Monday, February 13, 2017

483. The Story Of My Marriage - 34 - A Morning At Asia's Longest City Beach…..


මරීනා වෙරළෙහි හිරු උදාව..
ඡායාරූපය Indiaouting.com අනුග්‍රහයෙනි.


"මේ ඔයා කලින්ම ගාණ කතා කරන්න. නැත්තං මට ආයෙ ඒ මිනිහ එක්කත් ගහ ගන්න වෙයි" මම පැවසූයෙමි.

"ඒ මිනිහ එක්කත් කියන්නෙ? ඒ කියන්නෙ ඔයා මීට කලිනුත් ත්‍රී වීල් කාරයෙක් එක්ක ගහ ගත්තද?"

"එහෙනං…...ඇත්තම කියනවනං ගහගත්තෙමත් නෑ. ඒත් තව පොඩ්ඩෙන් ගහගන්ට වෙනව. ඒක වුනේ ඊයෙ රෑ එයාපෝට් එකේ ඉඳල චමරියට එද්දි. හෙහ්,හෙහ්, කොහෙද මට ඉතිං ඒ විස්තර ඔයාට කියන්ටවත් වෙලාවක් තිබ්බය" මම නොනවත්වා කියාගෙන ගියෙමි. 

තමන් විවාහ වන්නේ මා සමඟ පමණක් බව අනන්‍යා දැඩි ලෙස තිරකොට පැවසූ පසු මගේ සිත මහත් ආනන්දයකින් පිරී තිබිණි.

"හරි, අපි දෙන්නගෙ ප්‍රශ්නයක් මෙතන නෑ. අපි දෙන්නම එක අධිෂ්ඨානෙකින් ඉන්නෙ කවදකහරි බඳිනවාමයි කියල. ඒක හරි. ඒත් ළමයා මට තියෙන අවුල ඔයාලගෙ අම්මයි තාත්තයි මේ වැඩේට කැමති කරව ගන්න එකනෙ. මට තේරෙන්නෙ නෑ විශේෂයෙන්ම ඔයාලගෙ තාත්තව කැමති කරවගන්නෙ මොන දහංගැටයක් ගහලද කියල"

අනන්‍යා මද සිනහවකින් යුතුව මදෙස බලා සිටියාය. "මොකද හිනා වෙන්නෙ?" මම ඇසීමි.

"නෑ..නෑ...මොකවත් නෑ..කියන්න කියන්න..ඔයා කියන්න ආපු ඔක්කොම කියන්නකො………."

"කොටිම්ම කිව්වොත් ඔයා නාල එනකල් මම ඒ මනුස්සය ඉස්සරහ ඉඳගෙන හිටියෙ හයේ පන්තියෙදි දවසක් ඉස්කෝලෙ ප්‍රින්සිපල් මම ඔෆිස් එකට ගෙන්නල එයගෙ මේසෙ ඉස්සරහ දණ ගස්සවල තිබ්බ දවසෙ වගෙ බය බිරාන්ත වෙලා. බොරුවක් එහෙම නෙවෙයි අනන්‍යා මේ ඇත්තම ඇත්ත."

"හිහ්..හිහ්..මට නිකම් මේ මැවිල පේනව වගෙ ඔයා ඇස් දෙකත් ලොකු කරගෙන මූණ පුරා දාඩියත් දාල ප්‍රින්සිපල් ඉස්සරහ දණ ගහගෙන ඉන්නව. ෂික්..අපරාදෙ බලන්ටම වටින වැඩේ...හිහ්... "

"මේ...හිනාවෙන්ට එපා හොඳද? "

"හිනාවෙනව නෙවෙයි අනේ හිනා යනව..හරි ..හරි..දැන් කියමු බලන්ට ඔයා මොනව කරලද ප්‍රින්සිපල් ඒ දණ ගස්සල තිබ්බෙ?"

"ඒ..මේ…..වැඩකට ඇති දේකට නෙවෙයි."

"හරි හරි මොකටද කියන්නකො ඉතිං?........"

"ගෑණු ළමයෙකුගෙ කොණ්ඩෙං ඇද්දයි කියල…"

"හිහ්..හිහ්...හයේ පන්තියෙ ඉන්න කාලෙ ඉඳලම මනමාලකමේ නම් අඩුවක් තිබිල නෑ නේද?" අනන්‍යා පැවසූයේ මගේ වම් කොපුල සිප ගනිමිනි.

"මේ ඔය හිනාව නවත්ත ගන්නවද? මෙතන මොකක්ද තියෙන්නෙ හිනාවෙන්ට?"

"මම දැන් සැරයකුත් කිව්වෙ...මම හිතල හිනාවෙන්නෙ නෑ හලෝ..මට හිනා යනව ඒකට ඉතිං මම මොකක් කරන්නද?" අනන්‍යා නොනවත්වා සිනාසුණාය. මම අමනාපයෙන් ඉවත බලා ගතිමි "හරි හරි දැන් ඒක ඇති...හරි ඒ තාත්ත ගැනනෙ. අම්ම ගැන මොකද ඔයාට හිතෙන්නෙ?"

"හාපෝ...අම්ම එක්ක බලනකොට තාත්ත තව හොඳයි කිව්වැහැකි. අම්ම දැක්කමත් මගෙ කටේ කෙළ හිඳෙනව. අනික කොහොමත් මම ඔයාලගෙ අම්මට ඒ කාලෙ ඉඳලම පුදුමාකාර බයකින් නෙව හිටියෙ. ඇයි අර අහ්මදාබාද්වල ඔයාගෙ කාමරේ ඇඳ ලඟම බිත්තියෙ එල්ලල තිබ්බෙ අම්මගෙ ලොකු ෆොටෝ එකක්. මම ඔයාගෙ කාමරේදි ඔයාගෙ කම්මුලක් ඉඹින්ටවත් පණ බයෙන් හිටියෙ"


"ඈ? ඇයි ඒ?"

"ඇයි ඒ කියල අහන්නෙ? මට හිතුනෙම මම එහෙම කලොත් ඔයාගෙ අම්ම ෆොටෝ එකෙන් බිමට බැහැල මගෙ කණෙං අල්ලල ගෝරනාඩු කරයි කියල ඈ බොල අසමජ්ජාතියො තෝ මොකද ඔය මගෙ රත්තරං දුවට කරන්ට හදන්නෙ? ඉඳපං මම තෝ අද පට්ට ගහනව ඇහේ ඉඳල පල්ලෙහාට ..අන්න එහෙම"

"හිහ් හිහ්..හී.." අනන්‍යා සිනහව නවතා ගත නොහැකිව අසලවූ තාප්පයකට අත්දෙක තබා ඊට වාරු වූවාය. අප ඉදිරියට පැමිණෙමින් සිටි මහළු මිනිසෙක් මොහොතක් නැවතී අප දෙස බලා සිට ඒ අසලම වූ අතුරු පාරකට හැරී ඉක්මන් ගමනින් ඇවිද ගියේය. 

"මේ ඔය හිනාව නවත්ත ගන්නවද? අහල පහල ගෙවල්වල මිනිස්සුත් ඇහැරල එනව මම දන්නව දැන්" අනන්‍යාගේ උරහිසට අත තබා සොළවමින් මම පැවසූයේ බියපත් දෙනෙතින් හිස හරවා වටපිටද බලමිනි.

අනන්‍යා දැඩි ආයාසයකින් සිනහව වළකාගනිමින් මදෙසට හැරුනාය. ඇගේ දෑසේ කඳුලු පිරී තිබිණි. "ඔච්චර බය වෙන්ට දෙයක් නෑ ක්‍රිෂ්, මේ පැත්තෙ ඉන්නෙ ඔක්කොම අපේ නෑයො ලඟින් හෝ දුරින්..හිහ්..හිහ්…"

"හරි හරි අහල පහල ඉන්නෙ ඔක්කොම නෑයො කියල ඔහොම හිනාවෙන්න ඕනය?"

"ඔයා අර අපෙ අම්මගෙ ෆොටෝ වලට බයවෙච්චි කතාව කියනකොට හරිම කියුට් අනේ. ඇස් දෙකෙනුත් පේනව බය වෙච්චි තරම...මේ පාරෙ කොච්චර රෑ වුනත් මිනිස්සු යනව එනව. එහෙම නොවුන නම් මම ඔයාව බදාගෙන ඉඹින එක ඉඹිනව. සත්තයි.."

"අනේ.. අන්න එහෙම කරමුකො..හාද?" මම ඇගේ සුරත අල්ලා ගමිනින් පැවසුවෙමි. 

"පිස්සුද? යමු යමු ...තාම ත්‍රී වීල් එකක් අල්ලගන්ටත් බැරිවුනා. ඒ කරල මම ආපහු යන්නත් ඕන. තව ටිකක් බලල තාත්ත එයි මේ පැත්තට මොකද මම පරක්කු කියල බලන්ට"

"හපොයි..එහෙමද? එහෙනං යමු ඉක්මන් කරල. බදාගෙන ඉඹින එක වෙන වෙලාවක කරන්ට බැරිය" මම වහා ඇගේ සුරත අතහැර පය ඉක්මන් කලෙමි..

"හිහ්..හිහ්..ඔය මං කිව්වෙ නැද්ද?... You are so cute. That's why I love you so much Mr. Malhothra. Do you know that?" අනන්‍යා එළෙස පැවසූයේ සිනහව නවතා බැරෑරුම් ස්වරකිනි.

"So am I, Miss. Swaminathan, so am I" මම ද එවන් ස්වරයකින් පිළිතුරු දුනිමි. "මේ විහිලු ඇති...මොකද අපි දැන් මේකට කරන්නෙ? මම කියන්නද? ඔයාට බැරිද අම්ම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක් බලල මේ ගැන වචනයක් දාන්ට?"

"වචනයක් දාන්ට නම් බැරිකමක් නෑ. ඒත් ඒකට අම්ම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ"

"ඇයි අනේ ඒ?...."

"අම්ම මේ දවස්ටිකේම දිගටම ස්ට්‍රෙස් එකේ ඉන්නෙ"

"ඇයි ඒ?"

"අර අපෙ අම්මගෙ කර්ණාටික් සංගීත ගුරුවරයා අම්මට සංගීතෙ උගන්වන්න බෑ කියල කියනව"

"අප්පේ? ඒ මොකද?"

"ඒක ටිකක් දිග කතාවක්..මම පස්සෙ වෙලාවක ඔයාට කියන්නංකො."

"හරි..හරි..මේ අනන්‍යා අපි හෙට හම්බවෙමුද? හැබැයි ඔයාලගෙ ගෙදරනම් නෙවෙයි හොඳද? පිට කොහේ හරි.. ඔයාලගෙ ගෙදර නැතුව මට කොහෙ උනත් කමක් නෑ"

"ඕකේ..අපි හෙට මරීනා බීච් එකේදි හම්බ වෙමු"

"කීයටද?"

"හයට…"

"අපොයි මට කොහොමත්ම එන්න වෙන්නෙ නෑ හයට. මගෙ බොසා මිස්ට බාලා ඕෆ් වෙලා යන්නෙ අටට. ඊට කලින් මම ගියොත් එහෙම ඒ යකාට හාට් ඇටෑක් එකකුයි ස්ට්‍රෝක් එකකුයි එක පිට එක හැදෙයි විනාඩි දෙකක පරතරයක් ඇතුව. හෙහ්,හෙහ්,"

"බොස්ට හාට් ඇටෑක්වත් ස්ට්‍රෝක්වත් හැදෙන්ට හේතුවක් නෑ. මම හය කිව්වට හවස කියල කිව්වෙ නෑනෙ.."

"මොකක්? ඒ කියන්නෙ ඔයා මට එන්න කියන්නෙ උදේ හයටද? පිස්සුද ඔයාට?" මම දෑස් විදහාගෙන ඇය දෙස බලා සිටියෙමි. 

එවිටම අප පසුකොට යාමට ආ ත්‍රි රෝද රියකට ඇය සුරත දිගු කලාය.

රියදුරා ක්‍රාස්ස්ස් යන හඬින් රිය නතර කොටගෙන හිස එළිය දැමීය. "එන්නා? "

"Nungambakkam, Twenty Rupees, Extra Illai Ok?" අනන්‍යා රියදුරා අමතා පැවසුවාය.

සිටි බැංකු නවාතැනෙහි මගේ යාබද කුටි සගයාවූ රාමනුජම්ගෙන් ඉල්ලාගත් එලාම් ඔරලෝසුවේ අමිහිරි නාදයෙන් මම උදෑසන පහට පිබිදුනෙමි. එහෙත් එලෙස උදෑසනම පිබිදීමෙන් කිසිදු අවාසියක් නොවුනු බව මට වැටහීගියේ මරීනා වෙරළට උදෑසන හිරු උදාවන චමත්කාරජනක දර්ශනයෙන් වශීකෘත වූ පසුවය.

"මුලු ආසියාවෙම නගරයක් ආශ්‍රිතව තියෙන දිගම වෙරළ තීරය මේ මරීනා බීච් එක කියල ඔයා දන්නවද?" පෙර දින අප එකඟවූ පරිදි මරීනා වෙරළ තීරය යාබදව පිහිටි තමිල්නාඩු පොලිස් මූලස්ථානය ඉදිරියෙහිදී මා හමුවූ අනන්‍යා විමසුවාය.

"ඔව්..ඔයා මට කලින් කියල තියනව."

"ක්‍රිෂ් ….මොකෝ මේ ඔයා අත්දිග ෂර්ට් එකක් හොඳ කලිසමක් එහෙම ඇඳල... නිකම් මේ ඔෆිස් යන්ට වගෙ?"

"ඔෆිස් යන්ට වගේ නෙවෙයි ඔෆිස් යන්ට තමයි...හෙහ්,හෙහ්..ඔයාව හම්බවෙලා මම කෙලින්ම ඔෆිස් එකට යන්ටයි හිතාගෙන ඉන්නෙ. අඩුගානෙ හත හමාරටවත් එතන ඉන්න ඕන. පුහුණුවෙන කාලෙ එහෙම උදේම එන්න ඕනලු" ඒ අසල වූ බංකුවක අසුන්ගෙන පාවහන් ගලවා කලිසම් කකුල්ද දණහිස් දක්වා නවා ගනිමින් මම පැවසූයෙමි.

"එච්චර පාන්දරම යන්නෙ අර අහවල් දෙයක් කරන්නද?...මට පේන්නෙ සිටි බැංකුව් දොරවල් ඇරල අතුපතු ගාන්නෙත් ඔයාද කොහෙද" අනන්‍යා මගේ සුරත ගෙන වෙරළ ඔස්සේ ඇවිද යමින් පැවසුවාය.

"ආය එහෙමට කියල කරන්න දෙයක් නෑ. නිකම් මේ ලොක්කගෙ පිට කහන්ඩනෙ. එහෙම උදේම ගිහිල්ල ලොක්කගෙ හිත දිනාගත්තම තමයි ඊලඟ ලෙවල් එකට ප්‍රමෝෂන් එකක් එහෙම ලැබෙන්නෙ. එහෙම තමයි මහා පරිමාණ සමාගම්වල වැඩ කටයුතු කෙරෙන්නෙ"

"මටනම් තාම එහෙම ප්‍රශ්ණයක් නෑ. මට වෙලා තියෙන්නෙ මැනේජ්මන්ට් එකෙන් දීල තියෙන ටාගට් කවර් කරන්න බැරි එක. සතියකට කෙචප් බෝතල් දාහක් මම විකුණන්න ඕන. මට තාම එක සතියකවත් ඒ ගාණ විකුණගන්න බැරිවුනා"

අනන්‍යා එසේ පවසමින් ඒ අසළ පාපැදියක පසුපස සවිකල පෙට්ටියක බහාලූ යම් ආහාර වර්ගයක් විකුණන තරුණයකු අසල නැවතුනාය. 

"ක්‍රිෂ් ඔයා තවම උදේට මොකවත් කාල නෑ නේද?"

"කාල නම් නෑ. මොනවද ඕකෙ තියෙන්නෙ? චිකන් ටෝස්ට් දෙක තුනක් තියනවනම් මේ වෙලාවෙ බොහොම අගෙයි"

"පිස්සුද? චිකන් කොහෙද මෙහෙ? චෙන්නයිවල කෑම සීයට අනූඅටක්ම වෙජිටේරියන්. ඒ හින්ද තියන දෙයක් කන්න පුරුදු වෙනව හලෝ.." අනන්‍යා ඉඩ්ලි හතරක් මිලයට ගත්තාය.

ඉඩ්ලි සහ ඒ සමඟ ලැබෙන චට්නි අඩංගු භාජනයද රැගෙන අප දෙදෙන ඒ අසල තුරු සෙවණක සාගරය දෙසට මුහුණලා සවිකල කොන්ක්‍රීට් අසුනක හිඳගතිමු.

ඈත ක්ෂිතිජය දෙස මොහොතක් බලාසිටි අනන්‍යා කථාකලාය. "මම ඔයාට කිව්වනෙ අපෙ අම්ම ගැන කතාවක් කියන්නම් කියල. අම්ම අප්සෙට් වෙලා ඉන්නෙ අර සංගීත ගුරුවරයා, එයාලට කියන්නෙ ගුරුජී කියල...ඉතිං ඒ ගුරුජී අම්මට ගායනය උගන්වන්ට බෑ කියල"

"ඉතිං ඇයි එහෙම බෑ කියල තියෙන්නෙ?"

"මේකයි….ගුරුජී කියල තියනව අම්මගෙ කැපවීමයි දක්ෂතාවයයි දෙකම මදිය කියල.."

"දක්ෂතාවය මදියි කියල?... ඒත් ඔයාලගෙ අම්මගෙ ගායනය හොඳ මට්ටමක තියනව නේද?.......මටනම් ඊයෙ හිතුනෙ එහෙමයි."

ඊයේ රාත්‍රියේ අනන්‍යාගේ නිවසෙහිදී මා බියෙන් ත්‍රස්ත කල කිසිවකුගේ ගෙල මිරිකන විට උගුරෙන් නිකුත්වන්නාවූ භයංකර ශබ්දය වැන්නක් යලි කිසිදිනක අසන්නට නොලැබේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනය වූ නමුදු මම කිසිසේත්ම එළෙස නොපැවසූයෙමි. තමන් ප්‍රේමයෙන් බැඳී සිටිනා යුවතිය වෙනුවෙන් මෙවන් අසත්‍යයක් හෝ පැවසිය නොහැකිනම් එවන් ප්‍රේමයකින් කුමන ඵලයක්ද?

"මෙතන වැඩේ මෙහෙමයි ක්‍රිෂ්, අම්මගෙ ගායනය ඇත්තටම හොඳයි. තාත්ත චෙන්නයි වලින් පිට වැඩ කරපු හැම තැනකදිම එහෙ ටැමිල් කමියුනිටි එකේ අම්මට ලොකු තැනක් තිබ්බ. ලොකු පිළිගැනීමක් තිබ්බ. මම අර කිව්වෙ කොල්කටා වල එහෙම. ඒත් වැඩේ කියන්නෙ චෙන්නයිවල තැනකට එන්ට ඒ දක්ෂතාවය හොඳටම මදි. මෙහෙ ස්ටෑන්ඩර්ඩ් එක හොඳටම ඉහළයි. අම්මට ඒ මට්ටමට එන්ට ඇත්තටම අමාරුයි" 

මම හිස සොලවා ඇය පැවසූ සියල්ල අනුමත කළෙමි. "ඔව්..ඒකත් ඇත්ත වෙන්න පුලුවන් තමයි"

"ඉන්දියාව පුරාම වැඩ කරල මගෙ අම්මයි තාත්තයි ආපහු චෙන්නයි වලට ආවෙ මහ විසාල බලාපොරොත්තු සම්බාරයක් පපුව ඇතුලෙ හිරකරගෙන. ඒත් දැන් එයාලගෙ ඒ බලාපොරොත්තු එකින් එක විනාසවෙලා යන එකයි වෙන්නෙ. තාත්ත ගොඩක්ම බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රමෝෂන් එක එයාට ලැබුනෙ නෑ. ඕන එකටයි එපා එකටයි හැම දේටම ඇඟිලි ගහන නෑදෑයො මහම කරදරයක් වෙලා තියෙන්නෙ. ඉතිං මේ ඔක්කොම කරදර අස්සෙ එයාලගෙ එකම දුව කියනව බ්‍රාහ්මණ වංශික නොවෙන, ඒ මදිවට අඩුගානෙ දෙමළවත් නොවෙන පන්ජාබි කොල්ලෙක් එයාලගෙ බෑණා හැටියට පිළිගන්නෙයි කියල. එයාලට පිස්සු හැදුනෙ නැත්තං ඇති..හිහ්..හිහ්...අපි ටිකක් ඉවසමු ක්‍රිෂ්, එයාලට තව ටිකක් කල්දෙමු ඔයාව හරියට අඳුනාගන්ට. මම ඔයාට වගේම එයාලටත් ආදරෙයි ක්‍රිෂ්..."

නොනවත්වා කථාකල අනන්‍යා කථාව නවත්වා වේගයෙන් හුස්ම ගත්තාය. ඇගේ වත රත්පැහැගත්තේ උදෑසන හිරු එළිය පතිතවීමෙන්ද නැතහොත් ඇගේ කථාවේවූ උද්වේගකර ස්වභාවය හේතුකොටගෙන්දැයි මම නොදත්තෙමි. ඒ කෙසේ හෝ එවේලෙහි ඇය මට කොපමණ සුන්දරව දර්ශනය වූයේද යත් මට ඇගේ වත සිපනොගෙන සිටිය නොහැකි විය.

ඉන්දියානු සාගරය දෙසින් හැමූ මද නල අපගේ කෙස් අවුල්කොට දැමීය. අනන්‍යා ඇගේ හිස මගේ වම් උරහිස මත තබා දිගු සුසුමක් හෙලුවාය. මම මගේ සුරතින් ඇගේ සුමුදු වත සෙමින් පිරිමදින්නට වූයෙමි. මද රත්පැහැයෙන් දිදුලන හිරු ඉන්දියානු සාගරයෙන් සෙමෙන් හිස එසවීය. සෙමෙන් අහස ඉහළට යන්නාහාම හිරු මඬල මද රත් පැහැයේ සිට දඹරන් පැහැයක් ගත්තේය. මෙතෙක් ඉතා සෙමෙන් හමා ආ මදනල එක්වරම වේගවත් වූයේ මගේ සිරුර කිළිපොලවමිනි. අනන්‍යාද මට තවත් තදින් තුරුළු වූවාය.

මම සෙමින් පහත්ව ඇගේ නළල්තලය සිප ගතිමි.

Friday, February 10, 2017

482. The Story Of My Marriage - 33 - The First Formal Meeting With My Future In Laws


දර්ශීය දමිළ රාත්‍රී භෝජනයක් - Google Images

කවුරුන් හෝ සාලයට දෙසට පැමිණෙන පියවර හඬ ඇසෙන්නට විය.

"මේ ශෝභා නැන්ද ඉස්සරහ ටිකක් පරිස්සමින් කතා කරන්න. මම කියන්නද? ඔයා පුලුවන් තරම් අඩුවෙන්ම කතා කරන්නකො. එයා කියන එව්වට හූමිටි තිබ්බම හොඳටම ඇති.." අනන්‍යා ඉදිරියට නැවී පහත් හඬින් පැවසුවාය.

"ඒ මොකද ඒ? හරි වැඩක්නෙ ඒක...." මම මගේ නොරිස්සුම සඟවාගන්නට කිසිදු උත්සාහයක් නොදැරීමි.

අනන්‍යා ඊට පිළිතුරු වශයෙන් කුමක් හෝ පැවසීමට තැත්කලද ඒ හා සමඟම ඇගේ මෑණියන් සංගීත ගුරුවරයාද කැටුව සාලයට පිවිසි හෙයින් දෝ කිසිවක් නොදොඩා හිඳ හුන් සෝපාවෙන් නැඟී සිටියාය. අනන්‍යාගේ මෑණියන් ගුරුවරයා පසුපස ඉතා සෙමෙන් ප්‍රධාන දොරටුව දෙසට ගමන් ගත්තේ දැඩි බලාපොරොත්තු කඩවූ සවභාවයක් මුහුණින් දක්වමිනි.

ගුරුවරයා ප්‍රධාන දොරටුව අසල මොහොතක් නතරව ආපසු හැරුණේය. "හරියකට පුහුණු වෙලාම නෑ නේද?" ඔහුගේ ස්වරයෙහි වූයේ අප්‍රසාදය හැඟවීමකි.

අනන්‍යාගේ මෑණියන් පහත් හඬින් යමක් පැවසුවාය. හිස දෙතුන් වරක් දෙපසට සෙලවූ ගුරුවරයා නික්ම ගියේය.

"අම්මා...මොකද වුනේ?" අනන්‍යා වහා තම මෑණියන් වෙත යමින් විමසුවාය. 

"මොකුත් නෑ..මොකුත් නෑ..කෝ තාත්තයි නැන්දයි? අපි කමු…. අපි කමු...දැන් රෑවෙලා…"

ඒ සමඟම අනන්‍යාගේ පියා සහ නැන්දා සාලයට ඇතුළුවූයේ දෑත් පුරා ආහාර පිරවූ බඳුන් ඔසවාගෙනය.මම වහා නැඟී සිටියෙමි. "හෙලෝ ආන්ටි..මමත් උදව් කරන්නද? "

"උදව් අවශ්‍ය නෑ. කරුණාකරල ගිහිල්ල අත් දෙක සෝද ගන්න………." ස්වාමිනාදන් මහතා මුළුතැන්ගෙය පිහිටි දිශාව සුරතින් දක්වමින් නියෝග කලේය.

රාත්‍රී ආහාරය උදෙසා අප සියළු දෙන සාලයේ එක් පසෙක එලූ කළාලයක් වටා හිඳ ගත්තෙමු.

අනන්‍යාගේ පියා කෙසෙල් කොළයක් මදෙසට දිගු කලේය. එය වහා සුරතට ගනිමින් මම කල්පනා කලේ මේ කෙසෙල් කොළය කුමක් සඳහාද යන්නයි. "මල ජංජාලයයි දැං මොකද කරන්නෙ? මේ කෙහෙල් කොළේ දුන්නෙ මොකටද මන්දා..අත පිහිද ගන්ටද එහෙමත් නැත්නම් මම මේක කන්ට ඕනද? කියන්ටත් බෑනෙ නිකම් මේ කෑමට පෙර පොඩි කටගැස්මක් වගෙ මේ ගොල්ල කෙහෙල් කොල කනවද දන්නෙ කවුද?"

මම පත්ව සිටිනා අසීරු අවස්ථාව වහා අවබෝධ කොටගත් අනන්‍යා මවිසින් කෙසෙල් කොළය අනුභව කිරීමට පෙර මගේ පිහිටට ඉදිරිපත් වූවාය. "මේ ඕක කන්ට එහෙම නෙවෙයි තියෙන්නෙ හොඳද? ඔය තමයි පිඟාන. ඕක ඉස්සරහ එළා ගන්ට. ඒ කරල මම කරන විදිහට කරන්ට හොඳද?" අනන්‍යා මදෙසට නැවී පහත් හඬින්  කෙඳුරුවාය. 

"හ්ම්ම්ම්..මම දන්නව...ඔයා හිතුවද මම එච්චර එකක්වත් දන්නෙ නෑ කියල?" මම ද එලෙසම පහත් හඬින් කෙඳිරීමි. 

"ඔව්..ඔව්...දන්නව නේන්නං...මම දැක්කනෙ කෙහෙල් කොළේ හරව හරව බැලුව හැටි...හිහ්...හිහ්... "

"මේ ඔයා මට හිනාවෙනවද? "

"කවුද දැන් හිනාවුනෙ? හරි හරි ඒකෙන් කමක් නෑ..මම කරන විදිහට කරන්ටකො..එතකොට කිසිම අවුලක් වෙන එකක් නෑ..තේරුණා නේද? "

"යස් මැඩම් ඔෆ් කෝස්…"

"රාධා!!!!!……….." සාලය පුරා විසිර ගිය ශෝභා නැන්දාගේ නිර්දය ස්වරය අනන්‍යාගේ සහ මගේ අන්‍යෝන්‍ය කෙඳිරීම් වලට විරාමය තැබුවේය. 

කළාලය මත වූ ආහාර බඳුන් පිළිවෙලකට සකස් කරමින් හුන් අනන්‍යාගේ මව වහා හිස ඔසවා තම නෑනන්ඩිය වෙත නෙත් යොමු කළාය. තමා ඉදිරියේ වූ කෙසෙල් කොළය ඉහළට එසවූ ශෝභා නැන්දා එහි කෙළවරක වූ දුඹුරු පැහැ තිතක් වැන්නක් සුරතෙහි දබරැඟිල්ල දිගුකොට දැක්වූවාය.

"සොරි සොරි........" එසේ පවසමින් අනන්‍යාගේ මව වහා නැඟීසිට මුළුතැන්ගෙයින් වෙනත් කෙසෙල් කොළයක් රැගෙන ආවාය. ෂිප්‍රා ලොකු අම්මා හැකි සෑම අවස්ථාවකම මගේ මවගේ වැරදි උළුප්පා දැක්වීමට කටයුතු කරන අන්දම මගේ මතකයට නැඟුනේ නිරායාසයෙනි. දිල්ලිය වේවා චෙන්නයි වේවා ..කිසිදු වෙනසක් නැත. ඔබගේ වැරදි සෙවීම තම ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය කොටගත් ඥාතීහු විශේෂයෙන් කාන්තා පක්ෂයේ ඥාතීහු සෑම තන්හි සිටින්නෝය.

අනන්‍යා තමන් ඉදිරියේ වූ කෙසෙල් කොළයට බත්,සම්බාර්, අපූර්ව පෙනුමකින් යුත් වෑංජන දෙකක් සහ දුඹුරු වර්ණ කුඩු වර්ග දෙකක් බෙදා ගත්තාය. මම ද ප්‍රවේශමෙන් එදෙස බලා හිඳිමින් පියවරෙන් පියවර ඇය අනුගමනය කළෙමි.

"මොනවද අනේ මේ කුඩු ජාතිය?" මම ඇය දෙසට පහත්ව විමසීමි. 

"ඔව්වට කියන්නෙ වෙඩි බෙහෙත්. කාල බලන්නකො..නියමයි" ඇය මදෙස නොබලාම පැවසුවාය. මම කුඩු ස්වල්පයක් රස බැලීමි. එහි රසය මට දැනුනේ ලී කුඩු සහ මිරිස් කුඩු මිශ්‍රණයක්සේය.

"කොහොමද? මාර රසයි නේ?" අනන්‍යා ඇසුවාය. 

"ආය මොනවද? පුදුම රහක්නෙ…"

සෙමෙන් හිස ඔසවා මා ඉදිරියේ හිඳ සිටින අනෙකුත් පුද්ගලයින් ආහාර ගන්නා අන්දම විපරම් කල මට දැකගත හැකිවූයේ ඔවුන් පළමුව ඔවුන් පළමුව වෑංජන වලින් කුඩා ගුලි වැන්නක් සාදා කෙසෙල් කොළය මත පිළිවෙලට තබන අන්දමයි. ඉක්බිති ඔවුහු ඒ සියල්ල තලපයක් වනසේ හොඳින් මිශ්‍ර කොට අනුභව කළෝය. මමද මගේ අනාගත ඥාතීන් අනුගමනය කිරීමට උත්සාහ කළෙමි.එහෙත් වෑංජන ගුලි තලපයක් වනසේ තදින් මිශ්‍ර කිරීම මට මහත් අපුල දන වන්නක් විය. 

"මේ …..ඔහොම හරියන්නෙ නෑ. තව හොඳට අනන්න ඕක" අනන්‍යා පසෙකින් හිඳ මට උපදෙස් දුන්නාය.

"හරි හරි මේ අනනව තමයි…."

"මේ ළමයත් අනන්‍යාගෙම පන්තියෙද?" ශෝභා නැන්දා මුල් වරට මා අමතා කතා කලාය. 

"ඔව්...අයි.අයි.එම්. එකේ අපි දෙන්න එක පංතියෙ හිටියෙ.."

(සටහන 1 - මෙහි අයි.අයි.එම්.යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කළමණාකරණ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි ප්‍රදානය කරන ප්‍රධානතම අධ්‍යාපන ආයතනය වන ඉන්දීය කළමණාකරන ආයතනයයි. (Indian Institute Of Management) එහි අහ්මදාබාද්හි පිහිටි විද්‍යායතනයෙහි ක්‍රිෂ් සහ අනන්‍යා අධ්‍යාපනය ලැබූහ. ඔවුන් හමුවනුයේද එහිදීය.)

"ඔය ළමය අයි.අයි.ටී. එකෙත් ඉගෙන ගත්තද?"

"ඔව්……….." මම මද සිනහවක් පා හිස සැලීමි. අනන්‍යගේ පවුලේ ඥාතීන් අතර මට යම් පිළිගැනීමක් ලැබෙන එකම කරුණ මගේ අයි.අයි.ටී. අධ්‍යාපනය පමණක්ම බව අනන්‍යා කලකට ඉහත මට පවසා තිබිණි.

"ක්‍රිෂ්, ඔයා ඔය අයි.අයි.ටී. එකේ ඉගෙන ගෙන තියන එක ඔයාට ලොකු වාසියක්. අපේ පවුලෙ කට්ටිය, ඇත්තම කිව්වොත් අපේ පවුලෙ විතරක් නෙවෙයි චෙන්නයිවල ඕන කෙනෙක් අයි.අයි.ටී. එකේ ඉගෙන ගත්ත කෙනෙකුට හොඳට ගරු කරනව. සළකනව.දෙයියන්ගෙ ලෙවල් එකෙන් පොඩ්ඩක් විතර පහළින් තියෙන ඊලඟ ලෙවල් එක..හිහ්..හිහ්..." වසර දෙකකට පමණ පෙර අහ්මදාබාද් අයි.අයි.එම්. ආයතනයෙහි මගෙ කුටියේ සයනය මත වැතිර අලස සුවය විඳිමින් සිටිනා සවසක ඇය එසේ මට පැවසූයේ මගේ හිසකෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදිමිනි. ඇගේ දිගු අතැඟිලි මගේ හිස කෙස් අතරින් ගොස් මහිස පිරිමදිනු ලැබීමේ ආශ්වාදය විඳීමට මම බොහෝ සේ ප්‍රිය කළෙමි. ඒ සොඳුරු අතීතාස්මරණයෙහි නිමග්න වෙමින් මම ආහාර ගැනීම ද නතර කොට මා පසෙකින් හිඳ සිටිනා අනන්‍යා දෙස බලා සිටින්නට වීමි.

(සටහන 2 - අයි.අයි.ටී. යනු ඉන්දීය තාක්ෂණ ආයතනය යන්නයි (Indian Institute Of Technology) ඇතුලත්වීමට පවා ඉතා අසීරු මෙම තාක්ෂණ ආයතනයක ඉගෙනුම ලැබුවෙකුට ඉන්දීය සමාජය තුල ඉහළ තැනක් මෙන්ම මහත් ගෞරවයක්ද නිතැනින්ම ලැබේ)

"සුෂිලාගෙ අර කසින් කෙනෙක් ගැන මම කිව්වෙ...හරිෂ් ඒ ළමයගෙ නම...දැන් ඉන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝවල...එයත් අයි.අයි.ටී. එකේ ඉගෙන ගත්තෙ" ශෝභා නැන්දාගේ හඬින් මම යලි පියවි ලොවට පිවිසියෙමි. 

"හරිෂ්? මට එහෙම නමක් මතක නෑනෙ..කොයි බැච් එකේද?"

"හරිෂ් ඉගෙන ගත්තෙ මෙහෙ. අයි.අයි.ටී. චෙන්නයි" තමාගේ කථාවට බාධා කිරීම පිළිබඳව මදක් අමනාපයෙන් යුතුව ශෝභා නැන්දා පැවසුවාය.

මම නිශ්ශබ්දව මා ඉදිරියේ ඇති වෑංජන හඳුනා ගැනීමට තැත් කළෙමි. මට නිසැකව හඳුනාගත හැකි වූයේ බෝංචි සහ ගෝවා පමණකි. "හලෝ..හලෝ..හඳුනා ගන්නට ලැබීම අප්‍රමාණ සතුටක්" මම බෝංචි සහ ගෝවා වෑංජන දෙකට පහත් හඬින් පැවසීමි. 

"හරිෂ්ගෙ දෙමව්පියෝ මේ දවස්වල එයාට මනමාලියක් හොයනව. රාධා……... ඔයා ගාව තියනවද අනන්‍යාගෙ නක්ෂත්‍රම් කොළේ? මට පුලුවන් ඒක හරිෂ්ගෙ අම්මට දීල බලවන්ට"

"අක්කෙ මේ…" අනන්‍යාගේ මෑණියෝ හිස පහතට හරවාගත්වනම තැතනුවාය.."දුවගෙ නක්ෂත්‍රම් එක තාම හදල නෑ. "

"මොකක්ද මල්ලි මේකෙ තේරුම?" ශෝභා නැන්දා අනන්‍යාගේ පියා දෙසට හැරී කෑගැසුවාය. "ඔයාගෙ මේ බිරින්දෑට තමන්ට ගැලපෙන හොඳ බෑණා කෙනෙක් හොයාගන්ට කිසිම උවමනාවක් තියෙන බවක් මටනම් පේන්නෙ නෑ."

මොවුන් අනන්‍යා වෙනත් තරුණයකු හට විවාහ කොටදීම පිළිබඳව මා ඉදිරියේම කිසිදු චකිතයකින් තොරව සාකච්ඡා කිරීම මට අදහාගත නොහැකිවිය.

"මේ මට ඔය බත් දීසිය මෙහාට දෙනවද?" මම එසේ හඬනඟා ඉල්ලා සිටියේ මට කිසිසේත්ම  බත් අවශ්‍ය නිසා නොව සාකච්ඡාව වෙනත් දිශාවකට හැරවීමේ පරමාර්ථයෙනි. 

"රාධා …...අක්ක කියන දේ ඔයා හොඳට හිතට ගන්න. තේරුණාද? අක්ක මෙව්ව ගැන හොඳට දන්නව" අනන්‍යාගේ පියා මාදෙස නොබලාම බත් දීසිය මවෙත දෙමින් තම බිරිඳ අමතා පැවසීය. තම සොයුරියන්ගේ අදහස් හිස් මුදුනින් අනුමත කොට තම භාර්යාවන්ට ප්‍රසිද්ධියේ දොස් පැවරීම බොහෝ ඉන්දියානු පුරුෂයින් අතර ඉතා ප්‍රචලිත පුරුද්දකි.

ශෝභා නැන්දා එවර කථාව ආරම්භ කලේ දමිළ භාෂාවෙනි. අනන්‍යාගේ මව සහ පියාද ඊට එකතුවූයේ දමිළයෙන්ම පිළිතුරු දෙමිනි. ප්‍රාදේශීය භාෂාවකින් හඬ ගැන්වූ චිත්‍රපටයක් මා ඉදිරියේ ප්‍රදර්ශනය වන අතර මා ඒ දෙස බලා සිටියේ   වේගයෙන් දිවෙන දුම් රියක් දෙස ගවයකු බලාසිටිනවාක් මෙනි. මිනිත්තු පහකට පමණ පසු තව දුරටත් ඉවසිය නොහැකිවූ මම කථා කළෙමි.

"මේ පොඩ්ඩක් සමාවෙනවද? "

"ඔව්..මොකද?" අනන්‍යාගේ පියා විමසීය.

"කරුණාකරල ඉංග්‍රීසියෙන් කථා කරනවද? මට ඔය ගොල්ලො කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ" අනන්‍යා වහා මදෙස හිස හරවා බැලුවාය. විශ්මයෙන් ඇගේ දෑස විසල්ව තිබිණි. "ක්‍රිෂ් ඔය ඇති. ප්ලීස් ඔයිට වඩා මොකවත්ම කියන්න එපා" ඇගේ දෑසෙහි වූයේ ඒ ආයාචනයයි.

"එහෙනං කරන්න තියෙන්නෙ ඔය ළමය දෙමළ ඉගෙන ගන්න…………" අනන්‍යාගේ පියා ගහෙන් ගෙඩියක් එන්නාසේ කියා දැම්මේය.

"ඔව්..සර්...මම එහෙමවත් කරන්නම්.." මම හිස පහතට හරවාගෙන පැවසීමි.

"ඒ කොහොම වෙතත් අපි කතා කලේ අපේ පවුලෙ පෞද්ගලික දෙයක් ගැන. එව්ව ඔය ළමයට කොහොමත් අදාල වෙන්නෙ නෑ" අනන්‍යාගේ පියා තව දුරටත් පැහැදිලි කලේය. මම හිස සොළවා ඒ පිළිගත් බව හැඟවීමි.

ඉක්බිති රාත්‍රී ආහාරය අවසාන වනතෙක් ශෝභා නැන්දා නොයෙක් පිරිමි නම් සහ ඔවුන් සේවය කරන විදේශීය සමාගම්වල නම් ලැයිස්තුවක් සභාවට ඉදිරිපත් කළාය. මා ඉදිරියේවූ කෙසෙල් කොළය මතවූ වෑංජන සියල්ල හොඳින් අනා ඇගේ මුහුණට දමා ගැසීමට මසිත පැනනැඟි බලවත් ආශාව මම මැඩ පවත්වා ගත්තේ දැඩි අසීරුවෙනි.

රාත්‍රී ආහාරය අවසන්වූ මහාම මම ඔවුන්ගෙන් සමුගෙන පිටත් වූයෙමි. මගේ නවාතැනට යාමට ත්‍රිරෝද රියක් කථාකර ගැනීමට සහයවන මුවාවෙන් අනන්‍යාද මා සමඟ නිවසින් පිටතට පැමිණියාය.

ගෙවත්තෙන් පිටව මාර්ගයට අවතීර්ණවූ සැණින් ඇය මගේ සුරත දැඩිව ග්‍රහණය කොට ගත්තාය. 

"මගෙ අත අතාරින්න. ඔයත් එක්ක කතා කරන්නවත් මගෙ හිත දෙන්නෙ නෑ..." මම මගේ සුරත මුදාගත්තේ නොරිස්සුම් සහගතව එසේ පවසමිනි.

"අර මොකද ඒ?" අනන්‍යාගේ ස්වරයෙහි වූයේ විශ්මයකි. පොල් ගස් රාශියකින් යුත් උද්‍යානයක පිහිටි පැරණි බංගලාවක් වන් විශාල ගෘහයක් පසු කරමින් අප ගමන් කලෙමු.

"ඒ මොකද කියල අහන්නෙ? ඇහුනෙ නැද්ද? ඔයාගෙ අම්මයි තාත්තයි නැන්දයි තුන්දෙනාම එක්තු වෙලා හදන්නෙ ඔයාව වෙන කාටහරි ඒ ගොල්ල කැමති කෙනෙකුට බන්දල දෙන්න. මොකක්ද අර නක්ෂත්‍රම් කියන්නෙ?

"ආ...ඒක මේ පොරොන්දම් සටහනක්"

"පොරොන්දම් කියන්නෙ? "

"මේ ක්‍රිෂ්…... ඔයාට ඔය ඔක්කොම තේරුම් කරල දෙන්න මට මේ වෙලාවෙ බෑ. අනික ඔයා එව්ව දැනගන්න ඕනත් නෑ. ඔයාට අදාලත් නෑ. ඔයාට අදාල වෙන්නෙ ඇත්තම කිව්වොත් මෙන්න මෙච්චරයි. ඒ ගොල්ල ඔය කොච්චර මනමාලයො හෙව්වත් එව්ව නිකං හීන විතරයි. මම කවදක හරි කසාද බඳින්නෙ ඔයාව. ඒක ස්ථිරයි. "

එසේ පවසා ඇය සුන්දර ලෙස සිනාසුනාය. ඉක්බිති මගේ සුරත ගෙන මුවට ලංකොට සිපගත්තාය. ත්‍රිරෝද රියක් අප වෙත ලඟාවෙමින් පැවතිණි. වහා අනන්‍යාගෙන් සුරත මුදාගත් මම ත්‍රිරෝද රිය නවත්වන ලෙස සංඥා කළෙමි.

"මේ ඔයා කලින්ම ගාණ කතා කරන්න. නැත්තං මට ආයෙත් ඒ මිනිහ එක්ක ගහ ගන්න වෙයි" මම පැවසූයෙමි.

"ආයෙත් කියන්නෙ? ඔයා කලිනුත් ත්‍රී වීල් කාරයෙක් එක්ක ගහ ගත්තද?"

"එහෙනං…...ඒත් මේ ඇත්තම කියනවනං ගහගත්තෙමත් නෑ. ඒත් තව පොඩ්ඩෙන් ගහගන්ට වෙනව. ඒක වුනේ ඊයෙ රෑ එයාපෝට් එකේ ඉඳල චමරියට එද්දි. හෙහ්,හෙහ්, කොහෙද මට ඉතිං ඒ විස්තර ඔයාට කියන්ටවත් වෙලාවක් තිබ්බය" මම නොනවත්වා කියාගෙන ගියෙමි. 

තමන් විවාහ වන්නේ මා සමඟ පමණක් බව අනන්‍යා දැඩි ලෙස තිරකොට පැවසූ පසු මගේ සිත මහත් ආනන්දයකින් පිරී තිබිණි.

***********************************

"2 States"  චිත්‍රපටයෙන් උපුටාගත් ගීතයක් පහත දැක්වේ. අර්ජුන් කපූර් සහ අලියා භාට් එහි ක්‍රිෂ් සහ අනන්‍යා ලෙස රඟන්නෝය.


Wednesday, February 8, 2017

481. The Story Of My Marriage - 32 - මල්හාර් රාගය…………

මල්හාර් රාගයෙහි නිපුන ටනා සහ රිරී නම්
සොයුරියන් දෙදෙනා.
ඔවුන් සහ මල්හාර් රාගය පිළිබඳව කෙටි
සටහනක් කථාව අවසානයෙහි ඇත
.




ගිරිය යටින් කෑගසමින් හිසකෙස් දෑතින්ම සිඳගනිමින් උමතුවූවකු මෙන් මේ නිවසින් ඉවතට දිවයාමට මසිතේ පැනනැඟුනු අභිප්‍රාය මම මැඩපවත්වා ගත්තේ බලවත් අසීරුවෙනි. "මොනවද ක්‍රිෂ් උඹමේ පිස්සන් කොටුවෙ කරන්නෙ? මොකටද උඹ මෙහෙ ආවෙ?" මම දත්මිටිකමින් මගෙන්ම විමසා ගතිමි. 

ඒ සමඟම කිසිවකු ගෙතුල සිට සාලය වෙත ලඟාවන පියවර හඬක් ඇසෙන්නට විය. තවත් මොහොතකින් මවිසින් මගෙන්ම විමසාගත් දෙවන පැණයට පිළිතුර සාලයට ඇතුලුවන දොරටුවෙහි එළිපත්ත මත පාදුර්භූත වූයේ දහසක් හිරු එක් අහසක නැඟියාක් මෙන් හාත්පස ආලෝකමත් කරවමිනි.

මම හිඳසිටි අයුරින්ම මදක් හිස හරවා ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. මේ මට අනන්‍යා ඇස ගැටුනේ පුරා දෙමසක කාලයකට පසුවය. රන්වන් සිහින් බෝඩරයකින් යුත් ලා කහ පැහැති සාරියකින් සැරසී හුන් ඇය මට දිස්වූයේ මේ නිරයට හදිසියේ සැපත් සුරඟනක් සේය. එසේමය. ගතවූ දෙමසක කාලය තුල ඇය තවත් රූමත්වූ සෙයකි.

වහා ඇය වෙත ගොස් ඇය තරව වැළඳගත්වනම රත්පැහැයෙන් යුතු පිරුණු තොල් පෙති දැඩිව සිපගැනිමට මසිත පහලවූ බලවත් ආශාව මම මැඩගත්තේ දෙනෙත් තදින් පියාගත්වනම ළය පිරීයන තෙක් ඉහළට ගත් ආශ්වාසය උපරිම වේලාවක් පෙණහළු තුල රඳවාතබා යලි හැකිපමණ සෙමෙන් නිදහස් කිරීමෙනි. ඇත්ත වශයෙන්ම ස්වාමිනාදන් මහතා අප ඉදිරියේ හිඳ සිටියදී එවන් සිපවැළඳ ගැන්මක් පිළිබඳව අංශුමාත්‍රයක සිතුවිල්ලක් හෝ පහළ වීම පවා මසිත මහත් භීතියකින් පුරවාලීය. මම වහා හිස නොහරවා ස්වාමිනාදන් මහතා දෙස නෙත් කොණින් බැලූයේ ඔහුට මගේ අභිප්‍රාය පිළිබඳව අංශුමාත්‍රයක හෝ සැකයක් ඇතිවීදැයි සැක හැර දැනගැනීමටය.

"හායි අනන්‍යා, කොච්චර කාලෙකට පස්සෙද ඔයාව දැක්කෙ…" මම දෙවියන් අබියස හැසිරෙනා බැතිමතකුගේ භූමිකාව නිරූපණය කීරිමට මහත් වෑයමක් ගනිමින් ඉතා ආචාරශිලීව සහ එමෙන්ම සන්සුන් ව පැවසූයෙමි. එසේම මගේ දෑත් පිළිබඳව මට කිසිදු විශ්වාසයක් නොවූ හෙයින් මම දෑත් ළයමත හැකිපමණ වැරයේ බැඳගතිමි.

"ක්‍රිෂ්, මොනවද මේ කියන්නෙ? මාස දෙකකට පස්සෙ හම්බවෙලා එහෙම කිව්වම හරියි කියලද ඔයා හිතන්නෙ? මෙතනට ඇවිල්ල අඩුගානෙ මගෙ කම්මුල වත් ඉඹින්නේ නැද්ද?" අනන්‍යා විස්මයට පත්වූ ස්වරයකින් විමසුවාය. එවදන් ඇසූ ස්වාමිනාදන් මහතා අවසානයේ මෙතෙක් ඉතා උනන්දුවෙන් කියවූ ද හින්දු පුවත්පත කියවීම අත්හලේය. ඔහු හිස ඔසවා අනන්‍යා දෙස බලාගත්වනම පුවත්පත ඉතා ප්‍රවේශමෙන් නවා අසලවූ කනප්පුව මත තැන්පත් කලේ අද දවසින් මතු ජීවිතයේ ඔහු ගෙවනා සෑම දිනකම ඒ පුවත්පත නොවරදවා කියවීමට දැඩිව අධිෂ්ඨාන කොටගත් සේය.

ඉක්බිති තම දියණිය දෙස තවත් මොහොතක් බලා සිටි ස්වාමිනාදන් මහතා ඔහු හිඳහුන් සෝපාව සුරතින් දැක්වීය. "අනන්‍යා මෙන්න මෙතනට ඇවිල්ල ඉඳගන්නව ළමය විකාර නැතුව"

"තාත්තෙ…." ස්වාමිනාදන් මහතා වෙත ගිය අනන්‍යා පහත්ව ඔහුගේ කම්මුල සිපගත්තාය. එක්වරම මසිත පැන නැඟියේ දැඩි ඊර්ෂ්‍යාවකි.

ඒ මොහොතේම යාබද කුටියෙන් නික්ම යලිත් සාලය පුරා පැතිර ගියේ අර කිසිවකුගේ ගෙල මිරිකන්නාවිට උගුරෙන් නික්මෙන භයංකර හඬට හාත්පසින්ම සමාන ශබ්දයයි. "ආ..අම්මා ගායනය පටන් අරගෙන…" ඒ ඇසූ අනන්‍යා පැවසූයේ මදසිනහවක් පාමිනි.

"ඔව් ඇති යන්තං දැන්වත් වැඩේ පටන් ගත්ත" ස්වාමිනාදන් මහතා තෘප්තිමත් සිනහවක් පෑවේය. "ඔයාට කියන්න පුලුවන්ද ඒ රාගය මොකක්ද කියල?"

අනන්‍යා තම දෙනෙත් පියාගත්වනම හිස මඳක් පසෙකට ඇලකොට නලළද රැළිගන්වාගනිමින් එම ගායනයට සවන් දුන්නාය. ඇගේ එම ඉරියව්ව කොපමණ සරාගීද යත් මම ආශ්වාස ප්‍රශ්වාසය පවා අමතක කොට ඇය දෙස දෑස් විදහා බලා සිටින්නට වූයෙමි.

" අහ්ම්ම්ම්............." ස්වාමිනාදන් මහතා උගුර පාදන හඬින් තිගැස්සී එදෙස නෙත් යොමුකල මා දුටුවේ ඔහු රැළිකොටගත් දෙබැමින් යුතුව දැඩි අප්‍රසාදය හඟවමින් මදෙස බලාසිටිනා ආකාරයයි. මම දැඩි වරදකාරී හැඟීමකින් යුතුව සුරත මුවට ලංකොට කැස්සක් සඟවාගන්නා මුවාවෙන් සැණෙකින් ඉවත බලා ගතිමි.

"මල්හාර් නේද?" අනන්‍යා දෑස් පියාගත්වනම පවසා තව මොහොතක් සවන් දුන්නාය. "ඔව් මල්හාර් තමයි..මට සහතිකයි…" දෑස් විවර කොට ඈ පැවසූයේ තම පියාණන් දෙස බලා සිනාසෙමිනි. ස්වාමිනාදන් මහතා හිස සලා ඇය නිවැරදි බව ස්ථිර කළේය.

"දැන් මේ ඔය රාගද මොනවද ඔක්කොම කීයක් විතර තියනවද?" මම පියා සහ දියණිය දෙස මාරුවෙන් මාරුවට නෙත් යොමුකරමින් ඇසූයේ මෙම සංගීතය පිළිබඳ සාකච්ඡාවට මම ද කෙළෙසක හෝ සහභාගි වියයුතුයැයි දැඩි අදිටනිනි.

"ම්ම්ම්....ඔක්කොම තියනව මම හිතන්නෙ දාහක් විතර....එහෙම නේද තාත්තෙ?" අනන්‍යා විමසුවාය.

"හ්ම්ම්ම්. ඔව්..අඩුම ගණනෙ දාහක් විතරවත් තියනව...මේ ළමය කර්ණාටක සංගීතය අහන්නෙ එහෙම නැද්ද?" අනන්‍යාගේ ආගමනයට පෙර තමුං හෝ ඔහේ යනුවෙන් මා ඇමතූ ස්වාමිනාදන් මහතා එක්වරම ළමයා යනුවෙන් මා අමතන්නට කල්පනා කොට ඇත.

"මම අහන උලව්වක් නෑ අයිසෙ තමුසෙලාගේ බම්බු කර්ණාටක සංගීතෙ…. කෙහෙම්මල් කර්ණාටක සංගීතෙ" මම එසේ සිතුවා පමණකි. "එච්චරම නම් අහන්නෙ නෑ. හැබැයි එකක් තියෙන්නෙ කර්ණාටක සංගීතය හරිම ලස්සනයි" මම ස්වාමිනාදන් මහතා අමතා පැවසූයේ එළෙසය.

"තාත්ත කල්කටා වල වැඩ කරද්දි අම්ම එහෙ ටැමිල් සංගම් එකෙන් පවත්තපු ගායනා තරඟ දෙකකින් පළවෙනි ස්ථානෙ දිනල තෑගිත් ගත්ත." අනන්‍යාගේ ස්වරයෙහි වූයේ තම මව පිළිබඳව ඇතිවූ ආඩම්බරයක් වැන්නකි.

"ඒත් එයා චෙන්නයි වලට ආවත් හරි ගායනය නැවැත්තුව…." ස්වාමිනාදන් මහතා පැවසූයේ සියළු අපේක්ෂා භංගවූවකුසේ දෑත් ඉහළ දමමිනි.

"ඇයි අනේ ඒ? මහ අපරාදයක්නෙ…….." මම අනන්‍යා දෙසට හිස හරවා විමසූයෙමි. 

"ඒකට හේතු එකක් නෙවෙයි ගොඩක් තියනව" මාතෘකාව වෙනස් කරන ලෙස අනන්‍යා මට සුරතින් සංඥා කළාය.

"අර ඔයාගෙ නැන්ද කෙනෙක් එනව කියල කිව්ව නේද? කෝ එයා ඇවිල්ලද ඉන්නෙ?"

"ඔව්..ඔව්..ශෝභා නැන්ද ඇවිල්ල ඉන්නෙ. අන්න එයා කුස්සියෙ මොනවද මන්ද කරනව...ක්‍රිෂ්.ඔයා දන්නවද?  ශෝභා නැන්ද කියන්නෙ අපෙ තාත්තගෙ ලොකු අක්ක"

ශෝභා නැන්දා තම බාල සොහොයුරාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වේවායයි මම දෙවියන්ට යාඥා කළෙමි.

සාලය පුරා මහත් නිහැඬියාවක් රජයන්නට විය. අනන්‍යාගේ මෑණියන් රැගෙන පැමිණි පොසිලගත කුඩා නාගයින් රැසක් කෙදිනක හෝ කැණීමකින් මතුවුවහොත් මෙසේ වියයුතුයැයි මට සිතුනු කටගැස්ම සහිත තැටිය මා අසලම වූ කනප්පුව මත විය. 

"නිකම්ම ඉන්න එකේ මේකක් වත් කාල බලමු. නැන්දම්මගෙ වැඩ කොහොමද කියල බලන්ටත් එක්ක හෙහ්..හෙහ්" මම එසේ සිතමින් එයින් එක් දඟරයක් ගෙන සෙමින් සැපුවෙමි. ඉන් කරස් යන හඬින් නිකුත්වූ ශබ්දය සාලය පුරා පැතිරගිය දැඩි නිශ්ශබ්දතාවය බිඳ දැම්මේය. ස්වාමිනාදන් මහතා තම කළු පැහැ තොල් තදින් පියාගත්වනම මදෙස රවා බැලීය. අනන්‍යා සිනහව වළක්වා ගැන්මට තැත්කරමින් හිස පහතට හරවා ගත්තීය.

මම පොසිලගත කුඩා නාගයින් ආහාරයට ගැනීම අත්හැරදැමීමට තීරණය කළෙමි. එහෙත් ඒ සමඟම මේ නිශ්ශබ්දතාවය බිඳින්නට මම කුමක් හෝ කළයුතුය. වසර කිහිපයකට පෙර මම කියවූ "සිත් දිනාගැන්මේ නොවරදින මඟ" නම් උපදේශාත්මක ග්‍රන්ථය හදිසියේම මගේ මතකයට නැඟිණි.

එහි පුන පුනා සඳහන් වූයේ කිසිවකු මිතුරු කොට ගැන්මට ඔබට අවශ්‍යනම් ඔවුන් සහ ඔවුන් කරනා රැකියාව හෝ විනෝදාංශ පිළිබඳව නිතර ඔවුන් සමඟ කතා කලයුතු බවත් එහිදී ඔවුගේ නම් නිතර සාකච්ඡාවට කෙසේ හෝ ඇතුළුකොට ගැනීමට වගබලාගතයුතු බවත්ය.

"ඉතින් ස්වාමිනාදන් මහත්මයා..ඔබ මම හිතන්නෙ ඉන්දියාව පුරාම රජකාරි කරල ඇති නේද?" එම ග්‍රන්ථයේ සඳහන් වූ උපදෙස් පරිදි කටයුතු කීරිමට ඉටාගත් මම අනන්‍යාගේ පියාණන් වෙතින් විමසීමි.

"ඔව් තැන් තුනහතරක වැඩ කරල තියනව. ඒත් කොහොමින් කොහොමින් හරි අන්තිමට මම මෙහෙට හිරවුනානෙ."

"මෙහෙට හිරවුනාය කිව්වෙ? මම හිතුවෙ චෙන්නයි කියන්නෙ ඔබ උපන් නගරය නිසා මෙහෙ සේවය කරන්නට ලැබීම ඔබට ලොකු සතුටක්ය කියල……." මම විශ්මයට පත්ව විමසීමි. 

ස්වාමිනාදන් මහතා මාදෙස අප්‍රසාදය හඟවන බැල්මක් හෙලා වහා ඉවත බාල ගත්තේය. ඔහුගේ සිත් රිදවන හෝ පැවසිය නොයුතු යමක් මගෙන් නොදැනුවත්වම පැවසිණිදැයි මම වමතින් දෙනෙත් වසාගත්වනම කල්පනා කළෙමි.

"මම පොඩ්ඩක් බලල එන්නම් ශෝභා අක්ක මොකද කරන්නෙ කියල. අනික මම හිතන්නෙ දැන් අපි කෑවොත් හොඳයි…" ස්වාමිනාදන් මහතා අසුනින් නැඟිට සාලයෙන් පිටවී ගියේ එසේ පවසමිනි.

ඔහු පිළිබඳව මට අනන්‍යාගෙන් විමසියයුතු ප්‍රශ්ණ දහසක් වූවද මට අවශ්‍ය වූයේ ඊට පෙර ඇය සිප වැළඳ ගැනීමටය. මගේ සිතැඟි ක්‍රියාත්මක කරනු උදෙසා මම අසුනින් නැඟිටීමට උත්සාහ කලද මගේ අරමුණ වහා වටහාගත් අනන්‍යා මා වැළැක්වූයේ දෑතම ඔසවමිනි.

"මේ නැඟිටින්නෙ එහෙම නෑ ඔතනින් ...තේරුණාද?"

"මොකක්ද කිව්වෙ?"

"ඔතනින් නැඟිටින්න එහෙම එපා කියල කිව්වෙ. අපි දෙන්න අතරෙ අවම වශයෙන් අඩි තුනකවත් පරතරයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. තේරුණාද ඔහෙට?"

"මොන විකාරයක්ද මේ කියන්නෙ? මෙතන වෙන කවුරුවත් නෑනෙ අපි දෙන්න විතරයිනෙ ඉන්නෙ"

"මොකෝ නැතුව? ඔය ඇහෙන්නෙ නැද්ද මගෙ අම්ම අර එහා කාමරේ සින්දු කියනව.."

"ආ එහෙමද?? මේ පැත්තෙ ඒකට කියන්නෙ සින්දු කියනව කියලද? දැනගත්ත එකත් හොඳයි එක අතකට. අපේ පැත්තෙ නම් ඔය වගෙ සද්දෙකට කියන්නෙ…"

අනන්‍යා වහා හිස දෙපසට සලා මා වැළැක්වූවාය. "නෑ..නෑ...මට ඒ ගැන දැනගන්ට කිසිම ඕන කමක් නෑ…" ඇය සුරතින් මුව වසාගෙන කිකිණි හඬින් සිනාසුණාය.

"අනික මම මේ කියන්නමයි හිටියෙ. ඔයාටත් නරකද කර්ණාටක සංගීතය ටිකක් ඉගෙන ගත්තොත්. මේ වැඩිය ඕන නෑ...ඔය රාග දහයක් දොළහක් වගෙ ඉගෙන ගත්තනම් ඕනවටත් වැඩියි."

"මොකක්? කර්ණාටක සංගීතය ඉගෙන ගන්ට? මේ මම?" මම යලි සෝපාවෙන් නැඟී සිටීමට තැත් කළෙමි.

" දැන් මම එක පාරක් කිව්ව නේද ඔතනින් නැඟිටින එක සපුරා තහනම්ය කියල" ඇය දබරැඟිල්ල ඔසවා මට අනතුරු හැඟවූවාය. මම යලිත් සෝපාවේම අසුන් ගතිමි.

"තාත්ත මේ දවස්වල එයාගෙ බැංකුවෙ ලොක්කො ගැන හුඟක්ම කලකිරිලයි ඉන්නෙ" මඳ නිහැඬියාවකට ඉක්බිති අනන්‍යා පහත් හඬින් පැවසුවාය. "ඇත්තටම තාත්තගෙ පළපුරුද්ද සහ සුදුසුකම් බැලුවම එයාට බෑන්ක් ඔෆ් බැරෝඩා චෙන්නයි ශාඛාවෙ මැනේජර් කම ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම"

"ඉතිං මොකද වුනේ?"

"ඔයා දන්නවනෙ ක්‍රිෂ්... ලෝකෙ කොහෙත් වෙන්නෙ ඕකනෙ. සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන්නෙ නෑනෙ" අනන්‍යා දිගු සුසුමක් පිට කලාය. 

"කෝ ඔයාගෙ මල්ලි?" මාතෘකාව වෙනස් කිරීමට මට අවශ්‍යවිය. අනන්‍යා දුක්මුසුව පසුවනු දැකීමට මම කිසිසේත්ම නොකැමැත්තෙමි.

"ආ..මල්ලි කලින්ම නිදියනව. එයා මේ දවස්වල පාඩම් කරන හින්ද පාන්දරම නැඟිටිනව..ඒ හින්ද කොහොමත් කලින්ම කාල නිදියනව."

කවුරුන් හෝ සාලයට දෙසට පැමිණෙන පියවර හඬ ඇසෙන්නට විය.

"මේ ශෝභා නැන්ද ඉස්සරහ ටිකක් පරිස්සමින් කතා කරන්න. මම කියන්නද? ඔයා පුලුවන් තරම් අඩුවෙන්ම කතා කරන්නකො. එයා කියන එව්වට හූමිටි තිබ්බම හොඳටම ඇති.." අනන්‍යා ඉදිරියට නැවී පහත් හඬින් පැවසුවාය.

"ඒ මොකද ඒ? හරි වැඩක්නෙ ඒක...." මම මගේ නොරිස්සුම සඟවාගන්නට කිසිදු උත්සාහයක් නොදැරීමි.

*********************************

සටහන - ඉන්දීය රාගධාරී සංගීතයෙහි මල්හාර් රාගයට හිමිවනුයේ ඉතා වැදගත් ස්ථානයකි. නිවැරදි ලෙස මල්හාර් රාගය ගායනා කල පසු වර්ෂාව ඇතිවන බව විශ්වාස කෙරේ. මල්හාර් රාගයෙහි නිපුණ ටනා සහ රිරී නම්වූ සොයුරියන් දෙදෙනෙකු පිළිබඳව අනුවේදනීය පුරාවෘත්තයක් ඉන්දියාව පුරා ප්‍රචලිතව ඇත. මහා අක්බාර් අධිරාජ සමයෙහි සිදුවූවේ යයි කියවෙන මෙම කතාපුවත පිළිබඳ විස්තරයක් මෙම වියුණුවෙහි දැක්වේ.

Monday, February 6, 2017

480. ශිශිර සඳ මඬල යට....



Winter moon over a frozen landscape - Google Images

Belated Winter so frosty,
Resembling thorns stabbing thro' hair,
Nothing to prevent the coldness,
What else but to stoically endure,

Rising misty moon is shivering too,
Whispering to junipers wearing snow flakes,
Spread your arms wide as wide you can amigos,
Embrace me in a bear hug so tight,

Glistening pathway that runs lakeward,
Downy slivers of snow lay beside,
Jingling sounds can be heard even,
When crushed beneath my steady footsteps,

Wiping away a feather of snow from my brow,
Weathering the wind that howls ceaseless,
Stepping on with a tenacious mindset,
Towards the starlight flickering yonder,

Saturday, February 4, 2017

479. A Traveler Under A Wintry Moon………….

සඳ පහනින් බබලන ශිශිර රාත්‍රියක් - Google Images


පමාවී සැපත්වූ ශිශිරය,
කටු අනී කෙස් අතරින් මහිසට,
හිස් වැස්ම ද අමතක වූ සඳ,
කුමක් කරමිද විඳිනු මිස මේ කටුක සීතල,

මහත් සඳ ඇත සීතලේ වෙව්ලමින,
හිම පියලි පැළඳි තුරු වෙත කොඳුරමින,
පත් ගිලිහි නුඹ දෑත් දිගහැර,
වැළඳගනු මා ළයට තදකර,

විල්තෙර කරා දිවෙන මාවත,
අසබඩ පතිත හිමපත් පයට යටවෙන,
සිහින්හඬ පවා සවණට ඇසෙන,
මහත්වූ හුදකලාවකි දසතම,

දෑසමත පතිත හිම පියලි පිසදමමින,
මෑත කොඳුරන මඳනලද මැඩගෙන,
දෑත ළයමත තරව බැඳගෙන,
තිරසරව පියවර තබන්නෙමි,
ඈත නිම්තෙර දිළෙන තරු එළිය වෙත,

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...