Monday, January 21, 2013

155. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....30


අප බොහෝ දෙනෙකුට කාලය ගතව යන්නේ අසුරු සැණෙකිනි. දඩයක්කාරයාහටද අසුරු සැණෙකින් නොවූවද සැලකිය යුතු වේගයකින් කාලය ගෙවී යමින් පැවතිනි. නිවුන් දරු උපතෙන් පසු ගතවූ වසර පහක් හෝ හයකට ආසන්න කාලය ඔහුට හැඟී ගියේ තමන් පිටස්තරයෙකුව අනිමිස ලෝචනයෙන් නෙතු යොමා සිටියදී තමන් ඉදිරියේ දිග හැරෙනා සිදුවීම දාමයක් මෙනි.ඒ වසර පහ හෝ හය ගෙවූයේ තමා නොව වෙනත් පුද්ගලයෙකියි ඔහුට සිතුනේ වරක් දෙවරක් නොවේ.

ඔහුගේ දරු දෙදෙනා හා දඩයක්කාරයා අතර පැවතියේද බොහෝ දුරට සංකීර්ණ සබඳතාවකි.වනවාසීන් අතර දරුවන් සහ දෙමව්පියන්ගේ සහසම්බන්ධය බොහෝවිට දුරස්ථ වූවකි.දරුවන් වැදීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරපානාදිය සැපයීම ඔවුන් අතින් ඉටුවූයේ හුදු සවයංක්‍රීය හෝ යාන්ත්‍රික කාර්යයක් ලෙසිනි.තමලෙයින් උපත ලද දරුවනට අවශ්‍ය ආහාර සැපයීමට අපොහොසත්වීම ඔවුහු කිසිවිටෙක මදිකමක් කොට නොසැළකුවෝය. එසේ අපොහොසත්වීම ඔවුනට කිසිදු ලෙසකින් සිත්තැවුල් වීමටද හේතු නොවීය. 


ඒ එසේම කිරෙන් ඇරුණු වහාම කොලු කුරුට්ටෝද හාත් පස වසා පැතිරි මහා ආහාර ගබඩාවක් වූ වන පියසට වැද සුදහ ගින්න නිවාගැන්මට පුරුදුවූයේ නිතැණිනි.ඔබ ආහාර සපයාගැනීමේ ක්‍රමවේදය දන්නේද මහ වනයෙහි ඔබ කිසිදිනෙක නිරාහර නොවනු ඇත.කර වටා නිතොර රැඳි ගල් දුන්නට ගොදුරු වූ දඬු ලෙහෙනෙකු හෝ සාවකු පුළුස්සා ගත් කල, එසේත් නැතහොත් පත්හුලක සහායෙන් හාරාගත් ගෝනලයක් හෝ හිඟුරලයක් තම්බාගත් කල ඒ ඔවුනට රජ බොජුනක්ම වූයේය.

දඩයක්කාරයා දරුවන් කෙරෙහි වූ තම සෙනෙහස කිසිවිටෙක එළිපිට නොදැක්වීය.ස්වභාවයෙන්ම අන්තර්වර්තී ( Introvert ) පුද්ගලයකු වූහෙයින් හේ කිසිවිටෙක තම හැඟීම් විවෘතව ප්‍රදර්ශනය නොකලේය.දරුවන් සම්බන්ධව ද ඔහුගෙන් පලවූයේ එවන් උපේක්ෂා සහගත හැඟීම් විරහිත ස්වභාවයකි. එහෙත් ඔහු සිත තුල ඔවුන් කෙරෙහි සෙනෙහසක් ඇල්මක් වැන්නක් දැඩි සීතල රාත්‍රි කාලයන්හි ගෙමිදුලෙහි දැල්වෙන ගිණි මැලය අළුයම් කාලය වන විට නිවීගියද විටින් විට හමා එන සුළං රැල්ලකින් අළු ඉවත්ව වූ ගිණි පුළිඟු එක් වරම දැල්වුණේ ඒ හා සමඟම කිසියම් උණුසුමක් ඉතිරිකොට නිවී ගියේය.

එසේ වුවද ඔහු සුද්දීට මෙන්ම දරු දෙදෙනාටද අවශ්‍ය ආහාර සහ වෙනත් කලමනා නොකඩවා සැපයීම කිසි විටෙක පැහැර නොහැරියේය. ඒ සඳහා අවම වශයෙන් දින දෙකකට වරක් හෝ දඩයමක් කිරීමට සිදුවීම සිතට මහත් තැවුලක් ගෙන දුන්නද සුපුරුදු උපේක්ෂාවෙන් ඔහු ඒ ඉවසීය.

දරු දෙදෙනාගේද ඔහු කෙරෙහි වූයේ එක්තරා දුරකට ගුප්ත යැයි හැඳින්විය හැකි අයුරු වූ බැඳීමකි.ඔවුහු කිසි විටෙක දඩයක්කාරයාගේ ඇකයෙහි තුරුළුව කෙලි දෙලෙන් ගත කරනු වස් උත්සුක නොවූහ. එසේ වුවද ඔහු ගෙපැලෙහි දිවා කාලයෙහි රැඳී සිටිනා දුර්ලභ අවස්ථාවන්හි ගෙපැල පසුපස වනගහනය ආසන්නයේ වර්ධනය වී අහස පුරා පැතිර ගිය වනස්පතිය පාමුළ මධ්‍යාහ්නයේ වුව පැතිර පවත්නා සිහිල් සෙවණෙහි ඇණ තබාගත්වනම අඩක් පියවුනු දෑසින් යුතුව නිසොල්මනේ කල්ගෙවනා දඩයක්කාරයාගේ දෙපා අසල කෙලි දෙලෙන් හැසිරීමටද ඔවුහු කිසිසේත් බිය නොවූහ.

ඔවුනගේ කෙලි සෙල්ලමින් විටින් විට දඩයක්කාරයාගේ මානසික සම්මෝහය ( Mental stupor ) බිඳී ගියද ඔහු කලේ දෙතොලග නැඟි මඳ සිනහවකින් යුතුව ඔවුන් දෙස දයාර්ද්‍ර බැල්මක් හෙලා නැවත දෑස පියාගැනීම පමණකි.

සුද්දී සහ ඔහු අතර පැවතියේද කිසිදු අයුරකින් සාමාන්‍ය යයි කිව නොහැකි සබඳ තාවයකි. නිවුන් දරු උපතින් පොහොය හතරක් හෝ පහක් ගෙවී යන තෙක් ඔහු ගෙපැල තුලම රාත්‍රි නින්දට වන්නේය. ඒ අතර කාලයෙහිදී කිහිප විටක් ඔවුහු කාම සම්භෝගයෙහිද යෙදුනෝය. දරුවන් දෙදෙනා එක හුස්මට මුළු රාත්‍රිය පුරා නිදාගත්තේ ඉතා කලාතුරකිනි.රාත්‍රිය මධ්‍යයේ දරුවන් අවදිව හඬන්නට වන් වූ කල්හි සුද්දී ඔහු කෙරෙන් ඉවත්ව ඔවුන් වෙත ගියාය. ඔවුන් ඇගේ දෙතනයෙන් කිරි උරා බොන අයුරු අසමින් කෙමෙන් යථා තත්වයට පත්වන තම අශ්වාස ප්‍රශ්වාසයට සවන් දෙමින් දඩයක්කාරයා එවිට දෑස් පියාගත් වනම වැතිර හුන්නේය.

එදවස මෝසම් වැසි යලිදු පමා සමයෙක් විය. දිවා කල වනපෙත පුරා පැතිර තිබූ ගත පෙලන දාහය අඳුරු වැටුනු පසුද ඉහිල් වූයේ ඉතා මඳ වශයෙනි. එබැවින් ගෙපැල තුල වූ උණුසුම ඉවසිය නොහැකි වූ දඩයක්කාරයා ජීවිත කාලයක් තිස්සේ සුපුරුදු අයුරු පිල්කඩෙහිම වැතිර නිදන්නට වූයේය.

ඉන්පසුව දරුවන් නිදිගත් ඉක්බිති සමහර රාත්‍රීයාමයන්හි සුද්දී ඔහු වෙත පැමිණියා ඔහු අසල වැතිර ගත්තීය. එහෙත් අදාල ක්‍රියාකාරකමෙහි තීව්‍රතාව අවරෝහණය වී යන්නා හාම ඊට සමානුපාතිකව අනුයාත සිදුවීම් දෙකක් අතර කාල පරතරයද ආරෝහණයවී ගියේ අවසන එවන් සිදුවීමක් අවසානයට සිදු වූ දින මතකයට නඟා ගැනීමට පවා අසීරු වූ දිනයක් උදාවිය.

දඩයක්කාරයා දිවා කාලය මුලුමනින්ම පාහේ ගෙපැලින් බැහැරව ගතකිරීමට පුරුදුවිය. කුඩා කල පටන්ම මේ ඔහු අනුදත් ජීවිත චර්යාව වූ හෙයින් එහි ඔහුට කිසිදු අරුමයෙක් නොවීය.

අහස් කුස පුරා අතුපතර විහිදා මධ්‍යාහ්නයෙහි පවා සැඩ හිරුරැස ආවරණය කොට සිහිලස සදන මහා වනස්පතියක සෙවණෙහි ඇසි පියකුදු නොසොල්වා නිසොල්මන්ව හිඳ හරිත අතුපතරින් පෙරී ආ හිරු රැසින් නැහැවුණු රන්වන් සිරුරින් යුතුවැ හරිත වන් ලතණ බුදිමින් නිදැල්ලේ හැසිරෙන මුව පොව්වන් දෙස බලාසිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

වර්ෂාව කලකින් නොලැබ තණපත් දුර්වර්ණව වියලී ගිය ගල් කුළුවලින් වටවුණු තැනිතලා බිම රත්වීමෙන් ඉහල ගිය උණුසුම් වා රැලි මතුයෙහි විදහාගත් පියාපතින් යුතුව නිදැල්ලේ පාව යන උකුසු යුවලක් දෙස සුරත නලළ මත තබා හිරුරැසින් ආවරණය කොටගත් දෙනෙතින් ඇසිපිය නොහෙලා බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

රාත්‍රියෙහි මරාගත් මුවකු හෝ ගෝනකුගේ මාංශය කුස පුරා අනුභව කොට හීං ඇළේ වක්කලම එපිට පසුගිය මෝසම් වර්ෂාව හා සමඟ වනය සිසාරා හමා ආ චණ්ඩ මාරුතය කරණ කොටගෙන ඇදවැටුනු කුඹුක් කඳ මත අලස සුවය විඳිමින් වරින් වර මුව අයා ඈණුම් හරිමින් නිදන දිවි නාම්බා දෙස නිසොල්මන්ව බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

හීං ඇළේ දිය නැම්මේ ගලා එනු ලබන ජල දහර ස්වභාවික ගල් වැටියක් හේතුකොටගෙන හරස් වී සැදුනු දියවලෙහි, පතුලෙහි වූ සුමුදු සහ සුමට තිරුවාණ ගල් පවා පැහැදිලිව පෙනෙන සේ සුපැහැදිලි වූ ජලයෙහි සෙමින් වරල් සලමින් ඒ මේ අත පිහිනායන ලූලන් දෙස හිස නැඹුරු කොටගත් වනම බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

මෙසේ එක් දිනක රූස්ස පළුගසක් සෙවණෙහි හිඳ ඔහු ඒ අසලම දුව පනිනා සා පොව්වන් යුවලකගේ විප්‍රකාර නරඹමින් සිටියේය. එක් වරම සුළඟ හමනා දිශාවේ වෙනසත් සමඟම ඉතා සිහින් ගීත රාවයක් වැන්නක් ඔහුගේ සවනට වන්නේය.වික්ෂිප්ත වූ දඩයක්කාරයා එකෙණෙහිම හිස ඔසවා ඒ හඬ පැමිණි දෙස විපරම් කල නමුදු එක්වරම හමා ආ සුලඟ සමඟ ඇසුණා වූ ඒ හඬ සුලඟ සමඟම වියැකී ගියේය.

සුලඟ හමන දිශාව අනුව ඒ ගීතමය හඬ පැමිණියේ වාළිඹේගල දිශාවෙන් බව නිසැකවම දැන සිටි දඩයක්කාරයා යලිදු ඒ බලාපොරොත්තුවෙන් සවනේන්ද්‍රිය තියුණු ලෙස ඒ දෙසට යොමුකොටගත් වනම පොරොත්තු වූයේය. ඔහු උපකල්පනය කල ලෙසම නොබෝ වේලාවකට ප්‍රථම යලිදු ඒ ගීතමය හඬ වනය සිසාරා පැතිර ගියේ ප්‍රථම වරට වඩා බොහෝ සේ පැහැදිලි සහ තීව්‍ර ලෙසය. ඔහු දෙපා අසල දුව පනිමින් හුන් සා පොව්වන් දෙදෙනා ද එක් වරම සිටි පියම නතරව ඒ හඬ පැමිණි දෙස විපරම් කරමින් තම දිගැති සවන් ඒ දෙසට හරවමින් විපරම් කලෝය.

ඒ හඬ පැමිණි දිශාව පිළිබඳව දඩයක්කාරයාට කිසිදු සැකයක් නොවීය. ඒ වාළිඹේගල කඳු මුදුනට මඳක් පහලින් වූ තුඟු ගල් කුළු අතර හොඳින් ආවරණව පිහිටි ගුහාව දෙසිනි. වහා ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටි දඩයක්කාරයා හිස ඔසවා මඳ වේලාවක් වාළිඹේගල පර්වත මස්තකය දෙස බලාගත්වනම කල්පනාවෙන් බරවූයේය. ඉනික්බිති තීරණයකට එළඹුනු අයුරු හිස පහත් කොටගත්වනම මොහොතක් පසුවූයේ වාළිඹේගල දෙසට දෙසට ගමන් කරන්නට වූයේය.


මතු සම්බන්ධයි........ 

( ඔන්න තව එකම එක පාරයි මතු සම්බන්ධයි කියල දාන්නෙ...පොඩි කාලෙ අර දිවේ කතිරෙ ගහල පොරොන්දු වෙන්නෙ..ඔන්න මමත් එහෙම දිවේ කතිරෙ ගහලම පොරොන්දු උනා..හරිය? )


33 comments:

  1. අද නම් මට පිස්සු වගේ... නිකම්ම කතාව විතරක් කියවගෙන ගියා.. ආයිත් පාරක් ඇවිල්ලා කියවලා බලන්න ඕනේ ....

    ( හරි ඉතිං.. මේ දවස්වල මං ඉන්නේ ඒ ලෙවල් මානසිකත්වයේ නේ.... ඒකයි අවුල.. හි හි)

    ReplyDelete
    Replies
    1. මොකෝ හිරු ඒ ලෙවල් කේස් එක? ආයම පාරක් ඒ ලෙවල් කරන්නද හදන්නෙ? :) :)

      Delete
  2. ඈ.. කවුද බොලේ මේ සින්දු කියන්නෙ මේ වන බූටෑවෙ??

    ReplyDelete
    Replies
    1. වන බූටෑවෙ සිංදු කියන්නෙ ඉතිං වෙන කවුද වන දෙව්ලියක් වෙන්ට ඇති.....:) :)

      Delete
  3. //නිවුන් දරු උපතෙන් පසු //

    දෙන්නෙක්ම හම්බ උනාද? හපොයි...

    මට පේන්නේ පියා සහ ලමයින් අතර වගේම දඩ්ඩා සහ දඩ්ඩී අතර තියෙන්නෙත් වචනෙන් කිව නොහැකි, අපූරු අන්දමේ සම්බන්දකමක්!!!

    අර වන පෙතේ විස්තරේ හරිම ලස්සනයි…ඇස් පියාගෙන මවා ගත්තෑකි.

    හහ් ඔන්න ඔන්න තව කාගේදෝ ගී රාවයක් ඇහෙනවා. වෙන කෙල්ලෙක් එහෙම නෙමේ නේද? :D

    ReplyDelete
    Replies
    1. / දෙන්නෙක්ම හම්බ උනාද? හපොයි… /

      එහෙනං එහෙනං ටුවින්ස්ල දෙන්නෙක්ම හම්බ උනා නෙව...නරක නෑ නේද සෙල්ලම?

      / හහ් ඔන්න ඔන්න තව කාගේදෝ ගී රාවයක් ඇහෙනවා. වෙන කෙල්ලෙක් එහෙම නෙමේ නේද? :D /

      ඒ ඇවිල්ල වන දෙව් ලියක්...එයාට සක්කරය වරමක් දීල මනුස්ස ලෝකෙට ගිහිල්ල එයා කැමති කෙනක්ව දිවිය ලෝකෙට එක්ක එක්කල එන්ට..ඉතිං මේ දෙව්ලිය කරන්නෙ එයාගෙ එර්දි බලයෙං දඩයක්කාරයත් එක්කල යනව තව්තිසාවට අමුඩෙත් පිටිම්ම

      Thanks so much Poddi… :) :)

      Delete
  4. //( ඔන්න තව එකම එක පාරයි මතු සම්බන්ධයි කියල දාන්නෙ...පොඩි කාලෙ අර දිවේ කතිරෙ ගහල පොරොන්දු වෙන්නෙ..ඔන්න මමත් එහෙම දිවේ කතිරෙ ගහලම පොරොන්දු උනා..හරිය? )// පිස්සු නම් කියන්න එපා අය්යේ . මාර්තු පළවෙනිදට මේක ලියන්න අරන් අවුරුද්දඊ ..කොහොමහරි ඒ වෙනකල් ඇදල තියමු රෙකොර්ඩ් එක හොඳේ..අපි ඉන්නවා නේ ඉතින් බැන බැන හරි කියවන්න ..ලේසිද අප්පා අවුරුද්දක් මේ වගේ මඥ්ඥ0 කතාවක් ලියන එක ........ඒත් ඉතින් පහු ගිය ටිකේම කම්මෙන්ට් කරන්න නම් බැරි උනා . සොරි හොඳේ..හැබය් අනිවාර්යෙන් කථාව නම් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. දඩ් ගේ පරණ කෙල්ල නේද ඔය සින්දු කියන්නේ ?

      Delete
    2. අම්මට උඩු....මේ ඉන්නෙ.....අම්ම අප්ප දැක්ක වගෙ තන්තෝසයි...මම ඒත් බැලුව උඹට මොකද පහුගිය ටිකේ උනේ කියල...මම ඉතිං හිතාගත්ත අර කුළු කේස් එකක්වත් දෝ කියල...හරි බං මොක හරි කමක් නෑ..මේ විකාර කියවනවනං එච්චරයි...හෙහ්, හෙහ්,

      මට මේ උඹට පස් පඩංගුවෙ බණින්ටද ඉස්තූති කරන්ටද කියල හිතාගන්ට බැරුව ඉන්නෙ...මොකද මට ෂුවර් නෑ උඹ මෙතන මට කරල තියෙන්නෙ පොරසංසාවක්ද අපහාසයක්ද කියල......හෙහ්, හෙහ්, මොක හරි කමක් නෑ...මොනව උනත් කාලෙකට පස්සෙ දැකපු එකත් සතුටක් බොලේ...:) :)

      Delete
    3. මොන කුළු ද අය්යේ මේ දවස්වල මට ජොබ් 3ක් සෙට්වෙලා තියෙන්නේ..ඉතින් ඒවා කල් දාල..
      //.මොකද මට ෂුවර් නෑ උඹ මෙතන මට කරල තියෙන්නෙ පොරසංසාවක්ද අපහාසයක්ද කියල.// හි.. හි.. එහෙම තමා කාලෙකින් ඇවිත් එකපාර අපහාස කරලා යන්න හොඳ නෑ නොවැ ..ඉතින් ශේප් එකේ දෙකටම හරියන්න ලිව්වා :P .. මොන උනත් ඉතින් අවුරුද්දක් ලියල "සය්බරයේ දීර්ගතම නවකථාව " උනොත් කාටද ආඩම්බර.. කොහෙවත් ඉන්න පුර්වජයෙක් පටලෝගෙන මැද හරියේදී නාගත්ත තරමට හිතපු තරම් අව්ලක් උනෙත් න..හැබය් ගොය්යෝ අච්චර ලස්සන ආදර කතා ලියන්න පුළුවන්කම තියෙද්දී අඊ නම් පටලොගන්න එපා මේ වගේ එකක්..

      Delete
    4. හා, හා අඬන්නෙ නැතුං ඉඳු..යකෝ මේ ඊයෙ පෙරෙයිද ඇඹිටිල්ලං කෙල්ලො නම් බැරිය. මේ දීග තලගත් ගිය තලතුනා අම්මණ්ඩිලටනෙව ආදර කතා ඕන වෙලා තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      හරි බං ඉවසං හිටු තව පෝය බාගයක් විතර. දෙඤ්ඤං පේම කතාවක් ආය නෑ...උඹේ හුර්දය වස්තුව නිකං සං සං ගාන්ට..අම්මප...ඒත් මේක ඇවිල්ල බොහ්හෝම දුක්බර මොඩල් කතාවක්.....:( :( :(

      උඹ ගාව තියද ගනකම බූල් තුවායක් එහෙම...නැත්තං ගොයියො මේ හෙටානිද්ද පඩි නේද?...ගං රෝස මල් එහෙම ඉහිච්ච බුහුල් තුවායක්..මොකද මයෙ සදානුස්මරනීය පේම කතාව කියවන්ට ඉස්සරවෙලා බුහුල් තුවායක් ඕනම වෙනව.

      මං ආං ඒකෙ කෑල්ලක් දැම්ම අර සද්දන්ත පේමයක කතාවෙ කමෙන්ට් එකක් විදිහට බූර්ස්ට.....:)

      Delete
  5. Replies
    1. මොකදෑ කොරන්නෙ ඉතිං? :( :(

      Delete
  6. //එහෙත් අදාල ක්‍රියාකාරකමෙහි තීව්‍රතාව අවරෝහණය වී යන්නා හාම ඊට සමානුපාතිකව අනුයාත සිදුවීම් දෙකක් අතර කාල පරතරයද ආරෝහණයවී ගියේ// වසර පහක් හයක් ගිහින් නිවුන්නු විතරයි මන්දැයි හොයන්නට දෙසැරයක් කියවද්දීයි මේක මොකක්දැයි වැටහුනේ ...... සුද්දී ගැනයි දඩයක්කාරයා ගැනයි අනේ පව් කියලත් හිතුණා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි...:) :)

      Delete
  7. අඩේ මට මුල ටික මිස් වෙලා නේ????????

    ReplyDelete
    Replies
    1. ඔව් බොලේ මුල හරිය තියනව සෑහෙන්න ....:) :)

      Delete
  8. ආ, දැං මේ දඩයක්කාරයා මොකටද ලෑස්ති වෙන්නෙ කියලා මං දන්නවා. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ චරිතෙ රඟපාන්න, සඳ කිඳුරු ජාතකේ සීසන් ටූ එකේ. එහෙම නේද අයියේ? :D

    /*ඔන්න තව එකම එක පාරයි මතු සම්බන්ධයි කියල දාන්නෙ...පොඩි කාලෙ අර දිවේ කතිරෙ ගහල පොරොන්දු වෙන්නෙ..ඔන්න මමත් එහෙම දිවේ කතිරෙ ගහලම පොරොන්දු උනා..හරිය?*/

    අනේ යන්න! අපි නොදන්න මතු සම්බන්දෙ. බැරි වෙලාවත් ඕක තව කොටස් දෙකකින් ඉවර කරගන්න බැරි උනොතින් මුන්දැ ලියයි ඉතිරි කොටස් ටිකත් මතු සම්බන්දෙට වෙන සමාන පදයක් හොයාගෙන හරි! :P

    ReplyDelete
    Replies
    1. ඔහෙ ඇති බුරක්මදත්තයෙක් නෑ බොල....

      මේ….. පුරෝකතන නවත්තල එකත්පස්ව ඉඳගෙන ඉඳු දහරමංඩිය ගොතාගෙන දොහොත් මුදුං දීගෙන.

      ඒ අනබිබවනීය අන්දරයේ මනමෝහනීය කූට පරපාප්තිය ඉතා ආසන්නයි!!!

      Delete
  9. අපෝ මොකද අනේ ඒ කරපු දේ තේරුම???????
    හම්බුන ළමයි පිරිමිද ගෑණුද කියලා කියලවත් කියන්නැතුව කතාව ඇද්ද නේද????? ඒ ගැන බොහෝ සේ කළකිරිමේන් තමයි මේක දාන්නේ......
    soooo saaaaaaaaaad

    ReplyDelete
    Replies
    1. ළමයි දෙන්න කම්බාද අමුඩද කියල කතාවට අදාල වෙන්නෙ නෑ මලේ..ඒකයි විසේසයෙන් ඒ ගැන නොකිව්වෙ...ඒත් උඹට ඕනම නම් කියන්නම්කො..කම්බායක් සහ අමුඩයක්..

      Delete
  10. උඹ අර අහිංසකීව දරු ප්‍රසූතියේදි මරා නොදැම්ම එකට උඹට පිං.

    ඈ බං, දැන් මේ ලමයි ලොකු වෙලා උනුත් දඩයං කරලා, ගංවතුරෙ ගහං ගිහිං, කසාද බැඳලා, උරේට හේත්තුවෙලා, ඔක්කොම කරන්නද යන්නේ ආයෙම මුල ඉඳලා. බුරෝ, කතාකරහංකො බං.

    ReplyDelete
    Replies
    1. කතා කොරලා කොරලා දැං මට හතිවැටිලා ඉන්නෙ බොලං.. :)

      නෑ නෑ, මෙදා පාර නං ඉවරෙටම ඉවරයි මං හිතන්නෙ.. දැං ඔය සිංදු කියන වන දෙව්ලියත් එක්ක දඩ් යනවා යන්ට තවුතිසා දිව්‍යලෝකෙට.. එතකොට අර අහිංසකී, අර සුද්දි දොහක් දෙකක් බලා ඉඳලා බැරිම තැන පනිනවා වාළිඹේ ගලින් පහලට අර දරුවො දෙන්නත් එක්කලා.. ඕං ඔහොම සෝකාන්තයක් තමා තියෙන්නෙ..

      Delete
    2. දඩස් දෙව් ලොව ගියත් සුද්දී අපරාධයක් කර ගන්නේ නැති වෙයි . මුන්දට එච්චරම දරුණු වෙන්න බැරි බව නම් සහතිකයි

      Delete
    3. @ හෙන්රි,

      උඹ තාම බාස්ල එක්ක මලෙන්ද කොහෙද ඉන්නෙ මට පේන්නෙ..ඇයි බොල මම සුද්ද සිංහලෙං කිව්වෙ තව කොටස් දෙකයි ...සමාපතයි කියල..:) :)

      Delete
    4. @ බූරා

      හෙහ්, හෙහ්..කතා කොරලම එපා වෙලයි තියෙන්නෙ නේද?

      Telling not hearing teacher,
      Up going up,
      Down going down…:) :)

      Delete
    5. @ බින්දි,

      කවුද බොල මේ මුන්ද?.....සුද්දි ද මම ද?

      Delete
  11. ඉවර වෙන්නද යන්නේ ..අය්යෝ..ඉහි ඉහි ..

    දඩ්ස්ට මොනා හරි කරන්න වගේ යන්නේ . පව් ..මොනවා වුනත් අපේ අවංක ප්‍රීතිය මේක ඉවරයක් වෙන්වට.

    අපි ඉතින් විහිලු කොලාට තරහ වෙන්ට කාරී නැහැ . මේ වගේ හොඳ සිංහලෙන් නිර්මානයක් කරනවා කියන්නේ ගරු කටයුතු වැඩක් .

    ReplyDelete
    Replies
    1. අම්මප මම මේ කම්පනා කලේ මේ දඩයක්කාරයගෙ කතාව කියවන්ට එන අම්මණ්ඩිල ඔක්කොම එක අච්චුවෙ නෙව. එකෙක් වත් කියන්නෙ නෑනෙ හරියට එක කතාවක්...බණින එකත් බයිනව කං දෙකේ ඇඟිලි ගහගන්ට. ඒ එක්කම හෙමිහිට ඔලුවත් අතගාල යනව...( ඔළුව අතගානව තවත් වැඩකට..ඒකද දන්නෙත් නෑ...හෙහ්, හෙහ් )

      ස්තූතියි බින්දි..උඹල අපෙ අම්මට බැණ බැණ හරි දිගටම ඇවිල්ල බැලුවනෙව..ඒක ලොකු දෙයක්...හෙහ්, හෙහ්,

      Delete
  12. නෑ නෑ මං දන්නව වෙන්ඩ යන හරිය සහ සුද්දෙංම..
    හොඳට හිතල බලපංකො බූරයියෙ, ඩූඩයියෙ,
    මේ කැලේට මේ වෙනකල් වෙන කවුද ආවෙ.. ආව තරමක් ගෑනුමනෙ ... දැං ඔය එන්නෙත් ඔය වනදෙවුලි ද මොකියෙක්ද.....
    පේනවනෙ එන හැටි ගීතත් ගයාගෙන...
    දැන් අපේ දඩයත් වසී වෙලා වගේ යනව වාලිඹේ ගල දිහාවට
    මෙන්න ඉන්නව වන දෙවුලි ගහක දෙබලක් උඩ ඉඳගෙන කරේ දාගත්තු මල් මාලෙත් කරකෝ කරකෝ...
    ඔන්න උන්දැ දඩය දැකල ගහෙං බැහැල ඇවිල්ල දඩයගෙ උරිස්සෙ ඉහ තියාන සින්දු කිය කියා ඉන්නව කියහල්ලකො..
    මේක කැලේ දර කඩන්ඩ ආව සුද්දි දකිනව..
    සුද්දිත් ආයෙ එසේ මෙසේ අම්මණ්ඩියෙක් නෙවෙයිනෙ.. ඒකි පැන්න ගමන් අල්ලගන්නෙ දඩයගෙ බෙල්ලෙන්!!
    එතකොට වන දෙවුලි අනේ අපේ අයියට මක්කවත් වෙයි කියල එල්ලෙනව සුද්දිගෙ අතේ!!
    ඒ පාර සුද්දිට මාරාවේශ වෙලා දඩයව අතෑරල අල්ලගන්නව වනදෙවුලිගෙ කෙස්සෙං..
    අල්ලල කරකෝල හිට කෙලින්ම අතාරින්නෙ වාලිඹේ ගල පල්ලට!!
    යමංකො ගෙදර අද... දෙන්නං උන්දැට වැඩේ... සුද්දි අත් දෙකත් එකට අතුල්ලල පිහින ගමං දඩය දිහා බලල ගෝරනාඩු කරනව...
    අනේ දඩය වචනයක්වත් කියන්නෙ නෑ.. ආපහු හැරෙනව...
    ඕං ඔච්චරයි.......කතාව අහවරයි!!

    ReplyDelete
    Replies
    1. / ඒකි පැන්න ගමන් අල්ලගන්නෙ දඩයගෙ බෙල්ලෙන්! /

      ඇති උඹට බෙල්ලෙං කියල ලියන්ට හිතුන...සුද්දි පැන්න ගමන් අල්ලගන්නව දඩයගෙ අමුඩ කෙටියෙං කියල ලියන්ට ආවෙ නෑ කම්පනාවට?

      කෝපාවිෂ්ඨ වූ ශ්වේතා වහා ඉදිරියට පැන ඝාතකගේ කටී ආවරණය තරව ග්‍රහණය කොට ගත්තීය. අහෝ ඛේදයකි ඉරකි තිතකි..එකෙනෙහිම ඒ කටී ආවරණ රාජයා ඝාතකයාගේ කටී ප්‍රදේශය හැරපියා ශ්වේතාගේ සුරතට පැමිණියේ ක්ෂණයකිනි.

      එකෙනෙහිම විශ්මයාවහ රාවයක් නැඟූ වනදෙව්ලී තොමෝ සිහි විසඥව නිල් තණ පලස මත පතිත වූවාය....

      Delete
  13. හොද ලිපියක්

    ReplyDelete
  14. Elaga kotas tikath ekmanata denno... dwas 2k athulata mey katwa ktwala ewara kara. lassana katawak :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...