Google Images |
" හරි හරි එහෙනම් කතා කරමුකො ආය දවසක..ආ..මට ඔයාට මාව අඳුන්වල දෙන්නත් බැරිවුනානෙ..සොරි..මම මේ පහුගිය සඳුදා එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුතෙන් ආවෙ..මගෙ නම…"
" මම දන්නව..ක්...ලි...යෝ... පැ...ට්... රා……. " මම අකුරින් අකුර නවතමින් උච්චාරණය කලෙමි.
" මොකක්? ක්ලියෝ පැට්රා? මොන පිස්සු කතාවක්ද ඒ? "
" හෙහ්...ඒකත් මම පැහැදිලි කරන්නම් හැබැයි… "
" අද නෙවෙයි………… " ඇය හඬ නඟා සිනාසෙමින් සම්පූර්ණ කළාය.
" අන්න හරි ආයම දවසක…… "
" හිහ්..දැනටම ඔයා ආයම දවස් තුන හතරක් හම්බවෙන්ට ප්‍රෝග්‍රම් හදාගෙන ඉවරයි වගේනේද? "
" ආය මොනවද? අන්න එහෙමයි අපි..... "
එදින කාර්යාලයේ භෝජන ශාලාවෙහි අපගේ පළමු හමුවීමෙන් ඉක්බිති යලිදු ඇය මට හමුවූයේ සතියකට හෝ දින දහයකට පමණ පසුවය. එකම කාර්යාලයෙහි සේවය කරන අප දෙදෙන එතෙක් දීර්ඝ කාලයක් තුල එකිනෙකා හමුනොවූයේ මන්දැයි ඔබට විමතියට පත්වනු නිසැකය.ඊට හේතුවන්නට ඇත්තේ අප දෙදෙනාම හෝ එක් අයකු එවන් හමුවක් චේතනාන්විතව මඟහැරීම යනුවෙන් ඔබට සිතෙන්නට ද හැක. ඒ පිළිබඳව මම ඔබට වරදක් නොකියමි. නිසැකවම මම වුව ද එවන් අවස්ථාවක සිතනුයේ ඒ අන්දමිනි.
නුගේගොඩ සිට නාවල මංසන්ධිය දක්වා විහිදයන මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවූ පසු දකුණු පස පසුගිය රජයේ නගර අලංකරණ වැඩ පිළිවෙල යටතේ නිර්මාණය කල ජල උද්‍යානයක් ඔබට දැකගත හැක. එහෙත් මම මේ පවසන අදාල කාලසීමාවෙහි එහිවූයේ "වැලිපාක්එක" නම් පොදු නාමයෙන් හැඳින්වුනු ඉදිකිරීම් උදෙසා උපයෝගී කොට ගන්නා වැලි පුරවාගත් ටිපර් රථ ගාල්කොට තැබුණු සමතල මුඩු බිමකි. නො එසේනම් අංගනයකි. එම අංගනය පසුකොට නාවල මංසන්ධිය දෙසට තවත් මීටර් හාරසියයක් පමණ දුරකින් දකුණු පසට විහිදෙන අතුරුමාර්ගයක ඉතා ආසන්නයේම වූ දෙමහල් ගොඩනැඟිල්ලක එකල අප ආයතනය පවත්වාගෙන යන ලදී.
පහත මහළෙහි කුඩා අංගනයකින් ඔබ්බෙහි වූ ගිණුම් අංශයට ඉහල මහලෙහි ඉදිකිරීම් අංශයෙහි සේවය කල අප ගියේ අත්‍යාවශ්‍යම එමෙන්ම දුරකථන මාර්ගයෙන් විසඳාගත නොහැකි මුහුණට මුහුණ හමුවී විසඳාගතයුතු කාර්යයක් සඳහා පමණකි.
වෘත්තීය ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී විද්‍යුත් පණිවිඩයකින් ඉටුකොටගත නොහැකි කාර්යයක් දුරකථන සංවාදයකින් ඉටුකොට ගත හැකිය. දුරකථන සංවාදයකින් පවා සාර්ථක කොටගත නොහැකි කාර්යයක් සඳහා මුහුණට මුහුණ හමුව කරන සාකච්ඡාවක් නොවරදින ප්‍රතිකර්මයකි. එලෙස ද ඉටුකොටගත නොහැකි කාර්යයක් අත්හැරදැමීම වඩා යෙහෙකි.
එලෙසම ඒ කාලවකවානුව පොදුවේ අප ආයතනයෙහි කාර්ය මණ්ඩලයේ සැමටමද විශේෂයෙන් ඉදිකිරීම් අංශයේ සේවය කල අප අතළොස්සක් දෙනාහටද උපරිම වශයෙන් කාර්ය බහුල වූ සමයකි.සමාන්තරව ඉදිකිරීම් සිදුවෙමින් පවතිනා සමගාමී ව්‍යාපෘතීන් දහයකට ආසන්න සංඛ්‍යාවක ප්‍රගතිය සමලෝචනය,නිමකල ඉදිකිරීම් උදෙසා ලැබියයුතු ගෙවීම් උදෙසා ඉදිරිපත් කල යුතු ඉල්ලුම් පත් සකස් කිරීම සහ අනාගතය උදෙසා නව ව්‍යාපෘතීන් වෙනුවෙන් ටෙන්ඩර්පත් ඉදිරිපත්කිරීම යන කටයුතු සියල්ල නොපිරිහෙලා ඉටුකිරීම්වස් අප අංශයේ සහෝදර නිලධාරීහු මහත් කැපවීමකින් ක්‍රියා කළෝය.
අධික කාර්ය බහුලත්වය හේතුකොටගෙන මම බොහෝවිට දිවා ආහාරය අනුභව කලේ සවස දෙකේ කණිසමද පසුවීය. එබැවින් නියමිත වේලාවට දිවා ආහාරය ගන්නා ගිණුම් අංශයේ කිසිවකුහෝ හමුවීමේ අවස්ථාවක් දිවා ආහාර විවේක කාලය තුල පවා නොවුනේම යයි කිවහැක.එලෙසම අනුෂ්කා (මේ වනවිට ක්ලියෝපැට්රාගේ නම අනුෂ්කා බව මම දැන සිටියෙමි) හමුවීමට ගිණුම් අංශයට යාමට මසිත පැකිලුනේ රාජකාරී වෙලාවෙහිදී එසේ වෙනත් අංශවලට ගොස් සතුටු සාමීචියෙහි යෙදීම මම කිසිදිනෙක රුචි නොකල හෙයිනි.
මෙසේ සතියක් හෝ දින දහයක් පමණ ගෙවී ගිය අනතුරුව එක් සිකුරාදාවක දිවා ආහාරය උදෙසා මම භෝජන ශාලාවට ගියේ පස්වරු දෙකේ කණිසමට ආසන්නවය. කුසගින්නෙන් පෙළෙන්නන් කඩිමුඩියේ ආහාරගෙන නික්මගොස් තිබූ හෙයින් පාළුවට ගොස් තිබූ භෝජනාගාරයෙහි නිසංසලේ ආහාර ගෙන ඉතිරි කාළය තුල කියවනු පිනිස මම ඒ ආසන්නයේම මිළදීගත් පොතක්ද ගෙන ගියෙමි.
(කොපමණ රසැති ආහාරවේලක් වුවද අනුභවය සඳහා මට අවශ්‍ය වන්නේ උපරිම වශයෙන් මිනිත්තු හයක් හෝ හතකි. ඒද ඉතාම සෙමින් ආහර ගතහොත් පමණි.කුඩා අවධියෙහිදී මගේ මේ ආහාර ගැනීමේ කඩිමුඩිය පිළිබඳව මගේ මෑණියෝ නොයෙක් වර මැසිවිලි නැඟූහ. "මොකද ළමයො ඔය කන විදිහ? කෝච්චිය අල්ලන්ට යන්ට වගෙ.හෙමිහිට කන්නකො හොඳට හපල.ඔහොම ගිණි කුන්දමේ කෑවම ඇඟට අල්ලන්නෙත් නෑනෙ කන දෙයක්." ඇය හෙදියක බැවින් අපගේ සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව නිතර උනන්දු වූවාය.)
භෝජනාගාරයෙහි මෑතක ස්වයංක්‍රීය දොර වසනයක් සවිකල ප්‍රධාන දොර විවෘත කිරීම තරමක් අසීරුය.එලෙසම මගේ වමතෙහි පොත සහ සුරතෙහි දිවා ආහාර පාර්සලය වූ බැවින් වෙර යොදා දොර විවරකීරිම කොහොමටත් උගහටය. සුරතෙහි වූ ආහාර පාර්සලය වමතට ගෙන වෙරයොදා දොර විවරකිරීමට සූදානම් වනු සමඟම එක්වරම දොර ඇතුලතින් විවර විය. විවරවුණු දොරට පසුපසින් සිනහමුසු මුවින් යුතුව මදෙස බලා සිටියේ ඇයයි. එනම් අනුෂ්කායි.
"මොකද මේ අද? …" ඇගේ සුන්දර සිනහව දැක මහද ක්ෂණිකව හටගත් ප්‍රහර්ෂයෙන් යුතුව මම ඇසුයෙමි.
"ඒ කිව්වෙ? "
"ඒ කිව්වෙ වෙනද එකවුන්ට්ස් සෙක්ෂන් එකේ ඔයාල දොළහ වෙනකොට පාන්දර කුකුල් කූඩුවෙ දොර අරිනකොට කුකුලො කිකිළියො එලියට පැනගන්ට පොර කනව වගෙ මෙතන ඩයිනිං රූම් එකේ දොරට හේත්තු වෙලානෙ ඉන්නෙ...හෙහ්…"
"කුකුළො කූඩු වලම හදනව මිසක කොහෙද අනේ එහෙම දොරවල් ඇරල එළියට දාන්නෙ? "
"මම මේ කියන්නෙ බොහොම දුරාතීතයක වෙච්චි දෙයක් ….නයින්ටීන් සෙවන්ටීස්වල. පළමෝත අත්දැකීම්...අපෙ අත්තම්මයි මායි තමයි කුකුළ් කූඩුවෙ දොර අරින්ට යන්නෙ..අත්තම්මත් පෙරළගෙන කුකුළො කිකිළියො එළියට පනින්නෙ. හෙහ්...ඒ වෙලාවට අත්තම්ම උංට බණින විදිහ අහං ඉන්ට ආසයි...."
"අනේ ඒ අත්තම්මා බණින විදිහ කියන්ටකො…"
"ම්ම්ම්ම්..අද බෑ...."
"මම දන්නව..ඊළඟ දවසෙ ...හිහ්,හිහ් …"ඇය හඬනඟා සිනාසෙමින් ඌණපූරණය කළාය.
"දැන් මෙතෙන්ට ආවෙ මොකටද? අර මොකාද වගෙ ඔහොම හිටගෙන ඉන්ටද?" තවමත් බත්පත සහ පොත දෑතෙහි රඳවාගත්වනම සිටගෙන සිටිනාබව මට සිහියට නැඟුනේ ඇය එලෙස විමසූ අනතුරුවය.
"ආවෙනම් දවල්ට කන්ට කියල...මේ ඒක නෙවෙයි ඔයා මොකද මේ අද පරක්කු වෙලා? මොකවත් හදිසි වැඩක් එහෙම තිබ්බද?"
"ඔව් හදිසි වැඩ දෙක තුනක් තිබ්බ. ඒ ටික ඉවර කරන්ට වෙලා ගියා…..ඉතිං ඒ හින්දයි හරියටම ඔයා එන වෙලාවටම මටත් එන්ට වුනේ කෑමට….." ඇය පැවසූයේ යටැසින් මා දෙස බලමිනි. "මොකෝ? ඔයාගෙ ඒකට අමනාපයක් එහෙම නෑනෙ නේද?"
"නෑ කිසිම අමනාපයක් නෑ..අනික අමනාපයක් තිබ්බත් මට ඒක එළිපිට ප්‍රකාශ කරන්න බෑ මෙතන පොදු තැනක්. මේ වගෙ තැන්වල අපේ පෞද්ගලික රුචි අරුචිකම් බොහෝවිට යටපත් කරගන්න සිද්ද වෙනව. " පුටුවක් ඇද අසුන්ගෙන බත්පත දිගහරිමින් මම පැවසූයෙමි. " කමුද එහෙනං?"
ඇගෙන් පිළිතුරක් හෝ නොවූයෙන් මම හිස ඔසවා ඇය දෙස බැලීමි. ඇය විශ්මයපත් දෙනෙතින් මගේ මුහුණ දෙස එක එල්ලේ බලාගත්වනම සිටියාය.
"මොකෝ අනේ මේ? ...ඉතාම කිට්ටුම යාලුවො අතර ඇරුනම ඔය වගෙ එක එල්ලේ මුහුණ දිහා බලා ඉන්න එක අචාරශීලී නෙවෙයි කියලයි බොහොමයක් රටවල සැළකෙන්නෙ" මම සිනහසෙමින් පැවසුවෙමි.
ඇය එක්වනම දෑස් පහතට යොමුකොටගෙන "සමාවෙන්න" යනුවෙන් පවසතැයි මම කිසිසේත් බලාපොරොත්තු නොවුනෙමි.එලෙස හැඟීගියේ කුමන හෙයින්දැයි මට විස්තර කිරීමට අපහසුය. එය බොහෝ විට සහජාශ හැඟීමක් විය හැක. ( Instinct ) එළෙසම ඇය මගේ අපේක්ෂාව බිඳ නොහෙලුවාය.
"ඇයි අපි එහෙම සමීප හිතවතුන් නෙවෙයිද?" මගේ මුහුණ දෙස යොමුවූ නෙත්සර එලෙසම තිබියදී ඇය විමසුවාය.
"හෙහ්..එහෙමද ඔයාට හිතෙන්නෙ?"
කිසිදු පිළිතුරක් නොදුන් ඇය නිහඬව හිස පහතට හරවාගෙන බත්පත දිහ හරින්නට වූවාය.අපි කිසිදු කටහාබහකින් තොරව මිනිත්තු කිහිපයක් නීහඬව ආහාර අනුභව කලෙමු.
"මම ඉස්සෙල්ල අර බොරුවක් කිව්වෙ?"ඇය හදිසියේම පැවසුවාය.
"කෝකද බොරුව?" මම හිස ඔසවා ඇය දෙස බලා ඇසුවෙමි.
"මම අර කිව්වෙ අද පරක්කු වුනේ වැඩ තිබ්බ හින්දයි කියල...අන්න ඒක තමයි බොරුව.."
"මට හිතුන……"
"ඒ කොහොමද?"
"මම දන්නෙ නැද්ද එකවුන්ට්ස් සෙක්ෂන් එකට වැඩ තියෙනවනං..අපි ඉන්වොයිස් හරි ක්ලේම්ස් හරි හදල යැව්වොත්නෙ ඔයාලට වැඩ තියෙන්නෙ...හෙහ්..අපි නොදන්න මොණර තැන්න...." ඒ ප්‍රකාශය සම්පූර්ණ සත්‍යයම නොවන නමුදු මම එලෙස පැවසූයෙමි.
"හිහ්..එහෙමද හිතාගෙන ඉන්නෙ? "
"ඔව් එහෙම තමයි……"මම ඇය දෙස බලා සිනාසුණෙමි.
"ඉතිං ඔයා අහන්නෙ නැද්ද ඇයි එහෙම බොරුවක් කලේ කියල.."
"හෙහ්..මම අහල නෙවෙයිනෙ ඔයා කිව්වෙ ඔයා බොරුවක් කලා කියල. ඉතිං මම හිතනව මම ඇහුවෙ නැතත් එහෙම බොරුවක් කලේ ඇයි කියල ඔයා මට කියයි කියල."
"ඔයා හරි..මම ඒක ඔයාට කියන්න තමයි හිටියෙ. මම අද හිතාමතාම පරක්කු වෙලා දවල්ට කන්න ආවෙ ඔයාව හම්බවෙන්න ඕන හින්ද…." මම කිසිවක් නොදොඩා ඇය දෙස බලා සිටියෙමි.
"ඇයි එහෙම හම්බවෙන්න ඕන වුනේ කියල අහන්නෙ නැද්ද කියල මම ඔයාගෙන් අහන්නෙ නෑ.."ඇගේ දෑස දඟකාර සිනහවකින් විකසිත වී තිබිණි.
"මම දන්නව ඔයා එහෙම අහන්නෙ නැත්තෙ ඇයි කියල…"
"ඇයි?......"
"එහෙම ඇහුවොත් මම දෙන උත්තරේ ඔයා දන්න හින්ද…"
"හරි ඒ හින්ද ඒ ප්‍රශ්නෙ ඔයා ඇහුවයි කියල හිතාගෙන මම කියන්නම් උත්තරේ."
මේ වනවිට අප දෙදෙනාම ආහාර අනුභවය අවසන්කොට තිබිණි.සෙමෙන් අසුන පිටුපසට කොට නැඟී සිටි මම අත සෝදන බේසම වෙත ගියෙමි. ඇයද අසුනින් නැඟිට මා පසුපස පැමිණියාය.
"ඔයාට යන්න හදිස්සිද?"
"නෑ..මම මේ පොතකුත් ගෙනාවෙ කාල ටිකක් වෙලා මේක කියවන්න කියල හිතාගෙන.."
"මොකක්ද ඔය පොත?"
"මේක මේ ලෝකෙ ඈත අතීතයෙ ඉඳල හිටපු දර්ශනවාදීන් සහ ඔවුන්ගෙ දර්ශනයන් ගැන ලියවුනු ඇත්තටම දර්ශනය ගැන හැඳින්වීමක් වගෙ පොතක්….Sophie's World"
"කවුද ලියල තියෙන්නෙ? "
"යූස්ටයින් ගෝඩර්…. එයා නෝවීජියානුවෙක්.."
"හරි කියවල මටත් දෙනවද?"
"හරි හරි...ඔයාට ඕන නම් ගන්න..මට පස්සෙ කියවන්න බැරුවය…"
"නෑ එපා ඔයා බලල දෙන්න..පොත ගැන හැඳින්වීමකුත් එක්ක……"
"අන්න ඒකනම් මම කැමති වැඩක් නෙවෙයි මැඩම්…"
"ඇයි ඒ? "
"පොතක් ගැන මගේ අදහස් ඔයාගෙ අදහස්වලට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්. ඒ හින්ද මම කලින් මේ පොත මෙහෙමයි කියල කීව්වම ඒක ඔයාගෙ රස වින්දනයට බාධාවක් , බලපෑමක් වෙන්න පුලුවන්…"
යම් ඇදහිය නොහැකි පුවතක් අසන්නට ලැබුණු විට හෝ එවන් දසුනක් දක්නට ලද විට තම විශ්මය ප්‍රකාශ කිරීම පිණිස බොහෝ දෙනෙකු හිස දෙපසට සොළවනු ඔබ දැක ඇතැයි මම සිතමි. අනුෂ්කාද එලෙස දෙතොල් තදින් පියාගත්වනම හිස සොළවමින් මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය.
"මොකෝ මේ ඒපාර?..." මම දෙබැම රැළි නංවමින් විමසූයෙමි.
"It's really amazing how you are just like him..Once he told me exactly the same thing."
"Who...? "
ඇය සඳහන් කරනුයේ ඇගේ පැරණි පෙම්වතකු පිළිබඳයැයි උපකල්පනය කරමින් මම විමසූයෙමි. එහෙත් මේ අපූර්ව යුවතිය යලිත් මා විශ්මයට පත් කලාය.
"මගේ බාප්පා...He was my very first Hero....ඇත්තම කියනවනම් තවමත් එහෙමයි...I never met anyone like him until now..may be not for my whole life...."
ඇය කථා කලේ කොපමණ පහත් හඬින්ද යත් ඇය කියන්න හරිහැටි ශ්‍රවණය කිරීමට මට දෑත් මේසය මත බරකොට ඉදිරියට නැවෙන්නට සිදුවිය.
ඇයි දෙයියනේ මේ... රවිතුමාගේ කතන්දරවල ඉන්න කෙල්ලො ඔක්කොම අයන්නෙන් පටන්ගන්න නම් තියෙන උන්. අනන්‍යා, අසෝකා, අනුෂ්කා... එල එල. තැන්කූ කතාව දැම්මට හොඳේ.. !
ReplyDeleteනිර්නාමික,
Deleteඅඩේ ඇත්තම තමයි අයන්නෙන් තමයි ඔක්කොමල නේද? මම හිතලම කරපු දෙයක් නම් නෙවෙයි . මේ බී මයි සබ්කොන්ෂස් මයින්ඩ්...ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්ට ඕන...:)
චවී අයිය ට කුළුඳුල් බූට් එක දීපු කෙලි පොඩ්ඩ ගේ නම පටාන් ගන්නේ 'අ' යන්නෙන් ලු. ඒකයි
Delete“අමා“ ද දන්නෑ?
Deleteහැක්! අපි ඒ කාලේ අත දරුවො නෙව !!!
Deleteඅපොයි
Deleteඅමා,
Deleteඑහෙනං එහෙනං අත දරුවො නෙවෙන්නං....මට මතකයි එක පාරක් අරුණිගෙ බ්ලොග් එකේදි උඹ කිව්ව බොලාගෙ ඉස්කෝලෙ වජ්‍ර ජයන්තිය වෙලාවෙ සංවිධායක මණ්ඩලෙත් උඹ හිටියයි කියල. ඒකෙං හිතාගත්තෑකි උඹේ අතදරුකම. මට හොඳට මතකයි ඔය වජ්‍ර ජයන්තිය. අපි දිනපතා ආවා ඕකට...හෙහ්,හෙහ්,
හිකි හිකි හිකි... අයියෙ ඒ කෙල්ල උඹට කිව්වද උඹ බාප්පොච්චියෙක් වගෙය කියල :-p
ReplyDeleteජනූ,
Deleteපිස්සුද බං?....එහෙම කිව්ව එකක් නෑ...උඹ අර ලෙංචිනා පරල වෙලා සබාව මැද්දෑවට කඩා පැන්නවගෙ මෙතන බූත කියවන්නෙ නැතුව බලාගෙන ඉඳු මොකද වෙන්නෙ කියල..
ජනූ,
Deleteමේ...මම කියන්නද?....උඹේ ප්‍රොෆයිල් එකට දාගනිං මිනී ඔළුවයි ඇටකටු දෙකයි....එහ්හෙන්නං
This comment has been removed by the author.
Deleteහඅ.... මේ අයියට ඩෝං යන තරම බලහල්ලකො. අපේ ඉතිං අකීකොරුකොම කියල දෙයක් ගෑවිලාවත් නැතුවා.. ඉහ නිකට පැහිච්ච අයියෙක් තේරුංකොරල යමක් කිව්වාම ඒ මොකැයි එහෙම කියන්නෙ ආදී වසයෙං හරස් පුරස්න නාහ ඒක පිලිපදිනව මිසක... ඕං මාරු කොලා... ගැලපෙනවැයි? :-p
Deleteමෙන්න තව කතාවක් පටන්ගෙන. දැන් ඉතින් මේකෙ මුල හොයන් ඉදින්කො. වෙලාවට දෙවෙනි කොටස.
ReplyDeleteහැබෑට අර උඩින් කවුද කිව්වත් වගේ ඔය ගෑනු දැරිවිය්න්ගෙ නම් පැටලෙන්නැද්ද?.,,,, මම අහන්නෙ මේ ඔක්කොම එකට සමගාමීව ලියනකොට ආ...
සඳමාලී,
Deleteනෑ..නෑ..එහෙම පැටලෙන්නෙ නෑ..මම ඔය නම් ඔක්කොම වෙනම ඩේටා බේස් එහෙක එන්ටර් කරල තියෙන්නෙ මගේ හෘදයාංගම ලලනාවියෝ කියල.:)
පොත දැක්කහම ලොකු මතකයක් ඇවිස්සුනා. මම මේ පොත කියෙවුවේ 1995 දී. එය මට දුන්නේ මා සේවය කළ තැනක අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදී විද්‍යාර්ථියෙක්. දිග උඩරට සිංහල වාසගමක් තිබුණු මුස්ලිම් ජාතිකයෙක් වුනු ඔහු දැඩි හේතුවාදියෙක්. මා ඒ දිනවල ඔහුට අනුව විඥානවාදියෙක්. ඒ දවස්වල මා නැවතී හිටියේ ඇතුල්කෝට්ටේ. මේ පොත ඉල්ලගෙන කියවමින් සිටින අතරතුරේ දිනක් ඔහුත් මා සිටි 176කට ගොඩවුනා. (ඔහු චැට් එකකට කාලෝ ෆොන්සේකාගේ ගෙදර යනවා. ඔහුට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම ප්‍රශ්නයක් වුනේ නැහැ) මම පසුපස අසුනේ වාඩිවෙලා. ඔහු හිටගෙන දෙකට නැමිලා. "පොත කොහොමද?" කියා (ඉංග්‍රීසියෙන්) ඇසූ ප්‍රශ්නය දන්නෙම නැතුව දිගු දාර්ශනික සංවාදයක් දක්වා ඇදී ගියා. මේ අතර පැත්තක හිටපු මනුස්සයෙකුට මළපැන්නා. සද්දේ වැඩිකමට බැන්නනම් සාධාරණයි. ඒත් වැරැද්ද සිංහල රටේ ඉංග්‍රීසියෙන් කතා කිරීම. දැන් පොර හෙන දේශනයක් පටන් ගත්තා. මම වැඩේ ගොඩින් ශේප් කරගන්න හිතලා "මේ මහත්තයා මුස්ලිම්. ඒකයි ඉංග්‍රීසියෙන් කතා කළේ කිවුවා". අන්තිමට ටෝක් දීගෙන ආපු මනුස්සයට විතරක් නෙමෙයි මටත් පුරවැසි අයිතිවාසිකම් ගැන හොඳට අහගන්න ලැබුණා.
ReplyDeleteEconomatta,
Delete/ දිග උඩරට සිංහල වාසගමක් තිබුණු මුස්ලිම් ජාතිකයෙක් වුනු ඔහු …/
මෙහෙම මුස්ලිම් අය බහුතරයක් ඉන්නෙ නුවර - ගම්පළ අතර තියෙන ගෙලිඔය නගරය අවට. කළුගමුව කියන ගම විශේෂයි. සෙනරත් රජ්ජුරුවන්ගෙ අගබිසවට හැදුනු දරුණු කුෂ්ඨ රෝගයක් සුවකරන්නට කේරළයෙන් ගෙන්නපු මුස්ලිම් වෛද්‍යවරයෙකුට රජ්ජුරුවො සන්නසකින් ගම්බිම් පවරල සිංහල නමකුත් දීල ඔහෙ පදිංචි කෙරෙව්වලු.මම කාලයක් ඔය නුවර -ගම්පල පාර හදපු සමාගමේ වැඩකලා. අපේ චෙක් රෝලෙ කම්කරුවන්ගෙ බොහෝවිට ඔය වගෙ නම් තිබ්බ. රාජනායක වාසල මුදියන්සේලාගේ අබ්දුල් මජීඩ් අන්න ඒ වගෙ...
හුටා...............ඔයා මගේ බාප්පා වගේ කියලා. නාකි වර්ගීකරණයට දැම්මද?
ReplyDeleteඅම්මපා මේ, ඉංගිරිසි නම් ලියන විදිහයි, උච්ඡාරණය කරන විදිහයි අතර වෙනස නිසා, කුණුහරප තමා කියවෙන්නේ.
මම හිතුවේ පොත් කර්තෘගේ නම ජොස්ටෙයින් කියලා. මා හඳුනන ස්වීඩන් ජාතික කාන්තාවක් හිටියා. ඇගේ නම ලියන්නේ Kerstien කියලා. නමුත් උච්ඡාරණය කරන්නේ, ෂස්ටින් කියලා.
ස්වීඩන් භාෂාවේ k අකුර e, i, y, ä, ö ස්වර සමඟ එනවිට ශබ්ද වෙන්නේ ශ ලෙස. a,o,u සමඟ එනකොට පමණක් ක ලෙස ශබ්ද වෙනවා. උදාහරණයක් ලෙස ස්ටොක්හෝම් කිට්ටුව තියෙන Kista නගරයේ නම ශබ්ද වෙන්නේ ශිස්ත ලෙස.
Deleteඒකට හේතුව මේවා ඉංගිරිසි නම් නොවීමයි විචා.. පොඩ්ඩක් හොයලා බලන්ට Siobhan කියන ගේලික් නම කොහොමද උච්චාරනය කරන්නෙ කියලා.. ඉංගිරිසි අකුරු භාවිත කරලා ලිවුවට මේ බාසාවන්වල මූලය වෙනස්, ඒකයි හේතුව..
DeleteGeorge = Jorge ( Spanish) = Horhey (Spanish pronunciation) - to be exact "Xor xeh"
Deleteවිචා, බූරාස් සහ ප්‍රා,
Deleteස්වීඩන් භාෂාවෙ J අකුර ශබ්ද වෙන්නෙ Y අකුර වගෙ.Bjorn Borg මතකද? අර සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයා. මිනිහගෙ නම ශබ්ද කරන්නෙ බියෝන් බෝරී කියල.
විචා,
Delete/ හුටා...............ඔයා මගේ බාප්පා වගේ කියලා. නාකි වර්ගීකරණයට දැම්මද? /
හුටා ස්පැනිෂ් වලින් ලියන්නෙ Juta කියල...:)
Johann
DeleteJesus
Deleteසොෆී ගේ ලෝකය පහුගිය දවස් වල ප්‍රින්ට් එකේ නැතිව තිබිල ආයෙ ප්‍රින්ට් කරා කියල තිබ්බ හැබැයි හම්බුනේ නං නැතුවා... හෙහ්.. ඉණිමං ගොය්යගෙ මා කටිං තමා හුගක්...
ReplyDeleteසෑහෙන දවසක් බලං හිටිය දෙවනි කොටස කියවන්න... ඉතුරු කොටහ කියවන්න තව දවසක් බලං හිටින්න තමා වෙන්නෙ.. හැබැයි කොච්චර කාලෙකි්ද මංද.. හෙහ්...
අනුෂ්ක. සොරි සොරි ක්ලියෝපැට්ර එන්නෙ මොකාටද කියල මං මේ කම්පනා කොරන්නෙ... හෙහ්
මහේෂ්,
Deleteපරිවර්තනය කලේ මම හිතන්නෙ රාණී සේනාරත්න වෙන්න ඕන...
ක්ලියෝපැට් රා එන්නෙ මොකාටද නේද? හෙහ්...හෙහ්...
අළුත් මුද්‍රණය ආවා. මම ත් ගත්තා. අපරාදෙනෙ සම කුටියෙත් තිබුණා. මට මහේෂ්ට අරන් එවන්න තිබුණා...
Deleteරාණී සේනාරත්න තමයි පරිවර්තනය..
මට නං මේකේ තේරුනේ මෙච්චරයි ඕන් - මේ උන්දැ ව අනුෂ්කා ට පෙනිලා තීන්නේ තලතුනා බාප්පෙක් හැටියට!!!!
ReplyDeleteඅමා.
Deleteඔය තේරිල තියෙන්නෙ යස අගේට..මොකටද මම කියන්නෙ එහෙම…
ආන්න බලහං අයියෙ... උඹ මට විතරක් මොකෑ ගෝලු ගන්නෙ... මට විතරක් නෙවෙයි මෙච්චර මේ මහ හුඟාක් එව්වොන්ට ඇත්ත සත්තිය තේරිලා තියෙද්දි :-D
Deleteඅර පහුගිය කාලෙ කට්ටිය කලා වගේ, මෙච්චර කල් මම කියෝපු පොත් අතරින් හොඳම පොත් 10ක් තෝරන්ට කියලා තිවුවොත් ඒ අතරට අනිවාර්යයෙන්ම එකතුවෙන පොතක් තමා මේ.. හොඳම විතරක් නෙවෙයි, මගේ ප්‍රියතම, ආකර්ෂණීයම, අතට ගත්තොත් බිමින් තියන්ට හිතෙන්නැති, පොතේ කොතනින් හරි පටන් අරන් ඔහේ කියවගෙන යන්ට පුළුවන්, කියෙවුවට පස්සෙ දහ අතේ කල්පනා කරන්ට පොළඹවන ජාතියෙ පොතක්.. :-)
ReplyDeleteබූරා,
Deleteඑකඟයි මල්ලි..මුළු හදවතින්ම එකඟයි..මමත් කියවපු අපූරුම පොතක්...ඒකයි මම ඒ ගැන යමක් කියන්න ඕනය කියල හිතුවෙත්..
සොෆීගේ ලෝකය පරිවර්තනයෙන් කොටසක් මේ…
"කෙටියෙන් සාරාංශ කරනව නං: උස තොප්පියකින් සුදු හාවෙක් ඇදලා ගන්නවා. එයා ඉතාමත් විශාල හාවෙක් නිසා, ඒ මැජික් සෙල්ලම කරන්න අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යනවා. සියලුම ප්‍රාණීන් උපදින්නෙ හාවාගේ ඉතාම සියුම් ලොම් මුදුනෙ. ඒ මැජික් සෙල්ලමේ අභව්‍ය බව ගැන පුදුමයට පත් වෙන්න පුලුවන් තැනකයි එයාලා ඉන්නෙ. ඒත් වැඩෙනකොට ඔවුන් හාවාගේ ලොම් අස්සට අස්සට යන්න පටන්ගන්නවා. අස්සටම ගිහින් එතන නතර වෙනවා. එතන කොයි තරම් සැප පහසුවට ඉන්නවද කිව්වොත්, කවදාවත් එයාලා අර සියුමැලි ලොම් දිගේ උඩට ආපහු බඩගාගෙන ඒමේ අවදානම ගන්නේ නැහැ. මේ අනතුරුදායක චාරිකාවේ යෙදිලා, භාෂාව සහ පැවැත්ම යන ඒවායේ මුදුන් කෙලවරටම යන්නෙ දාර්ශනිකයො විතරයි. සමහරු ආපහු වැටෙනවා. ඒත් අනික් අය අමාරුවෙන් එල්ලීගෙන ඉඳන්, පහළ මුදු මොළොක් තැනක සුව පහසු ලෙස වැතිරගෙන රස කෑම බීම ගනිමින් ඉන්න අයට කෑ ගසා කියනවා “නෝනාවරුනි මහත්වරුනි, අපි අභ්‍යවකාශයේ පාවෙනවා.!” ඒත් පහළ ඉන්න කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැහැ.
"
“මහ වද කරච්චල් කාරයො කට්ටියක්!” එයාලා කියනවා. ඊළඟට ඔහේ කතා කර කර ඉන්නවා. කරුණාකරලා ඔය බටර් එක මෙහාට දෙනවද? අද කොටස් වෙළඳ පොලේ අපේ කොටස් කොච්චර නැගල තියෙනවද? තක්කාලිවල මිල කීයද? ඔයා දන්නවද අනේ ඩයනා කුමාරිට ආයෙ සැරයක් බබෙක් හම්බවෙන්න ඉන්නවලු.
(20, සොෆිගේ ලෝකය – යූස්ටයින් ගෝඩර්)
හොයා ගන්න ඕනේ ලිස්ට් එකට තව එකක්.. එලස්
Deleteසොපිෙග් ෙලා්කය දැං මෙගත් ෙලා්කය ෙවලා ෙමෙලා් රහක් නැතිව ෙපාත ෙහායන්න ඒපායැ.. හැක් උඹට ස්තුතියි රවිෙයා්..
ReplyDeleteදේශා,
Deleteමොනවද බං මේ හැමතැනම බෝල බෝල?.....
You are welcome Desha!
/වෘත්තීය ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී විද්‍යුත් පණිවිඩයකින් ඉටුකොටගත නොහැකි කාර්යයක් දුරකථන සංවාදයකින් ඉටුකොට ගත හැකිය. දුරකථන සංවාදයකින් පවා සාර්ථක කොටගත නොහැකි කාර්යයක් සඳහා මුහුණට මුහුණ හමුව කරන සාකච්ඡාවක් නොවරදින ප්‍රතිකර්මයකි. එලෙස ද ඉටුකොටගත නොහැකි කාර්යයක් අත්හැරදැමීම වඩා යෙහෙකි./
ReplyDeleteඅපි මහරාජ එකේ ඉන්න කාලෙ එහෙ තිබ්බෙ AS400 සිස්ටම් එකක්. ඒකෙන් යූසර්ලා අතර මැසේජ් යවන්න පුළුවං කම තිබ්බා. ඒ දවස් වල මං ප්‍රෝග්‍රැමර් කෙල්ලෙක් එක්ක ටෝක් කළා AS400 එකෙම්ම...
රවියට බාප්ප කියපු එකට නං මට මාාාර හිනා. මොකෝ රවි කෙල්ලගෙ ටිකට් චෙක් කරන්ඩ ගියාද?
ඩ්‍රැකී,
Deleteහෙහ්,හෙහ්...උඹට හිනා නේද?
ඩ්‍රැකීයෝ මමත් ඔහොම AS400 ලැබ් එකක ඒ දවස් වල මගේ හිත පොඩ්ඩක් මෙව්වා වෙලා තිබුණු ළමයෙකුට මැසේජ් යැව්වා හෙහ් හෙහ්.. ස්කයිප් වලට වඩා ආතල් නේද හෙහ් හෙහ්
Deleteසමාන්තරව කතන්දර කීපයක් ලියන්නට ඔබට ඇති හැකියාව අගයනවා...
ReplyDeleteසැබෑ අත්දැකීමක්ද එහෙම නැත්නම් මික්ස් එකක්ද...
ලොක්කා,
DeleteThank you so much…:)
මේ කතාව ඇත්තම කිව්වොත් සම්පූර්ණ ඇත්තක්මත් නෙවෙයි , සම්පූර්ණ බොරුවකුත් නෙවෙයි. " සත්‍ය සිද්ධීන් කීපයක් පාදක කොටගෙන මගේ පරිකල්පනයෙහි උපතලද වෘත්තාන්තයකි" කිව්වොත් හරියටම හරි...:)
ස්වකීය වාලධීන් මත පාතබා සිටිනා සියළුම පාඨක පාඨවිකාවන් වෙත කාරුණික දැනුම්දීමයි
ReplyDelete/ "It's really amazing how you are just like him..Once he told me exactly the same thing." /
ඇය මා ඇගේ සුළුපියානන් සිහිකරවන බව පැවසීමට පෙර සඳහන් ඉහිතින් මා උපුටා දක්වා ඇති වැකියට ඔබගේ කාරුණික අවධානය යොමු කරවමි. ඇය මා ඇගේ සුළුපියාණන් ඇයට සිහිපත්කරවන බව පැවසූයේ මගේ හැඩරුව හෝ වයස සලකා නොව හුදෙක් මවිසින් පැවසූ ඉහත අදහස කරණකොටගෙනය. එනම් ඇගේ සුළුපියාණන්ද වරක් මෙලෙසම පැවසූ බවය.
එබැවින් බාප්පෙක් පිලිබඳව කිසිසේත් අදාල නොවන අභූතරූපී අදහස් ඇතිකොටගැනීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.මෙසේ කරුණු පැහැදිකිරීමක් කළයුතුයැයි අදහස්කලේ හුදෙක් එවන් පදනම් විරහිත පූර්ව නිගමනයක් සිතෙහි තබා ගැන්ම කථාව ඉදිරියට රසවිඳීමට බාධාවක් වන බැවිනි.
*****************************
ඒ ඇති මහාප්පරාන, දැං ඉඳහල්ල සිංහලෙං කියන්ට....
අම්මපල්ල අර අම්මණ්ඩි තමයි මේ ඔක්කොම කලේ..මදෑ ඉඳල ඉඳල ඇවිල්ල කමෙන්ට් එකක් දාල කරපු හරිය? මට කිව්ව " අන්න අයියෙ මං උඹේ පෝස්ට් එකට සෝක් කමෙන්ට් එකක් දැම්මය " කියල. අනේ මමත් ඉතිං " තැන්කියු බාං " කියලත් කිව්ව නෙව. කුලල මිරිකන්ට වටින්නෙ ඕකිගෙ අම්මාපල්ල....
මේ අනික් පාටක පාටවිකාවො බුරුත්තත් ඉතිං කිසිදෙයක් හොයල බලන්ට එපල්ල අර කෙට එළදෙන පස්සෙ අනික් සත්තු ආත බූත කඩාගෙන දිව්ව වගෙ බාප්පා..බාප්පා..කිය කිය ඒ පස්සෙම දුවපල්ල. අම්මාපල්ල විචාර බුද්දිය කියන එක ගෑවිලාවත් නැති හැටියක්
යකඩෝ! මූට පුවත්පත්/ රූපවාහිණී සාකච්ඡාවක් පවත්වලා සත්‍යය වනාහි මේය, අසත්‍යය වනාහි මේය, අසත්‍යය වැපූරූයේ මෝ තොමෝය කියලා රටට දැනුම්දෙන්ට තරම් තත්‍වය නරක අතට හැරිලාය?
Deleteහැබැයි ඉතිං ඔය අම්මණ්ඩි ඉන්නවා නේද? ඔහොම්මයි ඔහොම්මයි. ආවොත් ආයෙ අමු කැලෑ ගිනි තියලා, අර හනුමා කොලා වගේ රටම ගිනිතියලා තමා පස්ස බලන්නෙ.. ;-)
මට නම් පැහැදිලියි රවි බාප්පෙ
Deleteමට දැං බිම පෙරලි පෙරලි හිනාවෙන්ඩ හිතිලා තියෙන්නේ මෙතන ඉඩක් නැතුව මිසක්. වෙල්ඩන් ජනූ අක්කා! :D :D :D
Deleteසිත්තමී,
Deleteආ..ආවද? වරෙං..වරෙං මයෙ අම්මා..උඹ විතරයි අඩුවට තිබ්බෙ..දැං සර්ව සම්පූර්ණයි..මල්දමේ විසුරුමාන තුන්කට්ටුවක්ම ඉන්නෙ ඔය...මදෑ කාලාන්තරේකට පස්සෙ මෙවුං එකතුවෙලා තියෙන්නෙ මට කෝචොක් කොරන්න...ඉඳපල්ල මම කරන්නං හොඳ වැඩක්....
බූරාස්,
Deleteඒකනෙ බං බලාපං මේ අම්මණ්ඩි කොරපු වින්නැහිය...:(
ප්‍රා,
Deleteආ....තේරුණානම් එච්චරයි මයෙ පුතේ...:)
බුදු බාප්පෙ බොන්ඩ බොන්ඩ බොන්ඩ බොන්ඩ... (ගීතය ප්‍රතිවාදනය වීමෙන් සිදුවූ ප්‍රමාද දෝෂය ගන බලවත් කුණාටුව)
Deleteසිත්තමී: දාපං නංගියෙ පහක්!! මාගේ ව්‍යායාමය සිතූ පැතූ ආකාරයටත් වඩා සඵලව ඇති හැඩයි!!! ප්‍රීතී ප්‍රීති අති මහත් ප්‍රීතී!!
Deleteබූරයියා: දැක්ක නේද? මාධ්‍ය සාකච්චාවක් තියල ගැට පද විවරණේකුත් දෙන තැනට තමයි අපි වැඩක් කළොත්! ආයෙ වැඩිය නෑ හරියට වචන දෙකයි කියන්ඩ ඕනෙ මුන්දැව අවුස්සගන්ඩ.. :-D
නරකට ලියන්න බැරිද බාප්පට? මොකද විවේචන ලියන එක ලේසියි. හොඳ දෙයක් ප්‍රසංශා කරන්න ඕන වුනාම මට ගැලපෙන වචන එන්නේ නැහැ. අනර්ඝයි, සම්භාවනීයයි, අති උත්කෘශ්ටයි, අසමසමයි. ඔච්ච්චරයි දන්න වචන. මට ඕනනම් අවුරුද්දකට එක හොඳ පෝස්ට් එකක් ලියන්න පුළුවන් වේවි. කථා කීපයක් එක පාර ලියන ගමන් ඒ හැම කථාවම එකට එකක් තරඟ කරන්න පුළුවන් මට්ටමට තියා ගන්න එක ඉතාම දුලභ හැකියාවල්. ඒවගේම මේ කථාවේ මේ පෝස්ට් එක කියවනකොට නොදැනුවත්ම මගෙ හිත රවී ගේ චරිතය වුනා. මේ පරිච්චේද දෙකතුනේ ගලා යාම එච්ච්චරම ලස්සනයි. උඹට ගෑණු වහ වැටෙන හේතුව පැහැදිලියි. උඹ කවදහරි පොතක් ලිව්වේ නැතිනම් මානව හිමිකම් කඩකිරීම පිලිබඳව නඩුවක් දානවා.
ReplyDelete//මේ 'පරිච්චේද' දෙකතුනේ ගලා යාම එච්ච්චරම ලස්සනයි//
Deleteමේ ඡේද දෙකතුනේ ගලා යාම එච්ච්චරම ලස්සනයි.
යනුවෙන් නිවැරදි වියයුතුය
Ian,
Delete/ උඹට ගෑණු වහ වැටෙන හේතුව පැහැදිලියි. /
පිස්සුද මචං?....මොන වහ වැටිල්ලක්ද? උංදැල හදන්නෙ මට වහ කවන්ට..එදා ඉඳලම එහෙමයි එදා ඉඳල එහෙමයි...හෙහ්,හෙහ්,
Thank you so much Ian, …:)
යකෝ කොල්ලෙක් හම්බවෙන්න ගෑනියෙක් බඩගින්නෙ ඉන්නවයි කියල ඇහුවමද කොහෙද.
ReplyDeleteබාප්ප උනත් මොකෝ ක්ලියෝ පැට්ටගෙනෙ.
ප්‍රසන්න,
Deleteඒකනෙ බං ක්ලියෝ කිව්වම සෙල්ලංද නැද්ද?
රවී අයියා බාප්පා වීම ගැන හෙන නොසන්ඩාල සතුටක් දැනේ.. හෙහ් හෙහ්..
ReplyDeleteපැතුම්,
Deleteඅම්මපා?..ඉඳහංකො මම....
ඔයා මගේ තාත්ත වගේ..........ඔයා මගේ අයිය වගේ......... ඔයා මගේ බාප්පා වගේ........ අන්තිමේ තමුසේ මගේ කව්ද කියලත් අහන්නේ ඔය ලිප්ස්ටික් ගාපු ලස්සන කට පොඩ්ඩෙන්ම තමයි සහෝදරවරුනි..
ReplyDeleteඅම්බලන්ගොඩ,
Deleteහෙහ්...හෙහ්..ඒකත් නම් එහෙම තමයි...
අපෙ අත්තම්ම ඉස්සර කියන කවියක අගපද දෙක විතරක් මතකයි..අම්බලංගොඩං..පොල්සම්බලං බතං……:)
දිගටම ලියන්න....................
ReplyDeleteGossip Lanka,
Deleteස්තූතියි ඔබට......:)
Mama nam walige paga gaththe ne bappe ☺
ReplyDeleteකළ්‍යාණ,
Deleteකොයිවෙලෙත් නැට්ට විකාගෙන ඉන්නකොට කොහොමත් පෑගෙන්ට විදිහක් නෑනෙ බුදු පුතේ....:)
මේ ටිකේ නම් නැට්ට විකා ගත්ත ගමන් තමයි බුදු බාප්පේ.. හැක හැක..
Deleteඅදමයි මේ පැත්තට ආවෙ..." බාප්පා " කියලා කෑ ගහනවා ඇහුණා...ටිකක් නැවතිලා බැලුවේ ඒකයි..
ReplyDeleteලස්සන කතාව.මම කලින් ඒවත් බැලුවා.ආයෙ ලියන්න බාප්පියො...
අදමයි ආවෙ කිව්වට මටනම් නිකං දැකල පුරුදුයි වගෙ...
Deleteහැබෑට ..ඔව්..කලින් ආවා.එහෙනම් අදුනන කට්ටිය වෙච්චිකොට කන්න මොනවත් දීලා තේ එකක් දෙන්නේ නැතෙයි.. ? අඩුගානේ ඈදිගන්නවත් කියන්නකෝ..
ReplyDeleteඅනුත්තරා,
Deleteහරි හරි හරි වාඩිගන්ඩකො ... වාඩිගන්ඩකො….හත් අට පලකිං...:)
මම කැමතිම ගීයක් මේ...සමන් ජයනාත් ජිනදාස කියන්නෙ…
නෙත් පියුම් මත කඳුළු දිය තවරා,
දෙතොල් ඉවුරෙන් සඳ වතුර පිසදා,
මගේ අතැඟිල්ලෙන් මිදී ගිය,
තනි තරුව ඔබ,
අනුත්තරා....
බාප්පල, මාමල වගේ පේන කාලයක්. වයසෙ වැරැද්ද්.
ReplyDeleteහෙන්රි,
Deleteඒකනෙ අබුද්දස්ස කාලෙනෙ...:)
මාධ්‍ය සාකච්චාවක් තියලා කරුණු පැහැදිලි කරපු නිසා අපි නම් නොමග ගියේ නැහැලු...:D
ReplyDeleteමනෝජ්,
Deleteහොඳ වෙලාවට.... නැද්ද බං?
රවී අයියා.. ඔබ නරුමයෙක්... අච්චර ආදරණීය විදියට පස්සෙන් එන කෙලීව ගණන් ගන්නෙ නැතුව ගණන් උස්සපු එක නිසා... අපූරුයි... දන්නවද මාත් බත් කන්න පොතක් යොදාගන්නව. රවී අයියගේ පෝස්ටුත් සමහර වෙළාවට බත් කන්න යොදාගන්නව...
ReplyDelete