Monday, December 31, 2012

151. දැවැන්තයකුගේ නික්මයාම …….....He was truly a Giant Metaphorically as well as literally


 ඒ දවස්වල...... ඒ කිව්වෙ අපි පොඩි කාලෙ, ඉංග්‍රීසි භාෂාව උගන්නන්ට පටන් ගත්තෙ තුනේ පංතියෙ ඉඳල. ඉංග්‍රීසි කියවල තේරුම් ගන්ට මගෙ තිබ්බෙ පුදුම ආසාවක්, ඒ වගේම උනන්දුවක්....මොකද කියල හිතන්ට පුළුවනිද ඔයාලට ඒකට ප්‍රධාන හේතුව?..........වෙන මොහොකටවත් නෙවෙයි ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුවෙ පලවෙන ක්‍රිකට් තරඟ ගැන විස්තරේ කියවන්ට!!!!.......:) :)

පස්සෙ කාලෙක ඉංගිරිසියෙන් ලියවුනු නවකතා, කෙටි කතා, විචාර, ඉතිහාසය ගැන පොත්, ඔය හැම එකක්ම කියවන්ට බොහොම ඉක්මනින් හැකියාව ලැබුනෙත් බලාගෙන යනකොට ක්‍රිකට් වලට පිං සිද්ද වෙන්ට කියල කියතැහැකි...

හැත්තෑව දශකයෙ මැද හරියෙ....අර ටී.ජී.....අපේ පෙරකදෝරු නෝන මහත්තැං කියන විදිහට අපි ඇවිල්ල හැත්තෑව දශකයෙ යෞවන යෞවනියො නෙව....හෙහ්, හෙහ්, හේ.....ඇත්තටම බලාගෙන යනකොට ඒ කතාවෙ වැරැද්දකුත් නෑ තමයි...

කෑගල්ල.....ඒ දවස්වල බොහොම නිසංසල නිස්කලංක නගරයක්....කෑගල්ල විතරක් නෙවෙයි ඒ කාලෙ හැම නගරයක්ම බොහොම නිස්කලංකයි, නිශ්ශබ්දයි.....යොවුන් විය සහ ළමාවිය අතර අර එහාටත් නැති මෙහාටත් නැති සංක්‍රාන්ති යුගයෙ පසුවුනු අපි ගෙව්වෙ බොහොම ආශ්වාදජනක කාලයක්.....

ඔය කාලෙ මගෙත් මගෙ යාලුවන්ගෙත් එකම ක්‍රීඩාව වෙලා තිබ්බෙ ක්‍රිකට්...අපිට ඒ දවස්වල ඒක පිස්සුවක් වගෙ...ඉස්කෝලෙ පටන්ගන්න ඉස්සරවෙලා.... පීරියඩ් පහක් ගිහාම තිබ්බ ඉන්ටවල් එකේ.... 11. 30 විතර ඉඳල විනාඩි 20 යි .....ඊට පස්සෙ පුළුවන් උනොත් ඉස්කෝලෙ ඇරිල ආයෙම පැය බාගයක් විතර...තණකොල ගහක් නැති වැලි පිට්ටනියෙ අපි කලේ ක්‍රිකට් ගහන එක...පාට පාට රබර් බෝල.......විකට් එක ඇවිල්ල අපි පොත් ගෙනියන සූට්කේස් දෙකක් දිග අතට එක උඩ එක තියල පිටිපස්සෙං මුක්කුවක් ගහල...මුක්කුව බොහොම වෙලාවට පොල්පිති බිඩංගයක්....

ඔය සූට්කේස් දෙක එක උඩ තියල බැලන්ස් කරන්න යනව සෑහෙන වෙලාවක්....ඉතිං එකෙක් Clean Bowled උනොත් එහෙම තමයි සෙල්ලම....ආය හදාපල්ලකො විකට් එක දිව විකාගෙන...ඉන්ටවල් එක විනාඩි විස්සයි, දෙන්නෙක් පිට පිට Bowled උනොත් එහෙම ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්,

ඔය සූට්කේස් විකට් වැඩේ හින්ද දුවද්දී දැවී යාම් නැත්තං Run Out කරන්ට තිබ්බ අවස්තා බොහොමයක් මඟ ඇරුන..... මඟ ඇරුන නෙවෙයි ඇත්තටම අපි හිතා මතාම මඟ ඇරියා. විකට් එක ගාව විකට් කීපර් හිටියෙ නැත්නම් පිතිකරුවා දවාගන්ට කොච්චර හොඳ අවස්තාවක් තිබුනත් අපි ඈත ඉඳල විකට් එකට බෝලෙන් දමා ගහන එක කලේ නෑ. විකට් එක කඩල එකෙක් අවුට් කරල ඊට පස්සෙ විනාඩි දහයක් විතර අර අවුට් වෙච්ච එකාටයි බෝලෙන් දමල ගහපු එකාටයි අම්ම මෝ නැතුව බැණ බැණ විකට් එක ආයෙම හදනවට වඩා අර රන් එක නිරුපද්‍රිතව ගන්න ඉඩ දෙන එක හොඳයි කියලයි අපෙ පිළිගැනීම වෙලා තිබ්බෙ.

ඉස්කෝලෙ ක්‍රිකට් ගැහිල්ල ගැන ඒ..ඊට පස්සෙ ගෙදර ආහම අහල පහල කොල්ලො කුරුට්ටො එක්ක එකතු වෙලා කොහෙ හරි මිදුලක ආයෙම පටන් ගන්නව කිරිකැට් ගැහිල්ල...එහෙම සෙල්ලං කරද්දි අපි එක එක්කෙනා ඒ දවස්වල සුප්‍රකට ක්‍රීඩකයංගෙ නං ආරූඪ කර ගැනීමේ සිරිතකුත් තිබුන...

" අද මම සෝබර්ස් "...ඔන්න එකෙක් කියනව......ගැරී සෝබර්ස් ඒ වෙනකොට ක්‍රීඩා කලේ නැති උනත් අපි අතරෙ නාමාරූඪ කර ගැනීමේදි ඉහල ඉල්ලුමක් තිබුනු ක්‍රීඩකයෙක්.ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ල හිටිය ඒත් අපි අතර ජනප්‍රිය චරිත තමා, ඩොන් බ්‍රැඩ්මන්, ලෙනාඩ් හට්න්, රොහාන් කනායි, බිල් ලෝරි සහ මයිකල් තිසේරා....

" මම වෙස්ලි හෝල්…"කියල ඔන්න පලවෙනි ඕවර් එක ෆාස්ට් බෝලිං....ඊලඟ ඕවර් එකේදි දඟ පන්දු ..එතකොට මම ප්‍රසන්නා..නැත්නම් බේඩි.....:) :)


මම අද බ්‍රැඩ්මන්ය කියල පපුව එහෙම පුම්බගෙන නහයට කෙලින් බලාගෙන බැට් කරන්ඩ ගිහිල්ල පළවෙනි බෝලෙන්ම පොලු ගලෝල යන දවසුත් නැත්තෙමත් නෑ ඔන්න කිව්වම මක් වෙනවද?.....:( :(


අපි එක්ක සෙල්ලම් කරන්ට ඉඳහිටල ආපු අපෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් හිටිය...අවුරුදු තුන හතරක් වැඩිමල් මේ මනුස්සය මාර උසයි. ඒ දවස්වලත් මට හිතෙන්නෙ අඩි පහමාරක් වගෙ වෙන්න ඇති උස....අපිට තිබ්බ බැට් ඔක්කොම වගෙ අපෙ උසට හදාගත්තුවනෙ...මෙයාට ඒ බැට් මදි...තුන් කුදු ගැහිල ඉන්නෙ විකට් එක ගාව. අවුට් කරන එක අපිට කජු කන්න වගෙ. පස්සෙ පස්සෙ මිනිහ අපි එක්ක ක්‍රිකට් ගැහිල්ල අතෑරලම දැම්ම...මට හිතෙන්නෙ එපා වෙලාමද කොහෙද.....හෙහ්, හෙහ්,

අර සෙල්ලං කරද්දි එක එක්කෙනා නං දාගන්නව කියල මම කිව්ව මතකයි නේද?....මේ දීග ජන්තුවට අපි ඉස්තිරවම නමක් වෙන් කරලයි තිබ්බෙ...ටෝනි ග්‍රේග්....ඒ දවස්වල එංගලන්තෙ නායකය....ඒ එක්කම මම හිතන්නෙ ලෝකෙ උසම ක්‍රීඩකයා......අද මේ සටහන ලියන්ට හේතුබූත උනෙත් ටෝනිම තමයි. මේ පහුගිය සෙනසුරාද උදේ ටෝනි මියගියා පිළිකාවකින්....

සතියෙ හත් දවසෙම ක්‍රිකට් ගැහිල්ලට අමතරව තව ඔය පිස්සුවෙ එක අංගයක් තරඟවල විස්තර ප්‍රචාර අහන එක...ඔය පිස්සුව නිසාම ඕස්ට්‍රේලියාවෙ, එංගලන්තෙ සහ වෙස්ට් ඉන්ඩීස් වල වෙලාවත් එක්ක ලංකාවෙ වෙලාවෙ වෙනස ගැන මට හොඳ අවබෝධයක් තිබුන ඒ කාලෙදිම..එහෙම නැතුව බෑනෙ....මම මුලින්ම සජීවී විස්තර ප්‍රචාරයක් ඇහුවෙ 1975 මුල්ම ලෝක ශූරතාවය.....B.B.C. එකෙන් අරගෙන S.L.B.C. එකෙන් විසුරුවා හැරි විකාශනයෙන්......ඊළඟට 1975-76 වෙස්ට් ඉන්ඩිස් සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලිය ....පලවෙනි ටෙස්ට් එක බ්‍රිස්බේන්වල ඒක එච්චර අවුලක් නෑ ලංකාවෙ වෙලාවෙන් උදේ හයට මැච් එක පටන් ගත්තෙ.... සෙකන්ඩ් ටෙස්ට් එක පර්ත්, ඒක පටන් ගන්නෙ උදේ අටට...කිසි අවුලක් නෑ...ඊට පස්සෙ ඔන්න මෙල්බර්න්....එතන ටිකක් වැඩේ කචල්...වෙලාවෙ වෙනස පැය පහමාරක්...ඒ කියන්නෙ පාන්දර පහට නැඟිටින්න වෙනව...

අපේ ඒ දවස්වල තිබ්බෙ පරණ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක්..තඩි රෝදයක් කරකවල මීටර් අල්ලන්ට ඕන..ඕකෙ රෝදෙ කරකවද්දි මීටර් අහු උනාට රතු පාටට තිබ්බ ඉන්ඩිකේටර් එක වැඩ කලේ නෑ.ඉතින් මම කරන්නෙ ඕස්ට්‍රේලියාව අහුවෙන තැන පැන්සලකින් පොඩි ඉරක් ගහනව සිරස්ව..ඒ කරල එතන ලියනව කැපිටල් A අකුරක්. B.B.C. අහුවෙන තැන ඔන්න මොකක්ද?...E අකුරක්...

ඔය රේඩියෝව භාරව නිසි බලධාරී විදිහට ස්වයං පත්වීමක් ලබල හිටියෙ අපෙ මාම. අම්මගෙ ළඟම අයියට වැඩුමල් අයියට වැඩුමල් අයිය. මිනිහට ඇල්ලුවෙ නෑ..මේ රේඩියෝ එකේ එක එක දේවල් කුරුටු ගාන එක..ඒත් " මොනවද මේ මේකෙ ලියන්නෙ ? "...කියල සුටු පුටු ගෑව මිසක මට මොකවත් කියන්ට ආවෙ නෑ..:) :)

හරි ඔන්න මෙල්බර්න් වල මැච් එක අහන්ට මම උදේ නැඟිටිනව පහට...අපෙ තිබ්බ ඒ කාලෙ සිදුහත් කුමාරය අභිනිෂ්ක්‍රමනය කරන්ට යන්ට එලාම් එක තිබ්බ ඔරලෝසුව..ඒකම නොවුනත් ඒකෙම එක බැච් එකේ සහෝදරයෙක් අනිවාර්යයෙන්ම.තඩි බටර්ෆ්ලයි නට් එකක් වගෙ එකක් කරකෝල තමයි එලාම් එක තියන්න ඕන...ඊට පස්සෙ සබන් දාල අත හෝදනකල් ඉවසන්ට බෑ අතේ මළකඩ ගඳ....:)

එලාම් එක තියල ඇහැරල මම හෙමීට එනව සාලෙ බුදු පිළිමෙ ගාව පල්ලෙහ මේසෙ උඩ තියන රේඩියෝ එක ලඟට. සාලෙ ලයිට් එක දාගෙන අල්ලනව A.B.C. මෙල්බර්න්.... සද්දෙ හොඳටම අඩු කරල අහනව සජීවී විස්තර ප්‍රචාරය.... මොකද ගෙදර අනික් අය ඔක්කොම ගොරව ගොරව නිදි...මට පිස්සු තිබුනට එයාලටත් පිස්සු නෑනෙ.....ඔය අපෙ ට්‍රාන්සිස්ටර් එකේ තිබ්බ ලෙඩක්...සද්දෙ හිටපු ගමන් අඩු වැඩි වෙනව...ඔන්න මම හෙමීට කණත් ලංකරල අහගෙන ඉද්දි එක පාරට වැඩි වෙනව සද්දෙ.... කණත් බීරි වෙල යනව...

Incomes Lillee from the members end past umpire Bailhache right arm over the wicket to Fredericks, short of length outside the off stump, Fredericks drives on the up….ඔන්න එක පාරටම සද්දෙ වැඩිවෙනව,කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව..හෙහ්, හෙහ්,...... PAST COSIER AT POINT, THE BALL RUNNING…..

'' මොකද පුතා මේ පාන්දර ඇහැරගෙන කරන්නෙ? '' අම්ම එනව ඇහැරල......


'' මේ මැච් එකක් අහනව අම්මෙ…'' මම හෙමීට කියනව....


'' හා, හා,……. ඕකෙ සද්දෙ ටිකක් අඩුකරන්න..අනික් අය නිදිනෙ.. '' අම්ම යනව කුස්සියට

එංගලන්තෙ මැච් ගහනකොට කිසි අවුලක් නෑ...එයාල පැය පහමාරක් පරක්කුයි. මැච් එක පටන් ගන්නෙ හවස හතරට විතර..රෑ එකොලහට වගෙ ඉවරයි...වෙස්ට් ඉන්ඩීස් වල ගහන මැච් අහන එක තමයි පණයන සෙල්ලම...වෙනස පැය නමයහමාරයි...ඒ කියන්නෙ මැච් පටන් ගන්නෙ රෑ අටට විතර....ඉවර වෙන්නෙ පාන්දර තුනට....කොහොමද වැඩේ? ඒත් මට මතකයි ඉන්දියාව ලෝක වාර්තාවක් තියල ලකුණු 406 ක ඉලක්කයක් හඹා ගිහිල්ල දිනුව මැච් එක මම ඇහුව ඔය පාන්දර හීතලේ බෙඩ් ෂීට් එකකුත් පොරවගෙන....:) :)

ඔය විදිහට බොහොම නිසංසලේ ගලාගිය ක්‍රිකට් ක්‍රීඩාව එක පාරටම උඩු යටිකුරු වෙන්නෙ 1977 දි. කෙරී පැකර් නම් ඕස්ට්‍රේලියානු චැනල් 9 රූපවාහිනී ආයතනයෙ හිමිකරුවත් එක්ක එකතුවෙලා ඒ කාර්යයට උර දෙන්නෙ අපෙ කථානායකය...මිස්ටර් ටෝනි ග්‍රෙග්...ඒ කාලෙ එයා එංගලන්ත කණ්ඩායමේ නායකය..මට මතක විදිහට 1977 පෙබරවාරි විතර ලංකාවටත් ආව.දිවා රාත්‍රි විදුලි ආලෝකය මැද තරඟ පැවැත්වීම, නොයෙක් වර්ණ ඇඳුම් භාවිතය, සුදුවන් පන්දුවක් සහ කාලවර්න දර්ශන තිරයක් යොදාගැනීම ..ඒ කෙරී පැකර් සහ ටෝනි ග්‍රෙග් එක්ව සංවිධානය කල World Series Cricket තරඟාවලියෙන් හඳුන්වාදුන් නවතම විශේෂාංග.

අවුරුදු දෙකයි මේ WSC වැඩේ තියෙන්නෙ..1979 කෙරී පැකර් ඒ තරඟාවලිය නවත්වල දානව. කෙරී පැකර් එක්ක ගිවිසුම් අත්සන් කරල WSC තරඟ වලට සහභාගි වෙච්ච අනික් ඔක්කොම ඕස්ට්‍රේලියන්, බටහිර ඉන්දීය සහ එංගලන්ත ක්‍රීඩකයන්ට නැවත නිල වශයෙන් තම මව් බිම වෙනුවෙන් ක්‍රීඩා කරන්ට අවස්ථාව ලැබෙනව...ටෝනිට හැර!!!!!! ඒ තරඟාවලිය සංවිධානය කිරීමේ පාප කර්මය නිසාම ටෝනි ආයෙ කවදාවත් එංගලන්ත කණ්ඩායමේ දොර ඇරෙන්නෙ නෑ..ඔහු චැනල් 9 සේවයේ විස්තර විචාරකයකු විදිහට එදා ඉඳල කටයුතු කරනව...ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි නුවර පදිංචියටත් යනව දරු පවුල එක්කම....

ඇත්තටම ක්‍රීඩයෙක් විදිහට වඩා බහුතරයක් ටෝනිව දන්නෙ රූපවාහිනියෙ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට. ශ්‍රී ලංකාව එක්ක ඔහුගෙ තිබ්බෙ සංසාරගත බැඳීමක්. ඔහුගෙ විස්තර ප්‍රචාරය ඒ විදිහට කරන්ට පුළුවන් ටෝනිටම විතරයි. පිට්ටනියෙ ඉන්න අන්නාසි කාරයො, පපර බෑන්ඩ්ස් ඒ හැම කෙනෙක් ගැනම ඔහුට තිබුන මොනව හරි කියන්ට.ටෝනිට තිබුනු තව ඇබ්බැහියක් ඕවර දෙකක් අතර තරඟය නරඹන කාන්තාවන්ගෙ කුණ්ඩලාභරණ ගැන විස්තර කරන එක.

" Okay, while they change ends down there let’s get some real close shots of what the ladies are wearing on their ears….aah….look at that, that’s really nice……"

ටෝනිගෙ මේ මැච් එකක් වෙලාවෙ වෙන අනම් මනම් පෙන්නන පුරුද්ද නිසා එක පාරක් හරිම අකරතැබ්බකුත් උනාය කියනව..ගාල්ලෙ මැච් එහෙකදි කොටු බැම්ම උඩට වෙලා නොමිලේ මැච් බලන කට්ටිය ගැන විස්තරයක් කරන්ට ටෝනිට ඕන උනා. හරියටම වෙලාවට කැමරාව ෆෝකස් වෙලා තියෙන්නෙ කුඩයක් යට හිටපු කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි. ටෝනිට මදෑ මේක.......උං දෙන්නට කැමරාව අල්ලල දුන්න පොරි හැලෙන්ට ටෝක් එක විනාඩි පහක් විතර...කරුමෙය කියන්නෙ මේ කෙලී ගෙදරට ක්ලාස් යනවයි කියලයි ඇවිත් තියෙන්නෙ. උන්නෙ අම්ම දැකල මේ යෝදිව ටී. වී එකේ.

පස්සෙ කෙල්ලගෙ අයියල කට්ටිය ඇවිල්ල අර කොළුවට නෙලල මදි නොකියන්ට.ඕකෙ හැබෑ බොරු ගැනනම් ගැරන්ටියක් දෙන්ට අමාරුයි..ඕක තිබ්බෙ අර එක පත්තරේක යන්නෙ ****** හැදෙන සඳ කියල තීරුවක්. අන්න ඒකෙ. සීයට අනූවක් ඕකෙ යන්නෙ අතේ රෝල්.ඒ එක්කම තව ආරංචියක් ආව අර නිල් වෙන්ඩ කාපු කොල්ල උගෙ ගැන්සිය එක්ක ඇවිල්ල ගාල්ලෙ ස්ටේඩියම් එක ලඟ දවස් දෙකක්ම රැකල හිටියයි කියල ටෝනිට නෙලන්ඩ. හැබෑ බොරු නම් මන්ද….. ඒත් ඊට පස්සෙ අවුරුදු දෙකක් විතර යනකල් ටෝනි ගොයිය ලංකාව පළාතෙ ආවෙ නෑ නම් තමා...හෙහ්, හෙහ්,

ටෝනි සහ අපි...........මේ අපූරු සම්බන්ධය පටන් ගත්තෙ 1996 ලෝක ශූරතා තරඟාවලියෙදි..ඊට මාස තුනකට දෙකකට කලින් මුරලිගෙ ප්‍රශ්නෙදිත් ටෝනි අපේ පැත්තට හිටිය.....

"I just love the way these little Sri Lankans play," 
 
 
ටෝනි මෙහෙම කිව්වෙ මට මතක විදිහට පලවෙනි ගෲප් මැච් එකේදි..සිම්බාබ්වේ එක්ක…

"I really think they can win this World Cup if they play well."

 
 
 
Quarter Final ආවොත් ඒ ඇතිය කියල හිතාගෙන හිටපු අපටත් යකෝ ටෝනිත් මෙහෙම කියනව නං අපිට බැරි වෙන්ට හේතුවක් නෑනෙ කියල හිතෙන්ට පටන් ගත්තෙ ඔන්න ඊට පස්සෙ...:) :)

රොමේෂ් කළුවිතාරණට Little Kalu…. ඒ වගේම සනත් ජයසූරියට Master Blaster….. ඒ ටෝනි දාපු නම්....අර්ජුනට Captain Cool කියල නම දැම්මෙත් මට මතක විදිහට ඔහුම තමයි...

අවසන එදවස උදාවිය...1996 මාර්තු 17..ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය...

වසර සතලොසකට ආසන්න කාලයක් ගෙවී ගියද තවමත් සිතට නැඟෙන විට නෙත් තෙත් වන ඒ අවසාන මොහොත...අද මේ මොහොතේ වුවද මොහොතකට දෙනෙත් පියාගත් සඳ මට සැනෙකින් ඒ අසිරිමත් මොහොත සිතෙහි ඉතා පැහැදිලිව මවා ගත හැක.

විය යුතු ලෙසම අවසාන ජයග්‍රාහී පියවර....අර්ජුන සහ අරවින්ද.......කඳුලු පිරි නෙතින් දුටු ඔවුන්ගෙ බොඳවී ගිය රූ දසුන්.....එසේම වියයුතු ලෙසම එසඳ විස්තර ප්‍රචාරක අට්ටාලයෙහි සිටියේ ඔහුය...

" These Sri Lankans are giving the Aussies a real hiding,…."

අර්ජුන ෂේන් වෝන්ගේ පන්දුවකට Square Leg හරහා හයේ පහරක් එල්ල කල පසු ඒ ටෝනිගේ හඬ....

"A little fairytale".


ලෝක ශූරතාවය දිනූ පසු ඒ ජයග්‍රහණය ඔහු හැඳින්වූයේ එලෙසය.


"The thing that I like about these guys is that they not only win, but they win in style. It is only a small place, Sri Lanka, and what a moment this is for Sri Lankan people."

 
 
 
Yes, Tony…It was the greatest moment in the history of Sri Lanka…Well, that’s as far as my opinion goes at least……:) :)

So Thanks dear, for being such a great friend of us….and thanks for all the entertainment you provided in your own inimitable style…you are one of a kind…..

RIP & good bye Tony….. to all 6 - 6 " of you !!!!

 

 


16 comments:

  1. මට පේන්නේ ටොනි ගැන ගොඩක් ලියවිලා තියෙනවා කියලා, පිට රටක වෙන කෙනෙක් ගැන ලියවෙනවට වඩා, මේ සිංහල බ්ලොග් අවකාශේ... ක්‍රිකට් එකක් වගේම ටෝනිත් එක්කත් ඒ තරම් බැඳීමක් ලංකාවේ පරම්පරා කීපයකම තිබිලා තියෙන බව මේ ටිකේ පෙනුනා..

    මම නම් ඉතිං ක්‍රිකට් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ නේ... හැබැයි ඔය වර්ල්ඩ් කප් එකේ සිද්ධි ටික නම් මතකයි.. ඔය කොල්ලගෙයි කෙල්ලගෙයි සීන් එක එහෙම... හි හි.. ටෝනි අපේ කට්ටියට “ ලිටිල්” කිව්වේ අපේ උන් කොට නිසාද නැත්තම් රට පොඩි නිසාද දන්‌ෙන නෑ.. හි හි...

    මට නම් හිතෙන්නේ ටෝනි සෙල්ලම් කළේ සහ විස්තර විචාරය කළේ, ක්‍රිකට් ගැන තිබ්බ පුදුමාකාර ආදරය සහ පැෂන් එකත් එක්ක හින්ද වෙන්න ඕනේ මේ තරම් පිරිසක් ටෝනිට ආදරය කරන්න ඇත්තේ.. කිසිම රටකට විශේෂයක් නොකරන්නත්, ක්‍රීඩාව, ක්‍රීඩාවක් විදිහටම බාර ගන්න හැකියාවක් ටෝනිට තිබ්බේ ඒ නිසා වෙන්න ඕනේ...විශේෂයෙන් දැං ඉන්න ගොඩක් ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ සල්ලි වලට මිසක් ක්‍රීඩාවට ආදරයකින් නොවෙන බව පේන නිසා...

    RIP & good bye Tony..

    ReplyDelete
  2. හරිම කණගාටු හිතෙන වෙන්ව යෑමක්.

    මම නම් ක්‍රිකට් පිස්සියක්. කාලයක් නොකා, නොබී ක්‍රිකට් බැලුවේ. ටෝනි නැති ක්‍රිකට් ලෝකය කොයි වගේද කියලා හිතාගන්ටත් අමාරුයි. ඔහු මධ්‍යස්ථ නිවේදකයෙක්. ලංකාවට ආදරේ කරන කෙනෙක් . ඔහුගේ විස්තරවල හැබෑ අලංකාරයක් තිබුනා. චමින්ද වාස්ගේ නමේ දිග, ඔහු හින්දි ගී ඇසීමට කැමතිබව වගේ ක්‍රීඩකයින්ගේ පුද්ගලික තොරතුරු පවා ඔහු දැනගෙන හිටියා.ඔහු ගැන ලියනවා නම් පෝස්ට්ටුවක්ම ලීව හැකි.

    ඔහු හොඳ මිනිසෙක් නිසා වෙන්ට ඇති ඉක්මනින් නික්ම ගියේ. ඔහු සමාදානයේ සැතපේවා කියලා පතමු.

    ReplyDelete
  3. බොහොම කණගාටු හිතුනා දැනගත්තහම.... ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවෙන චරිතයක්... ඒ වගේම ක්‍රිකට් නිවේදක කුටියේ සිට ඔහු ශ්‍රී ලංකාව ගැන කල කතා බහ, අනෙක් බොහෝ නිවේදකයන්ගේ ඇස් ඇරවන්න සමත් උනා. විශේෂයෙන් මුරලි සම්බන්ධ ප්‍රශ්නයේදී.... ක්‍රිකට් විචාරයක් ඇහෙනකොට ඔහුගේ හඬේ අඩුව තදින්ම දැනේවි.

    ReplyDelete
  4. නිවන්සුව ටෝනි... ඔබට

    ReplyDelete
  5. හ්ම්ම්. ඔහුත් යන්න ගිහින්...

    ReplyDelete
  6. ක්‍රිකට් එක්ක හදවතට හුඟක් සමීප වුණ චරිතයක් කිව්වොත් බොහොම හරි........

    ReplyDelete
  7. උඹත් එක්ක මේ වැඩේ කොරන්ට බෑ බං අයියෙ.. මටත් ඔය වගේම පිස්සු ක්‍රිකට් අතීතයක් තිබ්බා, මේවා කියෝලා ආපහු එවුවා මතක් වුනා බංස්, ආසාවේ බෑ.. ඩේලි නිවුස් එක ගත්ත ගමන් බලන්නෙ අන්තිම පිටුව (ස්පෝර්ට්ස් පේජ් එක), මොකද අපට ඒ කාලෙ මේ වගේ ඉන්ටර්නෙට් තිබ්බා කියලයැ පැයෙන් පැයට ස්කෝර් එක බලාගන්ට.. හැබැයි මට ඔය රේඩියෝ එකේ මැච් අහන්ට ඒ හැටි සෙට් වුනේ නං නෑ, මොකද ඒ වෙනකොට ටීවී එක ඒ තත්ත්වෙට ඇවිත් තිබුන නිසා.. මට තාම මතකයි බලපු පළවෙනි මැච් එක, ඉන්දියාවත් එක්ක අපි දිනපු පළවෙනි ටෙස්ට් මැච් එක, අර රවි ශාස්ත්‍රි අවුට් වෙලා බැට් එක පොළොවෙ ගහන සීන්ස් එක එහෙම.. ඒත් එකම එක පාරක් වෙස්ට් ඉන්ඩීස් සීරිස් එකක් අහන්ට සෙට් වුනා (අර කිවුවත් වගේ මහ රෑ) ඒ මැචස් ටික ටීවී එකේ පෙන්නුවෙ නැති නිසා..

    මම හැමදාමත් කියන දෙයක් තමා නියම ආස්වාදනීය ක්‍රිකට් තිබුනෙ 70-80 දශක වල කියන එක.. 90 දශකයෙත් මැදක් වෙනකං ටිකක් හොඳයි, ඒත් ඊට පස්සෙ ක්‍රිකට් විනාස කලා වෙළෙන්දො එකතු වෙලා.. දැන් තියෙන්නෙ ක්‍රිකට් නෙවෙයි, සල්ලිවලට එහාට මෙහාට දුවන ජෝකර්ලගෙ ජෝක් එකක් විතරයි.. ඒ නිසයි ලිලී, තොම්සන්, චැපල් සහෝදරයො, වෝල්ටර්ස්, සෝබර්ස්, රිචර්ඩ්ස්, ලොයිඩ්, කන්හායි, ගානර්, රොබර්ට්ස්, මරේ, හෝල්ඩින්ග්, කවුඩ්‍රි, බොතම්, ග්‍රෙග් වගේම අපේ අනුර තෙන්න‍කෝන්, වෙත්තමුනි සහෝදරයො, රත්නායකලා (රවි & රුමේෂ්), විනෝදන් ‍ජෝන්, ලැබ්‍රෝයි, කළුපෙරුමලා තාමත් අපේ ලෝකෙ වීරවරයො වෙලා ඉන්නෙ.. මේ මිනිස්සු ෆ්ලැනල් ඇඳලා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් මැද නිකංම හිටගෙන හිටියත් බලන්න ආසයි.. ඒත් දැං..!!??

    ................................

    ටෝනි ගැන කතාකරනවානං මම වඩා කැමැති අර ලස්සන දිග බ්ලොන්ඩ් කොණ්ඩෙ සුළ‍ඟෙ පැද්දෙද්දි බෝල් කරන්ට දුවගෙන එන ක්‍රිකටර් ගැන කතාකරනවාට වඩා තට්ටෙ තියෙන කමෙන්ටේටර් ගැන කතා කරන්ට.. මම හිතන විදියට ඔහුගෙ විශේෂත්වය තිබුනෙ ඒ කටහඬෙයි.. ඔහු තරම් අපේ ඇඟේ හී ගඩු පිපෙන තරම් ගැඹුරු, අනන්‍ය වූ කටහඬකින් කමෙන්ට්‍රි එක දෙන අනික් එකම එක්කෙනා මයිකල් හෝල්ඩින්ග් විතරයි.. ආලට්ලා, සයිමන් හියුස්ලා, චැපල්ලා, බෙනෝලා කොච්චර විශේෂඥ කමෙන්ටේටර්ස්ලා වුනත් ඇඟට දැනෙන විදියට කමෙන්ට්‍රි එකක් දෙන්නෙ මේ දෙන්නා විතරයි මම හිතන විදියට.. අනිත් අතට අපි ක්‍රිකට් රටක් විදියට ඔහුට සදා ණයගැතියි හැමදාමත් අපේ ක්‍රිකට් වෙනුවෙන් ‍පෙනී හිටියට චැපල්ලා, බෙනෝලා, ලොයිඩ්ලා විතරක් නෙවෙයි අපේම කලාපයේ ගවස්කාර්ලා, ශාස්ත්‍රීලා වගේ අයත් අපට එරෙහිව කතා කරද්දී..

    ................................

    පලි: දිග කමෙන්ට් එකක් ලියැවුනා බං අයියෙ.. කරන්ට දෙයක් නෑ, උඹ අද ටච් ක‍ලේ මගේ හදවතේ ගැඹුරින්ම තියෙන ඒ වගේම සුන්දරම මාතෘකාවක්..

    පපලි: ‍මේ, මෙවුවා මෙහෙම කතා කොරන්ට බෑ බොල.. වෙලාවක සෙට් වෙලා දෙකක් නවාගන්න ගමන් කතාකොරමු.. මට පේන විදියට උඹටයි මටයි කතා කොරන්ට, අපට සමීප පොදු දේවල් මහ හුඟක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ බුදු මල්ලියේ, කිරිකැට් ගැන ලියන්ට ගියොත් මට ලිව්වැකි ඔය දඩයක්කාරය ගැන ලියනව වගෙ එක දිගට අවුරුද්දක් විතර....අනෙ අම්මප..

      මයෙ තව පිස්සුවක් තමයි ඒ කාලෙ ඔය මැචස් වල ස්කෝ කාඩ්ස් එතනින් ගිහාම තරඟ විස්තර පින්තූර එහෙම මැගසින් වල පත්තරේ යන්නෙ..අන්න එව්ව එකතු කරල පොත්වල අලෝන එක...අපෙ මහ ගෙදර තාම ඇති මගෙ පරණ පොත් අල්මාරියෙ එව්වගෙ හදපු පොත් දහයකට වැඩිය...

      ඒ කාලෙ මගෙ ප්‍රියතම ක්‍රීඩකය අනුර තෙන්නකෝන්...හෙහ්, හෙහ්, කිව්වට විස්වාස කරපන් මම හදපු මුල්ම පොතේ පළවෙනි පිටුවෙම අලවල තියෙන්නෙ අනුරගෙ මඟුල් පින්තූරෙ...:) :)

      තව මා ළඟ තියන වටිනාකම කියන්ට බැරි කෞතුක වස්තුවක් තමයි 1948 ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙ අවසාන එංගලන්ත චාරිකාවෙ පත්තර වල පලවෙච්ච විස්තර අලවපු ස්ක්‍රැප් බුක් එකක්. ඕක මට ලැබුණෙ මගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන්. එයගෙ මහප්ප කෙනෙක්ගෙලු ඒ පොත. මයෙ ක්‍රිකට් පිස්සුව ගැන දන්න නිසා මිනිහ මට ඒ පොත දුන්න :) :)

      1975 වෙස්ට් ඉන්ඩීස් ටුවර් එකේ ඉඳල 1979 වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක වෙනකල් ඔක්කොම මැචස් වගෙ මම බැලුව..ඒත් ඊට පස්සෙ නම් බලන්ට උනේ අස්ගිරියෙ ගහන ටෙස්ට් එක විතරයි.

      හැත්තෑව අසූව දශකයෙ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මල්ලි උඹ කියල තියන කතාව සහතික ඇත්ත. දැන් නම් ක්‍රිකට් කියන එක තනිකරම සල්ලි පස්සෙම දුවන එකක් වෙල තියෙන්නෙ. අර I.P.L. මඟුල නම් මට දෑහැට පෙන්නන්ට බෑ. :(

      හැම දෙයක්ම කාලයත් එක්ක වෙනස් වෙනව තමයි. අපිට හැමදාම හනමිටි කර ගහගෙන ඉන්ට බෑ. ඒත් බං හැම දේකම තියෙන්න ඕන තිරිත්තමක්..මේක එහෙමද?.....ටුවෙන්ටි ටුවෙන්ටි කියල දෑත බදල නෙලනව හතර අතට හනුම දර පලන්නැහෙ...:( :(

      උඹට මතකෙයි....ඩේවිඩ් හයින්,දයා සහබන්දු,ඩෙනිස් ෂන්මුගම්, ජෙරී වවුටර්ස්,ජයන්ත සෙනෙවිරත්න,මෙවාන් පීරිස්, එහෙම...උඹේ කාලෙට සම් ටයිම්ස් පෙර වෙන්න ඇති.......

      අර ලංකාව ඉස්සෙල්ලම දිනපු මැච් එක...ඉන්දියාව එක්ක...ඒකෙ මතකද ලාස්ට් විකට් එක ගත්තෙ රුමේෂ් රත්නායක Caught & Bowled. ...මාර ඩයිව් එකක් දාල....බැට්ස්මන් මට මතක කපිල් දේව් වගේ....එදාට පහුවදා ජේ. ආර්. ලොක්ක රජයේ නිවාඩු දිනයක් කලානෙ හෙහ්, හෙහ්,

      මම ඒ දවස්වල පොළොන්නරුවෙ වැඩ කලේ. ලයිට් තිබ්බෙ නෑ. ජෙනරේටර්...කොහොම හරි මැච් එක දිනාගෙන එනකොට අපි ගිහිල්ල අපෙ ලොක්කට කියල ජෙනිය ඔන් කරවාගෙන බැලුව මැච් එක...හෙහ්, හෙහ්, ක්ලබ් එක ඇරවගෙන ඕල්ඩ් බෝතල් තුන හතරකුත් ගත්ත නම් තමයි ඒ එක්කම ආය මොකටද බොරුවක් කියන්නෙ.....

      අහ්, තව එකක්...ඒ දවස්වල තමයි ඔය Sports Star මැගසින් එක පටන් ගත්තෙ..තාමත් තියනව..මේ පාර ගිහාමත් මම ගත්ත ඒ මැගසින් එක...අපි ඉස්කෝලෙ යන කාලෙ ඕක ආවෙ මරදානෙ ස්ටේෂන් එක ඉස්සරහ සහිරා එකේ තාප්පෙ අයිනෙ තිබ්බ දෙමළ කඩයක්..අන්න ඒකට විතරයි. ඉතින් සිකුරාද ඉස්කෝලෙ ඇරිල මායි තව මං වගේම පිස්සෙක් හිටිය ...ඌයි යනව පයිම්ම Sports Star අරං එන්ට....ගෝතමිය පැත්තෙං තමයි ඔන්න යන්නෙ...හෙහ්, හෙහ්,

      / පපලි: ‍මේ, මෙවුවා මෙහෙම කතා කොරන්ට බෑ බොල.. වෙලාවක සෙට් වෙලා දෙකක් නවාගන්න ගමන් කතාකොරමු.. මට පේන විදියට උඹටයි මටයි කතා කොරන්ට, අපට සමීප පොදු දේවල් මහ හුඟක් තියෙනවා.. /

      එහෙනං එහෙනං..මොනවද ලතා මේ කතා...කිව්වලු....තියනව තියනව බං නොසෑහෙන්ඩ දේවල් තියනව කතා කරන්ඩ....හෙහ්, හෙහ්,

      Delete
    2. ඒ බං, උඹත් එහෙම පොත් හැදුවයැ.!? මාත් හැදුවා නෙවැ ඔය වගේ ස්කෝර් කාඩ්ස්, ආටිකල්ස් අලෝලා පොත්, හැබැයි දැන්නං එවුවා කොයි ලෝකෙද කියන්ට දන්නෑ.. මමනං හැබැයි ඇලෙවුවෙ විශේෂ වැදගත් මැචස් විතරයි.. මට මතකයි ලාරා 375 ගහලා සෝබර්ස්ගෙ රෙකෝර්ඩ් එක කඩපු වෙලාවෙ මැගසින් ආටිකල් එකක් ගියා සෝබර්ස් 365 ගහපු මැච් එකේ ස්කෝර් එහෙම දාලා.. මම ඉතිං මැච් දෙකේම ස්කෝර්ස් දාලා, දෙපැත්තෙන් ලාරාගෙයි සෝබර්ස්ගෙයි පිංතූරු අලවලා තව විස්තර දාලා හැදුවා පොතක්.. ඒ ව‍ගේම කපිල්දේව් හැඩ්ලිගෙ රෙකෝර්ඩ් එක කැඩුවමත් හැදුවා ඒ වගේ එකක්..

      ම‍ගෙ ගාවත් තිබුනා ඔය වගේම වටිනා වස්තුවක්.. 2007 ඈෂස් සීරිස් එක අල්ලලා මෙහෙ ඩේලි මේල් පත්තරෙන් දුන්නා DVD එකක්, පරණ ඈෂස් සීරිස්වල වීඩියෝ එකතුවක්.. බ්‍රැඩ්මන්ගෙ බොඩිලයින්, ලේකර්ගෙ විකට් 19, 77 සෙන්ටිනරි මැච් එක (අර ඩේවිඩ් හුක්ස් ග්‍රෙග්ට නෙලන්නෙ හතර වටේට), එත‍කොට 81 බොතම්ගෙ සීරිස් එක, ඔය වගේ වටිනා එකතුවක්.. අනේ පොරක් මගෙන් ඕක ඉල්ලගත්තා බලන්ට කියලා, DVD එක මිසින්.. මතක් වෙනකොටත් දුකේ බෑ.. :(

      Sports Star කිවුවහම මතක් වුනේ ඒ දවස්සොල මයෙ කාමරේ බිත්ති වැහිලා තිබුනේ ඒකෙන් දුන්නු පිංතූරු වලින් තමා.. ඒ දවස්සොල ඒ බිත්ති අරක්ගෙන හිටියෙ ඉම්රාන්, අක්‍රම්, ඇම්බ්‍රෝස්, වොල්ෂ්, රිචර්ඩ්ස්, හූපර්, රිචඩ්සන් වගෙ අය තමා.. ක්‍රිකටර්ස්ලා විතරක් නෙවෙයි එත‍කොට මැරඩෝනා, අයර්ටන් සෙන්නා, ජෝන් මැකෙන්රෝ, කොණ්ඩෙ දිගට වවලා පෝනි ටේල් එකක් දාපු ඇන්ඩ්‍රෙ අගාසි එහෙමත් හිටියා.. :)

      Delete
    3. හෙහ්, උඹත් එක්ක නම් බෑ..මේ මෙහෙම හරියන්නෙ නෑ...අතට අහුවන මානයෙ විස්කි බෝතලයක් තියෙන්නම් ඕන මේ දේවල් ගැන වැඩිදුර සාකච්ඡා කරන්ට....

      මගෙ කාමරේ නම් බිත්තිවල ක්‍රිකටර්ස්ලට අමතරව අලවල තිබ්බෙ වැඩිපුරම බියෝන් බෝග් ගෙ ෆොටෝස්...අනෙකුත් අවසේස ක්‍රීඩාවල නියුතු අය අතර මයෙ ෆේවරිට්....ෆුට්බෝල් වලින් නම් සොක්‍රටීස්, බෙබෙටෝ,රොමරියෝ සහ සීකෝ..ඔක්කොම බ්‍රසීල් ක්‍රීඩකයො....තව ජිමී කොනර්ස්, ලෙන්ඩ්ල් , ක්‍රිස් එවර්ට් , මාටිනා නව්‍රතිලෝවා...බිලී ජීන් කිං සහ මගෙ ප්‍රියතම ආතර් ඈෂ්..අර Blood Transfusion එකක් නිසා ඒඩ්ස් හැදිල මැරුනෙ...

      ඇගසි නම් දැන් තනිකර තට්ටෙ...මිනිහ බෲක් ෂීල්ඩ්ස් ( Blue Lagoon ) කලින් බැඳල හිටිය..දැන් ස්ටෙෆී ග්‍රාෆ් බැඳලයි ඉන්නෙ.

      සෙන්චිනරි ටෙස්ට් එක අවුරුදු තිස් පහක් ගිහිල්ලත් මට තාම මතකයි බං...ඒක නම් මාර මැච් එක නේද?...බලාපංකො අවුරුදු සීයකට පස්සෙ ඒ රිසල්ට් එකම ආපු හැටි ....හෙහ්, හෙහ්, Australia beats England by 45 runs….simply incredible..isn't it?

      මට ඒකෙ අමතකම නොවෙන්නෙ ලිලීගෙ බෝලිං සහ රැන්ඩල්ගෙ සෙකන්ඩ් ඉනිංග්ස් 174......

      Delete
    4. මරු දෙන්න සෙට් වෙලා තියෙන්නේ.. හි හි

      Delete
    5. @ හිරු,

      නිකං රයිගමයයි ගම්පළයයි වගේද.?? :D

      @ රවි,

      ක්‍රිකට් වලට අපල කාලයක් ලබලාද කොහෙද.. ටෝනි ග්‍රෙග් ගියා විතරයි, මෙන්න ක්‍රිස්ටෝපර් මාටින්-ජෙන්කින්ස් ත් මැරිලලු..

      Delete
    6. මම උඹලා දෙන්නා තරම්ම ක්‍රිකට් පිස්සෙක් නම් නෙවෙයි. නමුත් උඹලා සෙට් වෙලා ලඟ නවන තැන ඉන්න නම් කැමතියි.
      ටෝනි ග්‍රේග් සමාදානයේ සැතපේවා!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  8. කණට මිහිර දුන් ටෝනිගේ විස්තර විචාරය නැති ක්‍රිකට් පිටිය කෙබදු වේදැයි තවම සිතා ගත නොහැක...ඔහුගේ අඩුව පිරවීම කෙසේ වෙතත් ඔහුට පසු මා වඩාත්ම ප්‍රිය කරන්නේ සන්ජේ මන්ජෙකාර්ගේ විස්තර විචාරයටයි.


    ටෝනිට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  9. අමතක නොවන කටහඬක් හිමි වූ එතුමන්ටත් සුභ ගමන් පතන්න එකතු වෙන්නම්. එතුමන්ව මම දැනගෙන හිටියේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු විදිහට විතරයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් වෙලා හිටියා කියලා දැනගත්තේ එතුමන්ගේ අභාවයෙන් පසුවයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...