Tuesday, April 23, 2013

180. කෝසල සිහින - අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව


අගබිසව වූ සාමාවතිය ප්‍රජා සත්කාරයෙහි යෙදෙමින් ප්‍රත්‍යාන්ත දනව් සරන හෙයින් කොසොල් රජ තෙමේ මෙදවස සිත්සේ නීළඹර සරන විහඟකු මෙන් බලවත් ප්‍රීතියෙන් ප්‍රමෝදිතව වසන්නාහ. අන්තඃපුර සෙසු බිසෝ වරුන් හා උයන් කෙළියෙහි යෙදෙමින් මධු පානයෙහි නිරතවෙමින් කල් ගත කරනා නිරිඳානෝ බොහෝකල්හි නින්දට යන්නෝ අළුයම් කාලයෙහිය. 

එදවස ද රාත්‍රිය පුරා නාටිකාංගනාවන්ගේ රැඟුම් නරඹමින් සෝම පානයෙහි නියැලුණු කොසොල් රජ තෙම රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නින්දට වන්නේ සියොලඟ නැඟි දහදියෙන් තෙමී ගිය සිරුරැතිව අවදිවූයේ හෝරාවකුදු ගතවීමට ද ප්‍රථමයෙනි. 

සිහින සතළොසක් විටින් විට දර්ශනය වූ නමුදු මෙවන් සිත් කළඹවන සුළු විප්‍රකාර සිහිනයෙක් මින් පෙර කිසි දිනෙක දුටු බවට සිහියට නඟා ගත නොහුණු එතුමෝ, විපිළිසරවැ යලි නින්දට පිවිසීමෙහි අසමත් වූවෝ සිරි යහන් ගැබෙහි යාබද සඳළු තලයෙහි එහා මෙහා සක්මන් කරමින් රාත්‍රියෙහි ශේෂ වූ කාලය ගත කළෝය. 

උදෑසන අමරාවතී ගංගාව ඉස්මත්තෙහි ලහිරු මඬල නැගෙන්නා හා සමඟම සිරුරු කිස නිමකල වහාම පාතරාසය හෝ නොගෙන කොසොල් රජතුමෝ පිරිවර කිසිවකුගෙන් හෝ තොරවම තම මංගල සෛන්ධවයා පිට පැන නැංගේ වහ වහා දෙව්රම බලා නික්මුණෝය. 

බුදුන් වහන්සේ ද උදෑසන පිබිද භාවනානුයෝගීව මඳක් ගත කලේ ඉක්බිති මුව දෝවා පැන් සනහා හිල ද වැලඳූයේ ධර්ම ශාලාවෙහි වැඩ හුන්නේ සිව් වනක් පිරිසගේ කුකුස් විසඳා ලමිනි. 

කොසොළ් රජ තෙමේ නොඉවසිලිමත්වැ වහ වහා උන්වහන්සේ සමීපයට එළඹියාහු පා නැමැද පසෙකටවී එකත්පස්වැ මුනිවත රකිමින් හුන්නෝය. බුදුන් වහන්සේද තමා අසලට පැමිනෙන මෙන් රජුට සන් කොටැ මඳ සිනහවක් පාමින් මෙසේ විචාළෝය. 

" කිමෙක්ද මහ රජතුමනි, උදෑසනක් සේම මා හමුවට පැමිණියේ මන්ද? ඔබ සිත පෙළන යම් කරුණක් වේද වහා පවසා තැවුල් දුරු කොට ගත මැනවි " 

එසේ බුදු රදුන්ගෙන් ලද අවසර ඇත්තාවූ කොසොල් රජතුමෝද එකත්පස්වැ හිඳ මෙසේ පවසන්නට යෙදුණෝය. 

" එසේය ස්වාමීනී, ගත වූ රාත්‍රියෙහි ඉතා බියකරු, බලවත් චිත්ත වික්ෂෝභයට හේතුවන ස්වප්නයක් දර්ශනය කළෙම්හ. ඒ කුමන දරුණු ව්‍යසනයක පෙර නිමිතිදැයි නොදන්නේ දැඩි භීතියෙන් වෙළුණු සිතැතිව පසුවන්නෙමි " 

මෙසේ පවසන්නට යෙදුනාවූ රජ තෙමේ බුදුන් වත දෙසමැ ඇසි පිය නොහෙලා බලා සිටියෝය. 

එබස් ඇසූ බුදුන් වහන්සේ මඳ සිනහවක් පාමින් සිය සුරත දිගුකොට රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

" නොබා හිඳිනු මැන මහ රජ තුමනි, පෙර තොප දර්ශනය කල ස්වප්නයෝ සතළොසක් කිසිදු අපහසුවෙකින් තොරවැ විසඳා ලූවෝ මම් නොවෙම්ද? එසේ හෙයින් නොබා පැවසුම මැන. මේ සවප්නයත් එලෙසින්ම විසඳා ලා පියා තොප සිත් බිය සහ කුකුස් දුරු කරන්නමෝ " දැයි පවසා මඳහසින් යුක්තවැ පොරොත්තු වූවෝය. 

තදින් පියාගත් දෙනෙතින් යුක්තවැ ඇඳිලි බැඳගත් වනම මොහොතක් පසුවූ රජතුමෝ යලි දෙනෙත් හැර බුදුන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණයෙන් හෙබියාවූ වත මඬල දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මෙසේ කටහඬ අවදි කලෝය. 

" ස්වාමීනී., පසුගිය රාත්‍රියෙහි සිහිනයෙන් මම එක් නුවරෙක වීදි සංචාරය කරමින් සිටියෙමි. එනුවර බැලූ බැලූ අත ශ්වේත හස්තීහු එහා මෙහා සංචාරය කරන්නෝය. ඒ සියළු හස්තීන්ගේ පශ්චාත් භාගයෙහි කොසොල් රාජ අන්තර් ජාතික ශ්වේත හස්තියා යන වදන් පෙල නොමැකෙන සේ හණ ගසා ඇත්තාහ.ඒ සියල්ලටම වඩාලාත් විශ්මය දනවන කරුණ නම් මේ සියළු හස්තීහු ඔසවාගෙන යන්නාහු මෙපුර වැසියෝය. ඔවුහු හස්තීන් ඔසවාගෙන යන්නාහා තබා තම සිරුරු වාරු කරගත නොහැකි තරමට කෘශවූ කෙසඟයෝ පිරිසක් වෙති. එහෙත් මේ ශ්වේත හස්තීහු කිසි ලෙසකින් උන්ගේ කරමතින් බිමට නොබසින්නෝය. එසේ හෙයින් කුමක් කරන්නමෝදැයි විපිලිසර ඒ අසරණයෝ වික්ෂිප්තවැ හස්තීන් කරමත තබාගත්වනමැ දිවි ගෙවන්නාහුය. " 

දෙනෙත් පියාගත් වනමැ පෙරයම දුටු ස්වප්නය යලි සිහියට නඟාගත් රජතුමෝ තම බියරැඳි හඬ යලිදු මෙසේ අවදි කලෝය. 

" එසේමැ ස්වාමීනී බැලූ බැලූ මානයෙහි සියලුම තන්හි කෝසල රජ යන නාමය විසල් අක්ෂරයන්ගෙන් හණ ගසා ඇත්තේය. රාජ පාක්ෂික වන්දිභට්ට නාඩගම් කරුවෝ තම විසූක දස්සන නුවරුන්හට පෙන්වනුයේ කෝසල රාජ රඟහලෙහිය.මහා කලාකරු යන විරුදාවලිය සට්ටඹි යන පදයට සාර්ව සම වූ මෙන්ම ශබ්ද කෝෂයන්හි පර්යාය පදයක් ලෙස භාවිත වන්නේය....එකද නෞකාවකුදු සැපත් නොවන්නේ වී නමුදු භූමිය කැණ තැනූ මහා ජල තටාකය වනාහී කෝසල රාජ ජල තටාකයයි.සියොතුන් සහ වන හස්තීන් පමණක් සැරිසරන්නාවූ අහස් යානා තොටුපොළ ද කොසොල් රාජ ගුවන් තොටුපොළ සේ නම් ලද්දේය." 

කොසොල් රජතෙමේ මඳක් නිහඬවැ බුදුන් වහන්සේ වත දෙස හිස ඔසවා බැලුවෝය. එතුමෝද නිහඬවම සුරතින් සන් කෙරෙමින් රජුහට කථාකිරීමට දිරි දුන්නෝය. 

" ඒ සියල්ල පසෙක තිබියේවා ස්වාමීනී, මහත්මැ ව්‍යසනය නම් ඒ පුරවරයෙහි කිසිදු පුරුෂයෙකු හෝ ස්ත්‍රියක රාත්‍රි කාලයෙහි නිදා නොගන්නාහ. උදෑසන අවදිවන කල්හි ඔවුන්ගේ පුරුෂ සහ ස්ත්‍රී නිමිති වටා කොසොල් රාජ පුරුෂ නිමිත්ත හෝ කොසොල් රාජ ස්ත්‍රී නිමිත්ත යනුවෙන හණ ගසාපියා ඇත්තේවීයයි දැඩි බියෙන් ත්‍රස්තව වෙසෙන්නාහු ඔවුහු කිසි ලෙසකින් නින්දට නොයන්නාහ. " 

මෙසේ තම ස්වප්න විස්තරය නිම කල රජ්ජුරුවෝ උදක්මැ බුදුන් වහන්සේගේ වත දෙස නෙතු යොමාගත්වනම පසුවූවෝ එතුමන්ගේ සවප්න විවරණය කුමනාකාර වේදයි දැඩි කුකුසින් මඬනා ලද සිතින් යුතුවය. 

දෑස් පියාගත්වනමැ මඳක් සමවත් සුවයෙන් කල්ගෙවූ බුදුන් වහන්සේ දෙනෙත් හැරපියා රජතුමාහට මෙසේ පිළිවදන් දුන් සේක. 

" නොබා හිඳිනු මැන මහරජතුමෙනි, මේ ස්වප්නය කිසි ලෙසකිනුදු තොපට හෝ තොපගේ රාජ්‍යයට වන විපතක් පිළිබඳ අනතුරු හැඟවීමෙක් නම් උදක්මැ නොවන්නේමය. මෙයින් වසර දෙදහස් පන්සියයෙක් පමණ ගෙවීගිය කල්හි මේ දඹදිවට ආසන්න අනෙක් දේශයෙක සිදුවන්නකි.එරට රාජ්‍ය බලයට පත් වන්නෝ තම කීර්ති නාමය සුවාසූ කල්ප ලක්ෂයක් පවත්වා ගන්නමෝදැයි සිතා අඥාණ වූ පුරෝහිතයින්ගේ උපදෙස් ලබන්නාහු සෑම ඉඳිකිරීමෙකම සියනාමය සුවිසල් වූ අක්ෂරයන්ගෙන් හණ ගසා තිබෙනු දැකීමේ සමනය කොට ගත නොහෙන දොළකින් පෙළෙන්නෝය. " 

" මෙසේ බලවත් හීන මානයෙකින් පෙලෙන්නාවූ හෙයින්මැ බැලූ බැලූ තන්හි තම නාමය දිදුලනු දැක්මේ මැඩගත නොහුණු ආශාවෙන් පරිපීඩිත වෙමින් රාජ්‍යය පුරා සියළු ඉදිකිරීම් සිය නාමයෙන් හඳුන්වන්නාහුය.කොපමණ විචාර බුද්ධියෙන් තොරවූයේද යත් සිය අසූචි පවා මහා සුගන්ධයෙන් යුතුයැයි සන්ධියක් සන්ධියක් පාසා හඬනඟනා අන්තේවාසික කැණහිලුන් නොව නැණැසින් ලොව දක්නා අවශේෂ පුරවැසියන් හමුවේ තමන් කෝණංගියකු බවට පත් ඇති බව නොදක්නාහු මුඪ පාරාදීසයෙක කල් ගත කරන්නාහ. " 

" මඳකට සමාවන්න ස්වාමීණී,.....එහෙත් යම් රාජ්‍යයක සුවිසල් ඉඳිකිරීමෙක් එරට පාලකයා නමින් නම් කිරීමෙහි වරදක් ඇත්ද?.." 

මෙහිදී රජතුමා බුදුන් වහන්සේගෙන් විමසාලූහ. 

" නැත, මහරජතුමෙනි, එහි කිසිදු වරදෙක් නැති. එහෙත් එසේ වනුයේ ඒ ඉඳිකිරීම පාලකයාගේ පෞද්ගලික ධනය වැයකොට කෙරෙන්නක් නම් පමණි.සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටුහු සිය පෞද්ගලික ධනය වැයකොට ඉඳිකල ආරාමය අනාථ පිණ්ඩික ආරාමය නම් වෙයි. එහි දොසක් දකිනු හැකි වනුයේ කවරෙකුටද? කොසඹෑ නුවර ඝෝෂිත සිටුහු තම ධනයෙන් ඝෝෂිතාරාමය ඉදි කලහ. එලෙසම කුක්කුට සිටුහු කුක්කුටාරාමයද පවාරික සිටුහු පවාරිකාරාමයද ඉදි කළෝය. ඒ කිසිදු ඉදිකිරීමෙක් තම නමින් නම් කිරිමෙහි කිසිදු වරදක් ඉඳුරාම නැත්තේය. මක් නිසාද ඒ ඉදිකිරීම කෙරෙනුයේ ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ම බැවිනි. එළෙසම ඒ සියල්ල ගෞතමාරාම ලෙස නම් කිරීමට මට ඉතා පහසුවෙන්ම හැකියාව තිබුනද මම එසේ නොකලෙමි. මාගේ නාමයෙන් වෙහෙර විහාර නම් නොකලද තවත් වසර දෙදහස් පන්සියයකට අධිකවූ කාලාන්තරයක් මුලුල්ලේ අසංඛ්‍ය සංඛ්‍යාත මිනිසුන් මුව මාගේ නාමය නිතොර කියැවෙනා බැව් මම හොඳහැටි දන්නා බැවින් එසේ කිරීමෙහි අවශ්‍යතාවයෙක් කිසිසේත් මාහට නොවීය. " 

" එහෙත් මෙපවත් අසනු මැන. අධික පොළියක් සමඟ දශක ගණනක් තුල ගෙවිය යුතු පරිදි ගිවිසුම් අත්සන්කොටැ සියළු පුරවැසියන් දෙපා අවසඟ මහල්ලාගේ පටන් මව් ඇකයේ කිරි උරනා බිලිඳා දක්වා සියලු පුරවැසියන් උගසට තබා ණය වශයෙන් ලබාගත් මුදල් වැයකොට කල ඉදිකිරීම් තම නමින් හැඳින්වීමෙහි ඇත්තේ කුමන සාධාරණත්වයක්ද? " 

" වන්නාටය මහරජ...කලියුගයේ මෙවන් විපරීත ක්‍රියා සිදුවීම කිසිසේත්ම විශ්මයට පත්වියයුතු කරුණෙක් නම් නොවේමය. ඒ කෙසේ වුවද තොප දුටු සිහිනය කිසිසේත් තොපට හෝ තොපගේ රාජ්‍යයට මෙවකට වන්නාවූ අනර්ථයක් හඟවන්නක් නම් නොවේමය. එසේ වූ හෙයින් නොබා සිත් සනහා ගනු මැනැවියි " පවසා එසඳ බුදු රජාණන් වහන්සේ කෝසල රජු සිත් සනසවා ලූ බව මෙයින් දත යුත්තේය. 

කෝසල සිහින අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව මෙසේ නිම වූ වගයි….. 

22 comments:

  1. මෙවන් විපරීත ක්‍රියාවන් සිදුවෙන කලියුගය අවසන් වෙන්නේ කවදා ද?!!!!

    ReplyDelete
    Replies
    1. අරුණි,

      පිළිතුරු දෙකක් ඇත.

      1.වචනාර්ථයෙන් ( Literally ) සැලකුවහොත් කලියුගය අවසන් වන්නේ වසර 2025 දීය.

      2. රූපකාත්මකව ( Metaphorically ) සැලකුවහොත් කලියුගය ඉබේ අවසන් නොවේ කලියුගය අවසන් කල යුත්තේ අප විසින්මය යනුවෙන් අපටම වැටහී අප විසින්ම සුදුසු පියවර ගත් දින කලියුගය අවසන් වනු ඇත.

      ක්‍රි.ව. 400 පමණ අවසන් වරට වර්තමානයේ පවත්නා ස්වරූපයට සංස්කරණය කලේ යැයි සැලකෙන මහාභාරතයේ කලියුගය ගැන සඳහන් වන්නේ මෙසේය.

      Attributes of Kali Yuga

      A discourse by Markandeya in the Mahabharata identifies some of the attributes of Kali Yuga. In relation to rulers, it lists:

      1. Rulers will become unreasonable: they will levy taxes unfairly.

      2. Rulers will no longer see it as their duty to promote spirituality, or to protect their subjects: they will become a danger to the world.

      3. People will start migrating, seeking countries where wheat and barley form the staple food source.

      4. "At the end of Kali-yuga, when there exist no topics on the subject of God, even at the residences of so-called saints and respectable gentlemen of the three higher varnas [guna or temperament] and when nothing is known of the techniques of sacrifice, even by word, at that time the Lord will appear as the supreme chastiser." (Srimad-Bhagavatam (2.7

      With regard to human relationships, Markandeya's discourse says:

      1. Avarice and wrath will be common. Humans will openly display animosity towards each other. Ignorance of dharma will occur.

      2. People will have thoughts of murder with no justification and will see nothing wrong in that.

      3. Lust will be viewed as socially acceptable and sexual intercourse will be seen as the central requirement of life.

      4. Sin will increase exponentially, whilst virtue will fade and cease to flourish.

      5. People will take vows and break them soon after.

      6. People will become addicted to intoxicating drinks and drugs.

      7. Gurus will no longer be respected and their students will attempt to injure them. Their teachings will be insulted, and followers of Kama will wrest control of the mind from all human beings.The maximum lifespan of a human in this age is 90-100 years.

      8. Brahmans will not be learned or honored, Kshatriyas will not be brave, Vaishyas will not be just in their dealings

      මේ සටහන කියවද්දී එකහෙලා මට හැඟුනු කරුණක් නම් කාල තරණය ( Time travel ) යන්න ප්‍රබන්ධයක් නොව පරම සත්‍යයකි යන්නයි.යම් යන්ත්‍රයක් හෝ අද්භූත බලවේගයක උපකාරයෙන් විසි එක්වන සියවසේ මුල් දශකයේ ශ්‍රී ලංකාවට නොපැමිණියේනම් ඔවුන් කෙලෙසක මෙතරම් සවිස්තරව කලියුගය විස්තර කරන්නටද?

      මේ පුරාණ ඉන්දියානුවන්ගේ කාළ තරණ හැකියාවට පරිවේෂණීය එහෙත් නොවරදින සාක්ෂ්‍ය ලෙස පසුගිය මාස කිහිපය මුළුල්ලේ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අහසේ දිස්වූ බවට සැලවූ අද්භූත ආලෝකයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කල හැක.

      Delete
    2. හැබැයි බං අයියෙ, ඔය උඩහින් තියෙන ලැයිස්තුව කියෙවුවට පස්සෙ මට මෙහෙමත් එකක් හිතුනා.. මේ දේවල් වර්තමාන සිරි ලංකාවට විතරක් පොදු දේවල් නෙවෙයි නේද.?? ලෝක මානව ඉතිහාසය හා මානව ශිෂ්ටාචාර ගත්තොත් මේ දේවල් හැමදාමත් තිබිලා තියෙනවා අඩු හෝ වැඩි වශයෙන්.. මේවා අලුත් දේවල් නෙවෙයි නේද.?? එදත් තිබුනා, අදත් තියෙනවා, හෙටත් තියෙයි.. එතකොට කවද්ද කලියුගය.!? :)

      Delete
    3. Buratheno.

      ඒක මෙහෙමනෙ බං..කලියුගය පටන්ගෙන තියෙන්නෙ ක්‍රි. පූ. 3676 දි..ඊට කලින් බොහොම ධාර්මික ගුණයහපත් මිනිස්සු වාසය කලාය කියල තමා කියවෙන්නෙ.ඒත් එහෙම කියන්නෙ මම හිතන්නෙ සමස්තයක් විදිහට. කොයි කාලෙත් අධර්මිෂ්ඨකම්, සාහසිකකම් සිද්ද උනාය කියන එක අමුතුවෙන් කියන්න ඕන කමක් නෑනෙ. ඒත් කලියුගයෙ තමයි වැඩිපුර එහෙම වෙන්නෙ කියලයි මෙතන කියන්නෙ වෙන්න ඕන.

      ලංකාවෙ විතරක් නම් නෙවෙයි තමයි මේ වගෙ දේවල් වෙන්නෙ. ඒත් ලෝකෙම ගැන කතාකරනවට වඩා ලංකාව ගැන කතාකරමු කියලයි මට හිතුනෙ.

      Delete
  2. ශ්වේත හස්තීන්ට අත නොතබනු....

    ReplyDelete
    Replies
    1. තිසර,

      කොක්කාවෙ ඉන්න එවුංට ආය අත තියල මක්කා කොරන්ටද බුදු මලේ? කොයි මක් කොරල හරි බිම දාගන්ටයි ඕන..:)

      Delete
  3. නමනම් ගැහුවත් කමක්නෑ කියමුකො.. ඒත් ශ්වේත හස්තීන්ව පිට උඩ තියන් ඉන්න වෙන එකනෙ කාලා ඉන්න බැරි.. දැන්නම් කොන්දත් රිදෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      මලේ..කිඹුලා සහ අර මොනවද කටු ජාතියක් ගැන කතාවක් අහල අති නෙවද?..:)

      Delete
  4. අනේ ඇත්තටම හිනාවෙන්නද? අඩන්නද?

    ReplyDelete
    Replies
    1. තරුරසී,

      හේතු දෙකක් නිසා හිනා වෙමු...:)

      1. ජීවිත කාලයම හැඬීමෙන් ගත කල නොහැකි නිසා,

      2. හැඬීමෙන් කිසිදු පලක් නොවෙන නිසා,

      Delete
  5. වසර දෙදහස් පන්සියයක් ගෙවීගිය කල්හි දඹදිවට ආසන්න රාජ්‍යයේ පාලකයාණන් සිය නාමය ගලැ කෙටූ හණක් මෙන් සැමදා බබලවා ගැනීමට සම්ත් වන්නමෝද

    ReplyDelete
    Replies
    1. උහු එසේ තරයේ විශ්වාස කරන බව නම් සක්සුදක්සේ පැහැදිලියැ...හැලපාභිධානයනි,සක්සුදක්සේ පැහැදිලියැ!!!

      Delete
  6. රජතුමාගේ නෝනා ආපහු ආවම සබ්බුව හම්බ වෙන්න ඇති කොසොල් රජතුමාට,

    ස්වේත හස්තීන් ගැනනම් කතා කරන්න බෑ. ඊට පස්සේ ස්වේත රථ ඒවි මාව හොයාගෙන

    ReplyDelete
    Replies
    1. වළාමයෙකි!!! සප්ත සාගරයෙන් එතෙර විසූවද තොපගේ බානසුළු කමෙක මහත බලව....තොප වනාහී ඉතා නිර්භීත ශූර වීර ගුණෝපේත සෝමා දේවිය මෙන් වූ සිහල කුල කතක ලෙස සිතා හුන්නෙමි.අහෝ මටමැ වැරෙන් තලාගනු වස් අර වියළි කුමක්දෝ නොමැතිකම පිළිබඳ දහස් වන වරටද පශ්චාත්තාප වෙන්නෙමි,මෙවර දිවයිනට ගොස් පෙරළා පැමිනෙන කල්හි නොවරදවා එවැන්නක් රැගෙන ඒමට අදිටන් කළෙමි.

      Delete
    2. මේ වගේ එව්වා ලියලා අහක්වෙලා ආයෙම ඇවිත් යන්නත් හිතං ඉන්නේ ඈ.......... :)

      ඒක නෙමෙයි සාමාවතිය කොසොල් රජ්ජුරුවන්ගේ අග බිසවද? මට නිකං මතක උදේනි රජුගේ බිසවක් කියලා, මාගන්දියා අග බිසව, පරිවාර බිසවක් වෙච්චි සමාවතියට රජ්ජුරුවෝ මනාප වැඩි නිසා ලොකු පාපයක් සිද්ධ කරගත්තා නේද?

      Delete
    3. චැහ්හ් මා විසින්ම මාගේ චරිතය ස්වයංඝාතනය කරගෙන ඇති බව පෙනී යයි

      Delete
  7. මෙයිට හොඳා පඳුරු මණ්ඩියක් තැලුව නම් ...

    ReplyDelete
    Replies
    1. " මහරජ,, ශ්වේත හස්ති කථා වස්තුව නිමා වීයේයැ, අනුයාතවැ ඔබගේ අපේක්ෂාවන් කවරේද?....."

      ස්වප්න විවරණය හමාරවූ කල්හි බුදුන් වහන්සේ රජතුමන් අමතා විචාලෝය.

      "ස්වාමීනී, තමර පොක්ඛරණාධිපතිනිය වූ ඒ සිටු දියණියගේ ඉල්ලීම පරිදි චතුර් දිශාවෙහිම පැතිර ගිය ගොමු මණ්ඩලයක් තලනු කැමැත්තෙමි. "

      කොසොල් රජ තෙමේ මඳ සිනහ පහළ කරමින් පැවසුවෝය.

      Delete
  8. දඹදිවට අල්ලපු රටේ වැසියෝ අපි වෙච්චි.... මේ වෙන දේවල් සජීවීව වින්දදරාගෙන ඉන්න එක තමයි කරන්න අමාරු... කොසොල් රජුටනම් මොකද ඉතිං එයාට පුශ්නයක් නැහැ නොවැ...

    ReplyDelete
  9. මේක නම් නියමයි රයියයියේ... හදිස්සියේ කියවන්න බැරි නිසා දැනුයි නිවාඩු පාඩුවේ කියෙව්වේ....

    එක අතකට බින්දි කියනවා වගේ මේවා කියවලා හිනා වෙවී අඬනවා වෙනුවට පරණ කතාවක් කියෙව්වනං ඉවරයි කියලා හිතෙනවා... ඒත් එතනත් ප්‍රශ්නෙන් පැනලා යාමක්... අනේ මන්දා...

    ReplyDelete
  10. // එහෙත් මෙපවත් අසනු මැන. අධික පොළියක් සමඟ දශක ගණනක් තුල ගෙවිය යුතු පරිදි ගිවිසුම් අත්සන්කොටැ සියළු පුරවැසියන් දෙපා අවසඟ මහල්ලාගේ පටන් මව් ඇකයේ කිරි උරනා බිලිඳා දක්වා සියලු පුරවැසියන් උගසට තබා ණය වශයෙන් ලබාගත් මුදල් වැයකොට කල ඉදිකිරීම් තම නමින් හැඳින්වීමෙහි ඇත්තේ කුමන සාධාරණත්වයක්ද? //

    මේ කිනම් හරුපයක්දැ..
    අනාගතයේ උපදින්නට සිටිනා පරම්පරා ගණනක දරු පැටියන් උකසට තබා ඇති බවත් තවත් පරම්පරා කිහිපයක් උකසට තබන්නට අර අදින බවත් අමතක වීද?
    !!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...