Tuesday, August 23, 2011

80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා


79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය


මම අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 1998 වර්ෂයේදීය. ඊට දෙවසරකට පෙර අප විසින් වාණිජ්‍ය හා ගිණුම් හෝ ගෘහ විද්‍යාව යන විෂයයන් දෙකින් එකක් තෝරා ගත යුතු විය. පවතින රැල්ල අනුව 'හපෝ ගෘහ විද්‍යාව කරලා මොනවා කරන්නද කොමර්ස් කරහන්' යන අවවාදය මිස අනෙක් අතට ලැබුනු අවවාද නොවුනු තරම් වූ නිසාවෙන් මාද වාණිජ්‍ය හා ගිණුම් තෝරා ගතිමි.

පංතියේ ළමුන් මුල පටන්ම අමතර පංති වලට සහභාගී වන්නට විය. මා ද පංති කිහිපයකට වරින් වර ඇතුලත් කෙරුණද ගුරුවරුන්ගේ වරදින් හෝ මගේ මොට්ට කම නිසාවෙන් ඒ පංති මා හට තවදුරටත් රැඳී සිටින්නට සුදුසු තැන් නොවන බව මා හට වැටහෙන්නට විය.

නොදැනීම දෙවසර ගතවිය. පන්තියේ ළමෝ ගණකාධිකාරවරියන් වෙන්න ඔන්න මෙන්න වාගේය. මට වාණිජ්‍ය හා ගිණුම් හී මළ පොතේ අකුරක් බැරි සේය. වාණිජ්‍යයේ නම් යම් යම් කොටස් කටපාඩම් කලෙමි. ගිණුම්කරණය නං මට වහ කදුරු සේ විය.

සාමාන්‍ය පෙළ විභාගය ඉතාමත් ආසන්නයේදී පංතිභාර ගුරුතුමිය (ඇය අපගේ ශ්‍රේණිභාර ගුරුතුමියද වූවාය) කැඳවූ වාණිජ්‍ය ඉගැන්වූ ගුරුතුමිය සියලුම ළමුන් ගැන අදහස් පළ කරන්නට විය. මාගේ වාරය පැමිණි කල ඇය,

"ආ මෙයාද, මෙයාට ඇස් එකක් තියා ඇෆ් එකක්වත් මට නං ෂුවර් නැහැ මිස්"

යනුවෙන් අත් දෙකම විදහා පාමින් පැවසුවේ මා පංති භාර ගුරුතුමියගේ මුව විශ්මයෙන් අරවා තබමිනි. ඒ කථාබහ අවසාන විය. පසුව පංතියට පැමිණි පසු පංතිභාර ගුරුතුමිය මා කැඳවූවාය.

"බලන්න රන්දිමා (ඇය මා ඇමතුවේ රන්දිමා නමිනි) ඇයි ඔයාට කොමර්ස් මිස් එහෙම කියන්නේ? මං ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ මිස් කියනවා ඔයාට එස් එකක්වත් ගන්න බැහැ කියලා" ඇය කණගාටුවෙන් විමසා සිටියාය.

"අනේ මිස් මට කොමර්ස් මොකුත් තේරෙන්නේ නැහැ. ඒ මිස් කියලා දෙන්නෙත් නැහැ. මං පංති යන්නෙත් නැහැ. අනිත් ළමයි පංති යනවා. ඒ ළමයි එක්ක මිස් යනවා. මට නොතේරෙන බවවත් මිස්ට තේරෙන්නේ නැහැ මිස්. මට ඔය මිස්ව පේන්න බැහැ මිස්" අපට බෙහොම ලෙංගතු විද්‍යා ගුරුතුමිය වූ අප පංතිභාර ගුරුතුමිය හමුවේ මම මගේ සැබෑ සිතුවිලි දිග හැරියෙමි.

"හා හා ටීචර්ස්ලාට එහෙම කියන්න එපා. ඔයා අම්මා එක්ක කථා කරලා දැන්වත් මොකක් හරි පංතියකට යන්න බලන්න. නැත්තං අපරාදෙනේ. එකක්වත් ෆේල් වෙන්න ඕනෑ ළමයෙක් නෙමෙයි ඔයා" ඔන්න දැන් මට ඇඬෙන්න වාගේය. 'එකක්වත් ෆේල් වෙන්න ඕනෑ ළමයෙක් නෙමෙයි ඔයා' ඒක ඇත්තටම වටිනා රෙකමදාරුවක් නේද?

එදින මම අම්මාගේ කන්තෝරුවට ගිය විගස මේ සියල්ල පැවසීමි. අම්මා සාවධානව අසා සිටියාය. අම්මලා හඳුනන ගුරුතුමෙකු අම්මාගේ කන්තෝරුව අසල පිරිමි පාසලක වාණිජ්‍ය විශය භාර ගුරුමහතා විය. (ඔහු ව අප අමතන ලද්දේ ඉස්කෝලේ අංකල් නමිනි) මෙයට පෙරත් ඔහු වෙතින් අමතර පංතියක් සඳහා විමසුවද ප්‍රතිපත්තියක් හැටියට පංති නොකරන නිසාවෙන් එවැන්නක් කල නොහැකි බව කාරුණිකව ප්‍රතික්ශේප කෙරිණ. ඇත්තටම අම්මා මෙයට පෙර සිතා සිටියේ මා යහපත් අන්දමින් මෙම විෂයද හදාරණ බවයි. එදින මා පෑ කරුණු අනුව නොසිතූ ලෙස තුවාලය අසාධ්‍ය වී ඇති බව ඇය වටහා ගත්තාය.

"අපි යමු ඉස්කෝලේ අංකල් ව හම්බු වෙන්න" හවස අම්මාගේ කන්තෝරුව ඇරුණු පසු අපි සියලු දෙනාම ඉස්කෝලේ අංකල් හමුවීමට ගියෙමු.

"අනේ ඉස්කෝලේ මහත්තයා, දුව මෙච්චරක් කල් කිව්වේ නැහැ, එයා කොමර්ස්වලට ගොඩක් දුර්වල වෙලා. විෂය භාර ටීචර් කියන්නේ කොමර්ස් ෆේල් වෙයි කියලා. කොහොම හරි එස් එකක් ගන්න හරි මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?"

කාලය මද බව පවසා මදක් කල්පනා කල අංකල් එළඹෙන සෙනසුරාදා අප නිවසට පැමිණෙන බව පවසා අපව පිටත් කරවීය.

අංකල් පැමිණියේය. මුදල් පොත හෝ එවැනි නමක් ඇති ගණනක් මට හොඳින් කියා දුන්නේය. එඑම ගණනට ලකුණු 30ක් ලැබෙන බැවින් එය මූලික කරගෙන අනෙකුත් කාරණාද කෙටියෙන් හඳුන්වා දුන්නේය. අවසාන ප්‍රථිඵලය ලෙස මම සම්මාන සාමාර්ථයක් සමගින් සාමාන්‍ය පෙළ වාණිජ්‍ය හා ගිණුම් කරණය සමත්වීමි.

අවශ්‍යම අවස්ථාවේදී කළ යුතු හොඳම දේ අම්මා තෝරා ගත් නිසා සාමාන්‍ය පෙළ එක විෂයකකට හෝ සම්මාන නොලැබී යෑමේ අවාසනාවේන් මා ගැලවුනේ මේ අවස්ථාවේදී පමණක් නොවෙයි.

මේ කථාව අද ලියන්නට හිතුනේ හා පැටික්කි ඊයේ දිනයේ මා විසින් පළ කරන්නට යෙදුනු ලිපියට දුන් ප්‍රතිචාරය දුටු විටයි. අම්මලා කියන්නේ පුදුම කොට්ඨාශයක්. ඒ අම්මලා ම, නංගිලා, අක්කලා, දුවලා, නැන්දලා, ලොකු අම්මලා ආදී වශයෙන් කුමන විදිහේ චරිත නිරූපණය කලත් අම්මලා හැටියට නිරූපණය කරන්නේ එකිනෙකා පරයා යන විදිහේ අනභිභවනීය චරිත.

ගණිතයට අට වන වසරේ පමණ සිට සහභාගී වූ අමතර පංතිය මා හට හොඳ වූ නිසාවෙන් ඒ පිළිබඳව ගැටළුවක් නොවීය. එහෙත් විද්‍යා විෂය යම් පමණකට ගැටළුකාරී අවස්ථා මතුකරන බව මා වටහා ගත්තේ 10 වන වසරේදී පමණය. මේ සඳහාද මෙවරද අම්මා මගේ පිහිටට සිටියාය. සමහර කරුණු ඇය මට පහදා දුන්නාය. සමහර කරුණු හිදී ඔළුව හිල්වෙන තරමේ ටොකුද ඇන්නාය. එලෙස ටොකු ඇනද පහදා දිය නොහැකි තැන් ඇති බව මදින් මද අප දෙදෙනාටම පැහැදිලි වූයෙන් අම්මා පංති ගැන සොයා බැලුවාය. ඒ පංතිද මට හරි ගියේ නැති තරම්ය. අවසානයේ අම්මාගේ කන්තෝරුවේ අංකල් කෙනෙක්ගේ නෝනා මහත්මියක ඔවුන්ගේ නිවසට පැමිණියහොත් මට ඉගැන්විය හැකි බව පැවසුවාය. අම්මා ඒ උපකාරය සතුටින් භාර ගත්තාය.

ඔවුන්ගේ නිවස තිබුනේ අපේ නිවසට බොහොම ආසන්නයේය. ඇත්තටම කිවහොත් විස්ථාපනය ලෙසින් ගතහොත් බොහොම ආසන්නයේය. දුර ලෙසින් ගතහොත් විස්ථාපනය මෙන් 5ගුණයකටත් වැඩිය. බස් එකක් යන්නේ එහෙමත් වෙලාවකටය. අවසාන‍යේ සිදු වූයේ කුමක්ද? මාගේ සිත්ගත් එම පන්තියට සහභාගී වීමටත් නැවත ගෙදර ඒමටත් අප දෙදෙනා සෙනසුරාදා මුළු දවසම ගත කෙරුවෙමු. පයින්ම ගොස් පයින්ම ඒම හැර වෙන විකල්පයක් නොවීය. අම්මා මාගේ දියුණුව පතා එසේ ඒ දුර දුරක් ලෙස නොසලකා මා සමඟ ආවාය. ගියාය. විභාගය ආසන්න වනතුරු මම ඒ පංතිය සහභාගි වූ අතර ඒ මුළු කාලයම අම්මා මාත් සමඟ ආවාය.

අම්මා මං පොඩි කාලේම මට හුරු කරවු දෙයක් තමයි පිටපත් ලිවීම. හැමදාම හවසට පොතක් හෝ පත්තරයක් බලාගෙන ‍පිටුවක් පිරෙන්න ලිවීම මට අනිවාර්යය වූ දෙයක්. 6 වසර හෝ 7 වසර වනතුරු ඒ සඳහා ලැබුණු ලකුණු කවදාවත් 5/10 ඉහළට නොගිය තරම්. ඒත් අම්මාගේ අණ යටතේ මම හැමදාම වාගේ ලියුවෙමි. අවසානයේ මට වැඩිම ලකුණු හිමි විය. ඒ 8/10කි. අනතුරුව අම්මා පැවසුවේ මම ඇති තරම් ලියා ඇති බවයි. ඒ බව සනාථ කරමින් 1996 වසරේදී දහම් පාසල් තරඟාවලියේ අත් අකුරු තරඟයෙන් පළමුවැනි තැන මට හිමි විය. අම්මා එදින නිහතාමානීව ලොකු සතුටක් වින්දාය.

දැන් දැන් මට සිංහල අතින් ලියන හැටි අමතක වී, අකුරු හකුරු විගෙන ආවත් අම්මා විසින් හුරු කරවු ඒ පුරුද්ද නිසා කියවීමට, රචනා ශෛලියෙන් යමක් ලිවීමට මට මනා වූ පුරුද්දක් උරුම වූ බව සිතේ. ඇත්තටම පෙරකී තරඟාවලියේදී ගද්‍ය රචනා අංශයෙන්ද ප්‍රථමස්ථානය මට ම හිමි වීමද අම්මාගේ සිත තව තවත් අමන්දානන්දයට පත් කරවන්නට හේතුවන්නට ඇත.

අද මේ සටහන් කෙරෙන දෙයත්, මීට එපිටින් මේ අවකාශයේම මා විසින් සටහන් කරන්නට යෙදුන යම් දෙයක් වේ නම් ඒ දේවලුත් අම්මා විසින් මුල් වරට මට අකුරු ලියන්නට කියා දුන් දවසේ සිට පසු කලෙක පිටපත් ලිවීමට හුරු කරවීම හරහා ආ ගමනේ ප්‍රථිඵල නොවෙද?

දරුවෙකුගේ ජීවිතය යන මඟ තීරණය කරන තීරණාත්මක පුද්ගලයා අම්මාය යන්න මගේ සිතුවිල්ලයි.

12 comments:

  1. කියන්න දෙයක් හිතාගන්න බෑ අක්කේ.... :)

    ReplyDelete
  2. සදාදරණීය මවක වෙනුවෙන් දියණියකගේ සිතක රැඳි කෘත ගුණ සුවඳ..........ලස්සනයි රන්........ඇත්තටම ලස්සනයි,

    ReplyDelete
  3. පිටපත් ලිවීම මගේ තාත්තාගෙන් මට ලැබුනු සුන්දර පාඩමක්. මොනවා හරි පොරොන්දු වෙලා තාත්තා මා ලවා පිටපත් ලියන්න පටන්ගත්තේ මම තුන වසරේ විතර ඉන්න කොට. ඉස්කෝලෙදී අපේ පන්තියේ මුලින්ම පෑනෙන් ලියන්න අවසර ලැබුණ ළමයින් කිහිප දෙනා අතරට මමත් ඇතුළු වුනේ ඒ නිසා වෙන්න ඇති. එයින් පස්සේ පිටපත් ලියන්න තාත්තා මට ටොපි දෙන්නම්, චොකලට් දෙන්නම් වාගේ පොරොන්දු දෙන්න ඕන උනේ නෑ. කලා උළෙලවල් වලින් අත් අකුරු තරඟ වලින් දිනලා ආඩම්බරෙන් සහතික අරන් ආවේ මගේ තාත්තාට පින්සිද්ද වෙන්න. ඉස්කෝලෙ කාලෙදී ගොඩක් දෙනා බලලා ලස්සන අකුරු කියලා කියන තරමේ අකුරු මට තිබ්බත් දැන් ඒ අකුරු වලට වෙලා තියෙන්නෙත් අක්කාගේ අකුරු වලට වෙලා තියෙන දේම තමයි.

    මගේ අම්මගෙනුත් මට ලැබුණ ගොඩාක් දේවල් තියෙනවා, මැහුම් ගෙතුම් අත්වැඩ එහෙම. පතේ පොතේ වැඩට තාත්තගෙන් හුරුව ලැබෙද්දී අම්මාගෙන් මම ඒ දේවල් ඉගෙනගත්තා. ඒ ගැන අද මතක් කරද්දී කොයි තරම් ආදරේ හිතෙන කෘතුගුණ පූර්වක හැඟීමක් එනවද. මේ වගේ දේවල් ගැන ආයෙ ආයෙත් මතක් කරන්න ඉඩක් ලබා දුන්නට ස්තූතියි රන්දි අක්කේ.

    ඔයාගේ මතකයන් ඇසුරෙන් ලියවෙන මේ ලිපි ගොඩාක් ලස්සනයි, හරිම සංවේදියි. අපි හැමෝගෙම ආශිර්වාදයත් අරන් ඔයාගෙ අම්මා ඉක්මණින්ම සුව වේවි.

    ReplyDelete
  4. ඔව් සහතික ඇත්ත.මාත් මගේ අම්මා විසින් හුරු කරපු පොත් පත් කියවීම තාමත් කරගෙන යනවා.ඒ වගේම ඒ තුළින් ලබා ගත් දැනුම විස්තර කල නොහැකි තරම්.
    ගද්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීම ගැන සතුටුයි..මටනම් ගද්‍ය තරගයකින් ලබා ගත හැකි වුන උපරිම මට්ටම 3වෙනි ස්ථානය තමයි.ඒත් අදින් අවුරුදු 12කට විතර එපිට.

    ReplyDelete
  5. එයාගේ ප්‍රතිඵල ගැන commerce Teacher ට කිවුවේ නැද්ද?

    ReplyDelete
  6. මටත් උනේ ඔය සන්තෑසියම තමා. මං බොහොම ආසාවෙන් බලන් හිටියේ ගෘහ ආර්ථික විද්‍යාව කරන්න. ඒත් අවාසනාවට හැමෝම අම්මත් ඇතුළුව විරුද්ධ උනා ඒකට. මං ඒකට පුදුම තරහින් හිටියේ. හැමදාමත් හෝම් සයන්ස් කරන්න යන ළමයි කරන ඒවා එයාලගෙන් අහලා බලනවා. මං අනික් අයගේ උවමනාවට කරන නිසාම කොමස් වලට පන්ති ගියේ නැහැ. ඒත් ඉස්කෝලේ ටීච හරිම හොඳයි. ටීචටත් මම කිව්වා මං ආස හෝම් සයන්ස් වලට කියලා. ටීච කොහොම හරි මං පන්තිත් නොයන බව දන්න නිසාම පැහැදිලිව හැම පාඩමක්ම වගේ කලා. අන්තිමට පන්ති ගිය ඇතැම් අයට තිබුන සම්මාන සාමාර්ථයම මටත් තිබ්නා. හැබැයි මං නම් අදටත් ඒ ගැන සතුටක් නැ.

    අක්කට කියන්න මට කොර්මස් කිව්වත් අප්පිරියයි. බැංකු ඈක්කා...... තාත්තා හදන ඔය එක එක රිපෝට් ඊක්කා.......

    පොත් පත් කියවන්න නම් නිකම්ම හුරු උනා අයියා හිටි නිසා. හැබැයි පස්නේ සියළු පොත් වල අයිතිය ඔහු සතුය.:(

    ReplyDelete
  7. බොහෝ කැපවීම කර දරුවන් ඔසවා තැබූ හැම දිරිය මවකටම ඔබේ සටහන උපහාරයක් වේවා නංගී.

    ReplyDelete
  8. ඔයා අම්ම ගැන ලියන විදියට හා ඔයාගෙත් අම්මගෙත් සම්බන්දතාවය පැහැදිලි කරන විදියට මම කැමතියි . අම්ම කියන චරිතය සහ ඇගේ ආදරය ෆැන්ටසයිස් නොකර පොලවෙ පය ගහල ඉන්න දරුවො වෙනුවෙන් දුක , සතුට ,වෙදනාව, කේන්තිය අත්විඳින චරිතයක් හැටියට අම්මව පෙන්නන විදිය හරි ලස්සනයි

    ReplyDelete
  9. බොහොම සතුටක් දැනුනා ප්‍රතිචාර දුටුවහම.... හැමෝටම තමන්ගේ ඒ කාලේ සිහි වෙලා නේද?

    සංජු ප්‍රශ්නයක් අහලා තියෙනවානේ, කිව්වා කිව්වා ඉස්කෝලේ ඇතුලේ මගදි හමුවෙලා කිව්වා, ටීචර් ම්හ් හා හොඳයි කියලා දිව්වා වඳින්නවත් හම්බු‍වුනේ නැහැ........... හි හි

    හසී, රවී අයියා, ගල්මල් අයියා ස්තුතියි ඔබේ අදහස් දැක්වීම් වලට..........

    සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත, සතුටුයි නේද ඒ කාලේ සිහිවුනාම? ස්තුතියි නංගි ඔයාගේ සුභ පැතුමට

    සිතුවම්, සතුටුයි ඔයාගේ ජයග්‍රහණය ගැන

    හා පැටික්කියේ අපි දෙන්නාම එකම බෝට්ටුවේ වගේ නේද?

    ReplyDelete
  10. ටීජී,

    මට පුදුමයි ඔබේ කොමෙන්ටුව ගැන. ඇත්තටම මං ඉදිරියේදී ලියන්න ඉන්න සමහර දේවල් ගැන ඔබට දැනටම හැඟිලා වගෙයි මට දැනුනේ

    ReplyDelete
  11. පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියල හිතෙන්නේ නැද්ද ?
    අපෙත් අම්ම තමයි ඔය වැඩ වලදී අපිට තල්ලුව දුන්නේ හැබැයි ඒ අපේ තාත්ත සැර නිසා .. මන් දැන් තාත්තනේ. මගේ දුවට තල්ලුව දෙන්නේ මමයි.. එයා ඕ ලෙවල් කරනකොට සයන්ස් කලත් ආර්ථික විද්‍යාව කරන්න සිදු උනා අනිවාර්ය එකක් හැටියට. හොර කෙල්ල පත්තරයක් වත් බලන්නේ නැති හින්ද අන්දෝ සංසාරයක් තේරෙන්නේ නැහැ මේක. ඉතින් සිංහලෙන් ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත මන් එයාට බැන බැන උගන්නන්න ගත්ත.. ඉවර උනේ A + එකකින්.. එයා A ලෙවල් කරන්න පටන් ගන්නකොට ad මැත්ස් හරි අමාරු උනා. එයාගේ වයස යන්තන් පහළොවයි.. ටීචර් මට කියනවා මෙයට නම් මැත්ස් කරන්න බහ කියල.පන්තියේ අනිත් ඔක්කොම 20+ ය. මම ඇහුව ටීචර්ගෙන් ඔයා දන්නවද මෙයාගේ වයස 15 යි කියල ? ඔන්න එතකොට ටීචර්ට ඇස උද ගියේ.. මන් එයාට කිවුව මගේ දුව ඉන්න තැනම.. මගේ දුව මේ සබ්ජෙක්ට් එකට A ගන්නවා මොක් එක්සැම් එකෙන්.. කියල. ටීච හිනා උනා මොකුත් කිවුවේ නැහැ. මම ගෙදර විත් දුවට කිවුව ඔය තාත්තගේ දුව නම් ගන්න ඒ අබියෝගේ.. ඔයාට පුළුවන් කියල.. ඇත්තටම කෙල්ල A + ගත්ත.. එදා අර ටීචර් මුළු පන්තියම නැගිට්ටවල එයාට අත්පොලසන් දෙන්න කිවුව.. අන්න එහෙමයි තාත්තගේ ආදරේ..

    ReplyDelete
  12. තාත්තා ගැන මතක නැතුව නෙමෙයි සරත් මහත්මයා............ කොයිකටත් ඇඟට ගුණයි අම්මා ගැන ලියලා ඉවර වෙලා තාත්තා ගැන ලියන එක.............. ඒකයි මුලින් අම්මාගෙන් පටන් ගත්තේ........... දන්නවා නෙව අම්මලාගේ හැටි සෝභාව ඉතිං.......... :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...