Wednesday, March 27, 2013

173. ගම්ලත් රාලලාගේ පුංචි මැණිකේ සහ ඌෂා චෞද්රී…..මේ ඔවුන්ගේ කතාවයි.

පහුගිය හෙනහුරාදට කලිං හෙනහුරාද මතකයි නේද?...අර ධවාන්ය කියන කොළුව හනුම දර පලන්නැහෙ ඔස්ටේලියං කාරයිංට එලෝ එලෝ තඩි ගැහැව්වෙ.අර අති ගෞරවාර්හ ධුරන්ධර N.G.P. ලලනාව මෙරිල් ලොක්කි ගැන මට කිව්වෙ…..ආං එදා. 

ඔන්න මේ හෙනහුරාදත් මම කලිංදා වගේම ඕස්ටේලියා ඉන්දියා ( කලිං බැලුවෙ තුංවෙනි ටෙස්ට් එක. මේ පාර හතර ) මැච් එක බලබල උන්නයි කියමුකො. ඕන්න ආයෙම ටිං ගාල ආව සද්දයක්. බැලුව කම්පියුටර් ස්ක්‍රීන් එකේ පල්ලෙහා දකුණු කෙරෝල දිහා..දෙයියෝම සාක්කි... 

" Oh, no... not her again…….What have I done to deserve this? " 

" මොකද බං?....." 

මම ඇහැව්ව ටිකක් විතර සැරට..නුහුගුණ හරි නැතුව හරි බබලත්තු එක්ක ටිකක් ඉන්ට ඕන කැත්තට පොල්ල වගෙ. නැත්තං බලන්නෙ කරේ උරේම නගින්ට. කරේ උරේ..කරේ උරේ......මම ඉතිං ඔව්වයෙ අත්දැකීං තියනවනෙ දැං දීර්ග කාලයක් තිස්සෙ...හෙහ්, හෙහ්, 

කිව්වම මොකද ලලනා තොමෝ ටිකක් බය උනා...ආය බොරුවක් කියන්නෙ මොකටද? 

" අනේ සොරි මම ඩිස්ටර්බ් කලාද..අයියෙ ? " 

ඔන්න උන්දැ ඇහුව බෝම බයපක්සපාතව. 

දන්නවනෙ මම ඔය සැර පෙන්නුවට මයෙ පපුව උනු වෙනව එක මිලි තප්පරේට. 

" නෑ, නෑ..මම මේ මැච් එක ඩිංගක් බල බල හිටියෙ..කියාපං …" 

" අයියෙ….මගෙ යාලුවෙකුට ෆෙමිනා එවෝඩ් එකක් හම්බ වෙලා…" 

" අඩේ මරුනෙ..දැං ඔය කියන යාලුවා කොහේ කෙනෙක්ද? " 

" එයා ඇවිල්ල රාජස්තාන්වල……"

ඔන්න පඳුරු තැලිල්ලකට කාලෝ අයංතේ..... 


******************************** 

රාජස්තාන්....රාජස්තාන් කියනකොටම මට මතක් වෙන්නෙ F ස්ටොප්ස් ඇට් රාජස්ථාන්......ඒ ඇවිල්ල ඡායාරූප ප්‍රදර්ශනයක්.... 

මට මතක විදිහට අනුව දශකයෙ අන්තිම අවුරුද්දෙ විතර තිබ්බෙ. කොළඹ කලා භවනෙ... 

මම ඔය හැමදාම කියන්නෙ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ අර්ධ රාජ්‍ය ව්‍යාපෘතියක සේවය කලාය කියල. අනූව දශකයෙ අග භාගෙදි අපෙ ආයතනයෙ ක්‍රියාත්මක උනා ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ වැඩ පිළිවෙලක්. විශ්‍රාම ගැනීමෙ කිව්වට විශ්‍රාම ගැන්වීමෙ කිව්වනම් තමයි හරියටම හරි. ඒ කියන්නෙ සේවයෙන් ඉල්ලා අස්වෙන අයට සේවය කරපු කාල සීමාව අනුව වන්දි මුදලක් ගෙවනව. 

සේවක අතිරික්තයක් තියනවයි කියල තමා ඔය වැඩේ ක්‍රියාත්මක කලේ. මටත් හිතුන මදැයි මේකෙ හිටිය මෙච්චර කාලයක්..බලමු අයිං වෙලා අතට ගානකුත් හම්බවෙන එකේ කියල... 

අපෙ පිරියම්බිකා තොමෝ මද්‍යස්තව හිටිය. එපා කිව්වෙත් නෑ. දැඩි කැමැත්තක් පෙන්නුවෙත් නෑ. ඔයයිගෙ කැමැත්තක් කිව්ව 

අන්න ඒ ඉල්ලා අස්වීම සම්බන්දව මොහොකට හරි මම ආව දවසක් කොළඹ.හයිඩ් පාක් එක ගාව තිබ්බෙ අපෙ ප්‍රධාන කාර්යාලෙ. එතනට ගිහිල්ල ඒ වැඩෙත් කරගෙන මහජන පුස්තකාලෙ තිබ්බ මොකක්දෝ පොත් ප්‍රදර්ශනයක් …ඒකටත් ඔලුව කාරිය ඩිංගක් විතර දාල, හතරයි දහයෙ සෙංකඩගල මැණිකෙට තව වෙලාව තියන නිසා මම කලා භවන ඉස්සරහ පාරෙ ඔහෙ ඇවිදගෙන ගියා. ඒ දවස්වල නම් ආනන්ද කුමාරස්වාමි මාවත . මේ ඊයෙ පෙරෙයිද ඒක නෙළුම් පොකුණ මාවත උනානෙ. මොකද කොරන්නෙ ඉතිං ඉතිහාසය කියන්නෙ මොකක්ද? ඒ ඉතිහාසය අපිට රැකල දුන්නු යුග පුරුෂයො කවුද කියල මෙලෝ හසරක් නොදන්න මිනිස්සු අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්න බලය තියෙන තැන් වලට පත් උනහම ඔහොම විලම්බීත සිද්ද නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන. 

කලා භවනෙ තිබ්බ ඉස්සරහ නෝටිස් බෝඩ් එකක්. “ එෆ් ස්ටොප්ස් ඇට් රාජස්ථාන්.. “ ඡායාරූප ප්‍රදර්ශනයක්. ඡායාරූප ශිල්පියා පද්ම කුමාර මෙත්තසේන.ඔව් අර සුප්‍රසිද්ධ පුද්ගලයා තමයි. කලා භවන ඇතුලට එක අඩියයි තිබ්බෙ. මම අමුතුම ලෝකෙකට ඇතුලුවුනා කියලයි මට හිතුනෙ. ආනන්ද කුමාරස්වාමි මාවතේ එහා මෙහා යන වාහන වල ශබ්දය නෑසුණාම නම් නෙවෙයි. ඒත් ඒ ශබ්දය මගෙ මොලේට වැටුනෙ නෑ. කාන්තාර වල දුඹුරු කහ පැහැය, තද නිල් රතු, කහ දුඹුරු පැහැයෙන් බබලන මාළිගාවන් සහ බල කොටු, ඒ වගේම දීප්තිමත් වර්ණ වලින් යුතු ඇඳුම් හැඳි යුවතියන්...මම එදා කලාභවනෙ ගත කල හෝරා අඩකට ආසන්න කාලය ගත කලේ වෙනම විචිත්‍රවත් ලෝකයක. 

අපෙ ජීවිතේ එක එක බලාපොරොත්තු ඇතිවෙනව නේද කාලෙන් කාලෙට?...සමහර එව්ව ඉස්ට උනහම අමතක වෙලා යනව. තවත් සමහර එව්ව මම හිතන්නෙ බහුතරයක් ඉස්ට නොවීම අමතක වෙලා යනව. ඒත් තවත් සමහර බලාපොරොත්තු මහ අමුතුයි. ඉස්ට වෙනකල් හිතේ කොහෙ හරි මුල්ලක රැඳිල තියනව. සමහරවිට අපි දන්නෙත් නෑ එහෙම එකක් තියනවය කියල. ඒත් තියෙනව. එදා කලා භවනෙදි ඒ සන්ධ්‍යාවෙදි මයෙ හිතට ආවෙත් ඒ වගෙ සදා කල් රැඳී තියෙන බලාපොරොත්තුවක්. වෙන මොකවත් නෙවෙයි.කවදාක හරි රාජස්තානෙට යන්ටම ඕනෙය කියන හිතුවිල්ල... 

අතීතාස්මරණ නොහොත් ගොමු තැලීම අංක එක මෙතෙකින් නිමියේය. 

******************************** 

ක්ෂනික ඡේදනය වර්තමානයට...කාලය - පසුගිය සෙනසුරාදා ස්ථානය - කාර්යාලයෙහි මගේ මේසය 

" අයියෙ….මගෙ යාලුවෙකුට ෆෙමිනා එවෝඩ් එකක් හම්බ වෙලා…" 

" අඩේ මරුනෙ..දැං ඔය කියන යාලුවා කොහේ කෙනෙක්ද? " 

" එයා ඇවිල්ල රාජස්තාන්වල……" 

" අඩේ ෆෙමිනා එවෝඩ්ස් හම්බවෙන්නෙ නිළියන්ට නෙව. මම දැනගෙන හිටියෙ නෑ බොලේ උඹ බොලිවුඩ් නිලියොත් ආස්සරේ කරනවයි කියල...හෙහ්, හෙහ්, " 

" නිළියන්ටත් දෙනව තමයි. ඒත් ඒකෙ තව කැටගරි එකක් තියනව ෆෙමීනා විමෙන් ඔෆ් අචීව්මන්ට් කියල, අන්න ඒ එවෝඩ් එකක් තමයි මගෙ යාලුවට හම්බ උනේ…" 

" දැන් මොකටද ඔය එවෝඩ් එක හම්බ උනේ?...හරි කියන්න ඕන නෑ මම දන්නව..උඹ වගෙ පිස්සු හටනක් ආස්සරේ කරනවයි කියන්නෙ බාං දෙන්න ඕනෙ නිකං එවෝඩ්ස් එහෙම නෙවෙයි දහසින් බැඳි පියලි...හෙහ්, හෙහ්, දහසින් බැඳි පියලි…" 

" මේ පිස්සු කියවන්නෙ නැතුව මේක අහගං...මගෙ යාලුවා වොලන්ටරි වැඩ කරනව රාජස්තාන් වල ළමා විවාහ වලට විරුද්ධව. අන්න ඒකටයි එයාට මේ පාර තෑග්ග හම්බ වෙලා තියෙන්නෙ. " 

******************************** 

ළමා විවාහ......ගොමු තැලීම...දෙවන භාගය 

" යං සුට්ටි පුතේ අර මයියොක්කා පඳුරක් ගලවල අල තියනවද බලන්ට. දවල්ට මයියොක්ක තම්බන්ට පුතා කනව නේද?..." 

" මම කනව. ඒත් පුළුං වගෙ තියනව නම් තමයි මම කැමතිම..ඇයි අත්තම්මෙ මයියොක්ක තම්බද්දි පියන වහන්නෙ නැත්තෙ? " 

මගෙ පුංචි උදලු කෙටියත් කර තියාගෙන උන්දැ පස්සේන් යන ගමං මම අහනව. 

" පියන වහල තැම්බුවම පුතේ හරියට තැම්බෙන්නෙ නෑනෙ ඒකනෙ. " 

" අත්තම්ම දන්නෙ කොහොමද? වහල තම්බල බැලුවද? " 

මයෙ අත්තම්ම..අම්මයෙ අම්ම..සුට්ටං එකා කාලෙ මයෙ ජීවිතේට ලොකුම බලපෑමක් කලේ උන්දැ....මම ඉපදිල සතියකින් විතර දුවයි මුණුබුරේයි බලන්ට තැම්බුං හොදිත් හදාන ආපු ගමන උන්දැ දිගටම අපෙ ගෙදර නැවතුනා. ආපහු ගියේ ඒ මුණුබුරාත් ඇතුලු හතර දෙනෙක්ගෙ කරපිටිං....හරි ඒ කතාව සහ උන්දැගෙයි මගෙයි තවත් දහසකුත් එකක් පයුරු පාසානං ගැන වෙනම ලියන්නම් වෙලාවක..දැනට මේ මාතෘකාවට අදාලව කතා කොරමුකො. හොඳද? 

හයේ නැත්නම් හතේ පංතියෙ මට මතක විදිහට., සමාජ අධ්‍යයනය කියල විෂයයක් තිබුන අපිට ඒ කාලෙ. ඕකට අපිට කිව්ව අපේ පරම්පරාව අම්මගෙ පැත්තෙනුයි අප්පච්චිගෙ පැත්තෙනුයි දෙපැත්තෙන්ම ඊට ඉහළ මට්ටම දක්වා පරම්පරා සටහනක් අඳින්නෙයි කියල. සමාජ සම්බන්ධතා වගෙ මොකක් හරි ගැන උගන්වන්නයි එහෙම කිව්වෙ. 

අප්පච්චිගෙනුත් විස්තර අහගෙන මම ඔය සටහන හැදුව. පංතියෙ ඒ පාඩම ඉවර උනා. ඊට පස්සෙ මට හිතුනා එක එක්කෙනා උපන් වර්ෂ එහෙම දාල ඔය සටහන ටිකක් වැඩි දියුණු කරන්න. අප්පච්චිත් එක්ක ආයෙම එකතුවෙලා ඒ වැඩේ කරද්දි මට ආව පොඩි ප්‍රශ්නයක්. අම්මලගෙ පවුලෙ වැඩිමලා අපෙ ලොකු මාම. ඒ සටහනේ හැටියට ලොකු මාම ඉපදෙනකොට අත්තම්මගෙ වයස දාහතයි. 

සෞඛ්‍යය සහ ස්වස්ථතාව විෂයයට ඒ වෙනකොට ප්‍රජනක පද්ධතිය, ගර්භණී කාලය ගැන එහෙම යමක් ඉගෙන ගෙන තිබ්බ නිසා මේ දත්ත ඇත්තම නම් අත්තම්ම විවාහ වෙන්ට ඇත්තෙ අවුරුදු දාසයෙවත් වෙන්ට ඕනය කියල මට හිතුන. 

" අම්මෙ..අත්තම්ම කසාද බැඳල තියෙන්නෙ අවුරුදු දාසයෙන්ද? " 

" ඔව්, ඒ දවස්වල එහෙම තමයි, ගොඩක් අඩු වයසෙන් ගෑනු ලමයි කසාද බඳිනව…" අම්ම මා එක්ක කිව්ව. 

ඒ වෙනකොට මට අවුරුදු දොළහක් ඇති ඕනනම්. ඊට අවුරුදු හතරක් වැඩිමල් වයසෙ ගෑණු ළමයෙක් කසාදයක් බඳිනව කියන එක මට හිතාගන්නවත් බැරිඋනා. ඒ නිසාම දවසක් මොර හූරන වරුසාව වෙලාවක අත්තම්ම මැටි කබලක වැලි උඩ දාල බැදපු රටකජු පොතු ඇරල එකිං එක කටේ දාල හපන ගමං මම උන්දැගෙං මෙහෙම ඇහුව. 

" ඈ අත්තම්මෙ ..කසාද බඳින්ට අත්තම්මට බයක් වගෙ හිතුනෙ නැද්ද? " 

" සුට්ටි පුතා මොනව අහනවද මන්ද? " 

අත්තම්මගෙ එක පාරට මයෙ මූණ දිහා බලල කිව්ව. ඒ හඬේ තිබ්බෙ නොරිස්සුම් ගතියක්මත් නම් නෙවෙයි..ඒ නිසා මම ආයෙම " කියන්නකො අත්තම්මෙ ඉතිං " කියල ඇහුවෙ රටකජු පොතු කාණුවෙ ගලාගෙන යන වතුර පාරට වීසි කරන අතරෙ. 

වැස්ස උළු වහලට වැටෙන සද්දෙයි අත්තම්ම රට කජු පොතු අරින සද්දෙයි විතරක් ඇහුනු විනාඩි කීපයක් ගෙවිල ගියා. ආයම ඒ ගැන කතා නොකරන්ට කියල මම හිතාගත්ත. 

" ලොකු අත්ත ඉස්සරලම අපේ ගෙදර ආපු වෙලාවෙ මම දුවල ගිහිල්ල වත්ත පහල තිබ්බ පිදුරු මඩුවෙ හැංගුණා. " 

මම ඔළුව හරෝල අත්තම්ම දිහා බැලුව. උන්දැගෙ මූණෙ තිබ්බෙ සොඳුරු මතක සැමරුම් අතරින් මතු උන සුන්දර හිනාවක්. 

ඊට පස්සෙ අත්තම්මගෙම කටින් විඩෙන් විඩේ පිටවෙච්චි මතක සැමරුම් ඒ වගේම අම්මා, මාමලා සහ පොඩි අම්මගෙන් කියවුනු සොඳුරු මතකයන් පෙලගස්වාගෙන ජී. ආර්. පුංචිමැණිකේ ගෙ කතාව මගෙ හිතේ මම ඇඳගත්ත. ඒක ලියන්න ඕනය කියල මම හිතාගෙන ඉන්නෙ වියුණුවක් ලියන්න පටන්ගත්ත මුල්ම කාලෙ ඉඳලම. 

පුංචිමැණිකේ ඇත්තටම වාසනාවන්තයි. ඇයට දීගයන්ට සිදුවූ පුරුෂයා ඇයට වඩා බොහෝසේ වැඩිමහලු උනත් ඉතාම නිවුණු තැන්පත් ගතිගුණ ඇත්තෙක්. රජයේ දුම් රිය සේවයේ Head Fireman ලෙස සේවය කල ඔහුට දාව ඇය දරුවන් දස දෙනෙකු ලබනවා.ජීවිතයේ සැඳෑසමය නිවී සැනසිල්ලේ ගෙවන ඇය මිය යන්නේ අනූ හතර වියැතිව. 

ඒ ගම්ලත් රාලලාගේ පුංචිමැණිකේ නොහොත් මගේ අත්තම්මාගේ කතාවයි. 

අතීතාස්මරණ නොහොත් ගොමු තැලීම අංක දෙක මෙතෙකින් නිමියේය. 

******************************** 

මගේ මිත්තණිය එසේ භාග්‍යවත් වූවද මෙසේ විවාහ බන්ධනයට බලහත්කාරයෙන් ඇතුලත් කෙරෙන බොහෝ ලාබාල දැරියන් මුහුණදෙනුයේ බොහෝ දුක්ඛදායක සහ රුදුරු ඉරණමකටය. නන්නාඳුනන බොහෝවිට තමන්ගේ පියාගේ සමවයස්ක වූ පුරුෂයින් හා විවාහ වීමට බල කරනු ලැබ දෙමව්පියන් නෑදෑ හිතවතුන් සහ යෙහෙළියන්ගෙන් එක් සැනෙකින් වෙන් කරනු ලබන්නාවූ ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයම ගෙවනුයේ බොහෝ සෙයින් හැඬූ කඳුලිනි. ළමා විවාහය යනු අසල්වැසි භාරත දේශයෙහි ඉතා සුලභය. භරතය යනු පරස්පර විරෝධයෙහි ජන්ම භූමිය යැයි කිව හැකි තරමට එරට ඕනෑම සංසිද්ධියක පරම අන්ත දෙක අතර දෝලනය වනුයේ ඇසිපිය ගසන වේගයෙනි. 

ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා යනු ඉන්දීය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඉන්දියාව විදේශිකයින් අතර ප්‍රචලිත කිරීමට යොදා ගන්න තේමා පාඨයයි. 

ඔවුන් ඒ යොදාගැන්මෙහිදී බලාපොරොත්තුවන අර්ථය මෙන්ම ඊට සපුරා විරුද්ධ අර්ථයක් උදෙසාද මේ තේමා පාඨය බොහෝ පහසුවෙන් යොදා ගත හැක. 

ලෝකයේ තොරතුරු තාක්ෂණයෙහි ඉහලම ස්ථානයක වැජඹෙන බෙංගලූරු නගරයෙන් බොහෝ ඈත නොවන ගම්මාන වල අද ද කිරිකැටි ගැහැණු දරුවන් උපන් විගස මරා දැමෙන්නේ ඔවුන් පවුලට දැරිය නොහැකි බරක් වගකීමක් ලෙස සැළකීමෙනි. 

න්‍යාෂ්ඨික බලාගාරවලින් විදුලිය නිපදවාගන්න ඉන්දියාවේ තවමත් වයස 13 හෝ 14 වන දැරියන් බලහත්කාරයෙන් ඔවුන්ගේ වයස මෙන් දෙගුණයකටත් වඩා අධික නාඳුනන පුරුෂයින්හට පාවා දීම සාමාන්‍ය සිද්ධියකි. 

******************************** 

නැවතත් ක්ෂනික ඡේදනය වර්තමානයට...කාලය - පසුගිය සෙනසුරාදා ස්ථානය - කාර්යාලයෙහි මගේ මේසය 

" දැන් මොකටද ඔය එවෝඩ් එක හම්බ උනේ?...හරි කියන්න ඕන නෑ මම දන්නව..උඹ වගෙ පිස්සු හටනක් ආස්සරේ කරනවයි කියන්නෙ බාං දෙන්න ඕනෙ නිකං එවෝඩ්ස් එහෙම නෙවෙයි දහසින් බැඳි පියලි...හෙහ්, හෙහ්, දහසින් බැඳි පියලි…" 

" මේ පිස්සු කියවන්නෙ නැතුව මේක අහගං...මගෙ යාලුවා වොලන්ටරි වැඩ කරනව රාජස්තාන් වල ළමා විවාහ වලට විරුද්ධව සහ පොදුවේ ගැහැණුන්ට වෙන අසාධාරණ වලට විරුද්ධව. අන්න ඒකටයි එයාට මේ පාර තෑග්ග හම්බ වෙලා තියෙන්නෙ. " 

ඇය නොනවත්වා කතා කලාය. මම වචනයකුදු නොදොඩා ඇයට සවන් දුන්නෙමි. 

" එයාගෙ කතාව අහපංකො පොඩ්ඩක්...එයාත් වයස දහ හතරෙදි විතර කවුද මනුස්සයෙකුට බලෙන්ම බන්දල දෙන්න හදල දෙමව්පියො. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම උනාම ගෑණු ළමය අකමැත්තෙං උනත් වැඩිහිටියංගෙ බහට නැමෙනව. ඒත් මෙයා කැමති වෙල නෑ ඒකට. බෑම කියල……" 


මම හිඳසිටිඅසුනේම පසුපස ඇන්දට හේත්තුවී දෑස පියාගතිමි.ඇගේ කටහඬ කෙමෙන් මැකී ගොස් අවසන අතුරුදන් විය. කාර්යාලය ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගයේ නිතොර ඇසෙන අනවරත වාහන ගමන් ගන්නා ශබ්දය ද කෙමෙන් හීනව ගොස් අවසන නෑසී ගියේය. 

ඒ වෙනුවට අඹ ගසක පත්‍ර මඳ සුළඟේ සෙලවෙන නාදය මගෙ සවන් පුරා පැතිර ගියේය.එසේය ඒ අඹ ගසකි. ග්‍රීෂ්ම සෘතුවේ අහසෙහි අනුකම්පා විරහිතව දිලෙන සැඩ හිරුරැසින් බොහෝ පත් හැලීගොස් ඉතිරිවූ පත්‍ර කිහිපය මඳ සුළඟේ සෙලවෙමින් තමනට හැකි පමණ සෙවණක් ලබා දුන්නෝය. 

එසේය. රාජස්ථානයෙහි ග්‍රීෂ්මය යනු ගත මෙන්ම සිත ද අනුකම්පා විරහිතව පෙලනු ලබන කාලයකි. 

ඒ අඹ සෙවණෙහි දැරියන් තිදෙනෙක් යම් ක්‍රීඩාවක නිරත වෙමින් සිටියෝය.තැනින් තැන නූල් පෑදී කඩමාලුවීගිය එහෙත් කලකට පෙර තද වර්ණයන්ගෙන හෙබි බවට දෙස් දෙන ඇස්වටය දක්වා දිගුවූ සායක් සහ වැලමිට දක්වා දිගු අත් ඇති හැට්ට වලින් සැරසුණු ඔවුහු දහහතර හෝ පහලොස් වන් වියෙහි පමණ පසුවන්නියෝ වූහ. 

" ඌෂා..........." 

ඒ අසල වූ ගෙපැලින් නික්මුනු තවමත් තරුණ විය නොඉක්මවූ ගැහැණියක් ඔවුන් වෙතට එමින් හඬගෑවාය. 

දැරියන් තිදෙන අතරින් හිණ දක්වා වැඩුනු කාල වර්ණ වරලසකින් යුතුවූ සිහින් දැරිය නැඟී සිටියාය. 

" අම්මා........." 

" මෙහෙට එන්ට..තාම සෙල්ලම..ඇවිල්ල ඔය මූණ ටිකක් හෝදගෙන මේ ඇඳුම දාගන්ට….." 

කෙසඟ ගැහැණිය පැවසූයේ රතු සහ කහ පැහැයෙන් සිත්තම් වූ සායක් සහ ඊටම ගැලපෙන හැට්ටයකින් සැදුනු අලුත්ම ඇඳුමක් ඇය වෙත පාමිනි. සතුටින් පිනාගිය දැරිය වහා මව වෙත දිවගියේ හඬ නඟා සිනාසෙමිනි. ඒ පසුගිය ඉරුදින චිත්තෝර් කඩ මණ්ඩියෙන් මෑණියන් මිලදීගෙන ආ ඇඳුමයි. 

" ඇයි අම්මා මේ ඇඳුමක් ගත්තෙ මේ හදිස්සියෙ?..." 

ඌෂාට අලුත් ඇඳුමක් ලැබෙනුයේ වසරකට වරක් එළඹෙන කුම්භ මංගල්‍යය දිනයේ පමනක් බැවින් ඇය එසේ විමසුවාය. මවගෙන් ඇයට කිසිදු පිලිතුරක් නොලැබුනද අලුත් ඇඳුම හේතුවෙන් උද්දාමයට පත්ව හුන් ඇය ඒ පිළිබඳව වැඩි දුර නොසිතුවාය. 

අලුත් ඇඳුම හැඳගත් දැරිය සිය මව සමඟ කුඩා නිවසේ ඉදිරිපස කොට බිත්තියෙන් ආවරණය වූ කොටසෙහි අසුන් ගෙන හුන් අමුත්තන් ඉදිරියට ගියාය. ඔවුන් ඇය දෙස බලමින් පහත් හඬින් කතාබහෙහි යෙදුනද අලුත් ඇඳුමෙහි තාන් සුවඳ පපුව පුරා පිරීයනසේ විඳිමින් හුන් ඌෂා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකලාය. 

දින කීපයක් ගෙවී ගියේය. සුපුරුදු ලෙස අඹ ගස සෙවනෙහි දැරියෝ කෙලි දෙලෙන් පසුවූවෝය. 

" ඌෂා මදැයි ඔය සෙල්ලම.....මෙහාට ඇවිල්ල මට ටිකක් උදව් වුනා නම් නරකයිද?...තව මාස තුනකිං දීහ යන්ට ඉන්න ගෑණියක් නේද?..." 

එකවරම ගෙමිදුලට බට කෙසඟ ගැහැණිය හඬගෑවාය. 

ඌෂාගේ ලෝකය කඩා වැටුනේ අසුරු සැනෙනි. ඇය හිඳ හුන් තැනින් නැඟිට්ටේද නිවස වෙත පා තැබුවේද සිහිනෙන් ඇවිදින්නියක මෙනි. 

" මොකක්ද අම්මා කිව්වෙ?...මම දීග යනවා?...ඒ මොකටද? කා එක්කද? …" 

සිහි එලවා ගත් සැනින් ඇය ලිප අසල බිම ඇණ තබාගෙන ගින්නෙහි කැකෑරෙන කුමන හෝ හොද්දක් හැඳි ගාමින් සිටි අම්මා අසල බිම හිඳගෙන අසූයේ හීන් හඬිනි. 

" ගෑණු ළමයි උනාම දීග යන්නෙ නැද්ද?..දැං වයසත් හරිනෙ..අර එදා ආවෙ...උස හීන්දෑරි මනුස්සය..එයා තමයි....හමුදාවෙ වැඩ කරන්නෙ...හොඳට සල්ලි හම්බ කරනවා...ඔයාට දුකක් නැතුව ඉන්න පුලුවන්…" 

ගැහැණිය පැවසූයේ හොද්ද හැඳිගෑම මොහොතකට හෝ නොනවත්වමිනි. 

ඌෂා දෑස් පියා ගත්තාය. යාබද නිවසකින් අතමාරුවට රැගෙන ආ කලු පැහැ වේවැල් කැඩුණු පුටුවෙහි හිඳගෙන හුන් කට දෙපසින් පහතට නැවීගිය ඝන උඩු රැවුලකින් හෙබි කෙසඟ පුරුෂයා ඇය වෑයමෙන් සිතට නඟා ගත්තීය. ඔහු බොහෝ විට තමාදෙසම දැඩි උනන්දුවෙන් බලා සිටි බව ඒ සමඟම ඇයට සිහිවිය. 

දෑස් පියාගත් වනම ලිපෙහි ගිනිදලුවල උනුසුම විඳිමින් තවත් නිමේශයක් ගත කල ඌෂා තීරණයකට එලඹියාය. 

එක් තැනැත්තකු හෝ තැනැත්තියක එක් මොහොතකදී ගන්නා එකම තිරණයක් නිසා දහස් සංඛ්‍යාත මිනිසුන් ගැහැණුන්ගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක බව/ වෙනස් වූ බව මම අමුතුවෙන් කිවයුතු නොවේ. ඌෂා එදින ඒ මොහොතේ ගත් තීරණය නිසා ද දහස් සංඛ්‍යත නොවූවද සැලකියයුතු මිනිසුන් කෙසේ වුවද ගැහැණුන් සංඛ්‍යාවකගේ ඉරණම වෙනස් වූ බව මෙහිලා සටහන් කර තබනුයේ තම ඉරණම පරාජිත මානසිකත්වයෙන් භාරගැන්ම ප්‍රතික්ෂේප කොට ඊට විරුද්ධව නිර්භයව සටන් වැදුනු ඔවුන්ට මෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය පන්නරය නොමසුරුව ලබාදුන් ඌෂාට ද උපහාර පිණිසය. 

" නෑ මම බඳින්නෙ නෑ….." 

එක්වරම ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටිඇය සෙමෙන් එහෙත් ස්ථිරසාර හඬින් පැවසුවාය. 

නැවත මම මගේ සුපුරුදු අසුනට පිවිසියෙමි. මගේ යෙහෙලියගේ හඬ යලිත් කෙමෙන් මා සවන් පුරවා ලන්නට විය. 

" අඬල කෑ ගහල. .....පණ නහගන්නවයි කියල. අන්තිමට ගෙදරින් යන්නත් ගිහිල්ල වෙන කවුද නෑදෑ කෙනෙකුගෙ ගෙදරක නවතින්න. අන්තිමට අර මනමාලයගෙ කට්ටියට බලා ඉඳලම එපා වෙල ඒ අය වෙන අතක් බලාගෙන. මගෙ යාලුව තමන්ගෙ උත්සාහයෙන්ම ඉගෙන ගෙන එම්. ඒ. එකකුත් කරල. එයා ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන ඒ වගෙ බලෙන් බන්දල දෙන්ට යන ගෑණු ලමයින්ට එතකොට ඔය දෑවැදි ප්‍රශ්න නිසා මනුස්සයගෙ පවුලෙ උදවිය අතින් අතවරයට පත් වෙච්ච කාන්තාවන්ට පිහිට වෙන්ට.එයා දැන් සම්පූර්ණ කාලයම යොදවන්නෙ ඒ වෙනුවෙන්. එන්න ඒකට තමයි මේ පාර ෆෙමීනා එවෝඩ් එක එයාට ලැබුණෙ. " 

කවුරුන් හෝ විද්වතෙක් පැවසූවක් මෙහිදී මගේ මතකයට පැමිණේ. 

" The true measure of a civilization is not how tall the buildings are nor how wide the highways are, its how they treat their women and children " 

ළමා විවාහයන් යනු කාන්තාවන් සහ ලමුන් යන දෙපිරිසම එක්වර අපයෝජනය කිරීමකි. 

ළමා විවාහයන් අනුමත කරන සමාජයක් ශිෂ්ඨාචාරයක් ඇගයීමට ලක් කරනා නිර්නායක දෙකින්ම එක්වරම අසමත් වේ. 

******************************** 

විශේෂ ස්තූතිය - එක් සුවිශේෂී අධිෂ්ඨානයකින් සහ අප්‍රතිහත ධෛර්යයකින් හෙබියා වූ ද දෛවයෙන් නියම කෙරුනු ඉරණමට එරෙහිව සටන් වැද ජයග්‍රහණය කිරීමෙන් තෘප්තිමත් නොව ඒ සමාන ඉරණමකට මුහුන දෙන තම සොහොයුරියන් රැසකගේ ජීවිත වලට සෙනෙහෙබර ආලෝකයක් ගෙන දෙන්නා වූද අයෝමය යුවතියක පිළිබඳ සොඳුරු සැමරුම් අප හා බෙදා ගැන්ම වෙනුවෙන් මා හිතවත් යෙහෙළිය ...යලිත් වරක් ඔබට

33 comments:

  1. මඤ්ඤොක්කා නම් පියන් ඇරලා තම්බන්නෙ ස්වභාවයෙන් ම අඩංගු විෂ පිටවෙන්න වැඩිපුර වතුර දාලා තම්බන්න ඕනෑ නිසා වතුර නටද්දී උතුරලා ගිහින් ලිප නිවෙන්නෙ නැති වෙන්නයි.

    මෙදා පාර "ගොමු තැලීම" හොඳට ගැලපෙනවා රවී ... ගිහින් ආවා කියල දැනුනෙ වත් නැහැ!!!!!!

    ReplyDelete
    Replies
    1. / මඤ්ඤොක්කා නම් පියන් ඇරලා තම්බන්නෙ ස්වභාවයෙන් ම අඩංගු විෂ පිටවෙන්න වැඩිපුර වතුර දාලා තම්බන්න ඕනෑ නිසා වතුර නටද්දී උතුරලා ගිහින් ලිප නිවෙන්නෙ නැති වෙන්නයි. /

      ඔව් අරුණි, මඤ්ඤොක්කා පොත්තෙ තියනව සයනයිඩ් බොහොම අල්ප වශයෙන්. ඒ විස වාෂ්ප වෙලා යන්නයි පියන ඇරල තම්බන්නෙ.ඔය වගෙ ගොඩක් දේවල් තියනව අපේ සාම්ප්‍රදායික පුරුදු ඒත් කවුරුවත් හරියට හේතුවක් දන්නෙ නෑ. එහෙම තමයි හොඳ නෑ කියලයි ඇහුවොත් කියන්නෙ. ඒත් ඒවයෙ තියනව විද්‍යාත්මක පදනමක්. අපෙ අත්තම්ම කවදාවත් රෑට කතුරුමුරුංගා කොළ මැල්ලුම් හදන්නෙ නෑ. පස්සෙ කාලෙක මම කොහෙ හරි කියෙව්ව කතුරු මුරුංගවල තියනව කියල සර්ප විෂ එක්ක ප්‍රතික්‍රියාකරන ස්වභාවයක් කියල.ඒ කාලෙ රෑ පානෙ සර්පයෙක් දෂ්ඨ කරන්ට තියෙන සම්භාවිතාව වැඩියි. ඒ නිසා එහෙම ඉන්ජන්ක්ෂන් එකක් පනවන්න ඇති.මඤ්ඤොක්ක කාල ඉඟුරු දාපු තේ බොන්නෙ නැති එකත් ඒ වගේම එකක්.

      මඤ්ඤොක්කා, කොම්පඤ්ඤ වීදිය ගැන එහෙම තියනව බොහොම අපූරු කතා.... :) :)

      / මෙදා පාර "ගොමු තැලීම" හොඳට ගැලපෙනවා රවී ... ගිහින් ආවා කියල දැනුනෙ වත් නැහැ!!!!!! /

      ස්තූතියි අරුණි, ටිකක් විතර තැලිල්ල දුර දිග ගිය වැඩිදෝහෝයි සැකේකුත් නම් ආව මට. හෙහ්, හෙහ්...

      Delete
    2. මඤ්ඤොක්ක කාලා බඩේ ආමාරුවක් හැදුනොත් එහෙම දෙහි ටිකක් බොනවා ඇරෙන්න ඉඟුරැ හොඳ නෑ කියලා දැනගත්තේ මෙදා පාර නුවර ගියාම අපේ නැන්දම්මගේ අක්කගෙන්... අපි පිටත් වෙනකොට දෙහි එකක් හදලා බෝතලේකට දාලම දුන්නා... හි හි....

      ඉස්සර හරි තරහයි අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා හේතුවක් කියන්නේ නැතුව නීති දානවට, අම්මත් එක්ක.... මෙහෙම හේතුවක් පැහැදිලි කරලා කිව්වනං කොච්චර රණ්ඩු අඩුවෙනවද කියලා මං මේ දැං කල්පනා කරන්නේ....

      Delete
    3. හිරු,

      / නුවර ගියාම අපේ නැන්දම්මගේ අක්කගෙන්… /

      අඩේ මේ..එව්ව තියාගන්න එපා හයිද?....උඹට කොහෙද ඩෝ නුවර නැන්දම්මල?

      / මෙහෙම හේතුවක් පැහැදිලි කරලා කිව්වනං කොච්චර රණ්ඩු අඩුවෙනවද කියලා මං මේ දැං කල්පනා කරන්නේ.... /

      නෑ හිරු එතන වැඩේ මේකයි මම හිතන්නෙ...එයාල උනත් හරියට හේතුවක් දන්නෙ නෑ කියන්ට.." එහෙම තමයි ....හොඳ නෑ කියන්නෙ හොඳ නැති නිසා" ඔය විදිහට කියන්නෙ ඒ නිසා..ඉස්සරම කලෙ සමහරවිට මට හිතෙන්නෙ මෙහෙම වෙන්ට ඇති. මඤ්ඤොක්ක කාල බඩේ අමාරුව හැදිල ඉඟුරු දුන්න අයට තවත් අමාරු වෙන්ට ඇති. නැත්තං මැරෙන්ටම ඇති. ඒ නිසා එහෙම තහනමක් පනවා ගත්තට කවුරුත් එහෙම වෙන්නෙ ඇයි කියන්ට දැනගෙන ඉන්ට නැතුව ඇති.

      Delete
  2. මොනව කියන්නද රවි,එක හුස්මට කියවල ඇස් පියාන කතාව තලු මැරුව.රසම රසයි හැමදාම වගේ,ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප...:)

      එක හුස්මට කියෙව්ව නම් රසයක් ලැබුවනම් එච්චරයි...මටත් සතුටුයි :)

      Delete
  3. මඤ්ඤොක්කා පියන ඇරලා තම්බන්නේ විස නැති වෙන්න කියලා අපේ ආච්චි කියන්නේ...

    මං මේ කල්පනා කරලා බැලුවේ මගේ ආච්චිලා දෙන්නා ගැන... දෙන්නම 16න් තමයි බැඳලා තියෙන්නේ.. එක්කෙනෙක් අවුරුදු 28 වෙද්දි දරුවෝ 6 දෙනෙක් එක්ක තනිවෙලා, උන්ට කන්න බොන්න දෙන්න, පිටරටවල උන්ට කඹුරලා, ලංකාවට එනකොට ළමයි ඔක්කොම බැඳලත් එක්ක.. දරුවන්ව ළඟින් තියාගන්න තියෙන ආසාවයි, තමන්ගේ ඉරණම ගැන තිබ්බ සාංකාවයි හින්දම ජීවිතේ අන්තිම කාලේ එයා මානසික ලෙඩෙක් වෙලා තමයි නැති උනේ.... ඒ අවුරුදු 64 දි..

    අනිත් ආච්චි අම්මා, මං කොල්ලෙක් එක්ක යාලු වෙලා කියලා අහපු ගමන් කිව්වේ ” උඹලට පිස්සුද මෙච්චර කලින් ඕවා හිතන්න.. අපි වගේම දුක් විඳින්නද ඕනේ වෙලා තියෙන්නේ..” කියලා.... එයත් දරුවෝ 6 දෙනෙක් එක්ක අවුරුදු 34දි තනි වෙලා, ජීවිත කාලෙන් බාගෙකට වැඩිය ලිප ළඟට වෙලා කඩයප්පන් තම්බලා ළමයි ටික ලොකු මහත් කරගත්තේ... අපි විභාගයක් පාස් උනාම, ආච්චි හැමදාම කියන්නේ “ ඒ කාලේ ගෑණු ළමයින්ට උගන්නන එක නාස්තියක් කියලා හිතුව නිසා මාව ලොකු ඉස්කෝලෙට දාන්න කියලා ලොකු මහත්තයා කිව්වත් අපේ තාත්තා මාව ඇරියේ නෑ.. නැත්තම් මාත් අද රස්සාවක් කරලා, කීයක් හරි හම්බකරගෙන, කාටවත් වදයක් නොවී ඉන්නවා ...” කියලා.... එයා අපිට වදයක් වෙන්නේ කෑ ගහන්න එපා කියලා බනිනකොට විතරයි.. නැත්තම් අපේ ආච්චි හරි ජොලි....

    ReplyDelete
    Replies
    1. උඹ වගෙ මිණිබිරියෙක් හිටියම ආච්චිට පිස්සු හැදුනෙ නැත්තං තමයි බං ඒක ගැන විසේසෙං ලියන්ට ඕන...හෙහ්, හෙහ්,

      ආච්චිට පිස්සු හැදුනයි කියල වෙනම ලියන්ට ඕන නෑ බොල. ඉර පෑව්ව, සුලඟ හැමුව. රෑ බෝ උනා කියල අපි විසේසෙං ලියන්ට ඕන නෑනෙ. එව්ව කොහොමත් වෙනව...

      Delete
    2. මං වගේ මිණිබිරියෝ ලබන්න වාසනාව තියෙන්න ඕනේ හරිද.... හුප්... එනවා මෙතන.....


      හි හි.....

      ආච්චිට පිස්සු හැදුනේ නෑ.. අපිට වෙනසක් තේරුනා ඉතිං... ඒත් එත‌ෙකාටත් ආච්චි හොඳටම ලෙඩින්... අනිත් එක්කෙනානං ඔය ඉන්නේ අගේට අපේ නගා එක්ක රණ්ඩු අල්ල අල්ල... මාත් බැනුම් අහනවා අවුරුදද්කට සැරයක්වත් එයා බලන්න යන්නේ නෑ කියලා මාසෙකට සැරයක් ගිහින් බලලා ආවත්... හි හි

      Delete
  4. අවුරුදු 16 තව කමක් නෑ ඉන්දියාවේ අවු. 6 7 පොඩි එවුනුත් බන්දවනවනේ. තව අඳුරන පවුල්වල පොඩි ළමයි දෙන්නම පොඩි කාලෙදි බන්දවලා තියන සිද්ධි එහෙමත් තියනවා නේද. වෝටර් ෆිල්ම් එක මතක් උනා.

    ReplyDelete
    Replies
    1. සයුරි... අවුරුදු 6, 7 පොඩි එවුන් බැන්දුවට ඊට පස්සෙ එවුං එක වහලක් යට දීග කන්ට යන්නෙ අවුරුදු 14, 15 වගෙ උනාම. එතකල් තමංගෙ ගෙවල් වලමයි ඉන්නෙ.හැබැයි පූරුවෙ පවකට හරි අර පොඩි එකා මලොත් එහෙම පොඩි එකී කෙලින්ම දේවදාසියක් වෙනව. එහෙම තමයි එහෙ සම්ප්‍රදාය :(

      වෝටර් කතාව ඒක තමයි..:(

      Delete
    2. හ්ම්ම්ම්...වෝටර් කතාවේ නම් පොඩි කෙල්ලව බන්දන්නේ නාකියෙක්ට. ඒ මිනිහා මැරුණම වැන්දඹු අය ඉන්න වෙනම තැනකට යවනවනේ. ඒ එතකොට දේවදාසියන්ද?

      Delete
    3. ඔව් සයුරි, ඒ කාලෙ ගැහැණියක් වැන්දඹු වෙන එක මහා පාපයක් කියලයි සැලකුනේ.වැන්දඹුවන් ඇහැට දකින්නවත් අසුභ දර්ශනයක් කියලයි බමුණන්ගෙ ඉගැන්වීම. සති පූජා පැවැත්වුනෙත් ඒ පාපය සමනය කරගන්ට. සමහරවිට බලෙන්ම ස්වාමියාගෙ දර සෑයට දාන්ට ඕන නැති වෙන්ටත් ඇති. තමන්ට ඉදිරියේ ගෙවන්ට නියමිත සමාජයෙන් කොන් වුනු දුක්ඛිත ජීවිතය ගැන හොඳාකාරවම දන්න නිසා වැන්දඹු කාන්තාවො සමහරවිට කැමැත්තෙන්ම දිවිනසා ගන්ටත් ඇති.වැන්දඹු කාන්තාවන්ගෙ ඉරණම උනේ ආශ්‍රම් කියල හඳුන්වන දෙවොලක් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මඩමක් වගෙ තැනක ජීවත් වෙමින් දේව ස්තෝත්‍ර ගායනා කරමින් මියයන තුරු පව් ගෙවා ගැනීමට උත්සාහ කිරීම. බොහෝවිට ඔවුන්ගේ එදිනෙදා වියදම් උදෙසා දේව දාසීන් ගණිකා වෘත්තියේ යෙදවුනාය කියලත් කියවෙනවා.වෝටර් චිත්‍රපටයේ චුයියාට ( කුඩා දැරිය, සරලා කාරියවසම් රඟපෑ චරිතය ) අත් වෙන්නෙත් ඒ ඉරණම.

      Delete
  5. අද නම් තලලා තියෙන්නේ පඳුරක් නෙමේ . රූස්ස ගස් මණ්ඩියක් . පත ගස් බිම නෙමේ වැටෙන්නේ , කියෝන උන්ගේ හදවත් උඩට .
    හ්ම්ම් ...මන් දැන් කමෙන්ට් කරන්න පටන් ගන්නේ ආතා හේනේ වැඩ කරද්දී ආච්චි තම්බල කොච්චි මිරිස් සම්බෝලෙයි තේ කහට ජෝගුවයි එක්ක අරන් ආව මඤ්ඤොක්කා අඩුක්කුව ගැනද ,...

    මහජන පුස්තකාලේ පොත් ප්‍රදර්ශන ගැනද ....

    කළා භවන ගැනද ..

    ඔය සේරම මතක එක පාරටම අවුස්සලා දාන්න ඔහෙට ඇති අයිතිය මොකක්ද හැබෑට .

    ඒ රසබර මතක උඩට රජස්ථානයෙන් දුවිලි කුණාටුවක් ඇවිත් .. ළමා විවාහ ..මට උහුලන්නම බැරි අපරාධයක් . ඊටත් වඩා උහුලන්න අමාරු කොම්පිතරේ දිහා බලන් දත් මිටි කනවා ඇරෙන්න මගෙන් වෙන උදව්වක් නැති එක ඒ ළමයින්ට . සික් .

    ReplyDelete
    Replies
    1. / හ්ම්ම් ...මන් දැන් කමෙන්ට් කරන්න පටන් ගන්නේ ආතා හේනේ වැඩ කරද්දී ආච්චි තම්බල කොච්චි මිරිස් සම්බෝලෙයි තේ කහට ජෝගුවයි එක්ක අරන් ආව මඤ්ඤොක්කා අඩුක්කුව ගැනද ,… /

      හෙහ්, ඒ සීන් එකත් නරකම නෑ. ඒත් අපෙ ලොකු අත්ත හේං කෙටුවෙ නෑ. උන්දැ වැඩකලේ සුද්දගෙ කෝච්චියෙ..CGR එකේ. ඒ නිසාම අත්තම්මගෙ ජීවිතේට කෝච්චි හුඟක්ම සමීපයි. ඒ දවස්වල තිබිල තියෙන්නෙ අඟුරු කෝච්චි.." අඟුරු කකා වතුර බිබී කොලඹ දුවන යකඩ යකා."

      අත්තම්මගෙ ඔක්කෙ ඉඳගෙන කෝච්චි ගැන කතන්දර අහල අදත් මගෙ හිතේ කෝච්චි ගැන තියෙන්නෙ පුදුම ආසාවක්..මම ඔය පැණිදෙනියෙ ඉඩම ගන්ට ඉස්සරවෙලා අපෙ ලොක්කිත් එක්ක ගිහිල්ල ඔන්න ඉඩමෙ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නව. දාර කන්ද...දනිස්ස නිකටෙ වදින සයිස්. ගම්දෝ නොගම්දෝ කියල හිත හිත ඉන්නකොට අම්මට සිරි, මෙන්න හූ තියාගෙන ගියපි උඩරට මැණිකෙ. ඉඩමෙ මුදුනට පේනව කෝච්චිය යනව මේ අත දික්කලා වගෙ. උඩරට මැණිකෙ ඈත වංගුවෙන් හැරිල නොපෙනී ගියා යන්ට. " මේ ඉඩම ගමු අනේ. " මම අපෙ ලොක්කි දිහාට හැරිල කිව්ව.

      අපෙ අම්මලගෙ මහ ගෙවල් ගාව තිබිල තියනව ඒ දවස්වල හෙණ කන්දක් කපල ඒක මැදිං කෝච්චිය යන තැනක්.මහ දෙබුක්ක වගෙ නමක් ඒ කාලෙ කියල තියෙන්නෙ. වරුසාවට නාය යන හින්ද පස්සෙ කාලෙක ඒ රේල්පාර දෙපැත්තෙ කන්ද කපල අයිං කරල දාල...ඉතිං ලොකු අත්ත නාවලපිටි එහෙම යනකොට උදේ අත්තම්මට කියල යනවලු. ඒ කරල කඩුගන්නාව ස්ටේෂන් එකෙන් පිටත් වෙනකොට ගහනවලු කෝච්චියෙ හෝං එක ලවක් දෙවක් නැතුව. අපෙ අත්තම්ම බත් එකක් කොලපොතක බැඳල ගෝණි මහන ඉදි කට්ටට තංගුස් නූල් පොටක් දාල කට මහල දිහ ලීයක කෙලවර අර බත් ගෙඩිය එල්ලල අර මම කිව්ව මහ දෙබුක්කාව උඩට නැඟල ඉන්නවලු අර ලීය දික්කරගෙන කෝච්චි පාරට මාළු අල්ලන්ට බිලී පිත්තක් වතුරට දාගෙන ඉන්නැහෙ. ලොකු අත්ත කෝච්චියෙ ඇන්ජිමේ යන ගමන්ම අත දාල අර බත් ගෙඩිය අරගෙන යනවලු. ඒ එක්කම ඔය ටවුමෙං ගත්තු මොනවහරි අඩුම කුඩුම තියේනං හොඳට ගෝනි පඩංගුවක ඔතල අත්තම්ම ගාවට වීසි කරල යනවලු. හෙහ්, හෙහ්, කොහොමද වැඩේ...ෆුල් ආතල් නේද?

      / ඒ රසබර මතක උඩට රජස්ථානයෙන් දුවිලි කුණාටුවක් ඇවිත් .. ළමා විවාහ ..මට උහුලන්නම බැරි අපරාධයක් . ඊටත් වඩා උහුලන්න අමාරු කොම්පිතරේ දිහා බලන් දත් මිටි කනවා ඇරෙන්න මගෙන් වෙන උදව්වක් නැති එක ඒ ළමයින්ට . සික් . /

      කියල වැඩක් නෑ බං..කපුගේ කියනව වගෙ " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා " :( :(

      Delete
    2. මේ කතාව ඇත්ත කතාවක් ද... හිනාවෙලා පණ නෑ මට... හි හි... උදේට අපි එනකම් කෝච්චිය නවත්තං හිටපු එකට හපන් වැඩක් මේක.... හයියෝ.... හි හි

      Delete
    3. @ හිරු,

      දෙයියම්ප ඇත්ත බොල..දෙයියම්ප ඇත්ත, ප්‍රශ්න විසඳගන්ට මිනිස්සු නිර්මාණය කරගන්න උපක්‍රම තමයි ඔය. නැත්තං උදේ ලොකු අත්ත වැඩට යනකොටම බත් එක ඔතල දෙන්ට වෙනව. එතකොට දවල් වෙල කනකොට හීතල වෙල. මොකෝ ඒ කාලෙ මයික්‍රෝ වේව් තිබ්බ කියලය. කෝච්චියෙ දුම් බටේ උඩ තියල තමයි බත් එක රත් කර ගන්ට වෙන්නෙ...හෙහ්, හෙහ්,

      ඔය කතාව මා එක්ක කියල අත්තම්මට වෙච්චි ජංජාලෙ අහපංකො ඉතිං..මට ඕන උනා ඒ විදිහට , ඒ කිව්වෙ අපේ ලොකු අත්ත කාපු විදිහට බත් කන්ට...පස්සෙ අත්තම්මට සිද්ද උනා කොලපතක් සුද්ද කරල ඒ විදිහට බත් බැඳල මහල ලීයක ගැට ගහල අල්ලගෙන ඉන්ට. ඒ දවස්වල තිබ්බ මගෙ නිල් පාට පොඩි බයිසිකල් එකක්. මම ඕකෙ හූ කියාගෙන එනව කෝච්චිය එන්නැහෙ. ඒ කරල බත් එක අරගෙන ගිහිල්ල අත්තම්ම ලිහල දුන්නම කනව.

      " අම්මටත් හොඳ වැඩේ. නිකං ඉන්ට බැරුවට කතන්දර කියල දීල…" අම්ම හිනා වෙනව..

      Delete
    4. හිරුවෝ ...තාර බර කියල එකක් තියෙනව අහල තියේද

      Delete
    5. @ බින්දි,

      ඔය ළමය දන්නවය ඔය තාර බර ඇරල ගන්න ඕන කියන කතාව හැදුන හැටි?

      අපි සුට්ටි කාලෙ ලොරිවල බොඩියෙ පිටිපස්සෙ යට කෙලවර පොඩිවට ලියල තිබ්බ මෙහෙම සුදු පාට අකුරු වලින්

      Tare weight - xxxx lbs.
      Max. gross weight - xxxx lbs.

      ඔතන Tare weight කියල කිව්වෙ බඩු මොකවත් නැතුව ලොරියෙ විතරක් බර. ඒක සිංහලට හදා ගත්තෙ තාර බර කියලයි. වරායෙන් හාල් පිටි සීනි එහෙම පටවන් එද්දි බදු අය කරගන්ට එහෙම එව්වයෙ බර හොයාගන්නෙ ඇතුලට යද්දි ලොරියෙ බර කිරනව ඒක තමයි තාර බර..ආපහු බඩු පටවන් එද්දි ආයෙම බර කිරනව ඒ ඇවිල්ල දළ බර (Tusk weight එහෙම නෙවෙයි හොඳද? හි, හි.....මටත් හිතුන අර හිරුවා වගෙ හිනාවෙලා බලන්ට... මොකද ඒකෙ අමුතු ආතල් එකක් තියද දන්නෙත් නෑ නෙව ...හෙහ්, හෙහ් ) .... ඒ දෙකේ වෙනස තමයි බඩුවල බර.

      ඔය වගෙ ඉංගිරිස් වචන දන්න හිංගලට පෙරලගෙන අමුතුම වචන හදාගන්ට හරිම සූරයො අපෙ අත්තල මුත්තල...

      කෝටු මස් කරනව කියල එකක් අහල තියනවද?...මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ ඇඟේ මස් ගැලවිල කෝටුවට එනකල් කෝටුවකින් ගහන එකට කියල එහෙම කියන්නෙ..නෑ..ඒ ඇවිල්ල Court Martial ... යුද්ධාධිකරණය වෙතට පැමිණවීම හෝ යුද්ධාධිකරණයකින් දඬුවම් දීම....ඒකට අපෙ කට්ටිය හදා ගත්තු නම. එහෙම බලනකොට ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයව කෝටු මස් කරලයි තියෙන්නෙ මේ ආණ්ඩුව ..:(

      ඔය වගෙ වචන තව තියනව බර ගානක්. ඉන්නකො ලියන්නං ඒ ගැන වෙනම සටහනක්. ස්තූතියි බින්දි ඒ ගැන මතකය අවදි කලාට.

      Delete
  6. කතාවෙ ජවනිකා සංක්‍රමණයන් නම් උඹ හරි සුමට විදිහට කරලා තියෙනවා, හරියට තිර පිටපතක් කියෙව්වා වාගෙයි.
    අපේ ලොකු අම්මා කෙනෙක් ඉන්නවා එයා විවාහ වෙලා තියෙන්නේ අවුරුදු දාහතරෙන්. ගොවිජනපදයක විවාහ වූ තරුණ බිරියකට කරන්නට තිබෙන අපමණ වූ රාජකාරීන් ගැන ඈ අදත් දුක්වෙන්වා. තමන්ව ළමා කාලයේදීම විවාහ කර දුන් දෙමාපියන්ට දෝෂාරෝපණය කරනවා. මේ අපි දන්න කතා කිහිපයක් විතරයි. මේ වගේ නොදන්න කතා කොපමණ නම් ඇතිද?

    ReplyDelete
    Replies
    1. හපොයි මම දන්නව රතු...මම මගෙ ජීවිතෙං අවුරුදු පහළවක්ම රැකියාව කලේ ගොවි ජනපද ආශ්‍රිතව තමයි. ඒත් රාජකාරියෙ විදිහට අපිට ඒ තරම් ජානපදිකයින්ගෙ සමාජීය අවශ්‍යතා ජීවිත ගැටළු ගැන මැදිහත් වෙන්න ඒ ගැන හොයාබලන්න වෙලාවක් වත් අවශ්‍යතාවයක්වත් තිබුනෙ නෑ.

      ඔවුන් මුහුණ දෙන ගැටළු ගැන මට පුළුල් අවබෝධයක් ලැබුනෙ එක පාරක් විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් ආවා ගොවි ජනපදවල වැසියන් මුහුණදෙන ගැටළු ගැන විමර්ශනයක් කරන්න. එයාල එක්ක පරිවර්තකය හැටියට යන්ට උනේ මට. අන්න ඒ මාසෙක විතර කාලෙදි මට ලැබුණා අර අවුරුදු ගානටම නොලැබුනු විදිහෙ අත්දැකීම්...

      Delete
  7. අපේ ආච්චිලා ගේ කාලවල ගැහැණු ළමයෙක්ට වැඩිවිය පැමිණීමෙන් පස්සේ විවාහ වෙනවා මිසක් කරන්න දෙයක් නැතුව ඇති . ඉගෙන ගන්න ඉඩක් ලැබුනෙත් නැහැනේ . උන්දලාගේ වාසනාවට හොඳ මනුස්සයෙක් ලැබිල මුණුපුරන්ගේ ළමයිනුත් දැකලා මිය පරලොව ගියා . ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීම නිසා උන්දලා පසුතැවීමක් වෙන්න නැතුව ඇති .

    හැබැයි අද වෙනස් . ඒවා එහම වෙන්න ඕන නැහැ . අපේ රටේ නම් ළමා විවාහ වෙන්නේ නැති තරම් . අපි දන්නා සමාජයේ . හැබැයි ඉතින් ඒ අඩුපාඩුව මකන්න ළමා අපචාර සිද්ද වෙන නිසා සන්තෝෂ වෙන්න අමාරුයි .

    ReplyDelete
    Replies
    1. / ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීම නිසා උන්දලා පසුතැවීමක් වෙන්න නැතුව ඇති . /

      යස් බින්දි ඔබ හරි..ඒ වගෙ අඩු වයසෙං දීග යන එක එයාලට අවුලක් නෙවෙයි. ඒ ගැන මහ ලොකුවට හිතන්නෙත් නෑ ඒ කාලෙ. හොඳ මනුස්සයෙක් හම්බ උනොත් ඒ තමන්ගෙ වාසනාව කියල හිතනව, ආලවකය වගෙ එකෙක් හම්බ උනොත් ඒ තමංගෙ පූරුවෙ කරුමෙය, මයෙ කරුමෙ මමම ගෙවන්ට එපාය කියල හිත හදා ගන්නව එච්චරයි. ඊට එහා ඒ ගැන ආයෙ හූල්ලන්නෙ නෑ.

      ඒත් දැං තත්වෙ වෙනස්. විකල්ප ඕන තරම් තියන නිසා ඒ වගෙ බලහත්කාරෙන් විවාහයකට ඇතුල් කරවන දැරිවියො බහුතරයක් හිතිං දුක් විඳිනව.

      Delete
  8. වෝටර් ෆිල්ම් එක මතක් උනා. හරි අපූරුවට අතීත වර්තමාන කතා එකට ගලපලා තියෙනවා අයියෙ. පඳුර වටේ තැලීමත් ඒකටම ගැලපෙනවා. පොඩි කෙල්ලොන්ගෙ ළමා ලෝකය ස්කිප් කරවලා කෙලින්ම උන්ව මහ ගෑණියෙක් කරවන එක උන්ට කරන මොන තරම් අසාධාරණයක්ද. ඒ අසාධාරණයට එරෙහිව කතා කරන ඇයට මගේ උත්තමාචාරය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිණී.....:) :)

      Delete
  9. කතන්දර ගොඩක් නිසා මොකක් ගැන මොනවා ලියන්නද කියලා තාමත් හිතනවා..කලා භවන ගැන නම් දැන් ඉතින් වැඩිපුර කියවෙන්නෑ..පුස්තකාලේ පොත් ප්‍රදර්ශනව වලා විභාග නොකරන අයට ගන්න දේවල් නෑ..ඒ නිසා කාලය අළුත් තාලේ වෙනස් කියන්න තමයි වෙන්නෙ...

    ළමා විවාහ ගැන මෙච්චර හඬ නගද්දිත් ඒවා නැවතෙන්නැත්තෙ ඒක සමාජ අවශ්‍යතාවයක් නිසාද?..සමහර වෙලාවට මේ වගේ තිත්ත දේවල් මිනිස්සු සාමාන්‍ය කරගන්න හැටි හරිම පුදුමයි..

    ReplyDelete
    Replies
    1. / ළමා විවාහ ගැන මෙච්චර හඬ නගද්දිත් ඒවා නැවතෙන්නැත්තෙ ඒක සමාජ අවශ්‍යතාවයක් නිසාද?.. /

      ඔව් සමාජ අවශ්‍යතාවයක් වෙන්නත් පුලුවන් එක අතකට. දරිද්‍රතාවයෙ පතුලෙම ගැලිල ඉන්නකොට පුළුවන් තරම් ඉක්මනින් කවන්ඩ තියෙන එක කටක් අඩුකරගත්ත තරමට සාක්කුවට වාසියි කියලත් හිතනව ඇති. අනික් අතට සම්ප්‍රදායෙන් ගැලවෙන්නට ඊට විරුද්ධව යන්නට චිත්ත ධෛර්යයක් නැතිකමත් තව හේතුවක් වෙන්න ඕනෙ....

      ඒකයි ඇත්තටම ඒ පිළිබඳව මිනිස්සු දැනුවත් කරවන, මේ සම්ප්‍රදායෙ තියෙන අමානුෂිකත්වය ගැන කරුණු පැහැදිලි කරල දෙන, ඊටත් වඩා එතනින් වැඩේ අත අරින්නෙ නැතුව ඒ ගැහැණු දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ධෛර්යය සහ අවශ්‍ය භෞතික පහසුකම් සපයන ඌෂා වගේ අයගෙ නායකත්වයෙන් යුතු ස්වේච්ඡා සංවිධාන වලින් ඉටුවන කාර්යය මිල කල නොහැකි වෙන්නෙ.

      Delete
  10. ලංකාවෙත් ඔහොම සිදුවීම් වෙනවා. නැගෙනහිර පළාතේ...මට මුණ ගැහුනා ආච්චි කෙනෙක් අවුරුදු 13 දී දීග ගියපු.... ඒවගේම අපට කන්න උයලා දූන්නු ගෙදර නෝනාට අවුරුදු 18 ළමයි 3 දෙනයි. ඊළඟට යුද්ධෙ කාලේ අවුරුදු 14, 15 වෙද්දී උතුරු කොණේ ගැහැනු දැරිවියන්ව බන්දන්නම සිදු වෙලා තියෙනවා ඒ දෙමාපියන්ට, නැත්නම් ත්‍රස්තවාදීන් ඇවිත් පැහැරගෙන යනවා යුද්ධෙට ළමා සොල්දාදුවෝ ලෙස සේවය කරව්න්න... දැන්නම් මේ තත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා. නමුත් ගොඩක් අය දුක් වෙනවා එයාලගේ ළමා කාලය ගැන. ඒ අයට අවුරුදු 20 වෙද්දී දරුවන් දෙතුන් දෙනෙකුගේ මවක් වෙන්න සිදු වෙලා.

    ReplyDelete
    Replies
    1. යුද්දෙ කාලෙ උතුරෙ බොහෝවිට එහෙම සිදුවීම් උනාය කියල මමත් අහල තියනව...ඒත් පොදුවෙ මම හිතන්නෙ ලංකාවෙ නම් මේ තත්වය වර්තමානයෙ නැත්තටම නැති තරම් ඉන්දියාව එක්ක සසඳල බලනකොට.. ඒ ගැන අපිට ඇත්තටම සතුටුවෙන්න පුලුවන්.

      Delete
  11. මේ ගමනනං හොඳයි. ඇරපු වරහන් ටික අයියම වහලා තියෙනවා. ඒ හන්දා අතුරු කතා හින්දා මං වෙනදා වගේ අමාරුවේ වැටුනේ නෑ. :)

    මඤ්ඤොක්කා වල තියෙන සයනයිඩ් පිළිකා සයිල වලට එරෙහිවත් ක්‍රියා කරනවා කියලා ලඟදි මං කියෙව්වා. ඒකෙ හොඳ ඖෂධීය ගුණයක් තියෙනවලු පිළිකා රෝගයට එරෙහිව.

    අයියගේ අද ප්‍රධාන මාතෘකාව ගැන කතා කරනවනම් හුඟක් වටින සටහනක්. මටත් වෝටර් චිත්‍රපටය මතක් උනා. ඒ අහිංසක දැරියන් වෙනුවෙන් හඬ නගපු ඒ වීර කාන්තාවට වගේම ඈ ගැන අපිට කියපු රවි අයියටත්, අයියට ඒ ගැන කියපු මිතුරියටත් හද පිරි ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. / මඤ්ඤොක්කා වල තියෙන සයනයිඩ් පිළිකා සයිල වලට එරෙහිවත් ක්‍රියා කරනවා කියලා ලඟදි මං කියෙව්වා. ඒකෙ හොඳ ඖෂධීය ගුණයක් තියෙනවලු පිළිකා රෝගයට එරෙහිව. /

      අඩේ ඇත්තම නෙවෙන්නං...දාල බැලුව පොඩි රිසර්ච් පාරක්...උඹේ කතාව ඇත්ත...හෙහ්, හෙහ්,

      ඔන් ද ස්පොට් ඒ වෙලාවෙම ගැහුව අපෙ උන්දෙට ඇස්සැම්මැස් එකක්.

      very urgent & important - meeta passe mayiyoku uyaddi mathaka ethuva piyana erala uyanna hondada?..anika mama labana maase gedara enavane, mayiyoku kilo panahakuyi piyana nethi heli hatha atakuyi genalla thiyanna , budu saranayi, bodu bala sena pihitayi, halal banga wewa, sinhala jaathiya dinevaa!!!!

      Delete
    2. මේ මැඩම්..ඔය ලිපියෙ තියෙන්නෙ එක් පුද්ගලයෙකුගෙ අත්දැකීම් විතරයි...ඒකෙන් කොහොමවත් කියන්න බෑ සයනයිඩ් පිළිකාවලට ප්‍රතිකාරයක් කියල. ඒ ලිපියෙ අන්තිමට තියෙන මේ ටික බලන්න

      විදුසර සටහන : රෝගීන් මේ ලිපියෙහි ඇතුළත් කරුණු මත පමණක්‌ පදනම් ව පිළිකා හෝ දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණයකට එළඹීම ඥනාන්විත නො වන බව විශේෂඥ වෛද්‍ය මතයයි. පිළිකා හෝ දියවැඩියාව සඳහා මඤ්ඤොක්‌කා ප්‍රතිකාර ක්‍රමය සම්මත ප්‍රතිකාරයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ වීමට නම් රටවල් රැසක රෝගීන් විශාල ප්‍රමාණයක්‌ අරභයා පරීක්‌ෂා කර ප්‍රතිඵල තහවුරු කරගත යුතු ය. මේ සඳහා සම්මත විද්‍යාත්මක විධික්‍රම අනුගමනය කළ යුතු ද වේ. මේ කෙරෙහි වෛද්‍ය පර්යේෂණ අංශවල අවධානය නොපමා ව යොමු වන්නේ නම් මැනැවි.

      එහෙම නිශ්චිතව සනාථ නොවුනු ප්‍රතිකාර විධි කෙරෙහි එක පාරටම විශ්වාසය තියන එක බොහොම භයානක වෙන්නත් පුළුවන්.

      ඔන්න මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට සාම්ප්‍රදායික ප්‍රතිකාර ඔක්කොම අත ඇරල මේ වගෙ දින චරියාවක් හෙට ඉඳල ක්‍රියාත්මක කරනව කියල පත්තරේ තියෙන්නත් පුළුවන් හෙට අනිද්ද. ලංකාවෙ දැන් තියෙන අවිචාර පසුගාමී සමාජයෙ හැටියට එහෙම වෙන්න බැරි කමකුත් නෑ.

      1. පිබිදීම උදෑසන 6.00 ට, ශරීර කෘත්‍යය කරනු ලබනුයේ සරුවට වැඩුණු මඤ්ඤොක්කා ගාලක් තුලදීය.දත් මැදීම මඤ්ඤොක්කා දැහැටි කූරකින්, දත් බෙහෙත් වෙනුවට මඤ්ඤොක්කා බඩ භාවිතා කරනු ලැබේ.

      2. උදෑසන ආහාරය - තැම්බූ මඤ්ඤොක්කා පිඟානක් සමඟ පොල්

      3. දිවා ආහාරය - මඤ්ඤොක්කා මාළුවක් සමඟ බත්

      4. රාත්‍රි ආහාරය - මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් සමඟ බත්

      ඉහත සටහන අපහාසාත්මක අරමුණකින් නොව ජුස්ට් ඉන් ලයිටර් වේන් ලියූවකි. මඤ්ඤොක්කා වල පිළිකා සුවකිරීමේ හැකියාවක් තිබිය හැකිබව එක හෙලා බැහැර කල නොහැක.ඩෙංගි උදෙසා පැපොල් කොළ යුෂ භාවිතා කිරීමද එසේමය. එහෙත් එසේම තහවුරු නොකල අවිධිමත් ප්‍රතිකාර ක්‍රම අත්තනෝමතිකව යොදා ගැන්ම අනතුරුදායක විය හැක.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...