Tuesday, August 2, 2016

130. ආදරණීය(ද?) තෑගි!


“මේ බලන්න අද මට එයාගෙන් ලැබුණු තෑග්ග. ඒක කොච්චර ලස්සනද නේද?”

මුහුණු පොතේ සැරි සරද්දි ඇතැම් තරුණියන්ගේ ගිණුම් වල දැන් දැන් මේ හා සමාන වැකි දක්නට ලැබේ. බොහෝවිට මිල අධික ජංගම දුරකථනයක, ස්වර්ණාභරණයක හෝ කාන්තාවන් ප්‍රිය කරන වෙනත් මිල අධික යමක පිංතූර මේ සමඟ ඇමිණි ඔබට දිස්වනු ඇත. මතක තබා ගන්න! මේ කියන ‘එයා’ ඇයට මුණ ගැසී ගෙවී ගොස් ඇත්තේ සතියක් පමණි.

තෑගි සිත නළවනසුලුය. විශේෂයෙන් මිල අධික තෑගි ඔබ විශේෂ පුද්ගලයෙකුය යන හැඟීම ගෙනදි සිත නළවනු ඇත. නමුත් මේ පිටුපස බැරෑරුම් ගැටළුවක් හොල්මන් කරනු ඔබ දුටුවාද?

ඔහුගෙන් එම තෑග්ග ලැබූ ඔබට පහත ආකාර විවිධ දේ සිතෙනු විය හැක.

“මෙච්චර වටින තෑග්ගක් අරං දෙන්න තරම් එයාට මං මොන තරම් වටිනවා ඇතිද!”

“එයා නම් ලොකු සල්ලිකාරයෙක් වගෙයි!”





නමුත් ඒවා අවශ්‍යයෙන් ම සත්‍ය නොවේ. කොටින් ම ඒවා හැබෑවක් වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිතය. මෙහිදී ඔබ දකින්නට අපොහොසත් වන කරුණක් තිබේ. ඒ නම් මෙතරම් ඉක්මනින් එතරම් මිල අධික තැග්ගක් ලබා දෙන්නට පෙළඹෙන ඔහුට කාන්තාවන් විෂයයෙහි නොමසුරු වීම ඒ හැටි දෙයක් නොවන බවයි. එසේ කිරීම ඔහුට හොඳින් සිතා බැලිය යුතු දෙයක් නොවන බවයි. (එනයින් ගත් කළ ඔහුට ඔබද එතරම් සිතා බැලිය යුතු කෙනෙක් නොවන බවයි)

ඔබ තැනක වාඩි වී තනිව ම සිනා නගමින් අනභිභවනීය ත්‍යාගයකින් පිදුම් ලැබුවේ යැයි තුටු වත්දි, ඔහු එවන් ත්‍යාග පහක් මිලදී ගෙන ඉතිරි හතර ඔබ වැනි ළාමක හිතැති තවත් තරුණියන් හතර දෙනෙකුට දෙන්නට ඇත්දැයි නිකමටවත් සිතුවාද? අනෙක් අතට මිල අධික ත්‍යාග යනු විසල් බැංකු ගිණුමක් පිළිබඳ කියා පෑමක් විය හැකිසේම ණය පොදියක් සමගින් හිඳුනු බැංකු ගිණුමක් පිළිබඳ කියා පෑමක්ද විය හැකිය.

ඉතාමත් මෑතකදි මුණ ගැසුණු ආගන්තුක පුද්ගලයෙකුගෙන් මිල අධික තෑගි ලබන්නට ඔබට උවමනා වන්නේ ඇයි? එය විකාර අදහසක් වශයෙන් ඔබට පෙනෙන්නේ නැතිද? සුළුවෙන්වත්?

කෙනෙකුගෙන් අහම්බෙන් ලැබෙනා වටිනා තෑග්ගකට තමන් ඉතා කැමති යැයි කෙනෙකු පවසන්නට පුළුවන. නමුත් සැබෑ ලෝකයේදි නළල රැළි නංවාගෙන කල්පනා කළයුතු යමක් එවන් අහඹු තෑගි මත ගැප්ව තිබෙන බව දත යුතුය.

අපි මෙහෙම හිතමු! ඔබ මාවතක් දිගේ ඇවිද යනවිට ආගන්තුකයෙකු පැමිණ, සිනා සී මල් පොකුරක් දී, “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්, ඔබ තිගැස්සුනත් එයින් එහාට හිතන්න තරම් දෙයක් සමහරවිට නොතිබෙන්නට පුළුවන. නැතහොත් එය ඉතාමත් සිත්ගන්නාසුලු දෙයක් ලෙසින් ඔබට හැ‍ඟෙන්නටද පුළුවන. (ආගන්තුකයා කොපමණ සිත් ඇදගන්නාසුලු පුද්ගලයෙක්ද යන්න මත ඔබේ සිතුවිලි රඳා පවති) 

දැන් මෙහෙම හිතමු! පෙර පරිදිම ඔබ මාවත දිගේ ඇවිද යනවිට පෙර කී පුද්ගලයා පැමිණ සිනාසී මල් පොකුර වෙනුවට රුපියල් 50,000ක මුදලක් ඔබ අත මත තබා “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්, ඔහු ලොව සිටින කඩවසම් බවින් වැඩි ම පුද්ගලයා වුවත්, “ මේ මොකක්ද වෙන්නේ? ඇයි මේ මනුස්සයා නන්නාඳුනන මට මෙච්චර ලොකු සල්ලියක් දෙන්නේ?” ආදී ලෙසින් ඔබට සිතෙනු නොඅනුමානය. 

මා ඔබට පෙන්නුම් කරන්න උත්සහ දරන කාරණය මෙයයි. සාමාන්‍යයෙන් මිනිසුන් ඉබාගාතේ ඇවිදිමින්, දකින දකින අයට වටිනා තෑගි බෙදමින් යන්නේ නැත. ඔබ බලාපොරොත්තු වන්නේ ප්‍රේමනීය සබැඳියාවක් නම්, නිසි කල එළඹ එහි ශක්තිමත්භාවය හදවතට දැනෙන කාලය උදා වන්නට පෙර ලබන මෙවන් ත්‍යාග සැමවිට ම ප්‍රශ්නාර්ථයක් ඇති කරයි. කුමක්වේදැයි අවිනිශ්චිත සම්බන්ධයක් වෙනුවෙන් තමන්ගේ ධනය ඒ ආකාර වියදම් කරමින් ඔහු කරන්නේ කුමක් විය හැකිද? අව්‍යාජ හැසිරීමක් වන්නට තිබෙන ඉඩකඩ සිමිතව ඇති මෙම හැසිරීම තවත් එක් ස්ත්‍රියක හසු කරගැනීමට වියනා දැලක් වීමට ඇති ඉඩකඩ අසීමිතය. 

ලලනාවියනි,

ඔබ ඔවුනට රිසි පරිදි මිලදී ගත හැකි වෙළෙඳ භාණ්ඩ නොවන බව වැටහෙන පරිදි දිවි ගෙවන්න.

එක සාප්පු සවාරියක්, ඔබ සිරුරට ඇතුළුවන්න ක්ෂණික ප්‍රවේශපතක් දිනාගැනීමේ මගක් ලෙස දකින්න ඉඩ නොතබන්න.

එය ඒ ආකාරයට ඉෂ්ට නොවන වග පහදා ගන්න ඉඩ හරින්න.

එය ඒ අකාරයට සිදු නොවිය යුතු වග තේරුම් ගන්න ඉඩ හරින්න.

නමුදු අවාසනාවකට මෙන් බොහෝ කාන්තාවෝ එම ප්‍රවේශපත දිනාගන්නට ඉඩ හරිති. ඔහු අරං දුන් නවතම මාදිලියේ සපත්තු ජෝඩුවකට, මනරම් පෙදෙස් හරහා යෙදුණු විනෝද සවාරියකට, රන් කරාබු ජෝඩුවකට, ‘මේ මනුස්සයා කවදාහරි මගේ මනුස්සයා වුනොත් කොහොමදැයි‘ සළකා බැලීම අමතක කරවා ඔබ සතුටින් මුසපත් කරවීමේ මායා බලයක් තිබෙන්නට පුළුවන. ඒ මායාවෙන් මුසපත් ව මසක් ගෙවෙනු ඇත. දෙමසක් ගෙවෙනු ඇත. සමහරවිට ‍ඊටත් වඩා කාලයක්!. මී ලඟ සිත්ඇදගත් කත වෙත ඔහු එළඹෙද්දී, බිඳුනු හදින්, කඳුළු පිරුණු දෙනෙතින් හා මුහුණුපොතේ විරහ වේදනාවෙන් ලියැවුණු සටහන් ගොන්නක් සමගින් තනිවන ඔබේ ආත්මය සනසන්න ඒ මිල අධික ත්‍යාග වලට කිසිදා හැකි නොවනු ඇත.

ඔබ හොඳින් ‍ධාරනය කර ගතයුතු යමක් ඇත. ස්ථිරසාර, කල්පවතින සබඳතාවක් ගොඩනගා ගතයුතු නම් ඔබ කිසිසේත්ම පහසුවෙන් නැමෙනසුලු කෙනෙකු නොවිය යුතුය. තෑගි හුවමාරුව කවදා නම් කරගත නොහැකිද? ඔබ සිත්ගත් තැනැත්තාට මිලදී ගත හැක්කේ කවරේදැයි දැනගැනීමට පෙර ඔහු කවරෙක්දැයි සොයා බලා, නිවැරදි ව හඳුනා ගැනීමට සිත යොමුකරන්න.

තවදුරටත් පවසනවා නම් ස්ථිරසාර සම්බන්ධතාවක් පිළිබඳ කල්පනා කරන පිරිමියෙකු අනෙකුත් සියල්ල පසෙක තබා මිල අධික තෑගි වරුසාවක් ඔබ මත හෙලන්නට සිතන්නේ නැත. ඔහු රෑ කෑමකට ඔබ කැඳවාගෙන යනු ඇති. ඔබට රෝස මලක් ගෙනෙනු ඇති. හුරුබුහුටි යතුරු රඳවනයක් ගෙනෙනු ඇති. ඒ හැර ඔබ ඔහුගේ ප්‍රේමයට වටිනාකමක් දෙන කෙනෙක්දැයි නිවැරදි ව වටහා ගන්නාතුරු මුදල් වියදම් කරමින් ඔබට මිල අධික තෑගි ගෙනෙන්නට නොසිතනු ඇති.

නිවැරදි ව කටයුතු කරන පිරිමියෙකුට කිසිදා වැරදි කාන්තාවකට ආයෝජනය කරන්න උවමනාවක් නැත. ඔහු කෙමෙන් කෙමෙන් ඔබ ව වටහාගනු ඇති. ඔබද එසේ ම ඔහුව වටහා ගතයුතුය.

මහ ධනවතකු වුවත් ඔහුට අවශ්‍ය ස්ථිරසාර සම්බන්ධතාවක් නම් ඔබ ඇදී එන්නේ ‍ඔහුගේ ‍ධනය වෙත නොවන වග ස්ථිරව වටහාගන්නාතුරු, තමන්ගේ ධනය නිකරුනේ ඔබ වෙනුවෙන් වියදම් නොකරනු ඇති. එබැවින් මොන පැත්තෙන් ගත්තද සම්බන්ධතාවක ළදරු අවධියේදි කෙරෙන මහ වියදම් යනු පැහැදිලිව ම අනතුරු ඇඟවීමකි.

එබැවින්, හදවත දැදුරු වී විසල් ශෝක ගංගාවක ගිලී යාමෙන් වැළකෙන්න - ක්ෂණික ව පහළ වන මුදල් නෝට්ටුවකට රැවටීමෙන් වළකින්න.


ඉංග්‍රීසි බසින් රචනය
නදීරා ඇන්ගෙල්


පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

42 comments:

  1. ම්ම්ම්ම්ම්........... හ්ම්ම්ම්ම්..........

    ReplyDelete
    Replies
    1. හරි හරි කල්පනා කරන්නකෝ :)

      Delete
  2. This is wonderful akka! Thank you for giving us the opportunity read these valuable writings. You are translating them very nicely. :)

    ReplyDelete
  3. නියම සටහන.. ඇත්ත තමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුරසී

      Delete
  4. ගස්ලබ්බ අඳුනන කෙල්ලෙක් හිටියා.. දවසක් ඔය වගේ මාතෘකාවක් ගැන කතා කරනකොට එයා කියනවා 'අනේ බං එක දෙයක් පරිස්සං කරගෙන වැඩ ටික කරගන්න අපි දන්නවා.මොකෝ ගෙවෙනවා කියලයැ? කොල්ලොත් හරක් වගේ කඩේ යන්නෙ දුකේ බෑ..' කියලා. ගස්ලබ්බට 'හික්' ගෑවුනා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ම තමයි මාත් කියන්නේ. ඔහොම තෑගි බලාපොරොත්තු වන අයගෙන් ඔයාලාත් පරිස්සම් වන්න :D ජයවේවා! තමන්ගේ හිත ගැන කවදාහරි තැවෙන්නේ නැත්තං පරිස්සම් වුණේ නැතුවට කමකුත් නැහැ ඉතිං :P

      Delete
  5. කිහිප වතාවක් කියා ඇති කිඹුලා කිරිමැටි ගිලිනකතාව මට මතක් වුනා..ඉස්සර යාලුවො කියන විදියට කිඹුලා මුලින්ම මැටි කුට්ටියක් ගෙනත් අව්වේ තියෙනවා..තියලා ටික වෙලාවක් බලං ඉද්දි ඇස් රක්ත තප්ත වෙලා කිඹුලට අර මැටි කුට්ටිය මස් වගේ පේනවා..ඉන් පස්සේ කනවා..
    ඇතැම් විට සාධාරන කොටම ගැහැනු ලමයා දන්නවා මූ ඇන්නා පැන්නා තමයි කියලා..ඒත් එයා ආසාවෙන් රැවටෙනවා..මන්ද රැවටීම අවසානයේ ඉතා සුලු වේදනාවක්් දැනුනත් අයි පෝන් එකක් ඉතිරි වෙනවා ඇයට..

    සාමාන්‍යයෙන් කාර් රථයට, හොද මොබයිල් ෆෝන් එකට..සල්ලි වලට මල් නැමෙනවා..ඒක මල් වල වැරැද්දක් නෙමෙයි සොබාදහම.. කවදාවත් නොදැකපු හොදද නරකද සුදුද කලුද කියලා නොදන්නා මිනිහෙක් වෙනුවෙන් ආරක්ෂාකරගන ඉන්න මනෝරාජික පතිවත රුපියල් ලක්ෂයක් දෙකක් වෙනුවෙන් කැපවුනාට කමක් නෑ කියලා එයාලට හිතෙනවා ඇති..
    අනික කාන්තාවන් කියන්නේ ඉටිපන්දම් නෙමෙයි ඔවුන්ට සොබාදහමෙන් ආශාවන් නිමවලා තියෙනවා..අඩුම හානියක් සහිතව සහ වැඩිම වාසි සහිතව ඔවුන්ට ඒ ආසාවන්ට පියාඹලා යන්න ඉඩදෙන්න හැකියාවක් තියෙනෝ නම්..අපි කොයිත්රම් සාහිත්‍ය දැම්මත් බොහෝ පිරිසක් ඉගිල්ලී යනවා..ඒක නවත්වන්න සක්්‍රයාටත් ටිකක් අමාරු වෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල අදහස් දැක්වීම පිළිබඳව

      මුලින්ම කියන්න ඕනෑ මේක මගේ ලිපියක් නොවේ. ඉංග්‍රිසි භාෂාව භාවිතා කරන රටක කාන්තාවකගේ අදහස් තමයි මේ ලිපියෙන් කියැවෙන්නේ. අනිත් අතට මම ම ලිව්වා වුණත් මේ අදහස් මීට වඩා මහා ගොඩක් වෙනස් වන්නේ නැහැ. තව එකතු වුණොත් මිසක්. "සේරම අවසානයේ ඔබේ ඒ පෙම්වතා දුන් තෑගි ඉල්ලා සිටීමට ද පුළුවන" වගේ කොටස් මා අතින් එකතු වන්න තිබුණා. :D

      මේ ලිපියේ කොහෙවත් පතිවත ගැන සඳහනක් නැති බව ඔබට දැකගන්න පුළුවන්. අනිත් අතට තරුණියන්ට පමණක් අමතපු ලිපියක් නෙමෙයි මේක. කාන්තාවන්ට පමණක් නොවෙයි පුරුෂ පාර්ශවයටත් මෙහි කියැවෙන තමන්ට අදාළ දේ වැටහෙනවා ඇති කියලා මට හිතෙනවා.

      ඒ හැටි මුදල් හදල් නැති කෙනෙකුට මෙන් ම හොඳින් උපයන කෙනෙකුට වුණත් මේ දේ වෙන්න පුළුවන්. තමන්ට මිලදී ගන්න පුළුවන් වුණත් මිල අධික ත්‍යාගයක් හිතක් නලවන්නේ පුදුමාකාර විදිහට. තමන්ට දුන්නු වටිනාකමක් විදිහට ඒක පේන්න පුළුවන්. තමන්ගේ හිතේ තමන්ට තියෙන තැන වගේම අනෙකාගේ හිතෙත් තමන්ට ඒ තැන ඇති කියලා හිතෙන්න පුළුවන්.

      අමිල, මෙතනදි සිරුරකට සිදුවන දෙයක් ගැන නෙමෙයි කියැවෙන්නේ. සිරුරට සිදුවන දේත් එකතුව හිතට සිදුවන දේ ගැනයි කියැවෙන්නේ. ලාභ ප්‍රයෝජන තකා සම්බන්ධයක් ගොඩ නගා ගන්න කාන්තාවන්ට නෙමෙයි අමතලා තියෙන්නේ. //ස්ථිරසාර, කල්පවතින සබඳතාවක් ගොඩනගා ගතයුතු නම් ඔබ කිසිසේත්ම පහසුවෙන් නැමෙනසුලු කෙනෙකු නොවිය යුතුය. තෑගි හුවමාරුව කවදා නම් කරගත නොහැකිද?// :)

      Delete
  6. තෑගි කියන්නෙ ආදරයක තියෙන නොවටිනාම දෙයක්.තෑගි නිසා ඇති වෙන ආදරයක් කවදාවත් නිර්ව්‍යාජ එකක් නෙමේ.පෙම්වතියක් තෝරා ගත යුත්තෙ හදවතින් පොහොසත් පෙම්වතෙක් මිස හදවතින් දුප්පත් ධනවතෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් වැසි දැරිය, කතාවටත් කියන එදා වේල ටුවර් පිළිබඳ නොවේයිනේ මේ කතාව. කවදා හරි තමන්ගේ සැමියා/බිරිඳ වන කෙනා, තමන්ගේ දරුවන්නේ අම්මා/තාත්තා වන කෙනා ගැන කල්පනා කරද්දි ඒක සම්පූර්ණයෙන්ම වෙනත් විෂයයක් වියයුතු බවයි මේ කතාවේ අදහස. ස්තුතියි ඔබට

      Delete
  7. භාහිර ප්‍රතිරූපටන්ට රැවටෙන මානසිකත්වයකට බොහෝම වටින කියන සටහනක් මේක.

    ReplyDelete
  8. Replies
    1. නිත්‍යය අනිත්‍යය :)

      Delete
  9. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න කාලේ හොඳයි වගේ ..

    ReplyDelete
    Replies
    1. ඇයි යාලුවන්ගේ තෑගි අපරාදෙද? :P

      මේක මං ලිව්වා නම් මේක ම තමයි ලියන්නේ කමියෝ. ස්වතන්ත්‍ර කියලා හිතාගෙන කියවමු :D

      Delete
  10. යථාර්තය...හැබැයි අපේ ගස් මලය කියල තිබුන වගේ අද කාලේ ගැහැණු දරුවොත් ඔය කියන තරම්ම අහිංසක නැහැ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි... මේකේ තියෙන්නේ අහිංසක ගෑණු ළමයි ගැන විතරක් නෙමෙයි. පරිස්සම්විය යුතු පිරිමි ළමයි ගැනත් තියෙනවා :D

      Delete
  11. ඔන්න ඕකනේ අපි කාටවත් ඔය තෑගී අරන් දෙන්නේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. දීකිරට බළල්ලු සාක්කි ;-)

      Delete
    2. මේ ඇනෝ කවුද කියල හරියටම කිව්වොත් මට තෑග්ගක් දෙනව ද?.. :D

      Delete
  12. තියරිය නම් නරක නැහැ. මේ කියන්නේ බටහිර උරුවක් තියෙන සමාජයකදී ගැහැණු ළමුන්ට සිද්දවෙන දේවල් වෙන්නත් පුළුවන්. නමුත් මම දකින විදියට නම් මේ කොටස්වල පොඩි නෙවෙයි, ලොකු අවුල් තියෙනවා
    //ස්ථිරසාර, කල්පවතින සබඳතාවක් ගොඩනගා ගතයුතු නම් ඔබ කිසිසේත්ම පහසුවෙන් නැමෙනසුලු කෙනෙකු නොවිය යුතුය.
    මෙහෙම ගැහැණු ළමුන්ට ලංකාවේ පිරිමින් කැමති නැහැ. පහසුවෙන් නැමෙනසුලු නොවෙයි නම් 'පිරිමි ගති තියෙන' කියා ලේබල් ගසා නරක විදියට සලකනවා. ( අත්දැකීමෙන් කියන්නේ) ඒ වගේ පර්සනලිටි ලංකාවේ පිරිමින් අතර විවාහයක් කරා යන්න තියෙන ප්‍රවනතාවය අඩුයි.

    // එබැවින් මොන පැත්තෙන් ගත්තද සම්බන්ධතාවක ළදරු අවධියේදි කෙරෙන මහ වියදම් යනු පැහැදිලිව ම අනතුරු ඇඟවීමකි.
    මෙය සාපේක්ෂයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මෙතන නැමෙනසුලු කියලා අදහස්වන්නේ මම දකින විදිහට, අද මේ ඇඳුම අඳින්න කිව්වහම නැහැ මං අඳින්නේ අර ඇඳුම! කියන එකටවත්, අද අපි පාන් කමු කිව්වහම නැහැ මට බත් ම ඕනෑ! කියන එකටවත් නෙමෙයි. කෙටියෙන්ම කිව්වොත් සියල්ලට ම කලියෙන් ඇඳක් ගැන සිතීම ගැනයි මෙතන අදහස් වන්නේ.

      // එබැවින් මොන පැත්තෙන් ගත්තද සම්බන්ධතාවක ළදරු අවධියේදි කෙරෙන මහ වියදම් යනු පැහැදිලිව ම අනතුරු ඇඟවීමකි.// ඇත්තට ම සාපේක්ෂයි. ඇත්තටම ඇයි අවංක සිතින් වුණත් පිරිමි අය එහෙම තමන්ගේ සල්ලි අනතුරේ දාගන්නේ. නොදන්න කෙනෙකු දුන්නු රසකැවිල්ලක්වත් කන්න එපා කියලා පොඩි කාලේ දරුවන්ට දෙමව්පියෝ අවවාද කරනවා. නොදන්න කෙනෙකු දෙන මොනදේ ගැන වුනත් සිහිකල්පනාවෙන් සිටීම කාන්තාවකට අනුචිත දෙයක්ද?

      අනිත් අතට මේ ලියුමේ කියැවෙන්නේ හඳුනාගෙන සතියක් ඇතුලත වන ගනු දෙනුවක් ගැන. ඒ හැර පුංචි කාලේ ඉඳන් හඳුනන, එහෙමත් නැත්නම් එකටම අවුරුදු ගාණක් ඉගෙන ගත්ත හෝ රැකියාව කරපු අය අතර මෑතකදි ඇතිවුණු ප්‍රේම සම්බන්ධයකදි වන ගනුදෙනුවක් නොවේ. :)

      Delete
  13. බෙන්ස් ලෝගො එක කියල රැවටිලා සමහර අය මැස්ඩා ලෝගො එකත් එක්කත් හිනාවෙනව.
    ප.ලි ගෑණු ළමයෙක් හරි, පිරිමි ළමයෙක් හරි දිවිතීක අධ්‍යාපනය ලබන අවදියේ මිශ්‍ර පාසැලකට ගියොත් ආදරයේ යතාර්ථය තේරුම්ගන්නා බව මගේ පුද්ගලික හැගීමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ පොයින්ට් එකක්. මේ ගොඩක් ප්‍රශ්න වලට හේතු පාසල් වර්ගීකරණය. මාත් ගියේ කාන්තා පාසලකට. දැන් දුව යන්නෙත් ඒකට. හැබැයි අපි පොඩි කාලේ වගේ නෙමෙයි පාසලෙන් පිටදී ඇයට පිරිමි ළමයින් කියන්නේ මැජික් එකක් නොවන පරිදි අපි කටයුතු කරනවා. ඇයට පිරිමි ළමයින් ආශ්‍රයට ඉඩ සළසා තියෙනවා. මුලින් ඉස්කෝලේ ගිය දවස් වල ඈ මගෙන් නිතර ඇහැව්වා කෝ අම්මේ අයියලා කියලා මොකද පෙර පාසලේ එයාලා එකටනේ හැදුනේ. දැන් දැන් හැබැයි ‍එයා පස්ස ගහනවා පිරිමි ළමයින් ඉදිරියේ (පාසලේ ආභාෂය ඇවිත් තියෙන්නේ) අපි නොදැක්කා වගේ ඉන්නවා. ඒ සිතුවිලි මග හරවන දේවල් කරනවා.

      Delete
  14. ඕකෙම අනිත් පැත්ත
    සල්ලිත් දෙන්නම් ඔයාට ඕනම දෙයක් දෙන්නම් කියල හමුවීමට ආරාධනාවක් ලැබුනා බුකියේ ලවකින්.වැරදිලාවත් එදා මං ගියානම් අද මං වෙන කාගෙ හරි දරුවෙක්ගෙ නාමික පියෙක් ඒ වගේම බාල වයස්කාර චෝදනාව යටතේ හිරකාරයෙක්!
    පව් ඒ සල්ලිකාර උනත් දුප්පත් කෙල්ල O/L විභාගෙට දින කීපයකට කලින් මව් පදවිය ලැබුනා කියල ආරංචි වුනා :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක වෙනම කතා කළයුතු මාතෘකාවක්. මෙහිදි සාකච්ඡා වන්නේ දිගුකල් පවත්නා සම්බන්ධයක් හමුවේදි මෙවන් අවස්ථාවක හැසිරිය යුතු ආකාරය ගැනයි.

      පව් ඉතිං ඔයා කියන මේ ළමයා. නිසිමගක් කුඩා කාලයේදී ම නොදැකීමේ ඵලවිපාක :(

      Delete
  15. //රුපියල් 50,000ක මුදලක් ඔබ අත මත තබා “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්//

    දවස සුභයි

    ReplyDelete
    Replies
    1. ඉක්මනට අරගෙන පස්ස නොබලා දුවන්න ඕනෑ! :)

      Delete
  16. ම්ම්ම්ම්......
    යථාර්ථය....

    ReplyDelete
    Replies
    1. කොච්චර වුණත් චුට්ටට හිත බොළඳ වෙන වෙලාවල් තියෙනවා.

      Delete
  17. සතියෙන් දෙකෙන් මෙහෙම තෑගි දෙන අය ඉන්නවද :O මුහුණුපොතෙන් වත් තාම දැක්කෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. මතුපිටින් බැලුවහ ම මේ වගේ වෙන්න බැහැ කියලා හිතුණට, මං දන්න ගෑණු ළමයි ඉන්නවා අද ඊයේ හඳුනාගත්ත පිරිමි අයව ආත්ම ගණනාවක් තිස්සේ පතාගෙන ආපු කෙනා තමයි කියලා වර්ණනා කරන, ඒ අය එක්ක චකිතයකින් තොරව ගමන්බිමන් යන, තෑගි හුවමාරුකර ගන්න මාස හයක් යන්න කලියෙන් දුකින් තැවෙන.

      Delete
  18. හ්ම් හ්ම්ම්ම්. හිතල බලද්දි ඒකත් ඇත්ත තමා.

    ReplyDelete
  19. beautifully translated Randika, well done
    Mihiri

    ReplyDelete
  20. තමන්ව ඕනෑවට වඩා වර්ණනා කරණ අය දිහා සැකෙන් බලන්න, කපුටා සහ කේජු කෑල්ල කතාව මුලින්ම අහපු දවසේ ඉඳලා මම හොඳටම හිතගෙන ඉන්නෙ.. ඒක කිරි ගහට ඇන්න වගෙ හරියටම හරි....

    මෝඩ කෙල්ලෝ මේවා කියවන්නම ඕනා....

    ReplyDelete
  21. //ක්ෂණික ව පහළ වන මුදල් නෝට්ටුවකට රැවටීමෙන් වළකින්න.//

    ඕකනේ අපි "ස්වීප්"ගන්නෙත් නැත්තේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...