Wednesday, July 24, 2013

204. සුබපැතුම්......චන්දිමාල්!

Image - Cricinfo

පහුගිය සෙනසුරාද හවස මැච් එක බැලුව.සංගා ගැහුව කියන්නෙ ගැහිල්ලක් ඇස්වලට කඳුළු ආව.මේ දවස්වල සිරි ලාංකිකයෙක්ය කියල හිතේ පොඩි ආස්වාදයක් එන්නෙ ඔය සංගා, උපුල්, මහේල හෝ දිල්ෂාන් හතර අතේ නෙලන කොට එහෙම නැත්තං ඊට පස්සෙං පහු ඔය කොල්ලො ටික සපිරිවරින් පිට්ටනියට බැහැල අර යස්සය කොණ්ඩෙත් හොලව හොලව ඇවිල්ල අනික් පැත්තෙ එවුන්නෙ දකුණු මහපට ඇඟිල්ලෙ නියපොත්ත මත පතිතවන පරිදි පන්දුව පතිත කරල උං එක්කො ඇල්.බී. ඩබ්ලිව්..නැත්තං පොළු තුන, හතර අතේ යවනකොට විතරමයි.


මේ තරඟය දිනේස් චන්දිමාල් කොලුවගෙ පලවෙනි තරඟෙ, ලංකා කණ්ඩායමේ නායකය හැටියට.බොහොම ලාබාල කොලුව. වයස විසිතුනයි. සිරි ලංකාවෙ මෙතෙක් කාලෙකට ලාබාලම නායකය.උන්දැට කැප්ටන්සි එක හම්බ උනේ වෙස්ට් ඉන්ඩීස් වල ගහපු තුංකොං තරඟාවලියෙ අවසාන තරඟෙ; අර ඉන්දියාවත් එක්ක ගහල පැරදුනෙ; අන්න ඒකෙදි නියමිත කාලයට නියමිත ඕවර් ප්‍රමාණය දැම්මෙ නැහැය කියල අපෙ නායකය ඇන්ජලෝ මැතිව්ස් ගොයියට තරඟ දෙකක තහනමක් පනෝපු නිසා. 

හැබැයි මැතිව්ස්ට ඒ තහනමෙන් පාඩුවක් උනෙත් නෑ. උන්දැ පට ගාල කසාදයක් කරගත්ත ඒ සතිය දෙක ඇතුලත. අන්න මිනිස්සු...ඕක තමයි කියන්නෙ කල දුටු කල වල ඉහ ගන්නවාය කියල. එහෙම නැත්තං යකඩෙ රත් වෙච්ච වෙලාවෙ තලා ගන්නවය කියල.මොකද ලේසි වැඩක් නෙවෙයි නෙව කෙල්ලෙකුත් හොයාගෙන මඟුල් ගේකුත් ඕගනයිස් කරල මඟුලක් කනවයි කියන්නෙ සතියක් දෙකක් ඇතුළත  ඔක්කොම ඕගනයිස් කරල..මැතිව්ස් කොහොම හරි වැඩේ කරගත්ත. මිනිහ වැඩ කාරය..හෙහ්, හෙහ්, 

ඉතිං ඇත්තම කියනවනම් මම මේ ලියන්ට ඉඳගත්තෙ මැතිව්ස් ගැන කියන්ට නම් නෙවෙයි. දිනේස් චන්දිමාල් ගැන කියන්ට. ආනන්දෙට සෙල්ලං කරන කාලෙ ඉඳලම මම බොහොම කැමති ක්‍රීඩකයෙක්. 2011 ලෝක ශූරතාවයට චන්දිමාල් තෝරගත්තෙ නෑ. 

මතකනෙ 2011 ලෝක කුසලානෙ නේද?..අර අපේ ජනාදිපතිතුමාගෙ මුද්දෙ වැඩ වාසය කරන දෙවිවරු හතර දෙනා ඉන්දියාවෙ දෙයියංට බයවෙලා පැනල ගියායිං පස් සෙ යස අපූරුවට දිනන්ට තිබ්බ අවසාන තරඟෙ අපි පැරදුනෙ..ආන්න ඒක. 

ඒ දවස්වල මයෙ හිතට හරි අමාරුයි ඒ කරපු අසාදාරනේට.ඒ කිව්වෙ මේ දෙවියන් පලායාම ගැන එහෙම නෙවෙයි. චන්දිමාල් ළමය ටීම් එකට තෝර නොගත්ත එකට. දෙකක් ලඟ ලඟ නවාගත්තද ඕකමයි මතක් වෙන්නෙ. කොටින්ම ඒ දවස්වල ඕක මයෙ ඔලුවෙ කොච්චර වැඩ කලාද කිව්වොත් ඒ වර්ල්ඩ් කප් කාලෙ අපි හැමෝටම එකෙක් නෑර හැදිල තිබ්බ ක්‍රිකට් පිස්සුව ගැන මම ලියපු කතාවකත් ඒ ගැන ලිව්ව ඔන්න කොටින්ම. පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් හැටියටයි ඒ කතාව මුලින්ම පලඋනේ. ඔන්න එහෙනම් ඒ කතාව තියනව පල්ලෙහායින් හොඳද? 

හිමිදිරියෙම ඇහැ ඇරුනෙ කුරුල්ලංගෙ නාදෙට, ඊයෙ දෙගොඩහරියක් වෙනකල් හඳ දිහාවෙ බලාන කවි හදාල ඇඟටත් මහ කෙඩෙත්තුයි වාගෙ ඔන්න, 

උයනගෙයි පැත්තට සරං කෙටියත් ඇඳ ඇඳම ගෑටුවා උණුවට කෝපි කෝප්පයක් වත් බුන්නනං මේ ඈලි මෑලි ගතිය දුරුවං වෙයිය කියාල හිතමිං, 

කුස්සිය පැත්තෙං වෙනද වගෙ නෙවෙයි ඔන්න මහ සද්දෙං කතාබහක් නං ඇහෙනවා, 

අපෙ අම්මයි කිරි අම්මයි වගෙයි, මොකදෑ මුංදැල දෙන්න මේ කවදාවත් නැතුව? ගමේ මොකක්වත් අලකලංචියක් වෙලා වද්දෑ ඊයෙ රාත්තිරියෙ? 

කුස්සියට ගෙහුං ඈඳිගත්ත තුනපහ දාපු පෙට්ටගම ගාව තියෙන ලොයි බංකුවෙ, ඒ කොරල පොඩ්ඩක් කංදිහෑව්ව මොනවදෑ මේ සාකච්චාව කියාල, 

"හොඳ විස්සාසෙට ගනිං ලොකු දුවේ, ඔය අසේල ලමය හාහාපුරා කියල පිටැන්නට එව්වෙ නැහ්නං ඔක්කොම හබක්, මම්මේ හූන කියන්නැහෙ කියන්නෙ ඕං,"

 ඒ අපෙ කිරි අම්මා, විටකුත් කොටන ගමං, විට කොටන පරණ යකඩ ඇණ පතේ අම්ම දිහාට උරුක්කරල කියැව්වා, 

"අනෙ අපෙ අම්ම නිකං ඉන්නකො, අසේල නෙවෙයි ඒ ළමයගෙ නම මහේල," 

අපෙ අම්ම එක හෙලාම විරුද්ධ උනා, 

" මහේල ඉන්න ඕන මැද පෙල සත්තිමත් කරන්න, මම නං කියන්නෙ මහේල ලමය අංක පහ නැත්නං හය තමයි බෑට් කොරන්න ඕනෙ " 

"හුහ්, උඹ කට වහං ඉඳිං, ඇහුනැයි, බොට ලොකු මහත් වෙච්චි දරුවො හිටියට මම තාමත් උඹෙ අම්ම, ඒක මතක තියාගනිං ඇහුණැයි?, මයෙ මේ කෙස්ස පැහුනෙ නියගෙට කියාලද උඹ හිතන්නෙ?" 

කිරි අම්මට අසූහාරදාහකුත් තවත් ටිකක් කේංචි ගිහිල්ල, බුලත් කෙටිල්ලත් එහෙම්මම අත ඇරල නැඟිටල ඉණට අත් දෙකත් තියාගෙන කිව්වා, ඇස් දෙක හීං ඉරි වායෙ උනා, උන්දැට හොඳටෝම කේංචි ගියාම එහෙම තමයි, 

අම්මත් බය උනා ඒ පාර නම්, ඇයි දන්නවනෙ අපෙ කිරි අම්මයෙ හැටි සුබාවෙ, කේංචි ගිහාම යස්සනී වාගෙ තමයි, 

"හරි, හරි කිරි අම්ම කලබොල නොවී ඉන්නකො,"

 මම උන්දැව ආයෙම කොලොම්බු කොටේ ඉන්දෙව්වා, 

"මොනවදෑ එහ්හෙන්නං,දන්න කියන වැඩිහිටියෙක් යමක් කියැව්වම ඒ දැනමුතුකං පිළිපදින්ඩ එපාය, එව්ව තමයි ගුන දර්ම කියන්නෙ "

කිරි අම්ම ආයෙම විට කෙටිල්ල පටං ගත්තා, 

"හරි, හරි ,අම්මට ඉතිං ඔච්චර ගෝලු ගන්ඩ දෙයක් මං කියැව්වය? අම්මට ඕනම නං අපි මහේල ළමය මුලිම්ම යවමු අහවරයිනෙ " 

අම්ම මයෙ අතට කෝපි කෝප්පෙ දෙන ගමන් කිව්වා, 

"ඒ විතරක් නෙවෙයි අර චාමර කොලුවත් මුලිම්ම යවන්ඩ ඕනෙමයි "

කිරි අම්මට පොඩ්ඩක් ඔලුව දාගන්ඩ දුන්නම අර කූඩාරමට ආපු ඔටුවා වගේ තමයි, 

අම්මගෙ කට නලියනව මම දැක්ක, ඒත් හොඳ වෙලාවට මොකවත් කිව්වෙ නැහැ, කෝපි එකේ මෙලෝ රහක් නැහැ, සීනිත් නැහැ, කටේ තියන්ඩ බැහැ ඇයි අම්ම ඉන්නෙ කිරිකැට් සිහියෙන්නෙව, 

"පුතේ උදේට උයන්ඩ නං වෙලාවක් නැහැ, රෑ හීල් බත් ඩිංගක් ඇති මඩක්කුවෙ දාල වහල , පොල් සම්බෝල ඩිංගක් වත් තලාගෙන කාහං කොලුවො,හොඳේ " 

අම්ම කෝප්පෙ ආපහු ගන්නා ගමන් කිව්ව, 

මේ මොකෝ බොලේ කවදක්කත් නැතුං, මයෙ අම්මට අසනීපයක්කද්ද? මයෙ හිතේ මහ බයක් උපන්නා, 

"ඇයි අපෙ අම්මා? අම්මට අසනීපයක්වද්ද? " 

මම බයෙන් බයෙන් ඇහැව්වා, 

" පිස්සුද කොලුවො, මට ඇති ඉහෙං බහින ලෙඩක් නැහැ,මායි කිරි අම්මයි නාගෙන කාරිය යනව පංසලේ බණ මඩුවට,කලිම්ම ගියෙ නැත්නම් ඉස්සරහම තැනක් අල්ලා ගන්න එක ලේසි වෙන්නෙ නැහැ" 

" ඒ මොටදෑ අද පංසල් යන්නෙ? අදයැ පෝය, හෙට නෙව, කිරි අම්ම හෙටනෙ සිල් ගන්නෙ, නේද? " 

මම හිතුවෙම අම්මට දවස එහා මෙහා වෙලාය කියල, 

" මොන සිල් ගැනිල්ලද්ද බං? උඹලැයි අම්මයි මායි යන්නෙ අද අපේ කොල්ලො බෝල ගහනව බලංඩ, අනික ආයෙ මං සිල් ගන්නෙ බක් මහේ පෝයට තමයි, මේ බෝල ගැහිලි ඔක්කොම ඉවර වෙනකල් සිල් ගන්නෙ මං නෙවෙයි ඕං," 

කිරි අම්මා පුලුං කුල්ලක් හේ තියෙන ඔලුවත් හොල්ල හොල්ල කිව්වා, 

" මොන කිරි කැට් ගැහිල්ලද්ද ඒ? අපෙ ගමේ කොල්ලොද? අල්ලාපු ගමත් එක්කලාද? " 

මට මේ මොනව කියනවද කියාල නිනව්වක් ඇත්තෙම නැතුවා, 

කිරි අම්මට ඒ පාර නම් ඩිංගක්කිතර තරහ ගියාද කොහේද, 

" උඹ හැබෑටම කොයි ලෝකෙද ඉන්නෙ?, උඹ ඉතිං දන්නෙ අතන මෙතන අගු පිල් ඔල කවි කිය කිය ඇවිදින්ඩ නෙව, ඒ ඇරුනම රටේ ලෝකෙ වෙන්නෙ මක්කද කියාලත් ටිකක් ඇහැ ඇරල කාරිය බලාහං, ගමේ කොල්ලො නෙවෙයි බොල, අපෙ සිරි ලංකාවෙ කොල්ලො අද ගහනව පකිස්තාං ද මක්කද එවුං එක්කලා, බණ මඩුවට යන්නෙ ඒක අර රූප පෙට්ටියෙං බලන්ඩ, දැං බොට තේරුණාය? " 

අනෙ අම්මප මේක මාර කෙලියක් නෙව, එතකොට දවල්ට කන්නෙ එහෙම කොහෙන්දෑ? එහෙම හිතුනට මම ඇහැව්වෙ නම් නැහැ, 

අම්මට තේරුනා මයෙ හිතුවිල්ල,

" මම කැකුලු හාල් ටිකක් ලිපේ තියාල යඤ්ඤං සම්බෝලයක්කත් හදාගනිං මයෙ පුතේ" 

ඔන්න නාකියාගෙන ඇවිදිල්ල දෙන්න පිටත් උනා පංසලට යන්න, 

" සනත් කොලූ නොගත්ත එක නං මයෙ හිතට තවම හරි නැහැ, " 

මිදුලට බහින ගමං කිරි අම්ම ආයෙම පටං ගත්ත කංඩායම් සමාලෝචනේ,

" අම්මල එන්නෙ කීයටද? " 

මම ඇහැව්වා, 

"රාත්තිරි දහය එකොලහ වත් වෙයි, උඹ නිදාගනිං පුතේ, දොර අඩවල් කරාල තියහං " 

අම්ම යන ගමම්ම ආපහු හැරිල කියැව්ව, 

"අජන්ත ළමෙය අද සෙල්ලං කරයිද දුවේ? "

කිරි අම්මගෙ කට හඬ දෙවට දිගේ මැකිලා ගියා, අම්ම මොනව කිව්වද ඊට පස්සෙ මට ඇහුනෙ නැහැ, 

මම පිලේ දිගාවෙලා අඹ ගහේ මයිනො කහපාට අඹේකට පොරකනව බලා හිටියා,

"ඇයි උඹල යන්නෙ නැද්ද පකිස්තාං මැච්චෙක බලන්ඩ,පලයල්ල බොලත්, බොලා විතරයි එතන අඩු " 

මට තරහටම කිය උනා, 

කන්ඩ පිරියකුත් නැහැ මම එහෙම්මම පිලේ දිගාවෙලා ඔහේ හිටියා, 

" ෂ්, ෂ්, ෂ්, ...... මේ , මේ, ඔයා නිදිදෝ?" 

 පැළ ඉනි වැට අස්සෙන් ආව රිදී සීනු අඬට මගෙ හීන ලෝකෙ බිඳ වැටුනා, 

ඔන්න ඉණි වැට අස්සෙන් මතු උනා, දන්නවනෙ...... කවුද? .....වෙන කවුද?..... අර අරයා....... අරුංදතී, මගෙ හිතේ පිරිල තිබ්බ දුක් කංකටොලු අර හිරු දුටු ........ මොනවද මට මතක නැහැ නෙව, පැණි බිඳුද........ පිණිබිඳු ද..............මොක හරි දෙකෙන් එකක්, අන්න ඒ වගේ දුරු වෙලා ගියා, 

ඔන්න ඔය තියෙන්නෙ, කවුරු නැති උනත් මට මයෙ අරුන්දතී ඉන්නවනෙ, මගෙ හිතට පුදුම තන්තෝසයක් ඔන්න ආවෙ, 

" එන්නකො මෙහාට ඒයි, මට ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා" 

අරුංදතී මට කතා කලා, 

ඔය අරුංදතිගෙයි මගෙයි පයිරුපාසානෙට සෑහෙන කලක් උනාට අපි දෙන්න සෙනේවංත කොම තාම වචනෙං පොරකාස කොරල නැහැ නෙව, ටක්කෙටම අද නම් මුන්දැ මට සෙනෙහෙවන්තයි කියාල කියන්ඩ තමයි මේ තනන්නෙ, නැහ්නං ලඟට කතා කොරල අහන ඔහෑටි වැදගත් දේ මොකැයි හැබෑටම, 

මමත් හිනා කටක් පුරෝගෙනම ඉණිවැට ගාවාට කිට්ටු උනා, ඒ කරල මගෙ කණට මී පැණි වක්කරන්නැහෙ අරුංදතී ඒ වචන කියන කල් එයාගෙ ඇස් දෙක දිහාවෙම බලා හිටියා, 

"ඉතින් අහන්න ලමයො ලැජ්ජ වෙන්න එපා" 

මම අරුන්දතීගෙ අතින් අල්ලගන්න ගමන් කිව්වා, 

"ඔයා හිතන්නෙ අද සංගක්කාර කාසියේ වාසිය දිනුවොත් මුලින් බැට් කරන එකද බෝල් කරන එකද අපිට වාසි" 

මගෙ අතිං අරුන්දතීගෙ අත අත ඇරුනා, මගෙ කට ඇරුන මම හිතන්නෙ යටි තල්ල පපුවෙ වදින ගානට, මම එහෙම්මම අරුංදතී දිහාවෙ බලාගෙනම හිටියා, 

"මොකෝ අනේ මේ ඔයා කාටවත් බය උනාද?" 

 අරුංදතී ටිකක් වෙලා මා දිහාවෙ බලාන ඉඳල බය වෙලා ගෙට දිව්වා, 

මම ආපහු හෙමිං හෙමිං පුරුදු පිල්කඩ උඩටම ආව, 

මයෙ හිත මට වාවන්නෙ නැති උනාම මම හැමදාම යන තැන තමයි අපෙ පංසල, ලොකු හාංදුරුවො එක්කල ටික වෙලාවල් මොනවහරි කතා කලාම හිතට දැනෙන සහනෙ අප්පරමානයි,එනිසාවෙන් මටත් නොදැනිම මගෙ දෙපා මාව අරන් ගියා පංසල පැත්තට, 

පංසලේ ගේට්ටුවෙ මෙන්න ලොකු දැන්නීමක් අලෝල, 

"ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසාන වන තුරු හෝ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වන තුරු පින්කම්, පිරිත් දේශනා, බණ කීම්, අවමංගල උත්සව, පාංශුකූල කටයුතු,බෝධි පූජා සහ වෙනත් පුණ්‍ය කටයුතු සඳහා ආරාධනා භාර නොගන්නා බව ගම්වාසී සියලු සැදහැවතුන් වෙත ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි. සියලුම දානයන් පන්සලටම ගෙනැවිත් පූජා කල යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතා පැවැත්වෙන සෙත් කවි ගායනා, බෝධි පූජා සහ සෙසු කණ්ඩායම් වලට විරුද්ධව පැවැත්වෙන වස් කවි ගායනාවන් පමනක් තරඟ නොපැවැත්වෙන දින වල සවස් භාගයේදී බෝධි රාජයා අසල පැවැත්වේ. ඊට සහභාගිවී සඟ මොක් සුව ප්‍රාර්ථනා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි, බුදු සසුන බැබලේවා!!! අපේ කොල්ලෝ ද බැබලේවා!!! "

- මීට අතිගරු විහාරාධිපතීන් වහන්සේගේ අණ පරිදි දායක සභාව,



මේ දැන්නීම දැක්කම මගෙ හිතත් එක්ක නිකං තෝන්තු වෙලා ගියානෙව. මදැයි හිතට සැනසීමක් හොයාගෙන ආවා, 

මම ආපහු හැරෙන්න හදනකොටම ලොකු හාංදුරුවො මාව දැකල කතා කලා.

"ආ, මේ ළමයනෙ, එන්න එන්න මොකෝ මේ පිට පාරෙම යන්න හදන්නෙ? එමු එමු මෙහාටම "

මම ඉතිං උන්නාන්සෙ පස්සෙන්ම පංසලටම ගියා, මට හිතුන අනික් හැමෝන්ටම නුහුගුනේ හැදුනට මුන්නාන්සෙට නම් එහෙම වෙන්ඩ බැහැ, ඇයි අප්පේ හොඳ උගත් සිල්වත් සුවාමීන් වහන්සේ නමක් නෙව, ඔය පණ්ඩිත විබාග තුන හතරක්ම පාස් කොරල තියෙනව එක පාරිම්ම, එහෙනං, එහූ උගතෙක් නෙව, 

"අනේ හාන්දුන්නේ මට කලකිරිල ඉන්නෙ මේ අපෙ මිනිස්සුන්ගෙ වැඩ ගැන දැන් බලන්න මේ ක්‍රිකට් මැච් වගයක් අල්ලගෙන............." 

මට ඉවර කරන්ඩ හම්බ උනේ නැහැ, හාමුදුරුවො පටන් ගත්තා, 

"ඔන්න බලන්න, ඔය ළමය දැනුම් තේරුම් තියෙන, කාරනා කාරනා දන්නා ළමයෙක් නිසාවෙන් ඔය ළමයට තේරුනා...... "

මෙහෙම හාමුදුරුවො කියනකොට මට ඉහිලුං නැති සන්තෝසයක් ආවා, අන්තිමට යාංතං මේ ක්‍රිකට් නුහුගුනේ නැති එක මනුස්සයෙක් හරි හම්බ උනාය කියල, 

"මේ මිනිස්සුන්ගෙ වැඩ ගැන ලමයෝ, ඔය ලමයට කියන්ඩ මමත් ඉත්තේරුවෙම්ම කලකිරිල ඔන්න ඉන්නෙ, දැන් බලන්න අර දිනේෂ් චන්දිමාල් දරුවට කොරාපු අසාධාරණේ,මොන තරම් දක්ෂ පිතිකරුවෙක්ද........" 

 ඔන්න අද දවසෙ සාර්ථක දෙවෙනි පාරටත් මයෙ කට ඇරුනා,මතකනෙ කලින් ඇරුනෙ පැළ ඉනි වැට ලඟදි, 

මයෙ කට නෙවෙයි මොනව ඇරුනත් හාමුදුරුවන්ට වගේ වගක් නැහැ, නේරංජනාව ගලනව වගෙ එතුමා දෙනව ඇට්ටි හැලෙන්ඩ, 

"මට තේරෙන්නෙ නැහැ අපේ මේ තේරීම් කමිටුව මොන ප්‍රතිපත්තියක් උඩ මේ තීරණ ගත්තද කියල...... හරිම අපරාධයක් අර ළමයට කලේ, මම හිතන්නෙ අපේ ජනාධිපති තුමා අර ආතක් පාතක් නැති සිංදුව තහනම්............" 

හාමුදුරුවො තට්ටෙ අත ගගා ඇස් දෙකත් පියාගෙන දේසනා කරන අතර තුරේ මම හෙමිහිට නැගිටලා එන්ඩ ආව.

"........කලා වගේ එතුමාටම බාර දුන්න නම් හොඳයි කණ්ඩායම තෝරන එකත් , අනිවාර්යයෙන්ම එතුමා ඒ වැඩෙත් අපූරුවට කරයි කිසිම සැකයක් නැතුව, අච්චර බලගතු කොටි පැරැද්දුව එකේ.............. " 

මම ගේට්ටුවෙන් පිට වෙලා එනකනුත් හාමුදුරුවන්ගෙ දේසනාව මගෙ පස්සෙන් ආව. 

පංසලේ ඉඳං එන පාර වැටිල ඇත්තෙ වලව්ව අද්දරිං,වලව්ව කිට්ටුවට එනකොට මෙන්න එක පාරට මහ ගෝසාවක් ආපි, එහෙං අර වයසක අලි බොටා කං හොල්ල හොල්ල බෙරි හං දෙනව, වලව්ව ඇතුලෙනුත් එනව මහ ගෝසාවක්, කෝකටත් කියල කර පොවාල බැලුවා, අප්පට සිරි, අර ක්‍රිකැට් නුහුගුනේ හොඳ එක තියෙන්නෙ වලව්වෙනෙ,එක පනහක් හැටක් ගෑනුද, පිරිමිද, බල්ලොද බලල්ලුද ඔක්කොම එක ගොඩේ වැටිල රූප පෙට්ටිය වට කොරාගෙන මැච් බලනොව,ලොකු මැණිකෙයි පොඩි කුමාරිහාමියි දෙන්නත් ඉන්නව මැද්දෑවට වෙලා,
 
මාව දැක්ක විතරයි ලොකු මැණිකෙ ගර්ජනා කලා, 

" ඒයි මේ මෙතන කවි කියන්න එහෙම ලෑස්ති වෙන්නෙ නෑ හොඳද? අපි ක්‍රිකට් බලනව පෙනෙනවනෙ" 

මම පොඩි කුමාරිහාමි දිහා බැලුවා, වෙනදා මා පැත්තට කතා කොරන්නෙ ඒ ඇත්තිනෙ. අද මාව දැක්කෙත් නැද්ද කොහෙද.

" Come on Sangha, come on, you can do it "

 තවත් මොනවද ඉන්ගිරිසියෙං කිය කිය ඔය උඩ පැන පැන හිටියෙ, 

"අන්න කුස්සියෙ කෙහෙල් මුහයි පරිප්පුයි ඇති, බඩගිනිනං බෙදාගෙන කන එකයි ඇත්තෙ " 

ඒත් ලොකු මැණිකෙ, 

මට හොඳටම දැන් බඩගිනිත් නිසා කුස්සිය පැත්තට යන්න හදනකොටම,

 " වර්ල්ඩ් කප් ඉවර වෙනකල් කවි ඕනෙ නැහැ, හරිද? රෑට මේ පැත්තෙ එනව නම් මල්දෙනියෙන් කෑම ගෙනෙන්නෙ, ජනූලගෙ කෑම කෑහැකි, "

පොඩි කුමාරිහාමි රූප පෙට්ටිය දිහා බලාගෙනම කිව්වා, 

හුහ්, මට උන්න මලා මතක නැති උනා ඒ කතාවට, උන්දලට ඕන වෙලාවට කවි කියන්ඩයි, එපා වෙලාවට කුණු පොල්කුඩු ගානට අහක දාන්ඩයි මම කවුරුය කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නෙ, හිටපල්ලකො බොලාට දෙන්නං හොඳ කවියක්, යනව යන්ඩ, ආයෙ එන්නෙ නැහැ මේ හතර හීමාවෙ, 

වලව්වෙං එලියට බහින කොටම මට සිහියට ආව මල්දෙනියෙං රෑ කෑම ගේන කතාව, හරි, මම දැම්මම යනව ජනූ නඟාලයෙ අහ, ඒ නඟාත් එහෙමයි ඒ පවුලෙ අනික් ඈයොත් එහෙමයි හරිම ගුණ යහපත් උදවිය, බොක්කෙ තියෙන දේ හරි අරං දේවි මෙන්න කියල, 

ඉතිං ඔන්න මම එදා ඒ වෙලාවෙම මල්දෙනි යන්නෙයි කියල එක හිත් හිතාගෙන මඟට බැස්සා, 

34 comments:

  1. උඹට කියන්ට බං අයියෙ, ඕක මැතිව්ස් ප්ලෑන් කරලා කොරපු වැඩක් මම නං හිතන්නෙ.. කලින් ඉඳන්ම වෙඩින් එක ලෑස්ති කොරගෙන ඉඳලා හිට නිවාඩු ගන්ට බැරි කමට හිතලාම ඕවර් රේට් එක අඩු කරගෙන විහින්ම බෑන් වුනා.. :)

    ReplyDelete
    Replies
    1. බූරාස්,

      ඇත්ත බං එහෙමත් කස්ටිය කියනව..අනික තරඟ දෙකක තහනම කියන්නෙ බොහොම දරුණු දඬුවමක්.

      ICC Code od conduct for players - level 2 offence එහෙකට දෙන්නෙත් එක්දින තරඟ 2 ක තහනමක්. Level 2 offences කියන්නෙ මෙන්න මෙව්ව,

      1. අම්පයර්ගෙ සංවේදී ස්ථානයක් මිරිකීම හෝ ඇඹරවීම.

      2. තම පිත්තෙන් ප්‍රත්වාදියකුගේ බුරියෙන් පහලට පහර දීම.

      3. පන්දුව ප්‍රතිවාදී ක්‍රිඩකයකුගේ හෝ විනිසුරුගේ මර්මස්ථානයකට දමා ගැසීම.

      4. පන්දුව ගිල දැමීම.

      5. පා ආවරණ හිසේ පැළඳ පන්දුවට පහර දීමට පැමිණීම.

      6. පන්දුවට පහරදෙන අතර අසභ්‍ය ගීත ගායනා කිරීම හෝ සිවුරුහන් කිරීම.

      ඉතිං බලාපං ඔන්න ඔය වගෙ කිරිමෙල් කේස් වලට දෙන දඬුවමක් නෙව මේ මනුස්සයට දීල තියෙන්නෙ.ඩේවිඩ් බූන් තමයි හිටියෙ තරඟ තීරක. බූනට පොඩි සම්තිං එකක් දුන්නයි කියලත් දූසමාන ආරංචි පැතිරෙනව.

      Delete
  2. අඩේ මේක කියෙව්වාම හුරු පුරුදු ගතියක් දැණුන.. මං ඒත් බැලුව මොකද කියල.. පස්සෙනෙ වැඩේ තේරුනේ...

    ReplyDelete
    Replies
    1. ජනූස්,

      ඇයි බොල අර මම කලිම්ම් බොහොම පැහැදිලිව කියල තියෙන්නෙ මේක කලින් වලව්වෙ ලියාපු එකක්ය කියල ...දැක්කෙ නැත?....:) :)

      ඒ දවස්වල උඹනෙ වලව්වට ආහාර පාන සැපයුම බාරව හිටියෙ ..මතකෙයි?

      Delete
  3. තව දෙයක්, දැන් ස්කූල් ක්‍රිකට්වල ඉස්සර වගේ ගතියක් නෑ බං.. ඒ කාලෙ අපි සමහර වෙලාවට පන්ති කට් කරගෙන යනවා ස්කූල් මැච් බලන්ට.. එච්චර ඉන්ටරෙස්ටින්.. අනික ඒ කාලෙ මාවන්, තිලාන්, මහේල, අවිශ්ක එහෙම U-17 ගහද්දී අපි දන්නවා මුං ඉස්කෝලෙන් අවුට් වෙච්චි ගමන්ම නැෂනල් ටීම් එකට යනවා කියලා.. එච්චර ටැලන්ට් එකක් තිබුනා.. දැන් මං හිතන්නෙ හොඳ පුහුණුකරුවො පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං ..ඒ කාලෙ ස්කූල් ක්‍රිකට් කියන්නෙ ආය නෑ මාරම ඉන්ටරස්ටිං...මගෙ ප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයො ගැන වෙලාවක සටහනක් ලියන්ටයි හිතාගෙන ඉන්නෙ. මම මේ කියන්නෙ ජාත්‍යන්තර තරඟ වලට අවස්ථාවක් නොලැබුණු උදවිය ගැන…

      ඔන්න 75 වගෙ ඉඳල පටං ගත්තොත්..නාලන්දෙ- අනුර ද සිල්වා, සුනිල් ජයසිංහ,පාලිත අමරසේකර,එස්. පී. ප්‍රනාන්දු, සුසන්ත කරුණාරත්න,..ආනන්දෙ - චන්න ද සිල්වා, සාලිය සේනානායක, සේනක ඒකනායක, රෝහිත පෙරේරා,ආදිල් හාෂිම්, කමල් ධර්මසිරි, චානක තේනුවර,.....ඩී එස් එකේ කේ. සිරිපරන්, ඉසිපතනෙ ඉෂාක් සහබ්ඩීන්, ප්‍රින්ස් ඔෆ් වේල්ස් - ලන්ත්‍රා ප්‍රනාන්දු, විරන්තා ප්‍රනාන්දු,...... සෙන්ට් සෙබස්තියන් - හේමාල් මෙන්ඩිස්, රෝයල් - ප්‍රසන්න කාරියවසම්, අශෝක් ජයවික්‍රම, සෙන්ට් බෙනඩික්ට්ස් - ඉග්නේෂස් ආනන්දප්පා, කිටෝ ෆර්නෑන්ඩුපුල්ලේ, සෙන්ට් ජෝසප්ස් - රොහාන් විජේසිංහ...... සෙන්ට් පීටර්ස් - ට්‍රෙවර් ක්‍රෝනර්..... සෙන්ට් තෝමස් - ගැරී මෙල්ඩර්....වෙස්ලි - නවීන් ද සිල්වා.... ධර්මපාල - එස් .බී. සේනානායක.... මහින්දෙ - උපුල් සුමතිපාල....ජැෆ්නා සෙන්ට්‍රල් - ආර්. නගුලේස්වරන්

      Delete
    2. ඔය ලැයිස්තුවෙන් චිරන්තා ප්‍රනාන්දු නැෂනල් ගැහුවා නේද? ‍ටෙස්ට් තත්ත්වය හම්බවෙන්න කලින් (70 අග නැත්තං 80 මුල) සිලෝන් ටීම් එකට මිනිහා සෙල්ලම් කලා මං හිතන්නෙ.. මොකද මං කොහෙ හරි ලිපියක් කියෙවුව මතකය තියෙනවා බුවා පකිස්ථාන් ටුවර් මැච් එකකදි පිච් එක උඩදිම සෆ්රාස් නවාස්ට හරි තහීර් නකාෂ්ට හරි කුණුහරුපෙන් බැනපු සීන් එකක් ගැන.. :)

      Delete
    3. හෙහ්, හෙහ්, වෙන්ඩත් ඇති බාං..මොරටුවෙ කොල්ලොනෙ..බණින්ටම ඇති බණින්ටම ඇති...ඔයි යක්කු දෙන්න මම මේ කිව්වෙ ලන්ත්‍රා සහ විරන්තා ඒ දවස් වල එක ස්කූල් සීසන් එකේ අනිවා ගහනව 1200 කට එහා පැත්තෙ.සෙන්චරීස් 8 කට එහා නම් ෂුවර්. ඒත් රෙකෝඩ් එක තිබ්බෙ හේමාල් මෙන්ඩිස් . 1600 එහා පැත්තෙ ගැහුව මයෙ හිතේ 76 නැත්තං 77 වගෙ.

      අඩේ, උඹ කිව්වට පස් සෙ මම විරන්තා ප්‍රනාන්දු ගැන පොඩි සර්ච් පාරක් දැම්ම. ෆස්ට් ක්ලාස් මැචස් 13 ගැහුව කියල විතරයි තියෙන්නෙ. ඒත් දන්නවය? බුවා මැරිල බං 2000 දි වයස එතකොට 41. මට හැබැයි ඒ සීන් එක ගැන මතකයක් වත් නෑ.:(

      Delete
    4. විරන්තා ප්‍රනාන්දු පස්සෙන් පහු කාලෙක මොරටු නගර සභාවෙන් දේශපාලනේට ආවා.. පොරගෙ මරණය ඒ දවස්වල ලොකු හා හූවක් ඇති කරපු මරණයක්.. මට මතක විදියට ඒක දේශපාලන ඝාතනයක්..

      Delete
    5. ඔන්න බලාපං මලේ ඒකෙත් හැටි...මගෙ ෂෝට් ටර්ම් මෙමරි එක ෆුල් අන්දොස් වෙලානෙ..

      ඒත් මෙහෙමත් වෙන්න ඇති සම්ටයිම්ස්..දෙදාහෙ මම වැඩ කරපු ප්‍රොජෙක්ට් එකේ මාසෙකට දෙපාරයි ගෙදර එන්ට ලැබුනෙ. සයිට් එකේ උනත් පත්තර, අනං මනං ටී.වී. බලන්ට වෙලාවක් කලාවක් තිබ්බෙම නැති තරං...ඒක වෙන්න ඕන හේතුව මේ සීන් එක මට මිස් වෙන්ට.

      Delete
    6. ලන්ත්‍රාත් නැෂනල් ගැහුව කියලයි මට හිතෙන්නෙ.
      විරන්තා මොරටුව නගරාධිපති? වෙලා හිටපු කාලෙ දවසක රද්දොළුගම බිරිඳගේ ගෙදර ගිහිල්ල හිටපු වෙලාවක ඒ ගෙදරත් එක්ක තිබුණු තරහකට ගෙට ගහන්න ආපු මැරයෝ ගෙදර හිටපු විරන්තාගේ ඔලුවට කඩුවෙන් කෙටුවා,ඒ මිනීමැරුම් නඩුවට මොකද වුනේ කියල මට මතක නෑ,මිනීමරුවෝ නිදහස් වෙන්න ඇති.
      බුරාගේ කමෙන්ටුවෙන් මගෙත් අතීත මතක අවදිවුනා.

      Delete
    7. ඔන්න අද තමයි ජිවිතේ පළමු වතාවට අපේ එක්කෙනා බ්ලොග් වල කමෙන්ට් නොකිරීම ගැන විස්සෝප වෙන දවස . තාම මේක දකින්න නැතුව ඇති

      Delete
    8. හැලප,

      නෑ බං මම ක්‍රික්ඉන්ෆෝ එකෙත් බැලුව. ලන්ත්‍රා නැෂනල් ගහල නෑ. සමහරවිට ටීම් එකට ඉන්ට ඇති නැත්තං ටුවර් එකක් යන්ට ඇති. ඒත් ටීම් එකට ගැහුවයි කියල නෑනෙ.

      අඩේ..එහෙමද විරන්තා ප්‍රනාන්දු මැරුණෙ?....පව් අප්පා...

      Delete
    9. බින්දි,

      / ඔන්න අද තමයි ජිවිතේ පළමු වතාවට අපේ එක්කෙනා බ්ලොග් වල කමෙන්ට් නොකිරීම ගැන විස්සෝප වෙන දවස . තාම මේක දකින්න නැතුව ඇති /

      අහ්හ්හ්..ඒ මොකද බොලේ එහෙම එතුමා විස්සෝප වෙන්ට කාරණාව?....

      හහ්..හරිනෙ ..ඔන්න මීටර් උනා..අර හැලප කියාපු රද්දොළුගම කේස් එක නේද? යෙස්..මට මතකයි ඔහෙ කොහෙදි හරි කියලත් තිබ්බ මහත්තෙය රද්දොළුගමය..හදිස්සියෙම අපිට රට යන්ට උනාය...ඇඳිවත පිටිංය දුවල ගිහිල්ල පෙලේං එකට නැග්ගෙය කියාල...මේකයි එහෙනං කේස් එක නේද?..මහත්තය කමෙන්ට් නොකරට කමක් නෑ..මැඩම් අහගන්ටකො එයයිගෙං සත්‍ය සිද්ධිය..ඒ කරල ලියන්ටකො බලන්ට අපි කාට කාටත් දැනගන්ටත් එක්කල....

      Delete
    10. රවි & හැලපෙ,

      මං හිතන්නෙ එහෙමනං විරන්තා, ලන්ත්‍රා දෙන්නම සිලෝන් A ටීම් එකට වෙන්ට ඕන සෙල්ලම් කරන්ට ඇත්තෙ.. ඒ දවස්වල සිලෝන් A ටීම් එක ගහපු මැචස් වලට First Class තත්ත්වය ලැබිලා තිබුනේ නෑ..

      රවි කියපු නිසා මාත් Cricinfo එක පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා.. ඒකෙ දැක්කය විරන්තාගෙ First Class Debut දාලා තියෙන්නෙ 1988 කියලා.. ඒකට හේතුව 88 තමා අපේ සරා කප් එකට ICC එ‍කෙන් First Class තත්ත්වය හම්බවුනේ..

      Delete
    11. අය්යෝ පිස්සුනේ ..මොන රද්දොළුගමක්ද ..මගේ යාළුවො නම් කීපදෙනෙක් ඉන්නව ඉස්සර අර උගන්නපු කාලේ හම්බ වුන .

      මන් කිව්වේ මේ මාතෘකාව ගැන උන්දැට කියන්න ඇති අටෝරාසියක් කියන්න විදිහක් නැති එක ගැන . ඔය ක්‍රිකටර්ස්ලා කින ජාතියේ අම්ම මුත්තා කිරිකිත්ත ඉඳන් පැටිකිරිය හිටන් මෙයාට කට පාඩං.

      අනේ මට බැහැ ඔව්ව මතක තියා ගන්න . හම්බ වෙච්ච වෙලාවක කතාකරගන්න එකයි . මන් කරන්නේ මේ කනින් අහල අනික් න්කනින් පිටකරන එක

      Delete
    12. බින්දි,

      සමාදිය..සමාදිය..සමාදිය..මයි පෝල්ට්..මයි පෝල්ට්

      ඔයයිගෙ කමෙන්ට් එක තිබ්බෙ හැලපෙට යටින් හින්ද මම හිතුව මේ කියන්නෙ හැලප කියාපු රද්දොළුගම සීන් එක ගැනය කියල..එතුමාත් ඒ සීන් එකේ කොණකට ඇතිය කියලයිනෙ මම හිතුවෙ...සමාදිය..සමාදිය...

      රයිට්, එහෙනම් එතුමා එක්ක තියනව අපට බොහොම දේවල කතා කරන්ට..හෙහ්, හෙහ්, ආහ්, මේ විස්තරේ එතුමා දන්නවද කියල අහන්ට බලන්ට..මේ සති දෙහෙකට කලින් තිබ්බ එංගලන්ත - ඕස්ට්‍රේලියා පලවෙනි තරඟෙදි අන්තිමය විදිහට බැට් කරන්ට ඇවිල්ල ලකුණු 98 ගත්ත ඕස්ට්‍රේලියන් කණ්ඩායමේ ඈෂ්ටන් ඒගාර්.අවුරුදු 19 යි වයස. මිනිහගෙ අම්ම ඇවිල්ල ලංකාවෙ. 1974 ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගිය කෙනෙක්. නම සෝනියා හේවාවිස්ස.තාත්ත සිංහල..අම්ම බර්ගර්.

      Delete
    13. මට හිතෙනවා අද හෙටම හැලප කඩෙං කිරිකැට් ගැන එළකිරි පෝස්ට් එකක් වැටෙයි කියලා නැස්ටලොජියා කාරයෝ ටිකට තව ටිකක් උඩ පැන පැන කතා කොරන්න... හි හි...

      Delete
  4. හපොයි ක්‍රිකට් පිස්සෝ ටික දැන්මම වැඩ පටං අරංද....

    ReplyDelete
    Replies
    1. කොයි ලෝකෙද බොල ඉන්නෙ?..මේ ලියල තියෙන්නෙ 2011 ලෝක ශූරතාවය ගැන....

      Delete
    2. 2011 එහෙම එකක් තිබ්බද... මං හිතං හිටියේ අපි වර්ල්ඩ් කප් එක ගත්තට පස්සේ ඒක නැවැත්තුවා කියලා... හි හි...

      Delete
    3. හෙහ්, හෙහ්..බොටත් හිතෙන දේවල් අම්මපා...:)

      Delete
  5. අම්මට සිරි උඹත් ක්‍රිකට් ප්‍රේමියද(ප්‍රේයන්න ලියන එක ඔක්කොටම හපං).
    පළවෙනි තරගෙට වැඩිය හොඳයි දෙවනි එක, නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. යස් රාජ්..මමත් එකඟයි..පළවෙනි මැච් එකේ සංගගෙ ගැහිල්ල මල් මසුරං උනාට අන්තිමට මැච් එක එපාඋනා..කිසිම ආතල් එකක් නෑ..දෙවෙනි එක එහෙම නෙවෙයි..ටිකක් තිබ්බ ඒකෙ ගතියක්..

      3 සහ 4 ගහන්නෙ පල්ලෙකැලේ...මම අපෙ උන්දැත් එක්ක කතා කරද්දි මේ දවස්වල මුලින්ම අහන්නෙ " මේ ඒයි...අද වහිනවද? " කියල..හෙහ්, හෙහ්, " මොකද එහෙම අහන්නෙ " කියල ඇහුවම " නෑ නිකමට " කියල ෂේප් වෙනව..ඒත් උන්දැ එක්ක කොහෙද ඒ සෙල්ලං ..ඊයෙ ඇහුවනෙ " මොකද නුවර මැච් එකක්වත් තියනවද ඔය හැටි වැස්ස ගැන අහන්නෙ? " කියල හෙහ්, හෙහ්,

      Delete
  6. සංගා ගෙ ගැහිල්ල මත් බලාගෙන හිටියා. පුදුම ලස්සනක් තමයි. හැබැයි, මම දකින තව දෙයක් තමයි උපුල් තරංග කියන්නේත් හරිම ක්ලාසි බැට්ස්මන් කෙනෙක්. ඇඟට නොදැනෙන්න ගහන එකෙක්. තරංගගේ 40 ගාණත් ඌ ලස්සනට ගැහුවා.

    මගේ නම් මුල්ම ක්‍රිකට් මතකය, රොමේෂ් රත්නායක, කපිල් දේව්ගේ රිටර්න් කැච් එක ඩයිව් කරලා තනි අතින් අල්ලගද්දි, (අපේ පළවැනි ටෙස්ට් ජයග්‍රහණය) හැමෝම දිව්වා ස්ටම්ප්ස් ගන්න. අර්ජුන විතරක් ඇවිත් රොමේෂ් ගේ ඔලුව අතගාලා නැගිට්ටෙව්වා. අම්මපා චිත්‍රපටියක් වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. තිසර,ඔහු රුමේෂ් රත්නායක

      Delete
    2. තිසර,

      1985 සැප්තැම්බර් වල ඒ මැච් එක තිබ්බෙ මම එතකොට හිටියෙ වැලිකන්දෙ...ඒ දවස්වල මට මතක විදිහට තරඟ සජීවීව රූපවාහිනියෙ විකාසය කලේ නෑ..ඒත් පස්වෙනි දවසෙ අනිවාර්යයෙන් අපි දිනයි කියල හිතල සජීවීව ප්‍රචාරය කලා..

      අපෙ කෑම්ප් එකට එතකොට ලයිට් දීල තිබ්බෙ නෑ. ජෙනරේටර් තමයි...දවල්ට ජෙනිය දාන්ට ලොක්කගෙං විශේෂ අවසරයක් ගන්ට ඕන..දවල් කන්ට ආපු ගමන අපි කවුරුත් හවස වැඩට ගියේ නෑ. ලොක්කට කියල අවසර අරගෙන ක්ලබ් එක ඇරල මද්‍යපානය බෝතල් කීපෙකුත් අරගෙන අප්පට සිරි හවසම ෆුල් ආතල්...ජේ. ආර් ලොක්කට ගිය ආතල් එක කොච්චරද කියනවනං පහුවදා පබිලික් හොලිඩේ එහෙකුත් කලා.

      හැලප හරි, නම රුමේෂ් ජෝසෆ් රත්නායක නොහොත් ආර්. ජේ. රත්නායක..ඒ දවස්වල හිටිය මතකෙයි තව ෆාස්ට් බෝලර් කෙනෙක්..හෙණ දණ්ඩෙක්...ට්‍රිනිටියන් කෙනෙක්..රවි රත්නායක..එයයිගෙ නම ජේ. ආර්. රත්නායක....ජෝසෆ් රවින්ද්‍රන් රත්නායක.

      Delete
    3. රවි,
      රවි රත්නායක 1982 නුවරදී එංගලන්තය සමග පැවති තුන්දින තරඟයේ ඉතා හොඳින් පන්දු යැව්වත් ඕවල් පිටියේ පැවති ටෙස්ට් තරඟයට ඔහුව තෝරා නොගැනීම ගැන කීත් ප්ලෙචර් පවා පුදුමයට පත්වී සිටියා...
      පසුකලක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා මෙන්ම වරක් නයිට් වොච්මන් ලෙස පැමිණ ලකුණු අනූ ගණනක් ලබාගැනීම නිසා තරඟ කීපයක ආරම්භක පිතිකරුවාද වුණා.
      පසු කලෙක ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව දැනගන්නට ලැබුණා.

      Delete
    4. හැලප,

      ඔව්, ඔබ හරි..අස්ගිරියෙ තිබ්බ ඔය තරඟෙදි බර්නාර්ඩ් පෙරේරා ශතකයක් ලබාගත්ත. ඒත් ඔහුටත් පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමේ වරම් අහිමිඋනා.අපිට ඒ තරඟයෙ හිටියෙ එකම වේග පන්දු යවන්නෙක් විතරයි..අසන්ත ද මෙල්,අනික් පැත්තෙන් ආරම්භක පන්දු යවන්නා උනේ බන්දුල වර්ණපුර.

      රවි රත්නායක ඒ කාලෙදිම ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගියා..ඔබ හරි.

      Delete
  7. කොච්චර උනත් මෙක එපා වෙන්නෙ නෑ නෙ බොලේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල එපා වෙන්නෙ නැත්තෙ?....:) :)

      Delete
    2. ක්‍රිකට් බන් ක්‍රිකට්.මුන් කෙලින පිස්සු වලට හරිනාම් දෑන් එපා වෙලයි තියෙන්න ඔන

      Delete
    3. ආන්න එහෙම වරෙං මල්ලි..You come that way...මම මේ හිතුවෙ උඹ කියන්නෙ මම ලියන එව්ව ගැනය කියාලනෙ.....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...