Thursday, August 7, 2014

274. විමලෙගෙ වාංපතුල් කතා 18 - අප්පමාදෝ අමරපදං, වට පෝරියල් සහ සුවඳ සබං ඇඟ ගාලා හායි, හායි,

" තව පැයකටත් වැඩිය වෙලාව තියනවනෙ. මෙච්චර කලින් ගිහිල්ල ඔතන අර යක්කු අඳිනව බලන් ඉන්ටය. වරෙල්ල වරෙල්ල ගාණට දෙකක් නවාගෙන යමු. " 

අජිත් එහෙම කියල " ඔන්න ඔය රෙස්ටොරන්ට් එකේ මිදුලට අල්ලල නතර කරපං සුමනෙ.." කියල අපෙ රියදුරාට කිව්ව. අපි කට්ටියත් ඉතිං හෙමිහිට බැහැල කාරිය හිට ගිහිල්ල ඉඳගත්ත.ඒ කාලෙ ඔය රෙස්ටෝරන්ට් එකේ තිබ්බෙ දාසයෙ කම්බි නවල ඒකට රවුං ලෑලි කෑල්ලක් ගහල හදපු මේසයි ඒ ක්‍රමේටම හදපු පුටුයි. දෙක තුන වෙලා තුන හතර වෙනකොට ඇඟේ ලේ නෑ. කවුරුහරි ඩෝප් සීන් එකේ අර මේසෙට බැරිවෙලාවත් බර උනොත් එහෙම ආය නෑ මේසෙ උඩ තියන තියන සබ්බ සකල මනාවම සල බලාං ගාල බිම. 

අපි එක්ක ඉන්න නොබොන එකෙක් එහෙම වෙලාවට අපි ඒ වැඩේට පංගාර්තු කරනව. මේසෙට අනතුරක් නොවී රැකබලාගන්න රාජකාරිය. එදා රවුම් මේසෙ වටේ හිටපු ඔක්කොමල වගෙ පොඩිවට හරි ගන්නව. ඒ නිසා ඒ වැඩේ බාර දුන්න සුමනසිරිට. සුමනසිරි කිව්වෙ අපේ රථාචාර්‍ය තුමා. 

" සුමනෙ උඹ දෙකක් දාගනිං ඕනම නං අඩේ ඊට වැඩිය බොන්ට එහෙම එපා. උඹට ආඅහු ගිහාම අරං දෙන්නං බාගයක් තනියම ගහන්ට " අජිතය එහෙම උපදෙස් දුන්න. 

" ඔව් බං මේ රෑ නෑවොත් මට අනිවාර්යයෙන් හෙම්බිරිස්සාව හැදෙනව ඒකෙ ආය දෙකක් නෑ. " මම එහෙම කිව්වෙ අපි ආපහු යන්නෙ මහ ඇළ ඉවුර දිගට තියන පාරෙ නිසා.මහ ඇළ කිව්වෙ ZD සමාගමෙන් හදපු වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය. ZD කිව්වෙ අමරිකන් ඉදිකිරීම් සමාගමක්. 

මේස වටේ වාඩි වෙලා බෝතල් දෙහෙකින් පටන් ගත්තු වැඩේ දන්නවනෙ ආය නැඟලම ගියා. 

අන්තිමට කොහොම හරි ඔන්න අප්පමාදෝ අමර පදං වෙලා තමයි එතනිං නැඟිට්ටෙ. ඒත් අපේ රියදුරු සුමනසිරිගෙ වදෙං බේරෙන්ට බැරුව. මිනිහට බොහොම තදින් උවමනාව තිබ්බ රාජකපුරු බලන්ට. 

" යං යං මහත්තය දැං බලන්ට හයයි හතළිහයි. නාට්ටිය දැන් බාගයක් විතර ඉවර වෙලත් ඇති. අඩු ගානෙ අර සිංදුවවත් බලන්ට යමු. " සුමනසිරි කෙඳිරි ගානව. 

" හරි හරි බං යමු උඹ ඔය සිංදුවට ඔයහැටි ආස නං ඉඳහංකො මම කියන්නං " අජිතය එහෙම කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන. ඒ උගෙ හැටියක් ...ටිකක් සළකල වැදුනම ඇස් දෙක ලොකු කරගෙන ඉන්නෙ...හෙහ්,හෙහ්, 

ඔහොම ඉන්නව නාගසලං උනහම එක එක විච්චූරණ කරන උදවිය.ඔන්න අපෙ එකෙක් හිටිය ඌට දෙක වැදුනද කඩ්ඩෙං තමයි කතාව. කැකුළෙං ඉන්දැද්දි මැරූ කොට ඉංග්‍රීසි වචනයක් කටෙං එලියට දාන්නෙ නැති එකා යන්තමට දෙකක් බඩට ගියාද අම්මට සිරි බලන්ට එපාය වැඩේ සුද්දෙක්ව ගිලල වගේනෙ කඩ්ඩ වනන්නෙ. 

තව එවුන් ඉන්නව දෙවෙනි ෂොට් එක කෙලින්ම වදින්නෙ මොළේ අර මතකය ගබඩා කරල තියන තැනක් තියෙන්නෙ අන්න එතනට. ඔය තැන තියනවයි කියන්නෙ මොලේ අග්න්‍යාශයයි හයිපොතැලමසයි අතර. චුට්ටක් ගිණිකොණ පැත්තට වෙන්ට .මේ අඟල් තුනයි තුන්කාලක් වගෙ. ඉතිං ඔතනට අරක්කු ටික ගිහාම උන්ට ඔන්න එක පාරටම අතීතානුස්මරණය වෙනව. 

" ඒයි උඹ මතකද අර එදා පොසොන් දවසෙ පරාක්‍රමේ බන්ට් එකේ බිව්ව දවසෙ අම්ම මතක් කරල මට බැන්න?." ඔන්න කීර්තිය කමිසෙ අත් දෙකත් උඩට නවන ගමං උදිතගෙන් අහනව. 

" පිස්සුද බං? විකාර කතා නොකර ඔන්න ඔහොම ඉඳහං ඉන්න විදිහට...." උදිත නෝමල් පොර හින්ද හොඳයි. කිර්තිය වගේම මොළේ කොලොප්පං එකෙක් නං එතන මිනියක් දෙකක් මැරිලයි වැඩේ කෙලවරක් වෙන්නෙ. 

" අඩේ ඔන්න මට දැනුයි මතක් උනේ...උඹ දැන් මාස තුනකට වගෙ ඉස්සෙල්ල මගෙන් රුපියල් පන්සීයක ලෝන් එකක් දැම්ම නේද කාටද අසනීපයි කියල. " 

චන්දරේගෙ මතක ශක්තිය අවදි වෙලා ඕවර් ඩ්‍රයිව් ගිහිල්ල.... ඌ එහෙම කියන්නෙ ඇල්බට්ට. ඇල්බත් එක්ක කොහෙද ඒ සෙල්ලං… 

" අනේ පළයන්ට මගෙ එහෙම කවුරුවත් අසනීප උනේ නෑ මතක ඇති කාලෙකට." ඇල්බ දොර ගාවට ගිහිල්ල තුන් පාරක් මිදුලට කෙළ ගහල එනව." ෂික් අම්මප මුන් එක්ක කොහෙද? නිකං වස් වදින කතා අපිටම කියවෙනව මේකල එක්ක ආස්සරේ කරනකොට. " ඇල්බ කියන්නෙ කේන්තියෙන් පුපුර පුපුර. 

ඔහොම ඉන්නව නා නා පොරවල්.... 

කොහොම හරි ඔන්න කට්ටියම එළියට බැස්ස විසිවෙවී වගෙ.හප්පච්චියෙ ඔය වගෙ නකතං වෙන්ට වැදුනම මොනව කරනවද මොනව කියනවද කියල අපිටම තේරුමක් නෑ. පහුවදාට මතකත් නෑ. ටිකක් කෙලිං කටිං සිහියක් පතක් ඇතුව හිටපු යාලුවො පහුවදා කියනකොට තමයි ඔන්න මයිල් කෙලිං වෙලා පොලව පලාගෙන යන්ට හිතෙන්නෙ. 

" ඒයි වීරෙ..උඹ මාර වැඩේනෙ බං ඊයෙ අර කට්ටිය ඔක්කොම මැද්දෑවෙ කලේ.." 

" නෑ..මොකද බං?.....මම මොකද කලේ?...." මගෙ ඇඟත් එක්ක හීතල වෙලා යනව. දෙයියෝ සාක්කි සිහියක් පතක් නැතිවෙලාවෙ මොනව කලාද කියල කවුද දන්නෙ? 

රාජකපුරු පෙන්නන හෝල් එක ගාවටත් ගියයි කියමුකො අතුරු ආන්තරාවක් කිසිදෙයක් නොවී. මෙන්න අපි යනකොටත් සෙනඟ බාගෙට බාගයක් එළියෙ.ඒ කියන්නෙ අපි පරක්කු උනාට නාට්ටිය තවම පටන්ගෙන නෑ. එළියෙත් මාර ආතල්. ඉන්න එවුන්ගෙනුත් බාගෙට බාගයක් හොඳ ගානට බීල. එහෙට වැනෙනෙව මෙහෙට වැනෙනව. අහල ගං හතටම ඇහෙන්ට කෑගහනව. එක විකාරයයි. කොහොම හරි මේ ආතල් එක දැක්කම අපේ හිතටත් ටිකක් තන්තෝසයි. මොකෝ අපි බයේ හිටියෙ බීල ගිය එක අහුවෙලා අපෙ කීර්තිනාමයට කැලලක් වෙයි කියල. විශේෂයෙන්ම අපිටත් වඩා අපේ ආයතනයට. පහුවදා කතන්දරේ පැතිරෙන්නෙ ඉතිං මෙහෙමනෙ. අන්න අර ****** වැඩ කරන එවුං කට්ටියක් හොඳටම බීල ඇවිල්ල අරම කලා, මෙහෙම කලා,අන්න එහෙමනෙ. අන්තිම නෝන්ඩියනෙ. ඒත් මෙතන තියන විදිහට වාතාවරණයෙ හැටියට එහෙම අබග්ගයක් වෙන්ට බෑ කොහෙත්ම, ඔක්කොමල වගෙ සකෘදාගාමී ඵලයටවත් පත්වෙලයි ඉන්නෙ අවම වශයෙන්...හෙහ්,හෙහ්, 

" ටිකට් නැතුව කොහොමද බං ඇතුලට යන්නෙ? " 

ටිකක් සිහිය තිබ්බ එකෙක් ඇහුව. 

" උඹ බය නැතුව ඉඳහං...අපි ජයන්තයට පණිවිඩයක් අරිමු. ඕකා ඇති හෝල් එක ඇතුලෙ කොහෙ හරි. " අජිත් කිව්ව. 

" මූ ඇවිල්ල නැද්ද දන්නෙත් නෑ…" මම ජීප් එකේ බොනට් එකට හේත්තු වෙලා කිව්ව.කෙලින් ඉන්ට බැරි හින්දමත්ම නෙවෙයි. එහෙම ඉන්නකොට තියනව පොඩි ගතියක්..කෙල්ලො එහෙම බල බල යනව....හෙහ්,හෙහ්, 

" පිස්සුද බං? ඌ නෑවිත් කොහොමද? ඒකානෙ මෙතන ප්‍රදාන සංවිදායක. " 

දොර ගාව ටිකට් චෙක් කරමින් හිටිය උස මහත තරුණයෙක්ගෙන් අපි ඇහුව ජයන්තය ගැන. අපි දිහා නළල රැලි කරල තරමක නොපහන් බැල්මක් හෙලපු ඒකා " ආ ජයන්ත අයියද? ඇතුලෙ ඇති…. අරෙහෙට වෙල ඉන්න මම පණිවිඩයක් යවන්නං " කියල කිව්වෙ මූණත්තහඩුව දෙහි ලෙල්ල වගෙ හදාගෙන. 

අජිතය ඌ දිහා රවාගෙනම හිටි පියවර ඉන්නව දැකල සමරෙයි, විජෙයි අජිතයව ඇදගෙන ගියා කොරිඩෝවෙන් එලියට. 

" දැක්කද අර ***** පුතා කියාපු කතාව. එළියට වෙල ඉන්ට කියන්ට ඌ කොහෙං ආපු හයියක් හිතට අරගෙනද? අම්මාපල්ල.මට ඕකගෙ...." 

හෝල් එකට යන්ට කලිම්ම අම්බානක පෝරියල් එකක් කන්ට වෙයි වගෙ මිදුලෙදිම ...මම හෙමිහිට මටම තොල් මතුර ගත්ත. 

ඔය පෝරියල් කතාවෙ මූලාරම්බය කොහොමද කියල දන්නවය? මම හිතන්නෙ මෙහෙම වෙන්න ඕන. අපි ඔය කියන්නෙ පරිප්පු කනව කියල. ඒ කතාව හැදුනයි කියල මම අහල තියෙන්නෙ හිරගෙදර සම්බන්දව. කාලෙකට ඉස්සර හිරගෙදර තුන් වේලටම දීල තියෙන්නෙ පරිප්පු. උදේට පරිප්පු එක්ක පාන්, දවල්ට සහ රෑට පරිප්පු එක්ක බත්. ඉතින් පරිප්පු කන්ට වෙයිද දන්නෙනෑ. නැත්තං අප්පටසිරි හොඳ පරිප්පුවක් කෑවා කියන කතාව ඇවිල්ල තියෙන්නෙ එහෙමයි කියලයි කියන්නෙ. මටත් හරියටම ඉස්තිර නෑ. වෙන විදිහකට ඒ කතාව හැදුනයි කියල අහල එහෙම තියන කෙනෙක් ඉන්නව නං කියන්ට. 

එතකොට පෝරියල් එකත් එහෙනම් ඒ විදිහටම හැදුන එකක් වෙන්න ඕන. පෝරියල් කියන්නෙ දකුණු ඉන්දියාවෙ එහෙම බත් කන්ට හදන වෑංජනයක්. බටු, බණ්ඩක්ක වගෙ එළවලු තෙලට දාලයි කියනව පෝරියල් හදන්නෙ. සමහරවිට එහෙ හිරගෙවල් වල ඕක එක්ක බත් දෙනව ඇති තුන්වේලම. " දෙන්න හිතනව මූණු නාලු වෙලා යන්ට. " එතන නම් මූනු කියන්නෙ දෙමලෙන් තුන..නාලු කියන්නෙ හතර. තුන හතර වෙලා යන්ට කියන එකයි වචනාර්ථය. 

මොත්තෙ දානව ඒකත් ඔය හිරේට සම්බන්ද වචනයක් කියල මට කවුදෝ කිව්ව. මොත්තෙ කියන්නෙ දෙමළෙන් ඔක්කොම කියන එකලු.හිරේ ඇතුලෙ ඔය මත්ද්‍රව්‍ය එහෙම බෙදා හරින්නෙ නියපොත්තට අරගෙන වගෙ සුලු ප්‍රමාණයක්. තව ඉල්ලුවම මොත්තෙ මොත්තෙ කියල ඩ්‍රග්ස් බෙදාහරින්නා සත්තම දානවලු. ඒ කියන්නෙ ඔය දුන්නෙ ඔක්කොම තමයි කියල.ඒ වගෙ බොරුවක් කරන එකාට මොත්තෙ දානවයි කියල කියන්ට ගත්තෙ ඔය නිසයි කියලයි මම අහල තියෙන්නෙ. 

සත්තම අන්න තව වචනයක්..දෙමලෙන් සත්තමකියන්නෙ සද්දෙ ..සත්තමක් දානව කියන්නෙ පොඩි සද්දයක් දාල බයකරගන්නව කියන එක. 

" මොනවද බං උඹල මේ කරන්නෙ? මේ අනේ..කියන තැනකට වඳින්නං පිස්සු නම් කෙලින්න එපා…" ජයන්තය ආවෙ ඈත ඉඳලම අඬාගෙන… 

" කවුද ඩෝ පිස්සු කෙලියෙ? අපි මේ බොහොම ඩීසන්ට් පිට ඇවිල්ල අර ගස් ගෝනගෙන් උඹ ගැන ඇහුව. ඌ අපිට කිව්වෙ නැද්ද එළියට වෙලා ඉන්ට කියල. " අජිත් තාප්පෙ අයිනෙ තිබ්බ අරලිය ගහේ අත්තක් අල්ලගෙන හොල්ල හොල්ල ටිකක් සද්දෙට කෑගැහුව. සුදු අරලිය මල් වරුසාවක් වගෙ අපි අවට වැටෙන්ට ගත්ත. 

" හරි හරි දැන් කෑගහන්ට එපා. " ජයන්තය බය වෙච්චි පාර ඇස් දෙකත් ලොකු කරගෙන වට පිට බැලුව. 

" මචං උඹ ගාව ටිකට් තියනවද? " මම උගෙ උරස්සෙන් අල්ලල ඇහුව. 

" ආ..මචං වීරෙ..ටිකට් මම උඹලට වෙනම තියගෙන හිටිය. ඒක හොඳට ගියා. ටිකට් ඉවර උනේ දැන් පැය බාගෙකට වගෙ ඉස්සෙල්ල. තව පනහක් හැටක් ඉන්නව නාට්‍යය බලන්ට ඕන කියල වලි දානව. අනේ මන්ද මොකද කරන්නෙ කියල. " ජයන්ත උඩ සාක්කුවෙන් ගත්ත ටිකට් වගයක් මට දික් කලා. 

" පව්නෙ බං..ආය සීට් ගානට ටිකට් විකිණිලානං අවුලක් නෑනෙ. ඉතුරු එවුං නිකං ඇතුලට දාපං…" අජිත් එහෙම කිව්වෙ ජයන්තයගෙ කර වටේ අතක් දාගන්න ගමං.. 

" පිස්සුද බං? ඇතුලෙ ආය ඉඩ නෑ. එහෙම එලියෙ ඉන්න එවුං ඔක්කොම ඇතුලට දැම්මොත් එවුන්ට නාට්‍යය බලන්ට වෙන්නෙ පුටුවල ඉඳං ඉන්න එවුන්ගෙ කරවල් උඩ නැඟල තමයි. " 

" එහෙම කැමති වෙන එකක් නෑ බං සල්ලිත් දීල ටිකට් ගත්තු මිනිස්සු..හෙහ්,හෙහ්,. උඹට ඕනනං අපි ඉඳගෙන ඉන්න මිනිස්සුංගෙං අහල බලන්නං තව කට්ටියක් ඉන්නව එළියෙ ඇතුලට එන්ට ඉඩ නැතුව. සුළු වෙලාවකට එයාල ඔයාලගෙ කර උඩ හිටියට කමක් නැද්ද කියල " මම ෆුල් සිරාපිට කිව්ව. 

මම එහෙම කිව්වම ජයන්තයගෙ කටත් ඇරුන බාගෙට. 

" සුළු වෙලාවකට කිව්වෙ? " අජිත් ඇහැව්ව. 

" දිගටම කරේ තියාගෙන ඉන්ටත් බෑනෙ බං..මාරුවෙන් මාරුවට දෙන්නට මාරු වෙන්ට කියමු. අපි ඕනනං මෙහෙමත් කරමු." 

" ඒ කොහොමද? " 

" නාට්ටියෙ කෑල්ලක් වගෙ කියන්ට කියමු ..අර කවුද බං සුවඳ සබං සින්දුව කියන්නෙ? " 

" රවීන්ද්‍ර යසස්නෙ..ඉතිං ? …" ජයන්තය ඇහුව නළලත් රැලි කරගෙන. 

" රයිට් මිනිහට අපි කියමු නාට්ටියෙ කෑල්ලක් වගෙ මෙහෙම කියන්ට කියල රායිට් එහෙනං දැං ඔය කරවල් උඩ නැඟල නාට්ටිය බලන අය කරවල් වලින් බැහැල තමන් කර උඩ තියාගෙන නාට්ටිය බලන්ට අවස්තාව ලබාදුන්නු ඒ සත් පුරුෂයා හෝ කාන්තාව කළගුණ සැලකීමක් විදිහට තමන්ගෙ කරට ගන්ට. " 

" නෑහ්??? කාන්තාවන්ගෙ කරෙත් පුරුෂයො නැඟල ඉන්නවද? " අජිත්ගෙ මූණෙං එකයි හිනාව. 

" එහනං ආය මේ කලබල අස්සෙ ගෑණු පිරිමි හොයන්නෙ කොහොමද? අහුවෙච්චි එකාගෙ හරි එකීගෙ හරි කරේ නඟින්ටයි තියෙන්නෙ." 

අපි ඉතිං හෙමීටත් නෙවෙයිනෙ ඔතන ඔය සාකච්ඡාව කරගෙන ගියේ. ඒ වෙනකොට අහල පහල හිටපු හත් අට දෙනෙක් අපි වටේට එකතුවෙලා බොහොම උනන්දුවෙන් කතාවට ඇහුංකං දෙනව.ඒක දැකල ජයන්තයගෙ ඔලුව තවත් නරක් වෙන්ට ඇති. 

" මේ විකාර කියවන එක නවත්තල අරෙහෙ ඇතුලට ගිහිල්ල ඉඳ ගනිල්ල..හා යමල්ල ඉතිං…" අජිතයගෙයි මගෙයි අත්දෙක අල්ලගෙන අපිව ඇදගෙන වගෙ ගියා හෝල් එක පැත්තට. අනික එවුනුත් ඒ පස්සෙම්ම ආව. 

" මචං නියම වැඩේ ඒක. අපිටත් බැරිවෙයිද දන්නෙ නෑ ඔය බබලතෙක්ගෙ කරේ නඟින්ට." 

" මේ උඹල මෙතන මගෙ කාඩ් කුඩු කරන්නෙ නැතුව කටවල් වහගනිල්ල. අපෙ ස්ටාෆ් එක ඔක්කොම දන්නව උඹල මගෙ යාලුවො කියල. බඩ පුරා බීල මදිවට තව විකාර කියනවන." ජයන්තය දත්මිටි කෑව.. 

" ආ ජයන්ත අයියෙ..මොකද නාට්‍යය තව පරක්කු? " කොරිඩෝ එකේ අපිව පහුකරගෙන යන්ට ආපු එළ ද බ්‍රා නංගිල හතර පස් දෙනෙක් ජයන්තයගෙන ඇහුව. 

" ආ..මේ මේ..තවම කට්ටිය අඳිනව..වැඩි වෙලාවක් යන එකක් නෑ..සුනේත්‍රා නංගි..තව විනාඩි පහලවක් යයි වැඩිම.." ජයන්ත හිනාවෙලා කිව්ව. 

කෙල්ලො අපි දිහා අමුතු විදිහට බලල යන්ට ගියා.ටික දුරක් ගිහිල්ල පස්ස හැරිල බලන්නවත් මම දැක්ක මාත් නැවතිල එවුං යන දිහාවෙ හැරිල බලාහිටපු හින්ද.. 

" යකෝ ඔහොම කන්ට වගෙ බලා ඉන්ට එපා බං " ජයන්තය ආයම මගෙ අතිං ඇදගෙන වගෙ ගියා කොරිඩෝව දිගේ ඉස්සරහට. 

හෝල් එකේ පිටිපස්සම දොරෙන් අපිව ඇතුලට දැම්ම ජයන්තය. " අඩේ මේ ඔන්න මෙතන ඉඳගෙන ඉඳහල්ල." අන්තිම පුටු පේළි දෙක තුන විතරයි හිස් තිබුනෙ. හෝල් එකෙන් එකයි කට කපල සෙනඟ. මිනිස්සුන්ගෙ කෑගැහිල්ලෙ සද්දෙට කතාකරන දෙයක් වත් ඇහෙන්නෙ නෑ. කණටම කරල බෙරිහන් දෙන්න ඕන. 

" අඩේ බං අපි දෙන්න එන්නං උඹත් එක්ක.අරුං දෙන්න හම්බ වෙලා කතාකරන්ට ඕන. " 

" කවුද බං මොන දෙන්නද? " ජයන්ත මගෙ කණට කරල බෙරිහං දුන්න. 

" කවුද බං අර නළුව? ආ ජනක් ප්‍රේමලාල්…. අනික් එක්කෙනා සුවඳ සබං..රවීන්ද්‍ර යසස්…" මමත් ජයන්තයගෙ කණට කරල බෙරිනං දීල කිව්ව. මම කෑගැහව්ව සද්දෙ වැඩිද කොහෙද..ජයන්තය කණත් අල්ලගෙන පස්සට වීසිඋනා. 

" ඔච්චර හයියෙං කෑ ගහන්ට ඕන නෑ යකෝ...මගෙ කණත් හෝ හෝ ගානව.." ජයන්තය මූණත් ඇඹුල් කරගෙන කෑගැහැව්ව. 

ඔච්චර හයියෙං කෑගහන්ට ඕන නෑ කිව්වම ඒ වගේ තව කතාවක් මතක් උනා. දතක් ගලවගන්ට ගියා ඔන්න එක මනුස්සයෙක්. " ආ කට අරිනව බලන්ට.. " දත් දොස්තර කිව්ව. මිනිහ බයටම කට ඇරිය අප්පල්ලයක් වාගෙ. " ඔච්චර කට අරින්ට ඕන නෑ අයිසෙ, මම දත ගලවන්නෙ එළියෙ ඉඳං..." දත් දොස්තර ඒ පාර කිව්ව. 

" හරි හරි ආය බෙරිහං දෙන්නෙ නෑ... ඉතිං යමංකො එහෙනං ..මේ ඔටෝග්‍රාෆ් එක සයින් කරගන්ටත් ඕන. " 

ඊට මාස තුනහතරකට කලින් අපිට අලුතෙන් ක්ලාර්ක් කෙනෙක් ආව ජයනි කියල. හුරුබුහුටි කෙල්ල. අපි රාජ කපුරු බලන්ට යනව කිව්වම මට ගෙනත් දුන්න එයාගෙ ඔටෝග්‍රාෆ් එක. " අනේ අයියෙ මේකෙ එයාලගෙ අත්සන් ගහගෙන එන්ඩකො තරහ නැතුව " 

" හරි හරි නෝ ප්‍රොබ්ලම් .." මම ඔටෝග්‍රාෆ් එක සාක්කුවෙ දාගන්න ගමන් කිව්ව. යකෝ ඒක තියනවද දන්නෙත් නෑ. කලිසමේ සාක්කුව අතගාල බැලුව. හෙහ්, හෙහ්, අවුලක් නෑ..තියනව තියනව. 

"මේ උඹලගෙ කරදරේ හින්දම මම එක්ක යන්නං..හැබැයි අනේ බං එතන ගිහිල්ල පිස්සු එහෙම කෙලින්න එපා..හොඳද? " 

" හරි, හරි බං එහෙමත් කරනවද ආය..උඹ හිතන්නෙ අපිට ඩෝප් කියලද? " අජිත් ඇහුව. 

" නෑ නෑ මොන ඩෝප්ද? මම දන්නෙ නැද්ද? හරි හරි යමල්ල එහෙනං " ජයන්තය ඉස්සර උනා… 

ස්ටේජ් එකෙන් පිටිපස්සෙ තාවකාලික තහඩු ගහල හදල තිබ්බ පොඩි කාමරයක් වගෙ එකක්. ඒකෙ තමයි නළු නිළියො ලක ලෑස්ති උනේ. මොකද ඔය හෝල් එක ඉස්කෝලෙට හදපු හෝල් එකක්නෙ. රූ ගැන්වීම්, වේශ නිරූපණ වගෙ එව්වට වෙනම තැනක් තිබ්බෙ නෑ. ජනක් ප්‍රේමලාල්ට අපි යනකොට මේක් අප් දානව. අපි ගිහිල්ල කටත් ඇරගෙන බලා ඉන්නකොට මනුස්සයට අප්සෙට් වාගෙ. මොනව කියන්ටද කියල හිතාගන්ට බැරුව තුස්නිම්බූත වෙලා වගෙ අජිතයගෙයි මගෙයි මූනු දිහා මාරුවෙන් මාරුවට බලන්ට ගත්ත. මේ පහුගිය දවස්වල අයි.ටී.එන්. එකේ රණා බලනකොට මට ජනක් ප්‍රේමලාල්ව දැකල මැරෙන්ඩ හිනහයි ඒ සීන් එක මතක් වෙලා. 

" කවුද ජයන්ත මල්ලි..ඔයාගෙ යාලුවොද? " ජනක් හිනාවෙලා ඇහුව ජයන්තය දිහාට හැරිල. ජයන්තය ප්‍රදාන සංවිදායකයානෙ. මුගෙ නම ගම එහෙම දන්නව ජනක්. 

" ඔව් අයියෙ මගෙ යාලුවො දෙන්නෙක්. මේ වීරෙ මේ අජිත් " ජයන්ත අපිව අඳුන්වල දුන්න. ඒ එක්ක කට ඇතුලෙං මොනව්ද හෙමිහිට සුටුපුටු ගෑව. ෂුවර් එකටම කියන්ට ඇත්තෙ " යාලුවො තමයි..මගෙ පූරුවෙ කරුම දෝසෙකට හම්බ වෙච්ච යාලුවො.. " වගෙ මොකක් හරි වෙන්න ඕන. 

අපි ටිකක් වෙලා ජනක් එක්ක කතාකරකර හිටිය. හොරණ ගැන මම් ටිකක් විස්තර දන්නව. ජනක් ඇවිල්ල හොරණ. ඒ අතරෙ ජයන්තයට පණිවිඩයක් ආව.. 

" අන්න බං ප්‍රින්සිපල් උඹව හොයනව…" 

" හරි මම එන්නං..ඒයි උඹලත් එහෙනම් විජහට වරෙල්ල. මේ ගොල්ලන්ට බාදාවක්නෙ අපි මෙතන කතාකර කර ඉන්න එක. " 

එහෙම කියල ජයන්තය ගියා. යන ගමනුත් පස්ස හැරිල දෙතුන් වතාවක්ම බැලුව. මම හිතන්නෙ ඌට ෂුවර් නෑ අපි දෙන්න ඌ නැති අතර මොන විකාරයක් කරයිද කියල. මටනම් දැන් හොඳ ගණං.කතා කරන එව්ව ඇහෙනව නෑහෙනව වගෙ. වාක්‍ය එහෙම කෑලි ඇහෙන්නෙ. අද තැපෑලෙං වදින සයිස් එකක් තියෙන්නෙ..සමහරදාට එහෙම වෙනව. 

" යමං මචං " 

මම අජිතයට කිව්ව, අපි දෙන්න ජනක්ට සැලියුට් එහෙකුත් ගහගෙන එතනින් මාරු උනා. ආපහු එද්දි කොරිඩෝව දිගේ ඇවිල්ල පිටිපස්ස දොරෙන් ඇතුල් වෙන්න තිබ්බ එක අපිට පාර වැරදිල ස්ටේජ් එකට යැවුනෙ. 

" හුටා..අපි මේ ඉස්ටේජ් එකට නේද ආවෙ…" අජිත් ඔලුවෙ අත ගහගත්ත. හද්ද කලුවරයි. ඉස්සරහ තියනව මෙරූන් පාට වගෙ තිරේ. ඒක එහා පැත්තෙං ඇහෙනව මිනිස්සුංගෙ ගෝසාව. 

" මොකද බං කරන්නෙ ? ආපහු ගිහිල්ල වටෙං යමු නේද? " අජිත් ඇහුව. 

" පිස්සුද බං? ආය ඔය වට වංගියෙ යන්නෙ මොන කෙහෙම්මලකටද? මෙන්න මේ තිරේ ඈත් කරල යමං…" 

එහෙම කියල මම තිරේ පොඩ්ඩක් දෙපැත්තට කරල ඔලුව දාල බැලුව. අප්පට සිරි ගජ..සෙනඟ කට කපල. ඊස් මීස් නෑ. අපි අර හෝල් එක ඇතුලෙන් සෙනඟ දැක්කට මෙහෙම ස්ටේජ් එක උඩ ඉඳල බැලුවම තමයි හරියටම පේන්නෙ සෙනඟ කන්දරාව. අර කතාවට කියන්නෙ වැලි අහුරක් උඩ දැම්මොත් කියල...අන්න ඒ වගේ. 

මම ඉතිං ඔහොම තිරේ අස්සෙං ඔලු ගෙඩිය විතරක් දාල බලා ඉන්නව සෙනඟ දිහාවෙ. එක පාරටම මෙන්න මිනිස්සුන්ගෙ සද්දෙ ටික ටික අඩුවෙලා ගිහිල්ල නැතිවෙලා ගියා. බලනකොට මෙන්න හෝල් එකේ ඉන්න ඔක්කොම මා දිහා බලා ඉන්නව. අර පුදුම සතා බලනව වගෙ. ඉස්සරහම හිටපු පොඩි කෙල්ලො වගයක් හිකි හිකි ගාන්ට ගත්ත. ඒ අස්සෙ මම දැක්ක ජයන්තය හෝල් එකේ පිටිපස්සෙ ඉඳල හරි මැදින් තියෙන ප්‍රවේශ මාර්ගය දිගේ ( ප්‍රවේශ මාර්ගය කියන්නෙ ඔය හෝල් වල එහෙම සීට් පේලි මැදින් එහෙ මෙහෙ යන්ට තියන අවකාශයට, ඉංග්‍රීසියෙන් කියන්නෙ Aisle ) දනි පනි ගාගෙන එනව ඉස්සරහට දකුණු අතත් දික්කරගෙන මොනවදෝ කිය කිය. 

" ඒයි මචං සිංදුවක් කියමුද? " අජිතය මගෙ පිටිපස්සෙං ඇවිල්ල මගෙ කරට අතදාල හිටගත්තෙ තිරේ දෙපැත්තට ඇදල දාල එහෙම. 

" අඩේ ගුඩ් අයිඩියා. මොකක්ද කියන්නෙ? " මම උගෙ කරට වාරුවෙලා කණට කරල ඇහුව. 

" සුවඳ සබං එකම කියමු. දැන් මෙතනට අදාල වෙන්නෙ ඒකනෙ " 

ඒ වෙනකොට ජයන්තය ස්ටේජ් එක ගාවටම ඇවිල්ල. ඔලුව උස්සල අපි දිහා බාලගෙන දත්මිටි කනව මට ස්ටේජ් එක උඩට ඇහෙනව. 

" යකෝ ඔතනිං බැහැපල්ල දෙන්නත් එක්කම මෙතන විකාර කරන්නෙ නැතුව. දැං නාට්ටියත් පටන් ගන්නයි යන්නෙ " ඌ දත්මිටි කාගෙනම කිව්ව. 

" හරි බං හරි හරි නාට්ටිය පටං ගන්නවනං අවුලක් නෑ. හරි මචං අපි බහිමු. " 

අජිතයට එහෙම කියල අපි දෙන්න එහෙම්මම පැන්න ස්ටේජ් එකෙං බිමට. ජයන්තය මගෙ අත මිරිකල අල්ල ගත්තු පාර රතුවෙලා තිබ්බ පහුවදා හවස් වෙනකල්. 

" දැංවත් යමං ගිහිල්ල ඉඳගෙන සද්ද නැතුව ඉඳහල්ල... මගෙ රස්සාවටත් එක්ක කෙලවන්නෙ නැතුව." 

ජයන්ත අපි දෙන්නව ඇදගෙන ආව හෝල් එකේ පිටිපස්සට. සෙනඟ පස්ස හැරි හැරි බලනව අපි දිහාවෙ.ඒ අස්සෙ අර මම කලින් කිව්ව ඉටි කිරිස් කෙල්ලො කට්ටියත් ඉන්නව ඔන්න ඉඳගෙන. මම උංට ගැහුව සැලියුට් එකක්. උං අහක බාලගෙන අතිං කටවල් වහගෙන හිනා වෙන්ට ගත්ත. 

එතනින් පස්සෙ නම් ඒ හැටි කියන්ට තරං දෙයක් උනේ නෑ. ටිකකිං නාට්ටිය පටං ගත්ත. ආ..මම අර කිව්වෙ ඉඩ නැතුව එලියෙ හිටිය කියල සෑහෙන සෙනඟක්. නාට්ටිය පටන් ගත්තට පස්සෙ සංවිධායක මණ්ඩලේ තීරණයක් අරගෙන දොරවල් ඇරල එයාලට හෝල් එකේ පිටිපස්සට ඇතුල් වෙන්ට දුන්න. නියම කොල්ලො ටිකක් උං ..මම කිව්වෙ අර බමරු වගෙ හිටියයි කියල අන්න උං..අපි කට්ටියම එකතු වෙලා අන්තිම පේලි පහක වගෙ පුටු දැම්ම එළියට. ඊට පස්සෙ ආය නෑ නටන්ට ගත්ත එකසිය ගාණට. සුවඳ සබන් සිංදුව කියන්ට උනා රවීන්ද්‍ර යසස්ට මයෙ හිතේ තුං පාරක්ද කොහෙද... 


83 comments:

  1. හිකිස්.. උදේ පාන්දරම හොඳට හිනා වුනා.. නියමයි රවි.. :)

    ReplyDelete
    Replies
    1. බිළාල මැතිණිය,

      උදේම හිනාවුනනම් බොලේ දවසම එළ...හෙහ්,හෙහ්, ස්තූතියි හොඳේ....

      Delete
  2. >>රවුං කෑලි කෑල්ලක් ගහල හදපු මේසයි<<

    මේ මොකක්ද මචං? උඹ කතාවල්වලට පණ පිහි‍ටුවලා කියන නිසයි, අපි හැම වචනෙකම එල්ලිලා කට ඇරගෙන අහගෙන ඉන්න නිසයි, මේක රස වින්දනයට පොඩි බාදාවක් වෙච්ච නිසයි ඇහුවේ. Flow එකට.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      සමාධිය භජනය කරන සේක්වා...එතන හරි වචනෙ ලෑලි කෑල්ලක් වෙන්න ඕන.K සහ L එක ලඟ තියන නිසා පොඩි පටලැවිල්ලක් උනා.

      වරද නිවරද කලෙමි...ස්තූතියි මචං...:)

      ලෑලි කිව්වම මතක් උනේ..පොඩි කාලෙ ලෑලි වලේ ලූලා කියල තනි අකුරෙන් ලියනව මතකද?

      Delete
    2. ඒක තනි අකුරෙන් ලියනකොට "ව"යන්න කොහොමද දැම්මෙ?

      Delete
    3. 'ල' යන්න පටන් අරගෙන මැදක් දුර යද්දී 'ව' යන්නක් හැදෙනවා නේද? මේ ෆොන්ට් එකෙන් හිතුවට හරි යන්නේ නෑ. පොඩ්ඩක් කපටි විදියල ලියන්න වෙනවා ඒක.

      Delete
    4. ප්‍රා,

      සයුරි කිව්ව හරි...." ල " යන්න ලියන කොට එන උඩම තැන නැවැත්තුවම ඒක " ව " යන්න කියල හිතන්න වෙනව.නැතුව " ව " යන්නෙ මුලම තියෙන වක්‍රාකාර කෑල්ල ගැන සිරාවට හිතුවොත් නං පුතා වැඩේ හරියන්නෙ නෑ...:)

      Delete
  3. මේකට තමයි කියන්නේ, ප්‍රේක්ෂකයා, නාට්‍යයේ පාත්‍ර වර්ගයා සමග ඒකාත්මික වෙනවා කියලා.

    වැදගත්ම ප්‍රශ්නේ මේකයි. පොරොන්දුවේ හැටියට අර රියැදුරාට බාගයක් අරං දුන්නද?

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      / මේකට තමයි කියන්නේ, ප්‍රේක්ෂකයා, නාට්‍යයේ පාත්‍ර වර්ගයා සමග ඒකාත්මික වෙනවා කියලා. /

      ප්‍රේක්ෂකයා තවත් ප්‍රේක්ෂකයෙකුගෙ කර උඩ නැඟල නාට්‍යයක් නරඹනවට මොකක්ද කියන්නෙ විචා?

      / වැදගත්ම ප්‍රශ්නේ මේකයි. පොරොන්දුවේ හැටියට අර රියැදුරාට බාගයක් අරං දුන්නද? /

      අපොයි අරං දුන්න අරං දුන්න...ජයන්තයත් අපිත් එක්ක ගියානෙ එදා රෑ අපේ කෑම්ප් එකට. යනකල් අජිතයහෙයි මගෙයි කං පුරවල බණිනව. ඕක බුදියන්නෙත් අපේ කාමරේමයි. අපි දන්නව අද බුදියන්න වෙන්නෙ නෑ. මේකා එලිවෙනකල් කියවනව කියල.

      " අද බුදියගන්ට වෙන්නෙ නෑ බං ..අරං ගහමු බාගයක් "

      එහෙම කියල අජිත් බාග දෙකක් අරං එකක් දුන්න සුමනෙට. අනික අපි දෙන්න ගැහුව. පහුවදා උදේ වෙච්ච වැඩේ කියන්නං ඊලඟට...හෙහ්,හෙහ්,

      Delete
  4. ස්තුතියි මචං. එච්චර යහපත් මූඩ් එකක නෙවෙයි හිටියෙත් මේක කියවන්න පටං ගන්න කොට. දැන් හරි. මෙහෙම ඒවනේ බං ලියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      මූඩ් ෆික්ස් උනානං බොහොත් කුෂ්...මචං..බොහොත් කුෂ්...

      Thanks so much :)

      Delete
  5. පට්ට ඈ...
    මට මැවිල පේනව ස්ටේජ් එකේ තිර රෙදි අස්සෙන් ඩෝප් කාරයො දෙන්නෙක් ඔළුව දාන් බලං ඉන්නව..
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      කියල වැඩක් නෑ බං..දෙක වැදුනම මට දානව දාඩිය පොල්ලක් ආය නෑ දෙකංසෙං බේරෙන්ට. කොණ්ඩෙත් අවුල් කරගෙන ඇස් දෙකත් රතු වෙලා දාඩිය නාල කොහොමද යක්කු දෙන්නෙක් වගෙ තිරේ මැදින් එක පාරට මරු මුස් ඩයල් දෙකක් මතුවෙනකොට. ඇති ප්‍රේක්ෂකයො හත් අට දෙනෙක් කලන්තෙ නොදැම්ම...හෙහ්,හෙහ්,

      Thanks Mahesh,

      Delete
  6. අපරාදේ ස්ටෙජ් එකට නැගපු වෙලාවේ රාජකපුරු සිංදුවත් කියලයි බහින්න තිබ්බේ.. හෙහ් හෙහ් ..සිරා හූ පාරක් එහෙම කාගෙන බහින්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / සිරා හූ පාරක් එහෙම කාගෙන බහින්න තිබුනා../

      හූ පාරක් නෙවෙයි බං..වැඩේ අල්ලල යන්නත් තිබ්බ. සම් ටයිම්ස් රවීන්ද්‍ර යසස් වෙනුවට ඒ පාට් එක මට හම්බ වෙන්ටත් තිබ්බ ..හූ නෝස්...:)

      Delete
  7. හුකෑස්..... හෙහ් හෙහ් හෙහ්.........

    නියමයි...

    ReplyDelete
  8. //දතක් ගලවගන්ට ගියා ඔන්න එක මනුස්සයෙක්. " ආ කට අරිනව බලන්ට.. " දත් දොස්තර කිව්ව. මිනිහ බයටම කට ඇරිය අප්පල්ලයක් වාගෙ. " ඔච්චර කට අරින්ට ඕන නෑ අයිසෙ, මම දත ගලවන්නෙ එළියෙ ඉඳං..." දත් දොස්තර ඒ පාර කිව්ව.
    //

    හිකිස්

    ReplyDelete
    Replies
    1. මටත් වැඩියෙන්ම හිනා ගියෙ දත් ගලවන කතාවට. සරල බසින් ලියැවුණු අතීතාවර්ජනයක්.

      Delete
    2. akkandi,

      ස්තූතියි අක්කණ්ඩි...:)

      Delete
  9. තව ටිකාක් ගට අරන්..සිංදුව කිව්වානම් ප්‍රේක්ෂකයන්ව රවට්ටන්නත් තිබුනා රාජකපුරු එක්ක රටවටේ යන්නත් තිබුනා....! හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. චෙෆ්,

      ඒකනෙ... එව්ව කියන්න බෑ....එව්ව කියන්න බෑ...:)

      Delete
  10. හිනාවෙලා ඉල රිදෙනව බං,ඔය ඔක්කොම ඇත්ත නේද අතින් දැම්මෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි, ඔය අතින් නොදැම්මා කියන කතාවත් හරි.. ඒකට තමයි වැඩිපුර ඉල රිදෙන්නේ... හි.. හි...

      අනේ අම්මප, මම නම් මගේ මළගෙදරටවත් මුන් ටිකට එන්න කියන්නේ අන්තිම දවසේ ( මගේ අන්තිම කැමති පත්‍රයේ ලියලමයි මැරෙන්නේ.. අනේ ඔව්). තව ඩින්ගෙන් රාජ කපුරු වෙනුවට වෙන නාඩගමක් බලන්න වෙන්නේ. මම නම් ඔය සංවිධායක, මුලින්ම කරන්නේ බාල්දියක් වගේ එකක් ඔලුවේ නමාගෙන ඉන්නවා වෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි වෙන්න. නැත්තම් අර කාලගුණ අනාවැකි කියන ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අය දකිනකොට මට හිනා යනවා වගේ , අනිත් මිනිස්සු මාව දැකපු ගමන් බකස් ගාල හිනා වෙයි ( මම හිතන්නේ එහෙම ප්‍රතිචාරත් තිබිල තියෙනවා මෙයාලට... හි.. හි...)

      Delete
    2. Helapa,

      / ඔය ඔක්කොම ඇත්ත නේද අතින් දැම්මෙ නෑනෙ. /

      අතින් දැම්මෙ නෙවෙයි බං මම වෙච්ච හරිය ඔක්කොම ලිව්වෙ නෑ උඹල විස්වාස කරන්නෙ නැතිවෙයි කියල...ඔන්න කොටිම්ම...නිකං හිතපං..මම අර ඉටි කිරිස් කෙල්ලගෙ ( සුනේත්‍රගෙ ) කරේ නැඟල නාට්ටිය බැලුවයි කියල ලිව්වනං උඹල විස්වාස කරයිද?

      Delete
    3. උපේක්ෂා,

      ඔන්න ඉතිං...ඔය කිව්වෙ කතාවක්....උඹලත් එක්ක ඕකනෙ බැරි ...:(

      Delete
  11. මැවිලා පේනවා තිරය මැදින් ලා හඳ පායලා තියනවා
    පින්! රවියෝ හිනැස්සුවට
    //මට ගෙනත් දුන්න එයාගෙ ඔටෝග්‍රාෆ් එක
    අම්මපා මේ වගේ කොන්තරාත්තු උඹලට බාරදෙන එවුන්ට අල්ලන් ගහන්න ඕනි
    අස්සන් ගන්න බැරිවුනොත් උඹලා අස්සන් කරලා පොත බාරදෙයි.
    අයිතිකාරී දන්නවය ජනක් ගේ අස්සන.

    ReplyDelete
    Replies
    1. නිකං,

      කිව්වත් වාගෙ අස්සං ගන්ට අමතක උනා නෙව..පස් සෙ අපි වෙන ක්‍රමේකිං වැඩේ ගොඩ දා ගත්ත..ස්තූතියි..නිකං...:)

      Delete
  12. හයියො බන් රවි අයියෙ මෙක හිනාව නවත්තගෙන කියවන්න ගිහින් මොකක් හරි අමුතු ලෙඩක් හැදෙනව.ඇත්තටම බොලා බිවුවම උන්හිටි තැන් අමතක වෙනවද.හැබැයි මිනිස්සුන්ට නියම නාට්ටිය බලාගන්න බැරිවුනා මගෙ හිතේ.
    Zඪ් ඇල කියලත් කියනව නේද

    ReplyDelete
    Replies
    1. දමිත්,

      / ඇත්තටම බොලා බිවුවම උන්හිටි තැන් අමතක වෙනවද /

      වැඩියම නෑ බං එගෙම දෙතුන් පාරයි වෙලා තියෙන්නෙ හෙහ්,හෙහ්,

      / Zඪ් ඇල කියලත් කියනව නේද /

      යස් ..එහෙමත් කියනව....

      Thanks Damith…:)

      Delete
  13. //ගස් ගෝනගෙන් උඹ ගැන ඇහුව//

    ඌට ඇහෙන්න නැතුව ඇති තමන්ට ගස් ගෝණ කිව්ව කියල. නැත්තන් වඳුර කිව්වට කනව් කට්ටිය අම්බානෙට.

    //ඔන්න අපෙ එකෙක් හිටිය ඌට දෙක වැදුනද කඩ්ඩෙං තමයි කතාව.// මේ වගේ එකෙක් උන්න මෙහෙත්. දවසක් ඌ අපේ ගෙදර ගහල වෙන එතන හිටපු වයසක ඩයල් එහෙකට කඩුවෙන් කොටන්න ගිහින් කෑව කෑමක් ලේ එන්න. අර අංකල් ටැක්නිකල් කොලෙජ් කාලෙ මරදානෙ සුද්දොන්ගෙන් ඉගෙන ගත්තු ඩයල් එකක්.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      ඔය වගෙ කට්ටිය කොහෙත් ඉන්නව...මේ මාසෙකටම වචන දහයක් කතා කරන්නෙ නැති එවුන් ඉන්නව..දෙකක් දාගත්තම වෙන එකෙකුට වචනයක් කතා කරන්ට දෙන්නෙ නෑ...

      Delete
  14. MARU APPA,HINNAWA NAWATHGANA BA, - N

    ReplyDelete
  15. උඹ අර තිරේ මැද්දෑවෙන් මූන විතරක් දාලා බලද්දි නිකං බිත්තියෙ ගහපු වෙස් මූනක් වගේ පේන්ටැති නේද බං ප්‍රේක්ෂක ජනතාවට.

    ඇත්තටම, ජනක් බොට කතා කලේ නැත "වරෙං යන්ට රාජකපුරු එක්ක රට වටේ" කියලා? මං පොඩි ට්‍රයි එකක් දැම්මා රවීන්ද්‍ර වෙනුවට උඹ ස්ටේජ් එ‍කේ 'සුවඳ සබන්' සිංදුව කිය කියා නටන හැටි හිතේ ඇඳගන්ට. නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. මට මූව හිතේ ඇඳගන්න බෑබේ බං බුරා. මොකද කවදාවත් දැකලා තියෙන එකක්යැ. මුගේ අර වෙඩිං ෆෝටො එකේ මූණට මූම කියන විදියට තට්ට ඔලුගෙඩියක් දාලා හිතෙන් මවාගන්න බැලුවා. හරියන්නේ නෑ බං.

      Delete
    2. වෙඩින් ෆොටෝ එක? කෝ එහෙම එකක් තියනවද? අයියෝ මටත් බලන්න ඕන.

      Delete
    3. බුරා,

      / උඹ අර තිරේ මැද්දෑවෙන් මූන විතරක් දාලා බලද්දි නිකං බිත්තියෙ ගහපු වෙස් මූනක් වගේ පේන්ටැති නේද බං ප්‍රේක්ෂක ජනතාවට. /

      හයියෝ ඒකනෙ බං..මම ඔය තිරේ මැදිං ඔලුව දාන වෙලාවෙ අපේ අනික් එවුං හෝල් එකේ ඉඳගෙන නෙව හිටියෙ. පහුවදා මම ඒ එකෙක්ගෙං ඇහුව ….

      " මම අර තිරේ මැදිං ඔලුව දාපු වෙලාවෙ උඹලට මොකද හිතුනෙ? "

      " අනේ බං අපි හිතුවෙ රජ කපුරු පරක්කු හින්ද එතකල් ජසයා සහ ලෙංචිනා නටන්ඩ යනවය ඒ ඔලුව දාල බැලුවෙ ජසයයි කියලයි "

      " තොගෙ අම්මට …"

      පලි- ජසයා සහ ලෙංචිනා ස්ටේජ් එකේ පෙන්නද්දි ඇත්තටම ජසය එහෙම කලින් ඇවිල්ල තිරේ අස්සෙං ඔලුව දාල සබාවට කෝලිත්තං කරනවලු...

      Delete
    4. Henry,

      / මට මූව හිතේ ඇඳගන්න බෑබේ බං බුරා. /

      ආය හිත් වල ඇඳ ඇඳ ඉන්නෙ අහවල් එකකටද දවසක නටලම පෙන්නංකො රාජකපුරු ...හෙහ්,හෙහ්,

      Delete
    5. Sayuri,

      / වෙඩින් ෆොටෝ එක? කෝ එහෙම එකක් තියනවද? අයියෝ මටත් බලන්න ඕන. /

      සොළොස් වසකට පෙර වෙසක් මසකදී,

      Delete
    6. @ හෙන්රි

      මම නං රවී කියල හිතේ මවාගන ඉන්නේ ඇත්ත වයස‍ට වඩා වයසක පෙනුමක් තියන . කන්නාඩි දාන , කෙට්ටු උස , කොන්ද වක් නොවුන , බෙල්ට් එකක් දාල අත් දිග ෂර්ට් එක යටකරපු ඩයල් එකක් ( ටිකක් විතර බේබදු පාට )

      ....තිලක සිතේ තිලක ලොක්කා වාගේ....

      Delete
    7. දැන්නෙව පින්තූරෙ දැක්කෙ. මට අල්ල ගියෙ අර නියම උඩරට ක්‍රොමේට උඩු රැවුල ගාල සයිඩ් බර්න්ස් වවල් යටින් මූට්ටු කොරල ඉන්න එකට. දැන් හිතගතෑකි වෙච්චි දේ. අර කෙල්ලො සෙට් එක භයටම තමා මේකව කරේ තියාන ඉඳල ඇත්තෙ.

      Delete
    8. ඉන්දික, උඹට හිතෙන්නේ නැද්ද ඒ වෙඩිං ෆෝටෝ එකෙත් මේකා ඉන්නේ විටක් කටේ හක්කේ හංගාගෙන කියලා. හැබැයි මණමාලි නම් ඇත්තටම ලස්සනයි නේද? මූට හොඳ වැඩිත් එක්ක. :-O

      Delete
    9. මමනං මේකෙ ඉන්න දැකපු නැති උං ගැන පූර්ව නිගමන වලට එළඹෙන එක නවත්තල තියෙන්නෙ. මොකද එහෙම ෆේක් ඉන්න එකෙක් දෙන්නෙක් ගැන හිතාගෙන උංගෙ රියල් ප්‍රෝෆයිල් අහුඋනාම හොල්මං වෙලා ගියා.

      Delete
    10. //මම නං රවී කියල හිතේ මවාගන ඉන්නේ ඇත්ත වයස‍ට වඩා වයසක පෙනුමක් තියන . කන්නාඩි දාන , කෙට්ටු උස , කොන්ද වක් නොවුන , බෙල්ට් එකක් දාල අත් දිග ෂර්ට් එක යටකරපු ඩයල් එකක් ( ටිකක් විතර බේබදු පාට )//

      අනිත් එව්ව කොහොමවුනත් අර වරහන් ඇතුලෙ තියන එක ඒ ෆෝටෝ එකෙ ඉන්න එක්කෙනාට තියනවනෙ

      Delete
    11. අටම්,

      / මම නං රවී කියල හිතේ මවාගන ඉන්නේ ඇත්ත වයස‍ට වඩා වයසක පෙනුමක් තියන . කන්නාඩි දාන , කෙට්ටු උස , කොන්ද වක් නොවුන , බෙල්ට් එකක් දාල අත් දිග ෂර්ට් එක යටකරපු ඩයල් එකක් ( ටිකක් විතර බේබදු පාට ) /

      වරේවා වරේවා..උඹ යකෙක් බං..කරුණු දෙකක් වැරදියි. ඉතිරිටික හරියටම හරි!!!

      Delete
    12. ඉන්දික,

      / නියම උඩරට ක්‍රොමේට උඩු රැවුල ගාල සයිඩ් බර්න්ස් වවල් යටින් මූට්ටු කොරල ඉන්න එකට. /

      ශ්‍රී වික්‍රම රාජසිංහ කට් එක කියන්නෙ ඕකට බං...:)

      / දැන් හිතගතෑකි වෙච්චි දේ. අර කෙල්ලො සෙට් එක භයටම තමා මේකව කරේ තියාන ඉඳල ඇත්තෙ. /

      බය කියන්නෙ බං බයමත් නෙවෙයි...මගෙ දෙකංසෙං පෙරෙන ගාම්බීර කමට කෙල්ලො කොහොමත් ටිකක් සලිත වෙලා වගෙ යනව...:)

      Delete
    13. හෙන්රි,

      / ඉන්දික, උඹට හිතෙන්නේ නැද්ද ඒ වෙඩිං ෆෝටෝ එකෙත් මේකා ඉන්නේ විටක් කටේ හක්කේ හංගාගෙන කියලා. /

      මචං ඇත්තම කියන්ටද? ඔය රජ කිට මැරුවම මූණෙ තියෙන්න ඕන ගාම්බීර කම ගන්ට මට ඇඳුං අන්දපු එකා මොකද දන්නවද කලේ? මංගල්ලෙ දවසට දවස් දෙහෙකට ඉස්සෙල්ල ඉඳල මට දුන්න රෝස පාට පොඩි පෙත්තක් දවසට දෙපාරක් ගන්ට. ඒක මචං මේ ලූස් මෝෂන් ක්‍රිටිකල් උනාම බොග වේලවන්ට දෙන එකක්. ඒ පෙත්ත කරණ කොටගෙන මම ඔය ඉන්නෙ දවස් දෙකක් බොග නොදා. ඒකයි අර මූනෙ තියන ගාම්බීර කම. දියවඩන නිළමෙත් දළඳා පෙරහැර කාලෙට ඔය පෙත්ත බොනවලු. එතුමා බොහොම ගාම්බීර තාලෙට වීදි සංචාරය කරන්නෙ ඔය පෙත්තට පිංසිද්ද වෙන්ටලු.

      රජකාලෙ රජ්ජුරු ගොල්ල උනත් රාජ සබාව පවත්වන්ට කලින් දවසෙ ඔය වගෙ මොනවද බෙහෙත් කුඩක් බොනවයි කියල මහාවංසෙ තියනවයි කියල මම අහල තියනව.

      / හැබැයි මණමාලි නම් ඇත්තටම ලස්සනයි නේද? මූට හොඳ වැඩිත් එක්ක. :-O /

      ඔන්න ඉතිං..ආය එකක් ඒ පාර..ඕක අපෙ උන්දැ මට උදේ හවස කියනව. අටළොස් වසරක් ගිහිල්ල ගිය අවුරුද්දෙ තමයි ඒක යන්තමට නැවැත්තුවෙ. මට හිතෙන්නෙ උන්දැටම ඒක අමතක වෙන්ට ඇති. දැං මේක දැක්කම ආය පටන් ගන්නව ෂුවර් ඇන්ඩ් ෂොට්. තව අටළොස් වසරකට බඩු පැකට්!

      Delete
    14. Praසන්ன,

      / මමනං මේකෙ ඉන්න දැකපු නැති උං ගැන පූර්ව නිගමන වලට එළඹෙන එක නවත්තල තියෙන්නෙ. මොකද එහෙම ෆේක් ඉන්න එකෙක් දෙන්නෙක් ගැන හිතාගෙන උංගෙ රියල් ප්‍රෝෆයිල් අහුඋනාම හොල්මං වෙලා ගියා. /

      " Never assume, you'll just make and ass out of you and me "

      Delete
    15. Pra,

      / අනිත් එව්ව කොහොමවුනත් අර වරහන් ඇතුලෙ තියන එක ඒ ෆෝටෝ එකෙ ඉන්න එක්කෙනාට තියනවනෙ /

      ඇත්ත, ඇත්ත..ඔතන ඉන්නෙත් ලාවට දෙකක් නවාගෙන....අර පෝරුවෙ අස්ටක කෙලිය ගියානෙ ප්‍රා පැයක් විතර. ඒක ඉවර උන හැටියෙ ගිහිල්ල දෙකක් දාගත්ත. :)

      Delete
    16. ඇ බන් රවි අයියෙ මොකොබන් බොලා දෙන්න වැඩිමෙ පොටොවෙ ඔච්චර දුරුන් ඉන්නෙ.බොට බැන්නයි කලින් දවසෙ බිල ගද ගහ ගහ ලගට එන්න එපා කියල.නැත්තම් උබ බය වෙලාද?

      Delete
    17. දමිත්,

      එහෙම තමයි බං රජ ඇඳුං ඇන්දම. ඒ ඇඳුමෙ ගෞරවේ තියන්ට ඕන. ඔය සුද්දගෙ දෙකයි පණහෙ ටයි කෝට් ඇන්දම වගෙ ඇලී ගැලී ඉන්ට බෑ තේරුණාද? ටිකක් ඉන්ට ඕන ගාම්බීර මොඩල් එකට...

      Delete
    18. කිරි අප්පේ....අදනේ දැක්කේ. අනිත් කට්ටිය උඩින් එක එක එව්වා කියලා තියන හින්දා මමනම් මුකුත් කියන්න යන්නේ නෑ. මොනවා උනත් සඳා අක්කනම් ලස්සනයි ඈ. මම කිව්වා කියලා කියන්නකො.

      Delete
    19. සයුරි,

      රයිට් මැඩම්...මම කියන්නම් :)

      Delete
  16. දැන් ඉතින් අරුන් දෙන්නට කියලා අස්සන් කරවලා අර සමරු පොත ආපහු බාර දුන්නද අර කියපු මානවිකාවිට?

    අපරාදේ අර ජයන්තයා ඇවිල්ලා දෙන්නව ස්ටේජ් එකෙන් බැස්සුවේ. සුවඳ සබන් ඇඟ ගාලා කිය කියා නටන්න දුන්නට පස්සේ බස්සවන්නයි තිබුනේ. බොරු කියන්නේ මොකටෙයි මම නම් ඔය බීපු මිනිස්සු කරන කෝලම් බලන්න හෙනම කැමති. බැච් ට්‍රිප් එහෙම ගියාම අපේ කෙල්ලෝ සෙට් එක කරන්නෙම ඕවා බල බල හිනා වෙන එක තමා. හැබැයි වැඩේ කියන්නේ කවුරුවත් කැමති නෑ නේ තමන්ගේ මනුස්සයා බොනවට. ඒක හරියට අර තමන්ගේ ගෑනු ළමයා කොටට අඳිනවා අකමැති උනාට කොටට අඳින වෙන වෙන කෙල්ලෝ දිහා බලන්න කොල්ලෝ කැමතී වගේ සිද්ධියක් තමා. හිහ්

    ReplyDelete
    Replies
    1. Sayuri,

      / දැන් ඉතින් අරුන් දෙන්නට කියලා අස්සන් කරවලා අර සමරු පොත ආපහු බාර දුන්නද අර කියපු මානවිකාවිට? /

      අස්සං ගහගන්ට අමතක උනානෙ බං..ඉඳහං ඒ විස්තරේ ඊලඟට කියන්නං...

      / බොරු කියන්නේ මොකටෙයි මම නම් ඔය බීපු මිනිස්සු කරන කෝලම් බලන්න හෙනම කැමති. /

      හෙහ්,හෙහ්, මොකට කියනවද? මට ඒ කාලෙ ඔන්න එක පාරක් මැලේරියාව හැදිල බොහොම අමාරු උනා මාසයක් එකහමාරක් තරම. ඒ කාලෙ බොන්ට හොඳ නෑනෙ. මම ඉතිං ඔය කෝක් එකක් වගෙ බිබී මෙවුං බීල කරන පිස්සු විකාර බලා ඉන්නව. එහෙම ඉන්නකොට මටම හිතෙනව යකෝ මැලේරියාව නැත්තං මාත් දැං මෙවුං එක්ක එකතු වෙලා මේ විකාර කරනව නේද කියල...හෙහ්,හෙහ්,

      ඒකෙං මං හොඳ පාඩමක් ඉගෙන ගත්ත. ඔය මැලේරියාව හැදුනෙ ටිකක් වඩිවෙච්චි දවසට නෙට් එක නොදා බුදියලනෙ. ම්ම ඊට පස් සෙ කලේ බොන්ට කලිම්ම නෙට් එක දාල තියන එක.

      Delete
    2. මැවිල පේනව කට්ටිය යන්ඩ තදියං වෙලා එලියේ ඉදං කෑ ගහනකොට මෙයා නෙට් එක මෙට්ටේ අස්සට රිංගවනව

      Delete
  17. හෙහ් මරුවට තියෙන්න ඇති ස්ටේජ් එක අස්සෙන් ඔළුව දාන් බලාගෙන ඉද්දී.. මේවා VIP පාස් වෙන්න ඇති නේ එහෙම නාට්‍ය බලන්න..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      හෝල් එකේ බබලත්තු දෙන්නෙක්ද කොහෙද කලන්තෙ දැම්ම ඇරෙන්ට වෙන අලකලංචියක් උනේ නෑ මල්ලි..හෙහ්,හෙහ්,

      Delete
  18. කියවගන යනකොට බොරුද කියලත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. ආ ...දැන් කවද්ද රවී අයියා බොරු කිව්වේ .................හැම වෙලාවේම කිව්වේ පට්ටපල් ඇත්ත ලු ..................(තවටිකකින් තව බොරුවක් දාල කිව්වේ ඇත්ත කියල ඔප්පු කරයි ).................................

      Delete
    2. අටම්,

      මොන බොරුද බං?

      Delete
    3. Sacheera,

      අම්මාපල්ල උඹ මගෙ පැත්තට කතා කරනවද නැත්තං හීන් නූලෙං මට කෝචොක් කරනවද කියල හිතාගන්ට බැරුවයි මම මේ ඉන්නෙ...:)

      Delete
  19. ZD ඇල කියන එක හැදුනෙ කොහොමද කියල අද තමයි දැනගත්තෙ.
    අම්මප බොලා ඔය තත්තෙං හරි රාජ කපුරු බලපු එක ඇති. මම හිතුවෙ රවීන්ද්‍රගෙ ඇඟේ සුවඳ සබං ගාල මිනිහ නාවලම නවත්තයි කියල වැඩේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔය මාදුරුඔය වම් ඉවුරු ප්‍රධාන ඇළ හැදුවෙ කියන Zachry Dillingham අමරිකන් සමාගම. ZD කියලයි කිව්වෙ. ඒකෙන් තමයි ඔය ඇළට ZD ඇළ කියල නම වැටුනෙ. ප්‍රසන්න කොහොමද ඒ විස්තර දන්නෙ? ඒ පැත්තෙ හිටියවත්ද?

      Delete
    2. ඒ පැත්තෙ ඉන්න තිබුණනං හොඳයි කියල හිතෙනව මේ කතා අහනකොට. මමනං ඔය නම අහල තියෙන්නෙ පත්තර වලින් තමයි.

      Delete
  20. රවී අයියා STAGE 1 උඩ නැටුවනම් එතනින් පටන් අරන් දිගටම නළුවෙක් වෙන්න තිබුන චානස් 1 නේ මිස් උනේ ............හරි අපරාදේ ................

    ReplyDelete
    Replies
    1. Sacheers,

      ඒකනෙ බං...දුකයි තමයි...මොනව කරන්නද? :(

      Delete
  21. අඩේ අප්පා මරු අලකලංචියක් නොවැ වෙලා තියෙන්නේ...:D
    උඹලා රවියියේ සින්දුව කිවා නම් තමයි වැඩේ වෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      සිංදුව කිව්වනම් මොකෙන් මොකක් වෙයිද කියල කියන්ට බෑ බං හෙහ්,හෙහ්, සමහරවිට තවම ගුටිකනව වෙන්ටත් පුලුවන්...:)

      Delete
  22. රවීයෝ......හිනාවෙල පනයනවා බං. වයිෆ් මේක බලලා කියනවා....තව එක්කෙනයි අඩුවට හිටියේ ඒයත් හිටියානම් සබන් ගාලා නාලම තමයි එන්නේ කියලා. මම ඇහුවා කවුද කියලා...කවුද ඉතින්...කියලා බැල්මක් දාලා නැගිටලා ගියා. දන්නවානේ බං මගේ හැටි.

    ReplyDelete
    Replies
    1. අරූ,

      හෙහ්,හෙහ්, අන්න එච්චරයි මචං ඕන..අන්‍යෝන්‍ය අවබෝධය....මියුචුවල් අන්ඩර්ස්කර්ට්....ස්තූතියි අරූ...:)

      Delete
    2. weeding 4to 1k baluwa, hithagana hitiyata wada wanas kanak. :-) - N

      Delete
    3. ඇනෝ - N,

      හෙහ්,හෙහ්..එහෙමද අප්පා???? :)

      Delete
  23. ඔයින් ගියා මැදැයි මම හිතුවේ බෝ නාට්‍යය බැලීම කෙසේවෙතත් දෙක කරලා එයි කියලා...

    ReplyDelete
    Replies
    1. රංගි,

      පිස්සුද බං?..මම ඔය දෙකක් දාගත්තම බොහෝම සාන්ත දාන්තයි...හෙහ්,හෙහ්, අපෙ උන්දැ උනත් මම යම් පමණකට සන්තර්පණය වෙලා ඉන්නවට තමයි කැමති අමුවෙන්ම ඉන්නවට වඩා....:)

      Delete
  24. සිත විකසිත කළ වටිනා ලිපියක් බව පවසන්නෙ සතුටින්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ගුණසිංහ මහත්මා..දන්නෙ නැද්ද ඔය ලාබාල වයසෙ නටපු නාඩගං නෙව. :)

      Delete
    2. "ඔය ලාබාල වයසෙ නටපු නාඩගං නෙව"
      දැන් නටන නාඩගං ගැනත් ලියමුකො බලන්න .. අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙන්න පුළුවන් .. :D:D:D

      Delete
    3. පැතුම්,

      මොන නාඩගංද බං දැං? ඒ කාලෙ නටපුව මතක මං පෙතෙහි සරමින් යලි සිහි කැඳවමින් කල් ගත කරන්නෙමි...:)

      Delete
  25. බොලත් සේරම සලු පාලි නටල තියේ එහෙනම් කොලුකාලේ .මට මතක්වුනේ අර අනඟ තරුණ බඹරු අපි , අමර වරම අපට හිමි කියන සින්දුව .
    ඒක නෙවේ මෙහෙම කලොත් නරකෙයි ? දැන් මේ බ්ලොග් එක නම "නිදහස් සිතුවිලි" වෙනුවට "රවි අය්යගේ නාඩගම" කියල වෙනස්කරමුද ? මේක අයිති රන්දිල් නෝනාමහතැන් වුනත් ඒ යෝජනාවට අමනාප වෙන එකක් නෑ මයෙ හිතේ . ඇයි ඉතින් මේක පිරෙන්න ලියල තියෙන්නේ උඹ නැටූ දහ අට සමයං , සලු පාලි නෙ :) කියවන්න එන එවුන්ගේ කැරැට්ටුවත් බොට දෙවෙනි නෑ නේ :)

    ReplyDelete
    Replies
    1. Ano,

      / බොලත් සේරම සලු පාලි නටල තියේ එහෙනම් කොලුකාලේ /

      එහෙනං..එහෙනං..ඒ කාලෙ ඔහොම නොකරන්නෙ කවුද බං?...

      / ඒක නෙවේ මෙහෙම කලොත් නරකෙයි ? දැන් මේ බ්ලොග් එක නම "නිදහස් සිතුවිලි" වෙනුවට "රවි අය්යගේ නාඩගම" කියල වෙනස්කරමුද ? /

      රන්දිල් නෝනනං එක පයිං කැමති වෙයි..මම දන්නවනෙ උන්දැගෙ හැටි සුබාව..ඒත් ඔය ඕන නෑ බං...මම ආසයි මේ නමට " නිදහස් සිතුවිලි" එහෙම කිව්වම නිකං හිතටත් එනව මහ අමුතු ගැම්මක්..අනෙ අම්මප...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...