Tuesday, November 26, 2013

231. කවිකාරියකගේ ප්‍රේමය…..19


නකතං වෙන්ට ගහල බඩ පැලෙන්ට බතුත් කාල අපි දෙන්න පොඩි ඇලට් එකක් ගැහුව කුඹුක් ගහ යටම..

" අයි...යෙ….." විජිතය තටමල වගෙ කියා ගත්ත..

" මො..ක්..ක..ද මලේ? " මාත් ඇස් ලොකු කරල ඇහුව.." මොකෝ බොලේ කබ්රාල් වත්ද? "

" නෑ..නෑ...එහෙම එකක් නෙවෙයි…..අර්..ර ..ඉස්..සෙල්ල කි..කි..කිව්වෙ ඇත්ත..මද? "

" මො...න? "

" ඕන **** පණං අටයි කියල...."


" හෙහ්, හෙහ්, බොරු බං ….."

" ඈ?..... එතකොට?..."

" පණං හතරෙ එව්වත් ඔය ඕන හැටියෙ තියනව...හෙහ්, හෙහ්, හෙහ්, "


විජිතයයි මායි හිනාවෙන සද්දෙට කුඹුක් ගහේ වහන්ට ආපු දියකාවෝ දෙන්නෙක් බය වෙලා ආපහු පියාඹගෙන ගියා වැව් ඉස්මත්තෙ සිරිතේක්කුවගෙ බෝදිය දිහාට...

අපි දෙන්නටම එහෙම්මම නින්ද යන්ට ඇති මහිතේ...ඇහැරෙනකොට ඉර හැරිල දිඹුලාගල කඳු වලල්ලටත් මුවාවෙන්ට ඔන්න මෙන්න..මම කෙලින් වෙල හැරිල බැලුව..විජිත මට කලින් නැඟිටල..අත් දෙක ඔලුව පිටිපස්සෙ බැඳගෙන කුඹුල් ගහේ කොළ අතු හීල් හුළඟෙ එහෙ මෙහෙ නටන දිහාවෙ බලා ඉන්නව.

" අයියෙ…." විජිත කතා කලේ එහෙම්ම උඩ බලාගෙන..

" ඔව් විජිත කියන්න….."

" අයියෙ... මට නෙවෙයි ඇත්තටම සුජාතා හරියන්නෙ..අයියට..ඒ නිසා මම කියන්නද..මම සුජාතගෙන් ඈත් වෙනව සදහටම..මම ඔය දෙන්නට සුබ පතනව.."
විජිත කඳුළු පිරුනු දෑසින් හිනා උනා..

අම්මාපල්ල, මයෙ වකුගඩුව හෝස් ගාල පත්තූනා.

" මල්ලි විජිත...මල්ලි …" මට වචන පටලැවි පටලැවි එච්චරයි කියාගන්ට පුලුවන් උනේ......

ඈහ්හ්හ්??? මේ මොන කෙහෙල්මලක්ද බොලේ මම මේ ලියන්නෙ? අර හෙන්රි නම් වූ වියුණු සරන්නගෙ බූත කමෙන්ට් එකට මම ලියාපු අබූත කතාව නේද මම මේ දිගටම ඒ පාර ලියන්නෙ...හෙහ්, හොඳ වෙලාවට දැක්කෙ...

විජිත මා ලඟටම ආව. මගෙ අත් දෙක අල්ලගෙන ඇස් වලට එබුන.

" අයියෙ…. මම මේ බැගෑපත් ඉල්ලීමක් කරන්නෙ ..සුජාටයි මටයි අයිය බාදාවක් වෙන්න එපා. අපේ ජීවිත වලින් කරුණාකරල අයිය අයින් වෙන්න. මම ඉල්ලන්නෙ එච්චරයි. "

අප්පට සිරි ඉතිං මොකේදැයි පොඩි නම දං වළඳන්නේ? එහෙම ඇහුවෙ ලොකු හාමුදුරුවො...මොකක් කියන්ටද කියල හිතාගන්ට බැරුව මම තක්කු මුක්කු වෙලා විජිතය දිහාම බලාන උන්න.

" ඇ..ඇයි අයියෙ?....මගෙ ඉල්ලීමට හා කියන්ට බැරිද අයියට? "


" විජිත මෙතන වැඩේ මේකයි..මම කිසිදවසක ඔය දෙන්න අතරට බාධාවක් වෙලා නම් නෑ. ඒ නිසා මම හාය කිව්වොත් ඒ කියන්නෙ මම එහෙම බාධාවක් වෙලා හිටියය කියල මම පිළිගන්නවයි කියන එක.ඒ නිසා මට එහෙම පොරොන්දුවක් වෙන්න උවමනාවක් නෑ කොටින්ම.අනික මටත් තියනව මල්ලිගෙන් ප්‍රශ්නයක් අහන්න. උඹ මගෙ ඇඟට නිරපරාදෙ ගොඩවෙන්ට තනපු වෙලාවෙ ඉඳල මේක මගෙ හිතේ කැකෑරෙන ප්‍රශ්නයක්. ඔය විදිහට මා එක්ක පැටලෙන්ට මොකද්ද ඇත්තටම හේතුව? උඹ කොහොමද කියන්නෙ හරියටම මම උඹල දෙන්නට බාධාවක්ය කියල. මම මාස තුනකට වගෙ පස්සෙ පෙරෙයිද  ආවෙ කෑම්ප් එකට..ඉතින් උඹ ඔහොම වැරදි අවබෝධයක් ඇතිකරගෙන තියෙන්නෙ මගෙන් කියවෙච්චි දෙයක් හෝ මගෙ හැසිරීමකින් වෙන්ට බෑ..ඇත්ත කියාපං මොකක්ද උඹට මං ගැන ඔහොම හිතෙන්න හේතුව? "

මම එක දිගට කියවගෙන කියවගෙන ගියා.....

විජිතය අර මල බද්දෙ හැදිච්චි බසු තඩියෙක් වගෙ මගෙ දිහා ඇස් ලොකු දෙකත් දොඹ ගෙඩි හේ කරගෙන බලාන උන්න මිසක වචනයක් කිව්වෙ නෑ…

" ඉතිං කතා කරපං බාං......, "

මට ඔන්න ඒ පාරනම් යස්සය ආරූඩ උනා. ඇයි යකෝ..මේ ගොං වස්ස ඊයෙ නිස්කාරණේ මගෙ ඇඟට ගොඩ උනේ අම්ම මුතුං කාලෙවත් මම නාහපු කතන්දර කියාගෙන. අද එහෙම කිව්වෙ මොකද කියල ඇහුවම මෙන්න බලා ඉන්නව වචනයක්වත් නොකිය ඇස් දෙකත් නෙරවාන...

" ආය මොකටද උගුරට හොරා...උඹටනෙ කියන්ට බැරි..ඉඳපං මමම අහන්නංකො…..කියාපං සුජාතා මොකවත් එහෙම දෙයක් ගැන කිව්වද උඹ එක්ක? "

විජිත එක පාරටම අහක බලා ගත්ත……..

අපි අතර මොකවත්ම සද්දයක් නැතුව බොහොම හිතට බර මිනිත්තු කීපයක් ගත උනා.ආයම මේක අඬන්ඩවත් ලෑස්ති වෙයිදෝ කියලත් මට එක වෙලාවකට හිතුන. ඔහෙ ඕන එකක්..අඬල දොඩල විලාප ගහල හරි මේකෙ දෙකින් එකක් විසඳ ගන්ට එපාය. එහෙනං ආය.....මොන මංගල්ලයද්ද මේ?

" කතාකරහං යෝදයො කටේ පිට්ටු හිරකරගෙන වගෙ ඉන්නෙ නැතුව...."


මම ටිකක් විතර සද්දෙට කිව්ව. ඇයි යකෝ..මූට මගෙං අරවගෙ ඉල්ලීමක් කරන්ට පුලුවන් නම් මට අයිතියක් නැද්ද මෙහෙම අහන්ට…

විජිත හැරිල මයෙ මූණ දිහා බලල ආයෙම අහක බලාගත්ත...

" එහෙම දෙයක් කෙලින්ම කිව්වෙ නම් නෑ අයියෙ...ඒත් මට එහෙම තේරුණා කතාබහෙං.."

" හ්ම්ම් ඒකත් එහෙමද?.....හරි එහෙමෙයි කියමුකො..එතකොට මේකත් කියාපං උඹ මගෙං මේ වගෙ ඉල්ලීමක් කරන්න ඉස්සරවෙලා සුජාතට ඔය ගැන කිව්වෙ නැද්ද? එහෙමත් නැත්තං කෙලින්ම ඇහුවෙ නැද්ද? "



" කොහෙ අහන්නද සුජා මාත් එක්ක ඉන්නෙ පුදුම තරහකිං..මට කිසිදෙයක් කියන්න දුන්නෙම නෑ...අනික කොච්චර උනත් මට සුජා ලඟ ඔය හැටිම සෙකන්ඩ් වෙන්නත් බෑනෙ අයියෙ..ඒකයි මම අයියගෙන් මෙහෙම ඉල්ලිමක් කරන්ට හිතුවෙ.." 

හෙහ්..මූට යන්තමට හරි කොන්දක් කියල එහෙකුත් තියනව එහෙනං..මට එහෙම හිතුන....

" හරි විජිත දැං මෙහෙම හිතමු. මගෙන් අවුලක් නැතත් මල්ලි සුජාගෙ ඔයා එක්ක තියන අප්සෙට් එක එහෙමමයිනෙ..ඉතිං කොහොමද ඔයා හිතාගෙන ඉන්නෙ ඔය වැඩේ ෂේප් කරගන්න? "


" මෙහෙමයි අයියෙ..සුජාගෙ කේන්තිය තව ටික දවසක් යනකොට අඩුවෙයි.මම හිතාගෙන ඉන්නෙ ඊට පස්සෙ හෙමිහිට එයාව හම්බ වෙලා කතාකරන්න. කතාකරල වැඩේ ගොඩ දාගන්ට...ඉතිං අයිය මගෙ ඉල්ලීමට එකඟ වෙනවනම් මට සීයට දෙසීයක් ෂුවර් මගෙ බලාපොරොත්තුව මට ඉෂ්ට කරගන්ට පුලුවනිය කියල. "

" හ්ම්ම්ම්. එහෙමද?....විජිතගෙ ඔය හේතු දැක්වීමට මම කොහෙත්ම එකඟ වෙන්නෙ නම් නෑ..ඒත් කමක් නෑ. මෙච්චර කාලෙකට මම මල්ලි උඹට බාධාවක් උනෙත් නෑ. ඒ වගේම ඉස්සරහට බාධාවක් වෙන්නෙත් නෑ."


මම විජිතයගෙ අත් දෙක අල්ලගෙන කිව්ව..

" තෑන්ක්ස් අයියෙ තෑන්ක්යූ සෝමච්..අයිය දන්නෙ නෑ අයියගෙ ඒ වචන ටික මගෙ හිතට කොච්චර සහනයක් උනාද කියල."


විජිත මගෙ මූණ බලල හිනා උනා...මට සහතිකයි උගෙ ඇස් දිලිසුනෙ කඳුළු හින්දය කියල. මගෙත් ඇස් දෙකට කඳුලු පුරාගෙන එනව වගෙ දැනුන නිසා මම විජිතයගෙ අත් දෙක අතෑරල පැත්තකට හැරිල ඇස් තදින් පියාගෙන හුස්මක් උඩට ඇදල පපුව පුරව ගත්ත. මම කලිනුත් කියල ඇතිනෙව. මම ඇවිල්ල බොහොම සංවේදියි..මතකනෙ අර මොන්ත ක්‍රිස්තෝ සිටුවරයගෙ කතාව තුන්වෙනි පාරද හතරවෙනි පාරද කොහෙද තමයි මම හිත හයි කරගෙන කියවල ඉවරයක් කලේ...

" අයිය මම මේ සිකුරාද වෙනකල් විතරයි මෙහෙ වැඩ කරන්නෙ…."

"ඈහ්හ්හ්??? ඒ මොකද මලේ?..."

" මම හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්සර් එකක් හදා ගත්ත...ලොක්කට කිව්වම වැඩේ කරල දුන්න. මම හිතුවෙ අයියෙ අලුත් තැනකට ගිහාම ජීවිතේ අලුතෙන්ම පටන් ගන්න පුලුවන් වේවිය කියල.ඒත් අයියෙ මට සුජාතව නම් කොහොමවත් අමතක කරන්න බෑ..මම කොහොම හරි එයාට කරුණු පැහැදිලි කරල දීල ආයෙම මට කැමති කරව ගන්නව.."


" හොඳයි විජිත...මගේ සුබ පැතුම් "

මම විජිතයගෙ උරෙස්සට මගෙ අත් දෙක තියල කිව්ව..

"තෑන්ක්ස් ෆො එව්රි තිං අයියෙ..තෑන්ක්යූ සෝ මච්...මා එක්ක තරහ නෑ නේද? "

විජිත එහෙම ඇහුවෙ මාව වැළඳගෙන ටික වෙලාවක් ඉඳල ආයෙම අඩියක් දෙකක් පස්සට තියල මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන..

" නෑ මල්ලි මම එක පාරක් කිව්වනෙ. එව්ව මයෙ හිතකවත් නෑ...ඉට්ස් ඕකේ..ජස්ට් ෆොගෙට් ඉට්.."

" අනේ බං උඹ වගෙ මෝඩයෙක්...කෙල්ලත් උඹට කැමතිනං උඹත් කෙල්ලට කැමතිනං ආය කෙහෙල්මලද....එක එකා ගැන හිතන්ට ගිහිල්ල අන්තිමට ඔන්න බලාපං උඹට වෙන වැඩේ…"


එදා රාත්තිරියෙ සුපුරුදු පරිදි රවුම් කනප්පුව වටේ වාඩි වෙලා අපේ වියත් සබාව පවත්වද්දි එහෙම කිව්වෙ ජයේ.......

" එහෙමමත් නෙවෙයි බං....අර මනුස්පයගෙ මූණ බලාගෙන මම කොහොමද ..."

එතනිං කතාව නවත්තල 
මම කනප්පුව මැද්දෑවෙ පත්තුවෙන ඉටිපන්දමේ කහපාට දැල්ල දිහා බලාගෙන හිටිය. 

එදා හවහම මහ වැස්සක් කඩාපාත් උනා නොහිතූකොට. හත්දා වැස්ස වැහැල පරාක්කරම සමුද්දරේ වාං දාන උඳුවප් මහේ ඇරුණුකොට ඒ වන්නිකරේට ආය එහෙමට වහින්නෙ නෑ. ඒත් දැං හැමදේම වෙනස් වෙලා ගිහිල්ල නෙව. වහින්නෙත් වැස්ස වලාහක දෙයියන්නාන්සෙලගෙ හිතූ මනාපෙට.

වීර පළු ගස් අඹරවාන පාත්වෙච්ච වැස්ස වැඩි වෙලාවක් අල්ලල හිටියෙ නෑ.ඒ වැස්සත් එක්කම පළාතම දෙදරවාගෙන ගහපු හෙණ ගෙඩිය නිසා අපේ කෑම්ප් එකේ විතරක් නෙවෙයි ඒ අහල ගං හතේම ලයිට් ගියා.ඔන්න ඔය හින්දයි රවුං කනප්පුව අර ඉටි පන්දමක් පත්තු උනේ.

වැස්ස වැඩි වෙලාවක් නොගොහිම්ම පෑයිය නම් තමා. ඒත් ඒ එක්කම පාත් උනේ කං කැක්කුං අල්ලන හීතලක්.මගෙ ඒ දවස්වල තිබ්බ බතික් බෙඩ් ෂීට් එකක්. ඕක තමයි හීතලට මගෙ පොරෝනෙ. ඔය පොරෝනාව ඒකාංස කොට පොරවගෙන බුදු හාංදුරුවො පාරිලෙයිය වනයෙ අර දඹ ගහ හෙවනෙ වැඩ උන්න වගෙ තමයි මම හිටියෙ ඔය වෙලාවෙ කකුල් දෙකත් පුටුව උඩට ඇරගෙන.

සරීරෙම හීගෝතු පුප්පගෙන, හෑයි ගාල ඇරල තිබ්බ ප්‍රන්ස ජනේලෙං කඩා වැදිච්චි හීතල හුලං පොදක් ඉටි පන්දම නිවල දැම්මෙ නැතැයි...

හෙහ්, හෙහ් ගෙදරක දොර ජනෙල් හායි ගාල ඇරල දාල කියනව මිසක්ක හෑයි ගාල ඇරලය කියල කියනව අහල තියද? අපි අර ඉස්කෝලෙ නිල නිවාසෙ හිටපු කාලෙ ඒ මණ්ඩලේ එක ගුරුවරියක් කියන්නෙ එහෙම..." මොකද අනේ ඔයාලගෙ ගෙදර දොර ජනෙල් ඔක්කොම හෑයි ගාල ඇරල දාල...දෙන්නත් එක්ක කොහෙද මේ ගියේ? " අපෙ එතුමියටයි මටයි මැරෙන්ඩ හිනා!!!!

අද උනත්..... ඒයි මේ දොර ජනෙල් හෑයි ගාල ඇරල දාල..කියල කියන පමාව විතරයි තියෙන්නෙ.......අපි දෙන්නටම හිනාව නවත්ත ගන්ට බෑ...හෙහ්, හෙහ්…

ඇටපල් කලුවරේ ඇහැට ඇන්නත් පේන්නෙ නෑ..

" සැමී අරං වරෙං බං ගිනි පෙට්ටියක්.." විමලෙ කෑගැහුව.." ඔන්න ඔය ජනේලෙත් වහ දාපං.."

" මේ ජයේ මහත්තයනෙ ජනේලෙ අරින්නෙ කොයි වෙලාවෙත්. …" ගිනි කූරක් ගහල ඉටි කෑල්ල පත්තු කරල සැමිය තොල මතුර මතුර ගියා ජනේලෙ වහන්ට.

" ඒයි එක පලුවක් විතරක් වහපං,…. නැත්තං රස්නෙ.." ආන්න ඒ ජයේ....

" මේ මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඉඳු..කෙහෙම්මල රස්නෙ...අපි මේ වෙව්ලනව..උඹ නම් මීහරකෙක්ද කොහෙද? සැමී වහ දාපං පලු දෙකම…." විමලෙ කාමරේට ගිහිල්ල තව ඉටි පන්දමක් අරගෙන ආව.

" ඉතිං මල්ලි මොකෝ උඹේ අවසාන තීරණය?..." විමලෙ ආයෙම ඉඳගෙන මගෙ දිහාට හැරුන.

" මට ඒක කරන්ට බෑ අයියෙ..මම වැඩේ අල්ලල දානව.ඔහොම ප්‍රශ්නයක් තියාගෙන මම කොහොමද............." …..ආයම මම ඉතුරු ටික ගිල ගත්ත.

" හරි ඒකෙ අවුලක් නෑ..උඹේ ජීවිතේ..උඹට හොඳයි කියල හිතෙන විදිහක් කරපං...මොකද කියන්නෙ බොලා?...තව එකක් ගේනවද? "

" මට නම් ඇති..අද නෑ මුද්‍රික පාන මූඩ් එකක්..අනික මේ කලුවරේ...." මම එහෙම කියල නැඟිට්ට..

" යස් මටත් එහෙමයි..එහෙනම් කාල නිදියමු…" විමලෙත් කිව්ව..

එහෙම දවස් තියනව. මේ දාඩිය පොල්ල දෙකංසෙං පෙරෙනව. ඒත් මධු පානයටමයි හිත. ආයම ඔන්න පට්ට හීතල. ඒත් කිසිම ආසාවක් උනන්දුවක් එන්නෙ නෑ. ඒ තමයි ඒකෙ හැටි..

එක ගිණිකූරයි මුලු ගෙදරම තිබුනේ….
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා ඔබට ලියන්නට ඉඳගත්තා…
හුළඟ හරි සැරයි වහින්න වාගේ...කුප්පි ලාම්පුව ...නිවුනා....
ආදරයට කොහිදෝ බාදා නැත්තේ…


ඒ අපි පොඩි දවස්වල ජනප්‍රිය සින්දුවක්..ගායිකාව නම් මතකයක් නෑ....

එක ගිනි කූර නම් නෙවෙයි ගිනි පෙට්ටියක්ම තිබ්බ..අනික කුප්පි ලාම්පුවක් නෙවෙයි ඉටිපන්දමක්....ඒත් ඉතුරු ටික නම් හරි වගෙ. ගිනි කූරක් ගහල ඉටිපන්දම පත්තු කරල මේසෙ කොනේ ගහල ඔබට ලියන්නට ඉඳ ගත්තෙමි.

මේ පළමු සහ අවසාන ලිපියයි ඔබට ලියන මා හිතවතිය.....අහ්..හරියටම කියනවනම් ලියපු දෙවෙනි ලියුම. ඒත් පලවෙනි ලියුම කවම කවදාකවත්ම ඔබට දකින්න හම්බ වෙන්නෙ නැති නිසා නිල වශයෙන් මේ තමයි පළවෙනි ලියුම..වැස්සත් පායල..හුලඟකුත් ඒ හැටිමත් නෑ..ඒත් ආයම ඉතිරි පදේ හරි..ආදරයට කොහිදෝ බාධා නැත්තේ??????

හිතවත් සුජාතා...එහෙම ලියල ආයම කල්පනා කරල හිතවත් කෑල්ල කැපුව..හ්ම්ම්..නිකම්ම සුජාතා...ආය මොන මඟුලක්ද? ලිව්ව ආයම ඒ කොලේ ඉරල දාල….

හිතවත් සුජාතා,

කොළඹ පැවති පුහුණු පාඨමාලාවෙන් පසු මම ආපසු මෙහි පැමිණියේ දින දෙකකට පෙරය. ඔබ ඒ පිළිබඳව හොඳින් දන්නා බවද මම දනිමි. මේ සියලු දේ සිදුවූයේද ඒ පාඨමාලාව හේතුවෙන් බව පැවසූවහොත් ඒ ද අසත්‍යයක් නොවේ.එහෙත් සිදුවිය යුත්ත එලෙසම සිදුවිය යුතුය. ඒ වැළැක්වීමට සමතෙක් මේ මිහිමත නොවේ.

එබැවින් මවිසින් සිතාමතා ඔබගේ ලිපියට පිළිතුරු ලිවීම අතපසු කලේ යයි කරුණාකර නොසිතනු මැන.

මා දයාබර නැඟනිය, ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ අපට ලැබෙනදේ යනු එකක් නොව දෙකකි. තමනට ලැබෙනුයේ දෛවය අනුව ඉරණම අනුව තමනට හිමි වූව පමණකි.

ගණඳුර රජයන රාත්‍රිකාලයන්හි දළ රළ පෙල නැඟෙන මහ සමුදුරෙහි එකිනෙක පසුකොට යන බොහෝ නෞකාවෝ වෙති. ඔවුහු එකිනෙකා පසු කරද්දී මඟ පෙන්වනා ආලෝක කදම්බයෙන් මොහොතකට අනෙකාගේ සියොලඟ ඒකාලෝක කෙරෙති. එහෙත් ඒ අසුරු සැණක් වන් මොහොතකට පමණි. ඒ හා සමඟම ඒ නෞකාවෝ තමන්ට නියමවූ ගමන් මඟ අනිවාර්යයෙන් අනුගමනය කල යුතුමය.

දෛවයෙන් ඉරණමින් ඔවුනට නියම කොට ඇති ගමන් මඟ අතහැර තමනට රිසි පරිදි කටයුතු කිරීමේ කිසිදු නිදහසක් සත්‍ය වශයෙන්ම ඔවුනට නැත. ඔබද මමද එවන් නෞකාවන් යයි උපකල්පනය කොට සිත් සනසා ගනිමු. ගණඳුරු රැයෙහි එකම එක වරක් පමණක් එකිනෙකාගේ ආලෝකයෙන් එකළු වීමට වරම් ලද්දාවූවෝ වෙමු යනුවෙන් සිතා සිත් සනහා ගනිමු..මා දයාබරවූ නැඟනියනි.

What you expect from life and what you get from life are two entirely different things. I know its not fair, but who told you that life is fair?

මේ වැකිය ඔබට මෙන්ම මටද එකසේ අදාලය. එපමණක් පවසමින් නවතිමි. ඔබගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි ඔබ පැතූලෙසම මමද පතන්නෙමි.

මම,

රවි අයියා.


මතු සම්බන්ධයි......

74 comments:

  1. මම අදමයි ඔබගේ
    බ්ලොගයට ආවේ. දැන් කියවන්න වෙලාවන් නෑ. පසුව නිවාඩුව එන්නම්. ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. චන්දන,

      ස්තූතියි චන්දන, ඔබගෙ කවි හරිම අපූරුයි!!!! :)

      Delete
  2. ලියුම මේ වගේ කෙටි එකක් වීම හොඳයි. නැත්නම් උඹේ සාහිත්‍යයට සුජාතා තවත් වහ වැටෙන්න තිබ්බා, ලියුමෙන් කියන්නෙ වෙන දෙයක් උණත්.... මට දැන් ඔය ඩබලම (විජිත, සුජාතා) එපා වෙලා ඉන්නේ....

    අර ජෝන් ලෙනන් ගෙ සින්දුවක තියනවනේ.... Life is what happens while you are busy making other plans කියලා...

    ReplyDelete
    Replies
    1. //ලියුම මේ වගේ කෙටි එකක් වීම හොඳයි. නැත්නම් උඹේ සාහිත්‍යයට සුජාතා තවත් වහ වැටෙන්න තිබ්බා, //ඒක නම් ඇත්ත :)

      Delete
    2. Thisara,

      / නැත්නම් උඹේ සාහිත්‍යයට සුජාතා තවත් වහ වැටෙන්න තිබ්බා, /

      හෙහ්, හෙහ්, ඔය Wordsmith වැඩ යන්තමට හරි පුලුවන් නම් බං ආය ආය මොනවද ඉතිං සිකුරා නළලෙ පදිංචි වෙන්නෙ පොඩි පැල්කොටේකුත් අටෝගෙන මුත්තාපල් නොයං කියල.....ඇඬෙන්ඩ ලියන්ට ඕන ඇඬෙන්ට ඇඬෙන්ට...ඕකට සිංහලෙං කියන්නෙ වදනිසුරු....:)

      / මට දැන් ඔය ඩබලම (විජිත, සුජාතා) එපා වෙලා ඉන්නේ..../

      උඹ මේ උං ගැන කියවල උං එපාවෙලයි කියනව. මම එවුං දෙන්නව ආස්සරේ කලා නෙව..නිකමට හිතහංකො මට කොහොම ඇද්ද කියල....

      මගෙ හොඳම යාලුවෙක්ගෙ මල්ලි බැන්ද. අපි කට්ටිය වෙඩිමට ආපු ගමන ඌ හනිමෝං ගිහිල්ල දවස් තුනකට පස්සෙ එනකල්ම කලේ උංගෙ ගෙදරට වෙලා බීපු එක. පොරගෙ තාත්ත නියම ජොලි බුවා..පරණ වතු සුපිරිංටැං කෙනෙක්..වතුර කඩ්ඩ වගෙ...දවසක් උදේම ආව අපි කට්ටිය තැන තැන වැටිල බුදියං ඉන්න කාමරේට..බෙට්ටී බන්දේසියත් අරගෙන..හිස් බෝතල් තිබ්බ බිත්තිය අයිනෙ එක හත අටක්.

      " My God guys just looking at that empties makes my blood pressure go up " අන්කල් කිව්ව.

      " Heh, just looking at all those empties make your pressure go up..eh Uncle? ...We had to drink what was inside..so what do you think had happened to our blood pressure? "ආන්න උත්තරේ...හෙහ්, හෙහ්

      Delete
    3. දිලිනි,

      ඒක නේන්නම් බොලේ...හෙහ්, හෙහ්, මටත් නිකං ඉන්ට බැරුවට නෞකා ගැන ලියල දන්නවද වෙච්චි හෙයියම්මාරුව?.....ඒ නෞකා කතා වලින් මට වැඩක් නෑ කියල සුජා ආවනෙ මගෙ ඇඟටම..හප්පොච්චියේ...මතක් වෙනකොටත් මේ පස්ට හීතලේ දහඩිය දානව තුම්මුනිම්...:)

      Delete
  3. තිසර කිව්වා වගේ මටත් මේ පිස්සු කේස් එක එපා වෙලා ඉන්නෙ... මොන මඟුලක්ද මන්ද මේ මෝඩයට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද අම්මපා බර වචන දාලා ලියුම් ලියන්න... හි හි...

    දැං කල්පනා කරලා බැලුවම සුජාතව මට නං එපා වෙලා ඉන්නෙ රවියයියට ‌කොන්ද පණ නැති හින්ද කියල දැං තේරෙනවා... ( අද ගුටි කන්න වෙයිද මන්ද... හි හි) (( ආදරයට කොයිදෝ බාධා නැත්තෙ රවියයියෙ... හි හි.... )) ((( පවු හලෝ ඔයා... ඔච්චර ඇඹරෙන්නෙ නැතුව හිටියනං මේවා අහගන්නෙ නෑ නේ)))

    ReplyDelete
    Replies
    1. හීරුස්,

      / මොන මඟුලක්ද මන්ද මේ මෝඩයට… /

      හෙහ්, හෙහ්, උඹ මට එහෙනං මෝඩය කියලත් කිව්ව ..නේද බොල? :)

      / ….රවියයියට ‌කොන්ද පණ නැති හින්ද කියල දැං තේරෙනවා /

      අම්මාපල් අර අම්මණ්ඩිත් ඔහොම්මම කිව්ව නෙව...මගෙ කොන්ද පණ නෑ කියල...මම ඉතිං හිනා වෙල නිකං හිටිය…

      මේ අවස්තාවෙ මගෙ චර්යාවට හේතුව කශේරුකාව අනවශ්‍ය පරිදි නම්‍යශීලීවීම කියල බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්. පස්සෙ කාලෙකදි වෙලාවකට මටත් එහෙම හිතුනෙ නැත්තෙමත් නෑ. ඒත් අපි තීරණ ගන්නෙ ඒ අවස්ථාවෙ තත්වය අනුව අපිට නිවැරදියි කියල හැඟෙන ආකාරයට. ඉතිං ප්‍රස්තුත අවස්ථාවෙදි මට නිවැරදියි කියල හිතුනෙ ඔය ක්‍රියා මාර්ගය තමා..I don't know why but that's the way the cookie crumbled ............:)

      Delete
  4. ඉතින් ඔය නෞකා එකට හැප්පෙන එක වෙන්න ඇති කසාද බැඳිල්ල කියන්නේ .....නැද්ද .

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඊට පස්සෙ ගොඩයාමක් නෑ.. ගිලෙනවා... :)

      Delete
    2. මුදේ නෞකා ගිහිල්ලා පාරවල් හිටියම තමා බදින්න වෙන්නේ .....hak hak ..

      Delete
    3. Bindi,

      / ඉතින් ඔය නෞකා එකට හැප්පෙන එක වෙන්න ඇති කසාද බැඳිල්ල කියන්නේ .....නැද්ද /

      අඩේ එහෙමත් එකක් හිතන්ට පුලුවනි නේද?...එතකොට ඩිවෝස් විල්ල? :)

      Delete
    4. ඇයි බං අයියෙ තේරෙන්නෙ නැද්ද..?? හැපිල දෙන්නට දෙන්න ගිලෙන්නෙ ගිල්ලවන්නෙ නැතුව ඉන්නවට තමයි කියන්නෙ විවාහ ජීවිතේ කියල... එක්කෙනෙක්ට හරි ගිලෙන්ඩ දුන්නොත් තමයි ඉතිං ඩිවෝස්.. මේ අතුරු පස්නයක් තියේ මට.. මේ ඩුප්ලිකේෂන් පාරෙ තියෙනව ඩි වොස් ඇවනිව් කියල පාරක්... ඒකෙ ඉන්න සේරමල ඩිවෝස් වෙච්ච ඈයොද දන්නෙ නෑ නේද??

      Delete
    5. ආ එතකොට තමා කියන්නේ අණතුරු රැසකට පසුව නැවතත් සාමකාමී මුහුදු ගමනක් කියලා.. :D

      කියන්ට ආව ඒවත් අමතක උනා මේක දැක්කම...

      Delete
  5. //වීර පළු ගස් අඹරවාන පාත්වෙච්ච වැස්ස වැඩි වෙලාවක් අල්ලල හිටියෙ නෑ.ඒ වැස්සත් එක්කම පළාතම දෙදරවාගෙන ගහපු හෙණ ගෙඩිය නිසා අපේ කෑම්ප් එකේ විතරක් නෙවෙයි ඒ අහල ගං හතේම ලයිට් ගියා.ඔන්න ඔය හින්දයි රවුං කනප්පුව අර ඉටි පන්දමක් පත්තු උනේ. //

    ඈ බං රවි අයියෙ උඹලගෙ කෑම්ප් එකට ජෙනියකින් නේද ලයිටි දෙනව කිව්වෙ...?

    ReplyDelete
    Replies
    1. එදිරි,

      මෙහෙමයි මල්ලි උනේ..අපි අර කෝස් එකට යන්ට කලින් කෑම්ප් එකට ලයිට් දුන්නෙ ජෙනියකින් තමයි. ඒ දවස්වල තමයි විදුලි මල බණ්ඩලෙං කොන්ක්‍රීට් කණු එහෙම ගෙනල්ල පාර දිගේ දාගෙන ගියෙ. කෝස් රාජයා මාස තුනක් නෙව. ඒ අතරෙ කණු හිටෝල වයර් ඇදල ලයිට් දීල. අපි ආපහු එනකොට නැෂනල් ග්‍රිඩ් එකෙන් තමයි ලයිට් :)

      ස්තූතියි එදිරි.... උඹ හොඳ අවදානමෙන් කතාව කියවන බව පේනවා සක් සුදක්සේ..:)

      Delete
  6. “I want to go out for the football team,” I said. “There’s a Pop Warner league, and all my friends are playing.”

    “It’s your life,” she answered. “But I don’t want to be responsible for you hobbling around on crutches your whole life because you blew out your knee as a kid. And besides, we don’t have the money for it.”

    “But I want to.”

    “What you want and what you get are usually two entirely different things.”

    “That’s not fair. You always say that.”

    She shrugged. “No one ever said that life was fair.”

    I paused, trying another approach.

    “I won’t get hurt, if that’s what you’re worried about.”

    She looked me over. “Someone your size? You’d definitely get hurt. I’ve seen football players. You’d be nothing more than a bug on the windshield to them. You’re too small.”

    She had a point there. I was small.

    “I wish I was bigger. Like my friends are.”

    She put a consoling hand on my shoulder. “Oh sweetie, no one ever said life was fair.”

    “I know. But still . . .”

    “Just remember this, okay?” she’d offer, her voice softening with maternal affection. “It’ll help you later in life when you’re disappointed about anything. What you want and what you get are usually two entirely different things.”

    “Maybe you’re right. Maybe I should try another sport.”

    My mom would smile tenderly, as if finally conceding the argument. “Hey, do what you want. It’s your life.”

    The older I got, the more I hated these arguments, because I lost every one of them. But still, deep down, I could never escape the feeling that my mom was probably right about most things. After all, she spoke from experience.

    ~ 'Three Weeks With My Brother' by Nicholas Sparks

    :D :D :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඔන්න බලාපං නඟේ උඹල අපි වහ වැටිල ඉන්න ජාත්තියන්තරව ප්‍රසිද්ද ලේකකයො උනත් නිර්මාන මංකොල්ලයෙ යෙදෙනව නෙව කිසිම හිරිකිතයක් නැතුව. අනෙ අම්මප මට නං චී කියල හිතුන. උඹට අර නිකෝලොස් ගොයියගෙ පොත් කටපාඩං හින්දම හොඳයි හෙහ්, හෙහ්,

      මගෙ ලියුං කරදහිය කියෝනකොටම මීටර් උනා උඹට නේද මේ හොර අලිය කරල තියන තක්කඩිකොම..මම මේක ලෙසියෙං අරින්නෙ නෑ. එහ්හෙන්නං…

      වහාම ඒ මොහොතෙම කතා කලා බුද්දිමය දේපල පනත යටතෙ ඒ නීත්තියානුකූල කටයුතු කොරන පෙරකදෝරු සමාගමකට..ආන්න එවුං හැරෙන තැපෑලෙං මට එව්ව එන්තරවාසියෙ ඩ්‍රාෆ්ට් එකක්..මේ පල්ලෙහා තියෙන්නෙ ඒක…මම ඉල්ලනව ඩොලර් මිලියන දහයක්.

      ඉඳපංකො බලන්ට නිකොලසාට වොසිංටන් නගරෙ දවල මන්දිරේ ඉස්සරහ ලංකාදීපයක් ..හෙහ්, වැරදුනා ..එහෙ කොහෙද ලංකාදීප..දවල මන්දිරේ ඉස්සරහ වොසිංටන් පෝස්ට් පත්තරයක් එලාන හිඟා කන්ට වැඩේ සැට් කෙරුවෙ නැත්තං බලාපං මෙදා පොටේ මං..හුහ්, නිර්මාන මංකොල්ල කන්ට...බලමු එහෙනං එක්කො නිකොලොස් නැත්තං ඒත් නිකොලොස්...

      අනෙ අම්මාපල්ල සල්ලි හම්බ උන ගමං සල්ලි මල්ලත් කරේ තියාන එන්නෙ බොලායෙ ගෙදර. මේ වැඩේ ගැන මාව දැනුවත් කලේ උඹ නෙව ( ඉංගිරිස් වලින් ඒකට කියන්නෙ Whistle Blower කියල ..හෙහ්, හෙහ් ) අන්න ඒ නිසා හරියටම ගනං කොරල මිලියන පහක් මම දෙනව උඹට..ආන්න..අපි එහෙමයි...

      මීට පස්සෙත් ඔය මම ලියන පරන කතාවල තියෙන කෑලි නිකොලොසාගෙ පොත්වල තියේනං වහාම මාව දැනුවත් කොරාපං හොඳද?..සෙල්ලංද උඹට මිලියොං පහයි මට මිලියොං පහයි...උඹේ බඩෙත් බත්...මගේ බඩෙත් බත්...හෙහ්, හෙහ්,

      Mr. Nicholas Charles Sparkes,
      New Bern, North Carolina,
      United States of America.


      Subject : Letter of demand for compensation for Infringement under Intellectual Property Act No. 52 of 1979 (As Amended by Act Nos. 30 of 1980, 2 of 1983, 17 of 1990, 13 of 1997 and 40 of 2000) of Democratic Socialist Republic of Sri Lanka.

      Dear Mr. Sparkes,

      Our client Mr. Ravi Weerasinghe a renowned author in Sri Lanka whose critically acclaimed works include but not limited to " Aadara Nil Deise " ( Your Haunting Blue Eyes ), "Nohengavu Aadaraya " ( The Unexpressed Love ) " Ektharaa Dadayakkaarayakuge Kathaava " ( The Saga of a Hunter ) " Sachini Saha Ajanthage Kathaava " ( Sachini & Ajantha - A Modern Love Story ) " Sivsiyavasaka Pemkathaavak " ( A Love Blossoming for Four Centuries ) "Senehasa Mage Mahamera Vage " ( My Love Was the Earth Itself ) the links for which is given herewith for your ascertation of the veracity of our claim, has instructed us to inform you regarding an infringement of his rights as a author under aforesaid Act.

      Namely in your published work " Three Weeks With My Brother " ( 2004 ) in chapter 8 you have used following sentences inter alia;

      Quote / “What you want and what you get are usually two entirely different things.”

      She shrugged. “No one ever said that life was fair.” / Unquote

      My client categorically declares that aforesaid identical sentences were included by him in a personal letter written to an undisclosed person during the first half of Year 1988 , which he had used in his current creation " Kavikariyakage Premaya " ( Love of A Poetess ) thus being eligible to be considered as covered by the captioned Act.

      Moreover he has estimated the loss incurred as a direct result of aforesaid breach of privilege at USD Ten Million which he has instructed us to demand from you with immediate effect.

      The failure to deposit the said amount in a bank account designated by my client within 21 days would force us to institute legal action to recover the same without further notice.

      We remain Dear Sir,

      Ginikanage, Ginikanage & Mola Huranage
      ( Attorneys at Law )
      No. 123, Naduyana Venasena Mawatha,
      Colombo 12,
      Sri Lanka.

      Delete
    2. //////Democratic Socialist Republic of Sri Lanka.//////

      ශ්‍රීලංකා කියලානම් රටක් තියෙනවා...ඩිමොක්‍රටික් ඇන්ඩ් සෝෂලිස්ට් තියෙන්නේ ඔය රටේ කොයි හරියෙද බං.

      Delete
    3. අරූ,

      අඹ ගෙඩියක හැඩය ගත්ත රටක් තියනවා ඕයි
      ඒකට මරු නමක් කියනවා ඕයි.
      ඒ රටේ මිනිස්සූ තනිකර කෙළින්නෙ පිස්සූ,
      ඒ රටේ මිනිස්සූ තනිකර කෙළින්නෙ පිස්සූ,

      අරූ මචං ඔය වැඩිපුර විශේෂණ දාගන්න වෙන්නෙ මොනව හරි අඩුපාඩුවක් වහගන්නනෙ. සත්ගුණවත් දානපති කියල තමන්ටම කියාගන්නෙ සත පහක් කාටවත් දෙන්නෙ නැති මසුරු සිටාණල...ඒ වගේ තමයි රටේ නමත්. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියල කියන්ට වෙලා තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බේතකටවත් හොයාගන්ට නැති නිසානෙ...

      Democracy කියනකොට මතක් උනේ 74 දවසට සීල් තිබ්බ දවසෙ ඩේලි නිව්ස් පත්තරේ පලවෙච්චි අර සුප්‍රසිද්ධ මරණ දැන්වීම මතකද?

      D. E. M. O'Cracy - Loving husband of T. Ruth, Affectionate Father of L. I. Berty & Justicia…Died under tragic Circumstances,

      ඔය දැන්වීම පළකරපු දවසෙ ඩියුටි හිටපු හතර පස් දෙනෙකුටම ගෙදර යන්න උනා. ඒ වගේම කවුද ඕක බාරදුන්නෙ කියල හොයන්නත් විශේෂ මෙහෙයුමක් දියත් උනා. ඒත් හොයාගන්ට හම්බ උනේ නෑ.ඔයිට පස්සෙ කොන්දේසියක් දැම්ම පත්තරේට මරණ දැන්වීම බාර දෙනකොට මරණ සහතිකයත් අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුයි කියල.

      Delete
    4. O'CRACY - The death occurred under tragic circumstances of D E M O'CRACY, beloved husband of T Ruth, loving father of L I Bertie, brother of Faith, Hope and Justitia. Interred on Saturday, 20th inst - Araliya Medura, Panagiyawatte, Anduruwala.

      මේක ලිවුවෙ රයිලි ෆර්නෑන්ඩෝ කියලා ඩොක්ටර් කෙනෙක්.. උන්නැහැ මීට අවරුදු 10කට විතර කලින් මිය ගියා.. ඒ ගැන පත්තරේ ආර්ටිකල් එකක් ගියා, ඒකෙන් තමා මමත් දැනගත්තෙ මේකෙ කතෘ කවුද කියලා..

      ඩේලි නිවුස් එකෙන් උපුටගත්ත මේ මරණ දැන්වීම ඒ ආසන්න මාසෙක රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක පලවුනා.. ඒ සඟරා කලාපය ලංකාවෙ තහනම් කලා..

      Delete
    5. බූරාස්,

      අම්මාපල්ල මලේ උඹ නං අර බිංජි කියන්නා වගෙ ජංගම විස්ව කෝසයක්ම තමයි. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එකත් දැං ගහන්නෙ ඩිජිටල් විතරක් හින්ද උඹට කියන්ට වටින්නෙ එන්සයික්ලොපීඩියා බුරුටානිකා කියල ..හෙහ්, හෙහ්...

      අර මරණ දැන්වීම ලිව්වෙ වෛද්‍ය රයිලි ප්‍රනාන්දු මහත්මය තමයි. ඔය කාලෙ හිටියෙ දෙහිවල කියලත් මට මතකයි.

      නුවර ලේක් හවුස් එකට මරණ දැන්වීම් බාරගන්නෙ මිනිය ගෙනල්ල පෙන්නුවොත් විතරයි. එහෙම නීතියක් දාල තියෙන්නෙ අප්‍රේල් පලවෙනිදාවක කොල්ලො කට්ටියක් උංගෙ යාලුවෙක්ගෙ මරණ දැන්වීම දාල විහිලුවට. මෙවුං ග්‍රාම සේවකයට බොන්ට දීල උගෙ මරණ සහතික පොතෙං කොළේකුත් කඩාගෙන මරණ සහතිකේකුත් ලියාගෙන...ඒ නිසා මිනිය ගේන්නම ඕන ලේක් හවුස් බ්‍රාන්ච් ඔෆිස් එකට.

      ඕක තියෙන්නෙ කොටුගොඩැල්ල වීදියෙ විජිත යාපා එකට අල්ලපු එකට අල්ලපු එක.කිව්වට විස්වාස කරපං මලේ, සමහර දවස් වල විජිත යාප එකෙං එලියට බහින්ට බැරුව මම ඉඳල තියනව පැයක් හමාරක්, මොකද පාර ඔක්කොම බොලොක් වෙලා හර්ස් ගෙනල්ල එක පස්සෙ එක නවත්තලා.

      ඉතිං ඔන්න මැනේජර ඇවිල්ල එකෙං එකට මිනී චෙක් කරනව මරණ සහතිකෙයි, අයිඩෙන්ටිටි කාඩ් එකයි මිනියෙ මුණයි තුනම බලල තමයි මරණ දැන්වීම ඕකේ කරන්නෙ..හයියෝ පිස්සු හැදෙන වැඩේ........

      Delete
    6. @ බුරා.....අද තමයි බං ප්‍රජාතන්ත්‍රවාදේ පියා කවුද කියලා හරියටම දැණගත්තේ

      Delete
    7. බුරුටානිකා :D

      Delete
  7. ටික දොහක් දකින්න නැතුවම මම හිතුවේ උඹත් හෙන්රිය වගේ ලංකාවට ගිහින්ය කියලයි.
    //මා දයාබර නැඟනිය, ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ අපට ලැබෙනදේ යනු එකක් නොව දෙකකි. තමනට ලැබෙනුයේ දෛවය අනුව ඉරණම අනුව තමනට හිමි වූව පමණකි.//
    මෙන්න මේ දේ තමයි රවී සදාකාලික සත්‍යය,ඒක කිසිදවසක වෙනස් වෙනස් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Helapa,

      / ටික දොහක් දකින්න නැතුවම මම හිතුවේ උඹත් හෙන්රිය වගේ ලංකාවට ගිහින්ය කියලයි. /

      මමත් යන්න තමයි බං හිටියෙ..නිවාඩුත් අනුමත කර ගත්ත. ඒත් හෙන්රිය යනව කියපු නිසා මම නැවතුනා. ඌටයි මටයි දෙන්නටම ලංකාවෙ ඉඩ මදි බං....හෙහ්, හෙහ්,

      පහුගිය සති දෙකේ විතර බොහෝ කාර්ය බහුල උනා මචං ඒකයි හේතුව...... :)

      / මෙන්න මේ දේ තමයි රවී සදාකාලික සත්‍යය,ඒක කිසිදවසක වෙනස් වෙනස් වෙන්නෙ නෑ. /

      ඔය බණේ යන්තමට හරි තේරුම්ගන්න අඩුගානෙ උත්සාහයක්වත් ගන්නවනම් ඔය හිත් වේදනා, සෝ තැවුල් බාගෙට බාගයක් අඩු වෙනව බං...බඩුම තමයි..නෝ හෙල්ලුං පොල් මැල්ලුං...:)

      Delete
  8. මදැයි කොලා.... අනිච්චේ දුක්ඛේ කිව්වලු..

    ReplyDelete
    Replies
    1. සාතන්,

      අනේ අනිච්චං..කණේ කඩුක්කං ....:)

      Delete
  9. රවී.....ඔය ගිණිකූරු කේස් එක ශ්‍රීමති තිලකරත්නගේ නේද? ප්‍රේමකීර්ති තමයි ලිව්වේ මගේ හිතේ..පුත්‍ර රත්නය දිමුතු මෙහේ ඉන්නේ. මගේ මිතුරෙක්. තබ්ලා සහ සර්පිනා සහ ගායනය භාරතයෙන් හදාරපු හොඳ වැඩ්ඩෙක්. සෙට් වෙනවා දොඹෙන්ම.

    විජිතයාට සුජාතාව බදින්න නොලැබෙනවා නම් හොඳයි..ඌට සදාකාලික සිඹානෝ වෙලා තමයි ඉන්න වෙන්නේ ඔය නාහෙන් අඬන හැටියට. උඹේ ලියුමත් මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. ෂෝට් ඇන්ඩ් ස්වීට් ලිව්වා නම් ඉවරයිනේ....සුජා අපි කවදාවත් හමු නොවූ දෙන්නෙක් වගේ ඉමු..ප්‍රශ්ණ අහන්න එපා...ගුඩ් බායි. කතාව ඉවරයිනේ. කවි වලට වඩා හපන්නේ ලියුම. ගණඳුර, දළරළ පෙල, ආලෝක කදම්බය....ඕවා නිසා තමයි ඔච්චර අකරතැබ්බයක් වෙලා බොන්න ට්‍රොපික් හැදුනේ.

    උඹ ෆිෆ්ටියට මොකද කලේ...ආතල් එකක් ගත්තාද?

    ReplyDelete
    Replies
    1. Aru,

      / රවී.....ඔය ගිණිකූරු කේස් එක ශ්‍රීමති තිලකරත්නගේ නේද? /

      ආන්න හරි බං ශ්‍රීමතී තිලකරත්න තමයි..මට නම පොඩ්ඩක් මතක බැරිවෙලයි තිබුනෙ..

      තව ලස්සන සිංදු කීපයක්ම කිව්ව ශ්‍රීමතී..

      " හිරු ගෙනැවිල්ලා පුතු ලඟ තනියට තියලා…"

      " අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ.. අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආකාසේ…"

      ඊලඟට වික්ටර් එක්ක කියන්නෙ" ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී කෝමල පවන් සැලූ..මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම් කලූ "

      / උඹේ ලියුමත් මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. ෂෝට් ඇන්ඩ් ස්වීට් ලිව්වා නම් ඉවරයිනේ../

      ආය එකක් කියනව..යකෝ උපරිම ෂෝට් ඇන්ඩ් ස්වීට් තමයි ඔය ලිව්වෙ බං... :)

      / කවි වලට වඩා හපන්නේ ලියුම. ගණඳුර, දළරළ පෙල, ආලෝක කදම්බය /

      මොකද කොරන්නෙ බං..මානවිකාවන්ට ලියන්ට ගියාම ඔය පිත්තාසය එහෙම කලඹවාගෙන මතුවෙන අදහස් තමයි. හිතල කොරන දෙයක් නෙවෙයි...:)

      / උඹ ෆිෆ්ටියට මොකද කලේ...ආතල් එකක් ගත්තාද? /

      මේ ටිකේ ආය නෑ කරවටක් ගිලිල හිටියෙ වැඩ... වැඩ... වැඩ.. ඒත් පණහ කියන්නෙ නිකම්ම ලෙස්සල අරින්ට ඇහැක? ස්වර්ණ ජයන්තිය කියන්නෙ සෙල්ලමක්ද? ඒ පාර ඔය අතීසාර මිත්තරයො තුන් දෙනෙකුත් එක්ක පොඩි පැදුරු පාටියක් වගෙ එකක් දාල ටිකක් වැඩි වෙන්ට බිව්ව. රෑට උන්ට උයල කන්ට දුන්න...වෙන මොනව කරන්නද? :)

      Delete
    2. ඇයි බං ශ්‍රීමතීගෙ ලස්සනම සින්දුව, "අමරස පෙම්.."

      Delete
  10. ඔය සුජාත ඔයකියන තරම් වටින බඩ්ඩක් නෙමෙයි බන්.මොඩ ගහක්.තමන් එක්ක ලගින් ඇසුරු කරපු විජිතයව අදුනගන්න බැරි උනා.කවි විතරක් කියවල උබැහෙව අදුන ගත්තලු.අම්මප මට එන්නෙ වදුරු කුනු හරුප.ඔය බොන්ඩිට තියෙන්නෙ උබෙ කවි හැකියාව ගැන ලොබ කමක්.නැතුව තෙරුමක් ඇතුව කියන කතාවක් නෙමෙයි.නැත්තන් අර රත්තරන් ටිකට ඉන්න විජිතයව දාල උබත් එක්ක දිග කන්න තටමයිද.සින් එක ඔතෙන්ට නාවත් උබ කරන්න ඔන එක තමයි බොලෙ.නැත්තම් බොට වෙන්නෙ වලක් කපාගෙන බොටම වැලලෙන්න.

    ReplyDelete
    Replies
    1. 1nma math a kathwata ekagai...........Sahagahana atta......

      Delete
    2. apita ehenam kawadawath ape manussayanwa aduraganna wenne na....ai ane waradilawat kaviyak ewanne nane...........:(

      Delete
    3. Damith,

      / .ඔය බොන්ඩිට තියෙන්නෙ උබෙ කවි හැකියාව ගැන ලොබ කමක් /

      ඉතින් එහෙමම උනාය කියමු මල්ලි. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද?

      දැං මෙහෙමනෙ ඔය වැඩේ වෙන්නෙ..අපේ හිතේ කවුරුගැන හරි කැමැත්තක් ඇතිවෙනවනෙ ඉස්සොරෝම. ආදරයකට සෙනෙහසකට පළමු පියවර තමයි ඒ. ඒ කැමැත්ත ඊළඟ පියවර වන ආදරයකට පරිවර්තනය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් අර මුලින්ම කැමැත්තක් ඇති වෙන්නෙ එක්කො ඔහුගේ/ඇයගේ බාහිර ලක්ෂණයකට එහෙම නැත්නම් ගති ගුණයකට එහෙමත් නැත්නම් යම් හැකියාවකට දක්ෂතාවයකට.එක්කො ලස්සනට සිංදු කියන්න පුලුවන් එහෙම නැත්නම් චිත්‍ර අඳින්න පුලුවන්.අන්න එහෙමනෙ. ඊට පස්සෙ දෙවනුව තමයි ඔහු හෝ ඇය ලඟින් ආශ්‍රය කරල ගතිගුණ තමන්ට ගැලපෙනවද කියල තීරණය කරන්නෙ.

      සුජා කිව්වනෙ කලින්ම එයාගෙ හිත ගියේ විජිතගෙ අහිංසක කමටෙයි කියල. ඒත් එයා ඇවිල්ල අවංක කම බොහොම තදින්ම ගරුකරන කෙනෙක්. ඒ නිසා විජිත කරපු වංචාව මොන හේතුව හින්ද කලත් සුජාට ඒකට සමාවක් දෙන්න බෑ. එච්චරයි එතන තේරුම් ගන්න තියෙන්නෙ. තමන්ගෙ ජීවිතය ගැන තීරණ ගන්න තමන්ට අයිතිය තියෙන්නම ඕන නේද දමිත් අනිවාර්යයෙන්ම?

      Delete
    4. Sacheera,

      / apita ehenam kawadawath ape manussayanwa aduraganna wenne na....ai ane waradilawat kaviyak ewanne nane...........:( /

      ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව්ව..වැරදි කොණෙම්ම නෙව අල්ල ගන්නෙ. කවිවලින් මනුස්සයෙක්ව අඳුන ගත්තය කියන්නෙ ආය කෙනෙක්ව අඳුන ගන්න කවි ලියන්ටම ඕනය කියන එක නෙවෙයි බොල. මිනිසුන් සහ ගැහැණුන් හඳුනා ගැනීමේ නොයෙකුත් ක්‍රම අතර ඒ තවත් එක් ක්‍රමයක් පමණි :)

      Delete
  11. apo ati yanthan aiyata ilaga kotasa liyanna mathak wela tiyenne.............ane ilaga kallath dala ikmanata iwara karanna.....man me Sujata kamatima na(eth itin meka kiyawana 1 nawattannet na..)......Wena hoda kenek gana liyannako...anunge kellek gana liyanne natiwa..................:P

    ReplyDelete
    Replies
    1. Sacheera,

      ආය වෙනම හොඳ කට්ටිය කියල නෑ අප්පා..ඔය හැමෝම අඩු වැඩි වශයෙන් හොඳ සහ නරක දෙකේම සම්මිශ්‍රණයක් :)

      Delete
  12. අනේ මන්දා මට නම් දැන් අගත් මුලත් පැටලිලා... මේක මෙ කොයි කාලේ ඉඳන් එන කතවක්ද!! අමතක වෙනවනේ මුල හරිය ඉතිං! මේ ඒක නෙවේ රවි උන්නැහේ කොයි මගේ විෂස් වලට රිප්ලයි? බොට දැන් වෙල්කං කියන්ඩවත් බෑ එහෙනම් ඈ?!!!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      / අනේ මන්දා මට නම් දැන් අගත් මුලත් පැටලිලා... මේක මෙ කොයි කාලේ ඉඳන් එන කතවක්ද!! අමතක වෙනවනේ මුල හරිය ඉතිං! /

      එහෙම අමතක වෙලා කොහොමද බොල ඔය වයසට..උඹත් අර 50 First Dates ෆිල්ම් එකේ ඉන්න ලුසී වගේ මට පේන්නෙ.ඩෲ බැරිමෝ ඒ රෝල් එක කරන්නෙ..කොල්ලට ඉන්නෙ ඇඩම් සැන්ඩ්ලර්..

      කතාව මෙහෙමයි ලුසීගෙ වාහනේ ගහක හැප්පෙනව. ඒකෙන් එයාගෙ මොළේට ආබාධයක් වෙනව..ප්‍රතිපලේ ලුසීගෙ මතකය තියෙන්නෙ පැය විසිහතරයි. රෑ නිදියගෙන උදේ නැඟිටිනකොට තමන් කවුද කියලවත් මතක නෑ. ඒ ඔක්කොම කියල දෙන්ඩ ඕන. උදේ නැඟිට්ට හැටියෙම තමන්ගෙ ජීවිත කතාව තියන වීඩියෝ කැසට් එකක් බලල මතකය අලුත් කරගන්න එකයි ලුසී හැමදාම කරන්නෙ...

      / මේ ඒක නෙවේ රවි උන්නැහේ කොයි මගේ විෂස් වලට රිප්ලයි? බොට දැන් වෙල්කං කියන්ඩවත් බෑ එහෙනම් ඈ?!!! /

      අනේ වෙරි සොරි මැඩම්..අන්න කමෙන්ට් එක දැක්ක ගමන්ම මම දුවල ගිහිල්ල උත්තරයක් දැම්ම..මේ ටිකේ ඉතා කාර්ය බහුලයි. ඒත් ඒක සමාවට කාරනයක් නම් නෙවෙයි...ඇත්තම කිව්ව විතරයි :)

      Delete
    2. 50 First Dates නම් මගෙත් ආසම චිත්‍රපටියක්..මම කැමතිම කෑල්ල අර ලුසිට වෙදකං කරන දොස්තර මහත්තයාගේ ඉස්පිරිතාලේ ඉන්න විනාඩියක් විතරක් මතක රෝගියාට..
      වෙලාවකට හිතෙනවා පරණ ඒවා මතක නැතිවෙන තරමට හොඳයි කියලා..

      ඒත් රවීට එහෙම ඔය විදියේ ලෙඩක් හැදුනොත් බ්ලොග් ලියලත් හමාරයි ඔන්න..

      Delete
    3. අරි අරි ... දන්නවා ඉතිං වයසක උන්දැනේ! හික් හික් මේ ඒක නෙවේ රවි අයියා කියන්ඩ මහ මොකද්ද වාගේ නේ.. ඒ හන්දා රවි අන්කල් කියඤ්ඤං ඈ!!!! සීයා කියන්ට වෙයිද මන්දා!

      ඔය ‍ෆිල්ම් එකනං මාත් බැලුවා! බට් ඉතිං මේ කසාද බැන්දගෙනත් නයි පොළොන්ගු වායේ ඉන්නකොට ඔහොම හැමදාම ෆොලිං ලව් වෙන්නෙ කෝමද කියලයි මං කල්පනා කොලේ!

      Delete
    4. මනේක්ස්,

      හරි හරි බං ඕන එකක් කියහං ..ඕන එකක් කියහං...මොනව කිව්වත් අවුලක් නෑ...

      ආන්න ඒකට බොලායෙ නෑණන්ඩි....මට කතාකරන්නෙ කටපුරා චුට්ටි මල්ලි කියල...ආන්න අදහන්ට වටින උත්තමාවියො

      Delete
  13. මම මේ කල්පනා කලේ රවී අයියේ, මෙච්චර බර ලිවුවමක් දැන් කාලේ ලිවුවොත් කෙල්ලට තේරෙයිද කියලා.. බලමුකෝ කතාවේ ඉතිරියත්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒ වැඩේ මල්ලි මෙහෙමයි...ඒ ඒ අරක්කු වලට ඒ ඒ බයිට් කිව්වැහෙ ඔය බරසාර වචන වලින් ලියන තියරිය ඒ කාලෙ උනත් හැම කෙල්ලෙකුටම හරියන්නෙ නෑ. ටිකක් ඔය සම්බාව්ය ගනයට අයිති බහුසෲත අංගනාවියන්ට විතරයි ඒ මන්තරේ වැඩ කරන්නෙ..එහෙම නැති ඔය පිස්සු හටනකට ඔහොම ලිව්වොත් එහෙම විනාසයි. ගම හැම තැනම කියයි ආං අර යකාට පිස්සුද කොහෙද මේං බලාපල්ල ලියල තියන එව්ව කියල..හෙහ්, හෙහ්, හොදි ඕන්නෑ...

      ඇයි අර මම කලින් දවසක කිව්වෙ...

      ඒ දවස්වල බාං ඔය සෙනෙහෙ කොල කතාකරන බාසාවෙම්ම නැතුව ලාවට වගෙ විදග්ද බාසාවෙන් ලියන ට්‍රෙන්ඩ් එකක් තිබ්බ.

      ඕක පටං ගත්තෙ අර කුසුම් පුවත්පත් කලාවේදියගෙ පත්තර වලිං..කුමරි එකෙං වගෙ මතක මට... දැං මෙහෙමයි.. " මේ වෙලාවෙ ජනේලෙන් මල් සුවඳක් එනව.මට ඔයාව මතක් වෙනව.." කියන එක ලියන්නෙ මෙන්න මේ විදිහට.." අඩක් විවර කොට ඇති කවුළු පියන් පත් අතරින් හමාඑන මද නල හා මුසුවූ පුෂ්ප සුගන්ධය මට ඔබ සිහිපත් කරවයි " ..ආන්න තේරුණාද?

      එක පාරක් මම ගෝල්ඩ් ලීෆ් විස්සෙ පැකට් එහෙකට මෙහෙම ලියුමක් ලියල දුන්න. " සඳ පහන් රැයෙහි තුරු මංපෙත සක්මනෙහි යෙදෙන්නාවූ මසිතට හඹාඑන්නාවූ මකරන්ද සුගන්ධය හා සමඟ සිහිවන්නේ ඔබ වුවනය."

      ඌ සෙට් වෙලා හිටියෙ උගෙ ඇවැස්ස නෑන එක්ක. ඊළඟ සුමානෙ මේකා ගමේ ගිහාම නෑණන්ඩි අහල " මොනවද අනේ අර ලියල තිබ්බෙ? ඔයයි ඉන්න අහ මකරුත් ඉන්නවැයි? " කියල.

      අපෙ උන්දැ මුලිම්ම සැට් උනාමත් ඔන්න මරු වැඩක් උනා..මම ඉතිං දන්න දන්න විදග්ද බර මහප්පරාන ඔක්කොම දාල ලිව්ව කුලුඳුල් සෙනෙහෙ කොලේ. ලියල දුන්න...සිකුරාද දවසක හවස ගෙදර යද්දි බස් එකේදි..සඳුද උදේ පුල පුල බලා හිටියෙ මොකද ප්‍රතිචාරය කියල..ම්හු..නෑ ඒ ගැන කිසි කතාවක්..පස් සෙ බැරිම තැන ඇහුව කෙලිම්ම.

      " මේ මම අර ලියුමක් දුන්නෙ සිකුරාද..... "'

      " ආ මම මේ කියන්ඩමයි හිටියෙ..මම හිතුවෙ ඔයාට වැරදිල ඕ ලෙවල් සිංහල ප්‍රශ්ණ පත්තරයක්වත් මට දීලය කියල. අර තියෙන්නෙ උම්මග්ග ජාතකෙං ඡේදයක් දීල මෙය ලිහිල් බසින් ලියන්න කියල අන්න එහෙම එකක්."

      ට නේද?..... උන්න මලා පේන්නෙ නැතුව ගියා...

      Delete
    2. රවී.....උඹ නම් මචෝ පොරක්. මට තේරෙන්නේ නැහැ මේවා කොහොම හිතට එනවාද කියලා. උඹ ලඟදිම පොතක් ලියපන්.

      Delete
    3. රවි අයියා වචන වලින් වැඩ ගන්න හැටි මෙන්න... මේ උඩ කෙනෙකුට දීලා තියන උත්තරයක්.

      //මේ ටිකේ ඉතා කාර්ය බහුලයි. ඒත් ඒක සමාවට කාරනයක් නම් නෙවෙයි...ඇත්තම කිව්ව විතරයි :)//

      "මේ ටිකේ වැඩ වැඩියි, ඒ හින්දා කරන්න බැරිවුණා" කියනවට වඩා මෙහෙම කිව්වහම කාගෙ උණත් හිත උණු වෙනවනේ... ඒත් කියලා තියෙන්නේ ඉතිං ඒකම තමයි.

      Delete
    4. //ඒ දවස්වල බාං ඔය සෙනෙහෙ කොල කතාකරන බාසාවෙම්ම නැතුව ලාවට වගෙ විදග්ද බාසාවෙන් ලියන ට්‍රෙන්ඩ් එකක් තිබ්බ.//
      සහතික ඇත්ත..අපි 2000න් පස්සෙ SMS යුගයේ කට්ටිය උනත් B'Days , Anniversaries වලට කාර්ඩ් දුන්නෙ ඔහොම විකාර ලියලා සින්දු කෑලි දාලා..මේ ලඟදි ගේ අස් කරද්දි පරන කාර්ඩ් වගයක් අහුවෙලා මටම ලජ්ජවෙ පනගියා..ටක් ගාල හන්ගල දැම්මා.. :D

      "කතාව ගැන කියනවනම් මට හිතගන්න බැරි ඇය් මිනිස්සු කෙනෙක් තමන්ට ගලපෙන්නෙ නැ කියල හිතට දැනෙනවනම්, ඒ මනුස්සය තමන්ට ලොකුවට ආදරෙත් නෑත්තන් ඇය් ඒ වෙනුවෙන්ම අනුන්ටත් බැන බැන නහින්න හදන්නෙ කියල" මොකද මේ විජිත වගෙ පිරිමි සහ ගෑනු දෙගොල්ලොම අපිට නිතර හමුවෙන නිසා

      Delete
    5. මෙකුවීස්,

      / B'Days , Anniversaries වලට කාර්ඩ් දුන්නෙ ඔහොම විකාර ලියලා සින්දු කෑලි දාලා..මේ ලඟදි ගේ අස් කරද්දි පරන කාර්ඩ් වගයක් අහුවෙලා මටම ලජ්ජවෙ පනගියා..ටක් ගාල හන්ගල දැම්මා.. :D /

      හංගල හරියන්නෙ නෑ බාං..පුස්සලම දාහං පුස්සලම දාහං..බැරි වෙලාවත් ලොකු උන්නැහැට අහු උනොත් හෙණ ජල්බරියක් තමයි වෙන්නෙ..මොකද ඔය පරණ කේස් එයාල දැනගත්තට මතක සටහං ආරස්සා කොරගෙන ඉන්න එක ගැන නම් මං හිතන්නෙ නෑ ඒ හැටි මනාප වෙයි කියල..

      මට ඔහොම උනා නෙව..මයෙ තිබ්බ තනිකර බොක්ස් පයිල් එකක්ම. සෙපරේටර්ස් දාල වෙන්කරල එහෙම මයෙ පේම පුරානෙ ලියකියවිලි. එක එක මානවිකාවට වෙන වෙනම..බරසාර පැණි බේරෙන ලියුං ලියාපුව.. එතකොට කවි...ඔව්ව ඔක්කොම පිලිවෙලට ගොනු කරල...මම ඕක මගෙ පොත් පෙට්ටියක් අස්සෙ පතුලෙම ගහල තිබ්බෙ..

      ඔන්න බැඳලමාස තුනක් ගියේ නෑ කියාපංකො.. දවසක් මම හවස්කරේ ගෙදර එනකොට මෙන්න අපෙ පිරියම්බිකාවි ඉන්නව මූණ දෙල් ගෙඩිය වගෙ කොරගෙන..මූන දකින කොටම මට තේරුණා කිරිමෙල් කේස් එකක් තමයි කියල..පයිල් එක මාට්ටු..ඉඳපං ඊට පස්සෙ වෙච්චි දේ වෙනම ලියන්නං...හරි.... අන්න ඒ නිසා බොලේ අර තියනවයි කිව්වෙ අඩුම කුඩුම ඔක්කොම ගිණි තියල දාහං..ගිණි තියලම දාහං...

      Delete
    6. මානවිකාවන්ට දීපු ලියුම් කොහොමද ඔහේ ෆයිල් කරන්නේ ..උන් ආපහු එව්වා දුන්නද ''මේ මහප්‍රාණ අපිට තේරෙන්නේ නැහැ අය්යාම තියා ගන්ට '' කියල

      Delete
    7. මං අහන්ට හිටිය පුරස්නෙම බින්දි අහලා.. එහෙමත් නැත්තං ලියුං ලියන්නෙත් අර බිල් ලියනවා වගේ කාබන් කොලේ යටින් තියලද දන්නෑ, "ඔයාට එක කොපියයි මගේ බැකප් එකට එක කොපියයි" කියලා.. :D

      Delete
    8. බින්දි,

      ඒක වෙන්නෙ මෙහෙමයි නෝම් මහත්තය.... ඔය කෙලිච්චියන්ට රට පටලෝල ලියුං ලිවිල්ල බෝම පරිස්සමිං කොරන්ට ඕන වැඩක්.මොකද ඔවුන්ට ඔය අපි කියන එව්ව එතකොට ලියුම් වල ලියන එව්ව ආය නෑ මතක තියනව රාහුල හාංදුරුවන්ට වගෙ.

      " මේ ඔයයි කවදද අර සේපාලිකා පඳුර ගලෝල සමං පිච්ච වැලක් හිටෙව්වෙ?"

      " ඈ..ඒ කොහෙද? "

      " කොහෙවත් නෙවෙයි ඔයාගෙ කාමරේ ජනේලෙන් එපිට…."

      " මොකක්?.... මොන සේපාලිකාද? මොන සමං පිච්චද?..මොනවා කියනවද මන්දන්නෑ…"

      " හුහ්..ඒක තමයි කියන්නෙ..මට තේරෙනව..දැන් මට එවන ලියුං වල ලියන එව්වත් අමතක වෙනව ..ඔව් මට තේරෙනව…" හ්ම්ම්ම්. මදැයි…...අඬන්ඩයි තනන්නෙ..අනෙ අම්මාපල්ල…

      " හරි හරි ඔය ඇඬිල්ල නවත්තල කියන්ටකො මොකක්ද මේ සේපාලිකා සමං පිච්ච කේස් එක කියල.."

      " මේං සේපාලිකා.."හෑන්ඩ් බෑග් එක ඇරල දික්කරා කොලයක්.

      " මේ මොකක්ද? "

      " මාස දෙකකට ඉස්සර ඔයා මට එවපු ලියුමක්..ඒකෙ බලන්න දෙවෙනි පිටුවෙ මම අන්ඩලයින් කරල ඇති රතු පාටින්.."( එදවස හයිලයිටර්ස් නොතිබිණි )

      " කෝ බලමු…"

      වසා ඇති කවුළු පියන්පත් ශ්වේත වර්ණයෙන් බබලනුයේ කන්දකඩුව වනගහනයට ඉහලින් පායා දසතම ආලෝකවත් කරනා පුරාහඳ නිසාවෙනි.පුරාහඳ එසේය..පුරාහඳ මසිතට එකවරම ගෙන ආවෙ ඔබ සුසුදු වතයි. හිඳ සිටි පුටුවෙන් නැඟිට මම කවුළු පියන් පත් විවර කලෙමි.කවුළුවෙන් මගෙ කුටියට දෝර ගැලූ සන්ද කැන් හා සමඟ මුසුව පැමිණ මගෙ පපු කුහරය පුරවා ලූයේ කවුළුව අද්දර මවිසින් කලකට පෙර සිටවූ සේපාලිකා පඳුරෙහි හාත්පස පිපී ඇති මලින් නිකුත් වූ මල් සුවඳයි.

      සේපාලිකා කියන වචනෙ අන්ඩය්ලයින්ඩ් ඉන් රෙඩ්.

      " ඉතින් මොකක්ද පොබ්ලම් එක? "

      " මේ ගිය සුමානෙ එව්ව ලියුම …" තවත් ලියුමක්..

      " ඕකෙ බලන්න මම අන්ඩලයින් කරල තියෙන්නෙ මොකක්ද කියල.."

      ඒකත් අර වගේම චූර්ණිකාවක්. එකම වෙනස ඉන්ස්ටඩ් ඔෆ් සේපාලිකා මේකෙ තියෙන්නෙ සමන් පිච්ච. ඔන්න කේස් එක.මොකද මේකට කරන්නෙ? හරි මයි කිඩ්නි වෙන්ට් ඉන්ටු ඇක්ෂන්..

      " අයියෝ ඕකටද මේ නහයෙං අඬන්නෙ? මේකනෙව උනේ.මගෙ කාමරේ ෆෑන් එක වැඩ කරන්නෙ නෑ. මේ දවස්වල කොහොමත් ඉන්ට බෑ රස්නෙ. ඉතිං ෆෑන් එක රෙපයාර් කරනකල් මම ආව විමලෙ අයියගෙ කාමරේට."

      " එතකොට විමලෙ අයිය? "

      " ආ, ඒකා සුමානයක් නිවාඩු දාල ගියා උංගෙ ආච්චිගෙ ඉඳුල් කටගෑමේ උස්සවේට."

      " ආ ඒකනෙ මම ඒත් හිතුව මේ මොකද කියල..ඔයා ඉතින් මට කිව්වෙ නෑනෙ විමලෙ අයියගෙ කාමරේට ගිය කතාවක්.."

      " ඔය ඔක්කොම ලියන්ට පුලුවන්ද අනේ ලියුං වල.....දැනටත් ඔයා ඥුරුඥුරු ගානවනෙ ලියුං දිග වැඩියි කියල"

      ඔන්න වැඩේ ෂේප් උනා යාන්තං ඔය වගෙ කේස් නිසා මම කරන්නෙ අපෙ තිබ්බ NCR‍ පොත් කියල ජාතියක්. No Carbon Required .උඩම කොලේ පෑන තද කරල ලිව්වම යටින් තියන කොළවලත් ඒකම පිටපත් වෙනව. කාබන් කොල ඕන නෑ. අපෙ ඔය කන්ට්‍රෑක්ටර්ස්ලට පේමන්ට්ස් එහෙම ගෙවනකොට පිටපත් පහකින් ලියන්න ඕන...හෙහ්, හෙහ්, කොහොමද සීන් එක.එතකොට ඔය NCR පොත් තමයි පාවිච්චි කලේ.

      මම ඔය කවි ලියුං එහෙම ලියන්නෙ NCR කොලවල. පිටපතක් පයිල් කොරල තියාගන්නව ෆෝ ෆියුච රෙෆරන්ස් පර්පසස්. ආන්න ඒ පයිල් රාජයා තමයි ඔය අපෙ උන්දැට අහු උනේ.

      Delete
    9. බූරාස්,

      දෙයියම්ප මලේ උඹනං ජංගම විස්ස කෝසයක් විතරක් නෙවෙයි අංජනං දේවිගෙ ගෝලය හනුමන්තගෙ බාල මලෙය වෙන්ට ඕන නොවැරදීම..යකෝ බලාහිටිය වගේ නෙව මෙව්ව කියන්නෙ :)

      Delete
    10. රවි අය්යා,

      //බැරි වෙලාවත් ලොකු උන්නැහැට අහු උනොත් හෙණ ජල්බරියක් තමයි වෙන්නෙ..// : D මේ එයාට ලියපුවම තමා අය්යෙ..දැන් පොඩ්ඩ ඇත්තන් වලි දාගන්න හැටියට මේව දැක්කම ලැජ්ජවෙ පනයනවනෙ.
      අය්යලා කතා පිටින් ලිව්වට මගේ නම් එක ඡේදෙන් ලව් ස්ටොරි එක ලිව්වැහකි.. A/L ඉවරව්ච්ච කමන් එයා ඇහව්වා.මන් අම්මගෙන් ඇහව්වා..ඉතින් හා කිව්වා..එයාලගෙ ගෙදරටත් කිව්වා..දෙන්නම කැම්පස් ගියා. මන් මෙහෙ..එයා ඉන්ඩියාවෙ..ඒ කාලෙ sms ඇන්ඩ් චැට් ලව්. අවුට් වෙච්ච කමන් මැරි කලා..දෙන්නගෙම ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලව්..කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද? : D

      Delete
    11. මෙකුවි,

      / මේ එයාට ලියපුවම තමා අය්යෙ.. /

      මම දන්නව බොල..හෙහ්, හෙහ්, උඹ දවසක් කිව්වෙ ඔය කොහෙද ගිහිල්ල කතා කොරන්න සිග්නල් නැතිවෙලා වෙලවල් අකුල් ගානෙ දුවපු එකක් ගැන එහෙම හෙහ්, හෙහ්,

      මේකට කියන්නෙ බොල චේතනාන්විතව වරදවා වටහාගැනීම නොහොත් කඩ්ඩෙං කිව්වොත් Intentionally Misunderstanding …:)

      Delete
    12. මගේ පිළිතුර ගැන මට අහන්න දෙයක් අපේ කට්ටිය ඉතුරු කරලම නෑනේ.. හැබැයි රවී අයියේ පැහැදිළි කිරීමනම් ඉස්තරම්..

      Delete
  14. //" ඕන **** පණං අටයි කියල...."//
    රවී,මට මේ ටික තේරුනේ නෑ කොල්ලෝ.තරු ටිකටත් අකුරු දාපංකෝ හොඳ එකා වගේ.අම්මපල්ල මේ පනං අටට මොනවද ගන්න තියෙන්නෙ කියල හොයාගන්නකල් මට ඉවසිල්ලක් නෑ බොල

    ReplyDelete
    Replies
    1. හැලප්ස්,

      පණමයි කියන්නෙ මචං සත හයයි. එතකොට පණං අටයි කියන්නෙ ආසන්න වශයෙන් සත පණහයි. සත පණහට මොනවද ලේසියෙම්ම ගන්ට පුලුවන් කියල කල්පනා කරල බලාපංකො..:) :)

      Delete
    2. ඕන" ටොෆියක්" පණං අටයි කියලනේ බන් ඔය කියලා තියෙන්නේ

      Delete
  15. කොහොම වුනත් මේ කොටසෙදි රවීගේ කිරියා කලාපේ මම අගය කරනවා..

    වෙන කාටද පුළුවන් තමං ආදරය ප්‍රකාශ කරන්න කියලා හිතාගෙන ඉන්න ගෑල්ලමයව අතාරින්න කියලා වැව් බන්ට් එකේ ඉඳන් කිව්වාම අනිත් පැත්තට ගෙදර ගිහිං මේව්වගේ ලියුමක් ලියන්න?
    (ලියුම තැපැල් කරාද නැද්ද කියන එක වෙනම කතාවක්..අඩුම ගනනේ ලියුම ලියපු එකවත් වටිනවනේ..)

    මම නං ඇත්තටම අර කාශ්‍යප රජතුමා වගේ විජිතයව වැව්බන්ට් එකේ තියලා මැටි ගහනවා අම්මපා ඇත්තමයි..!!

    ReplyDelete
    Replies
    1. රූ,

      ස්තූතියි රූ..හෙහ්, හෙහ්, බැනුම්ම අහන අස්සෙ අගය කලාට. එහෙම තීරණයක් ගන්නට එහෙම ලියුමක් ලියන්ට හේතු බූත වූ කාරණා ඊළඟ කොටසෙදි කියන්නං :)

      Delete
    2. හි හි //මම නං ඇත්තටම අර කාශ්‍යප රජතුමා වගේ විජිතයව වැව්බන්ට් එකේ තියලා මැටි ගහනවා අම්මපා ඇත්තමයි..!!///

      Delete
  16. මං එකක් කියන්නම් කවදාහරි ඔය කෙල්ල විජිතය දාලා රවී ලගට එනවා

    ReplyDelete
    Replies
    1. අපූර්වී,

      අඩේ හෙමිහිට , හෙමිහිට..කෑ නොගහ ඉඳපිය..

      උඹ හදන්නෙ මයෙ මේ ඉතුරු වෙලා තියෙන කෙස් දෙක තුනක් ගලවල දම්මවන්ට අරුන්දැ ලව්ව. මේක ඒ මහගෙත් බලනව බොල..ඒ මහගෙත් බලනව..

      Delete
    2. හුටා එහෙමද ? ඒත් විජිතයගේ හැසිරීමේ හැටියට මට හිතෙන්නේ විජිතය අර අටම් තුමා කිවා වගේ පොල්ගහේ දගලන ලේනෙක් වගේ කෙනෙක්,, සුජාතා වගේ කෙනෙක් විජිතයට සෙට් වෙන්නේ නැහැ ,, ඔයාගේ අයිතිහාසික ලව් ලෙටරේ කියෝපුවාම සුජාතා තවත් මෙවුවා වෙයි ඉදගෙන ඔව් :D

      Delete
    3. අපූ සංසාර්,

      ඔය ඔයයි වගේම ඉඳගෙන කියල කියන මගෙ හිටිය අතිජාත මිත්තරයෙක්..හෙහ්, හෙහ්, ඔය ඉඳගෙන කේස් එක හින්දම උන්දැට වෙච්ච හෙයියම්මාරුවක් තියනව..වෙන වෙලාවක කියන්නං :)

      Delete
    4. හි හි දමන්ටකෝ ඉදගෙන :)

      Delete
  17. කවද්ද බන්ස් මේ පතරන්ගෙ ඉවර වෙන්නෙ ? මට මේක මගින් මිස් වුනා ඉතින් ආයෙ කියවන්න වෙලාවක් නෑ.. දැන් ඉතින් බලන් ඉන්නෙ ඉවර වෙනකම් වෙන එකක් කියවන්න. ඒකට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      තව එකයි බං.... අද දැම්ම එකක්. ඊට පස් සෙ තව එකෝම එකයි..දෙයියම්ප..බුදුම්ප...

      Delete
  18. " ඔව් විජිත කියන්න….." මේක හරියට මේ කාලේ කාට හරි ෆෝන් කෝල් එකක් දුන්නාම කියන කෑල්ලනේ බං. ඇත්තෙන්ම ඔය කෑල්ල ඇහුනාම මට කියන්න හිටිය දේ කියන්න හිතෙන්නෙත් නැති තරම්. මොකද ඒ වාක්‍යයේ තියෙන්නේ පුදුම වාණ්ජමය ගතියක්. ඕකෙන් කියවෙන්නේ
    මම හරි බිසි.
    ඔයා කතා කලේ වැරදි වෙලාවක.
    ඒත් කමක් නෑ කියාපංකො කියනදෙයක් ඉක්මනට අඩුම වචන ගානකින්.
    කරදරකාරයා!

    හැබැයි මටත් ඔය කෑල්ල කියවෙනවා බං.

    උඹේ ඔය ලියුමත් වශියක්!

    ReplyDelete
    Replies
    1. හෙන්රි….මෙහෙම හිතෙන්නෙ නැද්ද? මම ඇත්තටම බිසී. ඔලුව උස්සගන්ට බැරුව වැඩ..ඒ අස්සෙ උඹ කතා කරනව පොඩි සතුටු සාමීචියකට...මචං උඹේ හිත රිදෙයි කියල උඹට කෙලින්ම ඒක කියන්නෙ නැතුව මම උඹෙ අම්මට බැණ බැණ උඹ කියන එව්ව අහගෙන ඉන්නව.

      අන්තිමට මට මගෙ වැඩේ කරගන්ටත් නෑ. ටික වෙලාවකින් උඹටත් තේරෙනව මම කතා කලාට හිත වෙන කොහෙවත් කියල. උඹත් ටෙලිෆෝන් එක තියන්නෙ හිත නොහොඳින්. මට අන්තිමට එහෙත් නෑ මෙහෙත් නෑ.

      එහෙම වෙනවට වඩා හොඳ නැද්ද කෙලින්ම කියන්න කියල කියන එක. නැත්තං කියනව කෙලින්ම පස්සෙ කතා කරන්න කියල.එතකොට අනික් එක. ඒ කියන්නෙ කිසිම බිසියක් නැතිඋනත් නිකම් පුරුද්දට වගෙ කියන්න කියල කියන එක. ඒකත් මචං මටනම් උඹ ඔය කියනව වගෙ අවුලක් දැනෙන්නෙ නම් නෑ.

      Delete
  19. /////" ඔව් විජිත කියන්න….." මේක හරියට මේ කාලේ කාට හරි ෆෝන් කෝල් එකක් දුන්නාම කියන කෑල්ලනේ බං. ඇත්තෙන්ම ඔය කෑල්ල ඇහුනාම මට කියන්න හිටිය දේ කියන්න හිතෙන්නෙත් නැති තරම්////////

    සහතික ඇත්ත ඩූඩ්........මමනම් සමහර හිතවත් අයට කියලත් තියෙනවා එහෙම කියන්න එපා ඒක ටිකක් කැතයි කියලා.....කොහොමද කියලා අහන්න ඉස්සෙල්ලා ඕක තමයි කියන්නේ......මට නම් හරි අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. අරූ,

      උඹත් එක්ක කතාකරන දවසට මම මතක තියාගන්නම් ඔව් අරූ කියන්න කියල නොකිය ඉන්න. මෙහෙම කොහොමද?

      " ඔව් අරූ.ආ..කියන්න ඕනම නම් නෑ..උඹ කැමතිනම් කියපං නැත්තං ඒත් කියපං...හරි හරි ඒ ඔක්කොම ජෝක් හරිය, අරූ ... කියන්න එපා"

      Delete
    2. ඔව් කියන්න......කියලා කියපන්, ඒක ලේසියි වගේ...උඹේ හෑල්ල අහගෙන ඉන්නවාට වඩා.D.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...