Friday, May 4, 2012

118. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....13

දඩයක්කාරයගෙ කතාවට මගෙ හිතේ තියන ආරළු බූරළු ඔක්කොම දාන්ට ගිහිල්ල වැඩේ අර කාගෙද කැඳ හැලිය වගෙ වෙලයි තියෙන්නෙ...:( :(

 දැන් මොකෝ කොරන්නෙ? වෙන මක්ක කොරන්නෙයි....බැඳ ගත්තු බෙරේ ගහනව මිසක....ඒ නිසා ළමයි, මට සමාවෙලා ඔය උන්න වගෙ තව දවස් කීපයක් ඉවසන්ට ....හොඳේ....විගහට ඉවර කරඤ්ඤංකො.... මේ කතාව අහවරයක් කොරන්ට බැරිවෙන්ට පහුගිය සුමාන දෙකේ වගෙ නොසෑහෙන්ට වැඩ කටයුතු වැඩි වෙච්ච එකත් එක හේතුවක්....

 ****************************************

හරි දැන් ඔන්න කතාව.....

ඒ අනුව දීර්ඝ කාලයක් පුරා කල නීරීක්ෂණ, ඒ ආශ්රයෙන් එළඹි නිගමනයන්, එසේම ගත යුතු ඉදිරි ක්රියා මාර්ග පිළිබඳව සිය නිර්දේශයන් ඇතුලත් සවිස්තර වාර්තාවක් උත්තරීතර මහ සභාව වෙත යැවූ නිල් ග්රහ ලොවෙහි ගවේෂණයෙහි යෙදෙන පූර්වජ කණ්ඩායම උත්තරීතර මහ සභාවෙහි ප්රතිචාරය බලාපොරොත්තුවෙන් ඉවසිලිමත්ම කල් ගත කලෝය.

අන්තිමට ඔන්න ආව පිළිතුරු පණිවිඩේ..1963 අංක දරණ ග්රහලෝකෙ ප්රමුඛ ජීවීන් නොනැසී පවත්වා ගැනීමට අවශ්ය කටයුතු අවම මට්ටමින් කරන්නට 1114 දරණ අභ්යාවකාශ යානයේ ගවේෂක කණ්ඩායමට අවසර දීල තිබුණ.

ඉතින් පූර්වජ ගවේෂක කණ්ඩායම මූලික පර්යේෂණ මධ්යස්ථානය පිහිටුවා ගත්තෙ අර එයාලගෙ දත්ත රැස්කිරීම් අනුව මොළයේ ප්රමාණය වැඩිම අර්ධ මනුෂ්යයින් කණ්ඩායම ජීවත් වෙච්චි සමකයට ආසන්න දූපතේ.

පූර්වජයො කලේ ඒ අර්ධ මානවයින් කණ්ඩායමේ මොලයෙ ඉතාම සුළු වෙනස් කමක් කරපු එක. මෙතෙක් අනේ සෑම සත්වයෙක් වගේ ජීවිතය රැකගැනීම සහ වර්ගයා බෝ කිරීම පමණක් ජීවිතේ පරමාර්ථ වුනු අඩ මිනිසා පූර්ණ මිනිසෙක් බවට පරිණාමය වීම ඇරඹුනේ ඉන් පසුවයි. හෙට ගැන, අනිද්දා ගැන, තව මාසයක් ඉදිරිය ගැන හිතන්න ඒ වගේම තම කණ්ඩායමේ අනෙකුත් සඟයින් සමඟ අද්වීතීය සබඳතා ඇතිකර ගැනීම යන සවිඥාණත්වයේ සහ දියුණුවේ ඉතා වැදගත් ලක්ෂණ මානවයා තුල පිළිබිඹු වීම ඇරඹුනෙත් මේ කාලෙමයි.

ඉතිං ඔහොම බොහොම කාලයක් ගත උනා. තමන් කරපු පර්යේෂණයෙ ප්රතිඵල ගැන අධ්යයනය කරමින් අනපේක්ෂිතව සිදුවූ දෝෂ නැවත නිවැරදි කරමින් පූර්වජයින් කාලාන්තරයක් අපේ මේ ලෝකෙ හිටිය.

දෙවියො කියන සංකල්පය මුලින්ම බිහිඋනේ කොහොමෙයි කියලද ඔයාල හිතන්නෙ?...අර්ධ වානර අර්ධ මිනිස් තත්වෙ ඉඳල එක් වරම සවිඥාණත්වය ලබා ගත්තම මිනිසාට නිසැකයෙන්ම වැටහුනා තමන්ට මේ තත්වය ලබා දුන්නෙ තමන්ගේම ස්වරූපයෙන් යුතු උනත් වඩා පැහැපත් අමුතු ඇඳුම් ආයිත්තම් වලින් සැරසුනු අද්භූත බලයකින් යුතු මේ ජීවීන් කොට්ඨාශය කියල...ඔවුන් හැඳින්වීමට සර්වබලධාරී දෙවියන් යන්නට වඩා සුදුසු වෙන කුමක්ද?

දෙවියන්ගේ ( පූර්වජයින් අපි මින්පසු දෙවියන් ලෙස හඳුන්වමු ) මූලස්ථානය පිහිටි කුඩා දිවයිනට මෙන්ම එහි වසන මනුෂ්ය කොට්ඨාශයට ඔවුහු දැඩි කැමැත්තක් දැක්වූහ.

දෙවියන්ගේ මඟ පෙන්වීම යටතේ සීග්ර දියුණුවක් ලැබ සියලු ශිල්ප කලාවන්හි අගතැන් පත් එම දිවයින් වැසියෝ එකල මුළු ලොව සතර දෙසම සිය අණසක විහිදුවා ලූහ. ලොව වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන වාරි තාක්ෂණයක් එමෙන්ම ඉතා උස් චෛත්යයන් වන් ගොඩ නැඟිලි ඉඳි කිරීමේ තාක්ෂණය එක්වර ස්වයංක්රීයව පහල වූවායයි ඔබ සිතන්නෙහිද?

එසේම මිසරයෙහි මහා පිරමීඩ, මායා, ඉන්කා ශිෂ්ඨාචාරයන්හි ඉතා උස් ගොඩනැඟිලි ඉදිකල තාක්ෂණය එක වරම අතුරුදන්ව ගියේ කෙසේදැයි ඔබ කෙදිනක හෝ කල්පනා කලෙහිද? මහ සාගරයේ ගිලී ගිය ඉතාම දියුණු ශිෂ්ඨාචාරයකින් හෙබි අත්ලාන්තිස් දිවයින එක්වරම විනාශ වී ගියේ මන්ද?..රාම රාවණ යුද්ධය පිළිබඳ ඔබ අසා ඇතිවාට මට සැකයක් නැත. එහිදී භාවිත වූයේ යයි සඳහන් ආයුධ සහ ඒවායින් සිදුවූ විනාශය පිළිබඳ කියවීමේදී නූතන න්යාෂ්ඨික යුද්ධයක වාර්තාවක් මෙසේ වියයුතුයැයි නොසිතෙන්නේද?

දෙවියන්ගෙන් උපකාර ලැබ සමෘද්ධිමත් වූ නමුදු මානව වර්ගයාට නිසර්ගයෙන්ම උරුම වූ අධිකාරිත්වයට අභියෝග කිරීමේ පෙළඹවීම මැඩගත නොහුණු නිසාම ඔවුහු දෙවියන්ට ද එරෙහි වූහ. එම ක්රියාවන්හි යුක්ති යුක්ත භාවය පසෙක තිබියේවා තම වසර මිලියන ගනනක් පවත්වාගෙන එන පරීක්ෂනය අත්හැර දැමීමට මැලිවූ දෙවියෝ තම අධිකාරියට අභියෝග කලවුන් නිර්දය ලෙස මර්දනය කලෝය.

බයිබලයෙහි සඳහන් මහා ජල ගැල්ම, අත්ලාන්තිස් දිවයින අනපේක්ෂිතව සයුරෙහි ගිලීයාම ඒ මර්දනයන්හි නිදර්ශනයෝය. දෙවියන්ගේ කෝපයට ලක්වූ මිනිස් වර්ගයා නොගිණිය හැකි පමණ සංඛ්යාවෙක් වරින් වර දෙවියන් අතින්ම විනාශයට පත්වූහ.ඔවුහු වගාබිමෙක අනර්ථකාරී වූ පිළිලයන් නිර්දය ලෙස විනාශ කරනා ගොවීන් ලෙස සැලකුවහොත් ඒ සත්යයට වඩාත් ආසන්න වනු ඇත.

රාවණ යනු ඔවුන් තම මූලස්ථානය පිහිටුවාගත් දිවයිනෙහි පසු කාලීනව බොහෝසේ සමෘද්ධිමත්ව නැඟී ආ මිනිසුන් කොටසෙහි අසහාය නායකයා විය.දෙවියන්ගේ ආධිපත්යයට විරුද්ධව අභියෝග කල ඔහු කිහිප වරක් දෙවියන් පැරද විය. එහෙත් අවසන විය යුතු ලෙසම දෙවියන්ගේ අසීමිත බල පරාක්රමය ඉදිරියේ ඔහු පරාජය විය.

රාවණ මහා දැනුමැති බුද්ධිමතකු මෙන්ම චිත්ත ශක්තිය ඉතා ඉහළ මට්ටමකට දියුණු කොටගත් සෘෂි වරෙයෙක් ද වීය.බහුලව චිත්ත ශක්තිය යොදා ගැනෙනා අංගම් සටන් කලාව ඔහුගේ නිර්මාණයකි.අංගම් කලාවෙහි පරතෙරට සැපත් වූවෙකු හට අතීත අනාගත සහ වර්තමානය යන කාලත්රය අතැඹුලකි.

අවසන් තුරුම්පුව ලෙස සීමිත න්යාෂ්ඨික අවි යොදා කල ප්රහාරයකින් රාවණ පරාජය වූ අතර රාවණ පුරයේ වැසියෝ බහුතරයක් මිය ගියහ. දිවි රැකගත්තෝ වනගත වූවාහු බොහෝ අසීරුවෙන් කල් ගෙවූහ. එහෙත් තම පාරම්පරික ශිල්ප ශාස්ත්ර කිසිසේත් අමතක නොකලාහු දිවි දෙවෙනි කොට ඒ රැකගත්තෝය.

පසුකාලීනව ඉන්දියාව ප්‍රමුඛ වෙනත් ආසන්න රටවලින් මේ දිවයිනේ සශ්රීකත්වය කණ වැකී මෙහි සැපත්වූ වෙනත් නොයෙක් ජන කොටස් හා සමඟ ඔවුහු සාමයෙන් කල්ගෙවූ නමුදු තම ශ්රේෂ්ඨ එමෙන්ම ප්රෞඩ වූ අතීතය කිසිසේත් අමතක නොකලාහුය. එලෙසම අංගම් සටන් කලාව පරපුරෙන් පරපුරට භක්තිමත්ව රැකගෙන පැමිණියෝය.

දහනවවන සියවසෙහි දිවයින ඉංගිරිසින්ට යටත් වීමත් සමඟ ඔවුනට බොහෝසෙයින් අසීරු කාලයක් උදාවිය.තම ආධිපත්යයට විරුද්ධව නැඟී සිටීම් වැළැක්වීමට ඉංග්රීසීන් කලේ පාරම්පරික සටන් කලාවන් සපුරා තහනම් කිරීමයි. සටන් කලාවන්හි යෙදීම මරණීය දණ්ඩන ලැබිය හැකි වරදක් බවට පත්විය.

ඉංග්රීසීන්ගේ මේ බිය සහේතුක බව ස්ථිර වූයේ 1818 කැරැල්ලෙහිදීය. ඉංග්රීසීන් පරාජය වීමට ඉතාම ආසන්න අවස්ථාවකට පත්වූ සිංහලයාගේ පලමු නැඟිටීමෙහිදී පාරම්පරික සටන් ක්රම පුළුල් ලෙස භාවිතයට ගැණිනි.කැරැල්ල පරාජය වූ පසු නැවත එවන් නැඟිටීමකට සියළු මං අහුරාලූ ඉංග්රීසීහු පාරම්පරික සටන් ශිල්පීන් විසූ ගම්මාන මුළුමනින්ම ගිනිබත් කලහ. සියළු පිරිමින් වයස් භේදයක් නොතකා ඝාතනය කරන ලඳී. පාරම්පරික සටන් කලාවෙහි කොපමණ පරිණත වුවද ඉංග්රීසීන්ගේ තුවක්කු හමුවෙහි පරාජය වූ සිංහලයන්ගෙන් අවසන දිවිරැකගත් අතළොස්සක් දෙනා වෙල්ලස්ස මහ වනය මධ්යයට පසුබැස වනචාරී දිවියකට හැඩගැසුණෝය.

එසේ සැඟවී වෙසෙමින් ද තම පාරම්පරික උරුමයන් නොනැසී පවත්වාගැනීමෙහිලා උත්සාහ දැරූවද වනය මධ්යයෙහි ඔවුනට ගෙවීමට සිදූවූ ජීවිතය ඒ කෙරෙහි මහත් බාධාවක්ම වීය.සුපුරුදු ගොවිතැනෙහි යෙදීම කිසිසේත්ම කල නොහැකි වූයේ එසේ ස්ථිර වාසස්ථානයක ඇතිව විසීම ජිවිතය අහිමිවීමට පවා හේතු විය හැකි වීමය.එබැවින් ඔවුනගේ දිවි රැක්මට කිසිදින නොකල සතුන් දඩයමට හැඩ ගැසිමට සිදුවූයේ දිවි රැකගැනීමට මිනිසුන් නොකරන දෙයක් නොමැතිබව නැවත ද පසක් කරවමිනි. මෙසේ විකල්පයක් නොමැතිවීම නිසාම ප්රාණ ඝාතයට යොමු වූවද එහි අනිවාර්ය ප්රතිඵලය වූයේ ඔවුන්ගේ විස්මිත හැකියාවන් එකින් එක ක්රමයෙන් ගිලිහීයාමය.එසේම සතතාභ්යාසයෙන් ( නිරතුරු පුහුණුව ) වැලකීම ද ශාස්ත්ර විනාශයයට තවත් හේතුවක් විය.

මෙසේ කාලාන්තරයක් ගත වූ කල්හි එක කලෙක දහස් සංඛ්යාත ගහණයකින් සමන්විත වූ ඒ ප්රෞඩ පරපුරෙහි අවසන් පුරුක වශයෙන් ඉතිරි වූයේ අප කථා නායක දඩයක්කාරයා පමණි.ඔබට දඩයක්කරයා පිළිබඳ මතක ඇතැයි මම සිතමි.මීට මාස දෙකකට පෙර මම මේ වෘතාන්තය ඇරඹුවේ හුදෙක් දඩයක්කාරයාගේ කතාව ඔබට පැවසීමටය.

දඩයක්කාරයා තවමත් රූස්ස වනස්පතිය සෙවණෙහි ඇණ තබාගත්වනම සිටියේය.

දිවා කල දැඩි රශ්මියෙන් මඳක් ඉසුඹුලනුවස් වනස්පතිය සෙවණට පැමිනි තලගොයින් යුවල ද අඳුරු වන බූටෑවෙහි සැඟව ගොස්ය.

 හිරු කෙමෙන් අස්තාංගගතව වනපෙතට අඳුර උදාවන මේ හෝරාවෙහි දඩයක්කාරයා එක්වනම දෑස් විවෘත කළේය.

 *******************************************

හරි, තවත් එකම කාරණයක් කියන්න ඕන...පූර්වජයන්ට නැත්නම් දෙවියන්ට මොකද උනේ?.....කාලාන්තරේකට ඉස්සර ඔවුන් පෘථිවිය අත ඇරල යන්න ගියා. එතකොට මිනිස් වර්ගයා යොදාගෙන ඔවුන් ආරම්භ කල පර්යේෂණය?..නැහැ, ඔවුන් ඒක අතඇරල දැම්මෙ නැහැ.

ඔවුන් යන්නට පෙර පර්යේෂණයේ ප්රතිඵල නොකඩවා සමාලෝචනය කරන්නට ඒ වගේම අවශ්ය තීරණ ගන්නට ඒ වගේම ඒවා ක්රියාත්මක කිරීමට සමත් ස්වයංක්රීය, ඉතාම ඉහළ මට්ටමේ කෘතිම බුද්ධියකින් යුතු යන්ත්රයකට පවරලයි ගියේ.

චන්ද්රයා...නැත්නම් සඳ.....ඒ ගැන ඔබ මොනවද හිතන්නෙ? කවියො කවි ලියල ඇති සඳ ගැන සිය දහස් ගණනක්, ඒ වගේම සඳ ගැන කතා, ගීත , කෙටිකථා ලියවිලත් ඇති නොගිණිය හැකි තරම්....මමත් ලියල තියනව කවි, සඳ ගැන....ඒ වගේම පුන් පෝදාට සඳ දිහා නෙතු යොමාගෙන අනිමිස ලෝචනයේ යෙදීම මගේ ප්රියතම කාර්යයක්....කුඩා කාලෙ ඉඳල අද දක්වාම.

ඒත් ඔය මතුපිටින් පෙනෙන සුන්දරත්වය, සිත් නිවන ස්වභාවයට යටින් තියෙන්නෙ මොකක් වෙන්න පුළුවන්ද කියල ඔයාල නිකමට වත් හිතුවද?....

සඳ කියන්නෙ ස්වාභාවික ලෝකයක්ම වෙන්න ඕනද? සඳ පූර්වජයින් නැත්නම් දෙවියන් විසින් තම පර්යේෂණය ( ඒ කියන්නෙ ඔබද මම ද ඇතුළුව මුළු මිනිස් සංහතියම ) පිළිබඳ කරුණු සහ දත්ත රැස් කිරීම සඳහාම නිර්මානය කල මෙවලමක් (Just a monitoring device ) වෙන්න බැරිද

සඳේ අපට නොපෙනෙන පැත්තෙ ( ඕකෙ එක පැත්තක් සදා කාලිකව පෘථිවියට පෙනෙන්නෙ නෑ ) මොනව තියනවද කියල අපි දන්නෙ කොහොමද? අනික සඳ ඝන වස්තුවක් නෙවෙයි කියල ඔයාල දන්නවද? සඳේ කුහරය ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල කවුද දන්නෙ?

රාවණ යුගය අවසන් වූයේ ක්රිුස්තු පූර්ව 2988 දි කියල හිතමු.පූර්වජයින්ගෙ පර්යේෂණ වල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඔවුන් මනින කාල ප්රාන්තරය වසර 5000 ක්.

 එතකොට ඒ කාල සීමාව අවසානයෙ රැස්කරගත් දත්ත සියල්ල විශ්ලේෂණය කරල බලල, ඔවුන් ස්ථාපිත කරල ගිය Monitoring Device එක...අපි කියමු ඒකට ඉරණම් තීරක කියල ...ඒ ඉරණම් තීරක තීරනයක් ගන්නව මොකද කරන්නෙ කියල.

මෙතෙක් කාලයක් මිනිස් වර්ගයාගේ හැසිරීම, ආචාර ධර්මයන්ට ඒ වගේම ගුණ ධර්මයන්ට ඔවුන් කොතරම් දුරට ගරු කරනවද ඒ වගේම කොතරම් දුරකට ඒව පිළිපදිනවද කියන කරුණු මත තමයි මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය වෙන්නෙ.

විශ්වයේ සියළුම ජීවීන් සමත් වියයුතු කඩඉම් පරීක්ෂණයක් මේක. මිනිසා ඉන් සමත් වේද නැද්ද කියල බොහොම ඉක්මනටම බලාගන්න පුළුවන්....

Not only is the universe stranger than we imagine, it is stranger than we can imagine. - Sir Arthur Eddington English astronomer (1882 - 1944)

Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't. - Mark Twain

When you have eliminated the impossible, whatever remains, however improbable, must be the truth." - Sherlock Holmes

 මතු සම්බන්ධයි........

23 comments:

  1. අයියෙ උඹ ඒකක බෑ මේ වැඩේ කරන්ඩ....උඹට ගොනා ගැන රචනාව දුන්නම උගෙ ඇගේ ඉන්න මැක්ක ගැන පිටුවත් විතර ලියනව. ඊලගට මැක්කගෙ ඇගේ ඉන්න තව මොකෙක් හරි ගැන මහ පතරංග ජාතකේ වගෙ එකක් ලියනව.. අනිත්මට පටං ගත්තෙ කොහෙද කියල නිච්චි නිනව් නැති වෙනව කියවන එවුන්ඩ...
    හපොයි මගෙ මොලේ හොදටෝම කොලොප්පං වුණා මේක කියවල
    උඹ මොන කෙහෙම්මලකටද මේ පූර්වජයොයි පිටසක්වලයොයි මේකට පටලන්ඩ ගියේ
    මොනව වුණත් උං එන්ඩ කලිං කතාව ලස්සනට ගියානෙ...
    උඹට තිබුනෙ ලස්සන හැඩ පයිට් ටිකක් දාල දඩයක්කාරයගෙ කතාව ලියන්ඩ නෙව
    අපිට ඕනෙ පයිට් .
    උඹ මේ බණ කියනව

    අනික මේ උඹේ රකාරාංශෙට කැස්ස හැදිලද බං අයියෙ?? එක නං හරියන්නෙම නෑ මට....
    ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. යකෝ.....ඒක නෙවෙන්නං බොල නමෝ විත්තියෙම්ම කිව්වෙ......බලාපිය ඇස් දෙක පිහදාල....

      / දඩයක්කාරයගෙ කතාවට මගෙ හිතේ තියන ආරළු බූරළු ඔක්කොම දාන්ට ගිහිල්ල වැඩේ අර කාගෙද කැඳ හැලිය වගෙ වෙලයි තියෙන්නෙ...:( :( /

      මේ කියල තියෙන්නෙ මොකක් කියලද උඹ හිතන්නෙ?

      අනික ඊට පස්සෙ මෙහෙමත් කිව්ව....

      / දැන් මොකෝ කොරන්නෙ? වෙන මක්ක කොරන්නෙයි....බැඳ ගත්තු බෙරේ ගහනව මිසක....ඒ නිසා ළමයි, මට සමාවෙලා ඔය උන්න වගෙ තව දවස් කීපයක් ඉවසන්ට ....හොඳේ....විගහට ඉවර කරඤ්ඤංකො.... /

      මැක්ක ගැන කියන්ට පටන් ගත්තනම් බොල මැක්ක ගැන කියල ඉවර වෙන්ටම එපාය.....ඒක තේරෙන්නෙ නැද්ද හැබෑටම?

      යකෝ මේක මාර කෙළියක් නෙව...වඳින්ට වඳින්ට ගහන්ටමයි එන්නෙ, වඳින්ට වඳින්ට ගහන්ටමයි එන්නෙ.. :) :)

      අම්මප ඉස්තිරියාවො කියන ජාතිය ඔහොමමයි නෙව...මොන නැකතකිං උපන්නද මංද....

      රකාරාංසෙ ගැනනං මං දන්නෙ නෑ බොල, යුනිකෝඩ් වලිං ගැහුවම ඔහොම තමයි වදින්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  2. මේකට දැන්නං මොකුත් කියාන්ට බෑ බොලේ වැඩට යන්ට තියේ.. පස්සෙ එඤ්ඤංකෝ...

    ReplyDelete
    Replies
    1. හරි බං වැඩට ගිහිල්ල වරෙං, මොනව හරි කියපං...හෙහ්, හෙහ්, බැන්නත් කමක් නෑ බොල උඹල මගෙ බොක්ක නෙව...මම ගනං ගන්නෙ නෑ...හෙහ්, හෙහ්,

      Delete
  3. මොන එකක්ද මන්ද අද කොටසට මගේ හිත ගියා වෙනදට වැඩිය . අපි දන්නා ඉතිහාසෙන් ටිකක් තියෙන නිසා වෙන්න ඇති . අනික් පැත්තට ග්‍රීක් මිත්‍යා කතාවක් වගෙත් .

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, බින්දි එහෙමයි....ස්තූතියි හොඳේ.....හිත ඇදිල ගියානං එච්චරයි බොලේ.....

      Delete
    2. අය්යට කියන්න දඩයක්කාරයාගේ කතා සීරීස් එකෙන්ම මටත් ටිකක් තේරුනේ මේ කොටස තමය් අප්පා..

      Delete
    3. @ mekuwi,

      හෙහ්, හෙහ්, ඒත් මදෑ බොල...අන්තිමට හරි තේරුනානං....

      Delete
  4. හෙහ් හෙහ්.. එහෙනං මේකයි අර දඩයක්කාරයගෙ මුල ඈ.. එතකොට හඳ ස්පයි ඩිවයිස් එකක්.... අම්මප මං උන්නෙ ඒක හාවො ඉන්න තැනක්ය කියල.

    මේ කතාව මං විස්වාස කොලාට අපේ අම්මගෙ ආච්චි [මගෙ මී ආච්චි] උන්නනං එහෙම පොළොවෙ හැපෙනව සිකුරුයි. නීල් ආම්ස්ට්‍රෝං හඳට රොකට් එකකින් යනවයි කියල අපේ අම්මල මී ආච්චිට කිව්වම උන්දැ එලෝගත්තලු මිත්තියාදුස්ට කෙල්ල කියල. ඒ මදිවට සීයටත් [අම්මගෙ තාත්තට] ගතු කිව්වලු මුන්ට ඉස්කෝලවල උගන්නෙන්නෙ බොරුය කියල.

    ප.ලි : රවී අයියෙ උඹට හොඳ වැඩේ රටපටලවගන්නවට. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ස්පිය් ඩිවයිස් එක පෝය දාටලු වැඩිය ඇක්ටිව් . එකයි අපි පින්ම කරන්නේ .නැත්නම් උන්ද දෙය්යන්ට ගතු කියයි .

      Delete
    2. @ නවම්,

      හෙහ්, හෙහ්, බොලායෙ මී ආච්චි ( අපි නම් කිව්වෙ අම්මයෙ අත්තම්මට මුත්තම්ම කියලයි ) තාම ඉන්නවනං බැරිවෙලාවත් මා ගැන එහෙම කියනව නෙවෙයි ඔන්න. හොයාගෙන ඇවිල්ල මයෙ බෙල්ල මිරිකලයි එහෙනං උන්දැ පස්ස බලන්නෙ....:) :)

      හඳේ හාවො ඉන්න කතාවක් ආවෙ අර සක්කර මුත්ත පොඩි එවුං බිත්තිවල බලි කුරුටු අඳින්නැහෙ ඕකෙ හාවො අඳිංට ගියායින් නෙව.සක්කරය කියන්නෙ දෙයියංගෙ නායකය. ඒ කියන්නෙ පූර්වජයිංගෙ නායකය...අන්න එහෙම හිතාපං....එතකොට එක්කො තවත් පැහැදිලි වෙයි, එහෙම නැත්නං තවත් ටිකක් රට පැටලෙයි...බලාගෙන ගියාම ඔය කෝකත් එකයි, නවමො, කෝකත් එකයි...හෙහ්, හෙහ්,

      Delete
    3. @ බින්දි,

      අඩෙ අප්ප, එහෙමත් වෙන්ඩ බැරිකමකුත් නෑනෙ බොලේ..ඔන්න මට දැනුයි එහෙම කම්පනාවක් ආවෙ,

      නිකමට හිතන්න, ඇයි බුද්ධාගමේ හැම වැදගත් සිද්ධියක්ම පෝය දවසකම වෙලා තියෙන්නෙ?....ඒ කියන්නෙ බුදු හාමුදුරුවොත් ඇවිල්ල.........හෙහ්, හෙහ්,

      Delete
  5. හඳ මෝරන කාලෙට අර අත්තම්මා කියනවා වගේ කවිකාරගේ කවි, කතා ඔක්කොම පිටසක්වල හරහා කරක් ගහලා තමා අපේ ලෝකෙට ආපහු වැටෙන්නේ....
    ඉතින්, ඉතින්, අපි බලාගන ඉන්නවා.

    දවස් දෙකක් අර රට වටේ ඇවිදිමින්, සුද්දෝ කියන කතා අහගෙන හිටපු අපිට මේකත් කජ්ජක්ද? හී හී....:D:D:D

    ReplyDelete
    Replies
    1. හරි හරි, බලා ඉන්න, බලා ඉන්න.....ඉතිරිය හැකි විගස.....:) :)

      Delete
  6. //"මෙතෙක් අනේ සෑම සත්වයෙක් වගේ ජීවිතය රැකගැනීම සහ වර්ගයා බෝ කිරීම පමණක් ජීවිතේ පරමාර්ථ වුනු අඩ මිනිසා පූර්ණ මිනිසෙක් බවට පරිණාමය වීම ඇරඹුනේ ඉන් පසුවයි. හෙට ගැන, අනිද්දා ගැන, තව මාසයක් ඉදිරිය ගැන හිතන්න ඒ වගේම තම කණ්ඩායමේ අනෙකුත් සඟයින් සමඟ අද්වීතීය සබඳතා ඇතිකර ගැනීම යන.."//
    ඔන්න ඕකනේ කියන්නේ. මොන වෙඩිමකටද ඔය පිටසක්වල පොරවල් ඔය ඕන්නැති එව්වා කරන්ට ඉගැන්නුවේ? සික්. එහෙනං අපි මෙහෙම ඉන්ට තිබ්බ කස්ටියද මන් අහන්නේ? වර්ගයා බෝ කරගෙන ආතල් එකේ ඔහේ ඉන්ට තිබුන චාන්ස් එක කාල නේ මේ පිටසක්වලයෝ.

    අයියේ පොඩි දෙයක් කියන්ට ඕනේ තරහ වෙන්ට එපා. ඔයා කතා කරන බාසාවෙන් මේක ලියපු එකට මයේ නම් මනාපයක් නැහැ ඕන්. අර කලින් එව්වයි තිබුණු අමුතු ගතිය නැති වෙලාද කියල හිතෙනවා අනේ.

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉතිං ආතල් එකේ වර්ගයා බෝ කරගෙන ඔහේ ඉන්න සමහර එවුන් ඉන්නවා බං, ඇයි දැකලා නැත.. :D

      Delete
    2. @ අමා,

      / වර්ගයා බෝ කරගෙන ආතල් එකේ ඔහේ ඉන්ට තිබුන චාන්ස් එක කාල නේ මේ පිටසක්වලයෝ./

      අහෝ අමාවනි, තෙල බූරාභිධාන කෙලෙඹි පුත්‍රයන් ලබ්භ ඵලයෙක් ශෛලමය තලාවෙක ගසාලා පියූ පරිද්දෙන් පැවසූ වදන් උදක්මැ සත්‍යයම වේයැ. එවන් පුඟුලෝද සහස් මතුනොව නොගිණිය හැකි පමණ මෙලොව වෙසෙති. ඔවුනට වර්ගයා බෝ කිරීමෙහි කර්තව්‍යය උදෙසා සිව් විසි හෝරාවද මඳය.එකල දුරාතීතයෙහි කල යමෙක් වෙනුවෙන් පූර්වජයින්හට දෝෂාරෝපණය කිරීමෙහි කිසිදු පලෙක් නැති. තොපටද අවශ්‍ය නම් වර්ගයා බෝ කොටගෙනැ දැඩි වූ ආතලයන් වින්දනය කෙරෙමින් කල් ගෙවනු හැක. අපගෙන් කිසිදු තහනමෙක් උදක්මැ නැත්තේමය.

      / ඔයා කතා කරන බාසාවෙන් මේක ලියපු එකට මයේ නම් මනාපයක් නැහැ ඕන්. අර කලින් එව්වයි තිබුණු අමුතු ගතිය නැති වෙලාද කියල හිතෙනවා අනේ. /

      අහෝ මෙවන් රඹ පුෂ්පයක් ආරම්භ කොටැ මා පතිත වූ අසීරුවෙක මහත...:( :( කිසිදු ලෙසකින් මේ ඉතිරින්ගෙන් ගැලවුමක් නැති අයුරක්....අහෝ, අහෝ,

      ඈත වියත් බස් වහර නොවැටහෙන බව පවසමින් නාසිකාවෙන් හඬන ඉතිරින් සමූහයෙකි. මෑත වියත් බස් වහරින් රචනා කල මැනවැයි පවසන තොපය.අයෑම් වනාහී බිට්වීන් ද ඩෙවිල් ඇන්ඩ් ද ඩීප් බ්ලූ සීයැ.

      අහෝ මේ චපල ස්ත්‍රීන් වනාහී මෙලොවට මහා බ්‍රහ්ම තෙමේ උපදවා ඇත්තේ හුදෙක් අප වන් වියතුන්ගේ උණ්ඩුක පුච්ඡය කොළොප්පං කොට දැමීමටමය.

      Delete
  7. /*සඳේ අපට නොපෙනෙන පැත්තෙ ( ඕකෙ එක පැත්තක් සදා කාලිකව පෘථිවියට පෙනෙන්නෙ නෑ ) මොනව තියනවද කියල අපි දන්නෙ කොහොමද? අනික සඳ ඝන වස්තුවක් නෙවෙයි කියල ඔයාල දන්නවද? සඳේ කුහරය ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල කවුද දන්නෙ? */

    ආ ඔය කියාපු පැත්තෙ තියෙන්නෙ ලොකූ පිට්ටනියක්. වතුර නැතිව හැදෙන්න පුළුවන් අඩියක් විතර උස තණකොල ජාතියක් ඔය පිට්ටනිය පුරාම වැවිලා තියෙනවා. තැනින් තැන කිතුල් ගස් වගේ උසට උසේ ගස් වගයක් තියෙනවා. මුදුනෙ කතුරුමුරුංගා වගේ කොළ ජාතියක් තියෙන අතු පහ ගානෙ තියෙනවා. අඩුත් නෑ, වැඩිත් නෑ හැම ගහේම අතු පහයි.

    ඔය පිට්ටනිය මැද්දෙ ලොකූ ලිඳක් තියෙනවා. ඒ ලිඳේ පතුල තියෙන්නෙ හරියටම හඳේ මැද්දෙ. හඳට පෝය ලබද්දි මහ පොළොවෙ ලස්සනට බැබලි බැබලි මේ ලිඳේ පේනවා. ඒ ලිඳ තියෙන තැන ඉඳන් කෙලින්ම හඳේ අනිත් පැත්තේ තමයි ඔය කියාපු ආවාටෙ තියෙන්නෙ.

    හඳ ඝන වස්තුවක් නෙවෙයි නේන්නං. ඒකනෙ අර හොඳට ස්පොන්ජ් පුරෝපු මෙට්ටයක් උඩ ඇවිදිනවා වගේ බම්ප් වෙවී ඇවිදින්න පුළුවං.

    හා හොඳයි, මං මේ කියාපු එකක්වත් බොරුයි කියන්ඩ පුළුවන්ද? :D :D ;D

    ReplyDelete
    Replies
    1. සිත්තමියෙ, මොනවැයි බොල උදේට කෑවෙ.. ටක්කෙටම කාපු මොනා හරි අජීර්ණවෙලා, නැත්තං මේ වගේ ඒවා හිතෙයිද..!!?? :p

      Delete
    2. @ සිත්තමී,

      අහා, ශ්‍රී වෛශාඛ පුන් පොහෝදින උදාවු පසුගිය ශනිදින ගෙවී ගොස් තවම ගතව ඇත්තේ දින දෙකක් පමණක් බව යළිත් අපහට සිහිපත් කළ ඔබට නැඟනියනි, මගේ ප්‍රණාමය.....බිය නොවනු මැන...චන්ද්‍ර තෙම අව පසට පත්වන්නා සමඟම ඔබද සුපුරුදු තත්වයට ක්‍රමයෙන් පත් වනු නියතය.එහෙත් මසිත තැවුල්ගෙන දෙන්නේ තෙල අසරණ පුඟුලා සිහිවන විටය. අහෝ, අහෝ, අහෝ, කිමෙක් නම් කරන්නද? පෙර කරුමයෙක් වේ නම් විඳවාමැ ගෙවාලිය යුතුයැයි පෙර පඬිවරුනද පවසා ඇති බව සිතා සැනසෙම්හ.

      / හඳ ඝන වස්තුවක් නෙවෙයි නේන්නං. ඒකනෙ අර හොඳට ස්පොන්ජ් පුරෝපු මෙට්ටයක් උඩ ඇවිදිනවා වගේ බම්ප් වෙවී ඇවිදින්න පුළුවං. /

      ඔන්න දන්න හරිය තමා උඹ, බොල කෙල්ලෙ, ඒ හඳට ගිය අබ්බියාවකාස ගාමියො උඩ පැන පැන වගෙ ඇවිද්දෙ බොල හාවො පෑගෙනවට...අර සක්කර ගොයිය ඇන්දනෙ හාවෙක් හඳේ...ඒ හාවගෙං බෝවිච්චි හාවො ඉන්නව කෝටි ගානක් හඳේ...අර උඹ කියාපු තණකොල කකා පිට්ටනිවල සෙල්ලං කොර කොර බොහොම අපූරුවට උං එහෙ කාලෙ ගත කොරනව.. උන්ට බුදියෙන්ට ලයිට් ඕප් කොරපුවම තමයි ඔන්න අමාවකෙයි කියන්නෙ....තේරුණෙයි?

      අර නවම නොදැන හරි කිව්වෙ සම්පූර්ණ ඇත්ත.

       / අම්මප මං උන්නෙ ඒක හාවො ඉන්න තැනක්ය කියල. /

      උඹ හිතන්නෙ ඇපලෝ 17න් පස්සෙ සඳ ගමන් නතර කලේ මොකෝ කියලද ඇමරිකාව ?....මොකෝ සල්ලි නැතුවය....නෑ බොල...හඳේ යානාව බස්සන්නවත් බෑ...එච්චරකට හාවො....අර මම කිව්වෙ හඳ ඇතුල තනිකර කුහරයක්ය කියල...ඒකෙ අර පූර්වජයිංගෙ Monitoring Device එක ඒ කිව්වෙ '' ඉරණම් තීරක'' ඇරෙන්න ඉන්නෙම හාවො...ඇපලෝ 17 බස්සන්න තැනක් නැතුව බොහොම අමාරුවෙං අන්තිමට අර කතුරුමුරුංග කොළ වගෙ කොළ තියෙන අතු පහේ ගහක් උඩට තමයි බාල තියෙන්නෙ.ඒත් ඒකෙ ගිය අබ්බියාවකාස ගාමියො දෙන්න ඉයුජීන් සර්නන් සහ හැරිසන් ෂ්මිට් දෙන්න දවසක් ඉඳල තියනව ගහ උඩ බිමට බැහැගන්ට බැරුව...මොකද බිමට පය තිබ්බ ගමං හාවො රැළ උඩ පැනල පුකමලු හපන්නෙ...පුකමලු හපන්නෙ....උං දෙන්න පුක බේරගෙන තියෙන්නෙ බොහොම අමාරුවෙං....හෙහ්, හෙහ්,

      ඔය හාවො පුක හපන කතාව උං දෙන්න මෙහෙ ඇවිල්ල කිව්වනෙ ..ඊට පස්සෙ හඳට යන්ට එකෙක් හොයාගන්ට නැතුව ගියා..ඔන්න...ඒකෙං තමයි ඇපලෝ වැඩ පිළිවෙල හබක් උනේ...

      ඇපලෝ 18 කියල යානාවක් හොරෙම්ම ඇමරිකාවයි රුසියාවයි එකතුවෙලා හඳට යැව්වය ඒ ඊට කලින් යවපු යානාවකින් හොයාගත්තු හඳේ තියන මහ විසාල අභ්‍යාවකාස යානාවක් ගැන තොරතුරු හොයන්ට කියලත් කියනව...හෙහ්, හෙහ්, ඒක මට හිතෙන්නෙ පූර්වජයිංගෙ යානාවක් වෙන්න ඕන...

      ඒකෙ තිබිල ඉස්තිරී අභ්‍යාවකාස ගාමිනියකගෙ සිරුරක් හොයාගත්ත කියලත් කියනව...එයාගෙ නම ඇවිල්ල මොනා ලිසා...

      හා හොඳයි, මං මේ කියාපු එකක්වත් බොරුයි කියන්ඩ පුළුවන්ද? :D :D ;D

      Delete
  8. @ Buro Ayya

    උදේට කෑවෙ කඩල බොලේ. මට කොහොමත් ඒ වගේ ගුණදායක කෑම අජීර්ණයි තමා. :D :D :D

    ReplyDelete
  9. @ Ravi Ayya

    /*චන්ද්‍ර තෙම අව පසට පත්වන්නා සමඟම ඔබද සුපුරුදු තත්වයට ක්‍රමයෙන් පත් වනු නියතය.*/

    පෙනේද පිට සක්වල ජීවීන්ගේ ඉරණම් තීරකය විසින් අවිහිංසක පෘථිවි වැසියන්ගේ නිරවුල් මනෝ සන්තානයන් වියවුලට පත් කරනා රඟ? තොප මේ පිළිබඳව මෙතරම් නිශ්චිතවම ප්‍රකාශ කිරීමට සමත් වූයේ නිසැකවම තොපද ඒ ආක්‍රමණික ජීවීන්ගේ චර පුරුෂයෙකුදෝ යි මා හට සාධාරණ සැකයක් පහළ වේ. එසේයැ, එසේමයැ... වඩා ගැඹුරින් විශ්ලේෂණය කර බලනා කල්හි එය සක්සුදක් සේ පැහැදිලි වන්නේමයැ. මැදපෙරදිග වාසී රවියාභිධානයන් වනාහී ආක්‍රමණික, ප්‍රචණ්ඩකාරී පරසක්වල වාසීන්ගේ චර පුරුෂයෙකු වන්නේමයැ. පෘථිවි වාසී අපගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ, ශ්‍රේෂ්ඨ දාර්ශනික සොයාගැනීම්හි සියලු පැසැසුම් පිටසක්වල ජීවීන්ගේ නාමයට ආරෝපණය කරලීම උදෙසා මෙහි ආ චර පුරුෂයෙක්මයැ. පෙර දිනෙක ඔහු විසින්ම පවසන්නට යෙදුනු පරිද්දෙන් පූර්ණ චන්ද්‍රයා දෙස බලා අනිමිස ලෝචනයෙන් පසු වන්නේ ඔහුගේ අධිපතීන් විසින් අපගේ චන්ද්‍රයා ආක්‍රමණය කොට එහි ස්ථාපනය කරනු ලද්දා වූ ඉරණම් තීරකය හරහා පෘථිවිය පිළිබඳව ඔහු එක් රැස් කොටගත් දත්ත සමුදායන් ඔවුන් වෙත යවනු පිණිසය. හිතවත් පෘථිවි වාසී සගයනි, මෙකී පරසක්වල නියෝජිත චර පුරුෂයා පිළිබඳව අපි කුමක් කරනෙමුද?

    /*අර සක්කර ගොයිය ඇන්දනෙ හාවෙක් හඳේ...ඒ හාවගෙං බෝවිච්චි හාවො ඉන්නව කෝටි ගානක් හඳේ...*/

    අනේ යන්ඩ බොරු නොකියා. ඒ ඇන්දෙ හාවෙක් විතරයි නෙව. හාවියෙක්වත් ඇන්දෙ නෑනෙ. ඕක උනේ මෙහෙමයි. සක්කර දෙයියො ඒ ඇන්ද හාවා හඳට වෙලා පාළුවෙන් බලාගෙන ඉන්නවා දැක්කා මෙහෙ හිටපු ඈයො. කොහෙද, ලංකාවෙ, මේ සිරි ලංකාවෙ. පස්සෙ හාවියෙක් අල්ලලා රොකට් එකක දාලා යැව්වා හඳට. ඕක උනේ මේ රාවණා රජ්ජුරුවො දඬු මොණරෙ හදන්ඩත් සෑහෙන කළිං.

    අර ඇපලෝ 17 ගියපු උන්නැහෙලා දෙන්නව හපා කන්ඩ මොකෝ හාවෝ මාංශ භක්ෂකයො යැ? එවුන් දෙන්නා බිමට බැහැලා තියෙනවා, අර තණකොළ පිට්ටනියට. ඊට පස්සෙ මෙහෙ අරං එන්ඩය කියලා තණකොළ ටිකක් උගුල්ලගෙන සාක්කුවෙ දාගෙන. ඒ දැකපු හාවො උන් දෙන්නා පස්සෙ පන්නලා, කලබල වෙච්ච පාරට ඇපලෝ යානෙ මෝටරේ ස්ටාර්ට් කරන යතුර පල්ලෙහා පිට්ටනියෙ දාලා තමයි ආයෙ ගහට නැගලා තියෙන්නේ. හාවොංගෙ කේන්තිය අඩු වෙලා ගය යටින් යනකල් දවසක්ම බලං ඉන්ඩ වෙලා ඉතිං ආයෙ යතුර ගන්න.

    /*ඒකෙ තිබිල ඉස්තිරී අභ්‍යාවකාස ගාමිනියකගෙ සිරුරක් හොයාගත්ත කියලත් කියනව...එයාගෙ නම ඇවිල්ල මොනා ලිසා...*/
    ඇයි බොලේ ඒ මොනා ලිසාගෙ ඇඳුමෙ ලේබල් එක ගැන අහලා නැද්ද? 'Made in Sri Lanka' කියලනේ ඒකෙ ගහලා තිබ්බෙ!

    ReplyDelete
    Replies
    1. සික් විතරක්!! මුන් ‍දෙන්නට බෑ නෙවැ මේ වෙසක් සතියෙවත් සම්පප්‍රලාඵයෙන් මිදිලා ඉන්න, හනේ සංදුක්කේ..!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...