Monday, October 8, 2012

139. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....21


ඇය අවසිහියෙන් කරනා තොල මැතුරුමට එතැන සිටගෙනම සවන්දුන් දඩයක්කාරයා වහා යමක් සිහිපත් වු පරිදි පෙට්ටගම විවෘත කලේය. එහි අඩියේම තැන්පත් කර තිබූ එදවස මහ දඩයක්කාරයා ජීවත් වූ සමයෙහි ගැල් ගොනුන් දෙදෙනෙකුගේ සිරුර දෙපසට එල්ලෙන පරිදි මොල්ලිය පසුපස තරව සිර කල ගෝණි මළු දෙකක පුරවා මුහුදු බඩ සිදාදියෙහි සිට මසකට වරක් පමණ වන මං ඔස්සේ කරක් ගසමින් සංචාරක වණික් කර්මාන්තයෙහි යෙදුනු යෝනක වෙළෙඳාගෙන් ලබාගත් ශ්වේත වර්ණ රෙදි කඩ කාලයාගේ ඇවෑමෙන් කහවන් වී තිබිණ. 

කසාවන් රෙදිකඩ පෙට්ටගමෙහි තැන්පත් ව බොහෝ කල් ගත වූ නමුදු ඉස්තරම් වූ නිමාවෙන් යුත් එහි සවිමත් බවට මෙතෙක් කිසිදු හානියක් නොවීණි. රෙදි කඩ දිගහල දඩයක්කාරයා එහි සතරෙන් කොටසක් පමණවූ ප්‍රමාණයක් සිය සවිමත් දෑතින් ඉරා වෙන් කලේය. 

යලි යුවතිය අසල දණගසාගත් ඔහු ඉරාගත් රෙදිකඩින් ඇගේ සිරුර ඉතා ප්‍රවේශමෙන් මෙන්ම පරීක්ෂාකාරීවද තෙත මාත්තු කොට පිසදැමීය. 


ඇගේ තුඟු ළය මඬල සහ දඟ යුග රෙදි කඩින් පිස දමද්දී යලි කුඹුක් තුරු සෙවණෙහි සිදුවූ ඒ සදානුස්මරණීය සිදුවීම ද එදා අත්විඳි අශ්වාදයද යලි චිත්තාභ්‍යන්තරයෙහි කරළියට ප්‍රවිෂ්ඨව රංගනයෙහි යෙදෙන්නට වු හෙයින් දඩයක්කාරයා මොහොතක් කාර්‍යය අත්හිටුවා සිත දමනය කර ගැනීමේ උත්සාහයක යෙදුණේය. 


දෑස් තරව පියාගත්වනම පෙනහළු පිරීයනසේ කල ආශ්වාසය ද ඉනික්බිති ඉඳුරාම පිරීගත් වායුව මුළුමනින්ම බැහැරවනසේ කල ප්‍රශ්වාසයද යන සිත් දමනය කිරීමෙහිලා නොවරදින ප්‍රතිකර්මයෙහි කිහිප වරක් යෙදුනු අනතුරුවය ඔහුගේ චිත්තාවේගයන් යම් පමණකට පාලනයට නතු වූයේ. 


යුවතියගේ දේහය හොඳින් තෙත මාත්තු කල දඩයක්කාරයා රෙදි කඩෙන් ඉතිරි කොටස ගෙන ඇය එහි දැවටුවේය.දඟ යුග මධ්‍යයේ පටන් ගෙල දක්වාම ප්‍රවේශමෙන් රෙදිකඩින් ඇය එතූ ඔහු ඉන්පසු නැඟිට සිටියේ ගෙපැලේ පසුපස බිත්තිය අසල රැස්කල තිබූ වියළි දර ඉපල් රැසකට ගිණි අවුළුවා ඇය අසල ගිණි මැළයක් ඇවිලවූයේය. 


ගෙපැල තුල හෙයින් බොහෝ කොට ගිණි දළු නැඟනොයනසේ දර ඉපල් කිහිපයක් පමණක් යෙදීමට වගබලාගත් හෙතෙම ගින්දරට පා රත් කරගත් තම යුගතින් ඇගේ කොපුල් තල පිරිමැද උණුසුම් කලේය.ඇගේ වත සුදුමැළි පැහැ මැකී ගියේ ප්‍රාණවත් වන්නට ඇරඹි වහාම ගිණි මැළයට තවත් දර ඉපල් කීපයක් ලංකල දඩයක්කාරයා නැඟී සිටියේය.ආහාරයට ගත හැකි කිසිදු දෙයක් තබා අහරක් පිළියෙල කිරීමට සුදුසු කිසිදු දෙයකුදු ගෙපැලේ නොමැති බැව් ඉඳුරාම දත් හෙතෙම ගෙපැල දොරකඩ බට දඬු කිහිපයකින් වියන ලද පැලැල්ලෙන් ආවරණයකොට මඟට පිලිපන්නේය. 


මතක ඇති කාලයක් මුලුල්ලේ වෙල්ලස්සේ වනගත ගම්වාසීන්ට හුවමාරුව උදෙසා භාණ්ඩ රැගෙන ආ යෝනක වෙලඳ දෙබෑයින්ගේ සංචාරක වෙළඳාම එක්වනම ඇණ සිටි ඉක්බිති ඒ රික්තය පිරවීම උදෙසා නොපැකිල ඉදිරිපත් වූයේ ගම් නායකයාය.ඔහුගේ දියණිය හා සම්බන්ධ දඩයක්කාරයාගේ පළහිලව්ව හේතුකොටගෙන ඔවුන් දෙදෙන අතර සබඳතාවයන්හි යම් පමණකට ඇල් මැරුණු සහ දුරස්ථ ස්වභාවයක් විද්‍යාමාන වුවද ඒ හේතුකොටගෙන දඩයක්කාරයා හට සැලකිය යුතු තරමේ බලපෑමක් නොවිණි. ඊට හේතුව වූයේ දකුණු දිශාවෙහි සිට ආගමනිත ඝණව වැඩුනු ඇස් බැමි යුගලයකින් අඩක් වැසීගිය තියුණු දෙනෙතකින් යුතු මැදි වයසැත්තෙකු ගම්මානය කෙලවරෙක කුඩා කඩ බක්කියක් විවෘත කොට පවත්වාගෙන යාමට තීරණය කිරීමයි. 


විය යුතු ලෙසම ගම් නායකයා තම වෙළඳ ඒකාධිකාරයට එකහෙලාම බලවත් තර්ජනයක් වන මේ නව ව්‍යාපාරය කෙරෙහි කිසිදු රුචියක් නොදැක්වූ නමුදු ගම්වාසීහු ඝණව වැඩුනු ඇස් බැමි යුගලයකින් අඩක් ආවරණිත තියුණු දෙනෙතකින් සමන්විත මැදිවයසැත්තාගේ චිත්තාකර්ෂණීය කථා විලාශය කෙරෙහි මෙන්ම අසක්කුවකදී අතමාරුවක් කර ගැන්මේ පහසුකම කෙරෙහිද තදින් බැඳී ගිය බැවින් විවෘතවම එදිරි ක්‍රියාමාර්ගයක් ගත නොහැක්කේ, සිය අන්තේවාසිකයින් සමඟ දින කිහිපයකට වරක් නව ව්‍යාපාරිකයාගේ මෙන්ම ඔහුගේ ගනුදෙනුකරුවන්ගේ ද මාතෘ ගුණ මහිමය සිහිපත් කිරීමෙන් සෑහීමට පත්විය. 


යථෝක්ත වෙළෙඳා හමුවීමටය උදක්ම දඩයක්කාරයා ගෙපැල දොරටුව බට පැලැල්ලෙන් ආවරණය කොට ලා පියා මේ කඩිනමින් පිටත්වූයේ. 


වදන් භාවිතා කිරීමෙහිදී තම ආවේණික අරපරෙස්සම නැතහොත් කුසීත භාවය නැවතත් ප්‍රදර්ශනය කරමින් ඔහු සහල් ස්වල්පයක් සහ තියුණු දෙනෙත් ඇත්තා විසින්ම ගම්වාසීන්හට පුරුදු කොට වර්තමානයෙහි ඔවුන්ගේ අහර වේලෙහි ප්‍රධාන තැනක් ගන්නා කහ වන් ලොකු ඇට පරිප්පු විශේෂයක් තමනට අවශ්‍ය බව පැවසූයේ අභිනයෙනි.කිසිදිනෙක නොවූ පරිදි දඩයක්කාරයාහට සහල් සහ පරිප්පු අවශ්‍ය මන්දැයි අභිනයෙන්ම විචාරන නියායෙන් වෙළෙඳා ද දඩයක්කාරයා දෙස තම ඝණ ඇහිබැම තව දුරටත් හකුළුවා මොහොතක් බලා සිටියේ, ප්‍රතිචාරයක් නොවූ කල මුවින් නොබැණම ඔහුට අවශ්‍ය භාණ්ඩ ලබාදුන්නේය. 


සහල් සහ පරිප්පු රැගෙන ගෙපැලට ඇතුළුවූ හෙතෙම පළමුව කෙමෙන් නිවි යමින් අළු අතර දිලෙන ගිණි පුළිඟු කිහිපයකට සීමා වී තිබූ ගිණි මැළය යලි වියළි දර ඉපල් කිහිපයක් යොදා ඇවිලවීය. 


යුවතිය මේ වන තෙක්ම දැඩි නින්දක ගැලී සිටියාය. එහෙත් ඇය මිට පෙරාතුව සිටි අවසිහි තත්වයෙන් මිදී ඇතිබැව් කිසිදු සැකයකින් තොරව කියාපෑවේ සෙමින් ලතාවකට උස් පහත්වන ඇගේ ළය මඬලයි. 


අනතුරුව හේ මතක ඇති කාලයකට අහරක් නොඉදුනු ගෙපැලෙහි පසුපස දකුණු මුල්ලෙහි වූ ළිපෙහි පැරණි ලිග්ගල් තුන පට්ටල වන පරිදි හොඳින් සකස් කලේ, ඒ මධ්‍යයෙහි කාලාන්තරයක් මුලුල්ලේ එකතුවී වැසි සමයෙහි බලල්ලෑව අතරින් ගෙතුලට කඩා වදින හිරිපොද පතිත වී ඝණ වී ගිය අළු සම්භාරය පලමුව ඉවත්කල අනතුරුවය. 


කලකින් අහරක් නොපිස්සේ වුවද වරක් ප්‍රගුණ කල ශිල්පයක් කිසිදා යලි සිතෙන් මැකී නොයන බව ඇත්තෙන්ම සැබෑවකි. බත ලිපෙහි තබා ඊටම සේදූ පරිප්පුද යොදා අවස්ථාවෝචිත පරිදි පෙට්ටගම පතුල අතගා බොහෝ අසීරුවෙන් සොයාගත් ලුණු මිරිස් යනාදියද දඩයක්කාරයා ඊටම එකතු කලේ සහල් සහ පරිප්පු ගෙනෙනා විට අවශ්‍ය අනෙකුත් අඩුම කුඩුම ගෙන ඒමට සිහි නොවීම පිළිබඳව තමාටම දොස් පවරා ගනිමිනි. 


බත සහ මිශ්‍ර පරිප්පු ඇතිළියෙන් නිකුත් වන සුවඳ ඔහුගේ නාසා පුඩු තුලින් ඇතුලුව පුරා දිනකට අධික කාලයක් නිරාහාරව හුන් ඔහුගේ නොඉවසිලිමත් භාවය දැඩි කලද වැර වෑයමෙන් ඒ ආශාව ඔහු මැඩගත්තේ යුවතිය නිදා සිටිද්දී තනිව ආහාර ගැනීම නොමනා යැයි ඔහු සිත කොඳුරා පැවසූ හෙයිනි. 


මෙතෙක් ගතවූ දඩයක්කාරයාගේ ජීවිතයේ කිසිම දිනක , විශේෂයෙන් මහ දඩයක්කාරයා මියගිය පසු වෙනත් කිසිවෙකු වෙනුවෙන් ඔහු සිත්හි මෙවන් හැඟීමක් ඉපිද නොමැතිබව එක් වරම සිහියට පැමිණි දඩයක්කාරයා ඒ කුමනාකාර හැඟුමක්දැයි වටහා ගැනීමට උත්සාහ කලේය. අවසන ඔහු තීරණය කලේ ඒ ගම් නායකයාගේ දියණිය කෙරෙහි ඔහු තුල ඇතිවූ උද්වේගකර හැඟීමට යම් තරමකින් සමාන වූද එසේම යම් තරමකින් අසමාන වූද හැඟීමක් බවය.එහෙත් ඒ හැඟීම කුමක්දැයි හරිහැටි වටහාගන්නට අසමත්වූවද ඔහු එක් කරුණක් තිර ලෙසම දැන සිටියේය. එනම් ඒ හැඟීම ඔහුගේ ගත පුරා පිරී සැහැල්ලුව අවකාශයේ පාව යන තත්වයකට ඔහු පත් කොට ඇති බවයි. 


ඒ දැඩි ආශ්වාදයෙන්ම ජීවිතයේ පලමු වරට තමා සමඟම සිනාසුනු දඩයක්කාරයා ලිපෙහි ගිනි පෙණෙළි නිවා දමා තවමත් නිදන ඇය දෙස මොහොතක් පහත්ව බලා සිටියේය. එක වරම අපැහැදිලි යමක් තොල මැතුරූ ඇය වමැලයෙන් දකුණැලයට මාරු වූවාය.ලිහිල්ව දවටා තිබූ රෙදිකඩ මඳක් මෑත්ව අගේ ළය මඬල මඳක් නිරාවරණය විය. සුරත දිගු කල දඩයක්කාරයා ඉතා සීරුවෙන් රෙදිකඩ සකස් කලේ ඇගේ මුහුණ සෙමින් අතගාමිනි. එක් වරම දෙනෙත් විවර කල ඕ තොමෝ දඩයක්කාරයා දෙස මොහොතක් විදහාගත් දෑසින් බලා සිට සුරත ඔසවා යමක් පැවසීමට තැත් කලාය. එහෙත් ඒ සමඟම නැවත ඇගේ දෑස් පියවුණි. 


ඇගේ ගැඹුරු ආශ්වාස ප්‍රශ්වාසයට සවන් දෙමින් තවත් නිමේශයක් එහි ගත කල දඩයක්කාරයා ගෙපැලෙහි දොරටුව වසා ඉන් පිටව පිල්කඩ මත ඉදිරි බිත්තියට පිටදී හිඳගත්තේ කොහොඹ ගසේ අතු රිකිළි සොලවමින් සුළඟ හමනායුරු බලා සිටියේ දෙතොලඟ තැවරි මද සිනහවක් ද සහිතවය. 


මතු සම්බන්ධයි........

20 comments:

  1. හික්ස්............. මේකනම් මෙගාවත් මෙගාවක් වෙයි වගේ.

    මොනවා වුනත් මේ කතාව එක එක පැති වලට ඇදී යන මරු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මටත් උනේ අර ව්‍යාඝ්‍ර වාලධිය තරවැ ගත් කෙලෙඹි පුත්‍රයාට වෙච්චි එකේ අනික් එක නෙව....:(

      තවනම් වැඩි දුරක් නෑ නිසූ....සමාප්තිය මසැසට දර්ශනය වන මානයේයැ...:) :)

      Delete
    2. අහන්ටත් තන්තෝසයි මේ මලමගුල ඉවරවෙන්ට යනවා කියලා.. ;)

      Delete
    3. @ Buratheno,

      ආරෝග්‍ය ශාලා පරමා ලාභා,
      සන්තුට්ඨිං පරමං ධනං,

      මලඬ, තොප සතුටක් ලැබුවේ නම් ඒ මා සිරස කුසුමෙක් විකසිත වූවා හා සමානය....ඒ සතුටට මම ද ඉත සිතින් අනුමෝදන් වෙමි....

      දැක්කද මේ පාඨයෙ මුල පේළිය?...අවුරුදු දෙදාස් ගානකට ඉහත උනත් ඒ කාලෙ දැනං ඉඳල තියනව අද කාලෙ ගැන..ප්‍රයිවට් හොස්පිට්ල් එකක් අරින එක පරමා ලාභා කියලනෙ ඔය කියල තියෙන්නෙ...

      Delete
  2. කතාව ලියලා තියනවා ලස්සනයි. අර කැලෑවක හිටපු සුදු වැද්දෙකුගේ කතාවකත් , ඔහොම හාල් එක්ක හැමදේම දාලා උයන එකක් තිබුනා වගේ මතකයි. ඒක කියවනකොට මටත් බඩගිනි උනා. සමහර ඉන්දියාවේ අය ඔය පරිප්පු බත් එක්ක උයන සිරිතක් තියෙනවා....

    උඩ තියන පින්තූරේ ඉන්නේ දඩයක්කාරයාද? :)

    ReplyDelete
    Replies
    1. / අර කැලෑවක හිටපු සුදු වැද්දෙකුගේ කතාවකත් , ඔහොම හාල් එක්ක හැමදේම දාලා උයන එකක් තිබුනා වගේ මතකයි /

      ඔය කියන්නෙ ආර්. එල්.ස්පිටල් මහත්මයගෙ සුදු වැද්දා කතාව ගැනද?...ඒකෙ නම් පොඩ්ඩි එහෙම පරිප්පු දාල බත් උයන සීන් එකක් මට මතක විදිහට නම් නෑ...:( :(

      / සමහර ඉන්දියාවේ අය ඔය පරිප්පු බත් එක්ක උයන සිරිතක් තියෙනවා..../

      යෙස්...ඔබ හරි...අපේ අල්ලපු අපාට්මන්ට් එකේ ඉන්නෙ පන්ජාබ් කපල් එකක්...එයාල සිකුරාදට අපිටත් දෙනව ස්පෙෂල් හදපු ඔය මික්ස්ඩ් රයිස්....ඕකටම දානව ඇට ලොකු පරිප්පු ජාතියක්....කජු....එළුවා සහ විශේෂ බටර් වගෙ ජාතියක්....හප්පා ...උං දෙන්න එහෙ උයනකොට ඒ සුවඳත් එක්ක අපිට මෙහෙ බත් පිඟන් දෙක තුනක් කෑහැකි....හෙහ්, හෙහ්,

      මම ඔය පොළොන්නරුවට එහා කාලයක් වැඩ කලා කිව්ව නේද?...ඒ දවස්වල උයන්ට හිටි ගෝල බාල තෙමේ නිවාඩු ගියහම අපි දවල්ට ඇවිල්ල ක්ෂණිකව හදාගන්නෙ ඔහොම මික්ස්ඩ් එකක් තමයි..බතටම දානව අල, පරිප්පු, එතනින් ගිහාම කරවල කෑලි හත අටක්.....විනාඩි විස්සෙන් වැඩේ ගොඩ.....හෙහ්, හෙහ්,

      / උඩ තියන පින්තූරේ ඉන්නේ දඩයක්කාරයාද? :) /

      ඔන්න..ඔන්න....ඉතිං අම්මප අර බින්දි කිව්ව වගෙ බොටත් ඕන නැති වංඇපලයක් නෑ නෙව..දඩයක්කාරයද?....නෑ ඒකගෙ අප්පොච්චි.....

      හෙහ්, හෙහ්, ඇත්තම කිව්වොත් හදිස්සියට වෙන පෝටොස් කෑල්ලක් හොයාගන්න බැරි උනා...ඒකයි උනේ...

      Delete
  3. අනේ අම්මපල්ල මේ ගැටිස්සිට තාම සිහිය ආවෙ නැති හැටියක්!!!!

    ReplyDelete
    Replies
    1. අම්මාපල්ල උඹ කිව්වමයි මතක් උනේ...හැබෑට අර යුවති අම්මණ්ඩිට තාම සිහිය ආවෙ නෑ නෙවෙන්නං...මේකි හොරට ඉන්නව වත්ද හැබෑටම?....දඩයක්කාරය ලව්ව සාත්තු සප්පායං කොරෝ ගන්ට...ඉඳපං නැක්ස්ට් ඇපිසෝඩ්ඩෙකේ මම දඩයක්කාරය ලව්ව ඒකි හොරට ඉන්නවද කියල පරීක්සා කොරවල බලවඤ්ඤං...කොහොමද දන්නවද ඒ....මේන්න මෙහෙමයි...

      තම සුරතට ඇඹරුම් ගලෙහිලා ඇඹරූ රක්ත මාරීච තලියක් ගත් දඩයක්කාර තෙමේ මුනින් අතට නිදනා යුවතියගේ විලි වැසූ රෙදිකඩ මඳක් මෑත්කලේ ඇගේ පශ්චාත් භාගයෙහි ඒ ප්‍රවේශමෙන් තවරාලීය.

      ඔන්න බොලේ බඩුම තමයි..හොරට සිහිය නෑ වගෙ ඉන්නව නම් ආයෙ හූ තියාගෙන නැඟිටින්නෙ...හූ තියාගෙන ...හූ තියාගෙන,

      කෙල්ලොංට සිහිනැතිවෙන එකත් පුල් ආතල් සීන් එකක් බොලේ...

      අපි එකපාරක් දිඹුලාගල ගියා පෝයකට...ඒ දවස්වල අපේ ඔෆිස් එකේ හිටිය ටොන් තුනහමාරෙ හෙවි වෙහිකල් ටයිපිස්ට් කෙනෙක්....මයෙ හොඳම යාලුවෙක් ඔන්න කොහොමහරි ඕකට කොක්ක ගැහැව්ව...දිඹුලාගල තියනව ඔය හැමෝම යන විහාරෙ, අහස් මන්දිරේ ඇරුනු කොට කන්දක් උඩ හාමුදුරුවරු කලින් හිටිය ගල් ගුහා..අපි හතර පස් දෙනෙක් එහෙ යන්ට සෙට් උනා. මේ අම්මණ්ඩිටත් එන්ට ඕන කියාපි...වැන්දෙ නැතුව විතරයි එන්ට එපා කියල..කෝ...ඇහුවය?

      හති දම දම කන්ද උඩට නං නැග්ගය කියමු...ආපහු එන ගමනෙදි අපෙ එකෙක් ගලකින් ලිස්සල කකුලෙ පලාතක් ලෙලි ගියා...ඒ හද්ද කැලේ මොන බෙහෙත්ද?...ඒ පාර එකෙක් කොල වගයක් තලල තියල යන්තම් ලේ නැවැත්තුව...ඒ කරල අපි තුන් දෙනෙක් ඌව වත්තං කරගෙන හෙමීට පල්ලං බහින්ට පටං ගත්ත..ඔන්න එතකොටයි වැඩේ හොඳ හරිය පටං ගත්තෙ....හෙහ්, හෙහ්, අර මම කිව්ව ටයිපිස්ට් ලමය...අටේ දහයෙ කෙලි පොඩ්ඩි...දබෝරියං ගාල කලංතෙ දාල වැටිච්චි...උන්දැට ලේ දැක්කම කලන්තෙ දානවලු...

      ඉතිං මොකද කොරන්නෙ?...වතුර එහෙම ඉහල යන්තං සිහිය අරගෙන අරූ..මගෙ යාළුව...ඒ අම්මණ්ඩිව උස්සගෙන වගෙ තමයි කන්දෙං පාතට බැස්සෙ....ඒ ආවත් හරි...ඌ ඒ අකලංක ප්‍රේමයට ෆුල්ස්ටොප් තිබ්බ විත් ඉමීඩියට් ඉෆෙක්ට්...හෙහ්, හෙහ්,

      අඩේ, උඹ හින්ද ජනූ මට පරණ කේස් මතක් වෙනව එකසිය ගානට...ලියන්ට ඕන ඔය ගැනත් සවිස්තරව වියුණු සටහන් පෙලක්ම....

      '' පිරිපුන් ප්‍රේමයක අවසානය එසේ සනිටුහන් විය "....හෙහ්, හෙහ්..කොහොමද මාතෘකාව?...මේ....මට අමතක උනොත් මතක් කරපං හොඳද?

      Delete
  4. මට සුදු වැද්දා මතක් වෙන්නේ ඇයි...... ලස්සනට ලියනවා....

    ReplyDelete
    Replies
    1. අඩේ...සුදු වැද්දා ඔයාටත් මතක් වෙනවද?..අර පොඩ්ඩිත් කිව්ව ඔය කතාවම....සමහරවිට මෙහෙම වෙන්ට ඇති..අර හෑන්ස්ගෙ කෙලි පොඩ්ඩි රනී වහකාල වැටිල ඉන්නවනෙ...( ඇත්තටම නම් වහකාල නෙවෙයි ) එතකොට හෑන්ස් රනී මැරිල කියල හිතල එතන දුක්වෙන සීන්ස් එක මෙතන දඩයක්කාරයගෙ සීන්ස් එකට සමානද කියලත් මට හිතෙනව...

      ස්තූතියි හිරු...ඔබට...

      Delete
  5. ඔහොම යං. පරිප්පු කියන්නේ ජාතික ආහාරයක් කියල පිලිගන්නම වෙනවා . ලබන සතිය වෙනකම් ඉන්න වෙනවා ඉතුරු කෑල්ල බලන්න .

    පොඩ්ඩිටත් ඕන නැති එකක් නැහැ . සම්භාව්‍ය එව්වයේ ඔහොම තමයි . කෙලින්ම පින්තුරේ දාන්නේ නැහැ . හරි නම් මෙතෙන්ට දාන්න ඕනේ දනිහ ගාවට රෙදි කඩක් ඇඳපු දැරිවියක්නේ .

    ReplyDelete
    Replies
    1. / ලබන සතිය වෙනකම් ඉන්න වෙනවා ඉතුරු කෑල්ල බලන්න ./

      නෑ බින්දි මේ සතියෙ තව කොටසක් ලියන්ට බොහෝවිට පුලුවන් වේවි....:)

      / සම්භාව්‍ය එව්වයේ ඔහොම තමයි . කෙලින්ම පින්තුරේ දාන්නේ නැහැ . හරි නම් මෙතෙන්ට දාන්න ඕනේ දනිහ ගාවට රෙදි කඩක් ඇඳපු දැරිවියක්නේ ./

      ආන්න ඒකනෙ...බින්දිට තේරෙනව වැඩේ...කෙලින්ම පොල්ලෙං ගැහුව වගෙ අදාල පිංතුර දාන්නෙ නෑ සම්භාව්‍ය ගණයෙ නිර්මාණවල...පාටකය ඉන්නවනෙ....පාටකයට Mental Exercise එකක් කරල උපස්ථිතියකට එන්ට ඉඩ තියලයි මම මේ තියෙන්නෙ.....

      1. මේ රූපය වියුණුවට අදාල වේද?

      2. එසේ අදාල වන්නේ නම් ඒ කෙසේද?

      3. අදාල නොවන්නේ නම් ඒ ද කෙසේද?

      4. එසේ අදාල නොවන්නේ නම් ඒ අදාල කරගත හැක්කේ කෙසේද?

      ඔන්න ඔයවගෙ හිත දියුණු කරගැනීමේ, මානසික ශක්තිය වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියකට තමයි මම මේ මුල පුරල තියෙන්නෙ...තේරුණෙයි?

      Delete
  6. දඩයක්කාරයන්ගේ කතා වලට කාන්තා ආකර්ෂණය මැනවින් ලැබෙන බව පෙනේ... කතාවෙහි අගක් මුලක් නොතේරේ... කිසිදා ලැබේ යැයි සිතිය නොහැකි විවේකයක සියලුම කොටස් කියවීමට සිතාගතිමි...

    ReplyDelete
    Replies
    1. / දඩයක්කාරයන්ගේ කතා වලට කාන්තා ආකර්ෂණය මැනවින් ලැබෙන බව පෙනේ. /

      රයිට් තිසර අපි කරමු ඔය ගැන පොඩි විස්ලේසනයක්...පිළිගන්න දැන් සබාවට පිවිසෙන්නේ අතිගරු ඩෙස්මන්ඩ් මොරිස් මැතිතුමා...........

      '' දඩයක්කාරයො ගැන මිනිස් ගැහැණු සත්වයින්ගෙ සිත් තුල තියෙන්නෙ ආදරය මුසු ගෞරවයක්....ඒ අනාදිමත් කාලෙක මිනිස් ශිෂ්ඨචාරයෙ අරුණලු වැටෙන සමයේ ඉඳන් පැවතෙන අතහැරගන්ට නොහැකි ඇබ්බැහියක්...ඒ ප්‍රාථමික යුගයෙ ගැහැණියගේ එකම ආරක්ෂකයා ඒ වගේම ආහාර සපයන්නා වුනේ දඩයමෙහි සමත් පිරිමියා. ඒ නිසා ඒ අවධියේ ගැහැණියගේ සිත තුල ඇතිවුනු ඒ ආදරය මුසු ගෞරවය යුග ගනනාවක් ගෙවී ගිහිල්ලත් ඈ තුල ඇගේ යටි සිතේ නිදන් වෙලා තාමත් තියනව. කොච්චර දිය යට ඔබන්ට තැත් කලත් අවස්ථාව ලැබුනු වහාම දිය මතුපිටට එන රබර් බෝලයක් වගේ ඒ ගෞරවය ආදරය ඉඩක් ලැබුණු වහාම මතු වෙනව "

      / කතාවෙහි අගක් මුලක් නොතේරේ. /

      මේ දඩයක්කාරයාගේ කතාවේ 21 වන කොටසයි. එපමණක්ම පවසමින් නිහඬවෙමි.

      / කිසිදා ලැබේ යැයි සිතිය නොහැකි විවේකයක සියලුම කොටස් කියවීමට සිතාගතිමි... /

      ඒ විවේකය ඔබට ලැබේවා යන්න මගේ පැතුමයි...:)

      Delete
  7. මට නම් දැන් මේක බලලා එපා වෙලා.
    එක්කො ඉවරකරපිය.
    නැතිනම් ඉක්මනට ලියපිය.
    දෙකෙන් එකක් නොකොලොත් එහෙම..... මම් ආයෙ.....
    ..
    ..
    ..
    ..
    ආයෙ අවිත් බලනවා ලියලද කියල.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් මේක ලියල එපාවෙලා,

      මේ වල් ඌර, දඩයක්කාරය ඉන්නව නේද?
      මුගෙ නෑනෙ කිසිම දේකට උනන්දුවක්, උවමනාවක්, හදිස්සියක්,

      අරෙහෙ අර කෙලී සිහිසන් නැතුව ඉන්නව,
      දැන් සති කීයක් නං උනාද?
      මූට කිසිම උවමනාවක් නෑ සිහිය ගන්ට...
      ඔය රටේ නැති විකාර හිත හිත එහාට මෙහාට වෙවී ඉන්නව...

      මම නොකිව්වයි කියන්න එපා...හොඳද?
      මට බෑ මේ හැටි බැනුං අහන්න...
      විජහට කරන මඟුලක් කරල මේක ඉවර කරපිය.

      Delete
  8. අප්පේ අදමයි මේ පැත්තේ ආවේ. මොනා උනත් මරු කතාව. ජූගුප්සාජනකයි, අත්‍යාලන්කාරයි, තවත් එව්වා මෙව්වා තියෙනවා. කිව්වයි කියලා හිතා ගන්ටකෝ.

    ඒක නෙවෙයි පොඩ්ඩක් මංඥන්. මේ රවියි, රන්දිලුයි එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?

    ReplyDelete
    Replies
    1. / අප්පේ අදමයි මේ පැත්තේ ආවේ. ..... /

      හෙහ්, හෙහ්, වෙල්කම් කිව්වා ඒ කේ එම්,

      ඈඳිගන්ටකො බලන්ට හත්තට පලකින්....මොනවැයි බොන්නෙ කාරිය?

      / ඒක නෙවෙයි පොඩ්ඩක් මංඥන්. මේ රවියි, රන්දිලුයි එක්කෙනෙක්ද? දෙන්නෙක්ද? /

      දෙන්නෙක් අප්පේ .......දෙන්නෙක් දෙන්නෙක්

      Delete
  9. හෆොයි ඔන්න අද තමා මේවට කමෙන්ට් කරන්ට හම්බු උනේ.
    බුදු අම්මෝ මේවා කියවල මේ මන් වාගේ ෂූටි බබාලා නරක වෙනවනේ අප්පා...! ඔන්න ඔය වැඩිහිටියන්ට පමණි කෑලි නම් මම කියෙව්වේ අතින් ඇස් වහගෙන ලු. (වහගෙන කීවට අවාසනාවක මහත! ඇඟිලි අස්සෙන් පෙනුන නේ. පව් නේද මම අහිංසක ළමයා)

    අපෝ මේ දඩ අපරාදේ නේ පරිප්පු අනං මනම් හදන්ට වද වුනේ. මැගී නුඩ්ල් එකක් හැදුවනං හරි නේ. විනාඩි දෙකයි.

    ඉතින් ඉතින් දැන් මේකේ ඊළඟ කෑල්ලේ දඩ මේ බත් එක අනල කවයිද? නැත්නම්....

    ReplyDelete
  10. අත්‍යාලංකාර අර්ථයන්ගෙන් සපිරි ඔබගේ ගද්‍ය මාහැගිය.

    හොකෑස්...මේක කියෙව්වම නික වරදත්ත කියෙව්වා වගේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...