Google Images |
චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය....මහණෙනි, පොදුජනයාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න. බුදුන් වහන්සේ බුදු සසුනේ ප්‍රථම රහතුන් සැට නම අමතා එසේ උපදෙස් ලබාදී ධර්මය ප්‍රචාරණය උදෙසා පිටත් කොට යැවූහ. ඒ ඉල් පුන් පෝදාකය.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ පස්වග තවුසන්ගෙන්ද යස කුලපුතු සහ ඔහුගේ මිතුරන්ගෙන්ද භද්ද වග්ගිය සහ ඔවුන්ගේ සගයින්ගෙන්ද පලමු රහතුන් සැටනම සමන්විතවිය. තුදුස්වියේදී පමණ පාසලේ සත්වන ශ්‍රේණියෙ ඉගෙනුම ලබන කල්හි වාරාවසාන පරීක්ෂණයට බුද්ධාගම විෂයයෙන් ඇසුණු ප්‍රශ්ණයක් වූයේ බුදු සසුනේ පළමු රහතන් වහන්සේලා සැටනම විස්තර කරන්න යන්නයි.එදවස අපි නිදිවර්ජිතව රහතුන් සැටනම වණපොත් කලෙමු.
බුදුන් වහන්සේගේ ඒ උපදේශය අකුරටම ඉටුකිර්‍රිමෙහිලා තම ජීවිතය කැපකල මාදුළුවාවේ සෝභිත හිමියන් ඉල් මහේදීම අභාවප්‍රාප්ත වීම සුවිශේෂී සිද්ධියකි.
මහානායකවරුන් ඇතුළු බහුතරයක් සංඝ සමාජයෙහි ප්‍රභූන් සුඛෝපභෝගී රථයකට නොඑසේනම් විදේශ සංචාරයකට එසේත් නොමැතිනම් සුවපහසු අසපුවකට ලොබ බැඳ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙනා මෙවන් වරදානයන්ගෙන් නිවී සැනසී තුන්තිස් පැයෙහි කළුවර කවිච්චි මත වැඩහිඳ දේශපාලුවන්ගේ සුරත පිරිත් හුය බැඳීමෙන් හා ඉනික්බිති ඔවුන් ලියා දෙන කුමන හෝ එළොවටද මෙලොවටද අර්ථයක් නොමැති සම්ප්‍රප්ප්‍රලාපයක් නිවේදනයක් ලෙස නිකුත් කර රට දැය සමය උදෙසා මගේ කාර්ය භාරය කලෙමියි සෑහීමට පත්වන අවිචාර සමයෙක උන්වහන්සේ අසාධාරණය සහ අයුක්තියට විරුද්ධව සටන් කිරීමට නොබියව ඉදිරිපත් වූහ.
උපතින් බෞද්ධාගමිකයකු වුවද අද පොදුවෙ පිළිගත් නිර්ණායක අනුව මම කිසි ලෙසකින් සැදැහැවත් බෞද්ධයකු නොවෙමි. පුන් පොහෝදිනයක රුවන්වැලිසෑ මළුවෙහි එළිවෙනතුරු කල්ගෙවීමෙහි ලා මම කිසිවිටෙක නොපැකිලෙමි. (වර්තමානයෙහි වියපත් වූ සඳ සවිබල සපිරි යොවුන් වියෙහි පෑ එවන් සමත්කම් උගහට වීම පිළිබඳව සාකච්ඡා නොකරමු) එහෙත් නිවසෙහි විවේකීව සිටිනා පොහොය දිනයක පවා අප නිවස ආසන්නයේම පිහිටි ගැටඹේ විහාරස්ථානයට පවා මා යන්නේ ස්නානය පිණිස ගෙනයන සුනඛයෙකු මෙනි. (විහාරස්ථානයට යාමට යෝජනාකල කල්හි මගේ හැසිරීම මෙවන් උපමාවකින් හඳුන්වනුයේ මා දයාබර බිරින්දෑය) එතැන වන්දනාමාන කිරීමට පොදිකන සහසක් ජනයා අතර තෙරපී බුදුන් වැඳීමට මගේ කිසිම රුචියක් නැත. ඊටද වඩා අපුල දනවන්නේ කිසිදු විරාමයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් නික්මෙන කර්ණ කඨෝර හඬයි.
***********************************
ගැටඹේ විහාරස්ථානය පිලිබඳව අමතර කථාවක්ද මට කියන්නට ඇත. එයද අද මා ලියන්නට අපේක්ෂිත මාතෘකාවට ඉතාම අදාළය. උපතින් බෞද්ධ වුවද පිළිගත් නිර්ණායකයන් අනුව මම බෞද්ධයෙකු නොවන බව මම පෙර පැවසූයෙමි. එසේ වීමට ප්‍රධාන වශයෙන් තුඩුදුන් කාරණයක් වනුයේ අපගේ නායක භික්ෂූන්ගේ නොමනා ක්‍රියාකලාපයයි. නොමනා යනුවෙන් මම අදහස් කරනුයේ ඔවුන්ගේ චරිතය පිළිබඳව නොව රට කරවන පාලක පංතියේ දාසයින් තත්වයට පත්ව ඔවුන්ගේ අවශ්‍යතාවයක් උදෙසා ආගමික නායකයින් ලෙස තමන්ට නිරායාසයෙන් ලැබුණු සිවිල් බලය නිර්ලජ්ජිත ලෙස යෙදවීමයි.
එවන් නිර්ලජ්ජී භික්ෂූන් අතර රට කරවන සර්ව බලධාරී නායකයාණන්ට පවා එරෙහිව තම අදහස් නිර්භයව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල භික්ෂුවකි ගැටඹේ විහාරස්ථානයෙහි එකල අධිපතිව වැඩ විසූ ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ. ඒ 1982 වර්ෂයේදී පැවැත්වූ ප්‍රසිද්ධ කථාවකදී ජේ. ආර්. ජයවර්ධන යනු ජාති ද්‍රෝහියකුයයි පැවසීමෙනි. ශ්‍රී ලාංකික දේශපාලනය තුල ජේ.අර්. ගේ භූමිකාව පිළිබඳව කොතෙකුත් පරස්පර විරෝධී මත තිබිය හැක.තම දේශපාලන මතිමතාන්තර අනුව ඔහු ජාතික වීරයකු හෝ ද්‍රෝහියකු විය හැක. එහෙත් ඔහු නිර්දය ලෙස විවේචනය කිරීමට රටේ ඕනෑම පුරවැසියෙකුට පරම අයිතියක් තිබිය යුතුය.තම ඒකාධිකාරි ආඥාදායක බලයට කිසිවකු හෝ අභියෝග කරනු නොරිසි ජේ.ආර්. සිරිධම්ම හිමියන්ට පිළිතුරු දුන්නේ ගැටඹේ විහාරස්ථානය මැදින් කටු කම්බි වැටක් ගසා අවහිර කිරීමෙනි.
ජේ.ආර්. වෙනුවෙන් සට්ටඹිකම් කිරීමට එකහෙලා ඉදිරිපත්වූ එදවස එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජික පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෝ රැසක් සිරිධම්ම හිමියන්ගේ ප්‍රකශයට විරෝධය පාමින් ගැටඹේ විහාරස්ථානය ඉදිරිපිට තැනූ වේදිකාවක හිඳ උපවාස කළහ.වසර කිහිපයක ඇවෑමෙන් අර්ධ රාජ්‍ය වාරිමාර්ග ආයතනයක මම සේවය කරද්දී එදා ඒ කල උපවාසයෙහි බල මහිමයෙන් එම ආයතනයෙහි කළමණාකාර තනතුරු ලබාගත් විශව විද්‍යාල ශිෂ්‍යයින් කිහිප දෙනෙක්ම මගේ ළබැඳි මිතුරෝ වූහ.
***********************************
පැහැදිලිව මතකයට නඟාගැන්මට අපහසු වුවද බොහෝවිට ඒ 2006 වසර විය යුතුය. නුගේගොඩ -නාවල මාර්ගය අසල තම ප්‍රධාන කාර්යාලය පිහිටි ඉදිකිරීම සමාගමක මම එකල සේවය කලෙමි.එක් සති මැද දිනක පුර පොහොයක් යෙදී තිබියද මම නිවෙස බලා නොගියෙමි. ඊට දින කිහිපයකට පසු භාරදිය යුතු ගොඩනැඟිලි ව්‍යාපෘතියක් පිළිබඳ ප්‍රසම්පාදන පතක් (ටෙන්ඩරයක්) සම්පූර්ණ කලයුතු හෙයින් පොදු නිවාඩු දිනයක් වූ එදිනද මම කාර්යාලයෙහි රැඳී එම කටයුත්තෙහි යෙදුනෙමි.
කාර්යය බොහෝදුරට අවසන්කොට සවස හතරට පමණ එකල අප නවාතැන් ගෙන හුන් පිටකෝට්ටේ රජ මාවතේ නවාතැන්පොළට පැමිණියෙමි. මා සේවය කල සමාගමෙහි හිමිකරුවකුගේ නිවෙස පසුපස ඉදිකරතිබූ අපගේ නිවහනෙහි නිදන කාමර තුනක් සාලයක් සහ මුළුතැන්ගෙයක් විය. එදවස එහි මා ද ඇතුළුව මගේ සහෝදර නිලධාරීහු තිදෙනෙක් නැවතී උන්නෝය. ඔවුන් පිළිබඳව වෙනත් දිනයක සවිස්තරව ලියන්නෙමි. ඉන් එකෙක් ජංගම දුරකථනය භාවිතා කොට වල් අලි පන්නා දැමීමෙහි පවා සමතෙකි. එපමණක් දැනට පවසමි.
චමරිය යනුවෙන් පොදුවේ හැඳින්වුනු අප නවාතැනෙහි සිට මීටර හාරසියයක පමණ මානයේ සුප්‍රසිද්ධ විහාරස්ථාන දෙකක්ම පිහිටා තිබිණි. එනම් කෝට්ටෙ ශ්‍රී නාග විහාරය සහ කෝට්ටේ රජමහා විහාරයයි. උක්ත චමරියෙහි දිවිගෙවූ පුරා වසර තුනකට ආසන්න කාලය තුල ඉහත කී සුප්‍රසිද්ධ විහාරස්ථාන දෙකෙහිම දොරටුවෙන් මම ඇතුලුවූයේ හරියටම දෙවරකි. ඉනුදු කෝට්ටේ රජමහා විහාරයට ගියේ අතුරුදන් වූ බල්ලෙකු සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියදීය. එහෙත් නාග විහාරයට ඒ එකම වර ඇතුළුවූයේ වන්දනාමාන කිරීමේ චේතනාවෙන් බව බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුනු සිතැතිව මෙහිලා සටහන් කර තබමි. ඒ වන්දනාව මවිසින් ඉහත පවසන්නට යෙදුනු පුන් පොහෝ දින හදිසි රාජකාරියක යෙදෙන්නට සිදුවීම හා අත්‍යන්තයෙන්ම සම්බන්ධය. ඒ මෙසේය පොහෝදින රාජකාරි කටයුතු වලින් ඉක්බිති චමරියට පැමිණි මම සාලයේ වූ වේවැල් පුටුවක දිග ඇදී දෑස ද පියාගත්වනම කිසිදු ස්ථිර අරමුණකින් තොරව කල්පනාවේ යෙදී සිටියෙමි.
"මොකෝ රවී අද මොකවත් පාවිච්චියක් නැද්ද රෑට? ආ..මට අමතක වුනා...පෝය හින්ද බාර් වහලනෙ නේද?"
එසේ විමසමින් මා අසළවූ අනෙක් පුටුවෙහි අසුන් ගත්තේ දිසාය. එදින මා හැරුනුවිට චමරියෙහි වූයේ මට වසර කිහිපයක් වැඩිමහළුවූ දිසා පමණකි.
"නෑ බං නුගේගොඩ වලේ බාර් එකේ එහා පැත්තෙං ගන්න නම් තිබ්බ. ඒත් මොකටද අදවත් මතින් තොරව ඉන්න කියල හිතල මම නිකම්ම ආව."
නුගේගොඩ මංසන්ධියේ සිට කෝට්ටේ පාරේ මීටර් හාරසියයක් පමණ ගෙවුණු පසු වම් පස පාරෙන් පහළට විහිදුනු පඩි පෙලක් බැසීමෙන් පසු පිවිසිය යුතුවූ මත්පැන්හල අප එදවස හැඳින්වූයේ වලේ බාර් එක නමිනි.පෝය දිනයන්හි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතුවූ නමුදු කොතැනත් සිදුවන්නාසේ වලේ බාර් එකෙහිද පසුපස හොර පාරෙන් මත්පැන් වෙළඳාම ජයටම සිදුවිනි.
"මේ මම කියන්නද? අපි දෙන්න එහෙනං යමු නාගවිහාරෙ පැත්තෙ ගිහිල්ල මලක් දෙකක් පූජා කරල එන්ට."
"ම්ම්ම්ම්...යමුකො එහෙනං…" මම එකඟත්වය පළකලෙමි.
නාග විහාරයෙහි දොරටුව අසලින් කුඩා අරලිය මල් වට්ටි දෙකක් මිලදී ගත් අප වන්දනාමාන කීරිමෙන් අනතුරුව විහාර භූමියෙහි එහා මෙහා ඇවිද්දේ සඳ කිරණින් නැහැවෙනා විහාර භූමියෙහි චමත්කාරය විඳිමිනි.
"ඒයි අන්න අතන සෝභිත හාමුදුරුවො ඉන්නව.යමුද ගිහිල්ල වැඳල එන්ට?" දිසා එක්වරම මදෙස බලා විමසීය.
ඒ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ අභාවයෙන් වසර තුනක් හෝ හතරක් පමණ ගතවී තිබුණු සමයක් විය. බෞද්ධ ආවේගශීලිත්වය අවුළුවමින් සෝම හිමියන් රටපුරා සංචාරය කරමින් කල දේශනයන්ගේ ආකර්ශණය හමුවේ බොහෝ විචාර බුද්ධියෙන් යුතු භික්ෂූන් වහන්සේලා පවා නැඟ එන රැල්ල හා එකතුවුනු සමයෙක සෝභිත හාමුදුරුවන් ඒ හා එක් නොවූවා පමණක් නොව ආගමික ආවේගශීලිත්වයෙහි එක්වනම නොපෙනෙන අනතුර පිලිබඳව මිනිසුන් දැනුවත් කිරීමෙහිද යෙදුණෝය. එසේ හෙයින් කලකට පෙර ජාතිවාදයට යම් පක්ෂග්‍රාහිත්වයක් ප්‍රදර්ශණය කල නමුදු ඒ වනවිට උන්වහන්සේ කෙරේ මසිත පැවතියේ යම් ගෞරවයකි.
"යමු…………." මම එසේ පවසමින් එදෙසට හැරුනෙමි.
උවසුන් උවැසියන් කිහිප දෙනෙක් හා සමඟ යම් කතාබහක නිරතවෙමින් පසුවූ උන්වහන්සේ වෙත ලඟාවූ අප දණ ගසා වැන්දෙමු.
"සුවපත් වේවා!!! මේ මහත්වරු කොයි පලාතෙද?"
"අපි නැවතිලා ඉන්නෙ හාමුදුරුවනේ මේ කිට්ටුවමයි, රජ මාවතේ…"
එසේ පවසමින් තවත් ස්වල්ප වේලාවක් එතුමා හා සමඟ කතාබහ කීරිමෙන් අනතුරුව අපි පිටත්ව ආයෙමු.සෝභිත හිමියන් සජීවීව මට දක්නට ලැබුණු එකම අවස්ථාව එපමණකි.
***********************************
ඒ පසුගිය වසරේ ජූලි හෝ අගෝස්තු කාලසීමාව විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තවත් වසර දෙකකට අධික කාලයක් ඉතිරිව තිබියද දීනෙන් දින පිරිහීයන තම ජනප්‍රියත්වය යම් පමණක් හෝ ඉතිරිව තිබියදී වසර හයක් සඳහා යලි බලය ලබාගැනීමේ අටියෙන් මහින්ද රාජපක්ෂ මහතා වසර අවසන්වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවන බවට නොයෙක් දූෂමාන ආරංචි දේශපාලන ලොව කළඹමින් පැතිර යමින් තිබිණි.
ඒ බොහෝ දෙනෙකුට ගැටළුවක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ තරඟයට ඉදිරිපත්වන්නේ කවුරුන්ද යන්නයි. බෘහස්පතින්දා රාත්‍රියෙහි සහ සිකුරාදා දවසෙහි අප එකතුවී පැවැත්වූ මිතුරු හමුවන්හිදී බොහෝවිට සාකච්ඡාවට බඳුන් වූයේ මේ පිළිබඳවය.
"රනිල් ආවොත් නම් හරියන්නෙ නෑ" බහුතරයකගේ මතය එය විය. මම ද ඊට එකඟ වීමි.
"එකඟයි.. රනිල් දෙපාරක්ම පැරදුනා. අනික කොහොම උනත් රනිල් ලංකාවෙ සාමාන්‍ය මනුස්සයාට අල්ලල යන චරිතයක් නෙවෙයි. පහුගිය ඡන්ද වලදි රනිල්ට ගහපු හැටියට රනිල්ගෙ ප්‍රතිරූපය ආයෙ හදන්න බෑ." මම පැවසුවෙමි.
පොදු අපේක්ෂකයා ලෙස වරෙක චන්ද්‍රිකාගේ නම යෝජනා විය."ඒක හරියන්නෙ නෑ.චන්ද්‍රිකාට ශ්‍රී ලංකා ඡන්ද ටිකක් නම් එයි. ඒත් යූ.එන්.පී ඡන්ද නම් එන එකක් නෑ"
ඒ සෑම සාකච්ඡාවකම අවසාන තීරණය වූයේ මහින්ද යලිත් වරක් කෙසේ හෝ ජයගන්නා බවයි. "මේ මනුස්සයව එළවන්න වෙන එකක් නෑ බං...මිනිහට පස්සෙ නාමල්…. නාමල්ට පස්සෙ නාමල්ගෙ පුතා..ඔය විදිහට ඒ පරම්පරාවටම ලංකාවෙ රජකම යනව" දැඩි කලකිරීමකින් එසේ පැවසූයේ මගේ කිට්ටු හිතවතෙකි. අප බහුතරයකගේ මතය වූයේද මහින්ද පරාජය කිරීම සිහිනයක් වන බවය.
"මේ සෝභිත හාමුදුරුවො එනවයි කියන්නෙ පොදු අපේක්ෂකයා හැටියට" එක් සවසක එවන් ආරංචියක් අප අතර පැතිර ගියේය.
"නෑහ්? ඇත්තටම? ..." සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හා සමඟ තරඟයට ඉදිරිපත්වීමට සූදානම් යන ප්‍රවෘත්තිය පවා මහින්ද විරෝධී අප අතර දැඩි ප්‍රබෝධයක් ඇති කලේය. මහින්දගේ අගතිගාමී පවුල් පාලනය කෙරෙහි දැඩි කළකිරීමෙන් පසුවූ විවිධ දේශපාලන අදහස් උදහස් දරන්නන්ට එකට එක්වී පොදු සතුරාට විරුද්ධව සටන් කල හැකි වේදිකාවක් සෝභිත හිමියන්ගේ ඒ නිර්භය ඉදිරිපත්වීමෙන් නිර්මාණයවිනි.
සෝභිත හිමියන් ඉදිරිපත්ව තරඟ කලහොත් ජයග්‍රහණය කීරිම කිසිසේත්ම ස්ථිර නොවන මුත් මහින්ද පැරදවිය හැකියයි මුල්වරට අප අතර යම් විශ්වාසයක් ගොඩ නැඟීමට එහිමියෝ සමත්වූහ.රසායන ප්‍රතික්‍රියාවක සක්‍රීයතාවය වැඩිකිරීමට යොදාගන්නා උත්ප්‍රේරකයක් (Catalyst) ලෙස සෝභිත හිමියෝ ක්‍රියා කලෝය. The definition of a catalyst is someone or something that speeds up or brings about an event.
සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම මහින්ද කඳවුරේද යම් සෙළවීමක් ඇතිකීරිමට සමත් විය. මේ එක් සිකුරාදාවක අපේ සුහද හමුවකදී අප හැම දෙන බොහෝ ගෞරවයෙන් සළකන අපගේ වෘත්තීය ක්ෂේත්‍රයෙහි විද්වතෙකු ලෙස සැලකෙන්නෙකු කල ප්‍රකාශයකි. ඔහු දැඩි මහින්දවාදියකු බව අප පැහැදිලිව දැනසිටි නමුදු කොපමණ බුද්ධිමතෙකු වුවද ආවේග ශීලී වූ විට පත්වන ඛේදජනක තත්වය ඔහු අප ඉදිරියේ ප්‍රදර්ශනය කලේ මෙසේය.
"හුහ්...සෝබිත සාදු...ඒ ගණයට මොකක්ද තියන සුදුසු කම ජනාදිපති කමට ඉල්ලන්ට?...කෙළෙහි ගුණ නොදන්න එවුං ,හරි ඉල්ලල බලන්ට කියමුකො…"
තම විෂයෙහි විද්‍යාපති උපාධිය ලබා සිටි ඔහු ඒ දිනවල ආචාර්ය උපාධියක් උදෙසා අධ්‍යයනය කිරීමට ලියාපදිංචිව සිටියේය. ඔහු හා සමඟ විවාදයකට එළඹීමෙහි කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව අත්දැකීමෙන් දැනසිටි අපි සිනාසී ඉවත බලා ගතිමු.
ඉන් අනතුරුව කටයුතු සිදුවූ ආකාරය ඔබ හොඳින් දන්නෙහිය. සෝභිත හිමියෝ ජනාදිපතිවරණයට ඉදිරිපත් නොවූහ. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා පරදවා ජයග්‍රහණය කළේය. රසායන ප්‍රතික්‍රියාවකට සක්‍රීයව සහභාගී නොවූවද එහි වේගය සහ සාඵලත්වය වැඩි කරනා උත්ප්‍රේරකයක් මෙන් සෝභිත හිමියෝද තමන් මූලිකව ඇතිකල වෙනස පිළිබඳව තෘප්තිමත්වූවා මිස ඉන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැන්මට උත්සාහ නොකලෝය. තම ජීවිතයේ අවසාන කාලයෙහිදී එහිමියෝ යම් කලකිරීමකින් පසුවූවාය යන්න සත්‍යයකි.ඒ කළකිරීම කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකොට මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පැරදවීමට අපගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කල අප සැමගේ සිත්තුල පවතින්නකි.
Defining Moment යනුවෙන් ඉංගිරිසියෙහි යෙදුමක් ඇත්තේය. එහි අර්ථය යම් සිද්ධියක් හෝ ඉන් අනතුරුව සිදුවන සිද්ධි දාමයක් සනිටුහන් කරන, තීරණය කරන හෝ සංකේතවත් කරන එක් කේවල සංසිද්ධියක් යන්නයි. (Defining Moment = an event that typifies or determines all subsequent related occurrences.)
මේ සම්බන්ධ එක් රසවත් අතුරු කථාවක් (An anecdote) මගේ මතකයට නැඟේ. 1999 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කලේ ඕස්ට්‍රේලියානුන්ය. ඔවුන්ට නායකත්වය දුන්නේ ස්ටීව් වෝ විසිනි. දකුණු අප්‍රිකාව හා සමඟ පැවති අවසන් පූර්ව තරඟයේදී ස්ටීව් වෝ ලබාදුන් පහසු උඩ පන්දුවක් දකුණු අප්‍රිකානු පිලේ දක්ෂම පන්දු රකින්නෙකු වූ හර්ෂල් ගිබ්ස් අතින් ගිලිහී ගියේය.ඉක්බිති අර්ධ ශතකයක් ලබා ගත් ස්ටීව් වෝ ලෝක ශූරතාවය දක්වා ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීය.
පසු කලෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අනතුරුව පැවති සම්මුඛ සාකච්ඡාවකදී ස්ටීව් ගෙන් මෙසේ අසනු ලැබීය.
"Steve..let's talk about 1999 world cup. When did you positivey thought you could win the world cup?"
"Well to speak frankly, the defining moment was when Gibbs dropped that catch off me. Until then I was in two minds. But not after that. At that very momnet I knew we are going to be the champions,"
අති ගරු මාදුළුවාවේ සෝභිත හිමියනි , පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාධිපති, අධිකාරිවාදී පාලන තන්ත්‍රය පරදවා අපට ජයග්‍රහණය කල හැකිබවට පොදු මහජනයා තුල විශ්වාසයක් ගොඩ නැඟුනේ ඔබ නිර්භයව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව පැවසීමත් සමඟය. එදින ඔබ බල ගැන්වූ පොදුජන බල වේගය 2015 ජනවාරි 8 වන දින ඒකාධිපතිවාදය පරදවා ජයග්‍රහණය කලේය. ඒ වෙනුවෙන් මෙරට නිදහස, සමානාත්මතාවය අගයන් සියල්ලෝ ඔබට සදා ණයගැති වම්හ.
ඔබතුමන්ට නිවන්සුව!!!
100% මගේ සිතිවිලි හා සමානයි. ගැටඹේ සිද්ධිය ගැන මතකයක්. ගැටඹේ පන්සල අයිති ඉඩම රජයට යම්කිසි අයිතියක් තිබීම නිසා ජේ ආර් කලේ එම ඉඩම රජයට පවරා ගැනීමයි කටු කම්බි ගැසීම එම පවරා ගැනීමට සම්බන්ධයි. එම පවරාගැනීමෙන් සිදුවූ මහජන අප්‍රසාදයට පිලිතුරු වශයෙන් ඔහු කලේ එම ඉඩමම් මල්වතු හෝ අස්ගිරි යන පාර්ශව දෙකෙන් එකකට පවරාදීමයි. එසේ පවරාදුන් පාර්ශවය ආපිට එය අදාල ස්වාමීන්වහන්සේට පවරාදුන්නේ ජේ ආර් ගේ උද්දච්ච කමට කම්මුල් ලෙසයි. මෙවන් උද්ද්ච්ච කෙනෙකු වූවත් රට පිලිබඳව ගැඹුරු දර්ශනයක් තිබූ එතුමා රටෙන් වස්තුව හොරකම් නොකර, මිය ගියේ තමන්ගේ වස්තුව රටට පරිත්‍යාග කරමිනුයි.
ReplyDeleteසෝභිත හිමියන් හැමදාම නියෝජනය කලේ බලය නැති වුන්ගේ පැත්ත. බලය ඇති වුන්ගේ පැත්ත ගත්තනම් මොන සැපද. කාර් පර්මිට්ම කීයක්ද? මිනිස්සුත් හරි වැරදි කියල පැති ගන්නවා. උදාහරණයකට යුධ ජයග්‍රහනය හොඳයි, රටේ බෙල්ල හිරකර හොරකම නරකයි. හොඳ නරක පැති ගත්ත අය විරුද්ධ පාක්ශිකයෙකුගේ කරදරේකදී සතුටු වෙන්නේ නැහැ, සමහර විට දුක් වන එකකුත් නැහැ.
Deleteහරි වැරදි පැති දෙකට අමතර අළුත් පැත්තක් පසුගිය කාලයේදී නිර්මාණය වුනා. ඒ තමයි මහජන මුදල් වලින් යැපෙන පැත්ත. අසීමිත මුදල් ප්‍රමාණයක් තෝරාගත් පිරිසක් අතර බෙදා හැරීම. ආවඩන්නන්ට රජයේ තනතුරු දීම් හැමදාම තිබුණත්,
ආපු අලුත්ම ක්‍රමය නම් රජයේ ආයතන වලින් විශාල ලෙස වංචා සහගතව මුදල් එලියට ගෙන ආවඩන්නන් අතර බෙදා දීම. තමන්ගේ මුදල් ගසා කෑම් මධ්‍යයයේ තමන්ට ආවඩන පිරිස් හැර යාම වැලක් වීමට උපයෝගී කරගත් ක්‍රමයක්. කිසිම පාලනයකට යටත් නොවන සේ මහජන මුදල් ආවඩන්නන් අතර බෙදා දීම රටට අළුත්ම දෙයක් වුනා. මෙවන් ක්‍රමයක් වෙනස් කිරීමට යමෙක් දායක වුනානම් එසේ මුදල් හෝ වාසි වලට පුරුදු පුද්ගලයන් එසේ තම අදායම් මාර්ග නැතුවුන වෙනසට දායක වූවන් පෞද්ගලික හතුරන් ලෙස සැලකීම බලාපොරොත්තුවිය යුතුයි.
තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය නිසා පැත්තක් ගන්නා බව කිසිදිනෙක මොවුන් පිලිගන්නේ නැහැ. දේශප්‍රේමය, රට දෙකඩ වීම ආදී විවිධ සළු පොරවගෙන ඉන්නා ඔවුන්ට තම ගෝස්තරය සපයන්නා අයින් කිරීමට හේතුවන හෝ හේතුවූ ඕනෑම අයකු පෞද්ගලික හතුරෙක්. හොඳම උදාහරණය යුධ හමුදාපති ලෙස සිටි ෆොන්සේකා මහින්දට විරුද්ධ වූ පසු ඔහු පෞද්ගලික හතුරකු ලෙස සැලකීම සහ ඔහු රටේ සතුරෙක් ලෙස තර්ක කිරීම.
එම නිසා තමන්ගේ නීති විරෝධී එහෙත් ඉතා වාසි සහගත ආදායම් මාර්ගයක් සාටක මාරයාගේ කාලයෙන් පසු නැතිවී ගිය අය, එම වෙනසට නායකත්වය දුන් අය, මඟ පෙන්වූ අය, සහයෝගය දුන් අය පෞද්ගලික සතුරන් ලෙස සැලකීම සාමාන්‍ය මනුශ්‍ය ගතියක්.
මුදල් වාසි වලට අමතරව රජයේ රැකියා ලබාදුන් හිල් බලකායේ අයත් පත්වී ඇත්තේ මෙම තත්වයටමයි . 2005 දී 700,000 ව තිබුණු රජයේ සේවක සංඛයාව සන්නිවේදන තාක්ශණය අතිශයින් දියුණුවූ දශකයක එයින් භාගයක් විය යුතුව තිබුණි. කිසිම රැකියා උත්පාදන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක නොවුනු සාටක දශකයේ මහජන මුදල් වලින් පඩි ගෙවීමට වැඩිපුර 700,000 ක් රජයේ සේවය බඳවා ගත්තා. බොහෝ බඳවා ගැනීම් සිදු වුනේ හොර උපාධි මොන්ගල් ගේ හිල් බලකාය හරහා. ඒ සඳහා ගැහැණු අය සඳහා තානායම් වල සම මුඛ පරීක්ශණ තිබුණු බව රහසක් නොවේ. එවන් සැප නැතිවීමට හේතු සගහත වූ ජනවාරි 8 වෙනසේදී ඊට නායකත්වයක් සැපයූ අය පෞද්ගලික හතුරන් වීම අරුමයක් නොවේ.
Deleteඉයන්,
Deleteබොහොම ස්තූතියි දීර්ඝ අදහස් දැක්වීමට...ගැටඹේ කටු කම්බි සිද්ධිය පිළිබඳව මගේ මතකය යලි අලුත්වුනා ඔබගේ ප්‍රතිචාරය කියවූ පසු....:)
/ මෙවන් උද්ද්ච්ච කෙනෙකු වූවත් " රට පිලිබඳව ගැඹුරු දර්ශනයක් " තිබූ එතුමා රටෙන් වස්තුව හොරකම් නොකර, මිය ගියේ තමන්ගේ වස්තුව රටට පරිත්‍යාග කරමිනුයි. /
රට පිලිබඳ ගැඹුරු දර්ශනයක් යන වදන් හතරට හැර සෙස්ස හා එකහෙලාම එකඟවෙමි...:)
Anyway no problem at all. I know you are a great fan of JRJ….:)
මම ජේ ආර් රට ගැන දර්ශණයක් තිබුණු අයෙක් කියන්නේ මේ නිසයි. 1960 දශකයේදී ඊට පෙර බටහිර රටවල තිබූ කර්මාන්ත පේටන්ට් කාලයන් අවසන් වූ විට අඩු වියදම් නිශ්පාදන ප්‍රදේශ සඳහා පෙරදිග පැත්තට එන බව දුටු දෙදෙනා ලී ක්වාන් යූ සහ ජේ. ආර් ජයවර්ධන යන දෙදෙනායි.
Delete1965 දී සිංගප්පූරුව විවෘත ආර්ථිකය වැලඳ ගත් පසුව ලංකාවේ මුදල් ඇමතිව සිටි ජේ ආර් ලංකාව විදේශීය අයෝජන සඳහා විවෘත කිරීමට උත්සාහ කලා. එවකට එක්සත් ජාතික පක්ශයේ ඩඩ්ලි කල්ලිය සහ ජේ ආර් කල්ලිය ලෙස බෙදීමක් තිබුනා. ජේ ආර්ගේ යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණඩලය අනුමත කරන්නේ නම් පමණක් ක්‍රියා කල හැකි බව ඩඩ්ලි තීරණය කලා. එහිදී එම යෝජනාව පරාජය වුනා. 1970 දී බලයට පත් සමගි පෙරමුණ ජනසතු ව්‍යාපාරය, ඉඩම් අයිතිය සීමා කිරීම, සහ 1971 Termination of Employment පණත යටතේ ව්‍යවසායකයින්ට එරෙහිව සේවකයන්ට බලය පැවරීම ආදී එන්.එම් ගේ සමාජවාදී ප්‍රතිපත්ති වලින් රට ආපස්සට ගෙනගියා. ඊට අමතර 1975 පැවැත්වීමට තිබූ මැතිවරණය 1977 දක්වා කල්දැම්මා.
1966 දී දෙවන් විවෘත ආර්ථික රට ලෙස වීමට තිබුණ අවස්ථාව ලැබුණේ 1977 දී හත් වන විවෘත ආර්ථික රට වශයෙන් පමණයි. 1977 දී තිබූ ලෝක geopolitical තත්ත්වය 1977 වන විට බොහෝ වෙනස් වී තිබුණා. 1965 එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව මෙන් නොව 1977 ජේ ආර් ගේ ආණ්ඩුවට හතුරු ආකාරයකින් ක්‍රියා කිරීමට ඉන්දියාව පෙලඹුනා. එක හේතුවක් වූවේ ඉන්දිරා ගාන්දි සමඟ සිරිමා බන්ඩාරණායක තිබූ පෞද්ගලික සම්බන්ධය සහ සිරිමාට විරුද්ධව ජේ ආර් ක්‍රියා කල අකාරය. චීනය අභියස තිබූ හොං කොං ප්‍රදේශය විවෘත ආර්ථිකය මඟින් බොහෝ දියුණු වී තිබුණා. 1991 තෙක් සවෘත ආර්ථිකයක් තිබූ ඉන්දියාව ඔවුන්ගේ රට අද්දර තිබූ ලංකාව සිංගපූරුව මෙන් දියුණු වනවාට කැමති වුනේ නැත්තේ එවිට ඔවුන් අනුගමනය කරමින් සිටි සමාජවාදී ආර්ථික ක්‍රමයේ වැරදි එයින් පෙනී යන නිසා. මෙම ආර්ථික ක්‍රම විරසකය බෙදුම්වාදීන්ට අවි සහ පුහුණුව සපයන තත්ත්වයට ගොස් ලංකාව විනාශ වී ගියා.
ජේ ආර් දුටු ඒ හැරවුම් ලක්ෂය වන 1966 දී උත්සාහ කළ විවෘත ආර්ථිකය සිදුවන්නට සමහරවිට 1971 ජේ වී පී කුමන්ත්‍රණය, 1988 තත්වය, සහ බෙදුම්වාදී ප්‍රශ්ණය නො එන්න තිබුණා. රටක් පාලනයේදී එය ලෝකයේ කොටසක් ලෙස සලකා ලෝකය සමඟ දියුණුව කරා ගෙනයාමේ දර්ශණය එම කාලයේදී තිබූ ජන නායකයෙක් ජේ ආර්. එමෙන්ම ඩී එස්, බණ්ඩාරණායක සහ සිරිමා වැරදි ආදර්ශ දී තිබ්බත් උගතුන් වූ ඔහුගේ සහෝදරයන් හෝ ඔහුගේ එක පුතා රවී ජයවර්ධන හෝ ඔහුගේ බිරිඳ එලීනා දේශපලනය ඈඳා ගත්තේ නැහැ. ඔටුනු පලඳවන්න කුමාරයෙක් සහ රකින්න පරපුරක් නැහැ යැයි ඔහු කීවේ ඒ නිසා.
ඉයන්,
Deleteජේ.ආර්. විවෘත ආර්ථිකය ගෙනාපු එක ඇත්ත. ඒත් ඉයන් රටක නායකයෙක් කියන්නෙ දුරදර්ශී වෙන්න ඕන, තව අවුරුදු දහයක් විස්සක් ඉස්සරහ පෙනෙන්න ඕන. එහෙම දැකල රටේ ප්‍රශ්ණ ප්‍රමුඛතාවය අනුව විසඳන්නට සුදුසු පියවර ගන්න ඕන.
පාර්ලිමේන්තුවෙ 5/ 6 බලය තියනවයි කියන්නෙ විධායක ජනාධිපති ධුරය අතේ තියනව කියන්නෙ රටේ ආර්ථික ක්‍රමය වෙනස් කරන එක බොහොම සුළු දෙයක්. එහෙම කලාය කියල මම හිතන්නෙ නෑ ජේ.ආර්.ගෙ පරිනත නායකත්වයක් ඒකෙන් ඉස්මතු වෙනවයි කියල.හරි අපි මෙහෙම බලමු. 1977 ජේ.ආර්. බලයට එනකොට මොකක්ද තිබ්බ ප්‍රධානම ප්‍රශ්ණෙ? හරි අපි හිතමු මිනිස්සුන්ට කන්න නැති එකය කියල. විවෘත ආර්ථිකය ගෙනල්ල ඒක විසඳුවනෙ.
මොකක්ද ඊළඟට තිබ්බ ප්‍රශ්නෙ? ජන වාර්ගික අර්බුදය. විධායක ජනාධිපති ධුරය අතේ තියාගෙන ( මේකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එක විතරයි කියල ගොන් පාට් දාන ගමං ) පාර්ලිමේන්තුවෙ 5 / 6 බලයක් තියාගෙන මුලු රටේම ජනමතය තමන් පැත්තට හැරවිල තියෙද්දිත් මොකක්ද මේ මනුස්සය ඒ ප්‍රශ්නෙ විසඳන්ට කලේ? මේ ලෝකෙ දෙයක් කලේ නෑ.
අන්තිමට ප්‍රශ්නෙ දරුණු වුනාම ඔන්න නින්දෙන් ඇහැරියා වගෙ මේජර් ජෙනරල් තිස්ස වීරතුංගව උතුරට යවනව උතුරේ සියලු ප්‍රශ්න මාස 3 ඇතුලත විසඳල තමන්ට වාර්තා කරන්න කියල දීපු ආඥා පත්‍රයකුත් එක්ක.( තිස්ස වීරතුංග කියන්නෙ ජේ.ආර්.ගෙ බෑණා කෙනෙක් ) ඔන්න ඒ මහා පරිණත නායකයා ජන වාර්ගික අර්බූදයට දුන්නු විසඳුම.හෙහ්...හෙහ්...ඔය ආඥා පත්‍ර දීපු නාඩගම ගැන මරු ලිපියක් ලියල තිබ්බ ඇත්තේ සිරා ( බී.ඒ. සිරිවර්ධන ) ජන වාර්ගික අර්බුදය මාමා-බෑණා සෙනෙහසකට ලඝු වූ අන්දම කියල...:)
ජේ.ආර්. ඊලඟට කලේ වෙනම රාජ්‍යයක් ඉල්ලීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙන්න ඕනය කියල නීතියක් ගෙනල්ල ද්‍ර.එ.වි.පෙරමුණේ මන්ත්‍රී වරුන්ට පාර්ලිමේන්තුවෙන් යන්න වෙන විදිහට වැඩ කල. ඒකෙන් උනේ මොකක්ද? ආයුධ සන්නද්ධ අරගලයක් තමයි එකම මාවත කියල හිතන තැනට දෙමල ජනයා ඉබේටම තල්ලු වුනා.
ඊට පස්සෙ...ජන වාර්ගික අර්බුදයෙන් හත් පලේ ගාගෙන ලොක්කා නිකං හිටියද? 1982 ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනල්ල ජේ.වි.පී. එකට පාර්ලිමේන්තු එන්න තිබ්බ අවස්ථාව නැතිකලා. 1983 කළු ජූලිය වෙලාවෙ අහක බලාගෙන සිරිල් මැතිව්ගෙ මැරයින්ට ඩෙඟා නටන්ට ඉඩ දීල ඉඳල රටම ලේ විලක් කලා. ඒ එක්කම ජ.වි.පෙ. තහනම් කරල උතුරෙ මදිවට දකුණෙත් සිවිල් යුද්ධයක් නිර්මාණය කලා.
මේ ජේ.ආර්. මහත්තය ලංකාවට කරපු විනාසෙං කොටසක් පමණයි. තව තියනව..අධිකරණයේ ස්වාධීනත්වයට කැත විදිහට ඇඟිලි ගැහුවෙ මුලින්ම ජේ.ආර්, අවුරුදු පහෙන් පහට තීරු බදු රහිත වාහන බලපත් මන්ත්‍රීලට අල්ලස් විදිහට දෙන්ට පටන් ගත්තෙ ජේ.ආර්., තමන් හම්බ නොකලට ගෝල බාලයින්ට ඇති තරං ගහ ගනිල්ල කියල අහක බලාගෙන හිටිය ජේ.ආර්.
අර රවී ගේ වයිෆ් අර ගෙදරට එනකොට ගෙනාපු මිරිස් ගල් දෙක තියෙනවනන් කියන්න...ඔව් වයිෆ් කියපු හේතුවටම තමයි!! හික්ස්
DeleteIan,
DeleteThat's what I like about you ....:)
රවිගෙ ලිපියයි ඉයන් සමග වෙච්ච සංවාදයයි ඉතාම වටිනවා. “පිළිගත් නිර්ණායකයන් අනුව මම බෞද්ධයෙකු නොවන බව“ මේ උපුටා දැක්වූයේ මට තේරුම් ගන්න අපහසු දෙයක් මගේ මතය බුද්ධ දර්ශනය තුළ පිළිගත් නිර්ණායකයන් අනුව රවිද බෞද්ධයෙක් වන බවයි.
Deleteගුණසිංහ මහත්මා,
Deleteමම කිව්වෙ බෞද්ධයෙක්ය කියල අද පොදුවේ පිළිගන්නා නිර්ණායක එක්ක සැසඳුවම මම ඒවට අඩංගු වෙන්නෙ නැහැයි කියලයි. පෝදාට පන්සල් යාම, භික්ෂූන්ට දාන මාන දීම වගෙ දේවල් වලට මගෙ කිසිම කැමැත්තක් නැහැ.
අපිට ඔය ටී.වී. එකේ එහෙම පේනවනෙ බික්සූන් වහන්සේලා හැසිරෙන විදිහ... පොලිස් මාර්ග බාධක එක්ක එහෙම ඔට්ටු වෙන්නෙ එදා බුද්ධ ගයාවේ ඇසතු රුක පාමුල සිද්ධාර්ථ තවුසාණන් මාර සෙනඟ දමනය කරන්නට ඔට්ටු වුන විදිහට. දානයට මහානිසංස වෙන්ට සිල්වතෙකුට දෙන්ට ඕනය කියනවනෙ. මෙහෙම බික්සූන්ට දීලා එහෙම ආනිසංසයක් කොහොම වෙතත් මගේ නම් හිතේ සතුටක්වත් ඇති වෙන්නෙ නෑ.
Ian kiyanne pacha. Mrs jayawardena deshapalanya kara . eka kare thira yata.. oba deshapalanya gana dannadeyak
Deletenatha.
අපේ මේ අති සෙරේස්ඨ හිංගලයෝ ගැන මේ රටේ සුළු ජාතීන් යැයි කියනා දෙමළ කස්ටිය හා මුස්ලිම් කස්ටිය පුකෙන් හිනා වෙනවා ඇති..
ReplyDeleteප්‍රභාව දිරවන්නේ නැති දෙමළ අය ඕන තරම් හිටියා.. ඒත් ඒ එකෙක්වත් ප්‍රභා මළ දවසේ ආතල් එකක් ගත්තේ නෑ... සදාම්, ගඩාෆී මැරුනම මුස්ලිම් උන් ආතල් ගත්තෙ නෑ.. අඩු ගානේ ඔසාමා මැරුනා කිව්වාමවත් උන් එහෙම කලේ නෑ...
පට්ටම ජාතියක් ඕයි මේ සෙරේස්ඨ හිංගලයෝ කියන්නේ...
අපිත් ඔය කියන හිංගලයෝ තමයි මාතේ. ඒ වුනාට ඔළුව තියෙන්නේ බඩේ නෙමෙයි. සල්ලි වලට කොටින්ට උදව් කරපු හමුදා කාරයො ඉන්න රටනෙ මේක. අනික අනුන්ගෙ සල්ලිවලින් කොටින්ට මාස්පතා කප්පන් දීල පවුල රැකගන්න කටයුතු කරපු සාටක මාරයෙක්ගෙ අනුගාමිකයො ගැන කියල වැඩක් තියෙනවද?
Deleteමාතලංගෙ මැණියො හරියට ගණන් තියාගෙන ගැලපෙන නමක් දැම්මනං මේ කමෙන්ට් එක තවත් වටිනවා. උන්දැට ගණන් වැරදුනා
Deleteඇත්ත කතාව මාතලන්. සමහර සිංහලයන්ගෙ ප්‍රතිචාර දකිද්දි අප්පිරියයි.
Delete@මාතලන් , Ian හා බස්සි,
Deleteමැරුණ අයගේ අගුණ නොකියයුතුයි, අපහාස නොකල යුතුයි කියන එක රූල් එකක් විදිහට මං නම් පිලිගන්නෙ නෑ.
දේවදත්ත , ජුදාස් , හිට්ලර් ... දුෂ්ට යයි පිලිගත් අයට අපහාස කලාම කවුරුවත් බනින්නෙ නෑනෙ. අපේ දේශප්‍රේමියො මැරිච්ච පෘතුගීසි, ලන්දේසි , ඉන්ග්‍රීසිකාරයන්ට ඕනෙ තරම් බනින්නෙ. මෑත කාලයේ විජේවීර, ප්‍රේමදාස, ප්‍රභාකරන් මැරුණහමත් එහෙමයි.
ජීවත්ව ඉන්නකොට අපි බැන්නනම් අපහාස කලානම් මැරුණයි කියල වෙනසක් මොකටද? අකමැති අයට අපි බනිනවා, ඒ අයට කැමති අයට ඒ බැනුම් ඇහෙනකොට කේන්ති යනවා. මැරුණයි කියල විශේෂ පොලයිට් වන්නේ මොකටද කියල මට තේරෙන්නෙ නෑ.
උදා. සෝභිත හාමුදුරුවෝ මං මෑත කාලයේ කැමති කෙනෙක්. සෝභිත හාමුදුරුවන්ගේ මෑතකාලීන ක්‍රියාකාරීකම් ගැන උන්වහන්සේ ජීවත්ව ඉන්නකොට හා මැරුණහම බනිනවා අපහාස කරනවා අහන්න මං අකමැතියි ( ඒත් දූෂිත රජ පාලනයට කැමතිව හිටපු අයට උන්වහන්සෙට බනින්න අයිතියක් තියනවා)
වීරවංස මං අකමැති කෙනෙක්.ඔහු කරපු කියපු දේ ගැන ඔහුට බනිනවා අපහාස කරනවා අහන්න මං කැමතියි. ඔහු මිය ගියත් ඒ දේ ගැන එහෙමමයි.
දිගට ලිවීම අපහසුයි. මං කියන්න හදන්නෙ අපේ රුචි අරුචිකම් අනුව පුද්ගලයන්ට වෙන අය බනිනවා අපහාසකරනවා ගැන අපිට වෙනස් හැඟීම් එනවා.
ඒත් එය පුද්ගලයින් ජීවත්ව සිටීද නැද්ද ගැන තීරණය වීම මරණය ගැන ඇති සාම්ප්‍රදායික මතවාද හා හැඟීම් ( traditional norms & sentimentality )නිසා මිස කොහෙත්ම තර්කානුකූල නෑනේද?
Mara wadin hewath bayiyan sobitha hamuduruwanta banina tharamin ma penawa Ravi ayya kiyana catalyst eka nathnam defining movement kathawa hari kiyala..
DeleteBut just like pra jay said, Mata thiyena prashne ayi a minissu banina ekata mechchara toyyo wirudda? Sobitha hamuduruwo sandun gahak nam suwanda digatama wihidewi neda?
Thaman dapu status update eka gena prasiddiye samawa ganna wena tharamata Dr. Yasanath ta ha eyage pawulata tharjana ena samajayakda Sobitha hamuduruwo balaporoththu use?
Sorry for singlish :/
පුද්ගලයෙක් මැරුණා කියන්නෙ (රාජකාරිය හෝ යුතුකමක් ලෙස මියයාම නොව ස්වාභාවිකව හෝ අනතුරකින් ) ඔහු හෝ ඇයට විශේෂ තත්වයක් ලැබෙන දෙයක් නෙමෙයිනේ. කල හොඳ හා නරක එහෙමමයි. අපේ මතයට අනුව හොඳට ප්‍රසංසාවත් නරකට නින්දාවත් කරනවා
Deleteමං මේතරම් මේ ගැන ලිව්වෙ සෝබිත හාමුදුරුවො ගැනවත් උන්වහන්සෙට බනින පරණ රාජ වන්දිබට්ටොන් ගැනවත් නිසා නෙමෙයි . මාත් සාමාන්‍යයෙන් අකමැතියි උන්වහන්සෙට බනිනවට . ඒත් ඒ දැන් මැරිල නිසා නෙමෙයි, ජීවත්ව ඉන්නකොට මෑත කාලයේ කරපු සේවයට මං කැමති නිසා. මැරුණ එක නිසා විශේෂ ගෞරවයක් නෑ.
ඉස්සර ඉඳම්ම මට තේරුනේ නෑ මියගිය අයගේ වැරදි නොකිය යුතුයි කියන සංකල්පය. ඕක කිව්වහම මං පොඩිකාලෙ අහනව ඇයි දේවදත්ත ජුදාස් හිට්ලර් මැරිල නැද්ද කියල (තාමත් අහනව ප්‍රභාකරන් වගෙ අය ගැන )
රවි මොකද හිතන්නේ? මලවුන්ගේ වැරදි කීම නරකයි කියන එක හැදුනෙ කොහොමද? බටහිරත් තියනවනෙ - "Speak no ill of the dead"
1. අවතාර වලට බය?
2. නෑ යකුන් ancestor worship ආදී විශ්වාස?
3. දේහයට ගෞරව කරන ක්‍රිස්තියානි විශ්වාස නිසා ( ඉස්සර මල මිනී කැලේ ගහපු අපි දැන් බටහිර අයට වඩා ගොඩක් වියදම් කරල ෆියුනරල් ගන්නව )
4. මියගිය අයගේ සමීපතයන්ගේ හැඟීම් ගැන සංවේදී නිසා (මොකද ඔය රූල් එක බලපාන්නෙ මැරුණ ගමන්. පරණ වුනාම පතුරු ගහන්න පුලුවන් අපි ඔය අයිතිහාසික චරිතවලට කරනව වගෙ )
මට හිතෙන්නෙ 1 ( මුල් කාලයේ වැදගත් වෙන්න ඇති ) හා 4 සංකලනයක්.
( Ravi, I was too busy to comment on your last couple of posts I think. Now made up for that. Phew ! :-D )
මාතලන්, ඉයන් සහ බස්සි,
Deleteස්තූතියි අදහස් දැක්වීමට....:)
Pra,
Deleteමුලින්ම ඔබ හා සීයට සීයක් එකඟයි.කොපමණ කටුක වුනත් විරුද්ධමතයක් ඉවසීමට අපිට හැකිවියයුතුයි.ජේ.ආර්. ගැටඹේ පන්සලට කයුකම්බි ගහල පෙන්නුවෙ විරුද්ධ මතයක් ඉවසීමට ඇති නොහැකියාව.විරුද්ධ මතයක් ඉවසනව කියන්නෙ ඒ මතය පිලිගන්නව නෙවෙයි.ඒ මතය දැරීමට අනෙකාට ඇති අයිතියට ගරු කිරීම.
I do not agree with what you have to say, but I'll defend to the death your right to say it. - Evelyn Beatrice Hall
මෙහෙම කිව්වෙ වෝල්ටෙයර් කියලයි මම මෙතෙක් හිතාගෙන හිටියෙ. ඒත් ඒක වැරදියි කියල අද දැනගත්ත. You learn something new every day…:)
/ රවි මොකද හිතන්නේ? මලවුන්ගේ වැරදි කීම නරකයි කියන එක හැදුනෙ කොහොමද? බටහිරත් තියනවනෙ - "Speak no ill of the dead" /
මටත් හිතෙන්නෙ ප්‍රා මළවුන් පිදීමේ සහ මළවුන්ගේ පිහිට පැතීමේ චාරිත්‍රයෙන් තමයි එහෙම වාරණයක් එන්න ඇත්තෙ. කෙනෙක් මියගියාට පස්සෙ ඔහු ගැන හොඳ මිසක නරක කතා කරන්න එපාය කියන පිළිගැනීම. මැරිච්ච මිනිහට අම්ම මෝ නැතුව බැණ අඬගහන ගමං අනේ මට ඌරෙක් මුණ ගස්සපං නැත්තං තඩි ගෝන නාම්බෙක් තඩි ගහල දියං කියල කියන්ට ඇහැක?...හෙහ්,හෙහ්,
/ Ravi, I was too busy to …… /
Tha's really no problem Pra, I know perfectly well what being busy means…….:)
කළ්‍යාණ,
Deleteයසනාත් දාපු ඒ ස්ටේටස් එක මම දැක්කෙ අද. මම මුහුණු පොතේ ගැවසෙනව බොහොමත්ම අඩු හින්ද වෙන්නැති ඒ. ඇත්තම කියනවනම් යසනාත් ලියල තිබ්බ දේ දැක්කම මගෙ හිතේ තරමක වේදනාවක් ඇතිවුනා. හේතු දෙකක් හින්ද.
1. සෝභිත හාමුදුරුවො ගැන මගේ හිතේ තියෙන ගෞරවය සහ ආදරය හින්ද.
2. යසනාත් ගැන මගේ හිතේ තියෙන ගෞරවය සහ ආදරය හින්ද.
ඒත් අන්තිමට මම මෙහෙම හිතුව. යසනාත් ලියල තිබ්බ දේ හින්ද සෝභිත හාමුදුරුවො ගැන ගොඩනැඟිල තිබුනු යම් කීර්තියක් ප්‍රතිරූපයක් තියෙනවනම් ඒකට අබමල් රේණුවක තරම හානියක් වෙන්නෙ නෑ. යසනාත් ලියල තිබ්බ දේ හින්ද යසනාත් ගැන ගොඩ නැඟිල තිබ්බ යම් කීර්තියක සහ ප්‍රතිරූපයක් තියනවනම් ඒක හානියක් වුනාද කියල යසනාත්ටම හිතල බලන්ට වෙනව. .ඒත් එහෙම අදහස් දැක්වීමේ අයිතිය යසනාත්ට තියෙනව. එච්චරයි.
//ජේ.ආර්. ගැටඹේ පන්සලට කයුකම්බි ගහල පෙන්නුවෙ විරුද්ධ මතයක් ඉවසීමට ඇති නොහැකියාව//
Deleteරවී, ජේ ආර් විරුද්ධ මතයක් ඉවසීමට හැකියාවක් තිබූ පුද්ගලයෙක්. උදාහරණ දෙකක් කියන්නම්. එකක් තමයි 1977 මහා මැතිවරණය. එහිදී ආචාර්‍යය එන්.එම් පෙරේරා නම්වූ (සමාජවාදී වුවත්) ලංකාවේ පහලවූ ශ්‍රේෂ්ඨතම ආර්ථික විශේශඥයා සමග යටියන්තොට ආසනය තරඟ කලේ වින්සන්ට් පෙරේරා නම් අයෙක්. එන් එම් පෙරේරා සමාජවාදී කඳවුරේ නායකයා වූ අතර ජේ ආර් ධනවාදී කඳවුරේ නායකයා වුනා. ජේ.ආර් එහි රැස්වීමකදී කියා සිටියේ මෙම ආසනයට පෙරේරා වරුන් දෙදෙනෙකු තරඟ කරන බවත් ඉන් පාර්ලිමේන්තුවට සුදුසුම පෙරේරා පත් කර එවන ලෙසත්. ඔහු අදහස් කලේ එ.ජා පක්ශයෙන් ඉදිරිපත්වූ පෙරේරාට වඩා සමසමාජ පක්ශයේ ආචාර්‍යය එන්.එම් පෙරේරා සුදුසු බව. 1978 දී ඔහුගේ දේශාපලන දර්ශණයේ ප්‍රතිවාදියා වූ එන් එම් පෙරේරා මියගියා. එහිදී ජේ ආර් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔහුගේ අවමංගල්‍ය උත්සවය නිදහස් චතුරශයේ පැවැත්වූවා. ඔහුට විරුද්ධ මත ඉවසීමට මනා හැකියාවක් තිබූ නමුත් ශ්‍රීමත් ජෝන් කොතලාවලට මෙන් අපහාසය ඉවසීමට නොහැකි කෙනෙක් වුනා. ඔහු උද්දච්ච පුද්ගලයෙක්. ඔහු රට වෙනුවෙන් සිතූ සැලැස්ම ඒ ගැන දැක්මක් නැති වෙනත් අය ඔහුට අපහාස කිරීම ඔහු ඉවසුවේ නැහැ. ගැටඹේ පන්සලේ සිද්ධිය, ප්‍රේමසිරි කේමදාස සිද්ධිය, මහාචාර්‍යය එදිරිවීර සරත්චන්ද්‍ර සිද්ධිය වැනි අපකීර්තිමත් සිද්ධීන් වලට හේතුව එයයි.
මළ උන්ගේ වැරදි කියන්න එපා කියලා නීතියක් කොහෙත් නෑ.. ඒත් ශිෂ්ඨ ළෝකයේ තියෙනවා පිලිගැනීමක් මිනිස්සුන්ගේ විපතකදි මරණයකදි ඒකෙන් සතුටු නොවන සහ හෙලා නොදකින.
Deleteසදාම් එල්ලලා මරපු දවසේ මම උන්නේ ඊශ්‍රායලයේ. යුදෙව්වන්ට සදාම් නෙමෙයි ඉස්ලාම් දහම අදහන උන් එකෙක්වත් දිරවන්නේ නෑ. පලස්තීන් කාරයත් එක්ක තියෙන නයි වෛරය නිසා. ඒත් අපි දන්න එකම ඊශ්‍රායල් කාරයෙක්වත් සදාම් එල්ලලා මරපු විදිය අනුමත කළේ නෑ.
ඇමරිකාව ඇත්තට හරි බොරුවට හරි ඔසාමා වෙඩි තියලා මරලා දැම්මා. (පවුලේ අනිත් අයව බේරලා). මිනීය ගිහින් මුහුදට දැම්මා. (එක්නැලිගොඩගෙ වගේ.) එතනින් ගේම ඉවරයි. මිනීය කරේ තියාගෙන මැරයින් කාරයෝ වැදි ඩාන්ස් දැම්මේ නෑ. ඔසාමගෙ බොඩියට අමුඩයක් අන්දලා ඔළුවට පොරෝ පහරවල් දුන්නේ නෑ. ඔසාමගෙ ළමයින්ට බිස්කට් දීලා, උන්ටත් වෙඩි තියලා දැම්මේ නෑ. කොටින්ම ඒ යකා ගැන ඊට පස්සේ කතා කලේවත් නෑ.
ඒකයි හැදියාව කියන්නේ.
ඉයන්,
Deleteජේ.ආර්. ගෙ විරුද්ධ මත ඉවසීමට උදාහරණයක් විදිහට ඔබ කියන සිද්ධිය සලකන්න බෑ ඉයන්. 1977 රට පුරා තිබුනු රැල්ල අනුව ජේ.ආර්.ට නෙවෙයි කජුකිරි වයසෙ හිටිය මටත් තේරුනා යූ.එන්.පී එක ආසන බර ගණනකින් දිනයි කියල. එහෙම ඇස්පනා පිට ජයග්‍රහණය පෙනෙන්ට තිබ්බ හින්ද නිකං ජොලියට වගෙ ඔය කතාව කියන්ට ඇති යටියන්තොටදි. සමහරවිට පාර්ලිමේන්තුවෙ සෑහෙන කාලයක් එකට හිටිය හින්ද May be he had a soft spot for Dr. N.M.
විරුද්ධ මත ඉවසීම කොහොම වෙතත් ආණ්ඩුවට විරුද්ධව තීරණයක් දුන්නු අභියචනාධිකරණ විනිසුරුගෙ ගේ ඉස්සරහට මැරයො යවල හූ කියවපු මනුස්සයෙක් ඔය ජේ.ආර්. කියන්නෙ. කලු ලකී තමයි ඒ මැරයො මෙහෙයෙවුවෙ. ඊට පස්සෙ ජේ.ආර්. ලොක්කා මතකද මොකක්ද කිව්වෙ කියල? ශ්‍රී ලංකාවෙ දැන් තියෙන්නෙ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්. නඩු කාරයින්ගෙ ගෙවල් ඉස්සරහට ගිහිල්ල හූ කියන්න උනත් පුලුවන්.....
ප්‍රා.. මම මෙතනදී දකින්නේ මලවුන්ගේ වැරදි කීම වැරැද්දක් හැටියට නෙමෙයි. සමාජයේ යම් කාර්යභාරයක් කරපු කෙනෙකුගේ භූමිකාව අනිවාර්යයෙන් විචාරයට ලක්වෙනවා, එතනදී වැරදි මතු වෙනවා. ඒක නොකලයුතු නරක දෙයක් නෙමෙයි. මේ සිද්ධියේදී යසනාත් සොභිත හාමුදුරුවන්ගේ දේශපාලනය විවේචනය කරලා නතර වුණා නම් අවුලක් නෑ. නමුත් යසනාත් සෝභිත හාමුදුරුවන්ගේ මරණය කියන සිදුවීම උපහාසාත්මක ලෙස පාවිච්චි කලා. අන්න එතනයි වැරැද්ද මට හිතෙන්නේ. කෙනෙකුගේ ශාරීරික, මානසික දුබලතාවයකට හිනාවීම සහ මේක අතර වැඩි වෙනසක් මට පෙන්නේ නෑ. එතන ඉඳන් තමයි මම මේක වැරදියි කියන්නේ.
Deleteකෙනෙකුගේ දේශපාලනය සහ භාවිතය ගැන විවේචනාත්මක වෙන්න, ඒ පුද්ගලයාගේ මරණය සුදුසු අවස්තාවක් නෙමෙයි කියන මතයේ මම ඉන්නේ, එක්සෙප්ෂන්ස් නැතුවා නෙමෙයි. මහින්ද මැරුණත්, රනිල් මැරුණත්, සෝභිත හාමුදුරුවෝ හරි ඥාණසාර හාමුදුරුවෝ හරි මැරුණත් ඔවුන්ගේ පවුලේ උදවිය, හිතමිත්‍රයෝ සහ ශෝකවන තවත් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට කරන ගරුකිරීමක් සහ ඔවුන්ගේ ශෝකයට අවකාශය ලබාදීමක් විදිහට, මම නම් ඒ වගේ අවස්තාවක ශෝකය ප්‍රකාශ කරනවා හෝ අඩුම තරමේ නිහඬව ඉන්නවා.
ස්තුතියි තිසර
Deleteඒ කියන්නේ මගේ 4 වෙනි එකට //4. මියගිය අයගේ සමීපතයන්ගේ හැඟීම් ගැන සංවේදී නිසා (මොකද ඔය රූල් එක බලපාන්නෙ මැරුණ ගමන්. පරණ වුනාම පතුරු ගහන්න පුලුවන් අපි ඔය අයිතිහාසික චරිතවලට කරනව වගෙ )// වඩා බර බවනේද?
ඒත් අතීතයේදී 1 වෙනි එක ( අවතාර, spirits, influence after death, etc ) ගැන තිබුන විස්වාසවල බලපෑමත් ටිකක් එන්න ඇති නේද?
ඇත්තම කියනවනම් මන් ඔය යසනාත් කියන්නෙ මොකාද කියලවත් දැන ගෙන හිටියෙ නෑ, සංගීතය ගැන දැනුම අල්ප නිසා.
මට ඕනැවුනේ මට කාලයක සිට කුතුහලයක් තිබුන "speak no ill of the dead" කියන එකේ ප්‍රභවය හා හේතූන් ගැන සංවාදයක් ඇති කරල ඒ ගැන ඉගනගන්න.
සෝභිත හාමුදුරුවන්ට අපහාස කිරීම ගැන මටත් තරහක් අප්‍රසාදයක් එනවා උන්වහන්සේගේ මෑත කාලීන ක්‍රියාකාරිත්වය මන් ඉතා අගය කල නිසා.
ඒත් මගේ කමෙන්ට් එකේ පරමාර්ථය වුනේ මරණයට පසු අපහාසය මරණයට පෙර අපහාසයට වඩා වැඩි වන්නේ කෙසේද යන එක.
උත්තරය මං හිතන්නේ මරණයක් වූ විගස ඇතිවන සංවේදීත්වය නේද?
අපහාසය නම් අවුලක් නෑ ප්‍රා... මෙතන උනේ උපහාසයක්..
Deleteතමන්ටත් මේ ගමන හිමියි කියා අමතක වීමක්...
බහුජන සුබසිද්ධිය කෙසේ වෙතත් අර හොරෙන් ඕප්පු හදල අල්ලගත්ත මහරගම ඉඩම ගැන නඩුව නං යහපාලනයේ ආනිසංසයෙන් යටගහගෙන හිටිය. ඒ පිනම මදෑ නිවන් දකින්න
ReplyDeleteමචෝ උඹලෑ අම්මවත් තියාගෙන හිටියා නේද? පොඩි කාලේ උඹ හැදුනෙත් පන්සලේ නේද?
Deleteනැතුව අපේ අම්ම පන්සලෙන් ආවට පස්සෙනෙ උබලගෙ අම්ම පන්සල් ගිහින් තියෙන්නෙ... උබලගෙ අම්ම නං හිස් අතින් නෙමෙයි ආපහු ඇවිත් තියෙන්නෙ උබත් එක්කම
Deleteකොහෙ හරි ඉඩමක් අල්ලගෙන හිටියනං සාටක මාරය ඒව තුන හතර කරල බොරු නඩුත් පටලවල. මතකනෙ සරත් ෆොන්සේක. අඝයාරාමය ගැනනම් ඔහොම කථාවක් තියෙනව ඇනෝ. වැරදි නැති මිනිහෙකුට වැරදි කීම සහ අපහාස කිරීම ගැන බුදු බනේ කියල තියෙන දේ දැනගෙන කතා කලොත් හොඳක් වෙන්නේ ඔබ තුමාටමයි.
Deleteසරත් ෆොන්සේකා මහත්තය ගැන කියනවනම් එයාට පැවතී රජයෙන් එල්ල වුයේ බොරු චෝදනාවක්නම්, එම චෝදනාවට ලබා දුන්නේද වැරදි දඬුවමක්නම් තමන්ට හිතකර හොඳ වේදිකාවක් තියෙන මේ යහපාලන සමයේවත් ඔහු එය අභියෝගයට ලක් නොකිරීම තුළින් තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
Deleteමහින්ද මහතාට විරුද්ධව එක නඩුවක් හෝ උසාවියක තවමත් දමා නැති අතර, FCID හෝ එවැනි විමර්ශනයකින් පවා කිසිම චෝදනාවක් ඔප්පු වී හෝ නැතිව තිබියදී පවා ඔබ ඔහුට “සාටක මාරයා” ලෙසින් අවමන් කරයි.
එසේ කරන ගමන්ම අන් අයෙක් කරන චෝදනාවක් සම්බන්ධව ඔහුට බුදු බණ තුලින් පිළිතුරැ දීමට උත්සාහ කරන්නේ බුදු බණ වලට අමතරව ඔබ වැදී බණද ප්‍රගුණ කර ඇති නිසාවත්ද.
යුග පුරුෂයා කියන නමට සර්ව ප්‍රකාරයෙන්ම ගැලපෙනවා. මේ විදිහට සමාජ ප්‍රවාහයක් ගොඩනගන්න පහසු නැහැ. උන්වහන්සේ තමයි මෑතකාලයේදී පස්ක්ෂයකට ගති නොවී පොදුජනයා වෙනුවෙන් පෙනීසිටි නියම ජන නායකයා.
ReplyDeleteදිගත පතළ සුවඳැති සොඳ සඳුන් ගස - සිඳීත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ
නියම විග්‍රහය
Deleteවිචාරක,
Deleteනියම විග්‍රහය x 2
රවි තුමනි , හාමුදුරු කෙනෙක් ගැන කියද්දි එතුමා කියල කියන එක හරිද ?
ReplyDeleteරවි අංකල්ට රවී තුමා කියන එක හරිද? අනික රවියා මට වඩා බාලද දන්නෙත් නැතුව මම ඌට අංකල් කියන එක හරිද? අනික කෝ කමෙන්ට් ඩබල?
Deleteතුමා කිවුවෙ බැනුමක් ආවත් පොඩ්ඩක් අඩු කරගැනීමේ ප්‍රයෝගයක් ලෙස .මට හිතෙන විදිහට අංකල්ල දෙන්නම එක වයසෙ, : D
Deleteඔය කමෙන්ට් ඩබොල කොහොම වදිනවද කියල හොයාගන්න බෑ.
සිරාවටම ඇහුවෙ ඉයන්, එහෙම කියන්න පුළුවන්ද ?
කම්මල මම හිතන්නෙත් 'එතුමා' කියන ආමන්ත්‍රණය කල යුත්තේ ගිහියෙකුට. මේ දවස් වල රවි අංකල් කොස් කෙල්ලෙකුයි, අනන්‍ය කියල කෙල්ලෙකුයි, ක්ලියෝපැට්‍රා කිය කෙල්ලෙකුයි අතර ත්‍රීසම් එකක් කරන අතරේ ස්වාමීන්වහන්සේ ගැන ලියන්න ගිහිල්ල පොඩ්ඩක් මිස් වුනාට සාමන්‍යයෙන් ඔය වගේ මිස්ටේක්ස් රවි 'අංකල්' අතින් වෙනව අඩුයි.
Deleteඉයන් සහ කම්මල,
Deleteස්තූතියි..වරද පෙන්නල දුන්නට...නිවැරදි කළෙමි....:)
ඉයන්,
Deleteමගේ ගණනය කිරීම අනුව ඔබ මට වඩා වසර දෙකක් වගෙ බාලයි...:)
සෝභිත හාමුදුරුවොන් ඉස්සර කරපු දේවල් ගැන මතයක් ප්‍රකාශකරන්න තරම් දැනුමක් මට නෑ. මං කැමති නැති සිංහල වීරවිදහන වගේ ඒවාගේ හිටියයි කියල ඇහුව ඊයෙ.
ReplyDeleteඋන්වහන්සෙ ලඟදි කරපු කියපු දේ ගැන හුඟක් පැහැදීමක් මට තියනව.
සමහරු කියනව වර්ථමාන ආණ්ඩුවේ අඩුපාඩු වැරදි නිසා උන්වහන්සෙ ආණ්ඩු වෙනසකට කරපු දේ අපරාදෙ කියල. මට නම් කොහෙත්ම එහෙම හිතෙන්නෙ නෑ. ලංකාවෙ උන්ට කොහොමත් වටින්නෙ නැති උතෝපියානු යහපාලනයට සටන් කරල එය නොලැබුනත් තිබුන කිසිම කන්ට්‍රෝල් එකක් නැති රජ පාලනය නැති කරපු එක ලොකු දෙයක්.
"රජෙක් රජෙක්" කියලා ජනතාව අන්දන පාලනයකට වඩා "සරලයි සරලයි" කියලා ජනතාව අන්දන පාලනයක් මට අප්පිරියා අඩුයි. අඩු ගණනේ මහ රජාණනි කියලා සිංදු දැන් අහන්න නැතිවීමේ සෑහෙන හවුල් කාරයෙක් වීම ගැන සෝභිත හාමුදුරුවන්ට මං ස්තුතිවන්ත වෙනවා
මහ රජානෙනි සින්දුවේ මේ වර්ශන් එකටනම් මම කැමතියි
Delete+++++++
Deleteහැබැයි ඉස්සර අප්පිරියා වුනාට ඔරිජිනල් වර්ෂන් එකවුනත් දැන් දකිනකොට හිනායනවා. කෝ ඒ වන්දිබට්ටන් බට්ටියන් දැන්?
Pra,
Delete/ සමහරු කියනව වර්ථමාන ආණ්ඩුවේ අඩුපාඩු වැරදි නිසා උන්වහන්සෙ ආණ්ඩු වෙනසකට කරපු දේ අපරාදෙ කියල. මට නම් කොහෙත්ම එහෙම හිතෙන්නෙ නෑ. /
මම ද කිසිසේත් එසේ නොසිතමි. මහින්ද පැරදවීම කෙසේ හෝ කලයුතු දෙයක්ව තිබිණි. එහි වෙනත් කිසිදු විලක්පයක් ඇත්තටම නොතිබිණි. මහින්දගේ අත්තනෝමතික පාලනය පරදවා බලයට එන ඕනෑම රජයක් ඊට වඩා හොඳ මිස නරක් විය නොහැක යනුවෙන් මම උපකල්පනය කළෙමි. මෙතෙක් එම උපකල්පනය සංශෝධනය කරගැන්මේ අවශ්‍යතාවයක් මට නම් කිසිසේත්ම නොපෙනේ.
සෝභිත හාමුදුරුවන්ගේ වැරදි තියනවද නැද්ද කියලා මම දන්නේ නෑ, නමුත් අනිවාර්යයෙන් සාපේක්ෂව අඩුවෙන් වැරදි ඇති කෙනෙක්. දිගින් දිගටම, තමන් විශ්වාස කරන දෙය වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක්, ඒකට කොයි පක්ෂයද කියලා අදාල වුණේ නෑ. රවී ගේ Defining Moment ගැන විග්‍රහය අපූරුයි.
ReplyDelete//සෝභිත හාමුදුරුවන්ගේ වැරදි තියනවද නැද්ද කියලා මම දන්නේ නෑ,//
Deleteමම උපන්නෙ, ජීවත් වුනේ නුගේගොඩ අවට. මම උපතින් කතෝලිකයෙක්, උග්‍ර ජේ.ආර් වාදියෙක්, මත්පැන් පානය කරන්නෙක්, ජාතිවාදය සහ ආගම් වාදය නොරුස්සන්නෙක්. උන්වහන්සේ කල බොහෝ දේවල් ගැන අසා දැක තියෙනවා. සෝභිත හාමුදුරුවෝ අමද්‍යප ව්‍යාපාරය, සිංහල බල මණ්ඩලය, සිංහල වීර විදහන, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ආදිය එම වහන්සේගේ මූලිකත්වයෙන් කලේ මහා බල සහිත ජනාධිපති වරුන්ට එරෙහි වෙමින්. චන්ද්‍රිකා, මහින්ද වැන්නවුන් බලයට ගෙන ඒමට උන්වහන්සේ කල බලපෑම් වලට මම විරුද්ධයි. උන්වහන්සේට එරෙහිව ජේ ආර්, ප්‍රේමදාස, හා මහින්ද කල දේවල් වලටත් මම විරුද්ධයි. සම්පත් බැංකු ප්‍රශ්ණයේදී එය ආගමික ප්‍රශ්ණයක් කල විට උන්වහන්සේත් නොමග ගොස් එයට මැදිහත් වුනා. මට පැහැදිලිවම කිව හැක්කේ මෙහිමියන් කිසිම කිසිදාක මුදලට හෝ පෞද්ගලික වාසි වලට නතු නොවී උන්වහන්සේගේ හදවතට එකඟ දේවල් පමණක්ම සහ පොඩි මිනිස්සුන්ගේ පැත්ත ගැන පමණක්ම බලාගෙන කටයුතු කල හිමිනමක්. ඒ අතින් උන්වහන්සේ කිසිම දවසක සමාජයට යහපතක් යැයි උන්වහන්සේ සිතූ දෙයක් මිස අනිකක් කලේ නැති හිමිනමක්.
Thisara,
Delete/ රවී ගේ Defining Moment ගැන විග්‍රහය අපූරුයි. /
තිසර පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. මේ සිද්ධිය වුනේ අවසන් පූර්ව තරඟයෙ නෙවෙයි. ඊට පෙර පැවැත්වුනු ඕස්ට්‍රේලියා- දකුණු අප්‍රිකා ප්‍රථම වටයේ තරඟයේදි.අවසන් වටයට යන්ට නම් ඕස්ට්‍රේලියාව මේ තරඟය අනිවාර්යයෙන් ජයගත යුතුව තිබුනා.දකුණු අප්‍රිකාව ලකුණු 271 වගෙ සංඛ්‍යාවක් ලබා ගත්තා. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව කඩුළු 3 බිඳ වැටී ළකුණු 48 වගෙ ලබා සිටිද්දි තමයි ස්ටීව් වෝ උඩ පන්දුව ලබා දෙන්නෙ. ස්ටීව් වෝ ඊට පස්සෙ නොදැවී ශතකයක් ලබාගන්නවා.ඕස්ට්‍රේලියාව පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරඟය දිනල අවසන් පූර්ව තරඟයෙන් දකුණු අප්‍රිකාව හා ලකුණු සමව තරඟය අවසන් කරල ඊට පස්සෙ අවසන් තරඟයෙන් පකිස්තානය පරදවල ජයග්‍රහණය කරනව.
සෝභිත හිමිපානන්ට නිවන් සුව පතමි.
ReplyDeleteහෙන්රි,
Deleteඔව් සෝභිත හාමුදුරුවො වෙනුවෙන් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු!
රටක් සනහාලන්ට වෙහෙසව - කටක් අැරලා රුවන්මය සොඳ
ReplyDeleteමගක් නොමැතිව උකටලීවම - වැතිර හිඳි ලක් දනන් වෙත ඔබ
සඳක් මෙන් ගණ අන්ධකාරෙට - විහිදුවා ඒ් නැණ පහන් සිල
සිතක් අැති සැම දෙනෙත් තෙත් කොට - හිමියනේ ඔබ සැතපුනා වෙද
සෝභිත හිමියනේ, ඔබට අජරාමර නිවන් සුවම ලැබේවා!
සෝභිත හිමියනේ, ඔබට අජරාමර නිවන් සුවම ලැබේවා!!!!!
Deleteතෙලිදිය වාඩිය,
Deleteසෝභිත හිමියනේ, ඔබට අජරාමර නිවන් සුවම ලැබේවා!!!!!
මගේ පියා කුඩා කාලයේ අප නිවසට ආසන්නයෙන්ම තිබී ඇති විහාරස්ථාන දෙක කෝට්ටේ රජ මහා විහාරය සහ නාග විහාරයයි. ඒ අතුරින් ඔවුන් වැඩි වශයෙන් ඇසුරු කර ඇත්තේ නාග විහාරයයි. උපතින් කතෝලික බැතිමතියක වූ මගේ මිත්තණිය බුදු දහම කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගත්තේත්, මගේ පියා හා නැන්දලාද ඒ මග ඔස්සේ රැගෙන ගියේත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මධුර ධර්මය ශ්‍රවණය කිරීම නිසාය. පසු කලෙක අප නිවසට ආසන්නයෙන්ම වෙනත් විහාරස්ථානයක් ඉදි වූයෙන් නාග විහාරය සමග තිබූ ඇසුර අඩු වුවද ඔවුන් එම අතීතය ගැන සිහිපත් කළේ මහත් ශ්‍රද්ධාවෙනි. මා ඇසුරු කළේ එම නව විහාරය වුවත් මා එයට හුරු වූයේ මගේ මිත්තණිය නිසාය. මගේ මිත්තණිය සැදැහැවත් බොදු බැතිමතියක වූයේ සෝභිත හිමියන්ගේ දහම් නිසාය. උන් වහන්සේට ඒ පින් අනුමෝදන් කරනා අතරම අමා මහ නිවන් සුවයද පතමි. එම මධුර දහම් හඬ නැවතත් සජීවීව අසන්නට නොලැබෙන බව සිහිපත් වන විට දැඩි සන්තාපයක් සිතට දැනේ.
ReplyDeleteඋන්වහන්සේගේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන කතා කරනවානම් අතීතයේ පටන්ම සිදුවීම් පිළිබඳව කතා කළයුතු බැවින්, ඒ ගැන මා වැඩිදුර තොරතුරු නොදන්නා බැවින් කිසිවක් නොකියා සිටිමි.
/*ඒ කළකිරීම කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකොට මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පැරදවීමට අපගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කල අප සැමගේ සිත්තුල පවතින්නකි.*/ මේ කළකිරීම තවත් වසර කිහිපයක ඇවෑමෙන් පසුතැවීමකට පරිවර්තනය වීමට හේතු වන සිදුවීම් නොවේවායි මම ප්‍රාර්ථනා කරමි.
Siththami,
Delete/ මේ කළකිරීම තවත් වසර කිහිපයක ඇවෑමෙන් පසුතැවීමකට පරිවර්තනය වීමට හේතු වන සිදුවීම් නොවේවායි මම ප්‍රාර්ථනා කරමි. /
ස්තූතියි ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට...Not tongue in cheek eh?
අයියටනං මම ඔය කතාව කිව්වේ :P තමයි. :P
Deleteඒත් අවංකවම මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා. ඒ මේකයි. මම ජනාධිපතිවරණෙදි ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ෂට, අයියා ඒක දන්නවනේ. ඒ මම 'මහින්දවාදියෙක්' වෙන නිසා නෙවෙයි, මම 'රනිල්-විරෝධියෙක්' නිසා. ජනාධිපතිවරණෙට ඉල්ලුවේ වෙන එක්කෙනෙක් වුනාට එයා රනිල්ගේ බළල් අතක් බව බොහොම පැහැදිලිව එදත් පෙනුණා, අදත් පේනවා. මහ මැතිවරණෙදිත් මම ඡන්දෙ දුන්නෙ නිදහස් පක්ෂෙට. නිදහස් පක්ෂෙන් අයින් වෙලා වෙන පක්ෂෙකට ගිහින් ජනාධිපතිවරණෙට ඉල්ලපු කෙනා ආයෙම නිදහස් පක්ෂෙ නායක කමට අයිතිවාසිකම් කියාගෙන ඇවිත් මහ මැතිවරණෙදි ඒ පක්ෂෙ නන්නත්තාර කරලා දැම්මේ එයාගෙ සහයෝගයත් රනිල්ව දිනවන්න යොදවපු නිසා. දැන් කොහොමහරි, මම කොච්චර අකමැති වුනත් රනිල් රටේ අගමැති වෙලා. ඒකට පාර තමයි ජනාධිපතිවරණෙදි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වෙලා කපලා දුන්නේ. වෙනසක් කරනවයි කියලා ආපු කට්ටිය කරගෙන යන වෙනස දැන් බොහොම පැහැදිලියිනේ. තිබුණ නරක ටික, වැරදි ටික ඔක්කෝම එහෙමමයි. හැබැයි කළින් ආණ්ඩුවෙන් කෙරුණ හොඳ දේවල් වලට වෙච්ච දෙයක් නෑ. එක්කෝ අතරමග නැවතිලා, නැත්තං නැති වෙලාම ගිහිල්ලා. ඉතින් මහින්දව පරද්දන්න තිබ්බ උවමනාව නිසාම අනිත් විකල්පය ගැන හරියට තක්සේරු නොකර ඒ විකල්පය බලයට ගේන්න මහන්සි වෙච්ච හුඟක් අය අයියා ඔය කිව්වා වගේම කළකිරිලා. ඒ ගැන මම 'හූ ඇද්ද උඹලට!' කියන බැල්මෙන් බලන්න කැමති නෑ. තත්ත්වය වඩාත් දරුණු නොවෙන්න කියලා, රටේ අනාගතය සුරක්ෂිත වෙන්න කියලා විතරක් ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. :)
පවතින රජයකින් වරප්‍රසාද අරගෙන එහෙයි කියන්නෙ නැතුව, වරදට එරෙහිව හිටපු බවට සෝභිත හාමුදුරුවො ගැන රවීගෙ අදහස් හා එකඟ වෙනව.
ReplyDeleteඔය පෝය දවසට පන්සල් යන එකනං මටත් එපා වෙන වැඩක් තමයි.
Prasanna,
Delete/ ඔය පෝය දවසට පන්සල් යන එකනං මටත් එපා වෙන වැඩක් තමයි. /
හයියෝ මටත් එපාම කරපු වැඩක් ඕක....ඒත් නොගිහිනුත් බෑ නෙව. " මොකද අනේ ඔයාල පෝයටවත් පන්සලකට ගිහිල්ල මලක් පූජා කරන්නෙ පහනක් පත්තු කරන්නෙ නැද්ද? " කියල අහල පහල අය අහන්ට ගන්නකොට ඉතිං බැරි මරගාතෙ හරි යන්ටම වෙනව...:)
/* මාදුළුවාවේ සෝභිත හිමියන් ඉල් මහේදීම අභාවප්‍රාප්ත වීම සුවිශේෂී සිද්ධියකි. */
ReplyDeleteසෝභිත සාදු ඉල් මහ විරුවෙක් ද දුරුතු මහ විරුවෙක් ද...?
රසික,
Deleteදුරුතු දුරුතු....:)
රවිගෙයි මගෙයි සමානකමක් තමයි ඉඳ ඉඳ එක වෙහෙර කියනවා වගේ කෝට්ටේ අවුරුදු දෙක හමාරක්ම ඉඳලත් පන්සල් දෙකට ගිහින් තියෙන්නේ එක පාර බැගින් වීම.
ReplyDeleteඑයින් රජමහා විහාරයට ගියේ ඒ වසර දෙකහාමරට කලින් දවසක, එහේ ගෙවල් හොයන කාලේ. නාග විහාරයට ගියේ කෝට්ටේ හිටපු අන්තිම පැය කිහිපය තුළ දී යි.
අර 1999 මැච් එකේ දී ගිබ්ස් කැච් එක ඩ්‍රොප් කරනවා නොවෙයි අල්ලලා සෝබනේට බිමට ගහනවා නේද?
රසික ,
Delete/ අර 1999 මැච් එකේ දී ගිබ්ස් කැච් එක ඩ්‍රොප් කරනවා නොවෙයි අල්ලලා සෝබනේට බිමට ගහනවා නේද? /
පන්දු රකින්නෙක් උඩ පන්දුවක් රැකගත්තම සන්තෝසෙට පන්දුව උඩ දානවනෙ. එතන වෙන්නෙ ගිබ්ස් පන්දුව හරියට අතට ගන්ට ඉස්සරවෙලා උඩ දාන්ට යනව.ඒකෙන් තමයි වැඩේ ජෝන් බාස්ට ගිහිල්ල පන්දුව අත ඇරෙන්නෙ...:) තිසරට ලියපු කමෙන්ට් එකේ තියන වීඩියෝ එකේ ඒ සිද්ධිය පැහැදිලිව තියනව.
ලබුදූවේ සිරිධම්ම හාමුදුරුවෝ ජේ. ආර්. ට ජාති ද්‍රෝහියා ය කියා කිව්වේ ඇයි ද කියා හරියටම දන්නවාද?
ReplyDeleteමං හිතන්නේ ඒ හිඳගල පැත්තේ තේ වත්තක හදපු උදාගමක ගෙවල්වලින් බහුතරය සිංහල අයට නොදී වත්තේ වැඩකළ දෙමළ අයට දුන් නිසායි. මා වැරදි වෙන්න පුළුවනි!
උදාගම් බෙදුවේ ප්‍රේමදාස මහත්තයානෙ, රසික . අනික එයා පනික්කියා බෙදුවට වඩා සාධාරණව බෙදුව කියල තමයි මම නම් හිතන්නේ
Deleteරසික,
Deleteඑහෙම විස්තරයක් නම් කියලා නෑ. ඒ ජාති ද්‍රෝහියා කියල කියාපු කතාව ගැන විස්තරයක් මෙතන තියනවා ඒ අදාල කතාව කරල තියෙන්නෙ 1982 මැයි 23 වෙනිදා මහනුවර බෞද්ධ සමිති ශාලාවෙදි ජාතික වීරයින් සැමරීමේ උත්සවයෙදි.
Ian ඔයාට කුලේ ගොඩක් ලොකුද?
Deleteපනික්කියා කියල කියන්නේ ගරහන්න ඕන නිසාද?
ඇයි විමල් විරවංශට බනින්න එයාගේ කුලේ ඇදගන්නේ
ඔයාල වගේ කට්ටිය තමයි අඩුකුලේ මිනිස්සු කියල කොන්ඩයාගේ ගමට යන පාරවලුත් ඩොසර් දාල කපල දැම්මේ
රාජාණ්ඩුවක් වෙන්න තිබ්බ රට බේරගන්න උන්වහන්සේ කරපු මෙහෙය අමතක කරන්න බෑ.. යහපාලනයේ මොන වරද තිබුනත් මහින්දගෙ ආන්ඩුව තවදුරටත් පැවතුනා නම් මේ වෙනකොටත් මොනව වෙලා තියෙවිද කියල හිතාගන්න බෑ.අද අඩුතරමෙ ඇමතිලා විවේචනය වෙනව. වැරදි කරන්න බයයි කවුරු උනත්.. මිනිස්සු ගස් බදින යුගය අවසන් කරන්න කල මෙහෙවරම ඇති උන්වහන්සෙට.. රවි අයියා.. සියයට සියයක් එකගයි ...
ReplyDeleteසජ්ජා ! සියයට සියයක් එකගයි ...
Deleteසජ්ජා ! සියයට සියයක් එකගයි ...x 2
Deleteසජ්ජත් එක්ක මාත් එකඟයි...
Deleteපහුගිය ටිකේ උන්වහන්සේ ගැන කියවපු දේවල් වලින් තේරුණේ දේශපාලන බලපෙරලි වලට දායක වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි කියන එක. එහෙම කරලත් නම්බු නාම කිසි දෙයක් ලබානොගන්න හිමි නමක්. මම හරිනම්. එහෙම අය අඩුයි. දේශපාලන මතිමතාන්දර කොහොම උනත් රටකට ඕන ඒ වගේ උතුම් මිනිස්සු.
ReplyDeleteඋන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
දිනේෂ් මල්ලි,
Deleteඔබ හරි..සෝභිත හාමුදුරුවො මම දන්න කාලෙ ඉඳලම තමන් දරන අදහස වෙනුවෙන් නොබියව සිටියෙක්.
උන්වහන්සේ පව් පඩිසන් දීල අපවත් වුණා කවුද ලියල තියනවා දැක්ක. වයසට ගිහින් අසනීප වෙලා අපවත් වුණාම එක පවා පල දීමක් වෙන්නේ කොහොමද කියල ඒ මහතාට තේරිලා නැහැ.
ReplyDeletehttp://nelumyaya.com/?p=4576
Thanks Ajith....:)
Deleteමේ අපවත් වී ඇත්තේ මතුපිටින් පෙනෙන රූපයෙන් සැඟවී සිටි......... ක් නොවේ. සැබෑ බෞද්ධ හිමිනමක් වෙන්නට වෙරගත් උත්තමයෙක්
ReplyDeleteඔබ හා එකඟයි ගුණසිංහ මහත්මා...:)
Deleteමෙතුමා ගැන කියන්න ඇති වැදගත්ම දේ මා දකින විදිහට මේකයි.
ReplyDeleteමෙතුමා, යහපත් හෙට දවසක් වෙනුවෙන් සටන් කිරීම.
ඒක දිගින් දිගටම ගෙනයාම.
තම සටන් මගින් බලයට පත් කරගත් උදවිය අරමුණින් බැහැර වෙනවිට ඔවුන් විවේචනය කිරීම.
ඔවුන් නිවැරදි කළ නොහැකි නම් ඔවුන් පරදවා න නායකත්වයක් බිහිකිරීම.
මේ ක්‍රියාවලිය මැරෙන තුරු ඉදිරියට ගෙනයාම. (කළකිරී පැත්තකට යාමෙන් තොරව)
ඉතින්, මෙතුමා අපවත් වුනේ හිතේ කළකිරීමෙන් කියන අදහස මට නම් පිළීගන්න බෑ.
රවි ගෙ සටහන පරිපූර්ණයි...
ඩ්‍රැකී,
Deleteඔබ සෝභිත කාමුදුරුවන් ගන කිවයුතු කියල්ල අඩුවක් නැතුව කියල තියෙනවා..
මම නම් කියන්නේ රවීයියා ශෝක දින වගේ එව්වාට වඩා වැදගත් වෙන්න ඕනේ සෝභිත හාමුදුරුවෝ පතපු,දිගටම සටන් කරපු "සාධරණ සමාජය" බිහි කිරීම "යහාපාලකයින්ගේ"යුතුකම කියලායි.
ReplyDeleteමනෝජ්,
Deleteඔබ හරි.එහෙම තමයි වෙන්න ඕනෙ...:)
හොඳ ලිපියක්. සියල්ලටම එකඟයි.
ReplyDeleteසෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීම අහපු වෙලාවෙ, ගිය අවුරුද්දේ මේ කාලය වෙද්දි උන්වහන්සේ කල කාර්යභාරය මතක් වෙලා බොහොම කණගාටුවක් ඇතිවුනා. පළවෙනි වතාවට හාමුදුරු කෙනෙක් ගැන එහෙම හිතුනෙ.
ස්තූතියි රාජ්,
Deleteමටත් එක පාරට මතක් වුනේ ගිය අවුරුද්දෙ මැද හරිය වගෙ කාලෙ....:)
මහින්ද පරාජය කරන්නට සෝභිත හාමුදුරුවො කරපු කාර්යය භාරය ආණ්ඩුවට හරියට තේරෙන්නෙ නෑ. ඒත් මහින්දගෙ සට්ටඹියො හොඳටම දන්නව. පේනවනෙ කියන දේවල්....:)
sobitha hamudurewa wa rawattuwa ,
ReplyDeletehamuduruwoo rawatuna,
awasthawadeena bale gatta
රන්සකු,
Deleteහෙහ්...ඇත්තත් වෙන්න ඇති සමහර විට...:)
api midunemu e mudu ganayagen.. nathinam araka kare nathayi meka kare natheyi kiya kiya anda anda rata wate yanna thibba. ka bee preethi wemu
ReplyDeleteරන්සකු,
Deleteඒකත් හරි තමයි බලාගෙන යනකොට...;)
මට නම් එහෙම විශේෂ පැහැදීමක් හෝ නොපහදීමක් නැති හාමුදුරු කෙනෙක්.. එහෙම වෙන්න හේතුව මම ඔය කල කී දේ ගැන උනන්දු නොවීම කියන මගේ අවුල නිසා මිසක් හාමුදුරුවන් ගේ වරදක් නිසා නෙවෙයි... කොහොම වුනත් මරණය ගැන කණගාටුයි..
ReplyDelete