" ඒයි මේ හිනිදුම..කුස්සියෙං වීදුරුවක් ගෙනල්ල මේ එකක් දාගනිං...ඊට පස්සෙ හොඳ එකා වගෙ පපඩං හත අටක් බැදපං බං ..නිකම්ම ගහන්ට බෑ මේක. "
කියන පමාවට හින්න ගිහිල්ල වීදුරුවක් අරගන ආව.
" ඕක හේදුවෙවත් නෑ නේද? …" වික්රමේ ඇහුව.
" ආය අහවල් හේදිල්ලක්…" හින්නා කටකපල එකක් දාගත්ත.
" සැමී කොහෙ ගිහිල්ලද බොස්? " හින්නා කට එහෙම පිහ දාල කාරිය ඇහුව.
" ඔය නාන්ට කියල ගියේ බං...දැං එනවත් ඇති. "
" හෙහ්..එයි මේං කියල...තව වරුවකටවත් එන එකක් නෑ ..මම දැක්ක අර ලැන්ටිය එක්කනෙ ගියෙ. ඕකට බාගෙට පිස්සු…"
ලැන්ටිය කියන්නෙ අපෙ චෙක් රෝලෙ හිටපු අනියම් කම්කරුවෙක්. ලැන්ටියට බාගෙට පිස්සු කියන එකනං සහතික ඇත්ත.
ඔයිට මාසෙකට වගෙ ඉස්සර අපෙ උයන්ට හිටපු ගෝලයගෙ, සැමියගෙ සර්විස් කැඩුව. කම්කරු නීති අනුව එක දිගට දවස් එකසිය අසූවකට වඩා අනියම් පදනම මත සේවයෙ යොදවාගන්ට බෑ. ඒ කියන්නෙ මාස හයක්. මාස හයට පස්සෙ එක්කො ඒ මනුස්සය අයින් කරල දාන්ට ඕන නැත්නම් සේවය ස්ථිර කරන්ට ඕන.
ඔය රෙගුලාසිය හින්ද අපේ කළමණාකාරිත්වය කලේ දවස් 180 පිරෙන්ට දවසක් දෙකක් තියල අනියම් කම්කරුවන්ගෙ සේවය කඩන එක. සර්විස් බ්රේක් ..එහෙමයි ඒකට කිව්වෙ. ඒ කරල සති දෙකක්, තුනක් මාසයක් වගෙ යන්ට ඇරල අලුතින් සේවා ගිවිසුමක් යටතෙ එයාල ආපහු සේවයට බඳවගන්නව. බහුතරයක් අනියම් කම්කරුවො කලේ මාස 6 ක් එකදිගට සේවය කරල සර්විස් බ්‍රේක් කලාම මාසයක් වගෙ කාලෙකට ගමේ ගිහිල්ල එන එක.
නිල නිවාසවල ඉවුම් පිහුම් වලට යොදවල හිටපු කම්කරුවන්ගෙ සර්විස් බ්‍රේක් කරල එයාල ගමට ගිහාම තාවකාලිකව චෙක් රෝලෙන් තව කවුරුහරි කම්කරුවෙක් දානව ඒ වැඩේට. මේ පහුගිය පාර සැමීගෙ සර්විස් බ්‍රේක් කරල මනුස්සය ගෙදර ගිහාම අපේ චමරියෙ උයන්ට දැම්මෙ ඔය ලැන්ටියා. මමයි එතකොට චමරි මැනේජර්. චමරි මැනේජර් කියන්නෙ කට්ටියගෙන් සල්ලි එකතුකරල අවශ්‍ය බඩු බාහිරාදිය ගේන එක, එදිනෙදා උයන්නෙ මොනවද කියල තීරණය කරන එක, එතනිං ගිහාම මසෙ අන්තිමට වියදම සමානුපාතිකව හිටපු දවස් ගණන අනුව බෙදල හිඟ මුදල් එකතු කරගන්න එක එහෙම භාරව ඉන්ට මාසෙන් මාසෙට පත්කරගන්න පුද්ගලයා.මාරුවෙන් මාරුවට ඒ වගකීම හැමෝටම එනව අනුපිළිවෙලිං.
ඉතිං ඔන්න මම තමයි චමරි මැනේජර්. ලැන්ටිය රෑට උයල යන්ට ලෑස්තිය උංගෙ ඩෝමිටරි එකට.
" මහත්තය…. හෙට උදේට මොනවද උයන්නෙ? " ඒකා මගෙ කාමරේ දොර ගාවට ඇවිල්ල අහපි. මම ඒ වෙලාවෙ ඇඳේ වැතිරිල පොතක් බල බල හිටියෙ.
" හ්ම්ම්ම්...ඔය මොනව හරි කමක් නෑ හදල ගනිං ලැන්ටි...හැබැයි උදෙන්ම වරෙං හොඳද? "
" හරි හරි උදෙන්ම එනව..උදෙන්ම එනව..එහෙම නෙවෙයි මට ඕන එව්ව උයල හරියනවය බොස්...බොස් කැමති මොනවටද කියල කියන්ටකො. "
" ම්ම්ම්..එහෙනං මං කියන්ටද? කිරිබතක් උයමු. "
" හප්පෝ බොස් ඒකට කිරි මිරිකන්ට ගිහාම මගෙ රිස්ස යයි. "
ඒකත් ඇත්ත තමයි ඒ වෙනකොට අපේ චමරියෙ හිටිය අට දෙනෙක්. හය දෙනෙක්ම අටේ දහයෙ නාලාගිරියො වගෙ එවුං..කන්ට ගිහාමත් ආය නෑ…
" හරි එහෙනං කැකුළු බතක් උයල සම්බලක් හදහංකො......"
" ඒකටත් පොල් ගෙඩි තුනක් වත් ගාන්ට එපාය බොස්….."
" පොල් ගාන්ට ඕන තමයි බං... නැතුව ආය පොල් අඩල පිටිං සම්බල හදන සිරිතක් තියනවය? " මටත් ටිකක් මල පැනගෙන ආව ඔන්න. " ඒක තමයි කිව්වෙ උඹට කැමති දෙයක් උයපං කියල. "
" නෑ..නෑ..ඒක මගෙ හිතට හරි නෑ බොස්..කියන්ටකො වෙන මොනව හරි හදන්ට දෙයක්…"
" හ්ම්ම්ම්..වරෙං බලන්ට එහෙනං කුස්සියට " මේකගෙං තියන මල වදයක්..ලැන්ටියගෙ අම්මට බැන බැන මම ඇඳෙන් නැඟිට්ට…
" ආ..මේ තියෙන්නෙ මුං ඇට වගයක්. රයිට් තම්බපං මුං ඇට. "
" අනේ බොස් මට සෙමනෙ..මුං ඇට හොඳම නෑ.."
" ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනං ඉඳපං මම දැක්ක අපෙ වෙල්ෆෙයාර් එකේ තියනව ෂෝක් මඤ්ඤොක්කා වගයක් ගෙනල්ල. මම රෑ වෙලා ගිහිල්ල ගේන්නං..උදේට එව්ව තම්බමු. "
වෙල්ෆෙයාර් එක කිව්වෙ අපි කට්ටියම ෂෙයාර්ස් දාල පිහිටුවාගත්ත සුභසාධක වෙළඳ සැල. සතියකට දෙපාරක් වගෙ ඔය වියළි ආහාර ද්‍රව්‍ය පොළොන්නරුවෙන් අරගෙන ඇවිල්ල පොඩි ගාණක් තියල සාමාජිකයින්ටම විකුණල ඒ ලාභෙ සමානුපාතිකව අපි කොටස් හිමියො බෙදාගත්ත. ඒකෙත් කලමණාකාරිත්වය අනුපිළිවෙළට එන්නෙ. මම වෙල්ෆෙයාර් මැනේජර් වෙලා ඉන්දැද්දි වනිතා පාර්ශ්වය බොහොම අමාරුවෙන් කැමතිකරවගෙන වෙල්ෆෙයාර් එකට අරක්කුත් ගේන්ට වැඩේ සෙට් කරගත්ත.හප්පච්චියේ..සෙට් කරගත්ත තමයි. ඒක අන්තිමට වහ කෑව වගේ වුනානෙ. රයිට්..ඒ සුභසාධක කථා වෙනම කියන්නංකො. ආයෙම ලැන්ටි වෙතට.
" ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනං ඉඳපං මම දැක්ක අපෙ වෙල්ෆෙයාර් එකේ තියනව ෂෝක් මඤ්ඤොක්කා වගයක් ගෙනල්ල. මම රෑ වෙලා ගිහිල්ල ගේන්නං..උදේට එව්ව තම්බමු. "
මම එහෙම කිව්වනෙ. මෙන්න ලැන්ටිය ගත්කටටම කියාපි. " හපෝ බොස් මයියොක්ක තැම්බෙන්ට වෙලා යනවනෙ. මට එහෙනං උදේ පහටවත් නැඟිටල එන්ට වෙයි.ඒක හරියන්නෙ නෑ….."
මට නේද යක්සය ඔලුව උඩට නැග්ග නෙවෙයි නැගල පිනුං ගහන්ට ගත්ත. " යකෝ උඹට කියන කියන එක බෑ කියනවනෙ. හැම එකටම මොකක් හරි උදැල්ලක් දානව. උඹට ඕන එකක් හදපිය කියල මම කලිම්ම කිව්වෙ ඒකයි. "
තරහ ඉවසගන්ට බැරිතැන මම සාලෙට ගිහිල්ල ඉඳගත්ත. මෙතන මේ හැල ගෙම්බගෙ මූණ බලාගෙන හිටියොත් මුගෙ බෙල්ල කරකැවෙනව මගෙ අතින් ..ඒක නම් බඩු ෂුවර්..
ටිකකට පස්සෙ ලැන්ටිය හෙමීට මා ගාවට ආව. " බොස්ට තරහ ගියාද? මම ඉතිං අර බොස් කැමතිදෙයක් හදල දෙන්ට හිතාගෙනනෙ එහෙම ඇහුවෙ. මට තේරෙන්නෙ නෑ බොස්ට මේ හැටි තරහ ගියේ ඇයි කියල.."
මම දත්මිටි කාගෙනම ඔලුව උස්සල ලැන්ටිය දිහා බැලුව." මේ ලැන්ටි..මම එක පාරක් කිව්වනෙ. උඹට කැමති එකක් හදපං.. "
ගැඹුරට හුස්ම ගන්න. හැකිතරම් වේලා රඳවාගෙන සෙමින් පිටකරන්න. නැවතත් ගැඹුරට..මෙසේ අවම වශයෙන් පස් වරක් පමණවත් කරන්න. ඒ දැඩි ආතතිය සමනය කරගැනීමේ උපදෙස්. ඔය මම කියවපු පොතක තිබ්බෙ..පොත් කියනව එකේ වටිනාකම තේරෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි.
" බොස් එහෙමනං පාං පහක් විතර ගෙනල්ල තියන්න. ආ...තව එකක්..උදේම යන්ට ඕනත් කිව්වනෙ. පොල් ගෙඩි දෙකක් විතර ගාල තියන්න. මම ඇවිල්ල හදන්නං ටොප් කිරි හොද්දක්…"
මම කටත් ඇරගෙන ලැන්ටියගෙ මූණ දිහාවෙ බලං හිටිය...අම්මාපල්ල මූ තමයි දවසකටවත් මිනිහ. පොල් ගාවන, පාං ගේන එකත් මූ ලෑස්ති මටම කියල කරවන්ට.
" ඒක තමයි යකෝ..උඹට කලින්ම සිංහලෙන් කිව්වෙ...උඹට ඕන එකක් හදාපංය කියල……" යන්තමට වචනයක් කියාගන්ට පුලුවං වෙච්චි හැටියෙ මම කෑගැහුව.
" එහෙම හරි නෑනෙ බොස්..මට ඕන එව්ව හදල කොහොමද? බොස් කියන එකක් එපාය මම කරන්ට…" මේකා ආයෙම කියවන්ට ගත්ත…
" මේ..ලැන්ටි..පලයං මෙතනිං මගෙං මැරුං කන්නෙ නැතුව, " මම ඇස් දෙක තද කරල පියාගෙන දත්මිටි කාගෙන කිව්ව…" පලයං ඉතිං කිව්වම….."
" අනේ මන්ද බොස්ට මේ හැටි කේන්ති යන්නෙ මොකද කියල..බදාද පොලට ගිහාම කොහිල ටිකක් වැඩිපුර ගේන්ට ඕන...මදැයි මාත් මේ හොඳක් කරන්ට ගිහිල්ල අහගත්තු හරිය." ඔහොම කට ඇතුලෙං කියව කියව ලැන්ටිය මිදුලට බැහැල යන්ට ගියා.
" මොකද බං උඹ අර ලැන්ටියව කන්ට හැදුවයි කියන්නෙ නිරපරාදෙ? " පහුවදා රෑට කද්දි වික්‍රමේ මගෙං ඇහුව.
" මේ උඹ මගෙං මොකවත් අහගන්නෙ නැතුව කාපං ..හොඳද? …" මම බත් හැන්දක් බෙදාගන්ට ගිය එක නවත්තල ඒකා දිහාවෙ කන්ට වගෙ බලාගෙන හිටිය.
" ඇත්ත තමයි අර ලැන්ටිය කිව්වෙ. උඹට නං කොහිල දෙන්ට වෙයි තුං වේලක්වත් එක දිගට. …." වික්‍රමේ ඇස් යටිං මා දිහා බලල අහක බලාගත්ත.
ඒ තමයි ලැන්ටියගෙ කතන්දරේ......හෙහ්,හෙහ්,
" ඉන්ට බොස් ආය පපඩම් ඕන නෑ. දවල් මට හම්බ වුනා හොඳ ගෝන ගාතයක්. ඒකෙ ඉතුරුව තාම ඇති. "
හින්නා එහෙම කියල ගිහිල්ල මැටි ඇතිලිය පිටිම්ම අරං ආව මාන ගෝළුව පත්තරේකිං වහගෙන. අම්මට සිරි...මාර රහක් ඒක. ඒ දවස්වල අපෙ කෑම්ප් එක පුරහම ඉබේටම වගෙ හැදිල තිබ්බ නයි මිරිස්. ඔව්ව තලල දාල උයන වෑංජන ආය නෑ දිවිය ලෝක රහ.
" බොස්ට මතකනෙ මම මේ පහුගිය ටිකේ අර ඩෝසර් මුරකරන්ට ගියා. " තව ෂොට් දෙහෙකට වගෙ පස්සෙ හින්නා කිව්ව. ඒකා එතනම පිලේ ඉඳගෙන උන්නෙ. හින්නා අර ඇතුලෙං පුටුවක් අරං වරෙං කිව්වට ඕන නෑ බොස් මේ හොඳයි කියල ඒකා පිලේ ඉඳගෙන බිත්තියට හේත්තු වෙලාමයි හිටියෙ.
" හෙහ්,හෙහ්.හෙහ්.." මට මැරෙන්ට හිනා.." ඔව්..ඔව්..මම දන්නව උඹ ඩෝසර් මුරකරපු විදිහ...හෙහ්,හෙහ්……"
හින්නා මුරට දැම්මට ඕක කරපු මුර කිරිල්ලක් නෑ. ඌව ගිහින් දාල ජීප් එක ආපහු ආහම ඌ රෑ නමය වගෙ වෙනකොට හෙමිහිට ආපහු කෑම්ප් එකට එනව. ආය පහුවදා පාන්දරම යනව ඩෝසර් තියන තැනට රෑ එලිවෙනකල් මුර කරපු එකා වාගෙ....හෙහ්,හෙහ්,
" හරි හරි බොස් එව්ව එහෙම තමයි. රෑ තිස්සෙ එතන ඉඳල කොටි ඇවිල්ල මාව මරල ගියානං එහෙම ආය? "
" ඒකත් හරි තමයි කතාව..හරි ඒකෙන් වැඩක් නෑ..දැං මොකක්ද උඹ කියන්ට ආවෙ? "
" කියන්ට ආවෙ එක දවසක් ආපහු කෑම්ප් එකට එද්දි මට මාර වැඩක් වුනානෙ බොස්. එදා ඔන්න යන්තමට තරු එළිය විතරයි. අමාවකද කොහෙද... මම ඔන්න එනව අර මට්ටයිංගෙ මරං වාඩි තියෙන්නෙ අන්න ඒ හරියෙ. එක පාරටම අර මහ වංගුව පහුවෙනවත් එක්ක මම දැක්ක මා ඉස්සරහට අලියෙක් එනව. "
මට්ටයො සහ මරංවාඩි ගැන බොහොම විස්තර කියන්ට තියනව ඒත් අද හිනිදුමයා සහ වල් අලියා කතන්දරේ කියන්ටම ඕන නිසා ලබන පාර ඒ විස්තරේ කියන්නංකො...
" කෙළියා ....ඉතිං බං? " මම හින්න දිහාට හැරුනා.." උඹ දුවන්ට ඇති ආය මොනවද විලුඹ තට්ටං වල වැදි වැදි ...හෙහ්,හෙහ්, "
හින්නගෙ මූණ නොරොක් උනා.." බොස් එහෙම කතාකරන්ට එපා..හරිද? මම එහෙම දුවන ජාතියෙ එකෙක් නෙවෙයි ..අනික අලි ඉස්සරහට එද්දි දුවල හරියන්නෙ නෑ..උං පන්නගෙන එනව. "
" හරි හරි බං උඹ ඔව්ව ගනංගන්ට එපා..මේ මහත්තය කියන එව්ව දන්නෙ නැද්ද? " වික්‍රමේ හින්න දිහා බලල මට ඉඟි මැරුවා.
" අනික බොස් මට දුවන්ට කොහෙත්ම ඕන කමක් නෑ. මොකද මා ගාව තියනව බොහොම බලගතු අලිමන්තරයක්...බුදු හාමුදුරුවො නාලාගිරියා කොන්ට්‍රෝල් කරන්ටත් පාවිච්චි කලාය කියන්නෙ ඒ ඔය මන්තරේ තමයි. " හින්න ආයෙමත් කිව්ව.
" නෑහ්?? …."ඒ පාර කට ඇරුනෙ වික්‍රමේගෙ…
" ඔන්න ඕකනෙ කියන්නෙ ඒ පාර වික්‍රම බොස්ටත් මාව විස්වාස නෑනෙ.. "
" නෑ..නෑ..බං අවිස්වාසෙකට නෙවෙයි..මට නිකම්ම එහෙම කියවුනා…" වික්‍රමේ කිව්වෙ සමාව අයදින ස්වරයකින්…
" ඔය අලි මන්තරේ මට කියල දුන්නෙ අපේ තාත්තගෙ තාත්ත..මුත්ත...බොහොම බලගතුයි කියන්නෙ ඕනම හස්තිරාජයෙකුට අතට වැලි අහුරක් අරගෙන මන්තරේ මතුරල වැලි අහුර ඔලුවට උඩිං යන්ට ගැහුව නං ආය නෑ මෙල්ල වෙන්නෙ බලු කුක්කෙක් වගෙ. "
හින්න ආයම කට කපල ෂොට් එකක් දාගෙන බෝතලේ මට දික්කරා. " ගන්ට බොස් බය වෙන්ට එපා. මා ගාව තියනව ඔරිජිනල් ස්පිරිට් එකෙං බඩු. බෝතලයක් නම් එහෙමයි දෙකක් නං ඒත් එහෙමයි. "
අම්මාපල්ල මුහෙ ආච්චිට හාල් ගරන්ට. මේ බැල්ලිගෙ පුතා ලෑස්ති අපෙ ඕල්ඩ් ටිකට ඌ කෙළල ඇරල අපිට කසිප්පු පොවන්ට. දත් කාගෙන කට ඇතුලෙං එහෙම කියන අතරෙ මම හින්න දික්කරපු බෝතලේ ගත්ත….කමක් නෑ...ඕල්ඩ් බෝතලේ වගේද මුගෙ කතාව..හෙහ්,හෙහ්. හින්න හොඳ කතන්දර කාරය කියල කෑම්ප් එකේ හැමෝ අතරෙම ප්‍රසිද්ධයි. මම එහෙම හිතල හිත සනස ගත්ත.
" ඉතිං බං ඊට පස්සෙ මොකද වුනේ? "
" මම බය නැතුව අලිය ඉස්සරහට ගියා. අලියත් එනව ඉස්සරහට මමත් යනව ඉස්සරහට. මම කිව්වනෙ යන්තමට තරු එලිය විතරයි කියල තිබ්බෙ. අලියයි මායි අතරෙ පරතරේ අඩි විස්සක් වගෙ වෙනකල් ඔහොම මම ගියා. ඒ කරල හෙමීට අලිය දිහා බලාගෙනම පාත්වෙලා වැලි අහුරක් අරගෙන කට ලඟට කරල මැතුරුව අර මම කියාපු අලි මන්තරේ.ඊටපස්සෙ අඩි දෙකක් තවත් ඉස්සරහට ගිහිල්ල ගෙරියා තූ තූ හස්ති බන්දනඃ මහා මේඝවනඃ කියල වැලි අහුර අලියගෙ ඔලුවට උඩිං දමල ගැහුව. "
" නෑ ඉතිං ඊට පස්සෙ? …" වික්‍රමේ ඇස් දෙකත් උඩ තියාගෙන ඇහුව.
" ඊට පස්සෙ මොනවද ආය? අලියත් අඩි දෙකක් ඉස්සරහට තිබ්බ. ප්‍රෑං ප්‍රෑං ගාල සයිරන් එක ගැහුව.දේයි දේයි ගාල දෙකක් පත බෑව හින්නගෙ කොන්ද හරහට අර සද්දන්ත හෝස් පයිප්පෙං..හෙහ්, හෙහ්, හෙහ්...හේ.." මම මැදින් පැනල කිව්ව.
මම හිනාව නවත්ත ගන්ට බැරුව නැඟිටල වීරගහ බදාගත්ත. ඒ වෙනකොට මටත් හොඳ ගාණට වැදිල...වික්‍රමේත් අත්දෙක ඔලුවෙ ගහගෙන හිනාවුනා. හින්නට මල පැනල කතන්දරේ කියන එක බල්ලට දාල නැඟිටල යයි කියල අපි හිතුවට එහෙම දෙයක් වුනේ නෑ, එක්කො ඌටත් ගාණකට වැදිල, නැත්තං කතන්දරේ කියන්ට තියන බලවත් ඕනකම හින්ද එහෙමත් නැත්තං අපි ඔය කියන්නෙ විහිලුවටෙයි කියල ඌටත් සහසුද්දෙන්ම තේරිල, ඒ මොක හරි හින්නත් අපි එක්කල එකතු වෙලා හිනාවුනා.
" නෑ බොස් එහෙම දෙයක් නෙවෙයි වුනේ. බොස්ල හීනෙං වත් හිතන්නෙ නැති දෙයක්.. …" හින්න ටිකක් වෙලා කිසි කතාවක් නැතුව හිටිය හිනා වෙලා එහෙම ඉවර වෙලා අපේ අවධානය ඌ කෙරෙහි පූර්ණ වශයෙන් නැවත යොමුවෙනකල්…
" ඉතිං කියාපං බං මොකද වුනේ කියල…."ඉවසන්ට බැරිම තැන වික්‍රමේ ඇහුව.
" තොගෙ අම්මට ****** මොන බැල්ලිගෙ පුතාද යකෝ මට වැලි ගැහුවෙ. දෙයියෝ සාක්කි මගෙ ඇස් දෙකත් ඉවරයි…"ඔන්න ඔහොම කෑගැහුව බොස්..
" අලියා? " ඇස්දෙකත් උඩතියාගෙන මම ඇහුවා නෙවෙයි මට ඉබේටම ඇහුණා.
" අලි කොහෙද බොස් කතාකරන්නෙ.? බොසුත් මොනවා කියනවද මන්දා…"
" එහෙනං? " එහෙම ඇහුවෙ වික්‍රමේ..
" එහෙම කෑගැහුවෙ අලියගෙ පිට උඩ හිටපු එකා..අලිය බලන මනුස්සය..අලි ගොව්වා…" හින්නා අන්තිම ටික උගෙ වීදුරුවට හලා ගත්ත. " අන්තිම ෂොට් එක බොස්..මම දාගන්නව ඔන්න.."
"දාගං..දාගං දාගං.." මම තුන්පාරක්ම කිව්ව."එතකොට ඒ කියන්නෙ…"
" ඔව් බොස්..මේකා හීලෑ අලියෙක්. අර මරං වාඩියෙ මට්ටයො ගිහිල්ල දවල් එන්ට කියල අලියට. උං කපපු ලොකු කොටවගයක් අද්දව ගන්ට. "
" ඉතිං බං ඊට පස්සෙ? "
" පස්සෙ මනුස්සය මා එක්ක කතාකරල හිතවත් වුනා..පස්සෙ මාවත් අලිය පිටේ නග්ගගෙන මෙහෙටම ගෙනල්ල ඇරලුවා. මම බත් උයල කන්ටත් දුන්න. රෑ මගෙ කාමරේ බුදියගෙන ඉඳල උදේම යන්ට ගියා. අලිය මගෙ කාමරේ ඉස්සරහ පලු ගහේ බැඳල හිටියෙ එලිවෙනකල්. ඇයි බොස්ල දැක්කෙ නැද්ද? "
" නෑ බං අපි දැක්කෙ නෑ....." මම එහෙම කියල නැඟිට්ට.
" බොස් මොකෝ කියන්නෙ ස්පිරිට් එකෙන් බාගයක්වත් ගේන්නද? …" හින්නත් නැඟිට්ට.
" එපා බං ඇති..හෙට වැඩට යන්ටත් එපාය. එහෙනං ගුඩ් නයිට් හින්නා..අපි කාල නිදාගන්නව. " වික්‍රමේත් නැඟිට්ට එහෙම කියාගෙන..
" ඕකේ බොස් එහනං ගුඩ් නයිට්.." අපිට අතවනල හින්නා ටෝච් එකත් වන වන යන්ට ගියා.