Monday, May 18, 2015

320. උතුරේ මළවුන් සැමරීම තහනම සහ එලඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය

Google Images
උතුරේ ත්‍රස්තවාදය පරාජය කොට සය වසරක් ඉකුත්ව ගොස් ඇත. ඒ අතර 2009 වසරේ මැයි මස අවසන් සටන පැවති වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙහිදී තම මියගිය ඥාතීන් හිත මිතුරන් සැමරීමට සංවිධානය කල සැමරුමක් පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගනිමින් තහනම් කොට ඇත. මේ පියවර පිලිබඳව දකුණේ බොහෝ පිරිස් අමන්දානන්දයට පත්වනු නිසැකය.එහෙත් මේ නියෝගයෙන් තහනම් කෙරෙන්නේ මිනිස් අයිතිවාසිකමක් බව බොහෝ දෙනෙකුට නොතේරේ. 


තම මළගියවුන් සැමරීම සෑම මිනිසකුගේම අයිතියකි.මියගියවුන් ත්‍රස්තවාදීන්ද, මිනීමරුවන්ද, අපරාධ කරුවන්ද යන්න ඊට අදාල නොවේ. තමන් කැමති පරිදි මරණය සැමරීමට මියගියවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට පූර්ණ අයිතියක් ඇත. ඔවුන් උදෙසා පහනක් දල්වා යලිත් මෙවන් අකල් මරණයක් ඔවුනට නොවේවා! යලිත් මෙවන් දරුණු ව්‍යසනයක් දැකීමට සිදු නොවේවා! යනුවෙන් හදවතින් ප්‍රාර්ථනා කිරීමට දකුණට මෙන්ම උතුරටත් අයිතියක් ඇත.


පොලීසිය තහනම් නියෝගය ලබාගෙන ඇත්තෙ සාමය කඩවීමට ඉඩඇති බවට පූර්ව නිගමනයක පිහිටා සිටිමිනි. එසේ නිමනයකට එළඹීමට හේතුවූ කාරණා පිළිබඳව වාර්තාවී නැත. සත්‍යය  වශයෙන්ම එළෙස ඔවුනට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි මොහොතකට සිතමු. එහෙත් එවන් අවස්ථාවක පොලීසිය කළ යුත්තේ සාමය කඩවීම වළක්වා සැමරුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ සළසාදීමය. පොලීසියෙන් මහජනයා බලාපොරොත්තුවන්නේ එවන් ක්‍රියාමාර්ගයක් මිස මහජන රැස්වීමක් පිළිබඳව දැනුම් දුන් විගස අධිකරණය ඉදිරියට ගොස් තහනම් නියෝග ලබාගැනීමක් නොවේ.

පසුගිය ජනවාරි 8 වනදින දෙමළ ජනයා එක පොදියට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ එවකට ඔවුන් පමණක් නොව මුළු මහත් දිවයිනම වෙලාගත් දුර්දාන්ත පාලනයෙන් මිදෙනු පිණිස තිසර ළකුණ ඉදිරියේ තම මනාපය ප්‍රකාශ කලේ වෙනත් සහසක් අපේක්ෂා ඇතිව නොව ස්වනිජබිමේ ගෞරවාන්විත ලෙස ජීවත්වීමේ අනුල්ලංඝනීය අයිතිය තමන්ටද සාක්ෂාත් කොටගනු පිණිස පමණක් බවට සැකයක් නැත. එසේවුවද ඒ අපේක්ෂාවට, ඒ අයිතියට මළවුන් සිහිකිරීමේ අයිතියද ඉඳුරාම අයත්බව එදින ඔවුන්ගේ මනාපයෙන් ජයග්‍රහණය,  කළවුනට නොවැටහීම ඔවුන්ගේ නොව අපගේද මහත්ම අභාග්‍යයකි.


ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩදියයුතු නැතිබව ද තර්කයක් ලෙස ඉදිරිපත්කෙරේ. එසේවීනම් සෑම වසරකදීම නොවැම්බර් මස ඉල් මහ විරු සමරුව යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමරනුයේද ත්‍රස්තවාදීන් පිරිසකි. නිරායුධ සිවිල් ජනයා තිරශ්චීන ලෙස කපා කොටා ඝාතනය කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවන්හි බෝම්බ ඇටවීම හැරුණු කොට කොටි සංවිධානය නිරතවූ ත්‍රස්තවාදී ක්‍රියාවන් සියල්ලෙහිම පාහේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමීහුද දශක දෙකහමාරකට පෙර කිසිදු චකිතයකින් තොරව නිරතවූහ.


කොටි සංවිධානය යටත් පිරිසෙයින් යුද වැදුනේ වෙනත් ජනවර්ගයක් හා සමඟ වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමීන් තිරශ්චීන ලෙස ඝාතනය කලේ සහ එයින්ද නොසෑහී චරිත්‍රානුකූලව අවසන් කටයුතු ඉටු කීරිම පවා තහනම් කලේ තම ජනවර්ගයටම අයත්වූවන්ය.බොහෝවිට වසර ගණනක් තිස්සේ ඇසුරුකල අසල්වාසීන්ය. එහෙත් කිසිවකු ඔවුනට ඔවුන්ගේ ඒ විරුවන් සැමරීමේ අයිතියට බාධා නොකරති. එලෙසම පොලීසිය කිසිදිනෙක ඉල්මහ විරු සමරුවට විරුද්ධව තහනම් නියෝගයක් අපේක්ෂාවෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කල බවක් මම අසා නැත්තෙමි.එසේ වුවද උතුරේ ජනයා ඊට සර්වසම වූ අයිතියක් ඉල්ලාසිටින කල අධිකරණ නියෝග මඟින් ඊට හරස් කපති. මේ පරස්පරය, මේ උභතෝකෝටිකය අප වටහා ගත යුත්තේ කෙළෙසද?


දෙමළ ජනයා තුල සිංහලයා කෙරෙහි කාලාන්තරයක් තිස්සේ ගොඩනැඟුනු අවිශ්වාසය සහ වෛරය තව දුරටත් කුළුගන්වනවා මිස වෙනත් කිසිදු සාධනීය කාර්යයක් ඉටු නොකරනා යුද ජයග්‍රහණය සැමරීම නම් මරාණ්ඩුවේ වාර්ෂික වියරු සංදර්ශනය අවලංගු කිරීම බොහෝදුරකට සාධනීය පියවරකි. එහෙත් ඒ සමඟම තර්කානුකූල ඊළඟ පියවර විය යුතුවූයේ මියගිය තම ඥාතී හිත මිතුරන් වෙනුවෙන් සමරු උත්සව දකුණේ පවත්වන අතර උතුරේ මියගියවුන් සැමරීමට ඔවුන්ගේ ඥාතීන්ටද ඉඩප්‍රස්ථාව ලබා දීමය. අවිශ්වාසය, සැකය සහ වෛරය නිෂේධනය කිරීමේ පළමු පියවර විය යුත්තේ එයයි. අධිකරණය ලවා තහනම් නියෝග ලබා ගැනීම නොවේ.

එහෙත් රජය මෙවන් පියවරකට යොමුවූයේ කවරහෙයින්ද යනුවෙන් විමසීම ජන වර්ග අතර සංහිදියාව මඟින් එක් ශ්‍රී ලාංකීය ජාතියක් කෙරේ පිය නඟනා අතිදුෂ්කර චාරිකාව සාර්ථක කූට ප්‍රාප්තියක් කරා මෙහෙයවීමේ කර්තව්‍යයට මහඟු අත්වැලක් වනු ඇතිබව නිසැකය.

ජාතිවාදය ඇවිලවීම ආපසු බලයට ඒමට ඇති පහසුම මාර්ගයවේ යනුවෙන් දෘඩ විශ්වාසයක එල්බ සිටිනා හිටපු ජනාධිපතිවරයාගේ වහළුන් සහ සට්ටඹියන් විසින් " ඔන්න කොටියාට රට පාවා දුන්නා  " යනුවෙන් රට පුරා මහත් කැළඹීමක් ඇතිකිරීමට ඇති අවකාශය වසාදැමීම මෙසේ උතුරේ මළවුන් සැමරුම් තහනම් කිරීමට තුඩුදුන් හේතුව ලෙස උපකල්පනය කිරීමෙහි වරදක් නොවන බව කිව හැක.එලෙසම මහ මැතිවරණයක් නොබෝ කලකින් පැවැත්වීමට නියමිතව තිබියදී ජාතිවාදයෙන් ඉතා පහසුවෙන් කුළුගැන්විය හැකි සිංහල බෞද්ධ ජන විඥානයට ආමන්ත්‍රණය කීරිමට මෙවන් තහනම් නියෝග මහෝපකාරී වන බවද නොරහසකි.

එහෙත් අවම වශයෙන් දශක සතරක කාලයක් මේ දිවයින විනාශ මුඛයට අද දැමීමට හේතුකාරක වූ ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ගෙන ඒමට නම් රජය බහුතර සිංහල බෞද්ධයින් අතර කිසිසේත් ජනප්‍රිය නොවන තීරණයන්ට එලඹීමට මෙන්ම ඒ ක්‍රියාත්මක කීරිමටද දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කල යුතුය. නිර්භීත විය යුතුය. තම සිංහල බෞද්ධ ඡන්ද පදනම රැකගනිමින් ඒ දුෂ්කර කාර්යයෙහි නිරතවීම දැළි පිහියෙන් කිරි කෑම හෝ අතුරේ යෑම හා සමානය. ඒ සඳහා අවශ්‍ය කැපවීම සහ ධෛර්යය සහිත රජයක් නොබෝදිනකින් එළඹෙන්නාවූ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තෝරා පත්කර ගැනීම රටේ අනාගතය පිළිබඳ සිතන සැමගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. ජනවාරි අටවන දින අපි මුල් පියවර තැබුවෙමු. මේ එළඹෙනුයේ එහි දෙවන පියවරයි.

Friday, May 15, 2015

319. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 21 - විසිවසරක ශේෂ පත්‍රය. - The Balance Sheet After Twenty Years

මේ ලෝකෙ ගනිච්චියක් නැතුව සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා හිතුමතේ ජීවිතේ ගත කරපු යුගය නිමාවී තිත් ඉර උඩ අත්සන් කරන්ට මටත් සිද්ද වුනාය කියමුකො.Signed On The Dotted Line. 

එයාලගෙ ගෙදර මැද සාලෙ තියනව අප්පච්චිගෙ ලියන මේසෙ. සියඹලා ලීයෙන් හදල ඔප දාල දෙපැත්තෙ ලාච්චු එහෙම තියන බොහොම කලාත්මක සහ ඒ වගේම කෞතුක භාණ්ඩයක් ඒක.මට ඔය මේසෙ දෑවැද්දට දෙන්ට පොරොන්දු වෙලයි හිටියෙ එයාලගෙ අප්පච්චි. ඒ මේසෙ වෙනද බිත්තිය අයිනට වෙන්ට තියෙන්නෙ. අද ඔන්න ඒක සාලෙ මැදටම ඇදල. මේසෙ උඩ වෙනදට තියන රේඩියෝ සෙට් එක, අප්පච්චිගෙ ෆයිල් බයිල් දිනපොත් එහෙමත් අයින් කරල සුදු පාට/ කහ පාට වගෙ අර මල් කැටයම් තියෙන මේස රෙද්දක් එළල.මේසෙ පිටිපස්සෙ අප්පච්චි වෙනද ඉඳගන්න කුෂන් පුටුවෙ බොහොම ගාම්භීර විදිහට ඉඳගෙන ඉන්නව විවාහ ලේකම් නෝනා මහත්මිය. ඒ ඉස්සරහ පුටු දෙකක අපි දෙන්න.සාක්කිකාරයො දෙන්න දෙපැත්තෙ හිටගෙන ඉන්නව. මගෙ පැත්තෙන් මගෙ හොඳම යාලුව සුමනෙ. එතුමීගෙ පැත්තෙං එයාලගෙ අක්ක බැඳපු ඒ අයිය. අනික් අය ඔක්කොම එකත්පස්ව පිටිපස්සෙ හිටගෙන ඉන්නව. 

" දැන් මොන නීතිය යටතේද මේ විවාහය ලියාපදිංචි කරන්නෙ? " විවාහ ලේකම් නෝන මහත්තය අපි හැමෝගෙම මූණු බලල ඇහුව. එහෙම එකක් ගැන දිගදුරට හිතල තිබ්බෙ නැති හින්ද මම එයාගෙ මූණ බැලුව.එයා මගෙ මූණ බැලුව. 

ජන වර්ගය සිංහල නම් උඩරට විවාහය සහ සාමාන්‍ය විවාහය කියල විවාහය ලියාපදිංචි කල හැකි ක්‍රම දෙකක් තියනව. අපේ විවාහය ඔය ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් යටතෙ ලියාපදිංචි කරන්ට පුලුවනි. මොකද අපි දෙන්නම උඩරැටියො හින්ද එක්කො උඩරට නීතිය යටතෙ පුලුවනි. උඩරැටියො කියල නිර්වචනය කෙරෙන්නෙ 1815 අවුරුද්දෙ උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවෙ උඩරට රාජධානිය කියල සැලකුනු ප්‍රදේශයක ඉපදුනු පුද්ගලයින්.ඒ වගේම ශ්‍රී ලාංකිකයො හින්ද සාමාන්‍ය විවාහ නීතිය යටතෙත් පුලුවන්. පාතරට නීතිය කියන්නෙත් ඒකටමයි. ඔය විස්තරෙත් මම දැනගත්තෙ පස්සෙන් පහු. එදා ඔය මොකවත්ම මම දැනගෙන හිටියෙ නෑ.

" මොකක්ද දැන් ඔය දෙකේ ප්‍රධාන වෙනස්කම්? " මම ඇහුව. 

" ප්‍රධාන වෙනස්කම් මෙහෙම කිව්වැකි. පාතරට නීතිය යටතේ විවාහය ලියාපදිංචි කලාම ඒක උඩරට නීතිය යටතෙ ලියාපදිංචිකල විවාහයකට වඩා ස්ථිරයි.අවලංගු කරන්ට එහෙම ටිකක් අමාරුයි. " විවාහ ලේකම් නෝන මහත්තය කිව්ව.

" අප්පටසිරි එහෙමද? එහෙනං උඩරට විදිහට බඳින එක තමයි කෝකටත් හොඳ…." මා ගාව හිටගෙන හිටපු සුමනෙට විතරක් ඇහෙන්ට කට කොණකින් මම කිව්ව. 

" මට ඇහුන කිව්ව එක…." ඈ ඇස් කොණකින් මා දිහා බලල තොල මැතිරුවා. 

" නෑ මේ මම කිව්වෙ...." මම මේසෙ උඩ තිබ්බ පෑන අරගෙන ඒකෙ ක්ලිප් එක ගලවල ආයම හයිකලා.

" හ්ම්ම්ම්..මම කියන්ටද? කෝකටත් අපි පහතරට ක්‍රමේට මේ විවාහය ලියාපදිංචි කරමු. "

විවාහ ලේකම්තුමිය පිටිපස්සෙ හිටපු එයාලගෙ අප්පච්චිගෙ මූණ බලල කිව්ව. ඔය ලේකම් නෝනා එයාලගෙ අප්පච්චිගෙ ලඟම ඥාතී. මම හිතන්නෙ මගෙ මූණ දැක්කම ඒ ඇත්තිට හිතෙන්ට ඇති කෝකටත් තෛලය කියල පාතරට ක්‍රමේට මේ වැඩේ කරල දාන එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි කියල. කොහොම හරි අන්තිමට එහෙමතමයි වැඩේ සිද්ද වුනේ..පාතරට ක්‍රමේට අපි බැන්දෙ.

බැඳල ඇවිල්ල අපි නිලනිවාසෙක පදිංචි වුනානෙ. බකමූණ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල පොඩි කන්දක් නඟින්ට ඕන අපි හිටපු ක්වාටර්ස් එකට. අපේ ගේත් එක්කම උඩහින් තිබ්බ ක්වාටර්ස් එකේ හිටියෙ අපේ ඔෆිස් එකේ එකවුන්ට්ස් ක්ලාක් කෙනෙක්, ඇගේ සැමියා සහ දරුවන් දෙන්න එක්ක. ඇගේ නම ජයන්ති. ජයන්ති එච්චර උස මහත නෑ. වැඩි කතාබහක් එහෙමත් නෑ. ඒත් ගතිගුණ අතිනුත් අවුලක් කියන්ට තරම් නෑ. කා එක්කත් සුහදව තමන්ගෙ රාජකාරිය කරගෙන හිටිය. ජයන්තිගෙ මහත්තය බණ්ඩාර සමුපකාර පරීක්ෂක කෙනෙක්. ටිකක් දුරක මම හිතන්නෙ ගිරිතලේද කොහෙද වැඩ කලේ. මොන හේතුවක්ද මන්ද අපෙ ප්‍රියම්බිකා තොමෝට ඔය ජයන්තිව එච්චර ඇල්ලුවෙ නෑ මුල ඉඳලම. 

" මට ඒ මනුස්සය එච්චර දිරවන්නෙ නෑ ඒයි…." ඔන්න ඔහොමයි මම ඒ ගැන ඇහුවම කිව්වෙ. 

" ඇයි ඔයාට මොකවත් කිව්වද? "

" මට මොනව කියන්ටද? කිව්වනං දනී මම...එහෙම මොකවත් කිව්ව එකකට එහෙම නෙවෙයි."

" එහෙනං? "

" ඒක මට කියන්ට තේරෙන්නෙ නෑ. ඒත් මට එයාව අල්ලන්නෙ නෑ. "

" හ්ම්ම්ම්..ඒකත් එහෙමද? ..." 

එහෙම කියල මම සද්ද නැතුව නිකා හිටිය. හේතුවක් කියන්ටත් බැරිනං ඉතිං ආය දිගින් දිගටම කතාකරල වැඩක් නෑනෙ. අනික ඔය කාන්තා තර්කන විධික්‍රම එයාලටම විතරයි තේරෙන්නෙ. මෙලොව විචාර ක්‍රමයකට අහුවෙන එව්ව නෙවෙයිනෙ. අනික් අතට මම ජයන්තිගෙ ගුණ වර්ණනා කරන්ට ගිහිල්ල ආය මෙතන නැති ලෙඩ දාගන්නෙ මොකටද? එහෙම හිතල හා එහෙනං ඒකත් හොඳයි කියල මම ආය මොකවත් කියන්ට ගියේ නෑ.

ඔහොම මයෙ හිතේ මාස දෙකක් විතර ගියයි කියමුකො. එක සෙනසුරාදාවක අපි දෙන්න රෑට කාල එහෙම පිටිපස්සෙ මිදුල් කෑල්ලෙ හාන්සි පුටු දෙකකුත් තියාගෙන ඔය අනම්මනම් වල් පල් කතා කරමින් උන්න.

" හෙට උදේට මුංඇට තම්බල කමු පොලුත් එක්ක. " ඔන්න එතුමී හිටපු ගමං කියාපි. 

" මොකෝ මේ හිටපු ගමං? විශේෂයෙන් කන්ට මොකවත් ආසාවක් වගෙ එහෙම….." මම එතනිං කතාව නවත්තල අහක බලා ගත්ත. උන්දැගෙ මූන කටත් එක්ක රතුවෙනව මම හොරැහින් බලාගෙන.. 

" ආය බූතයක් කතා කරනව. එහෙම මොකවත් නෙවෙයි හලෝ......"

" ආ..එහෙමද?..... එහෙනං? "

" මට නිකමට හිතුන ..එච්චරයි...ඇයි එහෙම නිකමට හිතෙන්ට බැරිද? " ඈ මා දිහාම බලාගෙන කියාගෙන ගියා.. 

" නෑ මම මේ කිව්වෙ මුංඇට සීතලයි එහෙම කියල ඔයාමනෙ……"

" හරි , හරි..සීතලයි තමයි..ඒත් ඔය සුමානෙකට දෙහෙකට වගෙ දවසක් කෑවට අවුලක් වෙන්නෙ නෑ,මොකෝ හැමදාම කනවය? "

" හ්ම්ම්ම්. ඕන එකක්. සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනේ කරන්නෙ මමයැ? ඔයානෙ? ඔයා දන්නව ඇතිනෙ එව්වයෙ ගුණාගුණ….."

" ආය මොකවත් වෙන්නෙ නෑ..ඉඳහිටල මුංඇට ටිකක් කෑවට..ඉන්ට මම බලල එන්නං මුංඇට ඇතිවෙන්ට තියනවද කියල…" ඈ නැඟිටල අපෙ ගබඩා කාමරේ දොර ඇරල ඇතුලට ගියා.

" හොඳ වෙලාවට බැලුවෙ ඒයි..තියෙන ටික මදි..ඔයා ටවුමට ගිහිල්ල අරං එනට එහෙනං කිලෝ එකක් විතර…"

පහුවදා ඉරිදනෙ. කොහොමත් අපි දෙන්න ඉරිදට ක්වාටර්ස් එකේ ඉන්නවනං අට වගෙ වෙනකල් නිදාගන්නව.මම නැඟිටල මූණ කට හෝදල තේ හැදුව. තේ එක බොන ගමං ඈ කලින් දවසෙ පෙඟෙන්ට දාල තිබ්බ මුං ඇට ඇලුමිනියම් සාස්පානක දාල ලිපේ තිබ්බ. ඒ වෙනකොට අපි ඉව්වෙ අර ඉලෙක්ට්‍රික් කොයිල් එක තියන ලිපකිං. ගෑස් කුකර් එකක් ගත්තෙ තව මාස දෙක තුනක් අනාගතයෙදි.

රූපවාහිනියෙ ඉරිද උදේ ඒ දවස්වල විකාශය කලා ආයුබෝවන් කියල වැඩසටහනක්. පාලිත පෙරේරා, චන්දන තිලකරත්න වගෙ දක්ෂ මාධ්‍යවේදීන් මෙහෙයවපු ආයුබෝවන් වැඩසටහනට මොහාන් සමරනායකගෙ විදේශ ප්‍රවෘත්ති විචාරයක් සහ ආචාර්ය රොහාන් සමරජීවගෙ තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳව වැඩසටහනක් ඇතුලත් වුනා. මම ඔය ආයුබෝවන් ප්‍රෝග්‍රම් එක අනිවාර්යයෙන් බලනව.

ටික වෙලාවකින් එතුමියත් ඇවිල්ල මා ගාවින් ඉඳගත්ත. " මොකද අද මුවං මාම කියන්නෙ? "

එයාලගෙ අක්කගෙ දුවට එතකොට වයස අවුරුදු තුනක් වගෙ ඇති. බහ තෝරන වයසනෙ. වීක් එන්ඩ් එකට එතුමීගෙ ගෙදර ගියාම උදේ මම ඔය ආයුබෝවන් බලනකොට ඔය කෙල්ලත් ඇවිල්ල මා එක්ක එක සැටියෙ ඉඳගෙන ටී.වී.එක දිහා බලා ඉන්නව. ඒකි මොහාන් සමරනායකට කියන්නෙ මුවං මාම කියල.

" දන්නෙනැද්ද ඉතිං...හැමදාම කියන එක තමයි...වියට්නාම් යුද්දෙ ගැනයි, ප්‍රංශ විප්ලවය ගැනයි අමරිකන් නිදහස් අරගලය ගැනයි බලාහිටිය වගෙ ඔය කියන්නෙ...හෙහ්,හෙහ්, "

මොහාන් සමරනායක ඒ කාලෙ චන්ද්‍රිකා ගාව වැඩකලේ ජනාධිපති ලේකම් කාර්යාලයෙ. ඒ කාලෙත් කඩේ ගියානම් තමයි ඒත් මේ පහුගිය දවස්වල මහින්දට කඩේ ගියා වගෙ විලිලැජ්ජ නැති විදිහට නිහීන ආකාරයට කඩේ ගියේ නෑ. කඩේ යෑම වුනත් පිළිවෙලක් ඇතුව කලා. මහින්ද එක්ක ඒ සෙල්ලං කරන්ට බැරිවුනානෙ කාටවත්ම.හෙහ්,හෙහ්.චන්ද්‍රිකා එක්ක මිනිස්සු දෙපැත්තම ෂේප් කරගෙන වැඩ කලාට මහින්ද එක්ක එහෙම බැරිවුනා. මහින්දට මස් රාත්තලම ඕන වුනා. ආත්මයම පාවල දෙන්ට උනා මහින්දට සට්ටඹිකම් කරන වුන්ට.

" හැබැයි මොහාන් ගොයිය මොනව වුනත් අපූරුවට පදනමක් ඇතුව විස්තර කරනව නේද? " එතුමී එහෙම කියල පුටුවෙ හරි බරි ගැහිල ඉඳගත්ත. 

" මොකද මුංඇට ආතල් එකේ තත්වය? …" මම ඇහුව ටී.වී. එක දිහාවෙ බලාගෙනම

චන්දන, ආසියාවෙ රටවල විශේෂයෙන්ම මේ දකුණු ආසියාවෙ රටවල දේශපාලනයෙ එක පොදු ලක්ෂණයක් තමයි......මොහාන් දෙනව ඇට්ටි හැලෙන්ට. 

" මුංඇට එක තැම්බිල ඉවරයි මම වතුර පෙරල පියන ඇරල ආව ටිකක් නිවෙන්ට කියල. තව විනාඩි විස්සකින් වගෙ නිවෙයි. එතකොට කමු. "

" ඕ.කේ..මැඩම්...හරි…"

චන්දන..ප්‍රජාතන්තවාදය ලෝකයට දායාද කලාය කියල සැලකෙන්නෙ ආදී ග්‍රීක්........ මොහාන්ගෙ විදේශ විත්ති විචාරය අහගෙන තව විනාඩි හත අටක් ගත වෙන්ට ඇති.

" ම්ම්ම්ම්..මේ.. මොනවහරි පිච්චෙන ගඳක් වගෙ එනව නේද? " නහය පුම්බල හතර අත ඉව කරල මම ඇහුව. මගෙ නහය සාමාන්‍යයෙන් බොහොම සංවේදී අවයවයක්.අනික අයට යම් ගඳ සුවඳක් දැනෙන්ට කලින් ඒක මට දැනෙනව. 

" ම්ම්ම්..නෑනෙ මට එහෙම එකක් එන්නෙ නෑනෙ.ආ..ඉන්ට පොඩ්ඩක්..ඔව්..ඔව්..මටත් දැනෙනව වගෙ දැන්නං...."

දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍යය හිට්ලර් පරදවා ජයග්‍රහණය කරා මෙහෙයවපු වින්ස්ටන් චර්චිල් යුද ජයග්‍රහණයත් එක්කම පවත්වපු මහ මැතිවරණයෙන් පරාජයට.....

" එන්න එන්නම අර මොනවද පිච්චෙන ගඳ වැඩියිනේ ඒයි…" මම නැඟිටල නළලත් රැලි කරගෙන වටපිට බැලුව..

" හිහ්...හිහ්..හිහ්…." මෙන්න එතුමී කොක් හඬලා හිනාවෙනව. 

" මොකද අනේ මේ නිකම්ම හිනාවෙන්නෙ? ඔයාට පිස්සුද? "

" අද හම්බවෙයි ජයන්තිට බණ්ඩාරගෙන්..හිහ්...හිහ්...එහෙ බතද කොහෙද පිච්චෙන්නෙ.. "

" හෙහ්..එහෙමද? " 

" ඔව්,ඔව්,එහෙ වෙන්න ඕන. නැත්තං මෙච්චර තදින් පිච්චෙන ගඳ එන්ට විදිහක් නෑනෙ..අනේ මන්ද මේ මිනිස්සුන්ට නහය නැද්ද කියල…" එතුමී තව දුරටත් කියෙව්වා.

මැතිවරණ පරාජයෙන් පස්සෙ අගමැති කමින් ඉවත් වෙද්දි චර්චිල් කිව්ව "Democracy is the worst form of government, except for all those other forms…………….

" මේ.... මේක හරියන්නෙ නෑ..ඔයාට ෂුවර්ද කුස්සියෙ මුං ඇට එක…"

මම එහෙම කියනවත් එක්කම එතුමී නැඟිටල අඩියට දෙකට සාලෙන් පිටිපස්සෙ කුස්සියට යන දොර ඇරිය. සාලෙන් එලියට ගිහාම පොඩි ලොබි එකක් වගෙ කෑල්ලක් තියනව. එතනම එහා පැත්තෙ තියනව කුස්සියෙ දොර.එතුමී පැනපු ගමං කුස්සියෙ දොරත් ඇරිය. ඒ එක්කම එතනම ගල් ගැහුන. කුස්සියෙං එකයි දුම. මම එතුමීව පැත්තකට තල්ලු කරල කුස්සියට එබිල බැලුව. කොයිල් ඉලෙක්ට්‍රික් ලිප උඩ තියෙන සාස්පාන රතු පාටින් දිලිසෙනව. ඒක ඇතුලෙ තිබ්බ මුංඇට නම් මේ වෙනකොට දැලි අඟුරුවගෙ වෙලා.දුම දානව හෝ ගාල. මට එක පාරටම හිතුනෙ කොයිල් එකත් ගිණි අරගෙන වයර් එකත් පිච්චිල ගේම ගිණිගනියි කියල. මම නමෝ විත්තියෙන්ම කලේ අඩියට දෙකට ආපහු සාලෙට දුවල මේන් ස්විච් එක ඕෆ් කරල දාපු එක.

ලිප උඩ තියන සාස්පානෙ අඬු දෙකට පොල්කටු හැන්දක් රිංගවල උස්සල අරගෙන මම කුස්සියෙ ජනේලෙ ගාව තිබ්බ සින්ක් එකට දාල කරාමෙ ඇරිය. චෝස් ගාල ආයම දුම් කඳක් ඉහළ නැග්ග. කුස්සියෙ ජනේලෙයි, දොරයි දෙකම ෆුල් ඇරල දාල මම ආපහු හැරුන. එතුමී සාලෙ දොර ගාව ඉන්නව බිරාන්ත වෙලා වගෙ ඇස් දෙකත් ලොකු කරගෙන. 

" ලිප ඕෆ් කලා කියලයි මම හිතාගෙන හිටියෙ. " ඈ ඇහෙන නෑහෙන අඬින් කිව්ව. 

මොකද අනේ... ඔච්චරටම සිහියක් නැද්ද? නරක නෑ වැඩේ..තව පොඩ්ඩෙන් ගේත් එක්ක ගිණි ගන්ට තීබ්බ. මදැය ඔයාත් කරන වැඩ..මොන ලෝකෙද ඉන්නෙ හැබෑට? ඔයිං එකක් , දෙකක් නැත්තං ඔය ඔක්කොම කියන්ට හිතාගෙනයි මම ඈ දිහාට හැරුනෙ. ඒත් ඇගේ දෑස්වල බියපත් බැල්ම දැක්කම කියන්ට හිතාගෙන උන්නු දේවල් මම එහෙම්මම ආපහු ගිල ගත්ත.

මම ඈ ලඟට ගිහිල්ල ඇගෙ අතක් අල්ල ගත්ත " හරි හරි ඒකෙ ප්‍රශ්ණයක් නෑ,...ඔයා හිතල කරපු දෙයක්ය..වැරදීමක්නෙ...." එහෙම කියල ඇගේ දෑස් දිහාවෙ බලල හිනාවුනා.පපුව හිස් වෙලාමයන්ට දිග සුසුමක් හෙලල ඈ මගේ පපුවට තුරුලු වෙලා ඉකි බිඳින්න ගත්ත.

" හරි හරි... දැන් ඔය මොකටද අඬන්නෙ? " මම ඇගෙ හිස පිරිමදින අතරෙ ඇහුව. 

" මට බය හිතුන ඔයා මට හොඳටම බණියි කියල. "

" හෙහ්, බණින්ට තමයි හිටියෙ..හරි හරි එව්ව දැං අල්ලල දාමු. " තවමත් වතුර ගලන කුස්සියෙ කරාමෙ වහල දාල මම ඈ එක්කම ගිහිල්ල ටී.වී. එක ඉස්සරහ වාඩිවුනා.

චන්දන මේ වගෙ අවස්ථාවක අපි හුදු හැඟීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්ට ඕන.විශේෂයෙන්ම පූරවාදර්ශ නැති ගැටලු මතු වුනහම තමන්ගෙ ඉන්ස්ටින්ක්ට් එක ඒ කියන්නෙ සහජ බුද්ධියෙන් තීරණයක් ගන්ට ඕන. මොහාන් සමරනායක තවම කතා කරනව.

" හරි දැං ඔය මුංඇට කේස් එක අල්ලල දාන්ට…. කීයද වෙලාව? " සාලෙ බිත්තියෙ එල්ලල තිබ්බ බිත්ති ඔරලෝසුවෙ වෙලාව නමයයි විස්සයි. 

" තවම නවයහමාරටවත් නෑනෙ. ටවුමෙ මධුර හෝටලේ තාම තියනව ෂුවර් එකටම ඉඳිආප්ප. ඉන්ට මම කලිසමක් දාගෙන ගිහිල්ල ඉඳිආප්ප සීයකුයි…"

" මොකක්? ඉඳිආප්ප සීයක්? කාට කන්ටද ඉඳිආප්ප සීයක්? පීස්සුද මන්දා....."

මම ඈ දිහාවෙ හිනාවෙවී බලාඉන්නව ඈ දැක්කෙ එතකොටයි. ඇගේ මූණ රතුවුනා. 

" යන්ට ඔයා හරි නරකයි දන්නවද? "

ඒ මීට විසිවසරකට පමණ පෙරය. ඊයේ රාත්‍රියෙහි මම ඇය හා සුපුරුදු පරිදි කථා කලෙමි. 

" හෙට දවස මතකයි නේද? "

" හිහ්..මොකෝ අමතක? "

" ඔයාට මතකද අර දවසක් උදේට මුං ඇට තම්බන්ට ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව? "

"හිහ්, හිහ්.. මොකෝ අමතක?..ඒකත් මතකයි...හොඳට මතකයි…"

විසිවසරක ශේෂපත්‍රය.....ඒ මොනිකා රුවන්පතිරණ නම් අකල්හි අප අතරින් වියෝවූ ප්‍රතිභාපූර්ණ කිවිඳියගේ කවිපොතක නම. මගේ විවාහ දිවියට විසිවසක් ගත්වූ ඉක්බිති ලියැවෙන මේ හෘදයාංගම සටහනට මවිසින් ඒ මැය යෙදූයේ ඊට වඩා උචිත වූවක් මසිතට නොනැඟි බැවිනි. ශේෂපත්‍රය යනු ගණකාධිකරණයෙහි යෙදෙන පාරිභාෂික වදනකි. සමාගමක හෝ ව්‍යාපාරයක ලාභය හෝ පාඩුව අවසාන වශයෙන් සාරාංශ ගතකොට දක්වාලන සටහන ශේෂපත්‍රයයි. එසේ හෙයින් මගේ දිවියේ විසිවසරක ශේෂ පත්‍රය යනු විසිවසරක් අවසානයේ මට සහ ඇයට ඉතිරිව ඇති යමක්වේද හුදෙක් එපමණකි. එනම් ඇගේ සහ මාගේ නොමියෙන සදාතනික සෙනෙහස මිස අනෙකක් නොවේ.

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ, 
සැතැපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ, 
මහලු වෙලා අද සඳ වාගේ,
යෞවන රෑ සඳු,
බලාන උන්නාවේ, 

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා, 
අපි යමු මේ රෑ අනාගතය සොයලා, 
නලමුදු සුවඳේ නිදන මලේ,
මට මල් රොනවුලු,
සුවඳ දැනේ ළඳුනේ,

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,


Tuesday, May 12, 2015

318. කුකුළේගඟ මතක - 6 - මට්ටයො, මරං වාඩි, ලිප්ටන්ස් සීට්, හනුමන්තා සහ පිං සිද්දවෙයි අර පල්ලෙහායිං නාපං

ගිය පාර කතාවෙදි හිනිදුමය මෙහෙම කිව්වනෙ.


/ කියන්ට ආවෙ එක දවසක් ආපහු කෑම්ප් එකට එද්දි මට මාර වැඩක් වුනානෙ බොස්. එදා ඔන්න යන්තමට තරු එළිය විතරයි. අමාවකද කොහෙද... මම ඔන්න එනව අර මට්ටයිංගෙ මරං වාඩි තියෙන්නෙ අන්න ඒ හරියෙ. එක පාරටම අර මහ වංගුව පහුවෙනවත් එක්ක මම දැක්ක මා ඉස්සරහට අලියෙක් එනව. /

ඔය මට්ටයො සහ මරංවාඩි ගැන එතන කියන්ට ගියානං හින්නගෙ අලිකතාව කියන්ට වෙන එකක් නැති නිසා මම මෙහෙම කිව්ව.

/ මට්ටයො සහ මරංවාඩි ගැන බොහොම විස්තර කියන්ට තියනව ඒත් අද හිනිදුමයා සහ වල් අලියා කතන්දරේ කියන්ටම ඕන නිසා ලබන පාර ඒ විස්තරේ කියන්නංකො.../

හැලපානියා ඔතානියා එහෙමත් අහල තිබ්බනෙ ඊළඟට මට්ටයො සහ මරංවාඩි ගැන කියනව නේද? කියලත්. එනිසාවෙන් මම කල්පනා කලා ඒ විස්තරේ කියලම ඉමුය කියල.

ඔය අපි හිටපු හරියෙ කැළේ මැදින් පාරක් තිබ්බ සෝමාවතියට. ත්‍රිකෝණමඩුව හරහා වැටිච්ච ඒ පාර ඉවර වෙන්නෙ මහවැලි ගඟේ විල්ලුවකින්. විල්ලුවක් කියන්නෙ ගඟකින් වගෙ වතුර පිටාරගලල ලොකු බිම් ප්‍රදේශයක් නොගැඹුරු විලක් වගෙ උනහම. සෝමාවතියට යන්ට ඔය විල්ලුවෙන් එගොඩ වෙන්ට ඕන. ඔරුවලින් ඔය ගමන යමුය කියලා අපි අනන්ත කතාවුනත් එහෙං හදිස්සියෙම එනකලුත් ඒ ආසාව ඉස්ට කරගන්ට බැරි වුනා. ඔය සෝමාවතිය පාර දෙපැත්තෙම පායන කාලෙ අල්ලල කැළේ වාඩි ගහගෙන දර කපනව ඕඩමාවඩි, කල්කුඩා, වාකරේ දිහා ඉඳල එන මුස්ලිම් මිනිස්සු.

ඒ මිනිස්සුන්ට කියන්නෙ මට්ටයො කියල. මම කොහෙහරි පොතක කියෙව්ව ඔය නැගෙනහිර පළතෙ මුස්ලිම් වැසියන්ට ඔය මට්ට කියන නම පාවිච්චි කරනවයි කියල.මම දකින හැමවෙලේම ඒ හැමෝම අඟල් බාගයක් වගෙ වෙන්ට කොණ්ඩෙ කොටටම කපල හිටියෙ. මට ඔය හිතුනම කොණ්ඩෙ කපනව නම්බර් නෝට් එකට. නම්බර් නෝට් එකට කපන්ට කිව්වම බාබර් දන්නව කොයි ගාණටද කපන්ට ඕන කියල. එතකොට නම්බර් නෝට් තලේ තමයි හෙයාර් ක්ලිපර් එකට දාන්න. මම ඔහොම නම්බර් නෝට් එකට කොණ්ඩෙ කපාගෙන ආහම අපෙ උන්දැකියන්නෙ " ආ..ඔය කපල තියෙන්නෙ මට්ට ගෙඩිය වගෙ ...දැං හොඳයි. හැබැයි කොණ්ඩෙ ටිකක් විතරවත් වැවෙනකල් මා එක්ක එන්ට එපා පාරෙ බැහැල යන්ට. " අන්න එහෙම.

මම පස්සර පැත්තෙ වැඩකලා අවුරුද්දක් තරම.ඒ ඔය කැළේ මැද රස්සාවෙන් අයිං වෙලා ඇවිල්ල කුකුළේගඟටත් පස්සෙං පහු.මගෙ යාලුවෙක් එක්ක තේ පැට්ටරියක් හදන්ට කොන්තරත් එකක් කලා.ඒ 2004 අවුරුද්දෙ. 2004 අප්‍රේල් මාසෙ රනිල් අගමැතිවෙලා හිටපු යූ.එන්.පී. ආණ්ඩුව චන්ද්‍රිකා නෝනා විසිරුවල ඇරල මහ මැතිවරණයක් තිබ්බ මතකයි නේද? අන්න ඒ දවස්වල මම හිටියෙ පස්සර. බහුතර බලය සන්ධානෙට තිබ්බට කතානායක තෝරන චන්දෙන් පත්වුනේ යූ. ඇන්. පී. එකේ විජමු ගොයිය. ඒ චන්දෙදි තමයි ආචාර්ය දුටුගැමුණු සිල්වා අර හෙළ උරුමෙ හාංදුරුවංගෙ අර මොකක්ද එකක් මිරිකල උන්නාන්සෙ ඉස්පිරිතාලෙත් දවස් ගාණක් හිටියෙ.

රයිට්..පස්සර ගැනනෙ කියන්ට ආවෙ. ඉතිං ඔය පස්සර මොණරාගල පාරෙ අපි වැඩ කරපු හරියෙ ( ඒ හරියට කියන්නෙ තොළබෝවත්ත...එතන ඉඳල බඩල්කුඹුරට තියෙන්නෙ කිලෝ මීටර් අටක් දහයක් වගෙ ) ගමේ මිනිස්සු හරිම බයයි මට්ට කොල්ලට. මට්ට කොල්ලයි කියන්නෙ මුස්ලිම් කොලුවෙක් එහෙම නෙවෙයි... යකෙක්. මට්ට කොල්ල දැකපු මිනිස්සු කියන්නෙ මූණ රවුම්, බොහොම අහිංසක පෙනුමක් තියන අඩි දෙකක් වගෙ උස පොඩි එකෙක්ය කියලයි. කකුල් බකල ගගහ එනවලු පස්සෙං, මොනව හරි කියව කියව. එහෙමට දරුණු වැඩ නම් කරන්නෙ නැතිලු.ඒත් මිනිස්සු බය වෙලා අඩිය ඉක්මන් කරල යන්ට යනකොට දුවල ඇවිදිං රවල බලනවලු ඇස් දොඹගෙඩි වගෙ කරගෙන ඒකට බයවෙලා මිනිස්සුන්ට සිහි නැතිවෙනව. ඊට පස්සෙ සෙත්සාන්තියක් කරල තමයි සනීප කරගන්ට වෙන්නෙ.

අපි නැවතිලා හිටියෙ ෆැක්ටරියෙම උඩ තට්ටුවෙ. වැහි අඳුර නැති හඳත් නැති රෑට ඔය ෆැක්ටරියෙ උඩ තට්ටුවෙ ගරාදි වැට ගාවට වෙලා නැගෙනහිර / දකුණ පැත්ත බලාගෙන ඉන්නකොට හිටපු ගමං පේනව ටෝච් එකක් පත්තු කරල අහසට ගහනව වගෙ එළියක්. ටිකකින් ඒ එළිය හෙමීට කරකැවිල ඊට පස්සෙ නැතිවෙලා යනව. ආයම විනාඩි දෙක තුනකින් වගෙ ඒ විදිහටම පේන්ට ගන්නව. ඒ ෆැක්ටරියත් එක්කම පල්ලෙහා තිබ්බ කඩේ මුදලාලි කිව්වෙ ඒ මඩකලපුව පැත්තෙ මූදෙ එළිය කියල. ඒත් ඒ මඩකලපුව පැත්ත වෙන්න බෑ. ඒ එළිය පෙනුනු දිශාව අනුව ඒ එක්කො මහා රාවණා ප්‍රදීපාගාරය හෝ කුඩා රාවණා ප්‍රදීපාගාරය වෙන්න ඕන.

ලංකාවෙ සුප්‍රසිද්ධ ඔබ්සර්වේෂන් පොයින්ට් එකක් නැත්නම් නීරීක්ෂණ ස්ථානයක් තමයි පූනාගල කන්ද මුදුනෙ පිහිටල තියෙන ලිප්ටන්ස් සීට් නොහොත් ලිප්ටන්ගේ ආසනය. ලෝක ප්‍රසිද්ධ ලිප්ටන්ස් තේ ව්‍යාපාරයෙ නිර්මාතෘ ශ්‍රීමත් තෝමස් ලිප්ටන් ඔහුගේ තේවතු අධිරාජ්‍යය නැරඹීමට මේ ස්ථානයට පැමිණියා කියල කතාවක් තියනව. මෙතන ඉඳල මීදුම රහිත පැහැදිලි දවසක නැගෙනහිර, ඌව,  මධ්‍යම සහ සබරගමු පළාත් දකින්නට පුළුවන්. දිස්ත්‍රික්ක නම් 7 ක් කියලත් කියවෙනව. මම එක් වරක් ලිප්ටන්ගේ ආසනයට ගිහිල්ල තියනව. හැබැයි එදා අවාසනාවකට වගෙ මීදුම නිසා එතරම් පැහැදිලි දර්ශනයක් දැක බලාගන්ට බැරිවුනා.චන්ද්‍රිකා වැව, හඳපානාගල, උඩ වලව ජලාශය, වැඩිහිටි කන්ද සහ හම්බන්තොට වරායත් මෙතනට පෙනෙනවයි කියල කියනවා.

View From Lipton's Seat

හරි ආයම මට්ටයො ගැන....:)

ඔය මට්ටයිංගෙ දර වාඩි වලට කියන්නෙ මරං වාඩි කියල. මරං කියන්නෙ දෙමළෙන් දර වලට.මේ මට්ට මිනිස්සු  දිග අං දෙකක්, එතකොට විසාල මොල්ලියක් එහෙම තියෙන සුදුපාට ගොන්නු දෙන්නෙක් බැඳපු බර කරත්තවල නැඟල එවුංගෙ ගම්වල ඉඳල එනව ඔය මම කිව්ව සෝමාවතියට යන පාර අයිනෙ කැළේට. ඇවිල්ල කැළේ ගස් කපල ඒ කොට වේලල කරත්තවල පටෝගෙන අරගෙන යනව. කොට කිව්වට එච්චරම විසාල එව්ව නෙවෙයි ඒ අය කපන්නෙ . වට අඩි දෙක තුන වගෙ එව්ව තමයි උපරිම. මොකද ඔව්ව පළල ගන්නව කියන්නෙ පාන් පෝරණුවලට, එතකොට උයන්ට, දරට අන්න ඒ වගෙ එව්වට.

එක නඩේකට එනව කරත්ත හතළිහක් පණහක් විතර. ඔක්කොම එක ගමක අසල්වැසි කට්ටිය. සීයට අනූනමයක්ම ළඟම නෑදෑයො.ඉතිං එක පාරක් ආපුවාම කැළේ ඉන්නව මාසයක් විතර.කොට කපල වේලල සමහර ලොකු කොට මෙහෙදිම කුට්ටි කරනව. මට්ටයො එනකොට ගමෙන්ම අරගෙන එනව හාල්, තුනපහ, කරවල එහෙම පුලුවන් තරම. වාඩි ගහ ගන්ට පොල් අතුත් අරගෙන එනව.

මට්ටයිංගෙ වාඩි බත පුදුම රහක්. මම හිතන්නෙ එයාලගෙම කුඹුරුවල අළුත්ම වී කොටපු බත් නිසා වෙන්න ඕන. ඒ වගේම තමයි කට්ට කරවල හොද්දකුයි, කීරමින් බැදුමකුයි හදනව පිස්සුම හැදෙනව. කඩල මිටි කිරෙං හින්දවල.... එතකොට හුරුල්ලො කරවල පුච්චල දාපු පොල් සම්බෝලෙ.... මම සහසුද්දෙන්ම දන්නෙ මමයි සෝමෙ අයියයි ( සෝමෙ අයිය තමයි අර මම කාලෙකට ඉස්සර ලියපු ඕලු මලේ කතන්දරේ ප්‍රධාන චරිතය ) සතියකට දවසක් වත් ඔය මරංවාඩිවලින් බත් කාපු හින්ද. සෝමෙ අයියට නියමෙට දෙමළ පුලුවන්. ඒ හින්ද එයාල එක්ක කතාබහ කිරිලි අවුලක් වුනේ නෑ. මට දෙමළ භාෂාව බැරිකම ගැන මම අනන්ත වාරයක් දුක්වෙලා තියනව.අපේම රටේ අපි ඇරුණම අනෙක් ජනවර්ග දෙකේම මව් භාෂාව අපිට අඩුගානෙ කතාකරන්ටවත් බෑ කියන එක ඇත්තටම ලැජ්ජාවට කාරණයක්.

අපි දෙන්නා ඒ කිව්වෙ සෝමෙයි මායි ඔය හවස් අතක යනව මරං වාඩි පැත්තෙ. මරංවාඩි වලට මෙහා පැත්තෙන් තිබ්බ කොන්ක්‍රීට් වලින් හදපු ඇලක්. තවම මිනිස්සු පදිංචි කරල කුඹුරු ඉඩං දීල නැතිවුනාට කුඹුරු කරන කාලෙකට වතුර අරගෙන එන්ට මාදුරුඔය ජලාශෙ ඉඳලම ඇළවල් ඒ වෙනකොටත් හදලයි තිබ්බෙ. මම කලින් දවසකත් කිව්ව ඒ ඇළ මාර්ග හැදුවෙ ZD කියන අමරිකන් සමාගම. ඔය ඇළවල්වල කටකපල වතුර. 

" මල්ලි යමං නාගෙන එහෙම මරංවාඩි පැත්තෙත් ගිහිල්ල එන්ට. …." පිටිපස්සෙං සරම උස්සගෙන උඩට මොකවත් නැතුව තුවාය විතරක් උරේ දාගෙන සෝමෙ අයිය මගෙ කාමරේට එබෙනව. වෙලාව හවස පහමාරට විතර ඇති.

" ඒයි උඹල දෙන්නත් යමල්ල.." වික්‍රමේයි සිරායි දෙන්න ඒ වෙලාවෙ හවස තේ බොනව..

"හා යමං ...හැබැයි මම නං නාල ආපහු එනව..මරං වාඩි දිහාවෙ යන්ට නං බෑ.." වික්‍රමේ කවදාවත් අපි එක්ක මරං වාඩි බත කන්ට ආවෙ නෑ.

" මාත් නාල ආපහු එනව…." සිරාත් කිව්ව. 

සිරා කිව්වෙ සිරිතුංග..ඕකගෙ ගම ඉමදූව. සෝමෙ එක්ක එකටම සෑහෙන කාලයක් තිස්සෙ වැඩ කරපු එකෙක්. සිරා ඒ වෙනකොට බැඳල මාස හයක් විතර ඇති.කොයි වෙලාවෙත් මනෝ පාර ගහගෙන ඉන්නෙ වයිෆ් ගැන හිත හිත.

" යකෝ ඔච්චර මොනවද ඕක ගැන හිතන්ට තියෙන්නෙ? නිවාඩුවක් දාල ගෙදර ගිහිල්ල වර….." සිරා පුටුවෙ දිගාවෙලා උඩ බලාගෙන ඉන්න දිහාවෙ ටිකක්වෙලා බලා ඉඳල සෝමෙ මට ඇහැක් ගහල කියනව.

" නෑ සෝමෙ අයිය. එහෙම දෙයක් නෑ. මම මේ…… මම මේ…..." සිරා ලැජ්ජාවෙන් බිම බලා ගන්නව.

ඒත් මේ ගිය සුමානෙ නැත්තං ඊට කලින් සුමානෙ. රෑට කාල එහෙම සෝමෙයි සිරායි මිදුලෙ වීරගහ යට බංකුවෙ ඉඳගෙන. සෝමෙ විටක් එහෙම ලෝඩ් කරගෙන කතාව. ඔය සෝමෙට කතාකරන්ට තියනවනං අය වෙන මොකවත් ඕන නෑ. විටකුත් කටේ පුරවගෙන එළිවෙනකල් කතා කරයි එක සීරුවට.විටේ හැපෙන්ට හැපෙන්ට ඕකා බෙල්ල නවාගෙන ඔලුව පස්සට ඇලකරගෙන කතාකරන ආකාරය බලන්ට ලස්සනයි. ඉතිං ඔය කියන දවසෙ වික්‍රමෙයි මායි සාලෙ දොර ලඟම ඇඳි පුටු දෙකේ ඉඳගෙන සොලිටෙයර් ගේම් එකක් සෙල්ලං කරනව.සෝමෙ හෙණ කතාවක්. කනේ තිබ්බ වගෙ අපිට ඇහෙනව. සිරා හූ මිටි තිය තිය අහගෙන ඉන්නව.

එදා සෝමයගෙ කතාව එක එක දෙවිවරුංගෙ වාහන ගැන..

" මල්ලි ඔය කතරගම දෙවියංගෙ වාහනේ ඇවිල්ල මොණරා. එතකොට ගණ දෙවියංගෙ වාහනේ මීයා..ඔය වගේ හැම දෙවියෙකුටම තියනව වාහනයක්……"

" හ්ම්ම්ම්ම්……………" සිරා වෙලාවට හූමිටි තියනව. 

" එතකොට ඊස්වර දෙය්යංගෙ වාහනේ…."

" හ්ම්ම්ම්............"

" ගුරුලා කියන කුරුල්ල තමයි……"

" හ්ම්ම්ම්ම්……" සිරාගෙ හූමිටි තිවිල්ල නියමෙට කෙරීගෙන යනව.

වික්‍රමේ හාරත පොරව තිබ්බ හාරත හේරා යටිං ඒ කරල මිදුලෙං සෝමෙගෙ කට අඬ ඇහෙන දිහාවට ඉඟිමරල මා දිහාට නැමුන. " සෝමය බැහැල කතාව දුන්නට සිරා ඉන්නෙ දැං උගෙ ලෝකෙ. ඉමදූවෙ..ඔය හූ මිටි තියන එව්ව හිතල නෙවෙයි කරන්නෙ..ඉබේටම කියවෙන්නෙ.... "

" හිහ්,,හිහ්...ඔව්....ඔව්....ඔව්…." මමත් හිනාවෙලා ඔලුව වැනුව.

එළියෙ සෝමෙගෙ කියවිල්ල දිගටම යනව. සිරාත් අරින්නෙ නෑ හූමිටි තියනව. වික්‍රමෙයි මායි එළියෙ කතාවටත් එක කණක් දාගෙන මෙහෙ කාඩ් ගේම ගහනව. දෙයියංගෙ වාහන වලින් සෝමෙ කොහොමහරි මාරු වුනා රාම-රාවණ යුද්දෙට. 

" රාවණ රජ්ජුරුවො ගිහිල්ල සීතා කුමාරි පැහැරගෙන ආවනෙ………….." 

" හ්ම්ම්ම් "

" ඒ පාර රාම කුමාරය සීතා ඉන්න තැන හරියටම බලාගෙන යන්ට ලංකාවට එව්ව හනුමන්තා………"

ඔන්න එක පාරට සිරා සිහින ලෝකෙන් මිදුනා. " සෝමෙ අයියා……"

" මොකෝ? " සෝමෙ තරහින් වගෙ ඇහුව..මම හිතන්නෙ කතාවට බාදා කලාට සෝමෙ එච්චර කැමති වුනේ නෑ.

" එතකොට සෝමෙ අයියා හනුමන්තා කාගෙ වාහනේද? "

සෝමෙට මම හිතන්නෙ උතුර දකුණ මාරුවුනා.." හනුමන්තද? හනුමන්ත  උඹෙ අම්මගෙ වාහනේ. "

සෝමෙ දිඩිස් ගාල නැඟිටින්ඩ ඇති බංකුවෙං..මම කලින් කිව්වනෙ ඒ බංකුවෙ එක පැත්තක ඉඳගෙන ඉන්න මනුස්සය එක පාරට නැඟිට්ටොත් බඩුම තමයි ලෑල්ල පෙරළිල අනික් පැත්තෙ ඉන්න එකාගෙ පස්ස බිම ඇනෙන එක ඇනෙනවමයි. සෝමේ අයියා කියල සිරා කෑගහනවත් එක්කම දිඩිං ගාල කවුරුහරි බිම ඇදගෙන වැටෙනව ඇහුන. ඒ එක්කම සරමත් පිටිපස්සෙං උස්සගෙන සාලෙ හිටිය අපි දෙන්න දිහාවත් නොබලම සෝමෙ අයියා දිඩි දිඩි ගාල උගෙ කාමරේට ගිහිල්ල ඩීං ගාල දොර වගගත්තු පාර මුළු සාලෙමත් එක්ක හෙල්ලිල ගියා. සොලිටයර් ගේම අතෑරල දාල වික්‍රමෙයි මායි තත්පර තිහක් විතර මූණෙං මූණ බලාගෙන හිටිය. ඊට පස්සෙ ඇස් වලින් කඳුළු පයිනකල් හිනා වුනා.

ඉතිං ආපහු යමු නාන්ට ගිය කතාවට....

" ඒයි උඹල දෙන්නත් යමල්ල………" වික්‍රමෙයි සිරායි දෙන්න ඒ වෙලාවෙ හවස තේ බොනව..

" හා යමං ...හැබැයි මම නං නාල ආපහු එනව..මරං වාඩි දිහාවෙ යන්ට නං බෑ." වික්‍රමේ කවදාවත් අපි එක්ක මරං වාඩි බත කන්ට ආවෙ නෑ. 

" මාත් නාල ආපහු එනව………." සිරාත් කිව්ව.

" හරි හරි ඕන එකක් කරපල්ල..උඹල නාල ආපහු වරෙල්ලකො. වීරෙයි මායි මරංවාඩි වාඩි පැත්තෙ ගිහිල්ල එන්නංකො..නැද්ද මල්ලි? " සෝමෙ මං දිහා බලල හිනාවුනා.

කුඹුරු තාම කෙරෙන්නෙ නැතිනිසා ඔය කොන්ක්‍රීට් ඇලේ වතුර පාවිච්චි වෙන්නෙ නෑ. ඒ හින්දම හැමෝම නාල වතුර ජරාවෙනව. ඇල කෙළවර පොඩි හොරොව්වක් තිබ්බ. හොරොව්ව කියන්නෙ වතුර පිටකරන ගේට්ටුවක් වගෙ එකට. ඕකෙ ඉබියතුරු අපි ඉල්ලගෙන තියාගෙන හිටියෙ. ගේට්ටුව උස්සල අපිරිසිදු වතුර යන්ට ඇරල ආයෙම ගේට්ටුව පාත් කලාම පැය බාගයක් වගෙ යනකොට අලුත්ම වතුර ඇලේ ආයෙම පිරෙනව කට මට්ටං.

අපි නෑවෙ මේ වගෙ ඇළක
එදත් අපි හොරොව්ව ඇරල වතුර හිස්කරල ආයෙම හොරොව්ව වහල ඇළේ වතුර පිරෙනකල් ඇළ ඉවුරෙ වාඩි වෙලා ඔහෙ කයියක් ගහගෙන හිටිය.සෝමෙ අයිය ඔන්න හිටපු ගමං නැඟිටල හෙමීට කැළේ පැත්තට ගියා. 

" ඔය කොහෙද දන්නවද ඕකා ගියෙ?" වික්‍රමේ ඇහුව. 

" සෝමෙ අයිය ඔය ගියේ ජංගල් බොගක් දාන්ට…" සිරා හිනාවෙලා කිව්ව. 

සෝමෙගෙ ගෙවල් ඔය රාජාංගනේ පැත්තෙ බොහොම පිටිසර දිහාවක. පොඩි කාලෙ එවුං වැව්පිටිවල එහෙම බොග දාල තියෙන්නෙ. ඒ හින්ද දැං උනත් ඔය කැළෑවක එහෙම රෙන්ට චාන්ස් එකක් ආවොත් සෝමෙ අත අරින්නෙ නෑ. 

" මල්ලි හුලං පාරක් එහෙම වැදි වැදි තුත්තිරි ගහක් ගලවල දත් දෙක අස්සෙ හිරකරගෙන වැව් පිටියක නැත්තං ලන්දක රෙනකොට තියෙන ආතල් එක මල්ලි දන්නෙ නෑ මල්ලි " සෝමෙ අයිය එහෙමයි මා එක්ක කියන්නෙ.

" හා එහෙමද? වෙලාවක මාත් එහෙම කරල බලන්ට ඕන.." මමත් ඉතිං එහෙම කියනව…

ඉතිං කැළේ පැත්තෙ ගිය සෝමෙ ආපහු එනකොට ඇළේ වතුරත් පිරිල අපි ෆුල් ආතල් එකේ බැහැල නානව.

" කොහෙද සෝමෙ අයිය ගියේ? ……." දෙතුං පාරක් වතුරෙ ගිලිල මතුවෙලා මම කෑගහල ඇහුව.

" නෑ මල්ලි මම අර මරං වාඩි පැත්තට ගියා නිකමට වගෙ "

" ආ මේ සෝමෙ අයියෙ ....මරං වාඩි පැත්තට ගියාට කමක් නෑ උඹ ඔන්න මේ හරියෙං එහෙම වතුරට බහින්ට එපා. පිං සිද්ද වෙයි... අන්න අර පල්ලෙහායිං නාපං " සිරා එහෙම කියල සබං ගාන්ට ගොඩට ගියා. 

වික්‍රමේටයි මටයි නේද? හිනා වෙලා වතුර පෙවෙන්නෙ නැතුව බේරිච්ච එක ඇති!!!


**************************

කුකුළේගඟ මතක කියල ටයිටලේ තිබ්බට දැං මේකෙ ලියවෙන්නෙ වෙන අනං මනං. ඒත් ඇත්තටම කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ මගෙ අත්දැකීම් ගැන ලියන්ටයි මම මේ ලිපි පෙල පටන් ගත්තෙ. කුකුළේ ගඟ තමංගෙ ගම් ප්‍රදේශය වෙච්චි කෙනෙක් ඒ වගෙ මුල්ම කුකුළේ ගැන ලිපියට අපූරු කමෙන්ට් එකක් ලියල තිබ්බ. ඒ තමයි සුරංග. ඊට පස්සෙ සුරංගත් බ්ලොග් එකක් ලියන්ට පටන්ගෙන. යාං හෑලි ඒ බ්ලොග් එකේ නම. හරි මම විස්තර කියන්ට ඕන නෑ ඕගොල්ලොම ගිහිල්ල බලන්ට එහෙනං.

Friday, May 8, 2015

317. කුකුළේගඟ මතක - 5 - ලැන්ටිසේන, හිනිදුම සමඟ අලින්ගේ කතා.

Google Images

" ඒයි හිනිදුම මෙහෙ වරෙං බං.." මම කතා කලා.

" බොස්….." හින්නා අපි ගාවට ආව..

" ඒයි මේ හිනිදුම..කුස්සියෙං වීදුරුවක් ගෙනල්ල මේ එකක් දාගනිං...ඊට පස්සෙ හොඳ එකා වගෙ පපඩං හත අටක් බැදපං බං ..නිකම්ම ගහන්ට බෑ මේක. "

කියන පමාවට හින්න ගිහිල්ල වීදුරුවක් අරගන ආව.

" ඕක හේදුවෙවත් නෑ නේද? …" වික්රමේ ඇහුව. 

" ආය අහවල් හේදිල්ලක්…" හින්නා කටකපල එකක් දාගත්ත.

" සැමී කොහෙ ගිහිල්ලද බොස්? " හින්නා කට එහෙම පිහ දාල කාරිය ඇහුව.

" ඔය නාන්ට කියල ගියේ බං...දැං එනවත් ඇති. "

" හෙහ්..එයි මේං කියල...තව වරුවකටවත් එන එකක් නෑ ..මම දැක්ක අර ලැන්ටිය එක්කනෙ ගියෙ. ඕකට බාගෙට පිස්සු…"

ලැන්ටිය කියන්නෙ අපෙ චෙක් රෝලෙ හිටපු අනියම් කම්කරුවෙක්. ලැන්ටියට බාගෙට පිස්සු කියන එකනං සහතික ඇත්ත.

ඔයිට මාසෙකට වගෙ ඉස්සර අපෙ උයන්ට හිටපු ගෝලයගෙ, සැමියගෙ සර්විස් කැඩුව. කම්කරු නීති අනුව එක දිගට දවස් එකසිය අසූවකට වඩා අනියම් පදනම මත සේවයෙ යොදවාගන්ට බෑ. ඒ කියන්නෙ මාස හයක්. මාස හයට පස්සෙ එක්කො ඒ මනුස්සය අයින් කරල දාන්ට ඕන නැත්නම් සේවය ස්ථිර කරන්ට ඕන. 

ඔය රෙගුලාසිය හින්ද අපේ කළමණාකාරිත්වය කලේ දවස් 180 පිරෙන්ට දවසක් දෙකක් තියල අනියම් කම්කරුවන්ගෙ සේවය කඩන එක. සර්විස් බ්රේක් ..එහෙමයි ඒකට කිව්වෙ. ඒ කරල සති දෙකක්, තුනක් මාසයක් වගෙ යන්ට ඇරල අලුතින් සේවා ගිවිසුමක් යටතෙ එයාල ආපහු සේවයට බඳවගන්නව. බහුතරයක් අනියම් කම්කරුවො කලේ මාස 6 ක් එකදිගට සේවය කරල සර්විස් බ්‍රේක් කලාම මාසයක් වගෙ කාලෙකට ගමේ ගිහිල්ල එන එක.

නිල නිවාසවල ඉවුම් පිහුම් වලට යොදවල හිටපු කම්කරුවන්ගෙ සර්විස් බ්‍රේක් කරල එයාල ගමට ගිහාම තාවකාලිකව චෙක් රෝලෙන් තව කවුරුහරි කම්කරුවෙක් දානව ඒ වැඩේට. මේ පහුගිය පාර සැමීගෙ සර්විස් බ්‍රේක් කරල මනුස්සය ගෙදර ගිහාම අපේ චමරියෙ උයන්ට දැම්මෙ ඔය ලැන්ටියා. මමයි එතකොට චමරි මැනේජර්. චමරි මැනේජර් කියන්නෙ කට්ටියගෙන් සල්ලි එකතුකරල අවශ්‍ය බඩු බාහිරාදිය ගේන එක, එදිනෙදා උයන්නෙ මොනවද කියල තීරණය කරන එක, එතනිං ගිහාම මසෙ අන්තිමට වියදම සමානුපාතිකව හිටපු දවස් ගණන අනුව බෙදල හිඟ මුදල් එකතු කරගන්න එක එහෙම භාරව ඉන්ට මාසෙන් මාසෙට පත්කරගන්න පුද්ගලයා.මාරුවෙන් මාරුවට ඒ වගකීම හැමෝටම එනව අනුපිළිවෙලිං.

ඉතිං ඔන්න මම තමයි චමරි මැනේජර්. ලැන්ටිය රෑට උයල යන්ට ලෑස්තිය උංගෙ ඩෝමිටරි එකට. 

" මහත්තය…. හෙට උදේට මොනවද උයන්නෙ? " ඒකා මගෙ කාමරේ දොර ගාවට ඇවිල්ල අහපි. මම ඒ වෙලාවෙ ඇඳේ වැතිරිල පොතක් බල බල හිටියෙ. 

" හ්ම්ම්ම්...ඔය මොනව හරි කමක් නෑ හදල ගනිං ලැන්ටි...හැබැයි උදෙන්ම වරෙං හොඳද? "

" හරි හරි උදෙන්ම එනව..උදෙන්ම එනව..එහෙම නෙවෙයි මට ඕන එව්ව උයල හරියනවය බොස්...බොස් කැමති මොනවටද කියල කියන්ටකො. "

" ම්ම්ම්..එහෙනං මං කියන්ටද? කිරිබතක් උයමු. "

" හප්පෝ බොස් ඒකට කිරි මිරිකන්ට ගිහාම මගෙ රිස්ස යයි. "

ඒකත් ඇත්ත තමයි ඒ වෙනකොට අපේ චමරියෙ හිටිය අට දෙනෙක්. හය දෙනෙක්ම අටේ දහයෙ නාලාගිරියො වගෙ එවුං..කන්ට ගිහාමත් ආය නෑ…

" හරි එහෙනං කැකුළු බතක් උයල සම්බලක් හදහංකො......"

" ඒකටත් පොල් ගෙඩි තුනක් වත් ගාන්ට එපාය බොස්….."

" පොල් ගාන්ට ඕන තමයි බං... නැතුව ආය පොල් අඩල පිටිං සම්බල හදන සිරිතක් තියනවය? " මටත් ටිකක් මල පැනගෙන ආව ඔන්න. " ඒක තමයි කිව්වෙ උඹට කැමති දෙයක් උයපං කියල. "

" නෑ..නෑ..ඒක මගෙ හිතට හරි නෑ බොස්..කියන්ටකො වෙන මොනව හරි හදන්ට දෙයක්…"

" හ්ම්ම්ම්..වරෙං බලන්ට එහෙනං කුස්සියට " මේකගෙං තියන මල වදයක්..ලැන්ටියගෙ අම්මට බැන බැන මම ඇඳෙන් නැඟිට්ට…

" ආ..මේ තියෙන්නෙ මුං ඇට වගයක්. රයිට් තම්බපං මුං ඇට. "

" අනේ බොස් මට සෙමනෙ..මුං ඇට හොඳම නෑ.."

" ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනං ඉඳපං මම දැක්ක අපෙ වෙල්ෆෙයාර් එකේ තියනව ෂෝක් මඤ්ඤොක්කා වගයක් ගෙනල්ල. මම රෑ වෙලා ගිහිල්ල ගේන්නං..උදේට එව්ව තම්බමු. "

වෙල්ෆෙයාර් එක කිව්වෙ අපි කට්ටියම ෂෙයාර්ස් දාල පිහිටුවාගත්ත සුභසාධක වෙළඳ සැල. සතියකට දෙපාරක් වගෙ ඔය වියළි ආහාර ද්‍රව්‍ය පොළොන්නරුවෙන් අරගෙන ඇවිල්ල පොඩි ගාණක් තියල සාමාජිකයින්ටම විකුණල ඒ ලාභෙ සමානුපාතිකව අපි කොටස් හිමියො බෙදාගත්ත. ඒකෙත් කලමණාකාරිත්වය අනුපිළිවෙළට එන්නෙ. මම වෙල්ෆෙයාර් මැනේජර් වෙලා ඉන්දැද්දි වනිතා පාර්ශ්වය බොහොම අමාරුවෙන් කැමතිකරවගෙන වෙල්ෆෙයාර් එකට අරක්කුත් ගේන්ට වැඩේ සෙට් කරගත්ත.හප්පච්චියේ..සෙට් කරගත්ත තමයි. ඒක අන්තිමට වහ කෑව වගේ වුනානෙ. රයිට්..ඒ සුභසාධක කථා වෙනම කියන්නංකො. ආයෙම ලැන්ටි වෙතට.

" ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනං ඉඳපං මම දැක්ක අපෙ වෙල්ෆෙයාර් එකේ තියනව ෂෝක් මඤ්ඤොක්කා වගයක් ගෙනල්ල. මම රෑ වෙලා ගිහිල්ල ගේන්නං..උදේට එව්ව තම්බමු. "

මම එහෙම කිව්වනෙ. මෙන්න ලැන්ටිය ගත්කටටම කියාපි. " හපෝ බොස් මයියොක්ක තැම්බෙන්ට වෙලා යනවනෙ. මට එහෙනං උදේ පහටවත් නැඟිටල එන්ට වෙයි.ඒක හරියන්නෙ නෑ….."

මට නේද යක්සය ඔලුව උඩට නැග්ග නෙවෙයි නැගල පිනුං ගහන්ට ගත්ත. " යකෝ උඹට කියන කියන එක බෑ කියනවනෙ. හැම එකටම මොකක් හරි උදැල්ලක් දානව. උඹට ඕන එකක් හදපිය කියල මම කලිම්ම කිව්වෙ ඒකයි. "

තරහ ඉවසගන්ට බැරිතැන මම සාලෙට ගිහිල්ල ඉඳගත්ත. මෙතන මේ හැල ගෙම්බගෙ මූණ බලාගෙන හිටියොත් මුගෙ බෙල්ල කරකැවෙනව මගෙ අතින් ..ඒක නම් බඩු ෂුවර්..

ටිකකට පස්සෙ ලැන්ටිය හෙමීට මා ගාවට ආව. " බොස්ට තරහ ගියාද? මම ඉතිං අර බොස් කැමතිදෙයක් හදල දෙන්ට හිතාගෙනනෙ එහෙම ඇහුවෙ. මට තේරෙන්නෙ නෑ බොස්ට මේ හැටි තරහ ගියේ ඇයි කියල.."

මම දත්මිටි කාගෙනම ඔලුව උස්සල ලැන්ටිය දිහා බැලුව." මේ ලැන්ටි..මම එක පාරක් කිව්වනෙ. උඹට කැමති එකක් හදපං.. "

ගැඹුරට හුස්ම ගන්න. හැකිතරම් වේලා රඳවාගෙන සෙමින් පිටකරන්න. නැවතත් ගැඹුරට..මෙසේ අවම වශයෙන් පස් වරක් පමණවත් කරන්න. ඒ දැඩි ආතතිය සමනය කරගැනීමේ උපදෙස්. ඔය මම කියවපු පොතක තිබ්බෙ..පොත් කියනව එකේ වටිනාකම තේරෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි.

" බොස් එහෙමනං පාං පහක් විතර ගෙනල්ල තියන්න. ආ...තව එකක්..උදේම යන්ට ඕනත් කිව්වනෙ. පොල් ගෙඩි දෙකක් විතර ගාල තියන්න. මම ඇවිල්ල හදන්නං ටොප් කිරි හොද්දක්…"

මම කටත් ඇරගෙන ලැන්ටියගෙ මූණ දිහාවෙ බලං හිටිය...අම්මාපල්ල මූ තමයි දවසකටවත් මිනිහ. පොල් ගාවන, පාං ගේන එකත් මූ ලෑස්ති මටම කියල කරවන්ට. 

" ඒක තමයි යකෝ..උඹට කලින්ම සිංහලෙන් කිව්වෙ...උඹට ඕන එකක් හදාපංය කියල……" යන්තමට වචනයක් කියාගන්ට පුලුවං වෙච්චි හැටියෙ මම කෑගැහුව. 

" එහෙම හරි නෑනෙ බොස්..මට ඕන එව්ව හදල කොහොමද? බොස් කියන එකක් එපාය මම කරන්ට…" මේකා ආයෙම කියවන්ට ගත්ත…

" මේ..ලැන්ටි..පලයං මෙතනිං මගෙං මැරුං කන්නෙ නැතුව, " මම ඇස් දෙක තද කරල පියාගෙන දත්මිටි කාගෙන කිව්ව…" පලයං ඉතිං කිව්වම….."

" අනේ මන්ද බොස්ට මේ හැටි කේන්ති යන්නෙ මොකද කියල..බදාද පොලට ගිහාම කොහිල ටිකක් වැඩිපුර ගේන්ට ඕන...මදැයි මාත් මේ හොඳක් කරන්ට ගිහිල්ල අහගත්තු හරිය." ඔහොම කට ඇතුලෙං කියව කියව ලැන්ටිය මිදුලට බැහැල යන්ට ගියා. 

" මොකද බං උඹ අර ලැන්ටියව කන්ට හැදුවයි කියන්නෙ නිරපරාදෙ? " පහුවදා රෑට කද්දි වික්‍රමේ මගෙං ඇහුව. 

" මේ උඹ මගෙං මොකවත් අහගන්නෙ නැතුව කාපං ..හොඳද? …" මම බත් හැන්දක් බෙදාගන්ට ගිය එක නවත්තල ඒකා දිහාවෙ කන්ට වගෙ බලාගෙන හිටිය.

" ඇත්ත තමයි අර ලැන්ටිය කිව්වෙ. උඹට නං කොහිල දෙන්ට වෙයි තුං වේලක්වත් එක දිගට. …." වික්‍රමේ ඇස් යටිං මා දිහා බලල අහක බලාගත්ත.

ඒ තමයි ලැන්ටියගෙ කතන්දරේ......හෙහ්,හෙහ්, 

" ඉන්ට බොස් ආය පපඩම් ඕන නෑ. දවල් මට හම්බ වුනා හොඳ ගෝන ගාතයක්. ඒකෙ ඉතුරුව තාම ඇති. "

හින්නා එහෙම කියල ගිහිල්ල මැටි ඇතිලිය පිටිම්ම අරං ආව මාන ගෝළුව පත්තරේකිං වහගෙන. අම්මට සිරි...මාර රහක් ඒක. ඒ දවස්වල අපෙ කෑම්ප් එක පුරහම ඉබේටම වගෙ හැදිල තිබ්බ නයි මිරිස්. ඔව්ව තලල දාල උයන වෑංජන ආය නෑ දිවිය ලෝක රහ. 

" බොස්ට මතකනෙ මම මේ පහුගිය ටිකේ අර ඩෝසර් මුරකරන්ට ගියා. " තව ෂොට් දෙහෙකට වගෙ පස්සෙ හින්නා කිව්ව. ඒකා එතනම පිලේ ඉඳගෙන උන්නෙ. හින්නා අර ඇතුලෙං පුටුවක් අරං වරෙං කිව්වට ඕන නෑ බොස් මේ හොඳයි කියල ඒකා පිලේ ඉඳගෙන බිත්තියට හේත්තු වෙලාමයි හිටියෙ.

" හෙහ්,හෙහ්.හෙහ්.." මට මැරෙන්ට හිනා.." ඔව්..ඔව්..මම දන්නව උඹ ඩෝසර් මුරකරපු විදිහ...හෙහ්,හෙහ්……"

හින්නා මුරට දැම්මට ඕක කරපු මුර කිරිල්ලක් නෑ. ඌව ගිහින් දාල ජීප් එක ආපහු ආහම ඌ රෑ නමය වගෙ වෙනකොට හෙමිහිට ආපහු කෑම්ප් එකට එනව. ආය පහුවදා පාන්දරම යනව ඩෝසර් තියන තැනට රෑ එලිවෙනකල් මුර කරපු එකා වාගෙ....හෙහ්,හෙහ්,

" හරි හරි බොස් එව්ව එහෙම තමයි. රෑ තිස්සෙ එතන ඉඳල කොටි ඇවිල්ල මාව මරල ගියානං එහෙම ආය? "

" ඒකත් හරි තමයි කතාව..හරි ඒකෙන් වැඩක් නෑ..දැං මොකක්ද උඹ කියන්ට ආවෙ? "

" කියන්ට ආවෙ එක දවසක් ආපහු කෑම්ප් එකට එද්දි මට මාර වැඩක් වුනානෙ බොස්. එදා ඔන්න යන්තමට තරු එළිය විතරයි. අමාවකද කොහෙද... මම ඔන්න එනව අර මට්ටයිංගෙ මරං වාඩි තියෙන්නෙ අන්න ඒ හරියෙ. එක පාරටම අර මහ වංගුව පහුවෙනවත් එක්ක මම දැක්ක මා ඉස්සරහට අලියෙක් එනව. "

මට්ටයො සහ මරංවාඩි ගැන බොහොම විස්තර කියන්ට තියනව ඒත් අද හිනිදුමයා සහ වල් අලියා කතන්දරේ කියන්ටම ඕන නිසා ලබන පාර ඒ විස්තරේ කියන්නංකො...

" කෙළියා ....ඉතිං බං? " මම හින්න දිහාට හැරුනා.." උඹ දුවන්ට ඇති ආය මොනවද විලුඹ තට්ටං වල වැදි වැදි ...හෙහ්,හෙහ්, "

හින්නගෙ මූණ නොරොක් උනා.." බොස් එහෙම කතාකරන්ට එපා..හරිද? මම එහෙම දුවන ජාතියෙ එකෙක් නෙවෙයි ..අනික අලි ඉස්සරහට එද්දි දුවල හරියන්නෙ නෑ..උං පන්නගෙන එනව. "

" හරි හරි බං උඹ ඔව්ව ගනංගන්ට එපා..මේ මහත්තය කියන එව්ව දන්නෙ නැද්ද? " වික්‍රමේ හින්න දිහා බලල මට ඉඟි මැරුවා. 

" අනික බොස් මට දුවන්ට කොහෙත්ම ඕන කමක් නෑ. මොකද මා ගාව තියනව බොහොම බලගතු අලිමන්තරයක්...බුදු හාමුදුරුවො නාලාගිරියා කොන්ට්‍රෝල් කරන්ටත් පාවිච්චි කලාය කියන්නෙ ඒ ඔය මන්තරේ තමයි. " හින්න ආයෙමත් කිව්ව.

" නෑහ්?? …."ඒ පාර කට ඇරුනෙ වික්‍රමේගෙ…

" ඔන්න ඕකනෙ කියන්නෙ ඒ පාර වික්‍රම බොස්ටත් මාව විස්වාස නෑනෙ.. "

" නෑ..නෑ..බං අවිස්වාසෙකට නෙවෙයි..මට නිකම්ම එහෙම කියවුනා…" වික්‍රමේ කිව්වෙ සමාව අයදින ස්වරයකින්…

" ඔය අලි මන්තරේ මට කියල දුන්නෙ අපේ තාත්තගෙ තාත්ත..මුත්ත...බොහොම බලගතුයි කියන්නෙ ඕනම හස්තිරාජයෙකුට අතට වැලි අහුරක් අරගෙන මන්තරේ මතුරල වැලි අහුර ඔලුවට උඩිං යන්ට ගැහුව නං ආය නෑ මෙල්ල වෙන්නෙ බලු කුක්කෙක් වගෙ. "

හින්න ආයම කට කපල ෂොට් එකක් දාගෙන බෝතලේ මට දික්කරා. " ගන්ට බොස් බය වෙන්ට එපා. මා ගාව තියනව ඔරිජිනල් ස්පිරිට් එකෙං බඩු. බෝතලයක් නම් එහෙමයි දෙකක් නං ඒත් එහෙමයි. "

අම්මාපල්ල මුහෙ ආච්චිට හාල් ගරන්ට. මේ බැල්ලිගෙ පුතා ලෑස්ති අපෙ ඕල්ඩ් ටිකට ඌ කෙළල ඇරල අපිට කසිප්පු පොවන්ට. දත් කාගෙන කට ඇතුලෙං එහෙම කියන අතරෙ මම හින්න දික්කරපු බෝතලේ ගත්ත….කමක් නෑ...ඕල්ඩ් බෝතලේ වගේද මුගෙ කතාව..හෙහ්,හෙහ්. හින්න හොඳ කතන්දර කාරය කියල කෑම්ප් එකේ හැමෝ අතරෙම ප්‍රසිද්ධයි. මම එහෙම හිතල හිත සනස ගත්ත.

" ඉතිං බං ඊට පස්සෙ මොකද වුනේ? "

" මම බය නැතුව අලිය ඉස්සරහට ගියා. අලියත් එනව ඉස්සරහට මමත් යනව ඉස්සරහට. මම කිව්වනෙ යන්තමට තරු එලිය විතරයි කියල තිබ්බෙ. අලියයි මායි අතරෙ පරතරේ අඩි විස්සක් වගෙ වෙනකල් ඔහොම මම ගියා. ඒ කරල හෙමීට අලිය දිහා බලාගෙනම පාත්වෙලා වැලි අහුරක් අරගෙන කට ලඟට කරල මැතුරුව අර මම කියාපු අලි මන්තරේ.ඊටපස්සෙ අඩි දෙකක් තවත් ඉස්සරහට ගිහිල්ල ගෙරියා තූ තූ හස්ති බන්දනඃ මහා මේඝවනඃ කියල වැලි අහුර අලියගෙ ඔලුවට උඩිං දමල ගැහුව. "

" නෑ ඉතිං ඊට පස්සෙ? …" වික්‍රමේ ඇස් දෙකත් උඩ තියාගෙන ඇහුව. 

" ඊට පස්සෙ මොනවද ආය? අලියත් අඩි දෙකක් ඉස්සරහට තිබ්බ. ප්‍රෑං ප්‍රෑං ගාල සයිරන් එක ගැහුව.දේයි දේයි ගාල දෙකක් පත බෑව හින්නගෙ කොන්ද හරහට අර සද්දන්ත හෝස් පයිප්පෙං..හෙහ්, හෙහ්, හෙහ්...හේ.." මම මැදින් පැනල කිව්ව.

මම හිනාව නවත්ත ගන්ට බැරුව නැඟිටල වීරගහ බදාගත්ත. ඒ වෙනකොට මටත් හොඳ ගාණට වැදිල...වික්‍රමේත් අත්දෙක ඔලුවෙ ගහගෙන හිනාවුනා. හින්නට මල පැනල කතන්දරේ කියන එක බල්ලට දාල නැඟිටල යයි කියල අපි හිතුවට එහෙම දෙයක් වුනේ නෑ, එක්කො ඌටත් ගාණකට වැදිල, නැත්තං කතන්දරේ කියන්ට තියන බලවත් ඕනකම හින්ද එහෙමත් නැත්තං අපි ඔය කියන්නෙ විහිලුවටෙයි කියල ඌටත් සහසුද්දෙන්ම තේරිල, ඒ මොක හරි හින්නත් අපි එක්කල එකතු වෙලා හිනාවුනා.

" නෑ බොස් එහෙම දෙයක් නෙවෙයි වුනේ. බොස්ල හීනෙං වත් හිතන්නෙ නැති දෙයක්.. …" හින්න ටිකක් වෙලා කිසි කතාවක් නැතුව හිටිය හිනා වෙලා එහෙම ඉවර වෙලා අපේ අවධානය ඌ කෙරෙහි පූර්ණ වශයෙන් නැවත යොමුවෙනකල්…

" ඉතිං කියාපං බං මොකද වුනේ කියල…."ඉවසන්ට බැරිම තැන වික්‍රමේ ඇහුව. 

" තොගෙ අම්මට ****** මොන බැල්ලිගෙ පුතාද යකෝ මට වැලි ගැහුවෙ. දෙයියෝ සාක්කි මගෙ ඇස් දෙකත් ඉවරයි…"ඔන්න ඔහොම කෑගැහුව බොස්..

" අලියා? " ඇස්දෙකත් උඩතියාගෙන මම ඇහුවා නෙවෙයි මට ඉබේටම ඇහුණා. 

" අලි කොහෙද බොස් කතාකරන්නෙ.? බොසුත් මොනවා කියනවද මන්දා…"

" එහෙනං? " එහෙම ඇහුවෙ වික්‍රමේ..

" එහෙම කෑගැහුවෙ අලියගෙ පිට උඩ හිටපු එකා..අලිය බලන මනුස්සය..අලි ගොව්වා…" හින්නා අන්තිම ටික උගෙ වීදුරුවට හලා ගත්ත. " අන්තිම ෂොට් එක බොස්..මම දාගන්නව ඔන්න.."

"දාගං..දාගං දාගං.." මම තුන්පාරක්ම කිව්ව."එතකොට ඒ කියන්නෙ…"

" ඔව් බොස්..මේකා හීලෑ අලියෙක්. අර මරං වාඩියෙ මට්ටයො ගිහිල්ල දවල් එන්ට කියල අලියට. උං කපපු ලොකු කොටවගයක් අද්දව ගන්ට. "

" ඉතිං බං ඊට පස්සෙ? "

" පස්සෙ මනුස්සය මා එක්ක කතාකරල හිතවත් වුනා..පස්සෙ මාවත් අලිය පිටේ නග්ගගෙන මෙහෙටම ගෙනල්ල ඇරලුවා. මම බත් උයල කන්ටත් දුන්න. රෑ මගෙ කාමරේ බුදියගෙන ඉඳල උදේම යන්ට ගියා. අලිය මගෙ කාමරේ ඉස්සරහ පලු ගහේ බැඳල හිටියෙ එලිවෙනකල්. ඇයි බොස්ල දැක්කෙ නැද්ද? "

" නෑ බං අපි දැක්කෙ නෑ....." මම එහෙම කියල නැඟිට්ට. 

" බොස් මොකෝ කියන්නෙ ස්පිරිට් එකෙන් බාගයක්වත් ගේන්නද? …" හින්නත් නැඟිට්ට. 

" එපා බං ඇති..හෙට වැඩට යන්ටත් එපාය. එහෙනං ගුඩ් නයිට් හින්නා..අපි කාල නිදාගන්නව. " වික්‍රමේත් නැඟිට්ට එහෙම කියාගෙන..

" ඕකේ බොස් එහනං ගුඩ් නයිට්.." අපිට අතවනල හින්නා ටෝච් එකත් වන වන යන්ට ගියා.

Wednesday, May 6, 2015

316. කුකුළේගඟ මතක - 4 - ලෝක ආහාර වැඩපිළිවෙල, සී.එස්.ඕ. ඇල්ෆ්‍රඩ්, වික්‍රමේගේ වෙරිටාස් ටියුනිං සහ මැගිලින් අක්කා


Moonshine Distilling - Google Images

ඉතිං ඔය අපේ ඩෝසර් වැඩකරපු හරිය කොටි ඉන්න සීමාවට ඉතාම ආසන්නයි. ඔය හින්ද හිනිදුමය කලේ රෑ නමය වගෙ වෙනකල් ඉඳල ගෙනිච්ච බත් එකත් කාල ආපහු පාදපරිචාරිකාවෙ එනව කෑම්ප් එකට.ටිකක් අඩිය ඉක්මන් කරල එනකොට ඔය කිලෝමීටර් 6 පැයකින් වගෙ එතහැකි. ආයම උදේ ඩෝසර් ඔපරේටර්ස්ල එක්කගෙන යනවනෙ ජීප් එක හතහමාරට අටට වගෙ. නයිට්වොච්මන්වත් ආපහු එක්ක එන්නෙ ඒ ජීප් එකේමයි. හින්නා කරන්නෙ උදේ හයට වගෙ එළිය වැටීගෙන එනකොට ආපහු යනව අර කිලෝමීටර් හය ගෙවාගෙන. ගිහිල්ල ඉන්නව කම්බිලියත් පොරවාගෙන..රෑ තිස්සෙ ඇහැක්වගෙ ඩෝසරේ මුරකරපු එකා වගෙ...හෙහ්,හෙහ්,

" ආ...හිනිදුම ඊයෙ රෑ නින්ද ගියාද? " ජීප් එකේ යන අපේ ලොක්කා සමරසිංහ බොස් අහනව.



" මොන නින්දක්ද මහත්තය..එලිවෙනකල් මදුරුවො තැලුව ඒ මදිවට හීතල…" හින්නා ඔලුවත් පාත්කරල කියනව. 


" හරි හරි බං මාසෙ අන්තිමට උඹලට සෑහෙන ඕ.ටී. එකක් හම්බවෙනවනෙ පඩිය වගේම. " බොස් කියනව හිනාවෙලා. 

" ඒක නම් එහෙම තමයි" හින්නා මා දිහාවෙ බලල කට කොණකින් හිනාවෙනව.  ඕකගෙ ඔය ඔපරේෂන් බෑක් ටු ද කෑම්ප් සීන් කෝන් එක මම දන්නව කියල ඕකත් දන්නව.

ඔය මම කියපු හරියෙ කුඹුරු කට්ටි බෙදල දෙන්ට කලින් ඩෝසරෙන් කරන ලෙවල් කිරිලි ඉවරවෙලා ඔන්න ඩෝසර් ආපහු අරං ආව කියමුකො.හිනිදුමයත් ආපහු කෑම්ප් එකේ මුරට වැටුන. ඔය කාලෙ අපේ කෑම්ප් එකේ මුරට හිටියෙ අපේම චෙක් රෝලෙ ගෝලයො.. එතකොට තව අපෙ තිබ්බ මහ විසාල ඉස්ටෝරුවක්. අඩි 30 x 120 වගෙ දිග පළල. ඕකෙ තමයි ඔය ඇළවල්, පාළං බෝක්කු එහෙම හදපු කොන්ත්‍රාත්කාර භවතුන්ට නිකුත් කරපු යකඩ කම්බි, සිමෙන්ති සහ අනෙකුත් ඇළ මං දොරටු වගෙ උපාංග එහෙම ගබඩා කරල තිබ්බෙ. ඒ ගබඩා වලට පොදුවෙ කිව්වෙ ඩබ්ලිව්.එෆ්.පී. ස්ටෝර්ස් කියල. (W.F.P. = World Food Program, ලෝක ආහාර වැඩපිළිවෙල ). 

මිනිස්සු පදිංචි කලාම කුඹුරු කරල කන්නක් දෙකක් කැපිල ඒ අයට ස්ථිර ආදායම් මාර්ගයක් හැදෙනකල් වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ බෙදා හැරියා. එව්ව ලැබුණෙ ඔය ලෝක ආහාර වැඩපිළිවෙල යටතෙ. ඒකයි ඒ වියළි ආහාර ගබඩා කරන්ට හදන ගබඩා ගොඩනැඟිල්ල ඩබ්. එෆ්. පී. ස්ටෝර්ස් කියල හැඳින්නුවෙ. වරදවා වටහා නොගනු මැන. මම අර කලින් කියපු යකඩ, සිමෙන්ති එහෙම දාපු ස්ටෝර්ස්වල වල ආහාර ගබඩා කලේ එහෙම නෑ ඔන්න හරිය?

රයිට්...දැන් කොහෙන්ද මේ අපි ට්‍රැක් පැන්නෙ? අපි කිව්වට අපි නෙවෙයි හරියටම කිව්වොත් මම..මම..... මමනෙ ට්‍රැක් පැන්නෙ...නැද්ද?...හරි..අර මුර වැඩේට ඔය මම කියන කාලෙ යෙදෙව්වෙ අනියම් කම්කරුවොයි කියල කිව්වනෙ. හෙහ්, එහෙම විශේෂයෙන් ඔයකාලෙ කියල කියන්ට හේතුවුනේ පස්සෙ ඔය සිකුරිටි වැඩේට වෙනම කට්ටියක් එව්ව අපේ හෙඩ් ඔෆිස් එකෙන්. චීෆ් සිකියුරිටි ඔෆිසර් කියල ආමි, එයාර් ෆෝස් වගෙ වැඩ කරල අයිං වෙච්ච කොමිෂන් නොලත් නිලධාරීන් බඳව ගත්ත.ඔය සන්නද්ධ හමුදාවල අයට අවුරුදු 12, ඊළඟට අවුරුදු 22 වගෙ වැඩ කලාම විශ්‍රාම වැටුපත් එක්කම අයින් වෙන්න අවස්ථාව තියනව.එහෙම අයින් වෙච්චි අය තමයි ප්‍රධාන ආරක්ෂක නිලධාරී විදිහට ගත්තෙ. තව සිකියුරිටි ඔෆිසර් විදිහට ගත්ත අවුරුදු 22 වගෙ කොල්ලොන්ට ගිණි අවි පුහුණුවක් දීල.

අපිට ආපු චීෆ් සිකියුරිටි ඔෆිසර් ඇවිල්ල නියම චරිතයක්..ගුවන් හමුදාවෙ හිටපු මාස්ටර් වොරන්ට් ඔෆිසර් කෙනෙක්. ගුවන් හමුදාවෙ කමිෂන් නොලත් නිලධාරීන්ගෙ ඉහළම තනතුර ඇවිල්ල මාස්ටර් වොරන්ට් ඔෆිසර්. අපේ සී.එස්.ඕ.ගෙ නම ඇල්ෆ්‍රඩ්. ගෙවල් මේ ජා-ඇල..දෑලතුර..ආගම  කතෝලික...කන්ට බොන්ට මරුව. ඒ වගෙමයි වචන දහයක් කිව්වොත් අටක් අසභ්‍ය වචන. අප්පච්චියේ ඒ මනුස්සය ඇවිල්ල නටපු නාඩගමක්...මිනිහ කෑම්ප් එකේ හිටියෙ වයිෆුත් එක්ක. ඒ ගෑණු මනුස්සය අරක්කු බොන්නෙ වතුර බොනව වගෙ. එහෙම සීන් එකක් මම ඔය දැක්කමයි. අපි එතකොට මේ කජුකිරි කොල්ලො නෙව. වයස ඔන්නං විසිදෙකක් ඇති. මේ අම්මණ්ඩි කිසිගාණක් නැතුව ගසල අරින හැටි අපි බලා ඉන්නෙ කටවල් අයාගෙන...හෙහ්,හෙහ්, කටවල් අයාගෙන.හෙහ්..හෙහ්..අඩේ මේක හරියන සෙල්ලමක් නෙවෙයි. ඇල්ෆ්‍රඩ් ගොයිය ගැන කියන්ට ගියොත් අද හිනිදුමගෙ කතාව කියන්ට වෙන එකක් නෑ..රයිට් එහෙනං..අබවුට් ඇල්ෆ්‍රඩ් නොට් ටුඩේ..ලේටර්..ඕකේ? හරි ඒක ඕකේ...

හරි ආයෙම ප්‍රධාන කතාවට..එනම් හිනිදුමගේ කතාවට...හිනිදුමය අර ඩෝසර් මුර කිරිල්ලෙ රාජකාරිය ඉවර වෙලා ආයම කෑම්ප් එකේ ඩියුටි වැටුනයි කියල මම කිව්වනෙ. හරි කෑම්ප් එකේ ඩියුටි කිව්වට ආය ඔය ඒ හැටි වැඩක් නෑ. පැයකට සැරයක් විතර කෑම්ප් එක වටේට ගහල තියෙන කම්බි වැට අයිනෙං රවුමක් ගහල ඇවිල්ල බීඩියකුත් පත්තුකරගෙන පිළට වෙලා ෂපාන් එකේ හඳ දිහාවෙ බලා ඉන්ටයි තියෙන්නෙ ඇස් දෙකත් පුංචි කරගෙන. තව පැයකට පස්සෙ ආයෙමත් එහෙමයි.

ඔන්න ඔය හිනිදුමය ආපහු කෑම්ප් එකේ  ඩියුටි වැටිල සතියකට පස්සෙ වගෙ දවසක......

අපෙ ක්වාටර්ස් එක ඉස්සරහ තිබ්බ මහ විසාල වීර ගහක්. ඕක යට පිටපලුවකින් හදාපු බංකුවකුත් තිබ්බ. අපි රෑට කාල එහෙම හඳ තියෙන දවසට ඔය ලෑලි බංකුවෙ ඉඳගෙන රටේ නැති වල්පල් කියකිය ඉන්නව. අපෙ වික්‍රමේ ගාව තිබ්බ හොඳ පවර්ෆුල් රේඩියෝ එකක්. කළුපාට ලෙදර් කේස් එහෙක දාල තිබ්බ ඒ රේඩියෝ එක සෝනි එකක්. ආණ්ඩුවෙ රේඩියෝ එකෙන් කිසිම ඇත්තක් දැනගන්ට බැරිනිසා අපි ඒ දවස්වල ඇහුවෙ රේඩියෝ වෙරිටාස්.

ප්‍රස්තුත දවසෙ ඔය බංකුවෙ ඉඳගෙන හිටියෙ වික්‍රමේයි මායි විතරයි. ඔය වෙරිටාස් සේවය විකාශනය කලේ පිලිපීනෙ මැනිලා ඉඳල. එදා රේඩියෝ රිසෙප්ෂන් එක අංජබජල්. කැඩි කැඩි ඇහෙන්නෙ..

" මොකද බං ඔය කෙහෙල්මල ගොර ගොර ගානව විතරනෙ..අල්ලල වීසි කරල දාහං මඟුල " බැරිම තැන මම කිව්ව. 

" ඉඳහංකො පොඩ්ඩක් මේක හරියට ටියුන් වෙලා නෑ…."

වික්‍රමේ රේඩියෝ එකේ ස්පීකරේ තියන හරිය වම් කණට කිට්ටු කරගෙන හෙමිහිට අර කලු නොබ් එක කරකෝනව මීටරේ අල්ලන්ට. ඒ වෙලාවට ඕකගෙ මූණෙං පිළිබිඹු වෙන හැඟීම් තමයි මරු. ඔන්න නළල රැලි ගැහෙනව. ඇහි බැම නටනව. ටිකකිං තොල් හපාගන්නව. ඒත් එක්කම ඇස් හීං වෙනව. මූණ ඇඹුල් වෙනව. මට හරියට රේඩියෝ එකේ සද්දෙ නෑහුනාට ටක්කෙටම මම දන්නව වෙරිටාස් පැහැදිලිව අහුවෙච්චි වෙලාව.වික්‍රමේට හිනාවක් යනව හඳ වලාකුලකිං මෑත් වුනා වගේ.

" හෙහ්, වෙරිටාස් අහුවුනා නේද? " මම නැඟිටල ගෙට ගිහිල්ල මගෙ ඇඳ මුල්ලෙං ඕල්ඩ් කොටෙයි කුස්සියෙ රාක්කෙං අසෝක වීදුරු දෙකකුයි ගේනව.

වික්‍රමේ තාමත් කටත් විරවගෙන අර රේඩියෝ එක කණේ ගහගෙන. " මේ ඕක අල්ලල දාල මෙන්න මේකට මොනවහරි කරමු බං …" බංකුව උඩම අසෝක වීදුරු දෙකයි ඕල්ඩ් කොටෙයි තියල මම කෑගැහුව.

" ඈ....ඈ???? උඹ මොකවත් කිව්වද? " වික්‍රමේ ඔන්න රේඩියෝ එක කණෙං අයිං කරල මා දිහා බලල ඇහුව. 

" කිව්ව තමයි බං..ඔය කෙහෙම්මල පැත්තක තියල මේක ගහමු කියල කිව්වෙ….."

" හරි හරි..ඉඳපං මම දවල් ඉතුරු මොකවත් තියනවද කියල බලන්නං " ඒකා රේඩියෝ එකත් අරගෙන එක පාරට නැඟිට්ට. 

" ඒයි යකෝ බලාගෙන...තව පොඩ්ඩෙං බොන්ට නෙවෙයි වෙන්නෙ. …" මම පැනල පැත්තකට ඇලවීගෙන ගිය බෝතලේ අල්ලගත්ත.

පිටපලුවක් පරණ පලු කොට දෙකක් උඩ බැලන්ස් කරල හදල තිබ්බ ඔය අපෙ බංකුවෙ එක පැත්තක ඉඳගෙන ඉන්න එකා එක පාරම නැඟිට්ටොත් අනික් පැත්ත උඩ යනව. මම ඉතිං අර වැටෙන්ඩ යන බෝතල් අල්ලල පළපුරුදු තියන හින්දම හොඳයි හෙහ්,හෙහ්,

දවල් ඉතුරු වෙලා තිබ්බ කිරිකොස් ටිකක් තසිමකට දාගෙන ආව වික්‍රමය. " සැමී නාන්ට ගියා මම හිතන්නෙ...ඕකා ආහම පපඩමක් වත් බැදගමු. එතකල් මේක හොඳයි හෙමිහිට ගහන්ට "

සැමී කිව්වෙ අපේ ක්වාටර්ස් එකේ උයන්ට හිටිය ගෝලය. ඔය ගෝලයො, එතකොට අනියම් කම්කරුවන්ගෙ චෙක් රෝලෙ ගැන එහෙම මම කලින් දෙතුන් පාරක්ම කිව්ව මතකයිනෙ නේද? කතන්දර කියනකොට එහෙම තමයි. කලින් කියපු කොටස් වලින් ප්‍රශ්න අහල කතාව මතකද කියල පරීක්ෂා කරල බලන්ට ඕන පටන් ගන්ට කලියෙං. ස්ටෝරි ටෙලිං ඇක්සෙප්ටඩ් ප්‍රොසීඩියර් එක ඇවිදිල්ලහිට අන්න එහෙමයි.

අපෙ අත්තම්ම කතන්දර කියල දෙනකොටත් එහෙමයි. අද කතාව පටන් ගන්න ඉස්සර ඊයෙ කියල දීපු කොටසින් ප්‍රශ්න දෙක තුනක් අහනව. 

" සුට්ටි පුතා කියන්ට බලන්ට දැං අර කුමාරි හිර කරල හිටියනෙ ගල් ගුහාවක. ඒකෙ ගල් දොරවල් කීයක් තිබුනද? "

මට මොකද ඕක මතක නැත්තෙ? මම මේ වාර විභාගෙනුත් පන්තියෙ දෙවෙනිය. ලබන පාර කොහොමහරි පළවෙනිය වෙන්නයි හිතාගෙන ඉන්නෙ. ඒත් අත්තම්මට පොඩි කෝලිත්තමක් කරන්ට ඕන කියල මට එක පාරටම හිතුන. 

" ගල් දොරවල් තුනයිනෙ අත්තම්මෙ…" අත්තම්මගෙ මූණ අඳුරු වෙන්නෙ වප් මහේ ඇකිරියගල කන්ද උඩිං වැහි වලාකුලු පාත්වෙන්නැහෙ.

" ඔන්න ඉතිං සුට්ටි පුතා කතන්දරේ අහං හිටපු හැටි තමයි ඔය.."

" නෑ..නෑ..අත්තම්මෙ මම බොරුවට කිව්වෙ...මට මතකයි ගල් දොරවල් හතයිනෙ…"

" අන්න ඒකනෙ. මම දන්නවනෙ මයෙ පුතාට ඔව්ව හොඳට මතකයි කියල. එහෙම නැතුව කොහොමද හොඳට ඉගෙන ගන්නෙ..නේද? "

ඊට අවුරුදු හත අටකට පස්සෙ මම අත්තම්මට කතන්දර කියල දෙන්න පටන් ගත්තනෙ. ඒ ඔය පොත්වල තියෙන කතන්දර..මැකීගිය දඩමං, වන සරණ, සුදු වැද්දා, සුදු ගෝනා....ආර්.එල් ස්පිට්ල් දොස්තර මහත්මයගෙ කතන්දර...මමත් අත්තම්මගෙන් කලින් දවසෙ කියල දුන්නු කොටසෙන් ප්‍රශ්න අහනව එතකොට. හෙහ්,හෙහ්,

" ගෝඹිරා දඩයමේ යන්නෙ හඳුනා එක්කද? ගමා එක්කද? "

" හඳුනා එක්ක.." අත්තම්ම කියනව. උත්තරේ හරි...

හරි..ආපහු අපෙ ක්වාටර්ස් එක ඉස්සරහ තිබ්බ වීර ගහ යටට එමු. වීරගහ යටට කිව්වට හරියටම නං ඒ වීරගහ යට තිබ්බ බංකුවට...

වැව දිහායිං එක සීරුවට හමන හීතල හුළඟ හින්ද වීර ගහේ කොල හෙල්ලෙන සද්දෙට කන්දිහාගෙන වික්‍රමේයි මායි ෂොට් දෙක දෙක වගෙ දාගත්ත.

" මේ යක්සය ගිලිල මලාවත්ද? කිරිකොසෙත් ඉවරවීගෙන යන්නෙ. " බයිට් එකට ගෙනාපු කිරිකොස් පීරිස්ස ඒ වෙනකොට තුංකාලක් වගෙ ඉවර වෙලා.

ගිලිල මලාද කියල මම ඔය කිව්වෙ වැවට නාන්ට ගිය අපේ ගෝලය සැමී ගැන.

" හප්පා සීතලයි.." මම දෙවුර ඇකිලුවා..ඒ එක්කම අපේ ක්වාටර්ස් එකට එන බොරලු පාරෙ ඈතිං ටෝච් එළියක් පේන්ට ගත්ත. පාර දෙපැත්තට සැරින් සැරේ එළිය වදිනව. එන්නෙ මේ පැත්තට. 

" කවුද බං අර?..." මම ඇහුව. 

" මේ වෙලාවෙ කවුද? ආ...ෂුවර් එකටම හිනිදුමය වෙන්න ඇති. "

අර කුඹුරු ඉඩං වල අළු තුනී කරල රෆ් ලෙවලිං කරපු ඩෝසර් අරගෙන ගියානෙ වැඩේ ඉවර වෙලා. හින්නා ඊට පස්සෙ කෑම්ප් එකේ මුර. ටෝච් එළිය ඒ වෙනකොට ළඟ ළඟම එනව. යස්..මේ හින්නා තමයි 

" ඒයි හිනිදුම මෙහෙ වරෙං බං.." මම කතා කලා. 

" බොස්….." හින්නා අපි ගාවට ආව..

" ඒයි මේ ..කුස්සියෙං වීදුරුවක් ගෙනල්ල මේ එකක් දාගනිං...ඊට පස්සෙ හොඳ එකා වගෙ පපඩං හත අටක් බැදපං බං ..නිකම්ම ගහන්ට බෑ මේක. "

කියන පමාවට හින්න ගිහිල්ල වීදුරුවක් අරගන ආව.

" ඕක හේදුවෙවත් නෑ නේද? …" වික්රමේ ඇහුව. 

" ආය අහවල් හේදිල්ලක්…" හින්නා කටකපල එකක් දාගත්ත.

වීදුරු හේදිල්ල ගැන පොඩි අතුරු කතාවක්..මැගිලිං අක්ක තමයි ගමටම කසිප්පු බෙදුවෙ. කට්ටිය පෝළිමේ ගිහිල්ල මේස කබල උඩ තියෙන අසෝක වීදුරුවක් අරගෙන මැගිලිං අක්ක ගාවට යනව. අක්ක කෑන් එකෙන් කට්ටෙ ගාවට පුරවනව. ඊට පස්සෙ ඕනනං එතනම ඉඳල උගුරට වක්කර ගත්තැහැකි. නැත්තං එලියට ඇවිල්ල හෙමීට කඩල ඇටයක් එහෙම හප හප ගැහුවැහැකි. අලුතෙං ආව ඉස්කෝල මහත්තයත් දවසක් ආව දෙකක් දාගෙන බලන්ට ඕනය කියල හිතිල. මිනිහ පිරිසිදුකම බොහොම ඉහලින් සලකනව. ඉස්කෝලෙ ඉගැන්නුවෙත් සෞඛ්‍යය විෂයය.අසෝක වීදුරුවක් අතට ගත්තු හැටියෙම මිනිහට ආව කසිප්පු කුයිලෙ." මේ වීදුරුව හෝදලා නෑ නේද? " මිනිහ ටිකක් සද්දෙට ඇහුව. මැගිලිං අක්ක කෑන් එක බිම තියල නැඟිට්ට. " ගූ කන්ට කලිං කට හෝදන්නෙ කවුද මහත්තය. බොනව නං වීදුරුවත් අරගෙන මෙන්න මෙහාට එමු..නැත්තං ඉතිං කුණුහරප කතා නොකර....."


*************************************

පොඩි දෙයක් කියන්ට ඕමනයි. කුකුළේ ගඟ මතක කිව්වට අද කතන්දරේ කුකුළේ ගඟ ගැන මොකවත් නම් නෑ තමයි.ඒ ගැන හිත අමනාප කරගන්ට කාරියක් නෑ. ඔව්වයෙ හැටි ඔහොම තමයි.අනිවාර්යයෙන්ම ඊලඟ කොටසෙ ලියන්නං හිනිදුමයගෙ අලිකතාව සහ කුකුළේ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ගැන..හොඳේ ළමයි?

Friday, May 1, 2015

315. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම. ....2


Ravaya.lk

එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි.

" මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ වෙනුවට පන්දාහක් දෙනව කියල එහෙම පුරුදු කරන්ට පුලුවන් නං.."

" මම හිතන්නෙ නෑ බොස්..මේ අවුරුද්දක හමාරක පොඩි එවුං ලව්වා ජයවේවා කියල කියවන එක කරන්නෙ කොහොමද? "



" හරි හරි එහෙනං ඒක අතෑරල දාපං...මම කතාවෙදි කියන්නං ළමයි එහෙම කිව්වයි කියල. "


" හිහ්,හිහ්...මිනිස්සු විස්වාස කරයිද බොස්? "

" බයවෙන්ඩ එපා මිනිස්සු විස්වාස කරනව බං..මිනිස්සු විස්වාස කරනව..ඇස් දෙක දොඹගෙඩි වගෙ කරගෙන අපෙ හාමුදුරුවනේ කියල පටන්ගෙන කිව්වොත් ඕන එකක් මිනිස්සු විස්වාස කරනව..මම ඒක දන්නව ටක්කෙටම. "

අම්මාපල්ල මූ තමයි දවසකටවත් මිනිහ. මූට එච්.ඊ. නෙවෙයි කියන්ට ඕන එච්. පී. කියල වල් අමරේ එසේ සිතූයේ කට කොණකින් සිනහ සෙමිනි. 

" මේ පොඩි එකා ජයවේවා කිව්ව කතාව නැඟල ගියොත් බං මම ඊලඟට මොකක්ද දන්නවද කියන්ට හිතාගෙන ඉන්නෙ? " එතුමා බුරුසුව පිරිමදිමින් ඇසුවේය. " උඹත් ගනිං බං එකක්.." ආයෙම කීවේය.

" ඔය මාස අටේ පොඩි එකා අත් උස්සල ජයවේවා කියල කිව්වයි කියන කතාව නැඟල ගියානං ඊළඟට මම කියන්ට හිතාගෙන හිටියෙ මෙහෙම"

ෂොට් එක උගුරට හලාගත් එතුමා නැඟී සිටියේය.රැල් බුරුල් හැර සාටකය එහෙම හදාගත් එතුමා පැත්තකට හැරී යාන්තමට කොන්ද නමා වැන්දේය. 

" ඒ බං හාමුදුරුවරුංට,.......අපෙ හාංදුරුවනේ කියල ඔහොම යන්තමට වැන්දහම එයාලගෙ කරෙත් ගිහෑකි. හෙහ්,හෙහ්, තව ඉඳහිටල ඔය බෙන්ස් එකක යතුර එහෙම පිරිකර විදිහට පූජා කලාම ආය නෑ කරෙං බහින්ටම ඕන නෑ. මම බහින්ට හැදුවත් බහින්ට දෙන්නෙ නෑ. ඔය ඒ වගෙ එක ලොක්කෙක්නෙ අර කිව්වෙ අවුරුදු විසිපහකට චන්ද නොතිය මටම රට පාලනය කරන්ටය කියල. එවුන්දැ දන්නෙ නෑ අවුරුදු විසිපහකට නෙවෙයි ජීවිත කාලෙටම මේ රටේ රජ්ජුරුවො වෙන එකයි මගේ අදිස්ටානෙ කියල. " 

" හික්.හික්. රයිට් මෙහෙමයි එහෙනං කතාව..අපෙ හාංදුරුවනේ...මම මේ රැස්වීම් වලට එනකොට අම්මල තාත්තල ඇවිල්ල පොඩි දරුවො දෙනව මට වඩා ගන්ට කියල. මම රැස්වීමකට එනවයි කියල ආරංචි උනහම ඒ ළමයි ගෙවල් වල පොළවෙ පස්කනවලු මහින්ද මාමිට කියල මගෙත් ඔලුව අතගාව ගන්ට ඕනය කියල.ඔහොම එක ළමයෙක් දවස් හතක් හිටියලු වතුර උගුරක්වත් බොන්නෙ නැතුව. අන්තිමට ඒ ලමය මගෙ ගාවට ගෙනාවෙ හාමුදුරුවනේ ඇඳක තියල උස්සගෙන. ආ පුතා මම තමයි මහින්ද මාමි, කියල මම ඒ දරුවගෙ ඔලුව අතගෑවෙ එක පාරයි හාමුදුරුවනේ විස්වාස කරන්ට මේ ළමය අත්දෙක යන්තමට උස්සල අපේ මහ රජතුමාට ජයවේවා කියල යන්තමට කෙඳිරි ගෑව.නොකා නොබී ඉඳල කතාකරගන්ටවත් පණක් නෑ. ඒත් කිව්වෙ මහරජතුමාට ජයවේවා කියල. " 

" ඔන්න ඒක තව කමක්නෑය කියමු. මේ පෙරෙයිද ඒත් මා ගාවට ආව එක බඩදරු අම්ම කෙනෙක්. ඇවිල්ල මගෙ අත්දෙකම අල්ලල කියනව ඇස් දෙකේ කඳුලු පුරවාන අපෙ හාමුදුරුවනේ......ඔබ තුමා තමයි අපේ එකම පිහිට. ඔබතුමාට...එහෙම කියනකොට ඒ අම්මට කතාකරගන්ට බැරිවුනා. ඒ එක්කම මට හෙමිහිට ඇහෙනව යන්තමට මේ කොහෙහරි ඇතුලක ඉඳල වගෙ සද්දයක් ජයවේවා, ජයවේවා කියල.අර අම්මටත් පුදුමයි, කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියල.තව ටිකක් හොඳට කන්දිහාල බැලුව අපි දෙන්නම. අනේ හාමුදුරුවනේ ඒ ජයවේවා කියල සද්දෙ එන්නෙ ඒ අම්මගෙ බඩ ඇතුලෙං, බඩේ ඉන්න දරුවා... මම පස්සෙ ඇහුව ඒ අම්මගෙං මාස හතක් වගෙ කියල කිව්ව..ඒ නූපන් දරුව තමයි අර කෑගැහුවෙ ජයවේවා, ජයවේවා කියල. " 

ආපසු ඩෙක් චෙයාර් එකේ හිඳගත් එතුමා උජාරු බැල්මකින් අමරේ දෙස බැලුවේය. " කොහොමද බං කතාව? නොම්බර එකයි නේද? "

" හික්, හික්...ආයෙත් අහල බොස් මල් හතයි.ඉපදෙන්ට ඉන්න ළමයි පිරිමිද ගෑණුද කියල කියන්ට මීට පස්සෙ ඉස්කෑං කොරන්ට ඕන වෙන එකක් නෑ. " අමරේ එහෙම කිව්වේ තව ෂොට් එකක් වක්කර ගනිමිනි. 

" ඒ මොකෝ බං එහෙම කිව්වෙ? ..." එතුමාගේ නලලද රැලි වුනේය. 

" නෑ බොස්ට තියෙන්නෙ බඩේ ඉන්න පොඩි එකාට මෙහෙම කියන්ට. ආ මේ ළමයො. දැං ඇති ඔය ජයවේවා, ජයවේවා කියල කෑගැහුව. ඔහොම කෑගහන්ට බැරුවය ඔතනිං එලියට ආපු දාක. ඒක නෙවෙයි මේ ඔය ළමයගෙ අම්මට දැනගන්ට ඕනලු ඔය ළමය පිරිමිද ගෑණුදැයි කියල. අනේ ළමයො ඔහොම්මම පොඩ්ඩක් දෙකට නැමිල කිරිපල්ල අතගාල බලල කියන්ටකො ඔය ළමය පිරිමිද ගෑණුද කියල...හිහ්,හිහ්..බොස්ට තියෙන්නෙ බඩේ ඉන්න ළමයගෙං අන්න එහෙම අහන්ට. "

" හික් හික් අම්මප උඹටත් අමරෙ එන කල්පනාවල්... මේ ඒක නෙවෙයි මොකටද ඔය බෝනික්කෙක් උස්සගෙන ආවෙ? " 

" බොස් මම මේ බෝනික්කා ගෙනාවෙ පොඩ්ඩක් පැට්ටිස් වෙන්ට. ඉන්ටකො ඔන්න මම එන්නං බෝනික්කත් අරගෙන ඉස්සරහට..හරියට අර රැස්වීමෙදි ළමයත් අරගෙන අම්ම එනව වගෙ. ඔබ තුමා ඇවිල්ල බෝනික්කා වඩාගෙන උඩ දාල හුරතල් කරන්ට. අන්න හරි..කෝ තව ටිකක් උඩ දාන්ට. තව හිනාවෙන්ට හොඳට කට ඇරල..රයිට් බුරුසුව ටිකක් පුම්බල එහෙම අර පරණ බැරල් එකක් සැමන් ටිං පියනකිං හූරනකොට එන්නෙ..අන්න ඒ වගෙ ගොරෝසු ගාම්බීර කට අඬකිං කතා කරන්ට. මිනිස්සු කැමතියි එහෙම තුංකාලෙ මැටල් ගොඩක් ටකරමකට බානව වගෙ සද්දෙං කතා කරනවට. " 

" අනික් කාරනේ උඩ වීසිකරපු ලමයි ඔක්කොම මතක ඇතුව ආපහු අල්ලන්ට. මතකනෙ අර ගිය සුමානෙ රැස්වීම ?. දෙන්නෙක් උඩ විසි කලා. එක්කෙනයි ඇල්ලුවෙ. "

" මට ගණං වැරදුනා බං..." එතුමා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන කීවේය. " මට කොහොමටත් පොඩි කාලෙ ඉඳලම ගණං බෑ."

ඒ කතාව ඇත්තය. එතුමාට විතරක් නෙමේ එතුමාගේ පවුලේ කාටත් ඉගෙනීම අරහංය. ඒ ලෙවල් එස් තුනක් හොයාගන්ට එතුමාගේ මුලු පවුලම එකතු කලත් බැරිබව රට පුරා ප්‍රචාරය වුනු කසුකුසුවකි. එතුමා පෙරකදෝරු විබාගය පාස් වීමද ඒ වගේම බොහොම අපූරු කතාන්තරයකි.

" එහෙම කියල හරියන්නෙ නෑනෙව බොස්... ළමයෙක් බිම වැටිල මොකක් හරි වුනොත් අනේ මට ගණං බෑ කියල හරියනවද? අඩු ගානෙ උඩ විසි කරන ළමයි ගාණ අල්ලෙවත් ලියල තියාගෙනට.එතකොට වරදින්නෙ නෑනෙ. " 

" හරි හරි හරි....එහෙම මොකක් හරි වත් කරමුකො.. වෙන මොනවද අඩුපාඩු? " එතුමා ඇසුවේය.

" ආ..තව එකක් අද බොස්ගෙ අර පපුවට ගහ ගැනිල්ලත් හරියට කෙරුනෙ නෑනෙ. වෙනද ඔහොමද? පළමුව මව්බිම කියල පපුවට ගහ ගන්නකොට දඩීං ගාල එන සද්දෙ ලවුස්කීපර් වලින් මුලු පිටැන්න පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිල යනකොට, වටේ තියන බිල්ඩිංවල හැප්පිල දෝංකාර දෙනකොට මිනිස්සු මීයට පිම්බ වගෙ බලාගෙන ඉන්නෙ. හුස්ම ගන්ටවත් අමතක වෙච්චි ගානට. "

" උඹ මේ මඟුලක් කතා කරනව..මෙන්න බලාපං වෙච්චි දේ..." 

කරවටේ ඔතාගෙන උන්නු සාටකේ අයිං කරල එතුමා ඇඳගෙන උන්නු බුෂ් ෂර්ට් එකත් උස්සල පපුව හරිය පෙන්නුව අමරෙට. මේ වෙනකොට සෑහෙන්න කළුවර වෙලා. අමරෙ සාක්කුවෙ තිබ්බ පොඩි ටෝච් එක අරගෙන පත්තුකරල එතුමගෙ පපුව දිහා බැලුව. අමරෙගෙ ඇස් උඩ ගියා..පපුවෙ මැද රතුපාට ලේ පුරපු පැල්ලම් වගෙ තියනව තුනක්ම. හරියට කවුරුහරි අත මිටි කරල තද පාරක් සැරට ගැහුව වගෙ. 

" අප්පච්චියේ මොකක් වෙලාද බොස් මේ? "

" බං උඹ දන්නවනෙ මම ඔය මව්බිම, මව්බිම, මව්බිම කියල මරහඬ තියල දබෝං දබෝං ගාල පපුවට ගහගන්නකොට රබර් කාපට් එකක් කමිසෙට යටිං බැඳගෙනයි ඒ වැඩේ කරන්නෙ කියල. එකක් ඒක හාට් එකට ආරක්ෂාවයි. දෙක එතකොට තමයි පළාතම එක නින්නාදවෙන්ට අර අපූරු සද්දෙ එන්නෙ. "

" ඉතිං බොස්? "

" ඉතිං අද මම දුවගෙන දුවගෙන ගිහිල්ල ඉස්ටේජ් එකට පනිනකොට වෙච්චි වැඩේ කාපට් එක බැඳල තිබ්බ ලණ්ණ බුරුල්වෙලා ඒක බැස්ස බඩ දිහාට. "

" කෙලියා..ඉතිං බොස්ට තිබ්බෙ අර ගෝරිල්ල වගෙ පපුවට තඩිබාගන්න සීන් එක අද අතෑරල දාන්ටනෙ. "

" එහෙම තමයි මාත් හිතාගෙන හිටියෙ. ඒත් කතාව නැඟල ගියපාර මට ඒක අමතක වුනානෙ ඕයි. රට ජාතිය වෙනුවෙං විදුලි පුටුවට වුනත් යන්ට මම ලෑස්තියි කියල මයික් එක හපල කෑගහල පළමුව මව් බිම කියල දන්නෙම නැතුව තඩි බාගත්තෙ නැද්ද පපුවට..මට එහෙම්මම බුදු අම්මේයි කියවුනා අම්මපල්ල. "

" ඉතිං? "

" පලමුව කිව්වම තව දෙපාරක් කොහොමත් කියන්ට එපාය. ඒ පාර මොනව කරන්ටද දත්මිටි කාගෙන තව දෙපාරක් පපුවට ගහ ගත්ත. පළමුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි, දෙවනුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි, තෙවනුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි "

" මොකක්ද බොස් ඔය විදුලි පුටුව කියන්නෙ? "

" ඇත්තම කිව්වොත් මාත් ඔය එක එකා කියනවට විදුලි පුටුව විදුලි පුටුව කිය කිය උඩපැන්නට හරියටම ඔය මඟුල මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. මම මේ ඊයෙ පෙරෙයිද වෙනකල් හිතාගෙන උන්නෙ ඔය අර කරන්ට් එකෙන් වැඩ කරන රෝද පුටුවක්ය කියල. ඒකනෙ මම බය නැතුව ගලනාලය අතේ අරගෙන කෑගැහුවෙ මම බය නෑ විදුලි පුටුවට කියල. බලනකොට බං ඒක ටිකක් සිරා කේස් එකක්. ඔය විදුලි පුටුවෙ අපරාදකාරයො ඉන්දවල කරන්ට් වද්දල මරල දානවලු. " පට්ට හීතලේ උනත් එතුමාට සුට්ටිවට වගෙ හීං දාඩියකුත් දැම්ම.

" නැහ්?..මාර සීන් එකනෙ...ඉතිං බොස් මොකද දැං කරන්ට හිතාගෙන ඉන්නෙ? " අමරෙ ඇහුව ඇස් දෙකත් ලොකු කරගෙන..

" හෙහ්, බය වෙන්ට එපා. එව්වට තියනව බං ක්‍රම සහ විධි...උඹ අහල තියනවද රස්පුටින් ගැන..."

" ඔව්..අර රුසියාවෙ ජනාධිපතිිද කොහෙද නේද? ඇයි බොස් මිනිහ කචල් එක දානවද? "

" ඒ මොකටද බං රුසියාවෙ ජනාධිපති මට කචල් එක දාන්නෙ? "

" නෑ අර බොස්ගෙ ගෝලයෙක් රුසියන් කෙල්ලෙකුට මොනවද කරා කියල නඩුවක් තියනව නේද? අර හෝටලේක....අර කවුද මරලත්..... මම හිතුවෙ.."

" මේ කටවහගෙන ඉඳපං...එව්ව මම ගානට සෙට් කරල ඇති..ඒ රුසියන් ජනාධිපති ඇවිල්ල පූටින්..එයා ගැන නෙවෙයි මම මේ කිව්වෙ...අවුරුදු සීයකට වගෙ ඉස්සර ඒත් රුසියාවෙ හිටපු මනුස්සයෙක් ගැන..මිනිහගෙ නම ඇවිල්ල රස්පුටිං, " 

" ඉතිං මොකක්ද ඔය රස්පුටිංගෙයි බොස් විදුලි පුටුවට යන එකෙයි තියෙන සම්බන්දෙ? "

" ඔය රස්පුටින්ට දෙතුන් පාරක් වහ දීලත් මිනිහ මලේ නෑ. එහෙම වුනේ මිනිහ ඔය සීන් එක කලින් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ කලින් ඉඳල වහ කාල පුරුදු වෙච්ච නිසා. "

" නෑහ්? ....."

" නෑ නෙවෙයි බං එහෙම තමයි වෙලා තියෙන්නෙ..ඉතිං මමත් ලෑස්ති වෙන්නෙ කරන්ට් වද්දගෙන පුරුදු වෙන්ට. "

" අම්මප? බොස්ටත් මාර අයිඩියාස්නෙ එන්නෙ...හිහ්..හිහ්...බොස් නං මාරයි බොස්...කියලා වැඩක් නෑ.." අමරෙ එතුමා දිහා බලා හිටියෙ කටත් ඇරගෙන..

" හෙහ්..මම එහෙම තමයි........" එතුමා නිහතමානී ආඩම්බරයකින් කිව්වෙ අමරෙගෙ උරෙස්සට අතක් තියන ගමන්.

අමරෙ බෝනික්කත් අරගෙන ගියාට පස්සෙ එතුමා ගෙට ගියා. ආර්යාව සාලෙ ඉන්නව පත්තරයක් බල බල..

" මොකද මේ ඔහේ රැස්වීම්වල කිය කිය යන්නෙ විදුලි පුටුවට යන්ට උනත් ලෑස්තියි කියල. ඇත්තටම එහෙම දෙයක් වෙයිද? " ආර්යාව පත්තරේ පාත් කරල හැරිල බලල ඇහුව.

" වෙනව නේන්නං..ඒත් මම බය නෑ ඔය අදිරාජ්ජියවාදී කුරුමන්ත්‍රන වලට..රට ජාතිය ආගම වෙනුවෙන්...දේයි ..දේයි.."

" ආ මේ මෙතන ඔහේගෙ චන්ද ඉස්ටේජ් එකක් නෙවෙයි ඔහොම බෙරිහං දෙන්ට. මගෙ කං දෙකත් අගුල් වැටුන වගෙ. " ආර්යාව කං දෙකට දබරැඟිලි දෙක දාල කරකෝන ගමං කිව්ව එතුමා දිහාවෙ රවාගෙන.

" ඔය විකාර නැතුව කියනව දැං ඇත්තටම ඔය මොකක්ද පුටුවට යන්ට උනොත් ඔහේ මොකක්ද කරන්නෙ කියල.."

" හෙහ්, ඔයා තවම දන්නෙ නෑ මගේ හැටි..."

" ඒකනං ඇත්තම තමයි ..." ආර්යාව තොල මැතුරුව..

" මොකක්ද කිව්වෙ? "

" නෑ , නෑ මොකවත් නෑ..කියන්ටකො කියන්ට ආපු එක.."

" විදුලි පුටුවට යන්ටම වුනොත් මගෙ තියනව ඒකටත් පැලෑං එකක්. ඔහේ අහල තියද රස්පුටිං ගැන? "

" කවුරු කිව්ව? "

" ආ..නෑ..නෑ...ඒක ඕන නෑ...රස්පුටිං පැත්තක තියමුකො. ඉන්ටකො මම ඔයාට පෙන්නන්ට.." 

ටරා..රා...ටරා ටරා...මැජික් කාරයෙක් අර පෙට්ටිය වහල තියන රෙද්ද අයිං කරල පෙට්ටිය ඇතුලෙං හාවෙක් ගන්නව වගෙ එතුමා ඇඳං උන්නු සරම පිටිපස්සෙං උස්සල එලියට ගත්ත කලුපාට දිග බම්බුවක් වගෙ එකක්. 

ආර්යාවගෙ ඇස් ලොකු වුනා.." ඔය මොකක්ද ඔය?...." 

" මේකෙං තමයි මම විදුලි පුටුවෙං බේරෙන්නෙ...හිහ්...හිහ්...අදිරාජ්ජවාදීන් හිතුව මදි මාව විදුලි පුටුවෙ තියල මරන්ට. "

" හරි. හරි ඉතිං කතාව තියල කියන්ටකො ඕකෙං කොහොමදෑ එහෙම කරන්නෙ කියල. "

" මේක ඇවිල්ල බොහොම පවර්ෆුල් බැටරි පැක් එකක්. මේකෙ දෙපැත්තෙං තියන මේ ක්ලිප් දෙක ඇඟේ කොහෙට හරි ගහගෙන මේ රතුපාර ස්විච් එක ප්‍රෙස් කලාම කරන්ට් එකක් ඇඟට වදිනව. කොච්චර කරන්ට් වදිනවද කියල එජස් කරගන්ටත් පුලුවනි. ඔන්න බලන්ට " එතුමා ආයම පිටිපස්සෙං සරම උස්සල ක්ලිප් දෙක පස්සට ගහගෙන ස්විච් එක එබුව.." බුදු අම්මෝ.."

" ඇයි කරන්ට් එක වැඩිද? " ආර්යාව ඇහුව. 

" නෑ නෑ..මුලින්ම ඉතිං එහෙම තමයි. ටික ටික පුරුදු වෙයි. මම හිතාගෙන ඉන්නෙ ඔය නිකං ඉන්න වෙලාවට මේකෙං කරන්ට් වද්දගෙන පුරුදු වෙන්ට. එහෙම උනාම විදුලි පුටුවෙ තියල කරන්ට් එක ඇල්ලුවත් මට මොකවත් වෙන්නෙ නෑ....ඔන්න බලන්ටකො.ආයෙමත්......බුදු අම්මෝ..."

ආර්යාව කම්මුලේ අතකුත්  තියාගෙන එතුමා දිහා බලාගෙන හිටිය.

" අම්මාපල්ල දැක්කයිං දැක්කෙ නෑ මෙහෙම මිනිහෙක්!!! "


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...