පහුගිය කුරුළුබැද්දේ කතාව ලියද්දි මම කිව්ව මළ ගෙවල් සම්බන්ද සිද්දි අනන්ත අප්රමාණයක් තියනවය කියල ලියන්ට හැබැයි එව්ව බොහොමයක් වැටෙන්නෙ විමලේගේ වංපතුල් කතා ගණයට හින්ද ආයම දවසක කියන්ට තමයි වෙන්නෙ කියල. ඒ කරල මම ඔය සුට්ටිවට කමිං කෑල්ලකුත් දැම්ම ඔබ තමුන්නාන්සේලාගේ පහන් සංවේගය නොහොත් ලාම්පු දුක උදෙසා. අද මම මේ කියන්ට යන්නෙ ආන්න ඒ කමිං කෑල්ල අඩංගු කතන්දරේ.
මම අර කලිනුත් කිව්ව වගේ අපි ඔය කැළේ මැද ඉන්න කාලෙ මඟුලකට මරණෙකට සහබාගි වෙන්ට ලැබෙනව කියන්නෙ ආය නෑ මාරම ආතල් එකක්. ඔෆිස් එකේ බොහොම ජනප්රිය කෙනෙකුගෙ ඥාතියෙක් උනොත් එහෙම සහබාගිවෙන්ට කට්ටිය වැඩියි. එහෙම උනාම අපේ ජීප් එකක් ඉඩ මදි හින්ද ඔය අහළ පහළ ගමකිං ප්රයිවට් වෑන් එකකුත් කතාකරගන්නව.
අපේ කෑම්ප් එක කිට්ටුවම තිබ්බ පාරම්පරික මුස්ලිම් ගම්මානයක්. ඒකෙ පල්ලියට අවසර තිබ්බ ගමේ මිනිස්සුන්ගෙ ප්රයෝජනයට සතියකට දවස් තුනක්ද කොහෙද හරකෙක් මරාගන්ට. ඒ මිනිස්සු කරන්නෙ ඒ පිටදාල හරක් තුන් හතර දෙනෙක් මරණව. වැඩි හරිය විකුණනව. ඒ හින්ද එහෙ ඉන්නකල් අපිට ගවනර් ජෙනරල් සහ ලීවර් බ්රදර්ස් වලින් අඩුවක් තිබ්බෙ නෑ. ගවනර් මට මතක විදිහට රුපියල් විස්සද කොහෙද කිලෝ එකක්. ලීවර් බ්රදර්ස් හතළිහක් වගෙ. ඒ කාලෙ මම කුකුළෙක් කන්නෙ ගෙදර ආවම නිකං මේ ආසාවට වගෙ. ඔන්න කොටිම්ම.
ඉතිං ඔය ගමේ තිබ්බ පොළොන්නරුවෙ ඉඳල මගී ප්රවාහන කටයුතු කරපු ලෝ රූෆ් නිසාන් බට්ටො වෑන් තුන හතරක්ම. ඔව්ව නවත්තන්නෙ කදුරුවෙල රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහ. ඔව්වගෙ සීට් එකක් අල්ලගෙන ඉඳගත්තෙ නැත්තං එහෙම ගිහිල්ල අපේ කෑම්ප් එක ඉස්සරහින් බැහැල චමරියට යන්ට වෙන්නෙ අර මිහිර පත්තරේ බටකොළ ආච්චි වගේ කොන්ද නමාගෙන.
එව්වයින් හොඳ තත්වයෙ තිබ්බ වෑන් එකක් තමයි අපි ඔය මළ ගෙවල් මඟුල් ගෙවල්වලට කතාකරගෙන ගියේ. බොහොමයක් වෙලාවට මමයි සමරෙයි තමයි ඔය මුස්ලිම් ගම්මානෙට ගිහිල්ල වෑන් එක කතාකරගන්නෙ. ඔය ගම්මානෙ බේකරියක් එහෙමත් තිබ්බ. පෝරණුවෙ දර වලට ගත්තෙ වැඩිපුරම ගැඩුඹ කඳන්. එව්වයෙ ගින්දර සැරයි කියලයි පෝරණුවෙ අයිතිකාරය නවුෆර් මුදලාලි කිව්වෙ. අඩි විස්සක් විතර දිග ලෑලි මේසෙකට ඇළුමිනියම් තහඩුවක් හයි කරල ඒක උඩ තමයි පිටි මෝලිය අල්ලන්නෙ. බක්කරේල දෙන්න දෙපැත්තෙන් මෝලිය අල්ලගෙන එන විදිහ බලන්ට අපූරුයි. හම්මා බලන්ට එපාය එවුං දෙන්න. ඔලුවට අර බක්කර තොප්පි දාල, කර වැහෙන්ට සුදු කෝට් ඇඳල, අතට ග්ලවුස් එහෙම දාල ඉන්නෙ...මම ඉතිං ඔය මෝලියෙ ආතල් එක බලන්ටම නවුෆරයගෙ බේකරියට යනව දවස තුන හතරකට සැරයක්. පෝරණුවෙං බාපු ගමං උණු උණු කිඹුලෙක් එහම හෙමීට හපනකොට හප්පා කටේම දියවෙනව. ඊට පස්සෙ නවුෆර්ගෙ දුව රෂීනා බන්දේසියක තියල ප්ලේන්ටියක් ගෙනල්ල අල්ලනව. "ප්ලේන්ටියකුත් බීල ඉන්ට මහත්තය..." නවුෆර් හිනාවෙලා කියනව.
ඒ වෙනකොට දවුල්ගුණේ නොහොත් අර සිංදු කියන ආණ්ඩුකාරයා "රාමලාන් සඳ බලන්න එන්න පාතිමා" කියල කියල තිබ්බෙ එහෙම නෑ. එහෙම කියල තිබ්බනම් එහෙම මට රෂීනා දකිනකොට අනිවාර්යයෙන් ඒ පදවැල කියවෙන්ට තිබ්බ.
ඉතිං ඔය මළගෙවල් වලට යන්ට වෑන් කතාකරන්ට මායි සමරෙයිම යන්නෙ මොකෝ දන්නවද? ඌයි මායි තමයි අවමඟුල් චාරිකා සංවිධායක මණ්ඩලය හැටියට නිතරඟයෙන් පත්වෙලා හිටියෙ.
"කාලෙකින් මළ ගෙදරක යන්ටත් බැරිවුනා වීරෙ...නැද්ද එහෙම ආතල් එකක් ළඟකදි එන පාටක්?"
හවස වැඩ ඇරිල ඇවිල්ල අපේ චමරියෙ සාළෙ ඇඳිපුටුවල දිගාවෙලා හවස බෙඩ් ටී එක ගහන ගමං එහෙම ඇහුවෙ කරුණෙ අයිය. කරුණෙ අපිට වඩා වයසෙන් අවුරුදු දහයක් තරමයි සර්විස් එකෙන් අවුරුදු පහක් තරමයි සීනියර්.
කරුණෙ කලින් එයා ෆෝස් ඉඳල අවුරුදු දොළහක් සර්විස් එකෙන් පස්සෙ අයින් වෙච්චි පොරක්. ෆුල් නීට් පොර. අත්දිගට දාල අඳින්නෙ. ෂර්ට් කලිසං මදින්නෙ නැතුව අඳිනව තියා අල්ලන්නෙවත් නෑ. උදේ නැඟිට්ට ගමං බෙඩ් ෂීට් එක එක රැල්ලක්වත් නැතිවෙන්ට හදල මදුරු දැල බැලන්ස් වෙන්ට ගැට ගහල තමයි දවසෙ ඉතුරු රාජකාරි පටන් ගන්නෙ. ඒ අර ෆෝසස් වල හිටපු පුරුද්දනෙ.
"නෑනෙ කරුණෙ අයියෙ...අර ඩගියගෙ ලොකු අම්ම කෙනෙකුට අමාරුවෙලා අදද හෙටද ෂුවර් නැතුව හිටියෙ..ඒත් දැං ඔය සනීපයි කියන්නෙ…"
"එහෙමද? කොහොමද හරියටම දන්නෙ? උඹ ගිහිල්ල විස්තර ඇහුවද මල්ලි?" කරුණෙ අයිය ඇහැක් ඉඟි මරල ඇහුව.
"මොන විකාරද අයියෙ?..එදා අර ප්රදීප්ගෙ කේස් එකෙන් පස්සෙ මම යන්නෙ නෑ ඔය විස්තර හොයන්ට…" මම උරිස් නටවල කිව්ව.
ඒ ප්රදීප්ගෙ කේස් එක කියන්නෙ මේකයි. ප්රදීප් කියන්නෙ අපිට අලුතෙන් ආපු ක්ලාක් කොලුවෙක්. ඕකගෙ ආච්චි අම්මට අන්තිමයි කියල ආරංචි වෙලා මම ගියා විස්තර බලාගෙන එන්ට. එපා කියද්දි සමරෙත් මා එක්ක ආව. සමරෙට ටිකක් වැඩි උනාම කටට බ්රේක් නෑ. එදා සමරෙයි මායි දෙන්නම ටික වෙන්ට දාල හිටියෙ.
ගිහිල්ල බැලූ කොට මෙන්න ප්රදීපය ඉන්නව ඇඬූ කඳුලෙන්. "අම්ම තාත්ත හිටියට ඌව පොඩි කාලෙ ඉඳල හදා ගත්තෙ ආච්චි අම්මය....ආච්චි අම්මට මොකවත් උනොත් ඌට ඉඳල ඕන නෑය" ඔන්න ඔහොම අඬනව වැලපෙනව එක විජ්ජුම්බරයයි. අපිත් ඉතිං ඌව වටකරගෙන ඇස්වල කඳුළු පුරවාන බලා හිටිය. වෙන මොකක් කරන්ටද?
ඒ අව් අස්සෙ ගහෙං ගෙඩි එන්නැහෙ සමරෙයා අහපි "මල්ලි...දැං බොලායෙ ඔය ආච්චි අම්ම හෙට වල කජ්ජ ගැහැව්වය කියමු.එතකොට බූමිදාන කරන්නෙ දවස් කීයකිංද?" කියල
අප්පටසිරි ප්රදීප්ට ඌරු ජුවල් ගියේ නැද්ද?.."තොගෙ xxxx, xxxxx පුතා" කියල පැන්න සමරෙයට ගහන්ට. බොහොම අමාරුවෙං එතන හිටපු අනික් එවුං ටික ඌව අල්ලගත්තෙ. මම දනිපනිගාල සමරෙයවත් ඇදගෙන දොට්ට පැන්න. අපේ චමරියට එනකල් මම ඌට පස් පඩංගුවෙ බැන්න. "මොනවද යකෝ තෝ එතන අර කිව්ව පඩත්තර කතාව?" කියල.
සමරෙය මම බයිනකල් මීක් නොකිය අහගෙන ඉඳල අන්තිමට කිව්වෙ මෙච්චරයි. "ඒත් මට තාම තේරෙන්නෙ නෑ බං අර යකා මට ගහන්ට පැන්නෙ ඇයි කියල. හොඳයි උඹම කියාපං බලන්ට මම අහපු එකේ මොකවත් වැරැද්දක් තියනවද? මම මේ වීක් එන්ඩ් එකේ ගෙදර යන්ටයි හිතාගෙන ඉන්නෙ. ඒ හින්දයි මම අරම ඇහුවෙ කොහොම හරි ඇරේන්ජ්මන්ට් එකක් දාගෙන ප්රදීපයගෙ ආච්චිගෙ මරණෙට සහභාගි වෙනවමයි කියල හිතල. ඉතිං බලපංකො එහෙම සද්භාවයෙන් ප්රශ්ණයක් ඇහුවම අර යකා මට කුණු හරපත් කියල ගහන්ට පැන්නනෙ. අනේ මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ බං"
"හරි හරි තේරෙන්නෙ නැත්තං තේරුංගන්ට උත්සාහ කරන්ටත් එපා..දැංවත් කට වහගෙන යමං" මම එහෙම කියල ඌට සත්තම දැම්ම.
ප්රදීපයගෙ සීන් එක කියල මම කිව්වෙ ඔන්න ඕක.....
"හෙහ්..හෙහ්…" කරුණෙ අයිය හිනාවුනා. "මේ අර එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුතෙන් ආපු කෙල්ලගෙ ගම මෙන්න මේ නිල්දණ්ඩාහීන්න පැත්තෙලු නේද? මාර ලස්සන පැත්ත බං..උඹට බැරිද හෙමීට අහන්ට ආච්චිල සීයල එහෙම ඉන්නවද කියල මේ අද හෙට වගෙ.....හෙහ්..හෙහ්…"
"කරුණෙ අයිය මේ මොන විකාර කතා කරනවද මන්ද...හොඳට හිටී එහෙම ඇහුවොත්……….." එහෙම කියල මම එතනිං නැඟිටල කුස්සිය පැත්තට ගියා.
ඔන්න ඊට සති දෙහෙකට තුනකට විතර පස්සෙ අපි පුල පුලා බලාහිටි මළ ගෙයක් ආවා. ඒක ඇවිල්ල ජෙනුයින් මර්ඩර් හවුස් එකක්. ආය ෆුල් ආතල්. ලොකේෂන් එකත් පයූව් ස්ටාර්. කැබිල්ලවෙල...බණ්ඩාරවෙල කිට්ටුව තියන ගම්මානයක්...මරණෙ අපෙ චන්දරේගෙ අප්පච්චි.
චන්දරය හොඳ කොල්ල. අපේ වයසම වගෙ. බැඳලත් නෑ. මළගෙවල් මඟුල් ගෙවල වලට එවර් රෙඩි පොර. කන්ට බොන්ට ගියාමත් එහෙමයි. ඒ හින්ද එහෙම එකෙක් වෙනුවෙම් අපි හැමෝම යන්ට ඕන කියල අපි එකඟතාවයකට ආව. ආරංචිය ආපු ගමං මුස්ලිම් ගමට දුවල ගිහිල්ල වෑන් එකක් කතා කරල චන්දරයත් ඒකෙම නග්ගල යැව්ව. ඔෆිස් එකේ කෙල්ලොයි උං හිච් වෙලා ඉන්න කොල්ලොයි තව ඔය වයසක ඩයල් ටිකත් ඒකෙම නැඟල ගියා. අපි ඔය කොල්ලො කට්ටිය පහුවදා යන්ට තීරණය කලා ජීප් එකක මල් වඩමක් එහෙමත් අරගෙන.
කරුණෙ අයිය, මම, සමරෙ, විජේ ඇතුළු තව අට දෙනෙක් පිටත් වුනා මළ ගෙදර චාරිකාවට. රියදුරු මුතු බණ්ඩත් එක්ක නමයයි. මිට්සුබිෂි ජීප් ලෝං වීල් බේස් මොඩල් එකේ පිටිපස්සෙ හරහට තියන සීට් දෙකේ එක සීට් එකක හතර දෙනා ගාණෙ අට දෙනෙකුට ගිහෑකි. ඒත් දුර ගමනක් යනකොට තුන් දෙනා තමයි ඔප්ටිමම් ගාණ නොහොත් ප්රශස්ත සංඛ්යාව. එතකොට ඉස්සරහ රියදුරුට අමතරව දෙන්නයි. පාන්දර හතර වගෙ වෙනකොට අපි කෑම්ප් එකෙන් පිටත්වුනා. 4945 මට මතක විදිහට ජීප් එකේ නොම්මරේ.
![]() |
| Mitsubishi -Jeep Long wheel base වර්ගයේ ජීප් රථයක් (Google Images) |
මනම්පිටිය, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය පහු කරල බදුල්ලට ආව. බදුල්ලෙං මල් වඩමක් එහෙම අරගෙන ඊට පස්සෙ උදේට කෑව. පානුයි කිරි මාළුයි පරිප්පුයි. ඒ අස්සෙ අපේ එවුං නහකුණු ගානව මොකවත් බීල හිටිමුය කියල.
"පිස්සුද උඹලට? මේ පාන්දර හිස් බඩම බීල උඹලට නකතං උනහම අතන මළ ගෙදර ගිහිල්ල පිස්සු කෙලියි. එහෙම හොඳ නෑනෙ බං. ටිකක් ඉවසල ඉඳහල්ල අඩුමගානෙ මිනියට කතා කරන කල්වත්. චන්දරේ දන්නවනෙ අපි අද එනවයි කියල. ඌ බඩු ලෑස්ති කරල තියෙයිනෙ......." කරුණෙ අයිය එක හෙලාම කියා හිටිය. ඒ පාර කට්ටිය සද්දෙ වහ ගත්ත. කරුණෙට මොනව උනත් හැමෝම සළකනව. අපේ බොස්ල පවා.
බණ්ඩාරවෙලින් අපි ගියා කැබිල්ලවෙලට. මළ ගෙදර හොයාගන්ට අමාරුවක් උනේ නෑ. සෑහෙන දුරක ඉඳල බැනර් දාල සුදු කොඩි එල්ලල තිබ්බ. චන්දරේ ඉස්සරහට ඇවිල්ල අපිව පිළිගත්ත. අපි ඇතුළට ගිහිල්ල මිනියට කතා කරල මිදුලෙ පැත්තක අඹ ගහක් යට තිබ්බ පුටුවල ඉඳගත්ත. කොහෙ හරි ළඟපාත ඉස්කෝලෙකිං ගෙනාපු යකඩ පුටු. කවුද ගෑණු ළමයෙක් ඇවිල්ල අපිට මාරි විස්කෝතු සහ ප්ලේන් ටී ඇල්ලුව. එව්වත් කාල බීල අපි ඔය ඒ ලඟම තිබ්බ ඉලත්තට්ටුවකිං විටක් එහෙමත් හප හප කයියක් ගහගෙන හිටිය. දැං වෙලාව එකොළහයි. අර රහමෙර පානයටම දත කට මැදගෙන ඉන්න එවුං දැං නළියනව කිරිපණු ගාය හැදුනැහෙ.
"කරුණෙ අපිට බදුල්ලෙදි මොකවත් කරන්ට දුන්නෙත් නෑ ඉස්සෙල්ල අඩුමගානෙ මිනියට කතා කරන කල්වත් ඉඳහල්ලය කියල...දැං ඉතිං මිනියටත් කතා කලානෙ. තවම මොකෝ කිසිම නෑනෙ..." අනික් එවුං ඔන්න ටිකක් වෙලා යනකොට එහෙ මෙහෙ රැස් වෙලා කටු කුටු ගාන්ට ගත්ත.
"වීරෙ මොකෝ මල්ලි මෙවුං මේ කියන්නෙ?" කරුණෙ අයිය හෙමිහිට මගෙං ඇහුව.
"උංට බොන්ට නැතුව කරුණෙ අයියෙ.."
"ඒක තමයි... මල්ලි මේ උඹ කතා කරල බලහංකො චන්දරය එක්ක ඌ මොකවත් සංවිධානයක් එහෙම කරල නැද්ද කියල……….."
මම ගේ ඇතුලට ගිහිල්ල චන්දරයව කතාකරගෙන එළියට ආව.
"ඒයි වරෙංකො පොඩි කාරණයක් තියනව උඹෙං දැනගන්ට….."
එහෙම කියල මම ඌව අපේ උංගෙන් ටිකක් ඈතට එක්ක ගියා. ඊට පස්සෙ තමයි අර මම කලින් පෝස්ට් එකේ කියපු දෙබස ඇතිවුනේ.
"මේ මචං චන්දරේ දැං කොහොමද බොන්ඩ මොකවත් හොයාගන්නෙ? "
"බොන්ඩ කිව්වෙ?... අරක්කුද?"
"නැතුව ආය උඹ හිතුවෙ තැඹිලි කියලද?.."
"අනේ මචං කියන තැනකට වඳින්නං බොන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා මෙතන.."
"ඈ....ඒක මාර කෙළියක්නෙ... ඒ මොකද උඹ එහෙම කියන්නෙ?"
"එහෙම කියන්නෙ අපෙ අප්පච්චි අරක්කු බිංදුවක් කටේ තියපු කෙනෙක් නෙවෙයි.."
"හරි බං ඒ උඹලගෙ අප්පච්චිනෙ. ඒ අප්පච්චිගෙ මළගෙදරනෙ අපි දැං මේ ඇවිල්ල ඉන්නෙ. අනික අප්පච්චි අරක්කු නොබිව්වට උඹ බොනවනෙ.. ඒ හින්ද අපිට ඔය බෝතල් තුන හතරක් ගෙනල්ල තැනකුත් ලැහැත්ති කරල දීපං.."
"කොහෙද? මෙහෙ? "
"මෙහෙ නැතුව ආය?"
Futurus persevero............









