Monday, October 22, 2012

141. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....23

,.,

ඒ හා සමඟම ඈ නෙත් එක් වරම යොමුවූයේ කොහොඹ රුක් සෙවණෙහි එකිනෙකා හා වෙලී මාතෘ සහ දාරක සෙනෙහස විඳිනා මුවැත්තිය සහ මිග පෝතකයා දෙසටය.

ඈ වතෙහි දිස්වූ වෙහෙස වහා අතුරුදන් වූයේ අනපේක්ෂිතව හමා ආ දැඩි සුළඟක් ඉදිරියේ ඊට මුහුණ දිය නොහැකිව සතර අත පලායන වැහි වළාකුලක් පරිද්දෙනි.

යුවතියගේ මුවින් පිටවූ අව්‍යාක්ත නාදය කුමක් වුවද ඒ දැඩි සන්තුෂ්ඨිය පළකරනු වස් නැගූවක් හෝ වඩා නිවැරදිව පැවසුවහොත් අනිච්ඡානුගතව මුවින් පැණ නැඟුනක් බව දඩයක්කාරයා එක්පැහැර දත්තේය.

මෙතෙක් ඈ වත පෙලූ හේබා ගිය වෙහෙස කර ස්වභාවය අමතක වූ සෙයක් පලකල ඕ තොමෝ පිල්කඩින් ගෙමිදුලට බටුයේ කෙලි ලොල් දැරියකසේ ප්‍රීතියෙන් සිනාසෙමිනි.ඇය මීට ස්වල්ප වේලාවකට ප්‍රථම පලකල දුර්වල ස්වභාවය මතකයට නැඟුනු දඩයක්කාරයා වහා පිල්කඩින් පැන නැංගේ සිතෙහි උපන් චකිතයක් වන් හැඟීමක් නිසාමය. එහෙත් එසේ කලබල වීමක් කිසිසේත් අනවශ්‍ය බව ඔහුට නිසැකවම හැඟුනේ ඈ කිසිදු අප්‍රාණික ස්වභාවයක් රෝගී තත්වයෙක් හෝ යටත් පිරිසෙයින් විඩාවෙක් හෝ හෝ ප්‍රදර්ශනය නොකොට හැසිරුණු කෙළිලොල් ස්වභාවය හේතු කොටගෙනය.

දුනු දිය ඇද මුදාහල හීයක් මෙන් ඈ දිවගියේ කොහොඹ වනස්පතිය සෙවණෙහි එතෙකුදු එකිනෙකා හා වෙළෙමින් සෙනෙහස ප්‍රදර්ශනය කරනා මව සහ පුත්‍රයා වෙතටය. ඔවුන් වෙත ළඟාවූ ඇසිල්ලේ දෙදණ නවා ඒ අසළ හිඳගත් ඇය මව සහ පුත්‍රයා තම දෑතින්ම තුරුළු කොට ගත්තී හඬනඟා සිනාසෙමිනි.

තිරිසනුන් දෙදෙන සිප වැළඳ ඔවුනගේ සැඳෑ රත් හිරු එළියේ දිදුළන සුමුදු සම සෙනෙහසින් පිරිමදිමින් හිස් මත තම කොපුල් තබා ඔවුන් සුරතල් කරමින් බොහෝ වේලාවක් ගෙවූ යුවතිය එක් වරම නැඟීසිට ඇගේ මේ විප්‍රකාර මඳ සිනහවෙන් යුතුව නරඹමින් හිඳ හුන් දඩයක්කාරයා දෙස හැරුණාය.

'' මට කීවෙවත් නෑ නේද මේ දෙන්න මෙහෙ ඉන්නව කියල? ''

දෑතද ඉණට ගෙන චෝදනාත්මක ස්වරයෙන් ඔහු ඇමතූ ඇය ඒ සමඟම ඔහු ඊට කුමක් කියන්නේද යන්න දැන ගැන්මට පවා පමා නොවූවා යළි සත්වයින් දෙදෙන වෙත නැඹුරුව ඔවුන් හා සුරතල් වන්නට වූවාය.

දඩයක්කාරයා කොපමණ විශ්මයට පත් වූයේද යත් ඔහුගේ මුඛය ඔහු නොදැනුවත්වම විවර විය. ඔහුගේ යටි හණුව ඊට ප්‍රමාණවත් සේ දිගුවුනි නම් අනිවාර්යයෙන් ඒ පපුවෙහි ගැටෙනු නියතය. මේ සුවිශේෂී වූ යුවතියගේ හැසිරීම් මතු නොව කථාව ද ඔහු තුල ඇති කලේ නොමද චමත්කාරයකි. ඒ චමත්කාරයෙන් වශීවී ගිය දඩයක්කාරයා ඈ දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේ සිත් උපන් අති මහත් ප්‍රහර්ෂයකිනි.

මුවැත්තිය ඇගේ ආලිංගනයෙන් මිදෙනු වස් යම් නොඉවසිලිමත් හැසිරීමක් පළකරන බව දැනුනු පසුවය යුවතිය ඔවුන් මුදාහැර නැඟී සිටියේ.

යුවතියගේ ආලිංගනයෙන් මිදුනු ඇය සෙමෙන් සෙමෙන් වන පෙත කරා ඇදෙන්නට වූවාය. එහෙත් කුඩා පෝතකයා ඈ හා නොගොස් යුවතිය හා රැඳුනු හෙයින් වන රේඛාව අසල මොහොතකට පොරොත්තු වූ මුවැත්තිය ආපසු හිස හරවා නොඉවසිලිමත්ව ඔහු කැඳවන රාවයක් නැඟුවාය. එකල්හි පුත්‍රයා ද වහා දිවගොස් මව හා එකතුවූයේ නැවත වරක් ආපසු හැරී ඒ ඉරියව්වේම නැවතී ඔවුන් දෙස බලා සිටිනා යුවතිය දෙස එක් වරක් බලා තම මව සමඟ වන පෙත තුල වැද ක්ෂණයකින් අතුරුදන් විය.

ඔවුන් වනපෙතට ඇතුළු වූ ස්ථානය දෙස තවත් මොහොතක් බලා සිටි ඇය සුසුමකින් ළය සහැල්ලු කොට ගත්තී ආපසු හැරී ගෙපැල වෙත පිය මැන්නීය.

ඈ දෙසම මෙතෙක් ඇසිපිය නොහෙලා බලා සිටි දඩයක්කාරයා ඇය ආසන්නවන්නා හා සමඟම දෙනෙත් ඉවතට යොමු කලේ ගලා හැලෙන මඳ අඳුරට පසුබිම්ව වනරේඛාව ඔබ්බෙහි සරනා කණමැදිරි එලි දෙස බලා සිටින්නට වූයේ මින් පෙර ජීවිතයේ කිසි දෙනෙක නොදුටු අපූර්ව ආශ්චර්යයක් දුටු පරිද්දෙනි.

යුවතිය ගෙපැලට ඇතුල් වීමට මෙන් දොරටුව වෙත ළඟා වූවා එක්වරම යමක් සිහිවූවාක් මෙන් එළිපත මත නැවතුනාය. ඉන්පසු මඳක් කල්පනාවේ නිමග්නව සිට සෙමෙන් පිය මනිමින් පැමිණ දඩයක්කාරයා හිඳ සිටි පිල් කඩෙහි හිඳ ගත්තී ඔහු ආසන්නයේම නොවතුදුද එපමණ දුරකින්ද නොවේ.

ඇය දෙස එක් වරක් හිස හරවා බැලූ දඩයක්කාරයා නැවත කොහොඹ රුකට එපිටින්වූ වනපෙත අඳුර කැටිගැසෙනයුරු බලා සිටින්නට වූයේය. හාත්පස වෙලාගත් දැඩි නිශ්ශබ්දතාවය එක් වරම බිඳී ගියේ කොහොඹ අතුපතර සිට වේගයෙන් පියාපත් සලමින් එක්වරම කොහේදෝ ඈතකට ඉගිල ගිය එපමණ කුඩා නොවූ යම් නිශාචර පක්ෂියකුගේ හඬිනි.ඉන් සමවැදහුන් දැහැන බිඳී ගියා සේ දඩයක්කාරයා වහා යුවතිය දෙස හිස හරවා බැලීය.ඇය ද ඒ මොහොතේම ඔහු දෙස බැලූ හෙයින් ඔවුන්ගේ දෑස් එකට හමුවිය. ඒ බැල්මෙහි බන්ධනය ගිලිහී යා නොදී ඇය හඬ අවදි කලේ වදනින් වදන ප්‍රවේශමෙන් තෝරා ගනිමිනි.

'' මට හිටියෙ අම්මයි අපුච්චයි විතරයි.අපි හිටියෙ මේ දිය පාර උඩහ පැලක් අටවගෙන.ඒ අහල පහල මිනිස් පුලුටකට හිටියෙ අපි විතරයි.අපුච්ච හේනක් කෙටුව.මනුස්සයෙක් කියල මට ඇහැ ගැටුනෙ තවලං දක්කගෙන ආපු මට්ටයෙක් විතරයි. උංගෙං තමයි අපි ඕන බඩු හුවමාරු කරගත්තෙ.... ''

කොතෙකුත් ඈ දෑස දෙසම එක එල්ලේ බලා සිටිය නොහුණු දඩයක්කාරයා ඇගේ දෑසින් වෑයමින් මුදාගත් සිය දෑස අඩවන් කොට ගත්තේ මඳක් පසුපසට ඇදී ගෙපැලෙහි ලී දඬු වලින් නිම වූ බිත්තියට හේත්තු විය.

මේ මොහොත වන විට අඳුර දැඩි වී හාත්පස වසා පැතිර තිබූ අතර වාළිඹේගල තුඟු ගිරි හිස මතින් අඩ සඳක් පායා ඒමට තැත්කරමින් සිටියේය. එක්වරම හමා ආ සිහිල් සුළං රැල්ල දඩයක්කාරයාගේ නිරුවත් උඩුකයෙහි හිරිගඩු නැංවීය.එහෙත් මධ්‍යාහ්නයෙහි දැඩි හිරුරැසෙහි ගත දවන දාහය මෙන්ම මධ්‍යම රාත්‍රියෙහි හමා එන සිසිල් පවන් රොදක රැඳි සිරුර ප්‍රකම්පිත දැඩි ශීතයද එකසේ විඳ දරා ගැන්මට සුපුරුදු ඔහු ඒ නොතකා හලේ අවම වශයෙන් දෑත පොරවා ගැන්මට හෝ උත්සුක නොවීය.

එහෙත් සිහිල් සුළඟ හා පැමිණි දැඩි ශීතය යුවතියට ඔරොත්තු නොදුන් බව ඈ හැඳ සිටි ශ්වේත වර්ණ රෙදි කඩ තවත් සිරුරටම තද වනමෙන් සකසා දෑත ද ළයමත බැඳගත් අයුරු කියා පෑවේය.

'' ඔය අපි හිටපු තැනට පදිංචියට ඇවිල්ල තියෙන්නෙ මම හුඟක්ම කුඩා කාලෙ වෙන්න ඕන.මට එහෙම එනව වත් ආවෙ කොහෙන්ද කියලවත් කිසිම මතකයක් නෑ.අපුච්චවත් මයෙ අම්මවත් කිසි දවසක ඒ ගොල්ල ආවෙ කොහෙන්ද?...මොකක් නිසාද එන්ට සිද්ද උනේ කියල කිව්වෙ නෑ.....''

'' ඉතිං ඔයා ඒ ගැන එයාලගෙන් කවදාවත් ඇහුවෙත් නැද්ද? '' දඩයක්කාරයා ඈ දෙස නොබලාම විමසූයේය.

'' හිහ්......හිහ්, .....'' යුවතිය අත් පොළසන් නඟා කිකිණි හඬින් සිනාසුණාය.

මොකද වෙලා තියෙන්නෙ?...මොකටද හිනා වෙන්නෙ?....ඔහු ඒ ප්‍රශ්න දෙක ඇසුවේ නැත. නළලත නැඟුනු රැල්ලෙන් සහ දෙබැම එක් වූ විලාශයෙන් මෙන්ම ඈ වෙත හෙලූ ක්ෂණික බැල්මෙන් ද ඈ ඒ වහා වටහා ගත්තීය.

'' නෑ....අයිය ඔය වචනයක් කතා කලාමයි. ඒකයි මට හිනා ගියේ...මම ඒත් හිතුව අයිය ගොළුවෙක් වත්ද කියල....'' ඈ නැවත වරක් හඬ නඟා සිනාසුණීය.

ඇගේ කෙලිලොල් දඟකාර හැසිරීම ඉදිරියේ කොතෙකුත් නිශ්ශබ්දව සිටිය නොහැකි වූ කල්හි දඩයක්කාරයාගේ මුවඟට ද සිනහවක් නැඟිනි. ඒ යුවතියගෙන් වසන් කරනු උදෙසා ඔහු වහා හිස ඉවත හරවා ගත්තේ යටි තොල සපාගනිමිනි.

ඇගේ සිනහව කෙමෙන් වියැකී ගියේය. ඈ යලි තම කථාව පැවසීම අරඹන තෙක් දඩයක්කාරයා ඉවසිළිවත්ව පොරොත්තු වූයේය.

අඩ සඳ අහස මුදුනත ආසන්නයටම ළඟා වී තිබිණ. සඳ දෙස බලනු වස් මුහුණ ඉහලටම හැරවූ දඩයක්කාරයා යුවතියගෙන් බොහෝ වේලාවක සිට කිසිදු හඬක් නොමැති හෙයින් එලෙසින්ම හිස හරවා ඈ දෙස බැලීය.

ඈ හිස මඳක් ඉහලට ඔසවාගත් වනම කිසිදු ඉලක්කයකින් තොරව හිස් බැල්මෙන් කොහොඹ අතු පතර අඳුර අතරේ නිවෙමින් දිලෙනා කණමැදිරි සැණෙලි දෙස බලා සිටියාය. ඇගේ විසල් දෙනෙතෙහි යටි ඇසිපිය අසල පිරීගිය කඳුළු බිඳුවක් සඳ එළියේ දිලෙනු දුටු ඔහු සිත ඈ කෙරෙහි හටගත් අනුකම්පාවකට බොහෝ සේ සමාන එහෙත් හුදු අනුකම්පාවක්ම නොවන නුපුරුදු හැඟීමකින් පිරී ගියේය.

නෙත පිරි කඳුලු මිරිකා හරිනු වස් දෙනෙත් තදින් පියාගත්වනම මොහොතක් ගත කල ඕ යලි දෑස් හැර බැලූයේ ඉතා පහත් සොවින් පිරි ස්වරයකින් හඬ අවදි කලාය.

'' මම අපුච්චගෙ ඇහැව්ව...උන්දැ කිව්වෙ මම මයෙ දූට නියම වෙලාව ආහම ඒ ඔක්කොම කියල දෙන්නම්කො ..'' එහෙම කියල මයෙ ඔලුව අත ගෑව...'' උන්දැ මට මයෙ පණටත් වැඩිය විස්සාසයි. උන්දැ කියපු දෙයක් කොයි මක් කරල හරි නොකර ඉන්නෙ නෑ...ඒත් හැම දෙයක්ම සිද්ද උනේ හීනෙකිංවත් නොහිතපු විදිහට මයෙ අයියෙ...''

මයෙ අයියෙ...යුවතියගේ ඒ ඇමතුම මෙන්ම ඒ ඇය ඒ පැවසූ අන්දමෙහි ගැබ්වූ හෘදයාංගම ස්වරය දඩයක්කාරයාගේ සිතට එක්කලේ ඈකෙරෙහි හටගත් අනුපමේය වූ සෙනෙහසකි. ඒ හැඟීම හඳුනා ගැන්මට හෝ තිර ලෙස ඒ මෙසේ යයි විස්තර කිරීමට හැකියාවක් ඔහුට නොවූ නමුදු දඩයක්කාරයා එක කරුණක් දැන සිටියේය. ඒ එසේමය. කොහොඹ ගස ඉහලින් එදා පායා තිබූ අඩ සඳ හිමිදිරියට පෙර බැසයන බව සහතික යම් සේද, හෙට හිමිදිරියේ ගෙපැල අසල ගල් තලාවට නැඟී නැගෙනහිර මුහුදු තීරය දෙසින් පිහිටි කඳු වලල්ල දෙස බලන කල්හි ලහිරු මඬල ඒ මතින් නැඟී එනු දකිනු හැකි බව සහතික යම් සේද ඒ හැඟීම තමන් ළය පුරා පිරී ගත මෙන්ම සිත ද ප්‍රබෝධමත් කරනා බවද එසේම තමන් ඒ හැඟීමට වදනින් විස්තර කල නොහැකි ලෙස ප්‍රිය කරන බවද දඩයක්කරයා එලෙසම ඉඳුරාම දැන සිටියේය.

මතු සම්බන්ධයි........

30 comments:

  1. හප්පෙ ඒ පාර තවත් කතාවක් මැද්දෙන් දිග ඇරෙනවා වගේ....

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල...ආයෙ ඔහෙ ඇති තව කතාවක් නෑ....අනික් අතට බං කතා මැද කතා එනකොට ඒකෙ තියනව අමුතු ගතියක්...කියවල ඇතිනෙ නේද " කථා සරිත් සාගරය " එතනිං ගිහාම '' එක් දහස් එක් රැය'' එහෙම.....:) :)

      Delete
    2. ඔවු ඔවු.. කතාසරිත් සාගරයෙත් කතාවෙ මැද්දට යනකොට චරිතවල නම්-ගම් අමතකයි, ආයෙමත් මුලට ගිහින් මතක් කොරන් එන්ට ඕන.. මේකත් දැන් ඒ ගානට ඇවිල්ලා.. :P

      Delete
    3. /*කියවල ඇතිනෙ නේද "කථා සරිත් සාගරය" එතනිං ගිහාම "එක් දහස් එක් රැය" එහෙම*/

      ඇයි පංච තන්ත්‍රය? ඒකත් ඒ ජාතියෙනේ... :)

      Delete
    4. @ සිත්තමී,

      යක්කඩුවෙ හාමුදුරුවන්ගෙ පංච තන්ත්‍ර පරිවර්තනය මම තාමත් ආසම කරන පොත් පෙලක්...වනකතා, මිතුරන් කෙටවීම, මිතුරන්ගේ අගේ...තාම මතකයි...හෙහ්, හෙහ්,

      කරටක සහ දමනක...සිඟාලයො දෙන්නා...පිංගලක කියන්නෙ සිංහයා..එතකොට සංජීවකයා ඌ තමයි වෘෂභයා :) :)

      Delete
    5. @ බුරතීනෝ

      සෝමදේවයන්ගේ කථා සරිත් සාගරය...හෙහ්, හෙහ්,

      මා ගාව තිබ්බ පොත කොහෙද නෑ...අයෙම එකක් ගන්න ඕන...

      විදූෂක විත්තිය, මුක්තාඵලකේතු සහ පද්මාවතී, දේවස්මිතා සහ ගුහසේන....

      ඒයි බූර්ස්...මල්ලි නළ දමයන්ති කතාවත් එන්නෙ ඒකෙම නේද?

      Delete
    6. සම්පූර්ණ කතාසරිත් සාගරය කාණ්ඩ ඔක්කොම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා පොත් හතරක් විදියට.. අපේ නගා අරගෙන ගෙදර තිබුනා, මම කියවන්ට අරන් අතෑරලා දැම්මා, ඒ පරිවර්තනය එච්චර සාර්ථක නෑ..

      Delete
    7. හප්පච්චියේ පොත් හතරක් තියනවද?...මා ලඟ තිබිච්ච එක නම් බොලේ එක පොතයි ඔන්නම් පිටු තියෙන්න ඇති උපරිම 400 විතර...මට මතක විදිහට පරිවර්තනය කරල තිබ්බෙ ඩේවිඩ් කරුණාරත්න මහත්මය...ඒක නම් ආයෙ කියල වැඩක් නෑ...පරිවර්තනය නොම්මර එකයි...ඒ චරිත පන පිටිං මේ අපි ඉස්සරහ ඉන්නව වගේ කියල හිතෙනව කියවගෙන යද්දි ඔන්න කොටිම්ම...

      Delete
  2. හා දැන් උඹ ඔය කියන්නෙ අර නන්නාඳුනන ගැටිස්සි එකපාරටම කොහෙන්ද පාත්වෙලා බදාගෙන හුරතල් කරනකං අර මුව අම්මා පැටියත් තියාගෙන බලං හිටියා කියලා.. පලයං බං යන්ට, ඔන්න දඩයක්කාරයා එහෙම කොලා නං හිතාගන්ට පුළුවන්, මොකද හැමදාම දන්න කියන එකා නිසා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ කියන්නෙ...අර දරිවි ගෙදෙට්ට ආපු සැනින්ම මේ මුව දෙනයි පැටියයි තකහනියක් ආවෙ මොකදැයි කියලද උඹ හිතන්නෙ?

      හෙහ්, හෙහ්, ආන්න මලේ එතන තමයි තියෙන්නෙ ආතල් එක..ඔය දැරිවි ඇවිදිල්ල හිට එසේ මෙසේ එකියක් එහෙම නෙවෙයි දන්නවද?....ඔය ඉන්නෙ පූර්වජයොංගෙ ( මතකනෙ පූර්වජයො නේද?...අර උඹෙයි නවමගෙයි අතීසාර මිත්තරයො ) රජ්ජුරුවංගෙ දෝණියන්දැ...එතකොට ඔය මුව දෙනයි පැටියයි වගෙ ඉන්නෙ ඔය දරිවිගෙ පර්සනල් බොඩි ගාඩ්ල දෙන්න...

      අර මුව දෙන බොහොම නොඉවසිලිමත්ව කැලෑවට යන්ට දැඟලුවෙ මොකටෙයි කියලද හිතන්නෙ?....හෙහ්, හෙහ්, ඔතන අර මහ විසාල ගල් තලාව එහා පැත්තෙ බිමට බාල තියනව පූර්වජයංගෙ අබ්බියාවකාස යානාව...ඒකට ගිහිල්ල Re-energize වෙලා එන්ට තමයි අර මුව දෙන තකහනියක් ගියේ....

      Delete
    2. පූර්වජයානං මතකයි.. කවුද බං 'නවම්' කියන්නෙ..!? :D

      Delete
    3. අහෝ ඛේදයකි, ඇයි බල ගුණ මකුව, අපගේ හිත මිත්‍ර භේර වාපියෙහි ප්‍රධාන භාරකාර, මස්තිෂ්ක අන්දමන්දාගෘහිත, අස්ථි පංඤ්ජර සාමාන්‍ය දේහධාරී නවමාභිධාන කෙලෙඹි පුත්‍රයෝ මෙපමණ විගස තොපහේ ස්මරණයෙන් ගිලිහී ගියහුද? ඉතා අශෝභනයැ, ඉතාමත්මැ අශෝභනයැ......

      නවමාභිධාන මා හිත මිත්‍රයාණන් ගේ දිගු නිහැඬියාව තවත් ඉවසනු නොහැකිව මේ පසුගිය දිනෙක උහු වෙතැ විද්යුත් පණිවිඩයෙක් යැවීමි. ඊට උහු පිළිතුරෙක්ද එවා තිබිණි. එසේමැ පොහොයකට පමණැ පෙර ,බොහෝ කාලයකට පසු උහු හරිත වන් ආලෝකය දැල්වී ඔන් ලයිනැ බව දුටු කෙනෙහි වහා බැණැවීමි.

      ' අහා, නවමය...මා මිතුර, කලකට පසු තොප දැක්ම මා මව්පියන් දුටු සේ මසිත අමන්දානන්දයට පත් කෙරෙයි...."'

      මෙසේ ඇරඹි ප්‍රිය සම්භාෂණයෙහි අඩ හෝරා අඩක් පමණැ යෙදී හුන්නෙමි.

      එහිදී උහු පැවසූයේ තත්වය ද උසස්වැ ශිර්ෂය ඔසවා ගත නොහැකි පමණාධික රාජකාරීන් සමූහයෙක් දසරුව මතැ පැටවී ඇති බවෙකි.නැවත මඳ ඉසිඹුවෙක් ලද විගස හිත මිත්‍ර සමාගමය පතා අනලස්වැ පැමිණෙන බව ද හෙතෙමේ උදක්මැ පැවසීයැ.

      Delete
  3. අයියෝ හරියට මෙගා ටෙලි නාට්‍යයක් බලනවා වගේනේ......... ඇඩි වැඩියි වගේ.
    ඇදපු චිත්‍රයක් දැම්මනම් පංකාදු 5යි!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඔය මෙගා ටෙලි නාට්ටිය කියන එව්ව තියනව නේද?.....කොල්ලයෙ බල්ලයෙ ඉඳං ඔව්වට පලු පැලෙන්ට බයිනව, රඟපාන එවුන්ට තේ අල්ලන කොලුවගෙ අම්මගෙ ජාතකේ හිටං උදේ හවස මතක් කරනව...හැබැයි බැණ බැණ හරි සනීපෙට ඉඳගෙන බලන එකත් බලනව එක කෑල්ලක් වත් අත නෑර...:) :)

      චිත්තර ගැන කියනව නං ඔය මම දාල තියෙන්නෙ ඇඳපු එකක් තමයි මම හිතන්නෙ...මම ඇඳල චිත්‍රයක් දැම්ම නම් හොඳයි කියල නම් අදහස් කලේ ඒක හරි යන්නෙ නෑ රජෝ...මම චිත්තර ඇන්දම ඇඳපුව යටින් ඒ මොකක්ද කියල ලියල රවුං කොරල ඊතලයක් ගහන්ට ඕන අදාල තැනට..මේ ගසකි...මේ මාලුවෙකි..මේ මිනිසෙකි....මේ හරකෙකි..කියල.....හෙහ්, හෙහ්, අන්තිමට ඒක චිත්‍රයක් නෙවෙයි චිත්‍ර කතාවක් වගෙ වෙලයි නවතින්නෙ ...:)

      Delete
  4. හප්පේ... ඇති යාන්තං දඩ් හා පුරා කියල වචනයක් කතා කොළා...!!
    මේක නං සමරන්ඩ ඕනෙ අවස්තාවක් බොල...
    අයියෙ මට තව පස්නයක්.. එක්කොත් ඒක මං උඹෙං වෙනම අහන්නංකො...
    එකත් එකටම මේ ගැටිස්සිත් අර දඩය වගේ ම එකියෙක්ද කොහෙද...
    ඒකනෙව ඒකිටත් තාත්තණ්ඩි කියල තියෙන්නෙ වෙලාව ආවාම කියන්නං කියල...
    මයෙ අයියෙ.. පෙනේද මේකිගෙ මායම???

    @ බූරායිය: අනේ ද කියන්නෙ බොලං අයියෙ....හරියට ආ හුරතල් කොරාපං කියලම ගෙනත් තියං හිටිය වගේ!!

    ReplyDelete
    Replies
    1. / හප්පේ... ඇති යාන්තං දඩ් හා පුරා කියල වචනයක් කතා කොළා...!! මේක නං සමරන්ඩ ඕනෙ අවස්තාවක් බොල... /

      ආන්න බලාපං දැක්කද එහෙම තමයි සම්බාවිය පුරුසයො...මේ, ආවට ගියාට කතා බහ කරන්නෙ නෑ දන්නවද?....බොහොම වෙලාවට සුමානෙකට දෙහෙකට වගෙ එක වචනයයි කතා කරන්නෙ....ඒත් බොහොම ගාම්බීර විදිහට ....හ්ම්ම්....සමහර විට ඔන්න ඔච්චරමයි...ඒත් ඒ හ්ම් කිවිල්ලෙ උනත් තියනව අමුතු ඇඟ හීගඩු පිපෙන තේජසක්....උඹට ආයෙ මෙච්චරම කියන්ට ඕන නෑනෙ බොල...මොකද මේ ඩිංගට අමතක උනාද?....වැඩි දොහක් උනේ නෑනෙ...ඔන්නම් මාස හතරක් ඇති යංතං...

      / එකත් එකටම මේ ගැටිස්සිත් අර දඩය වගේ ම එකියෙක්ද කොහෙද...ඒකනෙව ඒකිටත් තාත්තණ්ඩි කියල තියෙන්නෙ වෙලාව ආවාම කියන්නං කියල.../

      ෂෙහ්, නියමයිනෙ බොලේ..ඔන්න උඹට තේරුං ගියා අර ජාපාල ඇට කාල බඩ සුද්ද උනා වගෙ.....ඕක තමයි කියන්නෙ නුවනැති බහුසුරූතයින් ආස්‍රයෙන් සෙසු අවසේස ජනයෝද නුවනැත්තෝ වෙති කියල

      ඇත්ත, ඇත්ත, උඹේ කතාව ඇත්ත..මම උඩහ ලියද්දෙදි අපෙ බූර මලේට කියල මේ කට ගත්ත විතරයි...ඔය දරිවි ඇවිල්ල අර පූර්වජයිංගෙ ( මොකෑ උඹෙ කට නිකං අර මොකාගෙද මොන පැත්තද වගෙ උනෙ? ) රජ්ජුරුවංගෙ දෝනි......ඔන්න බලාපංකො මේ කතාව මම අහවර කොරන්නෙ බොලා තුං හිතකිංවත් නොහිතපු විදිහට.....දෙයියෝම පල්...

      Delete
  5. ජනූ අක්කයි බූරො අයියයි කියලා තියෙන කතාව ඇත්තද දන්නෙ නෑ. ඒත් මටනං කතාව කියවගෙන යද්දි තේරුණේ ඒ මුව අම්මවයි පැටියවයි ඒ ගෑණු ළමයා කළින් ඉඳන්ම දන්නවා කියලයි. ඒ ගෑණු ළමයා හිටපු දිහාවේදිත් මේ මුව පවුල එයාට හම්බවෙලා තියෙනවා කියලයි. ඉතින් එහෙම හිතුණ නිසා මට මේ කොටසට හරිම ආස හිතුණා. පින්තූරෙටත් ඒ වගේම ආසයි. ඒත් එහෙමයි කියලා තව ගොඩක් දිගට මේ කතාව අදින්න එපා හොඳේ රවි අයියේ? දැන් මේක දිගට ඇදුණා ඇතිනේ. අයියගේ හිතට එන ඔය ඔක්කොම එකම කතාවේ ඔබන් නැතුව, එක එක ලස්සන කතා වෙන වෙනම ලියන්න. :) :) :)

    ReplyDelete
    Replies
    1. / ජනූ අක්කයි බූරො අයියයි කියලා තියෙන කතාව ඇත්තද දන්නෙ නෑ. /

      මොන විකාරද බං...ඔවුං දෙන්න කවද්ද ඇත්තක් කිව්වෙ...දෙන්නම එකයි...:) :)

      / ඒත් මටනං කතාව කියවගෙන යද්දි තේරුණේ ඒ මුව අම්මවයි පැටියවයි ඒ ගෑණු ළමයා කළින් ඉඳන්ම දන්නවා කියලයි ගෑණු ළමයා හිටපු දිහාවේදිත් මේ මුව පවුල එයාට හම්බවෙලා තියෙනවා කියලයි./

      උඹට නං දිවැස් තියනව...හෙහ්, හෙහ්, මම කලින්ම ඔය මුව ආතල් එක ලියද්දි එහෙම එකක් තමයි මයෙ හිතේ තිබ්බෙ..පස්සෙ ඒක අල්ලල දැම්ම..ඒ විස්තර ලියන්ට ගියොත් මේකෙ කෙරෝලක් කොරන්ට බැරිවේය කියාල හිතුනු හංද...:) :)

      / ඒත් එහෙමයි කියලා තව ගොඩක් දිගට මේ කතාව අදින්න එපා හොඳේ රවි අයියේ? දැන් මේක දිගට ඇදුණා ඇතිනේ /

      ඉතාමත් ස්තූතියි නංගි අවවාදයට..ඇත්ත. ඇත්ත...දැනටත් මේක ඇදුන වැඩියි...අර උඹලම හින්ද මට බැණ බැණ හරි මේක බලනව මිසක......:) :)

      Delete
  6. හප්පා. ඒ ගමන දෙබස් හෙම දාලා තියෙන්නෙ. ඇත්ත කියහං. උඹට මතු සම්බන්දයි කෑල්ල ලියනකොට මාව මතක් වුනා නේ?
    ඔය දඩයක්කාරයා දැන්වත් නානවද බං?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. / හප්පා. ඒ ගමන දෙබස් හෙම දාලා තියෙන්නෙ /

      කොහේද බං අර අංගනාවියො දෙන්නෙක් ලෑස්තිවෙල මෙතන කනක් ඇහිල ඉන්ට දුන්නද?....දෙබස්, දෙබස්...දෙබස්.....මුං දෙන්න ගිය ආත්මෙ ඩබල් ඩෙකර් ඩැයිවර්ල දෙන්නෙක් වෙන්ටෝන එකක්තෙකටම....නැත්තං ආයෙ මේ හැටිම මොකද?

      අනික උඹත් දන්නවනෙ මචං ඔවුන්දැල ගැන? ...නිකමට හිතාපංකො..දෙන්නෙක් දෙපැත්තෙං ඉඳගෙන පටං ගත්තම කොහොමට තියෙයිද?

      ( ඉහත පලමු ප්‍රශ්නයට පිළිතුරු දීම අත්‍යාවශ්‍යම නොවේ.)

      / ඔය දඩයක්කාරයා දැන්වත් නානවද බං? /

      කවුද මේ දඩයක්කාරය නාන්නෙ නැතය. මල පෙරේතයෙක් වගෙ ඉන්නවය කියල වැරදි ප්‍රචාරයක් පටන් ගත්තෙ...මම කිසි දවසක එහෙම දෙයක් කිව්වෙ නෑ...උඹ දැනගනිං හෙන්රියො ඌ උඹල අපිට වැඩිය අගේට නාල කරල ඉන්නව හරිද?

      Delete
  7. //ඔය දඩයක්කාරයා දැන්වත් නානවද බං?// :D

    ReplyDelete
    Replies
    1. ඔය හෙන්රිය ඉරිසියාවට කියන එව්ව අරුණි....දඩයක්කාරය දවසට තුං පාරක් නානව...:)

      Delete
  8. මෙව්වගෙ කතා කියවද්දී මටත් හැදෙන ලෙඩක් තමයි මුන්දල නානවද දත් මදිනවද වගේ සම්භාව්‍ය ප්‍රශ්න ඔලුවට එන එක .

    මටත් හිතුනේ මුව අම්මයි පුතාලයි මේ දැරිවි දන්නවා කියලයි.

    අර කිව්වා වගේ මෙගා වලට පලු යන්න බැන්නත් ආයේ හෙට කෑල්ල දානකම් පපුවේ බිත්තර තම්බන අය නේ වැඩි .

    ReplyDelete
    Replies
    1. අනේ අප්පෝ මේ අහිංසක මට අන්තිමට වෙන්නෙ අර බූරුවෙකුත් අරං පොලට ගිය අප්පටයි පුතාටයි වෙච්චි දේ..ඒකනම් මම දන්නව සහසුද්දෙම්ම....හෙහ්, හෙහ්,

      දන්නවනෙ ඒ කතාව නේද?

      ඔන්න අප්පයි පුතයි බූරුවත් දක්කං යනව පොළට..

      මඟදි හම්බ උන මනුස්සයෙක් මෙහෙම කිව්ව...

      " ඇයි මනුස්සයො අර බූරුව නිකං යනව, උඹල දෙන්නම පයිං යනව...අනේ මෙහෙමත් මෝඩයො..''

      " ඒකත් ඇත්ත තමයි'' කියල අප්ප නැග්ගුව පුතාව බූරුවගෙ පිටේ. දැං යනව ඔහොම. වැඩි දුරක් යන්ට හම්බුනේ නෑ..ඔන්න හම්බුනා වයසක ගෑණු කෙනෙක්..

      '' දෙයියෝ සාක්කි දැං හැදෙන එවුං කිසිම කමකට නෑ නෙව, පෙනේද අර මහ මිනිහ පයිං ගාටද්දි මේ කොලුව රජා වගෙ බූරුව පිට යන අපූරුව..''උන්දැ කියාපි කම්මුලේ අතකුත් තියාගෙන

      "' ඒකත් ඇත්ත නෙවෙන්නං'' කියල අප්ප කිව්ව "' පුතේ උඹ බැහැපං බිමට "'කියල උන්දැ නැග්ග බූරුව පිට...

      ඔන්න ඊලඟට හම්බ උනේ දරුවෙකුත් වඩාගෙන යන බබලතෙක්.

      " ඇයි මනුස්සයො ඔහෙත් අප්පෙක් නේද?...මේ පොඩි දරුව පයිං ගාටද්දි ඔහෙට වටිනවද බූරුව පිට සැප පහසුවට යන්ට...." ඒ බබලතා තවත් මොනවද කියව කියව ගියා.

      '' ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ පුතේ'' කියල අප්ප කිව්ව.."දැං ආයෙ තියෙන්නෙ එක දෙයයි කරන්ට''

      දෙන්නම නැග්ග බූරුව පිටට..දැං ඔන්න යනව....

      ඔන්න පාර අයිනෙ හරක් බල බල හිටපු කොලුවෙක් හම්බ උනයි කියමුකො ඊලඟට..

      '' ඇයි ඕයි තමුසෙල දෙන්න මේ අහිංසක සතාට දෙන වදයක්,ඔයිට නරකද තමුසෙල දෙන්න ඔය සතාව උස්සගෙන ගියානං..''.ඌ කියාපි විහිලුවට වගෙ,

      '' දැං පුතේ ඔක්කොම මිනිස්සු කියන කියන එව්ව කලා. එච්චරම තමයි ඉතුරුවෙලා තියෙන්නෙ...''

      මෙහෙම කියල මනුස්සය කපං ආව හොඳ සත්තිමත් ලීයක්...බූරුව බිම දාල කකුල් හතර ගැට ගැහුව ..ඒ කරල ලීය උගෙ කකුල් අතරින් දාල එකයි දෙකයි තුනයි කියල අප්පයි පුතයි උස්ස ගත්ත දෙපැත්තෙං....දැං යනව දෙන්නත් එක්ක බූරුව උහාගෙන...ඔන්න ආව ඒ දණ්ඩකට...එදා වතුර පාරත් සැරයි...එ දණ්ඩ මැද්දි බූරාභිධාන තෙමේ කලබල වී වදාල සේක...හෙහ්, හෙහ්, මල සේක. බූරාස් දඟලපු දැඟලිල්ලට අප්පයි පුතයි බූරුවයි තුං දෙනාම '' ජබෝස්'' කෙලිම්ම වතුරෙ

      බොහොම අමාරුවෙං පීනගෙන ගොඩට ඇවිල්ල බූරුවත් අල්ලාගෙන ගහක බැඳල අප්ප බිම දිගාවෙල හති දාන ගමං කිව්ව පුතාට....

      '' බුදු පුතේ, දැක්ක නේද ..මිනිස්සු කියන කියන හැටියට වැඩ කරන්ට ගිහිල්ල තව පොඩ්ඩෙන් අපි දෙන්නට වෙන්නෙ ගිලිල මැරෙන්ට...ඔන්න හොඳට හිතට ගනිං කවදාවත් තමං හරිය කියල හිතනදේ කරපං , අරය මෙයා කියන එව්ව කරන්ට යන්ට එපා...''

      මට මේ කතාව මතක් උනේ මටත් මේ කතාවෙ අප්පට වගෙ හෙයියම්මාරුවක්නෙව මේ වෙලා තියෙන්නෙ...අරෙහෙං මේ දඩයක්කාරයගෙ කතාව ඇදුන වැඩියි ඉවර කොරපිය, ඉවර කොරපිය කියල මාව කන්ට හදනව...මෙහෙං ඔන්න ඒ පාර හෙන්රිය අහනව '' ඈ බොල ඒක නාන්නෙ එහෙම නැද්ද?'' කියල...අලි මදිවට හරක් වගෙ බින්දිට ඒ මිනිහ දත් මදින්නෙ එහෙම නැද්ද කියලත් දැන ගන්ට ඕනලු...

      ඔන්න නිකමට හිතාපල්ල..මම මුං දෙන්න ( මුං දෙන්න කිව්වෙ දඩයක්කාරයයි, යුවතියයි හොඳද? ) නාවන්ටයි දත් මද්දවන්ටයි ගියොත් ඒ සීන්ස් ඔක්කොම විස්තර කොරන්ටත් එපාය...මේ කපේට බැරි වෙනව මේක ඉවරයක් කොරන්ට....:) :)

      Delete
  9. මචං මට නම් මතක් වෙන්නෙම අර 'අලුත් මාලු මෙහි විකිණීමට ඇත' කියලා බෝඩ් එකක් ගහගෙන හිටපු මාලු වෙළෙන්දට වෙච්ච සීන් එක.

    මට වෙලා තියෙන්නෙත් ඔයිට කිට්‍ටු වැඩක් තමා බං.. අර වර්ඩ් ප්‍රෙස් බ්ලොග අගේට ලියාගෙන ඉන්න කාලෙ, එක එක වාත කරන්න ගත්තා 'වදන්තදයයි' අරකයි මේකයි කියලා. අනේ ඉතින් මමත් අර හිට් 47දාස් ගානක් තිබ්බ, කමෙන්ට් බර ගානක් තිබ්බ, බ්ලොගේ පාලුවට ඇරලා ආයෙම බ්ලොගර් එකක් ඇරියා, අඩුම ගානෙ, දුක් විඳගෙන ලියාපු පෝස්ට් ටිකවත් ටික ටික මයිග්‍රේට් කරන්න ඕනෙ කියලා ඒක කරනකොට , දැන් මෙන්න මුං කියනවා යකෝ මේවා අපි කියවලා තියෙනවනෙ කියලා. :O

    ඒ මදිවට බ්ලොගර් සංක්‍රමණය හන්දද කොහෙද අර වදන්තද සගයොත් මාත් එක්ක තරහ වෙලා. නවම එන්නෙම නෑ පළාතෙ. ගෝල්ඩ්‍ෆිෂා යලට මහට ඇවිත් යනවා, ජනුවා ඇවිත් කම්මැලි කමෙන්ට් එකක් දාලා යනවා ඉඳ හිට.

    හයියෝ මාත් කරගත්ත දෙයක්!

    හැබැයි මචං, උඹේ කමෙන්ට් එකේ මාර විදියට දෙබස් තියනවනෙ!

    රවියා, මම ඇහුවානේද හිච්හයිකර් ගැන. උඹ දැක්කද මම ඒ කතාව දාලා තියෙනවා? මම හිතුවෙ අර අතැඟිලි ශිල්පියා වගෙ වචන වලට හෙම උඹ මොනවා කියයිද දන්නෙ නැ කියලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans



    ReplyDelete
    Replies
    1. / මට වෙලා තියෙන්නෙත් ඔයිට කිට්‍ටු වැඩක් තමා බං.. අර වර්ඩ් ප්‍රෙස් බ්ලොග....... /

      ඒක ඒ හැටි ගනං ගන්ට එපා මචං...මෙතන වැඩේ වැඩිහරියක් ඉන්නෙ බ්ලොගර් කස්ටියනෙ...එතකොට වර්ඩ් ප්‍රෙස් වල කමෙන්ට්ස් දාන්න අමාරුයි...මමත් ඒ දවස්වල වර්ඩ්ප්‍රෙස් එකේ ප්‍රොෆයිල් එකක් හදාගත්ත රවිසඳු කියල අරුණිගෙ, අමාගෙ, ජනූගෙ, නවමගෙ වගෙ බ්ලොග්ස් වල කමෙන්ට් කරන්න...දැන්නම් එහෙම අවුලක් නෑ වගෙ....උඹ සැලෙන්න එපා...මට නම් උඹේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට වැඩිය මේ අලුත් බ්ලොගර් බ්ලොග් එකේ පෙනුම හොඳයි...ඒ නිසා දිගටම වැඩේ කරගෙන යමු...:) :)

      / ජනුවා ඇවිත් කම්මැලි කමෙන්ට් එකක් දාලා යනවා ඉඳ හිට. /

      හෙහ්, ඕකි නම් මචෝ උඹත් එක්ක බුදු මලෙං ඉන්නෙ...මා එක්ක කිව්ව...'' රවි අයියෙ අයියට කිව්වම මොකද..ඔය හෙන්රි අයිය බ්ලොගේ ලියන්ට පටංගත්තු මුල් කාලෙම මට පිංසෙංඩු උනා ... අනේ මයෙ බුදු නංගියේ...මම ලියන එව්ව කියවන්ට කවුරුත් එන්නෙත් නෑ...කමෙන්ට්ස් දාන්නෙත් නෑ...මට වහ ටිකක් කාල කැලේ රිංගන්ටයි දැං හිතිල තියෙන්නෙ කියල....අනේ බං මයෙ පපුව දාල ගියා..ඒ පාර මම කිව්ව ඉඳහං අයියෙ බය නැතුව...මම කොහොම හරි උඹට කොමෙන්ට්ස් සහ හිට්ස් වැඩි කරල දෙන්නම්ය කියල....මයෙ ඔය යාලුවො මිත්තරයො ඔක්කොටම කිව්ව අනේ බොලව් ගිහිල්ල හිට මෙන්න මේ හෙන්රි ද බොලොග් වෝකර් කියල බොලොග් එකක් තියනව. ලියන එව්ව නම් කිසිම කමකට නෑ..මෙලෝ රහක් නෑ. ඒත් කමක් නෑ.මම කිව්වට ගිහිල්ල ඔය මොනව හරි කියල වරෙල්ලය කියල.........හොඳයි අක්කෙ / නංගියෙ අපි එහෙනං උඹ කියන නිසා යන්නම්ය කියල ඔන්න උං රොද බැඳගෙන ගිහිල්ල හෙන්රි අයියගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් එහෙම දාල ආවය කියාපංකො...ඔන්න ටික දවසක් ගියාම හෙන්රි අයියට ඕන උනා බ්ලොගර් එකට යන්ට...මම අනන්ත කිව්ව එහෙම බුදු අයියෙ කරන්ට එපාය...මුල අමතක කරන්ට එපාය..කියල...කෝ ඇහුවද?....ඔහෙ නෑ...අපෙ ඉතිං රැවුල නෑනෙ....ඔන්න ගියා කැහැපොටත් කවාගෙන බ්ලොගර් එකට...මට උන්දැව එපා උනේ ඔන්න එදා...එදයිං එදයි මම නෑ එයයි එක්ක වැඩි බජනයක්...උඹ දන්නවනෙව මයෙ හැටි එහෙම තමයි....මම හොඳට හොඳයි නරකටත් ඒ වගේම තමයි...''

      ඔන්න බං ජාන්ස් ඔහොම තමයි මට කිව්වෙ කාටවත්ම කියන්ට එපාය කියල..මේ උඹ ජාන්සි එක්ක කියනව එහෙම නෙවෙයි මමයි මේ විස්තරේ උඹෙ කණේ තිබ්බෙ කියාල ...හරිය?

      හරි, හරි, උඹ බය නැතුව ඉඳහං...ඕකි ඔහොම බැරැස්සි වගෙ හිටියට මට පණ බයයි...හෙහ්, හෙහ්, මේ නයෙක් එහෙම අදිනවයි කියල හිතන්ට එපා ඔන්න..මම හ්ම්..කිව්වොත් ඕකි වෙව්ලලයි ඉන්නෙ...හරි මචං මම කියන්නං ජනූට ගිහිල්ල උඹට කමෙන්ට් දාල වරෙංය කියාල...ඕ. කේ. නෝ පොබොම් ඇටෝල්...

      / හැබැයි මචං, උඹේ කමෙන්ට් එකේ මාර විදියට දෙබස් තියනවනෙ /

      අඩෝ මම මේ දඩයක්කාරයගෙ කතාව තමයි දෙබස් නැතුව ලිව්වෙ...මොකද ඒ කතාව ගොඩ නැඟුනු හැටියට එහෙම නැතුව බෑ....වෙලාවක් තියේනම් ගිහිල්ල බලාපං මයෙ කලිං කතා...සචිනි සහ අජන්තගේ කතාව...සිව් සිය වසක පෙම් කතාවක්...නොහැඟවූ ආදරය....ආදර නිල් දෑසේ...හෙහ්, හෙහ්, එව්ව තනිකරම දෙබස් නෙව...

      / රවියා, මම ඇහුවානේද හිච්හයිකර් ගැන. උඹ දැක්කද මම ඒ කතාව දාලා තියෙනවා? මම හිතුවෙ අර අතැඟිලි ශිල්පියා වගෙ වචන වලට හෙම උඹ මොනවා කියයිද දන්නෙ නැ කියලා. /

      අනේ මචං...සාතිශය සොරි හොඳද?....පහුගිය ටිකේ වැඩ වැඩි උනා එකසිය ගානට...ඒ අස්සෙ තව බ්ලොග් එහෙකුත් පටන් ගත්ත නෙව...ඒකයි මේකයි රාජකාරියි ..ඒ අස්සෙ සන්තර්පණය වෙන එව්වයි ඔක්කොම එකට පැටලිල ඔලුව උස්ස ගන්ට බැරුව හිටියෙ...රෝල්ඩ් ඩාල්ගෙ ඔය කෙටි කතාව මගෙ ෆෙවරිට් එකක්..ඊ මේල් එකෙන් ඇවිල්ල පලවෙනි කොටස නම් ඔක්කොම කියෙව්ව...කමෙන්ට් එකක් දැම්ම වගෙත් මතකයි...එක්කො නැද්ද කොහෙද?....කතාවෙ ඉතිරි කොටස් ටික එක පාරටම බලන්නම්ය කියල හිටියෙ...අනේ මඟ අරුන මචං...හරි ඉඳපං මේ හෙටානිද්ද ඊද් එකට දවස් හතරක් නිවාඩු මම උඹෙ කතාව ඔක්කොම බලන්නම්...:) :)

      Delete
    2. රවි අයියා, ඩූඩයියා, ඔන්න මං මේක දැක්කෙ නෑලු හරිය???

      Delete
  10. කමෙන්ට් වලට වඩා දිගට තියෙන උත්තර බලන්න මන් ආයේ ආවෝ .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බින්දි ....තෑන්කිව් හොඳේ...හෙහ්, හෙහ්, අහල නැත මේ සොලෝකෙ....

      වියුණුංච දීර්ඝං අටුවංච,
      අටුවාශ අති දීර්ඝං ටිකානං,
      ටිකාපස්ස ටිප්පනීයං,
      පරිකථානං දීර්ඝෝ දීර්ඝං....

      වියුණුවට වඩා අටුවාව දීර්ඝය.අටුවාවට ද වඩා දීර්ඝ වන්නේ ටීකාවයි. ටිප්පණීය මේ දෙකටම වඩා දීර්ඝ වූවද පරි කථාව මේ හැමටම වඩා දීර්ඝ වන්නේය.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...