Wednesday, May 16, 2012

120. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....14




දෙනෙත් විවර කල දඩයක්කාරයා මොහොතක් යලිත් තදින් දෙනෙත් පියාගත්වනම ගතකලේ, අවට පරිසරය වසා ගනිමින් හාත්පසින්ම පොළව කරා පතිතවන අඳුරට නෙත් හුරුවනු පිණිසය.


ඔහු මසැසට ගෝචර නොවූ නමුදු ඔහු වසාගෙන හාත්පස පැතිරි රූස්ස වනස්පතිය අතු පතර සැඟව හුන් බකමුහුණකු අවදිව හාත්පස තම විසල් අක්ෂි යුගලය භ්රමණය කරවමින් තම නිශා සංචාරය සඳහා සූදානම් වන අයුරු දඩයක්කාරයාගේ මනැසේ සිතුවම් විය. සිතුවිල්ලක් යයි ඉතා නාම මාත්රිකව වුව හැඳින්විය හැකි යමෙක් බකමුහුණාගේ සිත තුල පහළ වන්නේ නම්, එසේම යම් පරිශ්රමයක් දැරුවහොත් ඒ වටහාගැන්මටද තමන් සමත් බව දඩයක්කාරයා දැන සිටියද ඔහු සාතිශය නිශ්ඵල එවන් කාර්රකයක් උදෙසා කිසිදු උත්සාහයක් නොදැරුවේය.


මනුෂ්යයින්ගේ මතු නොව තිරශ්චීන සත්වයින්ගේ පවා සිතුවිලි හඳුනා ගැන්මට ඔහු උගත්තේ ඔහුගේ දයාබර පියාණන්ගෙනි.දඩයක්කාරයාගේ මෑණියන් මියගිය දින පිළිබඳ මවිසින් විස්තර කලා ඔබගේ මතකයට මේ අවස්ථාවේ කැඳවීමට මට අවසර, මා දයාබර සොයුරනි, සොයුරියනි.


මෑණියන්ගේ දේහය ඔසවාගෙන පියා සහ පුත්රයා පිවිසි ශ්වේත වර්ණ ගල් කුළු වටයකින් මායිම්වූ වෘත්තාකාර සමතල භූමි භාගය ද එලෙසම ඔබගේ මතකයට යළිදු කැඳවමි.එහිදී සිත එකඟ කොට දැහැනක් වැන්නකට සමවන් මහ දඩයක්කාරයා පුත්රයයා ද කැටුව මියගිය බිරිඳ/භාර්යාවගේ ආත්ම භාවය සියළු ආත්මයන්ගේ සදාකාලික අවසාන ඉසිඹුපොල වූ ආලෝකයෙන් නිරතුරු සපිරි ගූඪ වූ ස්ථානයකට හැරලීමට ඇය හා සමඟ ගිය විශ්මයජනක ගමන ද ඔබට මතකයේ රැඳී ඇතැයි එලෙසම උපකල්පනය කරමි.


ඇය හැරලවූයේ කුමන ස්ථානයකටද යන්න මතු නොව තමා එහි ළඟාවූයේ කෙලෙසකද යන්න පවා මහ දඩයක්කාරයා නොදත්තේය.පරපුරේ ආදි මුතුන් මිත්තන්ගෙන් අනුයාතව එනම් පියාගෙන් පුතාට ආදී වශයෙන් මේ සිරිත රැකගෙන පැමිණියා විනා එහි කිසිදු අරුතක් මහ දඩයක්කාරයා මතු නොව ඔහුගේ පියා හෝ පියාගේ පියා ද නොදත්තේය.යම් දුරාතීතයේ දිනෙක මේ පිළිබඳව දනුම ඔවුන් සතුවූයේ නමුදු කාලයාගේ ඇවෑමෙන් ඒ දැනුම් ඔවුන් කෙරෙන් ගිලිහී ගොසිනි.


එහෙත් පූර්වජයින් පිළිබඳ ඔබ දන්නා හෙයින් ප්රිය සොයුර, සොයුරිය, එදින දඩයක්කාරයාගේ අපූර්ව චාරිකාව පිළිබඳව මෙසේ පවසන්නෙමි. යමෙකු මියගිය පසු මනෝ කාය ගමන් කරනා ඒ අපූර්ව ස්ථානය කාලය සහ අවකාශ වියමනෙහි එක් නැම්මක පිහිටියා විය නොහැකිද?...අහෝ සමාවුව මැන..පූර්වජයින් පිළිබඳ නැවත නොලියන බවට වූ ස්වසපථය මවිසින්ම උල්ලංඝනය වූයේ නොවේද?....:( :(


පෙරළා වෘත්තාකාර අපූර්ව භූමි භාගයට පැමිණි පියා සහ පුත්රියා යළිදු වරක් හිස නමා බිරිඳගේ/මෑණියන්ගේ දේහය තැන්පත්කල මිනීවලට ආචාර කල ඉක්බිති මහ වන මධ්යියේ රාත්රි යේ ඔවුන් පියනැඟි මඟ ඔස්සේ ආපසු ගෙපැලට පැමිණියෝය.


මධ්යාහ්නය පමණ වන විට ගෙපැලට පැමිණි ඔවුහු බලවත් කුසගින්නකින් පෙලුනේ වුවද සිතට මෙන්ම ගතටද දැනෙන්නාවූ දැඩි වෙහෙස නිසාම දොර පැලැල්ල අඩවල් හෝ නොකොටම නින්දට වැටුනහ.


සවස රත්පැහැ හිරු කඳුවැටියට මුවා වෙද්දී අවදිවූ දඩයක්කාරයා දෑස් හැර බලා පියා නිදිගත් ස්ථානයෙහි නොමැති බව දුටුවේ, සෙමෙන් මිදුලට බටුයේ දෑස් පිසදමමිනි.


මිදුල මධ්යයේවූ හාත්පස වසා පැතිර ගිය කොහොඹ වෘක්ෂය පාමුළ හිඳ සිටි පියාණන් රුව දසතින් ගලා හැලෙනා අඳුර මධ්යතයේ වුවද හඳුනා ගැන්මට ඔහුට කිසිදු අපහසුවක් නොවිනි.


එදින ඒ සන්ධ්යාවෙහිදී ගෙපැල ඉදිරිපස කොහොඹ ගස සෙවණෙහි හිඳ මහ දඩයක්කාරයා සිය එකම පුත්රඒයාහට සිය ප්රෞඉඪ වූ පරපුරෙහි අතීත කථාව පැවසීය.යටත් පිරිසෙයින් එම විශ්මිත පුරාවෘත්තයෙහි ඔහුට වැටහුණු පමණ නොවළහා පැවසීය. දඩයක්කාරයා ද තම පියාගේ මුවින් ගිළිහෙන වදන් මාලාවට සවන් දුන්නේ මොහොතින් මොහොත විශ්මයෙන් විශ්මයට පත්වන තම සිත පාලනය කරගැනීමෙහිලා බලවත් උත්සාහයක යෙදෙමිනි.


පරපුරේ පුරා වෘත්තය පූර්ණ වශයෙන් පැවසීමෙහිලා හෝරා දෙකකට ආසන්න කාළයක් ගත වූයේ මහ දඩයක්කාරයා ඒ පැවසූයේ අනවතරව නොවන බැවිනි.එක දිගටම කථාව පවසන ඔහු එක් වනම නිහඬව සිව් දෙසින් ගුලි ගැසෙන අඳුර දෙස මඳක් බලා හිඳ නැවත සෙමෙන් දෑස් පියා ගනියි. ඔහු දෑස් විවර කරන තෙක් නොඉවසිල්ලේ බලා සිටිනා දඩයක්කාරයා ද අවසන පියාණන් පවසන මේ අපූර්ව වෘත්තාන්තයෙහි අතරමං වෙයි.නැවත නැවැත්වූ ස්ථානයෙහි පටන් මහ දඩයක්කාරයා වෘත්තාන්තය අරඹනුයේ බොහෝවිට දෑස් විවෘත නොකොටමය. වෘතාන්තයෙහි අවසාන භාගයට දඩයක්කාරයා සවන් දුන්නේ ඔහු ද දෙනෙත් පියාගත් වනමය.


ක්රමයෙන් ඝන වූ අඳුර දුරු කිරීමට සඳ පහන ද තවමත් පායා නොමැති බැවින් අහස පුරා දිළිසෙනා තාරකාවෝ ඒ උදෙසා දුබල උත්සාහයක් දැරුවෝය. කොහොඹ ගස සෙවණට ඒ දුබල තරු එළිය පවා පතිත නොවුනු කල ආලෝකයක් වූයේ ඒ මේ අත පියා සලන දුබල කණමැදිරි එළිය පමණකි.


'' ඔන්න ඕක තමයි පුතා කතාව, ඒ අපේ ආදිතම මුතුන් මිත්ත රාවණ රජ්ජුරුවන්ගෙ පරපුරෙන් කෙලින්ම පැවතගෙන එන අය තමයි අපි.සුද්දන්ට විරුද්දව මොණරවිල නිළමෙ තුමාගෙ කැරැල්ලට එකතු උන නිසා සුද්දො අපෙ ගම් බිම් ඔක්කොම ගිණි තිබ්බ.අන්තිමට පණ රැකගන්ට අපිට මේ වෙල්ලස්සෙ මහ කැළේට එන්ට සිද්ද උනා. ඒ ඇවිල්ලත් ගත කරන්ට සිද්ද උනේ අහිකුන්ටිකයො වගෙ නන්නත්තාර ජීවිතයක්. "


දෑස් අඩවන් කොටගත් වනම හිඳ මහ දඩයක්කාරයා එවදන් පැවසුයේ රහසක් පවසන අයුරින් හඬ බාලකොට එමෙන්ම වදනින් වදන ප්ර්වේශමෙන් උසුරුවමිනි.


තවත් දිගු නිහැඬියාවකට පසු, කොහොඹ ගසේ අතුපතර හිඳ වවුලන් නඟන තියුණු හඬින් පමණක් නිහඬත්වය බිඳීගිය කාල සීමාවකට පසු දඩයක්කාරයා පළමු වරට කථා කලේය.


'' අප්පච්චි....... ''


ඒ ආමන්ත්රණයෙන් පසු එක් වරම මුව ගොළුවීගිය පරිදි ඔහු නිහඬ විය. දඩයක්කාරයා සිය පියාණන් හට අප්පච්චි යයි මෙසේ ඇමතූයේ ජීවිතයේ පළමු වරටය. ඒ මතුද නොව ඔහු මේ පියාණන් අමතා වචනයක් පැවසූයේද මතක ඇති කලකට පසුය.'' අප්පච්චි...'' ..... ඒ වදනෙහි රැඳි නිසැක වැදගත් කම මෙන්ම ඔහු ඒ වදන පැවසූ හෘදයාංගම විලාශය ද මහ දඩයක්කාරයාගේ දෑස තෙත් කලේය.


කඳුළු පිරී බොඳවුනු දෑස තදින් පියාගත්වනම සිටි මහ දඩයක්කාරයා ඉනික්බිති සුරත දිගු කොට පුත්රයාගේ හිස සෙමෙන් පිරිමැදීය.තම හිස මතවූ පියාගේ සුරත තම සුරතින් දැඩිව ග්රහණය කොටගත් දඩයක්කාරයා ද කෙමෙන් තෙත්වන දෑස තදින් පියාගත්තේය.


'' පුතා.... මොකක් හරි අහන්න ද ලෑස්ති උනේ? ''


අසල වන බූටෑවේ කිසියම් සතකු නැඟූ හඬින් දැහැන් බිඳුනු මහ දඩයක්කාරයා එසේ ඇසූයේ කොහොඹ ගසට පිටදී වාරු වෙමිනි.


'' මම අහන්න හැදුවෙ අප්පච්චි කණගාටු වෙනවද කියල මේ වෙච්ච දේවල් ගැන ''


''පුතා අහන්නෙ අම්ම නැති වෙච්ච එක ගැනනම් ඔව් ඇත්තටම කණගාටුයි, ඒත් මම දන්නව මේ දේ මෙහෙම සිද්ධ වෙනව කියල.මට දැනුන මෙහෙම දෙයක් වෙනව බොහොම ලඟකදි කියල. ඒත් හරියටම කවදද කියන එක මම දැනගෙන හිටියෙ නෑ. අදම මම පුතාට මේ ඔක්කොම කියල මගේ හැකියාවන්..... මගේ ශාස්ත්රය කියල දෙන්න තීරණය කලේ මගේ අවසානය කවදද කියල මටම හිතාගන්න බැරි නිසයි.එක කාලෙක අපේ පරපුරට ඒ ශක්තිය තිබුන. අතීතය ඒ වගේම අනාගතයට යන්න පුළුවන් තරම් ශක්තියක් තිබුන. ඒත් ඒ ඔක්කොම අපෙන් දුරස් වෙලා ගියා.''


'' මම කිව්වෙ සුද්දට විරුද්ධව කැරලි ගහල අපිට මේ මහ කැලේට එන්ට සිද්ධ උනාය කියල. කැලේ එකතැනක පදිංචිවෙල ගොයිතැන් බතක් කරගෙන ඉන්ට අපිට අයිරුවක් තිබ්බෙ නෑ, කොයි වෙලේ සුද්දො කඩාපනියිද කියල දන්නෙ නැති නිසා. ඒ නිසා පණ රැක ගන්ට තිබ්බ එකම විදිහ තමයි සතෙක් මරාගන්න එක. ඒත් ප්රාකණ ඝාතය කියන එක අපෙ සාස්තරේ එක්ක කොහොමවත්ම යන්නෙ නෑ.ඒ නිසා උනේ ටිකෙන් ටික අපේ සාස්තරේ බලය නැතිවෙලා ගිය එක. ''


'' අනික් කාරණේ අපිට තිබුණු තවත් හැකියාවක් තමයි අනුන්ගෙ හිත් කියවීමේ ශක්තිය. ඒ වගේම සත්තු හිතන්නෙ මොනවද සත්තුන්ගෙ හැඟීම් මොනවද කියලත් අපිට දැනෙනව. ඉතින් ලොකුම අපහසුතාවය උනේ එහෙම සතුන්ගෙ හැඟීම් අපිට දැනෙද්දි සත්තු මරණ එක. ඒත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. පණ රැකගන්න නම් ඒ අප්රමසන්න දේ කරන්නම උනා. ''


'' හැම සතෙකුටම පොදු දෙයක් පරාණ බය කියන්නෙ. ඒ නිසා සතෙක් මරන්ට කලින් ඒ සතාගෙ හිත එක්ක ඒකාත්මික වෙලා තමයි අපි ඒ වැඩේ කරන්නෙ. ඒ කියන්නෙ කොටින්ම ඒ සතා මරණ වෙලාවෙ ඒ වේදනාව අපිටත් දැනෙනව. ඒ වේදනාවෙන් කොටසක් අපිත් ගන්නව. ''


මතු සම්බන්ධයි........

23 comments:

  1. //සුද්දන්ට විරුද්දව මොණරවිල නිළමෙ තුමාගෙ කැරැල්ලට එකතු උන නිසා සුද්දො අපෙ ගම් බිම් ඔක්කොම ගිණි තිබ්බ.අන්තිමට පණ රැකගන්ට අපිට මේ වෙල්ලස්සෙ මහ කැළේට එන්ට සිද්ද උනා.//
    හී හී මේ ඇත්තද? මොණරවිලලත් ඔය මහා දඩයක්කාරයා වගේ ඔය ශාස්ත්‍රය දැනගෙන හිටියද දන්නේ නෑ නේද? පොඩ්ඩිට නම් හිතෙන්නේ තියෙන්ට ඇති කියලා. :)

    දැන් නම් කතාව අවසානය වෙත ලඟා වෙනවාක් මෙන් දැනෙනවා.

    අනේ බූරා සහ නවම් එක්ක හැප්පෙන්ට මේ පාර නිරීක්ෂකයා නෑනේද?:(

    ReplyDelete
    Replies
    1. / හී හී මේ ඇත්තද? මොණරවිලලත් ඔය මහා දඩයක්කාරයා වගේ ඔය ශාස්ත්‍රය දැනගෙන හිටියද දන්නේ නෑ නේද? පොඩ්ඩිට නම් හිතෙන්නේ තියෙන්ට ඇති කියලා. /

      පිස්සුද අනේ...මොණරවිල ගොයියට එහෙම බලයක් තිබ්බෙ නැහැ, මම මේ කියන අංගම් ශාස්ත්‍රය පැවතුනේ රාවණ රජ්ජුරුවන්ගෙන් පැවතෙන නියම හෙළයින් අතර විතරයි.ඔය මොණරවිල, ඇහැලේපොල, පිළිමතලව්වේ , මඩුගල්ල ඔක්කොමල නියම සිංහලයො නෙවෙයි, දකුණු ඉන්දියානු සම්භවයක් තියන අය අඩු වැඩි වශයෙන්.

      අනික ඔය මොණරවිල ඉන්නව නේද? මාන්නක්කාරකම හින්ද විචාර බුද්ධිය යටපත් කරපු මනුස්සයෙක්, දැන් සුද්දො එයාව යැව්වනෙ කැරැල්ල මැඩ පවත්වන්න...මෙයා මොකද කලේ කැරලිකාරයන්ට එකතු උනා. ඒකෙ අවුලක් නෑ. තමන්ගෙ රට ජාතිය ගැන හිතල එහෙම කලාය කියමු...ඒත් දන්නවද ඊළඟට කරපු වැඩේ? ''තොපගේ ආයුධ වලින් තොපටම පහරදීම මට නොතරම්යැ, එබැවින් තොපගේ ආයුධ ආපසු එවමි '' කියල ආයුධ ඔක්කොම ආපහු ඇරිය සුද්දොන්ට...කොහොමද මොලේ?

      එව්ව සුද්දන්ට විරුද්දව පාවිච්චි කරන්ට බෑම කියමු සදාචාරාත්මකව උංගෙම ආයුද නිසා...එව්ව විනාස කොරල දාන එකනෙව තිබ්බෙ...මෝඩ කොමට නෑ කියනවනෙ බෙහෙත්....නැත්නම් සුද්දො මේ රටෙන් පන්නල දාන්න තිබ්බෙ ඔන්න එදා 1818 දි....අන්තිමට බොහොම අමරුවෙන් තමයි සුද්දො කැරැල්ල පරදවල තියෙන්නෙ...

      ඔය මොණරවිල පරම්පරාවෙන් පැවතෙනවයි කියල කයිය ගහන උදවිය දෙපාරක් හිතුවොත් හොඳයි මීට පස්සෙ..හෙහ්, හෙහ්,

      ප.ලි. - හැබැයි එක වෙලාවකට හිතෙනව අටසිය දහ අටේ සුද්දො පැරදිල ලංකාවෙන් ගියානම් අපිට මොනව වෙන්න තිබුනද කියල...අනිවාර්යයෙන් අර අටසිය ගනන් වල චීනෙ තිබ්බ වගෙ සංවෘත වැඩවසම් රාජාණ්ඩුවක් ලංකාවෙත් තියෙයි, කිසිම දියුණුවක් නැතුව...අර කතාවටත් කියනවනෙ '' සුද්ද ඇවිල්ල ගල විද්දෙ නැත්නම් උඩරට එවුං තාමත් සත්තු පස්සෙ එළවනව '' කියල...හෙහ්, හෙහ්,

      / අනේ බූරා සහ නවම් එක්ක හැප්පෙන්ට මේ පාර නිරීක්ෂකයා නෑනේද?:( /

      ඔව්, අප්පා...මතක් වෙන කොටත් දුකයි...හස්ත මුද්‍රාවෙන් කමෙන්ට්ස් දාන්න ආය ඉතින් කවුද ඉන්නෙ? :( :(

      Delete
    2. ඒක හන්දා වෙන්ට ඇති මිනිස්සු එයාට වීර කැප්පෙටිපොල කියන්නේ නේද? ඔය වීරසිංහලා ඉතින් මිශ්‍ර නොවුනු හොඳ පිරිසිදු සිංහල වංශේ උදවිය වෙන්ට ඇති නේද? :D:D:D

      Delete
    3. / ඒක හන්දා වෙන්ට ඇති මිනිස්සු එයාට වීර කැප්පෙටිපොල කියන්නේ නේද? /

      මිනිස්සුන්ට මොනව කියන්ට බැරිද අනේ?..මිනිස්සු කියන එව්ව කවුද ගණං ගන්නෙ?

      වීර කියන්නෙ විදේශිකයින්ට ට පාවාදුන් කියන එකෙන් හැදිච්ච වචනයක් වෙන්න බැරිද?...හෙහ්, හෙහ්, ඔන්න විහිළුවට හොඳේ....කඩු කිණිසි මුවාත් තියනව එහෙම නෙවෙයි ඔන්න...

      නෑ ඇත්තම කියනව නම් පොඩ්ඩි, මම අර අතිශයෝක්තියෙන් මොණරවිල තුමාට දොස් කිව්වට අපිට ඔය සිද්ධිය සළකල බලන්ට වෙන්නෙ ඒ කාලෙ තිබ්බ වාතාවරණය, පිළිගැනීම් සමාජ සම්මත අනුව , ඒ වාස්තවික තත්වයන්ට අනුකූලවයි. එහෙම බලනකොට එතුමා කරපු වැඩේ එතුමාගෙ පිළිගැනීම අනුව එතුමා විශ්වාසකරපු ආචාර ධර්ම අනුව හරියටම හරි වෙන්න පුළුවන්. ඒත් එහෙම නොකලනම් වඩාත් හොඳයි කියලයි මට කියන්න ඕන උනේ. සමාවෙන්න මුතුන් මිත්තෙකුට දොස් කිව්වය කියල හිත රිදුන නම්....

      හරි ඔන්න ඔක්කොම හරි,ඔක්කොම ෂේප් හරිය?

      මවිසින් අචේතනාන්විතව ප්‍රකාශකල යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන්, ඒ පරම සත්‍යය වුවද, අභාවප්‍රාප්ත වීර කැප්පෙටිපොල නිළමේ තුමාගෙන් කෙළින්ම පැවත එන එතුමාගේ උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්‍රාත්කාර කිසිවෙකුහට යම් සිත් වේදනාවක්, තැවුලක් හට ගත්තේවී නම් ඒ පිළිබඳව කොන්දේසි විරහිතව ක්ෂමාව අයැද ද, අපේක්ෂාකර ද සිටුම්හ......

      / ඔය වීරසිංහලා ඉතින් මිශ්‍ර නොවුනු හොඳ පිරිසිදු සිංහල වංශේ උදවිය වෙන්ට ඇති නේද? :D:D:D /

      මොන පිස්සුද අනේ?....පාතරට කියන දිහා ඉන්නෙ පරංගි, ලංදේසි, මැලේ, යෝනක, ඔය මෙකී නොකී ඔක්කොම ජාතීන් මිශ්‍ර වෙලා හැදිච්චි අය නෙව, :) :)

      Delete
  2. //'තොපගේ ආයුධ වලින් තොපටම පහරදීම මට නොතරම්යැ, එබැවින් තොපගේ ආයුධ ආපසු එවමි '' කියල ආයුධ ඔක්කොම ආපහු ඇරිය සුද්දොන්ට...කොහොමද මොලේ?//
    එහෙම තමා හලෝ කොන්ද පන තියෙන පිරිමි හික් හික්!!

    හැහ් පොඩ්ඩි මොණරවිල පරම්පරාවෙ ද? මන් හිතුවේ ඇහැලේපොල පරම්පරාවෙ කියලනේ.

    //'' හැම සතෙකුටම පොදු දෙයක් පරාණ බය කියන්නෙ. ඒ නිසා සතෙක් මරන්ට කලින් ඒ සතාගෙ හිත එක්ක ඒකාත්මික වෙලා තමයි අපි ඒ වැඩේ කරන්නෙ. ඒ කියන්නෙ කොටින්ම ඒ සතා මරණ වෙලාවෙ ඒ වේදනාව අපිටත් දැනෙනව. ඒ වේදනාවෙන් කොටසක් අපිත් ගන්නව. ''//
    මේ වාගේ එකක් ඕස්ට්‍රේලියාවේ අබෝරිජිනීස් ලා හරි රතු ඉන්දියන් ලා හරි ඔහොම කවුරු හරි ආදිවාසීන් පිරිසක් කරනවා කියල මම අහල තියෙනවා. පොඩ්ඩක් ඉන්න මතක් වෙන්නේ නෑනේ...අඃ ඇවටාර් ෆිල්ම් එකේ තිබුන නේද ඔහොම කෑල්ලක්? දෙයියෝ සාක්කි එතකොට ඔය පුර්වජනයෝ ඇල්ෆා සෙන්චුරි වල 'පැන්ඩෝරා' ග්‍රහ ලෝකෙන් පැවත එන අයත් එක්ක පටලැවිල්ලක් තියෙනවද???

    ReplyDelete
    Replies
    1. / එහෙම තමා හලෝ කොන්ද පන තියෙන පිරිමි හික් හික්!! /

      හෙහ්, හෙහ්, බොලං මේක අහපං...කොන්දත් පණ තියෙන්න ඕන තමයි..ඒත් ඊට වඩා ඕන ඔළුව බං ඔළුව..ඔළුව කිව්වට ඔළුවමත් නෙවෙයි ඒක ඇතුලෙ තියෙන්න ඕන යහමිං ලොඳේ....

      දැක්කනෙ ඔළුවෙ මොකවත් නැතුව කොන්ද විතරක් තිබිල එතුමාට වෙච්ච සන්තෑසිය.:( :(

      දැන් ඔය Mr. Peacocklake තුමාගෙ හිස් කබල සෑහෙන්න ලොකුයි කියනව නෙව. ඒක වලදාල තිබ්බ තැනින් ගොඩ අරගෙන යැව්වලු එංගලන්තෙට..පරීක්සා කොරන්න..මට හිතෙන්නෙ සුද්දොන්ට උනත් අර ආයුද ආපහු එවපු කේස් එකෙං පස්සෙ හිතෙන්න ඇති මේ යකාගෙ මොලේ පරීක්සා කරල බැලුවනං හොඳාය කියල...හෙහ්, හෙහ්,

      / හැහ් පොඩ්ඩි මොණරවිල පරම්පරාවෙ ද? මන් හිතුවේ ඇහැලේපොල පරම්පරාවෙ කියලනේ. /

      මේ ...මේ ..මේ...මාව ඔය එක එක කුණ්ඩවාඩි වලට පටලවන්ට හදන්ට එපා ඔන්න..කියන තැනකට වඳිඤ්ඤා....මම කිව්වෙ බොහොම පැහැදිලිව මෙන්න මෙහෙම...

      '' ඔය මොණරවිල පරම්පරාවෙන් පැවතෙනවයි කියල කයිය ගහන උදවිය දෙපාරක් හිතුවොත් හොඳයි මීට පස්සෙ..හෙහ්, හෙහ්, ''

      මේකෙ කොහෙද බොල පොඩ්ඩිගෙ පරම්පරාවක් ගැන කියල තියෙන්නෙ?.....උඹද?...උඹ අමු කැළෑ ගිණි තියයි ....අමු කැළෑ..අනෙ අම්මප...:) :)

      උන්දැගෙ පරම්පරාව ගැන කියාපු හින්ද මේ ටිකත් කියලම ඉඤ්ඤංකො එහෙනං...

      ඔවුන්දැ පැවතෙනව කියන්නෙ ඔය කාගෙංවත් නෙවෙයි...........ආයෙ එක්කො ඕන නෑ....නිකං මොකටද මේ යසට තියෙන ****** තලාගන්නෙ? :) :)

      / දෙයියෝ සාක්කි එතකොට ඔය පුර්වජනයෝ ඇල්ෆා සෙන්චුරි වල 'පැන්ඩෝරා' ග්‍රහ ලෝකෙන් පැවත එන අයත් එක්ක පටලැවිල්ලක් තියෙනවද??? /

      අය මඟුලක් ඒ පාර....අලි මදිවට හරක් , හරක් මදිවට කිණිතුල්ලො කිව්වළු...මේක මට ඉවර කොරන්ට දීපං, සත්තරනේ.. :) :)

      Delete
    2. @ අමා,

      පැන්ඩෝරා කියන්නෙ ග්‍රහලෝකයක් නෙවෙයි බොලං, හඳක්.. ඇල්ෆා-සෙන්චූරි A වල ‍සෞරග්‍රහමණ්ඩලේට අයිති පොලිෆීමස් කියන ග්‍රහයගෙ පස්වෙනි හඳ තමා පැන්ඩෝරා කියන්නෙ.. බොලා මහ‍ලොකුවට ෆිල්ම් බැලුවට විස්තර දන්නෙ නෑ ‍නෙවැ.. :p

      Delete
    3. @ බූරා,

      අනේ බාං, උඹත් මේ මොනව කියනවද මන්දා....අලේ මල්ලල්ලෑ කල්ලල්ලෑ බොල්ලල්ලෑ කිව්වළු,

      අමා මහගෙයි මායි දන්න ග්‍රහලෝක....හුහ්,

      ඔන්න ටිකක් ඇහැට කණට පෙන කොළුවෙක් ඕකෙ හිටියනං..හප්ප, බලන්ට තිබ්බ වැඩේ,...... අහපං ඒක ඇඳං හිටපු ඩෙනිමෙ පස්ස පැත්තෙ තිබ්බ පැච් ගාන...ටක්කෙට කියයි....හෙහ්, හෙහ්,

      Delete
    4. @අමා,

      මොනරවිල දිසාවගේ (කැප්පෙටිපොල ) නංගි තමයි ඇහැලේපොල නිලමේ විවාහ කරගත්තේ....:D

      Delete
    5. @බූරා,
      හෆ්පා ඇත්තද කව්දැයි ඕවා මතක තියාගන්නේ. සොරි වෙන්ට ඕන හෙනම්

      @Ravi ayya
      අනේ යන්ට මෙයා. අනිත් එක ඒ පිචර් එකෙත් හිටිය ලක්සන ඔසී හාදයෙක්

      @Podi Kumarihami
      ඉතින් අනේ ඒ කසාදෙ ළමයි මැරුනනේ. එතකොට මොනරවිල+ඇහැලේපොල සංයෝගේ ඉවරයි. ඉතින් කොහොමෙයි මේ දෙගොල්ල තාම සම්බන්ධ වෙන්නේ?

      Delete
  3. මෙහෙම මේ අවාරෙට පොල් වැටෙනවා වගේ කථා ලියලා අහවල් එකක් කරන්නයැ රවී අයියෙ.එක හුස්මට ලියහන්කො ඔක්කොම.

    ReplyDelete
    Replies
    1. මොකදෑ කොරන්නෙ, බුදු මලේ....පණං හතරක් හොයාගන්න සස්සාව බේරගෙන ඉන්ට එපාය ඔක්කොලාමටම ඉස්සෙල්ල...

      ඒකට කෙල උනොත් එහෙම පොඩි දඩයක්කාරයත් ඉවරයි, මහ දඩයක්කාරයත් ඉවරයි...හෙහ්, හෙහ්,

      පහුගිය ටිකේ වැඩ බොල උතුර නොහොල්ලන්ට...ඉඳපං ඉඳපං දැං ටිකක් ඉස්පාසුයි, අත ඉක්මං කොරල කොටඤ්ඤං....:) :)

      Delete
  4. අර කිව්ව වගේ මොනරවිල හරිම මෝඩකමක් තමයි කරලා තියෙන්නේ . බලන්න වියට්නාම කාරයා ඇමරිකන් බෝම්බ කොටස් වලින් අලුත් බෝම්බ හදල උන්ටම ගැහුවා . ඔය පරණ උණ්ඩ කැලි වලින් සමරු හදල දැන් සුද්දන්ටම විකුණලා ගානක් හොයා ගන්නවා . ඒකට අපි අම්මපා .

    වැඩක් නෑ බුරයි නිරීක්ෂකයි හැප්පෙන්නේ නැති කොට .

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද බින්දි....ලෙඩා මලත් බඩ සුද්ද වෙලාය කියල කියන්නෙ නිකමටයැ....

      Delete
  5. මැයි 17 දා දවසක් තමා මද්දුම බන්ඩාරගේ හිස ගසා දැම්මේ....සහ අර කුමාරිහාමිලා දියේ ගිල්ලෙව්වේ....:(

    ReplyDelete
    Replies
    1. හපොයි පොඩ්ඩි...එහෙමත් එකක්ද? :( :(

      Delete
  6. අම්මෝ ඇති යන්තම් ආපහු කතාවට වැටිලා. මේ මොන අපබ්‍රංශයක් වෙනවද කියලා හිතා ගන්න බැරුව හිටියෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මදෑ....වෙච්චි දේ නැද්ද නිසුපා???

      Delete
  7. hmm.. athi yanthan pitsakwalin midila track ekata watila.. :)
    me ayye hamathissema me kathawata anam manam kiyanawata taraha na neda..yalu fit ekatane kiyanne.. me dawaswala mage computare kadila appa.. singreesiyen thama comment :(

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මං මොකට තරහ වෙනවද?....කතාවක් කවියක් ලියන්නෙ උඹල කියවන නිසානෙ බොල...ඉතිං ඒවයෙ ගුණදොස් විවේචනය කරන්ට බොලාට තියනව අනුල්ලංගනීය වූද පරම රමනීය වූද උත්කුරුස්ට වූද එසේම මාරාන්තික වූද අයිතියක්...එස්සත් ජාතීංගෙ බොලොග් ලිවීමේ ප්‍රඥාප්තියෙ 13.8.3. 4 1/2 වෙනි වගන්තියෙං තමයි ඒම තහවුරු කොරල තියෙන්නෙ...අන්න දන්නැත්තං අදවත් දැන ගං...හෙහ්, හෙහ්,

      අනික උඹල බැනල හරි යනවනං තමයි මම කැමති....:) :)

      Delete
  8. හෙහ්. මට මගේ බ්ලොගේ ලියාගන්න වෙලාව්ක නැතත් මේවගේ අංග විලක පෝස්ට් එකකට කමෙන්ට් එකක් නොදාන මයෙ අත මක්කටෙයි දෙයියෝ !!

    ඇයි හත්වලාමෙ මුන්ට අර පරචිත්තවිජානනය ද මොකක්ද එක තිබුනනං ආයෙ අහවල් දෙයක් හන්දයි සුද්දොත් එක්ක කොරාපු යුද්දෙන් පල්ලංබැස්සෙ. උන්ට තිබුන නෙව අරුං හිතන පරක්කුවට බැටේ දෙන්න බිව් රංකිරි කටිං එන්න.

    බුරාභිදානයෝ, රවියෝ රණ්ඩුවෙන්න හිතෙන්නෙ නෑ බං අයියෙ නිරීක්ෂකයා නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්ව ඉඳල ඉඳල කතාවක්....බොලං උංට අනුන්ගෙ හිත් දැකීමේ හැකියාව තිබුන තමයි..ඒත් බොල ඒ හැකියාවෙං ප්‍රයෝජන ගන්න වෙන්නෙ මුහුණට මුහුණලා කරන සටනකදි විතරයි. සුද්දොංගෙ තුවක්කු ඉස්සරහ ඔය අංගං වැඩක් ඇතෑ බං...

      දැං හිතාපං මෙහෙම...සුද්දො ඉන්නව තුවක්කු මානගෙන ...උං ඊළඟට වෙඩි තියනව කියල කියන්ට හිත් කියවිමේ හැකියාවක් නම් ඕන නෑ...ඒත් ඔන්න ඒ හැකියාව යොදවල උංගෙ හිතේ තියන එක දැනගත්තය කියමු.ඒකෙං වැඩක් ඇතෑ ඒ එක්කම සුද්ද වෙඩි තියල අපේ එකා මරල දානව නෙව.

      අනික බොල සුද්දො හිතන්නෙ ඉංගිරිසියෙන් නෙව..ඉංගිරිසියෙං හිතන එව්ව තේරුං ගන්ට අපෙ හිංගලයංට බැරිවෙන්ට ඇති මහිතේ....:) :)

      නීරීක්ෂක ගැන නම් මලේ මතක් වෙන කොටත් දුකයි අප්පා...මොකදෑ කොරන්නේ? :( :(

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...