Monday, January 28, 2013

157. කෝසල සිහින - සතළොස් වැන්න


පසල් දනව්බද වාර්ෂික චාරිකාවෙහි සතියකට අධික කාලයක් මුළුල්ලේ නියැළුණු පසේනදී කොසොළ් රජ තෙමේ සාවත්‍ය නුවර බලා පෙරළා පැමිණියේ අධික විඩාව කරණ කොටගෙන රාත්‍රි භෝජනය නිමකල වහා සිරියහන් ගැබට වැද නින්දට වන්නේය. 

එහෙත් රජ තෙමේ රාත්‍රියෙහි පශ්චිම භාගයෙහිදී මහත්සේ බියපත්වැ දහදිය වැකුනු සිරුරැතිව නින්දෙන් අවදිවූයේ සයනයෙහි හිඳගත්වනම උකටලීවැ දෑත් හිසෙහි ගසාගත් වනමැ බලා සිටියෝය. 

එකල රජුගේ අග මෙහෙසිය වූ මල්ලිකාවෝ ද සිය සමුණානන් නිදි වර්ජිතව බලවත් සේ වික්ෂෝපශීලීවැ හිඳිනු දුටුවේ වහා නැඟී සිට පියා මෙසේ විචාලෝය. 

'' මා ප්‍රිය හිමියනි. ඔබ කුමන හෙයින් මේ පශ්චිම යාමයෙහි නිදි වර්ජිතවැ පසුවන්නෝ වේදැයි '' මහත් වූ සෙනෙහසින් යුතුව විමසුවෝය. 

එකල්හි රජ තෙමේ මහත් බිය රැඳි නෙතින් යුක්තවැ මල්ලිකාවන් අමතන්නේ මෙසේ පැවසුවෝය. 

'' මින් පෙර මවිසින් දක්නා ලද සොළොසක් වූ ස්වප්නයෝ තොපට මතක ඇතැයි සිතනෙමි. මා ප්‍රිය දේවිය. මෙවර මවිසින් දක්නා ලද්දේ ඒ සියළු ස්වප්නයන්ට වඩා බියකරුවූ ස්වප්නයෙකි. අහෝ, බලනු මැන ..ඒ සිහිවන කල්හි පවා මා සියොලඟ රොමෝද්ගමනය වන අයුරු..'' 

මෙසේ පවසා උදක්මැ මහත් අසරණ විලාශයෙන් මල්ලිකාව දෙස බලා සිටියාහුය. 

එකල කොසොල් රජුගේ බිය දුරු කරනු වස් මල්ලිකාවෝ මෙසේ සැනසුම් බස් තෙපලූයේ උන් අස්වසාලීය. 

'' නොබා හිඳිනු මැන මහ රජතුමනි, පෙර දුටු ස්වප්න සොළොස විභාග කොට ඒ පිළිබඳ නිසි තතු ඔබට සැලකොට ඔබේ අස්ථාන භීතිය තුරන් කලෝ ලොව්තුරා බුදු රජාණෝය. එතුමෝ මෙවරද ඔබට සරණ වනු සැකයෙක් නැති. හෙට දින උදෑසනක්ම දෙව්රම් වෙහෙරට ගොස් එතුමා බැහැදැක මෙපවත් පවසනු මැන. එතෙක් සිතෙහි කනස්සළු උදෑසන නැඟෙන ළහිරු රැසින් මිහිදුම් පහවයන්නාක් මෙන් දුරුකොටැ සුවසේ සැතපෙනු මැනැව '' යයි සෙනෙහස් පෙරදැරි කොටමැ පැවසූහ. 

කොසොල් රජ තෙමේ නින්දත් නොනින්දත් අතර රාත්‍රියෙහි ඉතිරිය ගෙවාදැමූයේ උදෑසන අහර කිස නිමකල වහා රාජ සභාවට හෝ සහභාගී නොවූයේ ශ්වේත වර්ණයෙන් බබලන්නාවූ අසුන් සිව් දෙනෙකු යෙදූ සිය රාජකීය රථයට පැන නැංගේ එකෙණෙහිම දෙව්රම් වෙහෙර බලා පිටත් වූවෝය. බුදුන් වහන්සේ උදෑසන අහර වැළඳීම නිමා කොට ධර්ම ශාලාවෙහි වැඩ හිඳ පෘථග්ජනයින්ට පැණනැඟෙනා ධර්මය සමබන්ධ වූ කුකුස් විසඳීමෙහිලා යෙදෙමින් උන්නෝය. අනඳ තෙරුන්ගේ අවසරයෙන් එහි පිවිසි කොසොල් රජතුමෝ බුදුන් නැමද පසෙකට වී එකත්පස්වැ හිඳ සිටියෝය. උන් උකටලී මුහුණ දුටු බුදු රජානෝ මන්දස්මිතියක් පාමින් මෙසේ විචාලෝය. 

'' කිමෙක්ද මහරජ?..තොප කිසියම් සිත් තැවුලෙකින් පෙලෙන බවක් හැඟෙයි. නොවලහා පවසනු මැන...තොප සිත් පෙලන කාරණය… '' 

මෙසේ බුදුන් වහන්සේගෙන් අවසර ලද රජ්ජුරුවෝ සිත් දිරිගෙන යලිදු දොහොත් මුදුන් දී නමස්කාර කොට මෙසේ පැවසුවෝය. 

'' ස්වාමීනී. ඊයේ රාත්‍රියෙහි ඉතා භයානක සිහිනයෙක් දුටුවෙම්. ඒ මොහොතේ පටන් මාගේ රාජ්‍යයට යම් විපතක් දෝයි සිත් කනස්සසල්ලෙන් පසුවෙම්හ. ඔබ වහන්සේ මින් පෙර සිහින සොළොසවිසඳා මා සිත් තැවුල් දුරු කල ලීලායෙන් මෙවරද මසිත් සහහාලන බවට වූ අචල විශ්වාසයෙන් උදෑසනම ඔබ තුමන් බැහැදැකීමට පැමිණියෙමි. '' 

එසඳ බුදුන් වහන්සේ සුරත ඔසවා රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

'' බිය නොවන්න, මහ රජතුමණි, නොවලහා පවසනු මැන ඔබ දර්ශනය කල ඒ ස්වප්නය. '' 

'' එසේය ස්වාමීණී..නොයෙක් වෙසින් යුතු රුදුරු සතුන් රැලක් මම දුටුවෙමි. ඔවුහු කුමන වර්ගයකට අයත්වන්නේද යන්න අවිනිශ්චිතය.එහෙත් ඔවුහු මහා භයංකර ගර්ජනා කෙරෙමින් දුටු දුටුවනට කඩා පනිමින් ඉතා රුදුරුව හැසිරෙති. මහජනයාගෙන් බහුතරයක් උන්ගේ විප්‍රකාර නරඹමින් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්නාහ. එසේම ඔවුන් හා එක්වැ ඔවුන් පසුපස යමින් පිලී හිස සිසාරවමින් අනුග්‍රහ දක්වන්නාහ. මේ විප්‍රකාර පිළිකෙව් කරනා වූ සුළුතරය කිසිවක් කරකියාගත නොහැකිව උකටලීවැ බලා සිටින්නාහ. මෙවන් ක්‍රියාවන් වැළක්වීම තම රාජ කාර්යය වූ ආරක්ෂක රාජ පුරුෂයෝ ද මොවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නාහ. රට කරවන පාලකයෝද අවස්ථානුකූල වාසි තකා කිසිත් නොකොටැ උදාසීනවැ බලා සිටින්නාහ. ස්වාමීනී, මේ මාගේ රාජ්‍යයට පැමිණෙන යම් විපතක පෙරනිමිති වේ දෝයි සිතා කනස්සලු වන්නමෝදැයි '' පවසා සිටියෝය. 

එකල්හි බුදුන් වහන්සේ කෝසල රජුන් අමතා මෙසේ වදාලෝය. ඒ කෙසේද යත්., 

'' නොබා හිඳිනු මැන මහ රජ තුමනි, ඔබට බියවීමෙහිලා කිසිදු කරුණක් නැත්තේමය.මේ ඔබට හෝ ඔබගේ රාජ්‍යයට වන විපතක පෙර නිමිති නොවේ. බොහෝ කලක් ඇවෑමෙන් මේ දඹදිව ආසන්නයේම අනෙක් රාජ්‍යයක සිදුවන්නකි. මගේ ධර්මය සුපිරිසිදුව පවත්නා එකම දේශය ඒ බවට කටමැත දෙඩූවද ඒ දේශයෙහි එදවස පවතිනුයේ කිසිලෙසකින්වත් මවිසින් වදාල ධර්මය නොවේ.පාලකයෝ තමනට රිසි පරිදි රිසි දේ කරති. තමන් පත් කරන ලද්දේ මහජනයා විසින් බව අමතක කොට ලාපියා තම සුඛ විහරණයම උදර පෝෂණයම මුඛ්‍ය පරමාර්ථ කොට ගත්තේ මුළු මහත් දේශයම කෙළි මඬලක් සේ සලකා කටයුතු කරන්නාහ. '' 

'' පාලකයින් යහ මඟ යැවීමෙහි කාර්ය භාරය හිමි පැවිද්දෝ ලාභ ප්‍රයෝජන යාන වාහන ආදී ලෞකික සම්පත් මහත් කොට සලකන්නේ පාලකයින්ට පිරිත් නූල් බැඳීම තම ප්‍රධානම කාර්යය සේ සලකන්නෝය. ජේෂ්ඨ පැවිද්දන් එසේ අඳ ගොළු බිහිරන්සේ හැසිරෙන අතර අනෙකුත් ලාබාල පැවිද්දෝ තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම උදෙසා නොයෙකුත් විගඩම්හි යෙදෙන්නෝය.මාගේ ශාසනයෙහි ආරක්ෂකයින් වශයෙන් තුමූම පත් කරගත්තාහු කලින් කලට නොයෙකුත් කලි කලහ කරන්නෝය.වරෙක අන්‍යාගමික පූජ්‍ය ස්ථාන වලට කඩා වැදී රා කල සොලොසක් පානය කොට මත්වූහස්තීන් මෙන් කිසිදු සංවරයකින් තොරවැ හැසිරෙන්නාහ. " 

'' වරෙක ගිහියන්හට සිටිය යුතු දරුවන් ගණන නියම කිරීම පවා තමන්ට අයත් කාර්යයක් සේ සලකා කටයුතු කිරීමෙන් සමච්චලයට ලක්වන්නාහ. ඒ එසේම මාගේ නමින් අවන්හලක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මහා ගාලගෝට්ටියක් කරන්නාහ.රජතුමනි මාගේ ශාසනයෙහි මවිසින් අනුදැන වදාලේ ධර්මයට ද පෙර විනය ප්‍රමුඛස්ථාබයෙහි තබා කටයුතු කරන ලෙසටය. එහෙත් මොවුනගේ නොමේරූ හැසිරීම ධර්මය කෙරෙහි ආසක්ත වන්නාවූ බුද්ධිමත්හුද ඒ කෙරෙහු කලකිරවා එයින් ඈත් කෙරෙති. '' 

'' ස්වාමීනී. මඳක් සමාවුව මැන. එහෙත් ඔබ වහන්සේ නමින් අවන්හලක් පවත්වාගෙන යාම ඔබ වහන්සේට කරනා නිගරුවෙක් නොවේද? ඉන් ඔබ වහන්සේට අපහාසයක් නොවන්නේද?... '' 

රජතුමෝ දෑඟිලි බැඳගත්වනම විමසූවෝ හිස නමා ආචාර දක්වමිනි. 

'' ඒ කෙසේද මහරජ...මා නමින් අවන් හලක් පවාගෙන යාම මට අගරුවක් වන්නේ කෙසේද?...අඳ බාල පුරුෂයින් කිහිප දෙනෙක් එකතුව එසේ කල පමණින් මාගේ කීර්තිය පළුදු වේ හෝ එසේත් නැත්නම් ධර්මය කිලිටි වේ යයි උපකල්පනය කල හැක්කේ ඊටද වඩා අඳ බාල පුද්ගලයෙකුටමය. එසේම මගේ ධර්මයට කිසි දිනෙක ආරක්ෂක සේවාවක්ද අවශ්‍ය නොවේ.ධර්මය විසින්මැ ධර්මය රැමෙනු ඇති. ධර්මයෙහි හැසිරෙන්නා ද ධර්මය විසින්මැ රැකෙනු ඇති. මාගේ ධර්මයට තමන් විසින්මැ රැකෙනු නොහැකිවැ ආරක්ෂක සේනාවක පිහිට අවශ්‍ය වන්නේ යම් දිනකද එදින එකෙනෙහිම ධර්මයෙහි වලංගුතාවය, ධර්මයෙහි සදාතනික භාවය, ධර්මයෙහි සර්වකාලීන බව අහෝසි වෙයි.එකල්හි මාගේ ධර්මයද නැසී යන්නාහ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මවිසින් වදාල බව මතක තබා ගනු මැනව. මාගේ ධර්මයද ඒ සංස්කාර ධර්මයන්ටම අයිති වන්නාහ. මාගේ ධර්මය අහෝසි වීමට නියමිත කල් එලඹිකල කිසිවෙකුට කිසිදු ආරක්ෂක සේනාවකට ඒ වැලැක්විය නොහැක. '' 

බුදු රජානන් වහන්සේ මෙසේ පවසා කෝසල රජුන්ගේ බිය දුරුකොට ඔහු සිත් සැනසවූ වග මෙසේ දත යුත්තේය. 

කෝසල සිහින සතලොස් වැන්න මෙසේ නිම වූ වගයි 

28 comments:

  1. කාලීන අවශ්‍යතාවයක් සපුරා ඇත!! ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි අරුණි...:)

      Delete
  2. මෙව්ව අපි කොච්චර කීවත් වැඩක් නැහැ අයියේ.
    මගේ එක මිතුරියක් ඔය සිංහල ළමයි 4 ක් හැදුවොත් කවුද හාමුදුරුවෝ කට්ටියක් රුපියල් 5000 දෙන එක ගැන මහා සතුටෙන් කතා කරා. ඉතින් මම ඇහුව
    1)දැන් එතකොට ළමයි 4 ට වැඩි හැම සිංහල පවුලකටම එහෙම දෙනවද?
    2)තෝරා ගත්තු පවුල් වලට විතරක් නම් දෙන්නේ ඒක තෝරාගන්නේ කොහොමද?
    3)මම ළමයි 4 ක් හදන්ට නම් එයාල 5000 ගෙවනවා මයි කියල ගැරන්ටි කරනවද? මොකද නැත්නම් ළමය වැදුවට පස්සේ කීවොත් දෙන්නේ නැහැ කියල!
    4)රුපියල් 5000 කින් ළමයි 4 දෙනෙක්ට මාසෙකට කන්ට දෙන්ට පුලුවන්ද?
    අනිත් ලොකුම ප්‍රශ්නේ මේකයි:
    5) දැන් මේ හාමුදුරු ගොල්ල ඔය හැටි කියනවා නම් ළමයි හදන්ට ය කියල මොන මගුලකට එයාල සිවුරු පොරවන් 'අනගාරික' ජීවිත ගත කරන්නේ? හෙනම් අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල ඇයි එයාලට බැරි පවුල් වෙලා මේ කර්තව්‍යට උර දෙන්ට??

    මට මෙව්වා මේ මිනිස්සු එක්ක කතා කරලා ඇතිවෙලා. අනේ මන්දා සිහි මොලයක් නැතිද කියල.

    ReplyDelete
    Replies
    1. සමහර උන් දවල්ට සිවුරු පොරවගෙන හිටියට රෑට ළමයි හදනවා.

      Delete
    2. @ අමා,

      හපොයි.මේ ගණින්නාස්සෙල කරන මල විකාර දැකල මටනම් ඇතිවෙලයි තියෙන්නෙ...මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ.රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියල හොයල බලන්ට කිසිම උවමනාවක් නෑ. තාම හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ වැඩවසම් යුගේ පවතින රටක් කියල.පූජකයොත් එකයි පාලකයොත් එකයි. තකට තක..ජාඩියට මූඩිය...හැබැයි එක අතකට එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ. අපේ මිනිස්සුත් එහෙම තමයි. තවම අර සුද්ද එන්ට ඉස්සර තිබ්බ වහල් මානසිකත්වයෙන් මිදිල නෑ.සුද්ද ගිය ගමන් ආයෙම ගියා වැඩ වසම් යුගයට. සමහරවිට අපිට ගැලපෙන්නෙත් එහෙම ක්‍රමයක් වෙන්නත් ඇති. ඔය ගැන වැඩිදුර ලියන්ට හිතාගෙන ඉන්නව බං කාල වේලාව පිළිබඳ ගැටළුවක් තියෙන්නෙ...:)

      Delete
    3. @ Mobileman,

      / සමහර උන් දවල්ට සිවුරු පොරවගෙන හිටියට රෑට ළමයි හදනවා. /

      මමත් කියන්නෙ අපිට ලමයි හදන්න කියන වෙලාවෙ උන්දලම ඒක කලා නම් ඉවරයි. හැබැයි දවල් මිගෙල් රෑ දනියල් වැඩ බෑ. සිවුරෙ ඉඳගෙන බෑ. අර දුටුගැමුණු කාලෙ හාමුදුරුවරු සිවුරු ඇරල යුද්දෙට ගියාය කියන්නෙ..අන්න ඒ වගෙ....

      " සිහල ජාතිය අද බලවත් අනතුරකට මුහුණ දී ඇත. සිහළුන් ගණන දිනෙන් දින පහල බසී. ජාතිය බේරාගැනීම උදෙසා මම මේ සිවුර අළුයම ලූ කෙල පිඬක් මෙන් ඉවත දමා ඒ අදාල කාර්යය වෙනුවෙන් පෙරමුණ ගනිමි. මාගේ මේ ව්‍යායාමය කිසිසේත් කම් සැප පිණිස නම් නොවේමය. හුදෙක් මාගේ ජාතියෙහි ආරක්ෂාව වෙනුවෙන්මය."

      ඔන්න ඔහොම සිංහ නාද කරල සිවුර දෙහි ගහක් උඩ වනල කරල කාරිය බහින්ට එපාය වැඩේට හිටු කියල.

      අර රජක වාහිණිය තියෙන්නෙ... පොඩ්ඩක් කෝල් එකක් දෙන එක විතරයි තියෙන්නෙ...එයි ආත බූත කඩාගෙන සජීවී විස්තර ප්‍රචාරයකුත් දෙයි කඳුළු පනින්ට..

      Delete
  3. චීවරය දරාගෙන ඉන්න සමහර අය කරන වැඩ හන්දා සිල්වත් අයටත් නින්දා වෙනවා.

    කාලීන මාතෘකාවක්...
    හැබැයි මේවා ගැන කොච්චර කතා කලත්, වැඩක් නෑ......

    //සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මවිසින් වදාල බව මතක තබා ගනු මැනව. මාගේ ධර්මයද ඒ සංස්කාර ධර්මයන්ටම අයිති වන්නාහ. මාගේ ධර්මය අහෝසි වීමට නියමිත කල් එලඹිකල කිසිවෙකුට කිසිදු ආරක්ෂක සේනාවකට ඒ වැලැක්විය නොහැක.//

    මේ වෙනස් නොවෙන ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි...මෙව්ව කියලත් බෑ කියල වැඩකුත් නෑ ඒත් දකිනකොට කටවගෙන ඉන්ටත් බෑ..

      ස්තුතියි පොඩ්ඩි..

      Delete
  4. //මගේ ධර්මය සුපිරිසිදුව පවත්නා එකම දේශය ඒ බවට කටමැත දෙඩූවද ඒ දේශයෙහි එදවස පවතිනුයේ කිසිලෙසකින්වත් මවිසින් වදාල ධර්මය නොවේ.//
    ++++++++++++++++++++++++++
    කියන්නට කිසිත් නැත..සියල්ල කියා ඇත..

    ReplyDelete
    Replies
    1. මේ ගෞතම බුදුන්ගේ දේශයයි, එහෙත් මෙහි කෙරෙනුයේ උන්වහන්සේ අනුදැන වදාල ධර්මයට හාත්පසින්ම විරුද්ධ දේමය...හෙහ්, හෙහ්,

      ස්තූතියි රූ...:)

      Delete
  5. ඔබේ මහන්සියේ ප්‍රතිපලය ගැන මටද සැක ඇති වන නමුදු තවත් උත්සාහ කර බලමු.

    ReplyDelete
    Replies
    1. එසේය. මට ද සැක ඇත. එතෙකුදු මිනිසුන් කෙරෙහි වූ විශ්වාසය කිසි දින බිඳ නොගනිමි..:)

      Delete
  6. සිරාවට දුක හිතෙනවා නේද බං අයියේ . .

    ReplyDelete
    Replies
    1. කියන්නෙ කාටද මලේ..කියන්නේ කාටද?...මනුස්සයෙක් මඩවලක එරිල ඉණවටක්. ටිකෙන් ටික මඩේ ගිලෙනව..අපි ගොඩට වෙල බලා ඉන්නව. ඒත් කරගන්ට කිසිම දෙයක් නෑ...එහෙම වෙලාවට ඇස් පනා පිට මනුස්සයෙක් මඩේ ගිලිල මැරෙන්ට යනකොට අපිට ඒ ගැන කරගන්ට කිසිම දෙයක් නැතිකොට හිතට ඇතිවෙන අසරණ හැඟීම වගෙ එකක් මයෙ හිතේ තියෙන්නෙ..අනෙ අම්මප..

      Delete
    2. මට තියෙන්නෙත් ඕන්න ඔය හැඟීමමයි අයියේ . . අපි මොනවයි කියලා කරන්නද . . . අපිට මොකුත් ඒ වෙනුවෙන් කරන්න බෑ කියල හිතෙන කොට ඇතිවෙන හැඟීම දරා ගන්න හරිම අමරුයි

      Delete
  7. ඔන්න ගියා ඒ පැත්තෙත්...:)

    ReplyDelete
  8. හ්ම්ම්ම්...
    මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බැරුව ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. මොනව හරි කරන්නම වෙනව..ඒත් මොනවද කරන්නෙ කියන එකයි තියෙන පුරස්නෙ..:(

      Delete
  9. මේ පැත්තෙ ආව පළමු වාරය මේ...

    ඔයාල දෙන්න කරන වැඩේ ගොඩක් වටිනව. මේ කාලෙ ඔය ගැන දන්න අය ඉන්නෙ බොහොම පොඩ්ඩයි. කීප දෙනයි කිව්වොත් හරි.

    ඉතින් එහෙම අයටත් එක්ක දැනුම බෙදා ගන්න අදහසක් ඇති වීම පවා ලොකු සතුටක්

    දිගු ගමනකට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරස්කඩ..:)

      Delete
  10. ...මේ විප්‍රකාර නරඹමින් කිසිවක් කරකියාගත නොහැකිව උකටලීවැ පසුවම්හ...

    ReplyDelete
    Replies
    1. එසේ පවසා තොපට මඟ හැරිය හෝ ගැළවිය නොහැක මා සොයුර..තොප වැන්නවුන් ඒක රාශීව මේ භයානක ගමන වැළක්විම් වස් යම් දෙයක් කල යුතුය. ඒ කෙසේ හෙයින්ද යත් මේ මුග්ධයෝ පන්දු කෙළිනුයේ අපේ අනාගතය හා සමඟ බැවිණි.

      Delete
  11. කොහොමින් කොහොමින් හරි හැමෝම එක්කහු වෙලා ආයේ විනාසෙකට අර අදිනවා කියලයි මට හිතෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඉතාම පැහැදිලි බින්දි...එතනට තමයි මේ යන්නෙ...:(

      Delete
  12. මා සිහින දහසයක් නම් අසා තිබේ 17වන සිහිනය ගැන සඳහන් වන්නෙ කොහෙද මා විසින් ලියන පොතක් සඳහා ඒ තොරතුරු වැදගත් එ නිසා පැහැදිලි කරන්න

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...