Wednesday, August 31, 2011

38. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......2

පෙම් කතාවේ මුල් කොටස

දෙවන වසරේ මුල්ම දවස.......මමත් දැන් ජේෂ්ඨ ශිෂ්යයෙක්මි යන හැඟීමෙන් යුතුව උදෑසනම මම විශ්ව විද්යාලය වෙත පිය මැන්නෙමි.

දහස් ගනණක් නවක සිසු සිසුවියන්ගේ කෙළිලොල් සිනහ හඬ අසමින් නවකයින් හා සුහද සිනහවන් හුවමාරු කර ගනිමින් මිතුරන් සමඟ උදය වරුව ගත කල මම දිවා ආහාරයෙන් පසු පුස්තකාලය අසල ඇති නිල් මහනෙල් මලින් ගැවසි කුඩා පොකුණ අබියස සුවිසල් නුග ගසක් සෙවනේ පැනවූ අසුනකට බරවී ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලියැවුණු පොතක් කියවමින් සිටියෙමි.

ඒ දෛවෝපගත දින මා කියවමින් සිටියේ මෝගල් අධිරාජයාගේ පුත්‍ර සලීම් සහ අනර්කලී අතර පැවතුනායයි පැවසෙන සුපතල ප්‍රේම වෘතාන්තය ගැන සඳහන් කොටස බව අදට ද මාගේ මතකයෙහි පැහැදිළිව සටහන් වී ඇත්තේ ගලෙක කෙටූ අකුරක් මෙනි. මෙම පෙම්පුවත පිළිබඳ බොහෝ අපැහැදිළි තැන් ඇති බැවින් අනර්කලී යනු සත්‍ය වශයෙන්ම ජීවත් වූ යුවතියක්ද යන්න ස්ථිරව ප්රකාශ කල නොහැකි බව ඒ පරිච්ඡේදය අවසන සඳහන් විය.

පොතෙහි ඒ කොටස කියවා අවසන මම පොත වසා දමා මා හිඳ සිටි ගලින් නිම කල අසුන ඉදිරිපස වූ ලා රත් පැහැති ටෙරකොටා ගල් ඇල්ලූ පෙත්මඟ දෙස නෙත් යොමා පසුවුවද මා සිත පැවැතියේ ඉන් බොහෝ ඈත වසර සාර සියයකට එපිට ලාහෝරයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඒ පෙම් පුවත පිළිබඳ කරුණු විමසමිනි.

සලීම් සහ අනර්කලීගේ ප්‍රේම ලෝකයෙන් මිදී, එක්වණම මසිත නැවත පුස්තකාලය අසල ගල් අසුන වෙත පැමිණියේ, හදිසියේ ඇසුණු යුවතියන් පිරිසකගේ කිකිණි සිනහ හඬකිනි.මම පෙර ඔබට පැවසූ පෙත් මඟේ මා හිඳසිටි ආසනයට අඩි විස්සක් පමණ දුරකින් වූයේ තියුණු නැම්මකි. දෙපස රූස්ස ගස් වැලින් වැසුණු මේ නැම්මෙන් එක්වරම මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූයේ සුරූපී යුවතියන් සිව් දෙනෙකි.නිල් පැහැති ජීන්ස් සහ නොයෙක් වර්ණයෙන් යුතු ලිහිල් කමිස වලින් සැරසුණු ඔවුන් නවක සිසුවියන් බව වටහා ගැනීමට කිසිදු අපහසුවක් නොවුනේ, ඔවුන් සුරතේ රැඳුණු නවකයින්හට ලියාපදිංචි වීමේදී ළබාදෙන අලහබාද් විශ්ව විද්යාලීය ලාංඡනය පැහැදිලිම සටහන් වූ අත් පොත හේතුවෙනි.

කුමන හෝ ඔවුන් අතරෙහි කෙරුණු කවට කමකට මහත් හඬින් සිනා සෙමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් කිසිදු වග විභාගයක් නොමැතිව පෙත් මඟ ඔස්සේ පැමිණි ඔවුහු එක්වරම මා දුටුවෝ, විපිළිසරව ගොස් සිටි තැන් වලම පාෂාණිභූත වූවාසේ නතර වූවෝය.

සිව්දෙනම එක සේ රුවින් සපිරි වූ වද ඒ අතර වූ තෙවැන්නියගේ වත මඬල හැර අනෙකුත් යුවතියන් තිදෙනා පිළිබඳ ව කිසිදු මතකයක් එදින මහදෙහි සටහන් නොවීය.තවත් බොහෝ කලක් ගතවූ පසු දිනෙක "එදා අර අපි දෙන්න මුලින්ම දැක්ක දවසෙ, තව ඔයාගෙ යාළුවො තුන්දෙනෙකුත් හිටියයි කිව්වට.....මම හිතන්නෙ ඔයා කියන්නෙ බොරු...එදා මම දැක්කෙ නම් ඔයාව විතරයි" ඇයගේ අත ගෙන ඒ ආසනයේම හිඳගෙන මම පැවසූයේ අසත්‍යයක්ම නොවන බව මට දිවුරා ප්රකාශ කළ හැක.

ඔවුන් පාෂාණිභූත වූවා සේම මමද ගල් ආසනය මත තැබූ ගල් පිළිමයක් මෙන් ඇගේ වත දෙසම දෑස ඉවතට ගත නොහී බලා සිටියෙමි.

ජීවිතයේ මින් පෙර කිසිම දිනක මුණ නොගැසුණු තැනැත්තකු/තැනැත්තියක නොසිතූ විරූ ලෙස හදිසියේ හමුවූ අවස්ථාවක මේ මම මෙතෙක් කලක් සොයමින් සිටි පුද්ගලයා නොවේද?........මොහු/මැය නොමැතිව මම මෙතෙක් කලක් ජීවත් වූ යේ කෙසේද?..........මින් පෙර මොහු/මැය මට හමු වූයේ කොහේදීද?......ජීවිත කාලයක් සෙවණැල්ලසේ ළඟින් සිටියාමෙන් දැනෙන මේ හැඟීමට හේතු කවරේද?

ඔබට ඉහත හැඟුම් ජීවිතයේ කිසිදු විටෙක දැනී ඇත්නම් ඔබ ඉහත ප්රසශ්න වලට ජීවිතයේ එක්වරක් හෝ මුහුණ දී ඇත්නම් මා එදා මුහුණ දුන් තත්වය වටහා ගැනීම කිසිසේත් අසීරු නොවනු ඇත.නො එසේව ඔබ මෙවන් තත්වයකට මුහුණ දී නැත්නම් කරුණා කර එම තත්වය වටහා ගැනීමට හෝ අවම වශයෙන් උත්සාහ කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

අසුරු සැණින් එක මොහොතකදී කාලය නැවතී යළි ඇරඹී..........විශ්වය අලුතින් බිහි වේවා,......ඔබෙම වී මා...මගේම වී ඔබ.....අපේම වී අප ඉපදේවා!!!



යමුනා විනෝදනීගේ ලයාන්විත හඬ අලහබාද් විශ්ව විද්යාඅලයේ පුස්තකාලය අසල පිහිටි පොකුණ වටා දිවෙන ටෙරකොටා ගල් ඇල්ලූ පෙත්මඟක රැව් දුන්නේය. එසේය.....ඇගේත් මගේත් දෑස් එකට වෙලී අප අනිමිස ලෝචනයෙන් ගත කල ඒ නිමේශය,.....ඇගේ යෙහෙලියන් සපථ කල පරිදි ඒ නිමේශයක් බව මම ද පිළිගන්නෙමි. ඇයද ඒ පිළිගන්නීය. එහෙත්...........ඇයටද මාහටද ඒ නිමේශය කල්පයකි......කාළය නැවතුනු නිමේශයකි. විශ්වය යළි ඇරඹි නිමේශයකි.

අවසන කල්පය ගෙවී ගියේය. විශ්වය අළුතින්ම නැවත බිහි විය.එතෙක් අප දෙදෙන එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියෙමු.

" අපර්ණා........ක්යා බාත් හේ? " ඇගේ යෙහෙළියකගේ විශ්මය රැඳුනු හඬ අප දෙදෙන නැවත පියවි සිහියට ගෙන ආවේය.

" අපර්ණා.....මොකද වෙලා තියෙන්නෙ?......."

යෙහෙලිය දෙස බලා ආයාසයෙන් මුවඟට සිනහවක් නඟා ගත් ඇය " නෑ අනේ මොකුත් නෑ, අපි යමු " පවසමින් යෙහෙළියගේ අත අල්ල ගත්තාය.

මා ඉදිරියෙන් නිහඬව ගමන් ගත් ඔවුහු පුස්තකාලය අසල වූ මලින් පිරුණු අසලියා ගොමුවෙන් වැසී නොපෙනී ගියහ. එහෙත් අවසන් මොහොතේ යෙහෙළියනට මදක් පසු වූ ඇය ආපසු හැරී එතෙකුත් ඇය දෙසම දෑස් දල්වා බලා සිටි මා දෙස එක එල්ලේ බලමින් ලජ්ජාශීලී මන්දස්මිතියකින් මට සංග්ර්හ කළාය.

එදින සවස් වන තුරුම මම ඒ අසුන මතම ගත කල මුදු නැවත පොත නොකියවූයෙමි.ඈත අහසේ හිරු බස යන අයුරු.....පරවියන් කැදලි කරා පියඹ්න අයුරු බලා සිටියද මගේ සිත පුරා රැඳී සිටියේ ඇයයි....ඇගේ ලජ්ජාශීලී මඳ සිනහවයි.මගේ නෙත පුරා පිරී සිටියේ ඇයයි,........ඈ අසලියා මල් ගොමුව අසලදී ම දෙස හැරී බැලූ අයුරුයි.

එදිනට පසු සති කිහිපයක් මම ඇය නොදුටුවෙමි.ඇගේ නම දන්නා බැවින් ඇය කුමන පාඨමාලාවක් හදාරන්නේද යන්න සොයා ගැනීම එපමණ උගහට නොවූ වද මටම නොවැටහෙන යම් ගුප්ත කරුණක් හේතු කොට ගෙන මම ඉන් වැළකුණෙමි.

සමහරවිට මාතෘ භූමියේ සිට සතපුම් එක්දහස් තුන්සියයක් ගෙවා ඇය සොයා පැමිණි මට, දෛවෝපගත ලෙස ඇය මුණ ගැසුණු මට,ඇය යළි හමුවීම කාළය පිළිබඳ ප්රශ්නයක් පමණක්ම බව මගේ යටි සිත පැහැදිළිව දැන සිටීම ඊට හේතුව ලෙස මම විශ්වාස කරමි.

ඇයටද එසේම හැඟුණු බව ඇය මා හා පසුව පැවසුවාය.

මතු සම්බන්ධයි...............

Tuesday, August 30, 2011

37. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......1




නිධාන කතාව නොහොත් පූර්වාපර සන්ධි ගැලපීම

වසර 2009,

ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්යාවක්,

පන්ජාබයේ සිට ශ්රී නගර් දක්වා දිවෙන මහා මාර්ගයේ කාශ්මීර ප්රාන්ත සීමාව අසල බොහෝ සෙයින් ජන ශූන්ය ප්රදේශයක්,

නිල් පැහැති ස්කෝඩා වර්ගයේ රිය මවිසින් මිලයට ගෙන තවම මසක් වත් ගෙවී නැත.වැළමිටි වංගු ගහන මාර්ගයේ රිය ධාවනය කොහොමත් අපහසුය. ඉර හැරුණු වහාම ඇරඹුනු කඩින් කඩ හිම පතනය නිසා ඇති වූ තුනී හිම තට්ටුව බෙහෙවින් ලිස්සන සුළු බැවින් එය තවත් අසීරු වේ.

මලානික හිරු එළිය නිසා අවට පැතිර ඇත්තේ අඳුරු පාළු ස්වභාවයකි.හිමෙන් වැසී ගිය පේනතෙක් මානයේ පැතිරීගිය කඳුමුදුන් බොහොමයක් වැසී ඇත්තේ රත් පැහැති පත්රයන්ගෙන් වැසීගත් තුඟු චිනාර් ගස් වලිනි.

මෝටර් රිය ඉතා සෙමින් ධාවනය වූ වද මාර්ගයේ ලිස්සන සුළු අනතුරුදායක ස්වභාවය නිසා මම මාර්ගය දෙසම ඉතා සැලකිල්ලෙන් නෙත් යොමා සිටියෙමි. එසේ වුවද,හදිසියේම නොසිතූ ලෙස පාර හරහා දිවගිය සාවකු නිසා එක්වරම තිරිංග තද කිරීමට සිදුවූයෙන් රිය ලිස්සා ගොස් මාර්ගය අසල වූ තණ බිස්සේ නතර විය.

එන්ජිම අක්රිය කල මම ඉදිරි වම්පස අසුනේ නිදන අපර්ණා දෙස සෙමෙන් හිස හරවා බැළුයේ ඈ අවදි වී දැයි දැන ගැනීමටය. නැත. ක්ෂණිකව රථය නැවැත්වීම නිසා ආසනයෙන් ලිස්සා ගියද ආසන පටිය නිසා ඈ දොරට බරවී තවමත් දැඩි නින්දේ පසුවූවාය.

සෙමින් ඇගේ හිස කෙලින් කල මම නලලත ද සිප ගතිමි. සිහිනෙන්ම මොනවාදෝ මිමිනූ ඈ නැවත හිස පසෙකට හරවාගෙන ගැඹුරට හුස්ම ගනිමින් නිදන්නට වූවාය.

රියෙහි දොර විවෘත කල මම හඬ නොනැගෙන පරිදි දොර වසා බොනට්ටුවට හේත්තු වී දුම් වැටියක් දල්වා ගතිමි.පෙණහළු පුරා දුම් පුරවාගත් ඉක්බිති මුවින් දුම් පිටකරමින් ඉදිරියේ ඇති කුඩා කඳු ගැටය මිහිදුමින් වැසෙන අයුරු බලා සිටියෙමි.

හදිසියේම මිහිදුම් පටල තුනී වී ගොස් මා ඉදිරියේ කඳු ගැටයේ මුදුනත පැහැදිලිව දර්ශනය විය. එක්වරම දෙනෙත් අදහා ගත නොහුනු මම අයාගත් දෙනෙතින් යුතුව කඳු මුදුණත දෙස බලා සිටියෙමි. කඳු මුදුනේ සතුරු හමුදාවක් කෙදිසාවකින් පැමිණෙන්නේ දැයි පරීක්ෂාවෙන් සිටින මුර සෙබලෙක් මෙන් වූයේ එකම එක චිනාර් ගසකි. අවම වශයෙන් අඩි අසූවකට නොඅඩු උසකින් යුතු වූ ඒ මහා වෘක්ෂය රත්වන් පත්රව වලින් අලංකාරව කඳු මුදුන මත නැඟී සිටියේ අවට පෙනෙන තෙක් මානයේ වූ සියල්ලෙහි එකම හිමිකරුවා ලෙසිනි.

මට අදහාගත නොහුනු කරුණ වූයේ මේ චිනාර් ගස මට හොඳින් දැක පුරුදු පැරණි මිතුරකුසේ හැඟී යාමය.එය කෙසේවත් සිදු විය නොහැක්කකි. මේ මම පලමු වරට කාශ්මීරයට පැමිණි වරයි.එසේම මම ඉන්දියාවට පැමිණ ගත වී ඇත්තේ ද වසර පහක් පමණි.

ශ්රී ලංකාවේ ඉපිද ජීවිතයේ මුල් වසර විස්සකට ආසන්න කාලයක් එහි ගෙවූ මට කාශ්මීරයේ ජීවිතයේ පලමු වරට දුටු මේ චිනාර් ගස බොහෝ කලක් ළබඳි මිතුරකුසේ හැඟෙන්නේ මන්ද?

කුඩා කළ සිටම මා සිත තුල ඉන්දියාව පිළිබඳව හටගත් ඇල්ම සහ ආකර්ෂණයට පැහැදිලි හේතු සාධක මට අද ද සිතා ගත නොහැක. එහෙත් ඉතිහාසය විශයයට ජයසේකර සර් ඉගැන්වූ මොහෙන්දෝජාරෝ, හරප්පා ශිෂ්ඨාචාරවල සිට මහා අක්බාර් ගේ මෝගල් අධිරාජ්ය, ගුප්ත අධිරාජ්ය ආදිය දක්වා භාරතීය ඉතිහාසය මාතුල ඇතිකලේ ත්රාසය, චමත්කාරය මුසු හරිහැටි විස්තර කිරීමට උගහට ආනන්දනීය හැඟීමකි.

පාසලෙහි දහවල් කාලයෙහි ඉගෙන ගත් මෝගල් අධිරාජ්යධයය පිළිබඳ කරුණු නැවත මෙනෙහි කරමින් පෙළ පොතෙහි අඩංගු රූප සටහන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් මා ගෙවූ සන්ධ්යාවන් සංඛ්යාව මෙතෙකැයි ගිණිය නොහැක.

මා සත්වන වසරේ දී සිදුවූවක් මට තවමත් ඉතා පැහැදිලි ලෙස ස්මරණය කළ හැක. මහා අක්බාර් ගේ පුත් ජෙහන්ගීර් පිළිබඳව එදින පාසලේදී ඉගැන්වූ අතර සවස මම ඇඳේ දිගාවී ඉතිහාස පොතෙහි ඒ පිළිබඳව නැවත කියවමින් සිටියෙමි.

මට නින්දට පත් වූවා ද නැතහොත් නින්දත් අවදියත් අතර පවතින අවිනිශ්චිත කලාපයේ පසු වූවා ද යන්න මට අදට ද විසඳුම් නොමැති ගැටළුවෙකි.හදිසියේම එකකට එකක් සම්බන්ධ නොමැති රූප පෙලක් මා දෑස අභියස දර්ශනය වන්නට විය. ඒ ඇත්ත වශයෙන් අප චිත්ර පටයක් බලා හිඳිනවාට වඩා සමාන වූයේ අඳුරු රැයක විදිලි කෙටීම් නිසා වරින් වර පෙනී නොපෙනී යන පිටත දර්ශන පෙලකටය.

අසුන් පිට නැඟගත් නොයෙක් තද පැහැති වර්ණයන්ගෙන් සැරසී ගත් සේනාවන් දෙකක් අතර බිහිසුණු සටනක්.......රන්කම් කල ශ්වේත වර්ණ ජටා පැළඳි හතළිහක් පමණ ප්රාංශු දේහධාරින් ගෙන් සැදුම්ලත් සභාවක මුලසුන ගෙන සිටිනා දිගු රැවුලැති ප්රතාපවත් පුරුෂයෙක්.......මා කිසිදාක නුදුටු පෙට්ටියක හැඩය ගත් සංගීත භාණ්ඩයක් කිරිගරුඬ වන් දිලිසෙන පාශාණ විශේෂයකින් නිමකල බිත්ති සහ බිමෙන් යුතු ශාලාවක එලූ පළසක එරමිණිය ගොතා හිඳ කන්කළු ස්වරයෙන් වාදනය කරන අතර නුපුරුදු වූ බසකින් ගීයක් ගයන තියුණු දෙනෙතකින් සහ ගෙල තෙක් කඩා හැළුණු රැළි වැටුණු කෙස් කළඹකින් යුත් නව යොවුන් තරුණයෙක්,ඔහු වයන ස්වරයට සහ ඔහුගේ ගායනයට අනුව දිගු රන්වන් පැහැති අත් සහ පා ලෙලවමින් දෑත රැඳි කණකමය වළලු සහ වළළුකර පැළඳි රජතමය නූපුර හඬවමින් රෑ කල අහස් කුස ඇදීයන විදුලි දහරාවක් මෙන් මනහර වූ රංගනයක යෙදෙන සුරූපි ළලනාවක්.......

ඒ රාජසභාවේ මුලසුනේ සිටි තැනැත්තා සහ කිසිදාක මා අසා නොතිබුණු භාෂාවකින් ගීයක් ගයමින් මා කිසිදා දැක නොතිබුණු සංගීත භාණ්ඩයක් වාදනය කළ කඩවසම් තරුණයා ට මගේ සිතෙහි එතරම් ළබැඳි හැඟීමක් නිරායාසයෙන්ම ඇති වූයේ මන්ද?.......එම නිසැකවම දැඩි ප්රේමයෙන් බැඳී සිටි තරුණ යුවල කවුරුන්ද?......ඔවුන් මෙසේ මා නෙත් අභියස මෙසේ දර්ශනය වූයේ මන්ද?..........ඉන්පසු කිසිම දිනක ඒ දසුන මා නෙත අබියස දර්ශනය නොවූ නමුදු කිසිදාක නොමැකෙන සේ මා සිත් තුල ඒ සනිටුහන් වී ඇත්තේ මන්ද?

ඉන්දියාව පිළිබඳව මා සිතේ බලපැවත්වූ ආකර්ෂණය කෙතරම් ද යත් උසස් පෙළ ප්රතිඵල අනුව ලංකාවේ විශ්ව විද්යාලයකට ඇතුල් වීමට ලැබුණු පහසු අවස්ථාව ඉවත දමා ඉන්දීය විශ්ව විද්යාල කිහිපයකට අයදුම් කළෙමි. ඒ අනුව ලැබුණු ශිෂ්යත්වයක් මත උත්තර් ප්රදේශ් හි අලහබාද් විශ්ව විද්යාලයට මීට වසර පහකට පෙර ඇතුල් වූයෙමි.මෙ වන විට මගේ මව් පියන් මියගොස් සහ එකම වැඩිමහල් සොයුරියද විවාහ වී සිටීම නිසා ලංකාව සමඟ සබඳතා අවම මට්ටමක පැවතීම දිවයින හැරදමා ඒමට රුකුලක් ම විය.

ඒ අනුව වසර පහකට පෙර අලහබාද් විශ්ව විද්යාලයේ පුරාණ සහ මධ්ය කාලීන ඉතිහාසය පාඨමාලාවට ඇතුළු වූයෙමි.අලහබාද් හි ගෙවුණු පලමු වසර කිසිදු විශේෂ හෝ සඳහන් කලයුතු සිද්ධියකින් තොරව ගෙවී ගිය අතර ලංකාවෙන් අවශ්ය ප්රමාණයටත් වඩා මුදල් ලැබුණු බැවින් මට ආර්ථික ගැටළුවක් ද නොවීය.මම අධ්යනය කටයුතු වල නොයෙදුනු කල්හි ඒ අසලින්ම ගලාගිය ගංගා සහ යමුනා ගංතෙර ඉබාගාතේ ඇවිදිමින්, අලහබාද් හි සුරූපී ඉන්දීය යුවතියන්ගේ රූ සපුව නරඹමින් සැහැල්ලු සහ කෙලිලොල් ජීවිතයක් ගත කළෙමි.

ඒ සියලු දෑ එක් සැනෙකින් වෙනස් වූයේ දෙවන අධ්යන වසර ආරම්භයත් සමඟය.

මතු සම්බන්ධයි...............

Sunday, August 28, 2011

36. අනර්කලී සහ සලීම්......සදාතනික පෙම් කතාවක්........

අනර්කලීගෙ කතාව මුලින්ම ලිව්වෙ අපෙ පොඩ්ඩි......ඒ අනර්කලීගෙ දෘෂ්ඨි කෝණයෙන්.......

ඊට පස්සෙ මේ මම ලිව්ව සලීම් කියන එයාගෙ කතාව......

වසර 1627,

ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්‍යාවක්,

කාශ්මීරයේ සිට ලාහෝරය බලා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාශ්මීර දෙශ සීමාව අසල ජන ශූන්‍ය ප්‍රදේශයක්,

කාශ්මීර් දේශයේ සිට ලාහෝරය බලා දිවෙන ප්‍රධාන මාර්ගය තැනින් තැන වැටුනු හිම කඳන් වලින් අවහිර වී තිබිණි.

උත්තුංග කඳු වටා යමින් දරණ ගැසූ සර්ප රාජයකු සිහි කරන මාර්ගයේ හිරු අවරට යාමට ඉතාම ආසන්න මේ මොහොතේ ලාහෝරය දෙසට ඇදෙමින් තිබුනේ අශ්වාරෝහක සෙබළුන් දෙතිසකගේ ආරක්ෂාව යටතේ ගමන් කරනා දෝලාවකි.

මෙකල මුළුමහත් උතුරු ඉන්දියාව පුරා සාමකාමී වාතාවරණයක් පැවතුනු බැවින්, අවම ආරක්ෂාවක් සහිතව ගමන් කලද, මේ රන්කම් කල දෝලාව තුල අඳුරු රතු පැහැති විල්ලූද පලස මත වැතිර, ඔසවා ගෙන යන වහලුන්ගේ පය තබන තබන රිද්මයට පැද්දෙමින්, ගමන් ගත්තේ සෙසු පටු පුරුෂයකු නම් නොවේ.

ඔහු වනාහී මුළු මහත් මෝගල් අධිරාජ්‍යයේම අසහාය පාලකයා වූ ජහන්ගිර් මිස අන් කවරකු හෝ නොවේ.මහා අක්බාර්ගේ ගේ පුත්‍රයා වූ හෙතෙම පියාගේ ඇවෑමෙන් අධිරාජ පදවියට පත් වූ යේ මෝගල් අධිරාජ්‍යය පෙර නොවී වීරූ ධන සම්පතින් සපිරුණු යුක්තිය සහ සාධාරණත්වය රජයන සියළු ජන වර්ග යන්ට සමගියෙන් සාමයෙන් දිවි ගෙවියහැකි මිහිබට සුරපුරක් බවට පත් කරනු වස් තම පූර්ණ කැපවීම සහ උත්සාහය යෙදවූයේය.

එම මහඟු උත්සාහය සාකල්‍යයෙන් සාර්ථක වූ නමුදු ජහන්ගීර් නිරතුරු කාලය ගත කලේ බලවත් සිත් තැවුලකිනි.

අටසියයකට අධික වූ අන්තඃපුර බිසෝවරුන් හෝ රූපයෙන් අගතැන් පත් නූර් ජහාන් බිසව හෝ ඔහුගේ සිත් තැවුල පලවා හැරීමට සමත් වූයේ නොවේ.

නාටිකාංගනාවන්ගේ රැඟුම් ඔහු සිත වඩාත්ම ශෝකයට පත් කිරීමට හේතුවූ බැවින් අධිරාජ පදවියට පත් වහාම මාළිගයේ නාටිකාංගනාවන් සියළු දෙන සේවයෙන් මුදා හරින ලද්දේය.

ජහන්ගීර්ගේ සිත මෙසේ දුක් සංතාපයෙන් පිරී පවතිනුයේ, පුරා වසර සතලිසක සිටය. ප්‍රේම වියෝව කාලයත් සමඟ මැකී යන්නෙකැයි කවුරුන් පැවසුවද, ඒ එසේ නොවන බව, කාලය ගත වන්නා හා සමඟම, හදවත තුලට කිඳා බැස, හද කීතු කීතු කොට නිරත්තරයෙන් ඉරා දමනා, තියුණු සැතක් හා සමාන වන්නක් බව ඔහු මේ සතලිස් වසක් තුල මොනවට පසක් කළේය. එකල දහ අට වියැති නව යොවුන් තරුණයකු වූ සලීම්,( එකළ ඔහු හැඳින්වූයේ සලීම් නමිනි )දෛවෝපගත ලෙස මාළිගයේ නාට්‍යාංගනාවක් වූ අනර්කලී සමඟ පෙමින් බැඳුනේය.

රුවින් අගතැන් පත් ඕ තොමෝ නමින් නදීරා වුවද, රූප ශෝභාව නිසාම " දෙළුම් මල" යන අරුතින් අනර්කලී නමින් ප්‍රසිද්ධ වූවාය.

නාටිකාංගනාවක් වුවද රූපයෙන් මෙන්ම ඈ ඥාණයෙන්ද, බුද්ධියෙන්ද යුතු වූවා, නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් ප්‍රගුණ කලාය.

මෙවන් මහාර්ඝ යුවතියක් හා පෙමින් බැඳීම ගැන සලීම්ට දොස් පැවරිය හැක්කේ ඇත්තෙන්ම නම් කාටද?

අකලංක වූ පෙමින් එකිනෙකා හා බැඳුනු ඔවුහු, එකල දිවිගෙවූයේ සත්‍ය වශයෙන්ම දෙව්ලොවකයයි කිවහොත් එය කෙසේවතුදු අසත්‍යයක් නම් නොවේ.

සන්තූර් නම් වූ පර්සියානු, තත් සැත්තෑ දෙකකින් යුත් වාද්‍ය භාණ්ඩය වැයීමේ කෙළ පැමිණියකු වූ සලීම්, සෑම රාත්‍රියකම පාහේ ඔහුම පබැඳි ගී ගයමින්, වාදනයේ යෙදුනු අතර, අනර්කලී තම රන්වන් දෑත් විදිලිය මෙන් ලෙලවමින් පා රැඳි නූපුර රාවය සැඳෑ අඳුරට මුසු කරමින්, ඔහු වෙනුවෙන්ම රංගනයේ යෙදුනීය.

ශාලාව වටා දැල්වෙන පහන් ආලෝකයෙන් දිස්වන, ඇගේ සුරලියක බඳු නර්තනයෙන් වශීකෘත වූ සලීම්, අඩවන් දෙනෙතින් යුතුව ගීතය උච්ච ස්වරයෙන් නිමා කලේය. ඒ වහාම ඉණ බැඳි සේලය දුහුල් වලාවක්සේ කරකැවී යන පරිදි වටයක් කරකැවුනු අනර්කලී, නර්තනය අවසන් කලේ සලීම් ගේ උකුල මත හිඳ ඔහුගේ දෙතොල් සිප ගනිමිනි.

ප්‍රේම සම්බන්ධයක් රහසක්ව තබා ගැනීම අසීරුය. විශේෂයෙන් මෙවන් ප්‍රේම සම්බන්ධයක් වැඩිකල් රහසක්ව තබා ගත උදක්ම උගහටය. එසේම ඒ රහසක්ව තබා ගැනීමට සලීම් සහ අනර්කලී කිසිදු උත්සාහයක්ද නොගත්තෝය. එකල්හි සිදුවිය යුතු ලෙසම මේ පිළිබඳව සලීම්ගේ පියාණන් වූ අක්බාර් අධිරාජයාට සැලවීමට බොහෝ කලක් ගත නොවීය.

බෙහෙවින් කෝපාවිෂ්ට වූ අක්බාර් අධිරාජයෝ, අනර්කලී දඟගෙයි ලැවූහ. ඈ එතැනින් මුදාගත් සලීම්, පියානන්ට විරුද්ධ සිවිල් යුද්ධයක් ඇරඹූ නමුදු, වඩාත් බලවත් අක්බාර්ගේ හමුදාව ඉදිරියේ පැරද සිරකරුවෙක් විය. අක්බාර්ගේ නියෝගය වූයේ, අනර්කලී සැඟව සිටිනා තැන හෙළිනොකලහොත්, සලීම් ජීවිතක්ෂයට පත්කරන ලෙසයි. ආදරය වෙනුවෙන් තම දිවි කැප කිරීමට සලීම් කිසිසේත් මැළිනොවුන ද, තම පෙම්වතා වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමට ඉටා ගත් අනර්කලී නිර්භයව රජු හමුවට ඉදිරිපත් වූවාය.

ඇය රජුගෙන් ඉල්ලාසිටියේ එකම වරයකි. ජීවිතයේ අවසාන රාත්‍රිය තම පෙම්වතා සමඟ ගත කිරීමට අවසර දෙන ලෙසය. රජුගේ අවසරය ඒ සඳහා ලැබුණු අතර, ඔවුන් දෙදෙන අවසන් රාත්‍රිය ගතකලේ නගරයෙන් පිටත පිහිටි සලීම්ගේ මන්දිරයේය. අනර්කලී තම සදාදර පෙම්වතා වෙනුවෙන් තමන්ගේ අවසන් රැඟුම රඟන අතර, සලීම් තම ප්‍රාණ සම පෙම්වතිය වෙනුවෙන් අවසන් වරට සන්තූරය වයමින් ඈ වෙනුවෙන්ම පබැඳි පෙම් ගීයක් ගායනා කලේය....අවසන් ගී ස්වර මැකී ගොස්, අවසන් නාද රටා වියැකී ගොස් අවසන් නූපුර රාව වාතලයේ වියැකී යන්නාහාම අනර්කලී සලීම්ගේ ගෙල වැලඳ පපුවෙහි හිස හොවා ගත්තීය.

අළුයම් කාලය වනතුරු එලෙසම ආලිංගනයෙන් ගතකල ඉක්බිති, අනර්කලී මරණයට මුහුණ දීමට සූදානම්ව රජු හමුවට පැමිණියේ, ඊට පලමු තමා වෙනුවෙන් සලීම් ඉදිරිපත්වීම වලකනු වස්, දෙළුම් යුෂ වලට මිශ්‍ර කල මත් ද්‍රව්‍යයක් පානය කිරීමට සලස්වා ඔහු නිද්‍රාවට පත් කල අනතුරුවය.

තමා ඉපැදුනු හැදුනු වැඩුනු ලාහෝරයේ නගර ප්‍රාකාරය අබියස ගඩොළු බිත්තියකට තබා බැඳ ඉදිරියෙන් තවත් ගඩොළු බිත්තියක් ගොඩ නැඟීමෙන් ඈ මරණයට පත් කරන ලද්දේ එදවස රාජද්‍රෝහීන්ට නියම වූ අනිවාර්ය දඬුවම ඒ වූ බැවිනි.

ගඩොළු බිත්තිය කෙමෙන් කෙමෙන් උස් වෙද්දී ,මඳින් මඳ තම හිතවතුන් ඥාති මිත්‍රාදීන්ගේ හඬා වැලපෙන සෝ බර මුහුණු ගඩොළු වලට වැසී නොපෙනී යද්දී, ඇය දෙවියන් යදිමින් ප්‍රාර්ථනා කලේ තම සදාදරණීය පෙම්වතාගේ යහපතය.ඔහුගේ මතු දියුණුවය. ඔහුට කිසිදා මෙවන් අකල් මරනයක් නොවී මතු භවයේ හෝ ඔහු හා එක් වීමට ලැබේවා යන්නය.

අවසන අවසන් ගඩොල ද පෙදරේරුවන් විසින් ස්ථාන ගත කොට, හාත්පසම අඳුරින් ගිලීයන මොහොතේ දෑස් පියාගත් ඈ ඉදිරියේ මැවී පෙනුනේ සලීම්ගේ සිනාබර මුහුණයි.රැළි ගැසුණු ගෙල තෙක් කඩා හැළුණු කාල වර්ණ කෙස් කලඹයි. ඔහුගේ මඳක් දුඹුරු පැහැ කාන්තිමත් දෑසයි. ඒ සදා මතකයෙන් නොමැකෙන මුහුණ සිතෙහි තුරුළු කොටගෙනම ඈ, එනම් අනර්කලී නම් වූ ඒ අසාමාන්‍ය යුවතිය ආදරය වෙනුවෙන් තම ජීවිතය පූජා කළාය.

සලීම් නිද්‍රාවෙන් අවදිවන විට මධ්‍යාහ්නය ද ඉක්මගොස් තිබිණි. අනර්කලීගේ ඉරණම අසා දැඩි ශෝකයෙන් පීඩිත වූ හෙතෙම දින ගණනක් නිරාහාරව සිටියේ තමන් ද ය යන්නෙමැයි යන දැඩි අධිෂ්ඨානයෙනි. එහෙත් අවසන ඇය වෙනුවෙන් මියයනවා වෙනුවට ඇය වෙනුවෙන් ජීවත්වීම ඈට කල හැකි හොඳම උපහාරය බව වැටහුනු හෙතෙම දිවි නසා ගැනීමේ උත්සාහය අත්හැරියේය.

එහෙත් ඉන්පසු කිසිම දිනක ඔහුගේ මුහුනේ සිනහවක් දැකගත හැකි වූයේ නැත. තම හදවතද ලාහෝරයේ ප්‍රාකාරය අසල ගඩොළු බිත්ති දෙකක් අතර වළ දමා ඇතැයිද තමන් දැන් ජීවත් වුවද මලගිය මිනිසෙකැයිද සලීම් එකහෙලා ප්‍රකාශ කලේය.

අක්බාර් ගෙ ඇවෑමෙන් ජෙහන්ගිර් නමින් රාජත්වයට පත් වූ සලීම් සාධාරණ සහ ඉතා දක්ෂ පාලකයෙක් විය. තම හදවතෙහි තවමත් රැඳී සිටින අනර්කලීගේ නාමයෙන් ඔහු සෑම විටම සෑම රාජ්‍ය කටයුත්තකදීම හැකි පමන සාධාරණ වීමට යත්න දැරීය.

අනර්කලී මියගිය ස්ථානයෙහි ඈ වෙනුවෙන් ස්මාරකයක් ඉඳිකල හෙතෙම ඇගේ සොහොන් ගැබෙහි මෙසේ සටහන් කලේය.

I would give thanks unto my God unto the day of resurrection
Ah! could I behold the face of my beloved once more

දෙවියනි....මම ඔබට තුති පුදන්නෙම් නැවත උත්ථානය වන දින තෙක්ම,
මගේ පෙම්වතියගේ වත මට නැවත දැක ගත හැකි වේනම් එකම එක් වරක්,

සිත පීඩා විඳි බලවත් දුක් දොම්නස මඟ හරවාගැනීමට, බොහෝ සේ මත් පැනෙහි පිහිට පැතූ ජෙහන්ගිර් අවසන එහිම ප්‍රතිඵලයක් ලෙස අසාධ්‍ය ලෙස රෝගී විය.

විවේක ගැනීම සඳහා සෞම්‍ය දේශගුණයෙන් යුතු කාෂ්මීරයට කිහිප වතාවක් ගියද, මත්පැන් පානය ඔහු අත් නොහල හෙයින් රෝග තත්වය උත්සන්න විය.රෝග තත්වය පාලනය කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් ජෙහන්ගිර්, නොකඩවා මත්පැන් පානය කල අතර, වසර සතළිසක් මුළුල්ලේ ගෙවන මේ මහත්වූ දුක නිමා කිර්‍රිමට දැන් කාළය එළඹී ඇතැයි නිතර පැවසීය.

අද මේ ශීත සෘතුවේ අවසන් භාගයේ දිනක, ඔහු ආපසු ලාහෝරය බලා පැමිනෙන්නේ, එසේ කාශ්මීරයේ ගතකල සති දෙකක කාළයකට පසුවය.එහිදී ඔහුට මද සුවයක් දැනුනු හෙයින්, වෛද්‍යවරු ආපසු ලාහෝරය බලා යන ලෙස නිර්දේශ කලද, තම අවසන් මොහොත පැමිණ ඇති බව ජෙහන්ගිර් කිසිදු සැකයකින් තොරව දත්තේය. එහෙත් මරණයට මුහුණ දීමට ඔහු තුල කිසිදු චකිතයක් නොවූ අතර මරණය තමන්ට, සදාදරණීය අනාර්කලී හා එක්වන පිණිස ද්වාරය විවර කිරීමක් ලෙස සැලකූ ඔහු, උදක්ම මරණය බලාපොරොත්තු විය.

සැඳෑ හිරුගේ අවසන් රැස් කඳු වල්ලලෙන් එතෙර මැකී යත්ම, ජෙහන්ගීර්ගේ සෙබළුන්ගෙන් කොටසක් රාත්‍රිය ගත කිරීමට තෝරාගත් ආරක්ෂක ස්ථානයේ කූඩාරම් ඉඳි කිරීමේ නිරත වූ අතර අනෙක් අය ගිණි මැළ පිළියෙල කිරීමේ සහ ආහාර පිළියෙළ කිරීමෙහි නිරත වූහ.

තමන්ගේ අවසන් මොහොත ලංවී ඇති බව වටහාගත් ජහන්ගීර් සෙබල කණ්ඩායමේ නායකයා බණවා, කූඩාරම පිහිටි කඳු ගැටය මුදුනට තමන් රැගෙන යන ලෙස නියම කළහ. දෝලාව කඳු මුදුනෙහි පිහිටි රත් පැහැ දිගැටි පත්‍ර වලින් වැසීගත් චිනාර් වෘක්ෂයක් යට තැබූ ඉක්බිති, සන්තූරයද මත්පැන් කුසලාන ද රැගෙන ඉන් පිටතට පැමිණි ජහන්ගිර් වෘක්ෂය යට ගිණි මැළයක් අවුලුවන ලෙස සහ ඉන්පසුව කන්ද පාමුල කූඩාරමට ගොස් තමා දන්වන තෙක් ආපසු නො එන ලෙසද බණවා සෙබලුන් ආපසු පිටත් කොට හැරියේය.

සෙබළුන් නික්ම ගිය ඉක්බිති චිනාර් වෘක්ෂයට පිටදී අසුන්ගත් ජෙහන්ගිර් මත්පැන් ස්වල්පයක් පානය කලේ, සන්තූරය ද වයමින් එදා සතළිස් වසරකට පෙර ඒ අවසන් රාත්‍රියේ ගැයූ ගීය,වසර සතලිසක් ගලේ කෙටූ අකුරක් මෙන් තම සිතෙහි නොමැකෙන සේ ඇඳී තිබුනු ඒ ගීය, තමන් විසින්ම තමා පණ මෙන් ආදරය කල ඈ වෙනුවෙන් ලියැවුනු ගීය ගයන්නට විය.

සැලෙන ගිණි සිළු සේම රඟනා,
කණක තරු දිලිසෙනා නයනා,
නූපුරෙන් නැඟි රජත රාවය,
මත් කරයි මා සවන ලෙලෙනා,

පුළුලුකුල රන් සේල සැලෙනා,
ලැම හසුන් නික්මෙනා විලෙනා,
හදේ රඟනා නිළිය ඒ නුඹ,
මා සිතේ සැමදාම රැඳෙනා,

පිපුණු මානෙල් මලක් විලසා,
පිණි කඳුළු පෙති මතින් ගලනා,
ප්‍රේමයේ නොමැකෙනා සලකුණ,
සොඳුර දුටුවෙමි සුනිල් නෙතිනා,

රත් නෙළුම දිය මතින් පිපෙනා,
පුන් සඳකි නිල් අහස දිලෙනා,
සෙනෙහසේ මල් දමක් ගෙතුවෙමි,
පලඳවන්නට ඔබේ ගෙලටා,

ගිණි මැළයේ ගිණි දළු අතරින් අනර්කලී නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.

ගිණි පුපුරු නංවමින් ඇවිලුනු ගිණි මැළයේ උණුසුම ටිකින් ටික නිවී යමින් තිබිණි.

නිහඬ සන්තූරය මත චිනාර් ගසේ රත් පැහැ පත්‍රයක් පතිත විය,

නිහඬවම චිනාර් ගසට පිටදී සිටි ජෙහන්ගීර් ගේ පියවුණු දෑස මත පතිත හිම පියල්ලක් එහි රැඳෙනු නොහැකිව පොළවට වැටී, ඊට පෙර වැටී තිබුණු ශත සහශ්‍ර සංඛ්‍යාත හිම පියලි වලට එකතු වී සැඟව ගියේය,

අවසන වසර සතළිහකට පසුව......එසේය වසර සතලිහකට පසුව.....ඔවුන් දෙදෙන කාශ්මීරයේ හිම වැටෙනා ශීත සෘතුවේ එක සන්ධ්‍යාවක , රත්පැහැ පත්‍ර ගිනි ඇවිළි කලෙක මෙන් දිලෙන චිනාර් ගසක් සෙවනේදී නැවත වෙන් නොවන සේ එකතු වූහ.

Love definitely could be fulfilled,
But unfulfilled love is love at its purest form,
love for the sake of love,
with nothing expected & nothing gained

Loving someone because there is nothing else to do,
because thats what's expected of you,
because you are helpless to do otherwise ,
because that's the destiny of you,
because you were born for that specific purpose,
Isn't that the purest form of love anyone can imagine?

දැන් මේ පෙම් කතාව මෙතනින් ඉවරද?.......අපොයි නෑ....මේ වගෙ අනුවේදනීය පෙම් කතාවක් එහෙම අහවර කරන්නෙ කොහොමද?........හෙහ්, හෙහ්,

මතු සම්බන්ධයි...............

Friday, August 26, 2011

83. මායි මගේ අම්මායි - ගුටි කෙළියයි


පහුගිය දවස් වල ලිව්ව ඒවා

82. මායි මගේ අම්මායි - මගේ දතයි‍
81.මායි මගේ අම්මායි - මග යද්දි වුනු දේවල් සහ තවත් දේවල්
80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා
79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය

කලින් පෝස්ට් එකකට කොමෙන්ට් කරන ගමන් බුද්ධි සිහිකරලා තිබුනා යමක්. ඒ ගැනත් යමක් නොලිව්වොත් ඒක මේ ලිපි පෙලට අඩු පාඩුවක්.

දන්නවානේ ඉතිං අම්මලා, මේ අපි ගොඩක් අයගේ අම්මලා අත දිගෑරලා ගුටි දෙන්න හොඳට දක්ෂ ව හිටපු අය කියලා තමයි මට හිතෙන්නේ. අපේ අම්මා නං ඒ අතින් ඉහලින්ම හිටියා. පචාන් පචාන් පචාන් සද්දෙට ගුටි කාලා, ඊටත් වඩා සද්දේට අඬද්දී, ඊටත් වඩා ගුටි කාපු කෙනෙක් හැටියට මට ඒක ස්ථිරයෙන්ම කියන්න පුළුවන්.

අපේ අම්මා කවදාවත් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගහලා නැහැ. බොහොම සන්සුන්, ඒත් තීරණාත්මකයි ඒ හඬ.

"ලොකු දුව මෙහෙට වරේරේරේන්. මාව ලඟට ගෙන්නන්න එපා. ගෙන්නුවොත් දන්නවානේ."

‍කුස්සියේ භාගේ දොරට අත තියලා, ඊට උඩින් පැනලා දිව්වාට මොකද, ඒ වෙලාවට නං කාන්දමට ඇදෙන යකඩේ වගේ තමයි අපි ඇදිලා යන්නේ. බිත්තිය දිගේ ඇදීගෙන, පැද්දි පැද්දී...........නහයෙන් අඬ අඬා.......... ඒත් ඉතිං අනේ පව් !!!! ලඟටම ගිහින් ගුටි කනවා.

"අනේ අම්මේ......... අමේ අම්මේ..........ආයේ කරන්නේ නැහැ..........." කිය කියා ගියාත් අම්මා නෙමෙයි නවති‍න්නේ, අතේ එකතු කරන් ඉන්න ගුටි ටික හිතේ හැටියට බෙදා හැරලාම තමයි අම්මා නවතින්නේ.

ඉතිං මෙහෙම ගුටි කන්න මං මොනවද කරපු වැරදි. (නංගිලා දෙන්නාටත් ඔය සෙතේම තමයි. ඒත් ඉතිං මගේ මාතෘකාව මායි මගේ අම්මායි නේ)

* අම්මලා වැඩට යනකම් ඉඳලා අහල පහළ ගෙවල් වලට ගිහින් ඒ ළමයි එක්ක සෙල්ලමට යෑම.

අම්මා මේ වැඩේට කොහොමවත්ම කැමති වුනේ නැහැ. ඒ දවස් වල මට එපා වෙලා හිටියා වුනාට දැන් වැටහෙනවා ඇයි ඇය ඒ ගමන් වැලැක්වුයේ යන්න. එහෙම ගෙදරකට ගිය වෙලාවක ඕනෑම විදිහේ අනතුරක් වෙන්න පුළුවන්නේ. මිනිස්සුන්ව විශ්වාස කරන්නේ කොහොමද?

වරක් ඔය වගේ අම්මලා එන බව දැක කැලේ පාරෙන් ගෙදර ඇවිත් අල්මාරිය එහා පැත්තේ තිබෙන පැදුර ඇතුලට වෙලා හැංගිලා හිටියාට හරි ගියේ නැහැ. පුංචි නැන්දා කිව්වා සියලුම විස්තරේ අකුරක් නෑර. එදා මාව බේරගන්න තාත්තාටවත් බැරි වුනානේ. මං දාන ගැලවිජ්ජා උපක්‍රම දැකලා අම්මාට යන්න ආපු හිනාව තදකරගෙන ඇය මට කොහොම ගැහැව්වද මන්දා................

* නංගිලා දෙදෙනාට ඒකාධිපති පාලනයක් බලපැවැත්වීමට උත්සහ දැරීම

ඉතිං මං අක්කානේ. ඒ දෙන්නාගේ කොණ්ඩයෙන් ඔසවා විසි කිරීමට, අතට අහු වෙන දේ වලින් ගැසීමට, ඔවුන්ගේ දේ අසා බැලීමෙන් තොරව භාවිතා කිරීමට අක්කා කෙනෙකු වශයෙන් ඇති මගේ අයිතිය සලකා කටයුතු කරන්න ගිය හැම වෙලේම අම්මාගේ ගුටි පූජාවෙන් පුද ලබන්නට මට සිද්ධ වුනා.

* නියපොතු කෑම

ඔය වැඩේ නං ඉතිං අම්මා කොච්චර ‍තරවටු කරලත්, ගහලත් නවත්තා ගන්න නං බැරි වුනා. දැනුත් මේ නියපොත්තක් කකා ඉඳලා වතුර ටිකක් බිව්වා විතරයි.

*වැඩිහිටි අයගේ කථා මැදට පැන මගේ අදහස් පෑම

ඉතිං හද්දෙයියනේ එයාලා මහා මෝඩ කථා කියනකොට මං දන්න දේ කියන්නේ නැතුව ඉන්නේ කොහොමද?

*හොරකම් කිරීම

පුංචිකාලේ අම්මා කැටේට දාන්න සල්ලි දුන්නහම ඒ සල්ලි ටිකක් දාලා ටිකක් තියාගෙන හිටියා මං කඩෙන් කිරිටොපි කන්න. වැඩේ අහුවුනා. දුන්නා මට ගිය ආත්මේ යම් කිසි හොරකමක් කලා නං ඒකට දඬුවම් හැටියටත්, ආයේ අනාගතයේ කිසිම දිනෙක හොරකම් කරනවා තබා ඒ ගැන හිතන්න හිතෙන්නේ නැති වෙන්නටත් ප්‍රමාණවත් තරමේ ගුටි සංග්‍රහයක්. අදටත් බස් එකේ කොන්දොස්තරටවත් රුපියලක් හිඟ නොතියන මානසිකත්වය ඇති වුනේ ඒ සංග්‍රහ වල ප්‍රතිඵල හැටියට වෙන්න ඇති.

*පාඩම් උගන්වනවිට කිහිපවරක් උගන්වාත් වටහා නොගත් විට.

සමහර ගණන් තියෙනවා කොච්චර කියලා දුන්නත් නොතේරෙන. ඒ වෙලාවට නං අම්මාගේ මහන්සිය, විඩාව වගේ දේවල් එක්ක කේන්තිය එකතු වෙලා මගේ ඔළුව හිල්වෙන තරමේ ටොකු බවට පත් වෙනවා..........

ඉතිං ඔය වගේ දේවල් වලට කාපු ගුටි ප්‍රමාණේ මෙතෙකැයි කියන්න බැහැ. ඔය වැඩේ නතර වුනෙත් මං කරපු දෙයකින්මයි. අම්මා මට අවුරුදු 15 දී විතර දවසක් නංගියි මායි අතර ඇතිවුනු රණ්ඩුවකට, (මට මතක විදිහට වැරැද්දත් නංගීගේ) මට විතරක් දඬුවම් කලා. මටත් හිතා ගන්න බැරි විදිහට, එච්චර කල් හැම දඬුවම ම ඉවසපු මට ඒක දරා ගන්න බැරි වුනා.

"අම්මේ.... තව ගහන්න මට, තව ගහන්න.... ඇයි අම්මා බලං ඉන්නේ තව ගහන්න" කියමින් මම ඇගේ ඇඟේ එල්ලුනු බව මතකයි. ඒ වගේම අම්මා පුදුමයෙන් මං දිහා බලන් හිටපු හැටිත් මතකයි.

එදායින් පසු මගේ අම්මා මට ගැහැව්වේ නැහැ. මම එයින් පසු අම්මාගෙන් ගුටි කන වැඩ නොකලාද, කෙමෙන් කෙමෙන් තරුණ වියට පත්වන දරුවකුගේ මානසික ස්වභාවය ඇය වටහා ගත්තාද යන්න පැහැදිලි නොවුනත්, අම්මා වරින් වර ඔය සිද්ධිය අරඹයා කී දෙයක් නං මට මතකයි.

"අම්මෝ මෙයා එදා කියපු හැටියට මට පුදුම හිතුනා. බයත් හිතුනා. මයේ අම්මේ එදායින් පස්සේ හිතා ගත්තා ආයේම ගහන්නේ නැහැ, දැන් මෙයා පොඩි නැහැ. දැන් ගහලා බැනලා හදන වයස පැනලා නේද කියලා මට මතක් වුනෙත් ඔය වැඩේ වුනු දවසේ තමයි"


Thursday, August 25, 2011

82. මායි මගේ අම්මායි - මගේ දතයි

පහුගිය දවස් වල ලිව්ව ඒවා

81. මායි මගේ අම්මායි - මග යද්දි වුනු දේවල් සහ තවත් දේවල්
80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා
79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය


අම්මාට මල්ලී ලැබෙන්න ඉද්දී මට වයස අවුරුදු 2 1/2යි. ඇයි දිනක් හවස වැඩ නිමවා එද්දී මා බලා ගන්න හිටපු කෙනා මාව සෝදා පිරිසිදු කොට තිබී නැහැ. අම්මාට තිබෙන ශාරීරික අපහසුවත් එක්ක ගොඩක් කේන්තිත් ගිහින්. ඇය ඒ ඇත්තිට සැර කර පසුව මා සෝදා මාස 7, 8ක බඩත් එක්ක එක අතකින් මාවත් ඔසවාගෙන නිවස තුලට පැමිණිලා.

ඒ දිනවල අපි හිටියේ රද්දොළුගම නිවාස සංකීර්ණයේ. තිබෙන්නේ කාමර දෙකයි ඒ දෙකත් තිබෙන්නේ ඉහළ මාලයේ. අම්මා ඉතිං ඔසවාගෙන ආ මාව තවදුරටත් ඔසවාගෙන පඩි නගින්න අපහසු නිසා මුල් පඩියෙත් තැබුවාලු. මාත් ඉතිං හිංචි පැංචි කාලේනේ. උඩ පැන පැන යන්න ගිහින් දබොක් ගා දෙවැනි පඩියෙම වැටිලා. දන්නවානේ ඉතිං පැංචෝ පැංචියෝ......... වැටෙන්නත් කලින්නේ ඇඬිල්ල පටන් ගන්නේ. මාත් ඉතිං අඬන්න පටන් අරං.

"ඔයාත් මට වද දෙනවා" කියපු අම්මා මාව ඔසවාගෙන ම ඉහලට ගියාලු.

ඒත් මං තවත් අඬනවා. "බොරුවට නාඩා ඉන්න ළමයා. ළමයි වුනහම වැටෙනවා තමයි" කියා අම්මා මා දිහා බැලුවාලු. මගේ කට පුරවලා ලේ ගලනවා. ඒ අතරේ ‍චූටි පොල් කෑල්ලක් වගේ දත් කෑල්ලකුත් යටිතොලයි විදුරු මහයි අතර රැඳී තිබෙනවා. අම්මාගේ වදනින්ම කියනවා නං,

"මගේ පපුව හෝස් ගාලා ගියා. දෙය්යනේ දතත් කැඩිලා. මේ පැටියාටනේ මං බැන්නේ"

ඉතිං ඊට පස්සේ අම්මාට අම්මාගේ කඳුළු නවත්තගන්න බැරි වෙලා. අම්මා අඬන ගමන්,
"අනේ පුතේ සොරි. මං දැක්කේ නැහැනේ. පුතා නාඩා ඉන්න මයේ කෙල්ල" කියලා කියනවා.

"අම්මා අඬන්න අපා................. අපි දතක් කඩෙන් ගමු" කිය කියා මං අඬනවා.

මේවා අහලා අම්මා තවත් අඬනවා. ඔහොම දෙන්නාට දෙන්නා නලව නලවා අපි දෙන්නා ගොඩක් වෙලා ඇඬුවාලු.

ඔය සිද්ධියෙන් පස්සේ, මගේ ඒ කැඩුණු ඉදිරිපස දකුණු පස දතට ඉහලින් විදුරු මහේ පොඩි බිබිලක් ආවා. අදටත් ඒ බිබිල තිබෙනවා.

ඔහොම කාලය ගතවුනා. කිරිදත් එකින් එක වැටුනා. ඒත් ඒ දත වැටුනේ නැහැ. ලොකු දත් අතරේ ඒ දත එහෙමම තිබුනා.

පස්සේ අම්මා මා එක්කාගෙන කොළඹ දන්ත රෝහලට ගියා. වෛද්‍ය නිගමනය වුනේ දත ගැලවිය යුතු බවයි. එයට හේතු වුනේ එක්ස් කිරණ ඡායා රූපයක් ගත් විට ආ යුතු දත ඇවිත් මෙම දතට වැදී නැවති තිබුනු නිසායි. ඉතිං දත ගැලෙව්වා. දැන් එයි දැන් එයි කිය කියා හිටියත් ඒත් එන පාටක් නැහැ. නැවත අම්මා මා රැගෙන රෝහල වෙත ගියා.

එවර ද එක්ස් කිරණ ඡායාරූපයක් ගෙන බැලූ විට දත එහෙමම නොසෙල්වී තිබුනා. එවර තමයි මට තරු විසි වෙන තීරණය ගැණුනේ. එනම් සැත්කමක් මගින් දත පාදා ගැනීම.

ඒ තීරණාත්මක භයානක දිනයේදී එම සැත්කම කෙරුනා. ගැබිණි වෛද්‍යවරියකගේ අතින් තමයි එය කෙරුනේ. අම්මා මං ලඟින්ම හිටියා.

"නාඩා දඟලන්නේ නැතුව ඉන්න පුතේ. ඔයාගේම හොඳටනේ" අම්මා මා අස්වසනවා. මගේ දැඟලිල්ල වැඩි වෙනවා. ඇයි හද්දෙයියනේ, ඇස් ඉදිරිපිට පිහි, කතුරු, ඉඳිකටු අරං කට දිහාට අත දික් කරද්දි නේද ඉතිං? කාටද දඟලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇරත් අම්මා ලඟ ඉඳන් ඔළුව අතගාද්දී.................

දොස්තර නෝනාට වැටහුනා මේ අම්මා දුගේ හුරතලේ. "අම්මා යන්න එළියට. මෙයාගේ දැඟලිල්ල වැඩියි ඔයා ඉද්දි"

ඒ අණ පරිදි අම්මා එළියට ගියා. වැඩේ යහතින්සිදු කෙරුනා.

අම්මා හිතලා තියෙන්නේ මං හත් අවුරුද්දකුත් හත්දවසක් නොකා නොබී ඉඳියි කියලා. අම්මා ඒ ගැන හිතලා ගොඩක් තැවිලා තිබෙනවා. හැබැයි පැයක් දෙකක් ඇතුලත අම්මාගේ ඒ දුක නැතිවෙලා. මොකද අම්මාගේ කන්තෝරුවට ආ සැනින්, දුන් බත් එක කටේ කොනින් ඔබාගෙන අන්තිම කට දක්වාම මං කෑවාලු. (ලූ කිව්වට මොකද මටත් මතකයි ඒක)

ඉතිං ඔන්න දත ආවා. ආවා තමයි, ඒකත් ආවේ රුහිතෙට. ආපහු අම්මාගේ හිතේ කනස්සල්ලේ. මට නං ඕක උඩින් ආවාත් එකයි යටින් ආවාත් එකයි. අම්මා එක්ක තමයි බැරි. ආයෙම මාව ඇදගෙන ගියා අම්මා දත් ඉස්පිරිතාලේ.

ඒපාර ඔන්න එපාම කරපු වැඩේ..................... දත්ටික අල්ලලා කම්බි දාන්ට........

හප්පා මට එපා වුනා. ඒත් අම්මා අත හැරියේ නැහැ වැඩේ....... ඔය කම්බි දැමිල්ලට කලින් දත් වල අච්චුව ගන්නවා. ඔය වැඩේට මොනවද මන්දා මළ ජරාවක් (ඒ කාලේ මට හිතුනේ එහෙමයි) ඔබනවා කටේ. වමනේ යන්නම එනවා. ඒත් ඕක් ඕක් ගගා දොස්තර නෝනලාගේ මහත්තයාලාගේ රැවුම් ගෙරවුම් මැද වැඩේ කර ගත්තා.

දැන් ඔන්න රන්දිකාගේ කටට වැට බැඳලා. කන්නත් බැහැ බොන්නත් බැහැ. අම්මාට නං හරි සතුටුයි. මාසයකට සැරයක් දින භාගේ නිවාඩුවක් ගෙන මාත් එක්ක දත් ඉස්පිරිතාලේ යන්න වුනත්, ගිහින් එතැන මගේ වැඩේ ඉවරවෙන තුරු ඉන්න වුනත් අම්මාට ගාණක් නැහැ. අම්මාට සතුටුයි.

වරක් ඔය පැලට් එකක් මං නැති කරගත්තා. මාත් සමඟ හරි හරියට ලොකු දොස්තර නෝනාගෙන් අම්මාත් බැණුම් ඇහැව්වා. විශේෂයෙන් මට බන්නලා මාව මට්ටු කරන්න ඕනේ නිසාම තමයි අම්මා බොහොම සතුටින් ඒ බැණුම් ඇහැව්වේ කියලා මං නොදන්නවා නෙමෙයි.

යමක් අමතක වුනා සටහන් කරන්න. මේ දතේ වැඩේට එනම් දත ගැන පවසාගෙන රෝහල වෙත යාමේ පටන් මෙම පැලට් පැළඳීම දක්වා මගේ සීයා තාත්තාත් (අම්මාගේ පියා) ‍මගේ තාත්තාත් බොහොම කළබලෙන් තමයි හිටියේ.

"ඔය නොදන්න මගුල් කරන්න ගිහින් කෙල්ලගේ කටට මොනවා හරි වුනොත්, එදාට තමයි බලාගන්නේ"

දෙන්නා හරි හරියට කිව්වේ එහෙමයි. ඒ දවස් වල නං මං ඒ දෙන්නාගේ පැත්තේ. කොහෙද අපේ අම්මාගේ ඒකමතික තීරණය ජයගත්තා. දැන් නං හිතෙනවා ඒක නිසා හොඳට ගියා කියලා.


ඉතිං මාව දැකලා තියෙන අය දන්නවා. දැන්නං මගේ කටේ දත් ටිකේ කියන්න තරම් ඇද කුදයක් නැති වග. කිසිම ලැජ්ජාවක් නැතුව කට ඇරලා හක්ක හක්ක හා කියලා හිනාවෙන්න මග පාදලා දුන්නේ මගේ අම්මා. නැත්තං ඉතිං "සිනා නොමසෙන් දසන් දක්වා" යන කවි පදය අකුරක් නෑර රකින කෙනෙක් වශයෙන් ලොකු නමක් ගන්නත් තිබුණා.

පස්සේ කාලේ, මගේ සැමියාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධයට අම්මා තදින්ම විරුද්ධ වුනු කාලයක් උදා වුනානේ. ඒකාලේ අම්මා සමහර වෙලාවට මට, අම්මා කෙනෙක් දරුවෙකුට බණින්නේ නැති තරමේ වදන් පවා පවසමින් බැණලා තියෙනවා.ඒවා නං දැන් වැඩක් නැහැ. හැබැයි මේ කථාවට අදලා කොටස මෙතැන සටහන් කරන්න හිතෙනවා මට.

"ඔව් ඔව් ඌ බලයි උඹේ මූණ මේං කියලා, මං කුර ගාලා කුර ගාලා ඔය දත් වහල්ල හදලා දුන්නේ නැත්තං"

ඔව් අම්මේ, ඔයා එහෙම හදලා දුන්නේ නැත්තං එයා විතරක් නෙමෙයි, වෙන කවුරු වුනත් බලන එකක් නැහැ මගේ මූණ දිහා. අම්මා එහෙම හදලා දුන්නු නිසා, මුලටම, මගේ හිතට හරියනම කෙනා මගේ මූණ බැලුවා කියන එක අද ඔයා වුනත් පිළිගන්නවා නේද අම්මේ?. අම්මාට ගොඩක් පිං අම්මේ........................

Wednesday, August 24, 2011

81. මායි මගේ අම්මායි - මග යද්දි වුනු දේවල් සහ තවත් දේවල්

පහුගිය දවස් වල ලිව්ව ඒවා

80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා
79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය


අද මට කියන්න හිතුනේ මායි මගේ අම්මායි ගමන් බිමන් ගිය හැටි ගැනයි. ඉස්සර මායි අම්මායි කෝච්චියේ කොළඹ එනවා. ඒ එන්නේ මං ඉස්කෝලේ යන්න අම්මා වැඩට යන්න. මේ කියන කාලේ නංගිලා දෙන්නා පුංචි නිසා එයාලා පාසල් නොගිය බවයි මට මතක.

අපි දෙන්නා ‍කෝච්චියට නගින්න සෙනඟ තද බදය අස්සේ ඇදිලා යනවා....එක් වරක් අම්මාගේ අතින් මගේ අත ගිලිහුනා........ අම්මා විගස නැවත අල්ලාගෙන මං බලාගෙන ඉද්දීම දුවගෙන දුවගෙන යනවා......... අම්මාට වැරදුනානේ..... අම්මා අල්ලාගත්තේ මගේ අත නෙමෙයි.......... වෙන අංකල් කෙනෙකුගේ අත........... ඇයට එක්වනම ‍වැටහෙන්න ඇති මේ අතේ වෙනසක් තියෙනවා කියලා......... හැරිලා බලපු ගමන් වෙච්චි දේ හොඳ හැටියට ‍වටහා ගත්ත අම්මා, අර අංකල්ගේ අත ගසා දාලා මං ගාවට දුවගෙන ආවේ ඒ මනුස්සයාට 'සොරි' කියන්නවත් පමා නොවෙමින්....... ඊට පස්සේ අපි දෙන්නා කොහොම හරි ඒ කෝච්චියට ම නැගලා කොළඹ ආවා........ අපි දෙන්නට මග දිගට හරි හිනා..................

*************************************

දවසක් හවස අපි දෙන්නා දුවගෙන ඇවිත් කෝච්චියට නැග්ගා........... හැම අසුනේම සෙනඟ......... එක තැනක විතරක් හිස් අසුනක් තිබුනා......... අම්මා මං පස්සට ඇදෙද්දී මාව එතැන වාඩි කෙරෙව්වා............. මං පස්සට ඇදුනු හේතුව ඇයට තේරුනේ නැහැ............ එතැන එහා පැත්තේ හිටියේ හිඟන මනුස්සයෙක්............ අම්මා හිතුවේ මගේ පුංචි කකුල් රිදෙයි කියලා විතරයි. එහා පැත්තේ උන්නේ කවුද කියලා අම්මාට කල්පනාවක් වුනේ නැහැ.හරිම ගඳයි මට එතැන ඉන්නත් බැහැ. ඒත් ඉතිං නැගිටින්න යද්දි අම්මා රවනවා. මට ඇඬෙන්නත් වගේ. මොනවා කරන්නද? ස්ටේෂන් 8ක් විතර එහෙමම වාඩි වෙලා ඇවිල්ලා, බැස්සට පස්සේ අම්මාට කිව්වා. "අනේ පුතේ ඇයි නොකිව්වේ? ඔයා ඇයි නැගිටලා ආවේ නැත්තේ? ඇත්තමයි මං දැක්කේ නැහැනේ" ඉතිං මොනවද මං දෙන උත්තර?

*************************************

පුංචි කාලේ වුනත් දුම්රියේ යද්දි ලොකු අංකල්වරු කරපු සමහර නරක වැඩ වලට මට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම අම්මාට මං ඒ දේවල් ඒ විදිහට ම කියන්න කිසිදාක අමතක කලේ නැහැ. එවැනි දේවල් දෙපාරක් වුනු පසු අම්මා දුම්රියේ යන්නේ මට සියලුම ආරක්ෂක විධිවිධාන යොදාගෙනයි. ඔය වගේ දවසක් හවස අපි එද්දි දුම්රිය මගී ජනතාවගෙන් පිරී ඉතිරි ගොස් තිබුනා. අම්මා කලේ මාව බදාගෙන තුරුලු කරගෙන මුළු ගමනම ආපු එකයි. දුම්රිය වංගුවකින් යද්දී අපි වැටෙන්න ගිය තරම්. ඒත් ඇය මා අත නොහැර බදාගෙන ම සිටියා. කෙසේ හෝ ගමනාන්තය ට ආවා. බොහොම නරක දෙයක් සිදුවී තිබුනා. අම්මාගේ අත්බෑගය කපා මුදල් පසුම්බිය හොරු ගෙන තිබුනා.

*************************************

පුංචි කාලේ ඉඳන්ම වළලු වලට මගේ කැමැත්තක් තිබුනේ නැහැ. 'බ්‍රෙස්ලට්' නම් වූ අත්පළඳනාවකටමයි හිත තිබුනේ. මම ඒ පිළිබඳව යම් විටෙක පවසා තිබුනත් අම්මා ඒ පිළිබඳව මතකයෙන් උන්නා යැයි මම දැන සිටියේ නැහැ. විභාගයක් සමත් වීම හේතු කොට ගෙන හෝ උත්සව දීමනාවක් ලෙස හෝ ලැබුනු රු.3000කින් ඇය දිනක් මට 'බ්‍රේස්ලට්' එකක් ගෙනැවිත් තිබුනා. එදින මම ඉතාමත් සතුටට පත් වූ බවත්, අම්මා ඒ පිළිබඳව දැන සිටි බවත්, ඒ පිළිබඳව නිරතුරු සිතා ඇති බවත් සිතා පුදුමයට පත් වූ බවත් මතකයි. කෙසේ හෝ එය මට මිලි කිහිපයකින් කුඩා වැඩි වුනා. එවිට අම්මා සිනහා වෙමින් පැවසුවේ, "මං හිතපු පුංචි කෙලී නෙමෙයි දැන් ඉන්නේ, දැන් නං එදා වගේ වෙන කාගේ හරි අත අල්ලා ගත්තත් වෙනසක් නැති වෙයි වගේ. අලි අතක් නෙව දැන් තියෙන්නේ" යනුවෙන්.

*************************************

මම පාසල් ගොස් අවසන් වී වෘත්තීය අධ්‍යාපනය ලැබ ඒ සඳහා වූ පුහුණුවන අවධියේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යෑමට සිදුවුනා. එතැනදි ප්‍රායෝගික පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට සිදුවුනු අතර ඒ අය කියා සිටියේ ගෙදර ගොස් එය නිමකර පසුදින ගෙනැවිත් භාර දෙන ලෙසයි. මම ඒ සඳහා ගියේ අම්මා තාත්තා දෙදෙනාම සමගයි. ඉතිං එදින රෑ එළිවනතුරු මට ඒ කාර්යය කරන්න සිදු වුනා. අම්මා මුළු රෑම අවදියෙන් සිටිමින් මට විවිධ කෑම වර්ග ගෙනැත් දෙමින් තේ සාදා දෙමින් කාලය ගත කලා. පසුදින අම්මාත් මාත් නැවත එම ස්ථානයට ගොස් අදාල දේ බාර දී දුම්රියෙන් පැමිණෙමින් සිටියා. පෙරදින නිදි වැරූ විඩාවෙන් පසුවුනු අම්මා, ඇඳ සිටි සාරියේ පොට ගෙන ගෙල වටා දමාගෙන අඩ නින්දේ තමයි ගමන් කලේ. මමත් අම්මාට යාබද අසුනේ අම්මාගේ උරහිසට හිසතබාගෙන ගමන් කලා. එක්වරම දෙමටගොඩින් දුම්රිය ගමන් ආරම්භ කරනවිට යම් හේතුවක් නිසාවෙන් තිගැස්සුනු මම හැරී බලන විට, මිනිසකු දුම්රියෙන් යාබද රේල්පීල්ලට පනිනු දුටුවා. ඔහු අතේ කෙලවරක් රැඳී, මුදුන් වූ හිරුගේ ආලෝකයෙන් දිලිසී පැද්දී ගිය අම්මාගේ පවුම් දෙකක් පමණ වූ මාලය එයින් දින දෙක තුනක් යනතුරු හීනෙන් පෙනෙමින් මගේ නින්ද මට අහිමි කලා.

*************************************

Tuesday, August 23, 2011

80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා


79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය


මම අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 1998 වර්ෂයේදීය. ඊට දෙවසරකට පෙර අප විසින් වාණිජ්‍ය හා ගිණුම් හෝ ගෘහ විද්‍යාව යන විෂයයන් දෙකින් එකක් තෝරා ගත යුතු විය. පවතින රැල්ල අනුව 'හපෝ ගෘහ විද්‍යාව කරලා මොනවා කරන්නද කොමර්ස් කරහන්' යන අවවාදය මිස අනෙක් අතට ලැබුනු අවවාද නොවුනු තරම් වූ නිසාවෙන් මාද වාණිජ්‍ය හා ගිණුම් තෝරා ගතිමි.

පංතියේ ළමුන් මුල පටන්ම අමතර පංති වලට සහභාගී වන්නට විය. මා ද පංති කිහිපයකට වරින් වර ඇතුලත් කෙරුණද ගුරුවරුන්ගේ වරදින් හෝ මගේ මොට්ට කම නිසාවෙන් ඒ පංති මා හට තවදුරටත් රැඳී සිටින්නට සුදුසු තැන් නොවන බව මා හට වැටහෙන්නට විය.

නොදැනීම දෙවසර ගතවිය. පන්තියේ ළමෝ ගණකාධිකාරවරියන් වෙන්න ඔන්න මෙන්න වාගේය. මට වාණිජ්‍ය හා ගිණුම් හී මළ පොතේ අකුරක් බැරි සේය. වාණිජ්‍යයේ නම් යම් යම් කොටස් කටපාඩම් කලෙමි. ගිණුම්කරණය නං මට වහ කදුරු සේ විය.

සාමාන්‍ය පෙළ විභාගය ඉතාමත් ආසන්නයේදී පංතිභාර ගුරුතුමිය (ඇය අපගේ ශ්‍රේණිභාර ගුරුතුමියද වූවාය) කැඳවූ වාණිජ්‍ය ඉගැන්වූ ගුරුතුමිය සියලුම ළමුන් ගැන අදහස් පළ කරන්නට විය. මාගේ වාරය පැමිණි කල ඇය,

"ආ මෙයාද, මෙයාට ඇස් එකක් තියා ඇෆ් එකක්වත් මට නං ෂුවර් නැහැ මිස්"

යනුවෙන් අත් දෙකම විදහා පාමින් පැවසුවේ මා පංති භාර ගුරුතුමියගේ මුව විශ්මයෙන් අරවා තබමිනි. ඒ කථාබහ අවසාන විය. පසුව පංතියට පැමිණි පසු පංතිභාර ගුරුතුමිය මා කැඳවූවාය.

"බලන්න රන්දිමා (ඇය මා ඇමතුවේ රන්දිමා නමිනි) ඇයි ඔයාට කොමර්ස් මිස් එහෙම කියන්නේ? මං ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ මිස් කියනවා ඔයාට එස් එකක්වත් ගන්න බැහැ කියලා" ඇය කණගාටුවෙන් විමසා සිටියාය.

"අනේ මිස් මට කොමර්ස් මොකුත් තේරෙන්නේ නැහැ. ඒ මිස් කියලා දෙන්නෙත් නැහැ. මං පංති යන්නෙත් නැහැ. අනිත් ළමයි පංති යනවා. ඒ ළමයි එක්ක මිස් යනවා. මට නොතේරෙන බවවත් මිස්ට තේරෙන්නේ නැහැ මිස්. මට ඔය මිස්ව පේන්න බැහැ මිස්" අපට බෙහොම ලෙංගතු විද්‍යා ගුරුතුමිය වූ අප පංතිභාර ගුරුතුමිය හමුවේ මම මගේ සැබෑ සිතුවිලි දිග හැරියෙමි.

"හා හා ටීචර්ස්ලාට එහෙම කියන්න එපා. ඔයා අම්මා එක්ක කථා කරලා දැන්වත් මොකක් හරි පංතියකට යන්න බලන්න. නැත්තං අපරාදෙනේ. එකක්වත් ෆේල් වෙන්න ඕනෑ ළමයෙක් නෙමෙයි ඔයා" ඔන්න දැන් මට ඇඬෙන්න වාගේය. 'එකක්වත් ෆේල් වෙන්න ඕනෑ ළමයෙක් නෙමෙයි ඔයා' ඒක ඇත්තටම වටිනා රෙකමදාරුවක් නේද?

එදින මම අම්මාගේ කන්තෝරුවට ගිය විගස මේ සියල්ල පැවසීමි. අම්මා සාවධානව අසා සිටියාය. අම්මලා හඳුනන ගුරුතුමෙකු අම්මාගේ කන්තෝරුව අසල පිරිමි පාසලක වාණිජ්‍ය විශය භාර ගුරුමහතා විය. (ඔහු ව අප අමතන ලද්දේ ඉස්කෝලේ අංකල් නමිනි) මෙයට පෙරත් ඔහු වෙතින් අමතර පංතියක් සඳහා විමසුවද ප්‍රතිපත්තියක් හැටියට පංති නොකරන නිසාවෙන් එවැන්නක් කල නොහැකි බව කාරුණිකව ප්‍රතික්ශේප කෙරිණ. ඇත්තටම අම්මා මෙයට පෙර සිතා සිටියේ මා යහපත් අන්දමින් මෙම විෂයද හදාරණ බවයි. එදින මා පෑ කරුණු අනුව නොසිතූ ලෙස තුවාලය අසාධ්‍ය වී ඇති බව ඇය වටහා ගත්තාය.

"අපි යමු ඉස්කෝලේ අංකල් ව හම්බු වෙන්න" හවස අම්මාගේ කන්තෝරුව ඇරුණු පසු අපි සියලු දෙනාම ඉස්කෝලේ අංකල් හමුවීමට ගියෙමු.

"අනේ ඉස්කෝලේ මහත්තයා, දුව මෙච්චරක් කල් කිව්වේ නැහැ, එයා කොමර්ස්වලට ගොඩක් දුර්වල වෙලා. විෂය භාර ටීචර් කියන්නේ කොමර්ස් ෆේල් වෙයි කියලා. කොහොම හරි එස් එකක් ගන්න හරි මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?"

කාලය මද බව පවසා මදක් කල්පනා කල අංකල් එළඹෙන සෙනසුරාදා අප නිවසට පැමිණෙන බව පවසා අපව පිටත් කරවීය.

අංකල් පැමිණියේය. මුදල් පොත හෝ එවැනි නමක් ඇති ගණනක් මට හොඳින් කියා දුන්නේය. එඑම ගණනට ලකුණු 30ක් ලැබෙන බැවින් එය මූලික කරගෙන අනෙකුත් කාරණාද කෙටියෙන් හඳුන්වා දුන්නේය. අවසාන ප්‍රථිඵලය ලෙස මම සම්මාන සාමාර්ථයක් සමගින් සාමාන්‍ය පෙළ වාණිජ්‍ය හා ගිණුම් කරණය සමත්වීමි.

අවශ්‍යම අවස්ථාවේදී කළ යුතු හොඳම දේ අම්මා තෝරා ගත් නිසා සාමාන්‍ය පෙළ එක විෂයකකට හෝ සම්මාන නොලැබී යෑමේ අවාසනාවේන් මා ගැලවුනේ මේ අවස්ථාවේදී පමණක් නොවෙයි.

මේ කථාව අද ලියන්නට හිතුනේ හා පැටික්කි ඊයේ දිනයේ මා විසින් පළ කරන්නට යෙදුනු ලිපියට දුන් ප්‍රතිචාරය දුටු විටයි. අම්මලා කියන්නේ පුදුම කොට්ඨාශයක්. ඒ අම්මලා ම, නංගිලා, අක්කලා, දුවලා, නැන්දලා, ලොකු අම්මලා ආදී වශයෙන් කුමන විදිහේ චරිත නිරූපණය කලත් අම්මලා හැටියට නිරූපණය කරන්නේ එකිනෙකා පරයා යන විදිහේ අනභිභවනීය චරිත.

ගණිතයට අට වන වසරේ පමණ සිට සහභාගී වූ අමතර පංතිය මා හට හොඳ වූ නිසාවෙන් ඒ පිළිබඳව ගැටළුවක් නොවීය. එහෙත් විද්‍යා විෂය යම් පමණකට ගැටළුකාරී අවස්ථා මතුකරන බව මා වටහා ගත්තේ 10 වන වසරේදී පමණය. මේ සඳහාද මෙවරද අම්මා මගේ පිහිටට සිටියාය. සමහර කරුණු ඇය මට පහදා දුන්නාය. සමහර කරුණු හිදී ඔළුව හිල්වෙන තරමේ ටොකුද ඇන්නාය. එලෙස ටොකු ඇනද පහදා දිය නොහැකි තැන් ඇති බව මදින් මද අප දෙදෙනාටම පැහැදිලි වූයෙන් අම්මා පංති ගැන සොයා බැලුවාය. ඒ පංතිද මට හරි ගියේ නැති තරම්ය. අවසානයේ අම්මාගේ කන්තෝරුවේ අංකල් කෙනෙක්ගේ නෝනා මහත්මියක ඔවුන්ගේ නිවසට පැමිණියහොත් මට ඉගැන්විය හැකි බව පැවසුවාය. අම්මා ඒ උපකාරය සතුටින් භාර ගත්තාය.

ඔවුන්ගේ නිවස තිබුනේ අපේ නිවසට බොහොම ආසන්නයේය. ඇත්තටම කිවහොත් විස්ථාපනය ලෙසින් ගතහොත් බොහොම ආසන්නයේය. දුර ලෙසින් ගතහොත් විස්ථාපනය මෙන් 5ගුණයකටත් වැඩිය. බස් එකක් යන්නේ එහෙමත් වෙලාවකටය. අවසාන‍යේ සිදු වූයේ කුමක්ද? මාගේ සිත්ගත් එම පන්තියට සහභාගී වීමටත් නැවත ගෙදර ඒමටත් අප දෙදෙනා සෙනසුරාදා මුළු දවසම ගත කෙරුවෙමු. පයින්ම ගොස් පයින්ම ඒම හැර වෙන විකල්පයක් නොවීය. අම්මා මාගේ දියුණුව පතා එසේ ඒ දුර දුරක් ලෙස නොසලකා මා සමඟ ආවාය. ගියාය. විභාගය ආසන්න වනතුරු මම ඒ පංතිය සහභාගි වූ අතර ඒ මුළු කාලයම අම්මා මාත් සමඟ ආවාය.

අම්මා මං පොඩි කාලේම මට හුරු කරවු දෙයක් තමයි පිටපත් ලිවීම. හැමදාම හවසට පොතක් හෝ පත්තරයක් බලාගෙන ‍පිටුවක් පිරෙන්න ලිවීම මට අනිවාර්යය වූ දෙයක්. 6 වසර හෝ 7 වසර වනතුරු ඒ සඳහා ලැබුණු ලකුණු කවදාවත් 5/10 ඉහළට නොගිය තරම්. ඒත් අම්මාගේ අණ යටතේ මම හැමදාම වාගේ ලියුවෙමි. අවසානයේ මට වැඩිම ලකුණු හිමි විය. ඒ 8/10කි. අනතුරුව අම්මා පැවසුවේ මම ඇති තරම් ලියා ඇති බවයි. ඒ බව සනාථ කරමින් 1996 වසරේදී දහම් පාසල් තරඟාවලියේ අත් අකුරු තරඟයෙන් පළමුවැනි තැන මට හිමි විය. අම්මා එදින නිහතාමානීව ලොකු සතුටක් වින්දාය.

දැන් දැන් මට සිංහල අතින් ලියන හැටි අමතක වී, අකුරු හකුරු විගෙන ආවත් අම්මා විසින් හුරු කරවු ඒ පුරුද්ද නිසා කියවීමට, රචනා ශෛලියෙන් යමක් ලිවීමට මට මනා වූ පුරුද්දක් උරුම වූ බව සිතේ. ඇත්තටම පෙරකී තරඟාවලියේදී ගද්‍ය රචනා අංශයෙන්ද ප්‍රථමස්ථානය මට ම හිමි වීමද අම්මාගේ සිත තව තවත් අමන්දානන්දයට පත් කරවන්නට හේතුවන්නට ඇත.

අද මේ සටහන් කෙරෙන දෙයත්, මීට එපිටින් මේ අවකාශයේම මා විසින් සටහන් කරන්නට යෙදුන යම් දෙයක් වේ නම් ඒ දේවලුත් අම්මා විසින් මුල් වරට මට අකුරු ලියන්නට කියා දුන් දවසේ සිට පසු කලෙක පිටපත් ලිවීමට හුරු කරවීම හරහා ආ ගමනේ ප්‍රථිඵල නොවෙද?

දරුවෙකුගේ ජීවිතය යන මඟ තීරණය කරන තීරණාත්මක පුද්ගලයා අම්මාය යන්න මගේ සිතුවිල්ලයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...