Our Families |
ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සමාගමක තෙවන පරපුරේ හිමිකරුවූ ධනවතෙක් අප අමතා පැවසූයේ කුසීත බවින් තොරව වෙහෙස නොබලා කටයුතු කිරීම සාර්ථක අනාගතයකට සහ එමෙන්ම ජීවිත හිණිපෙතෙහි ඉහළ නැඟීමට ඒකායන මාර්ගය බවකි. රැස්ව සිටියෝ එකිනෙකා දෙසට හැරී සතුටු සාමීචියෙහි යෙදෙන අතරම කිසිදු උනන්දුවකුන් තොරව අත්පොළසන් දුන්නෝය.
කිසිවකු සාවධානව අසා නොසිටි ඔහුගේ දේශනයෙන් ඉක්බිති ප්‍රධාන ආරාධිතයා උපාධි සහතිකපත් ප්‍රදානය කිරීම ඇරඹීය.උපාධි සහතික ලාභීන් සියල්ලන්ටම ඔහු හා සමරු ඡායාරූපයන්ට පෙනී සිටීමට අවශ්‍යවූ බැවින් මේ සහතික ප්‍රදානය කිසිසේත්ම පහසු කාර්යයක් නොවීය.අදදින මෙහිදී අප ලබාගනුයේ ඉටුකරනා කාර්යයට හා සසඳන කල කිසිසේත් නොවටිනා අධික වැටුපක් සම්පූර්ණ ජීවිත කාලයම පුරා ලබාගැනීමේ භාග්‍යය උදාකරනා ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධි සහතික පත්‍රයයි.
කිසිදු සැකයකින් තොරව අප දෙදෙනාටම වෘත්තීයව මෙන්ම පෞද්ගලිකවද ඉතා වැදගත්වන අද දිනය උදෙසා ඇය විසින් පිළියෙල කොට ඇති වැඩ පිළිවෙල කිසිදු බාධකයකින් හැල හැප්පීමකින් තොරව සාර්ථක කර ගැනීමට අනන්‍යාට අවශ්‍ය වූවාය. එබැවින් එහි මුල් පියවර ලෙස ඇය උත්සවාරම්භයට අඩ හෝරාවකට ප්‍රථම උත්සව භූමිය වෙත පැමිණ වේදිකාව හොඳින් දර්ශනය වන පරිදි ඉදිරි පෙලෙහි ආසන සයක් ඇගේ සහ මගේ පවුල් දෙකෙහි සාමාජිකයින් උදෙසා වෙන්කොට ගැනීමට සමත් වූවාය.
මගේ මව ඇය සතු වටිනාම සාරිය හැඳ සිටියාය. රුපියල් තිහක මුදලකට කුළියට ගත් උපාධි ලෝගුව මම හැඳ සිටියෙමි.
"අම්මා මේ තමයි අනන්‍යා. අනන්‍යා මේ මගෙ අම්මා…"
මම ඔවුන් එකිනෙකාට හඳුන්වා දුන්නෙමි.මුවපුරා සිනාසුනු අනන්‍යා සුරත දිගු කළාය.මගේ මවගේ දෑස් විශ්මයෙන් විසල් වූයේ එකිනෙකාට අතට අතදී ආචාර කිරීමේ චාරිත්‍රයක් අපගේ ඥාතීන් අතර නොවූ බැවිනි. ලාබාලයින් වැඩිහිටියන්ට අතට අතදී ආචාර කිරීමක් නම් කිසිසේත්ම සිදු නොවන්නකි.
අනන්‍යා හිස නවා පහත්ව මගේ මවගේ පා යුග ස්පර්ශ කරනු ඇතැයි මම කිසිසේත් අපේක්ෂා නොකලද ඇය දෑත් එක්කොට නමස්තේ යනුවෙන් ආචාර කලේනම් වඩාත් මැනැවැයි මට සිතිනි.නව පරපුරේ ආචාර සමාචාර විධි දෙමව්පියන් බහුතරයකට රුචි නොවන්නේය. මගේ මවද ඒ බහුතරයට අයත් වන්නීය.
"හෙලෝ ආන්ටි..මම ඔයා ගැන ගොඩක් දේවල් අහල තියනවා…". අනන්‍යා මුදු ලෙස පවසමින් යලි සිනාසුනාය.
"හ්ම්ම්ම්..මට නම් ආපු වෙලාවෙ ඉඳලම ඔයා ගැන විතරමයි අහන්න ලැබුනෙ. මේ ඇත්තමයි." මගේ මව පැවසූයේ සිනහවකින් ඇගේ වදන්වල ගැබ්වුනු සෝපහාසය සඟවාගනිමිනි.ඇය එවන් ක්‍රියාවන්හි බොහෝ සෙයින් සමර්ථය.
"හරි එහෙනං අපි ඉඳගමු..අනන්‍යා, කෝ ඔයාගෙ පවුලෙ අනික් අය?" මම ඒ අසලම වූ අසුනක මගේ මව හිඳුවමින් පැවසීමි.
"ආපෝ..අපෙ අම්මට අඳින්ට ගිහාම වරුවක් ඕන. පරක්කු වෙන හින්ද මම හොඳ සීට් අල්ලගන්ට කියල කලින්ම ආවා"
අනන්‍යා හැඳ සිටියේ ඇය H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ දින හැඳ සිටි ලා නිල් පැහැති සාරියමය. මම ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනු දුටු ඈ සුරතෙහි ඇඟිලි තුඩු දෙතොල මත ගටා මවෙත පියාසර හාදුවක් පාකොට එව්වාය.මම විගස හිස හරවා මගේ මව දෙස බැලීමි. භාග්‍යයකට මෙන් ඇය ඒ මොහොතේ පසෙකට හැරී අසුන් පේළි අතර කෙළි දෙලෙන් පසුවන කුඩා දරුවන්ගේ විගඩම් නරඹමින් හුන්නාය. මම ආපසු හැරී අනන්‍යා දෙස නොපහන් බැල්මක් හෙලූයේ ඇයට විනීත ලෙස හැසිරෙනා ලෙස හිස දෙපසට සොලවා අවවාද කරමිනි. ඇය මා දෙස බලා දිව දිගුකොට ඔච්චම් කලාය.
ඊට මිනිත්තු දහයකට පමණ පසු ඇගේ දෙමව්පියෝ සහ සොහොයුරා උත්සව භූමිය වෙත පැමිණියෝය.ඇගේ පියා හැඳ හුන් බබලන සුදු පැහැ කමිසය මගේ සිහියට එක්වරම ගෙන ආයේ රින් රෙදි සෝදන කුඩු වෙළඳ දැන්වීමකි. ඇගේ මව ඔහු පසුපස පැමිණියේ ඇය හැඳසිටි රන්වන් වැඩ දැමූ දම් පැහැති කංජීවරම් සාරියෙන් පරාවර්තනය වූ හිරු එළියෙන් හාත්පස වූවන් ඇස් නිළංකාර කරවමිනි. අපට ඉදිරි පෙළෙහි වූවන් කීප දෙනෙක් වහා තම හිස් පහත්කොටගෙන උඩ සාක්කුවලින් ගත් අව් කන්ණාඩි පැළඳගත්බව මට ඔබට සපථ කොට පැවසිය හැකිය.
රන්කරුවකු අබරණ මහත් ප්‍රමාණයක් ආලේප කිරීම උදෙසා සකස්කල රන් දියර පිරවූ කල්දේරමකට මේ මොහොතකට පෙර ඇද වැටුනු සේ දිස්වුනු ඇගේ දසුනින් මම මුවඟට නිතැනින්ම නැඟි සිනහව වලක්වා ගැන්මට මහත් ආයාසයක් දරුවෙමි.මා පත්ව හුන් තත්වය දුටු අනන්‍යා වහා මවෙත ළඟාවී මගේ කණට කෙඳුරුවාය. නැත. එයා වඩාත් හොඳින් විස්තර කල හැක්කේ තර්ජනයක් ලෙසිනි.
"මේ..ක්‍රිෂ්..මම නොකිව්වයි කියල එහෙම කියන්ට එපා. එක වචනයක් අම්ම ගැන කියල තිබ්බොත් මම බලාගන්නං හොඳද?"
එසේ පැවසූ ඕ මව පසුපසින් පා අද්දවමින් පැමිණි උපැස් යුවලක් පැලඳි දාහතරවන වියේ පමණවූ ඇගේ සොහොයුරා පසුකොට මව වෙත ලඟාවූවාය.
"අම්මා..එන්න එන්න... මොකද මෙච්චර වෙලා ? "
"හැට්ටකටු හොයාගන්ට බැරිවුනානෙ ...එනික අර්න කට්ටෙයි කඩකෙරිලා වෙඩික ඉල්ලා.. "
"ඒන් කන්ණාඩි මෙසේයි මේල වෙච්චිංග…."
ඉක්බිති මව සහ දුව ද්‍රවිඩ භාෂාවෙන් යුහුසුළුව කථාකරන්නට වූහ. අනන්‍යාගේ පියා තම උරහිසෙහි රැඳවූ කළු පැහැ සම් බෑගයකින් ඉවතටගත් කැමරාවක් එල්ල කොට හාත්පස ඡායාරූප ගන්නට වූයේය. උත්සවය පැවැත්වෙන තණ පිටිය, අවට වූ මල්ගොමු, වේදිකාවේ වූ මයික්‍රෆෝනය හෝ අවම වශයෙන් වේදිකාවෙන් පහත පිලිවෙලට තබා තිබූ පුටුවලට හෝ ඔහුගෙන් ගැලවීගත නොහැකිවිය. තොල තදින් පියවාගෙන දැඩි අධිෂ්ඨානය පිළිබිඹු වූ මුහුණින් යුතුව ඔහු ඒ සෑම තැනක්ම තම කැමරා කාචයට හසුකොට ගත්තේය. අනන්‍යාගේ සොහොයුරා ගෙල දක්වා බොත්තම් පියවූ කමිසය හේතුකොටගෙන ආශ්වාස කිරීමෙහි දැඩි අපහසුතාවයෙන් පෙලුනේ, කනස්සලු මුහුණකින් යුතුව කිසිදු අරමුණකින් තොරව බලා සිටියේය.
අනන්‍යා සහ ඇගේ මව ද්‍රවිඩ භාෂාවෙන් කථා කරනු සවන් වැකුණු මගේ මවගේ මුව අඩක් විවරවී දෙනෙත් විසල් විය.
"අම්මා නැඟිටින්නකො... මම එයාලට ඔයාව අඳුන්වල දෙන්නම්…" මම පහත්ව ඇගේ කණට කෙඳිරීමි.
"ඒ ගොල්ල මැඩ්රාසීද?" මගේ මව විමසූයේ තවමත් පහව නොගිය කම්පනයෙන් යුතුවය.
(මැඩ්රාසී යනු පොදුවේ දකුණු ඉන්දියානුවන් පහත් කොට සලකා ආමන්ත්‍රණය කරනු උදෙසා උතුරු ඉන්දියානුවන් භාවිතාකරන අපහාසාත්මක වදනකි. කළු අමරිකානුවන් සඳහා යෙදෙන නිගර් යන ව්‍යාවහාරයට සමාන යැයි සැළකිය හැකි මෙම වදනෙහි උපත ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව පැවතුනු යුගය දක්වා දිවයන්නේය.එදවස අද තමිල්නාඩුවෙහි අගනුවර වන චෙන්නයි හැඳින්වූයේ මදුරාසිය නොහොත් මැඩ්රාස් යන නමිනි.)
"ෂ්ෂ්..... කෑ ගහන්ට එපා අම්මෙ. මොන මැඩ්රාසීද? ඒ ගොල්ල ද්‍රවිඩ... "
"ද්‍රවිඩ?....හහ්..ද්‍රවිඩ?" මගේ මව මහ හඬින් එසේ පැවසූයේ අනන්‍යා එකිනෙකා හඳුන්වා දීමේ කටයුතු කරන අතරය.
"අම්මා..මේ ක්‍රිෂ්..එතකොට මේ ක්‍රිෂ්ගෙ අම්මා…"
"හලෝ…." අනන්‍යාගේ මව පැවසුවාය. ඇගේ මුහුණෙහි වූයේද මගේ මවගේ මුහුණෙහි සේම විපිළිසර වූ පෙනුමකි.
"හිහ්..මේක ඇත්තටම කවදාවත් අමතක නොවෙන අවස්ථාවක්. අපේ පවුල් දෙකේ කට්ටිය මුල්වරට එකිනෙකා මුණ ගැහෙන මොහොත. …."
අනන්‍යා ප්‍රීතියෙන් ඉපිලෙමින් පැවසුවාය. ඇය තව මොහොතකින් අප ඉදිරියෙහිවූ තණ පිටියෙහි පිනුම් ගසනු ඇතැයි මම බිය වීමි.වෙනත් කිසිවකු ඇයට සවන් නොදෙන බව වැටහුනු ඉක්බිති අනන්‍යා නිහඬ වූවාය.
"මේ .....කෝ ක්‍රිෂ්ගෙ තාත්තා? එයා ආවෙ නැද්ද?"අනන්‍යාගේ පියා විමසූයේ මගේ මවගෙනි.
"එයාට ටිකක් සනීප මදි. එයාට තියනවනෙ මේ හාට් ප්‍රොබ්ලම් එකක්. ඒ හින්ද දොස්තරල කියල තියෙන්නෙ දුර බැහැර ගමං බිමං යන්ට එපාය කියල"
මහේ මව කොපමණ කෘතහස්ත ලෙස එම භූමිකාව රඟපෑවේද යත් දැඩිලෙස රෝගාතූරව පසුවන මගේ පියාණන් ගේ සුවදුක් බැලීමට නොයන මා පිළිබඳව මටම දැඩි කළකිරීමක් ඇතිවිය. ඒ දැඩිලෙස රෝගාතූර මගේ පියා දිනපතා මගේ මවගේ අඩුපාඩු සොයා ඇයට බැණ වදින ශාරීරික අඩන්තේට්ටම් කිරීමට පවා හැකියාවක් ඇති උස මහත කඩවසම් පුරුෂයෙකි.
හිස් සොළවමින් තමන් තත්වය මනාව වටහාගත් බවට ඇඟවූ අනන්‍යාගේ මව්පියෝ ද්‍රවිඩ භාෂාවෙන් කථාකරමින්ම අසුන්ගත්තෝය.
"මේ මම යන්නං එහෙනං. දන්නවනෙ. නමේ හැටියට මම පෝළිමේ මුලින්ම ඉන්න ඕන." එසේ පවසා අප දෙස බලා සිනාසුනු අනන්‍යා වේදිකාව අසල සහතික ලබා ගැනීම උදෙසා පෙළ ගැසී සිටින සිසුන් හා සිසුවියන් සමඟ එකතුවනු උදෙසා යුහුසුලුව පිටත්ව ගියාය.
මම හිඳ සිටියේ මගේ මව සහ අනන්‍යාගේ මව අතරිනි. " දෙන්න දෙපැත්තෙං සාංචි මැද්දෙං" මට තොල් මැතිරුණේ නිරායාසයෙනි.
"අම්මට අනන්‍යාගෙ අම්ම ලඟින් ඉඳගන්න ඕනද?" මම මගේ මව දෙසට හිස පහත්කොට කොඳුරා ඇසුවෙමි.
"ඇයි ඒ? ….ඒ මොකටද? …..කව්ද මේ මිනිස්සු?" ඇය දෙබැම හකුළවමින් පැවසුවාය.
"හරි හරි ඉතිං කලබල වෙන්න එපා. මම එහෙම කිව්වෙ තව ටිකකිං මගෙ නම කතා කලාම මටත් ස්ටේජ් එකට යන්න වෙන හින්ද. වෙන මොහොකටවත් එහෙම නෙවෙයි."
"ඉතිං ? ඔයාගෙ නම කතා කලාම ඔයා යන්න. මම මෙතන ඉඳල බලාගෙන ඉන්නං..මම මේ දිල්ලියෙ ඉඳං මෙච්චර දුර කතරක් ගෙවාගෙන ආවෙ මගෙ පුතා උපාධිය ගන්නව බලන්ට මිසක මේ මැඩ්රාසීන් එක්කල සතුටු සාමීචියෙ යෙදෙන්ට එහෙම නෙවෙයි.අන්න ඒක හොඳට මතක තියාගන්ට.."
ඇය කියවාගෙන ගියාය.ඇගේ වාගාලාපය නතර කිර්‍රිමට උත්සාහ කිරීමේ නිරර්ථක බව හොඳින් දත් හෙයින් මම මුනිවත රැකීමි.
මේ වනවිට ප්‍රධාන ආරාධිතයා සහතික පත් ප්‍රදානය අරඹා තිබිණි. රැස්ව හුන් ප්‍රේක්ෂකයෝ මුල් උපාධිලාභීන් විස්සට හෝ තිහට පමණ නොකඩවා අත්පොළසන් දුන්නෝය. ඉක්බිති විඩාවට පත්වූවෝ තමන් අතවූ උපාධි ප්‍රදානෝත්සවයේ න්‍යාය පත්‍රය මුද්‍රණය කරන ලද පත්‍රිකාවන්ගෙන් පවන් සලා ගැනීමට වූහ.
"අම්මෙ අර ගොල්ල එක්ක ටිකක් කතා කරල එයාල එක්ක හිතවත් වුනොත් හොඳයි නේද? අපි දැන් දවල් කෑමට යනවත්නෙ ඒ අයත් එක්ක."
"ඔයාට ඕනමනම් ඔයා යන්න එයාල එක්ක දවල් කෑමට. මට තනියම කන්න පුලුවන්."
"අනේ මේ අම්මෙ පොඩ්ඩක්..........."
එවිටම අනන්‍යාගේ නම ශබ්ද විකාශන යන්ත්‍රය තුලින් නිකුත්ව උත්සව භූමිය පුරා පැතිර ගියේය. අනන්‍යා වේදිකාවට පිවිස තම සහතික පත්‍රය ප්‍රධාන ආරාධිතයා වෙතින් ලබාගත්තාය. මම සිනාසෙමින් අසුනින් නැඟිට අත්පොලසන් දුනිමි.
මගේ මව මා දෙස දැඩි නොපහන් බැල්මක් හෙලුවාය. "ක්‍රිෂ්... මේ..ඉඳගන්න...අර එයාගෙ දෙමව්පියෝවත් නැඟිටල අප්පුඩි ගහන්නෙ නෑ."
"ඒ මම හිතන්නෙ එයාගෙ දෙමව්පියෝ වත් මම තරම් එයාට ආදරේ කරන්නෙ නැති නිසා වෙන්න ඇති." එසේ පැවසීමට මට දැඩි ලෙස අවශ්‍යවූ නමුදු මම එසේ නොකළෙමි.
අනන්‍යාගේ මව්පියෝ සෙමෙන් අත්පොළසන් දෙමින් හිස් ඔසවමින් අනන්‍යා තවත් හොඳින් දැක්ගැන්මට උත්සාහ කලෝය. ඒ අතරම අනන්‍යාගේ මව මාදෙස වරින් වර සැකමුසු බැලුම් හෙලුවාය. ඇයට යාබද අසුනෙහි හිඳසිටිනාමුත් මෙතෙක් මම ඇය හා එක වදනක් හෝ නොදෙඩූ බව මට එක්වරම සිහියට නැඟිණි. "මෝඩයා..මොනවහරි කියපං , ඒ මනුස්සය එක්ක කතා කරපං." මම ස්වයං නියෝගයක් නිකුත් කළෙමි.
"ඔයාලගෙ දුව හරිම දක්ෂයි. ඔය දෙන්නට හරිම ආඩම්බර ඇති" මම ඇය දෙස හැරී පැවසුවෙමි.
"ආ..එයා පොඩි කාලෙ ඉඳලම එහෙමයි. ඒ හින්ද අපිට ඔව්ව හොඳට පුරුදුයි." අනන්‍යාගෙ මව වේදිකාව දෙස බලාගෙනම පැවසුවාය.
අනතුරුව මම අනන්‍යාගේ පියා ඇමතූයෙමි. "අංකල් ඔය ගොල්ලො දවස් කීයක් මෙහෙ ඉන්නවද? "
අනන්‍යාගේ පියා මගේ හිස්මුදුනේ සිට දෙපතුල දක්වා කීපවරක් බැලූයේ මම ඔහුගෙන් ඔබ නිල් චිත්‍රපට කොපමණ නරඹා ඇද්ද? යනුවෙන් විමසූ කලෙක පරිද්දෙනි.
"අනිද්ද ආපහු යන්ටයි අපි හිතාගෙන ඉන්නෙ?.... ඇයි එහෙම ඇහුවෙ?"
සමහර ඇයි එහෙම ඇහුවෙ? යනුවෙන් විමසන පැණයන්ට පිළිතුරු නොමැත. පිළිසඳරෙහි යෙදීම උදෙසාම විමසන පැණයන්ට හේතු ඉදිරිපත් කල හැක්කේ කාහටද?
"නෑ මම මේ ඇහුවෙ ඔයාල මෙහෙ අහ්මදාබාද් අවට බලන්ට එහෙම හිතාගෙන ඉන්නවනම් අපිට එක වාහනයක් හයර් කරගෙන ඒක කලෑකි. මේ..අනන්‍යයයි මායි කතාවුනේ එහෙමයි."
අනන්‍යාගේ මව අප අතර හිඳ අපගේ කතාබහට සවන් දුන්නාය.අනතුරුව ඇය ද්‍රවිඩ භාෂාවෙන් තම සැමියා ඇමතුවාය.
"ගාන්ධි ආශ්‍රම්......හොඳයි කිව්ව නේද?" ඇය ද්‍රවිඩ භාෂාවෙන් පැවසූවෙන් මට වැටහුනේ එපමණකි.
"එහෙමනම් අපි ගාන්ධි ආශ්‍රම් යමු. මගෙ අම්මටත් එතන බලන්ට ඕනය කියල කිව්ව"
"මොකක්ද මම බලන්ට ඕනය කියල කිව්වෙ?" මගේ මව ඇගේ අසුනේ සිට පැවසුවාය. "මේ..ඒක නෙවෙයි..ක්‍රිෂ්..මෙතන කතාකර කර ඉන්නෙ ඔයා දැන් ගියොත් හොඳයි නේද ස්ටේජ් එක කිට්ටුවට? ඔයාගෙ නම කතා කලාද දන්නෙත් නෑ. ඇයි මේ කච කචේ හින්ද මොකවත්ම ඇහෙනවය?"
"හරි හරි මම මේ යන්ට තමයි ලෑස්ති වුනේ……" මම නැඟී සිටියේ එසේ නොකලහොත් මගේ මව කියවීම නතර නොකරන බැවිනි.
"ගාන්ධි ආශ්‍රම් යන එක කෝකටත් හොඳයි. ගාන්ධිතුමා තමයි සාමයේ සහ ජාතික ඒකාග්‍රතාවයේ පෙරගමන්කරු. හරි එතුමාගෙ ධර්මය අනුව කටයුතු කරන්ට ඕනය කියල මේ අපේ දෙමව්පියන්ටත් හිතෙන්ට බැරි නෑ එතනට ගියාම. හරි. ඒක හොඳයි තමයි." මම එසේ සිතමින් හිස මත වූ උපාධි තොප්පිය හරි හැටි සකස් කළෙමි.
"එහෙමනම් ඉතින් යන්න තවත් පරක්කු වෙන්නෙ නැතුව……" මගේ මව පැවසුවාය.
"හරි හරි ඉන්නකො ටිකක්………." මම පහත්ව ඇගේ පායුග ස්පර්ශ කලෙමි.
"ඇති යන්තං ඔයාට ඒක මතක් වුනා. මම හිතුවෙ ඔයා මට නෙවෙයි අනන්‍යාගෙ අම්මට එහෙම කරයි කියල"
මගේ මව එසේ පැවසූයේ අනන්‍යාගේ මවටද ඇසෙන පමණ ශබ්ද නඟාය. අනන්‍යාගේ මව මගේ මව දෙස වේගයෙන් ඉලක්කය කරා ඇදෙන A.K. 47 රයිපල උණ්ඩයක් හා සමාන බැල්මක් හෙලුවාය. මගේ මවද ඊට ප්‍රතිප්‍රහාර දුන්නාය.
"මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි නොහොත් මහත්මා ගාන්ධිතුමා නැඟිටල ආවත් මේ දෙන්න සමඟි කරන්න නම් බැරිවෙයි වගේ" මම මටම කියාගතිමි.
"අම්මා ප්ලීස්…..සන්සුන් වෙන්නකො කරුණාකරල…." ආයාචනාත්මකව ඇගේ කනට කොඳුරා මම වේදිකාව අසලට යනු පිණිස එදෙසට හැරුනෙමි.
"මම සන්සුන් වෙලා තමයි ඉන්නෙ. මම හොඳටම සන්සුන්..මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ නෙවෙයි. මේ මැඩ්රාසීන් දන්නෙ නෑ තමන්ගෙ දුවලව පාලනය කරගන්ට. ඒකයි මෙතන තියෙන ප්රශ්නෙ..හුහ්...හේමා මාලනීගෙන් පටන් ගත්තම ශ්රී දේවි වෙනකල් ඔය ඔක්කොමල බැලුවෙම පන්ජාබ් කොල්ලො අල්ලගන්ට. එව්ව කොහෙද මා එක්ක..බලමුකො අපි මොකද වෙන්නෙ කියල."
මගේ මව කොපමණ ශබ්ද නඟා කථා කලේද යත් අප පෙළෙහි අසුන්ගෙන හුන් සියලු දෙනාහට ඇගේ වදන් හොඳින් ඇසිණි. වේදිකාව මත සිදුවන නීරස සහතිකපත් බෙදාදීමෙන් හෙම්බත්ව හුන් ඔවුහු වහා ඇස් කන් විවර කොට අප දෙසට හැරුණෝය.
අනන්‍යාගේ මව තොල් සපාගෙන ඇගේ සැමියාගේ ඇළපතට වැළමිටින් ඇන්නාය. අනතුරුව වහා නැඟීසිටි ඔවුහු අනන්‍යාගේ සොහොයුරාද කැටුව පේළි පහකට පමණ පසුපසින් වූ හිස් අසුන් තුනක් කරා නික්ම ගියෝය.
කතාව මග නතර කරලදෝ කියලා හිතින් බැන බැන හිටියෙ. බලනකොට මේ තාම ලියනවනෙ.
ReplyDeleteඅපේ අම්මලා අප්පච්චිලත් මුලින්ම මුණ ගැහුනෙ අපේ උපාධි ප්‍රදානෝත්සවයෙදි. වෙලාවට ඒක සුහද හමුවක් උනා.
Sandamali,
Delete/ කතාව මග නතර කරලදෝ කියලා හිතින් බැන බැන හිටියෙ. බලනකොට මේ තාම ලියනවනෙ. /
නෑ..නෑ..නතර කලේ නම් නෑ..එඋ අතර ඔය වෙන වෙන එව්ව ලියන්ට වෙනවනෙ...:)
/ අපේ අම්මලා අප්පච්චිලත් මුලින්ම මුණ ගැහුනෙ අපේ උපාධි ප්‍රදානෝත්සවයෙදි. වෙලාවට ඒක සුහද හමුවක් උනා. /
අරෙහෙම අලකලංචියක් වෙන්ට නැතුව ඇතිනෙ ..නේද?...:)
ෂෝයි.......ඊ ළඟ ටික කවදද?
ReplyDeleteඉන්දික,
Deleteලඟදීම...:)
හිනාව නවත්තගන්න බැරි උනා! :D
ReplyDeleteNiro,
DeleteStill laughing?...:)
මළා... ඒ උනාට ෆිල්ම් එකකේ හැටියට බලං ගියාම මේ කතාවෙ අන්තිමේ වීරය වෙන්නෙ ක්‍රිෂ් ගෙ තාත්තනෙ...
ReplyDeleteඩ්‍රැකී,
Deleteඔව්, පොතෙත් එහෙම තමයි..මොකෝ ඉතිං මළාය කිව්වෙ?
මළා කිව්වෙ, ක්‍රිෂ්ගෙ අම්ම අරුං දෙන්නව වළඳන එකට... ක්‍රිෂා ට තිබ්බෙ කොන්වොකේෂන් එකට කිරි හට්ටියක් හරි පාවෝ භාජි මුට්ටියක් හරි අරං එන්න...
Delete//ඒකයි මෙතන තියෙන ප්රශ්නෙ..හුහ්...හේමා මාලනීගෙන් පටන් ගත්තම ශ්රී දේවි වෙනකල් ඔය ඔක්කොමල බැලුවෙම පන්ජාබ් කොල්ලො අල්ලගන්ට.//
ReplyDeleteහැබෑට? එයාලා ශ්‍රී ලංකාවේ කොල්ලෝ ගැන දන්නේ නැතුව ඇතිනේ? :P
දකුණු ඉන්දියානු ෆිල්ම් වල රඟපාන්නේ ඔක්කොම හැට පැනපු කොල්ලොනේ.. ඒක වෙන්නැති.. අම්මප.. ශ්‍රී ලංකාවේ කොල්ලෝ ගැන දන්නේ නැතුව ඇති.. මොකද දන්නවනං දැන ගන්න ඉන්නේ ශ්‍රී ලංකාවේ 'නළුවෝ' ගැන නේ.. උන්ට කවුද කැමති වෙන්නේ? :p
DeletePoddi,
Deleteදන්නෙ නැතුව ඇති..දන්නෙ නැතුව ඇති....:)
නියමයි බං...ෙම් ෙකාටස නං හරිම ස්වීට්.. බගටාෙග් උපහාසාත්මක හැකියාව ෙබාටත් ඒ් අයිරින්ම ලැබී තිෙබ්..
ReplyDeleteදුෂකයා වෙරි වෙලා.. හැක්.
Deleteඅඩෝ,ඊයෙ රෑ ගහපුවද?
Deleteඊයෙ කෂිය ගහල.
Deleteදූෂක,
Deleteහැබෑටම මොකද බං?....:)
දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන්..ඉන්දියාවේත් තියෙනවා නේ අපේ කතන්දරම.. හැක හැක..
ReplyDelete//අනන්‍යාගේ සොහොයුරා ගෙල දක්වා බොත්තම් පියවූ කමිසය හේතුකොටගෙන ආශ්වාස කිරීමෙහි අපහසුතාවයකින් පෙලුනේ කනස්සලු මුහුණකින් යුතුව කිසිදු අරමුණකින් තොරව බලා සිටියේය.// කේ.ජී. කරුණාතිලක ස්ටයිල්.. මම කැමතිම.. :)
කළ්‍යාණ,
Delete/ දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන්..ඉන්දියාවේත් තියෙනවා නේ අපේ කතන්දරම.. හැක හැක.. /
ඒ කතාව ඇතිවෙලා තියෙන්නෙ ඉන්දියාවෙ තමයි බං. ඔතන සාංචි කියන්නෙ සාංචි ස්ථූපය.මධ්‍ය ප්‍රදේශ් වල තියෙන්නෙ. 1920 ගණං වල ඔය සාංචි ස්ථූපයට අයිතිවාසිකම් කිව්වලු හින්දු ආගමිකයො. ඒ අය බලහත්කාරයෙන් සාංචි ස්ටූපය දෙපැත්තෙ හදුවලු යෝධ පිළිම දෙකක්. විෂ්ණු සහ මහේෂ්වර කියන දෙවියන්ගෙ. ඒකෙං තමයි ඔය කතාව ඇවිල්ල තියෙන්නෙ " දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් "
ඔන්න දැන් යුද ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් වැඩේ ලේසියි කාට කාටත්.
ReplyDeleteඩූඩ් අයිය වැඩ කරන්නෙ UN එකේ ද?
Deleteනෑ බං. ඉන්දියාවෙ විවාහයක් කියන්නේ මිනිස්සු නැතිබංගස්තාන වෙන වැඩක්නේ. දැන් මුන් දෙන්න හොරෙන් පැනලා ගියාම කාටත් හොඳයි.
DeleteDude,
Deleteඉන්දියාවෙ විතරක් නෙවෙයි බං කොහෙත් එහෙමයි....:)
අපොයි ගෑණු දෙන්නෙක් කිට්ටු උනොත් ආයි අහන්න දෙයක් තියෙනවද.
ReplyDeleteක්‍රිෂ් ගෙ තාත්තත් ආවනං මාමල දෙන්න කොහේ හරි සෙට් වෙලා ගානට ඔය ප්‍රශ්නෙ විසඳගන්න තිබුණ.
ප්‍රසන්න,
Deleteහෙහ්..අන්න ඒකනෙ බං..කාලක් දාගත්තම ඔය ඕනෑම බරපතල ප්‍රශ්නයක් පටගාල විසඳගත්තැහැකි.
///"ඒ මම හිතන්නෙ එයාගෙ දෙමව්පියෝ වත් මම තරම් එයාට ආදරේ කරන්නෙ නැති නිසා වෙන්න ඇති." එසේ පැවසීමට මට දැඩි ලෙස අවශ්‍යවූ නමුදු මම එසේ නොකළෙමි.///
ReplyDeleteමු වැරදිලා හරි එහෙම කලානම් තමයි පුදුමේ...
මේ කොයි කාලේ වගේ කතාවක්ද...
ලොක්කා,
Delete1996 - 2000 අතර කාලෙ වගෙයි මේ කතාව කියවෙන්නෙ..
අර උඩ පින්තූරේ ඉන්නේ ඔය කතාන්දරේ ෆිල්ම් එකේ ඉන්න අය වෙන්න ඇති මම හිතන්නේ. ඒක එහෙමනම්, ක්‍රිෂ් ඇතුළු ක්‍රිෂ්ගේ පවුලේ උදවියට කතා පොතෙන් හිතේ මැවෙනවාට වඩා වෙනස් ස්වරූප තියෙන්නේ. මෙච්චර කල් කියවගෙන ගිය කතාවේ හැටියට, මම කීයටවත් හිතුවෙ නෑ ක්‍රිෂ්ගේ තාත්තා ඔය වගේ තරුණ පෙනුමක් තියෙන කෙනෙක් වෙයි කියලා (ඒ ඉන්නේ අර මහ ගෙදර කතාන්දරේ හිටපු මිහිර් විරානි නේද?) ක්‍රිෂ්ගේ අම්මාව මගේ හිතේ තිබුණේ ඔය ඉන්න කෙනාටත් වඩා මහත, සාරියක් ඇඳගත්තු කෙනෙක් වෙයි කියලා. ක්‍රිෂ්නම් අයියෝ මං හිතං හිටියේ රන්බීර් කපූර් වගේ පෙනුමක් තියෙන කෙනෙක්ව. ඒත් ඉතින් මේක චෙතන් භගත්ගේ ජීවිත කතාව පදනම් කරගෙනම ලියවිච්ච එකක් නිසා එයාගෙ හම්ටි ඩම්ටි පෙනුම තියෙනක් කෙනෙක්ව දාන්න වෙන්න ඇති. අනන්‍යායි එයාගෙ අම්මයි තාත්තයිනම් කතා පොතෙන් හිතේ මැවිච්ච විදිහටම ඉන්නවා.
ReplyDeleteඅයියේ, පරිවර්තනයනම් ඉතාම ඉහළයි, හැමදාමත් වගේ. චේතන් භගත්ගේ අනිත් පොත් ටිකත් හොයාගෙන කියවන්න හිතෙනවා දැන්නම් මට.
/*සමහර ඇයි එහෙම ඇහුවෙ? යනුවෙන් විමසන පැණයන්ට පිළිතුරු නොමැත. පිළිසඳරෙහි යෙදීම උදෙසාම විමසන පැණයන්ට හේතු ඉදිරිපත් කල හැක්කේ කාහටද?*/
හප්පා මොන තරං ඇත්තක්ද!
Siththami,
Delete/ මෙච්චර කල් කියවගෙන ගිය කතාවේ හැටියට, මම කීයටවත් හිතුවෙ නෑ ක්‍රිෂ්ගේ තාත්තා ඔය වගේ තරුණ පෙනුමක් තියෙන කෙනෙක් වෙයි කියලා /
හෙහ්..මම හිතුවෙත් ක්‍රිෂ්ගෙ තාත්තා කොණ්ඩෙ අඩුගණනෙ එහෙන් මෙහෙන් වත් සුදු වෙච්ච මූණ පුරා රැවුලක් වවා ගත්තු මනුස්සයෙක් කියල. විශ්‍රාම ලත් ඉන්දීය හමුදා නිලධාරියෙක්ය කිව්වම මගෙ හිතේ ඇඳුනෙ එහෙම රූපයක්. ක්‍රිෂ්ගෙ අම්මනම් හරි වගෙ. ඒත් අනන්‍යාගෙ අම්ම මම හිතාගෙන හිටියෙ ඔයිට වඩා මහතයි කියල...:)
/ (ඒ ඉන්නේ අර මහ ගෙදර කතාන්දරේ හිටපු මිහිර් විරානි නේද?) /
මහගෙදර වගෙ කතා මම බලල නම් නෑ. ඒත් ඔයා කිව්වට පස්සෙ පොඩ්ඩක් හොයල බැලුව. යස් ඔබ හරි ඒ නලුවා මහගෙදර එකේ ඉඳල තියනව. ඇත්තම නම Ronit Roy
Thanks Madam as always…:)
පොත කියවනකොටවත් මෙච්චර හිනා ගියේ නැහැ.
ReplyDeleteIan,
DeleteThanks Ian....:)
ඇත්තටම වෙනදාටත් වඩා කදිමයි රවි. මගේ විදිහට කිව්වොත් මරේ මරු!
ReplyDeleteMethu,
DeleteThanks to you too ....:)
හප්පේ, මම හිතුවා මම නැති ටිකේ මේක ලියලා ඉවර කරලත් ඇති කියලා.. කොටස් කීපයයිනේ මග ඇරිලා තියෙන්නේ..
ReplyDeleteදැන් තමයි ඔන්න හොඳම හරියට එන්නෙ රවි , මේ පවුල් දෙක එකතු වෙන කොට කොහොමට තියෙයි ද? මගෙ නංගි බැන්දෙ ද්‍රවිඩ මැලේෂියානුවෙක්. අපේ තාත්තාත් එක්ක බෑනා කියාගන්න ඒවා ඇහුවම මේ වාගෙ තමා. හැබැයි දෙන්නා පුදුම විදිහට එකතු උනා. සංසාර බැඳීම් කියන්නෙ ඒවට තමා. මේ මාසෙ ඔන්න දෙන්නම යනව බෑනා බලන්න.
ReplyDeleteවැඩ වැඩි නිසා මේකෙ මුල මිස් වෙලා.. මුල ඉඳන් කියවන්න ගන්න ඕන.. මේක මැද්දෙන් පැනල කියෙව්වත් රහේ අඩුවක් නෑ... රවී අයියා.. මුල ඉඳන් කියෝගෙන එන්නම්...
ReplyDeleteපරිවර්තනය සිත්ගත්තා රවී . මෙතැන් සිට සටන් ජවනිකා නේද ?
ReplyDeleteමං බලල තියෙන්නෙ හේමමාලිනි ඉන්න එක ෆිල්ම් එකයි. "සීතා ඕර් ගීතා". ඒකෙ හේමමාලිනී ඇත්තටම 100% ක්ම පෙනුමෙන් ශ්‍රී දේවි වගේමයි...
ReplyDeleteඅදත් වෙනදා වගේම හිනා වෙවී එක හුස්මෙට කියෙව්වා.... මට හිතෙන්නෙ දැන් තමයි හොඳම හරිය පටන් ගන්නේ... බලමුකෝ බලමුකෝ...
ReplyDeleteමම මගේ උපාධි උත්සවේට ඒ දවස් වල මාත් එක්ක එකට පාඩම් කරපු යාලුවා එක්ක තමයි ගියේ.. ඒ කියන්නේ කෙල්ලෙක්. අපි දෙන්නම උපාධිය ගත්තේ එකට... අපේ අම්මයි.. ඒ ළමයාගේ අම්මයි තාත්තයි ඔක්කොම ඇවිල්ල හිටිය.. උත්සවේ ඉවර වෙලා පොටෝ එහෙම අල්ලලා ඔක්කොම ඉවර ගෙදර ගිය ගමන් අපේ අම්ම කිව්වා.. අනේ ඒ ළමය නම් ඔයාට හරි යන්නේ නෑ කියල... හෙහ් හෙහ් අපි දෙන්න කොහොමත් යාලු ෆිට් එකෙන් විතරයි හිටියේ.. ඒ නිසා කිසි අවුලක් නෑ.. අම්ම පොඩ්ඩක් කලබල වෙලා.. පස්සේ මම පැහැදිලි කරලා දුන්න ඒක කොහොමත් හරි යන මගුලක් නෙවෙයි කියල .. හෙහ් හෙහ්
ReplyDelete