Saturday, April 30, 2011

සෙනෙහස මගේ, මහ මෙර වගේ......3 - අසුරු සැණෙකින් ජීවිතයම බිඳ වැටුනු දවසක්,






සෙනෙහස මගේ, මහ මෙර වගේ......1


සෙනෙහස මගේ, මහ මෙර වගේ......2

මම ගෙට ගිහිල්ල දවල්ට උයපු මඤ්ඤොක්ක කෑලි ටිකකුයි, කඩල වගේකුයි ගෙනැල්ල රන්බණ්ඩට දීල, ආයෙම පුටුවෙ දිගා වෙලා රන්බණ්ඩගෙ මූණ දිහා බලාගෙන හිටියෙ මිනිහට කතාව පටන් ගන්න කියල නොකියා කියමිනුයි.

" මේ පාර යන්නෙ මගෙ ගමට මහත්තය " වැට අයිනෙන් යන පාර පෙන්නල රන්බණ්ඩ කිව්ව. " අපෙ අත්ත නුවර කිට්ටුව කෙනෙක්. එයා තමා තරුණ කාලෙ මෙහෙ ඇවිත් පදිංචි වෙලා තියෙන්නෙ,ඒ කිව්වෙ සුද්දන්ගෙ කාලෙ "


මොකෙක් හරි නිශාචර කුරුල්ලෙක් ජෑම් ගහේ අතු අතරෙ ඉඳල ඉගිල්ලිල ගියා.ඒ දිහා ඔලුව හරවල බලල රන්බණ්ඩ " බස්සෙක්ද කොහෙද" කියල ආයෙම කතාව පටන් ගත්තා.

" මීට අවුරුදු පහලවකට විතර ඉහතදි, මට එතකොට විසි පහ ලැබුවා විතරයි, මම හරි දඩබ්බරයා. මාව ගමේ තියාගන්ඩම බැරි තැන අප්පච්චි මාව යැව්ව අත්තලගෙ ගමට නුවර කිට්ටුව ගුන්නෑපානට "

" කොහෙට කිව්ව, ගුන්නෑපානට? " ඇස් පියාගෙන කතාව අහගෙන උන්නු මම, එක පාරටම පුටුවෙ කෙලින් උනා.

" ඇයි, ඇයි මහත්තය දන්නවද ගුන්නෑපාන? "

මම මොකෝ නොදන්නෙ ගුන්නෑපාන? එයා......., ගිය සතියෙ ආයෙ නේන්නම මගෙන් වෙන් වෙලා ගිය එයා ගුන්නෑපානෙනෙ.

" නෑ, නෑ, එහෙමට දන්නෙ නැහැ, මගෙ යාලුවෙක් හිටිය ඒ කිට්ටුව,ඒකයි එහෙම ඇහුවෙ "

" මාව ගිහිල්ල නැවැත්තුවෙ නෑකමට මට මාම වෙන කෙනෙකුගෙ ගෙදර. මාමට හිටියෙ එකම දුවයි.පොඩි කඩ කෑල්ලකුත් තිබුන ඒ අයට. මම ඔය කඩෙත් වැඩ කරගෙන වත්ත පිටියත් බලාගෙන හිටිය "

" මගෙ නෑනගෙ නම සිරිමලී.නමටම ගැලපෙන ඒ වගෙ සිරියාවන්ත කෙල්ලෙක් මම කවදාවත් දැක්කෙ නෑ මහත්තය.ඒ කෙල්ල නිසා මම මගෙ මොරෝමකං ඔක්කොම අතෑරල දාල හොඳ මිනිහෙක් උනා. මගෙ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් අරමුණක් ආව.මම මගෙ මුලු හදවතින්ම සිරිමලීට ආදරේ කලා. ඒ කෙල්ලත් මට ආදරෙයි කියල කවදාවත් වචනෙන් නොකිව්වට මට ආදරෙයි කියල මම දැනං හිටියා. එව්ව කවුරුත් කියන්ඩ ඕන නැහැ, මහත්තය, ඒ වගෙ දේවල් දැනෙන්නෙ පපුවට "

" ඔහොම කාලයක් ගිහාම, කඩේ ටික ටික දියුණු වෙලා වෙලඳාම සරු උනා.ඔය කාලෙ මගෙ මල්ලිව කඩේ වැඩට ගෙන්න ගන්ඩ කියල අප්පච්චි කිව්ව, ඒ නිසා මම මල්ලිවත් එක්කගෙන ආව. ඔන්න ඔතන තමයි මහත්තය මට වැරදුනෙ "

" මල්ලිගෙ නම හීන්බණ්ඩා.මල්ලි මට වඩා අවුරුදු තුනක් බාලයි. සිරිමලීගෙ වයසට මට වඩා ගැලපෙන්නෙ එයා. ඇවිත් ටික දවසකින්ම මට තේරුනා මල්ලි සිරිමලී ගැන උනන්දු වෙනවා කියල.මල්ලි මට වඩා හැඩ රුවයි, පිළිවෙලයි.අනික මලී මට සෙනෙහෙවන්ත උනාට එයා කෙලින්ම මට ආදරෙයි කියල කියල තිබුනෙත් නැහැ "

මේ වෙනකොට මට බොන එක අමතකම වෙලා තිබුනෙ. ඒත් රන්බණ්ඩගෙ වීදුරුව හිස් වෙලා කියල දැක්කම,ගෙට ගිහින් තව බෝතලයක් ගෙනැල්ල මූඩිය කඩල අතට දීල, මම ආපහු ඉඳ ගත්ත.වීදුරුවක් පුරවගෙන රන්බණ්ඩා ආයෙම කතාව කියන්න පටන් ගත්තා.

මේ කොයිම වෙලාවකවත්, මිනිහ මාදිහාවෙ කෙලින් බැලුවෙ නැහැ. හඳ එලියෙ මිදුලෙ එහෙ මෙහෙ දඟලන, කණමැදිරි එළි දිහාවෙ බලාගෙනයි, මිනිහ කතාව කිව්වෙ. මමත් පුටුවෙ දිගා වෙලා ඇසුත් පියාගෙන බොහොම ඈත ලෝකෙකින් ඇහෙන, ගලාඑන හඬකට ඇහුම් කන් දෙනව වගෙ අහගෙන හිටියා.

" මේ ප්‍රශ්නෙ මගෙ හිතට රැයක් දවාලක් නැතුව වද දුන්නා.එක අතකින් මගෙ සෙනෙහෙවන්ත කම. අනික් අතින් සහෝදරකම. ඒ ඔක්කොටම වැඩිය මලීගෙ හිතේ අපි දෙන්නගෙන් කාටද සෙනේ කියල හරියටම නොදන්න නිසා හිතේ තිබිච්ච දෙගිඩියාව "

කතාව නැවතුනා. මම දෑස් බාගෙට ඇරියා.රන්බණ්ඩා වීදුරුව උඩට උස්සල, කට්ටෙ ගානට අරක්කු වක්කරගෙන, එක හුස්මට බීල, ආයෙම කතාව පටන් ගත්තා.

" ඒ දෙගිඩියාව එක දවසක නැත්තටම නැති උනා මහත්තය.නැත්තටම නැතිඋනා. එදා මම මල්ලිව පිටත් කලා එන්ඩ තිබ්බ ණය වගයක් එකතු කරගෙන එන්ඩ.මල්ලියි මායි දෙන්නම කෑවෙ මලීලගෙ ගෙදරින්.එදා දෙක විතර වෙනකනුත් මල්ලි ආවෙ නැති නිසා මම ඒ ලඟම බඹ පණහක් හැටක් එහායින් තිබ්බ මලීලගෙ ගෙදෙට්ට ගියා බඩගිනි වැඩි නිසාම "

මම ඇස් ඇරල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන වීදුරුව අතට ගත්තා.

" ගෙදර ඉස්සරහ දොර ඇරල දාල තිබ්බ නිසා මම කෙලින්ම කුස්සියටම ගියා. කුස්සියට ඇතුල් වෙච්චි මම එහෙම්මම ගල් වෙලා දොරකඩ නැවතුනා. මල්ලියි මලීයි දෙන්න කුස්සියෙ බංකුවෙ වාඩි වෙලා. මලී මල්ලිගෙ උරහිසට වාරුවෙලා. මල්ලි මලීගෙ මූණ ඉඹිනවා. මගෙ අඩි සද්දෙවත් නෑහෙන තරමට ඒ දෙන්න එයාලගෙ ලෝකෙ "

කතාව නවත්තල රන්බණ්ඩා ලයිට් එලිය වටේ කැරකෙන මැස්සො දිහා බලාගෙන හිටියා. වීදුරුවෙ අරක්කු ඩිංග මම උගුරට හලා ගත්තා.

" මාව ඉස්සෙල්ලම දැක්කෙ මලී. බය වෙච්ච පාර එහෙම්මම නැඟිටල බිරාන්ත වෙලා බිම බලාගෙන හිටියා. මල්ලි හෙමිහිට මගෙ දිහා නොබලම එලියට ගියා "

" මමත් එහෙම්මම ටික වෙලාවක් ගොලු වෙලා හිටියා. මට කියාගන්ඩ දෙයක් හිතාගන්ඩ වත් බැරි උනා ඒ වෙලාවෙ.එක අතකට මොනවයි කියල කියන්ඩද?එහෙම සිද්ධියක් ඇස් පනා පිට දැක්කම, තමන්ගෙ මුලු ජීවිතේම ඇස් පනාපිට කඩා වැටුනම මොනවයි කියල කියන්ඩද? ඒ වගෙ වෙලාවකට වචන වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ මහත්තයා.කිසිම ප්‍රයෝජනයක් නැහැ. මහත්තයට තේරෙනව නේද මම කියන එක? " රන්බණ්ඩා කතාව පටන් ගත්තටම පස්සෙ පළවෙනි පාරට මගෙ මූණ බලල ඇහුවා.

මොනව කියනවද? රන්බණ්ඩා, ඔය වගෙ දේකට මමත් මූණ දීල තව සුමානයක් වත් ගියේ නැහැ, මම එහෙම කිව්වෙ නැහැ,ඔලුව විතරක් වනල ඔව් කියන එක ඇඟෙව්වා.

" එදා රෑ මම කෑවෙ නැහැ. කඩේ කලින්ම වහල දාල පිටිපස්සෙ කාමරේ ඇඳට වෙලා මගෙ ජීවිතේම කඩා වැටුනු හැටි හිත හිත හිටියා. ඔය දවස්වල මම අරක්කු බොන එක නවත්තලම දාල තිබ්බෙ. මලී මගෙ ජීවිතේට ඇතුලු උනාට පස්සෙ මට ඒ වගෙ දේවල්වල උවමනාවක් තිබ්බෙම නැහැ. ඒත් එදානම් මට හිත විකාර වෙනකල් බොන්ඩ ලොකුම ඕනකමක් තිබ්බට ඒකටවත් නැඟිටල එලියට යන්ඩ බැරි තරම් හිත වේදනාවෙන් පුපුරු ගහමින් තිබ්බෙ "

උදේ මම කඩේ ඇරියෙ නැහැ. ඉස්සරහ බංකුවෙ ඉඳන් පාර දිහාවෙ බලා ඉන්නකොට මල්ලි හෙමිහිට කඩුල්ල පැනල එනව මම දැක්කා.

" හීන්බණ්ඩා " මම කතාකලා. මල්ලි එහෙම්මම නැවතුනා. ඒත් මා දිහා බැලුවෙ නැහැ. " මල්ලි,මම අද ගමේ යනවා. ආයෙ එන්ඩ බලාපොරොත්තුවක් නැහැ. උඹ මේ කඩේ කරගෙන මෙහෙ හිටපං " මම අමාරුවෙන් ඒ ටික කියා ගත්තා.



මතු සම්බන්ධයි............

























17 comments:

  1. හ්ම්....

    පිරිමි හිත හොඳ වෙන්නත්, නරකත් වෙන්නත්, සුන්දර වෙන්නත්, අසුන්සර වෙන්නත් වගේම, සාන්තුවරයෙක් වෙන්නත්, මිනීමරුවෙක් වෙන්නත් ගැහැණියක් බලපානව බලපානවමයි.

    මට හිතා ගන්න බැරි දෙයක් තියෙනවා රවි මහත්තයෝ..

    පිරිමි ඉන්නව නේද?
    හරිම ශක්ති වන්තයි.
    බුද්ධිමත්
    ක්‍රියාශීලී
    දක්ෂයි
    ඒත් ......... එයාල ගොඩක් වෙලාවට ගැහැණු මත යැපෙනවා.
    ගැහැණියක් නිසා මුළු ජීවිතේම පුරුදු වෙනස් කර ගන්නව. ඒ වගේම ගැහැණියක් නිසා තම ජීවිතේ වුනත් පුදනව වගේම , ජීවිතයක් ගන්න වුනත් පසු බට වෙන්නෙ නැහැ.

    මෙච්චර ශක්තිමත් , බුද්ධිමත් පිරිමියා ඇයි ගැහැණිය නිසා තම ජීවිතේම වෙනස් කර ගන්නේ ( හොඳට හෝ නරකට)

    ඒ අතින් ගැහැණිය හරිම ස්වාධීනයි.පිරිමිය දාලා ගියත් හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙනවා.

    මම දැකපු බොහෝ පිරිමින් එකම එක ගැහැණියක් ගැන සිතමින් බොහෝ දුරට දුක් වෙනවා. ඒත් පිටතට පෙන්නන්නෙ නැහැ.

    මම නම් කියන්නේ පිරිමි මීට වඩා දරුණු වෙන්න ඕනි. ගැහැණිය මත නොයැපී ඉන්න ශක්තිමත් වෙන්න ඕනි.

    අනේ රණ්බන්ඩා... මට ඔයා ගැන හරිම දුකයි.
    හීන්බන්ඩ ගැන තරමක් දුකයි . සිරිමලී ගැන තරහයි.

    අපේ රන් ට ගොඩක් ස්තූතියි රන් ....... රවි අයියා... ලියමු ඉතින්....

    ReplyDelete
  2. හැබැයි ඉතින් රංබන්ඩා එයාගේ සෙනේහෙ ගැන නොකියා හිටිය හන්දා සිරිමලීට මුකුත් කියන්නත් බෑ නේද? අය්යා ඒ ගැන මල්ලිට නොකියා තිබුනු හන්දා හීන්බංඩාටත් දොස් කියන්නත් බෑනේද?

    ලස්සන්න වැඩේ බෝතල් ගානට එලියට එන එකයි. ෆිල්ම් එකකටත් ලස්සන කතාව. නලුවන්ට රඟ පාන්ටත් ලේසියි. වැඩියම තියෙන්නේ බොන්ටනේ.

    පොතට නමක් නම් මතක් උනා. ඒත් අනෙක් අය මොනවා හිතයිද හන්දා නොකියා ඉන්ට හිතුවා. රංබන්ඩා කලෙත් ඒ ටිකමනේ.

    ReplyDelete
  3. @වත්,

    ඇයි සිරිමලී එක්ක තරහාවෙන්නේ??? එයා එහෙම හැසිරෙන්නේ පිරිමියෙක් හන්දා. රංබන්ඩාගෙන් නොලැබුනු ආදරයක් හීංබන්ඩාගෙන් ලැබුනද කවුද දන්නේ??? ඒ හන්දා එයත් එක්ක තරහා ගන්ට කාරි නෑ කියලයි මට නම් හිතෙන්නේ. සාමාන්‍ය ගෑනියක් විදියට එයා හැසිරිලා තියනවා.

    //පිරිමි ඉන්නව නේද?
    හරිම ශක්ති වන්තයි.
    බුද්ධිමත්
    ක්‍රියාශීලී
    දක්ෂයි//

    අපොයි මේ කොයි රටේ පිරිමි ගැනද කතා කරලා තියෙන්නේ. එයාලා ගෑනු අනුව වෙනස්වෙනවා කියනවට වඩා ඒකේ අනෙක් පැත්ත වෙන විදියක් තමා මට පේන්නේ. ඔයා ඔය කියන විදියටම ගැහැනියක් ආදරවන්තියක් කරන්නත්, නපුරු තැනැත්තියක් කරන්නත් පිරිමියෙකුට පුලුවනි.

    //මම නම් කියන්නේ පිරිමි මීට වඩා දරුණු වෙන්න ඕනි. ගැහැණිය මත නොයැපී ඉන්න ශක්තිමත් වෙන්න ඕනි.//

    වත්, ඔයාට නම් දෙය්යන්ගෙම පිහිටයි. එහෙම නැත්නම් පිරිමියෙකුගෙම පිහිටයි.


    ගෑනු දෙන්නෙක් වෙලා අපි දෙවිදියකට හිතන්නේ කොහොමද?

    ReplyDelete
  4. රන්බණ්ඩා වැරදියි. කලින් ඕක ඇහුවනම් සමහර විට ගොඩ යන්ඩ තිබුන...
    eaarly bird catches the worm කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයිනෙ...

    ReplyDelete
  5. මම කියවපු ලස්සනම කතන්දර වලින් එකක් ඔයා මුලු හදවතින්ම කතාව ලියලා තියනවා ... හිත වෙනතක යවාගන්නේ නැතිව මම පුදුම ආසාවකින් මේ කතාව කියෙවුවා . ...

    මම ලිවීම ගැන ඔයාගෙන් ගොඩක් දේ ඉගන්න ගන්නවා රවි අයියේ !

    ReplyDelete
  6. .@ සොඳුරු සිත,

    / පිරිමි හිත හොඳ වෙන්නත්, නරකත් වෙන්නත්, සුන්දර වෙන්නත්, අසුන්සර වෙන්නත් වගේම, සාන්තුවරයෙක් වෙන්නත්, මිනීමරුවෙක් වෙන්නත් ගැහැණියක් බලපානව බලපානවමයි. /

    / පිරිමි ඉන්නව නේද?
    හරිම ශක්ති වන්තයි.
    බුද්ධිමත්
    ක්‍රියාශීලී
    දක්ෂයි /

    හෙහ්.....හෙහ්, වත් නඟේ, කොහොමද හැබෑට ඔය වගේ නිගමන වලට එකහෙලාම එලඹුනේ?

    Let's Say We agreed to disagree, okay?

    ReplyDelete
  7. .@ Podi Kumarihami,

    / හැබැයි ඉතින් රංබන්ඩා එයාගේ සෙනේහෙ ගැන නොකියා හිටිය හන්දා සිරිමලීට මුකුත් කියන්නත් බෑ නේද? අය්යා ඒ ගැන මල්ලිට නොකියා තිබුනු හන්දා හීන්බංඩාටත් දොස් කියන්නත් බෑනේද? /

    එකඟයි, එකඟයි, කාටවත් දොස් කියන්ඩ බෑ තමයි, පොඩ්ඩි , ඔයා හරි,

    මෙතන කිසිම කෙනෙක් විනිශ්චය කරන්නෙ නැහැ.

    Not judging anyone Poddi not at all, You are welcome to do it yourself if you think it's necessary, heh......heh,

    / ලස්සන්න වැඩේ බෝතල් ගානට එලියට එන එකයි. ෆිල්ම් එකකටත් ලස්සන කතාව. නලුවන්ට රඟ පාන්ටත් ලේසියි. වැඩියම තියෙන්නේ බොන්ටනේ. /

    ඇත්තටම උනෙත් එහෙමයි, මම ඔය බොන කතාව නොදා ඉන්නත් හිතලා ආයෙම හිතුනා එහෙම කලොත් කතාවෙ ගතියක් නැතිවෙයි කියල.

    / පොතට නමක් නම් මතක් උනා. ඒත් අනෙක් අය මොනවා හිතයිද හන්දා නොකියා ඉන්ට හිතුවා. රංබන්ඩා කලෙත් ඒ ටිකමනේ /

    මට අගේ ඇති නමක් කල්පනා උනා, ඔන්න රන්බණ්ඩගෙ නෙවෙයි මගේ කතාවට හරිද?, දන්නවය මොකක්ද කියල......කුමරියකට පෙම්කළෙමි......Loving A Princess - An Unfinished Love Story,........කොහොමද අපූරු නම නේද?

    ReplyDelete
  8. .@ අලුත් කොල්ලා,

    ඇත්ත තමයි ඔයා කියන්නෙ, ඔය ඔක්කොම රන්බණ්ඩට වැරදුනු තැන් තමයි.

    Only in hindsight you know what went wrong,

    ReplyDelete
  9. .@ හිස් අහස,

    බොහොමත්ම ස්තූතියි සඳරු මල්ලි,

    මගේ ප්‍රියතම බ්ලොග් රචකයෙක් මෙහෙම ප්‍රශංසාවක් කලාම ඒක මට කෝටියක් වටිනව, මේ ඇත්තමයි මල්ලියෙ, ඇත්තම ඇත්ත,

    ReplyDelete
  10. ලස්සනට කතාව යන නිසාත් තව කොටස් ඇති නිසාත් කිසිවක් කියන්න බෑ. මට සමහර තැන් වලදී වත් එක්ක කිසිසේත් එකඟ වෙන්න බෑ. වත්ට ඇති ප්‍රශ්නෙට උත්තරේ නම් පිරිමියා ඔය හැමදේම වෙනස් කරගන්නේ ආදරේට කියන එකයි.
    @ පොඩ්ඩි.
    හිතේ උපදින ආදරේ කියන්නම ඕනද? එහෙම කීවේ නැතිනම් එයින් අවැඩක් වෙන්න පුළුවන්ද? හදවත් දෙකක් බැඳෙනවනම් ඇස් දෙකෙන්, කියන වචන වලින් ආදරේ දැනෙන්න ඕන නේද? මම ඔයාට ආදරෙයි කියන්නම ඕනද? වචනයක් ඕනෑවට වඩා ඇදල කියනඑකත් ආදරයේ සංකේතයක් වෙන්න බැරිද? සමහර විට රන්බණ්ඩාට වඩා හීන්බණ්ඩාගේ ආදරේ සිරිමලීට වැඩිය දැනෙන්න ඇති. අපි රවි අයියා ඉතිරියත් කියනකල් ඉමු...

    ReplyDelete
  11. ගෑණියෙක්ට හිතින් ආදරේ කරල විතරක් වැඩක් නැහැ.රණ් බංඩා එයාගේ හිතේ තිබුන ආදරේ සිරිමලීට නොකියා හිටිය නිසා හීන් බංඩා එක්ක එකතුවුන එක ගැන සිරිමලීට දොස් කියලා වැඩකුත් නැහැ.තමුන් හිතින් ආදරේ කරකර ඒක ලැබිය යුතු කෙනාට නොකියා ඉන්න එක ලොකුම දුර්වල කමක්.අනිත් එක දෙන්නෙක් ආදරෙන් බැඳුනට පස්සෙ තමුන්ගේ ආදරවන්තියට ගැලපෙන විදිහට හැඩගැහෙන එක වැරද්දක් නෙවෙයි එතන තමා හැබෑ ආදරයක් තියෙන්නේ. පිරිමි ඕනේට වඩා දරුණු වෙන්නයි ,ගෑණුන්ට රලු විදිහට සලකන්නයි ගියොත් නම් වෙන්නේ ගෑණුන්ට පිරිමි එපාවෙලාම යාවි. පිරිමි ගෑණුන්ගෙන් යැපෙන්න නම් ඕනේ නැහැ
    තමුන්ගේ පෞරුෂත්වය රැකගෙන හිටියාම ඉවරයි.

    පිරිමි ඉන්නව නේද?
    හරිම ශක්ති වන්තයි.
    බුද්ධිමත්
    ක්‍රියාශීලී
    දක්ෂයි
    ඒත් සමහර වෙලාවට මෝඩයි, ඒවෙලාවට මෝඩවැඩ කරලා අන්තිමට ගෑණු අයට දොස් කියනවා.රණ් බංඩා ගැනත් කියන්න තියෙන්නේ ඕකම තමා.කමක් නැහැ රවි අයියා කතාව නම් හරිම ලස්සනයි දිගටම ලියන්නකෝ.

    ReplyDelete
  12. පිරිමි ගැන ,ඒ විදිහට හිතන එකම ගැහැණු කෙනා මම ද. හොඳයි කමක් නැහැ.

    පරිමියෙක් වෙච්චි ප්‍රියන්තත් ඒකට එකඟ නැහැ. වෙන්න පුලුවන් , මොකද මම ලීවේ ගැහැණූ හිතකට පිරිමි අය ගැන හිතෙන හැටි මිසක් , පිරිමි හිතක් පිරිමි අය දකින විදිහ නෙමෙයි.

    ගැහැණු අයට ආදරෙයි කියලම පිරිමි අය කියන්න ඕනි නැහැ තමයි. ඇස් වලින් කතාවෙන් වචනයෙන් ඒ බව දැනෙනව , හැඟෙනවා.ඒත් ස්ථිර බවක් නැති වුනාම කොයි තරම් ආදරය වුනත් ගැහැණිය ළං වෙන්නෙ ස්ථිරව ආදරෙයි කියන කෙනාට වෙන්න ඇති.( වෙන්න ඇති කියල කීවේ මම එහෙම වෙලා නැති නිසා)

    ඒ වගේම තමයි තවත් සමහර ගැහැණු අය ඉන්නව , කොයි තරම් පිරිමි ආදරෙයි , මම ආදරෙයි කිය කිය පස්සෙන් ආවාත් , ආදරයෙන් බැදෙන්නෙ නැහැ. ( ආඩම්බරය ද ?)

    කොහොම වුනත් රං බණ්ඩට වුනේ වස වැරුද්ද. මෙතනදි හිතේ දුක වඩ වඩාත් දරුණු වෙන්නෙ ඒ තමන්ගෙම සහෝදරය වුන නිසා.

    ඒත් ඉතින් එය කියන මහ ලොකු ආදරය කාලයත් එක්ක වෙනස් වෙනව. ආදරය කරන පුද්ගලයම වෙනස් වෙන එකේ ආදරය නම් මොනාද?

    වෙනස් නොවෙන ආදරයක් ඇත්නම් ඒ ගොඩක් කාලාතුරකින්.......ගොඩාක්ම කලාතුරකින්....

    ලියන්න රවි අයියා ඊළඟ කොටස ....

    ReplyDelete
  13. ශක්තිමත්, බුද්ධිමත් පිරිමි සතා බොහෝමයක් වෙලාවට ‍රැලේ ඉන්න හොඳම ගෑණු සතාට හිමිකම් කියනව. රන් බණ්ඩා අයිය වුනාට මල්ලි වෙච්ච හීන් බණ්ඩා අඩියක් ඉස්සරහින්. සිරිමලී වැරදි නෑ. හීන් බණ්ඩා වැරදි නෑ. හැම දෙයක්ම අතෑරල ආයෙම ගෙදර යන්න හදන රන් බණ්ඩාත් නෙමෙයි වැරදි. මිනිස් සම්භන්ධතාවලදි හරි වැරදි මෙන්න මේකයි කියල ඉරක් ඇඳල පෙන්නන්න බැරි තරම් පැටළිලි සහගතයි. ඒකමයි ජීවිතේ මෙච්චර විවිධාකාර, ලස්සන.

    ReplyDelete
  14. @ සොඳුරු සිත.

    කිසිම පිරිමියෙක් ගෑණියෙක් විතරක් නිසාම ජීවිතේ පුරුදු වෙනස් කරගන්නෙ නෑ තමන්ට වෙනස් වෙන්න උවමනාවක් නැත්නම්. ඔතනදි ගෑණියෙක් කරන්නෙ ඒ පිරිමියගෙ හිතේ වෙනස් වෙන්න තියෙන උවමනාවට පොඩි තල්ලුවක් දෙන එක. හැබැයි ඒක නොපෙන්නා ගෑණි නිසා වෙනස් උනා කියල ගෑණිගෙන් ලකුණු දාගන්නව. ඕක පිරිමි වගේම ගෑණුන්ටත් පොදුයි.

    ඒ වගේම තමන්ගෙ පුරුදු වෙනන් කරනොගත්තු මිනිස්සු කොච්චර ගෑණුත් එක්ක ඉන්නවද?

    ReplyDelete
  15. .@ Priyantha,

    ස්තූතියි ප්‍රියන්ත, ඔබේ අගය කිරීම මට ශක්තියක්,

    ReplyDelete
  16. .@ neetha,

    ස්තූතියි නීතා නංගි, රන්බණ්ඩගෙ කතාව නැඟල යනව වගේ........ හෙහ්, හෙහ්,

    / ගෑණියෙක්ට හිතින් ආදරේ කරල විතරක් වැඩක් නැහැ.රණ් බංඩා එයාගේ හිතේ තිබුන ආදරේ සිරිමලීට නොකියා හිටිය නිසා හීන් බංඩා එක්ක එකතුවුන එක ගැන සිරිමලීට දොස් කියලා වැඩකුත් නැහැ.තමුන් හිතින් ආදරේ කරකර ඒක ලැබිය යුතු කෙනාට නොකියා ඉන්න එක ලොකුම දුර්වල කමක්. /

    මම ඊයෙ තකහනියක් රන්බණ්ඩ හම්බ වෙන්න ගියා. නීතගෙ පුරස්නෙට උත්තරයක් අහ ගන්ඩම. ඔය මම මෙතුවක් කාලෙකට උන්දැ දැක්කමයි. දැන් වයසයි.මයෙ හිතේ 65 වත් වෙන්ඩ ඇති. ඒත් කියන්ඩවත් බැහැ, බොහොම නිවුනු සැනැහුනු ජීවිතයක් ගෙනියන්නෙ.

    මෙන්න රන්බණ්ඩගෙ උත්තරේ,

    " අනේ පිං ඇති නෝනෙ, මම කාටවත්ම දොස් කියන්නෙ නෑ. එදා කිව්වෙත් නෑ. අද කියන්නෙත් නෑ. මයෙ පණ හැංගෙනකල්ම මම කාටවත් දොස් කියන්නෙ නෑ. අපි ලබා උපන් හැටිය, ඉරණමය, කියාල එකක් තියනවනෙ නෝනෙ. ඒ විදිහට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ කියාල මම හිත හදාගත්ත. නෝනලටත් මම මේ කියන්නෙ, තරහ ගන්ඩ එපා රත්තරනේ මෙහෙම කිව්වට, ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතුවොත් හිතට පුදුම සහනයක් ලැබෙනව. ජීවිතේ බදාගන්ඩ බදාගන්ඩ දුක් වේදනා වැඩියි, මම දන්නව ඒක මගෙ අත්දැකීමෙන්ම "

    ReplyDelete
  17. .@ nawammawatha,

    / මිනිස් සම්භන්ධතාවලදි හරි වැරදි මෙන්න මේකයි කියල ඉරක් ඇඳල පෙන්නන්න බැරි තරම් පැටළිලි සහගතයි. ඒකමයි ජීවිතේ මෙච්චර විවිධාකාර, ලස්සන. /

    හෙහ්...හෙහ්.....නවම් මල්ලි, කියලාම වැඩක් නෑ, බං ඒත් නොකියත් බෑ,

    උඹ මයෙ මලේ හරියටම කිව්ව කියන්න ඕන ටික,

    අපි හැමෝම මෙන්න මේ දේ හරිය, මේක වැරදිය කියල සම්මතයකට ඇවිල්ල අනිවාර්යයෙන් ඒ හරිය කියන දේ විතරක් අනුගමනය කරනව නම් මේ ලෝකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ නෙව, හැබැයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ, ඒ මිනිස්සු කියන්නෙ විවිධ සහ විසම නිසා. උඹ කිව්ව වගෙ එහෙම වෙන එක තමයි ඒකෙ අපූර්වත්වය, ලස්සන, ඒ පැටලිලි සහගත බවේම තියනව ජීවිතේ විඳීම.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...