Monday, March 11, 2013

168. නාගයා වනාහී......


නාගයා වනාහී දෙවැදෑරුම්ය. ඉන් සත්ව විද්‍යාත්මක නාගයා පිළිබඳව ගැටළුවක් තිබිය නොහැක.දුටු වහාම නාගයකු හඳුනාගත නොහැක්කෙක් නොමැත. ඒ තරමට නාගයා අපේ ජීවිතයට සම්බන්ධය. දරුවකු මව් කුස පිළිසිඳගත් බව සියලු සැක දුරුකොට ඉඳුරා ස්ථිර කොට ගැන්ම වර්තමානයෙහි ඉතා පහසුය. ඒ සඳහා ගර්භනී මූත්‍ර පරීක්ෂාවක් උදක්ම ප්‍රමාණවත්ය. 

ක්ෂුද්‍ර අතුරු කතාවකට මදක් මට අවසර... 

" මිසිස් විජේසිංහ මට ඔයාට කියන්ට බොහොම සතුටුදායක ආරංචියක් තියනවා " 

" මම මිසිස් නෙවෙයි ඩොක්ටර්... මිස්…" 

" ආහ්, එහෙමද? එහෙනම් මිස් විජේසිංහ මට ඔයාට කියන්ට බොහොම අසතුටුදායක ආරංචියක් තියනවා." 

ස්ව පහැදිළියි ( Self Explanatory ) නේද? 

එදවස ගර්භනී පරීක්ෂාවන් වර්තමානයේ මෙන් සුලභ නොවූ කල දරුවකු පිලිසිඳ ගැනීමක් පිළිබඳව ආරම්භක දින කීපය තුල ස්ථිරව දැන ගැනුමට වූයේ එකම ක්‍රමයකි. ඒ හැඳින්වූයේ නාග ස්වප්න දර්ශන පරීක්ෂාව යනුවෙනි. ඒ මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි පැවැත්ම උදෙසා නාගයින් ඉටුකල අමිල මෙහෙයකි. 

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සවන සතිය ගත කලේ මුචලින්ද නම් මහා නාගරාජයාගේ සෙවණෙහිය. ඒ අනපේක්ෂිතව ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවකින් ආරක්ෂා වනු උදෙසාය. බුදුන් වහන්සේට ඒ සා උපකාරයක් කල මුචලින්ද නාග රාජයාගේ ශ්‍රී නාමය පවා දැනට දශක දෙක තුනක සිට කෙළෙසීමට ලක් වූයේ නාගයා යන්නට පර්යාය සංකේතාත්මක භාවිතයක් සමාජයෙහි ප්‍රචලිත වීම ඇරඹුනු දා පටන්ය. නාගයා වනාහී දෙවදෑරුම් යයි ආරම්භයේදීම මම ඔබට පැවසූයේ එබැවිනි. 

" කෝ අද මුචලින්දයා?..." එසේත් නොමැතිනම් " ඕකා හරිම මුචා." .....යනුවෙන් කිසිවකු හැඳින්වෙනුයේ කිසිසේත්ම ඔහු තමන් තෙමෙමින් වුවද බුදුනට සෙවණ සැපයීමට එකෙහෙලාම ඉදිරිපත්වන අයුරු ශ්‍රද්ධාවන්තයකු, පුණ්‍යවන්තයකු බව හැඟවීමට නම් නොවේ. එසේ ගෞරව නාමයක්, විරුදාවලියක් නිර්මාණය වීමට හේතු වූ කථා පුවත පැවසීමට පළමුවෙන් අවසර... 

පුවත්පත් මාධ්‍යයට වඩාත් නිවැරදිව කිවහොත් චිත්‍රකථා මාධ්‍යයට ව්‍යාවහාර භාෂාව කෙරෙහි කල හැකි බලපෑම පිළිබඳව මේ මාහැඟි නිදර්ශනයෙකැයි මම එකහෙලා විශ්වාස කරමි. 

ඒ හැත්තෑව දශකයේ මැද භාගයයි.සිත්තර නමින් එළිදැක්වුනු සතිපතා චිත්‍රකථා පත්‍රය දිවයින පුරා යොවුන් වියේ පසුවූවන් අතර පමණක් නොව අප දෙමව්පියන්ගේ වයස් මට්ටමේ වැඩිහිටියන් අතර පවා ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් සමයයි.නගරයේ තිබූ එකම පුවත්පත් අලෙවිහලෙන් සිත්තර මිලදී ගැන්ම පවුලේ වැඩිමලා වශයෙන් මට භාරවී තිබූ රාජකාරීන් අතුරින් මවිසින් කිසිදු කන්කෙඳිරිගෑමකින් තොරව ඉටුකල එකම රාජකාරිය විය. 

නිවසට ආපසු එන අතර මඟ රජයේ තානායම අසල සුවිසල් නුග රුකක් විය. මහා මාර්ගයෙන් තරමක් ඔබ්බෙහි පිහිටි ඒ වනස්පතිය සෙවණෙහි පැතිරුණු ගල් තලාවක්ද වූයේ මා පූර්ව අත් බවෙක කල මහා පුණ්‍ය කර්මයක් පළදීමෙකින් යැයි එදවස මසිතට නැඟුනේ වරක් හෝ දෙවරක් නොවේ. ඒ ගල්තලාව මත සුව පහසුව හිඳගන්නා මම එතැනින් නැඟී සිටිනුයේ සිත්තර පත්‍රය මුල සිට අග දක්වා පූර්ණ වශයෙන් කියවා හමාර කිරීමෙන් පසුවය. නිවසෙහි පුල පුලා බලා සිටිනා අවශේෂ සාමාජිකයන්හට සිත්තර කියවීමට ලැබෙනුයේ ඉන් අනතුරුවය. 

එදවස සිත්තර පත්‍රයේ පලවූ චිත්‍ර කතා විශේෂාංග අතුරින් කැමිලස් පෙරේරා මහතා නිර්මාණය කල ගජමෑන් සුවිශේෂී වූයේ එදවස එහි ගැබ්වූ තියුණු උපහාස රසය හේතුකොටගෙනය.දශක සතරකට ආසන්න කාලයක් ගතවීද ඔහු තවමත් කාටූන් නිර්මානයෙහි යෙදෙයි. එහෙත් එලෙස ඉතා දීර්ඝ කාලයක් එකම ක්ෂේත්‍රයක නිර්මාණකරනයෙහි යෙදෙන්නෙකුට නිරායාසයෙන් මුහුණ දීමට සිදුවන ඒකාකාරිත්වය හේතුකොටගෙන නිර්මානයන්හි රසය හීන වීයෑමේ ඛේදවාචකයට ඔහු ද අද මුහුන දී සිටියි. ප්‍රස්තුතයෙන් මඳක් බැහැර වූවාට කමන්න. 

මේ පසුබිම සකස් කිරීම නාගයා යන එතෙක් විශඝෝර උරගයෙකුට පමණක් සීමාවී තිබූ නාමකරණය යම් සුවිශේෂී ගතිලක්ෂණයකින් හෙබි පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හැඳින්වීමට භාවිතා කිරීම ආරම්භ වූ අන්දම විස්තර කිරීමටයි. 

එක් සතියක ගජ මෑන් කථාංගයෙහි වූයේ එහි සුපුරුදු චරිතයක් වන මන්ත්‍රී බිරිඳ සහ ගජමෑන් අතර දෙබසකි. ගජමෑන් නිරුත්තරව හයාගත් මුවින් යුතුව බලා සිටියදී මන්ත්‍රී බිරිඳ නොකඩවා කථා කරන්නීය. ඒ මෙවන් ඒකපාත්‍ර භාෂනයකි ( Monologue ) 

" ඒකයැ ගජමෑන්..ඊයෙ රෑ හරි වැඩක්නෙ උනේ, නයෙක් ආවනෙ අපෙ බංගලාවට,ඉස්සෙල්ලම ඌ දැකල තියෙන්නෙ අපෙ සර්වන්ට් ....අර පහුගිය මාසෙ මහත්තය රට ඉඳල ගෙනාවෙ දොර දෙකේ ෆ්‍රිජ් එක යට මුලින්ම ඉඳල තියෙන්නෙ. ඊට පස්සෙ එතනින් එලෙව්වම අපෙ අර සාලෙ තියන බුරුත කැබිනට් එක ඒක උඩට නැග්ග. මම පණ බයේ හිටියෙ එතන තිබ්බ මගෙ ක්‍රිස්ටල් මල් වාස් හතර පෙරලයි කියල. එව්ව වටිනව බර ගානක්. හොඳ වෙලාවට එහෙම උනේ උනේ නෑ.එතනින් බැහැල ඌ කරපු වැඩේ සාලෙ ලොකු ටර්කිෂ් කාපට් එක උඩිං ගිහිල්ල පුටු දහයෙ මැහෝගනි ඩිනර් ටේබල් එක යටින් ඇදිල ගිහිල්ල .........." 

මෙලෙස මන්ත්‍රී බිරිඳ ඔවුන්ගේ සියලු වත්කම් සහ නිවසෙහි ඇති සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ විස්තරයක් නයාගේ පැමිණීම මුවාවෙන් ගජමෑන් සමඟ පවසයි. ඒ කථාංගය එකල කොපමණ ජනප්‍රිය වූවාද යත් " නයා එලවීම "' නොහොත් " නයෙක් නැටවීම " යන්න තමන්ගේ පුරාජේරුව පිළිබඳ පුරසාරම් දෙඩීම හැඳින්වීමේ පර්යාය පදයක් ලෙස භාවිතයට එක වූයේ නිතැණිනි. එළෙසින්ම එසේ කරන්නා නිරායාසයෙන්ම " නයා " යනුවෙන් හැඳින්විණි 

සත්ව විද්යාත්මක නයෙක් මෙන් නොව සංකේතාත්මක නයෙක් පිළිබඳව එක පැහැර නිගමනයකට එලඹීම ඉතා අසීරුය. මගේ පෞද්ගලික අත්දැකීමක් මෙහිලා ඔබ හා පැවසීමට මට ඔබගේ කාරුණික අවසරය දෙනු මැනවි. 

මුල් වරට රැකියාවට ගිය ඉක්බිති එකිනෙකාගේ ගම් ප්‍රදේශ පිළිබඳව විස්තර විමසද්දී අපේ එක් සගයෙක් පැවසූයේ " මම කොලඹ " යන්න පමණකි. ඉතා ප්‍රිය මනාප පුද්ගලයෙකුවූ ඔහු පසුව අපගේ සමීප මිතුරෙකු විය. කලක් ගතවූ පසු එක් දිනක හේ තමා පිළිබඳ සත්‍ය තොරතුරු අපට හෙළිකලේය. ඒ අනුව ඔහුගේ නිවස පිහිටියේ කොලඹ හතේ බාන්ස් පෙදෙසේය.ඊට අමතරව දෙමව්පියන්හෝ වෙනත් විස්තර පැවසීමට හේ මැළි විය. 

" අනේ ඕකගෙ නයෙක් බං..බාන්ස් ප්ලේස් එකේ ගෙයක් තියන එකෙක් මොකටද මේ හද්ද කැළේකට ඇවිල්ල දුක් විඳින්නෙ.." 

ඒ ඔහුගේ ප්‍රකාශය පිළිබඳව මගේ මිතුරන්ගේ පොදු නිගමනයයි. ඊට එකඟ වීමට මට ද සිදුවිය.ඊට ද මාස කිහිපයකට පසුව සේවය ස්ථිර කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් ප්‍රධාන කාර්යාලයෙහි පැවැත්විනි. 

" ඒයි මචං උඹ යමං අපේ ගෙදර...... එහෙ ඉඳල පහුවදා උදේම හෙඩ් ඔෆිස් යමු. " නයා මා සමඟ පැවසීය. ඔහු නොදැන සිටියද මා හැර අනෙක් සියළු මිතුරන් ඒ වනවිට ඔහු හැඳින්වූයේ එළෙසය. 

" හා..පලයං පලයං.. උඹව එක්කයයි ඌ බාන්ස් ප්ලේස් එකටම, බලාගෙන ඉඳපං…" 

එහෙත් නයා පවසනුයේ සත්‍යයක් වියයුතු බවට ඒ වනවිට මට හැඟෙමින් පැවතිණි. මගේ කිසිදු ඉල්ලීමකින් තොරව ඔහු කල ආරාධනය යමක් සඟවා තබා ගැන්මට උත්සාහ කරන්නෙකුගේ ස්වභාවයක් නොවන බව මට සිතිණි. 

නයා මා රැගෙන ගියේ නිවසකට නොව මාළිගාවකටය.ඔහු පැවසූයේ සම්පූර්ණ සත්‍යය බව, නිවැරදිව පැවසුවහොත් ඔහු පවසා තිබුනේ සත්‍යයෙන් අංශු මාත්‍රයකි. ඔහුගේ මව්පියෝ අද ද දිවයිනේ ඉතාම ප්‍රසිද්ධ පෞද්ගලික නිෂ්පාදන සමාගමක කොටස් හිමිකරුවෝ වූහ. පියා එහි කළමනාකාර අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කල අතර මව අධ්‍යක්ෂ වරියක් විය.ඔහුගේ එකම වැඩිමහල් සොහොයුරා ඒ වනවිට විදේශීය විශ්ව විද්යාලයක ඉගෙනුම ලබමින් හුන් අතර කුඩා කල සිටම ස්වාධීන අදහස් වලින් යුතු වූ මගේ මිතුරා දෙමව්පියන්ගේ බලවත් විරුද්ධත්වය මධ්‍යයේ මේ රැකියාව ලබාගෙන තිබේ. 

ඔහුට රැකියාවෙහි නිරත වීමට ඉඩ ලැබුනේ වසරකටද අඩු කාලයකි. දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම මත ඔහු රැකියාවෙන් ඉවත්ව නීති විද්යාලයට අතුලත් විය. වසර දහයකට පමණ පෙර ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ බව මම අහඹුලෙස කුමන හෝ ඉරිදා පත්‍රයක මූල්‍ය තොරතුරු අතිරේකයක පලවී තිබෙනු දුටුවෙමි. 


කාලයේ මිහිදුම් සළු මෑත් කොට ඔබට මේ අතීත කථාව පැවසීමට මට අවශ්‍ය වූයේ අප නයා ඇරීමක් යයි එක එල්ලේ වර්ග කරන්නක් අදාල පුද්ගලයාට ඉතා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කිසිදු වැදගත් කමක් නොමැති සාමාන්‍ය දෙයක් වීමට බොහෝවිට අවස්ථාව ඇති බව පහදා දීමටය. 

සංකේතාත්මක නයෙකු පිළිබඳව නිගමනයකට එළඹීම ඉතා අසීරු බව මම මුලින්ම පැවසූයේ එහෙයිනි. 


එසේම නයින් පිලිබඳව මෙතරම් කලබල වන්නේ කුමකටද යන්නද මට නොතේරේ. මගේ හොඳම මිතුරන් අතරේ නයින් ද වූහ. ඒ ඔවුන්ගේ ඇබ්බැහි කමකි. ඉන් අන්‍යයන්ට හානියක් නොවන්නේ නම් ඔවුන්ගේ සතුටට බාධා කිරීමට ඔබට හෝ මට ඇති අයිතිය කුමක්ද? 

මෙලොව කිසිදු තැනක අපට අවශ්‍ය පරිදිම හෝ අපේ රුචිය පරිදිම කටයුතු සිදුවන්නේ නැත. මේ සරල සත්‍යය තේරුම් නොගන්නේ මන්ද හෝ ඒ සඳහා උත්සාහයක් හෝ නොගන්නේ මන්ද යනු මට වටහා ගත නොහැක. 

ලෝකය තනි යායක්....යන්න අද බොහෝ විට භාවිතා වන Catch Phrase එකකි. එහෙත් ලෝකය එසේ වුවද කිසිදා එහි වසන මිනිසුන් එකිනෙකා හා සර්වසම නොවේ.ඔවුන් එකිනෙකා ඔවුන්ගේම සුවිශේෂී අනන්‍ය තාවයක් ( Distinctive Identity ) සහ අනූපම පෞරුෂයක් ( Unique Personality ) සහිත වූවෝ වෙති.ලොවෙහි පැවැත්ම රඳා පවතිනුයේ ඒ සුවිශේෂී අනන්‍යතාවය මතය. ඒ අනූපම පෞරුෂය මතය. 

43 comments:

  1. කාලීන මාතෘකාවක් යටතේ ලියවුනු හොඳ ලිපියක් රවි.

    මගේ යාලුවන්ගේ කතා ඇහුවොත් ඒවා පිඹුරෝ තරම් ලොකු ඒවා කියලා තේරුනේ බ්ලොග් කරන්ට ආවට පස්සෙයි. ඒත් එකේ ලොකු අමුත්තක් දැනෙන්නේ නැත්තේ ඇත්ත තත්වය පේන හන්දා වෙන්ට ඇති. ඒවා අහනකොට තරහා යන අයට, ඒ තරහයෑමට, පුද්ගලික හේතු තියෙන්ට පුලුවන්. ඒත් ඒ හන්දා අසභ්‍ය වචන පාවිච්චි කරමින් අනුන්ගේ හිත රිදවීම, පුද්ගලික මඩ ගැසීම නම් කීයටවත් අනුමත කරන්ට බෑ.

    අද උදේ මගේ Lexus එක අම්මට දුන්නා shopping යන්ට. එයාගේ BMW එක ගරාජ් එකේ. මොනවා කරගෙනද දන්නේ නෑ. අප්පච්චි එයාගේ Mercedes-Benz එකේ මාව වැඩට බැස්සුවා. හවස අපේ gardener එනවා කීවා වත්ත සුද්ද කරලා දාන්ට. වත්තේ තියන මල්පඳුරු ලස්සන වෙලා තියෙන්නේ, එයා සතියකට සැරයක් ඔහොම එන හන්දා. ගෙදර සුද්ද කරන නෝරා එන්නේ හෙට. අපේ වගේ ගෙදරක බඩුමුට්ටුවල දූවිලි පිහදාන එකම කොච්චර අමාරු වැඩක්ද? විසිත්ත කාමරම හතරක්. හම්මෝ....පියානෝ එකේ ලොකු. ඒක පිහදාන්ට පැය භාගයක් විතර යනවා ....හී හී... හී හී…

    ඔය ඉතින් චූටි නයෙක්....:D:D:D

    ReplyDelete
    Replies
    1. මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නයෙක් හිටිය..ඌත් දන්නව ඌට නයා, මුචලින්දය කියලයි අපි කියන්නෙ කියල..ඌට ඒකෙ නෑ වගක්වත්...ඒ තරමට නයි ඇරිල්ල ඌට පත්තියං වෙලා....

      ඔන්න දවසක් අපි ඕකා ගෙදර ගිහිල්ල එන්ට පරක්කු මොකද කියල කතා කර කර ඉන්නව.

      " මොකෝ බං මුචා තාම නැත්තෙ? වෙනද ඕකා මේ වෙලාවට ඇවිල්ලනෙ..දාර නයෙකුත් එලවගෙනම. එක්කො අයියගෙ ෆෝ වීල් එකේ ආවෙ කියයි කුරුණෑගලට නැත්නම් මාමගෙ අලුත් වින්චෙස්ටර් එකත් අරගෙන දඩයමේ ගියා කියයි කන්තලේ පැත්තෙ "

      නයි ලේසියෙං මැරෙන්නෙ නෑ කියනවනෙ..මෙන්න මේකා ආපි එතකොටම කුස්සිය පැත්තෙං බෑග් එකත් කරේ එල්ලගෙන...

      " අඩෝ උඹල මහ ජරා යක්කු ටිකක්...මුචා කිව්වෙ මට නේද?....මට වෙච්චි දේ දන්නවනං උඹල ඔහොම කතා කරන්නෙ නෑ. අපෙ ලොකු තාත්ත ජපානෙං ගෙනාව අලුත් ටොයෝට එකක්...ඒකෙ එන්ජින් එකේ තියනව සැටලයිට් වලින් ජපානෙ ටොයෝට හෙඩ් ඔෆිස් එකත් එක්ක කනෙක්ට් වෙන්න ෆැසිලිටි එකක්. මොකක් හරි ප්‍රශ්නයක් උනාම එහෙ ඉඳලම කියනව මොනවද කරන්න ඕන කියල...." මේකා කියාපි.

      " අම්මප? …"

      මම ඇස් දෙකත් උඩ තියාන කිව්ව. ඕකව කුල්මත් කරල ගන්න විදිහ හරියටම දන්නෙ මම...

      " එහෙනං ආයෙ..ඔන්න අහගනිංකො..මාම එක්ක අද උදේ මම ආව කුරුණෑගල් එන්ට. කොහෙද උහුමීය හරියෙදි කා එක හිට්ටනෙ ආයෙ නෑ ගල වාගෙ හෙල්ලෙන්නෙ වත් නෑ. දන්න ජාති දාල බැලුව ස්ටාට් කරන්ඩ කොහෙද? ඔන්න එක පාරටම ස්පීකර් එකෙං ආපි ජපං කටහඬක්…"

      " නෑ????..."

      " නෑ නෙවෙයි ඔව්..එතකොට මාමට මතක් උනා අර ජපානෙ හෙඩ් ඔෆිස් එකත් එක්ක කනෙක්ට් වෙන එක. බලනකොට ඒක තමයි වෙලා තියෙන්නෙ. ඒත් අවුල ඒ කතා කරන එකා ජපං බාසාවෙන්නෙ කතා කරන්නෙ. අපිට ජපං තේරෙන එකක්ය..මල කෙලියයි.."

      " ඉතිං????? …"

      මම හුස්මත් උඩට අල්ලගෙන ඇහුව...

      " හොඳ වෙලාවට ඒ කිට්ටුව පන්සලක හිටිය ජපං හාමුදුරුනමක්..මම ටිකක් විතර අඳුනනව. ඒ පාර මම ගිහිල්ල ඒ හාමුදුරුවො එක්කං ඇවිල්ල අර මොකක්ද ජපං බාසාවෙං කියන්නෙ කියල අහගෙන ඒ විදිහට කරල තමයි කාරෙක ස්ටාට් කරගත්තෙ. ඔන්න ඔය වැඩේ හින්ද තමයි මට එන්ට පරක්කු උනේ. එහෙමත් වෙල මෙහෙ එද්දි උඹල මට කාඩ් ගහල මුචා අරක මේක කියල. වටින වැඩද මෙව්ව මම අහන්නෙ?... "

      ඔන්න උගෙ කතාව. ඉතිං මොකද කරන්නෙ?..ඒක උගෙ ආසාවනෙ කියල අපි නිකා හිටිය.

      Delete
  2. පොඩි කුමාරිහාමිගේ රසවත් චූටි නයා දැකලා අදහසක් පහළ වුනා ... මහා නාගයා දිග හැරීමේ බ්ලොග් තරඟයක් පවත්වන්න හැකිවේවි ද?!!!! ඔන්න කවුරු හරි වැඩේ බාරගන්නවා නම් අවසන් මහා තෑග්ග දිනා එක්කෙනාට නයෙක් අරින්න පුළුවන් විදියක තෑග්ගක් පිරිනමන කාර්යය මම බාරගන්නම්. :)

    ReplyDelete
    Replies
    1. / පොඩි කුමාරිහාමිගේ රසවත් චූටි නයා දැකලා අදහසක් පහළ වුනා /

      හුහ්...හොඳ චූටි?...ඒ චූටි නයෙක්නං මට හිතාගත්තෑකි කුමාරිහාමි උන්දෑ අරින ලොකු නයි මොන වගේද කියල....හෙහ්, හෙහ්,

      රයිට් අරුණි නෝනො අපි මෙහෙම කරමු වැඩේ...

      සිංහල වියුණු අවකාශයේ අති විශිෂ්ඨම නාග රාජයා තේරීමේ මහා තරඟාවලිය...වලිය..වලිය...වලිය...

      ඔබ වනාහී කවුරුත් දන්නා නාග රාජයෙක්ද? එසේත් නැතහොත් හීන් නූලෙං නයින් එලවනා සැඟවුනු නාග රාජයෙක්ද?.....කම් නැත.මෙන්න ඔබේ දක්ෂතා විදහා දැක්වීමට අනගි අවස්ථාවක්..... එසේම ඒ වෙනුවෙන් අගනා ත්‍යාගයක් දිනා ගැනීමට මහඟු අවස්ථාවක්.....ඔබගේ දක්ෂතා ප්‍රදර්ශනය කොට සිහල වියුණු අවකාශයේ මහා නාග රාජයා විරුදාවලිය සමඟ අරුණි ශපිරෝ මහත්මිය පිරිනමන වටිනා ත්‍යාගයේ හිමිකරුවා වන්න.එන්න ඔබේ නයා එලවන්න. වටිනා තෑග්ගක් දිනා ගන්න.

      Delete
    2. මෙහෙමයි කිසිම කෙනෙක්ට පළමු ත්‍යාගය නම් දිනන්න බැහැ ..
      ඒකට අයිති කාරයෙක් ඉන්නවා.. ( කාරයෙක් කිව්වට කාරියක් :D )

      Delete
    3. මට නම් නයාටත් වැඩිය අල්ලලා ගියේ අර තරඟාවලියේ එකෝ එක..!!

      //සිංහල වියුණු අවකාශයේ අති විශිෂ්ඨම නාග රාජයා තේරීමේ මහා තරඟාවලිය...වලිය..වලිය...වලිය...//

      Delete
  3. මම කොන්ඩේ ටින්ට් කරලා, කරාබුවක් දාලා, කැඩිච්ච සිංහලෙන් කතා නොකරන නිසා, මම නිවාඩුවට ලංකාවට ගිහින්, විදේශයක ජීවත්වෙනවා කිව්වහම නෝන්ඩියට වගේ හිනාවෙන උදවියත් ඉන්නවා.

    ඔය හින්දම දැන් මම යනකොට, මගේ සෙකට්‍රි, පර්සනල් ඇසිස්ටන්ට්ලා තුන්දෙනා, ෆිසිකල් ට්‍රේනර්, ඩයටීෂියන්, ඩොක්ටර්, හෙයාර්ඩ්‍රෙසර්, බියුටීෂියන් (ඇයි අපිට බියුටිපුල් වෙන්න හොඳ නැද්ද?), ට්‍රාන්ස්ලේටර් ඇතුලු ඔක්කොම ටීම් එකම අරගෙන යන්නේ. මං ඉන්න කාලෙට කෑම බීම හැමදේම ගෙනියනවා. පෝටබල් ටොයිලට් එකකුත් ගෙනියනවා. පිටරටින් කාලා ලංකාවෙ රීල එන එක හරි නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ලස්සන නයෙක් , කියවනකොට හරි ආසා හිතෙනවා. කවුරුත් වෙන කෙනෙක් නයි අරිනකොට තරහ ගන්නෙ මොකටදනේ.....

      Delete
    2. @ තිසර,

      කෝ බං උඹේ personal Masseuse, එයානෙ ඕනම කරන කෙනා…:)

      Delete
  4. සිංහල පාඩම් පොතක තිබ්බ නේ ඔය වගේම මුදලාලිගේ ගෙට නයෙක් ඇවිත් කියලා කතාවක් .

    ඇත්තම කියන්න ඔය නාහෙට අහන්නේ නැති ගැටවර කාලේ අපිට ඉතින් හැමදේම ඇදේට පේන කාලේ අපේ යාලුවන් අතරත් ඔන්න ඔහොම නයි ලේබල් වැදිච්ච අය හිටියා . අපේ පුහුණු ආයතනයේ ලංකාව පුරාම දිස්ත්‍රික්ක වලින් තෝරා ගත්තු ළමයි 45 ක් ඇවිත් හිටියා අපේ කණ්ඩායමට .

    කොළඹ දිස්ත්‍රික්කය කිව්වහම ඉතින් දන්නවනේ . අපි ගම්පහ වුනාට කොළඹ නගරයට බොහොම කිට්ටුයි .


    හැබැයි කොළඹ දිස්ත්‍රික්කයේම අහුමුලු තියෙනවා බස් දෙක තුනක ගිහින් පොඩි කන්දක් දෙකක් බඩගාලා යන්න ඕන . ඔය වගේ අපි කොළඹ කියල අනික් ළමයි ගම වලින් ආව අය කියලා අනුකම්පා කල එක්කෙනෙක් හිටියා . හැබැයි හිත හොඳ කෙල්ල . ඉඳහිට කිරිබත් හෙම හදාගෙන එනවා ගමේ ළමයි ඕවාට ආසනේ කියලා .
    දවසක් ගෙදෙට්ටත් එන්න කියල කන්න දුන්නා . අන්න ඒ හිත හොඳ වැඩිකම තමා උන්දැට හරහට හිටියේ .එදා ඉඳන් වැදිච්ච මඩ කන්දරාව ආයේ ඕන නැහැ .
    ඔය ඉතින් යොවුන් වියේ ගතිය . මිනිස්සු වයසින් ලොකු වෙද්දී ඔය වගේ දේවල් හිතුනත් හිත පාලනය කරගන්න පුරුදු වෙනවා .

    ඒ වගේම අපේ ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් ආපු ළමයි හුඟක් යමක් කමක් ඇති පවුල් වල .ශිෂ්‍යත්වේ පාස් වෙලා ගිය අපි වගේ සාමාන්‍ය ළමයි අතර සාමාන්‍ය විදිහට ඉන්නයි හුඟක් අය උත්සාහ කලේ . ඒ කාලයේ පිටරට දේවල් අඩුයි . සමහර ළමයින්ට පිටරට ඉන්න කාගෙන් හරි ලැබුන අලුත් පැන්සල් පෙට්ටි පාට පෙට්ටි වගේ දේවල් පන්තියට ගෙනාවම තරමයි අපි එහම ඒවා තියෙනව කියල දැනගත්තේ .
    කවුරු හරි ඒවා ගෙනාව නිසානේ අපිත් ඒවා ගැන දැනගත්තේ

    මට නම් කවදාවත් ඉරිසියාවක් ඇති වෙලා නැහැ . රහත් වෙලා නෙමේ . අනේ මන්දා . ඒවා තිබුන ළමයි අපිත් එක්ක බෙදා ගත්තා . අනික් අතට ඒගොල්ලන්ට වඩා මට චිත්‍ර අඳින්න පුළුවන් නිසා ඒගොල්ල මට ඉරිසියා කල බවක් පෙනුනෙත් නැහැ .

    මට ආස හිතුනේ එකම දෙයකට විතරයි . දිය සායම් පැස්ටල් වලට . පාට කුර අතුල්ලලා පින්සලෙන් වතුර ගෑවම දිය සායම් වගේ . ලොකු වුනාම ඔන්න ඕකක් නම් ගන්නවාමයි කියල මන් හිතා ගත්ත .


    තව ළමයෙක් හිටියා ඉංග්‍රීසි පොත් හොඳට කියවන්න පුළුවන් . මොකද එයාගේ දෙමාපියෝ ඒ සම්බන්ධ රැකියා කල අය නිසා . මේ ළමයා ඒ පොත් කියවල අපට ඒ කතා සිංහලෙන් කියනව . බොහොම රසවත්ව . වදරින් හයිට්ස් ..ජේ අයර් මට මුලින්ම හමුවන්නේ එහෙම .

    සමාජය ලස්සන වන්නේ මේ බෙදා හදාගැනීම නිසා . මගේ ළමා කාලය ලස්සන වුයේ මේ සොඳුරු මිතුරු ඇසුර නිසා . අපි එකිනෙකාට ඉරිසියා කලානම් අද තියෙන්නේ වේදනාබර මතක .
    බ්ලොග් අවකාශයත් ඒ වගේ ..දැනුම අත්දැකීම් බෙදා ගැනීම . වාද කරන්න ඕන . විහිලු කරන්න ඕන . නමුත් ද්වේශයෙන් නොවේ .

    මගේ කතාව අවසානයි ..අසා සිටි ඔබ සැමට ස්තුතියි .......

    ReplyDelete
    Replies
    1. (අත්පුඩි සහ විසිල්).. අපිත් ගම්පහනෙ.... :D

      ඇත්තටම ඉස්කෝලෙ යන කාලෙ ඔය වගේ සිද්ධීන් නිසා පොඩි දුකක් ඇති උනත් ඉරිසියාව පහල වෙනවා අඩුයි මං හිතන්නේ... නමුත් එකට හිටිය ළමයි, උසස්පෙළ කිට්ටු වෙනකොට නම් එකිනෙකාට ඉරිසියා කරපු ගතියක් තිබුනා.

      මට හිතෙන දෙයක් තමයි මිනිස්සු බ්ලොග් අවකාශයේ ද්වේශයෙන් තොරව හැසිරෙන්න ඕනේ වගේම, එහෙම ද්වේශයෙන් හැසිරෙන කීප කෙනෙක්ගෙ හැසිරීමක් නිසා අපේ සංයමය නැතිකරගන්න එක වලක්වගන්න එක ගැනත් හිතන්න ඕනේ. නැත්තං අපේ සීලය, කවුරුහරි කකුල පාගනකම් වගේ එකක් වෙනවා.

      Delete
    2. @ තිසර,

      / නැත්තං අපේ සීලය, කවුරුහරි කකුල පාගනකම් වගේ එකක් වෙනවා. /

      කිසිවකුහෝ කකුල පෑගුවහොත් මගේද ශීලය බිඳේ. එහෙත් ඒ බිඳීම දෙවැදෑරුම්ය. එනම් කකුල පාගන ලද්දේ පිරිමියකු විසින්ද නැතහොත් කාන්තාවක විසින්ද යන ඉතා වැදගත් කාරණය මත මගේ ශීලය බිඳීමෙන් අනතුරුව ඇතිවන ආවේගය මෙන්ම මගේ ප්‍රතිචාරයද හාත්පසින් වෙනස් වේ.

      Delete
    3. @Ravi
      ඇත්ත නේන්නං, කකුල පෑගිල්ලෙන් තරහාකාරයෙක් වගේම සහකාරියක් උනත් ලැබෙන්න බැරි නෑ.

      Delete
    4. @ Bindi,

      / සිංහල පාඩම් පොතක තිබ්බ නේ ඔය වගේම මුදලාලිගේ ගෙට නයෙක් ඇවිත් කියලා කතාවක් . /

      අඩේ සිංහල පාඩම් පොතක එහෙම කතාවක් තිබ්බද? අපේ කාලෙ නම් තිබ්බෙ නැතෝ. සමහරවිට කැමිලස් ගොයිය ඔය ගජමෑන්ගෙ කතාවට අදහස ගත්තෙ එතනින් වෙන්න පුලුවන්…

      මට ඔය සිංහල පාඩම් පොත්වල තිබ්බ රසවත් කතා ඔක්කොම වගෙ මතකයි..ඔන්න සිංහල - 5 පොතේ තිබ්බ සුබලයාගේ පින කියල කතාවක්..ඒකෙ හිටිය තුරුවෙළුමා කියල යෝදයෙක්. කතානායක සුබලයාගෙ යාලුවා. මිනිහට පුලුවන් කැලේ මහ ගස් ඔක්කොම එකට අඹරවන්න. මොකට එහෙම කරනවද කියල පොතේ තිබුණෙත් නෑ. මට ඒ කාලෙ ඕක හරි ප්‍රශ්නයක්....හැබැයි මගෙ ආසම කතාව..පාඩම් කරන්න කියල අම්ම කියපු ගමං මම කරන්නෙ අපෙ ඉස්තෝප්පුවෙ තිබ්බ අර පරණ තාලෙ ලොකු කුළුණු තුනක්. ඔයින් එකක් ගාවට හොඳට වැටෙනව ලයිට් එළිය. ඔතන බිම ඉඳගෙන කුළුණට හේත්තු වෙලා දිගඇර ගන්නව පොත උකුලෙ..ඉතිං දෙනව මුළු ගෙදරටම ඇහෙන්ට...

      " සුබලයාගේ පින……" ඔන්න ඔහොම යටිගිරියෙං කෑගහල තමයි වැඩේ පටං ගන්නෙ...දවසක අපෙ අත්තම්ම අහනව " ඈ..සුට්ටි පුතේ...ඔය ඉස්කෝලෙ උගන්නන්නෙ ඔය කාගෙද පිනක් ගැන කියන කතාව විතරමද? " කියල...හෙහ්, හෙහ්,

      ආය හයේ පොතේ තිබ්බ මට මතකයි ටී.බී. ඉලංගරත්න මහත්තයගෙ විලම්බීත පොතෙන් කොටසක්...පැණි කජු.....හෙහ්, හෙහ්, අර දුමේ තිබ්බ පැණිකජු මුට්ටිය ගන්ට ගිහිල්ල එක තිලක අතින් පෙරලෙන්නෙ..අන්න ඒ කතාව...

      හතේ පොතේ තිබ්බ මාටින් රැට්ලර් සහ බානි තවම මට අමතක නෑ. ආර්. එම් බැලන්ටයින්ගෙ Martin Rattler පොතෙන් කොටසක් ඒ. පොත බලන්න කැමතිනම් මෙතනින් පුලුවනි…..:)

      තව අපූරුම කතාවක් කුරුලු පැටියෙක් කූඩුවෙං එලියට යන විදිහ ලියල තිබුනු එකක් මට මතකයි. ඉන්දීය ලේඛක මුල්ක් රාක් ආනන්ද් ගෙ කතාවක් ...ඒ රසවත් මතක පෝස්ට් තුන හතරක් ලියන්න තරම් එව්ව...හෙහ්, හෙහ්,

      Delete
  5. බොහොම වටිනා පැහැදිලි කිරීමක් තිසර.

    ReplyDelete
  6. අදනම් ලියන බාසාවෙන්ම නෙලලා ඇරලා තියෙන්නෙ... මොකද හදිස්සියෙ නයෙක් මතක් වුනේ ?

    එක එක්කෙනාගෙ හැටි නොවැ.. මට හිතෙන්නෙ ඔය සංඛේතාත්මක නයා ත්‍රිවිධාකාරයි.

    1. සමහරු හිතලම තමන්ට නැති දේවල් මවලා පෙන්නලා ලොකු කමක් පෙන්වන්න නයාව අරිනවා..

    2. සමහරු ඇත්තටම තමන්ට තියන දේවල් පෙන්නලා / කියලා සමාජයේ කැපී පේන්න නයා අරිනවා. ( ඒක බොරුවක් නොවුනත් නිතර වාදනය වෙන පුරසාරමක් )

    3. සමහරු නොහිතම තමන්ට තියන දේවල් ගැන එදිනෙදා භාවිතයෙදි කතා කරනවා / පෙන්වනවා.. එතන නයා ඇරිමේ උවමනාවක් නොතිබුනත් ඔය උඩ ඉන්න දෙවර්ගය හින්දා මේ ගොල්ලො දිහාත් සමාජය බලන්නෙ නයා අරින කට්ටිය හැටියට. ( මේක තමන්ගෙ අවට වට පිටාවට සාපේක්ෂ වෙනවා. )

    ReplyDelete
    Replies
    1. සංකේතාත්මක නාග රාජයින් වර්ගීකරණය පිළිබඳ ඒ අගනා පැහැදිලි කිරීම සෙන්නා මහතාගෙනි.

      අපූරු පැහැදිලි කිරීම සෙන්නා..නියමයි :) :)

      Delete
  7. නයි කතාව අහල තිබුන. ඒත් "නයි අරිනවා" කියන එක භාවිතයට ආවේ ඒකෙන් කියල දන්නේ දැනුයි ඕං

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙන් තමයි නයි ඇරිල්ල කියන යෙදුම ප්‍රසිද්ධ උනේ මම හිතන්නෙ...:)

      Delete
  8. මේ නයා කතාවනම් කියවද්දි ආසයි...

    ReplyDelete
    Replies
    1. රන් මසු සොයුර..කලකට පසු.....සුව දුක් කෙසේද?...හෙහ්, හෙහ්,

      Delete
  9. ඉංග්‍රීසි ජාතිකයෙකුයි, ඕස්ට්‍රේලියානුවෙකුයි, අරාබි ජාතිකයෙකුයි නයි අරිනවා වට වෙලා.

    "මම පුත්තු එකොලහක් ඉන්නවා, තව එකෙක් හිටියානම් මට පුලුවන් මගේම ක්‍රිකට් ටීම් එකක් හදාගන්න," ඉංග්‍රීසි ජාතිකයා කියනවා.

    "මට ඉන්නවා දුවලා නව දෙනක්. තව එකෙක් හිටියානම් මට පුලුවන් මගේම බාස්කට්බෝල් ටීම් එකක් හදා ගන්න." මෙහෙම කිව්වෙ ඕස්ට්‍රේලියානුවා.

    " මට ඉන්නවා බිරින්දෑවරු 17ක්. තව එක්කෙනෙක් හිටියානම් මගේම ගොල්ෆ් කෝස් එක හරි." අරාබි කාරයා කියනවා.

    ReplyDelete
    Replies
    1. අද හෙන්රි ට ඩෝප් ද කොහෙද.... යකෝ ක්‍රිකට් ටීම් එකට දොලහක් මොටද.. අන්තිම එකා වෝට බෝයිද.. ?

      කෙල්ලො නමදෙනා ඉන්න එකාට තව එකෙක් ඉන්නව නම් බාස්කට් බෝල් ටීම් දෙකක්ම හදා ගත්තැකිනෙ බං.. !

      :D

      - සපතේරු

      Delete
    2. හැබැ‍යි ඉතිං 18 ඉඳලා බෝල සෙල්ලං කරලා නං හරියන්නේ නෑ... වෙන අය ඇවිත් කොඩි හිටවයි..

      Delete
    3. බුරෝ මොකද නිකන් එක අකුරේ කමෙන්ට් දාලා . වැඩ වැඩිද මේ දවස්වල .

      Delete
  10. අඩේ සපතේරු, (ඔව් දැනුයි ඩෝප් බැස්සෙ) ඒක නෙවෙයි. කෝ බං දැන් උඹ? අර ම්ළ මුහුද ගැන පෝස්ට් එකක් දැම්මා දැම්මාමයි. මොකෝ වෙලා තියෙන්නෙ.

    ඉහත සංඛ්‍යා සංශෝධනය වොය යුතු බව පිළිගනිමි.

    ReplyDelete
  11. උඩ ඉන්න නයි ටික නම් මරු.. ඇරැණි අක්කගේ ( නැන්දද මන්ද.. හි හි) යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරිවෙන එකක් නෑ වගේ... හි හි

    ReplyDelete
    Replies
    1. රයිට් , හිරූස් පටන් ගන්න බලන්න එහෙනම් ඔයාම නාග රාජයෙක් එලවල ..හෙහ්, හෙහ්.....:) :)

      Delete
  12. මේකයි රවී කෙනෙක් නිදහස වෙනුවෙන් ඔය දේ කරන අවස්ථා තියෙනවා. මොකද සමහ පුද්ගලයන්ගේ සැබෑ ජීවිතේ එයාලටම දරන්න බැරි බරක්. සැබෑ ජීවිතේ තුලදී කිසිම මිත්‍රයෙක් , ලෙන්ගතු පුද්ගලයෙක් නැහැ.මොකද එහෙම කෙනෙක්ව ලන් කර ගැනීමම පුගලික ( ව්‍යාපාරික ) ජීවිතේට මරු පහරක්.

    අති විශාල වගකීමක් තමන්ගේ ඇඟිලි තුඩු වල , එක දුරකථන ඇමතුමක තියෙන කෙනෙක් නිකන් ලඳ බොළඳ විදිහට හැසිරුනොත් ලොකු විපතක් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ රැකියා වලට බලපාන දෙයක් , මිලියන කීපෙක වන්දියක් ගෙවන තැනට උනත් වැඩ සිද්ද වෙන්න පුළුවන් . ඉතින් පිටින් බලන කෙනෙක්ට හිතෙන්නේ පුළුවන් පපුවේ කිසිම තෙතමනයක් නැති පාහර බල්ලෙක් කියල... කේන්තියෙන් වියරු වැටෙන තිරිසනෙක් කියලත් කියයි.. ගෑනියෙක්ට උනත් සලකන්න නොදන්න හිත් පිත් නැති අම්මෙක් නැති එකෙක් කියලත් කියයි . මිනි මරුවෙක් කියලත් කියයි.

    නමුත් ඇත්තටම එහෙම නෙවේ වෙන්න පුළුවන් ඒ පුද්ගලයා.
    ඕන තරම් මිනිස්සු ඉන්නවා වෙස් වළාගෙන සාමාන්‍ය මිනිස්සු අතරට එන . ඒත් වැඩේ තියෙන්නේ ඒ ජීවිතෙත් ටික කාලයකට වඩා ගෙවන්න බැහැ .කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සුපුරුදු ජීවිතේටම යන්න වෙනවා...

    සදාකාලිකව බල්ලෙක් විදිහට ජීවත් වෙන්න වෙනවා ලෝකයා ඉදිරියේ.
    ( නමුත් හිත දන්නවා නම් තමන් බල්ලෙක් නොවන බව , ඒ ඇති.
    ලෝකයා මොනවා කිව්වත් කමක් නැහැ .

    නමුත් නමුත් නමුත් රවියාණෙනි , රෑ නිදි යහනේදී සොයන්නේ නිදහස් ජීවිතයක සැපතමයි . කිසිම දාක අවදි නොවන නින්දකින් විතරයි එහෙම කෙනෙක් හොයන නිදහස් නින්ද ලැබෙන්නේ ...! )

    ReplyDelete
    Replies
    1. සහන්, ඔබ කියන්න උත්සාහ කරන දේ තේරුණේ නම් නැත :(

      Delete
    2. රවී මේ පෝස්ට් එක මොකක් ගැනද ?
      සමාජයේ ඉන්න එක එක විදිහේ පුද්ගලයෝ ගැන නේද ?


      ඔබගේ පෝස්ටුවේ සදහන් එක පුද්ගලයෙක් ඉන්නවා ,
      ඔබලාට බොරුවක් කරමින් ඔබලා සමග ඉන්න...


      ඇයි ඔහු එහෙම ඉන්නේ ?
      ඔහුගේ ඇත්ත එලි කලොත් , ඔබ වැන්නවුන්ගෙන්
      අනවශ්‍ය බාදා ඔහුට ඇති වෙන නිසා, ඔහුගේ නිදහස
      නැති වෙන නිසා, ඔහු කෙරෙහි වෙනත් ආකල්පෙකීන්
      ඔබ සියලු දෙන බලන නිසා..( කොළඹ 7 ජීවත් වන්නෙක්
      ලෙස )



      එවැනි පුද්ගලයන් ඇත්තටම හිත් පිත් නැති මිනිස්සුද ?

      නැහැ , කිසි සෙත් නැහැ ..අන්න ඒ පැහැදිලි කිරීමයි මගේ කමෙන්ට්
      එකේ තියෙන්නේ...




      මා ඔබ ගැන සිතා සිටියේ යමක් වටහා ගත හැක්කෙක් ලෙස.
      ඒකයි මගේ සුපුරුදු ක්‍රමෙන් ලිව්වේ..දැන් මන් දන්නවා ඔබට
      යමක සැඟවුන අර්ථය වටහා ගත නොහැක්කෙක් බව , බර
      වචන සෙල්ලන් දැම්මට ..!

      මේකත් කියවන්න

      යන්නේ කොහෙද, මල්ලේ පොල් ( හිස් තැන් සම්පූර්ණ කරමු) Orginalma එක ඈ !

      ( අර ඇල්කෙමිය ගැන ලියවුන post එකටත් මන් දාපු කමෙන්ට්
      එක තේරුනේ නැහැ කිව්වනේ..ඉන්නකෝ පැහැදිලි කරන්න දරුවට )

      Delete
    3. / ඔබගේ පෝස්ටුවේ සදහන් එක පුද්ගලයෙක් ඉන්නවා , ඔබලාට බොරුවක් කරමින් ඔබලා සමග ඉන්න…/

      මම කියන මගෙ යාලුවා ඇත්තටම බොරුවක් කලේ නෑ. එයාට හිතුනා ඇත්ත ඔක්කොම නොකිව්වොත් හොඳයි කියල. ඒ නිසා ඇත්තෙන් බොහොම පොඩ්ඩක් විතරක් කිව්ව එච්චරයි.ඔය කැම්පස් වල රැග් එක වෙලාවෙත් ඔය සුප්‍රසිද්ධ ඉස්කෝලවලින් එන කොල්ලො කෙල්ලො ඔහොම බොරු කියනව මොකද නැත්නම් තදටම රැග් එක වදින නිසා. මොකද ඔය රැග් දෙන මානසික රෝගීන්ගෙ තියනව ප්‍රතිකාර ගතයුතු හීනමානයක්. ඒක අරින්නෙ අර කොල්ලො කෙල්ලො පිටින්,

      / එවැනි පුද්ගලයන් ඇත්තටම හිත් පිත් නැති මිනිස්සුද ? /

      අනේ නෑ. මම කොයිම වෙලාවකවත් එහෙම දෙයක් කියලා නෑ.මම මෙහෙමයි මිනිහ ගැන කිව්වෙ

      / ඉතා ප්‍රිය මනාප පුද්ගලයෙකුවූ ඔහු පසුව අපගේ සමීප මිතුරෙකු විය. /

      / දැන් මන් දන්නවා ඔබට යමක සැඟවුන අර්ථය වටහා ගත නොහැක්කෙක් බව , බර වචන සෙල්ලන් දැම්මට ..! /

      තම තම ණැන පමණ කියල කියනවනෙ සහන්...අනික් කාරණේ මම බර වචන සෙල්ලං දාල නං නෑ කවදාවත්, මම ලියන කථාව හෝ සිද්ධියේ ස්වභාවය අනුව ඒ වගේම වෙනසකටත් එක්ක, ඒ ඔක්කොමටත් වැඩිය භාෂාව භාවිතයෙ අත්හදාබැලීමක් විදිහටත් ටිකක් හරබර වචන යොදල ලිව්ව නම් තමයි. ඒත් ඒ සෙල්ලං දැමීමක්ය කියල මම පිළිගන්නෙ නම් නෑ...:) :)

      Delete


    4. අහ් මේ තේරිලා තියෙන්නේ ගානට ..:P




      \\\අනික් කාරණේ මම බර වචන සෙල්ලං දාල නං නෑ කවදාවත්, මම ලියන කථාව හෝ සිද්ධියේ ස්වභාවය අනුව ඒ වගේම වෙනසකටත් එක්ක, ඒ ඔක්කොමටත් වැඩිය භාෂාව භාවිතයෙ අත්හදාබැලීමක් විදිහටත් ටිකක් හරබර වචන යොදල ලිව්ව නම් තමයි///


      නැහැ මා මිත්‍ර රවියාණෙනි ඔබේ භාෂා ශෛයීලියට ( කෙටුවා හරිද මන්ද )
      මා තදින් ප්‍රිය කරමි..( හරිද මන්ද grammar ) පොස්ටුවට වඩා මා
      බෙහෙවින් ප්‍රිය කරන්නේ , ඔබ පිළිතුරු කමෙන්ටු සටහන් කරන අන්දම
      බලා සිටීමටයි...ඒවා හරිම ශෝක් ..:)

      digatama liyanna, asawen balanawa..
      obata Jaya!

      Delete
  13. අර පසුගිය දවස්වල මහ කලබැගෑනියක් කරපු නයිනලගන මේ කතා වලට සමිබන්ධ නැතිද?

    ReplyDelete
    Replies
    1. අපොයි නැත.අති ගරු නයි නලඟන මහත්මිය කිසිදු අයුරකින් සම්බන්ධ නැත.මේ හුදෙක් සංකේතාත්මක නයි එළවීමකට අප සැමට ඇති අයිතිය තහවුරු කිරීමක් පමණි.

      Delete
  14. //කාලයේ මිහිදුම් සළු මෑත් කොට ඔබට මේ අතීත කථාව පැවසීමට මට අවශ්‍ය වූයේ අප නයා ඇරීමක් යයි එක එල්ලේ වර්ග කරන්නක් අදාල පුද්ගලයාට ඉතා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කිසිදු වැදගත් කමක් නොමැති සාමාන්‍ය දෙයක් වීමට බොහෝවිට අවස්ථාව ඇති බව පහදා දීමටය.///

    Thanks. This is the best :) Yes for some ppl its nothing and its the norm in their life to live like that :)

    ReplyDelete
  15. හදිසියේ අහිංසක නයි මතක් වුනේ මොකද කියලා තමයි මම මේ කම්පනා කරන්නෙ..!

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙමත් නෙවෙයි රූ..ඔහෙ දෙකක් දාගෙන ඉන්නකොට හිතිච්චි එව්ව තමයි...හෙහ්, හෙහ්,

      Delete
  16. ඔය නයාගේ කතාව චන්ද්‍ර අනගිරත්න මහතා ලියපු පොතක එන කතාවක්.ඒ පොත ලියලා තියෙන්නේ 70 දශකයේ .නම නරලොව හොල්මන් .මම හිතන්නේ ඒ පොතේ නව මුද්‍රණයක් ලගකදී පලකලා .

    ReplyDelete
  17. (නයා අරින කතාව ආවේ කැමිලස් ගේ ගජමෑන් එකෙන් නොවේ) චන්ද්‍ර අනගිරත්න 60 දශකයේ දී රිවිරැසට ලියූ නරලොව හොල්මන් කතාවකිනි.

    ReplyDelete
    Replies
    1. BuLa සහ Rasikologist

      ස්තූතියි දෙන්නටම....කැමිලස් පෙරේරා මහත්මය ඔය කතාව ගන්න ඇත්තෙ අනගිරත්න මහත්මයගෙ ඔරිජිනල් කතාවෙන් වෙන්න ඇති ....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...