Wednesday, February 22, 2017

485. The Story Of My Marriage - 36 - A Chicken Eating & Beer Drinking Tamil Brahmin Girl……

චෙන්නයිහී තන්දූරි කුකුළුමස් සඳහා  සුප්‍රසිද්ධ
ඩෙල්හි ධාබා අවන්හල -  Image from Google Images

අනන්‍යා ඇගේ ත්‍රිරෝද රියෙහි කවුලුවෙන් හිස පිටතට රුවා මා සමඟ කතා කලාය. "මම මල්ලිගෙ ටියුෂන් වැඩේ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරන්නම් ක්‍රිෂ්, සතියකට දෙපාරක් පහට හොඳද?"

මම උගුරෙන් අව්‍යාක්ත රාවයක් නැංවීමි. "උදේ පහට? ෂිට්..මොකක්ද අනේ ඔය පහේ වෙලාව? චෙන්නයිවල මිනිස්සු මොන කෙහෙල්මලක් කරන්ට මේ හැටි උදේම නැඟිටිනවද කියල දෙයියො තමයි දන්නෙ.."

"හලෝ..මේ ….උදේ පාන්දර තමයි ඉගෙන ගන්න හොඳම වෙලාව…..ඔහේ ඒක දන්නෙ නැද්ද?" එසේ පවසා මට සුරත වනා සමුගෙන ඇය නික්ම ගියාය.

අනන්‍යාට මගේ නිවස්නයට පැමිණිය හැකිවූයේ තවත් සති දෙකකට පසුව එළඹුණු ශනිදාවේදීය. පළමු සතිඅන්තයේදී අනන්‍යාගේ මෑණියන් කිසියම් රෝග තත්වයකින් පෙළෙමින් සයනගතව හුන් හෙයින් ආහාර පිළියෙල කිරීම අනන්‍යාහට පැවරිණි. එහෙත් අවාසනාවන්ත ලෙස ඇයගේ සූපවේදී කුසලතාවය අහ්මදබාද්හි මගේ කුටියෙහිදී නටන ජලයෙහි බහා තබා මැගී නූඩ්ල්ස් පිළියෙල කිරීමට සහ රෙදි මදින ස්ත්‍රික්කයක් භාවිතා කොට පපාඩ් පිළියෙල කිරීමට සීමා වූ බැවින් (එසේය දයාබර පාඨකය එසේ කල හැකිබවට මම සහතික වන්නෙමි) විය යුතු ලෙසම ඇගේ ආහාර පිළියෙල කිරීම ඛේදවාචකයක්ම විය.

(පරිවර්තකගේ සටහන - පපාඩ් යනු අපට සුපුරුදු පපඩම් වලට බොහෝසේ සමාන උඳු සහ තිරිඟු පිටි මිශ්‍ර කොට තැනූ ආහාරයකි. දකුණු ඉන්දියාවේ පපාඩ් ප්‍රධාන ආහාරය සමඟ ගන්නා අතුරු ආහාරයක් හෝ සුළු කෑමක් (Snack) ලෙස භාවිතා වේ. පපාඩ් බොහෝවිට රත්වූ තැටියක් මත අතුරා පුළුස්සා ගනු ලැබේ. රචකයා මෙහිදී ස්ත්‍රික්ක භාවිතා කොට පපාඩ් පිළියෙල කර ගැනීම පිලිබඳව වෙසෙසින් සඳහන් කරනුයේ දකුණු ඉන්දියානුවන්ගේ මුදල් වියදම්කිරීමේ මැළිකම උපහාසයට ලක්කිරීමට විය යුතුය. හුදෙක් නවාතැන් පමණක් සපයන හෝටල් කාමරයක නතරවූ කල්හි ආහාර සඳහා වැයවන මුදල අවම කොට ගැනීමේ අටියෙන් දකුණු ඉන්දියානුවන් විශේෂයෙන් කේරළයින් පිටි සහ උණුවතුර මිශ්‍ර කොට රොටී තනා කාමරයෙහි ඇති ඉස්ත්‍රික්කය භාවිතා කොට රොටි පුළුස්සා ගන්නා බව බොහෝ විදේශිකයින් අතර ප්‍රචලිත අන්දරයකි. එහි සත්‍යාසත්‍යභාවය කෙසේ වුවද හෝටල් කාමරයට නොමිලයේ සපයන ස්ත්‍රික්කය වෙනුවට නොමිලයේ අවශ්‍ය ඇඳුම් මැද දීමේ සේවයක් පවත්වාගෙන යන හෝටල් රාශියක් මම දනිමි.)

හදිසියේ අනන්‍යාගේ නිවසට පැමිණි ශෝභා නැන්දා අනන්‍යා පිළියෙල කල ආහාර වේල රස බලා කොපමණ චිත්ත ප්‍රීතියට පත්වූයේද යත් රෝගාතුරව සයනයෙහි වැතිරහුන් අනන්‍යාගේ මෑණියන් අසලට සාලයෙන් සුවපහසු අසුනක් ගෙන ගොස් තබා එහි දිගඇදී අසුන්ගෙන බ්‍රාහ්මණ වංශික මෑණිවරුන් තම දියණියන් කොපමණ උපාධි ලබා ගත්තද ඔවුනට ප්‍රණීත ආහාර වේලක් පිළියෙල කරන අන්දම අනිවාර්යයෙන් ඉගැන්වියයුතු බවට හෝරාවකට අධික කාලයක් මුලුල්ලේ නොමිලයේ දේශනයක් පැවැත්වූවාය.

දේශනයෙන් පසු අනන්‍යාගේ මෑණියන් සුවය ලබනතෙක් ආහාර පිළියෙල කීරිමේ කාර්යභාරය ශෝභා නැන්දා ස්වේච්ඡාවෙන්ම පවරාගත් අතර ඊට සරිලන වන්දියක් හා/හෝ ප්‍රති උපකාරයක් වශයෙන් ඊලඟ සති අන්තයේ ඇය සාරි සඳහා සුප්‍රසිද්ධ ටී නගර් කරා කැඳවා ගොස් ඇය තෝරාගත් සාරි කිහිපයකට මුදල් ගෙවා ඇයට පරිත්‍යාග කිරීමට අනන්‍යාට සිදුවිය.

මේ අතර අනන්‍යා හමුවන්නට අවස්ථාවක් නොලැබුණු ඒ කාල සීමාව තුල මම වසර අටකට පමණ පෙර අයි.අයි.ටී. ප්‍රවේශ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට මට විශාල සහයක් ලබාදුන් බ්‍රිලියන්ට් ටියුටෝරියල්ස් ආයතනය වෙත ගොස් ඔවුන් විසින් නිකුත් කල නවතම උපකාරක පාඩම් මාලා පොත් කට්ටලයක් මිළදී ගතිමි.

රාත්‍රි කාලයෙහි මගේ සයනයෙහි දිගාවී එම පාඩම් මාලා පොත් කට්ටලය පෙරළා බැලූ මම එහි වූ විෂයකරුණු කරුණු වටහාගෙන ප්‍රවේශ පරීක්ෂණයෙන් සමත්වීම මවිසින් එම පරීක්ෂණයට මුහුණ දුන් දිනවලමෙන් තවමත් ඉතා අසීරු බව වටහා ගතිමි. සත්‍යය එළෙසින්ම පවසන්නේනම් අයි.අයි.ටී. ප්‍රවේශ පරීක්ෂණයෙන් මම පළමුවරම සමත් වීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මගේ දෙමව්පියන්ටය. විශේෂයෙන්ම මපියාණන්ටය. ඔහු එකල්හි කොපමණ චණ්ඩ ලෙස මගේ මෑණියන් හා අඩ දබර වූයේද යත් බොහෝ දිනවල සම්පූර්ණ සන්ධ්‍යා සමය මම ගත කලේ මපියාන්ගේ මුරගෑම් නෑසෙන ලෙස මගේ කුටියේ දොරගුලුලා   සවන් හොඳින් වැසෙන පරිදි හිස වටා තුවායක් වැන්නක් ඔතාගෙන පාඩම් කිරීමෙනි.

කෙසේ හෝ දිනපතා රාත්‍රි කාලයෙහි අවම වශයෙන් හෝරාවක් හෝ දෙකක්වන් කාලයක් හෝ වැයකරමින් පාඩම් මාලාවන් අධ්‍යයනය කොට මම මගේ පළමු පංතිය වශයෙන් අනන්‍යාගේ මළනුවන්හට රසායන විද්‍යාව ඉගැන්වීමට සූදානම් වූයෙමි.

එලෙසම අනන්‍යාගේ කොන්දේසි සපුරාලීම උදෙසා අවුලකින් තොරව කුකුල්මස් සහ බීර මිළදී ගතහැක්කේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා මම අප නිවහන අසළම වෙසෙනා මා මිතුරු සර්දාරීවරයා හමුවන්නටද එක් ශනිදාවක ගියෙමි. 

(චෙන්නයි නගරයට මා පැමිණි පළමු දිනයෙහිදී ගුවන් තොටුපොළේ සිට මා පැමිණි ත්‍රිරෝද රථයෙහි රියදුරා සහ ඔහුට සහයට පැමිණි සගයින් සමඟ ඇතිවූ මත භේදයේදී මගේ සහයට පැමිණි අසල්වැසි රත්පැහැ ජටාවක් පැළඳිප්‍රාංශු දේහධාරී සර්දාරිවර්යා පිළිබඳව ඔබට මතක ඇතැයි මම උපකල්පනය කරන්නෙමි මා දයාබර පාඨකය.......)

"මොකටද කුකුළෙකුයි බියරුයි? කව්ද එන්නෙ? ඔහෙගෙ පන්ජාබ් යාලුවො කට්ටියක්ද?"

"නෑ..නෑ..මේ මම වැඩ කරන බැංකුවෙ ස්ටාෆ් එකේ දෙතුන් දෙනෙක්" සර්දාරීවරයාද ආරාධනාවක් රහිතවම එදින පැමිණීම වළක්වනු අටියෙන් මම වහා පැවසුවෙමි.

"හරි….හරි…. ඒත් එකක් ...ඔව්ව ලිෆ්ට් එකේ උඩට අරගෙන යනකොට බොහොම පරිස්සමින් හොඳද? කවුරුහරි දැක්කොත් එහෙම පහුවදාම දොට්ට දායි. ඔය බිල්ඩිමේ අයිතිකාරය සුරා සූදු සහ මස් මාංශවලින් පූර්ණවශයෙන් තොරේ බොහොම ධාර්මික භවතෙක්" සර්දාරිවරයා හඬනඟා සිනාසෙමින් පැවසීය.

සර්දාර්වරයාගේ උපදෙස් පරිදි මම මගේ නවාතැනෙහි සිට කිලෝමීටරයක් පමණ නුදුරින් වූ ඩෙල්හි ධාබා අවන්හලින් තන්දූරි කුකුළුමස් සෑහෙන පමණ මිළයට ගතිමි. ඉන් නික්මෙන ඊටම ආවේණික සුගන්ධය (හෝ ඔබ මාංශ විරෝධියෙකුවේනම් ඔබගේ ආකල්ප මත එය ගන්ධය හෝ විය හැක) සඟවාලනු වස් මම පොලිතීන් කවර තුනක පළහන ලද කුකුළු මස් එතූයෙමි.

තන්දූරි කුකුළුමස් - Image from Wikipedia

රජයේ අනුමත මත්පැන් හලින් බීර මිලදී ගැනීමෙහිදී අනපේක්ෂිත ගැටළුවක් මතුවූයේය. ඉන් මත්පැන් මිලදී ගැනීමට නම් ඔබ අවම වශයෙන් විසිපස් හැවිරිදි හෝ විය යුතුය. 

"මේ ඔයාට වයස විසිපහක් පේන්නෙ නෑනෙ. ඇත්තටම ඔයාට විසිපහට වැඩිද? නැද්ද? අපිට ඇත්ත කියන්න.." මත්පැන්හල් භාරකරුවා සැකමුසුව විමසීය. 

"ඇත්තම කිව්වොත් මට විසිපහක් නම් නෑ. ඒත් මේ හෙට අනිද්දම විසි පහ පිරෙනව. ඇත්තමයි."

"ඇත්ත කිව්වට බොහොම ස්තූතියි. ඒත් එහෙමනම් ඒ එක්කම බොහොම කණගාටුයි මට ඔයාට මත්පැන් දෙන්න බෑ"

"මේ....මෙහෙම කරමු මම එක බෝතලේක වැඩිපුර රුපියල් දහය ගානෙ දෙන්නම්. එහෙම කලහමවත් මට විසිපහට වැඩියි කියල සළකන්න බැරිද?"

"හ්ම්ම්ම්…..හා..හා...ඔච්චරම කියන හින්ද ඉතිං... බෑ කියන්ටත් මහ මොකක්ද වගේ..."

ඉන්දියාව පුරා උතුරු, දකුණු, නැගෙනහිර හෝ බටහිර කිසිදු වෙනසක් නැත. දෘඩ නීති රීති ලිහිල් කිරීමෙහිලා මුදලෙහි ඇති මහේශාඛ්‍ය බලය අසීමිතය.

මත්පැන්හල් භාරකරු දුඹුරුවන් කඩදාසි බෑගයක බීර බෝතල් තුන දැවටා දැල් කවුළුව අතරින් මවෙතට තල්ලු කලේය. කිසිවකුට බෝතල්වල හැඩය හඳුනාගත නොහැකිවන පරිදි මම ප්ලාස්ටික් බෑගයක ඒ බහාලූයෙමි. 

"මොනවද ඒකෙ? බෝතල් වගයක් නේද?" සෝපානයෙහි පොළව මත බීර බෝතල් අඩංගු බෑගය තැබීමෙහිදී ඉන් නිකුත්වූ ශබ්දය ඇසූ සෝපාන ක්‍රියාකරු මගෙන් විමසීය.

"මේ දෙහි යුෂ බෝතල් දෙක තුනක්..මම බොහොම කැමතියි දෙහි යුෂ වලට…"

"අපෝ දෙහියුෂවලට පුරුදු වෙන්ට එපා. ගෑස්ට්‍රික් හැදෙනව. මම කියන්ටද කුරුම්බා වතුර බෝතල් කරපුව මෙහෙ තියනව හැම සුපර් මාකට් එකකම වගෙ. අන්න ඒක මරු…."

"හොඳයි බොහොම ස්තූතියි උපදෙසට.....මම හෙට ඉඳලම එහෙම කරන්නම්කො…" මම මගේ නිල නොලත් බීම උපදේශකයා වෙත හිස පහත් කරමින් සෝපාණයෙන් පිටවූයෙමි.

බීර බෝතල ශීතකරණයෙහි තැන්පත් කරද්දී රාමනුජම් තම කුටියෙන් පිටතට පැමිණියේය. සුදු පැහැ ලුංගියක් හැඳ සිටි ඔහුගේ උඩුකය වැසී තිබුනේ එක උරහිසක් මත පැළඳගෙන හුන් සුදු පැහැති නූලකින් පමණි.

(ලුංගිය යනු ඉන්දියානුවන් යටිකය වසාගැන්මට භාවිතා කරන ශ්‍රී ලංකාවේ අප භාවිතා කරනා සරමට බොහෝසේ සමාන  වස්ත්‍රයකි.)

"ඒ මොනවද?..." ඔහු විමසීය.

"ආ..ඒ මේ බියර් බෝතල් වගයක්…" මම නොසැළකිල්ලෙන් මෙන්පැවසීමි. 

"යාළුවා..මම කලිනුත් ඔයාට බොහොම පැහැදිලිව කිව්ව නේද? මේ ගොඩනැඟිල්ලෙ කිසිම ඇල්කොහොල් වර්ගයක් ගෙන ඒම හෝ පානය කිරීම සපුරාම තහනම්"

"රාමා..මේ.....මේකයිනෙ මෙතන වැඩේ. මේ සෙනසුරාද මම යාලුවෙලා ඉන්න ගෑණු ළමය මාව මුණ ගැහෙන්න මෙහෙට එනව. එයා බියර් බොන්ට බොහොම ප්‍රිය මනාපයි"

"මොකක්? ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවද?" රාමනුජම් දෑස් විසල් කොටගෙන විමසූයේ ගැටවර වියෙ පසුවන තරුණයකුට පෙම්වතියක් සිටීම යනු ගිනස් වාර්තා පොතට ඇතුලත්වියයුත්තක් සේ ඔහු සළකන නිසා වියයුතුය.

මගේ චමරි සගයින් කිසිවකුට පෙම්වතියක් නොවූහ.ඔවුන් සියල්ලෝම වෘත්තීය සුදුසුකම් සහිත, ප්‍රමාණවත් වැටුපක් ලබන සිටි බැංකුවේ රැකියා කරන්නවුන් වූන් නමුදු දෙමළ පාරම්පරික චාරිත්‍රානුකූලව ඔවුහු තම දෙමව්පියන් විසින් ඉහළම ලංසුවට විවාහ වෙළඳ පොලේ වෙන්දේසි කරන තෙක් සුවච කීකරු දරුවන් මෙන් තම අපේක්ෂාවන් සහ ආශාවන් සඟවා ගනිමින් කල් ගත කලෝය.

"ඔව්..මට ගර්ල් කෙනෙක් ඉන්නව. අපි හම්බවුනේ අහ්මදාබාද්වල එම්.බී.ඒ. කරද්දි…" මම රාමනුජම් දෙස බලා සිනාසුනෙමි.

අප කතා කරන ශබ්දය ඇසූ මගේ අනෙකුත් චමරි සගයෝ එකිනෙකා තම කාමරවල දොරවල් විවර කොට පිටතට පැමිණියෝය. ඔවුහු කිසිවකු උඩුකය වසා නොසිටියෝය. මගේ බීර බෝතල පිළිබඳ විදවත් සාකච්ඡාව තව දුරටත් ඉදිරියට යනු වැළැක්වීමේ අටියෙන් මම වහා ශීතකරණයෙහි දොර වසා දැමීමි.

"දැන්..මේ…..එයා..... ඒ කියන්නෙ ඔයාගෙ මේ ගෑණු ළමයා…..එයා ඔයාව මුණ ගැහෙන්ට චෙන්නයිවලට එනවද?" සෙන්දිල් විමසූයේ සාලයේ වූ සෝපාවක සුවපසු ලෙස අසුන් ගත්තේ දීර්ඝ සාකච්ඡාවකට සූදානමින් වියයුතුය. 

"ඉතිං එයා ඉන්නෙ කොහෙද? එයාට මෙහෙ ඉන්න බෑනෙ…. එහෙම නේද?" අප්පලිංගම් අප සියල්ලන්ගේ මුහුණු දෙස පිළිවෙලින් බලමින් විමසීය.

"නෑ..නෑ..නෑ..ඔහේල කලබල වෙන්ට ඕන නෑ..එයාට මෙහෙ නවතින්න ඕන වෙන එකක් නෑ කොහෙත්ම. එයාගෙ ගම්පළාතත් මෙහෙමයි. මේ චෙන්නයිවලමයි."

මගේ චමරි සගයින් එකිනෙකාගේ මුහුණු දෙස යලිත් විදහාගත් දෑසින් බලා සිටියේ ඊලඟ ඉතාම වැදගත් එනම් ඩොලර් හැට හතර දාහේ ප්‍රශ්ණය විමසන්නේ කවුද යන්න තීරණය කර ගන්නට නොහැකිව මෙනි. අවසන රාමනුජම් ඒ ප්‍රශ්ණය ඇසූයේ සිහින් හඬිනි. 

"ඒ කියන්නෙ... ඒ කියන්නෙ…. ඒ ළමය දෙමළද?"

"ඔව්….." මම පිළිතුරු දිනිමි. "දෙමළ කිව්වට දෙමළ විතරක් නෙවෙයි........දෙමළ........බ්‍රාහ්මණ වංශයෙ…….." මම අවසාන වචන තුන හොඳින් ඇද පැද පැවසූයේ ඔවුන්ට කම්පනය හොඳින් දරාගැන්මට ප්‍රමාණවත් පරිදි කාළය ලබා දෙමිනි.

"වාව්………" ඔවුහු සියල්ලෝම එක්වරම පැවසුවෝය.

"යස් වාව් ඉන්ඩීඩ්………." මම ඔවුන් දෙස බලා සිනාසුනෙමි. 

"ඒ ගෑණු ළමය එතකොට බියර් බොනව?" රාමනුජම් හිස දෙපසට සෙකින් සොළවමින් තමන්ටම කියාගත්තේය.

"ඔව්නෙ බොනවනෙ..හරි කරදරයක් නම් තමයි. ඒත් ඉතිං වෙන මොනවයි කියල කරන්නද? බියර් ඕනමයි කියල කියනවනෙ" එසේ පවසමින් මම තන්දූරි කුකුළා පිඟන් මැට්ටෙන් තැනූ තසිමකට දැමුවෙමි.

"මේ මොනවද? කුකුල් මස් නේද? එයා මසුත් කනවද? මොන ජාතියක බ්‍රාහ්මණ වංශිකයෙක්ද මේ ගෑණු මනුස්සය? ඇත්තම කිව්වොත් මට නම් මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ" සෙන්දිල් අසුනින් නැඟිට සාලයෙහි එහා මෙහා සක්මන් කරන්නටවූයේ දැඩි නොසන්සුන් තාවයකිනි. 

"යාළුවා මේ ගෙදරට මස් මාලු මොකවත් ගේන්න තහනම්. මම හිතන්නෙ ඔහේ ඒක පැහැදිලිවම දන්නව" ඉක්බිති ඔහු සක්මන නවතා මදෙස හැරී පැවසූයේ චෝදනාත්මක ස්වරයකිනි.

"මේ..අපි මෙතන මේ වගෙ සුළු දේකටප්‍රශ්ණයක් ඇතිකරගන්න ඕන නෑ. හැබැයි මතක තියාගන්න මමත් මේ චමරියෙ සාමාජිකයෙක්. මටත් මගේ කැමැත්තක් කරන්න අයිතියක් තියෙන්න ඕන" මම සාමකාමී ස්වරයකින් පැවසීමි.

"ඒ වුනාට මෙතන නීතියක් සම්ප්‍රදායක් කියල එකක් තියනවනෙ. ඒ අනුව මස් මාලු මෙතනට ගේන්න බෑ" සෙන්දිල් යටිතොල සපාගත්වනම පැවසීය. ඔහුගේ නළල මත දහදිය බිඳු පෙලක් මතුවී තිබිනි.

චෙන්නයි නුවර වැසියෝ නීතිරීතීන් හට පෙම් කරන්නෝය. එසේ නැතහොත් නීතිරීති අනුගමනය කිරීමට පිළිපදින්නට බලවත්සේ කැමැත්තෝය. එහෙත් එහි ව්‍යාතිරේකයක්ද ඇත. ඒ ඔබ ත්‍රිරෝද රථ රියදුරකු, පොලිස් නිලධාරියකු හෝ මත්පැන් අලෙවිහල් භාරකරුවකු නොවන්නේ නම් පමණි.

"ඕක අල්ලල දාන්න සෙන්දිල්...මේක මේ ප්‍රශ්ණයක් කරගන්න තරම් දෙයක් නෙවෙයිනෙ.." රාමනුජම් සෙන්දිල්ගේ උරහිසට අතක් තබා පැවසීය. මද වේලාවක් කල්පනාවේ නිමග්නව හුන් සෙන්දිල් හිස සොලවා කැමැත්ත පළකලේය. 

"ස්තූතියි හැමෝට" එසේ පවසමින් මම කුකුල්මස් අඩංගු භාජනය පොලිතීන් කවරයකින් වසා ශීතකරණයෙහි තැන්පත් කළෙමි. "ආ තව එකක් කරුණාකරල එයා එන වෙලාවට උඩ කෑල්ලට කමිසයක් ඇඳගෙන ඉන්ට හොඳද? ඔය නූලක් විතරක් දාගෙන හිටියට හොඳටම මදි...මේක ඉතාම කාරුණික ඉල්ලීමක්…"

එදින පස්වරු දෙකට පමණ අනන්‍යා අප නවාතැනට පැමිණියාය.

27 comments:

  1. රවියො, බොට ලෙඩක්වත් ද? පඳුරක් වත් තලන්නේ නැතුව දිගටම කතාව ලියන්නේ..
    මොනවා උනත් රසාලිප්ත පරිවර්තනයක්!!!

    ReplyDelete
    Replies
    1. ගිනි සිසිල,

      දැං එතකොට පඳුරු නොතලන එකද ලෙඩේ?...Thanks...:)

      Delete
  2. උන් මහ පිස්සෝ ජාතියක්නේ බං...
    මස් කන්නෙත් නැහැ, බියර් සුට්ටක් බොන්නෙත් නැහැ, ගෑනිවත් ගෙදරින් හොයල දෙනකල් නුල ඇඟේ ඔතාගෙන ඉන්නවා...
    වෙලාවට අපි වගේ එව්වෝ ඔය රටේ ඉපදුනේ නැත්තේ...

    ඔය කේරල, හයිද්‍රාබාත් උන් ඉන්නවා නේද, උන්ට බිම වැටිලා තියෙන දිග කෙස් ගහක් දැක්කත් ඇති...
    අපි සෞදියේ වැඩ කරපු ෆැක්ටරි එකේ වැඩ කරපු ඔපරේටර්ල වගයකට කොටන් වේස්ට් ගොඩක තිබිල පරණ ජංගියක් හම්බ වෙලා එදා උන් ගත්තු උත්සවයක්...
    උන්ට ඒක අමතක වෙන්න දවස් කීපයක්ම ගියා...
    ලැබ් එකට එක එකා ඇවිත් අරාබි, හින්දි, ඉංග්‍රීසි කලවම් භාෂාවෙන් ඒ ගැන කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. Lokka,

      /අපි සෞදියේ වැඩ කරපු ෆැක්ටරි එකේ වැඩ කරපු ඔපරේටර්ල වගයකට කොටන් වේස්ට් ගොඩක තිබිල පරණ ජංගියක් හම්බ වෙලා එදා උන් ගත්තු උත්සවයක්...උන්ට ඒක අමතක වෙන්න දවස් කීපයක්ම ගියා...ලැබ් එකට එක එකා ඇවිත් අරාබි, හින්දි, ඉංග්‍රීසි කලවම් භාෂාවෙන් ඒ ගැන කියෙව්වා../

      යකෝ හිනා කාල මැරෙන වැඩේ...හෙහ්,හෙහ්,

      ඉස්සර අපි අර කැලේ මැද කෝටස් එකේ ඉන්න කාලෙ දවසක් දවල් අපි කන්ට ගෙදර එනකොට ගේ පිටිපස්සෙ නාන ටැංකිය ගාව බලු පූට්ටුවක් තිබ්බ.

      අම්මට උඩු..දවල්ට කාල ආපහු වැඩට ගිහිල්ල හවස ආපහු එද්දි මෙන්න අපි එක්ක හිටපු බැඳපු එවුං තුන් දෙනාම තකහනියක් ගෙවල් වලට ගිහිල්ල...හෙහ්,හෙහ්,

      Delete
    2. යකෝ හිනා කාල මැරෙන වැඩේ...හෙහ්,හෙහ්, X 2

      Delete
  3. මූට අද පඳුරු අමතක වෙලා.
    අද බීල නෙවෙයි ලියල තියෙන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ආයමත් කෙහෙම්මල් පඳුරක් ගැන විකාර දොඩවනව...:)

      Delete
  4. මදැයි. ක්‍රිෂා ඉන්න බෝඩිමට අරක්කු බෝතලයක්, චිකන් කෑල්ලක් ගේනවට වැඩිය ලේසි ඇති ලෑන්ඩ් මයින් එකක්, AK47 එකක් අරන් එන එක.

    අර කරේ දාගෙන ඉන්න නූලක් කැඩුවොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියල බොලාට හිතුනෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඕකුන් ටිකක් වයසට යනකං නූල කඩාගන්න හරි බයයි. බලෙන් කඩන්න පුලුවන් ඇයි ඕක.....

      Delete
    2. ප්‍රසන්න,

      /අර කරේ දාගෙන ඉන්න නූලක් කැඩුවොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියල බොලාට හිතුනෙ නැද්ද./

      නිකම්ම නූල නූල කියල නෝන්ඩි කරන්ඩ එපා බං ඕකට කියන්නෙ "පුන නූල" කියල....:)

      ඉස්සර දඹදිව බ්‍රාහ්මණයො පිරිමි දරුවන්ට අවුරුදු හතක් පිරුනම මහ විසාල උත්සවයක් එහෙම අරගෙනලු ඔය පුන නූල පැළැන්දුවෙ. ජීවිත කාලෙම ආය ඕක ගලවන්නෙ නැහැල්ලු. උඹ කියන විදිහට බලෙං කැඩුවොත් එහෙම අම්මෝ මර්ඩර් එකක් තමයි එතන...හෙහ්,හෙහ්,

      පලි - ආ..අර ඉසුරුමුණියෙ සෘෂිවරයෙක්ගෙ කැටයමක් තියෙන්නෙ. අන්න ඒකෙයි පොළොන්නරුවෙ පුලස්ති සෘෂිවරයගෙ පිළිමෙයි දෙකේම ඔය පුන නූල තියනව.

      Delete
    3. අරුණ,

      බලෙං කඩන්ඩත් බැරිකමක් නෑ..:)

      Delete
  5. හතිලව්වේ මේකේ මේ පහුගිය කොටස් දෙක කියවලා මම සෑහෙන්න නොමඟ ගිහිල්ලනේ හිටියේ මම හිතුවා මේ ලියන්නේ රවීගේ හෝ රවී දන්නා කෙනෙකුගේ කතාවක් කියලා, මට මේ නම් දෙකත් මේ සිදුවීමුත් හුරුයි හුරුයි වගේ නිසා හති දාගෙන මේකේ මුලට ගිහිල්ලා බැලුවා.. හේ හේ... මේ චේතන් භගත්ගේ 2 States නේ, මම මේකේ ෆිල්ම් එක දෙපාරක්ම බැලුවා පොතනම් තාම කියෙව්වෙ නෑ.මරු මරු මම මේක මුල ඉදලම කියවනවා අදනම්

    ReplyDelete
    Replies
    1. සඳා,

      අප්පටසිරි එහෙම නොමග ගිහිල්ලය ඔය ළමය උන්නෙ? ස්ටෝරි ඔෆ් මයි මැරේජ් කිව්වම මම හිතුවෙ මීටර් වෙන්ට ඇතිය කියල..

      මේක මම මේ පටන් ගත්තෙ එක කොටසක් ලියල ඉවර කරන්ට කියල හිතාගෙන..කොහෙද දිගටම ලියන්ට උනානෙ. දැං වෙනව අවුරුද්දකුත් මාස පහක්....

      මේ ලිව්වෙ 36 වෙනි කොටස.දැනට පිටු 119ක් ඉවරයි. පොතේ ඔක්කොම පිටු තියනව 322ක්.කොහොමද සෙල්ලම? කවද වෙනකල් මේ සුමේ කොරන්ට වෙයිද මට? හපෝයි..:(

      Delete
    2. ස්ටෝරි ඔෆ් මයි මැරේජ් කිව්වම ඉතින් කොහොමද අනේ නොමග නොයා ඉන්නේ අප්පා එහෙමද එහෙනම් තව වසර ගනනාවක් අපිට කියවන්න බැරියැ.

      Delete
  6. ඔය නූල දාන්නේ අවුරුදු 12න් පස්සෙද කොහෙද. ආගම ඉගෙනගන්න ඉස්සෙල්ලා ඔය නූල් පුජාව කරන්න ඕනලු. ඕක මැරෙනකම් දාගෙන ඉන්න ඕනද...

    කුරුම්බා වතුර බෝතල් සහ කෑන්ස් මාකට් එක එංගලන්තේ දැන් දැන් නැගලා යනවා. ඔක්කොම තායි, වියට්නාම් වගේ රටවල්වලින් එන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      නූල දාන්නෙ අවුරුදු හතෙන් මචං...

      කුරුම්බා කෑන් මෙහෙත් තියනව. එව්වගෙ ලොඳත් ටිකක් දාල තියෙන්නෙ...වියට්නාමෙන්ද කොහෙන්ද කියල බලන්න ඕන අනික් දවසෙ...

      Delete
  7. ලුංගිය ඇඳලා නුල දාගෙන ඉන්න එකෙක්ගේ පින්තුරයක් දාහන්කො රවීයියේ.
    අනන්‍යා ආවාට පස්සේ අරුන් පිස්සු කොර වේවි නෙහේ....:D

    ReplyDelete
    Replies
    1. http://www.team-bhp.com/forum/attachments/travelogues/420352d1283944465-my-trip-sabarimalai-other-temples-kerala-padmanabha-temple-trivandrum.jpg

      Delete
    2. මනෝජ්,

      ඔන්න බං ප්‍රසන්නය දාල තියනව..:)

      ප්‍රසන්න,

      තෑන්ක්ස් මල්ලි..:)

      Delete
    3. රොම්බ තැන්ක්ස් සභාපතිතුමා

      Delete
  8. මමත් දෙහියුෂ බොනවා දැන්

    ReplyDelete
    Replies
    1. අටමෝ මෙන්නෝ...
      මූ නරක් වෙලෝ...

      Delete
    2. ඉවාන්,

      බලාගෙන.... විහිලු නෙවෙයි..දෙහි යුෂ නිතරම බිව්වම ගැස්ට්‍රයිටිස් එන්න පුලුවන්ය කියල කියනව.

      Delete
  9. එන්නට පළමුවර ඇය ක්‍රිෂ් හමුවන්න
    තන්දුරි චිකන් රස ඕනෙලු විඳගන්න
    දෙන්නට හැකිද පාඩුවෙ දොඩමලුවෙන්න
    පින්නැති චමරි කැල ඉන්නේ දැකගන්න.....

    ජයවේවා!!!

    ReplyDelete
  10. උන් තාමත් මේ විදිහමද බං. මමත් මේ දවස්වල හයිද්‍රාබාද්

    ReplyDelete
    Replies
    1. කුරහන්,

      හයිද්‍රාබාද් පැත්තෙ බුවාල කොහොමද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...