Monday, October 29, 2012

142. එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය නිමා විය......They were giants who walked the earth like colossus

විශාලා මහනුවර තුන් බිය ඔබට මතකද?...රෝග, දුර්භික්ෂ සහ අමනුෂ්ය.....එයින් අමනුෂ්ය බිය දහම් ද්වීපය පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරගිය සමයක් මතකද?...අමනුෂ්ය කිව්වට අමනුෂ්යමත් නෙවෙයි අමනුෂ්යයන්ටත් වැඩිය අමනුෂ්ය තත්වයට පත්වුණු මනුෂ්යයින් ගැනයි මම මේ කියන්නෙ.....

සමාවෙන්න..මට සහතිකයි මේ කියවන ඔයාලගෙන් බහුතරයක් ඒ කාලෙදි ඉපදිලාවත් නැතුව ඇති.හරි...වටේ ගියා මදෑ...කෙලින්ම කාරණේට බහිමු.මම මේ කියන්න ආවෙ 88/89 භීෂණ සමය ගැන.යටගිය දවස විශාලා මහනුවර වගෙ හන්දියක් හන්දියක් ගානෙ තරුණ මළකඳන් ( අමු අමුවේ හෝ පිළිස්සුණු ) දර්ශනය පාර අයිනෙ උදේම කුණු මල්ලක් එහෙමත් නැත්නම් කපුටු මළකුණක් දකිනව වගෙ හුරුපුරුදු සාමාන්ය දර්ශනයක් වෙලා තිබුණු සමයක්...

දේශප්රේමීන්ගෙ අණසක අනුව රට පුරා ජන ජීවිතය එකතැනම නැවතිලා තිබුණු ඒ යුගයේ රජයේ, ඒ වගේම පෞද්ගලික අංශවල යම් තරමකටත්, කාර්යාලවලින් කෙරුනු කටයුතු කිසිම දෙයක් කෙරුනෙ නෑ...ජීවිතයට තර්ජන තිබියදී ඒ නොසළකා හැර සේවයට වාර්තා කරන්නෙ කවුද?....සියලු සත්වයෝ මරණයට භිය ඇත්තෝය. ජීවිතයට ආශා කරන්නෝය.

'' මේ වැඩේ මෙහෙම කෙරෙන්න දෙන්න බෑ....මේ ත්රස්තවාදියන්ට ඕන විදිහට රට ගෙනියන්ට දෙන්න පුළුවන්ද?.....කරුණාකරල මම මේ කියන ටික හොඳින් අහගන්ට....එක කෑම්ප් එකක්වත් වහන්ට බෑ...ඔෆිස් දිගටම ඇරල තියන්ට ඕන නෑ...වරුවක් ඇරියම හොඳටම ඇති..ඒත් පොත අත්සන් කරන්ට ඕන හැමෝම..ඔය කවුරුත් දන්නව අද රටේ තියන තත්වය.මම කොහොම හරි අවශ්ය ඩීසල්....එතකොට කෑම බීම නැත්නම් මට කියන්න.... එව්වත් මම එවන්ට පිළිවෙලක් කරන්නම්...එතකොට වැටුප්...වැටුප් නියම දිනට ගෙවන්ට මම වැඩ පිළිවෙලක් යොදන්නම්..කරුණා කරල හැමෝම පුරුදු විදිහට තමගෙ කෑම්ප් වලම ඉන්න. ''

උතුරු මැද හා නැගෙනහිර පළාත් මායිමට ආසන්න රජයේ ව්යාපෘතියක ප්රධාන කාර්යාලයක්..එහි රැස් වූ එවකට එම ව්යාපෘතියෙහි සේවය කල නිලධාරින් සහ සේවකයින් සිය ගණනක්...ඒ අතර මම ද පසුපස අසුනකට බරදී සිටියෙමි.

ඒ රැස්වූවන් අමතා ඒ කථා කලේ ඔහුය.මාතෘකාව දෙසට ආපසු ඔබේ නෙත් යොමු කරනු මැන.එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය අවසන් විය. They were giants who walked the earth like colossus .....
මම සඳහන් කරන ඒ මහා පුරුෂයා ඔහුය...ගාමිණී දිසානායක....ගාමිණී ලයනල් දිසානායක....මගේ කියැවීම අනුව ශ්රී ලංකාවේ මහා පුරුෂයෙකැයි කිව හැකි අවසන් දේශපාලනඥයා ඔහුය.කරුණාකර හොඳින් සිතට ගන්න. දේශපානඥයා යන්න මම මෙහිදී යෙදීම කොතරම් නිවැරැදි දැයි මම නොදන්නෙමි.වඩා සුදුසු වන්නේ රාජ්යය තාන්ත්රිකයා යන්න යැයි හඟිමි.අද දෙශපාලනඥයා යන වදන තරම් අත පල්ලෙන් වැටුනු නිග්රහයට පත් වුනු තවත් වදනක් සොයා ගැනීම පවා අසීරුය. රාජ්ය සේවකයන් ගස් බඳින්නෝ ද දේශපාලකයෝය. දෙනෝ දාහක් ඉදිරිපිට විදේශීය කාන්තාවන් දූෂණය කරන්නෝ ද දේශපාලකයෝය. මහ මඟ බටහිර ගොපළු චිත්රපට රඟ දක්වමින් එකිනෙකා මරාගන්නෝ ද දේශපාලකයෝය.

එවන්නවුන්ද දේශපාලකයන් ලෙස සැලකෙන මේ දහම් දිවයිනේ, බුදුන් උපන් දේශයේ, පහල වූ අවසන් රාජ්ය තාන්ත්රිකයා ඔහු බව මම පවසන කල ඔබ කෙතෙක් දුරට මා හා එකඟ වේදැයි මම නොදන්නෙමි. එහෙත් ඒ මගේ අවංක අදහසයි.

ඔහු තමන් පැවසූ දෙය එලෙසම ඉටු කිරීම ශුද්ධවූ කාර්යයක් ලෙස සැළකීය.මම ඔබට පැවසූ ඒ භීෂණ සමයේ පැවැත්වුනු රැස්වීමෙහිදී ඔහු පැවසූව එලෙසින්ම ඉටු විය. ඉන්ධන හිඟය රටපුරා පැතිරී ගමනාගමනය බිඳවැටී සමස්ත දේශයම අකර්මන්ය වූ එසමයෙහි අපගේ වැටුප් සෑම මසකම නියමිත දිනට ලැබුණේ හුදෙක් ඔහුගේ කාර්යක්ෂමතාව සහ පෞරුෂය නිසාමය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර මඟින් අපගේ වැටුප් කොළඹ සිට එවිණි.

අපගේ කඳවුරු බිම් ඉහළින් මාසයේ 25 වන දින වන විට ඉගිළීයන හෙලිකොප්ටරය දෙසට අත් වනා ජයඝෝෂා පැවැත්වීමට, පිළී හිස සිසාරා ඔල්වරසන් නැඟීමට හෝ හිස් වැසුම් අහසට වීසිකොට ප්රීතියෙන් ඔකඳ වීමට උදෑසන සිට නිමග්නව සිටි මත්පැන් සාදයෙන් මොහොතකට ඉවත්ව නිල නිවාසයේ ගෙමිදුලට අප බමන මතින් පැන්නේ එක් වරක් දෙවරක් නොවේ.

'' ජය වේවා!!!, ජය වේවා!!!...මොර මල්ල ආවෝ...මොර මල්ල ආවෝ.....'' කඳවුරු බිම පුරා සෑම නිල නිවසකින්ම නැඟ ආවේ ඒ ජය ඝෝෂා නාදයයි..එකල අපි වැටුප හැඳින්වූයේ මොර මල්ල යන ගෞරව සම්ප්රයුක්ත මෙන්ම සදාදරණීය ආමන්ත්රණයෙනි.

එලෙස කියූ වචනය වෙනස් නොකල දුන් පොරොන්දුව කඩ නොකල නායකයෝ අද මෙන්ම එකල ද කළුනික මෙන් විරල වූහ. ඔහු එවන් විරල වූ නායකයෙක්ම විය.

හෙලිකොප්ටරයේ හඬ මැකී යන්න හාම අපි යලි මධු පානයට එක් වන්නෙමු. බොහෝ වේලාවක් ගත නොවීය. නිරුවත් උඩු කයින් සහ වළාපොට ගසාගත් සරමින් පමණක් වැසුනු යටිකයින් යුතුව හදිසියේ ප්රධාන දොරටුවෙන් නොයා කඳවුරෙන් පිටවීමට කම්බිවැටෙහි කම්බි හතරක් කපා අප සාදාගෙන තිබූ හොර පාරෙන් දිව එන්නේ කඳවුරට අල්ලපු වැටේ වූ ගුරු නිල නිවාසයෙහි පදිංචි සම වයසේ වූ ගුරු තරුණයෝ තිදෙනෙකි.ඔවුහු ප්රථම පත්වීම් ලෙස අනිවාර්ය දුෂ්කර සේවය සඳහා මේ වන මැදට පැමිණි නුවර , මාතලේ හෝ කුරුණෑගල ප්රදේශවාසීහු වෙති.

'' ඒයි..හෙලිකොප්ටරේ ආව නේද?...'' ඔවුහු වැට අසල සිටම මහ හඬින් විමසති.

'' ඔව් ආව තමයි ඉතිං උඹලට මොකද?....'' මම මිදුලට බසිමින් අසමි.

'' අඩේ එහෙම කියන්ට එපා බං...පහුගිය මාසෙම ගෙදර ගියේ නෑ... ''

රජයේ සේවාවන් සියල්ල පූර්ණ වශයෙන් බිඳ වැටීම හේතුකොටගෙන ඔවුන්ට පසුගිය මස වැටුප තවමත් ලැබී නොතිබිණි.

'' හරි හරි බං, වරෙං... වරෙං.... මොනව හරි කරමු අවුලක් නෑ ''

වැටුප් නොලැබුනු ඔවුන් නිවෙස් බලා යාමට යම් මුදලක් ලබා ගත්තේ අප කිසිවකුගෙනි.

'' උඹලගෙ මිනිස්ටර් හැබැයි කිව්වොත් කිව්ව දේ කරනව මොන දහංගැටේ ගහල හරි, ඔය වගෙ මිනිස්සු තව කීප දෙනෙක් හිටියනං අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. ''

ඒ දශක දෙකහමාරකට ආසන්න කාලයකට ඉහත ඒ දිනවලට පසු නැවත කිසිදිනෙක මට හමු නොවූ තරුණ ගුරුවරයා පැවසූව එදාටත් වඩා වලංගු වන්නේ අදට බව මම තරයේ විශ්වාස කරන්නෙමි.

අද අපට අවශ්යව ඇත්තේ ඔහු වැන්නවුන්ය. අද නැත්තේද ඔහු වැන්නවුන්ය.දේශපාලනයේ නිරත වන්නකුට, එහි හිණි පෙත්තටම සැපත් වීමේ නොතිත් අධිෂ්ඨානයක් සිත දරාගත්තකුට අත්‍යාවශ්‍ය ගුණාංග කිහිපයකි. ජන ප්රසාදය දිනා ගැන්මේ හැකියාව ( Charisma ) සහ පෞරුෂය ඉන් ප්රධානය. ඔහු ඒ ගුණාංගයන්ගෙන් නොඅඩුව පරිපුන් මිනිසෙක් විය.

ශ්රී ලංකාවේ මෙතෙක් ක්රියාත්මක කෙරුනු විශාලතම සංවර්ධන ව්යාපෘතිය වූ මහවැලි ව්යාපෘතිය ඔහුගේ නායකත්වය රහිතව කිසිලෙසකින් සාර්ථක ලෙස නිමාකරනු නොහැකි වනු ඇත.
එසේම අපේ ජනප්රියතම ක්රීඩාව වූ ක්රිකට් ක්රීඩාවට ටෙස්ට් ක්රිට් වරම් ලබාදීම උදෙසා ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය ඉදිරියේ 1981 ජූලි මාසයේදී ඔහු ඉදිරිපත් කල කරුනු දැක්වීම බෙහෙවින් ඉවහල් විය. එහෙත් 1996 මාර්තු මස ශ්රී ලංකාව ලෝක ශූරයින් වනු දක්නට ඔහු ජීවතුන් අතර නොවීය.
ඉදිරි දර්ශනයක් තිබූ නායකයෙක්........යමක් කල යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් සියළු බාධක පරයා තම ගමන් මඟ, තම ඉලක්කය කරා නොසැලී ඉදිරියට ගමන් කල ඔහු වන් යුග පුරුෂයෙක් අපහට අකාලයේ අහිමි වූයේ අපගේම අවාසනාවටය.

ඉන්දු -ලංකා ගිවිසුම සකස් කිරීමෙහි මෙන්ම ඒ ක්රියාත්මක කිරීමෙහිදීත් ඔහු නියාමක කාර්ය භාරයක් ඉටු කලේය.අවසන ඔහු ඝාතනය උදෙසා එල්.ටී.ටී. ඊ. සංවිධානය මෙහෙයවූ එක් ප්රධාන සාධකයක් ලෙස ඉන්දියාව සමඟ ඔහුගේ වූ සමීප සබඳතා සහ 1994 නොවැම්බර් ජනාධිපතිවරණය ඔහු ජයග්රහණය කලහොත් යන සැකය ද එකසේ බලපාන්නට ඇත.

එල්.ටී.ටී. ඊ. ත්රස්ත වාදය පරාජය කලද ඔවුන් විසින් මේ රටට කල හානිය කිසිදා පිරිමැසිය නොවනු හැක. ගාමිණී වන් රටකට විශේෂයෙන්ම නැඟී සිටීමට වෙර දරන තුන්වන ලෝකයේ ඌන සංවර්ධිත අප වන් රටකට අවශ්ය ඉදිරි දැක්මක් මෙන්ම නොසැලෙන අධිෂ්ඨානයක් සහිත නායකයන් බොහෝ දෙනෙක් සාහසික අන්දමින් ඝාතනය කිරීම ඔවුන් අපට කල විශාලතම හානියයි.

පසුගිය දිනවල මා කියවූ ඉතාම චිත්තාකර්ෂණීය පොතක් පිළිබඳ සඳහන් කොට මේ සටහන නිමා කරන්නෙමි. Robert Cowley නම් ඉතිහාසඥයා විසින් සංස්කරණය කල එය '' What If? '' නම් වේ.

ලෝකය වෙනස් කල ඓතිහාසික සිදුවීම් අප දන්නා අයුරු සිදුනොවී වෙනත් ආකාරයකට සිදුවිනි නම් ලෝකය කෙසේ වෙනස් වන්නට තිබුණුද?


මනඃකල්පිත අනුමාන කිරීම් සහයකොටගෙන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් අලලා ලියැවුනු ඉතාම සිත් ඇදගන්නා සුලු සටහන් මාලාවකි ඒ.

පොන්ටියස් පිලාත් ක්රිස්තුස් වහන්සේ කුරුසිය මත මරණයට නියම නොකොට නිදහස් කලේ නම්?

15 වන සියවසේ දී චීන ගවේෂක Zheng He අද්මිරාල් වරයා විසින් උතුරු අමෙරිකාව සොයාගන්නා ලද්දේ නම්?

හිට්ලර් දෙවන ලෝක සංග්රාමය ජයග්රහණය කලේ නම්?

මේ එහි සාකච්ඡා කෙරෙන මාතෘකා කිහිපයකි.

මේ පොත කියවද්දී මසිතට නැඟුනු එක් සිතිවිල්ලක් වූයේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව මෙවන් මනඃකල්පිත නිබන්ධනයක්  ගොනු කිරීමටට අපේ ඉතිහාසඥයින්ට නොහැකිවීම හෝ ඔවුන් ඒ පිළිබඳව උනන්දු නොවීම කොතරම් අභාග්යයක්ද යන්නයි.

දුටුගැමුණු පරදා එළාර ජයග්රහණය කලේ නම්?

පෘතුගීසීන් ලංකාවට ගොඩ නොබැස්සේ නම්?

1815 ඉංග්රීසීන්ට කන්ද උඩරට අල්ලාගත නොහැකි වූයේ නම්?

1818 කැරැල්ලෙන් ඉංග්රීසීන් මුලුමනින්ම පරදවා කැප්පෙටිපොල ජයග්රහණය කලේ නම්?

1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතනය නොවුනි නම්?

1993 මැයි 1 වනදා ජනාධිපති ප්රේමදාස ඝාතනය නොවුනි නම්?

1994 ඔක්තෝබර් 24 වනදා ගාමිණී ලයනල් දිසානායක තොටළඟ දී බෝම්බ ප්රහාරයකට ගොදුරුව ඝාතනය නොවිනි නම්?

ලංකාවේ ඉරණම / ඉතිහාසය කෙතෙක් වෙනස් වීමට ඉඩ තිබිණිද?

What might have been?...Oh What might have been?......Alas.....We can only speculate......

33 comments:

  1. මේකට කමෙන්ට් එකක් මං තාත්තගෙන් අහලා කියන්නම්...

    ReplyDelete
    Replies
    1. ආන්න, වැදගත් හැදිච්ච දරුවො...වෙරි ගුඩ්...වෙරිම වෙරි ගුඩ්...එහෙම තමයි ඉන්න ඕන....දැන් ඔය ළමය, අර එයා ඔයාගෙන් ඇහුවමත් කිව්වෙ ඔහොමම නේද?....මම තාත්තගෙන් අහල කියන්නම්....හරිම හොඳයි..දාන්න පහක්...:) :)

      Delete
    2. පිස්සු තමා... මං ඕනෙ හැටියට එකෙක් හොයා ගත්තා... එකා කසාද බඳින්න දෙනකම් ‌ගෝරි දාලා අන්තිමට කසාද බැදගත්තා.. හි හි...

      මේ ව‌ෙග් ඒවා ගැන මං අහන්නේ තාත්තගෙන්.... හොද විස්තර අහගත්තෑකි.. හි හි..

      Delete
    3. / පිස්සු තමා... මං ඕනෙ හැටියට එකෙක් හොයා ගත්තා... එකා කසාද බඳින්න දෙනකම් ‌ගෝරි දාලා අන්තිමට කසාද බැදගත්තා.. හි හි... /

      චිකේ අම්මප...ඒක කියාපු ලස්සන..කිසිම ලැජ්ජාවක් බයක් හැකක් නැතුව....සුපින්වත් සිංහල කුල කතක් කියන කතාවක්ද අම්මප මේ කිව්වෙ කටේ තොලේ නොගෑවී....අන්තිම අසෝබනයි..නින්දිතයි......අනබිබවනීයයි....උත්කුරුස්ටයි.....විහිලුවට හොඳද?....(සැ.යු.-හිරු නෝන ඔව්ව ගනන් ගන්නෙ නෑ කියන උපකල්පනය මත පිහිටලයි එහෙම කිව්වෙ )........:) :)

      තාත්ත කියාපු එක මං කියන්නද හූණ කිව්වැහෙ?...නෑ කියන්න එහෙම ලෑස්ති වෙන්න එපා හොඳද?

      '' ඇයි දැං මහ ලොකුවට බෙල්ලෙ වැල දාගන්නවයි, බේරෙට පනිනවයි,පැනඩෝලුයි අරලිය මලුයි කනවයි, කනේරුයි සීනියි කනවයි, කියල තර්ජනය කරල ඔය කර ගත්තෙ,....එතකොට හිතන්ට තිබ්බෙ නැද්ද කවදාහරි මේ වගෙ වැදගත් කාරනේකදි අහ දැනගන්ට තමන්ගෙ තාත්තත් ඕන වෙනවයි කියල...එතකොට අපි මතක නෑ...මම ඔව්ව මොකවත් කියන්නෙ නෑ...අර මගෝඩියගෙන්ම අහ ගනිං...මොනවදෑ ආයෙ එහෙනං... ''

      මේ කතාව ඉඳුරාම ඔප්පු වෙන එක සාධකයක් කියන්නද?....මගෙ කතාව බොරු නං කෝ දැන් තාත්තගෙන් අහගෙන ලියනවයි කියාපු කමෙන්ට් එක?...හෙහ්, හෙහ්...දීපල්ලකො පුලුවන්නං උත්තර...නෝනෙ...

      Delete
    4. ///'' ඇයි දැං මහ ලොකුවට බෙල්ලෙ වැල දාගන්නවයි, බේරෙට පනිනවයි,පැනඩෝලුයි අරලිය මලුයි කනවයි, කනේරුයි සීනියි කනවයි, කියල තර්ජනය කරල ඔය කර ගත්තෙ,....එතකොට හිතන්ට තිබ්බෙ නැද්ද කවදාහරි මේ වගෙ වැදගත් කාරනේකදි අහ දැනගන්ට තමන්ගෙ තාත්තත් ඕන වෙනවයි කියල...එතකොට අපි මතක නෑ...මම ඔව්ව මොකවත් කියන්නෙ නෑ...අර මගෝඩියගෙන්ම අහ ගනිං...මොනවදෑ ආයෙ එහෙනං... ''////

      ෂැක්... මේ ළඟපාත නෙවෙයි නේද ඉන්නේ.... හි හි... (හොරෙන්..) ඇත්තටම කොහොමද දැනගත්තේ... හි හි...

      මේ දවස්වල තාත්තගෙන් ඕක අහන්න යනවා කියන්නේ ඉල්ලන් ටිංකිරි කන වැඩක්... අපේ මලයාගේ වැඩ හින්දා... එයා පොඩ්ඩක් නිවුනම අහලා උත්තරේ දෙන්නම්කෝ...

      Delete
    5. / ඇත්තටම කොහොමද දැනගත්තේ... හි හි... /

      හෙහ්, හෙහ්, කාටවත් කියන්ට එහෙම එපා හිරු, හරිය?........පළමෝත අත්දැකීම්, ළමයා....පළමෝත අත්දැකීම්...( First hand experience )

      ඔන්න මෙහෙමලු උනේ හොඳද?...වැඩි විස්තර සහිතව පස්සෙ කියනකල් සාරාංසෙ මෙහෙමලු...

      අපේ පේම කතාව ආරම්බ උනාය කියමුකො...ඔන්න ආව බාදක කංකටොලු, වැට කඩොලු ඔය ඔක්කොම..මොකද හේතුව මම පාත්තයෙක්ය කියාල...දන්නවනෙ පාත්තයොය කියන අය...පාතරට මිනිස්සු...

      '' කෑලි කෑලිවලට කැපුවත් උඹව දෙන්නෙ නෑ පාත්තයෙකුට....''ඔන්න එහෙං අවසං තීරණය..

      '' මොකද අනේ අපි කරන්නෙ?....'' එයයි ඇහුව මගෙං....'' මොනව කරන්ටද?....ඔයාගෙ කෑල්ලක් අරං මොකටද?....මම මස්කඩ කාරයෙක් නෙවෙයිනෙ...අපි වෙන අතක් බලාගමු...'' මම කිව්ව අහක බලාගෙන.

      ඇගේ දෑසිං ගිංදර පිට උනා..'' හුහ්, එහෙම කොහෙද මා එක්ක...ඉන්ටකො මම කරන්නං හොඳ වැඩක්.'' .ඈ දත් මිටි කෑව බර බර ගාල,

      එයාලගෙ ගේ පිටිපස්සෙ තියනව මහ විසාල කොස් ගහක්...බෙන කොස්ගහ කියල කියන්නෙ..කොස් එහෙම මාර රහයි...

      එයයිගෙ තිබ්බ ඒ දවස්වල පරන හම්පඩ ඩෙනිමක්...දනිස් ගාවට කපාපු...ඕකත් ඇඳගෙන ඔන්න කොහු ලණු කැරැල්ලකුත් කරේ දාගෙන ඉණිමඟ ගහට හේත්තු කරල ඉරිද දවසක උදේම නැග්ගලු එයයි අර බෙණ කොස් ගහට...

      '' එයාව බඳින්ට දුන්නෙ නැත්තං මං එල්ලිල මැරෙනව...'' කොස් අත්තක ලණුව ගැට ගහල මල පුඩුවක් එහෙම හදල එයා කෑගැහුව මහ හයියෙං..

      ඔන්න ගෙදර ඔක්කොමල දුවගෙන ආව...

      '' කොයි වෙලාවෙද චුට්ටි නංගි ඔයා ගහට නැග්ගෙ?.....අනේ මේං බලන්ට ඔයා හොඳම නෑ, මගෙ එක්සෝරා පැලේ උඩ නේද ඔයා මේ ඉණිමඟ තියල තියෙන්නෙ...අනේ ඕක මම රුපියල් තුන් සීයක් දීල ගෙනාවෙ...'' ඒ එයාගෙ පුංචි අක්කගෙ අඳෝනාව.....

      '' හරි දැං මොකක්ද ඔය කියන මගෝඩියගෙ නම?...මොකා එක්කද ඔය උඹ බඳින්ඩ ඕනය කියන්නෙ?...'' ඒ එයාලගෙ අප්පච්චි..

      '' මොකක්ද එයාගෙ නම?....ම්ම මට මතක නෑනෙ...Okay, one minyte please.....'' එයා ගහ උඩ ඉඳගෙනම මට කෝල් එකක් ගත්ත..

      '' හෙලෝ...හෙලෝ...මේ ඔයාගෙ නම මොකක්ද?..''

      '' ඈ...මොකද මේ හිටපු ගමම්ම...මගෙ නම රවීනෙ....කොහෙද ඔයා ඉන්නෙ? ''

      '' මම මේ බෙණ කොස් ගහ උඩ ඉන්නෙ...ඔයාව බඳින්ට දුන්නෙ නැත්තං මම අද එල්ලිල මැරෙනව කියලයි හිතාගෙන ඉන්නෙ.. ''

      '' දෙයියෝ සාක්කි ...එතකොට අර රුපියල් දාහ? '' මට ඉබේටම කියවුනා..

      සඳුද බස් එකේදි හම්බ උනාම මට රුපියල් දාහක් ණයට දෙන්ට එයා මට පොරොන්දු වෙලයි හිටියෙ...මට ඒ වෙලාවෙ මතක් උනේ ඒක..

      '' හුහ්...'' එයා උත්තරයක් නොදීම කෝල් එක කට් කලා..

      '' හෙලෝ...හෙලෝ..''මම ආයෙම කතා කලා...ෆෝන් එක ඕෆ් කරල...ෂිහ්,

      ඉතිං බලමුකො මේ කෙල්ලංගෙ හැටි...දැං මම මොකක්ද කිව්වෙ ඔච්චර තද වෙන්ට....අනේ මන්ද අප්ප...මට නම් තේරෙන්නෙ නෑ...

      '' අනේ චුට්ටි නංගියේ...හොඳ ලමය වගෙ ඔය දකුනු පැත්තෙ තියෙන කොසේ බලාපංකො මාළුවට හොඳයිද කියල...කාලෙකිං කෑවෙ නෑ බෙන කොස් ගහේ කොස්..'' ඒ එයාලගෙ මද්දුම අක්ක....කොස් කන්ට පෙරේති...

      ඊට පස්සෙ වෙච්චි දේත් එක්ක සම්පූර්න සිද්දිය ආයෙ වෙලාවක කියන්නං හොඳද?

      ඔය මගෙ පේම පුරානෙ එක ඇපිසෝඩ් එකක්.....හෙහ්, හෙහ්,

      Delete
    6. හිනා කාලා මැරෙනවා..... අර ඩෙනිමට මක් උනාද දන් නෑ නේ.... පරිස්සම් කරලා තියාගන්න වටින වස්තුවක්...

      මරු ප්‍රේම වෘත්තාන්නතය නේ... ඔන්න මගේ ප්‍රේම පුරාණෙත් පොඩ්ඩ පොඩ්ඩ ඒ පැත්තේ ලියවිලා තියෙනවා... හි හි....

      මං නං ඔච්චර සෙල්ලම් දැම්මේ නෑ... හි හි.. අනේ සද්ද නැතුව හිටියා... කට්ටියට තේරෙනකම්ම මේකි මේක අතාරින්නේ නෑ කියලා.. හි හි.... අන්තිමට කට්ටිය එකතු වෙලා ජයට මඟුල් කාලා මේ කසාද බන්දලා දුන්නේ.. හි හි....

      Delete
  2. හිතට අරන් ලියන්නකො බලන්න Lanka what if එකක්වත්‍‍‍.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,නිමල්, ඇත්තටම මට එහෙම කල්පනාවකුත් තියනව නම් තමයි කිව්වට මොකද?...හෙහ්, හෙහ්, ඉන්නකො.... හෙමිහිට වෙලාව ලැබෙන විදිහට බලමු...:)

      Delete
  3. Replies
    1. සමහර දේවල් තියනව අපේ අවාසනාවට ඇත්ත වුනු දේවල්..මේත් ඒ වගෙ එකක්..

      ස්තූතියි මානවක....:)

      Delete
  4. මේ ලිපිය කියවාගෙන යද්දී මගේ උගුරේ මොකක්දෝ හිරවෙනවා වගේ හැඟීමක් ඇතිවුණා. මට ඒ මූසල දවස අද වගේ මතකයි. මා ඒ කාලයේ කුඩා ළමයෙකු වුනත් මට ඒ දවස මතකයි.
    මේ වගේම මගේ ඇස් වලට කඳුළු ආපු තවත් දිනක් තිබුණා. ඒ ඔහු මැතිවරණය වෙනුවෙන් රූපවාහිණියේ කළ කතාවක් විකාශය වුණු දවසක. මම මගෙන්ම අහගත්තා ඇයි අපි මේ තරම් අවාසනාවන්ත වුණේ කියලා. ඒ තරමට ඒ පෞරුෂය මගේ සිතට වැදුණා.
    ඔව් ඔහු මහා පෞරුෂයක්, යුග පුරුෂයෙක්. ඒ වගේම මා දන්නවා ඔහු මොනතරම් දෑ හිතකාමියෙක්ද කියා. දිඹුලාගල හිමියන් සමඟ එක්වී ඔහු සැලසූ සේවය, ලංකාවේ ක්‍රිකට් මෙන්ම කොත්මලේ ජලාශයට යටවී ඇති නිවසත් එයට සාක්කි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකී......මොනව කරන්නද?.....අපේම අවාසනාව තමයි :(

      එක පාරක් කොහෙ හරි විශේෂ අවස්ථාවක ඔහු පැවසූ දෙයක් මට තවමත් මතකයි

      What was deemed difficult we achieved with ease, Our next target should be to do what's designated as impossible.

      අපහසුයයි පැවසූදේ අපි පහසුවෙන් නිම කළෙමු. නොහැකියයි පවසන දේ නිම කිරීමටයි අපේ මේ වෑයම.....

      ( මේ වචනම නොවෙන්න පුළුවන්...ඒත් අදහස මේකයි...)

      Delete
  5. මේක වික්ටෝරියා වේල්ල බලන්න ගියපු වෙලාවෙ එතන විස්තර අපිට කියල දුන්න මහත්මය කියපු දෙයක්;
    ගාමිණී දිසානායක වික්ටෝරියා වේල්ල සඳහා ආධාර (මුදල් පමණක් නොව තාක්ෂණික සහ ඉංජිනේරු) බලාපොරොත්තු උනේ මහා බ්‍රිතාන්‍යයෙන්, එවකට එහි අගමැතිව ඉඳල තියෙන්නෙ මාග්‍රට් තැචර්.
    මුලින්ම මාග්‍රට් තැචර් මේ සම්බන්දව කැමැත්ත පල කලත් පසුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂය දැඩිව විරෝධය දක්වල තියනව මේක අනවශ්‍ය සම්පත් නාස්තියක් කියල.
    ඉතින් අන්තිමේදී දුරකථනය හරහා මාග්‍රට් තැචර්, ගාමිණී දිසානායක මහත්මයට දැනුම් දීල තියනව විපක්ෂයේ විරෝධය සහ ඒ සඳහා දීමට පිළිතුරු තමා සතුව නැති බවත්.
    එවිට ගාමිණී දිසානායක මහත්මය කියල තියනව, වසර 130 කට වඩා වැඩි කාලයක් බ්‍රිතාන්‍ය අපේ රට පාලනය කරමින් අපිව ඇති තරම් සූරා කාල තියනව. ඉතින් ඒකට හිලවුවක් විදිහට වික්ටෝරියා වේල්ල සඳහා ආධාර ලබා දීම සාධාරණ බව විපක්ෂයේ විරෝධය සඳහා පිළිතුරු හැටියට ලබා දෙන්න කියල. ඉතින් මාග්‍රට් තැචර් ඒක ඒ විදිහටම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, වික්ටෝරියා වේල්ල ලංකාවට ලබා දුන්න (ලු).

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මමත් අහල තියනව..හැබැයි පොඩි වෙනසක් සහිතව...වික්ටෝරියා වේල්ල පටන් ගත්තෙ 1978 දි. එතකොට බ්‍රිතාන්‍යයෙ බලයෙ හිටියෙ කම්කරු පක්ෂය.අගමැති ජෝන් මේජර්. 1979 දි කම්කරු පක්ෂය පැරදිල කොන්සර්වේටිව් පක්ෂය බලයක ආව. අගමැති මාගරට් තැචර්, The Iron Lady...කොන්සර්වේටිව් පක්ෂයෙ මන්ත්‍රීවරුන්ගෙන්ම තමයි බලපෑමක් ආවය කියන්නෙ තැචර්ට තුන්වන ලෝකෙ රටවලට දෙන ආධාර නවත්තන්න නැත්නම් අඩු ගානෙ ණය විදිහට වත් දෙන්න කියල. ඒ වෙලාවෙ තමයි ඔය සිද්ධිය උනේ කියලයි මම අහල තියෙන්නෙ...

      ස්තූතියි ඔබටත්...:)

      Delete

  6. ලන්කාවෙ පහුගිය දශක තුනක විතර දේශපාලන ඉතිහාසයේ මම ගරු කරන චරිත දෙකක් ඉන්නවා පක්ෂ, පාට භේදයෙන් තොරව .ඒ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක .

    මේ දෙන්නම අපේ දේශපාලන ඉතිහාසයේ පයනියර්ස් ල .ඒ වගෙම දැක්මක් තිබුණ කැරිස්මැටික් ලිඩර්ස්ල .අද යු පී එෆ් එකත් යු ඇන් පී එකත් තදබල විදියට නායකයො හිඟ කමින් පෙලෙනවා . ඇත්තෙන්ම කිව්වොත් හතරෙන් තුනක්ම ඉන්නෙ ජෝකර්ල .එහෙම බැලුවොත් මේ මිනිස්සු කැරිස්මා එක විතරක් නෙවේ දැනුමෙන් හා දැක්මෙනුත් ඕල් රවුන්ඩර් රාජ්‍ය තාන්ත්‍රිකයො

    ReplyDelete
    Replies
    1. හප්පට සිලි බොල මේ TG ම් යෝදි නේද මේ තුවක්කුව හංගගෙන ඉන්නෙ!!

      ඔය වෙන මොකටවත් නෙවෙයි මට වෙඩි තියන්න අර ඉන්දියාවට අනං මනං කියනවා කියලා!!
      අඩේ රවියා, ජනුවා, උඹලා මට චන්ඩි දාලා ගස්සන්න නේහ්? :O
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. ඔය බං T.G. ගෙ Walther PPK Semi Automatic එක නෙව.නියම බාන්ඩෙ, ජේම්ස් බොන්ඩ් කාලයක් පාවිච්චි කලා, එතකොට අරුණි එහෙම පාවිච්චි කරන්නෙත් ඒකනෙව...හෙහ්, හෙහ්,

      දැං අර කොමිසමේ ලේකම් තුමාට පහර දුන්නයිං පස්සෙ BASL එකෙං හැමෝටම ඉෂූ කලානෙ ගිනි අවි. ඕක තමයි T.G. ගෙ Personal side arm එක.

      You should see her using that, In just a fraction of a second she shot them both between the eyes without even taking her walther PPK out of the holster. That was shooting from the hip at it's best. Then taking it out blowing on the barrel to dissipate the curling smoke and twirling it around the forefinger of her right hand she holstered the gun back in a flash , before you could say TG.....heh, heh, ( From unpublished action thriller ...T.G. the trigger happy lawyer )

      Delete
    3. @ T.G.,

      / ලන්කාවෙ පහුගිය දශක තුනක විතර දේශපාලන ඉතිහාසයේ මම ගරු කරන චරිත දෙකක් ඉන්නවා පක්ෂ, පාට භේදයෙන් තොරව .ඒ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක . /

      එකඟයි ටී.ජී. අර මගෙ What If? යටතේ ලලිත්ගෙ නමත් එන්නම ඕන. සමාවෙන්න ඕමනයි, අමතක මතක බැරි උනා....:(

      ප්‍රභාකරන් මළානම් තමයි. ඒත් ඒ මළේ අපේ රටේ ඔලුවටම වැඩේ දීල. දැන් තියෙන්නෙ හිස සුන් කවන්ධයක් විතරයි. දන්නවනෙ ඔලුව නැතුව බඩ විතරක් ඉතුරු උනාම වෙන දේ....අත් දෙකෙන්ම අරගෙන බඩ පුරව ගන්න එක විතරයි දැන් කෙරෙන්නෙ...අහෝ තුකකි බේදයකි..ඉරකි තිතකි.....

      Government of the people, by the people and for the people ( Lincoln - The gettysburg address )

      Mis-government of the jokers by the jokers and for the jokers ( address නැහැ. ඒකයි මට කණගාටු..)

      ප.අ. - මොකෝ ටී. ජී. මේ තුවක්කුවක් හැබෑටම? අපිව බය කරන්ට වත්ද?...අන්න හෙන්රිය නම් දැනටම බය වෙලා....හෙහ්, හෙහ්,

      ආහ්, හරිනෙ දැන් නෙව වැටුනෙ මීටරේට එතකොට මේ T.G. කියන්නෙ මේකයි එහෙනං ආ....Top Gun.....:) :)

      Delete
    4. ඔවු හැමදාම නිකන් සාන්ත දාන්ත වෙලා බෑ නේ .මම දැන් හෙන දරුණු චණ්ඩියෙක් වෙන්න තීරණේ කලා

      හපෝ අර දඩයක්කාර කතාව ඉවර නැද්ද තාම :(

      Delete
    5. / හපෝ අර දඩයක්කාර කතාව ඉවර නැද්ද තාම :( /

      කොහෙද අනේ මේ බින්දිල එක්ක බෑනෙ...දඩයක්කාරයයි අර රෑමත් යුවතියයි දත් මදින්නෙ නැද්ද?...නාන්නෙ නැද්ද?...සරීර කුරුතිය කොරන්නෙ නැද්ද කියල එයයිට බෝම කුතුහලේලු...එනිසාවෙං ඊලඟ එපිසෝඩ් එකේදි තනිකරම උං දෙන්නගෙ දත් මද්දෝනව...ඊලඟ එකේදි දෙන්නෙ කුනු එහෙම අතුල්ලල නා ගන්නව.....නැක්ස්ට් එකේදි...හෙහ්, හෙහ්........ඔන්න ඔහොම තමයි වැඩේ යන්නෙ...ඉතිං කියාපං බලන්ට වැරැද්ද මයෙද?

      Delete
  7. ඇත්තම කිව්වොත් මචං, මට ගාමිණී දිසානායක ගැන අමුතු පැහැදීමක් තිබුනෙ නෑ ඒ කාලෙ. ඒ භීෂනය කාලෙ ආණ්ඩුව පැත්තෙන්වත්, සහෝදරයන්ගෙ පැත්තෙන්වත් කොයි පැත්තකින්වත් අපිට සහනයක් තිබ්බෙ නෑනෙ. දේශපාලනඥයො කවුරුත් මූණු දෙකක් තියෙන උන් බව තමයි අපේ පොදු හැඟීම. අනික හොඳ වුන් හිටියා නම් ඇයි අරවගෙ අහස පොලව නුහුලන අපරාධ වෙන්න ඉඩ හරින්නෙ කියන ප්‍රශ්ණෙ අපි කාටත් තිබුනා.

    මේක නම් වෙනස්ම මගක් ගත්ත කතාවක්.

    උඹ ඇත්තටම කොහෙද හිටියෙ? අපි හිටියෙ මහවැලි සිස්ටම් සී, දෙහිඅත්තකණ්ඩිය බ්ලොක් එකේ මාවනාගම යුනිට් එකේ ඉස්කෝලෙක.

    දැන් ඉතින් නිදහසට කරුණු ඉදිරිපත් නොකර What if... දාපං හොඳ හිතින්. නැත්නම් මං නරක මිනිහයි කියන්නෙපා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. / ඇත්තම කිව්වොත් මචං, මට ගාමිණී දිසානායක ගැන අමුතු පැහැදීමක් තිබුනෙ නෑ ඒ කාලෙ. ඒ භීෂනය කාලෙ ආණ්ඩුව පැත්තෙන්වත්, සහෝදරයන්ගෙ පැත්තෙන්වත් කොයි පැත්තකින්වත් අපිට සහනයක් තිබ්බෙ නෑනෙ. දේශපාලනඥයො කවුරුත් මූණු දෙකක් තියෙන උන් බව තමයි අපේ පොදු හැඟීම. අනික හොඳ වුන් හිටියා නම් ඇයි අරවගෙ අහස පොලව නුහුලන අපරාධ වෙන්න ඉඩ හරින්නෙ කියන ප්‍රශ්ණෙ අපි කාටත් තිබුනා. /

      මේ ගැන හරියට උත්තරයක් දෙනව නම් මචං ලියන්න ඕන බ්ලොග් පෝස්ට් දෙක තුනක්වත්..ඇත්ත මම පිළිගන්නව...ඇත්තටම ඒ කාලෙ මට ගාමිණී ලලිත් ගැනත් තිබ්බෙ පොදු අප්‍රසාදයක්...ඒ වෙනකොට එ.ජා.ප. ආණ්ඩුව කියන එක මටනම් තිත්ත වෙලයි තිබුනෙ. 1977 ජේ. ආර්. ට ලැබුනෙ මේ රට ගොඩ ගන්ඩ නිදහස ලැබුනයින් පස්සෙ වෙන කිසිම නායකයෙක්ට නොලැබුනු ස්වර්ණමය අවස්ථාවක්. 5/6 බලයක් පාර්ලිමේන්තුවෙ....ද්‍ර.එ.වි.පෙ.ට උතුරෙ පූර්ණ බලය ලැබිල. වෙනම රාජ්‍යයකට එයාල යෝජනා සම්මත කරගත්තට ඉන්දියාවෙ ප්‍රාන්ත රාජ්‍යය වලට සමාන බලතල දීල උතුරු නැගෙනහිරට යාන්තමට මතුවෙව්මින් තිබුණු සන්නද්ධ අරගලය මුලින්ම නැති කරල දාන්ට තිබ්බ මහාර්ඝ අවස්ථාවක් තමයි ඒ මනුස්සයගෙ බල ලෝභී දේශපාලනය නිසා නැති කරගත්තෙ.

      උතුරෙ අරගලයට විසඳුමක් දෙනව වෙනුවට මේ මෝඩ මනුස්සය කලේ දකුණෙත් කිසිම තේරුමක් නැතුව අරගලයක් තමන්ම හදා ගත්තු එකයි ( ජේ. ආර්. කපටියි කියල හැමෝම කිව්වට මම නම් ඒක පිළිගන්නෙ නෑ. එයාගෙම පක්ෂය අද වැටිල ඉන්නෙ ජේ.ආර්. ම කපපු වලේ.ඔය වල එයා කැපුවෙ විරුද්ධ පක්ෂයට. ඒත් දුරදර්ශී නායකයෙකුට කල්පනා වෙන්ට ඕන මේ අසීමිත බලතල විරුද්ධ පක්ෂයට ගියොත් තමන්ගෙ පක්ෂයට වෙන්නෙත් ඒ සන්තෑසියම නේද කියල...අන්න මල්ලි දේසපාලුවගෙයි රාජ්ය තාන්ත්‍රිකයගෙයි වෙනස..." A politician thinks of the next election. A statesman, of the next generation" - James Freeman Clarke )

      භීෂණ සමය ගැන මටත් දැඩි විවේචන තියනව...ඇත්තටම දෙපැත්තම හැසිරුනෙ මෘගයො වගෙ .ඒක ඇත්ත...

      ඒත් ජේ.ආර්. ගෙ ඇමති මණ්ඩලයෙ හිටපු ඉතාම දක්ෂයො දෙන්න ලලිත් සහ ගාමිණී.

      ඒ වගේම මෙහෙම කාරණේකුත් තියනව...බලය ලැබුණම මිනිස්සු ..මිනිස්සු විතරක් නෙවෙයි ගෑණුත් හැසිරෙන්නෙ උමතු උනා වගේ...ඒ නිසා ලලිත් හෝ ගාමිණිත් බලය ලැබුනානම් කොහොම හැසිරෙයි ද කියල අනුමාන කරන්න නම් බෑ තමයි.ඒ නිසා ගාමිනී ලලිත් දෙන්නටම තියෙන්නෙ Unrealized Potential එකක්.අන්න ඒ සාක්ෂාත් නොවුනු විභවය ගැනයි මම කියන්නෙ......

      I am speking in retrospect...:)

      / උඹ ඇත්තටම කොහෙද හිටියෙ? /

      මම මුලින්ම හිටියෙ බී කලාපයෙ....සෙවණපිටිය,සේනපුර, සිංහපුර...අන්තිමට සිද්ධපුර.....පස්සෙ ආව ජී කලාපයට...බකමූණ....එහෙං තමයි මහවැලියෙන් අයින් උනේ....

      සී කලාපෙ මම වැඩ කරල නම් නෑ මචං...ඒත් කීප පාරක් ඇවිල්ල තියනව..ඒ වගේම මගෙ යාලුවො බර ගානක් හිටිය ඒ වගේම තාමත් ඉන්නව...

      / දැන් ඉතින් නිදහසට කරුණු ඉදිරිපත් නොකර What if... දාපං හොඳ හිතින්. නැත්නම් මං නරක මිනිහයි කියන්නෙපා. /

      අම්මප මේ කට නිසා මම වැටෙන අමාරුවල මහත.....තාමත් මට්ටු වෙලා නෑනෙ.....අපෙ ලොක්කි කියන්නෙ බොරුත් නෙවෙයි....ඔයාගෙ ඔය කට හින්ද වෙලාවක අපි දෙන්නම වැටෙනව අමාරුවක ඔළුවෙ ඉන්න උකුනොවත් නොදන්න.....හෙහ්, හෙහ්,

      නෑ බං විහිලු නෙවෙයි ඇත්තටම ලියන්ට ඕන....මුලිම්ම ලියන්ට හිතාගෙන ඉන්නෙ සුද්දො ලංකාවට ආවෙ නැත්තං මොනව වෙන්ට තිබුණද කියලයි.

      අර අපේ එකෙක් කියන්න වගෙ වෙන මොනවද ඉතිං ....'' උඩරට...හුහ්, උඩරට..ආච්චිගෙ රෙද්ද, යකෝ..සුද්ද ඇවිල්ල කඩුගන්නාවෙ ගල විද්දෙ නැත්තං තොපි තාමත් අමුඩ කෙටිය ගහගෙන සත්තු පස්සෙ එලෝනව...අන්න ඒක දැනගනියව්....මහ ලොකු උඩරට " ඕක එහෙම කියල නිකං ඉන්නෙ නෑ සරම උස්සල පස්සත් පෙන්නනව...හෙහ්, හෙහ්,

      Delete
  8. රවිගේ ලියවිල්ල ලස්සනයි . දැන් ඉන්න හාල් පාරුවන්ට සාපේක්ෂව මේ මනුස්සය හොඳයි තමයි. ඒ වුනත් මටත් අර හෙන්රි ලොක්කට හිතෙන විදිහටම හිතෙන්නේ ඇයිද මන්දා . චඃ අපි දේශපාලනය කතා අනොකර ඉම්මු ..දඩ් සහ රූමතිය ගැන කොටාදාන්න

    ReplyDelete
    Replies
    1. මුලින්ම ස්තූතියි බින්දි...:) :)

      දේශපාලනය ගැන මගෙත් තියෙන්නෙ දැඩි අප්‍රසාදයක්...ඒත් ඒක නැතුවත් බැහැනෙ. අපි අකමැති උනාට අපේ ජීවිතවලට උදේ හවස බලපානවනෙ ඔය කෙහෙල්මල....හෙහ්, හෙහ්,....

      / දැන් ඉන්න හාල් පාරුවන්ට සාපේක්ෂව මේ මනුස්සය හොඳයි තමයි /

      ඒ නිසාම තමයි මට හිතුනෙ ගාමිණී ගැන අකුරු හතරක් හරි ලියන එක මගේ යුතුකම කියල..ඊට වඩා ඉතින් මොනව කරන්නද?...:(

      / ..දඩ් සහ රූමතිය ගැන කොටාදාන්න /

      ඒක ලියමින් ඉන්නෙ..දෙන්න දැඩි ප්‍රෙමාලිංගනයෙන් වෙලිල මුද්දරෙයි කවරෙයි වගෙ එකටම ඇලිල තමයි මේ එපිසෝඩ් එකේ ඉන්නෙ...හෙහ්, හෙහ්...මම මේ පොඩි එව්වන්ට සුදුසු විදිහට සංස්කරනේ කොරමිනුයි ඉන්නෙ මේ දවස්වල...

      Delete
  9. ඇත්තෙන්ම මෙවැනි පුද්ගලයන් අපේ රටට අහිමිඋනේ රටේ අවාසනාවට ,මට මතකයි මේ බෝම්බේ පිපුරුණු රැස්වීමට මගේ තාත්තත් යන්න හිටියා නමුත් අසනීප තත්වයක් නිසා ඔහුට එදා යන්න බැරි උනා ,ආරංචිය ලැබිච්ච වෙලාවේ ඔහුගේ මුහුණේ පලවෙච්ච හැගීම අදටත් මට අමතක වෙන්නේ නැහැ .

    මෙතුමාගේ අවමංගල නිවස තිබුනේ බ්‍රිට්ෂ් කවුන්සිල් එක ලග, මරණේට එන්න පෝලිම් 2ක් තිබුනා මට මතක විදියට කොල්ලුපිටියේ හන්දියටත් එහා ඉදන් එක පෝලිමක් තිබුනේ මහා වැසි නොතකා මිනිස්සු අවා අවසන් ගවුරව කරන්න ....

    ReplyDelete
    Replies
    1. ඔව්, අවමඟුල පැවැත්වුනේ ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස් වල එතුමාගෙ නිවසෙ....

      ස්තූතියි රොබින්.........

      Delete
  10. මම ඔය කාලේ ගැන දන්නේ අම්මල තාත්තල කියන දේවල් වලින් තමයි.
    ඒ වගේම ගාමිණී දිසානායක කියන පුද්ගලයා ගැන නම් මම මුකුත් දන්නේ නෑ. මේ වගේ ලියවෙන එකේ වටිනාකම තමයි අපිට ඒ නොදන්න දේ දැනගන්න ලැබෙන එක. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..

    ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බණ්ඩා....ඇත්ත ඇත්ත ඒකනෙ මම මුලින්ම කිව්වෙ...

      / සමාවෙන්න..මට සහතිකයි මේ කියවන ඔයාලගෙන් බහුතරයක් ඒ කාලෙදි ඉපදිලාවත් නැතුව ඇති. /

      Delete
  11. ලිපිය ආසාවෙන් කියෙව්වා...හැබැයි මේකට කමෙන්ට් එකක් දාන්නනම් මට තේරෙන්නේ නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියෙව්ව නම් ඒ ඇති සයුරි...බොහොම ස්තූතියි...

      හෙහ්, හෙහ්, ඔය කියපු ටිකත් කමෙන්ට් එකක් තමයි...ඒ මදෑ ඉහටත් උඩිං..

      මේ අවුරුදු ගානකට කලින් යටගියාව. අපි අඩුගානෙ ඒ මිනිස්සු මැරිච්ච දවසටවත් යුතුකමක් හැටියට එයාලව සිහිකරන්ට ඕන. අපි නොකරන්නෙත් ඒකමයි.

      Delete
  12. //එවන් මහා පුරුෂයන් බිහි වූ යුගයට// පෙර තිබ්බෙ මොන වගේ එකක් ද කියල රවීට මතක ඇතිනේ. ඉතින් ඒ තරම් අන්තිමට ආයේ බැස්සම, සමහර විට ඒ තරම් බහින්නත් කළින් ම :D ඇයි මෙහෙම වුනේ කියලා කල්පනා කරද්දී .. හේතු සහ විපාක දැකලා ... ආයෙත් රට නඟාලන්න අවශ්‍ය තරුණ පිරිසක් තුලින් එවන් මහා පුරුෂයන් (ස්ත්‍රීන් ද කමක් නැහැ!!!) බිහිවෙන එක ඒකාන්තයි. ඕකට කොච්චර කාලයක් යයි ද කියන එක තමයි කියන්න බැරි එකම දේ!!!!!

    ReplyDelete
    Replies
    1. /  ඕකට කොච්චර කාලයක් යයි ද කියන එක තමයි කියන්න බැරි එකම දේ!!!!! /

      අන්න අරුණි වැදගත්ම කාරණය...කොච්චර කාලයක් යයිද කියන්න බෑ.......ඒකට උත්තරේ තියෙන්නෙත් අපේ අතේම තමයි..:)

      My sincere hope is it won't be a '' Waiting for Godot " :) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...