Tuesday, August 30, 2011

37. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......1




නිධාන කතාව නොහොත් පූර්වාපර සන්ධි ගැලපීම

වසර 2009,

ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්යාවක්,

පන්ජාබයේ සිට ශ්රී නගර් දක්වා දිවෙන මහා මාර්ගයේ කාශ්මීර ප්රාන්ත සීමාව අසල බොහෝ සෙයින් ජන ශූන්ය ප්රදේශයක්,

නිල් පැහැති ස්කෝඩා වර්ගයේ රිය මවිසින් මිලයට ගෙන තවම මසක් වත් ගෙවී නැත.වැළමිටි වංගු ගහන මාර්ගයේ රිය ධාවනය කොහොමත් අපහසුය. ඉර හැරුණු වහාම ඇරඹුනු කඩින් කඩ හිම පතනය නිසා ඇති වූ තුනී හිම තට්ටුව බෙහෙවින් ලිස්සන සුළු බැවින් එය තවත් අසීරු වේ.

මලානික හිරු එළිය නිසා අවට පැතිර ඇත්තේ අඳුරු පාළු ස්වභාවයකි.හිමෙන් වැසී ගිය පේනතෙක් මානයේ පැතිරීගිය කඳුමුදුන් බොහොමයක් වැසී ඇත්තේ රත් පැහැති පත්රයන්ගෙන් වැසීගත් තුඟු චිනාර් ගස් වලිනි.

මෝටර් රිය ඉතා සෙමින් ධාවනය වූ වද මාර්ගයේ ලිස්සන සුළු අනතුරුදායක ස්වභාවය නිසා මම මාර්ගය දෙසම ඉතා සැලකිල්ලෙන් නෙත් යොමා සිටියෙමි. එසේ වුවද,හදිසියේම නොසිතූ ලෙස පාර හරහා දිවගිය සාවකු නිසා එක්වරම තිරිංග තද කිරීමට සිදුවූයෙන් රිය ලිස්සා ගොස් මාර්ගය අසල වූ තණ බිස්සේ නතර විය.

එන්ජිම අක්රිය කල මම ඉදිරි වම්පස අසුනේ නිදන අපර්ණා දෙස සෙමෙන් හිස හරවා බැළුයේ ඈ අවදි වී දැයි දැන ගැනීමටය. නැත. ක්ෂණිකව රථය නැවැත්වීම නිසා ආසනයෙන් ලිස්සා ගියද ආසන පටිය නිසා ඈ දොරට බරවී තවමත් දැඩි නින්දේ පසුවූවාය.

සෙමින් ඇගේ හිස කෙලින් කල මම නලලත ද සිප ගතිමි. සිහිනෙන්ම මොනවාදෝ මිමිනූ ඈ නැවත හිස පසෙකට හරවාගෙන ගැඹුරට හුස්ම ගනිමින් නිදන්නට වූවාය.

රියෙහි දොර විවෘත කල මම හඬ නොනැගෙන පරිදි දොර වසා බොනට්ටුවට හේත්තු වී දුම් වැටියක් දල්වා ගතිමි.පෙණහළු පුරා දුම් පුරවාගත් ඉක්බිති මුවින් දුම් පිටකරමින් ඉදිරියේ ඇති කුඩා කඳු ගැටය මිහිදුමින් වැසෙන අයුරු බලා සිටියෙමි.

හදිසියේම මිහිදුම් පටල තුනී වී ගොස් මා ඉදිරියේ කඳු ගැටයේ මුදුනත පැහැදිලිව දර්ශනය විය. එක්වරම දෙනෙත් අදහා ගත නොහුනු මම අයාගත් දෙනෙතින් යුතුව කඳු මුදුණත දෙස බලා සිටියෙමි. කඳු මුදුනේ සතුරු හමුදාවක් කෙදිසාවකින් පැමිණෙන්නේ දැයි පරීක්ෂාවෙන් සිටින මුර සෙබලෙක් මෙන් වූයේ එකම එක චිනාර් ගසකි. අවම වශයෙන් අඩි අසූවකට නොඅඩු උසකින් යුතු වූ ඒ මහා වෘක්ෂය රත්වන් පත්රව වලින් අලංකාරව කඳු මුදුන මත නැඟී සිටියේ අවට පෙනෙන තෙක් මානයේ වූ සියල්ලෙහි එකම හිමිකරුවා ලෙසිනි.

මට අදහාගත නොහුනු කරුණ වූයේ මේ චිනාර් ගස මට හොඳින් දැක පුරුදු පැරණි මිතුරකුසේ හැඟී යාමය.එය කෙසේවත් සිදු විය නොහැක්කකි. මේ මම පලමු වරට කාශ්මීරයට පැමිණි වරයි.එසේම මම ඉන්දියාවට පැමිණ ගත වී ඇත්තේ ද වසර පහක් පමණි.

ශ්රී ලංකාවේ ඉපිද ජීවිතයේ මුල් වසර විස්සකට ආසන්න කාලයක් එහි ගෙවූ මට කාශ්මීරයේ ජීවිතයේ පලමු වරට දුටු මේ චිනාර් ගස බොහෝ කලක් ළබඳි මිතුරකුසේ හැඟෙන්නේ මන්ද?

කුඩා කළ සිටම මා සිත තුල ඉන්දියාව පිළිබඳව හටගත් ඇල්ම සහ ආකර්ෂණයට පැහැදිලි හේතු සාධක මට අද ද සිතා ගත නොහැක. එහෙත් ඉතිහාසය විශයයට ජයසේකර සර් ඉගැන්වූ මොහෙන්දෝජාරෝ, හරප්පා ශිෂ්ඨාචාරවල සිට මහා අක්බාර් ගේ මෝගල් අධිරාජ්ය, ගුප්ත අධිරාජ්ය ආදිය දක්වා භාරතීය ඉතිහාසය මාතුල ඇතිකලේ ත්රාසය, චමත්කාරය මුසු හරිහැටි විස්තර කිරීමට උගහට ආනන්දනීය හැඟීමකි.

පාසලෙහි දහවල් කාලයෙහි ඉගෙන ගත් මෝගල් අධිරාජ්යධයය පිළිබඳ කරුණු නැවත මෙනෙහි කරමින් පෙළ පොතෙහි අඩංගු රූප සටහන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් මා ගෙවූ සන්ධ්යාවන් සංඛ්යාව මෙතෙකැයි ගිණිය නොහැක.

මා සත්වන වසරේ දී සිදුවූවක් මට තවමත් ඉතා පැහැදිලි ලෙස ස්මරණය කළ හැක. මහා අක්බාර් ගේ පුත් ජෙහන්ගීර් පිළිබඳව එදින පාසලේදී ඉගැන්වූ අතර සවස මම ඇඳේ දිගාවී ඉතිහාස පොතෙහි ඒ පිළිබඳව නැවත කියවමින් සිටියෙමි.

මට නින්දට පත් වූවා ද නැතහොත් නින්දත් අවදියත් අතර පවතින අවිනිශ්චිත කලාපයේ පසු වූවා ද යන්න මට අදට ද විසඳුම් නොමැති ගැටළුවෙකි.හදිසියේම එකකට එකක් සම්බන්ධ නොමැති රූප පෙලක් මා දෑස අභියස දර්ශනය වන්නට විය. ඒ ඇත්ත වශයෙන් අප චිත්ර පටයක් බලා හිඳිනවාට වඩා සමාන වූයේ අඳුරු රැයක විදිලි කෙටීම් නිසා වරින් වර පෙනී නොපෙනී යන පිටත දර්ශන පෙලකටය.

අසුන් පිට නැඟගත් නොයෙක් තද පැහැති වර්ණයන්ගෙන් සැරසී ගත් සේනාවන් දෙකක් අතර බිහිසුණු සටනක්.......රන්කම් කල ශ්වේත වර්ණ ජටා පැළඳි හතළිහක් පමණ ප්රාංශු දේහධාරින් ගෙන් සැදුම්ලත් සභාවක මුලසුන ගෙන සිටිනා දිගු රැවුලැති ප්රතාපවත් පුරුෂයෙක්.......මා කිසිදාක නුදුටු පෙට්ටියක හැඩය ගත් සංගීත භාණ්ඩයක් කිරිගරුඬ වන් දිලිසෙන පාශාණ විශේෂයකින් නිමකල බිත්ති සහ බිමෙන් යුතු ශාලාවක එලූ පළසක එරමිණිය ගොතා හිඳ කන්කළු ස්වරයෙන් වාදනය කරන අතර නුපුරුදු වූ බසකින් ගීයක් ගයන තියුණු දෙනෙතකින් සහ ගෙල තෙක් කඩා හැළුණු රැළි වැටුණු කෙස් කළඹකින් යුත් නව යොවුන් තරුණයෙක්,ඔහු වයන ස්වරයට සහ ඔහුගේ ගායනයට අනුව දිගු රන්වන් පැහැති අත් සහ පා ලෙලවමින් දෑත රැඳි කණකමය වළලු සහ වළළුකර පැළඳි රජතමය නූපුර හඬවමින් රෑ කල අහස් කුස ඇදීයන විදුලි දහරාවක් මෙන් මනහර වූ රංගනයක යෙදෙන සුරූපි ළලනාවක්.......

ඒ රාජසභාවේ මුලසුනේ සිටි තැනැත්තා සහ කිසිදාක මා අසා නොතිබුණු භාෂාවකින් ගීයක් ගයමින් මා කිසිදා දැක නොතිබුණු සංගීත භාණ්ඩයක් වාදනය කළ කඩවසම් තරුණයා ට මගේ සිතෙහි එතරම් ළබැඳි හැඟීමක් නිරායාසයෙන්ම ඇති වූයේ මන්ද?.......එම නිසැකවම දැඩි ප්රේමයෙන් බැඳී සිටි තරුණ යුවල කවුරුන්ද?......ඔවුන් මෙසේ මා නෙත් අභියස මෙසේ දර්ශනය වූයේ මන්ද?..........ඉන්පසු කිසිම දිනක ඒ දසුන මා නෙත අබියස දර්ශනය නොවූ නමුදු කිසිදාක නොමැකෙන සේ මා සිත් තුල ඒ සනිටුහන් වී ඇත්තේ මන්ද?

ඉන්දියාව පිළිබඳව මා සිතේ බලපැවත්වූ ආකර්ෂණය කෙතරම් ද යත් උසස් පෙළ ප්රතිඵල අනුව ලංකාවේ විශ්ව විද්යාලයකට ඇතුල් වීමට ලැබුණු පහසු අවස්ථාව ඉවත දමා ඉන්දීය විශ්ව විද්යාල කිහිපයකට අයදුම් කළෙමි. ඒ අනුව ලැබුණු ශිෂ්යත්වයක් මත උත්තර් ප්රදේශ් හි අලහබාද් විශ්ව විද්යාලයට මීට වසර පහකට පෙර ඇතුල් වූයෙමි.මෙ වන විට මගේ මව් පියන් මියගොස් සහ එකම වැඩිමහල් සොයුරියද විවාහ වී සිටීම නිසා ලංකාව සමඟ සබඳතා අවම මට්ටමක පැවතීම දිවයින හැරදමා ඒමට රුකුලක් ම විය.

ඒ අනුව වසර පහකට පෙර අලහබාද් විශ්ව විද්යාලයේ පුරාණ සහ මධ්ය කාලීන ඉතිහාසය පාඨමාලාවට ඇතුළු වූයෙමි.අලහබාද් හි ගෙවුණු පලමු වසර කිසිදු විශේෂ හෝ සඳහන් කලයුතු සිද්ධියකින් තොරව ගෙවී ගිය අතර ලංකාවෙන් අවශ්ය ප්රමාණයටත් වඩා මුදල් ලැබුණු බැවින් මට ආර්ථික ගැටළුවක් ද නොවීය.මම අධ්යනය කටයුතු වල නොයෙදුනු කල්හි ඒ අසලින්ම ගලාගිය ගංගා සහ යමුනා ගංතෙර ඉබාගාතේ ඇවිදිමින්, අලහබාද් හි සුරූපී ඉන්දීය යුවතියන්ගේ රූ සපුව නරඹමින් සැහැල්ලු සහ කෙලිලොල් ජීවිතයක් ගත කළෙමි.

ඒ සියලු දෑ එක් සැනෙකින් වෙනස් වූයේ දෙවන අධ්යන වසර ආරම්භයත් සමඟය.

මතු සම්බන්ධයි...............

22 comments:

  1. ඉතින්...ඉතින්...අර පරන කාලේ පෙම් කතාවට වඩා වර්තමානේ පෙම් කතාව මාර ලස්සනයිනේ.

    පොඩ්ඩිත් ඔය ඉන්දියාවට මේ හැටි ආසා අතීතයේ ඒ පැත්තේ උන්නාවත්ද දන්නේ නෑනේ...:D

    හැබැයි අපට ගොඩක් දවස් බලාගන ඉන්ට නම් බෑ.

    ReplyDelete
  2. හ්ම්.. මේ අපර්ණාට ගිහින් තියෙන නින්දනම් එසේ මෙසේ නින්දක් වෙන්න බෑ. එකත් එකටම ඔය කඳුවැටිය ආශ්‍රිතව තියෙන අද්භූත ඓතිහාසික පසුබිම නිසා සිද්ද වෙච්ච දෙයක් වෙන්න ඕනේ... හ්ම්ම්... ඕක තමයි දැනට මගේ නිරීක්ෂණයට අහු උනේ... බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...

    වෙනස්ම විදිහේ අත්දැකීමක් මේ කතාන්දරයට ඇතුල් කරලා අපිට ගෙනාවට ස්තූතියි රවි අයියේ. මට අර 'නිම් හිම් සෙව්වා මා සසරේ' ගීතය ඇතුල් වෙච්ච චිත්‍රපටය මතක් උනා. රාවණ යුගයේ ඉඳන් වර්තමානයට ඔය වාගෙම ඒකේ කතාව ගලපලා තියෙනවනේ.

    ඉතුරු කොටස ඉක්මණට දාන්න හොඳද. අර පොඩ්ඩි අක්කා කිව්වා වගේ 'අපට ගොඩක් දවස් බලාගන ඉන්ට නම් බෑ.' :D

    ReplyDelete
  3. ඉක්මනට ඉතුරු ටික ලියන්ඩෝ...............................ගොඩක් කල් බලන් ඉන්න බැරියෝ
    ...........DarkLight.............

    ReplyDelete
  4. Sha...මාරයි ඈ..!!
    කෝ ඉතිං ඉතිරිය..ලියන්ටකෝ

    ReplyDelete
  5. ඉතිරි ටික ලිව්වාම කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
  6. පරන හින්දි ෆිල්ම් එකකුත් තිබුණා නේද මේ යටින් යන කතාව වගේ?
    නීල් කමල්?

    ReplyDelete
  7. අනේ හරි ලස්සනයි ..ඔන්න ඉතින් හින්දි චිත්‍රපටියකට හොඳ කතාවක් මැවිගෙන එන්නේ

    ReplyDelete
  8. . මමත් ඉතින් වැඩි කතා නැතිව මේක කියවන්නයි හදන්නේ .. කියවන්න කලින්ම ඔන්න කමෙන්ට් එක දැම්මා .. හික් ..

    රවී ලියන දේ ගින්දර වගේ කියලා මම දන්නවා

    ReplyDelete
  9. @ Podi Kumatihami,

    ස්තූතියි පොඩ්ඩි.......හැමදාම ඇවිල්ල මාව දිරිමත් කරනවට......බොහොම වෙලාවට ඔයාගෙ තමයි පලවෙනි කමෙන්ට් එක......එහෙම නැත්නම් අනිවාර්යයෙන් මුල් කමෙන්ට් පහෙන් එකක්.........

    ඊට අමතරව මේ කතාව ගැන කියනව නම් ඔයාට විශේෂයෙන්ම ස්තූති කල යුතුමයි....ඔයාගෙ අනර්කලී-සලීම් පෙම් පුවත නැතිනම් කවදාවත් මගෙ අතින් මේ කතාව ලියවෙන එකක් නෑ.

    You were the inspiration behind this story, Poddi, Nothing of this would have been possible if not for you, Thanks again Poddi, A thousand thanks,

    / පොඩ්ඩිත් ඔය ඉන්දියාවට මේ හැටි ආසා අතීතයේ ඒ පැත්තේ උන්නාවත්ද දන්නේ නෑනේ...:D /

    හෙහ්...හෙහ්.....ඉන්දියාවෙ කලින් ඉපදිල නේද?......කවුද අප්පා හරියට කියන්ට දන්නෙ?......Nothing is Impossible,

    මගෙත් විස්තර කරන්ට බැරි ඇල්මක් තියෙන්නෙ ඉන්දියාවට......සංසාර පුරුද්දක්ද අනේ මන්ද.......

    / හැබැයි අපට ගොඩක් දවස් බලාගන ඉන්ට නම් බෑ. /

    ඉන්ඩකො ඈ පොඩ්ඩි, පොඩ්ඩක් ඉවසල...... ඊළඟ කොටස දානකල්.............හොඳ ලමය වගේ......හෙහ්, හෙහ්,

    ReplyDelete
  10. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    බොහොම ස්තූතියි නංගි ඔබටත්.......ඔබ මට දෙන දිරි ගැන්වීම කියල නිම කරන්ට බැහැ.....මේ ඇත්තම ඇත්ත,

    / මට අර 'නිම් හිම් සෙව්වා මා සසරේ' ගීතය ඇතුල් වෙච්ච චිත්‍රපටය මතක් උනා. රාවණ යුගයේ ඉඳන් වර්තමානයට ඔය වාගෙම ඒකේ කතාව ගලපලා තියෙනවනේ. /

    ඔබ හරි...නංගි....චිත්‍රපටය...සීතාදේවි, මේ එහි ඔබ සඳහන් කල ගීතය...ගායනය - පණ්ඩිත් අමරදේවයන්....පද මාලාව - ඔගස්ටස් විනයාගරත්නම්,

    http://www.youtube.com/watch?v=enYsTV5I7y8&feature=related

    / ඉතුරු කොටස ඉක්මණට දාන්න හොඳද. අර පොඩ්ඩි අක්කා කිව්වා වගේ 'අපට ගොඩක් දවස් බලාගන ඉන්ට නම් බෑ.' :D /

    ඉන්ඩෝ..ඉන්ඩෝ...විජහට දාන්නම්,

    ReplyDelete
  11. .@ Anonymous - Dark Light,

    .@ ඉන්දික,

    .@ හා පැටික්කි ( MS )

    හරි, හරි, දාන්නම්,දාන්නම්,

    ReplyDelete
  12. .@ neetha,

    හරි නීතා.......ඔබටත් ස්තූතියි,

    ReplyDelete
  13. @ කතන්දර Kathandara,

    ස්තූතියි කතන්දර ඔබගේ ලින්ක් එකට.....ඔබ හරි, නීල් කමල් කියන්නෙත් මේ හා සමාන කතාවක් තමයි.

    ReplyDelete
  14. @ Bindi,

    / ඔන්න ඉතින් හින්දි චිත්‍රපටියකට හොඳ කතාවක් මැවිගෙන එන්නේ /

    ස්තූතියි බින්දි...නරකම නෑ අදහස...අපේ පෙරකදෝරු නෝන මහත්තැංට කියල බලන්ට ඕන ඔය බොලිවුඩ් දිහාවෙ කරක් ගහන වෙලාවෙ ඒ ගැන ඩිංගිත්තක් හොදි විසි කොරල බලන්ටෙයි කියල....හෙහ්, හෙහ්,

    ReplyDelete
  15. @ සඳරු

    / මමත් ඉතින් වැඩි කතා නැතිව මේක කියවන්නයි හදන්නේ .. කියවන්න කලින්ම ඔන්න කමෙන්ට් එක දැම්මා .. හික් .. /

    හෙහ්..හෙහ්....ඒකත් හරි තමයි බලාගෙන යනකොට, ආයෙ මොකටද වද වෙන්නෙ නැද්ද, මලේ?

    මමත් හිතාගත්ත උඹේ කෙරේමෙ අනුගමනය කරන්ට....ඒ කිව්වෙ මීට පස්සෙ උඹ කමෙන්ට් කරන්ට කලින්ම උඹට ඉස්තූතියි කියන්ට......හෙහ්, හෙහ්,

    වැඩේ තව දුරට ගෙනිච්චොත් මෙහෙමත් කලෑකි බොල.........කොහොමද මම පෝස්ට් එකක් ලියන්ට කලින්ම උඹ කමෙන්ට් එකක් දැම්මොත්....හෙහ්, හෙහ්, එළ අයිඩියා පොඩ්ඩ නෙවද?

    ReplyDelete
  16. මේ දවස්වල හොඳටම වැඩ. බ්ලොග් පෝස්ට් සෑහෙන්න මිස් වෙලා. ඒත් නොකියවා කොහොම යන්නද මෙහෙම රහට ලියනකොට. කියෙව්වට විඳින්න තරම් වෙලාවක් නෑ. ආයෙම එන්නම් විඳලා යන්න.

    ReplyDelete
  17. රවි අයියේ, ඔය කන්ද පාමුළට වෙලා ගහ දිහා බලාගෙන ඉන්න කොට එයාට මෙන්න මෙහෙම හිතුණද කියලා පොඩ්ඩක් අහන්නකෝ...

    හිස වසා සිටි සුමුදු මිහිදුම්
    සේල අතුරින් හිනැහෙනා
    සොඳුරු දිගැසියකගේ නෙත් කොන්
    බැල්මකින් මා දෙස බලා

    හුරු පුරුදු අමතක මතක පිරි
    කඳු ගැටය මුදුනට වෙලා
    හමන මද නල පදට රඟ දෙන
    මහා තුර මා අමතනා

    නූපුරින් වැසි ලලිත සුකොමළ
    දෑත් මෙන් අතු නැළැවෙනා
    රඟ දෙනා අතැඟිලි විලාසෙන්
    ලදළු තුරු පත් ලෙළ දෙනා

    මුමුණනා ගී නාද රාවෙන්
    සර සරය කන් පිනවනා
    සසර සුපුරුදු සොඳුරු හැඟුමන්
    හදේ පිබිදී කොඳුරනා

    ReplyDelete
  18. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    / රවි අයියේ, ඔය කන්ද පාමුළට වෙලා ගහ දිහා බලාගෙන ඉන්න කොට එයාට මෙන්න මෙහෙම හිතුණද කියලා පොඩ්ඩක් අහන්නකෝ... /

    එයාට හිතිච්චි එක නම මම අහන්ට ගියේ නෑ නංගි.......හෙහ්, හෙහ්,

    ඒත් අර කඳු ගැටය මුදුනෙ තිබ්බ චිනාර් ගහ නම් මෙන්න මෙහෙම මුමුණනව මට අර සීතල සුළඟ අතරින් යාන්තමට වගෙ ඇහුන.........

    සන්තූර නද වැයෙනු ඇසුවෙමි,
    සිව්සියක් වසරට එහා,
    ලෙලෙන රන්දම් සේ වූ ඒ ළඳ,
    රඟනු දුටුවෙමි නෙත් පබා,

    එදින සිට මේ පාළු හිමගිර,
    හුදකලාවම සිටියෙනා,
    වැටෙන හිම කැට පමණි තනියට,
    හිඳිමි මතකය ඇවිලෙනා,

    මියෙන්නට පෙර ආයෙ දවසක,
    ඒ දසුන මා නෙත් පුරා,
    දකින්නට පාරමී පුරනෙමි,
    එපමණකි පැතුමන් සදා,

    ආදරය කිසිදාක නොමියන,
    බව පසක් කලෙමිය එදා,
    ආදරය යලි කිරුළු පලඳින,
    තෙක් හිඳිමි සෝ දුක් දරා,

    ReplyDelete
  19. හිසනමා පිළිගැන්වෙන මගේ ආචාරය කාරුණිකව පිළිගන්න ඔබට බෙහෙවින්ම ස්තූතියි,

    ReplyDelete
    Replies
    1. Jag,

      ඔබටත් ස්තූතියි!!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...