Sunday, October 1, 2017

141. පොඩි දරුවන් වෙනුවෙන් වැඩිහිටි ඔබට...

පාසලේ අවුරුදු උත්සවය තිබුණේ බක් මාසේ. දුව ගෙදර ආ පසු සියලු විස්තර විමසන අතරේ මම ඇගෙන් මෙසේ ඇසුවෙමි.

“කවුද පුතේ අවුරුදු කුමාරි?”

“හ්ම්... මම දන්නෑ අනේ. කවුරු හරි කොණ්ඩේ දිග... සුදු එක්කෙනෙක් වෙන්න ඇති” ඈ පැවසුවේ කරමින් හුන් කාර්යයෙන් හිස නොඔසවමිනි.

කදිමයි. ඇය සමාජ යාන්ත්‍රණයේ ගමන් මග වටහා ගනිමින් සිටියි.

සියලුම දේ දිනෙන් දින නවීකරණය වෙමින් පවතින අතරේ අවුරුදු උත්සව තරගද ඒ වෙනසට හසුව තිබේ. මීට අවුරුදු 20කට 25කට පෙර ගමේ පිට්ටනියක ගොඩ නගන ලද තාවකාලික වේදිකාවක් මූලික කරගෙන විවිධාකර ඉසව් සංවිධානය කර ගමේ බාල, තරුණ සහ වැඩිහිටි සැමට විනෝද විය හැකි ආකාරයට අවුරුදු උත්සව පැවැත්විණි. එකල රූපවාහිනි හෝ ගුවන් විදුලි ආයතන වෙතින් අනුග්‍රහයන් නොලැබුණු බැවින් සියලු වියදම් අදාළ ගම ආශ්‍රිත මිනිසුන් විසින් සොයා සපයා ගන්නා ලදි. මූල්‍යමය පරමාර්ථ පෙරදැරි නොවූ තරම් වූ අතර ඒ වෙනුවෙන් යහමින් වියදම් කළ අයට ගමේ වැඩිපුර සැළකිල්ලක් ලැබීම නම් සිදුවුණි. මේ තරග අතුරින් අවුරුදු කුමර කුමරියන් තේරීමේ තරගය විශේෂ වූ අතර එයට සමගාමීව සිගිති අවුරුදු කුමර කුමරියන් තේරීමේ තරගත් ඇතිවන්නට විය.

වර්තමානයේ අවුරුදු උත්සව පෙරකී තත්ත්වයෙන් ඉදුරා ම අපගමනය වූ අවස්ථා සුලභය. නවීකරණය වෙමින් වෙනස් වෙමින් ආ අවුරුදු උත්සවයේ නවත ම තත්ත්වය කෙටි පණිවුඩ මගින් පළ කෙරෙන මනාප මගින් අවුරුදු කුමර කුමරියන් තේරීමය. ඔබට බොහෝ මිතුරු මිතුරියන් සිටී නම්, ඒ මිතුරු මිතුරියන්ට ද තවත් මිතුරු මිතුරියන් බොහෝ ප්‍රමාණයක් සිටී නම් ඒ සියලු ම දෙනා ජාලයක් කොටගෙන පණිවුඩ යැවීමෙන්, මුහුණු පොතේ පණිවුඩ යැවීමෙන් ආදී ක්‍රම මගින් ඔබට අවුරුදු කුමරෙකු විය හැකිය. කුමරියක විය හැකිය. රූපය මැනීමේ මිණුම් දඩු කිසිවකට ඔබව පරාජය කළ නොහැක. ඔබට ලබා ගත හැකි කෙටි පණිවුඩ ප්‍රමාණය මත සියල්ල තීරණය වේ. (සිම් පත් විශාල ප්‍රමාණයක් මිලදී ගෙන ඔබට ම මේ කාරණය ඉෂ්ට කරගැනීමේ අවස්ථාව මෙන් ම තාක්ෂණය භාවිතා කොට එක කෙටි පණිවුඩයක් යැවීමෙන් විශාල කෙටි පණිවුඩ ප්‍රමාණයක් යවන මෙවලමක් සාදා ගෙන කාර්යයට එළඹීමේ අවස්ථාවද ඇති නිසා මිතුරන්ගේ චපලත්වය කෙරෙහි බිය විය යුතු නැත.)

මේ සියල්ල සිදුවන්නේ ඔබගේ උවමනාව මතය. වෙන කෙනෙකු ඔබ වෙනුවෙන් අයැදුම්පත් යොමු කළද ඔබට උවමනා නම් ඉවත්වීමේ අවස්ථාව ඇත. නමුදු කුඩා දරුවන්? ඔවුන් සම්බන්ධයෙන් ඇති වන තත්ත්වය කුමක්ද?

දෙමව්පියෝ සිය (නො)දරුවන් මෙවැනි තරග වලට ඉදිරිපත් කරති. මෙවැනි රූපය මැනීමේ තරග වලට පිංතූර යවමින් නිවසේ සිට ම ඉදිරිපත් කරති. සිය මිතුරු මිතුරියන්ගේ කෙටි පණිවුඩ මත විශ්වාසය තබා, දරුවාගේ කිසිදු බලපෑමක් නැති තමන් දෙදෙනාගේ ජාන මගින් දරුවාට ලබා දුන් රූපය ලංසුවට තබා දරුවා දිනවන්නට සිතති. මේ කුමක්ද?

සෑම දරුවාට ම තමන්ට අනන්‍ය වූ අවිහිංසක ලස්සනක් ඇති බව මම සිතමි. එය සසදා බැලිය හැකි ලස්සනක් නොවේ. තනි තනි ව ගෙන වින්දනය කළ යුතු සැබෑ ලස්සනකි. ළමුන් පෙළක් ඉදිරිපත් කොට ලස්සන ම දරුවා තෝරන්න යැයි පැවසුවහොත් ඔබට එය කළ හැකිද? සමහර කෙනෙකුට එසේ කළ හැකි වූ බැවින් එම තරග ඇරඹුණු අතර දැන් මූල්‍ය පරමාර්ථ පෙරදැරි වූ විවිධාකාර වෙළෙඳ සමාගම් හා ශ්‍රව්‍ය/දෘශ්‍ය ජනමාධ්‍ය මගින් මෙහෙයවන මේ තරග විනිශ්චය කිරීම කෙටි පණිවුඩ වෙත පැවරී ඇත.


මුලදී දරුවා හාංකවිසියක් නොදැන සිටින්නට පුළුවන. නමුදු තරග වටයෙන් වටයට ඉදිරියට යන විට ගෙදර ඇතිවන උද්යෝගීමත් වටපිටාව මතිත් දරුවාද තරගයද ඇදී යනු ඇත. අවසානයේ නොදිනුවේ නම් පැරදුනේ කුමකින්ද නොදත් යමකින් ඔහු හෝ ඇය පැරදී සිටිනු ඇත.

දරුවා පැරදුනේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකින් නම් ඔබට එය පහදා දිය හැකිය. 

දරුවා පැරදුනේ තරග විභාගයකින් නම් ඔබට එය පහදා දිය හැකිය.

නමුදු ඔබේ දරුවා පැරදුනේ රූපයෙනි. කෙටි පණිවුඩ මත නිර්ණය වූ තවත් රූපයකට ඔබේ දරුවා පැරදී ඇත. එය ඔබ දරුවාට පහදා දෙන්නේ කෙසේද?

සංවිධායකයින් වංචා කළ බව කියනවාද?

අම්මා තාත්තාගේ මිතුරු මිතුරියන් මනාප නොයවමින් චපල වූවා යැයි කියනවාද?

නැත්නම් දරුවා අවලස්සන යැයි කියනවාද?

කොටින්ම මෙවැනි තරග වලට ඉදිරිපත්වන දරුවන් වෙනුවෙන් මනාපය පළ කරන දෙමව්පියන්ගේ මිතුරු මිතුරියන් වැඩි දෙනෙකු දරුවා කිසිදාක දුටු අය ද නොවේ. ඔවුන් නුදුටු එක් දරුවෙකුට මනාපය පල කරමින් නුදුටු තවත් දරුවකු පරදවනවා නොවේද? හොද ම දේ දරුවන්ට ලබා දෙන්න මෙය ක්‍රමයක්ද?

අනෙක් අතට දන්නා කියන සියලුම අයවලුන් දැනුවත් කරමින්, මනාපය පළ කරන මෙන් දැනුවත් කරමින්, සංවිධානාත්මක ව තරගයට එළඹෙන ඔබගේ දරුවා ජයග්‍රහණය කළහොත්?

ඔබේ දරුවා දිනා ඇත්තේ කුමක්ද?

ඔබේ දරුවා පරාජය කර ඇත්තේ කුමක්ද?

ඔබේ දරුවාට පරාජය වී ඇත්තේ කවුද?

මෙම ඊනියා තරගය කුමක් අරඹයාද?

අවසානයේ සිදුවන්නේ දරුවාගේ පෞරෂත්වයට සිදුවන හානිය පමණි. කෙනෙකු තමන් කැත බව සිතාගෙන සිත රිදවා ගන්නා අතරේ තවත් කෙනෙකු තමන් අන් අයට වඩා ලස්සන බව සිතා නොගැලපෙන සිතුවිලි වලින් සිත පුරවා ගනියි. 

දරුවන්ට තම තමන්ගේ රූප පිළිබඳ ව විවිධාකාර සිතුවිලි තිබේ. තරගයකට ඉදිරිපත් කර ඔහු හෝ ඇය ‘කැතය’ හෝ ‘ලස්සනය’ යන සිතුවිල්ල දීම නොවේ සිදුවිය යුත්තේ. දරුවෙකු තමන් ‘කලුය. කැතය’ යැයි දුක්වනවා විය හැකිය.

එවිට, කලු යනු තවත් එක් වර්ණයක් බවත්, කලු හෝ සුදු බවේ අමුතු ලස්සනක් හෝ කැතක් නොමැති බවත් දරුවාට වටහා දීම වටියි.

දරුවාගේ සිනාවේ ඇති මනබඳිනසුලු බව, සිනා නගනවිට දෙනෙතේ නැගෙන කාන්තිමත් බව, සතුටින් ඉන්නවිට මුහුණේ ඇතිවන දීප්තිමත්බව ආදිය කණ්නාඩියක් ඉදිරියට ගෙන ගොස් පෙන්වීම වටී.

දරුවා කේන්තියට හෝ දුකට පත්ව මුහුණ ඇදකරගෙන සිටින විටත් කන්ණාඩියක් ඉදිරියට ගෙනගොස් එහි ඇති විරූපී බව පෙන්වීම වටි.

එවිට රූපයත් සතුටින් සිටින විට රූපයත් සංසන්දනය කර සිහි කැඳවීම වටී.

මට මතකයි 2 හෝ 3 වසරේ සිටි වයසේදී මා අවුරුදු උත්සවයේ සිනාසීමේ තරගයට සිනහ වූ අයුරු. මගේ අම්මා එවකට අවුරුද්දක් පමණ වූ මගේ නැගනිය අතේ තබාගෙන වේදිකාව ඉදිරිපසට වී මා හා එක්ව මහා හඬින් සිනහ වූ අයුරු. ඇගේ සිනහව දකින දකින විට මගේ සිනහව වර්ධනය වූ අයුරු. එදා තරගයෙන් පළමු තැනට තේරී ගෙදර ඇවිත්, තෑගි අතර තිබුණු පිගානකට අම්මා බෙදා දුන් බත් කෑ අයුරු. ඒ සිද්ධිය සිහිවද්දි දැනුදු මුවට සිනහ නැගේ. 

වසර 30කට ආසන්න කාලයක් ගත වී ගොස් තිබේ. ඒත් එදා උන් දැරියට තවමත් ඒ සිද්ධිය අද ඊයේ මෙන් මතක තිබේ. ඇගේ වෙලාවට ඇගේ අම්මා නියත පැරදුමක් හිමි අවුරුදු කුමරි තරගයට සිය දිය‍ණිය ඉදිරිපත් කළේ නැත. එබැවින් සතුටු සිතින් මගේ ඒ ජයග්‍රහණය සිහි කිරීමේ අවස්ථාව අපට හිමි ව තිබේ. ඉදින්, දරුවෙකුගේ ජීවිතයට මෙවැනි දේවල් බලපාන්නේ කෙසේ දැයි සිතා බැලීම ඔබට භාරයි.

17 comments:

  1. රන්දිල් ඔබ ඉතාම සිත් ඇදගන්න සුළු කාන්තාවක්. ඔබ සිතා ඉන්නවා ඇති ඔබ සමාජයයේ ඇති මිනිසුන්ගේ මනස්ගාත මත ඔබ කළු යැයි සිතන නිසා අවලස්සන යැයි කියා. ඒක එහෙම නෙමේ. ඔබ බොහොම ශ්‍රියාවන්ත, සිත් ඇදගන්නා සුළු ලස්සන ගැහැනියක්. එම නිසා මෙවැනි දෑ ගැන සිතන්නට එපා. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට :D

      ඇත්තට ම අපේ සමාජයේ වෙසෙන්නේ (හැමදෙනා ම නොවෙයි) පුංචි කාලේ ඉඳන් ම අටෝරාසියක් දේවල් කර කර උපතින් ලැබුණු තමන්ගේ හමේ පාට වෙනස් කරගන්න වලිකන කාන්තාවන් නිසා මටත් මගේ හමේ වර්‍ණය ගැන අපැහැදීමක් ඇතැයි ඔබට සිතීමේ වරදක් නැහැ. මෙරට කාන්තාවන්ගේ ඒ මානසික වියවුල ගැන ලියනවා නම් මෙහෙම පැයෙන් දෙකෙන් ලියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

      මම මේ ලිපියෙන් කියන්න උත්සහ කළේ හයක් හතරක් නොදන්නා නොදරුවෙකුගේ රූපය මැනීමේ තරගයක ඇති නිශ්ඵල බව ගැනයි. එහිදි භාවිතා කරපු වචන වලින් වෙනත් අදහසක් ගම්‍ය වුණා නම් කණගාටුයි. ස්තුතියි ඇනෝ ඔබට. ඔබටත් ජය!

      Delete
  2. ඒ වගේ තරඟ වලට ඉදිරිපත් නොකර හිටියනම් හරි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මාත් මේ කියන්නේ :D

      Delete
  3. මේවා විකාර ලෙස ඔබේ දියණියටම පෙනීම හොඳයි. ඒත් සමහර ලමයි කරන්නෙ එයින් හිත රිදවාගැනීමනෙ.

    ReplyDelete
  4. ළමයින් ගාවගෙන තියන ( අවුරුදු 3 - 12 අතර ) තරඟ මට හරි වේදනාවක්. ප්‍රශ්න විචාරාත්මක උනත් මට හිතෙන්නේ එහෙමයි. ඒ ළමයින්ගෙන් අහනවා අනාගතේ වෙන්න කැමති කවුද කියලත්. ඒවාට ලැබෙන උත්තර බැලුවහම ඊටත් වඩා දුක හිතෙනවා

    ReplyDelete
  5. විශාල පිරිසක් සීමිත සම්පත් ප්‍රමාණයක් හඹා යන ලෝකයේ තරඟය කියන එකවත් වෙලඳ ප්‍රචාරණ වත් නවත්වන්න නම් බැරිවෙයි. තේරෙන වයසේ සිට පාසැලේ විභාග සඳහාම නොව වටහා ගැනීම සඳහා බුදු දහමට යොමු කලොත් ළමුන්ට සමාජයට මුහුණ දෙන්න පහසුවක් වෙයි කියලයි මගේ හැඟීම.

    ReplyDelete
  6. SMS වලින් ජයග්‍රාහකයා තෝරන කිසිම තරඟයකට ඉදිරිපත්වෙන්න මමත් කැමති නෑ.. ඒ වගේ ම මගේ දරුවන්ව ඉදිරිපත් කරන්නෙත් නෑ.. ඔයා මෙතන මතු කරලා තියෙන කාරණය ඉතා වැදගත්.. එය SMS වලින් නොතේරුවත්..

    ReplyDelete
  7. කියල වැඩක් නෑ. මම දහම් පාසලේ තරඟ විනිශ්චය කිරීමට ගිහින් මම තේරුවේ තලෙලු පැහැති බොහොම ප්‍රිය මනාප දියනියක්. නමුත් අනෙක් අය විරෝධය පෑවා. ඇයට හැම සුදුසු කමක්ම තිබුනා පාට හැර. ඊට පසුව මා කිසිම දිනෙක සහභාගි උනේ නෑ.

    ReplyDelete
  8. අපේ ගමේ තියෙනවා අපූරු අවුරුදු උත්සවයක්. වියදමත් ගමෙන්. මහා ලොකු තෑගි නම් නැහැ. විනිශ්චය මණ්ඩලයත් අපිමයි. තරඟ නම් විවෘතයි. තෑගි දෙන්නෙත් ගමේ අයමයි. කුලී වැඩ කරන වැඩිහිටියන්ගේ සිට මේ තෑගි දීමට ආරාධනා කරනවා. මං දැක්ක ලස්සනම අවුරුදු උත්සවය තමයි මේ. ප්‍රධාන ආරාධිතයො, දේශපාලකයො නැහැ. අවුරුදු කුමාරි, සිඟිති අවුරුදු කුමාරි තරඟත් නවත්තල තියෙන්නෙ. දරුවන්ගේ හිත් කැඩෙන බිඳෙන නිසා...

    හැකියාව තුළ ජයග්‍රහණය. සමහර වෙලාවට දරුවන්ගේ හිත් සනසන්න... දක්ෂයාටම හිමිවෙන ජයග්‍රහණ අනිත් අය අතරේ බෙදා හරින වැඩත් වෙනවා...

    ReplyDelete
  9. රවි වීරසිංහ මහතා මොන තරඟවලට හිටියද දන්නෙ නෑ.
    ලියයිද?

    ReplyDelete
  10. මේ කතාවේ තව පැත්තක් තිබෙනවා. මම බැඳලා ඉන්නේ සුදු කාන්තාවක් (බටහිර) බව ඔයාල දන්නවනේ. ලංකාවේදී දෙතුන් වතාවක් ප්‍රශ්න ඇතිවුණා. වරක් කෙනෙක් කෙලින්ම අපි ගිය වෑන් එකට නැගල මට බැන්න උඹට හොඳ සිංහල කුලවත් කාන්තාවක් හොයා ගන්න බැරි වුනාද කියල. ලන්ඩන් වලම වරක් සිංහල අවුරුදු උත්සවයකදී මෙයාගේ අම්මත් තාත්ත එක්ක පිටි පස්සේ ඉඳගෙන ඉඳිද්දී කට්ටියක් ඇවිත් ඉඳගත්ත මෙයාලව නැගිට්ටවල. මම ගිහින් ඇහුවම කීව "මේක සිංහලයන්ගේ උත්සවයක් කියල. ඉඳගන්න පුටු තියල තියෙන්නේ අපට කියල" ඊට පස්සේ කවදාවත් අඳුරන යාලුවෝ කරන උත්සවයකට ඇරෙන්න කවදාවත් අරන් යන්නේ නැහැ. හැබැයි ලංකාවේ සංචාරක හෝටලේක නැවතිලා සල්ලි වියදම් කරලා ඉන්න කොට ලැබෙන ප්‍රතිචාරය අනර්ඝයි. විහිළුව ඒකයි.

    මගේ දුවල දෙන්න. මික්ස්. දෙන්නම් සුදුත් නැහැ කළුත් නැහැ. නමුත් එයාල ඔය ලංකාවේ හෝ කළු අය ඉන්න පාටියකට ගියොත් දෙන්නම කොන් වෙනවා. කල්ලි ගැහිලා ඉන්න කට්ටිය එයාල එක්ක කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ අරගෙන උනත් යන්නේ යහළුවන්ගේ පාටි වලට විතරයි. නැත්නම් අපි දෙන්න විතරක් යනවා එයාල ගෙදර තියල. ඔය තත්වය සුදු අය ඉන්න පාටි වල නැහැ. උන් ඕන එකක් එක්ක කතා කරනවා. නැත්නම් උන් කැමතියි අපේ දුවලගේ පාටට. මොකද උන්ගෙනුත් සමහරක් හෙනට ට්‍රයි කරන්නේ අව්වට පිච්චිලා ටිකක් හරි කළු වෙන්න නිසා.

    ReplyDelete
    Replies
    1. කොහොමද වෙනස සැපද අජිත්

      Delete
    2. ඔතන ප්‍රශ්නේ හැමෝම තමන්ගේ පාට ගැන බොරුවට කලබල වෙන එක. ලංකාවේ රුපවාහිනිය ටෙලි නාට්‍ය තමා ඕවට වග කියන්න ඕනේ. අනික පුහු හොර ජාතිවාදය . එංගලන්තේ ඇවිල්ලත්මේ රටේම වැඩ කර කර සල්ලි යවාගෙන සුද්දට බැන බැන ඉන්න එක. වෙනස සැපද කියල ඇහුවේ එකටද? මටනම් අවුලක් නැහැ. හොඳින් ජිවත් වෙනවා. මම මේ නංගිට කියන්නත් ඕව ගණන් ගන්න එපා කියල.

      Delete
  11. ඇත්තටම එකඟයි.තමං පරාජය වුනේ ඇයි කියල හේතු දක්වන්ඩ බැරි දේකින් පැරදුනාම හිතට හරි වේදනාවයි.

    ඒ දේ වුනේ දරුවෙක්ට නං ඒ කැඩෙන ආත්මාභිමානයේ හිස් තැන හැමදාම පවතීවි

    ReplyDelete
  12. මේ බ්ලොග් එක මරු...අයි හියබයි රෙකමන්ඩඩ්ඩඩ් ඉට්..:)

    Random thoughts of an idle mind

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...