Friday, June 14, 2013

194. ක්‍රැකටෝවා......

මම මෙහෙ ඉන්නෙ මගෙ හොඳ යාලුවෙක් එක්ක එපාට්මන්ට් එකක හවුලෙ.මම මීට කලින් මේ කතාව කියලත් තියනව....අර..මේ..අර...තාරාවෙක් ගැන විස්තරේදි... යාලුව ඉන්නෙ එයාගෙ බිරිඳ සහ පොඩි දරුවො දෙන්න එක්ක. ලොකු පුතා මෙහෙ ශ්‍රී ලංකා පාසලේ තුන වසරෙ....මේ ඊයෙ පෙරෙයිද දවසක මිනිහ කඩාගෙන ආව මගෙ කාමරේට.. 

"අනේ අංකල් මට ගිණි කඳු පිපිරීම් ගැන විස්තර ටිකක් කියනවද?..ටීචර් කිව්ව හෙට එනකොට ඒ ගැන විස්තර හොයාගෙන එන්නෙයි කියල." 

අම්මප දැං මේ ඉස්කෝල වල උගන්නනව කිව්වට කරන කෙහෙල්මල් ඉගැන්නිල්ලක් නෑ!!! ළමයින්ටම විස්තර හොයාගෙන ඉගෙන ගන්නයි තියෙන්නෙ. සමහරවිට හැමදේම කියල දෙනවට වැඩිය එහෙම ඉගෙන ගන්න ඉඩ හරින එක වෙන්නැති හරිම ක්‍රමේ..කවුද දන්නෙ ඔව්ව?...කොහොමහරි ඔය කියන කියන තොරතුරු පට පට ගල හොයා ගන්ට ජාලෙ තියන නිසාම හොඳයි. නැත්තං මේ කියන කියන අටමගල් ගැන විස්තර කොහෙං හොයන්ටද? එහෙමත් නැත්තං ලක්ස ගානක් දීල එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්ව කෝෂෙ A - Z කාණ්ඩ ටික ඔක්කොම අරගෙන ගෙදර ගොඩ ගහගෙන තියාගන්නයි වෙන්නෙ. 

හරි ඒ නවීන ඉගෙනුම් ක්‍රම ගැන කතා කලා මදැයි..එව්ව එහෙම තමයි..කලින් කල පලින් පල කිව්වලු..ලෝකෙ හැම දෙයක්ම අනිවාර්යයෙන් වෙනස් වෙනවනෙ...මේ අද කියන එක නෙවෙයි හෙට..ඊට හාත්පසින්ම වෙනස් දෙයක්..අපිත් ඉතිං ඔය ඔක්කෝටම හා..හූ..කිය කිය ඉන්නව මිසක වෙන මක් කරන්නද?... 

ඔන්න එක පොඩි උදාහරණයක් ගම්මු..දැන් මේ පොල් තෙල් තියනව නේද? අපි පොඩි සන්දියෙ ඉවුං පිහුං ඔක්කෝටම ගත්තෙ පොල්තෙල්...කට්ට කරෝල කෑල්ලක් බැදල ගන්ටද ලූණු කපාපුව ටිකකුත් දාල...එතනිං ගිහාම වේලිච්ච මිරිස් කරලක් දෙකට පලල ලුණු පොල් කට්ටෙ පොඟෝල තියල බැදල ගන්ටද, එහෙමත් නැත්තං තිලාපියා මොසැම්බිකා පෙති කපල දුරු මිරිස් අතගාල බැදල ගන්ටද ඔය ඔක්කෝටම ඉතිං පොල් තෙල්ම තමයි, ඒ දවස්වල ඔය පොල් තෙල් වලිං හාට් ඇටෑක් එනවය කියල කතාවක් තිබ්බෙ නෑ ආය...

අපෙ අත්තම්ම ඒ දවස්වල මාස තුනකට විතර සැරයක් පොල්තෙල් හිඳිනව..හප්පා ඒක මහා පරිමාණෙ ව්‍යාපෘතියක්. නිවාඩු දවසක් ඉරිදාවක් වගෙ අල්ලල තමයි වැඩේ පටං ගන්නෙ..ආය නෑ ගෙදර වැඩිහිටියො ඔක්කොම එකතුවෙනව. ඒත් හවස හතර පහ වෙනකොට තමයි යාන්තමට වැඩේ එකලාසයක් වෙන්නෙ. හරි ඒ ගැන ආයම ලියන්නම් සවිස්තරව..මම මේ කියන්ට ආවෙ පොල් තෙල් හිඳිනකොට තෙල් කහ කියල ඉතුරු වෙනව ගාපු පොල් සහ බාගෙට හැදිච්ච පොල්තෙල් වල මිශ්‍රණයක්. අල්ලන්ටවත් බැරි තරමට තෙල්. අපි පොඩි එවුං ඔව්ව කනව කට දෙපැත්තෙයි, බඩෙයි ඔක්කොම තෙල් නාවර පෙරාගෙන. අම්මල අප්පච්චිල කවුරුත්ම අපිට කෑගැහැව්වෙ එහෙම නෑ බැරිවෙලාත්, හා...හා... කන්ට එපා ළමයි ඔව්ව . ඔය හැටි තෙල් කන එක හොඳ නෑ කියල එහෙම. 

ඔන්න කාලෙකට පස්සෙ මට මතක විදිහට 82/83 වගෙ කාලෙ වෙන්න ඕන..ඕන්න ආව හා හූවක් පොල් තෙල් කෑම බොහොම අගුණය. හාට් එකට ෆුල් අබ්ලික්ය අරකද මේකද කියල..පත්තරවල තිබ්බ ඒ ගැන ලිපි ඕසෙට. රූපවාහිනියෙ සාකච්ඡා ගියා පැල් බැඳගෙන. කොහොම හරි ඔන්න අපිත් ඔය කියන එව්ව ඔක්කොම පිළිගත්ත.නැතුව කොහොමද? විසේසඥයො කිව්වම පිළිගන්ටම එපාය. හෘද රෝග ගැන අවුරුදු ගානක් ඉගෙන ගත්තු ඒ ගැන උපාදි කප්පරක් ගත්තු මනුස්සයෙක් කිව්වම පොල්තෙල් හෘදයට අගුණයි කියල... පිස්සුද ඕයි තමුසෙට ඔල්මාදද ? කියල අහන්ට පුළුවන? අනික එහෙම අහන්ට අපි කවුද? 

අනේ අපි ඔහෙල වගෙ පුරුතග්ජනයින්ට තියෙන්නෙ හා එහෙමද? හැබෑද?...කවුද දන්නෙ අනේ ඔය විත්තියක්? කලින් කියන්ට එපාද? දැන්වත් දැනගත්තු එක කොච්චර ලොකු දෙයක්ද? ඉස්තූතියි බොහොමත්ම ඔහෙලට කියල ආයම මේ ගෙදර පැත්ත පළාතෙ පොල්තෙල් එහෙම ගෙනෙනව නෙවෙයි ඔන්න..මම නොකිව්වයි කියන්ට එපා කියල තහනං නියෝග නිකුත් කොරල ගෝරනාඩු කරල යකා නටල එදා ඉඳල අර විසේසඥයංගෙ උපදෙස් පරිදි එළෝළු තෙල් කන්ට පුරුදු වෙන එක. 

ඕන්න ඔහොම ඉතිං එළෝළු තෙල් කකා කකා හිටියයි කියමු. ඔහොම අවුරුදු දහයක් පාළොහකුත් ගියාය කියමුකො. ඔන්න ගහෙං ගෙඩි එන්නැහෙ පත්තරවල විසේසාංග, එතකොට ටී.වී වල අර මඬල, මේ මඬල, අර සබාව, මේ සබාවෙ ඔව්ව ඔක්කොගෙම පැල්බැඳගෙන කියන්ට ගන්නව අර කාලෙකට ඉස්සර පොල් තෙල් අගුණයි කිව්වෙ ..ඒක පට්ට බොරුවක්ය..ඒ එළෝළු තෙල් කොම්පැනි වලිං සල්ලි අරං විසේසඥයොය කියන ගොබිලො ජහමනයව රවට්ටන්ඩ කියාපු එකක්ය කියල..පොල්තෙල් තරං හුර්දයට ආතල් වෙන එකක් මේ තුංලෝකෙම නැතිය..අරකද මේකද රටේ නැති ජාති.. විසේසඥයො රූපවාහිනියට ඇවිල්ල පොලවෙ පස් කනව පොල්තෙල් හොඳයිය කියල, දහාතේ දිවුරනව.... 

ඕන්න අපි ඔක්කොම ආයෙම...ඒකනෙ කියන්නෙ...මම නං ඒ කාලෙම හිතුව ඕකෙ මොකාක් නමුත් කොස්සක් තියනවය කියල..නැත්තං ආය අපෙ අත්තල මුත්තල බැදුං පිළිස්සුං හැදුවෙත් ඔය එළෝලු තෙල් දාලය..ඒත් කොයි උන්දැලට ඔය කියන හාට් ඇටෑක්ද මොනවද කියන එව්ව...ඔන්න ඔහොම කියල ආයම පොල්තෙල් කන්ට පුරුදු වෙනව..එව්වයෙ හැටි එහෙම තමයි... 

හරි ඒ අතුරු කතාව ඇති ඔය....ඉතිං අර පොඩි එකාට ගිණිකඳු ගැන විස්තර හොයල දෙන්ට ගිහිල්ල ඔන්න මම ගියා මතක මංපෙත ඔස්සේ අතීතයට..Down memory lane… 

ඔහෙ ඉතිං මොකද?...ඕන දෙයක් කියාපං....ඔහෙටත් ඇති එක්කො ඒ වගෙ අත්දැකීමක්....අඩුම ගනනෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ යාලුවෙකුටවත් ඒ වගේ දෙයක් වෙලා හරි ඇති..නැද්ද?.... හෙහ්..හෙහ් 

හරි ඒ පරණ කතාව මෙන්න මෙහෙමයි හොඳද? 

අවුරුදු පහළොව දාසයේ විතර කාලෙ ..දන්නවනෙ ඔය කාලෙ ඉතිං...ඉස්ත්‍රී සරීරය ගැන එහෙම උනන්දුව එකසියගානට නැගල යන කාලෙනෙ...පිච්චර් එකක් එහෙම උනත් බලන්නෙ යන්තමට අඟ පසඟ පේන්ට ඉස්ත්‍රියාවක් බිල් බෝඩ් එකේ දාල තිබ්බොත් විතරයි. මරදාන හන්දියෙ ඔහොම අනන්ත තිබ්බ ඒ දවස්වල බිල් බෝඩ්ස් අඩි හතලිහක් විතර උස..ඔන්න යන්තම් ඇඟ වැහෙන්ට මොකක් හරි පටලෝගෙන ඉන්න ඉස්තිරියාවකගෙ රූපයක්....අපිට ඉතිං පිස්සු නොහැදෙන එක විතරයි. 

ඉතිං දෙවෙනි පීරියඩ් එක ඉවර වෙන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ...අර කුණු කාණුව දිගේ බඩ ගාල ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙං පැනල අල්ලපු වත්තෙ බල්ලට වැඳල කාරිය පාරට ගොඩ වෙල ඔන්න යනව විජිතපුර සටනට ගොස් එන ගැමුණු කුමරු වගෙ තමයි කොටින්ම...මාර හැපී..කණ කටේ..හෙහ්, හෙහ් 

ඔහොම දුෂ්කර ක්‍රියා කරල ගියාය කියමු හෝල් එකට....පිචර් එකත් බැලුවය කියමු..අනේ අර බිල් බෝඩ් එකේ තිබ්බ කෑල්ල බලනකොට පිචර් එකේ නෑ...මුං මේ අපි වගෙ මෝඩ කොල්ලො අන්දන්න හිතලම කරපු මගඩියක්...ටිකට් විකුණන එකාගෙ අම්මට බැණ බැණ ආයම එනව ඉස්කෝලෙට..ඒත් ලස්සනම වැඩේය කියන්නෙ..ආයම ඊලඟ දවසෙත් ඔය ඔය ටික ඔය විදිහටම කරනව...ආය නෑ ඒකෙ දෙකක්... 

ටික දවසකින් ඔය වගෙ පිචර් එකක් නොබල නිකං අපෙ හිතත් එක්ක හෝන්දු මාන්දු වෙලයි තිබ්බෙ. 

"ඒයි මැජස්ටික් එකේ අලුත් ෆිල්ම් එකක් දාල තියනව...හවස යමං සික්ස් තර්ටි ෂෝ එකට.." 

ඔන්න එකෙක් කිව්වෙ ඉන්ටවල් එක වෙලාවෙ 

අපි කට්ටිය හිටියෙ ඩෙස්ක් එකකට තට්ටු කර කර ඒ කලෙ නැඟල ගිය සිංදුවක් කියමින්.....සීතාදේවි ෆිල්ම් එක..නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ....... 

" මොකක්ද නම?..කෑලි එහෙම තියනවද?..." 

"එහෙම එව්ව නං නෑ මම හිතන්නෙ...මේ ක්‍රැකටෝවා..... ඊස්ට් ඔෆ් ජාවා නම.. " 

"මොකක්ද බං ඒ? මහ විකාර නමක්නෙ...මොකක්ද ඉස්සරහ බෝඩ් එකේ දාල තිබ්බෙ? " 

මිනිහගෙ ගෙවල් ගල්කිස්සෙ…. ගෝල් රෝඩ් එකේ හෝල් වල දාල තියන ෆිල්ම්ස් වල ආරංචි අපිට අරං එන එක මිනිහටයි බාර වෙල තිබ්බෙ... 

"ගිණි කන්දක් පුපුරනව තිබ්බ මචං ඒ කිට්ටුව බැලූන් එකක් පාවෙලා යනව.." 

" මොකක් බැලුමක්? අර පොඩි එවුං සෙල්ලං කරන ජාතියෙ?..." 

" නෑ බං අර මහ විසාල එව්ව...බැලුමෙ යට පොඩි කූඩුවක් වගේ එකක් එල්ලල මිනිස්සු නැඟල යන්නෙ අන්න ඒ ජාතියෙ එකක්…"

" අඩේ යමුද බලන්ට?...හැමදාම බුරුස් ලීගෙ එව්වයි යන්තං මොකක් හරි කෑල්ලක් තියන එව්වයිම බල බල ඉඳල හරියන්නෙ නෑ..ඔහොම එකකුත් බලමු ඉඳ හිටල " 

"හරි..හරි එහෙනං හවස වරෙල්ල පහට විතර බොරැල්ලෙ දාස එක ඉස්සරහට…" 

එදා අපි මැජස්ටික් එකේ බැලුව ඒ ෆිල්ම් එක ක්‍රැකටෝවා ඊස්ට් ඔෆ් ජාවා...( හැබැයි චිත්‍රපටයෙ නමේ නම් වැරැද්දක් තියනව..ක්‍රැකටෝවා ගිණි කන්ද තිබ්බෙ ජාවා දූපතට නැගෙනහිරින් නම් නෙවෙයි බටහිරින්...) පටන් ගත්තු වෙලාවෙ ඉඳල ඉවර වෙනකල්ම ගල් ගිල්ල වගෙ අපි බලාහිටිය මැජස්ටික් අති විශාල පුළුල් තිරේ දිග ඇරෙන විශ්මයජනක දර්ශන දිහාවෙ....කොහොම හරි ඊට සතියකට විතර පස් සෙ අපි ආයෙම සැරයක් ක්‍රැකටෝවා බැලුව මට මතකයි. 




ක්‍රැකටෝවා කියන්නෙ දූපතක්..ජාවා සහ සුමාත්‍රා අතර තිබුනු යමහල් දිවයිනක්..ඒ කියන්නෙ ගිණි කන්දක් මුහුදෙන් මතු වීම නිසා නිර්මාණය වුනු දූපතක්. 1883 අගෝස්තු 26-27 යන දෙදින තුල මේ ගිණි කන්ද පුපුරායාම නිසා ඒ දූපතෙන් 2/3 සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. 




ක්‍රැකටෝවා පිපිරීම මිනිස් ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ දරුණුම පිපිරීම...මෙහි පිපිරීමේ බලය 1945 හිරෝෂිමා නගරයට හෙළපු පරමාණු බෝම්බය වගෙ 13,000 ගුණයක්. මෙතෙක් මිනිසා විසින් කල විශාලම පිපිරීම සෝවියට් දේශය 1961 ඔක්තෝබර් 30 වනදා සිදුකල Tsar Bomba ජලකර බෝම්බ පිපිරවීම. ක්‍රැකටෝවා පිපිරීම ඒ වගෙ හතර ගුණයක්... 

ඒ වගේම මිනිස් ඉතිහාසයෙ මෙතෙක් ඇසුණු විශාලම ශබ්දය.දකුණු දෙසින් සැතපුම් 1930 දුරින් පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරයට පිපිරුම් ශබ්දය ඇහිල තියනව. ඒ වගේම සැතපුම් 3000 බටහිරින් පිහිටි රොඩ්‍රිගුවස් සහ මොරිෂස් දූපත්වලටත් ශබ්දය ඇසුණයි කියල වාර්තා වෙනව. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ලංකාවටත් මේ ශබ්දය ඇහෙන්නම ඇති. පිපිරීමෙන් උත්පාදනය වූ කම්පන තරංග සිද්ධියෙන් දින පහකට පසුද මානක උපකරණ වල සටහන් වූ බවද සම්පූර්ණයෙන්ම වියැකී යාමට පෙර එම තරංග ලොව වටා සත් වරක් ගමන් කල බවද කියැවෙනවා. 

ඒ හා සමඟම ඇතිවූ සුනාමිය සහ රක්ත තප්ත ගල් සහ උණුසුම් අළු පතනය සහ විෂ වායූන්ට ගොදුරු වීම නිසා ගම් සහ නගර 165 විනාශ වූ අතර යටත් පිරිසෙයින් මිනිසුන් 36,417 දෙනෙකු මිය ගිය බවටද වාර්තා වෙනවා. 

ක්‍රැකටෝවා දූපත මුහුදේ ගිලීගිය තැන 1930 තවත් යමහලක් මුහුදින් මතුවෙනවා. එම දූපත හැඳින්වෙන්නේ අනක් ක්‍රැකටෝවා ලෙසින් ( ඉන්දුනීසියානු භාෂාවෙන් ක්‍රැකටෝවාගේ දරුවා )මේ දූපත වසරකට සාමාන්‍ය වශයෙන් මීටර් 7 පමණ වේගයෙන් වර්ධනය වෙනවා. ඒ කියන්නෙ අඩි 22 විතර අවුරුද්දකට මුහුදෙන් මතු වෙනවා කියන එක.1994 සිට මේ දක්වා අනක් ක්‍රැකටෝවා සක්‍රිය යමහලක්. යම් කාල පරතරයන් ඇතිව සුළු විදාරණයන් සිදුවෙනවා. එසේම යමහල් විද්‍යාඥයින් මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව බොහොම විමසිලිමත්ව සිටින්නෙ. සමහරවිට ඔබේ මගේ ජීවිත කාලය තුල 1883 ක්‍රැකටෝවා පිපිරීම පරදවන පිපිර්‍රිමක් දැකබලා ගැනීමේ වාසනාව හෝ බොහෝවිට අවාසනාව අපිට හිමිවෙන්නත් පුළුවන්. කවුද දන්නෙ? 




මිනිස්සු කොච්චර දියුණු උනත් ස්වභාව ධර්මය එක්ක ඒ සෙල්ලං හරි යන්නෙ නෑ. ඉඳහිටල ටිකක් ඔය නාහෙට නාහන තමන් දැං ඔක්කොම දන්නව ඒ නිසා තමන්ට වැඩිය ජගතෙක් නැහැයි කියල ඔලුව උදුම්මගෙන ඉන්න අකීකරු දරුවෙකුගෙ කණෙන් අල්ලල පොඩ්ඩක් හොල්ලල කාරිය අම්ම කියල දෙනව වගේ උඹ මොනතරම් චණ්ඩි පාට් දැම්මත් මට උඹ ලොකු නැහැ කියල ස්වභාව ධර්මයත් මිනිස්සුන්ට හිටපු ගමන් කියල දෙනව උඹල මට මොක්කුද කියල. 

2004 සුනාමිය එහෙම එකක්..අපේ කාලෙදි ආයෙම එහෙම මිනිස්සුන්ට පාඩමක් කියල දෙන්ට ස්වභාව ධර්මයට නොහිතේවා කියල ප්‍රාර්ථනා කරනව ඇරෙන්න වෙන මොනවද අපිට කරන්න පුළුවන්? 

48 comments:

  1. අපි පොඩි කාලෙත් අපේ ගෙදරමයි පොල් තෙල් හැදුවේ. ඒක අර කිව්වුවත් වගේ මහා මෙහෙයුමක් තමයි. කෑමට පොල් තෙල් වෙනමයි ඔළුවේ ගාන්න තැඹිලි තෙල් වෙනමයි හැදුවා වගේ මතකයි.
    මාත් පොඩි කාලේ තෙල් හැදුවම ඉතිරි වෙන දොදොල් කන්න ආසයි. අපෙ ගෙදර ඒක හෝදන්නවත් දෙයක් අපි ආයේ ඉතුරු කරන්නේ නෑ ඒ කාලේ.
    දැන් නම් ඒවා මොකුත් නෑ. පොඩි අක්කලාගේ ගෙදර විතරක් පොල් තෙල් හදනවා තාම. ඒත් පොල් කෑලියි කුඩුයි මෝලට ගෙනිහින් එහෙන් තෙල් කරන් එනවා මිසක් අර අපිට වගේ ලස්සන මතක නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. Mokak da me polthel kathawa

      Delete
    2. පොල්තෙල් හිඳිල්ල සෙල්ලං කෙලියක් නෙවෙයි බොල...අපෙ අත්තම්ම උදේ බුදු හාමුදුරුවන්ට පානක් එහෙම පත්තු කරල තමයි වැඩේ පටන් ගන්නෙ..ඒ කරල හිඳින තැඹිලි තෙල් වලින් ඉස්සොරෝම උඩිම්ම තෙල් ගන්නව බුදු පහනට තෙල් දාන්ට තියෙන බෝතලේට කට කපල එකක්...අනික් හරිය අපෙ ඔළුවල ගාන්ට කම්බුල් දෙපැත්තෙං බේරෙනකල්...හෙහ්, හෙහ්,

      ඉන්නකො ඔය විස්තරේ වෙනම කියඤ්ඤම්කො දවසක....

      පස්සෙ පරිණාමයෙ ඊළඟ අදියර උනේ පොල් ගාල අව්වෙ වේලල මෝලට ගිහිං දීල තෙල් හින්දෝ ගත්තු එක..අන්තිමට පොල්තෙල් කඩෙන්ම කෙලින්ම ගන්න යුගයට ආව...

      Delete
  2. /*මිනිස්සු කොච්චර දියුණු උනත් ස්වභාව ධර්මය එක්ක ඒ සෙල්ලං හරි යන්නෙ නෑ. ඉඳහිටල ටිකක් ඔය නාහෙට නාහන තමන් දැං ඔක්කොම දන්නව ඒ නිසා තමන්ට වැඩිය ජගතෙක් නැහැයි කියල ඔලුව උදුම්මගෙන ඉන්න අකීකරු දරුවෙකුගෙ කණෙන් අල්ලල පොඩ්ඩක් හොල්ලල කාරිය අම්ම කියල දෙනව වගේ උඹ මොනතරම් චණ්ඩි පාට් දැම්මත් මට උඹ ලොකු නැහැ කියල ස්වභාව ධර්මයත් මිනිස්සුන්ට හිටපු ගමන් කියල දෙනව උඹල මට මොක්කුද කියල.*/

    මොන තරං ඇත්තක්ද. අයියා ඉඳලා හිටලා ලියන මේ වගේ ලිපි හරි වටිනවා. අර සමනළ ආචරණ ගැන ලියපු එක, කාර්ල් සේගන් ගැන ලියපු එක එහෙම මට තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / අයියා ඉඳලා හිටලා ලියන මේ වගේ ලිපි හරි වටිනවා. /

      ඉහත ටීකාවෙන් ඔබ අදහස් කරනුයේ මා හිතවත් මානවිකාවනි, මවිසින් වටිනා ලිපි ලියනුයේ ඉඳහිට බවද? කිසිදු අත්තුක්කංසනයකින් තොරව ලබ්භ ශෛලමය විදාරණානුකූල වන් ඔබගේ නිර්භය අදහස් දැක්වීමට මාගේ නොවක් තුතිය...:) :)

      Delete
  3. ඇත්තම තමයි කතාව. මිනිස්සුනම් හරියටම අර නාහෙට නාහන ළමයා වගේ. හිතාගෙන ඉන්නේ මහා ලොකු කෙරුම් කාරයෝ කියලා...හරිම ලස්සන උදාහරනෙකින් ඒක කියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඇත්ත සයුරි...ස්වභාව ධර්මය ඉදිරියේ අපි මොන තරම් අසරණද කියල හරියටම අවබෝධ වෙන්නෙ, ගිණිකඳු පිපිරීමක්, සුනාමියක්, කුණාටුවක්, ටෝනේඩෝවක් නැත්නම් භූමි කම්පාවක් අත්විඳපු දාට විතරයි...

      May be it has something to do with making the humans realize our extremely vulnerable position in the grand design of nature. I think the nature simply doesn’t care whether we survive or not. Its entirely up to us, humans.

      Delete
  4. වටින තොරතුරු ටික.. ඔය ගැන කනින් කොනින් ඇහිල තිබුනට පිළිවෙලකට විස්තරයක් කියෙව්වෙ අද...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්...:)

      Delete
  5. සොබා දහමේ දඬුවම්....

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      ඔව්..අකීකරු දරුවන්ට ඉඳ හිටල පොඩි තරවටුවක් කරන්ටත් එපාය...:)

      Delete
  6. මට ඔය ‍ෆිල්ම් එක මතක නෑ බං. මට ඔය නම කිව්වාම මතක් වුනේ Alistair MacLeanගේ South By The Java Head පොත.

    උඹ වැදගත් විදියට ලියලා තියෙන ලිපියට දාන්න වැදගත් කමෙන්ට් එකක් කල්පනා වුනගමන් ආයෙම එනවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / උඹ වැදගත් විදියට ලියලා තියෙන ලිපියට දාන්න…… /

      අන්න බලාපං ඉතිං…Et tu Henry?...Et tu?

      අරෙහෙ සිත්තමී නොකියා කියනව මම වටිනා ලිපි ලියන්නෙ ඉඳල හිටලයි කියල..උඹත් මෙතන ඒකම කියනව. එකම වෙනස වටිනා කියන වචනෙ වෙනුවට උඹ කියන්නෙ වැදගත් කියල....

      Delete
  7. දැන් උඹ ඔය ඔක්කොම විස්තර ටික අර පොඩි එකාට කියලා දුන්නයැ.?? මං අහන්නෙ අර ඉස්කෝලෙන් පැනලා ෆිල්ම් බලන්ට ගිය එවුවත් එක්කම.?? :)

    මට මතක් වුනේ ඒ කාලෙ සුජීවයි මායි නෙළුම් විලේ ටෝබා පිපිරීම ගැන කරපු විවාදෙ.. :D


    පලි: ඒ ලෙවල් කාලෙ අපේ එකෙක් දවසක්දා පන්තියට එනවා කට කණේ තියාගෙන..

    ඌ: "ඒයි! රියෝ එකට අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා බං. මං මේ දැන් පුස්තකාලෙ Daily News පත්තරෙන් කියෙවුවෙ..
    අපි: න්නෑ.... යමං යමං එහෙනං. මොකක්ද මචං ෆිල්ම් එකේ නම?
    ඌ: Slave Island

    මේ යකා Rio - Slave Island කියන එක වැරදියට කියවලා..

    ReplyDelete
    Replies
    1. බූරාට මතකද ඉස්සර ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පොත් මාලාවක් තිබුනා Direct Method English Course කියලා. අපි සාමාන්‍ය පෙළ පන්තියේදී ඔය පොත තිබුනා. අපේ එකෙක් හිටියා (නම ඕනේ නෑ) ඌට ඉංග්‍රීසි අරහං. මොකද ඉංග්‍රීසි සර් හරිම සැරයි. අර පොතේ Direct Method English Course කියන වචන හතර එක යට එක හිටින්ඩ තමා පිට කවරයේ මුද්‍රණය කර තිබුනේ. ඒ වගේම D M E C යන අකුරු හතර වෙනම පාටකින් රවුම් ඇතුලේ තිබුනේ. අපේ යාලුවා පොත ගත්ත අලුතම පොතේ නම කිව්වේ මෙහෙමයි. 'ඉරෙක්ට් එතඩ් නගිලිස් අවුස්' රවුම් ඇතුලේ තිබුන අකුරු අතහැරලා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. බූරාස්....

      / දැන් උඹ ඔය ඔක්කොම විස්තර ටික අර පොඩි එකාට කියලා දුන්නයැ.?? මං අහන්නෙ අර ඉස්කෝලෙන් පැනලා ෆිල්ම් බලන්ට ගිය එවුවත් එක්කම.?? :) /

      හප්පෝ මතක් කරන්ට එපා...පොඩි එවුන්ට ඔය විස්තර කියන එක විහිං ටිංකිරි ගාගන්න වැඩ...අනික දැං කාලෙ බං කොල්ලො එහෙම පැනල පිචර් බලන්ට යන්නෙත් නෑ..දැං උංගෙ සයන්ස්කෘතිය අපේ කාලෙට හාත්පසිම්ම වෙනස්...

      අපෙ නඟාගෙ පොඩි එකාට මම දවසක් හීංවට දෙකක් නවාගත්තු වෙලාවක ඔය ඉස්කෝලෙ තාප්පෙං පැනල පිචර් බලන්ට යන සීන් එක කියල උඹ දන්නෙ නෑ මම වැටිච්චි අමාරුවක මහත...කිව්වට විස්වාස කරපං බං.. මම වැඩිහිටියෙක්ය කියල මගෙ වචනෙ පිළිගන්න එක නෙව උගෙ යුතුකම. අපි පොඩි කාලෙ එහෙම නෙව. මේ පෝරිසාදය මම කියන එක පිළිගත්තෙම නෑනෙ.අන්තිමට මම තව ඩිංගෙන්නං ඒ යස්සයට පෙන්නන්ට අපේ මහ ගෙදර තාප්පෙං පනින්ට ගිහිල්ල කොන්ද කඩා ගන්නව...

      කොම්පඤ්ඤ විදියෙ ඉඳල අර භීෂණය කාලෙ රෑ කොටුවට මිනියක් ඇදගෙන ගිය කොස්තාපල්ගෙ කතාව අහල තියනව නේද?

      " ඒයි යමල්ල බෝ ඩෙරෙක් ඉන්න අලුත් ෆිල්ම් එකක් දාල එම්පයර් එකේ.."

      " මොකක්ද බං නම?..."

      " ටාසන් ද අපේ මෑන්.... "

      Delete
    3. / මට මතක් වුනේ ඒ කාලෙ සුජීවයි මායි නෙළුම් විලේ ටෝබා පිපිරීම ගැන කරපු විවාදෙ.. :D /

      මට ඒ වාදෙ නම් මතක නෑ බං ඒත් ටෝබා මහා පිපුරුම ගැන මම කියවල තියනව.අවුරුදු 70,000 කට ඉස්සෙල්ල මිනිස් පරිණාමයෙ Evolutionary Bottleneck එකක් උනාය කියනව ඒ පිපුරුමෙන් පස්සෙ. තව තියරි එකක් මම මේ ළඟදි දැක්ක අද මිනිස්සුන්ගෙ මේ තියන දරුණු ගතිගුණ වලට හේතුව ටෝබා පිපුරුම නිසා මනුෂ්‍ය ජාන කිටුවට (Gene Pool ) වෙච්ච හානිය කියල.

      Delete
    4. අර මොන්ගෝලියන් විවාදෙන් පස්සෙ සුජීවයි මායි කරපු දිගම විවාදෙ ටෝබා එක ගැන තමා.. මම ඔය Bottleneck කතාවට විරුද්ධවත් සුජීව ඒකට පක්ෂවත් තමා විවාදෙ ගියේ.. ඕන්න මං පහළින් දැම්මා ලින්ක් එකක්.. :)

      අඩිස් අබාබා ගිය අපේ බබාලා


      ඔය ගැන මෑතකදී BBC එකේ ගියා article එකක්.. මං එදා කියාපු දේට පක්ෂව තමා මේ article එකෙත් ප්‍රශ්න කරන්නෙ..

      The idea that humans nearly became extinct 75,000 ago because of a supervolcano eruption is not supported by new data from Africa, scientists say.

      Toba super-volcano catastrophe idea dismissed

      Delete
    5. ස්තූතියි බූරා...

      ටෝබා වාදය මට මඟ ඇරිලා...BBC ලින්ක් එකටත් ස්තූතියි..බොහොම වැදගත් ලිපි කීපයක් තියනව ඒකෙ…

      ඔය මති මතාන්තර කියන එව්වනම් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ..එහෙම තමයි වෙන්නත් ඕන..අළුත් සාධක ලැබෙනකොට තවත් දියුණු පර්යේෂණ විධි අළුතෙන් හොයා ගන්නකොට කලින් කාලයක් තිස්සෙ පිලිගත්තු මත සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්ටත් පුළුවනි.

      හෙට අනිද්ද Out of Africa තියරි එක Out of Andaman Islands තියරි කියල වෙනස් උනත් මම නම් පුදුම වෙන්නෙ නෑ..හෙහ්, හෙහ්,

      Delete
    6. [[The idea that humans nearly became extinct 75,000 ago because of a supervolcano eruption is not supported by new data from Africa, scientists say.]]

      පස්සේ දවසක මාත් මේ වගේ සීන් එකක් දැක්කා. මම උඹත් එක්ක තිබ්බ කොක්කට ලිව්වට මමත් 100% ෂුවර් උන්නේ නැහැ. මේ සිද්ධි ගැන කන පැලෙන්න කතා උනා බුකියේ සාමාන්‍ය දැනීම ගෘප් එකේ. බුරා එලිපිට බුකියේ නැහැනේ.

      කෙසේ වෙතත් තවමත් නොට් අවුට් ඔෆ් ඇෆරිකා තියරි එතරම් ප්‍රබල නැහැ. නියන්දතාල් ලා ගේ ඉතිහාසය බලපන්. උන් වඳ වන්නේ වසර 70000 කට පමණ පෙර අප්‍රිකාවෙන් ආපු ෆ්ලාන්ක් එකකින්.

      එහෙත් බොටල්නෙක් ඒක ටෝබා නිසා සිද්ද වුනා කියන එකනම් එතරම් ප්‍රබල විදිහට පිළිගැනෙන්නේ නැහැ. ඒ වෙනුවට වසර විසිදාහක් විතර දිගට ඇදුනු මානව ගහනයේ අඩු වීමක් ගැන කතා වෙනවා.

      මාව මෙතනට ඇදලා දාපු චමිලාට ස්තුතියි.

      [අයි හේට් බ්ලොගින් මචන්. දැන් ආයි ආයි මේක ලෝඩ් කර කර බලන්න ඕනේ කොමෙන්ට්ස්. මල ඇනයක් ඒක]

      Delete
  8. Replies
    1. ස්තූතියි පෙදරේරුවා...:)

      Delete
  9. බලන්න ඕනෙමයි කියලා හිතුණ මේ කියන ෆිල්ම් එක. ස්තූතියි විස්තරයට. අපි පොඩි කාලෙ සිංහල පොතක තිබ්බා යමහල් කියලා පාඩමක්. ඒකෙ මේ පිපිරුම ගැන තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. අපිනම් ඩ්‍රැකී සමාජ අධ්‍යයනයට යමහල් ගැන සෑහෙන විස්තරයක් ඉගෙන ගත්ත. යමහල් ක්‍රියාකාරිත්වය අනුව, විදාරණය වෙන අන්දම අනුව ඒ වගේම හැඩය අනුවත් වර්ගීකරණය කරන්ට පුලුවනි මට මතක විදිහට...

      විසූවියස් , එට්නා, ෆූජි, කිලිමන්ජාරෝ ලෝකෙ ප්‍රසිද්ධ යමහල්....

      Delete
    2. රවි සෑර්

      ඔය ගෙවල්වල ඉන්න ස්ත්‍රියාවො ඒ කිව්වේ වයිෆ්ස්ල කාරියත් ඇවිදින හදිසියේ විදාරනය වෙන යමහල් ගනයට දාන්ට පුලුවනි නේ? :)
      හොහ් හොහ් :)
      පිචැර් පිස්සා- පී .පී

      Delete
    3. පිචැර් පිස්සා...

      හපොයි මතක් කරන්ට එවුන්දැ ගැන මම නොකිව්වෙ ඔය යමහල් වර්ගීකරණය කරන මොනම මාදිලියකටවත් ඒ මහගෙ ඇතුලත් කොරන්ට බැරි හින්දයි...හෙහ්, හෙහ්,

      දැං ඔය මහා පරිමාණෙං පුපුරන ඕනම යමහලක් පිපිරිල්ලට ඉස්සරවෙලා පොඩි පොඩි සගිඥා නිකුත් කරනව නෙව..ඔන්න දුං ටිකක් දානව. පොඩි ගිගුරුමක් දෙකක් ඇහෙනව තුං හතර පාරක්...පොළව හෙල්ලෙනව ..අන්න ඒ වගෙ එව්ව.මේක එහෙමද?...මේ ඉන්නව බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ. මෙන්න එක පාරට ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම්..තව හොඳයි..පුපුරා හැලෙනව ලාවා මැග්මා ඔක්කොම නිකුත් කරල...මම නේද? හොල්මන් ද පොල්කොල....ෆුල් අන්දොස් විත් අ ලිට්ල් ඩෝස් ඔෆ් තක්බීර් ඇඩඩ්.

      ලෝක යමහල් ආයතනයට මම යෝජනා කරල යවන්ටයි හිතාගෙන ඉන්නෙ අලුත්ම වර්ගයක යමහලක් වර්ගීකරණයට ඇතුල් කරන්නෙයි කියල.

      " ජංගම අක්‍රියසේ දිසි එහෙත් ක්ෂණික විදාරණිත විභවයැති යමහල් " ( Mobile Apparently Dormant potentially Instantly Eruptible Volcanoes )

      අක්‍රියසේ දිසි එහෙත් ක්ෂණික සක්‍රිය විභවයැති යමහලක් සමඟ අටළොස් වසරක්.....Thats how I am going to name my memoirs of life….:)

      Delete
  10. පොල් ගාල මිරිකල ඒ කිරි විශාල තාච්චියක එලියෙ හදපු මඩුවක ලිපක උණු කරල නේද තෙල් ගන්නෙ?
    දැන් කොල්ලෝ/කෙල්ලෝ දන්නෙ නැති නිසා ඒ ටික දැම්ම නම් වටිනව.

    ReplyDelete
    Replies
    1. ලියන්නං ලියන්නං කෙන්ජි ඒ ගැන වෙනම ලියන්න ඕන...:)

      Delete
  11. හොඳ සටහනක් රවී...,
    මගේ කෙල්ලත් මෙහෙ තියෙන Sri Lankan School එකේ 3 වෙනි පංතියේ තමයි ඉගෙන ගන්නේ.
    මමත් එයාට මේ ලඟදි ඔය ගිනි කඳු ගැන හොයලා දුන්නා තමයි.. හැබැයි මේ ෆිල්ම් එක ගැන මෙතනින් තමයි දැනගත්තේ. දැන් ඒක කෙල්ලත් එක්කම බලන්න ඕන..
    ම්ම්ම්... අපිත් පොඩි කාලේ තෙල් කහ කාලා තියෙනවා තමයි... දැන් කොහෙද ඒවා නේද..?
    මේ වගේ තමන් දන්නා දේවල් ගැන අපිවත් දැනුවත් කරන එක හොඳ දෙයක්.. බොහොම ස්තූතියි රවී.. :)
    ප.ලි. ..:
    රවී... අර කිරුළ සහ සෙනෙහස 6 එකේ අන්තිම මම කමෙන්ට් 1ක් දාලා තියෙනවා.. ඉඩ තිබුනොත් බලන්න..

    ReplyDelete
    Replies
    1. සඳා,

      ස්තූතියි ඔබට.....කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙනව...අතීත ස්මරණයන් අතරේ ඉඳහිටල වත් සැරිසරන එක අමුතුම සතුටක්...

      කිරුළ සහ සෙනෙහස කමෙන්ට් එකට මම උත්තරයක් දාල ඇති :)

      Delete
  12. රවී,,
    කිරුළ සහ සෙනෙහස 6 එකේ දාලා තිබුණ කමෙන්ට් 1 කියෙවුවා..
    අවුරුදු ගණනාවක් තිස්සේ අභිධර්මය සහ පාළි භාෂාව උගන්වපු ගුරුවරියක් හැටියට මම දන්න ටිකක් එතන ලිවුවේ.. (pls don't misunderstand ..not a boasting at all)
    සේරම එතන ලියන්න ගියොත් ඒක පාඩමක් වෙනවනේ..
    anyway.. thankx for ur reply.. :-)

    ReplyDelete
    Replies
    1. අපොයි..එහෙනම් ඔබගේ දැනුමට අලගු තැබීමටවත් මදි නෙව මම දන්න හරිය...ස්තූතියි ආයෙමත් සඳා කරුණු පැහැදිලි කිරීමට :)

      Delete
  13. ඊයේ මන් බ්ලොග් කියෝලා නැහැ ..මේගොල්ලෝ ගොඩාක් දේවල් කතා කරලා ..

    පොල්තෙල් සහ ගිනි කඳු සමග තාප්පෙන් පැනපු කොල්ලෝ ..

    පොල්තෙල් ඇල්ෂයිමර් ලෙඩ්ඩුන්ට හොඳයි කියලා සිංගප්පුරු යාලුවෙක් කිවා ..ඒ වගේම බර අඩු කරගන්නත් පොල්තෙල් හොඳලු .

    මන් හිතන්නේ ඉස්සර මිනිස්සු පිරිසිඳු පොල්තෙල් කාලා හොඳට ඇඟත් වෙහෙසෙව්වා ..ඉතින් කොහොමත් හාට් එක අවුල් වෙන්න විදිහක් නැහැ . ඊට පස්සේ කඩෙන් ගත්තේ හොඳ පොල්තෙල්ද ..නැහැ එක එක පාම් තෙල් හෙම කලවම් කරපුවා .

    අනික ඇඟ වෙහෙසිමත් අඩුයි..පයින් ගමන් හෙම අඩු වුනා . ඉතින් පොල්තෙල් නෙමේ මොන තෙල වුනත් අද වෙද්දී උවමනාවට වඩා කන එක හොඳ නැහැ .

    ගිනි කඳු ගැන විස්තරේ අගෙයි ...සොබාදහම දඬුවම් දීම ගැන නම් කියා තියෙන දේ සහතික ඇත්ත ..[ඔව් ඔව් අනික් එව්වත් සහතික ඇත්ත තමයි ]

    ඔය පිපිරුමෙන් සුනාමියක් අහි වුනේ නැත්ද ..ගොඩබිම වූ නිසාද ..

    ඉන්දුනීසියා පැත්තේ යන්නයි හිතා ඉන්නේ ..

    බුරෝ...හ්ම් එහෙමත් ලස්සන කාලයක් තිබ්බ නේ ..දැන් සුජීව මුණු පොතටම ඇබ්බැහි වෙලා . අපරාදේ දැනුම ..මුණු පොතේ බෙදන දේවල් හරිම තාවකාලිකයි ..නමුත් බ්ලොග් එකක දේවල් කවද හරි මෙන්න ලින්ක් එක කියලා දෙන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / ඔය පිපිරුමෙන් සුනාමියක් අහි වුනේ නැත්ද ..ගොඩබිම වූ නිසාද .. /

      ඉස්සෙල්ලම ඇතිඋනේ සුනාමියක්.මේ ටික දැක්කෙ නැත?...හෙහ්, හෙහ්,

      / ඒ හා සමඟම ඇතිවූ සුනාමිය සහ රක්ත තප්ත ගල් සහ උණුසුම් අළු පතනය සහ විෂ වායූන්ට ගොදුරු වීම නිසා ගම් සහ නගර 165 විනාශ වූ අතර යටත් පිරිසෙයින් මිනිසුන් 36,417 දෙනෙකු මිය ගිය බවටද වාර්තා වෙනවා. /

      ඒත් මේ සුනාමියෙ වෙනසක් තියනව.සාමාන්‍යයෙන් සුනාමියක් ඇතිවෙන්නෙ භූමි කම්පාවක් නිසා භූකාරක තල (Tectonic Plates ) වල සිදුවන උස් පහත් වීමක් නිසානෙ. මෙතන සුනාමිය ඇතිඋනේ ගිණිකඳු පිපිරීම නිසා ක්ෂණිකව අති මහත් ලාවා, ගල් සහ පස් පරිමාවක් මුහුදට කඩා වැටීම නිසයි.

      දෙවන වීඩියෝවෙ 0:31:00 - 0 :38:00 අතර ඒ සුනාමි දර්ශනය දැකගන්න පුළුවනි.

      Delete
    2. සුනාමිය ඇතිවන්නේ යමහළේ කල්දේරම මුහුදට කඩා වැටුණු නිසයි [දූපත මුහුදේ ගිලි ගියා කියන්නේ ඕකට]. මිනොවානු ශිෂ්ටාචාරයේ තේරා දූපතේ වෙන්නෙත් ඕක තමා. මේ සුනාමි ළඟ හරියේ ඉතා උසට වදිනවා වුනත් [තේරා අඩි 50 විතර කියා හිතනවා] දුරට යන්නේ නැහැ. ක්රකටෝවා සුනාමිය අඩි කීපයක් ලෙස ලංකාවට වාර්තා වෙලා තිබ්බා නේද? හානිකර එකක් හෙම නොවේ.

      Delete
    3. [[අපරාදේ දැනුම ..මුණු පොතේ බෙදන දේවල් හරිම තාවකාලිකයි ..නමුත් බ්ලොග් එකක දේවල් කවද හරි මෙන්න ලින්ක් එක කියලා දෙන්න පුළුවන් .]]

      ඇබ්බැහි වීමක් නොවේ. මට වෙලාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. බ්ලොගින් වල මට අවශ්‍ය ටික විතරක් බේරලා ෆිල්ටර් කර ගන්න බැහැ. බොහෝ විට එක්කෝ මම අදාළ බ්ලොග් එකට මේල් ලින්ක් එකක් දාගන්න ඕනේ නැතිනම් නිතර ඇවිදින බලන්න ඕනේ. බ්ලගර්ස්ලා ලියන්නෙත් විවිධ කරුණු. කොමෙන්ටර්ස් ලා ලියන්නෙත් එහෙමයි. ඒවා ඔක්කොම කියවන්න වෙනවා ෆිල්ටර් කරන්න. ඇනෝ මගුල නිසා 50% විතර කොමෙන්ට් කාල නාස්තියක්. තව 25% විතර "ලයික්, පට්ට, මාර ආතල්," වගේ කීපින් අප් වර්ගයේ ඒවා. මේවා ඔක්කොම ෆිල්ටර් කරගන්න බැහැ.

      මම ලියු දේට වෙන අය දෙන උත්තර පමණක් බුකියේ ෆිල්ටර් වෙනවා ඒකත් මට මුල හරිය කියවා තෝරාගන්න පුළුවන් විදිහට නොටිෆයි කරනවා. බුකියේ සමාන ප්රියමනාපකම් ඇති අය එකතු කරගන්න පුළුවන් ගෘප්ස් තියෙනවා.

      බ්ලොග් වල තැන තැන වෙන සංවාද වලට වඩා බුකියේ සාමාන්‍ය දැනීම ගෘප් එක වගේ එකක වැඩි දැනුමක් හුවමාරු වෙනවා. බ්ලොග් වල ඉතින් මායි බුරයි දිගට දිගට ලියනවා විනා මහා ගොඩක් අය එකතු වෙන්නේ නැහැ. බුකියේ එහෙම නොවේ.

      ලියු දේ මැකී යාම තමා කනගාටුදායක තත්වය. මගේම කියා ලියු වැදගත් දේ මම බ්ලොග් කරනවා. සාමාන්‍ය දැනුම ඉතින් මගේ නොවේනේ. විකියේ එහෙමත් තියෙනවානේ.

      මේක තාක්ෂණික ගැටලුවක් විනා බ්ලොග් කරුවන් ගැන අකමැත්තක් නොවේ.

      Delete
  14. රජ කතාව නෙමේය අන්න වෙනින් එකක් ලියලය කියල දැනුම් දුන්න ..මහා වංශයට බියෙන් හැර ගිය කියවන්නන් හට

    ReplyDelete
    Replies
    1. කොහෙද බොලේ එහෙම දැනුම් දුන්නෙ???

      Delete
    2. එහෙම දැනුම් දුන්නේ අපේ එක්කෙනාට ..'' අපෝ මට ඔය රජ කතා අල්ලන්නේ නැහැ '' කියලයි එයා කියන්නේ ..

      Delete
    3. හරි හරි..එතුමාට මඳක් ඉවසා වදාරන්ටෙයි කියනු මැන.....රජ කතාව තව කොටස් දෙකකින් ඉවරයි....:) :)

      Delete
  15. ආපු එකේ කට පියාන ඉන්න බැරි නිසා මේකත් ලියලා යනවා. අමනාප වෙන්න එපා. [පස්සේ හොයා ගත්තේ මේ අපේ රවී නේ කියලා. අමනාප නොවන බව දන්නේමිය]

    මානව ඉතිහාසයේ දන්නා ලොකුම පිපිරීම ඉන්දුනිසියාවේම ටම්බෝරා [1815] විනා ක්‍රකටෝවා නොවේ. මේ ගිනි කන්ද නිසා මුළු පොළොවේම උෂ්ණත්වය අඩු වුනා. යුරෝපයට 1816 දී සමර් ඒක නැතිව ගියා. කවියෝ කවි ලියලා තියෙනවා මේ "නොදන්නා" කාලගුණ වෙනස ගැන.

    කෙසේ වෙතත් මේ ඔක්කොම සාමාන්‍ය ගිනිකඳු පිපිරීම්. සුපර් වොල්කනෝ කීපයක් පුපුරලා තියෙනවා මානවයා ඉඳිද්දී. බුරා ඉහත මතුකළ ටෝබා පිපිරීම පහුගිය වසර මිලියන ගානකට වෙච්ච ලොකුම ඒක වසර 77000 විතර පෙර. වසර 26000 කට පෙර නවසීලන්තයේ සුපර් වොල්කනෝ පිපිරීමක් වෙලා තියෙනවා.

    මීට අමතරව 1780 විතර කාලේ අයිස්ලන්තයේ වෙච්ච ගිනිකඳු පිපිරීමක් නිසා යුරෝපයට භෞතිකව මෙන්ම චින්තන මට්ටමේ පවා වෙනස්කම් ඇතිවුනා. ඒ නිසා සැහෙන්න පිරිසක් මියගිය අතර ආගම හැර යාමට නව චින්තනයට [මොඩනිසම්] පමණක් නොවේ ප්‍රංශ විප්ලවයටත් බලපෑවා කියනවා ඒ නිසා හටගත් සාගතය. ඒ තමා මානව වර්ගයාට ලොකුම බලපෑමක් කල ගිනිකඳු පිපිරීම. ටොබා ගැන මගෙයි බුරාගෙයි නොනිමි සටන පසෙක තැබුවොත්.

    තවත් විශාල පිපිරීමක් මිනෝවානු හෙවත් සන්ටෝරිනි පිපිරීම. මේකත් ක්රකටෝවා වගේම එකක්. මිනෝවානු ශිෂ්ටාචාරයේ කොටසක් [තේරා වරුන්] සපුරා විනෂ වූ අතර ඉතිරි ටිකත් මේකෙන් පස්සේ ක්‍රමයෙන් නැතිව ගියා. සමහරු කියන්නේ අට්ලන්ටිස් කතාව ලිව්වේ ක්රීටය ආශ්‍රිත මුහුදේ වූ මිනෝවානු පිපිරීම ගැන කියලා. අද මිනෝවානු යමහළේ මුහුදට ගිලා බැස්ස ක්රේටර් එකේ ඇතුළු මුහුණතේ ලෝකේ ලස්සනම සංචාරක කලාපයක් වන සන්ටෝරිනිය හදා ගෙන තියෙන්නේ. [පින්තුර බලන්න] Santorini සර්ච් කරලා.

    අවසාන වශයෙන් මෑත වාර්තාගත ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම එක තමා 1982 ඇමරිකාවේ ශාන්ත හෙලන් ගිනි කඳු පිපිරුම.

    ඇති නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජීව,

      කිසිම ප්‍රශ්නයක් නෑ..ඔබට අවශ්‍ය දෙයක් මෙතන කියන්න..ඒ හැම දෙයක්ම වැදගත් කරුණු බවට සැකයක් නෑනෙ...ආයෙම ස්තූතියි...:)

      Delete
  16. හ්ම්ම්ම් ගොඩක් දේවල් උකහා ගත්තා.. කරුමෙ කියන්නෙ මට ඕවා මතක තියෙන්නෑනෙ.. කවුරු හරි ආයෙ ඇහුවොත් කියලා දෙන්න..

    බූරගෙයි, සුජීවගෙයි සංවාදයක් නැවත දකින්නත් ආසයි..ඒ දවස්වල නෙළුම් විලේ ගිය මුන් දෙන්නගෙ සංවාද ඔක්කොම වරද්දන්නැතුව කියෙව්වා..

    ස්වභාවධර්‍මයා ඉදිරියේ ඔක්කොම චන්ඩි නිකන් හිකනල්ලු ගානයි..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      මතක නොහිටින ලෙඩේට තියනව පොඩි කෙමක් වගෙ එකක්...හෙහ්, හෙහ්,

      ආනමාළුවක් ලෙල්ල ඇරල දෙකට පළල තලගොයි දිවක් ඒක ඇතුලට දාල කාහං, අද්දුටුවයි, සත්තයි, ප්‍රත්තියාක්සයි, බඩු වැඩ නොකලොත් ඒ විදිහටම තව දිවක් කාපං, නොවරදින ප්‍රතිපල සඳහා මේ කිරියා මාර්ගය නොකඩවා අනුගමනය කරන්න..

      උඹේ බාප්පෙක් හරි මහප්පෙක් හරි වෙන්න ඕන මලේ මේ....

      " ඔව්, අපේ අසන්නන්ගේ දැනගැනීම උදෙසා මේ මහත්මයාගෙ මේ රසවත් ජීවිතයෙන් අමතක නොවෙන අත්දැකීම් එහෙම කීපයක් කියන්න බලන්න.."

      " ම්ම්ම්..අමතක නොවන අත්දැකීම් නම් ඇත්තම කිව්වොත් තියනව අනන්ත..ඒත් කරුමෙ කියන්නෙ ඒ එකක්වත් මට මතක හිටින්නෙ නැහැ නෙව…"

      Delete
    2. හැක් හැක්.. අනිවා ඔය පොර මගේ කවුරුහරි තමා....කවුරුහරි මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවොත් ඔය පිළිතුර තමා මටත් දෙන්න තියෙන්නෙ...

      මම හිතන්නෙ බූරා ඔය තලගොයි දිවේ ප්‍රතිකර්‍මය කොරලා තියනවා.. මූට පොඩි කාලෙ කියවපු පොත් වල අහවල් පිටුවෙ, අහවල් තැන මෙහෙම තිබුනා කියලත් කිව්වෑකිනෙ..

      Delete
  17. මේ ගැන විස්තර මොකුත් දැනං හිටියෙ නැති නිසා තව කාලෙකට හොයන්න හිතෙන මාතෘකාවක් දුන්නට තැන්කූ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...