Thursday, August 30, 2012

104. රහසක්................ රනූට තෑග්ගක්

අපේ දෝණිට ලබන සිකුරාදාට ඒ කිව්වේ 2012 සැප්තැම්බර් 07 වන දිනට අවුරුදු 3ක් පිරෙනවා. ඊට දින දෙකකට කලින් ඒ කිව්වේ 2012 සැප්තැම්බර් 05 වන දින ඇය පෙර පාසලට ඇතුලත් කරන්නත් සියල්ල සූදානම් !.

කාලය ගත වුණු ඉක්මන....................

ඇයට මාස හයක් වූ කාලයේ ඈ ගැන ලියන ලද 38. රනුලිමා චින්තනි නම් වූ ඇය......... ‍ යන මෙයින් බොහොම දෙනෙක් ඈ ගැන දැන ගත්තා. ඊ ගාවට ලියැවුනේ,
45. සතුටු වෙමි, සිහින දකිමි, සසල වෙමි, දුක් වෙමි, බිය වෙමි, එහෙත් අවසානයේ සැනසෙමි පෝස්ට් එක. ගොඩක් හිත හිතා ලියපු ඒක මං කැමති ම පෝස්ට් එකක්. (ඒත් මේ ලිපිය ලියද්දි ඒක අමතක වුනු එක පුදුමයක්)

ඊටත් පස්සේ ලියන ලද 60. ජූලි හතයි.......දූට මාස දහයයි......... මෙහි පද ගැට ගැහුවේ අද ඊයේ වගේ තමයි තාමත් දැනෙන්නේ... අම්මලාගේ අවුරුදු උත්සවය ගැන ඇය විසින් ලියන ලද 72. දූ දුටු සැණකෙළි සිරි බොහොම දෙනෙක් සතුටින් කියවපු හැටි සිහි වෙද්දි අදටත් මුවගට හිනාවක් නැගෙනවා. 84. සැහැල් වූ හිස දෝණිගේ උකුල මත - නිති සුව ලබයි කිසි සැක නොමැත යනුවෙන් ලියන ලද්දේ එකල ගූගල් බස් සේවාවේ බසයක නැගී යන අතරතුරේ හිටිවන පබඳින ලද පද වැලක්.

ඉතිං ආදරණීයව හුරු බුහුටිව හැදෙන වැඩෙන අපේ දූ සිඟිත්තට මේ පාර ඇගේ උපන් දිනයට මං දෙන්න හිතුවා වෙනස් විදිහේ තෑග්ගකුත්.

ගිය සතියේ දවසක,

"අම්මේ මටත් ආෂයි ඉෂ්ෂරහ ගෙදර නංගි වගේ ෂිංදු රේඩි එකේ දාලා කියන්න" තතන තතන, අත් දෙකින් රඟ පාමින් ඔය ටික කියන්න විනාඩි භාගයක් පමණ ගතවන්නට ඇත.

"හා හා හොඳයි හොඳයි මං අද හවසට එද්දි අරං එන්නම්කෝ මගේ පැටියෝ" යි ඇය සැනසූ මාගේ එකායන අරමුණ වූයේ අන්තර්ජාලය පීරා හෝ ඇගේ ආසාව සපුරන්නටය.

ඒ අනුව අන්තර්ජාලයේ සෙවුම් කරන විට ලැබුනු http://sinhalalamagee.blogspot.com/ බ්ලොග් අඩවියෙන් බාගත කරගන්නා ලද ළමා ගී 61 පමණ ඇය හට අසන්නට සලස්වා ඇය සතුටු ව නර්තනයේ යෙදෙන අයුරු බලා අපි දෙන්නා ලැබුවේ මිල කල නොහැකි සතුටක්. එයින් බොහොම සිංදු ඇය දැන සිටි අතර හිතෙන තරම් වේලා අසා සිටින්නට ලැබීම ගැන ඇගේ තිබුනේ ලොකු සතුටක්.

ඉතිං ඔන්න ඔය වැඩේ තවත් දුරට ගෙනියෑම තමයි මගේ ඊ ගාව බලාපොරොත්තුව වුනේ. ඒ කියන්නේ ඒ සිංදු වල පදවැල් සොයලා, පරිගණකයෙන් යතුරු ලියනය කරලා, මුද්‍රිත පිටපත් අරගෙන පොතක අලවලා ඇයට දෙන්න.

ඒත් මට පස්සේ හිතුනා ඇයි මං එහෙම කරන්නේ? ඊට වඩා හොඳ විදිහක් මට තියෙනවානේ කියලා. ඒ අනුව මං තීරණය කලා ඒ හැම සිංදුවක් ම මං මගේ අතින් ම පොතක ලියලා, ඇයට දෙනවා කියලා. ඉතිං ඔය ගැන තව දුරට හිතාගෙන යද්දි මට හිතුනා, මේ වැඩේට තවත් යමක් එකතු කරන්න. ඒ තමයි දකුණු පැත්තේ පිටුවේ මං සිංදුව ලියනවා. වම් පැත්තේ පිටුවේ තාත්තාට කියලා ඒකට අදාල පරිදි චිත්‍රයක් නිර්මාණය කර ගන්නවා කියලා. රනූ ගේ තාත්තා පොඩ්ඩ‍ට චිත්‍ර අඳින්න පුළුවන් එකේ, එහෙම කරන එක තමයි සුදුසු ම කියලා මට හිතුනා. මලක් වගේ එකක් නං මටත් අඳින්න පුළුවන්නේ. ඒ වගේ තැන් වලට මලක්, ගහක්, තණකොල ටිකක් මාත් අඳිනවා කියලා හිතුවා.



ඉතිං යෝජනාව ඉදිරිපත් කෙරුණා. තාත්තාත් කිසිම විරෝධතාවක් නැතුව කැමති වුනා. දැන් ඉතිං වැඩේ ස්ථිරයි.

"හා ඔයා සිංදු ටික ලියලා ගන්නකෝ. කලින් දවසේ රෑ වෙද්දි හරි මං චිත්‍ර ටික ඇඳලා ඉවර කරන්නම්කෝ"

ඉතිං එහෙම තමයි අවසන් වශයෙන් සභා තොමෝ සතුටින් විසිර ගියේ.

අද මට එක පාරම හිතුනේ මොකද්ද දන්නවද ළමයිනේ.......... මුලින්ම මට හිතුනේ පිටුවක් ඉතිරි කරලා තියලා, අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් බුද්ධි ප්‍රසාද් නම් වූ අසහාය චිත්‍ර ශිල්පියා අපේ ගෙවල් පැත්තේ ආ වෙලාවක පිටුව පිරෙන්න ම චිත්‍රයක් නිර්මාණය කරගන්න කියලා. පස්සේ තව ටිකක් වෙලාව ගතවෙන කොට මට හිතුනා මේ තෑග්ගට තව එකතු වෙන්න කැමති අයවත් එකතු කර ගන්න පුළුවන්නේ කියලා.‍

ඉතිං නැන්දේ, මාමේ, අක්කේ, අයියේ, නංගියේ, මල්ලියේ, ඔයාලා කැමති නං රනූගේ උපන්දින තෑග්ගට එකතු වෙන්න මෙන්න අවස්ථාව. ඔයාලාට හැකි අයුරින්, ඒ කිව්වේ අඳින්න පුළුවන් මලක් නං මලක් හරි ඇඳලා එවන්න. කැමති විදිහකට ඇඳලා එවන්න. ඒ කිව්වේ, පරිගණක ආශ්‍රයෙන් හෝ අතින් ඇඳලා ස්කෑන් කරලා හෝ එවන්න පුළුවන්. පොත සී ආර් පොතක් වුනාට, ඔයාලාට හැකි ප්‍රමාණේ චිත්‍රයක් ඇඳලා එවන්න. ඔයාලා කැමති ළමා ගීතයකට අදාල කොටසක් නං ඇඳලා එවන්නේ ඒ ගමන් ඒ ගීතය මොකද්ද කියලාත් කියන්න අමතක කරන්න එපා. මං ඒක කොහොම හරි හොයාගෙන ලියා ගන්නම්. එහෙම නැත්නම් පදවැල තියේ නම් ඒකත් එවන්න.

චිත්‍ර අදාල විදිහට අලවලා, යටින් එව්ව මාමාගේ, නැන්දාගේ, අයියාගේ හෝ අක්කාගේ නමත් බ්ලොග් ලිපිනයක් තියේ නං ඒකත් ලියන්න තමයි මං හිතුවේ. එතකොට එයා කවදා හරි ඔයාලාගේ බ්ලොග් වලට ඇවිත් බලලා, මේ කෙනාත් මගේ සිංදු පොතට චිත්‍රයක් ඇඳලා එවලානේ කියලා සතුටු වෙයි.

ඔයාලා ගොඩක් දෙනෙක් හඳුනන අපේ පැංචිගේ, උපන්දිනය වෙනුවෙන් හදන්න යන ඒ පොතට ඔබේ දායකත්වය ඒ විදිහට ලැබුනොත් ඒක මට සතුටක්. හැකි විදිහට දායක වෙන්න. කොහොම නමුත් තව තියෙන්නේ දින 8යි. මටත් වැඩ ගොඩයි. පොත හදන්න තියෙනවා. පදවැල් එකතු කරන්න තියෙනවා. තව එකතු කරන්නේ මොනවද බලන්න තියෙනවා. ඉතිං එහෙනම්, randil02 at gmail dot com වෙත ඔයාලාගේ චිත්‍ර එවන්න. පොතේ පිංතූර ගෙන ඔයාලා හැමෝටම බලන්න සලස්වන්නත් හිතාගෙන ඉන්නේ. ඒ වගේම සේරම චිත්‍ර 7 වෙනිදාට බ්ලොග් එකේ පල කරන්නත් හිතාගෙන ඉන්නවා. (සේරම කියලා බොහොම බහු වචනයෙන් කියලා තියෙන නිසා මගේ නම්බුව බේරපල්ලා ඈ............ :) )

මේක රහසක්. ඒ කිව්වේ තාම රනු නොදන්න රහසක්. ඒකයි මාතෘකාව මෙහෙම වුනේ....... :D

මා ලඟ ඇති ගීත ලැයිස්තුව (මේ සියල්ල
http://sinhalalamagee.blogspot.com/
අඩංගුයි. මීට අමතරව කාටුන් වල සිංදු තියෙනවා. ඒ ටික පුළුවන් වුනොත් අද රෑට එකතු කරන්නම්.)


1. ආදරේ ඇයි පොඩි හඳ මාමේ
2. මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
3. අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
4. අම්මාගේ උකුලේ නැලවී තාත්තාට හුරතල් වෙවී
5. මා බාල කාලේ
6. දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ
7. දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
8. අන්න බලන් ඉදිකඩ ලඟ
9. පහන තියා බුදු සාදුට හිමිදිරියේ
10. අකුරු මැකී නැහැ කොල ගැල වී නැහැ
11. කොප්පර කොප්පර පිපිඤ්ඤා
12. කටු අකුලේ මල් ඇහැරේ
13. රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
14. හිනහේවී බෝනික්කා
15. හිංචි පිංචි හාවා
16. හොර පූසෙක් බටු මීයෙක්
17. දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවණේ
18. කන්කන් බූරු සිං සිං නූරු
19. මොනවද අම්මේ අකුරු ජාතියක්
20. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
21. කොන්ඩේ දිගට දාලා, හැම උදයෙම එනවා
22. කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන
23. කුරුම්බැට්ටි මැෂිමේ මගේ කුරුම්බැට්ටි මැෂිමේ
24. මගේ හොඳ පූසි ඇගේ නම රෝසි
25. මගේ පොඩි යාළු
26. මට මෑණි වගේ මට පියා වගේ
27. මේ හොඳ ලස්සන බෝනික්කා
28. මොනවද මුත්තේ මොකද කරන්නේ
29. ඈත පෙනෙන කඳු පාමුල-නන්දා මාලිනි
30. දිලිහි දිලිහි ආකාසේ-නන්දා මාලිනි
31. ගස අගනා අර රඟනා- නන්දා මාලිනි
32. ගීතිකාවෝ- නන්දා මාලිනි
33. හා හා හරි හාවා- නන්දා මාලිනි
34. හඳ හාමි- නන්දා මාලිනි
35. මේ හිරු රැස් වැටී- නන්දා මාලිනි
36. රෝස ගසින් මල්- නන්දා මාලිනි
37. සමන් පිච්ච මල් ඉහිරුණු- නන්දා මාලිනි
38. සිලි සිලි හඳ අහසේ- නන්දා මාලිනි
39. සිරිමත් මගේ සකි- නන්දා මාලිනි
40. තොටිල්ල හැම සුව පිරි- නන්දා මාලිනි
41. ටිකෙන් ටිකම- නන්දා මාලිනි
42. අක්කේ අක්කේ අර බලන්නකෝ- නන්දා මාලිනි
43. නිල් අහස්තලේ අගේ- නන්දා මාලිනි
44. පේලි පේලි පේලි සැදි ඇත්තු ඇදෙනවා
45. පොඩි කාලේ දඟ කෙරුවාට
46. පොලිස් හාමිනේ මං
47. රකිමු අපේ සිරිලක් අම්මා
48. රන් ටිකිරි සිනා
49. රූන් රූන් හඬ
50. සකල බුජං කොට කලිසං
51. සීනි බෝල හෝටලේ
52. සිඟිති ලොවේ සුරතල් හඳයා
53. ඕළු නෙළුම් නෙරිය රඟාලා
54. දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
55. ලංකා ලංකා පෙම්බර ලංකා
56. මිහිකත නලවාලා
57. ඕළු පිපීලා විල ලෙල දෙනවා
58. සුරතල් නංගියේ අපේ අම්මා
59. ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා
60. උදෑසනම පොඩි අපි දිව එනවා
61. සෙන්පතියන් ගැන නැව් පතියන් ගැන

79 comments:

  1. මමත් එවන්නම්‍‍‍....
    නම දැම්මටනම් කමක් නැහැ...
    බ්ලො‍ග් එක.......

    ReplyDelete
    Replies
    1. අනේ මොකට කියනවද බ්ලොග් එකේ වග නේද? :) හා හා එවන්නකෝ චිත්‍රයක්.

      Delete
  2. සිංදු ලිස්ට් එකේ තියෙන එව්ව දැම්මනම් මොකෝ පෝස්ට් එකක?? නැත්තං ගොඩක් අය එකම සිංදුවට ඇඳල එව්වොත් අපරාදෙනෙ.

    එතකොට අඳින කෙනෙක්ට කමෙන්ට් එකකින් සිංදු රිසර්ව් කරගන්න ඇහැකිනෙ. මත් එකක් අඳින්න (හරි අන්දවල දෙන්න)කියල හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලුතා අදහසට.......... මං මං ගාව දැන්ට තියෙන ලිස්ට් අද දවස ඇතුලත එක දාන්නං... එතකොට හැමෝටම ලෙහෙසියිනේ......... ස්තුතියි නැවතත්

      Delete
  3. කාලෙකින් චිත්‍ර ඇන්දේ නම් නෑ. මට මතකයි දූගේ මාස දහය ගැන රන්දිකා ලීව පෝස්ට් එක. අවුරුදු 3කුත් වෙන්න ආවද දූට. කලින්ම සුබ පැතුවා ඔන්න....

    ReplyDelete
    Replies
    1. හා හා ඒකට මක් වෙනවද? මේකට අඳිමු අයියේ එකක් එහෙනම්........... :)

      Delete
    2. ඔහොම කිව්වාමයි මතක් වුනේ... තව පෝස්ට් එකක් ලිව්වානේ....... ඒක අමතක වුනා. ඒකෙත් ලිංක් එක දාන්න ඕනෑ

      Delete
  4. මගේ චිත්‍ර ගන්ට දෙයක් නෑ. ඒත් මොකක් හරි ඇඳලා එවන්ට බලන්නම්. :D

    ReplyDelete
  5. ඒක බලලා දුව කියයිද දන්නේ නෑ මේ ලොකු නැන්දිද මේ කැත මල ඇඳල එවලා තියෙන්නේ කියලා හී හී...

    ReplyDelete
    Replies
    1. හැක්. මෙයා මලක් අඳින්නයි හිතං ඉන්නෙ දැං ඉඳංම. මල් ගැන සිංදු නෑද කොහෙද........... :D

      Delete
    2. සතුටින් බාර ගනියි. ‍එහෙම දෙයක් කියන එකක් නැහැ මං හිතන්නේ....... :) ස්තුතියි මිතුරිය

      Delete
    3. හි හි........... මං අද සිංදු ලිස්ට එක දාන්නම්කෝ මං ගාව තියෙන. ඔයාලාට කැමති දෙයක් කරන්න පුළුවන් එතකොට. අද කොමෙන්ට් ස්පෑම් වෙනවා සමහර වෙලාවට. ඔයාලා දාන කොමේන්ට් පබ්ලිෂ් නොවුනට කලබල වෙන්න එපා. සමහර විට ස්පෑම් විය හැකියි.

      Delete
  6. ශහ්..
    අනාගතෙ තමා මේකෙ සතුට එයාට වැඩියෙන් දැනෙන්නෙ
    මරු
    මාත් එවන්නම් චිත්‍රයක්
    :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි, ඔයාලාගේ වයස එද්දි අපේ වයස එද්දි ඇය සතුව මෙය තිබුනොත් කොච්චර සතුටක් දැනෙයිද කියලා හිතලාත් කරන වැඩක් මේක. ස්තුතියි නැවතත්

      Delete
    2. මම අඳින්න හිටියේ හාවෙක්ව.... සිහ්

      Delete
  7. හෙටම අඳින්න පටන් ගන්නවා . . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ......... ලොකු සතුටක්...

      Delete
  8. අම්මපා මේ දෙවෙනි පාර. බීටල්ට දාපු කමෙන්ට් එක සීඅයිඒ කාරයෝ උස්සලා නැති වුනා. දැන් මේකට දාපු කමෙන්ට් එකත් නෑ. මේක උස්සලා තියෙන්නෙ රනුගේ යාලු සමනල්ලු වෙන්ඩැ.....

    ReplyDelete
  9. අම්මපා මේ දෙවෙනි පාර. බීටල්ට දාපු කමෙන්ට් එක සීඅයිඒ කාරයෝ උස්සලා නැති වුනා. දැන් මේකට දාපු කමෙන්ට් එකත් නෑ. මේක උස්සලා තියෙන්නෙ රනුගේ යාලු සමනල්ලු වෙන්ඩැ.....

    ReplyDelete
    Replies
    1. ස්පෑම් කවරයක් (කේස් එකක්) තියෙනවා බුද්‍ධි. දැන් නං හරි වගේ. එහෙනං හරිනේ.......... චිත්‍රේ ලැහැස්තිනේ............

      Delete
  10. චිත්‍ර අඳින්න නම් සැහෙන්න පුළුවන් . ඒ වුනාට මේ පරිගණක චිත්‍ර කලාව ඉගෙන ගත්තේ නැහැනේ . අපේ ලොක්කිට කියල හරි මාත් එකක් එවන්න බලන්නම් . දෝනිට වේලාසනම සුබ පැතුවා ඔන්න .

    ReplyDelete
    Replies
    1. හා අක්කේ ලෙහෙසි විදිහකට එවන්නකෝ. අතින් ඇඳලා එවන්න පුළුවන් නම් ලොකු සතුටක්.

      Delete
    2. ආ මිසිස් බින්දි...

      ලෝං ටයිම් නෝ සී. මොනවද අලුත් විස්තර??

      Delete
  11. තනි තනි පිළිතුරු පසුවට.... දැන් ගෙදර යන්න ඕනෑ. ගෙදර ගිහින් එන්නම්.

    සිංදු ලිස්ට් එක අප්ඩේට් කරන ලදී

    ReplyDelete
  12. ෂෝක් වැඩක්
    මා එක්ක තවම තරහද

    ReplyDelete
    Replies
    1. ෂෝක් වැඩේට චිත්‍රයක් ඇඳලා එවන්න එහෙනං... :)

      Delete
    2. මගේ බලිකූරුටු දාලා දරුවගේ සින්දු පොත කැතවෙයි

      Delete
  13. මම ආදරේ ඇයි පොඩි හඳමාමේ අඳිමි. සියල්ලෝම සටහන් කරගත්වා (සහ අඳින්න එපා )

    ReplyDelete
  14. පොරොන්දු වූ පරිදි අංක 1 සිංදුව ඇඳ එව්වෙමි. ඔබගේ විද්‍යුත් තැපෑල පිරික්සන්න...

    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.............. චිත්‍රය ලැබුනා............ :)

      Delete
  15. ඉර හඳ මොකටද අපේ ලෝකයට ..?

    චිත්‍ර අඳින්න නම් පුළුවනි...වෙලා තිබුනොත් ඔය උඩ සින්දුවට වීක් එන්ඩ් එකේදී ඇඳලා එවන්නම්!
    චුටි දෝනිටත් කියන්න එයා ආස සින්දුවක් අඳින්න කියල. පොතේ මුල් පිටුවට ඒක දාන්න :)

    ReplyDelete
    Replies

    1. හරි නිරෝෂනි, ඔයා ඒ ගීතයට ඇඳලා එවන්න. මට ඒක අමතක වුනානේ. ඒකත් මං ලියන්නම්. අර ඉබි රාලවත් හැකි නම් දැනුවත් කරන්න... :)

      දුවට කියලා අපේ ලොකු උදව්වකුත් දීලා අන්දවා ගන්නම්. බොහොම ස්තුතියි ඒ අදහසට. එයාගේ පොත නිසා එයා අඳින මොන විදිහේ එකක් වුනත් පිටකවරේ වුනහම අගේ වේවි නේද?

      Delete
    2. ඔන්න එව්වා අක්කේ...හොඳද මන්ද ඉතින්. ෆොටෝෂොප් පාරක් තමයි :)

      Delete
    3. PS- ලයින් ඩ්‍රෝවින් එකක් විදිහට කරේ..ඕනි නම් දෝනිට පාට කරන්න... :D

      Delete
    4. ලස්සනයි නංගි. මං මේ දැන් දැනට ඇවිත් තියෙන සේරම ටික එළියට ගත්තා විතරයි. බොහොම අගෙයි. බොහොම ස්තුතියි.

      Delete
  16. රනූ දෝනිට අඳින්නේ නැති සිත්තර තියනවාය!!

    සුදු හංසි නැන්දිත් එකක් අඳින්න හිතුවා... අදම වැඩ පටාන් ගන්න ඔනි!! සුබ පැතුම උපන්දිනේ දවසට එවන්නම් හරිය!!!!

    අපි දැන් ඇඩිවාන්ස් විශස් දෙන්නේ නැ!! ;))))

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.......... :) බොහොම අගෙයි නංගි.

      සුභ පැතුම් එදාටම දෙන්නකෝ එහෙනම්..............

      Delete
  17. Akka mama peli peli sedii aththu adenava sinduwata ekak oyata andala evanava ... Check ur emails :)

    ReplyDelete
  18. නියම වැඩේ..ඒත් චිත්‍ර බැනේ එකක් එවන්නවත්

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරි යයිද? :)

      Delete
  19. මම එයාට සුභ පැතුවා කියන්න යාලු හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් කියන්නම් යාළු :)

      Delete
  20. මොකට කැත කරනවද ඒ ළමයගෙ සිංදු පොත..ඒක හින්දා සෙන්නා මාමා චිත්‍ර එව්වෙ නෑ කියන්න...

    ReplyDelete
    Replies
    1. අනේ මං මෙහෙම කියන්නද? සෙන්නා මාමා ‍ගැලවිජ්ජාවක් දැම්මා පුතේ කියලා....... :)

      Delete
  21. අපි ගාව ළමා ගී නෑනේ....ඕනනම් පරණ ශ්ලෝක ටිකක් එවන්නම්

    ReplyDelete
    Replies
    1. කියෙව්වේ නැහැ නේද පෝස්ට් එක? :)

      Delete
  22. මම නං දන්න චිත්තරයක් නෑ බොල....හයේ පංතියෙදි සවුන්දර්යෙට නැටුං තෝරගත්තෙත් ඔය චිත්තර කෙරුවාව බැරි හින්දමයි.....

    ඉඳහංකො...රනූට ලියාල එවඤ්ඤං කයියක්........

    ReplyDelete
    Replies
    1. උඹ නැටුං කොලා..!!?? හපොයි මට මැවිලා පේනවා උඹ තෙයි තෙයි කිය කියා නටනවා.. :D

      උඹ චිත්තර අතෑරලා නැටුම් තෝරගත්තෙ ටක්කෙටම නැටුම් උගන්නන්ට ඉන්ට ඇති හැඩකාර ටීචර් නෝනෙක්.. අපි නොදන්න උඹෙ නැටුං.. :P

      Delete
    2. අඩේ බොරු නෙවෙයි බොල ඇත්තටමයි...අපිට ඒ කාලෙ තිබ්බ නෙව සෞන්දර්ය විශයය කියල චිත්‍ර, නැටුම් එහෙම නැත්නම් සංගීතය තෝරගන්ට...සංගීතෙට තිබ්බෙ පරණ වයලිං කට්ටක් විතරයි..අනික කාටද පුලුවන් බං විනාඩි හතලිස් පහක් විතර එක දිගට ආ..ආ..ආ....ඊ...ඊ....ඊ...කියන්ට වකුගඩු දෙකත් අගේට පේන තරමට කට ඇරල..ඒ නිසා සංගීතෙ අත ඇරිය...

      ඔන්න උඹ කියාපු විදිහට ඉටිකිරිස් මිස් කෙනෙක් හිටියෙ බං නැටුං ඔලට නං නෙවෙයි චිත්තර උගන්නන්ට....හප්ප...කියලා වැඩක් නෑ...ඔන්න හරියටම කවුරු වගේද දන්නවද.....අර කවුද බං සෝක් නිළියක් හිටියෙ...ආන්න එයා වගේම තමයි....ඇරපු අතක් නෑ...ඒත් චිත්තර කර්මය අතෑරල නැටුං තෝරගන්ට මම තීරණේ කලා හේතු දෙකක් නිසා...

      1. චිත්තර කියන ජාතිය මට අල්ලන්නෙම නෑ...මලක් ඇන්දොත් ඔන්න ඒක යටින් ලියන්ට ඕන '' මේ මලකි'' කියල. ඒ කරල ඊතලේකුත් ගහන්ට ඕන...මොකද මගෙ මලයි, ඉරයි, දෙකම එක වගෙ...

      2. නැටුම් වලට ඒ දවස්වල අපට හිටියෙ නියම සේර් කෙනෙක්....සිගරට් ගහනව ඕසෙට...අපිට කියල තමයි සිගරට් ගෙන්න ගන්නෙ...ඒ අස්සෙ අපිත් එකක් ගහනව නැටුං කාමරේ එහා පැත්තට වෙලා...

      උඹට කියන්ට බූරො..මට තියනව නැටුං වලින් සහතික හිට...අපි ඔන්න පාටසාලාන්තර දිස්ත්‍රික් තරඟෙකින්ද මොකක්ද එහෙකින් දෙවෙනි ඉස්තානයට ආවනෙ...ටිම් එකේ අනික් එවුන් මාව වටකරගෙන කිව්ව '' මචං උඹ හින්දයි අපි දෙවෙනි තැනට ආවෙ '' කියල මට මාර තන්තෝසයි...'' තැන්කියු ,තැන්කියු '' කියල කට ගන්ට හම්බ උනේ නෑ දන්නවද ඊළඟට උං කියාපු අළුගුත්තේරු කතාව..මරාගෙන මැරෙන්ටයි මට ඒ වෙලාවෙ හිතුනෙ. '' උඹ හිටියෙ නැත්නම් අපි අනිවාර්යයෙං එක " ඔන්න ඕකුං මගෙ මූණටම කිව්ව කතාව...

      ඒ තරඟෙට අපි නටපු නැටුමෙ සිංදුවෙ පද දෙකක් මට තාම මතකයි..

      රන්වන් කරල් සැලෙයි සංසුං කමින් බරව,
      සිල්ගත් සිතින් යුතුවු කතසේ ,
      මඳ සුළඟ හා සමඟ බඳ නලන විට ගමද,
      පෙම්මල් උදා කරති සතොසේ,

      Delete
    3. අනේ අප්පේ මටත් උනේ ඔය සංතෑසියමයිනේ........සිංදු කියන්නත් බැහැ, චිත්‍ර අඳින්නත් බැහැ........ ඒක හින්දා නටන්ට ගියා........ අන්තිමට නටපු නැටුමකුත් නැහැ ජීන්ස් එකේ පලුවකුත් නැහැ........ නටනවා කියලා මැටි තලන්න ගිහින් විළුඹයි පොළවයි අතර හිරවෙලා ලක්වෙලා ජීන්ස් එකේ කකුල් දෙකම හිල් වුනා......... :)

      Delete
    4. අනේ රන්දි, රනූට කියන්ඩ ජනනි නැන්දට නං කෝටු බබෙක්වත් ලස්සනට ඇඳගන්ඩ බෑ කියල... ඒ වුණාට ජනනි නැන්දට එයාව හම්බ වුණ දවසක එයා එක්ක සින්දු කියන්ඩ පුලුවං කියන්ඩ ඇති වෙනකල්ම!!
      රනූ පැටියට සුබ උපන්දිනයක්!!!

      අනේ අපේ රවී අයියටත් මොකුත් නොකිය ගියොත් හරි නෑ නෙව...
      අයියෙ මේක අර තුරඟා වන්නම තාලෙනෙව... උඹ එකත් එකටම නටන්ඩ ඇති පද මාලාවෙ අර්තෙ පැත්තක තියල අර තත් තත් තනත් තනෙන කියල අස්සය එන විදියට... ඒක තමා ඔය දෙවෙනි තැන ලැබිල තියෙන්නෙ

      Delete
    5. හා හා මං කියන්නම්කෝ..............

      මටත් හිතා ගන්න බැරි වුනේ නිකං වන්නමක් වගෙත් ඇහෙනවා....... ඒ වුනාට පද වෙනස් අනේ මන්දා කියලා ඔන්න ඔහේ හිටියා......... ඒ වුනාට මේ පදත් නිකං මතකයි මතකයි වගෙත් දැනෙනවා

      Delete
    6. @ ජනූ,

      අඩේ වෙන්නත් ඇති ...ඒ තුරඟා වන්නමේ තාලෙට වෙන්න ඇති ඔය අපි නටපු සිංදුව හදල තියෙන්ට ඇත්තෙ..ඔන්න බොල ටික ටික එනව මතකයට...ඔය කාලෙ මහවැලිය පටංගත්තුම කාලෙ...මහවැලිය ගැනයි ඔය අපෙ නැටුම මට මතක විදිහට..

      තව කෑල්ලක් තිබ්බ මෙහෙම...

      ගං හෝ ජලින් පිරුණු,
      ගොවිබිම් වලින් සුසැඳි,
      "දුක් දොම්නසින් ඉවත ඇදුනා,
      "
      නදි කොමලි බඳ වැලඳ,
      ගස් වැල් මලින් සැරසි දිලුනා...


      ඒයි අඩී..තුරඟා වන්නමෙයි කියන්නෙ බුදු හාමුදුරුවො පිටේ ගිය අස්සය ගැන ලියාපු එක නේද?...

      මුල මතක නෑ...මැදක් ඉඳල නම් මෙහෙමයි,

      යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන,
      ගංතෙරට පත් වුනිය එමගා,


      හරි තමයි..අර කලින් සිංදුව ඒ තාලෙ තමයි....ඔය තුරඟා වන්නමේ තියනව බුදු හාංදුරුවො බ්‍රම්ම පුත්තර ගඟෙන් එහාට පැන්න ජම්ප් එක ගැන කියවෙන තැන ( කොහොමද සීයෙ මගෙ ජම්ප් එක ?.....ඒ කතාව උඹ අහල තියනව නේද? ) හත් අඩිය පාගල උඩ පැනල කරණමක් ගහල ආයෙම හතර ගාතෙ දාල බිමට පාත් වෙන සීන් එකක්....කස්තිරං කියන්නෙ ආං එව්ව...

      මට දැන් ඔන්න ටික ටික මතක් වෙනව...උඹ කිව්වත් වාගෙ ඔය '' දුක් දොම්නසින් ඉවත ඇදුනා " කෑල්ල කියන කොට මට අමතක වෙලා උඩ පැනල ඇල්ලුව ද කොහෙද තමයි අර කස්තිරම.....මම හිතෙන්නෙ ඒකෙං තමයි අපි දෙක උනේ....හෆොයි,

      @ රන්දිල්,

      ඔව්, ඔව් අනේ..ඕක ඔය මහවැලි ගීතය...මට මතක විදිහට අමරදේව මාස්ටර් ඇතුළු කණ්ඩායමක් ගායනා කලේ....

      Delete
    7. හි හි...මං හිතන්නෙ ඔය ගීතෙ කිව්ව මුල්ම කණ්ඩායමේ අපේ අම්මත් හිටිය කියල එයා කිව්ව වගේ මතකයි...

      ඒක තුරඟා වන්නමේ රිද්මය හා නාද රටා අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ...

      /බුදු හාමුදුරුවො පිටේ ගිය අස්සය ගැන ලියාපු එක නේද?.../

      මොනවද බං මේ කියන හරුප... උඹ ලෙසටම අනුමත වෙච්ච වෙලාවකද මන්ද මේ කොමෙන්ට් කොරල තියෙන්නෙ... මේ ලියපු විදියට තේරෙන්නෙ
      කන්ථකනං අස්සය බුදුහාමුදුරුවංගෙ පිටේ නැගල ගියා වගේ නෙව බොල??
      සිද්ධාර්ථ කුමාරය අස්සයගෙ පිටේ නැගල ගියා කිව්ව නං තව තේරෙනව...
      චික් විතරක්!! උඹ මොනව ලියනවද මන්ද...

      අඩේ අයියෙ.. ඔය කස්තිරං කියන එව්ව උඹට ඕනෙ ඕනෙ තැංඔල ගහන්ඩ බෑ.. එව්වට තියෙනව නියමිත වෙලාවල්... කොහෙද උඹ ගහන්ඩ ඇති අර දුක් දොම්නසින් ඉවත ඇදුනා කියන කෑල්ලට උඩ පැනල කස්තිරම තව දෙතුන් දෙනෙක් ඉස්ටේජ් එකෙං ඉවතට ඇදිල යන ලෙසටම....

      මේ.. දැං ඹ්ක මතක් වෙච්ච වෙලාවෙ වැරදිලාවත් ගහන්ඩ එහෙම එපා ගොයියො පුලුවන්ද බලන්ඩවත් කස්තිරමක්.... මේ නහින දෙහින කාලෙ ආයෙ කොන්දවත් ඇමැට්ටි වුණොත් මොකෝ ඔය අහ වෙදගමක් වත් නෑ නෙව...

      Delete
    8. රන්දි,
      හර්ෂණගෙ පිච්ච කැකුලු ගීත සමුච්ඡයෙ ගීතත් හරිම ලස්සනයි... එක සින්දුවයි ඔයාගෙ ලැයිස්තුවෙ තියෙන්නෙ...
      පිච්ච කැකුලු මල් මාලය
      තාත්තා වගේ
      සරුංගලේ උඩ අහසේ
      මා පීතෘ සිංහරාජ... මේ ඒකෙ මං ආස ගීත ටිකක්... ඔයා අහල තියෙනවද දන්නෙ නෑ මේ ගීතත් හරිම ලස්සනයි..
      හැබැයි රනූට නං ටිකක් ලොකු වැඩිද මන්දා වචන එහෙම...
      ඔය හඳහාමී කියන නන්දාමාලනී මහත්මියගෙ ගීත එකතුව නං ඉස්සර සිංග්ලංකා අය කළේ.. ඒකත් එක්ක ගීතවල වචන විතරක් නෙවෙයි, ඒවට අනුව ඇඳපු සිබිල් නැන්දගෙ චිත්‍ර පිරිච්ච, ඒ ගීතවල පෙරදිග හා බටහිර ස්වරප්‍රස්ථාර තිබුණු පොතකුත් ලැබුණා...
      මගෙ ලඟ අදත් තියෙනව ඒ පොත නං...
      මං හිතන්නෙ දැන් ඒකෙ සීඩී එක අරගන්ඩ ඇති සිංග් ලංකා කට්ටිය ලඟම...
      ඔයාගෙ මේ වැඩේ නිසා මට මතක් වෙන්නෙ අපේ අම්ම ඉස්සර අපි දෙන්නට සුරතලා පත්තරවල ගිය කවි කතා සින්දු අලවල ඉස්කෝලෙන් අරන් ආව ප්‍රශ්න පත්තර අච්චු ගහල වැරදිච්ච රෝනියෝ කොලවල අලවල හදල දුන්න පොත් දෙක... ඒ හන්ද ඔයා කරන්නෙ ඉතාම හොඳ වැඩක් කියල මට අත්දැකීමෙන්ම කියන්ඩ පුලුවන්

      Delete

    9. //ඔය තුරඟා වන්නමේ තියනව බුදු හාංදුරුවො බ්‍රම්ම පුත්තර ගඟෙන් එහාට පැන්න ජම්ප් එක ගැන කියවෙන තැන\\

      බුදු සන්තෝ මොනවද මේ කියලා තියෙන කථා, සැදැහැවත් තියා සැදැහැවත් නැති බෞද්ධයෙක්වත් කියන කථාද මේ කියලා තියෙන්නේ........... කන්දෙන් පහලට ගලක් ඔළුව මතට අනුමත කරන්න ඕනෑ කථා මේ කියලා තියෙන්නේ

      Delete
    10. අනේ හංසකිංකිණි, මේ කියන සිංදු මේ විදිහට දැක්ක ගමන් මට මතක් වෙන්නේ නැහැ. සමහරවිට අහලාත් ඇති නැතුවත් ඇති. කොහොම වුනත් බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.

      අනේ හඳහාමි ගැන තවත් අය කිව්වා. ඒ වුනාට මට පොඩි කාලේ ඒක ලැබුනේ නැහැනේ. මං සොයලා බලන්නම් ඒ පොත හොයා ගන්න පුළුවන් වෙයිද කියලා.

      ඔයාගේ අම්මා හදපු පොත ගැන ඔයා කථා කරනවා වගේ අපේ දුවත් කවදා හරි මේ අපි සේරම එයාට හදලා දෙන්න යන පොත ගැන කියයි නේද? :)

      Delete
    11. මොකද නැත්තෙ රන්දි, අනිවාර්යයෙන්ම කතා කරාවි,ඒ පොත නිසා අපි දෙන්න පුංචි කාලෙම කියවන්ඩ හුරු වුණා.. ඒ විතරක් නෙවෙයි අවුරුදු දෙකේදි තුනේදි අපේ මල්ලි අකුරු දන්නෙ නැතුවත් මං පස්සෙන් වැටිල අහගෙන ඉඳල ඒ පිටුව පෙරලගෙන ඒකෙ තියෙන සින්දු කතා කටපාඩමින් කියන්ඩ ගත්ත... ඒව දරුවන්ට අමතක වෙන්නෙ නෑ!!
      බලන්ඩකො

      ඔය හඳහාමී පොතේ ගීත ටික මට පිලිවෙලට කියාගෙන යන්ඩ පුලුවන් අදටත්!!
      මං හොයල බලන්නං ඒක දැන් තියෙනවද කියල... රනුට උපන්දින තෑග්ගක් එවන්ඩ පුලුවන්ද කියල බලමු මටත්

      Delete
    12. @ Randil,

      / ඔයාගේ අම්මා හදපු පොත ගැන ඔයා කථා කරනවා වගේ අපේ දුවත් කවදා හරි මේ අපි සේරම එයාට හදලා දෙන්න යන පොත ගැන කියයි නේද? :) /

      රනූගේ පසළොස් වන උපන් දිනය යෙදී තිබුනේ ඊයේය. මධ්‍යම රාත්‍රියට ආසන්න වනතුරුම සාදය පැවතියේ රනූගේ මිතුරු මිතුරියන් අපමණ සතුටින් ඉපිල යවමිනි.

      ඇය උදෑසනව තම හොඳම මිතුරිය වූ චාරුකීට කතා කලේ ලැබුණු තෑගි විවර කොට බැලීම තනිව නොව ඈත් සමඟම කලහොත් මැනවයි සිතුනු බැවිනි.

      '' චාරු..අරං වරෙං..... අර මගෙ පොත් රාක්කෙ උඩ තියන තෑගි ටික....අපි ඇඳේ ඉඳගෙන ඔව්ව ඇරල බලමු...මම පොඩ්ඩක් එතකල් ඇඳ අස් කරල දාන්නං ''

      '' හරි ඉඳපං.... මම ගේන්නම්...''

      පොත් රාක්කය වෙතට ගිය මිතුරිය ඒ මත ගොඩ ගසා තිබූ තෑගි දෑතට ගැනීමට තැත් කරද්දී එහි පසෙක තිබූ පොතක් වැනි යමක් ඇගේ සුරත ගැටී බිම පතිත විය.

      '' හප්පෝ....උඹත් කරන වැඩ....අම්මි එහෙම දැක්ක නං මෙතන කනක් ඇහිල ඉන්ට හම්බ වෙන්නෙ නෑ...''

      රනූ පැවසුවේ වහා ඒ රැගෙන නැවත රාක්කය මත තැන්පත් කරන අතර මිතුරියට ඉඟි මරමිනි.

      රැගෙන ආ තෑගි පාර්සල් ඇඳ මත තැබූ චාරු නැවත පොත් රාක්කය වෙත ගොස් ඒ පොත අතට ගත්තීය.

      '' මොකක්ද බං මේ?...මම මේ උඹං කීප දවසක් අහන්නමත් හිටියෙ....මොකක්ද මේ තරං වැදගත් පොත? ''

      '' ඔය බං මගෙ තුන්වෙනි බර්ත් ඩේ එක දවසෙ අපෙ අම්මි Childrens Songs එහෙම ලියල චිත්‍ර ඇඳල හදපු පොතක්....හි, හි,....එයා හරිම ආදරෙයි ඕකට....මම දෙතුන් පාරක් ඕක ඔය ලාච්චුවක් අස්සට දාල මට බැන්න පළු යන්ට....''

      '' මේ චිත්‍ර ඔක්කොම උඹලගෙ අම්මිමද ඇඳල තියෙන්නෙ? ''

      '' නෑ..නෑ...එයයි මායි අඳින චිත්‍ර...එයාගෙ ඉන්නවනෙ ඔය යාළුවො සෙට් එකක්...වැඩි දෙනෙකුට මොලේ කොලොප්පං...හිහ්, හිහ්,...එයාල තමයි ඔය ඇඳල එවල තියෙන්නෙ ඒ කාලෙ....''

      '' ඒකනෙ රනූ....පව්නෙ ඉතිං අම්මලගෙත් ආසාවනෙ....ඔන්න ඔහෙ තිබ්බාවෙ මොකද උඹ උස්සගෙන ඉන්නවය? ''

      '' හිහ්, ඒක හරි.....මේ..ඔන්න ඕක පැත්තක දාල වරෙං මේ වැඩේ අද ඉවරයක් කරන්නෙ නැද්ද? ''

      ************************************************

      N.B - Randil, Please treat this as a worst case scenario.....Okay ?....Heh, heh,

      Delete
    13. ජනූ ළමයාත් ඇවිල්ලා තියෙන්නේ...... හා හා හොඳයි ඔයා හොයලා බලන්නකෝ.

      Delete
    14. හොහ් හොහ් හොහ්...........
      හික් හික් හික්..........

      මයේ අප්පේ මාර වෝස්ට් කේස් සෙනාරියෝ එකක් තමයි..... හිකිස්.....

      දැනට යන විදිහට නං ඒ විදිහේ වෙන්නේ නැහැ වගෙයි.......... කවුද දන්නේ, තාම පොඩි පැටියානේ....... ලොකු වෙද්දි මොනවා කියයිද කියලා... මට හැබැයි හිතෙන්නේ අපි අතර ඉන්න බහුතරයක් වූ හොඳ බ්ලොග් ලියන අය හිතන පතන විදිහට හිතන කෙනෙක් වෙයි වගේ. දැන් අහන්න එපා හොඳ මැන්නේ කොයි කෝදුවෙන්ද කියලා........

      එයා ඉපැදෙන්න ඉද්දිත් මං කලේ බ්ලොග් කියවන එකයි ලියන එකයිනේ........

      Delete
    15. අපරාදේ මේකට මෙච්චර හෑල්ලක් ටයිප් කලේ අපරාදේ......... ගෙදර ගියාට පස්සේ තමයි ගැලපෙන කොමෙන්ට් එක සිහි වුනේ.........


      පහලොවේදී එහෙම කලාට තිහේදි එහෙම කරන්නේ නැහැ

      Delete
  23. රන්දි අක්කේ, 41. ටිකෙන් ටිකම- නන්දා මාලිනි ගීතයට සිත්තරයක් ඔයාගෙ ලියුම් පෙට්ටියට එවලා ඇති. බලන්නකෝ හොඳේ. චූට් දෝණිට සුභම සුභ උපන් දිනයකට කල් ඇතුවම සුභ පැතුම් ඔන්න. :)

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි නංගෝ............ හරිම ලස්සනයි........ ගොඩක් සතුටුයි ඔයාලා හැමගේම ප්‍රතිචාරයට....... :)

      මං පොත හැදුවහම ඔයාලා හැමෝටම දැක ගන්න සලස්වන්නම්කෝ

      Delete
  24. දැනට චිත්‍ර එවු (රනූගේ) නැන්දලා මාමාලා සැමට ස්තුතියි. ‍අනිත් නැන්දලා මාමලා සේරමත් හැකි ඉක්මනින් එවන්න හොඳේ..... :)

    ReplyDelete
  25. රන්දිල්, ඉස්සෙල්ලම මට සමාවෙන්නකො.
    මේකයි කතන්දරේ. මම මේක දැක්කා. දැකලා හිතුවා චිත්‍රයක් අඳින්න ඕනෙ කියලා පොඩි එකීට. දීපත් මේකම දැකලා මගෙන් ඇහුවා ඇයි අනේ මේ ලමයට මොකක් හරි ඇඳලා යවන්නකො කියලා කිව්වා. මම දීපාට දීපු උත්තරේ මම මෙතන දාන්නම්.

    "ඔව්, ඔව්, මම අඳින්න තමයි ඉන්නෙ. මම හිතාගෙන ඉන්නෙ කො‍ටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියාට එකක් ඇඳලා යවන්න. වැඩේ කියන්නෙ ඔයාට පේනවනෙ මේ දවස්වල උදෙත් වැඩ හවසත් වැඩ අපි දෙන්නම. ඉතින් මට බය හිතුනා මෙතන පොර වගෙ කමෙන්ට් එකක් දාලා පොරොන්දු වෙන්න. ඔයා දන්නවෙනෙ මම පොරොන්දු කඩ කරන්න කැමති නෑ කියලා. ඉතින් මම නොකර සද්ද එකක් ඇඳලම යවලා කමෙන්ට් එකක් දාන්නම් ඔන්න එව්වා කියලා."

    ඔන්න ඕකයි රන්දිල් ඇත්තටම වුනේ. ඇත්තටම මෙතන කමෙන්ට් එකක්වත් දැම්මෙ නැත්තෙ ඕක අහයි කියලා. තරහ වෙන්න එපා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. :) තරහ වෙන්නේ නැහැ.......... හැකි අයුරින් කටයුතු කරන්නකෝ අයියේ......... :)

      Delete
    2. රන්දිල්,

      ඔන්න චිත්‍රය එවනවා.
      කො‍ටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.
      පොඩි එකීට සුබ උපන් දිනයක් පතනවා කලින්ම!
      randil02@gmail.comට එව්වේ හරි?

      Dude

      Delete
    3. අනේ ඔව් ලැබුනා ලැබුනා. පිළිතුරු පමා වූවාට සමා වෙන්න. ඊයේ දුව මොන්ටිසෝරි ගියානේ. ඉතිං අපි නිවාඩු අරං එයා‍ යන එන එක ගැන බලාගෙන හිටියා. අද ඇවිත් වැඩ වගයක් තිබුනා. ඒක ඉවර වෙලා පිළිතුරු දෙන්න හිටියේ......

      හෑබෑ අගේ චිත්‍රය.......... කොහොමද අර කොටු ටික ඇද කරලා ඇන්දේ හැබෑටම‍............... :)

      Delete
    4. ඇති යන්තම්!
      වැඩ කාරයට බොරු බෑ කියනවනෙ නැත්ද?
      ඕක ඇන්දේ නම් රන්දිල්, ඉස්සෙල්ලම කාලක් ගැහුවා. ඊට පස්සෙ තව කාලක් ගැහුවා. ඊට පස්සෙ චිත්‍රෙ මේසෙ උඩින් තියලා දීපාට මේසෙ හොල්ලන්න කියලා කෙලින් ඉරි ටික ඇන්දා. :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  26. අද උදේ ඇවිත් මේල් බලනකොට ලස්සන චිත්‍ර ගොඩාක් ලැබිලා තිබුනා. බොහොම සතුටුයි. ඒ හැමටම බොහොම ස්තුතියි. ස්තුති මේල් එව්වාට මෙතනත් කියන්න හිතුනා අපේ යාළුවන්ගේ හිතවත් කම ගැන. බොහොම ස්තුතියි මිතුරනි.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. රන්දි හර්ෂණගෙ පළවෙනි ඇල්බම් එක ඉරෙන් හඳෙන් මෙන්න මෙතනින් බාගත කරගන්ඩකො

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජනූ ළමයෝ........... මං ගන්නම්. බොහොම ස්තුතියි. අර එවලා තිබුනු සිංදුවත් ලැබුනා. හදවතට දැනෙන ම පේළිය අන්තිම පේළිය නේද?

      Delete
  29. මිතුරු මිතුරියනි,

    අපේ සිංදු පොතේ කටයුතු 90%ක් පමණ ම අවසානයි. හැකි විගස ඔයාලා හැමටම එය දැක ගන්නට කටයුතු සලස්වන්නම්.

    (තව කවුරු හරි නැන්දෙක් මාමෙක් චිත්‍ර එවන්න කැමති නම් එවන්න. ඒවාත් ඇතුලත් කරගන්න පුළුවන් වේවි)

    ReplyDelete
  30. අනේ සමාවෙන්න නගේ . . වැඩ රාජකාරී එක්ක පොරොන්දුව ඉස්ට කොරන්න බැරි උනා . . සමාවෙයන් ඈ . .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...