Sunday, March 17, 2013

170. හැත්තෑව දශකයේ ප්රේමයක් හෙවත් උපංගෙයි නුහුගුණේ. A love affair of the seventies and built-in lunacy.

ඉතාම සොඳුරු අතීතාස්මරණයට බොහෝවිට හේතුවනුයේ ඉතාම අහඹු සිදුවීම්ය. මේ දිනවල ඉන්දියාවේ පැවත්වෙන ඕස්ට්‍රේලියා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියට පරදවා මගේ අවධානය දිනාගැන්මට සමත්වී ඇත. ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකේම දැඩි තරඟකාරිත්වයට අමතරව ගාල්ලේ පැවැත්වුනු බංග්ලාදේශය හා ප්‍රථම ටෙස්ට් තරඟය කිසිදු උනන්දුවක් ජනිත කරවීමට අසමත්වූ ඇල් මැරුනු තරඟයක් වීම ඊට බොහෝ සේ බලපෑවේය. 

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟ වලදී සිරිතක් ලෙස කරුණු කාරණා සිද්ධ වනුයේ පහත සඳහන් අයුරෙනි. 1. මහේල හෝ සංගා ශතකයක් හෝ ද්විත්ව ශතකයක් රැස්කරයි. 2. ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමෙහිදී ලකුණු 400 හෝ 500 රැස්කරගනී.3. අවම වශයෙන් එක් ඉණිමක හෝ රංගන හේරත් කඩුළු පහක් හෝ හයක් බිඳ හෙලයි. 4. දින තුනක් ඇතුලත, උපරිම වශයෙන් සිව්වන දින දිවා ආහාර විවේකයට පෙර තරඟය නිමා වන්නේ ශ්‍රී ලංකාවට බොහෝ විට ඉණිමක ජයක් අත්කර දෙමිනි. 

දින තුනකින් හෝ හතරකින් ටෙස්ට් තරඟයක් නිමාවන අන්දමේ තණ තිල්ලක් සකස්කිරීම පිළිබඳව ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තනතිල්ල භාරකරු ජයනන්ද වර්ණවීරට දැඩි දෝෂාරෝපණ එල්ල වූවාට සැක නැත. ඉන් බලවත් සිත් තැවුලට පත් හෙතෙම " ඉඳා උඹලට... කාල වරෙල්ලකො, හදන්නම් මේ පාර දවස් පහක් නෙවෙයි දහයක් උනත් කිසි ගින්නක් නැතුව ගහන්න පුලුවන් පිච් එකක් "තමාටම සපථ කොට ගත්තේ එවැනි තණ තිල්ලක් තරඟය සඳහා සකස් කළේය.ඔහු එය කෙතරම් මනාව ඉටු කලේද යත් පිති කරුවෝ කඩුල්ල අසල පදිංචි වූවෝ " මුත්තාපල් නොයම් "යයි තොල් මතුරමිනි..සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය තෙක් තරඟය පැවත්වූයේ වුවද තීරනයක් දැකගත නොහැකිවනු ඇතැයි ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෝ එකහෙලා පැවසූහ. 

මෙලෙස ඇල්මැරුණු ස්වභාවයකින් පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරඟාවලිය අතහැර පසුගිය සෙනසුරාදා දිවා ආහාර විවේකයෙහිදී මම ඉන්දියා- ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරඟය නරඹමින් සිටියෙමි. තම මංගල ටෙස්ට් තරඟයට සහභාගීවන ඉන්දීය ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් කලකින් මා නුදුටු චිත්තාකර්ෂණීය පිතිහරඹයක නිරතවෙමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්හට පහර දුන්නේ කලකට ඉහත විවියන් රිචර්ඩ්ස් පන්දු යවන්නන් අමු අමුවේ මරා දමමින් පන්දුවට පහරදුන් අයුරු සිහියට නංවමිනි. 

තම මංගල තරඟයෙහි පිතිකරුවකු රැස්කල වේගවත්ම ශතකය කරා ධවාන් ළඟාවනු හිඳවුන් අසුනෙහි පසුපසට හොඳින් වාරුවී දෑත ළයමත බැඳගත්වනම මම බලා සිටියෙමි.එක්වරම කිසිවකු මා හා සංවාදයෙහි යෙදීමට අදහස් කරන බව දන්වන සංඥාව යාන්තමට මට ඇසිණි. 

" අයියෙ උඹ බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි ෆිල්ම් එක බලල තියනවද? " 

" අඩේ නෑ නෙව. මම පොත නම් කියවල තියනව. කවදාහරි බලන්න ඕනමය කියල හිතාගෙනම ඉන්න ෆිල්ම්ස් ලැයිස්තුවෙන් එකක්. මෙරිල් ස්ට්‍රීප් සහ ක්ලින්ට් ඊස්ට්වුඩ්…. මගෙ ෆේවරිට් නළු නිලියො දෙන්නෙක්. " 


මෙරිල් ස්ට්‍රීප් පිළිබඳව, ඇගේ චිත්‍රපට පිළිබඳව, ගැහැණුන් තුල නිසර්ගයෙන්ම පවතින්නේයයි ඇය පවසන ( මෙහි ඇය යනුයෙන් අදහස් කරනුයේ මෙරිල් ස්ට්‍රීප් නොව මා හා සංවාදයෙහි යෙදුනු නුහුගුණ සපිරි ලලනාව බව සැලකුව මනාය ) ඉන් බිල්ට් ලුනසි පිළිබඳව ( ඊට පර්යාය පදයක් ලෙස මා යෝජනා කල ඉන් බිල්ට් එක්සෙන්ට්‍රිසිටි නොහොත් උපන්ගෙයි නුහුගුණය යන්නට ඇය එකහෙලා එකඟවූවාය. ) බොහෝ දේ කථාකල ඉක්බිති ඇය අවසන මෙසේ පැවසුවාය. 

" ලියාපංකො බං මෙරිල් අම්මණ්ඩි ගැන. …" 

ඒ වන විට මෙරිල් අරභයා දීර්ඝ කාලයකට ඉහත ඇරඹී අද දක්වාම මසිත නිදන්ගතව පැවතියාවූ චමත්කාරය සහ ගෞරවය නැවත වරක් පණගසා දළු දමා විකසිත වන්නට තැත් දරමින් වූ බැවින් මම එකෙහෙලා ඊට එකඟ වීමි. 

********************************************* 

බොහෝ ඈත අතීතයේ කාලයේ මිහිදුමින් වැසීගිය එක් දිනෙක රාත්‍රියෙහි මම නිදි වරාගෙන ලියමින් උන්නෙමි. 

මේස විදුලි පහන පමණක් දල්වා තිබුනේ මගේ කුටි සඟයාහට ( Room Mate ) බාධා නොවනු පිණිසය. එහෙත් එක්වරම හෙතෙම නින්දෙන් අවදිව සයනයෙහි හිඳගත්තේය. 

" මොකද බං කරන්නෙ මේ දෙගොඩහරියෙ?...මොනවද ඔය උඹ *** විකාගෙන ලියන්නෙ? " 

" මේ අර වසන්තිගෙ වැඩක් බං. එයාගෙ නංගිගෙ එසයින්මන්ට් එකක්. " 

වසන්ති පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට මට මඳක් අවසර. නොහැඟවූ ආදරය නමින් මා ලියූ මතක සටහන් පෙලෙහි අප කාර්යාලයෙහි එකල සේවය කල ප්‍රිය මනාප යුවතියක පිළිබඳ මම සඳහන් කලෙමි.ඒ වසන්තීය.ඇය හා මා අතර ආදරය ද නොවුනු එහෙත් ආදරය නොවන්නේද නොවුනු යම් බැඳීමක් එකල වූ බව ද මම එහිදී ඔබට පැවසුවෙමි.ඇගේ නැඟනිය ඒ දිනවල විශ්ව විද්‍යාලයීය සිසුවියක වූවාය.මම ඒ ලියමින් සිටියේ වසන්තීගේ නැඟනියට අවශ්‍ය වූ නිබන්ධනයකි. 

" ඔව් ඉතිං උඹ මොකද? චීත්තයක්,ගවුමක් කිව්වොත් මදැයි , එලිවෙනකල් හරි නිදිමරාගෙන කරල දෙයි..හා..හා..ඕන එකක් අපිට මොකද? " 

මගේ පිටට පහරක් පහරක් එල්ල කල ඔහු මහ හඬින් සිනාසෙමින් නැවත හිසේ සිට දෙපතුල දක්වා පොරෝනයෙන් වසාගෙන නිදන්නට විය. 

කවට කමට හෝ ඔහු එල්ල කල චෝදනාව පිළිබඳව කිසිවක් නොපවසාම මම ඔබට ඊට කලකට පසු සිදුවූවක් පවසමි. 

නගරාසන්නයෙන් කුඩා ඉඩම් කැබැල්ලක් මිලදීගත් නමුදු නිවෙසක් ඉඳිකිරීමට වත්කමක් නොවූ බැවින් ඒ ඇය හා මම කුළි නිවෙස් වල වාසය කල සමයයි. 

" මේ...මේක හරියන්නෙ නෑ. ඔයාට මොනවද මේ එක එකීගෙ බඩු ගෙනල්ල දෙන්න තියෙන උවමනාව? මීට පස්සෙ බඩු ගේන්න ඔයා යන්න ඕන නෑ තේරුණාද? මම යන්නම්. " 

ඒ මගේ දයාබර ප්‍රියාම්බිකාවියයි. එදවස හීරැස්සගල අප වාසය කල නිවස අසලම ඒ ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලක හෙදියන් වශයෙන් සේවය කල තරුණියෝ රැසක් නේවාසිකව විසූහ.ඔවුනට එදිනෙදා අවශ්‍ය සිල්ලර ආහාර හෝ සබන් දත් බෙහෙත් වන් පාරිභෝගික ද්‍රව්‍ය ඔවුන් ගෙන්වාගත්තේ මා ලවාය. 

" අනේ අයියෙ කඩේටද යන්නෙ..අපිටත් ගෙනල්ල දෙනවද පාන් තුනකුයි ලක්ස් කෑලි............ " 

එවන් කාරුණික ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනුයේ කෙලෙසකද? උත්පත්තියෙන්ම මම එවන් දයාබර ලලනා ඉල්ලීම් හමුවෙහි, විදුලි බිල නොගෙවා විදුලිය විසන්ධි කල ඉක්බිති ශීතකරණය තුල එක් ඇසිල්ලෙකින් දියවයන වෙඬරු බිඳක් මෙන් හුණුවන්නාවූ හදවතක් සහිතව උපන්නෙක්මි. 

ඒ බැව් වටහාගැන්මට මා ප්‍රියම්බිකාවිය කිසිසේත් සමත් නොවන බව ඇය යලිත් වරක් මොනවට ඔප්පු කලාය. 

" මේ අපෙ ඉස්කෝලෙ කිට්ටුවම ඇනෙක්ස් එකක් වේකන්ට් වෙනව ලබන මාසෙ. අපි යමු ඒකට. මට ඉස්කෝලෙට පයින් යන දුර. " 

********************************************* 

මගේ වහා හුණුවන හදවත, චීත්ත, ගවුම් සහ ප්‍රියම්බිකාවිය පිළිබඳ ඒ අතුරු කථාවෙන් ඉක්බිති යළි මෙරිල් නෝනා මහත්මිය මට හමුවූ අයුරු පැවසීමට නොහොත් ප්‍රධාන ප්‍රස්තුතයට යලි පිවිසෙමු. 

ඒ ක්‍රි. ව. 1980 හෝ 1981 විය යුතුය. මසකට අවම වශයෙන් දෙවරක් හෝ එදවස මුල්වරට හොලිවුඩ් හි තිරගතවූ විගසම පාහේ කොලඹ නගරයෙහි ඉංගිරිසි චිත්‍රපට උදෙසාම වෙන් වූ චිත්‍රපට ශාලා කිහිපයෙන් එකක ප්‍රදර්ශනය වන චිත්‍රපටයක් නැරඹීම අපගේ සිරිත විය. ඒ බොහෝවිට සෙනසුරාදා සවස 3.30 දර්ශනයයි.ක්‍රියාදාම චිත්‍රපට, ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ නිමැවුනු චිත්‍රපට සහ කාම සම්භෝගය යන්තමින් හෝ පිළිබිඹු වන චිත්‍රපට අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉහලින්ම තිබිණි. 

පසුකලෙක ඒ කඩා බිඳ දමා පිහිටි ස්ථානයේ සුවිසල් සුඛෝපභෝගී නිවෙස් සංකීර්ණයක් ගොඩ නැඟූ එම්පයර් සිනමා හලෙහි ඒ සතියේම ප්‍රදර්ශනය වීම ඇරඹුනු චිත්‍රපටයක් නැරඹීමට එක් ශනිදා සන්ධ්‍යාවෙක මගේ කිට්ටුම මිතුරන් දෙදෙනෙකු ද සමඟ ගියෙමි. චිත්‍රපටයෙහි නම මතකයට නො එන මුදු ඒ බෲස් ලීගේ චිත්‍රපටයක් බව මතකයේ රැඳී ඇත. දර්ශනය ඇරඹීමට හෝරාවකට ද ප්‍රථම ශාලාව වෙත ලඟා වූ නමුදු ඒ වනවිටද සියළු දොරටු වසා House Full යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කොට තිබිණි. 

" ඉතින් මොකේද දං වලඳන්නෙ? ෂෙහ්, දවසම අපරාදෙ…" 

සෙමෙන් සෙමෙන් විහාර මහා දේවී උද්‍යානය අසබඩ මාර්ගය ඔස්සේ ලිප්ටන් වට රවුම දෙසට ඇවිද යමින් මම පැවසුවෙමි. 

" මේ අඩේ..ඔලිම්පියා එකේ අලුත් ෆිල්ම් එකක් දාල ඊයෙ. මම කියන්නද? අපි ඒක බලමු. " 

මගේ එක් මිතුරකු පැවසූයේ ඒ අසල පිහිටි මාර ගසක සෙවණේ නතර වෙමිනි. 

" ඊයෙ දැම්ම එකක් නම් මේ වෙනකොට එතනත් හවුස් ෆුල් තමයි. " 


" නෑ බං ඊයෙ අපෙ අයිය එතනිං එනකොටත් ඒ හැටි සෙනඟක් ඉඳල නෑ. " 

" අඩේ එහෙනං මහ ජරාවක් වෙන්ට ඇති. මොකක්ද බං නම? " 


" මොකක්ද බං ඒ අපබ්බ්‍රංස නම? " 

අනෙකා ඇසුවේ ඒ අසලම වූ කුඩා පෙට්ටි කඩයෙන් සිගරට් කිහිපයක් මිල දී ගනිමිනි. 

" වර්සස් කියන්නෙ නම් විරුද්ධව කියන එකනෙ. ඔය කියන්නෙ මම හිතන්නෙ නඩුවක් ගැන වෙන්න ඕන...." මම පැවසුවෙමි. 

" කවුද බං ඕකෙ ඉන්නෙ? " 

" මෙරිල් ස්ට්‍රීප් කියල නම තිබ්බෙ කියලයි අයිය කිව්වෙ…" 

" එහෙම නළුවෙක් ගැන ඔය ඇහුවමයි…." 

" ඔය කිව්වෙ..යකෝ මෙරිල් ස්ට්‍රීප් කියන්නෙ නළුවෙක් නෙවෙයි නිළියක්....." 

" අම්මප?.....මෙරිල් කියන්නෙ පිරිමි නමක්නෙ ...." 

එදවස අගලවත්ත ආසනයේ මන්ත්‍රීවරයා වූ මෙරිල් කාරියවසම් මහතා සිහිකල මම පැවසුවෙමි. 

මෙරිල් ස්ට්‍රීප් ගැන පළමු වරට මම දැනගත්තේ එදා විහාර මහා දේවී උද්‍යානය අසල ඒ මාරගස යටදීය. එකල අපේ සිනමා වීරවරියෝ වූවාහු සිල්වියා ක්‍රිස්ටල්, ජැකලීන් බිසට්, උර්සුලා ඇන්ඩ්‍රස්, බෝ ඩෙරෙක් සහ එවකට දහසය වියේ පමන වූ බෲක් ෂීල්ඩ්ස් ය. 

" යමල්ලකො මෙරිල්වත් බලාගමුකො එහෙනං " 

මාර්ග අංක 140 බස් රථයක මරදානට පැමිණි අපි ඩාර්ලි පාර ඔස්සෙ නිව් ඔලිම්පියා ශාලාව වෙත ලඟා වීමු. ඒ වනවිට දර්ශනය ආරම්භ වීමට ඉතා ආසන්න වී තිබූ නමුදු ශාලාව තුල බොහෝ ආසන හිස්ව පැවතිනි. 

" අම්මප මූට මට …...මේ මේක දහ ජරාවක් එහෙමනම් අද උඹේ ගානෙ අපි ඔක්කෝටම රෑ කෑම හරිද? ....." 

චිත්‍රපටය නරඹනුවස් අප පොළඹවාලූ මිතුරා දෙස රවා බලමින් මම දෙවන පෙළෙහි අසුන් ගතිමි. 

බිරිඳ තමා අතහැර ගිය පසුව තම කුඩා පුතණුවන් සමඟ ජීවිතයට මුහුණ දීමට වෙර දරන පියකු පිළිබඳව ගෙතුනු ඒ චිත්‍රපටය අප සියලු දෙනාගේ හද ඇද බැද තබා ගැනීමට සමත්වූයේ නිතැනිණි. 

නුපුරුදු උච්චාරණය හේතුකොටගෙන සමහර වදන් දුරවබෝධ වුවද එහි කියැවෙන භාවාතිශය එමෙන්ම සංවේදී අන්දරය වටහා ගැන්මට ඒ කිසිසේත් බාධාවක් නොවිණි. 

චිත්‍රපටයේ අවසාන දර්ශනය; අධිකරණයෙන් දරුවාගේ භාරකාරත්වය හිමිවූ මව ( මෙරිල් ස්ට්‍රීප් ) දරුවා භාර ගැන්මට පැමිණියද දරුවාගේ පියා (ඩස්ටින් හොෆ්මන් ) හටම දරුවා භාරදී ඔවුන් දෙදෙන වෙන්ව යන දර්ශනය දශක තුනකට අධික කාලයක් ගත වී ගියද තවමත් මගේ මතකයේ රැඳී ඇත. 

On the morning that Billy is to move in with Joanna, Ted and Billy make breakfast together, mirroring the meal that Ted tried to cook the first morning after Joanna left. They share a tender hug knowing that this is their last daily breakfast together. Joanna calls on the intercom, asking Ted to come down to the lobby. She tells Ted how much she loves and wants Billy, but she knows his true home is with Ted. She will therefore not take him. As she enters the elevator to go and talk to Billy, she asks her ex-husband "How do I look?" The movie ends with the elevator doors closing on the emotional Joanna, right after Ted answers, "You look terrific." 

චිත්‍රපටය අවසානයේ මරදානේ ගාමිණී ගෘහභාණ්ඩ වෙලඳ සැල අසල එකල වූ තෝස කඩයට වී අපි තෝස සහ ඉඳිආප්ප අනුභව කලෙමු. 

" දැං මොකද කියන්නෙ ? මම ඔක්කොගෙම බිල ගෙවන්න ඕනද? " 

චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මගේ තර්ජනය සිහිකරමින් තර්ජනයට ලක්වූ මිතුරා විමසීය. 

" ඕනනං ගෙවපං …...ඒත් අපි බලකරන්නෙ නෑ. " 

එකිනෙකාගේ කරට අත්දමාගෙන සිනහසෙමින් අපි ආනන්දය ඉදිරිපස බස් නැවතුම වෙත පිය නැඟීමු. 

මෙරිල් ස්ට්‍රීප් නම්වූ ඇය එලෙස මගේ ජීවිතයට අහඹුලෙස ඇතුළු වූවාය. පාසල් සමය අවසන්ව අගනුවර අතහැර ඒමට ප්‍රථම ඇගේ තවත් චිත්‍රපට දෙකල් නැරඹීමේ භාග්‍යය මට උදාවිය. එනම් " ද ඩියර් හන්ටර් " සහ " ද ෆ්‍රෙන්ච් ලෙෆ්ටිනන්ට්ස් වුමන් " යන චිත්‍රපටය. 

ද්වීතීය අධ්‍යාපනය සහ ඉන්පසු රැකියාවක් ලැබ කැළෑ වැදීමට සිදුවූ කාලයෙහිදී ඉංගිරිසි චිත්‍රපට මතු නොව සිංහල චිත්‍රපට පවා නැරඹීමට අවකාශයක් ලැබුණේ ඉතා කලාතුරකිනි. එබැවින් මෙරිල් සමඟ මගේ ඇසුර අවම මට්ටමක පැවතියද ප්‍රේම පුරාණයක රඟදුන් මානවිකාවියක් කිසිදාක මතකයෙන් එකලාව බැහැරව නොයන්නක් සේ ඇයද මසිතෙහි එක් සොඳුරු මතක ලතා මඬුල්ලක මේ ගතවූ දශක තුනකට අධික කාලය මුලුල්ලේ වසන්නීය. 

එහෙත් හැකි පමණ මම ඇගේ රංග කෞශල්‍යය පිළිබඳ තොරතුරු සොයා ගතිමි. වසර දෙකකට පෙර ඇය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාගරට් තැචර් ලෙස ද අයන් ලේඩි චිත්‍රපටයේ රඟපාමින් තෙවන ඔස්කා සම්මානය ද දිනා ගත්තීය. 

ඇය ඔස්කා සම්මානයට 17 වරක් නිර්දේශව වාර්තාවක් ද තබා ඇත්තීය. 

අතීත මතක සැමරුම් අවසානයෙහි බොහෝ දීර්ඝතර ගොමු වටා තැලීමකින් ( Beating about the bush ) අනතුරුව ප්‍රිය සහෘදය, අප නැවත පසුගිය සෙනසුරාදා සවස වෙත පෙරළා පැමිණ සිටින්නෙමු. 

" ලියාපංකො බං මෙරිල් අම්මණ්ඩි ගැන. …" 

උක්ත නුහුගුණාපිත ලලනාව මා හා පැවසුවාය. නැත.. ඒ වනාහී ඉල්ලීමකට වඩා හුරු වනුයේ නියෝගයකටය. වන්නාටය... මම ඒ නියෝගය පිලිගෙන ඈ සඳහන් කල චිත්‍රපටය නැවත නැරඹීමි. 

උස් මහත් වූ දරුවන් දෙදෙනෙකුගේ මවක වන හතළිස් විය ද සපුරා ඇති ෆ්‍රැන්සෙස්කා ජොන්සන්, සැමියා සහ දරුවන් දින කිහිපයකට නිවසින් බැහැරව ගිය කලෙක ජීවිතයේ ප්‍රථම වරට ඇස ගැටෙන අමුත්තකු සමඟ ප්‍රේමයෙන් බැඳෙයි. ඒ අධ්‍යාත්මික ප්‍රේමයක් ම නොවේ. රාගික ප්‍රේමයක් මද නොවේ. අඩු වැඩි වශයෙන් ඒ දෙකේම සංකලනයකි. 

" And in that moment, everything I knew to be true about myself up until then was gone. I was acting like another woman, yet I was more myself than ever before. " 

මේ ඒ අපූර්ව මොහොත පිළිබඳව ෆ්‍රැන්සෙස්කාගේ නිර්වචනයයි. ඉතා තැන්පත් සහ සතුටුදායක විවාහ දිවියක් ගෙවන හතළිස් වියැති කාන්තාවක් මෙලෙස හැසිරීමට පෙළඹෙනුයේ මන්ද? උක්ත නුහුගුණාපිත ලලනාව පවසන පරිදි ඉතිරින් හට ආවේනික වූ Built-in Lunacy නිසාද? උපංගෙයි නුහුගුණේ? හේතුව එයද? පිලිතුරු නැති ප්‍රශ්න මෙලොව බොහෝ වෙති. හරිහැටි පිළිතුරක් නොවීම ම ඒ ප්‍රශ්නයෙහි චිත්තාකර්ශනීය බව වර්ධනය කරන බන මගේ හැඟීමයි. 

සතර දිනක් මුලුල්ලේ ඔවුන් දෙදෙනාගේම ජීවිත උඩු යටිකුරු කරමින් හමා ගිය චණ්ඩ මාරුතයකට ඉක්බිති ඇය නිසොල්මන්ව හිඳ තම ජීවිතය පිළිබඳව තීරණයක් ගන්නීය. ඒ තමා පිලිබඳව නොව තම සැමියා සහ දරු දෙදෙනා පිලිබඳව බොහෝ දුර සිතා එලඹ ගන්නාවූ තීරණයකි. 

Francesca: Robert, please. You don't understand, no-one does. When a woman makes the choice to marry, to have children; in one way her life begins but in another way it stops. You build a life of details. You become a mother, a wife and you stop and stay steady so that your children can move. And when they leave they take your life of details with them. And then you're expected move again only you don't remember what moves you because no-one has asked in so long. Not even yourself. You never in your life think that love like this can happen to you. 

Robert Kincaid: But now that you have it... 

Francesca: I want to keep it forever. I want to love you the way I do now the rest of my life. Don't you understand... we'll lose it if we leave. I can't make an entire life disappear to start a new one. All I can do is try to hold onto to both. Help me. Help me not lose loving you. 

එක් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන සන්ධ්‍යාවක ඔවුහු සමු ගත්තෝය. හුදෙක් සොඳුරු මතක සැමරුම් පමණක් හදතුල රඳවාගත් පියා ඔවුහු සමුගත්තෝය. 

************************************* 

විශේෂ ස්තූතිය - මගේ සෙනෙහස දිනූ තවත් එක් නුහුගුණාපිත ලලනාවක් පිළිබඳ මගේ මතක සැමරුම් යලි අවදිකොට මේ සොඳුරු සටහනට මඟ පෑදූ ඔබට, ඒ නුහුගුණාපිත මා හිතවත් ලලනාවට. 


47 comments:

  1. මෙරිල් ස්ට්‍රිප් ගැන කතා කිරීම පැත්තක දාලා ෂිකර් ධවන්ගෙ සුපිරි ඉනිම ගැන කතා කොරන්ටද.?? ;)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බං. රන්දිල් මහගෙ දාල තියෙන නමට ගැලපෙන්ට වැඩේ කරන්ටත් එපාය. නිදහස් සිතුවිලිය කිව්වම ඒ ලියන අපේ නිදහස් සිතුවිලි වගේම කියවන බොලාගෙත් නිදහස් සිතුවිලි...හෙහ්, හෙහ්,

      අර එක පාරක් අපෙ හෙන්රීස් ද නයින්ත් කිව්ව වගෙ නේරු ගැන පෝස්ට් එකක් ලිව්වයි කියල එතන සරනේරු ගැන කතාකරන්ට තහනමක් නෑනෙ...:) :)

      ෂිකාර් ලොක්ක හතර අතේ හනුම දර පලන්නැහෙ නෙලද්දි මට ආවෙ පුදුම සන්තෝසයක් බං. හරියටම කිව්වොත් ටවුමෙ ගණං කාරයගෙං අම්මගෙං බීපු කිරි කටිං එන්ට ගුටි කාල හතර ගාතෙ දාල වැටිල ඉන්දැද්දි පොලීසියෙං ඇවිල්ල ඌට එලව එලව බැටං පොල්ලෙං තඩි ගහනව ඇස් පනාපිට පේනකොට යන ජොලිය කොහොමද හිතාගංකො. ආන්න ඒ වගේම තමයි...හෙහ්, හෙහ්

      Delete
    2. මෙරිල් ස්ට්‍රිප්ගේ ලස්සන ෆිල්ම්ස් ටිකක් ගැන දැනගන්න ලැබුණා. හිතට දුකයි මේ එකක්වත් බලල නැති එක ගැන. දැන් ඉතින් අනිවාර්යෙන්ම බලන්න හිතා ගත්තා. ඒත් මේ ලස්සන මාතෘකාවෙදි සමහරුන්ට ක්‍රිකට් ගැන විස්තර කරන්ට මතක්වෙලානේ :)

      Delete
    3. @ සෝනියා දිසා,

      / මෙරිල් ස්ට්‍රිප්ගේ ලස්සන ෆිල්ම්ස් ටිකක් ගැන දැනගන්න ලැබුණා. හිතට දුකයි මේ එකක්වත් බලල නැති එක ගැන /

      සිකේ අම්මප, ඒක කියාපු ලස්සන ලැජ්ජ නැතුව.. :) :)


      ඔව් ඔව්ව බලන්ට කොහෙද වෙලාවක්...ත්‍රී ඉඩියට්ස් බල බල ඉඳහං රෑ එලිවෙනකල්..:)

      / ඒත් මේ ලස්සන මාතෘකාවෙදි සමහරුන්ට ක්‍රිකට් ගැන විස්තර කරන්ට මතක්වෙලානේ /

      Yes of course, multi faceted is my middle name :)

      ඒ වනාහී ගොමු වටා තැලිල්ල නමින් හැඳින්වේ.

      Delete
    4. //සිකේ අම්මප, ඒක කියාපු ලස්සන ලැජ්ජ නැතුව.. :) :)//

      හෙහ් හෙහ් :D :D :D

      Delete
    5. අනේද කියන්නෙ.. මෙරිල් ස්ට්‍රිප්ගෙ ෆිල්ම්ස් එකක්වත් බලලත් නෑ ලු, ඒ වුනාට අපට බනින්ට එනවා ක්‍රිකට් ගැන කතා කොලාය කියලා..

      Delete
    6. @ සෝනියා,

      මේ..හලෝ...ඔහෙට කවුද අවසර දුන්නෙ හෙහ්, හෙහ්, කියල හිනා වෙන්න? ඒක ඇවිල්ල මගෙ Trademark Registered හිනාව……..කලිං වගෙ හී... හී... කියල හිනා වෙනව හොඳ හිතිං…. හරිද?

      Delete
  2. එන්න එන්නම තවත් ලස්සන වෙන මෙරිල් ස්ට්‍රීප් Out of Africa (1985) කරපු රඟපෑමේ දී ඇයගේ ඩෙන්මාර්ක් බස උච්චාරණය කොතරම් අනගි ද? දක්ෂ නිළියන් අතර ඉහළින්ම ඉන්න තැනැත්තියක්.

    අර නුගුහුණාපිත ලලනාවට මගෙත් ස්තූතිය මෙවැනි සටහනක් ලියා අපිවත් අතීතයට ඇදන් යන්න උදව් කළාට.

    බෲස් ලී චිත්‍රපටි නරඹන්න මාත් ගිහින් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මොනව කියනවද අරුණි. මෙරිල්ට දැන් හැටත් පැනල. ඒත් තාම ලස්සනයි. ඒක නෙව මාත් මේ අවුරුදු තිහකටත් වැඩි කාලයක ඉඳල තාම උන්දැට පේම කොරන්නෙ....

      හප්පා, බුරුස් ලී ගොයියගෙ පිචෑර් නම් ඔක්කොම බැලුව. මයෙ හිතේ එකක් දෙතුන් පාරක් වත් අඩුම ගනනෙ. එන්ටර් ද ඩ්‍රැගන් බලල අපෙ කට්ටියටම හැදුන කරාටේ පිස්සුව. මාස දෙකක් විතර පිට කෝට්ටෙ මිෂන් ලේන් එකේ කරාටේ මාස්ටර් කෙනෙක්ගෙ ගෙදරටත් ගියා ඉරිද උදේට කරාටේ ඉගෙන ගන්ට. වැඩේ දිගටම ගියානං ඔන්න බලන්ට මම 10th dan වෙලයි නවතින්නෙ. ඒකටත් හරහට හිටියෙ අපේම යාලුවො තමයි. පාප මිත්‍රයො කියන්නෙ පාප මිත්‍රයංගෙත් හොඳම කොලිටි එක ඉස්පිරිට් එක, ග්‍රේඩ් වන් ක්ලාස් වන්.

      අපේ එකෙක් මාස්ටර්ගෙ දූ එක්ක පොඩි ගනුදෙනුවක් පටංගත්තෙ නැතෑ. මාස්ටර්ට මේක ආරංචි උනා විතරයි, කාලයක් පුරුදු පුහුණු කරපු සිත එකඟ කිරීම එහෙම ඔක්කොම අමතක උනා. කරාටෙත් අමතක වෙල දෙකේ දෙකේ පොල්ලක් අරගෙන අපි පාරෙ පැන්නුවෙ.

      දැං ඔය සිරිකොත තියෙන්නෙ. අන්න එච්චර දුර පණ එපාය කියල දුවල තමයි අපි නැවතුනෙ. එදයිං එදායි කරාටේ ගැහිල්ල එහෙම්මම ඇණහිටිය.

      අපෙ අල්ලපු පංතියෙ එකෙක් හිටිය සිරාවටම කරාටේ කලා. මිනිහ බුරුස් ලී ගෙ පිච්චර් බලන්ට යන්නෙ කරාටෙ කිට් එකත් බෑග් එහෙක දාගෙන. පිචර් එක පටංගන්ට ඉස්සරවෙලා ටොයිලට් එකට ගිහිල්ල බහිනව කරාටෙ කිට් එකට.පිචර් එක දුවද්දි අර සීට් අතර තියෙන දිග ඉඩක් තියෙන්නෙ. ඔතනට වෙල මිනිහ බුරුස් ලී දාන ඇක්ෂන් ඔක්කොම දානවයි කියලයි අපේ එවුං නං කියන්නෙ. හැබෑ බොරු නං අනේ මන්ද.

      අනික ඔය බුරුස් ලී පිචර් බලල එලියට බහිනකොට අපිටත් එනව හිතට ගටක් කොහොමද දන්නවද? බුරුස් ලීත් සාස්තරේ ඉගෙන ගත්තෙ අපෙං කියලයි අපිට හිතෙන්නෙ. ආය නෑ දෙසීයක් වරෙං ගහගත්තෑකි ඇස් දෙක පියාගෙන අන්න ඒ මුඩ් එකේ ඉන්නෙ පාරවල් දිගේ ඉන්න එවුං. බැරිවෙලාවත් කකුලක් පෑගුනානං අතක් කොහෙ හරි වැදුනනං හප්පා ඒ ඇති.එන්ට ද ඩ්‍රැගන් පාට් ටූ කෙලින්ම එතනම රඟ දක්වනව. එන්ට එපා ද ඩ්‍රැගන්

      Delete
    2. මෙහෙට ආවට පස්සෙයි දැනගත්තෙ බෲස් ලී චටාස් පටාස් කියල ගැහැව්වම බිත්ති කඩාගෙන යන්නෙ ඇයි කියල. ලංකාවේ අපේ ගෙවල් වගේ ගඩොල් සිමෙන්ති බදාම වලින් නෙමෙයිනෙ මෙහෙ ගෙවල් ඇතුලෙ බිත්ති හැදිලා තියෙන්නෙ. අර දෙකයි දෙකෙ පොලු අතර තැනක් හොයලා ගැහැව්වම බිත්ති කැඩෙනවා. හැබැයි ඒක දැනගත්තා කියල "එන්ට ද ඩ්‍රැගන්" රස අඩු වුනේ නම් නැහැ.

      Delete
  3. සුන්දරයි....කතා ලතාවද පඳුරු වටේ තැලීමද අතිශය සුන්දරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලප...:) :)

      Delete
  4. හෝව් පොඩ්ඩක්...

    මෙරිල් ස්ට්‍රිප් ගැන මගේ පළවෙනි මතකය මට වයස අවුරුදු 9 දි හෝ 10දි... ඒ කාලේ මුතුහර සඟරාවට ඇබ්බැහි වෙලා හිටියා.. ඔන්න විස්තරයක් තියෙනවා.. ( ෆිල්ම් එකේ නම මතක් නෑ.. ආටිකල් එක පටන් ගත්තේ මේ වගේ) ... ඇය නිසලව සිටින්නීය... මළ සිරුරක්ම බඳුය... ... ඔන්න ඔහොම ගිහින් කතාවේ තියෙනවා මේ මෙරිල් ස්ට්‍රිප් නම් නිළිය මොකද්ද ෆිල්ම් එකක මිය යන දර්ශනයක් කරන අවස්ථාවේ විස්තරයක් කියලා... මළ මිනියක එන නිල් පැහැය මූණේ ස්වාභාවිකව ගන්න මෙරිල් පැය ගානක් මූණේ අයිස් තියං හිටියලු.... හුස්ම හිර කරගෙන දර්ශනය රෑගත කරලා ඉවර වෙලා කට් කිව්වට පස්සෙත් මෙයා හුස්ම ගන්නෑලු... ඒ පාර කට්ටිය බය වෙලා බලනකොට නින්දෙන් නැගිටලා වගේ ඇස් ඇරියලු...

    ඔන්න මට මේක දැක්කම මතක් වෙච්ච හරිය.... දැන් කතාව කියවන්න යනවා... හි හි

    ReplyDelete
    Replies
    1. //ඉතිරින් හට ආවේනික වූ Built-in Lunacy නිසාද? උපංගෙයි නුහුගුණේ? හේතුව එයද? පිලිතුරු නැති ප්‍රශ්න මෙලොව බොහෝ වෙති. //

      උත්තරයක් තියෙනවා.. හැබැයි තේරුම් නොගත්ත කෙනෙක්ට ඒක හරිම දිගයි... ඒ ව‌ෙග්ම තේරුම් ගත්ත කෙනාට හරිම කෙටි පිළිතුරක්... ගොඩක් අය ඕක තේරුම් ගත්තත් නෑ වගේ ඉන්නවා.. තමන්ගේ පහසුව සමහ වාසිය ( ආත්මාර්ථය) තකා... මගේ අදහස නම් ෆ්‍රැන්චැස්කා බොහෝ දුරට හරි...

      ප/ලි ; මං මේ කල්පනා කරන්නේ මෙරිල් ස්ට්‍රිප් ගේ ෆිල්ම්ස් මම බලලා තියෙනවද කියලා.. හොයලා බලන්න ඕනේ... ( මට නලු නිළියන්ගේ නම් මතක තියෙන්නෙ බොහොම අඩුවෙන් කොච්චර ෆිල්ම්ස් බැලුවත්.. මම බලන්නේ ෆිල්ම් එක මිසක් ඉන්න අය නෙවෙයි නොවැ... හි හි)

      Delete
    2. යස් හිරු ඔබ හරි....

      There comes in everybody's life a destiny defining moment. How you cope with that moment would demarcate what you are and moreover what you would be to those who love you..

      අප සැමගේ ජීවිතයෙහි දෛවෝපගත එක් මොහොතක් නිසැකවම එලඹෙනු ඇත.ඒ අපූර්ව මොහොතෙහිදී අප ක්‍රියාකරන ආකාරය හුදෙක් අප කවුරුන්ද යන්න පමණක් නොව අපට ආදරය කරන පුද්ගලයින්ට අප කවරෙක්ද යන්න ද නිර්වචනය කරනු ඇත.

      Delete
    3. The Bridges of Madison County ෆිල්ම් එක මම බලලා තියෙනවා... ( පොඩි සර්ච් එකක් දාලා බැලුවා හරියටම ඒකද කියලා) මේකේ ලියලා තියෙන පොඩ් විස්තරෙත් එක්ක මට හිතේ මැවුනේ ඒ කතාවමයි කියලා රවිට විශ්වාස කරන්න පුළුවන්ද... ? මේ ෆිල්ම් එක මම බැලුවේ මට මතක විදියට අවුරුදු 13 -14දි විතර... මට ෆිල්ම් වල නම් ලේසියෙන් මතක හිටින්නේ නෑ.. මේකත් එහෙමයි.. හැබැයි අර අන්තිමට පාලමෙන් අලු ටික විසි කරන්න කියලා ලියලා තියෙන සීන් එක, අර අලුත් ගවුමක් අරගෙන අඳින සීන් එක.. තාම මතකයි.... මොන හේතුවකටද මන්දා මේ වගේ දෙකට දෙවාරනේ වැනි වැනි, තීරණයක් ගන්න බැරුව හිටපු ගොඩක් වෙලාවල මට ඔය කතාව මතක් වෙලා තියෙනවා...

      ගොඩක් ගෑනුන්ගේ ජීවිත කතාව ඕක තමයි කියලා මට හිතිලා තියෙන වාර අනන්තයි... මාත් ඇතුලුව... විවාහය කියන්නේ ආසාවෙන් පටන් ගන්න යන අලුත් ජීවිතයක් විතරක් නෙවෙයි, ආසාවෙන් ගත කරපු පරණ ජීවිතේ වළලලා දාන දවස කියලා මට දැන් හිතෙනවා... වෙලාවකට ඒක දරා ගන්න බැරි බරක්....

      Delete
    4. මමත් මේ ෆිල්ම් එක මම බැලුවේ අවුරුදු 17 -16 දි විතර... ඒ කාලෙ ඒකේ විකාශනය උනා කියලත් මතකයි

      //ඉතිරින් හට ආවේනික වූ Built-in Lunacy නිසාද? උපංගෙයි නුහුගුණේ? හේතුව එයද? පිලිතුරු නැති ප්‍රශ්න මෙලොව බොහෝ වෙති. //

      මේකට උත්තර නම් ෆිල්ම් ඒකේ ම තියෙනවනෙ

      Delete
  5. නුහුගුනාපිත ලලනාවගේ පූර්විකා සටහන

    මෙරිල් මා හඳුනා ගන්නේත් මා වැනිම වූ ඉන් බිල්ට් ලුනසි ව්‍යාධියෙන පෙලුන තවත් සුන්දර මිතුරියක් නිසාවෙනි . එක හැන්දෑවක ප්‍රිය කතාබහක මැද අපේ සිත්ගත් සිනමාපට ගැන කතා කරමින් හුන් සඳ පිටිසර මැඩිසන් ගමේ පාලමක් හා ඈදුන සුන්දර පෙම් පලහිලව්වක වත ගොත කී ඇය යූ මස්ට් වොච් ඉට් විත් අ බොක්ස් ඔෆ් ටිෂූස් ඒතරම් සුන්දර පෙම් පලහිලව්වක් යයි කීවාය .ඊලඟ සති අන්තයේම මම යූ ටියුබයෙන් එකී සිනමා පටය බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි බැලූවෙමි . වරක් නොව තුන් හතර වරක්ම බැලුවෙමි .කඳුලුත් සැලූයෙමි .

    එහි ෆ්‍රැන්චෙස්කා ගේ චරිතර රඟ පෑ මෙරිල් ස්ට්‍රීප් බව දැන් හුන් මුත් ඇගේ වර්නණා විෂයාතික්‍රාන්ත භාව ලීලා හා රන්ග වින්‍යාසයන් ගැන මට කීවේ තවත් සොඳුරු පුරුශයෙකි .ඒ මීටිමක් මැද ලද තේ විවේකයක රාජකාරි වැඩ පසෙක ලා සිනමාව ගැන දොඩවමින් හුන් වෙලාවකය .

    මෙරිල් පුදුම නිලියක් .හිතේ හෑඟිම් කියන්න ඇයට තියෙන්නෙ පුදුම හපන්කමක් යයි අර සොඳුරු පුරුෂයා කියූවෙන් මා නැවත බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි හා ඔහු කී සිනමා පට කීපයක් වූ ක්‍රාමර් වර්සස් ක්‍රාමර් , ඩියර් හන්ටර්,හා මමා මියා බැලූවෙමි .

    සැබෑවකි . අප ගැහැණුන් සියලු දෙනාටම අඩු වැඩි වයසෙන් වැලඳෙන්නා වූ චිත්ත වික්ශෝප ,ව්‍යාධි , සිත් ඉවුරු කඩා බිඳ ගෙන උන්හිටිගමන් බ්‍රේක් නැතුව ගලාහැලෙන ආදරය ,බුරා පනින කෝපය හා විකාර රූපී බොලඳ සිතුවිලි මෙන්ම , උන්හිටි ගමන් මහා භූමි කම්පාවක් අවසන ලොව ඇතිවන නිසල බව හා සමාන සාන්ත දැමුණු හැඟිම් සියල්ලම අඩු නැතිව මෙරිල්ගේ රන්ග වින්‍යාසයේ ඇති වග මට වැටහුනි . මොකක් හෝ අපලයකට මෙරිල් ගේ සිනමා පට අතරින් මා හිත ගියෙත් බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි හා ක්‍රාමර් වර්සස් ක්‍රාමර් සිනමා සිත්තම් වලටය .

    ක්‍රාමර් හි සන්සුන්ව සිටි ගැහැණියක්, මවක් එක් වර කෝපයෙන් දැවෙමින් ඇයට අතහැරුණ ජීවිතය සොයා දරුවාත් සැමියාත් දමා උන් හිටි ගමන් වෛවාහක නිවස හැර පියා යනයුරුත් බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි හි ගොවිපල නිවසක සිය පවුලෙන් හුදකලා වෙන ඇමරිකානු ඉතාලි සම්භවයක් ඇති ප්‍රැන්චෙස්කාගේ හුදෙකලා නුරුස්සනාවන් දෝරෙ ගලන ආදරයක අවසන් ශෝකාන්තයකටත් දිවෙනා අයුරු අපූරුය

    අප ගැහැනුන් සැමටම අඩු වැඩිව ඇති මෙය ලියූ ප්‍රිය පුරුෂ තෙම නිරතුරු තෙපලන නුහුගුනය මෙරිල්ගෙන් අපූරුවට මතුවෙන මා සිත් ගත් සිනමාරූපී දසුන් වන්නේ මැඩිසන් පාලම ඇති තැනට ෆ්‍රැන්චෙස්කා මග විස්තර කරනා අයුරු , රොබර්ට් ඇයට මල් කිනිති කීපයක් දෙන විට දීස් ප්ලවර්ස් හා පොයිසනස් කියමින් ඔහු බිය කර සිනා සෙන විට හා සිනමා පටය ආරම්භයේ උදෑසන කෑම මේසයේදී ශීතකරණයේ දොරට ෆ්‍රැන්චෙස්කා පයින් පාරක් දී වසා දමනා අයුරුත් ය :)

    මේ නිසාම ජීවිතයට හැඟීම් බර සටහන් ඇවැසි වූ විට මම මේ සිනමා පටය නැවත නැවත නරඹමි .එලෙස නැරඹූ විටක මෙරිල් ගැන සටහනක් තැබුවානම් සුදුසු යයි සිතා උක්ත ප්‍රිය පුරුශ තෙම හට කියූ කල ඔහු ඉන් කුල්මතව තම පැඟිරි වියේ පටන් ( ඔහු හැත්තෑව දසකයේ යෞවනයෙක් නිසා) ඉන්ග්‍රිසි රිදී තිරයේ පෙම් බැඳි නුහුගුනාපිත ලලනාවන් ගැන දීර්ඝ වැනුමක් කොට මේ සටහන ලියන්නට එකඟවුයේය .තවද ජුලියා රොබර්ට්ස් හා සැන්ඩ්‍රා බුලොක් යන තම පෙම්වතියන් ගැන සටහන් ලියන බවටද සොඳුරු පොරොන්දුවක් දුන්නේය :)

    ReplyDelete
    Replies
    1. ෂිකාර් ධවාන්ගේ අපූර්ව පිති හරඹයෙන් මන්මත්ව අනිමිස ලෝචනයෙන් ඒ නරඹමින් හිඳි මා ඉන් මුදවා මතක මං පෙත ඔස්සේ දශක තුනක් අතීතයට පිය මැනීමට සැලැස්වූ ප්‍රිය නුහුගුණාපිත ලලනාවගේ පූර්විකාවට මේ මවිසින් එක් කරනු ලබන ඌණ පූර්ණයයි.

      ජීවිතය යනු සම චතුරශ්‍රයකින් වට වුනු සම බිමක්මත වැතිර ගෙවිය යුත්තක් නොවන බව මම පසක් කලේ යොවුන් වියට එලඹීමටද ඉහතදීය.එහෙත් මගේ ඒ අදහස් එදවස දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් මතු නොව සම වයස්ක මිතුරන් අතරේ පවා උසුළු විසුළුවට ලක්වූයේය. එබැවින්ම මම ඒ පිළිබඳ අදහස් පල කිරීම පවා අත්හැර දැමීමි.

      ජීවිතය ජීවත් කරවීම, මුඛයට වන් සැණින් කාරා ඉවත හෙලීමට අප නිසගයෙන්ම පොළඹවන්නා වූ අධික පෙරුම්කායම් සාන්ද්‍රනයෙකින් හෙබි තිත්ත කසායක් වන්නක් කරවීමට බොහෝ විට හේතුවනුයේ ජීවිතයේ සෑම අහු මුල්ලක් කරා පැතිරගිය ඒකාකාරීබව, පෙරැයීමේ හැකියාව ( Sheer Predictability ) බව මට හැඟේ. ඊට සපුරා එරෙහිව ජීවිතයට ඉඩ දෙන්න යන්න තම මුඛ්‍ය පාඨය කොටගෙන ජීවත් වන්නෝ ඉතා දුර්ලභය. ෆ්‍රැන්සෙස්කා එවැන්නියකැයි මම සිතන්නෙමි.ඇය ඉතා පරිණත වයසේ හෝ ජීවිතයේ එකම වරක් හෝ ජීවිතයට ඉඩ දුන්නාය.ජීවිතය විඳින්නට උත්සුක වූවාය.

      එහෙත් කල්වාරිය කන්ද නඟිනා ක්‍රිස්තුස් වහන්සේගේ කරමත වූ කුරුසිය බිම තැබීමට උන්වහන්සේ අසමත් වූහ. එසේත් නැතහොත් කුරුසිය බිම තබා නිදහස් වනු වස් උන්වහන්සේ වටා සිටි වධකයෝ කිසිදු ඉඩ ප්‍රස්ථාවයක් නොදුන්හ. අවසන තම කරපිටම රැගෙන ආ කුරුසිය මතම උන්වහන්සේ අවසන් හුස්ම හෙලූහ. ජීවිතයේ අප කරගසා ගත් කුරුසිය ඉවත හෙලා නිදහස් වීම ද එලෙසින්ම අසීරුය.අප ඇද බැඳ තබා ඇත්තාවූ සහසක් බන්ධනයෝ එඔ සඳහා කිසිදු ඉඩක් නොදුන්නෝය. ෆ්‍රැන්සෙස්කාට සිදුවූයේද ඒ ඉරණමට මුහුණ දීමටය. ජීවිතය ජීවත් කරවූ දින හතරකට පසු අයට යලි කුරුසිය කරට ගැන්මට බල කරනු ලැබීය.

      බොහෝ දුර කල්පනා කල ඉක්බිති ඇය අවස්ථානුකූලව ඉතාම සුදුසුයැයි ඇයට හැඟුනු තීරණයට එළඹ එය ක්‍රියාත්මක කලාය.

      අප සියල්ලෝම ඇය සේම බිම තැබිය නොහුනු කුරුස කරගසා කල්වාරිය නඟින්නෝ වම්හ.

      ජීවිතය පිළිබඳ අපූර්ව සිතුවිලි මාලාවක් මෙන්ම සොඳුරු අතීත මතක සැමරුම් රැසකටට මඟ පෑදූ ඔබට , මා ප්‍රිය ළලනාවිය, නැවත මගේ ගෞරවනීය ස්තූතිය...

      Delete
    2. //.තවද ජුලියා රොබර්ට්ස් හා සැන්ඩ්‍රා බුලොක් යන තම පෙම්වතියන් ගැන සටහන් ලියන බවටද සොඳුරු පොරොන්දුවක් දුන්නේය :) //

      කමොන් රවී..කමෝන්..ඔහොම යං ඔහොම යං..!!

      Delete
    3. @ රූ,

      පිස්සුද අනේ?...ඔය නුහුගුණාපිත අංගනාවො කියම එව්ව කවුද ගනං ගන්නෙ? :)

      Delete
    4. හ්ම් ...ප්‍රිය පුරුෂයා කියලා ආමන්ත්‍රණය කල එකේ වත් ගුනේ තිව්වෙ නෑ නෙ මේ මනුස්සය :)මට මේ දැම්මම ගිහින් කොමෙන්ට් එක මකන්න හිතෙනව :)

      මේ පිරිමි ඔහොමමයි අප්පා . ඔක්කොම ගෑණු ලමයින්ට එකම කවිය කිය කිය රවට්ටනවා

      නුහුගුනාපිත ලලනාව

      Delete
    5. @ N. G. P. ලලනාව,

      හරි හරි බං එව්ව ගනං ගන්ට එපා...මම මේ කිව්වෙ ඔය ජුලියල සැන්ඩ්‍රල මේ ඊයෙ පෙරෙයිද සක බමර නෙව..උන්දලව කවුද ගණං ගන්නෙ කියලයි. නැතුව අබ මල් රේණු අලුක්කාල් හුලහක වහපු කෝඳුරු මවිලක තරංවත් බොට අපහාසයක් කොරන්ට මයෙ මේ තුංහිතකවත් තිබ්බෙ නෑ..අම්මප සත්තකමයි...

      Delete
  6. මේ වගේට ටිකක් විතර මේ වගේම, තව ෆිල්ම් එකක් තමයි “නයිට්ස් ඉන් රොඩැන්තලේ“ ඒකත් හරිම දුක හිතෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. නයිට්ස් ඉන් රොඩන්තේ......නිකලස් ස්පාක්ස්ගෙ පොත...චිත්‍රපටය - රිචඩ් ගියර් සහ ඩයන් ලේන්.... තවත් අනුවේදනීය කතාවක්.....

      වත් දන්නවද රිචඩ් ගියර් අදහන්නෙ බුද්ධාගම කියල.....

      Delete
  7. // When a woman makes the choice to marry, to have children; in one way her life begins but in another way it stops. You build a life of details. You become a mother, a wife and you stop and stay steady so that your children can move. And when they leave they take your life of details with them. And then you're expected move again only you don't remember what moves you because no-one has asked in so long. Not even yourself. //
    මේ කෑල්ල නම් සහතික ඇත්ත අය්යෙ..හරියට දැනුනා..බලලා නෑ මෙ ෆිල්ම් එක. හොයාගෙන බලන්න ඔනෙ..

    ReplyDelete
    Replies
    1. බලන්න මෙකුවි....බැලිය යුතුම චිත්‍රපටයක්..... :)

      Delete
  8. අනේ මංදා අදනම් මං දැක්කේ චීත්ත වලට කඩේ යන කෑල්ල විතරමයි නෙව.. හෙහ් හෙහ් හෙහ්...

    මෙරිල් ඉන්න හමුදා/ රහස් ඔත්තු සේවා ක්‍රියාදාම චිත්රපටයක්නම් මතකයි. ඒත් ඉතින් ඕවා බලනකොට නම් හොයා හොයා ඉන්න එකක්යැ.

    ReplyDelete
    Replies
    1. / අනේ මංදා අදනම් මං දැක්කේ චීත්ත වලට කඩේ යන කෑල්ල විතරමයි නෙව.. හෙහ් හෙහ් හෙහ්… /

      ඔන්න ඕකනෙව උඹලත් එක්ක බැරි..මෙච්චර වැදගත් පෝස්ට් එකක් ලිව්ව. ජීවිතේ ගැන...සෙනෙහස ගැන...යුතුකම් සහ වගකීම් ගැන..ඒ මොකවත් නෑ..බොට පෙනුනෙ චීත්ත වලට කඩේ යන එක විතරයි...අම්මප මොකටද මම ඉතිං කියන්නෙ?.......හෙහ්, හෙහ්,

      / මෙරිල් ඉන්න හමුදා/ රහස් ඔත්තු සේවා ක්‍රියාදාම චිත්රපටයක්නම් මතකයි. ඒත් ඉතින් ඕවා බලනකොට නම් හොයා හොයා ඉන්න එකක්යැ. /

      ආහ්, දෙන්නංකො ඇට්ටි හැලෙන්ඩ..මම ඇවිල්ල මෙරිල්ගෙ පිචෑර් ගැන ඇක්ස්පර්ට්...මෙරිල් උනත් එයයිගෙ පරණ පිච්චර් ගැන විස්තර අහගන්නෙ මයෙං තමයි.....

      අකම්ස් මල්ලි ඔය කියන්නෙ ද මැන්චූරියන් කැන්ඩිඩේට්.....

      Delete
    2. One of my fav movies.. Not because of Meryl though.. Denzel Washington is my all time fav.. :-)

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්.... ඩේටා බේස් එකක්නේ මෙයා... :)

      Delete
  9. ඉන්දියා - ඕස්ට්‍රේලියා මැච් එකේ ප්‍රතිඵල නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකෙ නම් බොහොම කැළඹිලා තියෙන්නෙ... :D

    අර ඒ කාලෙ ඔයාලගෙ සිනමා වීරවරියන්ගෙ නම් සෙට් එක කියෙව්වම නම් හිනා ගියා... හිතා ගන්න පුළුවන් ඇයි කියල... මොන හේතුවක් නිසාද මන්දා මං අදටත් අහු උනොත් බෲස් ලීගෙ ෆිල්ම් එකක් අතාරින්නෙ නෑ... අපේ මාමණ්ඩි එකතු කරල තිබ්බ එයාගෙ ෆිල්ම්ස් කිහිපයක්...

    ඔය ක්‍රාමර් වර්සස් ක්‍රාමර් කියන පොත නම් කියවල තියෙනව ෆිල්ම් එක බැලුවෙ නැතුවට.... මට ඒක එක දිගට බලන්න පුළුවන් උනෙත් නෑ... හරිම සංවේදී කතාවක්... මෙරිල් ස්ට්‍රීප්ගෙ ෆිල්ම්ස් අතරින් මෑත කාලයේ බැලුවෙ මමා මියා සහ ද අයන් ලේඩි කියන ඒවා විතරයි... මෙරිල්ගෙ වයසත් එක්ක බැලුවම මමා මියා එකේ රඟපෑවෙ ඈමද කියල හිතෙනවා... ඒකත් එක්ක බැලුවම ද අයන් ලේඩි එකේ චරිතය.... කොච්චර වෙනස්ද...

    මටත් අර ෆ්‍රැන්සෙස්කා කියපු කතාව හරියට වැදුනා...

    ReplyDelete
    Replies
    1. / ඉන්දියා - ඕස්ට්‍රේලියා මැච් එකේ ප්‍රතිඵල නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකෙ නම් බොහොම කැළඹිලා තියෙන්නෙ... :D /

      හෙහ්, මොනව කියනවද මියුරු? ඔස්ට්‍රේලියා ටීම් එක පහුගිය අවුරුදු පහලවක විතර ඉඳල අපරාජිත ලෝක ශූරයොනෙ..මෙහෙම අම්බානක කන එක දරාගන්ට බැරිවෙන එක පුදුමයක් නෙවෙයි.මේ සිකුරාදා පටන් ගන්නව හතරවෙනි ටෙස්ට් එක. දිල්ලියෙ ගහන්නෙ. බොහෝවිට ඒකත් කැන්ගරුවො පරදියි. එහෙම උනොත් අවුරුදු 43 කට පස්සෙයි 4-0 කින් ටෙස්ට් තරඟාවලියක් ඔසීල පරදින්නෙ...

      / අර ඒ කාලෙ ඔයාලගෙ සිනමා වීරවරියන්ගෙ නම් සෙට් එක කියෙව්වම නම් හිනා ගියා... හිතා ගන්න පුළුවන් ඇයි කියල… /

      ඔන්න ඔන්න ඉතිං ..ඕකනෙව කියන්නෙ..වරදවා වටහා නොගනු මැනව..මැතිණියනි...

      ඔය ඔයා හිතන එව්ව මයෙ තුං හිතකවත් තිබ්බෙ නෑ..මෙන්න ඇත්තම හේතු

      1. සිල්වියා ක්‍රිස්ටල් - අපෙ අප්පච්චිගෙ බාල නඟා..ඒ කිව්වෙ මයෙ හිච්චි නැන්ද හරියටම ඇරපු අතක් නෑ සිල්වියා ක්‍රිස්ටල් වගේමයි. මාව පොඩි කාලෙ බලා ගත්තෙ උන්දැ..අන්න ඒකයි සිල්වියා මයෙ වීරවරියක් උනේ..නැතුව ආය මේ..........

      2. ජැකලීන් බිසට් - The Deep ෆිල්ම් එකේ ජැක්ලීන් වතුර යට පීනන සීන්ස් එකක් තියනව සුදු ටී ෂර්ට් එකක් විතරක් ඇඳගෙන. මම හරිම ආසයි සුදු ටී ශර්ට් ෂර්ට් වලට..අන්න ඒ නිසාම එද ඉඳල ජැක්ලීන්ට මම කැමතියි. කිව්වම මොකද ඔය සීන් එක බලන්ටම අපි පස් පාරක් ඔය ෆිල්ම් එක බැලුව. ඒ සීන්ස් එක ඉවර උන ගමන් අපි එනව නැඟිටල. ඔන්න හොඳ විස්වාසෙට ගනිං හෝල් එකෙං බාගයක් නැඟිටල යනව ඒ වෙලාවට. කොටිම්ම හෝල් එකේ ලයිටුත් දාන්ට ගත්ත මිනිස්සු කලුවරේ එකා එකා හැප්පෙන හින්දම...

      3. උර්සුලා ඇන්ඩ්‍රස් - උර්සුලාගෙ වාසගමට තමයි මම කැමති උනේ.. Andress කිව්වම මොකද Undress කිව්වම මොකද නැද්ද?

      4. බෝ ඩෙරෙක් - මෙතුමී ගැනනම් තනිකරම මගෙ තිබ්බෙ ආගමික බක්තියක්. මම ඇවිල්ල බොහොම සර්දාසම්පන්න පුද්ගලය නෙව. ඉතිං බෝ කියල කියනකොටම මයෙ හිතේ මැවිල පේන්නෙ " ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී, වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී..." ඉතිං මයෙ සිත නිවී සැනසීමට පත් කරන හෙයින් එදවස බෝ නම් වූ නිළිය මගේ වීරවරියක වූවාය.

      3. බෲක් ෂීල්ඩ්ස් - බුරූක් ට මම කැමති උනේ එයයි වගේමයි මගෙ පාසල් සමයෙ පෙතම පේමය. වගේ තමයි කිව්වෙ ඇත්තම කිව්වොත් පස්සා පැත්ත විතරයි. ආය කියල වැඩක් නෑ මම ඔය කියන දරිවිගෙ කපාපු පලුව බුරූක් අම්මණ්ඩිගෙ පස්සා පැත්ත. හෙහ්, හෙහ්,

      / මටත් අර ෆ්‍රැන්සෙස්කා කියපු කතාව හරියට වැදුනා… /

      යකෝ මේක මාර කෙළියක් නෙව...මුන්දල ඔක්කොම බලාගෙන ගිහාම ෆ්‍රැන්සෙස්කලද කොහෙද...හෙහ්, හෙහ්,

      අර මෙකුවිට දැනුනලු. දැන් මියුරුට වැදුනලු. ඔන්න බින්දි ඇවිල්ල කියයි උන්දට ඇනුනයි කියල..මොනවද ඔට්ටු?

      Delete
    2. @Ravi,
      හපොයි දෙයියනේ..ඔය නිළියො දන්නවා නම් අදම මේ දැන්ම රඟපාන එක නවත්තනවා සිකුරුයි..!!

      Delete
    3. උඹ බෲක් ෂීල්ඩ්ස් නංගිට නම් එක එක කියලා අහුවෙන්ඩෙපා මට! මට අර ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස්වත් බාවන්ඩ හිතිලා තිබ්බෙ අර බ්ලූ ලැගූන් එක බලලා තිබ්බ ජෙලට.

      Delete
  10. ඇය රඟපෑ චිත්‍රපට කීපයක්ම බලලා තියනවා නමුත් බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි බලලා නැහැ. මම බලපු ඒවා අතරින් මතක තියෙන්නේ ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා, අවුට් ඔෆ් ඇෆ්‍රිකා, සහ හවුස් ඔෆ් ද ස්පිරිට්ස් කියන ඒවා ටිකයි. අවුට් ඔෆ් ඇෆිකා නම් බොහොම අපූරු චිත්‍රපටයක්.... ඒ වගේම හවුස් ඔෆ් ද ස්පිරිට්ස් මම බැලුවේ ඉසබෙල් අයියන්දේගේ ඒ නමින්ම තියන පොත ගාමිණී වියන්ගොඩ මායාවාස කියලා සිංහලට පරිවර්තනය කලාට පස්සෙ කියවලා. මේ පරම්පරා කීපයක කතාවට මම බොහොම කැමතියි. ඒකෙ ප්‍රධාන ගැහැණු චරිතය රඟපාන්නෙ මෙරිල්. මෑතකදි කේට් වින්ස්ලට් හොඳම නිළිය සම්මානෙ දිනාගත්ත වෙලාවෙදි, ඒ සම්මානෙට නිර්දේශ වෙලා හිටිය මෙරිල් ස්ට්‍රීප් වැනි නිළියක් එක්ක තමන් එක ගොඩට වැටීම ඇයට අදහාගන්න බැරි බව කිව්වා.

    මට හිතෙන්නෙ මෙරිල් ස්ට්‍රීප් අපේ කාලෙට වඩා ටිකක් පරණයි. මෙරිල් ගැන නිළි පිස්සුවක් හැදෙන්න තරම් එයා අපේ කාලෙ නිළියක් නෙමෙයි. හොලිවුඩ් නිළියන් අතරින් දක්ෂකමිනුත් ලස්සනෙනුත් ගත්තහම මම කැමතිම කේට් වින්ස්ලට්. ටයිටැනික් ප්‍රේමවන්තියගෙන් එහාගිය ලොකු දක්ෂතාවයක් ඇයට තියන බව ඇය මේ වෙනකොට පෙන්වලා තියනවා. මගේ හොලිවුඩ් නිළි පිස්සුවේ දෙවෙනියට ඉන්නේ කේට් වින්ස්ලට්.

    ReplyDelete
    Replies
    1. කේට් වින්ස්ලේට ඔස්කාර් සම්මානය හම්බුනේ ද රීඩර් ෆිල්ම් එකට. 2009 දි. ඒ ඔස්කා සම්මානය භාරගනිමින් ඇය අපූරු කතාවක් කලා....

      " I have made this speech before as a 8 year old, in front of a bath room mirror, my Oscar was a shampoo bottle, but now its not a shampoo bottle at all….." so beautiful... isn't it ?now?

      ඔය තිසර කියන මෙරිල් ස්ට්‍රිප් ගැන සඳහන් කලෙත් ඒ කතාවෙදි....

      Delete
    2. ඔන්න මං පනිනව මෙතෙන්ට... මගෙත් ෆේවරිට්ම එක්කෙනා කේට් හන්ද...
      තට්ට තනියම ද රීඩර් බලල මුලු රැයක් පුරාම දුක කියාගන්ඩ කවුරුත් නැතුව තනියම වැලපුණ හැටි මතක් වුණා මේක කියෙව්වාම. මට තියනව ලිස්ට් එකක්. එක පාරක් බැලුවම ආයෙ බලන්ඩ ඕනෙ වුණත් බැලුවොත් ටැප් අරින හන්ද පස්සට දම දමා තියෙන ෆිල්ම් තමා ඒකෙ තියෙන්නෙ සේරම.Cinderella Man,The Painted Veil,Malena, වාගෙ තව මහ හුඟක් ෆිල්ම් අස්සෙ මේකත් තව එකක්.
      මේ කතාව කියෙව්වට පස්සෙ ෆිල්ම් පිස්සෙක් වෙච්ච පෙම්බරයගෙ ෆිල්ම් ගොන්නෙන් මෙරිල් ඉන්න ෆිල්ට් දෙක තුනක් හොයා ගන්ඩ හිතුව සති අන්තෙවත්.

      Delete
  11. මාත් කැමතිම නිලියක්නේ .

    ඒ වගේම ඔය මැඩිසන් පාලම් සිත්තරපටිය මන් මුලින්ම බැලුවේ අපේ රුපවාහිනියේ . කොයිතරම් හිතට ඇල්ලුවද කිවොත් පස්සේ කාලෙක කීපවරක්ම බැලුවා .

    ''නුහුගුණාපිත''අදත් අලුත් වචනයක් .

    ලස්සන සටහනක් ..ස්තුතියි රවී

    ReplyDelete
    Replies
    1. / ''නුහුගුණාපිත''අදත් අලුත් වචනයක් . /

      ඔන්න ඕකනෙ ඉතිං කියන්නෙ...තමන්ව හඳුන්වන්න පුළුවන් හොඳම විදිහත් ඉතිං අපිම කියල දෙන්න ඕන...හෙහ්, හෙහ්,

      Describe yourself in one word කිව්වම ඕක කිව්වැහැකි කිසි අවුලක් නැතුව...හෙහ්, හෙහ්,

      ස්තූතියි බින්දි......:) :)

      Delete
  12. මේ විස්තරේ කියෙව්වාම බලලා නැති ෆිල්ම් ටික බලන්න හිතුනා..මමත් බලලා තියෙන්නෙ අර නැන්දම්මා ලේලිගේ හුටපටේ තියන ෆිල්ම් එක විතරයි අප්පා..

    ReplyDelete
    Replies
    1. අඩේ ඔන්න මම බලල නැති එකක්.....:(

      Delete
    2. That's "Monster In Law"!

      මේකට මාගලක් ලියන්න ඕනෙ හරි නම්. මොකද ඒ තරමට කරුණු තියෙන නිසා.

      නමුත් වෙලාව පිළිබඳ අර්බුදයක් නිසා එක දෙයක් විතරක් කියන්නම්.

      ඕකට අපි නම් කිව්වේ ක්‍රේයිමර් කියලා ක්‍රාමර් නෙවෙයි. උඹ ඔහොම ක්‍රාමර් කියනකොටත් මට නිකං පොඩ්ඩක් කිති වගෙ.

      Delete
    3. පෙම්බරයත් කිව්ව ඕක ක්‍රේමර් කියල... උන්දැටත් ආයෙ පොඩ්ඩ වැරදුනාම ඩූඩයියට වගේම කිති

      Delete
    4. @ හෙන්රි,

      / That's "Monster In Law"! /

      අඩේ මල්ලි නෑ නේද?..Monster in law එකේ ඉන්නෙ අපෙ JLO මානවිකාව නේද?

      / ඕකට අපි නම් කිව්වේ ක්‍රේයිමර් කියලා ක්‍රාමර් නෙවෙයි. උඹ ඔහොම ක්‍රාමර් කියනකොටත් මට නිකං පොඩ්ඩක් කිති වගෙ. /

      ඔතන හෙන්රි වැඩේ මේකයි. පුද්ගල නාම, ස්ථාන නාම කියන එව්ව අකාරාදිය සහ උච්ඡාරණය බොහොම වෙනස් වෙනව. සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්‍රදාය තමයි පුද්ගල නාමයක් නම් අදාල පුද්ගලයට කැමති විදිහට සහ යොදා ගන්ට ඉඩ දෙන එක.

      දැන් ලංකාවෙ බණ්ඩාරණායකල නම ලිව්වෙ Bandaranaike කියලනෙ. බන්ඩරනායිකේ....ජේ . ආර්. ලොක්ක ලිව්වෙ Jayawardene කියල ඒක සුද්දො කිව්වෙ ජයවෝඩන කියල.

      දැං උඹටත් උඹේ නම කැමති විදිහට ලියන්න සහ උච්චාරනය කරන්න නිදහස තියනව. රයිට් දැන් අදාල කාරනයට ආවොත් ක්‍රෙයිමර් වෙන්නත් පුලුවන්. බොහෝ වෙලාවට වෙන්නෙ ඒ නම භාවිතා කරන රටවල කට්ටිය තමයි දන්නෙ හරිම විදිහ කොහොමද කියල.

      අනික තව පොඩි කාරනයක් තියනව. ඔය වචනෙ ක්‍රාමර් කියල උච්චාරනය කරන්ට නම් දිව තනි කෙලින් තියාගන්න වෙනව. සමහර අයට එහෙම බෑ. වයසට යනකොට වගේම ඕක සංජානනීය ආබාධයක් ( Congenital Abnormality ) වෙන්නත් පුළුවන්. සුට්ටි කාලෙම හොයා ගත්තොත් මල්ලි පොඩි ඔපරේසන් එකක් තියනව. ජමුනපාරි කියල දන්නවද ඉන්නව එලුවො ජාතියක්?. උංගෙ තනි සුදු එලුවෙක්ගෙ අන්ඩ කෝසෙන් කෑල්ලක් දිවට තියල බද්ධ කරනව. එච්චරයි. ඊට පස්සෙ ඕන වචනයක් කියත හැකි කටේ තොලේ නොගෑවී. ඒත් මලේ උඹට නම් මම හිතන්නෙ Now much too late. ඒ නිසා කොරන්ට දෙයක් නෑ. ක්‍රෙයිමර්ම කිය කිය හිටපන් මේ ඉතුරු දෙදොහත්..

      Delete
    5. @ ජනූ,

      ඒයි, අර ඔපරේසං එක මම හිතන්නෙ උඹේ පෙඹාටනම් කරගත්තෑකි. හතලිහ පැන්නෙ නෑනෙ තාම නේද?...සුදු එලුවෙකුත් හොයාගෙන පලයල්ල දෙන්නම මහ ඉස්පිරිතාලෙට....

      Delete
    6. ඔව් උඹ හරි ඒකෙ ඉන්නෙ Jane Fonda , monster-in-law හැටියට. JLO තමයි ලේලි.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...