Thursday, January 10, 2013

152. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....29


දඩයක්කාරයා සහ සුද්දීගෙ ජීවිතය මෝසම් වර්ෂාව මාසයක් හෝ දෙකක් පමාවීමෙන් පසු නිසොල්මන්ව හැල්මේ ගලා බසින හීං ඇළ මෙන් ආයාසයකින් තොරව ගලා ගියේය.ඔහු සතියකට දෙවරක් හෝ තුන්වරක් ගෝණකු හෝ මුව නාම්බකු ඉලක්ක කොට ගිණි බිඳ මස් ගාතයක් හෝ දෙකක් හුවමාරු කොට අවශ්‍ය කළමනාදිය පිරුණු ගෝණි මල්ලක් කර මතින් රැගෙන ආවේය.ඇය එහිවූ වියළි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අඩුවැඩිය ප්‍රවේශමෙන් පාවිච්චි කරමින් ආහාර පිළියෙල කලාය.ගෙපැල අවට මෝසම් වැසි සමයට අනතුරුව සීග්‍රයෙන් වර්ධනය වන වන ප්‍රවාහය කපා හෙළි පෙහෙළි කිර්‍රිම දඩයක්කාරයාගේ කාර්ය භාරයට අයත්විය. සුද්දී ගෙපැල සහ ගෙමිදුල මනා ලෙස පිරිසිදුව පවත්වාගැන්මට වග බලා ගත්තීය. 

එදින ගිගුරුම් සහිත මේඝය ගෙපැලෙහි පියස්ස මත බොරළු පතිත වන්නාක් මෙන් ඇද හැළුණු රාත්‍රිය පිළිබඳ මම ඔබට පැවසුවෙමි.ඔවුහු එදින ප්‍රථම වරට කාම සම්භෝගයෙහි යෙදුනහ. යුවතිය ගැහැණියක් බවට එදින ඒ සවන් පාරවන ගිගුරුම් මධ්‍යයේ පත්වූවා සේම ඒ දඩයක්කාරයාගේද මංගල ලිංගික අත්දැකීම වූයේය.එසේ හෙයින් එදින ඔවුහු දෙදෙනම එදින එකම මොහොතකදී ස්වකීය නොඉඳුල් බව බිඳගත් බව පැවසූවද ඒ කිසිසේත්ම අසත්‍යයක් නොවේ. 

ඉන් පසුවද සුද්දීගේ මූලිකත්වය ගැනීම මතම ඔවුන් අතර එම කටයුත්ත නොසිදුවූයේ නොවේ. ඔහුගේ ඉඳුරන් අවදි කරවීමේ ක්‍රමෝපායන් පිළිබඳව මනාසේ අධ්‍යයනය කල සුද්දීගේ ආලිංගනයන් හමුවේ ඔහුටම අඩංගු නොවූ ඉඳුරන් අවදි වූ කල ඔහු යාන්ත්‍රිකව ඔහුගෙන් ඉටුවිය යුතු කාර්යෙහි නිරත විය. සුද්දී ඔහුගේ මේ හැඟීම් විනිර්මුක්ත භාවය පිළිබඳව දැනුවත් වූවා හෝ නොවූවා ඒ අරභයා එකද වදනක් හෝ නොපැවසුවාය. 

කාම සම්භෝගයෙහි යෙදීම මිනිසුන් විසින් විවිධාංගකෘත ජීවන දර්ශනයක් බවට පත්කොටගෙන ඇති නමුදු එම සංකල්පය නිර්මාණය කිරීමෙහි ලා ස්වභාව ධර්මයා ඉන් අපේක්ෂා කලේ එකම ප්‍රතිඵලයකි. එනම් මිනිස් වර්ගයා නොනැසී ඉදිරියට පවත්වාගෙන යාමයි.ඒ එසේම දඩයක්කාරයා එම කර්තව්‍යයෙහි නිරත වූයේ තම අකමැත්තෙන් වේවා එසේම සුද්දීගේ පෙළඹවීම මත වේවා ඒ සාධක පිළිබඳව කිසිදු තැකීමක් නොකොට සවභාව ධර්මයා තමන්ගෙන් අපේක්ෂිත කාර්යය අනලස්ව ඉටු කළේය. 

එසේය සහෘදය...අහස් කුස ඒකාලෝක කරමින් පැතිර ගිය අකුණු සැර මධ්‍යයේ මහ වැසි වට ඒ පළමු රාත්‍රිය, සුද්දී යුවතියකව සිට ගැහැණියක් බවට පත් ඒ රාත්‍රියෙන්..සමාවන්න...මඳකට ප්‍රස්තුතයෙන් බැහැර වීමට මට අවසර..යුවතියක ගැහැණියක බවට පත් වීම යන යෙදුම පිළිබඳව කිසිදු ගැටළුවෙක් නැති. ඒ එවන් අවස්ථාවක් හැඳින්වීමට යෙදෙන පොදු ව්‍යවහාරයයි. එදින ඒ මහ වැසි වට රාත්‍රිය දඩයක්කාරයාගේද පළමු එවන් අත්දැකීම බව මවිසින් පවසන්නට යෙදුනා ඔබට මතක ඇතැයි සිතනෙමි.දඩයක්කරයා එදින ගැටවරයකුව සිට පුරුෂයෙකු බවට පත්වීයැයි පැවසිය හැකිදැයි මා සිත් තුල කුකුසකි. 

කම් නැත. එදින ඒ රාත්‍රියෙහි එනම් සුද්දී තොමෝ ගැහැණියක මෙන්ම දඩයක්කාර තෙම පුරුෂයකු බවටද පත් වූ ඒ රාත්‍රියෙහි පටන් එක් පුරා සඳක් මෝදුව පරිපූර්ණත්වයට පත්ව අවපසට යාමට පළමුව ඕ ගැබ්බර වූවාය. 

එක් දිනෙක සුපුරුදු ලෙස පිල්කඩෙහි ඇලවී හුන් ඔහු වෙත පැමිණි ඇය ඔහු අසල හිඳ ඔහුගේ උරහිසෙහි හිස හොවා ගත්තීය. අවට පරිසරය හමා එන සුළං රැල්ලකින් ගසක පත්‍රයක් සෙලවෙන සිහින් හඬෙන් පවා තොරවූ මේ රාත්‍රිය දැඩි නිහඬතාවයක ගිලී තිබිණි. 

සුද්දිය ඔහුගේ ජීවිතයට ඇතුළු වූ පසු තම ජීවිතයේ සිදුවූ විපර්යාසයන් පිළිබඳව දඩයක්කාරයාගේ සිතෙහි පැවතියේ අපැහැදිලි හැඟීමකි.එම විපර්යාසයන් තමනට රුචි වේද එසේ නොවේද යන්න අරභයා ඔහු වනයේ හුදකලාව සරන අතර විවේකයෙන් පසුවන බොහෝ විට සිතට වද දෙමින් කල්පනා කළේය.එහෙත් ඒ සිත් තුල කිමිද කල බොහෝ ව්‍යායාම අනතුරුවද එක හෙලා නිගමනයකට එළඹීම දඩයක්කාරයාට අපහසු විය.එක් තීරණයකට එළඹිය නොහැකි වූ ඉක්බිති ඔහු ඒ පිළිබඳව සිතට වද දීම අතහැර දැමීය. 

ජීවිතයේ නිසල භාවය බිඳ වැටුම හේතුකොටගෙන දඩයක්කාරයාගේ සිතේ හටගත් තැවුල දුරුවීගියේ මෙවන් අවස්ථාවන්හිදීය සඳ මඬල කොහොඹ අතුපතරින් එබෙමින් ගෙමිදුල කිරි වතුරෙන් නහවනු අඩක් පියැවුණු නෙතින් නරඹමින් හිඳිනා අතර සුද්දී තම උරහිසට ඈ හිස වාරු කොට සිටිද්දී ඇගේ හිස සෙමෙන් පිරිමදිමින් ඈ හුස්ම ගන්නා හඬට සවන් දීමට ඔහු බොහෝසේ ප්‍රිය කලේ ඔහුටම හරි හැටි වටහාගත නොහෙන යම් හේතුවක් නිසාය. 

එදින ද සුපුරුදු ලෙස ඔහුගේ උරහිසට වාරුව උන් ඇය එක් වරම හිස ඔසවා ඔහු දෙස දිළිසෙන නෙතින් යුතුව බලා සිටියාය.ඉනික්බිති සෙමෙන් ඔහුගේ සුරත ගෙන තම කුස මත තබා තදකොට ඔහු දෙස බලා සිනාසුණාය. 

මඳක් නෙරාගිය ඇගේ කුස තුල සිහින් දැඟලීමක් වැන්නක් ඔහු සුරතට සත්‍ය වශයෙන්ම දැනුනිද නො එසේවීනම් ඒ ඔහුගේ සිත් සෝදිසියට උපන් මායාවක් දැයි හරි හැටි කිව නොහැකි වුවද එවන් යමක් දඩයක්කාරයාට හැඟිණ. 

සුද්දී කෙරෙහි එක්වණම සිත තුල පහල ව පිරී ඉතිරී ගිය දයාබර හැඟීමකින් ඔද වැඩී ගිය දඩයක්කාරයා සෙමෙන් පහත්ව ඇගේ නලලත සිපගත්තේය. 

ඇගේ කුස කෙමෙන් ආරා එත්ම මෙතෙක් ඇය අතින් ඉටු වූ වැඩ පල බහුතරයක් දඩයක්කාරයා ස්ව කැමැත්තෙන්ම භාර ගත්තේය.එහෙත් ඇය බැරි මරගාතයේ වුවද අවසන් දිනය දක්වාම හැකි පමණ වෙහෙස වූවාය. 

" තනියම ඔය වැඩේ කරගන්ට පුළුවනිද? " 

ඔහු ඇසුවේ ඇය ගැබ්බරවී බොහෝ කාලයක් ඉකුත්ව යන්නටද පෙරාතුවය. 

" මට පුළුවෙනි. මට දැනුම් තේරුම් තියෙන කාලෙ අපෙ අම්මණ්ඩිට දරුවො දෙන්නෙක් ලැබුණ. උන්දැට උදව් කලේ මම. අම්මණ්ඩි ඒ වත් පිළිවෙත් ඔක්කොම මට කියල දීලයි තියෙන්නෙ. මට පුළුවන්….." 

ඈ පැවසුවේ දඩයක්කරයා දෙස බලා මඳ සිනහවක් නඟමිනි. 

පිළිතුරු ලෙස යාන්ත්‍රිකව සිනහවක් නැඟූ දඩයක්කාරයාගේ සිත එසැනින් වසර තිහක පමණ අතීතයකට දිව ගියේය. ගෙපැල මධ්‍යයේ දැල්වූ පොල්තෙල් පහනින් නිකුත් වූ කහවන් මලානික එළිය.....ගෙබිම අතුරූ ගෝනි පඩංගු දෙකක් මත වැතිර බලවත් වේදනාවෙන් තොල් සපාගනිමින් පසුවන ස්ත්‍රියක්...ඔව්. ඒ දඩයක්කාරයාගේ මෑණියන්ය. ඇය මියගියේ දරු ප්‍රසූතියකදීය. වසර ගණනාවක් ඇවෑමෙන් පසු වුවද එතෙකුදු සිතින් මැකී නොගිය එසේම කෙදිනක හෝ සිතින් මැකී යතැයි සිතිය නොහෙන ඒ සෝ බර සිදුවීම සිතින් පළවා හරිනු වස් දඩයක්කාරයා දෑස තදින් පියාගත් වනම මොහොතක් පසු විය. ඉක්බිති පපුව පුරාගත් හුස්මක් සෙමෙන් පහළට හෙලා ළය සැහැල්ලු කොට ගත්තේය. 

" එතකොට ඒ දරුවො දෙන්න? …" 

ඔහු එවර විචාලේ සුද්දී දෙසට හැරෙමිනි. 

" එක්කෙනෙක් මැරුණ වැදූගෙයි සන්නියෙන්. අපෙ අපුච්ච ගාව ඔය කොයි ලෙඩේටත් බේත් තිබ්බට කරුමෙට ඒ වෙලාවෙ බේත් පත්තියං උනේ නෑ. ඊලඟට හම්බ උනේ කෙල්ලෙක්. මයෙ නඟා. අවුරුදු මයෙ හිතේ තුනක් විතර කාලෙදි සරපයෙක් ගහල මියෑදුන...." 

ඇගේ ස්වරයේ වූයේ සංවේගයක් නොව කිසියම් හිස් බවකි. 

" මට හිතෙන්නෙ මයෙ කුසේ ඉන්නෙ එක දරුවෙක් නෙවෙයි වගෙ… '' 

රාත්‍රි අහරකිස නිමාව පිළෙහි වැතිර සිටි සුද්දී පැවසූයේ බොහෝ සේ ඉදිරියට නෙරා ආ උදරය සෙමෙන් පිරිමදිමිනි. බොහෝ සේ නෙරා ඒම නිසාම සම තුනීවී සුදුමැළි පැහැයක් ගෙන තිබූ ඇගේ උදරය දෙස විශ්මයපත් දෑසින් බලාසිටියා විනා දඩයක්කාරයා ඒ ස්පර්ශකිරීමට පවා අකමැතිවූයේ කිසියම් බියක් වැනි හැඟීමකිනි. 

ඔහු වහා ඇගේ මුහුණ වෙත යොමු කලේ ප්‍රශ්නාර්ථයක් කැටිවුනු බැල්මකි. 

" නෑ, මට එහෙම තේරෙනව......දෙන්නෙක්වත් අඩුම ගානෙ.... " 

ඈ වෙහෙසකර සිනහවක් පලකලාය. 

ඊසාන මෝසම තවත් වරක් වෙල්ලස්ස මහ වනය මෙන්ම එහි නිවැසියන්ද රවටාලීය.පසුගිය දින කිහිපය මුළුල්ලේ වාළිඹේගල ඉහලින් ඈත ක්ෂිතිජ රේඛාවේ නැගෙනහිර මුහුදු වෙරළ ඉහල අහස වරින්වර ඒකාලෝක කරමින් විහිද ගිය රිදී රේඛාවෝ මිහිකත මෙන්ම මිනිසුන් හා තිරිසනුන්ද දාහය නිවාලමින් සනසවන මහ වැස්සක් වෙනුවට හුදෙක් සිහිල් සුළං රැලි කීපයක් පමණක් වනය සිසාරා හමාගියපසු අතුරුදන් වූවෝය.ඒ හා සමඟම උදාවූ පුන්සඳ වටා වූ දම් පැහැති වලයාකාර රැස් වල්ලල යනු අනිවාර්ය නියං සමයක් උදාවීමේ නොවරදින පෙර නිමිති බව දඩයක්කාරයා නිසැකවම දැන සිටියේය. 

" හඳ පිරීගෙන එන දවස්වලට තමයි දරු ගැබ් හෑල්ලු වෙන්නෙත්……" 

ඇය පැවසූයේ කොහොඹ අතු පතරින් පෙරී එන සඳ රැස් ගෙමිදුල විසිරි වියලි තුරුපත් මත පතිතව මවන සහසක් රටාවන් දෙනෙතු යොමාගත් වනමය. 

ඈ ලාබාල යුවතියක් වුවද දාරක ප්‍රසූතය සම්බන්ධව මනා දැනුමකින් යුතු බව ස්ථිර කරවමින් ඊට දින දෙකකට පසු ඈ ප්‍රසව වේදනාවෙන් පෙලෙන්නට වූවාය. 

" අද මට දැනෙනව ගැබ්බර හෑල්ලු වෙන්ට යනව කියල. …

හතර අතින් අඳුර ගලා එද්දී ඈ ඔහුට පැවසුවාය. 

විසල් වූ දෙනෙතින් යුතුව ඔහු ඈ දෙස බලා සිටියේය. 

" බය වෙන්ට ඕන නෑ අයියා...මම කිව්වනෙ මට මේ වැඩේ කරන්ට පුළුවන්ය කියල. " 

ඈ ඔහුගේ සුරත පිරිමදිමින් පැවසුවාය. ඇයට ඔහු ධෛර්යයක් වනු වෙනුවට ඔහුගේ බිය දුරු කිරීමට ඇයට සිදුවීම යම් පමණකට උත්ප්‍රසාත්මක සිදුවීමක් බව සත්‍යයකි. එහෙත් දඩයක්කාරයාගේ සිත තුල හට ගත්තේ තමා කෙරෙහිම වූ පිළිකුලකි. පපුව පුරා හුස්මක් ඉහළට ගත් ඔහු බිය පූර්ණ වශයෙන් පහව නොගියද ඒ පාලනය කොට ගත්තේ තමාගෙන් ඉටුවියයුතු කාර්යයට සූදානම් විය. 

" අයිය කැමති නම් එලියෙන් ඉන්න. ඒත් මම කියන වෙලාවට ඉල්ලන එව්ව දෙන්න. එච්චරයි බය වෙන්න එපා......" 

" නෑ……………….." 

ඔහු ඇගේ සුරතෙහි ග්‍රහණය දැඩි කොට සෙමෙන් පැවසුවේය. 

" මම බය නෑ..ඔයා බය නැත්නම් මම මොකටද බය වෙන්නෙ?..." 

විළි රුදා ක්‍රමයෙන් උග්‍ර වූ පසු සුද්දී කෙඳිරි ගාන්නට වූවාය. දඩයක්කාරයා ඇගේ මුහුණ ජලයෙන් පෙඟවූ රෙදි කඩකින් පිසදමමින් සහ තොලගට ජලය බිඳෙන් බිඳ වත් කරමින් ඈ අසල ඇණ තබාගෙන හුන්නේය.වසර ගණනකට පෙර අතීතයේ මෙතැනම සිදුවූ මීට සාකල්‍යයෙන්ම සමාන වූ සිදුවීමක රූ සටහන් වරින්වර ඔහු සිතට නැඟෙන්නට වූ නමුදු හේ ඒ දැඩි ආයාසයකින් සිතින් බැහැර කරලීය. 

වැරෙන් හුස්ම ගනිමින් සිටි සුද්දී එක් වරම දැඩි ආයාසයක් දරා මුවින් අව්‍යාක්ත රාවයක් නිකුත් කරමින් නිහඬ වූවාය. ඒ සමඟම ගෙපැල පුරා පැතිර ගියේ බිළිඳු හැඬුම් රාවයකි. 

මතු සම්බන්ධයි........ 

33 comments:

  1. අද නම් වචන ටිකට වඩා සිද්ධිය බලවත් වගේ..... වෙනදට රවි අයියා සිද්ධිය පොඩි උනත් ලොකුවට දැනෙන්න ලියනවා... අද සිද්ධියේ සැර වැඩි නිසා වචනවල බලය යට ගිහිල්ලා...

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, හරියටම හරි හිරුවො.....කතාව ලියනකොටම මට තේරුන මේ වචන මදිය කියල…. මේ අවස්ථාව ඊට වඩා ප්‍රබලයි තමා...

      බොහොමත්ම ස්තූතියි කතාව ගලායන විදිහ හරියටම තේරුම් ගැනීම උදෙසා මෙන්ම ඒ පිළිබඳව අවංකවම අදහස් පළ කිරීම උදෙසාත්....:) :)

      Delete
  2. හරිම ලස්සනයි... සිද්ධිය විස්තර කරලා තියෙන විදියට මම නම බොහොම මනාපයි.

    ReplyDelete
    Replies
    1. 27 ගම්පහ එනවා නේද ? විස්තර කාමරෙන්...

      Delete
    2. ස්තූතියි සිරා....

      27 එන්ඩ වෙන්නෙ නම් නෑ බං..වෙරිම වෙරි සොරි සිරා....

      Delete
  3. මට කියහං උඹ කොහෙන්ද බං මේ ලස්සන පිංතූර හොයාගන්නෙ කියලා රවි අයියෙ.. උඹ හැමදාමත් දානවා මාර සිරා පික් එකක්.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මලේ මේ පින්තූර ඔක්කොම Google Images වලින් බාං...මම ඔය එක එක විදිහට Key Words ගහපුවාම එන එව්ව තමයි ඔය….. Man & woman,….. leaning on a shoulder,…..Ccouple in moonlight

      Delete
  4. අනී රවියෝ අර අම්මට උනුදේ නම් මේ ගෑනු ලමයට කරන්ට එපා හොඳේ...

    එන පොට හොඳ නෑ වගේ...:(

    ReplyDelete
    Replies
    1. / ඉන් පසුව කිසිදු හැලහොල්මනක් නැතිව ජීවිතය ඔහේ ගලාගිය තවත් කාලාන්තරයකට පසු ඒත් එක් දිනෙක රාත්‍රියෙහි විළි රුදාවෙන් ඇඹරෙන්නට වූ අය කෙඳිරි ගාමින්ම දුන් උපදෙස් අනුව තියුණු සැතකින් පෙකණි වැල කපා වෙන්කොට මෙලොවට උත්පත්තිය ලබාදීමට තමන්ද සහායවූ නිවුන් දරු දෙදෙනා උපත ලද්දේ ද දඩයක්කාරයාට අනුව ඊයේය. /

      නෑ පොඩ්ඩි, බය වෙන්ට දෙයක් නෑ..එහෙම දෙයක් වෙන්නෙ නෑ...මේ දඩයක්කාරයගෙ කතාවෙ මුල්ම කොටසෙ මම ලියපු කොටසක්...මාස දහයකට ඉස්සරවෙලා...සුද්දි දරු ප්‍රසූතියකදි නම් බොලේ මැරෙන්නෙ නෑ..මට ඒක නම් සහසුද්දෙම්ම කිව්වෑකි...:) :)

      Delete
    2. මටත් මේ ටික මතක තිබුනා නොවැ.

      / ඉන් පසුව කිසිදු හැලහොල්මනක් නැතිව ජීවිතය ඔහේ ගලාගිය තවත් කාලාන්තරයකට පසු ඒත් එක් දිනෙක රාත්‍රියෙහි විළි රුදාවෙන් ඇඹරෙන්නට වූ අය කෙඳිරි ගාමින්ම දුන් උපදෙස් අනුව තියුණු සැතකින් පෙකණි වැල කපා වෙන්කොට මෙලොවට උත්පත්තිය ලබාදීමට තමන්ද සහායවූ නිවුන් දරු දෙදෙනා උපත ලද්දේ ද දඩයක්කාරයාට අනුව ඊයේය. /

      Delete
  5. මේ රවී අයියට පිස්සු අම්මප... නවකතා පොතක් වගේ එකක් බ්ලොග් එකේ ලියන්ඩ අරන් දැන් අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච දේ වෙලා ඉන්නෙ.. බලපං..දැං උඹ කලිං ඕනෙ නැති එක එක එව්ව ඇදල අරන් වර්ණනා කරල දැං මේ කතාව ඇදුණට පස්සෙ ඉවරකරගන්ඩ තියෙන හදිස්සිය හන්ද උඩිං ඇදං දුවන්ඩ නේද??
    හුහ්!! එව්ව කොහෙද මාත් එක්ක...
    මං නං අතාරින්නෙ නෑ උඹව...
    හොඳ හිතිං ලංකාවට ආවට පස්සෙ හෙමින් සැරේ මේක ආපහු ලියපං අයියෙ.. බ්ලොග් එකේ නෙවෙයි ඇත්තටම නවකතාවක් විදියට..
    මෙහෙම උඩිං ඇදං දුවන්නෙ නැතුව ලස්සනට.
    දැං මේ කනවකතාවක් කියවනව වගේ හන්දද මන්ද මට දැණුනෙම අද කොටසෙදි කතාව අර සිතියංවලදි ඒව හකුලනවනෙ අවශ්‍ය ටික වඩා හොඳට පෙන්නන්ඩ..ආං ඒ වගේ

    ReplyDelete
    Replies
    1. / බලපං..දැං උඹ කලිං ඕනෙ නැති එක එක එව්ව ඇදල අරන් වර්ණනා කරල දැං මේ කතාව ඇදුණට පස්සෙ ඉවරකරගන්ඩ තියෙන හදිස්සිය හන්ද උඩිං ඇදං දුවන්ඩ නේද?? /

      අම්මප ජනූ උඹත් කියන්නෙ අහස පොළව නුහූලන කතා නෙව. එතකොට උඹ මට කියන්නෙ සුද්දිගෙ දරු ප්‍රසූතිය සජීවී විස්තර ප්‍රචාරයක් දුන්න නම් තමයි හොඳ කියල එහෙමද? අර මේ Ball by ball commentary වගේ එකක්.

      අනෙ අම්මප උඹ නම් මොන නැකතකින් උපං එකියක්ද මංද?...

      ඉඳපං මරු කතාවක් මතක් උනා මට. අපි එහකොට නමයෙ මම හිතන්නෙ..ඔන්න ආව ෆිල්ම් එකක් " Helga and the sex revolution"

      අනේ 10.30 ෂෝ එකට අපි Rio එක ළඟට ගියේ මම හිතන්නෙ 9 ටත් කලින්...හෙහ්, හෙහ්,

      හෙන කට්ටක් කාල හෝල් එකට රිංග ගත්තය කියමු ෆිල්ම් එක බලන්ට...මොන?...ඒක මේ Sex Education ෆිල්ම් එකක්...බබාල හම්බවෙනව පෙන්නනව මේ පණ පිටිං වාගෙ...මොනවද ආයෙ...පටන් ගත්ත වෙලාවෙ ඉඳල හූව...අපිත් ඉන්ටවල් එකේදි පැනගත්ත එළියට..ඒ කරල ආපහු ගියා ඉස්කෝලෙට....හෙහ්, හෙහ්,

      / බ්ලොග් එකේ නෙවෙයි ඇත්තටම නවකතාවක් විදියට.. /

      ආන්න මරු...මොකද කියන්නෙ උඹෙයි මගෙයි පෝස්ට් දාල එක පොතක් ගහමු…".ඉන්දියානු චාරිකා සහ දඩයක්කාරයකුගේ තාවක් "....By Januu & ravi :) :)

      Delete
    2. හපොයි මං අද නෙව මේක දැක්කෙ.. අර දඩයගෙ ඉතුරු කෑල්ල කියවන්ඩ ආව පාර...
      මදැයි දත කාල බලන්ඩ ගියා.. හූ හූ..

      ඉන්දියානු චාරිකා සහ දඩයක්කාරයෙකුගේ කතාවක්

      හික් හික්
      දැන් ඔය පොත දෙන්න එකතු වෙලා කළොත් එහෙම නිකං හාල්මැස්සොයි වැලිතලපයි වගේ වෙයි නෙ බං...??

      Delete
  6. Blue Lagoon (1980) මතක් වුනා මේ කොටස කියවද්දී ...

    මතුපිටින් කියවා ගෙන යන්න නොදී හිතට කතා කරන කාරණා ගොඩක් අද සටහනේ තියනවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, ස්තූතියි අරුණි...

      Blue Lagoon…...අපේ කාලෙ Iconic Film එකක්..ස්තූතියි මතක් කලාට...

      Delete
  7. හ්ම්...ඉස්සර ක්‍රමේට නම් කතාංග හත අටක කාරනා අද එක පිටුවේ. මන් නම් මුකුත් කියන්නේ නැහැ . අර ජනු කිවා වගේ මේක පොතක් කරන්න කවද හරි

    ReplyDelete
    Replies
    1. අඩේ මට මේක ඉවරයක් කරන්ට දෙන්නෙ නැද්ද බොලව්?....බොලාම තමයි මයෙ ඇඟට ගොඩ වෙන්නෙ මේ මඟුල ඇදෙනව වැඩියි කියල....දැං කියන එක බලාපල්ලකො ඉතිං...කාටද ඉතිං මේ අවනඩුව කියන්නෙ හැබෑටම...:) :)

      Delete
  8. Honeymoon Baby/Babies............. :)

    ReplyDelete
    Replies
    1. තව කවුරු හරි මම හොඳටම දන්න කෙනෙක් ඉන්නව ඔය Honeymoon Babies මොඩල් එකේ..ෂෙහ්...අම්මප මතක් වෙන්නෙ නැති හැටියක්....රන් ඔහෙටවත් මතක් උනොත් කියාපංකො බලන්ට අපි කාටත් ඇහෙන්ට...හෙහ්, හෙහ්.

      Delete
    2. දන්න්නවද මාත් honeymoon baby කෙනෙක්ලු :D!!!

      Delete
  9. නියමයි අද නම්.. එළ, පට්ටයි, සුපිරියි, මාරයි, තව ඔක්කොම....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, රොම්බ තෑන්ක්ස්, බොහොත් ෂුක්‍රාන්,ඩන්ක........තව ඔක්කොම

      Delete
  10. මම තාම මුළු පෝස්ට් එකමනම් කියෙව්වෙ නෑ අයියේ. උඩින් පල්ලෙන් කියවගෙන යද්දි අයියට අර ගෑණු ළමයි ගැන කියනවා වගේම පිරිමි ළමයි ගැන කියන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවයි කිව්ව තැනදි මට මං කියවපු පොතක තිබ්බ වාක්‍යයක් මතක් උනා.

    "Later in the summer he brought her to this house, looked past the decay, and told her that one day he was going to own it and fix it up. They spent hours together talking about their dreams‐‐his of seeing the world, hers of being an artist‐‐and on a humid night in August, they both lost their virginity."
    (කාගෙ මොන පොතේද තිබ්බෙ කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද. :))

    ඒ හින්දා ඒ විදිහට කියන්න පුළුවන් ඇති.

    ReplyDelete
    Replies
    1. / they both lost their virginity." /

      මේ කතාව ගැන ගැටළුවක් නෑ නඟේ.....සිංහලෙන් අපි කන්‍යාභාවය කිව්වම අවිඥාණිකවම කාන්තාවන් සම්බන්ධවම පමණක් හිතුවට ඉංග්‍රීසියෙන් Loss of virginity කිව්වම ඒක පුරුෂ පක්ෂයට අදාලවත් යෙදෙනව.ඒ විතරක් නෙවෙයි ලිංගික නොවන කටයුතු වලදිත් එහෙම යෙදෙනව මට හමුවෙලා තියනව. උදාහරණයක් විදිහට මෙහෙම කියමු. ඔන්න ගමෙන් ආපු අහිංසක කොලුවෙක් ටවුමෙ පික් පොකට් කල්ලියකට එකතු වෙනව. ඉතිං ඉස්සෙල්ලාම මිනිහ පොකට් එකක් ගැහුවම He lost his virginity at the very moment he prised the wallet out of that old shop keeper කියල යොදන්න පුලුවනි. ඒකෙන් කියන්නෙ ආචාර ධර්ම හොඳ නරක සම්බන්ධව ඔහුගෙ කන්‍යාභාවය ඔහු බිඳ ගත්තය කියන එක.

      ඒත් මට ගැටළුවක් වෙන්නෙ පිරිමියෙක්ගෙ පළමු ලිංගික අත්දැකීමෙන් පස්සෙ දැං ඔය අපි කියන්නෙ ඇය එදින පහන් වීමට පළමු ගැහැණියක වූවාය කියල අන්න ඒ වගේ ඔහු එදින පහන් වීමට පළමු පුරුෂයෙකු විය කියල යොදන්න පුළුවන්ද කියන එක.සාමාන්‍යයෙන් සම්මතයෙ එහෙම යෙදෙන්නෙ නැහැ නේද?

      (කාගෙ මොන පොතේද තිබ්බෙ කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද. :))

      ඕන නෑ..ඕන නෑ....බොහොම ළඟදිම උඹ තියනව ගිනස් වාර්තාවක්...

      Guinness Book of world records 2015 - The most no. of quotes extracted from a single book and published by an individual - The award goes to……Ms. Siththami ..and the book is…….

      Delete
  11. අප්පේ මං මේ හිත හිත හිටියෙ මේක ඉවරයි කියලා. හැබෑටම මේක ඉවර වෙනකොට කතාව මොන වගේ වෙලා තියෙයිද???????????

    ReplyDelete
    Replies
    1. / අප්පේ මං මේ හිත හිත හිටියෙ මේක ඉවරයි කියලා. /

      පිස්සුද බං?..එහෙම ඉවර කරනවද උඹ නැතුව?...මම මේ රටේ නැති විස්චූර්ණ දාල මේක ඇදගෙන ගියේ උඹ එනකල්...ඔන්න දැං හරි...දැං මට හිතේ දෙගිඩියාවක් නැතුව මේක ඉවරයක් කොරල දැම්මෑකි...හෙහ්, හෙහ්,

      / හැබෑටම මේක ඉවර වෙනකොට කතාව මොන වගේ වෙලා තියෙයිද??????????? /

      ඔන්න ඉතිං...බොලාගෙ හැටියක්මනෙ ඕක...කිසිම නෑ ඉවසිල්ලක්..සංසුං බාවයක්...No depositedness whatsoever....

      ආව කාලෙකට පස්සෙ..ආපු ගමං උඹට ඕනෙ මේකෙ අන්තිම මොන වගේද කියල දැනගන්ට...යකෝ ඉඳගනිං ඉස්සෙල්ල ඔය පංකොල පැදුරක් කාරිය දිගෑරල..එකත්පස්ව හිත එකලස් කරගනිං ඊට පස්සෙ...දැං හිටු සාවදානව කතාව කියන කල්....ආව මෙතන වෙන්නෙ මොනවද කියල අහන්ට...හුහ්...

      Delete
  12. චෑ චෑ, වැඩක් නෑ. මම හිතුවෙ උඹ ක්‍රිකට් කාරයා වෙච්චි, එතකොට දඩයක් කාරයා සුද්දි නිදා ඉන්නවා බලා ඉන්න එක එපිසෝඩ් තුනකින් ලියන එකා වෙච්චි, මේකත් බෝල් බයි බෝල්...එක්කො ඕනෙ නෑ. චැහ්. අලුත් වචන ටිකක් ඉගෙන ගන්න හිටියෙ.චැහ්!!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොලා නං කියයි, මේ කතාව දැනටමත් අවුරුද්දකට කිට්ටු කාලයක් ඇදගෙන ගොහිං තියෙනවා.. තව අවුරුදු දෙකක් මේ කතාවම කියවන්ටද බොලාට ඕන.!?

      Delete
    2. / මේකත් බෝල් බයි බෝල්...එක්කො ඕනෙ නෑ. චැහ්. අලුත් වචන ටිකක් ඉගෙන ගන්න හිටියෙ.චැහ්!! /

      ආය එකක් ඒ පාර..යකෝ මේ බ්ලොග් එකේ නම නිදහස් සිතුවිලි..නැතුව Step by step guide to child birth එහෙම නෙවෙයි හොඳද?...උඹට ඕනම නම් ලින්ක් දෙක තුනක් දෙන්නං… :) :)

      Delete
  13. ඈ රවී අයියේ ... මේ දඩ් සහ සුද්දී ට අර 'බාල්දි උපත් පාලන ක්‍රමය' කියා දුන්නේ නැතෙයි? :P

    ReplyDelete
    Replies
    1. ඔය හද්ද කැලේ කොහෙන්ද බොල බාල්දි?....උං දෙන්න පාවිච්චි කලේ අර පරන ගල් වංගෙඩියක්...නියම වෙලාව ආහම සුද්දි දුන්න ගානට පයිං පාර...ඒත් වැඩේඅර ගල් වංගෙඩිය පෙරලෙන්ට වෙලා යනව..අම්බ බරයි නෙව..ඒක ඔය හෙමිහිට පෙරෙලෙන කොට වෙන්ට ඕන දේවල් වෙලා ඉවරයි :( :(

      Delete
  14. සුද්දී දඩයක්කාරයාව පොළඹව ගන්නේ එයාගේ දිවි පැවැත්මේ ( සමහර විට අවිඥාන) අරමුණින් ද?
    හැබැයි දඩයක්කාරයා ට ඒ ගැන තියෙන්නේ ඇල් මැරුණු ස්වභාවයක් වීම මට ප්‍රශ්නයක්. එයා සුද්දිගේ ක්‍රියාවලට ප්‍රතික්‍රියා කරනවා විතරයි.
    අර කලින් ගම නායකයාගේ දුව ගැන තිබුණු ආශාව සුද්දී ගැන පොඩ්ඩක්වත් නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. / සුද්දී දඩයක්කාරයාව පොළඹව ගන්නේ එයාගේ දිවි පැවැත්මේ ( සමහර විට අවිඥාන) අරමුණින් ද? /

      හරි අමා...ඒක තමයි මූලිකම අරමුණ...සුද්දිට කිසිම කෙනෙක් නෑ මේ ලෝකෙ..ඉන්න එකම කිට්ටුවන්තය දඩයක්කාරය. ඒ නිසා ඒ සම්බන්ධය සමීප ලෙංගතු සම්බන්ධයක් කරගන්ට සුද්දිට ඕන උනා තම ආරක්ෂාව පතා.මොකද දඩයක්කාරය තව කෙල්ලෙකුට වහ වැටුනොත් සුද්දි අනාථ වෙනව නේද කියලයි එයාට හිතුනෙ. ඊට අමතරව තරුණ යුවතියකගේ ස්වාභාවික ආශාවනුත් බලපෑවා ඒ ක්‍රියාවට.

      / අර කලින් ගම නායකයාගේ දුව ගැන තිබුණු ආශාව සුද්දී ගැන පොඩ්ඩක්වත් නැත්තේ ඇයි? /

      දඩයක්කාරය ඇවිල්ල සුවිශේෂී ගතිගුණ තියෙන පුද්ගලයෙක්. කවුරුවත් කිසිම විදිහකින් තමන්ට බලපෑමක් කරනවට මිනිහ කැමති නෑ. අන්න එහෙම කිව්වැකි. මමත් පොඩි කාලෙ නං එහෙමයි හෙහ්, හෙහ්,....මට ෂර්ට් තෝරන්න මමම යන්න ඕන. ඔන්න අම්ම එහෙම ෂර්ට් එකක් බැරි වෙලාවත් ගෙනාවොත් ඒ මම කැමතිම පාට උනත් මම නෙවෙයි ඒක අඳින්නෙ...හෙහ්, හෙහ්,

      දැං අපේ දඩයක්කාරයත් එහෙමයි. ගම් නායකයගෙ දුව ගැන ආශාවක් රාගයක් ඇති උනේ දඩයක්කාරයගෙ හිතේ ඉබේමයි. ඒත් දඩයක්කාරයගෙ යටි හිත දන්නව සුද්දි බේරගත්තු වෙලාවෙ ඉඳල මේ කෙල්ලගෙ වගකීම තමන්ටයි කියල. මිනිහ කැමති නෑ ඒකට. වගකීම් මොකවත්ම නැතුව ඔහෙ හිතූ මනාපෙ ජීවත් වෙන්නයි දඩයක්කාරයට ඕන. නිදහසේ පාවෙන සුළං රැල්ලක් වගේ. ඒත් සුද්දි එක්ක තියන ඇඟෑළුම් කම වැඩි දුර ගියොත් ජීවිත කාලයටම තමන්ට ලොකු වගකීමකට කරගහන්ට වෙනවයි කියල මිනිහගෙ යටි හිත දන්නව. සුද්දි කෙරෙහි කිසිම රාගික හැඟීමක් ඇති වෙන්නෙ නැත්තෙ ඒකයි.

      දැං හේතුව මේකයි කියල දඩයක්කාරය දන්නෙත් නෑ. මි නිහටත් මේක මහ ප්‍රශ්නයක්. ඒත් මිනිහ බොහොම සරල මනුස්සයෙක්. තමන්ට නොවැටහෙන දේ ගැන වැඩිදුරටත් හිතන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන හිතන එක මිනිහ අතඇරල දාලයි තියෙන්නෙ. ඔහෙ ඕන එකක් කියල. :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...