Monday, March 4, 2013

166. බටු, මිරිස් , තක්කාලි සමඟ සඟක් ගැන කතාවක්.....


අර සද්දන්ත පේමයක කතාව මතකයි නේද? අන්න ඒ කතන්දරේ කියද්දි මම කිව මතකද විමලෙ අයිය ගැන ...අර මොකෑලන්තෙ පැත්තෙ ගෙවල් තියෙන්නෙ කියල මම කිව්වෙ....අපෙ ජනූ නඟත් ඔය මොකෑලන්තෙ කිට්ටුව තමයි. ඔවුන්දැ මා එක්ක නමෝ විත්තියෙං කතා දමාපු වෙලේ මම ඇහුවනෙ නඟේ උඹැහෙ කොයි පළාතෙද හැබැහැට කියාල? අනේ උන්දැ කියාපි අයියෙ උඹ දන්නවය මොකෑ ලන්තෙ..මං ඇවිල්ල ආන්න එහෙ කියාල..අනේ මට ඉහිලුං නැති තන්තෝසයක් ආව නෙව..අඩේ බොලේ මයෙ හොඳම යාලුවෙකුත් ඉන්නව බොලේ ඔය පැත්තෙ...ඕකා ගැන කතා බොහොමයි..ලියඤ්ඤංකො වෙලාවක මං කිව්ව. ඒ අවුරුදු දෙහෙකට එහා පැත්තෙ. ඉතිං මං හිතුව අර මම කිව්ව මොකෑ ලන්තෙ මයෙ යාලුව..විමලෙයා ගැන ආයෙම ඇදිල ආපු එකේ ඒ කතා දෙක තුන කියල ඉවරයක් කොරල දාන්ට ඕනය කියල.

ඔය ජානුස් මහ උජාරුවට අපිත් ඇවිල්ල මොකෑලන්තෙ කිව්වට උන්දැ හරියටම බැලුවොත් ඉන්නෙ මොකෑලංතෙ දේස සීමාවෙ..මායිං ගම්මාන කියල අර පහුගිය කාලෙ කිව්වෙ..අන්න එව්ව වගෙ..උන්දැ ඉන්න හරියට කියන්නෙ මහදඹාන කියල..

හරි එවුන්දැ ගැන ඔය මදැයි ...දැං විමලෙ අයියගෙ කතාව...

ඔය විමලෙය ඇවිදිල්ල හිට හරිම හොඳ එකා. ඒ කාලෙ අපි රස්සාවට ගිය අලුත. අවුරුදු විසි දෙකයි. ඒ කාලෙත් විමලෙයට අවුරුදු තිස් පහක් වගෙ ඇති. අපි ඉතිං ඔය වැඩිමාලු සීනියර් කට්ටිය හැඳින්නුවෙ අයිය කියල පොදුවෙ.විමලෙ කැමති උනේ නෑ ඒකට. අඩේ මේ ඔය අයිය බයිය කතා ඕන නෑ. හරී? අයිය කිව්වම එක්කො නිකං පාතාල නායකයෙක් වගෙ..එහෙම නැහ්නං උඹලගෙ ඕන එපාකං ඔක්කොම පිරිමහන වැඩිහිටියෙක් වගේ..මම ඔය දෙකටම අයිති නෑනෙ..ඒ නිසා එක්කො මට මිස්ට විමලසිරි කියාපල්ල නැත්තං විමලෙ කියාපල්ල..ඇහුනද?...විමලෙ අපිට එහෙම කිව්වෙ ආපු මුල්ම දවසෙ. මිනිහගෙ හැටි එහෙම තමයි.

විමලෙ ගැන කතා තියනව පොතකට සෑහෙන්ට. විට මරුව...නිදියගන්නෙත් හපේ හක්කෙ තියාගෙන.

අවුරුද්දකට පාරක් තියෙනව අපෙ වුර්තීය සමිතියෙ වාර්සික සමුලුව. ඕක කොළඹ තියෙන්නෙ. දවස් තුනක ඩියුටි ලීව් ගමං වියදං ( අර බටා කියන්නෙ..දන්නව නේද? ආං එව්ව ) යැපීම් දීමනා ( Subsistence Allowance ) අරව මෙව්ව ඔක්කොම ගෙවනව ඕකට සහබාගි වෙනවට. පරන යාලුවො හම්බ වෙන්ට, ඒ වගේම හවහට බොරැල්ලෙ අපෙ තියනව සුවිසේසී පොට් එකක්..ඔතනට සැට් වෙල පොඩි මෙව්ව එකක් ගන්ට තියෙන අවස්තාව නිසා අපි ඉතිං ඔය දවස එනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

අපෙ තව යාලුවෙක්ගෙ මාම කෙනෙක් සිස්සත්තයක් හම්බවෙල එංගලන්තෙටද ඇමරිකාවටද කොහෙද ගියා ඔය කිට්ටුව. මනුස්සය එනකොට ගෙනල්ල තිබ්බ සඟක්. සඟ දන්නවනෙ නේද?...හාංදුරුවො එහෙම නෙවෙයි..:)......සංගිලෑස් කියන්නෙ ආන්න එව්ව.....ඒං එව්ව්යිං කූස්ටමක් ගෙනැව්ව කියන්ටකො අර මාම පොර ඔය ගිය තැනකිං.....මෙලොව සංසාර දෙයක් පේන්නෙ නෑ ඕක දාගත්තම. එහෙ හිම වැටෙන කාලෙට දාන එකක් ඒක. හිම උඩට අව්ව වැටිල පරාවර්තනේ වෙනකොට ඇස් වලට හරිම අමාරුයි කියනවනෙ. ඒ කාලෙට දාන්න හදපු එකක් තමයි ඒ සඟ. පට්ට දවල් උනත් ඕක දාගත්තම ආය නෑ කනා මුට්ටි බිඳින්ට ඇස් ගැට ගැහුවහෙ.....දෙන්නෙක් දෙපැත්තෙං අල්ලගෙන එක්ක යන්ට ඕන සඟ පැළඳි පොරව...හෙහ්, හෙහ්,

ඒ දවස්වල අපි පොඩි සිංදු කෑල්ලකුත් හදල තිබ්බ ....හෙහ්, හෙහ්,

සඟ පැළඳ මම එන්නෙම් සොඳුරිය සඳ කිඳුරු කත ඔබ දකිනටා...හා..හා....හා…
සඟ පළඳමිනා....නෙතු නොපෙනෙනා....
කණ වැල අල්ලා...මම එමි ඔබ දකිනටා..සඟ පළඳමිනා…

ඒ දවස්වල අපෙ කෑම්ප් එකේම කෙල්ලො සැට් කරං හිටපු එවුං පිරියම්බිකාව බලන්ට ගියේ ඔය සඟ පැලඳ....අපි දෙන්නෙක් දෙපැත්තෙං අත් දෙකෙං අල්ලගෙන ගිහිල්ල පේමවන්තය කෙල්ල ඉන්න තැනට ඇරලෝනව...ඊට පස්සෙ සඟ අරගෙන ආපහු එනව..ඊළඟ එකාට පැළඳගෙන යන්ට උගෙ කෙල්ල බලන්ට...

අර වාර්සික සමුලුවට කොළඹ යනකොට ඔය සඟ පැලඳගෙන යන්ට ඕනය කියල දොලදුකක් ආව විමලෙට.අනන්ත එපා කිව්ව..කොහෙද?..ඕකට යමක් හිතුනොත් හිතුනම තමයි...අන්තිම ඇට්ටරය…

කලින් දවසත් නිවාඩු හම්බ වෙන නිසා මම ගෙදර ආව. රැස්වීම දවසෙ උදේ කෝච්චියෙ ගියා කොළඹ. විමලෙයි තව දෙතුන් දෙනෙකුයි පාන්දර බස් එකේ එනව කිව්ව. ඒක උදේ නමය වගෙ වෙනකොට කොටුවට එනව. දහයටනෙ රැස්වීම. හොඳටම වෙලාව ඇති එන්ට. ඒත් ඔන්න එකොලහ දොලහ උනා මුං කවුරුත් නෑ. දොලහට තියනව බ්‍රේක් එකක්. සෝටීස් දෙක තුනක් කාල තේකක් කාරිය බොන්ට.අපි තේ බිබී ඉන්නකොට මෙන්න මුං ටික දුවගෙන ආපි තුම්මුනිං දාඩිය දාගෙන.

" ඒයි මොකෝ බොලා මෙච්චර වෙලා?...බස් එක කැඩුනෙයි? " 
ඒ අපේ තව යාලුවෙක්..ඌ ඇවිල්ල බෙන්තර ගඟෙන් එහා…

" කොහේද බාල්ල ලැට්ටෙක?.." 
විමලෙය ටොයිලට් එක පැත්තට ගියා. සඟ නෑ පේන්ට

" කෝ බං අරකගෙ සඟ?.." මම ඇහුව

" සඟ තමයි..මතක් කරන්ට එපා ඔය මඟුල...ඉඳහංකො වෙච්චි දේ කියන්ට. විමලෙය බස් එකේ බුදියගෙන ආවෙත් සඟ දාගෙන. ගැලෙව්වෙම නෑ..පිටකොටුවෙ බස් එක නැවත්තුවනෙ. අපි බෑග් එහෙම හොයාගෙන බහිනකොට විමලෙය බැහැලත් ඉවරයි. ඊට පස්සෙනෙ සීන් එක. පූරුවෙ වාසනාවකට මැරුං නොකා බේරුණෙ….."

" ඈ??? ඒ මොකද බං ඒ?..... ඉතිං කියාපංකො තවත් තෙපර බාන්නෙ නැතුව …" 
ඔය වෙනකොට අහල පහල හිටපු ඔක්කොම අපි වටේ රැස් වෙලා…


" බලපං අරූ එනවද කියල..විමලෙය......" 
කතන්දරේ කියන එකා වටපිට බැලුව. විමලෙය හොඳ එකා වගේම තමයි තද උනාම ඉපදෙනව මැරෙනව පේන්නෙ නෑ...


" මචං ගුණසිංහ පුරේ අලුත් බස්ටෑන්ඩෙකට යන පාර දෙපැත්තෙ අර බටු මිරිස් තක්කලි දෙහි එහෙම තියාගෙන වෙලදං කරන්නෙ...දෙයියෝ සාක්කි කිව්වට විස්වාස කරපං...මූට තාම බාගෙට නිදිමතේද නැත්තං අර හෙන්රි කල්දේරගෙ ජාතියෙ සඟ හින්දද මෙලෝ හසරක් පෙනුනෙ නැතුවද මන්ද බස් එකෙං බැහැපු ගමං ආය මොනවද අර බටු මිරිස් තක්කලි ඔක්කොම පාගාගෙන නෙව මේකා ගියේ..." 

" දෙයියෝ සාක්කි අම්බරුවො කොළේ මඩවනව වගෙ තියෙන්ට ඇති.... තොපි හතර දෙනාටම වට පෝරියල් එක දුන්නෙ නැතුව ඇති අම්මගෙං බීපු කිරි කටිං එන්ට....හෙහ්, හෙහ්, " 
යන්තං හිනාව නවත්තගත්ත හැටියෙ මම කිව්ව.


" හෙහ්...උඹටනං හිනා..මේං බලාපං මතක් වෙනකොටත් මගෙ මයිල් කෙලිං වෙන හැටි……" 
එහෙම කිව්වට අපි කවුරුත් උගෙ මයිල් බලන්ට ගියේ නෑ..

" හරි හරි ඒ මයිල් පස්සෙ බලන්ට බැරිය. ඊට කලිං වෙච්ච දේ කියාපං...තව ටිකකිං ආයෙම මීටිං එකත් පටන් ගනීවි…" 

" ආය මොනවද අම්ම මෝ නැතුව බැණගෙන උං ඔක්කොම අපි තුං දෙනා වට කරගත්තෙ නැතෑ පරාස්සයො රැලක් වගෙ. මචං දහ අතේ වැඳල සමාව ඉල්ලල යන්තං එතනිං පැන ගත්තෙ...ඒත් රුපියල් පණහක් දෙන්ට උනා අලාබෙට. "

" තුංදෙනා කිව්වෙ ? "

" තුංදෙනා කිව්වෙ විමලය ඇර අපි තුංදෙනා තමයි අහු උනේ……"

" ඈ???..ඒ කොහොමද විමලය විතරක් ඒකෙං බේරුණෙ?...ඌනෙ කර මුලටම අහුවෙන්ට ඕන…" 

" ඔන්න බලාපල්ලකො ඒකෙත් හැටි කියන්නෙ .....ඌ අර එළෝලුත් පාගගෙන පේමන්ට් එක මැදිං ගියා යන්ට එහා පැත්තටම. ඒ මිනිස්සුත් තුස්නිම්බූත වෙල වගෙ බලා හිටිය මේකා කිසි ගානක් නැතුව නාලාගිරිය වගෙ බටු මිරිස් උඩිං ඇවිදං යන දිහාවෙ. උංට හොඳ සිහිය එනකොට විමලය යන්ටත් ගිහිල්ල. අපි තමයි උන්ට අහු උනේ. "

" ඉතිං?..."


" ඉතිං තමයි..යන්තං අර මාර සේනාවෙං ගැලවිල පණ එපා කියල දුවල ඇවිල්ල අපි විමලය හෙවුව. මෙන්න මේකා ඉන්නව පෙට්ටි කඩයක් ළඟ සිගරට් එකකුත් ලෝඩ් කරගෙන..හරියට කොළඹ නගරාදිපති වාගෙ. මට නේද?....යස්සය ආරූඩ උනා ඔලු ගෙඩියට. මොකද බං උඹ අර කලේ?....යන්තං කතාකරගන්ට පුළුවන් වෙච්ච වෙලාවෙ මම ඇහුව. "'

" ඇයි???? මොකද මම කලේ?....මෙන්න මේකා අහපි කිසි ගානක් නැතුව.

" ඇයි යකෝ උඹ අර බටු මිරිස් ගොඩවල් පාගගෙන ආවෙ...ඒකයි අපි මේ කියන්නෙ…"

" මම???.... බටු මිරිස් පාගගෙන ආව?....පිස්සුද බොලාට?....කොහෙ තිබ්බ බටු මිරිසක්ද? ….ඕන්න අච්චර හරියක් කරල ඉවරවෙල අන්තිමට ඌ කියාපු එක"

" ඉතිං උඹල මොකද කලේ?....." 

ආයෙම මම ඇහුව තොල් දෙකත් හපාගෙන.

" මොනව කරන්ඩද බං?...අපි කටවල් ඇරගෙන ඌ දිහාවෙ බලා හිටිය…."

" නෑ බං විමලෙය ඇත්තම වෙන්ට ඇති කියන්ට ඇත්තෙ. බටු මිරිස් දැක්කනං ඌ කීයටවත් එව්ව පාගගෙන යන්නෙ නෑනෙ…" 

" ඒ මොනව හරි කමක් නෑ...මෙහෙ දීපිය ඔය සඟ..ආයෙම උඹ කොලඹදි මේක දැම්මොත් බලාගෙනයි..එහෙම කියල මම ගලවල ගත්ත උගෙ සඟ…" 
හරියටම ඔන්න ඔතනදි අපෙ රැස්වීම ආයෙ පටංගන්නව කියල ලේකම් තුමා ඇවිල්ල කියාගෙන ගියා. අපි ඔක්කොම ගියා ඔඩිටෝරියම් එක ඇතුලට.

" මේ මචං වීරෙ... අර බූරුව මගෙ සඟ අරගෙන දෙන්නෙ නෑ..ඌට කියපං හොඳ හිතිං ඒක දෙන්නෙයි කියල....මේ මොකක්ද විකාර වගයක් කියවනව ඒකා ...බටු මිරිස් කතාවක්…..දෙයියංගෙ හාල් කැවිලද කොහෙද " 
මට එහා පැත්තෙ සීට් එකේ ඉඳගත්තු විමලෙ මගෙ කණට කරල කිව්ව රැස්වීම යන අතරෙදි.

" හරි බං ඉඳහංකො…...මම ඉල්ලල දෙන්නං…" 
මම කිව්ව තොල් හපාගෙන ඉස්සරහ බලාගෙන.

විමලයගෙ වාං පතුල් කතාව කියඤ්ඤං ඊළඟට...හොඳද?


29 comments:

  1. /*
    " මේ මචං වීරෙ... අර බූරුව මගෙ සඟ අරගෙන දෙන්නෙ නෑ..ඌට කියපං හොඳ හිතිං ඒක දෙන්නෙයි කියල....මේ මොකක්ද විකාර වගයක් කියවනව ඒකා ...බටු මිරිස් කතාවක්…..දෙයියංගෙ හාල් කැවිලද කොහෙද "
    මට එහා පැත්තෙ සීට් එකේ ඉඳගත්තු විමලෙ මගෙ කණට කරල කිව්ව රැස්වීම යන අතරෙදි.

    " හරි බං ඉඳහංකො…...මම ඉල්ලල දෙන්නං…"
    මම කිව්ව තොල් හපාගෙන ඉස්සරහ බලාගෙන.
    */

    සිත්තරාගෙ සිත්තර පන්තියට එන සුට්ටි අයියා මලෝ දෙන්නෙක්ව මතක් උනා.
    මල්ලි: "මෙන්න ස.......ර්......... මෙන්න අයියා මගෙ චෝක් කෑල්ල ගත්තා.........ආආආ"
    අයියා: "ඉතිං මං පාට කරලා ඉවර වෙලා දෙන්නං..."
    සර්: "මේ, ඔය දෙන්නගෙ ඔය රණ්ඩු ගෙදරදි රණ්ඩු වෙලා එන්න බැරිද පන්තියට ඇවිත් රණ්ඩු වෙන්නෙ?"

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, සුට්ටි එවුවංගෙ කතානං ආය කියලා වැඩක් නෑ..

      මේ මම පාඨක ජීර්ණයෙ කාලෙකට ඉස්සරවෙලා කියවපු කතාවක්..

      ඔන්න පොඩි එකාව ඇඳට දාල තාත්ත සාලෙ ටී.වී. එක ඉස්සරහ ඉඳගත්තලු කකුල් දෙකත් උඩ තියාගෙන. විනාඩි දහයක් ගියෙ නැහැ...

      " තා...ත්...තෙ…"

      " මොකද ලමයො? "

      " මට වතුර එකක්…"

      " මේ දැං විනාඩි දහයක් ගියේ නෑ නේද වතුර බීල?....නිදාගන්නව සද්ද නැතුව…"

      ආය, තව විනාඩි පහකින් විතර...

      " අනේ තාත්...තෙ.....මට..වතුර…."

      " මේ මම එක පාරක් කිව්ව නේද?.....මම දැං ආවොත් දෙනව හොඳ ගුටියක්..තේරුණාද? "

      " තේරුණා තාත්තෙ...ඒ ගුටිය දෙන්ට එනකොට වතුර එකකුත් අරං එනවද හොඳ තාත්ත වගෙ…"

      සිත්තරාගෙ සිත්තර පංතියත් මරු එකට ඇති නේද?...උඹත් මයෙ හිතේ සිත්තරාට උදව්කරනව ඇති නෙවද පංතිය කරගෙන යන්න?..ම්ම් හිටහං බලන්ට..හරි නොවැරදීම උඹ තමයි පංතියෙ ටික්කා..නේද?...හෙහ්, හෙහ්, ඒකනෙ... මම හිතුවා.... ඉස්තිරී පක්සෙ ඉතිං ඔය සබ්ජෙක්ට් එකනෙව තමංගෙ ආදිපත්තියට ගන්නෙ.

      රස්සා දෙකක් අතර අතුරු කාල පරිච්චේදයක මමයි අපෙ ලොක්කියි පටං ගත්ත නිමි ඇඳුං බිස්නෙස් එකක්. කුරුණෑගල ගලගෙදර පැත්තෙ ගාමන්ට් වලින් අයිං කරනව ඔය පොඩි පොඩි අඩු පාඩු වෙච්ච ඇඳුම්. එක්කො බොත්තං කාසයක් නෑ. නැත්තං කොලර් එක එක පැත්තක් දිග වැඩියි. අපි කලේ ඔව්ව තොග ගානෙ ගෙනල්ල අඩු පාඩු හදල කඩවලට දාපු එක.අපරාදෙ කියන්න බෑ ඒ අතිං අපෙ ලොක්කි හරිම සාදාරනයි.වැඩේට මාන්සි වෙන එක තනියම මට බාරදුන්නෙ නෑ. උන්දැ බාර ගත්ත සීයට පණහක් කෙලින්ම. ඒ කියන්නෙ ගිහිල්ල බඩු ගෙනල්ල අඩුපාඩු හදල කඩ වලට දාන එක මගෙ කාර්ය බාරය. ඔන්න ඊට පස්සෙ ඉතුරු සීයට පණහ එයයි බාර ගන්නව. මොකක්ද?...සල්ලි එකතු කර ගන්න එක...

      කොහොමද වැඩේ?....මල් හතයි පහන් දාහතරයි හඳුන් කූරු විසි අටයි නේද?....හෙහ්, හෙහ්,

      Delete
    2. /* නොවැරදීම උඹ තමයි පංතියෙ ටික්කා..නේද?*/

      මංනං නෙමෙයි ටික්කා. ඒක ඇවිල්ලා වෙනම ඉන්ස්ටිටියුට් එකක්. ඒකෙ අක්කා තමයි ටික්කා. මං යන්නේ අර කීව ජාතියේ රණ්ඩු බේරන්ඩ උදව් වෙන්න තමයි. :D

      /*සිත්තරාගෙ සිත්තර පංතියත් මරු එකට ඇති නේද?*/

      මේ පන්තියට එන සුට්ටො ගැනනං කතන්දර බර ගාණක් තියෙනවා. මං දවසක ඒගොල්ලො ගැන පෝස්ට් එකක්ම දාන්නයි හිතාගෙන ඉන්නේ. :D :D :D

      /* ඒ කියන්නෙ ගිහිල්ල බඩු ගෙනල්ල අඩුපාඩු හදල කඩ වලට දාන එක මගෙ කාර්ය බාරය. ඔන්න ඊට පස්සෙ ඉතුරු සීයට පණහ එයයි බාර ගන්නව. මොකක්ද?...සල්ලි එකතු කර ගන්න එක...*/

      හෙහ්, සල්ලි එකතුකරගන්න එකේ අමාරුව දන්නවනං අයියා ඔය කතාන්දරේ ඔහොම කියන් නෑ. කොහොමත් කට්ටියට හිතෙන්නේ තමං කොරන රාජකාරියට වඩා අනිත් එක්කෙනා කරන රාජකාරිය බොහොම ලේසියි කියලා නෙව. :P

      Delete
    3. / හෙහ්, සල්ලි එකතුකරගන්න එකේ අමාරුව දන්නවනං අයියා ඔය කතාන්දරේ ඔහොම කියන් නෑ. කොහොමත් කට්ටියට හිතෙන්නේ තමං කොරන රාජකාරියට වඩා අනිත් එක්කෙනා කරන රාජකාරිය බොහොම ලේසියි කියලා නෙව. :P /

      හරි බං කතාව ඇත්ත, අපි හැමෝම හිතාන ඉන්නෙ මම තමයි බාරදූරම රාජකාරිය කොරන්නෙ..අනි එවුං නිකං ඉන්නෙ කියල තමයි. ඒත් මෙතන සීන් කෝන් එක සම්පූර්න වෙනස්...දන්නවනෙ අපෙ උන්දැ අමුතුම ඩයල් එකක්නෙ. ආන්න ඒ ජාතියෙ ඔය මානවිකාවි....හෙහ්, හෙහ්,

      අහගංකො විස්තරේ..මුන්දැට සල්ලි එකතු කොරගන්ට කිසිම අමාරුවක් නෑ. එයයිට කඩ කාරයො සල්ලි දෙන්නෙ අඬගහල...දන්නවද හේතුව?...මොකද උං එකෙක්ටවත් සත පහක්වත් දෙන්ට වෙන්නෙ නෑ…

      " ආ. මිස් එන්ට එන්ට...හරි සල්ලි ලෑස්තියි...ආ...මම මේ මිස්ට කෝල් එකක් දෙන්ටමයි හිටියෙත්..අලුතෙං ආව පෙරෙයිද බැංකොක් වලිං ස්කින් නොරිෂිං ක්‍රීම් එකක්.අලි පේරයි...පත්තක්කයි කැකිරියි ඩ්‍රැගන් ෆෘට්..ඔය ඔක්කොම එකට දාල අඹරල හදල තියෙන්නෙ...රෑට මාස්ක් එකක් දාල නිදාගන්නකො, උදේ වෙනකොට මිස්ගෙ මහත්තයටත් මිස්ව අඳුනගන්න බැරිවෙයි බඩු ෂුවර්...ආපු ලොට් එක ඊයෙම ඉවරයි..මම මේ මිස්ටම කියල බොට්ල්ස් දෙකක් තියල තිබ්බ. "

      මොනවද ආය? අපෙ උන්දැගෙ නේද?..කට කණේ...අන්තිමට තව මොනව හරි... අතන ගාන්ට එකයි ..මෙතන ගාන්ට එකයි ..ඔන්න ඔහොම අර සේරි වාණිජය ඇඟේ ගහන ඔක්කොමත් රුපියල් දෙකේ සොපිං මලු දෙහෙක පුරවගෙන අතේ තිබ්බ දෙකයි පනහත් ඌට දීල ඒත් මදිවෙල ඊලඟ පාර ඇඳුං දාපුවම අඩුකරගමු කියල අනාගතේටත් ණය වෙලයි ඔවුන්ද ආපහු ගෙදර එන්නෙ...

      ඔය ගේන එව්ව මයෙ මූණෙත් ඉලුව වංගියක් දෙකක්..හෙහ්, හෙහ්, අම්මප කීවම මොකද මයෙ මූණත් පාට වැටිල ටිකක් එක විදිහක් වෙලා ආව..ඒත් දවසක් පොඩි සීන් එකක් වෙලා එදයිං එදයි මගෙ රූප ලාවන්නිය වර්දනේ කොරන එක වහාම ක්‍රියාත්මක වන පරිදි උන්දැ අත්හිටෙව්ව. ඒ කතාව වෙනම කියන්නං හොඳද?

      Delete
  2. මම මේ කල්පනා කලේ ඔච්චරම බටු, මිරිස්, තක්කාලි පේන්නේ නැති සඟක් ගෙනාවේ කොයි රටෙන්ද කියන එක. පුදුමේ කියන්නේ අපි දාන එව්වයින් නම් හොඳට පේනවා. පාට ඕනිනම් පොඩ්ඩක් නිලට හුරුවෙයි.:)

    මේ ඉතින් ලියලා තියෙන්නේ වැඩි හරියක් අතිශය උක්ති, නෑ නෑ අතිශයෝක්ති නේද ? :D

    ReplyDelete
    Replies
    1. තැතුව නැතුව කතාව රසවත් කරන්න අතින් දාල තමා..

      Delete
    2. / එහෙ හිම වැටෙන කාලෙට දාන එකක් ඒක. හිම උඩට අව්ව වැටිල පරාවර්තනේ වෙනකොට ඇස් වලට හරිම අමාරුයි කියනවනෙ. ඒ කාලෙට දාන්න හදපු එකක් තමයි ඒ සඟ. /

      ඔන්න ඕකනෙ ඉතිං කියන්නෙ...කොහෙද කියන එක තේරුං ගන්නෙ නෑ..කොණක් අල්ලගෙන උඩ පනිනව...කලිම්ම විස්තර කලේ ඒකයි බොහොම පැහැදිලිව ..කොහෙද? මෙව්ව බොල කියන්නෙ Anti Glare Sun Glasses....අන්න එව්ව..හරිම අඳුරුයි. කොටිම්ම ඒ දවස්වල තිබ්බ සූර්ය බුද සංක්‍රාන්තියකුත් අපි බැලුව ඔය සඟ දාගෙන කිසි අවුලක් නැතුව.

      අනික ඔස්ටේලියාවෙ කොහෙද බොල හරියකට හිම වැටෙන්නෙ?...අපි නොදන්න ඔස්ටේලියාව හෙහ්, හෙහ්,

      / මේ ඉතින් ලියලා තියෙන්නේ වැඩි හරියක් අතිශය උක්ති, නෑ නෑ අතිශයෝක්ති නේද ? :D /

      මොන අතිශයෝක්තිද බාං?....මෙව්ව ඇවිල්ල අමූලික ඇත්ත..පට්ටපල් ඇත්ත...විස්වාස කරන්නෙ නැහ්නං නිකා ඉඳහං..මයෙ මොකෝ...:) :)

      බොරුනං ලංකාවට ගිය වෙලාවක ගිහිල්ල බලපං ඔය ගුණසිංහ පුරේට යන පාර දෙපැත්තෙ පේමන්ට් එකේ එලෝලු බිස්නෙස් එක තාම තියනව මම හිතන්නෙ, කොළඹ මනරම්කරණය වැඩ පිළිවෙල යටතේ ඒ මිනිස්සු එතනිං එලෝල දාලද කියන්ට නම් දන්නෙ නෑ මේ වෙනකොට...හැබැයි.

      Delete
    3. පොඩ්ඩි මේ රවි කවදාවත් අතිශයෝක්තිය පාවිච්චි කරලා තියෙනවද?

      මේ බ්ලොගේ නම මම වෙනස් කරන්න ඉන්නෙ මගේ බ්ලොග් රෝල් එකේ අතිශයෝක්තියේ අතිශයෝක්තිය කියලා.

      Delete
    4. //පොඩ්ඩි මේ රවි කවදාවත් අතිශයෝක්තිය පාවිච්චි කරලා තියෙනවද?//

      හපොයි විහිලුවටවත් එහෙම කරන කෙනෙක් නෙමේ මෙයා නම් හී හී...
      ඔයා නම වෙනස් කරන වෙලාවට මටත් කියන්ට :)

      Delete
    5. @ Dude.

      / පොඩ්ඩි මේ රවි කවදාවත් අතිශයෝක්තිය පාවිච්චි කරලා තියෙනවද? /

      " හ්ම්ම්.යුෂ්මතියට තමාගෙ ස්වාමි පුරුෂයා පහර දුන්නෙ හුදෙක් ක්‍රෝධයෙන්මද? "

      " යුස්මතියට සුවාමි පුරුසයාද කවුද පහර දුන්නෙ කොරෝදයෙංද මොකද්ද එකෙංමද කියල නං කියන්ට දන්නෙ නෑ පිං කරන හාංදුන්නෙ..ඔය ඉන්න මයෙ මිනිහනං මට තඩි බෑවෙ වැඩි පුරම අතිං පයිං.."

      Delete
  3. රවී අයියගේ කතා තමයි කතා.. එළවළු විකුනන්න හිටපු මනුස්සයව එහෙම යට කරගෙන ගියේ නැද්ද. :D


    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, උං එහාට මෙහාට පැනල යංතං බේරුනලු බං...

      Delete
  4. කීවොත් සග නසී
    නොකීවොත් වෙහෙර නසී

    ReplyDelete
    Replies
    1. ඔය රජකාලෙත් තිබිල තියෙනව බාං සංගිලෑස්....

      අගත...චතුදිස...සඟගණ.....අනුදිත...

      ඔහොම තියෙන්නෙ ඔක්කම්පිටියෙ හිටිපිළිමෙ ලඟ තිබිල හොයාගත්තු සෙල් ලිපියක. ඒ කියන්නෙ සතර දෙසින් පැමිණි උපාසක උපාසිකාවෝ සංඝයා වහන්සේලාට හිරු ආවරණිත උපැස් පිදූහ කියන එක...

      Delete
  5. සොයුර, ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
  6. විමලෙ වාහනේක හැප්පෙන්නෙ නැතුව ආපු එකත් මදැයි.... අනික කොටුමේ එළවලු වෙළෙන්දන්ගෙන් බේරිලා ආව කියන්නෙත් එසේ මෙසේ වැඩක් නෙමෙයි. අනුන්ගෙ පවට කරගහන්න වෙච්ච සිද්ධියක් තමා මාත් අන්තිමේ ලිව්වෙ මට මතක හැටියට, මට බ්ලොග් එකක් තිබිච්ච කාලෙ...

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ වෙලාවෙම අර අනික් එකා විමලයගෙ සංගිලෑස් කුස්ටම ගලෝ ගත්තනෙ..ඒ නිසා එයිං පස්සෙ මොකවත් අතුරු ආන්තරාවක් උනේ නෑ...

      Delete
  7. අර කඩේකිං අමු කෙසෙල්ගෙඩි කෑවෙයි පැණි ආප්ප කියල සුදු ආප්ප කෑවෙයි මේ විමලෙමද අයියෙ??

    /ඔය ජානුස් මහ උජාරුවට අපිත් ඇවිල්ල මොකෑලන්තෙ කිව්වට උන්දැ හරියටම බැලුවොත් ඉන්නෙ මොකෑලංතෙ දේස සීමාවෙ..මායිං ගම්මාන කියල අර පහුගිය කාලෙ කිව්වෙ..අන්න එව්ව වගෙ..උන්දැ ඉන්න හරියට කියන්නෙ මහදඹාන කියල../

    මක්ක කතා දමනවද මන්ද මේ අයිය... මේ ඇත්ති පෙම්බර ඇත්තත් එක්කග මේ කොළොඹ රටේ පනං වුණාට කැකුලි කාලෙ ඉඳලම මහ දඹාං රුකුලෙම ඉඳං අකුරු පොජ්ජ මන්දො කොරපු එකී, අපෙ අප්පිල ඇත්තංගෙ සනුහරේම ඔය මොකෑලන්තෙ සීමා පොජ්ජෙම වසාපු එවුං වෙච්චි ආයෙ මොකට ලැජ්ජාපොජ්ජ මන්දො වෙනවද??

    හනේ බොල අය්යෙ උඹ ඔය විමලෙය ගැන මට කිව්ව කතා ටික මයෙ ජීවිතේට අමතක වෙන්නෙ නෑ ඕං.. ඒ විතරක්යැ.. උඹ මේ පඳුරු වටේ තල තලා මොන වැල්වටාරං විලංබීත ලිව්වත් ආයෙ කියවන්ඩ එපා වෙන එකක්කැ??

    ReplyDelete
    Replies
    1. / අර කඩේකිං අමු කෙසෙල්ගෙඩි කෑවෙයි පැණි ආප්ප කියල සුදු ආප්ප කෑවෙයි මේ විමලෙමද අයියෙ?? /

      අඩේ කැචයි හොජේ...බොලායෙ අහල පහල ගොබිලෙකුට (Fellow Mokelander ) නෙවද මේ නෝන්ඩිය දාන්නෙ?....සික් සික්...

      / හනේ බොල අය්යෙ උඹ ඔය විමලෙය ගැන මට කිව්ව කතා ටික මයෙ ජීවිතේට අමතක වෙන්නෙ නෑ ඕං.. /

      හෙහ්, හෙහ්..අවුරුදු දෙහෙකට කලියෙං නෙවද?.....උඹ එදාමද කොහෙද ඒ කතා බ්ලොග් එකෙත් ලිව්ව මට මතකයි..

      Delete
  8. මට මේක කියවනකොට මතක් උනේ අපි කෙල්ලො ටිකක් දෙහිවල සත්තු වත්තට ගිහින් ඉන්නකොට, අපිට ටිකක් එහායින් හිටපු කොල්ලො රැළක එකෙක් අනිත් එකෙක්ගෙ සඟක් උදුරන් දාගෙන අපි ඉස්සරහින් යන්න ගිහිල්ල පටා...ස් ගාල ගහක අත්තක් වැදිල නළල කෙළව ගත්තු හැටි... උගේ සඟත් මේ කිව්ව වගේ එකක් වෙන්නැති මයෙ හිතේ... අච්චර හරියක් වෙලත් විමලෙය පිළිගත්තෙ නැති එකනෙ වැඩේ කියන්නෙ.. ඒක දැම්මම බීරි වෙනවදත් මන්ද.... ;D

    ReplyDelete
    Replies
    1. ඔය සඟ සීන් එක සමහරුන්ට මේනියා එකක්. ෆොටෝ ගන්නෙත් අන්ධයො දාන ජාතියෙ සඟක් දාගෙන..හෙහ්, හෙහ්....

      මනුස්සයෙක්ගෙ ඇස් දෙක තමයි අනන්‍යතාවයට තියෙන හොඳම දේ.Eyes are the windows of the soul කියන්නෙ ඒකයි..මේ මිනිස්සු කරන්නෙ ඒ Wndows of the soul වහල දාන එක. :(

      Delete
  9. මාර සඟක්නෙ ඒක..... ඔච්චරටම පේන්නැත්නම් කොහොමද ඕක දාන්නෙ.. රවී අයියත්, සරත් අයියා වගේ මැන්චෝසන් සීරිස් එකක්ද පටන් ගත්තෙ... හෙහ් හෙහ්.. :D

    අර මොකෑලන්තෙ තියෙන්නෙ කොහෙද ? එහෙ ප්‍රසිද්ධ වලව්වක් එහෙම තියනවද ?

    ReplyDelete
    Replies
    1. ඒක බං ඒ රටවල්වල හිම වැටෙන කාලෙට දාන එකක්. එහෙදි දැම්මම අවුලක් නෑ..මෙහෙට හරියන්නෙ නෑ ඒක...

      මොකෑලන්තෙ කියන්නෙ නිකවැරටිය, නවගත්තේගම, ආනමඩුව ..ඔන්න ඔය අහ...වලව්වක් නම් මන්ද...ඇති ඇති..ඔය හැමතැනම වලව් තියනවනෙ.

      Delete
    2. එහෙමද ? තව මොකෑලන්තයක් තියනවා හම්පහ දිස්තිරික්කෙ..

      Delete
  10. මොනව කියන්නද හිතෙන්නෙ නෑ.කමක් නෑ කියමු හොදයි වැඩේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිරු..:)

      Delete
  11. ඇයි බොල..මන් මේ කල්පෙකට පස්සේ අකුරු තුන හතරක් කොටලා දාන්න කියල බ්ලොගේ පැත්තේ ගියා ගෙදර උන්දගෙනුත් කරදරේ අර උලව්ව ලියන්නේ නැද්ද කියල . මුන්දගේ කතන්දරයක් අප්ඩේට් වෙලා කියල දැක්කම නොකියවා කොහොමද . දැන් ඉතින් මේක කොටන්නයි හිනා වෙන්නයි තියා ගත්තම වරුවක් ඉවරයි .

    කතන්දරයක් කිව්වට කතන්දර වැලක් ..ඔය මොන අලකලංචි වුනත් ආයේ මේ පැත්තේ ආවට පාඩු නැහැ .

    රවිගේ කතා හරියට රුසියන් බෝනික්කෝ වගේ ..එව්වත් එකක් ගලවද්දී තව එකක් ඇතුලේ ..

    මටත් ඔය සන්ග්ලාස් එච්චර අල්ලන්නේ නැහැ . පට්ට අව්ව ..ඒ වුනාට නිකන් වහින්න වගේ .

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං ඔය බලාපංකො..බොලාගෙං හොඳක් අහන්ටම නැති හැටි...බ්ලොග් එක ලියන්ට බැරිඋන එකටත් මම පළි....:(

      හෙහ්, හෙහ්..ස්තූතියි බින්දි...මේ කිව්වත් වගෙ ලියාපං මොනව හරි විජහට...ගෙදර උන්දත් කියාපු එකේ....:)

      Delete
    2. උපන් වෙලාව ....මක් කරන්නද .

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...