Monday, July 1, 2013

198. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන ඉස්කෝලේ යාම

මේ අර දණගැස්සවීම ගැන මම ලියන්ට කියල ඉඳගත්තම එක පෙලට හිතට ගලාගෙන ආපු මතක සටහන් වල ඉතිරි කොටස.... 

ඒ කතාවෙ අර තුනේ පංතියෙ පොඩි එවුන් දෙන්නගෙ " ආ..ඒ අර පී.ටී. මැඩම්ගෙ ගෙදර අතුගාන එක්කෙනානෙ " කතාව ලියද්දි ඔය වගේම පොඩි එකෙක් කියාපු තවත් අපූරු කතාවක් මට මතක් උනා. 

මම කලින් කතාවකදි කිව්වනෙ මම මෙහෙ ඉන්නෙ මගෙ යාලුවෙක් එක්කය කියල. එයාට ඉන්නව පොඩි කොල්ලො දෙන්නෙක්. ලොකු එකා තමයි අර ගිණිකඳු කතාව මගෙන් ඇහුවෙ.පොඩ්ඩට වයස හතරහමාරයි.මට හරිම ආදරෙයි.කොයි වෙලෙත් මයෙ කරේමයි. 

" රවි අංකල් අරක කොහොමද? මේක කොහොමද? එහෙම වෙන්නෙ ඇයි?...මෙහෙම වෙන්නෙ ඇයි? " 

ප්‍රශ්න වලට උත්තර දීල මට දවස හරි...මේ ලියනකොට උනත් ඇවිල්ල අහනව මොනවද ඔය ලියන්නෙ කියල. මම ඉතිං කිව්වම කතාවක් ලියනවය කියල මිනිහට ඕන ඒකෙ විස්තර දැනගන්ට...මමත් ඉතිං ඔය ඒ වෙලාවට මොනව හරි කියල බේරෙනව.එහෙම නැත්තං මනුස්සය යන්නෙම නෑ. මුද්දරේ ඇලෙව්ව වගෙ මයෙ ලඟමයි. 

ටී රෙක්ස් ගැන හැමෝම දන්නව ඇති නේද? වසර මිලියන 65 වගෙ ඉස්සර පොළෝතලය මත ජීවත්වෙලා වඳවීගිය දේහ ප්‍රමාණයෙන් අති දැවැන්ත සත්ව කොට්ඨාශයක්....උංට කියන්නෙ ඩයිනෝසරයො කියල… 

මම ඩයිනෝසරයන් ගැන මුලින්ම ඉගෙන ගත්තෙ හතේ පන්තියෙ සමාජ අධ්‍යයනය පාඩමෙන්.පෘථිවියේ උපත, ජීවයේ සම්භවය, ඩාවින්ගේ පරිණාමවාදය, මිසර ශිෂ්ඨාචාරය, දෙගංමැදි රාජ්‍යය, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය, චීන ශිෂ්ඨාචාරය විතරක් නෙවෙයි මාකෝ පෝලෝ, වස්කෝ ද ගාමා, මැගලන් සහ සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් වගෙ දේශාටකයො ගැනත් අපේ 6,7,8 සහ 9 වසරෙ සමාජ අධ්‍යයනය පොත් වල ඉතාම රසවත් තොරතුරු පිරිල තිබ්බ. ඇත්තම කිව්වොත් අදටත් මයෙ හිතේ තියන රටේ ලෝකෙ ගැන නොයෙක් තොරතුරු සොයා බැලීමේ උනන්දුව මුලින්ම සාර භූමියක ඉන්දවන බිජුවටක් වගේ මයෙ හිතේ ඉන්දෙව්වෙ ඒ සමාජ අධ්‍යයනය පොත් පෙළ... 

අපි ඉතිං හත වසරෙදි ඩයිනෝසර්ල ගැන ඉගෙන ගත්තට ජුරසික් පාක් චිත්‍රපටයට පිංසිද්දවෙන්ට දැං කොල්ලො කෙල්ලො අවුරුදු තුන හතර වෙද්දි ඩයිනෝසර්ල ගැන විසේසඥයො....මයෙ යාලුවගෙ පොඩි එකා..මයෙ අතිජාත කුඩා මිතුරා..ඒකත් එහෙමයි. ටී රෙක්ස් ගැන ඒකා නොදන්න මල ඉලව්වක් නෑ... 

" රවි අංකල්..අපි දෙන්න අද ටී රෙක්ස් බලමුද? " 

ඔන්න ඔහොම අහගෙනයි මයෙ කාමරේට එන්නෙ… 

" හා, බලමුකො ..හැබැයි ඔන්න විනාඩි පහලවයි හොඳද? මට තියනව වැඩක්….." 

ඔහොම කියල මම ජුරසික් පාක් ෆිල්ම් එක හරි ටී රෙක්ස් ගැන වෙන වැඩ සටහනක් හරි මගෙ ලැප් ටොප් එකේ දාල දෙනව.කොල්ල මගෙ පුටුවෙ ඉඳගෙන කටත් ඇරගෙන විනාඩි බාගෙන් වාගෙට වාව්..වාව්..කිය කිය ඔන්න ටී රෙක්ස් දිහා බලා ඉන්නව. මම එතනම ඇඳේ දිගාවෙලා මොකක් හරි පොතක් කියවනව.හිටපු ගමන් පොඩි එකා මගෙ පැත්තට හැරිල ප්‍රශ්න අහනව. 

" අංකල් ?????..." 

" හ්ම්ම්ම්...." 

මම පොතදිහා බලාගෙනම හූ මිටි තියනව. 

" අංකල්..කෝ ඉතිං අංකල් මේ පැත්ත බලන්නෙ නෑනෙ...." 

කොල්ලට හද්ද කුණුහබ්බෙං හිත යටිං බැණ බැණ මම පොත වහල දාල ඒ පැත්ත හැරෙනව... 

" ඇයි අංකල් සූ එකේ එහෙම ඩයිනෝසර්ල නැත්තෙ?...." 

උඹෙ මහ එකාගෙං ගිහිල්ල අහපිය ..මොනවද ආය එහෙනං?....යකෝ මේක මාර කෙළියක්නෙ...මම මොනවටද මුගෙ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ...එහෙම හිතුවට මම ඒ ටික වචන වලට හැරෙව්වෙ එහෙම නෑ..අනික පොඩි එකෙක්ට නොදන්න දෙයක් කියාදෙන එක වගෙ සතුටක් තවත් තියනවද? ඔන්න ඔහොම හිතල හිත සංසුං කරගෙන මම පොඩි එකා දිහාට හැරෙනව. 

" ඒ මේකනෙ පුතා..ඩයිනෝසර්ල හිටියෙ ගොඩක් ඈත කාලෙක...හුඟාක් ඉස්සර..දැං ඒ ගොල්ල නැතිවෙලා ගිහිල්ල…. ඒකයි සූ එකේ එහෙම එයාල නැත්තෙ." 

" ගොඩාක් ඉස්සර කියන්නෙ?...තාත්තිල පොඩි කාලෙටත් ඉස්සරද?..." 

උගෙ තාත්ති පොඩි කාලෙ තමයි ඒකා දන්න ඉස්සරම කාලෙ...හෙහ්...හෙහ් 

" හපොයි ඔව්නෙ...ඒ කාලෙටත් ගොඩාආආ......ක් ඉස්සර " 

මම ඇස් දෙකත් ලොකු කරගෙන කිව්වා. 

" ඒ කාලෙ කාර් එහෙම තිබ්බද? " 

" මොන පිස්සුද දරුවා..ඒ කාලෙ කාර් බස් තියා මිනිස්සුත් හිටියෙ නෑ…" 

" ඉතිං ටී රෙක්ස්ලා ඒ කාලෙ කෑවෙ මොනවද?..කාරුත් නැත්තං මිනිස්සුත් නැත්තං.." 

ඔන්න එතකොට තමයි මට මීටර් උනේ..පොඩ්ඩා මේ මොනවද කියන්නෙ කියල..ජුරසික් පාක් ෆිල්ම් එකේ තියනවනෙ ටී රෙක්ස් කාර් එකක් පෙරළගෙන හපන සීන් එකක් සහ මිනිස්සුංව කන එකක් එහෙම..පොඩි එකා හිතල තියෙන්නෙ ටී රෙක්ස්ලා කෑවෙ මිනිස්සුනුයි කාරුයි කියල 



" නෑ දරුවා..ඒ ෆිල්ම්ස්වල බොරුවට දාන එව්වනෙ..ටී රෙක්ස්ලා ඇත්තටම කෑවෙ වෙන ඩයිනෝසර්ලව.අර ඒ ෆිල්ම් එකේම පෙන්නන්නෙ එහෙම එව්ව.." 

" ආ...ඇත්ත තමයි..අර හයියෙං දුවන පොඩි ඩයිනසෝර්ලව අල්ලං කනව නේද? මට මතකයි..මට මතකයි.." 

කොළුව ඔලුවත් ඉහලට පහලට හොල්ල හොල්ල කිව්ව. 

ඒ ටී රෙක්ස් කතාව ඔන්න ඉවරයි..ඊට සතියකට දෙහෙකට පස් සෙ සිකුරාද දවසක මම දවල් කෑම එහෙම සප්පායං වෙල ඇඳේ පොඩි හාන්සියක් දාල ආතල් එකේ හිටියයි කියමුකො. මෙන්න දොර ඇරගෙන ආපි පොඩි එකා කාමරේට. ඇවිල්ල මගෙ ඇඳේම පැත්තක ඉඳ ගත්ත. 

" අංකල්... අනේ අංකල්…. මට කතන්දරයක් කියන්නකො...." 

මගෙ උරෙස්සෙං අල්ලල හොල්ලන ගමං කිව්ව. 

මොන කතංදරද බොල මේ වෙලාවට..මම මේ පොඩි ඇලට් එකක් ගහන්න හැදුවෙ. නිදිමත බේරෙනව ඇස් දෙකෙං මම එහෙම කිව්වෙ නෑ හිතුව විතරයි..කිව්වෙ මෙන්න මෙහෙම. 

" අනේ පුතේ මම කියන්නද? ඔයානෙ ඉස්කෝලෙ යන්නෙ..ඔයාට ඉස්කෝලෙදි මිස් කියල දුන්නු කතන්දරයක් කියන්නකො.... මම අහගෙන ඉන්නං " 

" ඇයි අංකල් ඉස්කෝලෙ යන කාලෙ කතන්දර කියල දුන්නෙ නැද්ද? " 

මේකා අහපි ඇස් දෙකත් ලොකු කරගෙන… 

" මොකෝ නැතුව කියල දුන්න...කියල දුන්න..ඒත් ඒ ගොඩාක් ඉස්සරනෙව, මට දැං එව්ව මතක නෑ.." 

" ගොඩාක් ඉස්සර කිව්වෙ?..." 

" අපෝ මම ඉස්කෝලෙ ගියෙ දරුවො ගොඩාආආආක් ඉස්සර…" 

" ආ....අර ටී රෙක්ස්ල හිටියෙ ..ඒ කාලෙද අංකල් ඉස්කෝලෙ ගියෙ? " 

ඇස් බෝල දෙකත් ලොකු කරගෙන අහපු විදිහට මට මැරෙන්ඩ හිනා..ඔන්න නිදිමතත් කොහෙං ගියාද නෑ... 

දන්නවනෙ මගෙ පරිකල්පන ශක්තිය ( Imagination ) හෙහ්, හෙහ්, අම්මට වූඩු..තාත්තට ගෝයා..... පරිකල්පනේ වැඩ කොරන්න ගත්ත ඕවර් ඩ්‍රයිව්. මම ඇඳේ දිගා වෙල හිටපු එකා ඔන්න කෙලින් වෙලා කොට්ටෙ ඇඳ වියලට හේත්තු කරල ඒකට වාරු උනා. 

" ඒ කාලෙ දරුවා මෙහෙමයි ඔන්න...ඔය ටී රෙක්ස්ල ඉන්නව නේද?...." 

මම කතාව පටංගත්තා. 

" හා ඉතිං?....." 

කොල්ලගෙ කටත් එක්ක ඇරුන අප්පල්ලෙ වාගෙ. ඌටත් ඔය බහුබූත කතා අහන්ට තියනවනං ඊට වඩා දෙයක් නෑ. කන්නෙ බොන්නෙ නැතුව අහගෙන ඉඳී කටත් ඇරගෙන.ඌත් ඇවිල්ල මගෙ කොට්ටෙම පැත්තකිං ඔලුව තියාගෙන මම හිටපු විදිහටම කකුල් දිගඇරගත්ත. 

" අපෙ ගෙදර ගාවම තිබ්බ මහ විසාල කැලයක්.." 

" හා……..ඉතිං???? " 

කොල්ල කටත් ඇරගෙන අහගෙන ඉන්නව. 

" ඔය කැලේ හිටිය ටී රෙක්ස්ල හතර පස් දෙනෙක්…" 

පොඩි එකාට මොකවත් කියාගන්ට බෑ..මා දිහා බලා ඉන්නව ඇසුත් ජිල්බෝල වගෙ කරගෙන.. 

" නෑ????..අංකල් දැක්කද ටී රෙක්ස්ලව? …" 

" දැක්කදත් අහනව...ඔන්න උදේට ඉස්කෝලෙ පටන් ගන්නෙ සෙවන් තර්ටි වලටනෙ. " 

ඉස්කෝලෙ ඉංග්ලිශ් මීඩියම් ඉගෙන ගන්න නිසා මිනිහට එහෙම කිව්වම තේරුම් ගන්න ලේසියි. 

" ඉතිං සෙවන් තර්ටි වලට ඉස්කෝලෙ පටන් ගත්තට මම සික්ස් තර්ටි වගෙ වෙනකොට ගෙදරිං පිටත් වෙනව. " 

එහෙම කියල මම කතාව නවත්තල කොල්ලගෙ මූණ බලනව. 

" ඒ මොකද එහෙම කලිං යන්නෙ? " 

මම බලාපොරොත්තු වුන විදිහටම පොඩ්ඩ අහනව. 

" ඒ මොකද දන්නවද?....." 

මම කටහඬ බාල කරනව ත්‍රාසජනක ස්වරයකට..... 

" ටී රෙක්ස්ල ඉන්නව මම එනකල් බලාගෙන අර කැළේ ගස් අස්සෙ හැංගිල…" 

" ඒ මොකටද අංකල්?...." 

කොල්ලත් කතාකරන්නෙ ඇහෙන නෑහෙන ගාණට… 

" වෙන මොකටවත් නෙවෙයි. එයාල බලා ඉන්නෙ මාව අල්ලං කන්ට…" 

" Oh, Coooool….ඉතීඊඊඊඊඊං????? …….ඔයා කොහොමද බේරෙන්නෙ?...." 

" හහ්, ටී රෙක්ස්ල කොහෙද මාව අල්ල ගන්නෙ?.....මම කට්ටයි එයාලට වැඩිය. " 

" ඉතිං??? අංකල් මොකද කරන්නෙ?...." 

" මම ගෙදරිං යන්නෙ බැදපු චිකන් කෑලි තුන හතරක් ෂොපිං බෑග් එහෙම ඔතාගෙන. " 

" ඈඈඈ......??? අර මොකටද? " 

" අර මොකටද කියන්නෙ ටී රෙක්ස් මාව කන්න එනව ඔන්න පැනගෙන. එතකොටම මම කරන්නෙ අර චිකන් කෑල්ලක් වීසි කරනව ඈතට. ඌ ඒකෙ සුවඳට ඒ පස්සෙ යනකොට මම දුවල යනව ඉස්කොලෙට. " 

" එතකොට තව ටී රෙක්ස් කෙනෙක් ආවොත් ? " 

" ඇයි මම කිව්වෙ මා ගාව චිකන් කෑලි තුන හතරක් තියනවය කියල…...මම කරන්නෙ තව චිකන් කෑල්ලක් විසි කරනව...තේරුණෙයි? " 

" ඒත් ...ඒත්..ටී රෙක්ස්ල කන්නෙ ගෝට්ස්ලනෙ…" 

ජුරසික් පාක් ෆිල්ම් එකේ ටී රෙක්ස් එළුවෙක් කන සීන් එකක් තියනව. පොඩි එකාට ඒක මතකයි.. 

" හරි හරි, එහෙම තිබ්බට මට ඉස්කෝලෙ යනකොට එළුවො අරං යන්ට බෑනෙ. ඒ නිසා මම කරන්නෙ චිකන් අරං යන එක. " 

" එතකොට ඉස්කෝලෙ ඇරිල ආපහු එද්දි? …." 

" ආ....ඒ වෙලාවට ප්‍රශ්නයක් නෑ...දවල් ටුවෙල්…. ටුවෙල් තර්ටි වගෙ වෙනකොට ටී රෙක්ස්ල බුදියනව. ඉතිං ඒ වලාවට මම හෙමීට ගෙදර එනව කරදරයක් නැතුව....හෙහ්, හෙහ්, " 

පොඩි එකාට මාර සැට...කට කණේ තියාගෙන මා දිහා බලා ඉන්නෙ හරියට මම මේ ලෝකෙ ඉන්න නොම්මර එකේ වීරවරය කියල හිතාගෙන ...හෙහ්, හෙහ්... 

" හරි පුතා දැන් හරිනෙ ටී රෙක්ස් ගැන විස්තරේ..හොඳ ළමය වගෙ දැං එළියට යනවද? අංකල් සුට්ටක් දොයියන්නයි හදන්නෙ…" 

" හා…" 

අපරාදෙ කියන්න බෑ..කොල්ලා කියපු ගමං ඇඳෙං බැස්ස… 

" හෙට ස්කූල් ගිහාම අපෙ මැඩම්ට කියනව මම ටී රෙක්ස්ල අංකල්ව කන්ට පන්නපු හැටි...." 

" හෑ?????.." 

ඔන්න මට ආයෙම නැඟිටුනා..කෙළිය නේද පහන් කන්ද පාමුලටම..මේකා හෙට ගිහිල්ල මම මේ කියපු අහස පොළව නුහූලන පට්ට පල් බොරු කතාව පංතියෙ ටීචර් එක්ක කිව්වොත් වසල හමාරයි. ටීචර් කෝල් කරල මගෙ යාලුවගෙං අහන්ට බැරිනෑ මොනවද මේ පොඩි එකාට කියල දෙන විකාර කියල..මල කෙලි හතයි එහෙම උනොත්. 

" මේ මේ දරුවො..මෙහෙට එන්ටකො....ඔය මම කියල දුන්නෙ ටී රෙක්ස් කතාව කාටවත් කියන්ට එපා හොඳද? අර ජුරසික් පාක් ෆිල්ම් එක වගෙ තමයි මේකතාවත් මම හදපු කතාවක්...මම හිතාගෙන ඉන්නෙ ඒකෙං ෆිල්ම් එකක් හදන්න. මම ඔයාට දෙන්නංකො ටී රෙක්ස් විදිහට ඇක්ට් කරන්න.....ඉතිං ඔන්න ඔයයි මමයි විතරමයි ඒ කතාව දන්නෙ. වෙන කාටවත් කියන්ට ඔට්ටු නෑ හොඳේ? " 

ඔන්න ඔහොම කියලයි යාන්තමට එතනිනුත් ඔළු ගෙඩියෙයි කියන එක බේර ගත්තෙ....හෙහ්, හෙහ්. 

හරි ඒ අතුරු කතාව අහවරයි. දැං එමු බලන්ට ප්‍රධාන මාතෘකාවට..ඒ කිව්වෙ අපෙ මේ අති ගෞරවාර්හ ධුරන්ධර, සත් ගුණවත් පරාර්ථකාමී ගුරුවරී මහත්මිය සමඟ ගෙවූ මගේ දිවිය..ආන්න ඒකට…. 

ගුරුවරියක් කසාද බඳින්න බහුතරයක් පිරිමි කැමති මොකද දන්නවද? එකහමාරට වැඩ ඉවරයි. ඊට පස් සෙ ගෙදර...ඒ එක්කම අවුරුද්දකට මාස තුනක්වත් නිවාඩු..ඔන්න ඔය හින්ද..හුහ්, ඒකට අපෙ උන්දැ.... 

බැඳල ඔන්නම් මාසයක් එන්න ඇති ඉස්කෝලෙ ඇරිල වෙලාවට ගෙදර. 

" මේ මම මේ සුමානෙ හවස ඉස්කෝලෙං පස් සෙ ඉඳලයි එන්නෙ. ඩිස්ට්‍රික්ට් මීට් එක තියනවනෙ. කොල්ලො කෙල්ලො ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරවන්න ඕන. " 

" හා, හා, ඔයා ඒ වැඩේ කරන්න. තමන්ගෙ වැඩේ හරියට කරන්න එපාය. " 

තමන් මාසෙ අන්තිමට ගන්න පඩියට හරියන්න ඒ ගන්න සල්ලිවලට ලැජ්ජාවක් නොවෙන තමන්ට පැවරිලා තියෙන රාජකාරිය උපරිම මට්ටමින් කරන්න ඕනය කියල මමත් එකහෙලාම විශ්වාස කරපු සහ එහෙම ක්‍රියාකරපු නිසා මගෙං එයාට වචනෙකින් වත් කිසිම බාධාවක් උනේ නෑ. උදව්වක් සහ ධෛර්යයක් මිසක. 

හප්පච්චියේ ඉබ්බ දියට දාන්ට හදනකොට දැන් නෑවෙ කිව්වලු. මුන්දැටත් මදැයි ඕක..ඊට පස් සෙ ඉතිං සතියකට කොහොමත් දවස් දෙකක් තුනක්වත් ගෙදර එනකොට හවස පහ නැත්තං පහමාරයි. 

දවසක් ඔන්න අපි දෙන්න රෑට කනගමන් .... 

" මේ අනිද්දට කුරුණෑගල තියනව ඒජ් ගෲප් ස්කූල්ස් ඇත්ලටික් මීට් එක. අපෙ ඉස්කෝලෙ පොඩි එකෙකුත් තේරිල අන්ඩර් ෆෝටීන් මීටර් පණහට. " 

" ඉතිං?...... සික් මුංගෙ පාං මෙලොව රහක් නෑ. කටේදිම පිටි ටික ගුලි වෙනව පාප්ප වගෙ…" 

එහෙම කිව්වට මම ඒත් එක්කම…… 

" දෙන්ඩකො අනේ තව පාං කෑල්ලක්. ඔයාගෙ පොල් සම්බෝලෙ නම් මරු, දෙහි එහෙම ගානට…" 

එහෙමත් කිව්ව අනේ පව් උන්දැගෙ කට කණේ... 

" ඉතිං මොකක්ද අර පොඩි එකෙක් ගැන කියන්ට ආව නේද? " 

" ආ..ඔව්..ඔව්..කොල්ලගෙ නම අසිත.....ගෙවල් තියෙන්නෙ ඉස්කෝලෙ ඉඳල කිලෝමීටර් හතරක් විතර ගම මැද්දෑවෙ. අනික මේ දවස්වල පාන්දර අලි ඉන්නවලු පාරෙ. ඒ නිසා වෙලාවට පාරට එන්ට බැරිවෙයිලු. උදේ නමයට පිට්ටනියෙ ඉන්ට ඕන. ඒ නිසා මම හිතාගෙන ඉන්නෙ මෙහෙම කරන්ට.හෙට පොඩි එකා මෙහෙ එක්ක ඇවිල්ල රෑට නතරකරගෙන ඉඳල අනිද්ද උදෙම්ම පහමාරෙ බස් එකේ දඹුල්ලට ගිහිල්ල එතනිං කුරුණෑගල් යන්ට. " 

" හරි හරි ඒකට මක් වෙනවද?..එක්ක එන්ට එක්ක එන්ට..පව්නෙ පොඩි එකා...එහෙමවත් උදව්වක් කරන්ට තියේනං කොච්චර එකක්ද? " 

මම බොහොම උනන්දුවෙන් කිව්වා. 


මතු සම්බන්ධයි...... 

46 comments:

  1. ඇත්තට දැන් ඉන්න පොඩි එවුන් එක්ක නම් බේරෙන්න බෑ. උන් අහන ප්‍රශ්න වලට අපි කැරකිලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත :-)

      Delete
    2. පිණිබිඳු සහ දිලිනි...

      හෙහ්, හෙහ්, ඒකනෙ කියන්නෙ..අපිට වැඩිය දන්නව උං...අපේ කාලෙ වගේ නෙවෙයිනෙ අනේ..අපිට මොනව හරි දැනගන්න තිබ්බෙ එක්කො පත්තර, රේඩියෝ, පොත්පත් නැත්තං වැඩිහිටියෙක්ගෙං අහගන්න එක...දැං මොනවද..ගූගල් සර්ච් ගහල ඊට පස්සෙ අකුරු පහක් ගැහුවනං කෙලින්ම මුලු ලෝකෙම දැනුම පය පාමුළ....

      මේ හයේ පංතියෙ කොලුවෙක් ගැන කතාවක්..මයෙ යාලුවෙක්ගෙ පුතෙක්..කිව්වම මොකද?...හෙහ්, හෙහ්

      " තාත්තෙ , ටීචර් කිව්වා අපෙ පවුල ගැන විස්තරයක් ලියාගෙන එන්ට කියල හෙට එනකොට…"

      " හරි දැං පුතාට මොනවද දැනගන්ට ඕන? "'

      " මම ඉපදුනෙ කොහොමද?..."

      ඔන්න තාත්ත කල්පනා කලා මොකද දැං කියන්නෙ කියල. ඇත්ත විස්තරේ කියන්නෙ කොහොමෙයි මේ පොඩි එකාට...හරි මෙහෙම කියමු...

      " ආ..පුතා අපිට ..ඒ කියන්නෙ අම්මටයි මටයි කොකෙක් ගෙනල්ල දුන්නනෙ…"

      " එතකොට තාත්ත ඉපදුනේ? "

      " මාවත් එහෙමයි..සීයට කොකෙක් ගෙනල්ල දීල. "

      " එතකොට සීයත් එහෙමද? "

      " ඔව්, ඔව්, සීයත් එහෙම තමයි "

      තාත්ත දැක්ක කොල්ල පෑනත් කටේ ගහගෙන බොහොම බර කල්පනාවක ගිලිල ඉන්නව එදා මුලු හවසම.

      පොඩි එකා නිදාගන්ට ගියාට පස් සෙ තාත්ත හොරෙම්ම උගෙ පොත අරගෙන බැලුව මොනවද මූ ලියල තියෙන්නෙ කියල.

      අපේ පවුලේ පරම්පරා තුනකම ස්වභාවික ලෙස පිරිමි දරුවන් ඉපදී නැත.මේ සඳහා හේතුවූ කාරණා පිළිබඳව එනම් ස්වාභාවික ලිංගික ක්‍රියාවලියෙහි යෙදීමෙන් වැළකී සිටියේ කුමක් නිසාද යන්න පිළිබඳව වැඩි දුරටත් කරුණු සොය බැලිය යුතුය.

      Delete
    3. කියල වැඩක් නෑ පොඩිවුන් එක්ක වැඩ කරද්දිනම්. දවසක් අපේ ළමා සමාජ කරන ගර්ල් කෙනෙක්ගෙන් පොඩි එකෙක් අහල තියෙනව බල්ලො දෙන්නෙක්ව(කපල් එකක්) පෙන්නල අක්කේ අක්කේ අර මොකද අර බල්ලො දෙන්න කරන්නෙ කියල. දැන් ඉතින් දීපන්කො උත්තර. අර ගර්ල්ටත් කට උත්තර නැහැල්ලු. පස්සෙ උන් දෙන්න රණ්ඩු කරනව කියල යන්තන් ෂේප් වෙලා.

      Delete
  2. මොකද්දෝ දේවාලයක් රවි අයියගේ හිසේ කඩා පාත්වෙන ලකුණු දැනේ...

    කාරුයි මිනිස්සුයි නැත්නම් උන් කෑවේ මොනවද... හහ් හහ් නියම ප්‍රශ්නේ....

    ReplyDelete
    Replies
    1. තිසර,

      කොයි දේවාලෙද බං?....දේවාල කීපයක් තියනවනෙ...

      1. වඳින්න ගිය දේවාලෙ.
      2. දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්....
      3. ආදර දෙවොලේ සීනු හඬින්.....
      4. අර කපුව මොනවද කලාට කමක් නැති දේවාලෙ.
      5. නෙතු නතර වූ දෙවොල ඔබේ හද ලඟම විය.

      මෙව්වයිං කෝකද දැං මයෙ ඉහේ කඩාපාත් වෙන්නෙ? ඈ බොල?

      Delete
  3. ඔය වයස තමා කිසිම ලජ්ජාවකින් තොරව ඕනම දෙයක් ප්‍රශ්න කරන වයස. ඒ ඒ වෙලාවට අපට මල පැන්නත් උන්ට නියම උත්තර දෙන්න ඕන. නැත්නං එයාලා මොට වෙනවා.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. අපේ අල්ලපු ගෙදර හිටිය පොඩි එකෙක්. දැන් නං ලොකුයි. ඉස්සර අපේ ගෙදර ආවම ප්‍රශ්න කෝටියයි. උත්තර දුන්නම අහනව "ඒ මොකද අයියේ එහෙම වෙන්නෙ?" කියල.

      Delete
    2. නලීන්,

      පොඩි එවුන් අහන හැමදේටම ඇත්තම පුළුවන් විදිහට කියන එක හොඳයි. ඒත් එහෙම කරන්න ගිහාම මේ වගෙ ටිංකිරි පාරවලුත් ගෑවෙනව ඉඳ හිටල. මේ කතාව සිංහලෙන් ලියනකොට ඔරිජිනල් ගතිය එන එකක් නෑ කියල හිතුන නිසා ඉංග්‍රීසියෙන්ම ලියන්නං...

      My six years old son came to me one evening waving a school note book and shouting at the top of his voice……

      " Dad, Our teacher wants us all to get an answer to a question by tomorrow. The question is " Where did you come from ? " can you help me? "

      Well I was really in a difficult position , how can you explain to a six years old about sexuality, intercourse & child birth. But I had to do it somehow didn't I?...who else would do it for him.

      So taking a deep breath I said " okay son, come here & sit beside me. I would explain to you everything.... man to man , nothing held back. from A to Z.. "

      So I told him everything there to know about life, from Birds to Bees and Gender differences, Love, sexuality, conceiving, child birth and every thing. He listened with out even once uttering a word and at the end of it all just said " Wow, isn't that awesome? "

      So with a red face I finished and asked him to write what I told him in his own words," Gee Dad thanks…" he said and went away still a little dazed to be sure,

      Next day he came again waving his note book " Dad, our teacher asked me who told you all this and I told her that's my Dad, then she wrote something in my book and I think its for you…"

      For me?.... I was curious all right…And at the bottom of my sons essay about facts of life She has written in red capital letters " I ONLY WANTED TO KNOW YOUR ADDRESS "

      Delete
  4. අනේ අම්මපා මේ වගේ බොරු කතන්දර කොහෙන්ද කටට එන්නේ...??

    ReplyDelete
    Replies
    1. බොරු?..ඔන්න කිව්ව..ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ළමයා ඒකට කියන්නෙ ප..රි..ක..ල්..ප...න ශක්තිය..තේරුණෙයි? :) :)

      Delete
    2. @ සඳාල
      මෙච්චර කාලෙකට නිදහස් සිතුවිලි පාඨකයෝ අහපු නැති පුරස්නයක් ඔබතුමී කනට ගැහුව වගේ අහලා දාපු එකට නම් මගේ අමනාපය..:):)
      ඔය ප්‍රශ්නේ අපි මෙච්චර කල් අහන්නැතුව හිටියේ ඇයි දන්නවද?

      එක්කෝ ඕන්නෑ ඒ වගක්..!! අර අහක යන “කවුද“ “කොහෙද“ දාගත්ත වගේ කියනවනේ..!!

      Delete
    3. රූ,

      අඩේ පිස්සුද බං?....එහෙම ගාණක් නෑ මට...බොලා ඔය ඕන එකක් කියපල්ල...හිත හොඳිං කියන එව්වය කියල මම දන්නව නෙව..නෝ ප්‍රොබ්ලම් ඇටෝල්...හෙහ්, හෙහ්,

      Delete
  5. තව පොඩ්ඩෙන් පොඩි එකාට රවියි ටී රෙක්සුයි එකට ඉඳල ගත්ත ෆොටෝ එහෙකුත් පෙන්නන්න වෙනව. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්..අම්මප මට එහෙමත් හිතුන....පොත් බෑග් එකත් කරේ දාගෙන ටී රෙක්ස්ගෙ පිටේ නැඟල මම ඉස්කෝලෙට යනව. ළමයි, ගුරුවරු ඔක්කොම බිම ඉඳල කට ඇරගෙන බලාගෙන ඉන්නව..මගෙ යාලුවෙක් ඉන්නව ෆොටෝෂොප් විස්මකර්මයෙක්..ඌට කියල එහෙම එකක් හදවල අර පොඩ්ඩට පෙන්නුවනං උගෙ හුස්මත් එක්ක නතර වෙයි....

      Wow..Cool…it that really you Ravi uncle? Isn't it awesome?......ඒකා අහයි අනිවාර්යයෙන්ම කටත් ඇරගෙන...:)

      Delete
  6. //ඌටත් ඔය බහුබූත කතා අහන්ට තියනවනං ඊට වඩා දෙයක් නෑ. කන්නෙ බොන්නෙ නැතුව අහගෙන ඉඳී කටත් ඇරගෙන.//

    අපි වගේම ඇති ඒකත්... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරු,

      අපි ඔක්කොම තාමත් ළමයි තමයි බං පපුව ඇතුලෙං...:)

      Delete
  7. පහු ගිය ටිකේ මම ඉතින් ලංකාවෙනෙ.. අනේ ඉතින් ඔය මොකක් හරි බ්ලොග් කෑල්ලක් කියවන්න කියලා ලැප් එක අතට ගන්නවා නේද, ඕන් එතකොට අපේ මෑනුත් එනවා ටී රෙක්ස් බලන්න. තව ඇන්ග්‍රි බර්ඩ්, වූඩි වුඩ් පෙකර්, ලෙගෝ එකී නොකී ලයිස්තුවක්ම තියනවා මම ලැප් එක අතට ගත්තොත් මිනිහටත් බලන්න.. අනිත් එක එයාට ඔය කිව්වා වගේ කතන්දර එහෙම කියන්න බෑ.. මම කතාවෙ බාගයක් කියාගෙන යනකොට මිනිහා මගෙන් කතාව බලෙන් උදුර්ගෙන ඒක එතන ඉදන් එයාට ඕන විදිහට කියනවා.. ඒකෙදි ටී රෙක්ස්ලයි, වූඩිලයි, සිංහයොයි, කොටියි, උඩින් ගිය ඉබ්බොයි ඔක්කොම කලවම් වෙලා කතා අච්චාරුවක් හැදෙනවා.. ඊට පස්සෙ මගේ කතාව කැලේ.. හැක් හැක්..

    ඈ බන් රවී අයියේ උඹලා ඇවිල්ලා 70 දශකයේ කොල්ලො නේද ? ඒ කාලෙ කොහෙද සමාජ අධ්‍යයනය කියලා විශයක් තිබ්බෙ ?

    ReplyDelete
    Replies
    1. හෆොයි මේ පැත්තෙත් ඉන්නෝ ඔහොම පොඩි එකෙක්. එකෙක් නෙවි එකියක්. හික්! මම කතාව කියන්ට පටන් ගත්තම එයා බාගයක් ගිහාම මාව හරිගස්සනෝ. මෙන්න මෙහෙම:

      මම: ඉතින් ඊට පස්සේ හාවට නින්ද ගියා රේස් එක මගදී හොඳද? ඒ අතරේ ඉබ්බා හිමීට හිමීට-
      පොඩි එකී: නෑ ආන්ටි හාවා එයාගේ ෆෝන් එකේ එලාම් එක තියලානේ නිදා ගත්තේ.
      මම: හා එලාම් එක තිබ්බට එයාට ඒක වැදෙන සද්දේ ඇහිලා නෑනේ.
      පොඩි එකී: ඒ උනාට එයාට මම කෝල් කරලා කිව්වනේ දැන් නැගිටින්න කියල. අනිත් එක ඉබ්බා නෝටි නිසා මම එයාව කාමරේට දාල දොර වැහුවනේ.
      මම: @#$##@$%%!!??

      :D

      Delete
    2. සෙන්නා,

      / ඈ බන් රවී අයියේ උඹලා ඇවිල්ලා 70 දශකයේ කොල්ලො නේද ? ඒ කාලෙ කොහෙද සමාජ අධ්‍යයනය කියලා විශයක් තිබ්බෙ ? /

      ඔන්න ඉතිං ...විකාර කියවනව..:)

      සිරිමා ආණ්ඩුවෙං ( 70 - 77 ) ඕ - ලෙවල් ඒ - ලෙවල් ඔක්කොම කැන්සල් කරල අළුත්ම විබාග දෙකක් අඳුන්වල දුන්නනෙ.N.C.G.E. සහ H.N.C.E. කියල. N.C.G.E. විභාගෙ පැවැත්වුනෙ 9 වසර අවසානයෙ.

      ඒ විභාග වලට නියමිත නව විෂය නිර්දේශයකුත් සම්පාදනය කලා. ඒකට මුල් උනේ එතකොට හිටපු අධ්‍යාපන ඇමති සහ ලේකම්..නම් වශයෙන් නම් අල්ජාජ් බදිඋද්දීන් මහ්මූඩ් සහ ආචාර්ය ප්‍රේමදාස උඩගම...ඒ විෂය නිර්දේශයෙ 6,7, 8 සහ 9 වසර හතරටම සමාජ අධ්‍යයනය කියල විෂයක් තිබුණ.

      මම හිතන්නෙ ඊට කලින් ඕ ලෙවල් වලට එහෙම විෂයක් තිබ්බෙ නෑ. ඒත් 1977 යූ.එන්.පී.. ආණ්ඩුව ආයෙම ඕ ලෙවල් ක්‍රියාත්මක කලාට සමාජ අධ්‍යයනය විෂය එහෙම්මම තියෙන්ඩ ඇරිය.

      Delete
    3. අඩේ එහෙමද වෙලා තියෙන්නෙ ?? මම දැනගෙන උන්නෙ ජේ.ආර්. මහත්තයා ඇවිල්ලා ඉතිහසයට එහෙම කෙලලා, සමාජ අධ්‍යනය කියලා අච්චාරුවක් හදුන්වලා දුන්නා කියලා. එතකොට සිරිමා ආච්චිද සමාජ අධ්‍යනය හඳුන්වලා දුන්නෙත්..එතකොට ඉතිහාසය විශ‍යක් වශයෙන් උගන්වන එක නැවතුනෙ කොයි කාලෙද ? මුන්ව ටී රෙක්ස්ම කන්න එපැයි නැද්ද :D

      Delete
    4. ආම්ස්....

      පොඩි එකී: ඒ උනාට එයාට මම කෝල් කරලා කිව්වනේ දැන් නැගිටින්න කියල. අනිත් එක ඉබ්බා නෝටි නිසා මම එයාව කාමරේට දාල දොර වැහුවනේ.

      මම: @#$##@$%%!!?? [ මේ උඹ ඉබ්බ කාමරේට දාල දොර වහන්ට බැරිනං ඌ එක්ක ඕන මඟුලක් කර ගනිං...ආය එහෙම ගේට්ටුවෙං මෙහාට එක අඩියක් තියල තිබ්බොත් කකුල් කෙටි දෙක කඩනව බෝංචි කඩන්නැහෙ ..උඹට තේරුණාද? ]

      Delete
    5. සෙන්නා,

      / ..එතකොට ඉතිහාසය විශ‍යක් වශයෙන් උගන්වන එක නැවතුනෙ කොයි කාලෙද ? /

      මම හිතන්නෙ මලේ 72 විතර. ඔය නව විෂය නිර්දේශය ක්‍රියාත්මක උනේ ඒ අවුරුද්දෙ ඉඳල. ඉතිහාසය , භූගෝලය සහ ප්‍රජාචාරය කියල කලින් තිබ්බ විෂයයන් එකට කරල තමයි සමාජ අධ්‍යයනය හඳුන්වල දුන්නෙ. ආය ප්‍රාග් වෘත්තිය කියල එක එක රැකියාවල් සම්බන්ධ මූලික දැනුමක් ලබාදෙන විෂයයකුත් තිබ්බ. ලී වැඩ, වඩු වැඩ, ලියවන පට්ටල් වගෙ...අපිට තිබ්බෙ මෝටර් යාන්ත්‍රික ශිල්පය. ඒකනම් මරු බොල..කාර් එකක් වැඩ කරන්නෙ කොහොමද කියල අයන්නෙ ඉඳල කියල දුන්න.

      Delete
  8. මටත් මතක් වුනේ ඉස්සර අපේ ගෙදර එහා පැත්තේ ගෙදර පොඩි ගෑනු ළමයෙක් හිටියා.. බුදු අම්මෝ... ප්‍රශ්න කෝටියයි ... වෙලාවක අහනවා බල්බ් පත්තු වෙන්නේ කොහොමද කියලා... ඉතින් මට මළ පැනල හරි විදියම කියනවා.. ඒ ගමන ඒ කෙල්ල ඒක අහගෙන ඉඳලා ආයෙම අහනවා ඒක කොහොමද වෙන්නේ කියලා.. බැරිම තැන මම ගෙදර යන්න කියනවා.. ටිකක් කල් යනකොට මම ඒ ළමයා එනවාටත් බයයි...hhhh hhhh :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      සික්...එහෙම කරන එක වස වැරැද්දයි නෙව බොලේ...කියල දෙන්න කියල දෙන්න සවිස්තරව...:) :)

      Delete
  9. වෙලාවට මම පොඩි උන්ට යකා මාක් එක දාගෙන ඉන්නෙ... ළඟටවත් එන්නෙ නෑ :)
    අපරාදෙ හැබැයි, පොඩි එකාගෙ ටීචර්ටත් ටී රෙක්ස් ගැන කියල දෙන්න තිබුන චාන්ස් එක නැති කරගත්තෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි කෝ දැං වාං පතුල් සීන් එක?..

      Delete
    2. සාතන්,

      / වෙලාවට මම පොඩි උන්ට යකා මාක් එක දාගෙන ඉන්නෙ... ළඟටවත් එන්නෙ නෑ :) /

      අඩේ..පව් බොල...මට නම් හිතෙන්නෙ උඹ පොඩි එවුං බය කරගෙන ඉන්නෙ වෙන දේකට...හෙහ්, හෙහ්,

      / ඒක නෙමෙයි කෝ දැං වාං පතුල් සීන් එක?.. /

      ලියනව ලියනව ඒකත් ලියනව...:)

      Delete
  10. මේ දැනට අවුරුද්දකට එහා තරම රන්දිල්ගෙ වියුණු සටහනකට මම ලියපු ප්‍රතිචාරයක්..පොඩි එවුං ගැන බොහොම කතාවෙන හින්ද මෙතනට ආයෙම ඒකත් දාමුය කියල හිතුන.හෙහ්, හෙහ්...

    නුවර පෙරහැරට ඩියුටි දානවනෙ පොලෝසියෙ කස්ටිය....දුර බැහැරින් තමයි මේ අය එන්නෙ පෙරහැර කාලෙට...පෙරහැර ඉවර උනත් බොහෝවිට එළිවෙනකල් රාළහාමිල ඒ දාපු තැන් වලම ඉන්නව ට්‍රාන්ස්පෝට් එක එනකල් නැවතිල ඉන්න තැන් වලට යන්න බලාගෙන....ඔන්න එක පාරක් අපේ කතානායක රාළහාමිටත් මේ සන්තෑසිය උනා...එලිවෙනකල් බලා ඉඳල බැරිම තැන පයින්ම පිටත් උනා නවාතැන් පොලට යන්ට...නවාතැන් දීල තිබ්බෙ ඔය පේරාදෙණිය කිට්ටුව ඉස්කෝලෙක කියමුකො....

    ඔන්න ඉතින් රාළහාමි යනව පයින්ම...දැන් මනුස්සයට හරිම තෙහෙට්ටුයි...නිදිමතයි...ඒ මදිවට හරියට කෑමකුත් නෑ...යකා ඔළුව උඩ තියාගෙන තමයි යන්නෙ....

    ඒ ඉස්කෝලෙ කිට්ටුව තියනව ඔන්න එක ගෙදරක්....ඔය ප්‍රස්තුත අන්දරයෙ ඉන්න ජාතියෙ ළමයෙක් තමයි ඔය ගෙදරත් ඉන්නෙ.....ඔන්න ළමයගෙ අම්ම බත් පිඟානත් අරගෙන මිදුල පුරා යනව පස්ස පාරෙ...

    '' අනේ දුවේ, මේ බත් කට විතරක් කන්නකො...මයෙ හොඳ දුව වාගෙ....අනේ කිව්වම අහල කන්නකො...''

    මොන?????...

    '' බෑ, බෑ..බෑ කිව්වොත් බෑ....කන්නෙම නෑ...''

    පොඩි එකා දැන් ගහක් උඩ නැඟල බෙරිහන් දෙනව...අම්ම බත් පිඟානත් අරගෙන ගහ යට....

    ඔන්න ඔය වෙලාවෙ තමයි අපේ කතානායක රාළහාමි ( Ho. Speaker the police constable ) පාරෙ යනව මේ අම්ම දැක්කෙ...අනේ මේ අම්මගෙ ඉහේ මලක් නෙවෙයි මල් පොකුරක්ම පිපුන...රාලහාමිගෙ මූඩ් එක ගැන දැනගන්ට අම්මට දිවැස් තියනවය..නෑනෙ...

    අනේ බලන්න සුපින්වතුනි ....සිදුවූ විපැත්තියක මහත....:( :(

    නිවෙස අසලින් ගමන් ගන්නා පොලිස් නිලදරුවා දුටු ඒ මෑණියෝ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියේ, මේ නම් දෙවියන් විසින් මවෙත මේ මොහොතේ එවන ලද්දෙකු වේදැයි සිතා වහා ඔහු අමතා මෙසේ පැවසුවාය

    '' අනේ බලන්න රාළහාමි...මේ ළමයා බත් කන්නෙම නෑනෙ....අනේ හොඳ රාළහාමි වගෙ ටිකක් බය කරන්නකෝ.....'' පවසමින් තොඳොල් වූවාය.

    නිදිවර්ජිතව කල්ගෙවීමෙන්ද සාගින්නෙන්ද එසේම ගමන් විඩාවෙන්ද පීඩිතව හුන් අප කථානායක තෙම මෙබසින් දණ්ඩෙන් පහරලද ආශිර්විෂයකු මෙන් කෝපාවිෂ්ඨ වූවාහු අහර පිළිකෙව් කල දැරිය නැඟීසිටි රුක් මුලට ගොස් දෑත් ඉණට තබා ගත්තේ හිස ඔසොවා දැරිය දෙස ගිණි පුළිඟු විහිදෙන දෑසින් මොහොතක් බලා සිට හාත්පස වෙවුල්වා යන හඳින් මෙසේ ගර්ජනය කලාහුය.

    '' මේ උඹ මගෙන් ............නැතුව ගහෙන් බැහැල බත් ටික කනවද නැද්ද? නැත්නම් උඹටයි උඹෙ අම්මටයි දෙන්නටම...........බලාගනිං, ''

    අනේ අර අහිංසක කෙල්ල ගහෙන් බැස්ස නෙවෙයි.....වැටුන බිමට....පව් දෙයියනේ..:( :(

    අම්ම රාළහාමි දිහාවෙ ඇස් ලොකු කරගෙන බලා ඉඳල මෙහෙම කිව්ව..

    '' ඉස්..ඉස්...ඉස්තුතියි රාලහාමි...රාලහාමි යන්න එහෙනම්...බබා නෙවෙයි මමත් බය උනා...... ''

    හැබැයි ඇස්වහක් කටවහක් නෑ එදායින් පස්සෙ ළමයා බත් කනව ඇටයක් ඉතුරු නොකර....'' මතකද අර පොලිස්....'' කියල විතරයි කියන්ට තියෙන්නෙ...

    ඉතිං ඔය ළමා මනෝ විද්‍යාඥයො කියල කියන කස්ටිය නම් මේ ගැන රටේ නැති බූත කියයි...ඒත් අවසාන විග්‍රහයෙදි කියන්ට තියෙන්නෙ බත් ටික ළමයගෙ බඩට යනව නම් ඒ ගිය මොන විදිහටද කියල වැදගත් නෑ කියල තමයි.....

    ReplyDelete
  11. Replies
    1. ස්තූතියි ඇනෝ..අපූරු කතා ටික.... :)

      Delete
  12. මචං ඔය අනූ ගනං වල මුලද කොහෙද ගියා සිරිමල් කියලා චරිතයක් ඉන්න ටෙලියක්. සිරිමල්ලා අර සරමයි ,එක උරෙස්සකට නිකං සපත්තු ලේස් එකක් වගේ එකකින් ගට ගහන හැට්ටයක් වගේ එකකුයි ඇඳගෙන තමයි ඉස්කෝලෙ යන්නේ. මගේ දුව ඇහුවනේ බං, තාත්තත් පොඩි කාලේ ඉස්කෝලෙ ගියේ අර වගේ හැට්ටයක් ඇඳගෙනද කියලා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      මචෝ..ඒ ටෙලිය ගැනනං මතකයක් නැත. ඒත් අඹ යාළුවෝ ටෙලි චිත්‍රපටයෙ නිමල් ගමේ ඉස්කෝලෙට ඇඳං යන්නෙ ඔන්න ඔය ජාතියෙ උරයක් පලාපු බැනියමක්.

      විලම්බීත පොතෙත් මට මටකයි ඔය පලාපු බැනියම ගැන විස්තරයක් තියනව. එක උරෙස්සක් උඩිං සුදුපාට ලේස් එකක් වගෙ රෙදි පටියක් ගැට ගහල තමයි ඒක රඳවල තියෙන්නෙ.

      අඩේ... හයේ පංතියෙ විතර මම මුලින්ම ජොක්කු ඇන්දෙ අම්ම මහල දීපුව. එව්වගෙත් ඉණේ වම් පැත්තෙ ඔය ලේස් වගෙ රෙදි පටි දෙකක් තිබ්බ ගැට ගහන්ට හෙහ්, හෙහ්, හෙහ්,

      Delete
  13. අපේ මල්ලිටත් තිබුනා ඔය ඩයිනා පිස්සුව. ඌ චිත්‍රයක් ඇන්දත් ඩයිනෙක්...කතාවක් කිව්වත් ඩයිනෙක් ගැන..හීනෙනුත් පෙනුනේ උන්ව විතරයි කියලා මට හොඳටම ෂුවර්.

    අර පොඩි එකාට ගල් පැලෙන කතන්දරයක් කියල දීපු එක තමයි කැත වැඩේ. ඕක පොඩ්ඩක් විශ්වාස කරන්න පුළුවන් විදියට වෙනස් කරලවත් කිව්වනම්..

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඔය වගෙ පිස්සු පොඩි එවුංට එනව කලෙං කාලෙට..

      අපේ කාලෙ තිබ්බ සතුට සහ සිත්තර කියල චිත්‍ර කතා පත්තර..ඔව්වගෙ තිබ්බ නිව්රෝ, ඔමේගා, තන්ඩර්බර්ඩ් යුනිකෝ කියල එහෙම වීර චරිත, ඇඟේ මස් පිඬු නිකං කොහොමද දන්නවද බැලුම් බෝල වගෙ…

      මම ඒ කාලෙ හිඟන්නෙක් ඇන්දත් උගෙ ඇඟ අඳින්නෙ අර නිව්රෝ වගෙ.හිඟන්න ඇඳගෙන ඉන්නෙත් කොටි හමක්...හෙහ්, හෙහ්, ලස්සනම වැඩේ ඒක නෙවෙයි හයේ පන්තියෙ විතර ප්‍රථම ධර්ම දේශනාව අඳින්නෙයි කිව චිත්‍ර වලට. අප්පට සිරි මයෙ බුදු හාමුදුරුවන්ගෙ ඇඟේ මස් පිඬු හරියටම යුනිකෝගෙ වගෙ. මම ඒ චිත්‍රෙ ඇන්දෙත් සිත්තර පත්තරයක් ළඟ තියාගෙන ඒ දිහා බලාගෙන. පස් වග තවුසොත් ඊට දෙවෙනි නෑ. ගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන ඔය පරණ චිත්‍ර පොත් සම්ටයිම්ස් තාම ඇති ඔය කොහෙ හරි පෙට්ටියක් පල්ලෙ.

      Delete
  14. ටාට්ටේ ටාට්ටේ, ඇයි ටාට්ටේ අර අංකල් අර ආන්ටිගේ කට කන්නේ?

    (සිනමා ශාලාවක් තුලදී කුඩා ළමයෙක් මහා හඬින් ඇසූ ප්‍රශ්ණයකි.)

    ReplyDelete
    Replies
    1. Henry,

      " You know what Dad , Mum was trying her best today to go to God.."

      " What do you mean Son ? She was trying to go to God ? "

      " Yeah, sure….. you should have seen her on her back shouting Oh God I am coming I am coming & we should thank Uncle Herbert, he was clinging to her as if his life depended on it preventing her from going to God..We sure should thank him..Dad. "

      Delete
  15. අනේ මේ මෙයා අපිව අන්දවනවා වාගේ අර පොඩි එකාවත් අන්දලානේ හැබෑට
    හිහ්!
    ඇත්තට මාත් ඉස්සර හරි ආස සත්තු කොට්ටාසයක්නේ ඔය ඩයිනොසරයෝ. මම හිතන්නේ ඩයිනෝ ල ගේ ආශ්‍රයෙන් වෙන්ටැති මිනිස්සු පස්සේ කාලෙක මකරු ගැන කතා හැදුවේ...ඉස්සර හරියට කාටුන් තිවුනා ඔයි ඩයිනෝ ල පිටේ යන වීර කෙළි පැන්චියෝ ඉන්න එව්වා. පොඩි සන්දියේ මගේ ඒකායන පැතුම උනේත් එහෙම ඩයිනෝ කෙනෙක් පිටේ නැගල ස්ටාර් වෝස් වල වාගේ ලයිට් සේබර් කඩුවක් අරන් වීර ක්‍රියා කරන්ට! හික්!

    ReplyDelete
    Replies
    1. ආම්ස්....

      / මම හිතන්නේ ඩයිනෝ ල ගේ ආශ්‍රයෙන් වෙන්ටැති මිනිස්සු පස්සේ කාලෙක මකරු ගැන කතා හැදුවේ /

      එහෙම වෙන්න නම් බෑ වගෙ නේද බොලේ?....ඩයිනෝල වඳවෙලත් සෑහෙන කාලෙකට පස්සෙයි මිනිස්සු ඇතිඋනේ.....

      ආතර් සී ක්ලාර්ක්ගෙ Childhood's End පොතේ තියනව මකරුන්ගෙ ස්වරූපය ගැන අපූරු කතාවක්. ඒකෙ කියන්නෙ අපිට අතීතය මතක වගේම අනාගතයෙ වෙන්න තිය දේවල් ගැනත් සංඥා මාත්‍රයක වගෙ හැඟීමක් අපෙ යටි හිතේ නිදන් ගත වෙල තියනවයි කියල.

      20 වන සියවසේ අගභාගයෙදි මුළු පෘථිවියම පාලනය කරන්නෙ පිටසක්වල දියුණු ජීවීන් කොට්ඨාශයක්. පොලවට ඇවිල්ල වසර 50 කට පස්සෙ ඔවුන් ඔවුන්ගෙ ස්වරූපය පෙන්වනව. ඔවුන් මකරු වගෙ. පියාපත් සහ දිග වලිගයක් සහිත දෙපාවලින් ඇවිදින අය.

      / පොඩි සන්දියේ මගේ ඒකායන පැතුම උනේත් එහෙම ඩයිනෝ කෙනෙක් පිටේ නැගල ස්ටාර් වෝස් වල වාගේ ලයිට් සේබර් කඩුවක් අරන් වීර ක්‍රියා කරන්ට! /

      පිස්සුද බං?..ඔවුංගෙ කොරපොතු හෙන විසයි. උඹේ පස්චාත් බාගය ගන්ට දෙයක් නැතිවෙයි. එහෙම මකරු පිටේ යන්ටම ඕනනං ඉතිං යකඩ පෑන්ටියක් ඇඳගෙන තමයි යන්ට වෙන්නෙ.....:)

      Delete
    2. ඒක නම් ඇත්ත තමයි...ඒත් ඔයි පොඩි මොඩ්ල් එකේ එකෙක් දෙන්නෙක් හරි දැකපු එක්කෙනෙක් ඉන්ට බැරිද? හිතන්ටකෝ දැන් ඔයි ප්‍රාග් අයිතිහාසික යුගයේත් රවී අයියා වාගේ කතන්දර කාරයෝ ඉන්ට ඇතිනේ...එහෙම එක්කෙනෙක් වඳවෙලා ගිය ඩයිනෝ ලගේ අන්තිම මැරෙන්න ඔන්න මෙන්න ඉන්න පොඩි එකෙක් දැක්කත් ඇතිනේ මකරෙක් එක්ක ෆයිට් කරා කියල කතන්දරයක් ගොතන්ට!! හික් :P

      //ආතර් සී ක්ලාර්ක්ගෙ Childhood's End පොතේ තියනව මකරුන්ගෙ ස්වරූපය ගැන අපූරු කතාවක්. ඒකෙ කියන්නෙ අපිට අතීතය මතක වගේම අනාගතයෙ වෙන්න තිය දේවල් ගැනත් සංඥා මාත්‍රයක වගෙ හැඟීමක් අපෙ යටි හිතේ නිදන් ගත වෙල තියනවයි කියල.//

      සිරාවට අයියේ ඒක නම් හරි ආස හිතෙන කන්සෙප්ට් එකක් නේද....මාත් ඒක කියවල තියේ. හැබැයි ඒකෙ කියන්නේ නම් ඒ එලියන්සලා මකරු වගේ කියල නෙවි. ඒ ඇත්තටම සාතන්/යක්ෂයා ගේ ස්වරූපය නේද? රතු දුඹුරු ශරීරය, පියාපත්, අං දෙක, බෙදුණු වලිගය...මේ විස්තර කරන්නේ සාතන් ඩිපික්ට් කරලා තියෙන අන්දම නේ.

      Delete
    3. / ඒක නම් ඇත්ත තමයි...ඒත් ඔයි පොඩි මොඩ්ල් එකේ එකෙක් දෙන්නෙක් හරි දැකපු එක්කෙනෙක් ඉන්ට බැරිද? හිතන්ටකෝ දැන් ඔයි ප්‍රාග් අයිතිහාසික යුගයේත් රවී අයියා වාගේ කතන්දර කාරයෝ ඉන්ට ඇතිනේ...එහෙම එක්කෙනෙක් වඳවෙලා ගිය ඩයිනෝ ලගේ අන්තිම මැරෙන්න ඔන්න මෙන්න ඉන්න පොඩි එකෙක් දැක්කත් ඇතිනේ මකරෙක් එක්ක ෆයිට් කරා කියල කතන්දරයක් ගොතන්ට!! හික් :P /

      දෙයියෝම සාක්කි...බොලා වගෙ එවුන්ට තමයි අර කියන්නෙ දිය යටිං ගින්දර ගෙනියන එවුං කියල....හෙහ්, හෙහ්,

      / හැබැයි ඒකෙ කියන්නේ නම් ඒ එලියන්සලා මකරු වගේ කියල නෙවි. ඒ ඇත්තටම සාතන්/යක්ෂයා ගේ ස්වරූපය නේද? රතු දුඹුරු ශරීරය, පියාපත්, අං දෙක, බෙදුණු වලිගය...මේ විස්තර කරන්නේ සාතන් ඩිපික්ට් කරලා තියෙන අන්දම නේ. /

      ඇත්ත බං..ආතර් ගොයිය ඒ පොතේ ඒලියන්ස්ල සමාන කරල තියෙන්නෙ සාතන් නොහොත් යක්ෂයාට තමයි. ඒත් ඒ ඒලියන්ස්ල ඇවිල්ල බොහොම සාමකාමී උදවිය එතකොට එයාල සාතන්ට සමාන කරන එක යුක්තිසහගතද කියන ප්‍රශ්නෙ එනව..අනික ඒ ඒලියන්ස්ලගෙ හැඩ රුව විස්තරේ ඇහුවම මට මතක් උනේම මකරු..අපේ හැදියාව අනුව සාතන් කියල සංකල්පයක් නැති එකත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්.

      Delete
  16. පොඩි එවුන්ගෙ කතා ගැන නම් කියල වැඩක් නැත..මගෙ කෙල්ලත් ඔය වයෙසමය්..අනෙ අම්මො මුලු දවසම ප්‍රශ්න පත්තරයක්..කටට නම් නිවනක් ඇත්තෙම නෑ..හොඳ පන යනව උත්තර දීලා..හැබැය් නිදගත්තම ගේත් එක්ක පාලුය්.. //උගෙ තාත්ති පොඩි කාලෙ තමයි ඒකා දන්න ඉස්සරම කාලෙ...හෙහ්...හෙහ් // අපෙ කෙල්ලගෙ නර්සරි එකෙ ලෝගො එකෙ ඉන්නෙ ඇරිස්ටෝට්ල්..කෙල්ල අහනවා අම්මෙ මේ සීයද අපෙ ස්කොලෙ හැදුවෙ? මන් කිව්වා,, නෑ මෙ ගොඩක් ඉස්සර හිටපු කෙනෙක් කියල.. කෙල්ල අහපි ඒ කියන්නෙ තාත්තා පොඩි කාලෙද කියල

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      " අනේ දුවේ..නෝටි වැඩ කරන්නෙ නැතුව ඉන්නකො ගුඩ් ගර්ල් වගෙ..දන්නවද ඔයා එක නෝටි වැඩක් කලාම අම්මිගෙ ඔළුවෙ එක කෙස් ගහක් සුදු වෙනව...."

      " හා, හා...හරිනෙ එහෙනං ....මම දැං දන්නව ආත්තම්මගෙ ඔළුව ඔක්කොම සුදු උනේ කොහොමද කියල...."

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ආපෝ පොඩි උන්ගේ කතා නම් කියල වැඩක් නැහැ . උන් දන්නවා වැඩි අප්පා .

    ඔය ඩයිනෝ ලා ගැන අපි දැන ගත්තේ හුඟක් ලොකු කාලේ තමයි .

    දැන් නම් ඉස්කෝල වලත් පොඩි කාලෙම උගන්නනවා .

    ටි රෙක්ස් ඉන්න පාරෙන් ඉස්කෝලේ ගිය ළමයි..හික් . කිව්වම මට මතක් වුනේ . මාත් ඉස්සර උදේ හයට විතර ගෙදරින් යනවා . අපි හිටිය පාර රවුම් පාරක් . දෙපැත්තෙන්ම බස් පාරට වැටෙනවා . බස් හෝල්ට් දෙකකින් . බස් එන පැත්තේ හෝල්ට් එකට යන්නයි වැඩිය කැමති . මොකද ටිකක් හරි සෙනග අඩු නිසා . හැබැයි ඒ පාර ටිකක් පාලුයි . රබර් වත්තක් හෙම හම්බ වෙනව. එක වංගුවක තියෙනව මහා භයානක ගොරක ගහකුත් . දන්නවනේ ගොරක ගස් කොළ තද පාටයි . ගස් යට කළුවරයි . පොඩි තිගැස්මක් තියෙනව ඕක යටින් යනකොට. ගොරක යකා කියල කතාවටත් කියනවනේ . ඒ සේරමත් හරි . කොවුර් ගොය්ය සිහි කරගෙන එතන පාස් කරනවා කියමු . ඔය ගැහෙ කපුටෝ කුඩු හදල බිත්තර රකින කාලෙට තමා වැඩේ . උන් ටි රෙක්ස්ට එහා .
    ටාන් ගාල ඔලුවට කොටන්නේ . එක දවසක් මටත් කෙටුව . කපුටෙක් කොටලා ඇත්නම් දන්නවා ඇති රිදෙන තරම .


    ReplyDelete
    Replies
    1. බොලාට තිබ්බෙ බාල්ලා...තලප්පාවක් වගෙ හිටින්ඩ ඔලුව උඩ රෙදි කෑල්ලක් බැඳගෙන පරණ ඔය කුස්සියෙං අයිං කොරාපු හට්ටියකට රෑ ඉතුරු වෙච්චි බත් මාලු..තව ඔය පාං..පොල් රොඩු එහෙම දාල,අර තලප්පාව උඩ තියාගෙන යන්ට. එතකොට කාක්කො එව්ව කනව මිසක බොලාට කොටන්ඩ උංට සිහියක් නෑ...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...