Friday, April 1, 2011

71. කිසිදා මැකී නොයන.......... ඉපැරණි ආලය

පසුගිය සති අන්තයේ තිබුනු රැස්වීමකට සහභාගි වෙන්න විහාරමහාදේවී උද්‍යානයට උදෑසනින් ම යන්නට සිදුවුනි. එය අවසානයේ දියැණියත් සැමියාත් සමගින් ඔහුගේ කාර්යාලයට ගියෙමි. හැමවිටම වාගේ එහි ගිය විට මා රැ‍‍ඳෙනුයේ එහි පෙන්ට්හවුසිය සමගින් ඇති රූෆ් ටෙරසය මතය. එ නම් 8 වෙනි හෝ 9 වෙනි මහල මතය. එයට විහාරමහාදේවියේ සතුටු උයන පරිශ්‍රයත්, විහාරමහා‍දේවියේ විශාල පරාසයකුත් හොඳින් දිස්වේ. සමහර දිනෙක රැස්වීම් වලට ප්‍රථම මෙහි රැඳී සිටින මම අප මිතුරන් එකිනෙකා එහි ඇදෙන අයුරු බලා සිටින්නෙමි. ඉදින් එදින දියැණිය එහි සැපැත් වූ සැනින් නිදන්නට වූ නිසාවෙන්, කවුළුවක් ආසන්නයේ තබා ගත් පුටුවේ අසුන්ගෙන දියැණිය ඔඩොක්කුව මත තබාගෙන අවට නරඹන්නට වීමි.


මේ මොහොතේ මගේ දෙනෙත් නිතැතින්ම ඇදුනේ ඒ ආසන්නයේ තිබුනු මගේ හදවත පතුලේම රැඳුනු ගොඩනැගිල්ලක වහලය මතයි. මට ඒ වෙලාවේ ඒ වහල පෙනුනේ අයිසින් කරන ලද කේක් ගෙඩියක් විලසිනි. ඒ තරමට ම මට එය කන්නට තරම් ඒ මොහොතේ සිතුවිලි පහළවිය.

ඒ ගොඩනැගිල්ල වෙන කිසිවක් නොව, මගේ පාසල් සමය ආරම්භයේ සිටම මාත් එක්කම සිටි, මගේ පාසල් සමයේ මුල්කාලයේ දිනපතා සවස් යාමයේ මා රැකබලා ගත්, මට හිතේ හැටියට මේසයක් මත පොතක් බදාගෙන නිදන්නට ඉඩදුන්, නිදි නැති වෙලාවට දහස් ගණනක් වූ සිය පොත් එකතුවෙන් එකක් කියවන්නට දුන්, ඒ මාහැඟි ස්ථානය කොළඹ මහජන පුස්තකාලයයි.

ආදරණීය පුස්තකාලය!

නුඹ මට මගේ ‍ගෙදර වගෙයි.

මම......... ඉස්සර නුඹ තුරුලේ සැනසුනු, නුඹෙන් මහත් වූ දැනුමක් ලද, එහෙත් දැන් මාසෙකට සැරයක්වත් ගෙදර නොයන ආදණීය දියැණියක් වගෙයි..........

මගේ පුස්තකාල ආගමනය

එම සිද්ධිය සිද්ධ වුනේ 1988 වර්ෂයේදීයි. ඒ මා පළවෙනි ශ්‍රේණියට ඇතුලත් වූ අවුරුද්දයි. පාසල් ඇරී අම්මාගේ කන්තෝරුවේ කටයුතු අහවර වන තෙක්, කාලයක් මම අම්මාගේ කන්තෝරුවේ නිදිකිරමින් කාලය ගත කෙරුවෙමි. සැබවින්ම නිදි කිරුවේ බොහොම අල්ප වශයෙන් බව කිවයුතුය. ඒ මන්ද යත් අම්මාගේ කන්තෝරු වාසීන් සමඟ සාකච්ඡා කිරීමට මට එමට කරුණු විය. ඒ අයටත් මාගෙන් දැන ගැනීමට බොහොම කරුණු විය. මට ඇවිදින්නට ද මැද මිදුල් දෙකකින් යුතු, මහා විශාල ඉඩ අවකාශයක් විය. (මට අමතක විය කීමට- මගේ අම්මා සේවය කරනුයේ කොළඹ මහා නගර සභාවේය. එකල අම්මා සේවය කලේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ධවල වර්ණයෙන් බබලමින් සිටිනා ඒ සුවිශාල ගොඩනැගිල්ල තුලය).

විටෙක මම කොමසාරිස්තුමා ඇත බව නැත බවට පෙරළමි. නැතහොත් නැත බව ඇත බවට පෙරළමි. ඒ ඇඟිලි තුඩින් ඉස්සීය. විටෙක යාබද දෙපාර්තමේන්තු වල සිටින අම්මාගේ ලබැඳි මිතුරියන් බලන්නට යමි. ඒ ආන්ටිලා හරි ම හොඳය. මා එන බව දන්නා ඔවුන් නොයෙකුත් කඩචෝරු, ලේන්සු පොඩි, වෛවර්ණ පැන්සල්, (කන්න හිතෙන තරම්) සුවඳ මකන කැබලි ලඟ තබාගෙන බලා සිටිති. ඔවුන් අම්මාටත් වඩා මාගේ මිතුරියන් මෙනි.

දැන් සිහිවන විටත් සිනහා පහළ වේ. ඇත්තටම මොන මොන බහුබූත කථා මං ඔවුන් සමඟ කියවන්නට ඇතිදැයි විටෙක මට සිතේ. ඒ තරමට ඔවුන් මගේ කථා අසන්නට කැමතිය. යන දිශාව පවසා ගියද, අම්මාට මා සොයා ගැනීමට කන්තෝරුව තුල දුරකථන ඇමතුම් දෙකක්වත් අඩුම වශයෙන් දීමට සිදුවේ. එයට හේතුව ගිය දිහාවේ සිට නැවත එන අතරමග තවත් යෙහෙළියන් මුණ ගැසීමට යෑමට මට සිදුවන නිසාය. මගේ පාසලේ මගේ පංතියේ යෙහෙළියකගේ අම්මාත් එම කන්තෝරුවේ වූවාය. ඒ ආන්ටි මා අමතන්නේ “සරුංගලේ ආ කොහෙද අද ඉගිලෙන්නේ” යනුවෙනි. මා ඒ කන්තෝරුවේ සැබවින්ම සැරුවේ සරුංගලයක් මෙන් සැහැල්ලුවෙන් බව සිහි කරන්නේ හිතේ පිරුනු සතුටකින් මෙන්ම ගෙවී ගිය කාලය පිළිබඳ සියුම් කණගාටුවක්ද සිතේ දරා ගනිමිනි. මට හිතෙන අන්දමට අද දින කුඩා දරුවෙකුට එසේ සරන්නට එම කන්තෝරු වාසීන් ඉඩ නොදෙනවා විය යුතුය.

ඉඳින් මගේ සරුංගල් ජීවිතයට යම්කිසි බාධාවක් එල්ල කරමින්, අම්මා තීරණයකට එළඹියාය. එනම්, සතියේ දින දෙක තුනක් හවස් යාමයේ මා මහජන පුස්ථකාලයේ, ළමා අංශයේ ගත කළ යුතු බවයි. සමහරවිට මුලදී එය මට වදයක් මෙන් දැනෙන්නටත් ඇති. ළමුන් මා මෙන් යාවජීව සාමාජිකත්වයෙන්, දහවල් 12 සිට හවස 4.30 වනතුරු එහි රැ‍ඳෙන්නේ නැති තරම් විය. බොහොම ළමුන් පැමිණියේ වර්ණ ඇඳුම් වලින් වුවද මම කෙලින්ම පාසලෙන් එහි යන බැවින් පාසල් නිල ඇඳුමින්ම පසු වුනෙමි.

මුල් කාලයේ, පොත් තෝරා, පොත් කියවා, පොත් බලා, බොහෝ විට පොත් ගොඩක් මේසේ උඩ තබා‍ගෙන, ඒවා බදාගෙන නිදන්නට පුරුදු වී සිටියෙමි. සමහර දිනෙක් අම්මා ඇවිත් ඇහැරවන තෙක් මම නිදි සුව වින්දෙමි. ඉන් පසුව අම්මාගේ අතේ එල්ලි වැනී වැනී ගිය මා, මට මේ මොහොතේ මැවී පෙනෙනවා වැනිය.

කෙසේ හෝ එහෙම ගත වූ සුළු කාලයෙන් පසුව කෙමෙන් කෙමෙන් පොත් කියැවීමට උනන්දුව වැඩි වත්ම නිදන්නට තිබූ උවමනාව ප්‍රතිලෝමව සමානුපාතික වී ගියා වැනි විය. මුලදී පුස්තකාලයේ බදදා දින නිවාඩු බැවින් එදිනට අම්මාගේ කන්තෝරුවට යෑමට ලැබිම ගැන සතුටු සිතින් පසු වුවද, පසුව “අයියෝ, අද පුස්තකාලේ යන්න නැහැනේ” කියා සිතෙන තරමට මම පුස්තක ලෝලියෙකු බවට පත් වී සිටියෙමි.

මුල් අවුරුදු 3ක් 4ක් යනතුරු අම්මා පුස්තකාලයේ සාමාජිකත්වය මට ලබා නොදුන්නාය. එයට හේතුව නංගිලා දෙන්නා කුඩා බැවින් ගෙදර ගෙනියන පොත් වලට සිදුවන්නට තිබූ අලාභහානී වැඩි කමයි. පසුව මම 4 වන හෝ 5 වන වසරේ පසුවන විට සාමාජිකත්වය ලදිමි. ඒත් ඒ කොන්දේසි සහිතවය. ලබාගන්නා පොත් පාසල් ගෙන යාම සපුරා තහනම් බව ප්‍රධාන මෙන්ම බරපතලම කොන්දේසිය විය. ඒත් මම අම්මාට හොරෙන් පොත් පාසල් ගෙන ගියෙමි. “මගුල් කෑම” කිරි කිරියේ අළුත්ම අලුත් පොතක් එසේ ගෙන යෑමෙන් නැති කරගැනීමට මා හට හැකි විය. මට සක් සුදක් සේ විශ්වාසයක් තිබුනේ මාගේ හොඳම මිතුරිය එය කියවන්නට ඉල්ලා ගත් බවයි. ඇය හඬමින් පැවසුයේ එසේ ගත්තද නැවත මට දුන් බවයි. මම ඇයට මා පත් වී ඇති තත්ත්වය හැඬූ කඳුලින් විස්තර කලෙමි. පසුව දින දෙකකට පසු ඇය ‍පොත ගෙනත් දුන්නාය. ඇගේ නැගණිය විසින් අඳින්නට යෙදුනු බලිකුරුටු කිහිපයක්ද එය සමග විය. කෙසේ හෝ මේ සිදුවීම මෙයින් හමාරවීම ගැන පුංචි කමට මං දෙවියන්ට පිංදුන් බව දැනුදු මට හොඳ හැටි මතකය.

එහෙත් එයින් පාඩමක් ඉගෙන නොගත් මම 7 වන වසරේදී, “විද්‍යා විනෝද කථා” නම්, බඳින ලද පොතක් නැති කරගෙන අම්මාගෙන් හොඳ හැටි බැනුම් අසා, අම්මාට දඩ ගෙවීමට සැලැස්සුවෙමි. බඳින ලද පොතක් නිසාවෙන් දඩය වැඩි ප්‍රමාණ විය.

එකල මා කියැවූ පොත් යනුවෙන් මා සතුව ලැයිස්තුවක් විය. එය 400 සීමාව පසුවෙමින් පවතිද්දී එම ලැයිස්තුවද ගෙදරදීම සොරකමකට ලක්විය. එය සොරා ගත් කෙනා ගැන ද අනුමානයක් මා සතුව ඇතත්, ඇය කුමන හේතුවක් අරඹයා මා හට පමණක් ම වටිනා, වෙන කිසිවෙකුට නොවටනා එම ලැයිස්තුව සොරකම් කලාදැයි දැනුදු වෙන වැඩක් නැති වේලා වලට කල්පනා කල යුත්තක්ව ඇත.

පෙරකී පරිදි, මා මෙන් යාවජීව සාමාජිකත්වයෙන් දින භාගයක් පුස්තකාලය තුල ගත කරනා ළමයින් වෙන නැති බැවින්, ළමා පුස්තකාලයට යැයි වෙන් කල වැසිකිලි එහි නැත. යනවා නම් යා යුත්තේ ලොකු අයියලා අක්කලා තුරුළු වී ඉන්නා කැන්ටිම පැත්තේ වැසිකිලියටය. එහි යෑම තබා, ඒ අසලින් එන විට ඇස් දෙක උඩ තබාගෙන ඒමද එකල මා දෙමව්පියන් විසින් තහනම් කරන ලද්දක් විය. ඉඳින් අම්මාගේ නියමය වූයේ, පුස්තකාල වාසී ආන්ටිලා භාවිතා කරන වැසිකිළිය මා විසින් භාවිතා කළ යුතු බවයි. හරස් ප්‍රශ්න මතුවුවහොත් “ස්ටාෆ්” යන වදන පමණක් පැවසීම ප්‍රමාණවත් බව අම්මාගේ අදහස විය. (කොළඹ මහජන පුස්තකාලය, කොළඹ මහා නගර සභාව යටතේ පාලනය වන ආයතනයකි. නමුදු අම්මා ස්ටාෆ් වූවාට මං? එමනිසාවෙන්දෝ ඒ වදන මගේ දිව අගට කිසි දා නොආවේය). ඉඳින් හරස් ප්‍රශ්න මතුවිය හැකි අවස්ථා අවම වන අවස්ථා මැනවින් අවබෝධකරගෙන, විගස ඒ පැත්තේ ගොස් පැමිණීම මගේ සිරිත විය. එයට හේතුව සමහර ආන්ටිලා, “ආ...... මේ බබා කොහෙද මේ යන්නේ?” කියා ඇසුවද, තවත් සමහර බැරෑරුම් ආන්ටිලා, “මේ ළමයා කවුද? කවුද කිව්වේ මේකට එන්න කියලා” වැනි ප්‍රහාරාත්මක වදන් එල්ල කරන බැවිනි.

මෙසේ කාලය ගත කරගෙන කරගෙන යනවිට සමහර දිනවලදී අනර්ඝ ගණයේ පොත් හතර පහ එක වර ලැබෙයි. ඒ කෙසේ වුවද ගෙදර ගෙන යා හැක්කේ පොත් දෙකක් පමණී. ඉඳින් මා විසින්ම සොයා ගන්නා ලද අතිබිහිසුණු, අතිභයංකර ස්ථාන කිහිපයක මේ පොත් සඟවා යෑම මගේ සිරිත විය. ඉතා උස්වූත්, කෙනෙකුට ලේසියෙන් ලඟා විය නොහැකි වූත් ස්ථාන වූ පොත් රාක්ක වල ඉහලම තලයේ රඳවමි. කිසිකෙනෙකුට දණ ගෑමෙන් තොරව ලඟා විය නොහැකි ස්ථාන වූ පොත් රාක්ක යට සඟවමි. වැඩි දෙනෙකු ලඟා නොවන අඳුරු පැහැයෙන් වැසුනු ඈත කෙළවරේ ඈතම රාක්කයේ සඟවමි. ඉංග්‍රීසි පොත් ගොඩේ සිංහල පොත් සඟවමි. (පුස්තකාලයේදී දිනක් හඳුනා ගත් මිතුරියක් උගැන්වූ පරිද්දෙන්) මහා විශාල පොත් දෙකක් මැද හීනි පොත් රඳවමි. මේ ආකාරය කී නොකී බොහෝ ආකාරයන් අනුගමනය කරමින් පොත් සඟවමි. මෙහි ඇති හොඳ ම දේ නම්, එසේ සඟවන්නට යන විට ඊට ප්‍රථම ඒ පැත්තේ ආ කෙනෙක් සැඟවූ අනර්ඝ පොත් හමු වීමයි. තවත් කල් යන විට මාස ගණනකට පෙර මා විසින්ම සඟවන්නට යෙදුනු පොත් හමු වීමද ඉතාමත් වටිනා කාරණයක් විය. තව තවත් කල් යන විට එකම යාවජීව සාමාජිකයා වූ මට සඟවන්නෝ සඟවන තැන් ඇතැඹුලක් සේ පැහැදිලි කාරණයක් වූ බැවින් අමුතුවෙන් අනර්ඝ පොත් සොය සොයා සිටීමට සිදු නොවීය.

මෙසේ කාලය ගතවීමෙන් මගේ ළමා කාලය ගෙවුනා සේම ළමා පුස්තකාලයේ ගතකල හැකි අවධියද මගෙන් කෙමෙන් කෙමෙන් දුරස් විය. එය එකළ නම් කවදා එළඹේදෝයි බලා සිටි කාරණයක් වුවද, පසුව මට වැටහුනේ වැඩිහිටි පුස්තකාලයට වඩා ළමා පුස්තකාලය මා හට සමීප බවයි. එහි කාලය ගත කරන්නට මගේ සිත කැමති බවයි. ඉඳින් උසස් පෙළ කරන සමයේ මිතුරියන් පාඩම් කරන්නට අදාළ ස්ථානයට යද්දී මම සෙමෙන් සෙමෙන් ළමා පුස්තකාලයට ඇදෙමි. එහි ඈත කෙළවරක සැඟවී මෙන් පාඩම් කටයුතු කරමි. අහෝ! නපුරු ආන්ටිලා පැමිණ මා එම ස්ථානයේ ගත කිරීමට නොසුදුසු තරමේ වූ වැඩිහිටියෙක් බැවින් වහාම එයින් පිටත් විය යුතු බව පවසයි. බොහෝ විට අම්මාගේ නම, රැකියාව පවසා ඒවායින් ගැලවුනද, ඔවුන් කොහොමවත් මා එහි සිටිනවාට කැමති නැති බව මා හට හැඟියයි. ඉඳින් ‍මගේ කළමණා එකතු කරගන්නා මම සෙමින් සෙමින් මිතුරියන් සොයා යන්නෙමි.


පුස්තකාලයේ සාමාජිකත්වයෙන් බොහෝ පොත් කියැවීමට මා හට හැකි විය. එයට හේතුව අම්මාගේත්, මගේත්, නංගිලා දෙන්නාගේත් අම්මාගේ කන්තෝරුවේ අක්කා කෙනෙකුගේත් වශයෙන් පොත් 10ක් අප අතට හැම සති දෙකකට වරක්ම පත් වීමයි. සති දෙකකදී පොත් 10 කියැව්වේ කෙසේදැයි දැන්නම් මට සිතා ගන්නට බැරි කරුණක්වී ඇත. එහෙත් සැබවින්ම එසේ කියැවූයෙමි. බස් රථයේදී, දුම්රියේදී, සමහර දිනවල රෑ එළිවනතුරු වශයෙන් කියැවූ පොත් ප්‍රමාණය ගණන් නැත. කිසිදිනෙක උඩින් පල්ලෙන් කියැවූයේද නැත. පටුනේ, පෙරවදනේ සිට පසුවදනක් වේ නම් ඒ දක්වාම කියැවූයෙමි.

පසු කලෙක පාසල් සමය අවසන් වීම ආසන්නයේදී ම සිදුවූ, පුස්තකාල සාමාජිකත්වය කල්පිරීම අළුත් කර නොගැනීමෙන් කොළඹ මහජන පුස්තකාලයේ දොරඟුළු මා හට වැසිනි. අනතුරුව බොහෝ විට පොත් මිලදී ගෙන කියවන්නට පුරුදු වූ බැවින් හා දැන් දැන් එහි සාමාජිකත්වය පිට පලාත් වාසීන්ට ලබා ගැනීම ඉතාමත් අපහසු කාරණයක් බැවින් පුස්තකාලය මට අමතකව ගියා වැනි විය.

ජනවාරී මාසයේදී කියැව්වාට පසුව පොතක් කියවන්නට කල් නොලත් බැවින්, පසුගිය දිනවල, කියවන්නට ම සිතා සිටින පොතක් ලදොද් හපා ගිලින තරමේ පොත්ගින්නකින් පසු වූ මා, ඇබ්නෝමල් මයින්ඩ්ස් බ්ලොග් අඩවියේ ද වර්ණනා කර තිබූ බුද්ධදාසි පොත ගතයුතු බව සැමියා හා දෙතුන්වරක් පැවසුවද දෙදෙනාටම තිබූ වැඩ අධික බව නිසා එය මග හැරිණ.

එසේ කාලය ගතවන විටය, මා හට පෙර කී අයිසින් කරන ලද වහල දකින්නට ලැබුනේ.

අහෝ! මාගේ කුසගින්න දෙගුණ තෙගුණ විය.

ඒ ගතවූ සොඳුරු යුගයට, ඒ පොත් මල් පිපුණු මල් ගොමුවට, සරුංගලයක් සේ සැහැල්ලුවෙන් පාවී යන්නට සිත උඩ පනිනවා වැනි විය.

එහෙත්........ චිත්‍රපටවල, නාට්‍ය වල මෙන් අපට අතීතයට යන්නට කාල යන්ත්‍ර නැත. අප කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයෝ නොවන මේ කාලය, අකාල සන්ධ්‍යාවක් නොවෙයි. එබැවින් නූඹ ඉවසා වැදෑරිය යුතුය මා දයාබර හෘදය.

එහෙත් මා හට අවස්ථා දෙකක් පෑදෙමින් පවතී. එකක් නම් දැනට මාගේ කාර්යාලය ඇති ප්‍රදේශයේ යම් ප්‍රමාණයකට විශාල පරිමාණයේ පුස්තකාලයක් පැවතීමයි.

දෙවැන්න නම් දැනට අවුරුදු 1 ½ වයස් වන දියැණියත් සමඟින්, තව අවුරුද්දකට දෙකකට පසුව මගේ ළමා කාලයට යායුතු වීමයි.

ඉඳින්.......... මා දයාබර පුස්තකාලය,

තව නොබෝ දිනකින්ම නුඹ දියැණියෝ නුඹ තුරුලේය. ඈ පිළිගන්නට අගනා පුස්තක පිළියෙන් සැරසී සිටිනු මැන.............

9 comments:

  1. අපිවත අරගෙන අක්කා .ගිහින් නේ ..ලමා කාලේට .. .. ලමාපුස්තකාලේනම් මගේත් අද්දෑකීම ගොඩක් තියනවා..

    ReplyDelete
  2. මගේ පුංචි කාලෙ ඉඳල ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම පාසැල් කාලයයි, අමතර පන්ති කාලයයි, නිදාගන්න කාලයයි ඇරුනම ඉතුරු හැම වෙලාවම වගේ ගෙවුනෙ ගාල්ලෙ පුස්තකාලෙ. පුංචිම කාලෙ, ඒ කියන්නෙ ඉස්කෝලෙ තුන වසරෙදි විතර තමයි මගෙ මතකෙ හැටියට ළමා පුස්තකාලෙට බැඳුනෙ. ඒක එහෙම උනේ අම්මයි තාත්තයි රස්සාවට ගියාම මට දවල් කාලෙ ඉන්න තැනක් නැති හන්ද. ඒ ආභාෂය හන්ද වෙන්න ඇති ඉස්කෝලෙ සිංහල භාෂා දින තරඟ වල මම හැමදාම ඉස්සරහින් උන්නෙ. ඒ ලෙවල් වලට එනකන්ම [එතනින් පස්සෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා] එතනින් පස්සෙ මහජන පුස්තකාලෙ පදිංචියට ආව.

    ReplyDelete
  3. මමත් මතකයි ඒ ළමා කාලය මටත් තිබුනා... ගමේ පුස්තකාලයට වැදී, "දැන් පුස්තකාලය වහන්නයි යන්නෙ" කියන තෙක්ම එහි රැදුනු කාලය........අක්කෙ මට මතක් කරල දුන්නාට බොහෝම පින්.... මටත් පොත් ගුල්ලෙක්ව හිටිය කාලයක් තිබුන.... ඒත් උසස් පෙල කියන රේස් එකෙ දුවන්න ගිහිල්ල ඒ ලෝකෙ මගෙන් ඈතට ගියා... හැබැයි හොඳ පොතක් අහු උනොත් අදටත් එක හුස්මට කියෝල ඉවර කරනවා...
    ඇත්තටම අක්කා මාත් ඒ අතීතයට යන්න පෙරුම් පුරන තවත් කෙනෙක්....

    ReplyDelete
  4. ඔයිට ටිකක් එහායින් තිබුණ කැම්පස් පුස්තකාලෙ සිලෝන් සෙක්ෂන් එකෙන් දුර්ලබ පොත් ගන්න බැරි තරම තද බද කාලයක් ආවම ඔය පුස්තකාලෙට ගිය හැටි මතකයි .අප්‍රේල් ස්ටඩි ලීව් එකට කැම්පස් පුස්තකාලෙ අත ඇරලා ඇවිත් උදේ ඉන්දන් හවස් වෙනකන් එක දිගට යාලුවොත් එක්ක ස්ටඩියෙ පාඩම් කරල විබාග ගොඩ ගිය හැටිත් කැන්ටිමේ වඩේ කාල ප්ලේන්ටි ගැහුව හැටිත් මතකයි. කැම්පස් එකේ හ්ටියොත් වලකට සෙට්වෙන නිසා තමයි ඔතෙනට එන්න පුරුදු වුනේ .

    ReplyDelete
  5. පුස්තකාල සහ පොත්............. අපොයි මතක් කලත් හිතට ගෙන එන්නෙ අප්‍රමාණ සතුටක්.

    පොත් ගැන කතාකරනවනම්, ඒ වගේම පුස්තකාල ගැන කතා කරනවනම්, ලියනව නම් රන්දිල්, වෙනම පොතක් ලිව්වැහැකි ඇස් පියාගෙන. ඒ තරමට මගෙ ජීවිතේට සම්බන්ධයි ඔය පොත් කියන අකුරු පිරිච්ච කඩදාසි ගොන්න.

    අපේ අම්මා මම කුඩා කාලෙ, හැම පඩි දවසටම මට මොකක් හෝ පොතක් ගෙනැවිත් දෙන එක පුරුද්දක් කරගෙන හිටියා.ඇය වෙන මොනවා මා වෙනුවෙන් නොකලත්, කියවීමට මා ඇබ්බැහි කිරීම පමණක්ම සදා ඇයට මගේ ගෞරවය හිමිවීමට හේතුවන බව නම් නොකියාම බැහැ.

    පොත් හා බැඳුනු කතා මහ ගොඩක් මගෙ හිතෙත් තියෙනව. කලින් දවසක නවම්ගෙ ලිපියක් දැකල, ඒ ගැන මතක් උනත් ආයෙම අමතක වෙලා ගියා.

    ස්තූතියි රන්දිල්, සුන්දර අතීත මතකයන් රැසකට හිත යොමු කලාට.

    You can never be too thin, too rich, or have too many books." Vogue - Carter Burden  

    "I have always imagined that paradise will be a kind of library. - Jorge Luis Borges

    ReplyDelete
  6. ලියා ඇති බස් වහර දෙස බලන කල ඔබ ඒ දින වල පුස්තකාලයේ ගත කල කාලය අපතේ ගිය බවක් හැ‍ඟෙන්නේ නැත...... සිංහල බස් වහර පොතකට වඩා මෙවැනි ජාලගත සටහනකින් බලන කල කියවීමට මා හට එකල තිබුනු ආශාව නැවත මතු වී එන බැව් හැ‍ඟේ. ජය වේවා සහෝදරී.....

    ප.ලි / සහෝදරී කියා ඇමතුවේ පිට රටක සිටින මට මෙය කියවූ කල සිය රට ගැන හැඟීමක් මතුවූ නිසායි. අමනාප නොවේයැයි සිතමි.

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  7. මගේ අම්මානම් ගෙදර හිටි නිසා ඔහොම අතීතයක් මට නෑ... ඒ ලෙවල් කාලෙදි තමා ඔයාගෙ ඔය කන්න හිතෙන වහළ යටට ගියේ..

    කියවන්න ගත්තොත් අනික් වැඩ සේරම පැත්තක තියලා ඉවරම කරන්න එන හැඟීම නිසා කාලයක් යද්දී ඒ ආසාව මඟ ඇරිලා ගියත්.. මේ ළඟකදි ඉඳලා මහත්තයාගේ ඔෆීසියේ පුස්තකාලයෙන් එයා පොත් ගේනවා.. එයා ගේන ඕනම පොතක් මම කියවනවා.. හැබැයි බස් එකේ..

    මාවම වෙනස් වෙලා කියන්නේ දැන් බහින තැන ආවා.. දැන් ඔෆීසියෙ වැඩ තියෙනවා.. දැන් ගෙදර වැඩ තියෙනවා.. දැන් ළමයින්ගෙ වැඩ තියෙනවා.. ආදී දහසක් බාධක මැද්දේ කඩින් කඩ කියවමින් සිටිමි...

    සමහර දිනෙක ගෙදර සිට ඔෆීසිය තෙක් එනවිට පොතම කියවා අවසන්ය.. :)

    ReplyDelete
  8. රන්දිල් නගෝ, උඹේ වදන් වලින් මාවත් මගේ ළමා කාලෙට අරගෙන ගියා. මම ඉස්සෙල්ලාම පුස්තකාලෙකට ගියේ මගේ ලොකු පුංචි අම්මා විසූ හලාවත ප්‍රදේශයේ ග්‍රාමීය පුස්ථකාලයකට. එක්තරා පාසල් නිවාඩුවකදි මගේ පොඩි පුන්චි විසින් හලාවත රැගෙන යන ලදුව මාව එහෙ නතර කර ආපහු ආවා. මුළු අගෝස්තු නිවාඩුවම එහෙ ගත කරන්න වූ නිසාත්, සෙල්ලම් කරන්න කිසිම යාළුවෙක් අහලා පහලක නැති නිසාත් මුළු දවසම ගත කලේ ගේ ගේ ලඟම පුංචි තිබුනු පුස්ථකාලයේ. කොහොම හරි නිවාඩුව ඉවරවෙනකොට ඒ පුස්ථකාලයේ මට කියවීමට හැකිවූ සෑම පොතක්ම, සඟරාවක්ම, පත්තරයක්ම මම කියවලා ඉවර කරලයි තිබුනේ.

    පස්සෙ කාලෙකදී දෙහිවල සහ නුගේගොඩ පුස්ථකාලවල යාව ජීව සාමාජිකත්වය අරගෙන පොත් ගුල්ලෙක් වගේ ගත කල කාලයක් තිබුනා.

    අනේ කිසිම දුකක් දොම්නසක් නැතිව පොත්වල ලියවී තිබුනු ලෝකවල සැරි සර සරා ඉන්නට හැකි කාලයක් ආපහු එනවානම්.....!

    ප.ලි : ඉලංදාරියාගේ කමෙන්ටුව දැකීමෙන් පපුව හෝස් ගාල ගියා....!

    ReplyDelete
  9. මොන හේතුවකින් හරි මේ පොස්ට් එකට පිළිතුරු සපයන්න මට මග හැරිලා... සමාවන්න මිතුරනි.... ඔබගේ අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.

    ඊයේ තනෝජා අක්කා මේ පෝස්ට් එකට ඇවිත් කොමෙන්ට් කරලා විතරක් නෙමෙයි ප්‍රචාරයකුත් දුන්නානේ. ඒ පාරේ වෙන්න ඕනා දුමි අයියා ආවේ.

    ඔව් අයියේ ඉලං මල්ලී මේ පෝස්ට් එක දාන්න කලින් ඉඳන්ම මේ ගැන උනන්දුවෙන් හිටියේ. මං ස්ටේටස් දාලා තිබුනා *කිසිදා මැකී නොයන මාගේ ඉපැරණි ආලය* කියලා. ඒ වෙලේ ඉඳන් කෝ අක්කේ අරක කෝ අක්කේ අක්කාගේ ඉපැරණි ආලය කිය කියා අහ අහා හිටියා. බොහොම දුරට මේ කථාව පෝස්ට් එකක් වුනෙත් ඉලං මල්ලී නිසායි.............. පව් කොල්ලා....... :(

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...