Friday, February 3, 2012

97. ආදර....නිල්.....දෑසේ.......18 - I am going away with only sweet memories to keep me company for the rest of my life.....



'' රවි අයිය කොයි වගේ ද කියල බලාගන්ට මට පුදුම ඕන කමක් තිබ්බෙ....''

චුට්ටි මා දිහා බලල හිනාඋනා...

'' ඒත් ඒක පොඩි අයියට කෙලින්ම කියන්ට බැරුවයි මම හිටියෙ...ඒත් දන්නවද වෙච්ච දේ? දවසක් මම ඇඳේ පොතක් බල බලා ඉඳිද්දි පොඩි අයිය මට ෆොටෝ එකක් ගෙනත් දුන්න....එතකොට එයා ටෙක් එකෙන් අයින් වෙන්න ඔන්න මෙන්න...චුට්ටි දැක්කද අපේ ටෙක් එකේ බැච් එකේ කට්ටිය.....කොල්ලො කෙල්ලො විස්සක් විතර හිටිය ඒකෙ. මට අහන්ටත් බෑ කෙලින්ම රවි අයිය කවුද කියල...මම කවුද මෙතනින් රවි අයිය කියල හිත හිත ඉන්නකොට පොඩි අයිය කාමරෙන් එළියට යන ගමන් ඔතන මට එහා පැත්තෙ බ්රවුන් පාට චෙක් ෂර්ට් එකක් ඇඳල ඉන්නෙ රවී කියල කියාගෙන ගියා. ''

'' හෙහ්, වසන්ත එහෙම කිව්වද? ''

'' ඒකනෙ කියන්නෙ...ඒකයි මට සහතිකයි කියල මම කිව්වෙ පොඩි අයිය මේ ගැන දන්නව...එයා මේ ගැන දන්නවයි කියල මම දන්නව කියලත් එයා දන්නව...''

'' රවි අයිය ඒකෙ ඇඳල හිටියෙ පරණ හමගිය ඩෙනිම් එකක්...හි හික්...''

ඔන්න ඉතිං මේකි එක්ක බැරි ඕකනෙව...මෙච්චර සිරා කතාවක් යනව ....අපි දෙන්නගෙම ඉරණම විසඳෙන බරපතල කතාවක්....මේ කෙල්ල මම හමගිය ඩෙනිමක් ඇඳල හිටිය කෙහෙල්මලක් කියල හිකි හිකි ගානව..අම්මප, මට එන කේන්තියක්.....

'' මේ දැන් මෙතන තියන ප්රශ්නෙ මගෙ ඩෙනිම් එකද?.....ඒකද වැදගත්?.....ඔයා කතාව අද ඉවර කරන්ට කල්පනාවක් එහෙම නැද්ද?....''

මම ටිකක් සැර පෙන්නුවා....කෙල්ලො කොන්ට්රෝල් කොරන්ට බෑ එහෙම නැතුව...ටිකක් සැරට ඉන්ට ඕන....

මොන සැරක්ද?....ඒකි මාව ගනන් ගත්තෙ වත් නෑ...හෙහ්, හෙහ්,

'' ඉතිං දෙයියනේ හමගිය එකට හමගිය නොකිය වෙන මොනව කියන්නද '' කියලා ආයෙම හික් හික් ගෑවා.

' පොඩි අයිය රස්සාවට ගියා උනත් මට අයිය ගැන විස්තර ලියල එව්ව....පහුගිය අවුරුද්දක් වගෙ කාලෙදි අයිය ගැන විස්තර ඔක්කොම මම දැනගෙන හිටිය. ''

'' ඉතිං දෙය්යනේ මම ඔය මොකවත් දැනගෙන හිටියෙ නෑනෙ...''

'' නෑ තමයි...කොහොම දැනගන්නද රවි අයිය?...එක්කො මම කියන්න ඕන නැත්නම් පොඩි අයිය කියන්න ඕන...වෙන විදිහක් නෑනෙ...''

'' මගෙ හිතේ නිදන් වෙලා තියන ආදරේ අන්තිමට මට තනියම දරාගන්ට බැරි තැනට ආව මයෙ අයියෙ.....ඒක අයියට කියන්ට නොලැබුණොත් මගෙ පපුව පැලෙයි කියල මට හිතුන.....ඒ ලෙවල් විභාගෙත් ඉවර උනු එකේ මම කැම්පස් සිලෙක්ට් නොවුනොත් මට අවුරුද්දක් ඇතුලත අජන්ත අයියව බඳින්න වෙනව...මගෙ හිත පුරහට පිරිල තියෙන ආදරේ ගැන රවි අයිය හාංකවිසියක්වත් දන්නෙ නෑ කියල හිතෙනකොට මගෙ පපුව වාවන්නෙ නැතිව ගියා. ඒත් මම හුඟක් දුරට කල්පනා කලා මේක අයියට කියනවද නැත්නම් මගෙ හිතේම හිර කරගෙන ඉන්නවද කියල..මේක කිව්වොත් අයියගෙ හිතටත් මහ වේදනාවක් වෙනවයි කියල මම නොදන්නව නෙවෙයි අයියෙ...ඒත් ඒත්.....''

චුට්ටිගෙ ඇස් ....ආයෙම කඳුලු පිරීගෙන එනව....ඒ දිහා බලන්ට බෑ මට...මම ඔලුව අත්දෙකේ ගහගෙන බිම බලා ගත්ත.

'' ඒත් මට ඊට වඩා හිතට වදයක් වෙයි කියල හිතුන අයියට මගෙ ආදරේ නොකියම මට බඳින්ට උනොත්...මම දන්නෙ නෑ අයිය ඒ ගැන කොහොම හිතනවද කියල...සමහරවිට මම කල දේ සම්පූර්ණ වැරදියි කියල හිතනව ඇති..කිසිම තේරුමක් අරමුණක් නැතුව අයියගෙ හිතට නිරපරාදෙ මහ බරක් පැටෙව්ව කියල අයිය හිතනවත් ඇති...අනේ මයෙ අයියෙ එහෙම හිතෙනව නම් මට සමා වෙන්ට....'

'චුට්ටි ඔන්න වැස්සක් කඩා වැටෙන්නැහෙ ඉකි ගගහ අඩන්ට තියා ගත්ත.

මගෙ ඇස් වලටත් කඳුලු ඉනුවෙ ඉබේම....චුට්ටිව වැළඳගෙන අඬන්න එපා මගෙ රත්තරං කියන්න චුට්ටිගෙ ඔලුව හෙමිහිට අත ගාල නලල ඉඹින්ට කොච්චර ඕන කම තිබ්බත් එහෙම කරන්ට ගියොත් මටත් ඇඬෙන බව මම ඉත්තේරුවෙන්ම දැනගෙන හිටිය. ඒ නිසා චුට්ටි ඉකි ගහන දිහාවෙ ඇහේ කඳුලු පුරෝගෙන විපිළිසරව බලා ඉන්න එක විතරයි මට කරන්ට පුළුවන් උනේ...

'' චුට්ටි කරන්ට වෙන කිසිම දෙයක් ඇත්තෙම නැද්ද නංගියේ?

මම අන්තිමට ඇහුව.

'' අපි දෙන්න බඳිමු තනි කැමැත්තට....මොකද කියන්නෙ?..මට අපේ කෑම්ප් එකේ ක්වාටස් එකක් ගන්න පුලුවන් වෙයි....''

කෑම්ප් එකේ මැරීඩ් ක්වාටර්ස් හැදෙනකොට තව අවුරුද්දක් වත් යයි... ඒක මම චුට්ටිට කිව්වෙ නෑ...මම හිතුවෙ එතකල් කදුරුවෙල මගෙ හොඳ යාලුවෙක් ඉන්නව...චුට්ටි එහෙවත් නවත්තල මට දවස් දෙක තුනකට සැරයක් එන්න පුලුවන්නෙ කියල. අපේ ගෙදර එක්ක යන එක ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒ දවස් වල ගෙදර හදනව. අනික ඒ මදිවට කට්ටියත් වැඩියි එහෙ. ඔක්කෝටමත් වැඩිය අපෙ අම්ම කොහොමටවත් මම හදිස්සියෙ බඳිනවට කැමති වෙන්නෙ නැති විත්තිය මම හොඳාකාරවම දැනගෙන හිටියා.

'' බැහැ මගෙ රත්තරන් අයියෙ....ඒක කරන්ට නම් බෑ...අයිය දන්නෙ නෑ අපෙ අම්මගෙ හැටි..මම හිතුමතේට අයියව බැන්ඳොත් අම්ම පණ නහ ගන්ටත් බැරි නෑ, එහෙම දෙයක් උනොත් මගෙ මුලු ජීවිත කාලෙටම මට ඒක අමතක කරන්ට බැරිවෙයි. මම දවසක් දවසක් පාසා මැරි මැරි ඉපදෙයි...ඒ නිසා මට ඒක කරන්ට බෑ. ''

මම ආයෙම ඔළු ගෙඩිය අත්දෙකේ ගහගෙන බිම බලාගෙන කල්පනා කරන්ට ගත්ත. මොනව කියල කරන්ටද එහෙනම්... අපි දෙන්න හිතුවක්කරෙට බැඳල චුට්ටි කියන විදිහෙ දෙයක් උනොත් එහෙම අප්පච්චියේ.....ඒක අපි දෙන්න අතරෙ හැමදාටම...සදහටම මහ කළු ගල් පර්වතයක් වගෙ තියේවි.....අපි දෙන්න අතරෙ මහා බාධකයක් වෙයි....ඒ නිසා..කමක් නෑ මේක මගේ ඉරණම නම් මම ඒකට මුහුණ දෙන්නත් එපාය....මම දිග සුසුමක් හෙලුව පපුවෙ පිරිල තිබ්බ ඔක්කොම පිටවෙලා යන්ටත් එක්කලා.

එක පාරටම චුට්ටි අඬාගෙන ඇවිල්ල මගෙ කකුල් දෙක ලඟ වැටිල මට වැන්ද.....

'' පිස්සුද නංගි..මේ මොනවද කරන්නෙ?....නැඟිටින්න නැඟිටින්න... ''

කොහේ නැඟිටිනවද.....චුට්ටි අඬනව මගෙ කකුල් බදාගෙන...මට නැඟිට ගන්ටත් නෑ...ඒ අස්සෙ මටත් ඇඬෙන්ට එනව...එනව නෙවෙයි ඇත්තම කිව්වොත් මම ඇඬුවා.

ඔය වෙද්දි මම ජීවිතේ කිසිම අවස්ථාවක අඬල තිබුනෙ නෑ. ඒ කියන්නෙ එහෙම අඬන්ඩ වෙන තරම් සංවේගජනක අවස්තාවකට මම එතෙක් මුහුණ දීල තිබුණෙම නෑ...වැඩිහිටියෙක් උනාට පස්සෙ පළවෙනි වතාවට මම එදා ඒ වෙලාවෙ ඇඬුවා.

මම අඬනව ඇහිල චුට්ටි ඔළුව උස්සල බැලුව....

'' අනේ අයියෙ ඔයා අඬනවද?....''

චුට්ටි නැඟිටල මාව වැලඳ ගත්ත.මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන මගෙ කණට කෙඳුරුවා.

'' අඬන්ඩ එපා මයෙ අයියෙ අඬන්ට එපා......අයිය අඬනව මට බලාන ඉන්ට නම් බෑ. ''

අප දෙදෙන එකිනෙකා වැලඳ කඳුලු සැලූයෙමු. කාලය මොහොතකට නතර විය. ගතවූයේ නිමේශයක්ද කල්පයක්ද යන්නෙහි කිසිදු වැදගත් කමක් නොවූ එක් කාලාන්තරයකට පසු මම ඇගේ හිසකෙස් අතරෙහි හොවාගෙන සිටි හිස එසවීමි. මහේ පපුතුරෙහි මුහුණ සඟවා ඉකිබිඳිමින් සිටි ඇයද හිස ඔසවා මා දෙනෙත් දෙස එක එල්ලේ බැලුවාය.

'' චුට්ටි. මේක අහන්න....අපේ ඉරණම ඒක නම් අපි ඒ ඉරණමට මුහුණ දෙමු. වෙන කරන්න දෙයක් නෑ. ඔයා ගැන සොඳුරු මතකය මගෙ පපුවෙ හැමදාම තියේවි.මම දන්නව ඔයාටත් එහෙමමයි කියල. ඒ නිසා දැන් ඇඬුවා ඇති. මම ආයෙ අඬන්නෙ නෑ..ආයෙ කිසිම දවසක ඔයා මා වෙනුවෙන් අඬන්නත් එපා.සමහරවිට අපි ආයෙම මුණ ගැහෙන්නෙ නැතිවෙන්නත් පුළුවනි බොහෝ විට, ඒ නිසා ඔයාව මට මතක තියාගන්න ඕන කඳුලු සලමින් ඉන්නව නෙවෙයි. මා දිහා බලල මගෙ ඇස් දෙක දිහා බලල ආදරෙන් හිනා වෙන්න චුට්ටි තව එකම එක පාරක්....''

කඳුලු පිටි අල්ලෙන් පිහදාගෙන චුට්ටි හිනාඋනා....නිල් ඇස්...ආයෙම බැබලුනා තරු කැට දෙකක් වගේ.....මම චුට්ටිගෙ ඇස් දෙක දිහාවෙ බලාන් ඉඳල නලල හෙමීට සිපගත්ත. ඊට පස්සෙ චුට්ටිව මගෙ පපුවට ආයෙම තුරුළු කර ගත්ත.

චුට්ටි මගෙ පපුවට තුරුළුවෙලා ඒ විදිහට හිටිය අවුරුදු ගානක්ම.

තවම උනත් මගෙ පපුවෙ කොණක චුට්ටි ඉන්නව ඒ විදිහටම.....

කාලය ....කාලය තමයි ඕනම සිත් වේදනාවකට.....සිත් තැවුලකට නොවරදින ඔසුව.....නොවරදින දිව ඔසුව..........ඒත් කාලයටත් කරන්ට නොහැකි එකම දෙයක් තියනව. ඒ සොඳුරු මතකයන්....එහෙම නැත්නම් කාලෙකදි හද පුරා උතුරා ගලා ගිය සෙනෙහසක් සම්පූර්ණයෙන්ම මකල දාන එක. එහෙම වෙන්නෙ නෑ.....මතකයන් සදාකාලිකයි...

Time is the best healer...But even time cannot make memories go away..they may fade with time but they would always be there, somewhere inside you, A tiny tiny spark ever ready to burst in to flames.........

...I'm fifty-seven years old, but even now I can remember everything from that year, down to the smallest details. I relive that year often in my mind, bringing it back to life, and I realize that when I do, I always feel a strange combination of sadness and joy. There are moments when I wish I could roll back the clock and take all the sadness away, but I have the feeling that if I did, the joy would be gone as well. So I take the memories as they come, accepting them all, letting them guide me whenever I can. This happens more often than I let on..."



මම ගොඩක් පස්සෙ කාලෙක කියවපු Nicholas Sparkesගෙ A walk To Remember පොතේ කොටසක් ඔය........ඕක කියවද්දි මට ආවෙ déjà vu feeling එකක්. ඒ කියන්නෙ කලින් ඇසුවේ හෝ දුටුවේයයි කියල හිතට එන හැඟීමක්.

පසු කථාව -

'' මේ මොකද අනේ මේ?.....නිදි ද හැබෑටම? ''

මම දෑස් විවර කලේ බිරිඳගේ හඬිනි....

'' මේ පොතත් බිම වැටිල.... ''

පහත් වී පුටුව අසල බිම වැටී තිබූ රන් රෝස පොත අහුලාගත් ඈ එය ඒ අසල වූ කනප්පුව මත තැබුවාය.

'' නෑ..නිදා ගත්තෙ නම් නෑ මේ...මම....බාස්ල පල්ලෙහා වැඩනෙ...මම පොඩ්ඩක් මෙතන ඉඳල පොත බලන ගමන් ඒ ගොල්ල වැඩ කරන දිහාත් බලා හිටිය. ''

'' හිහ්, හිහ්, අපූරු සුපවයිසර්...ඒ ගොල්ල වැඩ නවත්තල කන්ට ගිහිල්ල මම හිතන්නෙ දැන් පැයකටත් වැඩියි...... ''

ඈ අත් ඔරලෝසුව බැලුවාය..

'' දෙකයි දහයයි... ''

අසුනින් නැඟී සිටි මම සඳළු තලයේ ගරාදියට ඉහළින් පහල කළුගල් බැම්ම ඉඳිකරන දෙස බැලීමි.

'' ඈ.... මුංව තියන්ට වටින්නෙ නෑ නෙව, බලන්ට නිකමටවත් මට කියල ගියේ නෑනෙ මේ යක්කු, ''

'' නිදාගෙන උන්නම ආයෙ ඇහැරවල කියන්නෙ නෑ ඒ මිනිස්සු...හා ඒකෙං වැඩක් නැ. මටත් හොඳටම බඩගිනියි...යමු, යමු කමු.....''

පියගැට පෙල බසිමින් ඈ පැවසුවාය. මම ද ඈ පසුපස පිය නැඟුවෙමි.

'' මොකද අද කවදාවත් නැතුව...ඔයාගෙ මූණත් අමුතුයි...නින්ද ගියෙත් නැත්නම් මොකෝ පරණ කෙල්ලෙක් වත් මතක් උනාද? ''

'' අම්මප, හරියටම හරිනෙ....කොහොමද කිව්වෙ බොලේ හරියටම ?..... ''

පියගැට පෙල අවසානයට අප පැමිණ සිටියෙමු. මම ඈ පසුපසින් ගොස් වැළඳගෙන ඇගේ ගෙල සිප ගතිමි.

'' ඔන්න ඔන්න කෝලම පටන් ගත්ත.... ''

ඇගේ දෑසෙහි වූයේ දඟකාර බැල්මකි.

'' මේ ....මෙහාට හැරෙන්නකො පොඩ්ඩක්, ''

'' ඒ මොකටද? ''

'' ඔයාගෙ ඇස් මොන පාටද බලන්න..... ''

'' ඈ. දැන් අවුරුදු දාසයක් තිස්සෙ ඒක දන්නෙ නැද්ද? ''

'' හරි හරි, මම අහල තියෙන්නෙ කාලෙන් කාලෙට ඇස් වල පාට වෙනස් වෙනව කියල. ''

ඈ මා දෙසට හැරී එක එල්ලේ මගේ දෑස් දෙස බලා සිටියාය....නිමේශයක්.... කල්පයක්....කාලය නැවතුනු මොහොතක්...විශ්වයම නැවතුනු මොහොතක්....

'' ඉතිං දැක්කද?.....මගේ ඇස් මොන පාටද?... ''

අවසන ඈ ඇසූයේ ඇසෙන් නෑසෙන හඬිනි,

'' දුඹුරු පාටයි ඔයාගෙ ඇස්....ඒත් සමහර වෙලාවට නිල් පාටකුත් මතු වෙනව මම දැක්ක.... ''

මම ඇගේ නලල සෙනෙහසින් සිපගනිමින් පැවසූයෙමි.

************************************************

ප්රිය සොයුර / සොයුරිය....

පුරා මසකට අධික කාලයක් පුරා චුට්ටි සහ රවීගේ ප්රේම පුරාණය සමඟ රැඳී සිටි ඔබට චුට්ටි වෙනුවෙන් ඇගේ හෘදයාංගම ප්රණාමය පුද කරන ලෙස ඈ මට දන්වා සිටියාය. ඒ සමඟම ඉවසිලිවන්තව මසක කාලයක් මා හා රැඳී සිටි ඔබ සැමට මගේ සෙනෙහබර කෘතවේදිත්වය.....

මාගේ දයාබර මව සමඟ පසුගිය සතියේ කල දුරකථන සංවාදයක් මෙහි සටහන් කිරීමට සිත් වූයේ කුමන හේතුවක් නිසා ද යනු මම සත්ය වශයෙන්ම නොදන්නෙමි. මගේ ප්රේම පුරාණය සහ ඒ දුරකථන සංවාදය අතර සම්බන්ධයක් ඔබට සිතාගත හැකිනම් මගේ හිතවත/හිතවතිය ඒ මවෙත දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

'' අම්මේ,.... ඉතිං කොහොමද? ..... ''

'' වරදක් නෑ පුතා හොඳින් ඉන්නව.....''

'' අම්ම... මොකෝ නිකං හෙම්බිරිස්සාව වගේ....''

'' නෑ මේ මාසෙක විතර ඉඳල උදේට උදේට කිඹුහුම් යනව පුතා හරියට...''

'' ම්ම්ම්....එකොලහමාරට විතර නේද ඔය කිඹුහුම් යන එක පටන් ගන්නෙ? ''

'' අනේ පුතේ .....කොහොමද දන්නෙ ? හරියටම හරි...ඒ වෙලාවට තමයි ඔන්න පටන් ගන්නෙ.... ඇත්තටම පුතා කොහොමද දන්නෙ? ''

'' නෑ මට නිකමට හිතුනා...බය වෙන්ට එපා අම්මෙ...මේ සුමානෙන් පස්සෙ ඔය කිඹුහුම් යන එක නිට්ටාවටම සනීප වෙයි...ඒකෙ ආයෙ දෙකක් එහෙම නෑ...හෙහ්, හෙහ්, ''

************************************

විශේෂ ස්තූතිය - මා දයාබර නැඟනිය සිත්තමීට,

For your constructive suggestions and being an inspiration.....Thanks my dear .....you are simply the best.....

50 comments:

  1. මට තියෙනවා ප්‍රශ්න ගොඩාක්.. දැන් චුට්ටි කෝ.?
    මේක ගොතපු කතාවක්ද?
    රවී බැන්දේ චුට්ටිව නෙමෙයිද ...
    අනේ මගේ ඔලුව ගිනි ගන්න වගේ..
    අද මම 1 ද :)))

    ReplyDelete
    Replies
    1. දෙයියෝම සාක්කි, ඈ බොල වර්ණො...කතාව ආයෙම කියන්ට වෙයිද මන්දා........හෙහ්, හෙහ්,

      මෙන්න ප්‍රශ්න වලට පිළිතුරු........

      1. දැන් චුට්ටි කෝ.?

      මම ඒ ගැන හෙව්වෙ නෑ අනේ.....එහෙම හොයා බලන එකේ කිසිම තේරුමක් නෑනෙ,

      2. මේක ගොතපු කතාවක්ද?

      නැත. සත්‍යය සිද්ධියකි.

      3. රවී බැන්දේ චුට්ටිව නෙමෙයිද ...

      නැත.

      4. අනේ මගේ ඔලුව ගිනි ගන්න වගේ.. 

      වහාම බාල්දියකට වතුර පුරවා ඔලුව එහි ඔබාගෙන සිටිනු.

      5. අද මම 1 ද :)))

      එසේය. ඔබ අද පලමුවැන්නීය. :) :) :)

      Delete
    2. අම්මෝ දැන් තමයි ඔලුව සිසිල් උනේ :)

      Delete
  2. aneeeee chuttita makkay une?? harima lassana kathawak ravi ayye,.. api thama oyate thank karane one mewage lassana katha apite kiyanwanne liyanewate :) take care

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , Glimmer.....මාසයක් තිස්සෙ ඇවිල්ල කියෙව්වට......You too...Take care yourself....okay?

      Delete
    2. he he sure ayya :) thawe lassana kathawak liyane patan ganen hode :)

      Delete
  3. ඔන්නොහේ රවී බැන්දෙ චුට්ටිවම තමයි කියල හිතා ගන්නවා....
    නැත්නම් වැඩේ අවුල්....

    කතාව ඉවරයි... ඒත් කුතුහලය තව ඉවර නෑ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි, සුමිත්.....එහෙම හිතා ගන්න...ෂෝක්.......හෙහ්, හෙහ්,

      ආයෙම කුතුහලයක් මොකක්ද?.....සියළුම කරුණු සක්සුදක්සේ පැහැදිලි උනානේද?

      Delete
  4. මට මේ කතාව මුල හරියෙදිනම් චුට්ටි ගැන පොඩි අප්හදීමකුත් තිබුන ලබන්න බැරි බව දැනගෙන කෝලම් කරනකොට, ඒත් පස්සේ ඇත්තටම ලොකු දුකක් දැනුන චුට්ටි ගැන..ඕනේ කෙනෙක් කැමතිනේ ආදරේ විඳින්න ජීවිතේ එකපාරක්වත් ඇත්තටම.. ඉතින් ඒ කෙල්ලට ඒක ජීවිතේ ආඊ කවදාවත් විඳින්න බැරිනිසා ඒ ආදරේ ගොඩක් වටින්න ඇති . ..ජීවිත කාලෙටම..ඉතින් චුට්ටි ගොඩක් පව්.. රවිත් පව් උනත් පස්සේ කාලෙක මිනිස්සුන්ට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ඒ කියන්නේ ඇත්තම ආදරයක් දෙවෙනි පාරටත් හිත පුරෝලා විඳින්න ලැබිච්ච නිසා සතුටු වෙන්න පුළුවන්.. ගොඩක් ආසාවෙන් කියෝපු කතාවක් නිසා කොම්මේන්ටුවත් දිග වැඩි උනාදෝ මන්ද..
    //පසු කථාව -
    '' මේ මොකද අනේ මේ?.....නිදි ද හැබෑටම? ''
    මම දෑස් විවර කලේ බිරිඳගේ හඬිනි....
    '' මේ පොතත් බිම වැටිල.... ''
    පහත් වී පුටුව අසල බිම වැටී තිබූ රන් රෝස පොත අහුලාගත් ඈ එය ඒ අසල වූ කනප්පුව මත තැබුවාය.//
    ඈ රවී අය්යේ අපිට ඇත්ත වගේ කිව්වට බලනකොට මේකත් ඉස්සර ගිය indian මෙගා නාට්ටිවල වගේ එහ්ම්පිටින්ම හීනයක් නෙවෙය් නේද? ... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙකුවි.....චුට්ටිව තේරුම් අරන් තියනව හරියටම....මමත් හිතුවෙ එහෙමම තමයි......

      ආයෙම අහනව හීනයක්ද කියල....හෙහ්, හෙහ්, නෑ බොලේ '' අවාසනාවට ඇත්ත කතාවක් ''

      Delete
  5. // තවම උනත් මගෙ පපුවෙ කොණක චුට්ටි ඉන්නව ඒ විදිහටම.....

    කාලය ....කාලය තමයි ඕනම සිත් වේදනාවකට.....සිත් තැවුලකට නොවරදින ඔසුව.....නොවරදින දිව ඔසුව..........ඒත් කාලයටත් කරන්ට නොහැකි එකම දෙයක් තියනව. ඒ සොඳුරු මතකයන්....එහෙම නැත්නම් කාලෙකදි හද පුරා උතුරා ගලා ගිය සෙනෙහසක් සම්පූර්ණයෙන්ම මකල දාන එක. එහෙම වෙන්නෙ නෑ.....මතකයන් සදාකාලිකයි... //

    එකපාරකට දහස්වාරයක් එකගයි අයියෙ............ කතාව කියවලා ඉවරවෙලා පපුව පුරෝලා ලොකු හුස්මක් අරන් පිටකලා, වෙන මොකකටවත් නෙවේ, අතීතෙ මතක් වෙලා...

    "හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්.."

    ReplyDelete
    Replies
    1. එහෙම සුන්දර ඒ වගේම දුක්බර අතීත සැමරුම් අපි හැමෝටම වගෙ පොදුයි මල්ලි....ඒක තමයි ඇත්ත.........

      What you want from life and what you would get from life are totally different. Accept it as a fact of life...sooner the better,

      Delete
  6. කතාව මුලදී කියන්නේ චුට්ටි අජන්ත එක්ක ඉන්ට බැරිය කියල ළමයි එක්ක ගෙදර ඇවිත් කියල...අයියෝ... ඒ කෑල්ලත් ඇත්තද රවී අයියේ? ඔයාට නම් හොඳ අක්කා කෙනෙක් ලැබුනා. ඒත් එයා ... පව්. අම්මල ළමයින්ගේ ජීවිත ගැන තීරණ ගද්දි තව හිතන්ට ඕනේ.

    මෙහෙම මතක අපි හැමෝ ට ඇති. මේ කතාවම නොවුනත් - හිතේ කොනක වැළලිලා තිබිල මේ වාගේ කතාවක් - නැත්තම් ඒ කෙනාට සම්බන්ධ සින්දුවක් එහෙම ඇහෙද්දී - සමහර විට ඒ කිසිම හේතුවක් නැතුවත් - එක පාරට ඒ සොඳුරු මතක හිතට එනවා.

    හැමදාමත් වගේ තවත් ලස්සන කතාවක් අපිට දුන්නට ගොඩක් ස්තුතියි. මේ වගේ ලස්සනට ගලාගෙන යන්ට කොහොම ලියනවද මන්දා!

    PS : Walk to remember කියවල නැහැ - චිත්‍රපටිය බැලුවා අඬ අඬ !

    ReplyDelete
    Replies
    1. / කතාව මුලදී කියන්නේ චුට්ටි අජන්ත එක්ක ඉන්ට බැරිය කියල ළමයි එක්ක ගෙදර ඇවිත් කියල...අයියෝ... ඒ කෑල්ලත් ඇත්තද රවී අයියේ? /

      ඇත්ත අමා....වසන්ත එහෙම කිව්ව.....ඒත් මම මොනවයි කියල කරන්ටද?......What could I do?....other than letting things sort out by themselves.....I was totally helpless

      ආපහු එන්ට ඉස්සරවෙල වසන්තලගෙ ගෙදර එන්ට කියල කොච්චර කිව්වත් මම වැඩ පිට දාල ඒක මඟ ඇරිය.මලගිය අතීතය එලෙසම තිබුණාවෙ කියල හිත හදාගත්ත....

      Thanks Ama, for your appreciation.........

      දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ වුවද, වෙහෙස නොබලා අදහස් අකුරු කිරීමට මට ධෛර්යය ලබා දීම ගැන මගේ හෘදයාංගම ප්‍රණාමය....

      හොයාගෙන කියවන්න '' A Walk To Remember''...... ෆිල්ම් එකට වඩා මම කැමතියි නවල් එකට....

      අතීතය සිහිනයක් පමණයි,
      සැබෑ සුවඳක් නෑ......
      එදා සෙනෙහෙන් නොබැඳුනා නම්,
      මෙදා වියොවක් නෑ......

      Delete
  7. අවසානය කියවන අපට උවමනා විදියකට හිතාගන්ට ඇරලා කතාව ඉවරකරලා. ඒකත් හොඳයි. ලස්සනයි. ඒත් දෙන්නා එකතු වෙන්නේ නෑ. ඒක දුකයි. අර ෆෝන් කෝල් එකේ තේරුම විදියට හිතෙන්නේ තාම චුට්ටි ඔයාව මතක් කරන වෙලාවට ඔයාට කිඹුහුම් යනවා කියන එකද? දෙන්නා තාම එකිනෙකා අමතක කරලා නැති බවද? හැමදාම එක වෙලාවකට මතක් කරනවා කියන එකද?

    ලංකාවේ බ්‍රවුන් අයිස් තියන ගෑනු ලමයි ඉන්නවා. නිල් ඇස් තියන අයත් ඉන්නවද? දැකලා නම් නෑ.

    කතාව ඉවර උනේ අපරාදේ...:(

    ReplyDelete
    Replies
    1. //අර ෆෝන් කෝල් එකේ තේරුම විදියට හිතෙන්නේ තාම චුට්ටි ඔයාව මතක් කරන වෙලාවට ඔයාට කිඹුහුම් යනවා කියන එකද? //

      අයියෝ ඕක නෙවි පොඩ්ඩි
      හිකිස්
      මේ අපි බනින ඒවාට වෙන්ටෑ කතාව අදිනවා කියල

      Delete
    2. @ පොඩ්ඩි,

      අම්මටනෙ අනේ කිඹුහුම් යන්නෙ.....චුට්ටි මාව හරි මම චුට්ටිව හරි මතක් කලාම අම්මට කිඹුහුම් යන්නෙ අහවල් දේකටද?

      මම කතාවෙ අලුත් කොටසක් පබිලිස් කොරන්නෙ රෑට ලියල එහෙම... උදේ නවයට වගෙ....ඒ කියන්නෙ අම්මලට වෙලාව එකොලහමාරයි.කතාව කියවන බොලා ඔක්කොම " මූව කොටියා කාපිය...අදත් මේ කෙහෙල්මල ඉවර කරල නැහැ නෙව මේ හෝතඹුව....මුගෙ අම්මට.....මල් තියල වඳින්ට එපාය " කියල මයෙ දයාබර මෑණියන්ගෙ ගුණ ගායනා කොරන නිසාවෙන් තමයි එතුමියට ඒ වෙලාවෙට කිඹුහුම් යන්නෙ...

      Delete
    3. @ අමා,

      අන්න උඹට තේරුණා...ඒ කියන්නෙ උඹත් එහෙම අපෙ අම්මයෙ ගුණ ගායනා කොරපු එකියක්.....හෙහ්, හෙහ්,

      පොඩ්ඩිට වැඩේ මීටර් නොවුනෙ ඒ දැරිවි හීනෙන්වත් එහෙම නොකරන හින්ද....එහෙම තමයි ලැජ්ජ බයට හැදිච්චි වැදගත් ගෑණු ලමයි....තේරුණෙයි බොට?

      Delete
    4. හලේ මම හරි අහිංසකයි ලු ඕන්!!

      මේ නිල් දෑසක් නිසා මාත් අතීතයට ගියා...

      Delete
  8. අලේ ඉවර වෙනකල් බැන බැන හිටියට ඉවර වුනාමත් දුකයි අප්පා....

    චුට්ටිටයි,රවී අයියටයි වුනා වගේ දෙයක් මේ ලෝකේ කාටවත් වෙන්න එපා කියලා පතමු...:((

    ReplyDelete
    Replies
    1. / අලේ ඉවර වෙනකල් බැන බැන හිටියට ඉවර වුනාමත් දුකයි අප්පා..../

      ඇත්තම තමයි නිසුපා......මටත් නිකං මහ මොකක්ද වාගෙ.....හෙහ්,හෙහ්,

      කතාව ලියනකල් මටත් හිතුනෙ " මොකක්ද අප්ප මේ මාත් අල්ලගත්තු කොටි වල්ගෙ.....මෙච්චර කොරලත් මුංගෙං කිසිම හොඳක් නැති හැටි අම්මාපල්ල, ඔන්න එක විඩයක් දිගට ලියන්ට කියනව....ආයෙම කවද්ද ඕක ඉවර කරන්නෙ කියල අහනව......මයෙ ජීවිතේට මෙහෙව් බැණුං ඇහිල්ලක් අහල නැතුව ඇති " ඔන්න ඔහොම... ....හෙහ්, හෙහ්,

      ඒත් දැන් ඉවර උනාම නිකං හිතටත් එක්ක මහ පාළුවක් වගෙ......එහෙම තමයි හිත කියන එකේ හැටි.....

      Delete
  9. ලබන්න බැරි වුන නිල් ඇස් දෙක හදවතේ තිබුනට ලැබුන දුඹුරු ඇස් දෙක හොඳින් බලාගන්න

    ReplyDelete
    Replies
    1. ඔව්, බින්දි....අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම.....

      Everything happens with a purpose....කියලත් කියනවනෙ...නේද?

      Delete
  10. අපූරු කතාව නොවැ..කොහොමින් කොහොම හරි චිත්‍රපටි අවසානයක් නැතිව (අ)තාත්විකව ඉවර වුනානෙ..තැන්කූ ලස්සන කතාවට
    කිව්වත් වගේ අපිත් හැමදාම නමය දහය වෙනකොට කෝ කතාව නෑනෙ කියලා කීප සැරයන් ඇවිත් ඇවිත් යනවා...එහෙම එන අපේ කන හීනියට මිරිකලා වගේ අන්තිමට..හික්ස්..

    ReplyDelete
    Replies
    1. අඩේ ....කණ මිරිකලයි කියල හිතෙනවය?......හෙහ්, හෙහ්,

      ස්තූතියි රූ...........

      Delete
  11. ලස්සනයි කියලම කිව්වත් හරියන්නෙ නැති, ශෝකාන්තයක් වුණත්, දුකට වඩා සැහැල්ලු ගතියක් ඉවර වෙද්දි දැනෙනව ... මාසයක්ම ආකර්ෂණය ඒ විදියටම තියාගෙන ලිව්වනෙ...
    Simply great!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චේජනා.......

      වියෝ දුක .....ඒ මත්තෙම හැපෙන්නෙ නැත්නම් ඒකෙත් තියනව අමුතුම විඳීමක්....

      දුකම මිහිරක් ද වූ සඳ......හෙහ්, හෙහ්,

      Delete
  12. ලසස්නම ලස්සන කතාවක් කියවලා ඉවර වෙද්දි කදුළුත් අවා අය්යේ...දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමා......බොහොම ස්තූතියි....තව තියනව පෙරේම පුරාණයෙ කතා....ලියන්නංකො....ඉන්ඩකො...ඈ......

      Delete
  13. අනේ මම මොනවද කියන්නෙ.. හිතාගන්න බෑ.... ලස්සන කතාවක දුක්බර අවසානයක්. ඒත් අයියා ඒක අවසන් කරද්දී අපේ හිතට ලොකූ දුකක් නොදෙන්න සැහැල්ලු විදිහට ලියලා තියෙනවා. ඒ නිසා අවසානය bitter-sweet ending වගේ තමයි දැනෙන්නේ. ලස්සන කතාවටත්, අර අන්තිමට ලියලා තියෙන ටිකටත් ස්තූතියි රවි අයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි.....

      As I have said before thanks for every thing & you are welcome........:)

      Delete
  14. තරහ අවසර.මේ ටිකේම ගියා ගමේ ඉන්ටනෙට් ලොවෙත් නැති පලාතකට.ආව ගමන් කරේ මේකෙ ඉතුරු වෙලා තිබ්බ ටික කියවපු එක..

    මම හිතුවා ඕක ඔහොම වෙයි කියලා.මටත් ඕකම වුනා වෙනම විදියකට රවී.

    ReplyDelete
    Replies
    1. මට හිතුනෝ.. ...පෞද්ගලික හේතූන් මත කමෙන්ට් නොකරමි කියල කිව්වම.........හෙහ්, හෙහ්,

      නිවාඩුව ලියන්න සිතුවම්..ඒ කතාව.....අතීතය නැවත ස්මරණය කරමින් පත් ඉරු මත සටහන් කිරීම.....ආහ්.....වදනින් විස්තර කල නොහැකි හැඟීමක් එන්නෙ....පහුගිය මාසෙ මම හිටියෙම ඒ මූඩ් එකේ.......හෙහ්, හෙහ්,

      Delete
  15. හප්පේ යාන්තං ඇති කතාව ඉවරයි...ඉස්සෙල්ලාම මුල ඉල අගටම කතාව කියවල එන්නං කො...

    ReplyDelete
    Replies
    1. අලෝ...අලෝ...වෙල්කම් බෑක්...වෙල්ම වෙල්කම් බෑක්....

      මේ ඇවිල්ල ඉන්නෙ පතිකුලයට ගිය කස්ටිය...ඉතිං කොහොමෙයි අලුත් ජීවිතේ.....ආයෙ මොනවද අලුත් ජීවිතේ කියල වෙනසක්ය නේද?....ඔය පුරුදු විදිහට පිස්සුවක් කෙලගෙන ඉඳහං බං...හෙහ්, හෙහ්,

      / හප්පේ යාන්තං ඇති කතාව ඉවරයි /

      අර උඹට කිව්ව වගේම උනානෙව බං....තව පොඩ්ඩෙං උඹ හොනිමෝං ගෙහුං එනකනුත් ඒ කෙහෙල්මල ඉවරයක් කොරන්න බැරිවෙනව නෙව....ඒ පාර උඹෙං බැණුං අහන්න බැරිකොමටම දනි පනිගාල රෑ දාවල් නොබල ලියල ඔන්න ගිය සිකුරාද වැඩේ යාන්තමට අහවරයක් කර ගත්ත.

      Delete
  16. අය්ය ලියල තියෙන කතාවලින් මම ආසාවෙන්ම කියවපු කතාව... ඒත් සත්ය කතාවක් හින්ද දුකයි.. අපි ආසාවෙන් කියෙව්වට චුට්ටි අද ලමයිත් එක්ක දුකෙන් නෙ...... පව් ඔයාට බලෙන් හරි චුට්ටි බදින්න තිබුනෙ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සම්මානි,

      දුකයි තමයි අනේ ඒත් මොනව කරන්නද?

      ඒ දවස්වල මම පොඩි එකා නෙව...නැත්නම් ඇත්තටම චුට්ටිගෙ දෙමව්පියො එක්ක කතා කරල මොනවහරි විසඳුමකට එන්න තිබුන....හිතුමතේට බඳින්න එයා කැමති උනේම නෑනෙ....

      Delete
  17. වටට වටට ගිහින් ගෙට ඇවිත් නතර උනා වගේ..

    ReplyDelete
    Replies
    1. කොහෙද බං වටේ ගියෙ...හෙහ්, හෙහ්, මේ අතීත ස්මරණයක් පමණයි...

      Delete
  18. එළ මන් උඹේ මේ ලියවිල්ලට හරිම කැමතියි බන් අයියේ.
    මිනිස් හැඟීම් වල වෙනස්වීම් අපූරුවට කියවෙනව මේ කතාව ඇතුලෙ.
    වැරදියි කියලා පේන දේ කොහොමද අපි එහෙම කියන්නෙ ඒ තත්වෙ තුල ඉන්නෙ නැතිව .....?

    හ්ම්ම් මතකයන් සදාකාලිකයි කොහේහරි මුල්ලක හිටන් ඇවිත් කොනිහලා යනව.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිශ්, බොහොමත්ම ස්තූතියි,

      මතකයන් සදාකාලිකයි මල්ලි...ඒක තමයි ඇත්තම කතාව,

      ටයි මහත්තයගෙ Robin of Sherwood කතාවෙ තේමා පාඨය මතකද?

      '' Nothing is forgotten, nothing is forgotten ever "

      Delete
    2. ඕක එන්නෙ එහෙම නෙවෙයි බොලං.. "Nothing is forgotten, nothing is ever forgotten" :)

      Delete
    3. @ Buratheno,

      හෙහ්, හෙහ්, හරි නෙවෙන්නං...මල්ලි හරි මල්ලි....

      '' Nothing is forgotten, nothing is ever forgotten "

      '' But...... sometimes as time passes by a word or two may change places , dont worry ....its not a big deal''.....heh, heh,

      Delete
  19. අද තමයි රවී අයියේ මේ පැත්තට අවේ..Fallow පාරක් දාන්න ඕන.. එතකොට හරි.. මම නම් ඔක්කොම කථා ටික කියෙවුවා.. ටිකක් දුකයි.. මට නම් හිතෙන්නේ වසන්තට සිද්ධිය කිවුව නම් හොද විදියට හැම දෙයක්ම වෙනස් වෙන්න තිබ්බා.. මාත් පිළීගන්න දෙයක් තමයි දෙන්නට දෙන්න ලැබෙනව නම් ආයි එක මොකාටවත් වෙනස් කරන්න බෑ.. හැබැයි අයියේ චුට්ටිට බියර් බොන්න දුන්න 1ක නම් මම කීයටවත් අනුමත කරන්නේ නම් නෑෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ඔබටත්......

      වැඩේ උනේ වසන්තට කියන්නම එපාය කියල කිව්වනෙ චුට්ටි.......අනික මොන වගෙ දෙයක් වෙයිද වසන්තට කිව්වනම් කියල අපිට ඉතින් උපකල්පනයක් විතරයි කරන්න පුලුවන්.......

      ඔක්කොම වෙන්නෙ වෙන්න නියම වෙලා තියෙන විදිහටයි කියල අපි හිත හදාගත්ත....

      Delete
  20. අදයි අවසාන කොටස කියෙව්වෙ , කියවල ලොකු හුස්මක් පිට කළා

    ReplyDelete
    Replies
    1. අප්පේ මොකොදෑ ඔබ් ඒ?....ඔහෙටත් අතීතය මතක් උනැයි?

      Delete
  21. හ්ම්ම්.. ඔන්න ඒ කතාව නම් මුල ඉඳලම කියවල ඉවර කලා. ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියෙව්වට..ජීවිතේ ඔහොම තමයි මලේ...:)

      Delete
  22. a touching writing style.Reminds me of T.B Ilangarathna's novels

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...