලය කියන්නෙ තමංගෙ සෙනේවන්තියට නොහොත් කෙල්ලට... හොඳද? 

ඉතිං ඔය නුවර ව්‍යාපෘතියෙ මම වැඩ කරන කාලෙ මයෙ බොස් ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් මැනේජර්ගෙ ගෙවල් ඇවිල්ල ගම්පොල පාරෙ ගෙලිඔය. උදේ එනකොට පැණිදෙණිය හරහ ඇවිල්ල මාවත් දාගෙන යනව.එතුමාට හදිස්සි වෙනත් වැඩක් යෙදිච්ච දවසට මම බස් එකේ යනව නුවර... 

මේ සිද්දිය උනේ අන්න එහෙම දවසක... 

බස් එකේ වීදුරුව අයිනෙ සීට් එකක හරිබරි ගැහිල වාඩි වෙලා එහෙම බෑග් මල්ල උකුල උඩ තියාගෙන පොතකුත් දිගඇර ගත්තම ආය මම පියවි ලෝකෙට එන්නෙ බස් එක ගමනාන්තෙට ඒ කිව්වෙ නුවර පොලිසිය ගාව හෝල්ට් එකේ නතර කලාම. .. 

පැණිදෙණිය බස් එක පේරාදෙණිය මල් වත්ත හරියට එනකොට පිරෙනව. එදා මම කියෙව්වෙ ඩබ්ලිව්. ඒ අබේසිංහ මහත්මයගෙ සාහිත්‍ය විචාර ලිපි එකතුවක්ය කියල මට තාමත් මතකයි.ගැටඹෙ හරියට එනකොට චුරු චුරු වැස්ස ටිකක් තදකලා.වීදුරුවත් වහල මම ටිකක් වෙලා බලාහිටිය බස් එකේ වේගෙ වැඩිවෙනකොට වැහි බිංදු වීදුරුව දිගේ තිරස් අතට ගලාගෙන ඇවිල්ල අන්තිමට නොපෙනී යන විදිහ.ආයම ඔන්න පොතට සම වැදුන. මුල්ගම්පල හරියෙදි මා ලඟ හිටපු මැදිවියේ මනුස්සය නැඟිටල එතන වෙන කවුරුහරි ඉඳගත්තය කියල තේරුණට පොතේ සිහියෙන් හිටපු මම ඒ ගැන ඒ හැටි තැකීමක් කලේ නෑ. 

ඒත් ඉඳගත්තු පුද්ගලය එබි එබී මයෙ අතේ තිබ්බ පොත කියවන්ට උත්සාහ කරන්ට උනාම මට ඔලුව උස්සල කවුද බොලේ මේ? කියල නොබලම බැරිඋනා.අවුරුදු දාහතක දහාටක වගෙ දැරිවියක්. ඒ ලෙවල් ක්ලාස් යන්නව වෙන්න ඕන. උකුල උඩ පොත් කීපයක් තිබ්බ. ෆයිල් එහෙකුත් තිබ්බද කොහෙද... 

මට යන්තමට හිනාවක් ගියෙ ඉබේම. මම කලිනුත් කිව්ව වගෙ මෙච්චර කෝච්චියෙ බස් එකේ පොත් කියවමින් ගියත් ඒ පොතක් ගැන යන්තමට හරි උනන්දුවක් පෙන්නපු, අඩු ගානෙ එබිල බලපු හරි කෙනෙක් මට ඔය මුනගැහුනමයි.එක්කො කෝච්චියෙ යනකල් ඔය මොනවහරි වල්පල් දොඩවයි නැත්තං මේ පැඟිරො පැඟිරියො වගෙ නං අර බොත්තං දෙකක් වගෙ කං වල ගහගනියි.. 

ඊට පස්සෙ ඔලුවයි අතපයයි තුන හතරම ඒ තාලෙට හොල්ල හොල්ල ඉඳී අර ගහේ බැන්ද අලි නාම්බො කොච්චරවත් දෙපැත්තට ඔලුගෙඩිය හොල්ලන්නැහෙ..අනේ වරදවා වටහගන්ට එහෙම එපා..මම මේ එහෙම එව්වට වැරැද්දක් කියනව එහෙම නෙවෙයි ඔන්න.තමං කැමති දේ කොරන්න තමන්ට පූර්ණ නිදහස තියෙන්න ඕන..ඒක හරි..එකඟයි..මම මේ කිව්වෙ රටේ ලෝකෙ සිද්ද වෙන දේවල් විතරයි.. 

කෙල්ල කොච්චර පොත ගැන උනන්දුවෙං හිටියද කිව්වොත් මම එයා දිහා බලාඉන්නව දැක්කෙත් මිනිත්තුවක් වාගෙ ගියාට පස්සෙ..ලැජ්ජ හිතුනද කොහෙද? මූණ කටත් එක්කලා රතුවෙලා අහක බලාගත්ත. 

" ආ..අරං බලන්න ඕනෙ නම් .." 

මම පොත් දික්කලා ඒ ළමයට.. 

" ස්තූතියි…" 

දැරිවි පොත අරගෙන හනිකට කියවන්ට ගත්ත. 

වෙම්බ්ලි හෝල් එකත් පහු උනා. බස් එකේ ගමනාන්තය නුවර පොලිසිය ලඟ හෝල්ට් එක ඊලඟට. ඔලුව උස්සල වටපිට බලපු අර ගෑණු ළමය කඩි මුඩියෙ පොතෙ ඉතුරු පිටු පෙරලන්ට පටං ගත්ත. 

ඒ දිහාවෙ හිනාවීගෙන ටික වෙලාවක් බලාඉඳල මම ඒ හිනාවෙන්ම ඇය ඇමතුව. 

" ඔයාට ඕනෙ නං පොත තියාගන්න…" 

ඒ ළමය මා දිහා බලල හිනාඋනා.. 

" බොහොම ස්තූතියි.." 

ඔන්න ඔය විස්තරේ මම හවස ගෙදර ඇවිල්ල අපෙ හාමිනේ එක්ක කිව්වම උන්දැ කියාපි. " හහ්..නරක නෑ ඒ වැඩෙත්...ඔන්න බලන්න හෙට ඉඳල ඔයාගෙ ඔය පරිත්‍යාගය දැක්ක කෙල්ලො ඔක්කොම ඔයා ලඟ ඉඳගෙන පොතට එබෙන්නෙ නැද්ද කියල " කියල...හෙහ්...හෙහ්, 

කොහොම හරි ඊට පස්සෙං පහු පොත් කඩේකට ගියොත් නං මම හෝදිසි කරල බලනව අර පොත ගැන….. ඒත් හම්බ උනේ නෑ නෙව තාමත්... 

හප්පච්ච්යේ මදැයි.....යාන්තං ඔන්න ආපහු කියන්ට ආපු කතාවට ආව..සුජාගෙ කතාවට... 

ජයන්තිපුරේ පහුවෙනකල් වගෙ ඉස්සරහ සීට් එකේ දෙන්න..මතකයි නේ? විජිතයි..සුජාතයි...ඔන්න හිනාවෙවී මුකුළු කරකර ගියා. මට එව්වයිං වැඩක් ඇත?..මම පුල් අවදානෙ පොතට යොදල පොත කියෙව්ව. කොච්චරක් නං පොතේ සිහියෙං හිටියද කිව්වොත් සුජා පස්ස හැරිල මට කතාකරනව කියල මට ඇහුනෙ ඔන්න මම හිතන්නෙ ඒ ලමය මට කතාකරපු හතරවෙනි නැත්තං පස්වෙනි විඩේ වෙන්න ඕනෙ.. 

හිතට අල්ලන පොතක් කියවන්ට ගත්තම මට මුලු ලෝකෙම අමතක වෙනව.වෙන මොකවත්ම පේන්නෙ ඇහෙන්නෙ නැතුව යනව.. 

" ඔයා මොකද ඉතිං? ….පොතක් අතට ගත්තද ලෝකෙ පෙරලුනත් ගානක්වත් තියනවය? " 

ප්‍රියම්බිකා තොමෝ එහෙම කියල හිනා උනාට ඒ විහිළුවටමත් නෙවෙයි කියලත් මං දන්නව. 

" මොකක්ද අයියෙ පොත? ඔච්චර උනන්දුවෙන් බලන්නෙ? මම කීපාරක් කතා කලාද? " 

මම ඔලුව උස්සනකොට සුජා හිනාවීගෙන ඉන්නව. 

" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" 

මමත් සීරියස් පිටම කිව්ව. 

සුජාතා හිස ගස්සල හයියෙං හිනා උනා. හිනා උනා කිව්වට වැඩිය හරි මයෙ හිතේ හිනා ගියා කිව්වනං..මගෙ සීට් එකේ එහා පැත්තෙ හිටියෙ ටිකක් විතර වයසක අම්ම කෙනෙක්. උන්දැ තොල් අකුලුවල නුරුස්සන බැල්මකින් සුජා දිහා බලල අහක බලාගත්ත. ජනේලෙං එලිය බලාගෙන හිටපු විජිත එක පාරටම සුජා දිහා හැරිල බලල ආපහු ඉස්සරහ බලා ගත්ත. 

සුජා අතිං කට වහගෙන හිනාව නවත්ත ගන්ට හැදුවට මොන? ඒ අම්මණ්ඩි ඇවිල්ල හිනාවෙන්ට ගත්තම ආය නවත්ත ගන්ට පුලුවං ලලනාවක් එහෙම නෙවෙයි...මම තොල් හපාගෙන ජනේලෙං එළියට දෑස් යොමුකරගත්ත. 

" ඇත්තටම මොකක්ද ඔය පොත?.." 

" මේක මේ ආතර් සී. ක්ලාක්ගෙ පොතක්…" 


ඒ වෙලාවෙ ඉඳල දඹුල්ල ඔර්ලෝසු කණුව ලඟ මම බහිනකල් නවකතා, චිත්‍රපට,නාට්‍ය ගැන බොහොම දේවල් අපි කතා කලා. කලාව ගැන එහෙම උනන්දුවක් තිබුණු ඒ වගේම කලාව ගැන හරවත්ව යමක් කතාබහ කරන්ට පුලුවන් ඒ වගෙ යුවතියක් මට මුණගැහුනෙ බොහොමත්ම කාලෙකට පස් සෙ. 

සුජා විජිතත් සැරින් සැරේ අපේ කතාබහට එකතු කරගත්ත. දඹුල්ල ටවුන් එක කිට්ටු වෙනකොට මම නැඟිටල උඩ රාක්කෙං ගත්ත මයෙ සුපුරුදු ගමං මල්ල...අරං දාගත්ත කරට... 

" අඳුන ගන්න ලැබීම ගැන හුඟක්ම සතුටුයි මැඩම්...එහෙනම් මම බහිනවා..විජිත මල්ලි... සඳුදට හම්බවෙමු." 

" හරි අයියෙ අපි ආයෙ හම්බවෙමු...." 


සුජා මගෙ මූණ බලල බොහොම සුන්දරව හිනා උනා. 

කොන්දොස්තර කොලුව එක පාරට දොර ඇරියම හමාගෙන ආපු සුළං රැල්ලක් සුජාගෙ බෙල්ල ගාවට කෙටිකරල කපල තිබ්බ කොණ්ඩෙ අවුල් කරල දැම්ම. 



" මේ මට කවි එවන්න හොඳද? " 

හුළඟත් එක්ක පොර බදන අකීකරු කෙහෙරල දමනය කරගන්ට දෑතින්ම උත්සාහ කරන අතරෙ ඈ මට කිව්ව. 

ඒ දෙන්න ඉඳගෙන හිටපු සීට් එක පහුකරල ඉස්සරහට ගිහිල්ල මම එක පාරට ආපහු හැරිල අතේ තිබ්බ පොත ඇගේ උකුල උඩට දැම්ම. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එහෙම කියල මම බස් එකෙං බැස්ස. 

ආතර් සී. ක්ලාර්ක්ගෙ ඒ පොත සුජාතා ඊට සති දෙකකට විතර පස්සෙ විජිත අතේ ආපහු එවල තිබ්බ. ඒත් වැඩි කලක් යන්ට ඉස්සෙල්ලම ඒ පොතම ආපහු එයාටම සිහිවටනයක් විදිහට දෙන්ට මට සිද්ද උනේ හීනෙංවත්, තුංහිතකිංවත්, නොහිතන නොපතන දේවල් ගහෙං ගෙඩි එන්නැහෙ ඩොග් ගාල සිද්ද වෙන එක ජීවිතේ හැටියක්ය කියල  කියා දෙන්ටදෝ කියල මට තාමත් හිතාගන්ට අමාරුයි....:( 

මතු සම්බන්ධයි...... 


Friday, September 27, 2013

220. කවිකාරියකගේ ප්‍රේමය…..8

අම්මප මේ පාටකයොයි කියන ජාතිය එක්ක බෑ නෙව කිසිම දෙයක් කොරන්ට 

හෙන්රි නොම්බර එකේ පාටක තුමා, අරූස් පාටක තුමා සහ මාතලං පාටක තුමා යන තුන්බෑ පාටකයිං ගැනයි මම මේ කියන්නෙ හෙහ්, හෙහ් අර බුදු හාමුදුරුවංට අනෝතත්ත නම් පර්වතේ මුදුනෙ ඉඳගෙන ගල් පෙල්ලපු තුං බෑ ජටිලයො වගෙ තමයි මෙවුං තුං දෙනා.. රම්ය සුරම්ය සුබ තමයි ජටිලයිංගෙ නං..එවුං කරකාර බැඳල උන්නෙ අර තන්හා රතී රඟා කියන තුංදෙනා...දැං මට ලියන්ට වෙලා තියෙන්නෙත් එවුංට ඕන විදිහට..හෙහ්, හෙහ්, තරහ නෑනෙ නේද? හුදෙක් විහිලුවක් පමනි. 

උඹල කියවන්නෙ නැත්තං ඉතිං ලියන එව්ව රෝල් කරල අර කොහෙද ගහගන්ටයැ නැද්ද? ඔය එහෙ මෙහෙ ගහගන්න එක ගැන නං කතන්දර තියනව මහ හුඟක්.. අර අම්ම පොඩි එකාට කියන්නෙ ආ..ඒක සුළු දෙයක් කියල ඒ එව්වයිං කතාවක් තමයි. 

ඉතිං එහෙනං එවුංගෙ ඉල්ලීමට ගරු කිරීමක් වසයෙං ආයෙම ඊයෙ ලියාපු කතාව සයිලිය වෙනස් කොරල එහෙනං ලියල බලමුකොය කියල මම හිතාගත්ත. 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 


අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

කුරුණෑගල ඉන්ටසිටියකට අපි තුන්දෙනාම නැග්ග.මම ඒ දෙන්නට පස්සෙ සීට් එකේ ඉඳගත්ත. 

" අයියත් කවි ලියනව කිව්වනේද? " 

ඇය ඇහුවෙ විජිතගෙ මූණ බලල හිනාවෙලා, ඒ එක්කම පස්සහැරිල සීට් දෙක අතරින්.විජිත සීට් එකේම ආපහු හැරිල මගෙ දිහා බැලුව. මම විජිතගෙ මූණ දිහා බලල ආපහු සුජා දිහාට හැරුනා. 

" ආ..මේ,..ඔව්..ඔව්...ඔය නිකමට වගෙ හිතුනම මොනව හරි කුරුටු ගානව.." මම හිනාවෙලා කිව්ව. 

" අයිය ලියපු කවි මට එවන්ට පුළුවන්ද?...මමත් ඔය ඉඳ හිටල කවියක් දෙකක් ලියනව. එව්ව හොඳද නම් මන්ද....විජිතටත් කවි ලියන්ට පුළුවෙනි අපූරුවට…" 

එක දිගට කියවගෙන ගිහිල්ල සුජා විජිත දිහාවෙ බලල හිනාඋනා. 

විජිතය බාගෙට ඔලුව හරවල හොරැහිං වගෙ මගෙ දිහා බලල ආපහු ඉස්සරහ බලාගත්ත.මම බෑ කියද්දිම මේ කෙල්ල මට මුණ ගස්සල ඌ කර ගත්තෙ අර බැළතණ ගහේ රුන්න වගෙ වැඩක් වත්දෝ කියල මේ ටිකටම ඌට හිතිල බව මට තේරුං ගන්ට අමාරුවක් උනේ නෑ. 

බැලතණ කේස් එක දන්නව නේද? හරි දු.දැ. ස. - බැළතණ කියන්නෙ පොඩි වල් පැලෑටි ජාතියක්. කොලේ පලලයි. බොහොම හයියයි. තෙපුල් දෙනව බොහොම අපූරුවට. තෙපුල් දෙනව කියන්නෙ ළමයි නම්‍ය ශීලී නැත්තං ෆ්ලෙක්සිබල්...වැව් පිටිවල බොග දාල නැත්තං ඉතිං ඔය බැලතණ කේස් එක ගැන දැනගන්ට විදිහක් නෑ. ඔය ගෙවල් ඇතුලෙ අර කොමෝඩ් මඟුලෙ රෙන වෙලාවෙ බොලල්ලා ඉඳහිටල ඉරිදාකවත් ළමයි බමයි ඔක්කොම එක්ක ගිහිල්ල කොහෙ හරි ඇලක් අයිනෙ, එහෙම නැත්තං බඩ වැටියක, ලන්දක, අඩුම ගනනෙ හිඟුරු පඳුරක් යටට වත් ගිහිල්ල Open Air Bogging පුරුදු කරපල්ල. 

ඒකෙ තියන ආතල් එක කියන්ට බෑ විඳලම බලන්ට ඕන. හීතල හුළඟ හමල ඇවිත් ඔන්න, අදෝ මුකය කූල් කරනව. සිහිල් සුලං රැල්ලේ...අදෝ මුකය කූ...ල්වේ ඒ ඒ….... දමනා විට බොග තුත්තිරි පිටියේ....දෙව්ලොව සැප මතුවේ..ඒ ඒ......තුත්තිරි ගාලක බොග දාන එකනං ආය කියල වැඩක් නෑ...හෙහ්, හෙහ්, 

In life some things are undescibable.They are simply undefined. They are to be felt only. ජීවිතයේ සමහර හැඟීම් විස්තර කිරීම ඉතා අපහසුය. එවන් හැඟුම් අත්විඳීමෙන්ම පමණක් වටහාගත යුතුය. ආය දෙකක් නෑ මටනම් බුදු ෂුවර් මේ පඬි ටෝක් එක දුන්නු බුවා අනිවා තුත්තිරි පිටියක බොග දාල තියනව. 

අම්මට වූඩු..තාත්තට ගෝයා..බැළතණ පඳුරු තැලිල්ල බොහොම දුරදිග ගියා නේද? තවම අරුං තුං දෙනා බස් එකට නැඟපු ගමං නේද? හරි ඩබල් එකේ එහෙනං බැළ තණ කතාව කියල ආයෙම සුජාගෙ කතාවට හරිද? 

ඉතිං ඔය වැව් පිටි මල පහ ක්‍රියාවලියෙදි බැලතණ පඳුරක් උඩට බොග දැමීමෙන් සපුරා වැළකිය යුතුයි. නැත්තං මොකද දන්නවද වෙන්නෙ? කෙළිං කටිං ඉඳගත්තම පස්චාත් බාගයට යට වෙලා බැළතණ පඳුර නැවෙනව. හැබැයි කැඩෙන්නෙ නෑ. ඉතිං ඒක උඩ බොග දාල නැඟිට්ට ගමං දුන්නෙ දුනුදිය කැඩුනැහෙ බැළතණ පඳුර කෙලිං වෙනව. ආය මොනවද ඉතිං...කැටිපෝලෙං විද්ද වගෙ අරව ඔක්කොම කෙලිම්ම පිට මැද..හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ අප්පා...වරුවක් නාන්ට උනා මට එක පාරක්... 


ඕක තමංගෙ බොගනං ඔහෙ ඕන මඟුලක් කියල ඉවසුවෑකි. දෙන්නෙක් පිටිපාල ඉඳගෙන බොග දාල එකෙක් කලිං නැඟිට්ටම තමයි වැඩේ කිරිමෙල්. හැබැයි මෙහෙම කේස් එකකුත් තියනව. ඒ වගෙ ආස පොලෝ නුහූලන අපරාදයක්  වෙන්ට තව කාරනයක් සම්පූර්නවෙන්ට ඕමනයි. අනික් එකා බොග්ලිං වැඩේට පාත් වෙද්දි බැළතණ පඳුර විරුද්ද පැත්තට නැවෙන්ට ඕන. එහෙම වෙනව බොහොමත්ම අඩුයි. ඒත් එහෙම වෙලා තියනව කියල මම දන්නව.අපෙ විමලෙ අයිය
O.A.B. වැඩේට කප් ගහපු එකා. ඕකගෙ ඒ සම්බන්ද කතා දෙක තුනක් තියනව වාං පතුල් සීරීස් එක ආයෙම පටංගත්තම එව්ව කියන්නංකො හොඳද?

ආ... ඔය කෙලිං කටිං බොග දැමීම කියන එක සරීර සවුක්කියටත් බෝම හොඳයි කියනව. ඒ කියන්නෙ බොලේ බොග දැමීමේ ස්වාබාවික ඉරියව්වනෙ ඔය කෙලින් කටින් ඉඳගෙන ඔය වැඩේ කොරන එක. මිනිස්සු කියන ජාතිය ඉතිං දන්නවනෙ. ස්වාබාව දර්මයා නියම කරල තියෙන ඉරියව්ව නැතුව වෙනත් නොයෙක් නොයෙක් ඉරියව් වලින් නෙව ඔය කොයි වැඩෙත් කොරන්ට හදන්නෙ.හෙහ්, හෙහ්... 

දැං බලන්ට කෙලිං කටිං ඉඳගත්තම කලවා දෙකට බඩ ප්‍රෙස් වෙනව අපූරුවට. එතකොට මොකක්ද වෙන්නෙ? මහ බඩවැල හොඳට ප්‍රෙස් වෙලා ඇතුලෙ තියන මල ඔක්කෝම එලියට එනව බුරූස් ගෑවිල්ලෙ. මහ බඩවැලේ මල ඉතිරිවෙන එක පිලිකා වලට හේතුවක්ය කියල කියනව.කෙලිං කටිං ඔය වැඩේ කලාම ඔය කිසි අසනීපයක් නෑ. අනික වියායාමෙ. බඩට, කලවා වලට, කෙන්ඩා වලට, වලලු කරට ඔක්කොටම හොඳයි ඒ වැඩේ. හැබැයි ඉතිං කෙලිං කටිං කොහොම වෙතත් කොමෝඩ් එකෙත් දැනටත් බොහොම අමාරුවෙං ඉඳ ගන්න උදවියටනම් කරන්ට දෙයක් නෑ.කෙලින් කටිං ඉඳගත්තොත් ඉඳගත්තම තමයි කියල හිතෙන අය දිගටම කොමෝඩ් එකම පාවිච්චි කරන්ට ..අවුලක් නෑ...හෙහ්, හෙහ් 

අර චෙන්නෙයි වල එහෙම වෙරලෙ මිනිස්සු එක දිගට ඉඳගෙන සමූහ බොග දාන්නෙ මොකද දන්නවද? ආන්න..ඒ මිනිස්සු දන්නව ඒකෙ අගේ..අපේ මේ මෝඩයො කරන්නෙ උංට පස් පඩංගුවෙ බැණ අඬගහන එක නෙව. කාගෙං උනත් හොඳ දේවල් ඉගෙන ගන්ට ඕන..නැද්ද? 

ගොමු තැලීමෙහි අවසානය..නැවතත් ප්‍රස්තුත ප්‍රධාන අන්දරය වෙතට... 

" ඔව් සුජා..විජිත අපූරුවට කවි ලියනව. මමත් මෙයාගෙන් තමයි සමහර වෙලාවට පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ…" 

මේ මනුස්සයගෙ ( ඒ කිව්වෙ විජිතගෙ හොඳද? අමතක නං ගොමු තැලීමට පෙර කොටස ආයම බලන්ට )..හිත හදන්ට ඕන නිසා මම එහෙම කිව්ව. කොල්ල හැරිල මගෙ දිහා බලල හිනාඋනා..පව්... 

හෙහ්,ඒකටත් එක්ක අර අම්මණ්ඩි. කිසිම ගානක් නෑ..ඔහෙ කියවගෙන යනව ගිරවි වගෙ. 

" මම ඇත්තටම මුලින්ම හිතුවෙම නෑ විජිතට කවි ලියන්ට පුළුවන්ය කියල.ඒත් එයාට ලස්සනට කවි ලියන්ට පුළුවන්ය කියල දැනගත්තම මම හුඟක් සතුටු උනා. අයියත් ලස්සනට කවි ලියනව කියල විජිත මා එක්ක කිව්ව.ඊට පස්සෙ තමයි මම කිව්වෙ මට අයියව හම්බ වෙන්ට ආසයි කියල. විජිත ලඟ ඇති මම ලියපු කවි. ගොඩක් හැබැයි බොලඳ ඇති...හිහ්, හිහ්...අයිය එව්ව බලල මට අඩුපාඩු හදාගන්ට උදව් කරන්නකො..හොඳද? " 

කොන්දොස්තර ගැටය පස්සට ආව ටිකට් ටිකට් කියාගෙන. බලු සීට්වල උන්නු එවුං ඔක්කොම නැඟිටල ඉඩ දුන්න. ඔය බොහෝ විට නගරාන්තර බස් වල තියන මැද අකුලන සීට් එකට බලු සීට් එක කියල කියන්නෙ මොකද දන්නවද? ඕකෙ ඉඳගත්තු මනුස්සය ආය පාර මැද බුදියගත්තු බල්ල වගෙ තමයි. බල්ලටත් වෙන වැඩක් නෑ වාහනයක් එනකොට පාරෙ අයිනට ගිහිල්ල ඉඩ දෙනව.වාහනේ ගියාම ආපහු ඇවිල්ල බුදිය ගන්නව. අර අකුලන සීට් එකේ ඉඳගත්තු මනුස්සයත් එහෙමනෙ. පිටිපස්සෙ කෙනෙක් නැඟිටල බහින්ට ගියත් නැඟපු කෙනෙක් පස්සට යන්ට ගියත් නැඟිටල ඉඩ දෙන්ටම එපාය. 

උකුල උඩ තිබ්බ හෑන්ඩ් බෑග් එක ඇරල අතක් ඇතුලට දාගෙනම සුජාතා පස්සට හැරුනා. 

" අයියත් කුරුණෑගලටම යනවය? " 

" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…" 


" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" සුජා මටත් එක්ක ටිකට් ගත්ත. 

" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට රුපියල් සීයක් දික්කරගෙන කිව්ව. 

" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං.

සුජා එහෙම කියල ආයෙම හිකි හිකි ගාල හිනා උනා. අනෙ අම්මප..මේ මනුස්ස දූට හිනාවෙන්ට කිසිම කාරනයක් ඕන නෑ නෙව..ගහකිං කොලයක් වැටුනත් ඇති නෙව කැකිරි පලන්ට...මට එහෙම හිතුන...මගෙ තොල් අතර හිනාවක් ඇඳුනෙත් ඉබේටම වගෙ. දෙණියෙ බෙණ කොස් ගහ යට ඉඳගෙන දවසක් හැන්දෑවෙ දොරගමු කන්ද රතු කරගෙන ඉර බැහැගෙන යනව බලාගෙන හිටපු දවසක් මයෙ හිතට ආවෙ ඒ එක්කමයි. එයා මගෙ උරෙස්සට ඔලුව තියාගෙන ඔහේ හිටිය වචනයක් වත් කියන්නෙ නැතුව.අපි ඉඳගෙන උන්නු තැනට පිටිපස්සෙ තිබුනු ගල් තලාවට ඉදිච්චි වරකයක් කොල අතු හූරගෙන ඇවිල්ල පත බෑවුනෙ ඔන්න ඔය වෙලාවෙ. මම බිරාන්ත වෙලා වරකෙ දිහාවෙ බලං හිටිය, අරය..ඔව්..එයා...එයා මොකද කලේ දන්නවද? ඇස් වලිං කඳුලු පනිනකල් හිනා උනා..මූන රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා... 

ඒ පාරනම් විජිතය සුජා දිහාවෙ බැලුවෙ රවා බැලිල්ලක් නොවෙතත් ඊට ඉතාම ආසන්න බැල්මකින්. මෙවුන් දෙන්නගෙ මොකක් හරි වලියක් ගියොත් එහෙම එව්වට ගෑවෙන්ට මට කොහෙත්ම ඕන කමක් තිබ්බෙ නෑ.අන්න ඒ නිසා මම කලේ වහාම ක්‍රියාත්මක වන පරිදි මගෙ බෑග් මල්ල ඇරල මඟදි කියවන්ට කියල හිතල ගෙනාපු පොත දිග ඇර ගන්න එක. 

පොත ඇවිල්ල ආතර් සී. ක්ලාක් මහත්මයගෙ " Songs of Distant Earth " මම එදා ඉඳල අද දක්වාම ප්‍රිය කරන ලේඛකයෙක්, පොත ගැන මට මේ හැටි විස්තර මතක කොහොමද දන්නවද? මේ පොත මීට පස්සෙත් කතාවට බොහොම සම්බන්ධයි. ඒ කොහොමද කියල ඔයාලට තේරෙයි ඉස්සරහට කියවනකොට… 

පුළුවං හැම වෙලාවෙම බස් එක වෙනුවට කෝච්චියෙ යන්ට මම ආස කරන එක ප්‍රදාන හේතුවක් ඔය නිවී සැනසිල්ලෙ පොතක් පතක් කියවගෙන යන්ට තියෙන හැකියාව. මම ඔය මීට කලිං ලියපු සියපත පතක බැඳි බත කතාවෙදි කියාපු කොලඹ කිට්ටුව ඉඳිකිරීම් සමාගමේ වැඩ කරපු කාලෙ අවුරුදු දෙකක් තරම කාලයක් සතියකට දවස් තුනක් කෝච්චියෙ ගෙදර ඉඳල කොළඹ එන්ට මට සිද්ද උනා. ඒ කිව්වෙ පේරාදෙණිය සහ මරදාන හෝ කොටුව අතර.සඳුද උදේ කොළඹ එනව. අඟහරුවාද හවස ආපහු ගෙදර යනව. බදාදා පාන්දර ආපහු එනව.බෘහස්පතින්ද හවස බෑක් ටු හෝම්..ආයෙම සිකුරාද උදේ වැඩට එනව. සෙනසුරාද හවහට ආපහු ගෙදර. ඔන්න ඔය විදිහට සතියට හය පාරක් මම එහෙ මෙහෙ ගියා අවුරුදු දෙකක් තරම කාලයක්. 

කාලාන්තරයක් තිස්සෙ පොත් ප්‍රදර්ශන, සල්පිල් වලින් එහෙමත් නැත්තං පාර අයිනෙ පේව්මන්ට් එකේ ඉටි කොලයක් අතුරගෙන පරණ පොත් විකුණන මිනිස්සුංගෙං අරගත්තු පොත් එක දෙතුං සීයක් මාලඟ තිබ්බ. කියවන්ට වෙලාවක් නැතිකම නිසාම ඔය ටික තිබ්බෙ අපෙ ඇඳ ඉහත්තාවෙ ගඩොල් හතරක් උඩ තියාපු අඹ ලෑලි තට්ටුවක් උඩ ගොඩ ගහල මදුරුවො එහෙම බිත්තර දාල ජරා කරන නිසා ඉටි කොලෙකිනුත් වහ දාල.ඔය පොත් කන්දරාවෙං සෑහෙන කොටසක් මම කියෝල ඉවර කලා අර සතියට හය පාර ගානෙ කෝච්චියෙ කොළඹ ආව ගිය අවුරුදු දෙකට. 

ඒත් ඔය අවුරුදු දෙකටම කෝච්චියෙ පොතක් පතක් කියවන කෙනෙක් මම දැක්කෙ ඇත්තම කියනවනං දෑතෙ ඇඟිලි ගානටත් අඩුවෙං..අනේ අම්මප ඇත්තම ඇත්ත. කෝච්චිවල බස් වල පොත්පත් කියවන එක ගැන මගෙ තවත් අත්දැකීමක් තියෙනව. මේ කතාවට කෙලිම්ම සම්බන්ද නොවුනත් ඉන්නකො ඒකත් කියලම ඉන්නං. 

අර මම කලිං කියාපු ඉඳිකිරීම සමාගමේ කොලඹ ප්‍රදාන කාර්යාලයට එන්ට ඉස්සරවෙලා මම අවුරුද්දක් වැඩ කලා එයාලගෙම මහනුවර මහල් ගොඩනැඟිල්ලක් ඉඳිකිරීමේ ව්‍යාපෘතියක.නුවර ටවුමෙම සුප්‍රසිද්ද ඉස්කෝලෙක. 

එතන මගෙ ලොක්ක, ඒ කිව්වෙ ප්‍රොජෙක්ට් මැනේජර් තුමාගෙ
ගෙවල් ගම්පොල පාරෙ ගෙලිඔය. එතුමා ඉතිං උදේ කාරෙකේ යන ගමං අපෙ ගෙදර ගාවිං මාවත් දාගෙන යනව. මනුස්සයට මොකක් හරි උදේ වෙනත් වැඩක් යෙදිල තිබ්බ දවසට මම බස් එකේ යනව. මේ එහෙම දවසක වෙච්චි දෙයක්. 

උදේ දොට්ට බහිද්දි මගෙ අතේ කුඩේනං වරදින්නෙ නෑ. මොකද නුවර කියන පලාතෙ කාලගුණේ කියන එක කොහොමටවත් මායිං කරන්ට බෑ. ඔන්න මේ ගෙදරිං එලියට බහින්නෙ දාස්දෙන අව්වෙ තට්ටෙත් එක්ක රත් කොරගෙන. මෙන්න පැය බාගයක් යන්ට නෑ හෙණ ගහන්නැහෙ වහිනව. ඔය විඩෙං විඩේ වහින ආයෙ පායන වැස්සට කියන්න අපූරු නමක් තියනව...ඒ තමයි ගෑණු නටවන වැස්ස..කොහොමද දන්නවද ඒ නම හැදිල තියෙන්නෙ? ඔය ඒ කාලෙ ගෙවල්වල වී තම්බල වේලනවනෙ අව්වෙ. මාගල් වල අතුරලයි ඒ වැඩේ කරන්නෙ. අව්වෙ වී වේලනකොට වැහැගෙන එනකොට ඔන්න බබලත්තු දනිපණිගාල දුවල වී පැදුරු ගෙට ගන්නව. ආයම පෑයියම මිදුලෙ අතුරනව. ආය වහිනකොට ගෙට ගන්නව..ආන්න ඒ නිසයි ඔය ගෑණු නටවන වැස්ස කියල කියන්නෙ. 

ඒ ඒකාලෙ මහිලාවො...දැං බලන්ට එපාය...ඔන්න ඉරිදටනෙ නිවාඩු දවස..උදේම රෙදිටික හෝදනව. ඒ කරල අර රෙදි වේලන්ට තියෙන්නෙ අටමගලක්. ඕකෙ වනල මිදුලෙ තියනව අව්ව වැටෙන තැනක් බලල හුළඟට පෙරලෙනවට ගඩොල් බාග දෙකකිං බරකුත් තියල. ඔන්න විනාඩි පාලහක් යන්ට නෑ වැහැගෙන එනව..මම දුවල අරක පිටිම්ම ගෙනල්ල ඉස්තෝප්පු කෑල්ලෙ තියනව. ඒ එක්කම ඔන්න ආයම පායනව..පායනව විතරක් නම් බැරිය අව් රැල්ලකුත් වැටෙනව. 

" මේ ඒයි රෙදි ටික මිදුලට දාමු නේද? " 

ප්‍රියම්බිකා තොමෝ ඔය මොකක් හරි රූප ලාවන්‍ය කටයුත්තක නිරත වෙන ගමං කියනව.එක්කො නියපොතුවල මොකක් හරි රාජකාරියක්. නැත්තං කැරට්, අලිගැටපේර, කාමරංගා සහ ලංසි පැපොල් ඔන්න ඔය ජාති 1:1: 2: 3 අනුපාතයට මිස්‍ර කරල මූණ කටේ උලාගෙන ඉඳියි.එහෙමත් නැත්තං රාබු පෙති දෙකක් ඇස් බෝල උඩ තියාන පුටුවක දිගාවෙලා ඉඳියි වරුවකට එහා පැත්තෙ.. ඔන්න ඔය වගෙ මොකක් හරි විසිවිත්තරයක්. 

" අයෙමත් වහී වගෙ නේද? " 

මම කියවමින් ඉන්න පොතෙං හරි පත්තරෙං හරි ඔලුව උස්සල ආකහෙ දිහාවෙ බලනව. 



මතු සම්බන්ධයි...... 

Thursday, September 26, 2013

219. කවිකාරියකගේ ප්‍රේමය…..7



කවිකාරියකගේ ප්‍රේමය…..1 

කවිකාරියකගේ ප්‍රේමය…..5 

කවිකාරියකගේ ප්‍රේමය…..6 

" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන… 

අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි… 

කුරුණෑගල ඉන්ටසිටියකට අපි තුන්දෙනාම නැග්ග.මම ඒ දෙන්නට පස්සෙ සීට් එකේ ඉඳගත්ත. 

" අයියත් කවි ලියනව කිව්වනේද? " 

ඇය ඇහුවෙ විජිතගෙ මූණ බලල හිනාවෙලා ඒ එක්කම පස්සහැරිල සීට් දෙක අතරින්.විජිත සීට් එකේම ආපහු හැරිල මගෙ දිහා බැලුව. මම විජිතගෙ මූණ දිහා බලල ආපහු සුජා දිහාට හැරුනා. 

" ආ..මේ,..ඔව්..ඔව්...ඔය නිකමට වගෙ හිතුනම මොනව හරි කුරුටු ගානව.." මම හිනාවෙලා කිව්ව. 

" අයිය ලියපු කවි මට එවන්ට පුළුවන්ද?...මමත් ඔය ඉඳ හිටල කවියක් දෙකක් ලියනව. එව්ව හොඳද නම් මන්ද....විජිතටත් කවි ලියන්ට පුළුවෙනි අපූරුවට…" 

නොනවත්වා කියවාගෙන ගිය ඈ කතාව මඳකට නවත්වා විජිත දෙස බලා සිනාසුනාය. 

විජිත යලිත් වරක් අඩක් හිස හරවා මදෙස බැලීය. ඒ බැල්මෙහි වූයේ ආයාචනාත්මක ස්වරූපයකි.සුජා හා මම මුණගැස්විම ඔහු විසින් නොදැනුවත්වම වූ බලවත් අතපසුවිමක්දැයි ඔහුට දැනටම සැක පහළ වී ඇති බව ඒ බැල්ම වටහාගත් මට රහසක් නොවීය. 

" ඔව් සුජා..විජිත අපූරුවට කවි ලියනව. මමත් මෙයාගෙන් තමයි සමහර වෙලාවට පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ…" මම වහා පැවසූයේ ඔහුගේ සැක දුරුකිරීමේ පරමාර්ථයෙනි. 

විජිත මා දෙස බලා කෘතඥතාපූර්වකව සිනහසුණේය. මේ කිසිවක් නොදත් සුජා දිගටම කතා කළාය. 

" මම ඇත්තටම මුලින්ම හිතුවෙම නෑ විජිතට කවි ලියන්ට පුළුවන්ය කියල.ඒත් එයාට ලස්සනට කවි ලියන්ට පුළුවන්ය කියල දැනගත්තම මම හුඟක් සතුටු උනා. අයියත් ලස්සනට කවි ලියනව කියල විජිත මා එක්ක කිව්ව.ඊට පස් සෙ තමයි මම කිව්වෙ මට අයියව හම්බ වෙන්ට ආසයි කියල. විජිත ලඟ ඇති මම ලියපු කවි. ගොඩක් හැබැයි බොලඳ ඇති...හිහ්, හිහ්...අයිය එව්ව බලල මට අඩුපාඩු හදාගන්ට උදව් කරන්නකො..හොඳද? " 

ඇය ගිරවියක මෙන් නොනවත්වා කතා කරගෙන ගියාය. 

කොන්දොස්තර තරුණයා බලු සීට් හි හිඳ සිටියවුන් නැඟිටුවමින් අප වෙතපැමිණියේය. බස් රථයෙහි ස්ථිර ආසන යුගලයට මධ්‍යයෙහි ඇති හැකිළියහැකි ආසනය බලු සීට් එක යනුවෙන් හැඳින්වෙන්නේ එහි හිඳගත්තෙකුට මහා මාර්ගයෙහි වැතිරී සිටින සුනඛයකුට අත්වන්නාවූ ඉරණමට බොහෝ සේ සමාන ඉරණමක් අත්වන්නාවූ බැවිනි.

මහමඟ වැතිරගත් සුනඛයා වනාහී පැමිණෙන සියලුම රථවාහනයන්ට ඉඩ දී මාර්ගයෙන් ඉවත්ව යලිත් මාර්ගය මධ්‍යයට පැමිණ වැතිරගනී.හකුලන ආසනයේ හිඳ සිටින්නාගේ ඉරණම ඊට දෙවෙනි නොවේ. බසයේ පසුපසට යන්නවුන් මෙන්ම බසයෙන් බැසීමට ඉදිරි දොරටුව කරා යන්නවුන් හැමට තම අසුනින් නැඟිට පසෙකට වී ඔහු ඉඩ දිය යුතුය. 

උකුල මතවූ අත්බෑගය විවෘත කල ඕ යලිදු පසුපසට හැරුණාය. 

" අයිය කුරුණෑගලටම යනවද?..." 

" නෑ නංගි මම දඹුල්ලෙං බහිනව…" 


" දඹුල්ල එකයි කුරුණෑගල දෙකයි…" ඇය මා වෙනුවෙන්ද ප්‍රවේශ පතක් මිලදී ගත්තාය. 

" ඉන්න මම ගන්නං …." මම කොන්දොස්තරට මුදල් දීමට තැත් කලෙමි. 

" හරි හරි ඔයා සල්ලි කාරය කියල අපි දන්නව. අද මම ටිකට් ගත්තනෙ. අනික් දවසෙ ඔයා ගන්නකො එහෙනං. " ඇය එසේ පවසා යලි හඬනඟා සිනාසුණාය. 

එවර විජිත ඇය දෙස හෙලූයේ නොපහන් බැල්මක් බව මට සහතිකය.ඔවුන් අතර කිසියම් මතභේදයකට හේතුකාරක වීමට මට කිසිසේත් අවශ්‍ය නොවූ හෙයින් බසය පරාක්‍රම සමුද්‍රය පසුකරනවාත් සම්ඟම මම ගමන් මල්ලෙන් ඉවතට ගත් පොතක් දිග හැරගතිමි. 

ඒ ඊට සුළු කලකට පෙර නිකුත් වූ " Songs of Distant Earth " නම්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ නවකථාවකි. ඒ පිළිබඳව මෙතරම් විචිත්‍ර අයුරු මගේ මතකයේ රැඳී ඇත්තේ කුමන හෙයින්ද යන්න කථාව කියවද්දී ඔබට වැටහෙනු ඇත. 

හැකි සෑමවිටම බස් රථයට වඩා දුම් රියෙන් ගමන් කිරීමට මම ප්‍රිය කිරීමට එක් ප්‍රධාන හේතුවක් වනුයේ නිවී සැනසිල්ලේ පොතක් කියවමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.වසර දෙකකට අධික කාලයක් සතියකට තෙවරක් කොටුවේ හෝ මරදානේ සිට පේරාදෙණියතෙක් වරෙක මට ගමන් කිරීමට සිදුවිය.ඒ මින් පෙර ලියූ සියපත පතක බැඳි බත අතීත සැමරුමෙහි මවිසින් සඳහන් කල අගනගරාසන්න ඉදිකිරීම් සමාගමෙහි සේවය කල වකවානුවෙහිය.

නොයෙක් පොත් සල්පිල්, ප්‍රදර්ශන, පදික වේදිකාවෙහි බිම අතුරා පැරණි කවර ඉරීගිය පොත් විකුණන මහළු වෙළෙඳුන්ගෙන් ආදි වශයෙන් කිසිදු වරණයකින් තොරව කාලයක් තිස්සේ මවිසින් මිලයට ගනු ලැබ, කියවීමට මිඩංගු කරනු වස් විවේකයක්  අවකාශයක් නොමැතිවීම නිසාම නිඳන ඇඳ ඉහත්තාවෙහි ගෙබිම මත ගඩොල් දෙකක් මත තැබූ අඹ ලෑලි කිහිපයකින් සැදි තට්ටුවක් මත දුහුවිලි සහ මැසි මදුරුවන්ගෙන් රැකගැනීමට පොලිතීන් මීටර් කිහිපයකින් වසා තැන්පත් කොට තිබුණු, පොත් සියගණනින් බහුතරයක් මම කියවූයේ සෑම සතියකටම හයවරක් බැගින් මට යෙදෙන්නට සිදුවුණු ඒ දුම් රිය ගමන් වාර වලදීය. 

එහෙත් ඒ වසර දෙකක පමණ කාලයක් තුල දුම්රියෙහි පොතක් පතක් කියවමින් ගමන්ගන්නකු හෝ ගමන්ගන්නියක මා දුටුවේ අතලොස්සකටද අඩු වාරගණනකදීය. ප්‍රධාන කථා මැයෙන් තරමක බැහැරව යන්නක් වුවද ඒ සබැඳි මගේ අත්දැකීමක් මෙහිලා පවසන්නට හිතවත හිතවතිය මට ඔබගේ කාරුණික අවසරය… 

ඒ මම උක්ත, අගනුවරට ආසන්න සමාගමෙහි සේවයට බැඳුනු මුල් වකවානුවයි. එදවස ඔවුහු මහනුවර නගර මධ්‍යයෙහි වූ සුප්‍රසිද්ධ විද්‍යාලයක මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමෙහි ව්‍යාපෘතියක නිරතව හුන්නෝය.එහි සේවය උදෙසා මම බොහෝවිට වැඩබිමෙහි මගේ ප්‍රධානියා සමඟ ඔහුගේ මෝටර් රියෙන් ද, උදෑසන ඔහුට යම් වෙනත් කාර්යයක් යෙදුනුකල බස් රථයෙන් ගමන් ගත්තෙමි. 

උඩරට ප්‍රදේශයෙහි කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි කාළගුණය නිසා අනිවාර්යයෙන් මා සුරතෙහි රැඳෙනා කුඩය හැරුණු කල මගේ උරයෙහි රැඳි හුරුබුහුටි හම් ගමන් මල්ලෙහි උදෑසන බැඳගත් බත් මුලට අමතරව ඇත්තේ කුමන හෝ පොතකි. පැනිදෙණියෙන් බසයට නැඟී කවුළුව අද්දර අසුනකට බරවන මම ඉන්පසු පියවි ලෝකයට එළඹෙනුයේ මහනුවර පොලීසිය අසල ගමනාන්ත නැවතුම්පළට බස් රථය ළඟාවු පසුවය. 

අදාල සිද්ධිය වූ දිනද මම සුපුරුදු ලෙස එලෙස පොතක් කියවමින් පසුවුනෙමි. උදෑසන සිට පැවති පොද වැස්ස ගැටඹේ පසුවනවිට තරමක් දැඩිවිය. වැහිබිඳු වසාතිබූ ජනෙල් වීදුරුව මත පතිතව බසයේ වේගය වැඩිවන කල්හි හරහට ගමන් කොට සිඳීයනු ටික වෙලාවක් බලාසිටි මම යලි උකුළ මත තිබූ පොතට නැඹුරුවුනෙමි. 

එදින මා කියවූයේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතාගේ තීරු ලිපි සහ විචාර එකතුවකි.එසේ පැහැදිලිව මතක තිබීමට හේතුවද කතාවටම සම්බන්ධය. මුල්ගම්පොළ ආසන්නයෙහිදී මා අසල ආසනයෙහි කිසිවකු හිඳගනු දැනුනද මා ඒ තැකීමක් නොකළෙමි.එහෙත් ඒ නවයොවුන් යුවතියක බව මම දුටුවේ කිසිවෙකු මා කියවමින් සිටි පොතට එබෙමින් කොතෙකුත් ඒ කියවීමට තැත් කරනු දැනී මම හිස ඔසවා ඒ දෙස බැලූ කල්හිය. 

එක්වරම කියවීම නවතා හිස ඔසවා බැලූ ඕ විලියෙන් මිරිකී ඉවත බලා ගත්තාය 

" පොත කියවන්ට ඕන නම් ගන්න.." මම සිනාසෙමින් ඈ වෙත පොත දිගුකලෙමි. 

" තෑන්ක්ස්….." ඇය යලිත් සිනාසී පොත උකුල මත තබා දැඩි උනන්දුවෙන් යුතුව කියවන්නට වූවාය. 

බස් රථය ගමනාන්තය වන නුවර පොලිස් ස්ථානය අසල බස් නැවතුමට ආසන්න වන කල ඕ කඩිමුඩියේ පොතෙහි පිටු පෙරලන්නට වූයේ ඉතිරිව ඇති කෙටිකාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඉටාගත්තාක් මෙනි.එදෙස සිනාමුසු මුවින් බලා සිටි මම ඒ සිනහවෙන් යුතුවම හිස ඔසවා ඇය ඇමතීමි. 

" ඔයාට ඕනනම් පොත තියාගන්න…" ඇය වහා මදෙස හැරී කෘතඥතා පූර්වක මඳ සිනහවක් පෑවාය. 

" ස්තූතියි …" 

උක්ත පොත මගේ මතකයේ රැඳීමට හේතුවූයේ ඉන් අනතුරුව රට පුරා නොයෙක් පොත් වෙළඳසල්හි කෙතෙක් සෙවූවද ඒ සියළු උත්සාහයක් ව්‍යාර්ථවීම හේතුකොටගෙනය. 

මේ පිළිබඳව මා බිරිඳ හා පැවසූවිට එක්වනම හඳනඟා සිනාසුනු ඇය ඉක්බිති පැවසූයේ " හහ්..නරක නෑ ඒ වැඩෙත්...ඔන්න බලන්න හෙට ඉඳල ඔයාගෙ ඔය පරිත්‍යාගය දැක්ක කෙල්ලො ඔක්කොම ඔයා ලඟ ඉඳගෙන පොතට එබෙන්නෙ නැද්ද කියල " යනුවෙනි. 

ජයන්තිපුරය පසුවන තෙක් ඉදිරි අසුනේ හුන් යුවළ පහත්හඬින් කතාකරමින් සහ සිනාසෙමින් ගියහ. කථාවෙහි රසයට නෙත් සිත් දෙකම ඒකමිතික කොට සමවැදහුන් මට ඔවුන්ගේ කතාබහ පිළිබඳව කිසිදු තැකීමක් නොවීය.ඇය පසුපස හැරී මගෙන් යමක් විමසන බව මට වැටහුණේ බොහෝවිට ඇය ඒ පැණය කිහිප වරක් විමසූ පසුව විය හැක. 

රසවත් පොතකට දැඩි අවධානය යොමුකොට ඊට සමවදින මට අවට ලෝකයේ සියළු ශබ්ද නෑසීයයි. සියළු දසුන් නොපෙනීයයි." ඔයාට ඉතිං මොකද? පොතක් අස්සෙ ඔළුව ගහගත්තම ලෝකෙ පෙරලුනත් ගානක් තියද? " මා දයාබර ප්‍රියම්බිකාව සිනාසෙමින් පවසනුයේ හුදු කවටකමටම නොවන බව මම හොඳින් දනිමි. 

" මොකක්ද අයියෙ පොත? ඔච්චර උනන්දුවෙන් බලන්නෙ? මම කීපාරක් කතා කලාද? " සුජා සිනාසෙමින් ඇසුවාය. 

" අනේ සොරි නංගි...තුන්වෙනි පාර තමයි මට ඇහුණෙ…" මම බැරෑරුම් ලෙස පැවසීමි. 

ඕ හිස පස්සට වීසිකොට හඬනඟා සිනාසුණාය. මා අසල අසුන්ගෙන හුන් මැදිවියේ කාන්තාව තොල් හකුළුවා අප්‍රසාදය හඟවන බැල්මක් ඈ දෙස හෙලා ඉවත බලා ගත්තාය. ජනේලයෙන් පිටත බලා සිටි විජිත වහා ඈ දෙස බලා යලි ඉදිරියට හැරුණේය. සිරතින් මුව වසාගත් ඈ සිනහව වළක්වා ගැන්මට අසාර්ථක උත්සාහයක යෙදුනීය.තොල් සපාගත් මම බිම බලාගතිමි. 

" ඇත්තටම මොකක්ද ඔය පොත?.." 

" මේක මේ ආතර් සී. ක්ලාක්ගෙ පොතක්…" 

එතැන් පටන් දඹුල්ල හෝරා ස්ථම්භය අසල මම බසයෙන් බසිනතෙක් ඇය මා හා පොත්පත්, චිත්‍රපට සහ නාට්‍ය සම්බන්ධව බොහෝ දේ කථා කලාය. කලාව සහ සාහිත්‍යය පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූ ඈ වන් යුවතියක මට හමුවූයේ බොහෝ කලකට පසුවය.විජිතද වරින් වර අපගේ කථාවට හවුල් වූයේය.දඹුල්ල නගරය ආසන්න වත්ම නැඟී සිටි මම රාක්කයෙන් ගත් ගමන් මල්ල කරේ එල්ලා ගතිමි. 

" අඳුන ගන්න ලැබීම ගැන හුඟක්ම සතුටුයි මැඩම්...එහෙනම් මම බහිනවා..විජිත මල්ලි සඳුදට හම්බවෙමු." 

" හරි අයියෙ අපි ආයෙ හම්බවෙමු...." 


ඇය මදෙස බලා සුන්දර සිනහවක් පෑවාය. ඇගේ ගෙල තෙක් කෙටිකොට කැපූ කෙස් වැටිය කොන්දොස්තර තරුණයා එකවරම විවෘත කල දොරටුවෙන් ඇතුල්ව බසය සිසාරා හමාගිට සුළං රැල්ලකට හසුව අවුල්ව ගියේය. 

" මේ මට කවි එවන්න හොඳද? " 

සුලඟ හා පොරබදන කෙහෙරල දමනය කොටගැන්මට දෑතින්ම උත්සාහගනිමින් ඇය පැවසුවාය. 

ඔවුන් හිඳසිටි ආසනය පසුකොට ඉදිරියට ගිය මම එක්වනම ආපසු හැරී කියවමින් ආ පොත ඇගේ ඇකය මතට දැමීමි. 

" ඕක කියවල විජිත අතේ එවන්න…" එසේ පවසමින් මම බසයෙන් බැස ගතිමි. 

ආතර් සී. ක්ලාක්ගේ ඒ පොත සුජා විජිත අත මට ආපසු එවා තිබුණාය. එහෙත් තවත් බොහෝ කලක් ගත නොවීම ඇයට ඒ පොත සිහිවටනයක් ලෙස පරිත්‍යාග කිරීමට මට සිදුවූයේ අප සිහිනෙනුදු බලාපොරොත්තු නොවෙන දෑ නිතිපතා සිදුවීම ජිවිතයේ එක් අනවතර සංසිද්ධියක් නිසාදැයි මට අදටද වටහා ගත නොහැක. 

මතු සම්බන්ධයි...... 



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...