Saturday, September 24, 2016

ප්‍රජාතන්ත්‍රීය නොවූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සහ​ එහි දේශපාලනය - චාමර ලක්ෂාන් කුමාර



1926 වසරේ ඇරැඹුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැකගත හැකි ඉපැරැණිතම වෘත්තිය සමිතියක් ලෙස සැලැකෙයි. වසර 90 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තම භාවිතාව හා පැවැත්ම තුළ දේශපාලන මධ්‍යස්ථ භාවයක් සංවිධානයක් ලෙස චිරාත් කාලයක් ප්‍රදර්ශනය කළමුත් වසර හය හතක සිට එහි බරපතළ ගුණාත්මක කඩා වැටීමක් දක්නට ලැබේ. ර‍ටේ ඉහළම වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයක් ලෙස එහි කඩා වැටීම සමාජයට කර ඇත්තේ අතිශය නිෂේධනාත්මක බලපෑමක් බව රහසක් නොවේ.

පොදු ව්‍යවහාරය තුළ වෘත්තිය සමිතියක් යනු තම වෘත්තියට අදාළ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ සාමූහිකව කටයුතු කරන්නා වූ සංවිධානාත්මක ගොනුවකි. සාමාන්‍ය රැකියාවකට වඩා එහා ගිය මනුෂ්‍ය ජීවිතය සමඟ තීරණාත්මක ලෙස බැඳී පවතින ගෞරවනීය උතුම් සේවාවක් ලෙස ඉහළ මට්ටමේ ගරු හැසිරීමක් වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමාජය අපේක්ෂා කළ ද දිගින් දිගටම අපට අසන්නට හා ලියන්නට ලැබෙනුයේ එහි අනෙක් පැත්තය. එය කනගාටුදායක තත්ත්වයකි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇල්ලු අලුත්ම අඩව්ව වූයේ තම දූ දරුවන් සුපිරි පාසල්වලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් පසුගියදා රඟ දැක්වූ විගඩමය. සෑම වෛද්‍යවරයකුම තම වෘත්තිය දිවිය ආරම්භ කරත්දී සිදුකරන හිපොක්‍රටීස් දිවුරුම හරහා ඉහළ සදාචාර ප්‍රමිතීන් පවත්වාගෙන යමින් තමන්ට පැවරි ඇති යුතුකම් හා නිසි පැවැත්ම රැකගන්නා බවට සහතික වන මුත් ප්‍රායෝගික ලෝකය තුළ සැබැවින්ම දැකගත හැක්කේ ඊට සපුරා වෙනස් තත්ත්වයකි. පොදු සමාජ යහපත අභිවෘද්ධිය වෙනුවට ආත්මාර්ථකාමිත්වය හා ලාභ උපරිම කර ගැනීමේ අරමුණු පෙරදැරිව සාතිශය බහුතරයක් වෛද්‍යවරුන් සංවිධානගතව කටයුතු කිරීම තුළ පෙනෙනුයේ මේ වන විට දක්නට ලැබෙන සමාජය පිරිහීමෙන් හා කඩා වැටීමෙන් ගැලවීමට සාපේක්ෂව උගත් හා බුද්ධිමත් ප්‍රජාවක් ලෙස සැලකෙන ඔවුන්ට ද නොහැකි වී ඇති බවය. කෙසේ වෙතත් මේ දුෂ්ට ප්‍රවාහයට හසු නොවී තවමත් උඩුගම් බලා පිහිනන අතළොස්සක් වූ වෛද්‍ය වෘත්තිකයන් ද සමාජයේ සිටින බව ඔවුන්ට ගෞරවයක් ලෙස මෙහිදී ලියා තබන්නට කැමැත්තෙමු. නමුත් අවාසනාවන්ත කාරණය වනුයේ එම සුළුතරය අධිනිශ්චය කරමින් බහුතරයේ අතාර්කිකභාවය හැම විටම කැපී පෙනීමය. එහි නූතන ප්‍රකාශකයා වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය.

වෛද්‍යවරුන්ට සමාජය සම්බන්ධයෙන් ඇති වගකීම ඉහළ වනුයේ, වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සෑම දොස්තරවරයකු වෙනුවෙන්ම, මේ රටේ බදු ගෙවන ජනතාව, සෑහෙන පිරිවැයක් දරන බැවිනි. නිදහස් අධ්‍යාපනය සඳහා වැය කරනුයේ මේ රටේ ජනතාවගේ බදු මුදල්ය. නි‍ෙවසක් නොමැති පුද්ගලයන්ට නිවාස තනා දීමට වගා කටයුතු සඳහා වාරිමාර්ග ක්‍රම ඇති කිරීමට ආදි සෙසු අවශ්‍යතා සඳහා ඇති මුදල් නිදහස් අධ්‍යාපනයට යොදවනු ලබන්නේ නිශ්චිත අරමුණු පෙරදැරිවය. ඒ සියල්ල අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. වෛද්‍යවරුන්ගේ සේවය සමාජයට අත්‍යවශ්‍ය එකක් බැවින්, එය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි තරම්ය. නමුත් ගැටලුව වී ඇත්තේ, එම ආයෝජනයට සරිලන තරම් ප්‍රතිලාභ පෙරළා සමාජයට නොලැබීමය. තමන්ව පෝෂණය කළ සමාජයට, ප්‍රතිචාර දැක්වීම වෙනුවට වෛද්‍යවරුන් ලෙස වෙනම සංවිධානගත වී තම පෞද්ගලික අභිලාෂයන්, සිහින ඉටුකර ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත. තීරු බදු රහිත වාහන බලපත්‍ර, වැටුප් වැඩිවීම්, තම දරුවන්ව සුපිරි පාසල්වලට ඇතුළත් කරගැනීම වැනි අතිශය පෞද්ගලික වූ ඉල්ලීම් සමාජගත කරමින්සුපිරි පුරවැසියන් කොටසක් ලෙස පෙනී සිටීමට ඔවුන් තම කාලයෙන් වැඩි පංගුවක් මිඩංගු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ නිසාම වෛද්‍යවරුන් කෙරෙහි පැවති සමාජීය පිළිගැනීම ද මේ වන විට ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී.

මුලදී සඳහන් කළාක් මෙන් එම තත්ත්වය ඇතිවීම විෂයෙහි, ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෑත කාලීන ක්‍රියාකාරිත්වය යැයි පැවසුවහොත් එහි දොසක් නොමැති තරම්ය. පසුගිය දශකයක කාලය තුළ මේ රටේ ජනතාව පිළිකුල් කළ අප්‍රසන්න වෘත්තිය සමිතිය වූයේ ගැමුණු විජේරත්නගේ බස් සංගමයයි. නමුත් මේ වන විට අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ගැමුණුලා පහුකර බොහෝ දුර ගමන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය එහි ඉහළ නිලධාරීන්ගේ කෙරුවාවල් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කියවෙන බැවින් ඒ ගැන ලිවීමට තීන්ත නාස්ති කිරීමට අප සූදානම් නැත. මේ සටහන තුළ අපේ ප්‍රස්තුතය වනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය නොඑසේනම් එහි “දේශපාලනය” පිළිබඳ සාකච්ඡා කෙරුමටය. මහින්ද රාජපක්ෂ යුගයේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපැවැත්ම, පිළිබඳ බරපතළ ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබියදී “නිර්වින්දිත” සංවිධානයක් ලෙස පෙනි සිටීම් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෑතක සිට “එට්කා” විරෝධය වැනි සටන්පාඨ උත්කර්ෂයට නංවමින් මහා ප්‍රජාතන්ත්‍රීය සංවිධානයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන මුත් එය සැබැවින්ම අව්‍යාජ වූ හැසිරිමක් ද යන්න සොයා බැලීම වැදගත්ය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රජාතාන්ත්‍රීය භාවය ප්‍රශ්න කරන බරපතළම කාරණය වනුයේ එයට නිලධාරීන් තෝරා ගන්නා ආකාරයයි. වාර්ෂිකව නිලධාරීන් තෝරා ගැනීමට නිලවරණ පවත්වන මුත් දැනට ඇති මධ්‍යගත නිලවරණ ක්‍රමය පවතින තුරු බලය හොබවන කණ්ඩායම ඉන් ඉවත් කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකත්වය විසිදහසකට වඩා වැඩිමුත් සාමාන්‍යයෙන් නිලවරණයකදී ඡන්දය ප්‍රකාශ කරනුයේ ඉන් 15%ක් තරම් පංගුවකි. වෛද්‍ය නිලධාරී සංගමයේ මවු ශාඛාවේදී නිලවරණය පැවැත්වෙන බැවින් කොළඹින් පරිබාහිරව සිටින සාමාජිකයන්ව නිතැතින්ම ඉන් බැහැර කිරීමක් සිදු වේ. ඒ මූලිකවම ඒ සඳහා කාලය සහ මුදල් වැය වන බැවිනි. එනිසාම මුළු සාමාජිකත්වයෙන් 80%කට වඩා වැඩි පිරිසක් නිලවරණය වර්ජනය කිරිම පසුගිය කාලය පුරාම දැකගත හැකි වූ පොදු තත්ත්වයකි. නිලවරණයකදී ධුරයේ සිටින කණ්ඩායමට වාසි ලැබෙන ආකාරය මඳක් සොයා බැලුම වැදගත්ය. නිලවරණය මෙහෙයවීමේ බලය හිමිව ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මැතිවරණ කමිටුවටය. ස්වාධීන බවක් පිටතට පෙන්වුවද එහි සිටිනුයේ ධුරය දරන කණ්ඩායමට පක්ෂපාති පුද්ගලයන්ය. පසුගිය අවස්ථා කිහිපයකදී එය නියෝජනය කළ විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක ඊට එක් නිදර්ශනයක් පමණි. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සමඟින් “විශේෂඥ” වූ ගුණතිලක තම මිත්‍රයා තරග කරත්දි මැතිවරණ කමිටුවේ සිටීමම යනු ලබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කරනු ලබන්නකි. වත්මන් පාලනයට සම්බන්ධ බොහෝ දෙනා දශකයකට වැඩි කාලයක් තිස්සේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාව, මහා සභාව නියෝජනය කරන අතර නිලවරණය කැඳවීමෙන් පසුව වුවද මවු සංගමය සතු වත්කම් ඔවුන් භාවිත කරන ආකාරය පසුගිය අවස්ථා කිහිපයකදීම දැකගත හැකි විය. නිලවරණ අවස්ථාවකදී බලයේ සිටිමින් ඊට තරග කරන කණ්ඩායමට වෛද්‍ය නිලධාරී සංගමය සතු දුරකථන ෆැක්ස් ආදි සෙසු පහසුකම් භාවිත කිරීමට ඉඩ ලැබීම සෙසු අපේක්ෂකයන්ට කෙරෙන පැහැදිලි අසාධාරණයකි.

නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නන්ගෙන් අති බහුතරය අත්දැකීම් අඩු කනිෂ්ඨ වෛද්‍යවරුන් වීම විශේෂත්වයකි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන්ව මැතිවරණ ක්‍රියාවලියට දායක කර ගැනීම වෙනුවෙන් කාර්යක්ෂම යන්ත්‍රණයක් නොමැති වීම පැහැදිලි ගැටලුවකි. බලයේ සිටින කණ්ඩායම ලෙස නිලවරණයට එක්වීම තුළ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ මොළ සේදීමේ ක්‍රියාවලිය පහසුවෙන් සිදු කළ හැකි අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ නිහඬතාව එය තවත් පහසු කරනු ලබයි. මේ තත්ත්වය නිසාම ඡන්ද ක්‍රමය විමධ්‍යගත කළ යුතු බවට අවස්ථා කිහිපයකදී ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් තවමත් එහි වෙනසක් සිදුව නොමැත. දැන් සිදු වනුයේ සමස්ත සාමාජිකත්වයේ 80%කට වැඩි පිරිසක් බැහැර කරවමින් නිලවරණය පැවැත්වීමය. මුළු සාමාජිකත්වයෙන් 20% කගේ කැමැත්ත අකැමැත්ත මත නිලධාරීන් තෝරා ගැනීමක් මේ වන විට සිදු වේ. නිලවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කමිටුවක් පත්කිරීම සිදු වනුයේ වාර්ෂික සමුළුවේදීය. සාමාන්‍යයෙන් ඊට සහභාගි වනුයේ දෙතුන් සියයක පිරිසකි. ඒ තත්ත්වය තුළ අපහසුවකින් තොරව මැතිවරණ කමිටුව සඳහා තම හිතවතුන්ව පත්කර ගැනීමේ හැකියාව සිටින පරිපාලනයට හිමි වේ.

තැපැල් ඡන්ද ක්‍රමයක් ද නිලවරණයේදී භාවිත කරනමුත් එය සැබැවින්ම අන්ත දූෂිත ක්‍රියාවලියකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය වඩාත් දූෂිත එකක් කරනුයේ තැපැල් ඡන්ද ක්‍රියාවලියයි. තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය සඳහා ලියාපදිංචි තැපෑල වෙනුවට මිල අධික පෞද්ගලික ලිපි ප්‍රවාහන ආයතනයන්හි සේවාව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ලබාගන්නා අතර තමන්ට හිතවත් කලාපීය ශාඛා වෙත ඒවා යැවූ පසු බොහෝ විට සිදු වනුයේ ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ඒවා තොග පිටින් පුරවා නැවත මවු සංගමයට එවීමය. ප්‍රතිඵල පිළිබඳ අවදානම් සහගත තත්ත්වයන් නිර්මාණය වුවහොත් ප්‍රයෝජනයට ගැන්මට එසේ සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද ඉල්ලීම් සිදු කරද්දී ප්‍රතිඵලය පිළිබඳව තක්සේරුවක් දැන ගැනීමේ හැකියාව තමන්ට හිතවත් ඡන්ද නිලධාරීන් හරහා කල් තියා දැනගැනීමේ හැකියාව ලැබෙන අතර එම “අනාගත අවදානම” සැලකිල්ලට ගනිමින් වැඩිදුර ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද පත්‍රිකා මවු සංගමයට එවීම බලයේ සිටින කණ්ඩායමට වාසියක් වනුයේ, “මහගෙදර” පාලනය ඇත්තේ ඔවුනට බැවිනි. එය ඡන්දයක අනිවාර්යයෙන්ම පැවැතිය යුතු රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. මහා දවාලේ සිදුවන මෙම ඡන්ද මංකොල්ලය ගැන බහුතර සාමාජිකයන් හොඳින් තොරතුරු දන්නා නමුත් ඒ පිළිබඳව කතා කිරීමට ඔවුන් මැලිකමක් දක්වයි. ඒ එසේ සිදුකර අනවශ්‍ය කරදරවල පැටලීමට මැලිකමක් දක්වන බැවිනි.

මෙම සියලු තත්ත්වයන් තුළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීම වැදගත්ය. නමුත් ඒ පිළිබඳව කිසිදු අදහසක් උනන්දුවක්, ප්‍රජාතන්ත්‍රවාදය, අයුක්තිය, අසාධාරණය පිළිබඳව නිතර කෑමොර දෙන පාලකයන්ට නොමැත. එසේ සිදුකර තම පැවැත්ම කෙරෙහි බලපාන්නා වූ අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැත. දූෂණයට මඟ පාදන මෙම නිලවරණ ක්‍රමය සිදු කිරීම සම්බන්ධයෙන් වැදගත් අදහස් කිහිපයක් පසුගිය කාලයේ ඉදිරිපත් විණි. විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම, සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවීම, වැනි යෝජනා හරහා මුදල් හා කාලය ඉතිරි කර ගනිමින් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායි අවසාන තීන්දුවක් ලබා ගත හැකි බවට ප්‍රබල මත සමාජගත වුවද ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයීමට වඩා වැඩි දෙයක් නොවුණි. මැතිවරණ ක්‍රියාවලිය තුළ නිල බලයෙන් හිමිව ඇති මෙම වාසිදායක තත්ත්වයට අමතරව මඩ ගැසීම කොන් කිරීම ආදි පහත් ක්‍රියා ද ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් අරභයා නිරතුරුවම සිදු වෙයි. තම දරුවාට හොඳ පාසලක් ලබා ගැනීම, ස්ථාන මාරු සිදුකර ගැනීම, දැනට සේවය සිදු කරන ස්ථානයේ තව දුරටත් රැඳී සිටීම, විනය පරීක්ෂණවලින් ගැලවීම යන මේ සියල්ල සඳහා මාවත වැටි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පරිපාලනය හරහා බැවින් එය ද නිලවරණයකදී මානසික අල්ලසක් ලෙස යොදා ගැනෙයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පරිපාලනයට තේරී පත්වීම පාඩුවක් නොවන්නේ ඒ සමඟ අතිරේක වරදාන වරප්‍රසාද රැසක් ගැටගැසී ඇති බැවිනි. 2014 වසරේදී වෛද්‍ය සංගම් මාෆියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එවකට සිටි කීර්තිමත් වෛද්‍යවරුන් කණ්ඩායමක් එක පෙරමුණකට පැමිණියේය. විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න, විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය එස්. එච්. කොළඹගේ, වෛද්‍ය උපුල් ගුණසේකර ඇතුළු ප්‍රමුඛ පෙළේ වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් ඊට ඇතුළත් විය. ඔවුන් අනාවරණය කළ තොරතුරු අනුව රජයේ වෛද්‍ය නිලධාරී සංගම් පරිපාලනය කෙතරම් දූෂිත එකක් ද යන්න මැනැවින් පෙනී ගියේය. 2013/2014 මූල්‍ය වර්ෂයේ සංගමයේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ දෙසීය පනහක් වෙද්දි එහි වියදම ඊට වඩා ලක්ෂ හතළිහකින් වැඩි වී තිබු අතර ඒ අතරින් වැඩිම මුදලක් විය පැහැදම් කර තිබුණේ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් හෝ පර්යේෂණ කටයුතු සඳහා නොවේ. ලක්ෂ එකසිය හැත්තෑවක මුදලක් වැය කර තිබුණේ, ග්‍රහලෝකාගාරය ඉදිරිපිට පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ ඇති මවු සංගම් කාර්යාලයේ විය පැහැදම් වෙනුවෙනි. එහි සේවය කරන අතළොස්සක් වූ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ පනස් දාහක මුදලක් වැය කරද්දී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ පනහකට වඩා මුදලක් වැය කර තිබිණි. සංගමයේ ඉහළ වගකීම් හොබවන ඇතැමුන්ගේ නම් ද එම වැටුප් ලේඛනයේ විය. සාමාජිකයන් වාර්ෂිකව ගෙවන සාමාජික මුදලින් නඩත්තු වන ඔවුන් හා මුට්ටිකාසිකාරයන් ලෙස අතීතයේ හැඳින්වූ වෘත්තිය සමිති නායකයන් අතර වෙනසක් නොමැති තරම්ය. අප ඉහත සඳහන් කළ මුදල් වර්ෂයට අදාළව සංගම් කාර්යාලයේ දුරකථන හා අන්තර්ජාල වියදම් වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑ එක් දහසක්; ගමන් වියදම් හා ප්‍රවාහන වියදම් සඳහා රුපියල් විසිදෙලක්ෂ හතළිස් නවදහස් හතළිස් එකක්, වාර්ෂික මහා සභා රැස්වීම්, කමිටු රැස්වීම්, ජනමාධ්‍ය සාකච්ඡා හා නිලවරණය වෙනුවෙන් රුපියල් විසිහත් ලක්ෂ විසිනව දහස් හත්සිය අසුඅටක් ශාඛා සමිති බැහැදැකීමේ සංචාර වෙනුවෙන් රුපියල් හාරලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ හතක මුදලක් වියපැහැදම් කර තිබිණි. ඒ සා ප්‍රබල වි‍වේචන සමාජගත වුවද, කීර්තිමත් වෛද්‍යවරුන් රැසක් සංගමයේ ක්‍රියාකාරිත්වය එළිපිට විවේචනය කළ ද මධ්‍යගතව පවතින නිලවරණ ක්‍රමය තුළ වැඩි අපහසුවකින් තොරව අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම තම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

2000 වසරේ සීමාවාසික පුහුණුවේ සිටියදී වෛද්‍ය සංගම් පරිපාලනයට පැමිණි අනුරුද්ධ පාදෙණිය විවිධ භූමිකා හොබවමින් රජයේ වෛද්‍ය සංගම් පරිපාලනය තුළ තවමත් නොදැවී සිටියි. ඔහු මේ වන විට තෙවතාවක් මෙහි සභාපති ධුරයට පත්ව තිබේ. ඉදිරියේ වුවද පවතින තත්ත්වය තුළ ඔහුව වෙනස් කිරීමට හැකිවෙතැයි සුළු හෝ අනුමානයක් තබාගත නොහැකි තරම්ය. වරක් ඇමැති එස්. බී. දිසානායක පාදෙණියගේ කැරැට්ටුව ප්‍රසිද්ධියේ හෙළි කළේ ඔහු හොරට විභාග සමත් වූ බව කියමිනි. ඒ අවස්ථාවේදී එස්. බී. ට එරෙහිව නඩු පැවරිය යුතු බවට වෛද්‍ය සංගම් විධායක සභාව යෝජනා කළ මුත් පාදෙණිය එසේ කළේ නැත. ඒ වෙනුවට අතරමැදි සාමදානයකට හෙතෙම ගමන් කළේය. අනතුරුව රාජපක්ෂ පාලනය සමඟ අවබෝධාත්මක ගනුදෙනුවකට ගිය පාදෙණිය පසුගිය ජනාධිපතිවරණයේදී පවා වෘත්තිය සංගම් නායකයකු ලෙස පෙනී සිටියේ කවුරුන් වෙනුවෙන් ද යන්න රහසක් නොවේ. අරලියගහ මන්දිරයේදී පැවැති දන්සල සඳහා තම සාමාජිකයන් නිරතුරුවම කැඳවාගෙන ගිය පාදෙණිය ඒ සමයෙහි වෛද්‍යවරුන්ගේ දරුවන්ව පාසල්වලට ඇතුළත් කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සව පැවැත්වූයේ ද රටේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙනි. ඒ තරමටම දෙදෙනා අතර පැවැති සහසම්බන්ධය දියුණු එකක් විය.

වෛද්‍යවරුන් වීම නිසා දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට විශේෂ අවස්ථාවක් හිමි නොවන මුත් ඔවුන් විසින් ඉටුකරන සේවයට ගරු කරමින් වසර හතරකට වරක් සිදුවන ස්ථාන මාරු නිසා ස්ථිර පදිංචිය පිළිබඳව මතු වන ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂ සහන ලබාදීමක් එහිදී සිදු වේ. නමුත් එහිදී පවා ඉහළම ප්‍රමුඛතාව හිමි වනුයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පරිපාලනය හොබවන වෛද්‍යවරුන්ගේ දරුවන්ටය. එතැනදීත් සිදු වනුයේ අවභාවිතාවකි.

දැන් මෙම ත්‍රස්තවාදයේ සැබෑ නිරුවත සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් පවතී. සැබැවින්ම වෘත්තිය සමිතියක් කටයුතු කළ යුත්තේ තමන් නියෝජනය කරන ප්‍රජාවට බලපාන්නා වූ ගැටලු ප්‍රශ්න විසඳීම වෙනුවෙනි. නමුත් ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් පරිපාලනය නම් දිගින් දිගටම කරනුයේ තම පෞද්ගලික දුෂ්ට අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වීමය. එබැවින් මේ කැත “දේශපාලනය” ජනතාව තේරුම් ගැනීම වැදගත්ය. රටක් ලෙස අප මෙතරම් ශෝචනීය ඉරණමකට ගොදුරුවී ඇත්තේ තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් සමාජ වගකීම් දරන්නන් නිසියාකාරව ඉටු නොකිරීම නිසාය. අන්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමට සමගාමීව තමන් වෙත පැවැරෙන්නා වූ වගකීම් හා කාර්යභාරයට සාධාරණයක් ඉටු කරන විට නිසැකවම මේ සමාජය මීට වඩා යහපත් එකක් වනු ඇත. වෛද්‍යවරුනි, මේ ඔබේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලයයි.

17 comments:

  1. /වෛද්‍යවරුනි, මේ ඔබේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලයයි/
    හීනෙන් තමයි ඉතිං :D

    ReplyDelete
  2. මා මේ නිකමට අහන්නේ.

    "වසර හය හතක සිට එහි බරපතළ ගුණාත්මක කඩා වැටීමක් දක්නට ලැබේ. "

    මේ කියන කාලයට පෙර කල ගුණාත්මක දේවල් මොනවාද? මම මතක තරමට පාදෙණිය ආ පසු රට පුරා පැවැත්වූ වර්ජන නම් සෑහෙන පමන අඩු වී ගියේය.

    "වෛද්‍යවරුන්ට සමාජය සම්බන්ධයෙන් ඇති වගකීම ඉහළ වනුයේ, වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සෑම දොස්තරවරයකු වෙනුවෙන්ම, මේ රටේ බදු ගෙවන ජනතාව, සෑහෙන පිරිවැයක් දරන බැවිනි. නිදහස් අධ්‍යාපනය සඳහා වැය කරනුයේ මේ රටේ ජනතාවගේ බදු මුදල්ය. නි‍ෙවසක් නොමැති පුද්ගලයන්ට නිවාස තනා දීමට වගා කටයුතු සඳහා වාරිමාර්ග ක්‍රම ඇති කිරීමට ආදි සෙසු අවශ්‍යතා සඳහා ඇති මුදල් නිදහස් අධ්‍යාපනයට යොදවනු ලබන්නේ නිශ්චිත අරමුණු පෙරදැරිවය. ඒ සියල්ල අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. වෛද්‍යවරුන්ගේ සේවය සමාජයට අත්‍යවශ්‍ය එකක් බැවින්, එය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි තරම්ය. නමුත් ගැටලුව වී ඇත්තේ, එම ආයෝජනයට සරිලන තරම් ප්‍රතිලාභ පෙරළා සමාජයට නොලැබීමය. "

    එතකොට ලංකාවේ තිබෙන අනිත් කලා, වාණිජ ආදී උපාධි පාඨමාලා වලින් ලැබී ඇති ප්‍රතිලාභය කුමක්ද? උපාධිය ගත් විට රට අත් හැර යාම අතින් වැඩිම වෛද්‍ය උපාධිදාරීන්දැයි සැක සහිතය (සැක සහිත කෙනෙකුට එංජිනේරු, තොරතුරු තාක්ෂන ආදී උපාධි වසර 5 කලින් ගත් අයගෙන් කී දෙනෙක් ලංකාව තුල සිටීදැයි බැලිය හැක. සැබෑ රැකියා වෙළඳපොලට ගැලපෙන් උපාධි ගත් අනිත් අය ගැනත් කතාව එසේමය. ). වෛද්‍යවරුන් කල දෙය ලෙසට නම් ලංකාවේ රටේ අදායමට නොගැලපෙන ඉහල තත්වයේ ඇති සෞඛ්‍ය දර්ශක පෙන්විය හැක.

    GMOA නිලවරණය ගැන මම වැඩි පුර නොදනිතත් කියන්නට ඇත්තේ වෛද්‍යවරුන්ට වැඩි දෙනෙක්ට අවශ්‍යතාවයක් ඇතිනම් පාදෙනිය හැර වෙන කෙනෙක් පත් කල හැකි බවයි. මන්දයත් නිලවරණය ඇත්තේ කොළඹ මිස නිව්යෝක් වල නොවන බැවිනි.

    සෑබෑවටම පාදෙනිය පාලනය ඔතරම් දුර්ධාන්තනම් දිනක් නිවාඩු දමා පැය කිහිපයක් ගමන් කර චන්දය දැමිය හැක. සාමාන්‍ය ඡන්ද වල මෙය කරනා වෛද්‍යවරුන්ට තමන්ගේ වෘත්තීය සමීතිය "මේ අභාග්‍ය සම්පන්න ඉරණමෙන්" ගලවා ගන්නට කොළඹ ආ නොහැකිය යන්න මටනම් විශ්වාස කල නොහැක. සමහරවිට මෙයට හේතුව බොහෝ වෛද්‍යවරුන්ට මේ ගැන ඇති indifference එකක් හෝ දැන් ඇති පාලනය ගැන සෑහිමට පත්වීමක් විය හැක.



    ReplyDelete
    Replies
    1. මටත් පේන හැටියට, පාදෙණිය තමන්ගේ සංගමයේ ගෝත්‍රික අදහස් හොඳින් නියෝජනය කරනවා. එයා වෙනුවට වෙන කෙනෙක් පත් කරගන්න කවුරුවත් කලබල වෙන්නේ නැත්තේ ඒකයි.

      Delete
    2. මේ ලොකයේ මිනිසුන්ගෙන් වැඩි ප්‍රමානයක් ( බටහිර රටවල්ද ඇතුලුව ) " ගෝත්‍රිකයි ". තමන්ගේ අයිතිවාසිකම් තර්ජනයට ලක් වූ අය වඩා " ගෝත්‍රිකයි ".

      වෘත්තීය සමීතියක නායකයන් කටයුතු කල යුත්තේ ඒ සාමාජිකයන්ගේ වැඩි දියුනුව මිස වෙන මොන අලයක් වෙනුවෙන්ද?

      Delete
    3. //මටත් පේන හැටියට, පාදෙණිය තමන්ගේ සංගමයේ ගෝත්‍රික අදහස් හොඳින් නියෝජනය කරනවා. එයා වෙනුවට වෙන කෙනෙක් පත් කරගන්න කවුරුවත් කලබල වෙන්නේ නැත්තේ ඒකයි.//

      මට හිතෙන්නෙත් ඒ විදියට තමයි.සමස්ත සාමාජිකත්වයේ 80% කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ නිලවරණයට සහාභාගි වෙන්නේ නැතිනම් සංගමයේ නිත්‍යනුකුල භාවය ගැන ගැටළුවක් පැනනගින්නේ නැතිද ?අර 80%ට එකතු වෙලා වෙනත් සංගමයක් පිහිටුවා ගන්න නොහැකිද ?

      Delete
  3. පාදෙනිය සමඟ මේ ආන්ඩුවට මෙන්ම කලින් තිබූ ආන්ඩුවටද තිබූ ප්‍රශ්නය අව්ශ්‍ය තරම් හමන්ට හීලෑ නොවීම බව මඟේ හැඟීමයි.

    මා අසා ඇති ආකාරයට පාදෙනිය ලංකාවේ පලමු ලමා ස්නා‍යු විශේෂඥ වෛද්‍යවරයා විය (ලමා ස්නා‍යු වෛද්‍ය ක්ශේත්‍රය ලෝකයේ කාලය සිට ඇත ). මේ ක්ෂේත්‍රය ලංකාවේ මීට කලින් නොතිබීම තුල ඔහුව පරීක්ෂා කිරීමේ ගැටලුවක් තිබී ඇත.කෙසේ නමුත් මේ "සුදුසුකම්" නැති කතාව කීවේ ඒ වන විට GMOA සමඟ වලියක දමාගෙන සිටි ඇමතිවරයෙක් වීමත් ඒ ඇමතිවරයා SB දිසානයක වීමත් නිසා මටනම් ඔය කතාව ගැන එතරම් විශ්වාසයක් නැත.

    "විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න, විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය එස්. එච්. කොළඹගේ, වෛද්‍ය උපුල් ගුණසේකර ඇතුළු ප්‍රමුඛ පෙළේ වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් ඊට ඇතුළත් විය."

    බලයේ සිටින පාර්ශවයට දූශන චෝදනා එල්ල කිරීම මම හිතන හැටියට ලංකාවේ පමනක් නොව ඕනෑම රටක තිබෙන political trick එකකි. දැන මේ කන්ඩායම පැමින වෙනස් කරන්නට ගිය ප්‍රතිපත්ති මොනවාදැයි කීවොත් වඩා හොඳ කව්දැයි හිතා ගැනීමට හැකි වනු ඇත. එසේම මා දන්නා තරමට වෛද්‍ය සුනිල් පෙරේරා මහතා (ඒ කාලයේ ) සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල සමඟ ඇති වූ හිත් අමනාපයක් නිසා රජයේ සේවයෙන් අස් වී පුද්ගලික සේවයට ගියේය.

    සාමන්‍ය මිනිහෙක් ලෙස පාදෙනියගේ ඕනෑ තරම් වැරදි ඇති. නමුත් රජය හිතුමතේ ඇති කල රජරට වෛද්‍ය පීඨයට අවශ්‍ය කථිකාචාර්යවරුන් රජයෙන් නොලැබෙන විට කථිකාචාර්යවරුන් සොයා දීමටත්, තමන්ට PP කිරීමට හෝ විවේකයෙන් ගත කල හැකි කාලය වැය කරමින් සෑම සතියකම අනුරාධපුරයට පැමින සිසුන්ට ඉගැන්වීමත් ගැන නම් මම ඔහුට ගෞරව කරමි.

    අවසන් වශයෙන් කිව යුත්තේ GMOA රජයේ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමීතියක් මිස, සමාජ සාධාරනයක් සඳහා වන ව්‍යාපාරයක් නොවේ. රාජප්ක්ෂ කාලයේ පමනක් නොවේ මේ කාලයේත් එය එසේමයි. දැනුත් දේශපාලන සටන් පාඨ වන චන්ද කල් දැමීම හෝ ජීවන මිල ඉහල යාම හෝ දෙමල බෙදුවාදය ගැන GMOA ප්‍රකාශ නිකුත් නොකරයි. මහජන සෞඛ්‍ය හෝ රජයේ වෛද්‍යවරුන්ගේ රැකියා ගැන මිස එය වෙන දේවල් ගැන GMOA කතා කරනවා අඩුයි.

    අනිත් අතට වෘත්තීය සමීතියක් අනවශ්‍ය ලෙස දේශපාලනය සම්බන්ධ වූ විට එහි මූලික අරමුනු අම්තක වෙනවා. හොඳම උදාහරනය ලෙස FUTA ගත හැකියි. මේ රජයේ අනුගාමිකයන්ට, FUTA හා එහි ක්‍රියාකාරීත්වය ඉතාමත් ප්‍රියජනක උනාට වැටුප් වැඩි කිරීම (6% සටන. මෙය කිසිවිටෙකත් 6% සටනක් නොවේ. ) ලබා ගැනීමෙන් පසු අචාර්යවරුන්ගේ වෙනත් ගැටලු සාකච්චා නොකරන බවට එයට චෝදනා එල්ල උනා. දේශපාලනයට සම්බන්ධ බවට චෝදනා නිසා එහි නිලධාරී මන්ඩලයම අස් වූවා දැකිය හැකියි.

    රාජපක්ෂ බලයෙන් පහ කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස දැකිවීමට කල දේශපාලන උපක්‍රමය තුල "පුරවැසියා", "යහපාලනය" වැනි වචන හඳුන්වා දෙන ලදි. මේ "දේශපාලන ලනුව" ඕනෑවට වඩා චන්දදායකයින් කෑ බව මට හොඳින්ම පෙනී යන කාරනයකි. ( මටනම් "යහපාලනය" සීතාම්බර සලුවකි. "පුරවැසියා" යන්න ඔටුන්නක් සේ සැරසූ අං තට්ටුවකි. ලණුව කෑ අය තවමත් මින් සැරසී බෝල් රූම් නැටුම් නටන්නට යති ). මේ ලිපිය ලියූ තැනැත්තාත් මේ කාන්ඩයේ හෝ ඊට ආසන්නයේ නිසා චන්දයේදී තමන් සමඟ නොසිටි GMOA සමඟ අමනාපයක් තිබෙන බව පෙනේ.










    ReplyDelete
    Replies
    1. "අවසන් වශයෙන් කිව යුත්තේ GMOA රජයේ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමීතියක් මිස, සමාජ සාධාරනයක් සඳහා වන ව්‍යාපාරයක් නොවේ."

      එහෙනම්, GMOA එක ECTA ගිවිසුමට විරුද්ධ වෙන්නේ මොන පදනමින්ද? තමන්ගේ 'මීටරය' කැඩෙන එක අඩු වීමේ පදනමින් වෙන්න ඇති!

      Delete
    2. මෙය සෞඛ්‍ය ක්ශේත්‍රයට අදාල නිසා වෙන්න ඇති.

      ඉන්දියාවෙන් වෛද්‍යවරු ආවා කියා දොස්තරලගේ මීටරය කැඩෙන්නේ නැහැ එය නිසි ප්‍රමිතිය බලා කරනවනම්. ඉන්දියාවෙත් වෛද්‍යවරු හිඟයි වගේම ලංකාවට වඩා මුදල් හොයන්න පුලුවන්.

      නමුත් අනෙකුත් රෝහල් කර්ය මන්ඩල (පුද්ගලික රෝහල් වල හෙදි, ලැබ් ටෙක්, ෆාර්මසිස්ට්, ඇටෙන්ඩන්ට් ආදි ) වලටනම් කෙල වෙයි.

      "මහජන සෞඛ්‍ය හෝ රජයේ වෛද්‍යවරුන්ගේ රැකියා ගැන මිස එය වෙන දේවල් ගැන GMOA කතා කරනවා අඩුයි." කියා තිබෙන්නේ ඒ නිසා.

      Delete
  4. "පාසල් අවුල කුමක්ද?

    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම ගැන ප්‍රශ්න කීපයක් මේ දවස්වල උණුසුම් මාතෘකා. ඇත්තටම මේ ප්‍රශ්නය මොකක්ද? මේ ප්‍රශ්නය ගැන කෑ ගහන ඇරියස්කාරයන්ගෙන් 1% වත් මේ ප්‍රශ්නයේ හරි ස්වභාවය දන්නේ නෑ. ඇත්තෙන්ම ප්‍රශ්නයක් කිව්වට මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්.

    පළමු ප්‍රශ්නය තමයි පළමුවැනි වසරට සිසුන් ඇතුළු කර ගැනීම. දෙවැනි ප්‍රශ්නය තමයි එක වසරෙන් ඉහළ පන්ති වලට බඳවා ගැනීම්.

    මුලින්ම පළමු වසරට බඳවා ගැනීම් ගැන බලමු. යම් පාසලක පළමු වසර පුරප්පාඩු පුරවන්නේ මේ ආකරයට.

    පදිංචිය අනුව 50%
    ආදි සිසු පදනම 25%
    සහෝදර පදනම 15%
    අධ්‍යාපන අමාත්‍යාංශ පදනම 5%
    ස්ථානමාරු පදනම 4%
    විදේශ පදනම 1%

    පදිංචිය අනුව යම් පාසලක් ලැබීමට නම් එම පාසලට ඇති දුර සහ ප්‍රදේශයේ වාසය කළ කාලය බලපානවා. අදාල චක්‍රලේඛය අනුව ලකුණු 100න් දෙන ලකුණු අනුව තමයි බඳවා ගැනීම් තීරණය වෙන්නේ. වෛද්‍යවරුන්ට ඇති ප්‍රශ්නය වෙන්නේ එක ස්ථානයක අවුරුදු 5ක් සේවය කිරීමට නොහැකි වීම. මොකද ස්ථාන මාරු අවුරුදු 4න් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය යතතේ එකම පාසලකට තරඟ කරන වෛද්‍යවරයෙක්ගේ දරුවකුට ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 80 වෙද්දී වෛද්‍යවරයකු නොවන අයෙකුගේ දරුවකුට එම ප්‍රමාණය 100ක් වෙනවා.

    අප පෙනී සිටින්නේ මෙන්න මේ අසාධාරණය වෙනුවෙනුයි. ඒ නිසා ජාතික පාසල් වලට අප දරුවන් ඇතුළු කරන විට ලකුණු 80ක උපරිමයත්, අනෙක් අයට 100ක උපරිමයත් ලැබීම යන කාරණය තුළයි සටන පවතින්නේ. එක්කෝ වෛද්‍යවරුන් ගේ දරුවන්ගේ ලකුණු ගණන 1.25න් ගුණ කොට සැලකිය යුතු වන පරිදි චක්‍රලේඛය වෙනස් කළ යුතුයි. එසේ නැතිනම්, වෙනත් පදනමක් ඒ සඳහා ලබා දිය යුතුයි.

    අධ්‍යාපන සේවා වල සේවකයින්, තමන්ට හැන්දෙන් බෙදා ගනිමින් 5%ක් ඔවුන් සඳහා වෙන් කර ඇති අතර අනික් සියළුම දෙනා සඳහා වෙන්කර ඇත්තේ 4%කි. දැනට ප්‍රශ්නය උද්ගතව ඇත්තේ මේ 4% ස්ථාන වලටත් බත්ගොට්ටන්ගේ ළමයින් රිංගවා ගැනීම තුළින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සිදුවී ඇති අසාධාරණයයි.

    අප ඉල්ලන්නේ වෛද්‍ය වරුන් සඳහා වෙනම කෝටාවකි. දැනට අධ්‍යාපන සේවයට, විනිසුරුවරුන්ට සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිළධාරීන්ට ලබා දෙන කෝටාව අපටත් ලබාදෙන ලෙසයි. එනම් 9%, සේවක අනුපාතයට බෙදා දෙන ලෙසයි. වෛද්‍යවරුන් 24000ක් සිටීම තුළ ඔවුන්ට මේ කෝටාවෙන් විශාල කොටසක් හිමිවනු ඇත. නමුත් මහ පොළොවේ තත්වය එයයි.

    දෙවැනි ප්‍රශ්නය වන්නේ විදෙස්ගත අයගේ දරුවන් ඇතුළු ක්‍රීමයි. මෙදිදී විදෙස්ගත සියළු දෙනාට එම කෝටාව හිමි වෙන්නේ නැත. විදෙස්ගතවන්නේ රජයේ අවශ්‍යතාවයට නම් ඔවුන් පමණක් මෙහිදී සැලකේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවේ එක කොටසක් විදේශ වලදී සිදු වන අතර, එය කෙරෙනුයේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. නමුත් තමතමන්ගේ බත්ගොට්ටන් රිංගවා ගත් පඩු හෙළුව වසා ගැනීමට මොවුන් කියන්නේ විදේශ පුහුණුව යනු රජයේ අවශ්‍යතාවයක් නොවන බවයි. කටාව එය නම්, එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිලා කතා කරගත යුතු තත්ත්වයක් වන අතර අනාගත විශේෂඥ පුහුණුවෙන් විදෙස් පුහුණුව කපා දැමීමට හැකිවනු ඇත. අකිල විරාජ්ට "අවු ඔෆ් හිස් ආර්ස්" වර්ගයේ තීරණ ගැනීමට නොහැකිය."-

    යාපනය රෝහලේ වකුගඩු දොස්තර වන රංග මිගාර විරක්කොඩි ( බ්ලොග් ලෝකයේ නම් බඩා මාමා ) විසින් ලියන ලද පෝස්තුවක කොටසකි.

    ReplyDelete
  5. GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන වෛද්‍යවරයෙකුගේ ඇසකින්

    මම 1995 - 2009 අතර කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු වූයෙමි. මේ කාලය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සාමූහිකත්වය ගිලිහෙන්නට නොදී සහාය දුනිමි. එසේම 1997-1999 යන කාල වල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මීගමුව රෝහල් ශාකාවේ නිලයක් ද දැරුවෙමි. එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි. මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි.

    මගේ අදහස අනුව GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ලංකාවේ තිබෙන බලවත් වෘත්තීය සමිතියකි. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ කේවල් කිරීමේ හැකියාව ඉහලය​. මේ බලය භාවිතා කල යුත්තේ වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා මෙන්ම රෝහල් වල ගුණාත්මක භාවය ඉහල දැමීම සඳහා රෝගියා කේන්ද්‍ර කරගත් ක්‍රියා මාර්ගයකිනි.

    Read More:
    http://transyl2014.blogspot.ca/2016/02/gmoa.html

    ReplyDelete
  6. මොන මගුලකින් හරි මේ යුනියන් එක දෙකට කඩන්න ඕනේ. එතකොට ඔය පාදෙනියලගේ ඔක්කොම කෙලි ඉවරයි. සයිටම් එවුන් ලවා අලුත් යුනියන් එකක් හැදුවනම් ආරම්භයක් හැටියට වැඩේ හරියනවා.

    ReplyDelete
    Replies
    1. දැනටමත් විශේෂඥ වෛද්‍යවරු 800 එක් වී සංගමයක් හදා ගෙන ඇති බව නේවිල් පෙරේරා කීවා. නමුත් මා දන්නා තරමින් මේ ගැටලුත් ඇති වී තිබෙන්නේ පාදෙනිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් රකිනවා මදිය යන චෝදනාව මිස වෙන එකක් නොවේ.

      අනිත් කාරනය සංගම් එකක් තිබුනත් ඊට වඩා වැඩිය තිබුනත් නිසි වරප්‍රසාද හෝ වැඩක් කිරීමට පහසුකම් නැතිනම් නැතිනම් ඩොස්තරලා රට හැර යාම වලකන්න බෑ.

      මෙය වෛද්‍ය වෘත්තියට පමනක් නොවේ රැකියා වෙලඳපොලට ගැලපෙන උපාධියක් හෝ සුදුසුකම් ඇති ඕනෑම වෘත්තියකට අදාලයි. මේ හේතු නිසා වෛද්‍ය නොවන උපාධිදාරීන් විශාල ගනනක් රට හැර ගිහින් තියනවා වගේම ඉදිරියටත් යයි.

      මෙයට විසඳුමක් ලෙස මුදල් ගෙවා උපාධි ලබා දෙන්න යෝජනා කරනවානම් කිව යුත්තේ රටට ඇති නයගැති හැඟීම අඩු වීම නිසා (නිසි වරප්‍රසාද හෝ වැඩක් කිරීමට පහසුකම් වැඩි උනේ නැතිනම් ) දැනටත් වඩා විශාල ගනනක් යන්න යයි.

      නිසි වරප්‍රසාද හෝ වැඩක් කිරීමට පහසුකම් කියන්නේ වෛද්‍යවරුන්ට පමනක් බලපාන සාධකයක් නොවේ. උදාහරන ලෙස මම දුරින් දන්නා එක් ඉංජිනේරු අචාර්ය උපාධි අපේක්ශිකාවක් වාහන බලපත්‍ර අහිමි වීම දැන ගත් විට ආපහු ලංකාවට පැමිනීමේ ආසාව අඩු කර ගත්තා.

      Delete
  7. ඔහේට වෙන ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ලියපු එකක් නේද මේ? මම නම් බාගයයි කියෙව්වේ.

      Delete
  8. දැන් තමයි හොඳම වෙලාව විකල්ප වෛද්‍ය ක්‍රම වලට යොමු වීමට.... සිංහල වෙදකම, ඒ වගේම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වගේ 100% ක්ම අතුරු ආබාධ වලින් තොර ප්‍රතිකාර වලට යොමුවීමෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.....

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලන්ගෙ ලමයින්ටත් ජනප්‍රිය පාසල් ඕනෙවුනොත්?

      Delete
    2. මං හිතන්නේ ඕනි උනත් දෙන්න වෙන එකක් නෑ pra....
      මොකද හැමෝම පුද්ගලික ප්‍රතිකාරනෙ කරන්නෙ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...