Monday, May 28, 2012

122. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....15




පියා ද සමඟ පළමු වරට දඩයමේ ගිය අවස්ථාව දඩයක්කාරයාගේ මතකයේ රැඳී ඇත්තේ කිසිදාක නොමැකෙන පරිදිය.


'' පුතා කවදාවත් අනවශ්‍ය විදිහට සතෙක් මරන්න එපා. වෙන කරන්න දෙයක් නැති නිසාම මෙහෙම කලාට, අපි මේ කරන්නෙ වරදක් කියන එක කිසිම වෙලාවක අමතක කරන්න එපා.වරදක් කලා උනත් ඒ ගැන පසුතැවෙනව නම් ඒ වරදෙ භාරදූර කම යම් ප්‍රමාණයක් ලිහිල් වෙනව කියලයි අපි විශ්වාස කරන්නෙ...අපෙ පරම්පරාවෙන් පැවත එන විශ්වාසය එහෙමයි.''


පියාගේ උපදෙස් වරින්වර නින්නාදව සවන් තුල රැව් දෙද්දී දඩයක්කාරයා හීං ඇලේ දිය වක්කලම අබියස වූ අතු පතර විහිද ගොස් වක්කලමට ගිනිගෙන දැවෙන දිවාකාලයේ පවා සිත සනහන සිහිලසක් දුන්, රූස්ස කෝන් ගස පාමුළ හිඳ හුන්නේ අඩක් සපිරි සඳ මඬලේ රැස් දිය මත පතිතව නෙක රටා මවනායුරු නරඹමිණි.

මහ දඩයක්කාරයා සිටියේ ඔහුට පසුපසින් වූ මහ ගල්කුළකට වාරුවී හිඳගෙනය. පියා නොදුටුවේ වී නමුදු ඔහුගේ රූපකාය දඩයක්කාරයාගේ මනස තුල රැඳී පැවතියේ දෑස් ඉදිරිපිට දෘශ්‍යමාන වන පරිදිය.


සඳ එළිය තැවරුණු වක්කලමේ ගල් කුළු අතර දිය ස්වල්පයක් රැඳි දිය වලවල් කිහිපයෙහි දඟලන මසුන්ගේ හඬින් පමණක් අඳුරු වනයේ තුරු අගිසිමතින් ඇරඹ විසල් කඳන් වෙලා ගනිමින් පොළෝ මතුපිටට බට දැඩි නිශ්ශබ්දතාවය බිඳීගිය ඒ සීතල රාත්‍රියෙහි දඩයකාරයාගේ දෑස් කෙමෙන් පියවෙමින් තිබුනේ නිදිමතටද වඩා අලස කම නිසාමය.


අඩ නින්දේ ඒ මේ අත සැහැල්ලුවෙන් පාවෙමින් හුන් දඩයක්කාරයා එක්වරම තිගැස්සී අවදි වූයේ පියා විසින් කල අණකිරීමක් හේතුවෙනි. නින්දෙන් වහා අවදිවන ලෙස කල ඒ සංඥාව දඩයක්කාරයාගේ සිතට පිවිස ඔහු සැණෙකින් අවදි කිරීමට සමත් විය.


දෑස් විදාහල දඩයක්කාරයාගේ නෙතට ලක්වූයේ පියවර පසළොසකට පමණ එපිට වක්කලමේ දිය රැඳි ගල් දෙබුක්කාවක බැස දිය පානය කරන දිවියෙකි.හිස නූස්සාම තව බොහෝ වේලාවක් දිය පානය කල දිවියා දෙස දඩයක්කාරයා බලා සිටියේ වශී වූ පරිද්දෙනි.ගස් අතු අතුරින් පෙරී ආ සඳ එළිය නිශාචරයාගේ රත් පැහැ පුල්ලි විසිරුණු සම මත නොයෙක් රටා මැවීය.තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින මනුෂ්‍ය ප්‍රාණියා පිළිබඳව සවනේන්ද්‍රියකින් දැනුනා විය හැක; නිශාචරයා දියබීම එක්වරම නවතා හිස නූස්සාම මොහොතක් ගත කළේය. අනතුරුව සෙමින් හිස එසවූයේ දඩයක්කාරයාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.


මිනිසා ද තිරිසනා ද එකිනෙකාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටි යම් කාල ප්‍රාන්තරයකට පසු දඩයක්කාරයාගේ දෑස කෙමෙන් පියවෙන්නට වූයේ ලැබුණු කිසියම් විධානයක් අනුවය. දෑස් පියවන්නා හාම මහ දඩයක්කාරයාගේ මඟ පෙන්වීම අනුව නිමේශයකින් දඩයක්කාරයගේ සිත තමා ඉදිරිපිට එතෙකුදු උක්කුටිකයෙන් හිඳ දෑස් නොපියා බලා සිටිනා වන මෘගයාගේ සිතට පිවිසියේය.


අඳුරින් පිරි ගුහාවකට පිවිස හාත්පස පැතිරි මන්දාලෝකයෙන් වරින් වර එහා මෙහා දිවයන අඳුරු රූ පෙළක් නරඹනු වැනි හැඟීමක් දඩයක්කාරයාගේ සිත තුල ජනිත කරවමින් ඔහුගේ මනැසට ගෝචර වූයේ බිය රැඳි නෙතින් අවට විපරම්කාර්‍රිව නරඹමින් සිටිනා මුවදෙනක් මතට විසල් පඳුරක් පසුපස සැඟව හිඳ අයාගත් මුවින් යුතුව කඩා පනිනා දිවියකුගේ රූපකායයි.


මුව දෙනගේ ගෙල විකාගෙන සිටිනා දිවියාගේ මුව දෙපසින් ගලායන රත්පැහැ රුහිරු මෙන්ම, කිහිප වරක් මරු විකල්ලෙන් දඟලා අවසන නිසල වූ ඇගේ පසු පා යුවල තවත් නොබෝ වේලාවක් ගැහෙන අයුරු ද තුෂ්ණිම්භූතව නරඹමින් සිටි දඩයක්කාරයාගෙ සිතට පිවිසියේ අනූපම අනුකම්පාවක් මෙන්ම වික්ෂිප්ත භාවයකි.සිතෙහි හටගත් ඒ වේගය නිසාම එක් වරම ඔහුගේ දෑස් විවර විණි.


එතෙක් විශ්මයාවහ නෙතින් දඩයක්කාරයා දෙස බලා සිටි දිවියා එක් වරම පසු පස හැරුනේ, දිය වක්කලමේ ගලින් ගලට පැන අඳුරු වන ගැබ තුලට වැද අතුරුදන් විය.


සිත තුල එකිනෙක පරයා නැඟෙන නුපුරුදු සිතිවිලි සමඟ පොර බදමින් එලෙසම හිඳ හුන් දඩයක්කාරයා අබියසට පැමිණි පියා ඔහු අසල හිඳ ගත්තේ ඔහුගේ දකුණු උරහිස සිය වමත තබා ගැඹුරු ස්වරයකින් නිහඬතාවය බින්දේය.


'' පළවෙනිම පාර එහෙම තමයි පුතා, කළබල වෙන්න එපා, අනුන්ගෙ හිත් කියවන එක එච්චර ලේසි දෙයක් නොවෙනව වගේම ඒක හිත කියවන පුද්ගලයටත් පාරා වළල්ලක් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි.මනුස්සයෙක් උනත් සතෙක් උනත් ඒකෙ වෙනසක් නෑ. හිත අවුල් කරගන්ට එපා. මම ටිකින් ටික කියල දෙන්නම් ඒ ශිල්පය.''


'' මේ අපේ පරම්පරාවෙන් කාලයක් තිස්සෙ පැවත එන දැනුම් සම්භාරයක්. ඒත් මුල් කාලෙ අපෙ මුතුන්මිත්තන් භාවිතා කල දැනුමෙන් බොහෝම අංශු මාත්‍රයයයි අපි දැනට ප්‍රයෝජනයට ගන්නෙ. ඒ බොහොම ස්වල්පය උනත් ප්‍රයෝජනයට ගන්න අවසන් පුද්ගලය පුතා කියලයි මට හිතෙන්නෙ. ඒත් කමක් නෑ, කිසිම දෙයක් සදාකාලික නැහැ, හැමදේකම අවසානයක් තියෙන්න ඕන. මේ සාස්තරේ කියල ඒකෙ කිසිම වෙනසක් නෑ. මට දැනෙනව පුතා තමයි මේ සාස්තරේ ප්‍රයෝජනයට ගන්නා අවසාන පුද්ගලයා.''


එදින පටන් මහ දඩයක්කාරයා දිනපතා ඔහු මෙතෙක් රැකගෙන පැමිණි ශාස්ත්‍රය තම පුත්‍රයාට ඉගැන්වීය. ඒ අනුව දඩයක්කරයා සතකුගේ සිතට පිවිස ඒ හා ඒකාත්මික වීම , එලෙසම මරණ බිය සහ වේදනාව අවම වන පරිදි සතකු මැරීමට ද හොඳින් උගත්තේය. සතකුගේ සිතිවිළි හඳුගැන්මට වඩා බොහෝ සේ අසීරු වූ මිනිස් සිතකට පිවිසීමේ ශාස්ත්‍රය පුත්‍රයාට මහ දඩයක්කාරයා ඉගැන්වූයේ ඊට අනතුරුවය.


මෙසේ පියා සහ පුත්‍රයා තනිව ගෙපැලෙහි දිවි ගෙවූහ. බොහෝ කොට දින ගනණක් ඔවුනතර කිසිදු කතා බහක් නොවීය. එසේ වූයේ කිසිදු අමනාපයක් නිසා නොව එකේනෙකාගේ සිතුවිලි කියැවීමේ අපූර්ව හැකියාවෙහි කෙල පැමිණිපසු ඔවුන් දෙදෙනාට වදනින් කෙරෙනා අදහස් හුවමාරුව හුදු කාලය නාස්තියක් පමණක්ම වූ බැවිණි.


පිටස්තර මිනිසුන් හා ඔවුනගේ ආශ්‍රය සතියකට වරක් පමණ, මැරූ වුවකුගේ හෝ ගෝනකුගේ ගාතයක් හෝ දෙකක් කර,තබාගෙන හූ හඬ දෙකක පමණ දුරින් වූ ගම්මානයට ගොස් කුරහන්, ඉරිඟු වන් ධාන්‍ය වර්ග අවශ්‍ය පමණ හුවමාරු කොටගෙන ඒමට සීමා විය.


ලුණු, වියළි මිරිස්, පොල් තෙල් සහ රෙදි වැනි විශේෂිත ද්‍රව්‍ය ඔවුන් ලබා ගත්තේ නැගෙනහිර මුහුදුකරයේ සිට තවලම් ගොනුන් දෙදෙනකු පිට පටවාගත් භාණ්ඩ ද රැගෙන තුන් මසකට වරක් පමණ සංචාරයේ පැමිණෙන යෝනක වෙළඳ සොහොයුරන් දෙදෙනාගෙනි.


මෙසේ තමන්ටම වෙන්වූ ලෝකයක දඩයක්කාරයා සහ මග දඩයක්කාරයා දිවි ගෙවූයේ, බාහිර ලෝකය සමඟ වූ සබඳතා අත්‍යාවශ්‍ය වූ විටකම පමණක්, එවිටද හැකි පමණ අවම වූ මට්ටමක පවත්වා ගනිමිණි.


දඩයක්කාරයා කෙමෙන් යොවුන් වියට එලඹියේය. මහ වනයේ සැරිසරමින් සතුන් අතරම දිවි ගෙවූයෙන් සතුන් අතර සිදුවන රමණය ඔහුට නුපුරුදු දසුනක් නොවීය.සතුන්ගේ සිත් කියවීමේ හැකියාව හොඳින් ප්‍රගුණ කොට සිටියේ වී නමුදු රමණයෙහි යෙදෙන සතුන් දෙදෙනෙකු අතර එම අදාල අවස්ථාවේ පවා සිතුවිලි වල කිසිදු සුවිශේෂත්වයක් ඔහුට කිසිසේත් නොහැඟුණි.


එසේම මසකට වරක් හෝ දෙවරක් ගම්මානයට යන ගමනෙහිදී පවා යොවුන් වියේ පසුවූ සම වයස්ක දැරියක රූ සපුව ඔහු නෙත නොගැටුනාම සේ විය.


ඔහුගේ කඩවසම් රූපකාය කොපමණ වැඩි විය පත් ගම්වාසි දැරියනගේ නෙතට රසඳුනක් වුවද, තම ගෙපැල තුලට වැද සැඟව ගත් වනම දොර කවුළු හෝ පැළලි අතරින් එබී බැලීම හැරෙන්නට වෙනත් උකුළු මුකුළු කෙලි කවට කමක නිරතවීමට ඔවුනගෙන් එකියක හෝ නිර්භීත වූයේ නොවේ. දඩයක්කාර පිය පුතු දෙපල කෙරෙහි ගම්වාසීන් තුල අනාදිමත් කාලයක පටන් පැවතෙන බිය මෙන්ම මහ වනය තුල නිර්භයව තනිවම දිවිගෙවන ඔවුන් අමනුෂ්‍යයින් හෝ අවම වශයෙන් අමනුෂ්‍යයින් හා සමීප සබඳතා පවත්වන්නන් බවට පැවති පාරම්පරික විශ්වාසය ද මේ සඳහා හේතු විය.


මෙසේ කිසිදු හැලහොල්මනකින් තොරව නිසසලව ගලා බස්නා ගංගාවක් මෙන් ගලා ගිය දඩයක්කාරයාගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් තුනක් පමණක් මේ කාලය ඇතුලත සිදුවිය.නිසොල්මනේ ගලා යන්නාවූ දිය දහරක් එක්වනම ගල්කුළු ගහන දුර්ගයකට ප්‍රවිෂ්ඨව, පෙණ බුබුළු නංවමින් ප්‍රචණ්ඩත්වයෙන් අනූනව ගලාගොස්, යළිදු පෙර සුපුරුදු නිසල ගලායාමට පත්වන්නාසේම දඩයක්කාරයා ද මේ සිද්ධීන් නිසා කැළඹීමට පත්වූ නමුදු ඉතා ඉක්මනින් තම සුපුරුදු උපේක්ෂා සහගත නිසසල දිවියට යලි පිළිපන්නේය.


මින් පළමුව සිදුවූයේ මහ දඩයක්කාරයාගේ අභාවයයි.තමා මියයන දින පිළිබඳව මහ දඩයක්කාරයා නිශ්චිතව දැන සිටියේද යන්න පිළිබඳව දඩයක්කාරයාගේ සිත තුලද පැවතියේ අවිනිශ්චිත බවකි. ඔවුන්ගේ පාරම්පරික ශාස්ත්‍ර ඥාණය මේ වනවිට සීඝ්‍රයෙන් ඔවුගෙන් ගිලිහෙමින් පැවතීම ඊට හේතුවයි.


කෙසේ හෝ එක මධ්‍යාහ්නයක යෝනක වෙළෙඳුන් දෙදෙන පැමිණි පසු අවශ්‍ය වූ කළමනා තෝරාගන්නා දඩයක්කාරයා දෙස ගෙමිදුල කොහොඹ ගස සෙවණෙහි ඇණ තබාගත්වනම බලාහුන් මහ දඩයක්කාරයා අවසන තම පුත්‍රයා ඇමතීය.


'' පුතා, මම ගිය පාර ගේන්ට කිව්ව සුදු රෙදිකඩක් ....ඒක ගෙනල්ල ඇති, අරගෙන ගොහිල්ල අර පෙට්ටගෙමේ දාන්න,''


එබසින් තිගැස්සී ගිය දඩයක්කාරයා වහා හිස ඔසවා පියා දෙස බැලූමුත් මහ දඩයක්කාරයා ඒ වන විට ද සිටියේ දෑස් තදින් පියාගත්වනම හිස පොලොවට නැඹුරු කොටගෙනය.



මෑණියන් මියගිය දිනය එක වරම සිහියට නැඟුනු බැවින් දඩයක්කාරයාගේ සිත ශෝකයෙන් පිරීගියේය.


පියා සහ පුත්‍රයා අතර ඉන්පසු ඒ පිළිබඳව කිසිදු කථාබහක් නොවීය.


අඩ සඳ වාළිඹේ ගල මුදුනින් පෑයූ ඒ රාත්‍රිය අහස එකද වළාවකින් තොරව බැබලුණි.


රාත්‍රී ආහාරයෙන් පසු නින්දට යාමට පෙර පිළ්කඩෙහි වැතිරුනු පිය පුතු දෙදෙන සුපුරුදු ලෙස සිහිල් සුළඟේ පහස විඳිමින් ගෙමිදුල නැහැවෙන සඳ රැස් මවනා රටාවන් නරඹමින් කල් ගත කළෝය.මෙසේ ගෙවන කාලය අතරතුර ඔවුන් අතර වදනක් හුවමාරු වූයේ ඉතා කලාතුරකිනි.


එහෙත් මෙදින සුපුරුදු චර්යාවෙන් වෙනසක් සිදුවන බව දඩයක්කාරයාට හැඟුනේ එක් වරම පියා උරහිසට අතක් තබා ගැඹුරු එහෙත් සෙනෙහෙබර ස්වරයකින් ඔහු ඇමතීම නිසාය.


'' පුතා අද රෑ අර සුදුරෙදි කඩ එළියට ගන්ට වෙනවා.''


එබස් ඇසුනු දඩයක්කාරයා වහා හිස හරවා පියා දෙස බැලීය.


ඔහුගේ දෑස් දෙස එක එල්ලේ මොහොතක් බලා සිටි මහ දඩයක්කාරයා මෙසේ පැවසූයේ උරහිසෙහි ග්‍රහණය තවත් දැඩි කරමිනි.


'' කණගාටුවෙන්න දෙයක් නෑ පුතා, මේ ලෝකෙ කිසිදෙයක් ස්ථිර නෑ...ඒක තමයි ලෝක ධර්මය...දෛවය අනුව, ඉරණම අනුව, වෙන්න තියන දේ වෙයි. ඒ ගැන කණගාටු වෙලා කිසිම ප්‍රයෝජනයක් නෑ. අවශ්‍ය කටයුතු මම කියපු විදිහට කරන්න. එච්චරයි.........''


මතු සම්බන්ධයි........

36 comments:

  1. අපොයි පව් දඩයක්කාරයා තනිවෙන්ට යනවා නේද?

    //මට දැනෙනව පුතා තමයි මේ සාස්තරේ ප්‍රයෝජනයට ගන්නා අවසාන පුද්ගලයා.''//
    මේ ඉතින් ඔය මහ දඩයක්කාරයා නොදැන කියන කතානේ.:)

    කොහොම උනත් අර දිවියාගේ හිතට ගිහින් බලපු හැටි නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි..:)

      Delete
  2. ඕන්න දැන්නම් කතාව පොඩ්ඩක් කියවන්න ආස හිතෙනවා ආයිත් ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං...මේ පූර්වජයො පටලවගෙන මම වැටිච්චි හෙයියම්මාරුවක මහත...අනේ අම්මප අර නවම කියන එකා මතක් වෙනකොට...හෆොයි ඇස් දෙකත් නිලංකාර වෙනව වගේ....කෝ මගෙ මේ පැසර් පෙති....දෙකක්ම එක පාර ගිලින්න ඕන....ගුඩුස්...ගුඩුස්.......හ්ම්ම්...දැන් හරි ...:) :)

      Delete
    2. අයියෙ, පෙති දෙකම ගිලුනද? ෂුවර්ද? හිර උනේ එහෙම නෑ? :D :D :D

      Delete
  3. මටනම් මුලින් දැනුනේ මාව කෑලෑවක අතරමං උනාවගේ, දඩයක්කාරයාගෙ තාත්තගෙ කතා නිසා ආයිමත් පියවි ලෝකයට ආවා.කොහොම උනත් ඈත ගමනක් යනකොට පහු කරණ කැලෑබද පැතිවලදි මම මවා ගන්නවා ( වැව් ලඟදි එහෙම ) රෑට හඳ එළියෙදි ඒවගේ තැන්වල ලස්සන ගැන ....
    කොහොම උනත් ලස්සන කතාවක් :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නීතා නංගි....කැලෑ බද කොහෙද බොල යන්නෙ? උඹ තපස් රකිංඩ වත් හොඳ තැනක් හොයනවයි?...:) :)

      Delete
  4. ඕං මං මට අවංකෙන්ම හිතෙන දේ කියන්ඩද අයියෙ??
    උඹ මේ කතාවෙ අනවශ්යි තැං විස්තර කළා ආයෙ ඒකෙ අහන්ඩ දෙයක් නැති වෙන්ඩම.. දැං දැං ඕනෙම තැං විස්තර වෙන්නෙ නෑ..... ඇයි උඹේ තදියම නෙ ඉවර කරගන්ඩ...
    දැං දඩයක්කාරයගෙ පුතා නිකං කෙහෙල් මලට යූරිය බැන්ද කෙහෙල්කැන වගේ!! මෙලෝ රහක් නැතුව එක පාරටම ලොකු වෙලා...
    මට හිතෙනව ඌ උගෙ තාත්තගෙං ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්රෙ හෙම විස්තර වෙන්ඩ තිබුණ කියල මීට වඩා....
    මං උඹට මුලිංම කිව්ව නෙව... ඔය කතාවට පූර්වජයොයි අරුනුයි මුනුයි පටලව ගනිද්දි ඔය නං හදන්නෙ පිට පොට යවාගන්ඩයි කියල....
    දැක්කනෙ කෙලවුණා ආය ආත බූත නැතුවම.. පටංගත්තෙ කොහෙන්ද දන්නෙ නෑ ඉවර කලේ කොහෙන්ද දන්නෙ නෑ...පැටලිච්ච නූල් බෝලෙ වගේ
    මං උඹට හූණ කියන්නහෙ කිව්වෙ නැද්ද ඔය ටික වෙනව කියල??
    කොහෙද උඹට වගේ අපේ ඉතිං රැවුල නෑ නෙ.....

    ReplyDelete
    Replies
    1. / +1,000,000,000,000 :) /

      +1,000,000,000,000 :) ?.....එසේද කොල දුෂ්ඨ කෙලෙඹි පුත්‍රය?......මා දයාබර මෑණියන් නාමයෙන් සපථ කර සිටින්නෙමි, මා ශරීර මාංශයෝ නර්තනයෙහි යෙදෙන්නාහ. කර්ණ කේශ ධාතූහු රෝමෝද්ගමනය වී යන්නාහ. මවිසින් දඩයක්කාරයගේ වෘතාන්තය ලිවීමෙහිදී ඊට පූර්වජයින් ඈඳා ගැනීමෙන් පසු ශෛල මස්ථකයෙහි ශරීර කෘත්‍යයෙහි යෙදුණු බිළාලයකු මෙන් විපිළිසර වූ බව පරම සත්‍යයෙකි. එසේම ප්‍රසිද්ධියෙහි පැවසිය නොහුණු ශරීර අවයවයක ටිනයක බහාලූ ක්ෂීරය තවරාගත්තා සේ වූ බවද එසේම සත්‍යයකි. එහෙත් දනුව කොළ ගුණ මකුව, හුදෙක් එසේ වූයේ තොප සහ අර අනෙක් නොදැමුණු පාපිෂ්ඨයා, තෙල නවමයා, වරම රධ්‍රයන් (Worm Holes ) ගැන ටීකාවන් ලිවීමෙන් මා සිත් ඒ දෙස යොමුකොටැ, මා අන්දමන්ද වික්ෂිප්ත තත්වයකටැ පත්කළ හෙයිනි.

      දනුව, බූරාබිදානයානනි., තොප විදේශයක වෙසෙන හෙයින් මා කෝපාග්නියෙන් තොපට වන අනතුරක් නැත්තේමය. එහෙත් මාතෘභූමියට සැපත්වූ වහාමැ මවිසින් ඉටු කලයුතු වූ එක් කර්තව්‍යයක් ඇත්තේය. එනම් නවම් මාවත පීරා හෝ ඒ පාපිෂ්ඨ, අධර්මිෂ්ඨ නවමයා සොයාගෙනැ උහු ගල ග්‍රහයෙන් ගෙනැ ගංගාරාම උදකුක්ඛේප සීමා මාලකය වටා ඇති ධවල වර්ණ වූ පවුරෙහි උහු ශීර්ෂය අන්නවා මා දෙපතුල නමැද සමාධිය භජනය කරන මෙන් අයැදීමට නියම කරමි.මදිවි තොර වීමට එක් නිමේශයකට පෙර හෝ එසේමැ නොකළහොත් මා රවියාභිධානයෝ නොවන්නාහුය.තොප ද කෙදිනක හෝ මව් බිමට පැමිණෙන්නේ නම් මවෙතින් ප්‍රවේශම් වුව මැනව.

      Delete
    2. කථාව කියවන්න බැරි වුනත් නොවරදවාම කියවන්නේ මේ අභිදාන අභිදානියන්ගේ කොමෙන්ට් ටික.......... අපරාදේ කොමෙන්ට් ටික පත්තියන් වෙන්න හස්ත මුද්‍රාවෙන් දාපු කොමෙන්ට් දැන් නැහැනේ..... :(

      Delete
    3. @ Janu Akka

      කොමෙන්ට් එකක් දාන්න පස්සෙ එන්නං කියලා හිතාන උන්නේ. අනේ ඒත් අක්කේ උඹට හුරේ පාරක් නොදා යන්න හිත් දුන්නෙම නෑ. ආයෙ නෑ සීයට දෙසීයක් හැබෑව!

      Delete
    4. ඔහුව සිහිවෙනවා නේද මේ හැමතැනකම

      Delete
    5. @ හංස කිංකිණි,

      කවුද බං උඹට නම දැම්මෙ?....කවුරු හරි මිටියක් විතර ඇදල ඇරපු වෙලාවක තමයි නම නං දාල තියෙන්නෙ....හෙහ්, හෙහ්,

      හංසකිංකිණි නෙවෙයි බොට දාන්ට තිබ්බෙ තල් අත්තට බොරළු කිංකිණි කියල...:) :)

      කෝම උනත් මැඩං කතාව අකුරක් නෑරම ඇත්ත....ඒකත් කියල ඉන්ට එපාය..

      එසේමය මේජර් ජනරාල් හංසකිංකිණි මැතිණියනි,

      ඔබ තුමියගේ මල්ටි බැරල් ප්‍රහාරය හිස නමා පිළිගනිමි.

      / මං උඹට මුලිංම කිව්ව නෙව... ඔය කතාවට පූර්වජයොයි අරුනුයි මුනුයි පටලව ගනිද්දි ඔය නං හදන්නෙ පිට පොට යවාගන්ඩයි කියල..../

      කිව්වනං තමා බං, මොකෝ නොකිව්වෙ...බොහොම පැහැදිලිව කිව්ව..ඒත් ඒ වෙනකොට මම වැඩේ අනාගෙන ඉවරයි නෙව...හෙහ්, හෙහ්,

      ඉඳපං සෝක් කතාවක් කියන්ට ...

      අවුරුදු හතරක් විතර කාලෙ මට තිබ්බ අසනීපයක් බොග කොන්ටෝල් නැති...:) :)

      බොග ටයිට් උනාද එතනම ඔන් ද ස්පොට් කලිසමේම ගියා...

      ඉතිං අපෙ අත්තම්ම අනේ උන්දැ බුදුං දැක නිවන් දකින්ට ඕන...මගෙ කලිසමයි පස්සයි දෙකම හෝදනව...

      '' ඇයි මයෙ පුතේ, කක්ක බර එනකොට කලිසම ගලවන්ට එපාය? ''

      '' අත්තම්ම මේ මොනව කියනවද මංද?...ඒ බර දැනෙනකොට මට ගිහිල්ල ඉවරනෙ ''

      Delete
    6. @ සිත්තමී,

      අම්මප?.....හුරේ පාරක් ඈ?....උඹට මං කීවය කියල හිතාගං නඟේ,

      Delete
    7. @ බින්දි,

      ඇත්තමයි බින්දි..අමතක නොවන චරිතයක්..:( :(

      Delete
    8. දෙයියෝ සාලේ!!!!!!!!!!! එතකොට මේකදෑ මේ උඹට තිබුණ ලෙඩේ?? සමා වෙනිං අයියෙ.. මීට පස්සෙ ආයෙ ඔහොම දෙයක් හිතුණොත් මං උඹට කලිසමේ පහවෙන්ඩ කලිං කියන්නං..

      Delete
    9. කොල නිකෘෂ්ට වූ අනාචාරගතිලක්ෂණැති නොහික්මුනු නොදැමුනු සූර්‍යාභිෂේකර නම් වූ කෙලතොල්ල, කුලස්ත්‍රීන් මධ්‍ය‍යෙහි සැඟවගෙන වහසිබස් නොදොඩා, දා ගිය ගෘහයක වළන් බිඳින්නාක් මෙන් කිසිවෙකුත් නැති තන්හි තන්හි පුහු ගර්ජනා නොකොට, හැකිනම් ඉදිරියට එව. තා දෙකකුලින් අල්ලා සත්යලක් හිස වට කරකවා පරසක්වළ ගසම්හ, නැතහොත් වරම රධ්‍රයක මුව විටේ තා හිස ඔබා පශ්චාත්භාගයට පා පහරක් දී පූර්වජයින් ගිය දෙසකටම එළවා දමම්හ. එම්බල බානසුල්ල, මා කවරෙක්දැයි තා තවමත් හරියකට නොදන්නා සේයැ. තට කියටි කියවම්හ. එව එව, වහා එව, මාගේ තරම් තට හොඳ හැටියට කියා ‍දෙම්හ.

      Delete
    10. .@ Buratheno,

      අහා, ප්‍රීතියි, ප්‍රීතියි, ප්‍රීතියි ( හෙහ්, ඒ කාලෙනෙ බං ප්‍රීති තිබ්බෙ, දැන් නං ඔය තියෙන්නෙ එලෝ කෝටියට නානාප්පරකාර ජාති, ඒ මොකක් හරි නමක් දා ගනිං...)

      ශූර වීර, ඕදාත මංජේෂ්ඨ සුලෝහිත, සකල කලා වල්ලබ යන ගෞරව නාම ධාරීවූද, ,කර්ණ කටුකවූ ස්වරයකට හිමිකම් කියන්නාවූද,සත්‍ය ප්‍රේමය නමැති අන්තර් භෞමාගාරයෙහි ඒකාධිපති ද්වාර පාලක ධුරය දරන්නාවුද මා ප්‍රාණ සම මිත්‍ර බුහුරාබිදානයානනි, එනු කඩුව..ගනු සටනට....හෙහ්, හෙහ්,

      එනු කඩුව ගනු සටනට කිව්වම පොඩි පරන සීන්ස් එකක් මතක් උනා...:) :)

      හෙහ්, හෙහ්, මේ අනාදිමත් කාලෙක අපෙ ලොක්කිලෑ ගමේ කොල්ලො කොරපු වෙසක් නාට්ටියක වෙච්චි කේස් එකක්,

      වෙසක් කිව්වට මේක ඇවිල්ල දුටුගැමුනු එලාර කතාව...ඒ ඩබල යුද්ද කොරන්නෙ ඇත්තු පිටේ ඉඳන්නෙව. නාලාගිරිය පිටේ එළාර...කන්තක පිටේ දුටුගැමුනු...කන්තක නෙවෙයි වත්ද?....හරිනෙ කන්තක කියන්නෙ දිවිය ලෝකෙ එළදෙන නෙව...දුටුගැමුනුගෙ ඇතාගෙ නම අයිරාවණ....

      මොක හරි නමෙං වැඩක් නෑ....ඉතිං ඇත්තු ගේන්ට පුළුවංය පුවක් කොට ඉස්ටේජ් එකට....මුලිං කතා වෙල තියෙන්නෙ කොල්ලො දෙන්නෙක්ම ඇත්තු විදිහට රෙදි පොරෝල ගන්ට...

      මුලිම්ම රිහසල් වලදි නාලාගිරියට ඉඳල තියෙන්නෙ අපෙ ලොක්කිගෙ ලොකු අයිය. මයෙ මස්සිනා....හෙහ්, හෙහ්,...ඒ උනාට ඒක හරියන කෙලියක් නෙවෙයි කියල එක දවසින්ම ඇත්තු සීන් එක ඉස්කිරිප්ට් එකෙං ඩිලීට් කොරල දාල දෙන්න බිම ඉඳගෙන කොරන කඩු පයිට් එකක් දැම්ම නාට්ටියට

      ඉතිං ඔන්න නාට්ටිය දවසෙ කඩු පයිට් එක....ඉස්ටේජ් එක ඉස්සරහ මුලු ගමම ඇවිල්ල ඉන්නව...

      කඩුවට අරං තිබ්බෙ පරණ දිග කිරිච්චියක් වගෙ එකක් හොඳට මැදල කරල...ඒත් ඕකට හරියන කොපුවක් හම්බ වෙලා නෑ....ඒ පාර දුටුගැමුණු ඇඳන් හිටපු සලුව ඉණ වටේට තද කරල බැඳපු පටියටම කොහොම හරි මේක රිංගවල තියනව...:)

      ඔන්න අන්තිමට නාට්ටියෙ කලයිමැක්ස් එක...කයිලාස කූටය....

      එම්බල දුෂ්ඨය...එනු කඩුව..ගනු සටනට කියල දුටුගැමුණු මාරාවේසෙං පැන්න ඉදිරියට. ඒකරල ඇදල ගත්ත කඩුව....හෙහ්, හෙහ්, ඇදල ගත්ත තමා....කඩුව නම් අතට ආව අපූරුවට...ඒත් එක්කම අර බඳ පටිය කැපිලම ගියා දෙකටම. දුටුගැමුනුගෙ කඩුව අතේ..සළුව බිම....ඒ කාලෙ යටට අඳින සිරිතකුත් තිබ්බෙ නෑ ඔය ගම් වල....හෙහ්, හෙහ්,

      ප.ලි. - මට බොහොම විස්වාස කටයුතු ආරංචියක් ලැබුන ජයන්ත චන්ද්‍රසිරිගෙ මහරජ ගැමුණු චිත්තර පටියෙත් ඔය වගෙ සීන් එකක් තියනවය ඒක නිසාය ඒක පොඩ්ඩක් On Hold තියෙන්නෙ කියල ...හෙහ්, හෙහ්,

      Delete
  5. කතාව ලියලා තියෙන විලාශය නම් විශිශ්ටයි ,හැබයි කතාව ඉවර කරන්න හදිස්සි ගතියක් පේනවා ,එහෙම කරන්න එපා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොබින්....ඉන්න....බලමු තව ටිකක් ලියන්න ....:) :)

      Delete
  6. නියමයි.... ලස්සන කතාව
    අදමද කොහෙද ආවේ..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අඩවි රජ...:)

      Delete
  7. ඊයේ සන්ධ්‍යාවෙහි යන්තම් හිස පොවා ගිය මුත් යමක් කීමට නොහැකි විය . අද කියවා රස විඳිමි . අගේය . අහෝ එළඹෙන පෝස්ටුව දුක්ඛ දායක එකක් වනු ඇති බවටයි කරුණු කියාපාන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි බින්දියනි...ඔබ නිවැරදියි...:( :(

      Delete
  8. මේ පාරනම් එළකිරිස් එකට තියෙනවා..හැබය් අය්යේ අද කතාව කියෙව්වම මට හිතුනේ මේ දඩයක්කාරයා පුර්වජයන්ගෙන් එනවා කිව්වට අනුන්ගේ හිත් කියවීම, කඩවසම් බව, සත්තුන්ගෙන් යැපීම කියන කරුණු සලකුඅවම අර අතින් කාර් නවත්තන ගොය්යාටත් නෑදෑකමක් තියෙනවද කියල.. :D අන්න අය්යේ ආව අදහසක්.. දැන් ඊළඟ දවසේ දඩයක්කාරයාගේ ලව් ස්ටොරිය ලියනකොට අර ගඟේ ගිලෙන්න ගිය කෙල්ලගේ හිත විතරක් ඔන්න දඩයක්කාරයට කියවන්න බෑලු..ඉතින් කුතුහලෙලු..ඇදගෙන ගියහැකි අය්යේ ලව් ස්ටොරිය නියමෙට..

    ReplyDelete
    Replies
    1. .@ mekuwi,

      / අර අතින් කාර් නවත්තන ගොය්යාටත් නෑදෑකමක් තියෙනවද කියල.. :D /

      ඔන්න කිව්ව ඉඳල ඉඳල කතාවක්...බොල මෙකුවියෙ...ඒකා මොකෙක්ද බොල? මේ තම්බාපු ඉස්සෙක් වාගෙ සුදුමැලි බුවෙක්නෙ...ඒ වගේද බං මයෙ දඩයක්කාරය...බොහොම කඩ වසම් ( Shops Closing ) හරි හතර රියං දේහදාරිය නෙව ....:)

      / අර ගඟේ ගිලෙන්න ගිය කෙල්ලගේ හිත විතරක් ඔන්න දඩයක්කාරයට කියවන්න බෑලු..ඉතින් කුතුහලෙලු../

      හෙහ්, හෙහ්, හිත් කියවන එකත් සෙල්ලං කෙලියක් නෙවෙයි බං..ඒකම ආපහු කැරකිල එන්ට පුලුවං...කිරි පිහියෙං දැලි කන්නැහෙ වැඩක් ඔන්න කොටිම්ම..

      දන්නවනෙ අර පණ්ඩිත හාංදුරුවො කිව්ව කතාව...

      '' උපාසක මහත්තය දැන් හිතාගෙන ඉන්නෙ ඔය බේසමේ පතුල තියනවයි කියල නේද? '' ....හෙහ්, හෙහ්,

      / ඇදගෙන ගියහැකි අය්යේ ලව් ස්ටොරිය නියමෙට../

      උඹ මෙහෙ ඇදගෙන යන්ටෙයි කියනව..අරෙහෙ බූරා මට හටනට කතා කරනව...ඒ ඔක්කොම අස්සෙ අර අම්ම්ණ්ඩි (Ms. T. A. B. Kinkini) නන්දිකඩාල් මෙහෙයුම වගෙ මෝටාර් ගහනව...එකම අඩුව තාම අර සිත්තමී ආවෙ නෑ බෙලිකටු මල්ල හොලවගෙන...හෙහ්, හෙහ්,

      Delete
    2. කොහොමදෑ කියන්නේ මං ආවෙ නෑ කියලා? ඔය මං ඇවිදින් හුරේ පාරකුත් දාලා ගිහිං තියෙන්නේ. :D

      Delete
    3. අපේ කැම්පස් එකේ සර් කෙනෙක් හිටිය නම කේ ඒ පී සිද්ධි සේන... පොර ඒක කියවන්නෙ කැප් සිද්ධිසේන කියල... දැන් එහෙම බැලුවොත් උඹ මගෙ නමත් මොඩ් කරල නෙව.. ටැබ් කිංකිණි කියල....

      Delete
    4. @ සිත්තමී,

      කවුද බං ආවෙ නෑ කිව්වෙ...මම කිව්වෙ බෙලිකටු මල්ල හෙලෙව්වෙ නෑ කියලයි :) :)

      Delete
    5. @ ජනූ,

      ඔන්න බලාපං සර්ලට කතා කරන විදිහ ''පොර''....... ෂිහ් අම්මප ඉතිං බොලාට පිහිටයිද සාස්තරේ?...:( :(

      ඔන්න ඒකට අපි...මෙච්චර මේ වයසට ගිහිල්ලත් අපි තාම ගුරුවරුන්ට සලකන්නෙ දෙයියන්ට වගේ.....

      මේ පහුගිය දවසක ඔන්න නුවර මාකට් එකේදි අපෙ පරන ටෙක් එකේ උගන්නපු සර් කෙනෙක් හම්බවෙලා මම ඒ මොහොතෙම වැඳ වැටුන පසඟ පිහිටුවා...

      වැඳල එහෙම අහක වෙලා නැඟිටල දණිස් එහෙම පිහදාල බැලින්නං ඒ වෙන ගොබිලෙක්....ඔන්න මට වෙන වැඩ...හෙහ්, හෙහ්,

      Delete
    6. අනේ ඒ කෙල්ල ගඟේ ගහගෙන යනකොට දඩයක්කාර බුවා හින්දි පිචර් එකක වගේ එයාව බේර ගත්තු හැටි, ඊට පස්සේ ඒ කෙල්ලගේ සීතල යවන්ට එයා ගිනි මැලයක් ගහපු හැටි, ඊට පස්සේ ....
      අනේ ඒ කෑල්ලත් කියන්ටකො...අනේ අනේ ....

      Delete
  9. ඒක ගෙදර දාලා ආවේ. කතන්දරේ ඊලඟ කොටස බලන්න එද්දි අරං එන්නංකෝ. ඒ හන්දා විගහින් දමන්ට ඊලඟ කොටස.

    ReplyDelete
  10. //ඔහුගේ කඩවසම් රූපකාය කොපමණ වැඩි විය පත් ගම්වාසි දැරියනගේ නෙතට රසඳුනක් වුවද, තම ගෙපැල තුලට වැද සැඟව ගත් වනම දොර කවුළු හෝ පැළලි අතරින් එබී බැලීම හැරෙන්නට වෙනත් උකුළු මුකුළු කෙලි කවට කමක නිරතවීමට ඔවුනගෙන් එකියක හෝ නිර්භීත වූයේ නොවේ.//

    හැබෑද අයියේ? :(
    අපරාදේ. ඕකෙන් නියම ලව් ඉස්ටෝරියක් ලියන්ට තිබුනා නේ. සික්. කොහොමද ගමේ ආරච්චිගේ දෝණි එක්කල අපේ හැන්ඩි දඩයක්කාරයා සෙට් කරා නම්?
    අයියේ මේ ඉස්ටෝරියේ ලව් කෑලි මදි! ඉක්මනටම හොඳ ලව් කෑල්ලක් දාන මෙන් මම තදින් ඉල්ලා සිටිනවා!!!

    ReplyDelete
  11. මන් මේ කල්පනා කලේ මේ මනුස්සය රවී අය්යගෙ කතාව කියෝලා මොලේ කොලොප්පම් වෙලාද නැත්තන් රවී අය්යා මේ කතාව කියෝලා මොලේ කොලොප්පම් උනාද කියල..නැත්තන් බොලේ මේ දෙන්නම කියන ඒවා ඇත්තටම වෙලාද? :O
    http://www.facebook.com/photo.php?fbid=375797112483326&set=a.228141770582195.58780.228131663916539&type=1&theater

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...